Ad

Ad 01

V2025

පුවත්

බදු පරිපාලනයේ අවුල එළියට !

බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් අතර බදු ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණ සිදුකර බදු පරිපාලනය ශක්තිමත් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගත යුතු බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ අද (04) කොළඹ දී පැවති මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ය.

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සංවිධානය කර තිබු මේ අවස්ථාව අමතමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ආදායම වැඩි කර ගැනීමේ දී ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. ඔබතුමන්ලා දන්නා විදිහට බදු ප්‍රතිපත්ති වෙනස්කම් කළා. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. හැබැයි ඒත් එක්කම අපි දකිනවා බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයන් තියනවා. ඔබතුමාලා දකින්න ඇති මෑතක දී නිකුත් වෙච්ච විවිධ වාර්තා තියනවා, ඒ පිළිබඳව අවධානය යොමු කරලා. ඉතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ පුළුවන් තරම් බදු ප්‍රතිපත්තියේ යම්කිසි ප්‍රතිසංස්කරණ කරන ගමන්ම, දැනටත් අපි විශ්වාස කරනවා ඉතා හොඳ ප්‍රතිපත්තියක් දැන් රටතුළ තියනවා කියලා.

නමුත් ඊළගට අපට අවශ්‍යතාවය තියෙන්නේ අපි කොහොමද බදු පරිපාලනය ශක්තිමත් කරලා වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගෙන බදු ගෙවීමේ හැකියාව නැත්නම් බදු ගෙවන ප්‍රමාණය වැඩි කරලා, මේ බදු ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොම ද කියලා. එහෙම ආදායම ලබා ගැනීම සිදු කළොත් සතුටු දායක මට්ටමකට පමණයි අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. නැතිවුනොත් අපට මෙය කළමණාකරණය අපහසු වෙනවා."

ETF සහ EPF ගැන යෝජනාවක් !

සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදී තිබේ.

ඒ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, "ETF සහ EPF දෙකම එකතු කරලා...ස්වාධීන මණ්ඩලයක් යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වනවා.

අපිට ETF සහ EPF දෙකම අවශ්‍යයි. අනෙකුත් ස්වාධීන අරමුදල් ද ඊට ඇතුළත් වෙන්න අවශ්‍ය ද කියන එක තමයි ගැටලුව. අනෙක් කරුණ තමයි අපි ඔවුන්ගේ මුදල් අනුමත කරන්න ඕන ද කියන එක. දැනට අපි ලබාදෙන්නේ රජයට විතරයි. ඉන් කොටසක් විදෙස් රටවල ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන.

මම හිතන්නේ අපි එය කළ යුතුයි. මේ රටේ ජනතාවගේ ඉතුරු කිරීම්. ඒ නිසා එම මුදල් විදෙස් රටවල ආයෝජන කරන්න අවස්ථාව දෙන්න පුළුවන්." යනුවෙනි.

පාසල් සඳහා පාපන්දු දස දහසක ව්‍යාපෘතියක් සමඟ ජස්වර් උමාර් යළි වැඩ අරඹයි !

ග්‍රාමීය පාසල් ආශ්‍රිතව පාපන්දු ක්‍රීඩාව නැංවීම උදෙසා පාපන්දු දස දහසක් බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අපේක්ෂක ජස්වර් උමාර් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ පළමු විධායක කමිටු සාකච්ජාව පවත්වමින් ඊයේ (03) පෙරවරුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේදි රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාවේ ය.

මෙම විධායක කමිටු රැස්වීමේදී රටපුරා පාපන්දු ලීග්වලට ප්‍රතිලාභ රැසක් ලබා දී යළි පාපන්දු ක්‍රීඩාව සක්‍රීය මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙල ගැඹුරින් සාකච්ඡා කෙරුණු අතර පාපන්දු ලීග් ශක්තිමත් කිරීම හා අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලි ආරම්භ කිරීම මෙන්ම ලීග් තරග උදෙසා මූල්‍ය අනුග්‍රහයක් දැක්වීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මෙසේද පැවසීය.

“ පාපන්දු පරිපානලය ශක්තිමත් කිරීම වැදගත්. පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නවා. ඒ වගේම පාපන්දු තාක්ෂණික අංශය වෙනුවෙන් අත්දැකීම් ඇති විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි පාපන්දු කැලැන්ඩරය ඉක්මණින්ම එළි දැක්වීමට කටයුතු කරනවා“

මෙහිදී අදහස් දැක්වූ උප සභාපති රංජිත් රැද්‍රිගූ පැවැසූවේ ඉදිරි සාෆ් තරගාවලිය මධ්‍යකාලීන සැලසුමක් වන බවත්, වසර 20කට ජාතික සැලස්මක් සැකසීම අනතුරුව සිදු කරන බවත් මූලික අරමුණ බවය. “ අප වෘත්තීය මට්ටමට පාපන්දුව ගෙන ආ යුතුයි. අපේ වගකීම ඒකයි." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"ඡන්දයෙන් දිනන්න බැරි වූ සමහරු හිතනවා අප අතර අසමගියක් ඇති කරන්න. ඒක වෙන්නේ නෑ. මොකද අපේ කණ්ඩායම පාපන්දු ඉතිහාසයේ වැඩිම අත්දැකීම් ඇති අයයි. දැන් හැමෝම එකතු විය යුතුයි." යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

" තරුණ හා ළමා ක්‍රීඩකයින් ඉලක්කකොට වසර 20ක පාපන්දු සැලැස්ම හැදීම කළ යුතුයි. තාක්ෂණික දැනුම ඇති අයගෙන් උපදෙස් ලබාගෙන සැලසුම් සකස් කළ යුතුයි." යනුවෙන්ද එහිදී අදහස් ඉදිරිපත් වූ අතර උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පවසා සිටියේ "පාපන්දු ඇකඩමි ශක්තිමත් කිරීම වැදගත්. අපේ විධායක සභාවේදී සියලු අංශ පිළිබඳ පියවරෙන් පියවර සාකච්ඡා කරනවා“ කියාය.

2024 වසරේදී ධන ආර්ථික වර්ධන වේගයක් !

ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු  පැවසීය.

පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු  මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු  ‍මෙසේ ද පැවසීය,

අපි දැනට IMF වැඩසටහනේ දෙවන වාරිකය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී ඔවුන් අපට ලබා දී තිබූ ඉලක්කවලට අදාළ ඇගයීම් පිළිබඳව අවධානය යොමු කෙරුණා.

රාජ්‍ය ආදායම් උත්පාදනයට අදාළව කරුණු කිහිපයක ප්‍රමාදයන් තිබුණත් අපි රජයක් විදිහට ඒ සඳහා වෙහෙසුණා. ඒ වගේම අපි විවිධ ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබෙනවා. එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි නායකත්වය ද ලබා දී තිබෙනවා.

මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීම හැකියාවක් තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි.

අද දිනය වන විට සිදු කෙරෙන පුරෝකථනයන්ට අනුව 2024 වසරේ දී 1.8%ක හෝ 1.9%ක ධන ආර්ථික වේගයක් සඳහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිමය ආර්ථික වැඩපිළිවෙළ තුළ පාරිභෝගිකයාට දරාගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබාදීම ප්‍රධාන අරමුණක් වුණා.

ඒ අනුව මීට පෙර 94% ක් ලෙස පැවති ආහාර උද්ධමනය -5.1%ක් දක්වා අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙරට පැවති උද්ධමනය මෙන්ම ආහාර උද්ධමනය මෙතරම් කඩිනමින් පහතට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඇතැමුන් විශ්වාස කළේ නැහැ. මෙරට ආර්ථිකය පසුගිය වසරට වඩා මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ රජය විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිවල නිවැරදි භාවය නිසයි.

එමෙන්ම 30% ත් 32%ක් දක්වා ඉහළ ගිය බැංකු පොලී අනුපාතිකය 15%-16%ක් දක්වා අඩුවීම නිසා මෙරට ව්‍යවසායකයන් සහ වෙළෙඳුන් මත තිබූ විශාල පීඩනයක් දැන් ඉවත් වී තිබෙනවා. ඒ හරහා මේ රටේ ආර්ථිකය නැවතත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා.

ඒ වගේම පැවති ආර්ථික අර්බුදයත් සමඟ අපට තිබු විශාලම ප්‍රශ්නය තමයි විවිධ ආනයනික භාණ්ඩ තහනම් කිරීම. එමගින් අපට අන්තර් ජාතික වෙළදාමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවුණා. ඇතැම් ආනයන සීමා කිරීම නිසා දේශීය නිෂ්පාදකයාට ද විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දීමට සිදු වුණා.

අපි නිෂ්පාදනය කරන්නේ ජාතික පරිභෝජනයට පමණක් නෙවෙයි, අපනයනය ද ඉලක්ක කරගනිමින්. නමුත් ඇතැම් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කළ නොහැකි වූ විට නිෂ්පාදන කටයුතු අඩපණ වෙනවා. එය ජාතික නිෂ්පාදනයට මෙන්ම අපනයන ආදායම පහත වැටීමට ද බලපානවා.

ඒ වගේම කුමන ආකාරයේ ආනයනයන් සඳහා අප ඉඩ දිය යුතු ද යන්න පිළිබදව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ගැඹුරින් අවධානය යොමු කළා. ඊට අනුව දැනට අප වාහන ආනයනය හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනය සහ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම පිළිබඳව ද තීන්දු කර තිබෙනවා.

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ ද සූදානමක් පවතිනවා. එහිදී කුමන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේ ද යන්න පිළිබදව ද අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳ පළ සමතුලිතතාවයෙන් ගිලිහුණු අවස්ථාවේ සමාගම් විශාල වශයෙන් ලාබ ලබාගැනීමට කටයුතු කලා. එහිදී ජනතාව පීඩාවට පත් වුණා. එනිසා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයටයි.

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට !

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවන ලදී.

“දිරි පියස” භාරකාර අරමුදලේ සහ ඇග්‍රොමාර්ට් අවුට්රිච් පදනමේ හිටපු සභාපතිනී නීතීඥ ඒ. කේ. වීරතුංගගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කැනඩාවේ ගෝලීය විශ්වවිද්‍යාල සේවයේ අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල්, පොලිටික්ස් එස්එල්කේ ආයතනයේ උපායමාර්ගික විශේෂඥ මලිතී හේරත්, කාන්තා විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ අධ්‍යාපන විශේෂඥ නිර්මාලි වික්‍රමසිංහ, වෛද්‍ය දිල්ශානී බෝගොල්ලාගම, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ළමා ආරක්ෂණ සංවර්ධන සහ විශේෂ අවශ්‍යතා වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවමල්ගේ, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාසකෝරාළ, “සේව් ද චිල්ඩ්‍රන්” හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ විද්‍යාල කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අස්විනි ඩී. ප්‍රනාන්දු සහ යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂණ විශේෂඥ, නීතීඥ හා වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන අය කටයුතු කරති.

විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කළේය.

ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසකවීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදී ගැටලු මෙන්ම ළමා ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබේ.

එසේම නවීන සමාජයේ පවතින ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කර ගනිමින් ළමා ආරක්ෂාව සඳහා පවතින ආයතනික, පරිපාලන සහ නෛතික ආරක්‍ෂාවන්හි ප්‍රමාණාත්මකභාවය ද එහිදී ඇගයීමට ලක් කර ඇත.

තවද, විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව ද මෙම වාර්තාව මගින් නිරීක්ෂණයට ලක්කර ඇත. එමඟින් ළමයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුවන ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනයට ලක්කර ඇති අතර ළමා ආරක්ෂණ මුලපිරීම් වෙනුවෙන් ප්‍රජා සහභාගීත්වය සඳහා ගත යුතු නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ.

ළමුන් සඳහා සිදු කරන ආයතනිකගත ආරක්ෂණය අවම කිරීම සහ පවුල් පාදක ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුව අවධානය යොමු කර ඇත.

මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමුන් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් "ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්" පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ජීවන කුසලතා සංවර්ධනය සහ පුද්ගල ආරක්ෂණ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සාර්ථකව සමාජගත කිරීම සඳහා වන නිර්දේශ ද මෙහි ඇතුළත්ය.

ළමුන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනාගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.

උසස් පෙළ විභාගයට දින නියම කරයි

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, එම විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

මේ අතර, විභාගයට මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් පත් යොමු කිරීම සඳහා 2023.10.06 සිට 2023.10.10 දක්වා කල් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic ඔස්සේ අයැදුම් පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2023 al

ආනයන සීමා ඉවත් කිරීම ගැන රජය විසින් ගත් තීරණය

පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

මහතා අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

"පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා."

"ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා."

"මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා."

"ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්එස් කේත 299කුත් ඒවගේම විශේෂයෙන්ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. ඒකෙදි මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා."

නෙත් fm මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට පැමිණවීමට සජිත්ගේ විරෝධය!

නෙත් FM මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේදී ඊයේ (03) විරෝධය

ලංකාවේ සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නෑ : ජනපති කියයි !

මෙරට සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.

එම සාකච්ඡාව පහත දැක්වෙයි.

 ප්‍රශ්නය

ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට රැගෙන යන්න හොඳ ආරංචියක් තිබෙනවාද?

පිළිතුර

මට මෙහි සිට ආපසු රැගෙන යාමට තිබෙන දෙය නම් අප අතර ඇති පරතරය අවම වීම තුළ ඉහළ යන අවබෝධයයි, විශේෂයෙන් යුරෝපීය පාර්ශවයත් සමග.

මට පැරිස් දේශගුණ සමුළුවට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම බර්ලින් නුවරට පැමිණ සිටින්නේ යුරෝපා සංගමය තුළ සිටින ප්‍රංශය සහ ජර්මනිය යන රාජ්‍යයන් දෙකම අපගේ චින්තනය දන්නා බවත්, අපගේ චින්තනයට අනුගත වන බවත් ඔවුන් සමග එක්ව මෙම පවතින ගැටළු කිහිපයක් විසඳීම සඳහා මගක් සෙවීමට උත්සාහ කරන බවත් පැවසීමටයි.

ප්‍රශ්නය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔබේ චින්තනය සමඟ සම්පූර්ණයෙන්ම අනුගත වී නැති බව පෙනෙනවා නේද? පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ අදාළ ඉලක්කයන්ගෙන් 15% ක් පමණ සපුරාලීමට අසමත්වීම හේතුවෙන් වැඩිදුරටත් සාකච්ඡා පවත්වන තුරු දෙවන වාරිකය අත්හිටුවා ඇති බවයි. එයින් අදහස් කරන්නේ ඔබට බදු අයකිරීම පිළිබඳ තවදුරටත් ගැටළුවක් පවතින බවයි. මෙම ගැටලුව ඉතා ප්‍රභල බව පෙනෙන්නට තිබෙනවා. එබැවින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට සඳහා ඔබට විශේෂ සැලැස්මක් තිබෙනවාද?

පිළිතුර

අප එකඟතාවට පැමිණ තිබෙන්නේ දෙවැනි පැකේජය නවත්වනවා කියා නොවෙයි. අප විශ්වාස කරනවා අප මෙම වසර තුළ සිදු කර ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලබන වසරේ දැකගන්න ලැබෙන බව.

ඉලක්ක පිළිබඳ කතා කිරීමේ දී ඇතැම් ඉලක්ක ළඟා කර ගැනීම අසීරු බව අප පිළිගත යුතුයි. අප මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ එම පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අප එකඟ නොවූ යෝජනා කිහිපයක් තිබෙනවා. මොකද එම යෝජනා සාමාන්‍ය ජනතාවට බරක් වන නිසා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියා තිබෙනවා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය

නමුත් ඔබේ රටට බදු පිළිබඳ ඓතිහාසික ගැටලු තිබෙනවා. ඒ වගේම හය වතාවක් බලයේ සිටි ඔබට මේවා අලුත් දේවල් වන්නේ නැහැ නේද?

පිළිතුර

එය මුලින්ම පිළිගත්ත පුද්ගලයාත් මමයි. ඒ වගේම අපි කියනවා අපිට අලුත් ආදායම් පිළිබඳ අධිකාරියක් අවශ්‍ය බව. මම එය 2003 දීත් යෝජනා කළා. 2004 මැතිවරණයෙන් මම පරාජය වීමට එයත් හේතුවක් වුණා. නමුත් මෙතන පවතින්නේ ආදායම් පැහැර හැරීම පිළිබඳ ප්‍රශ්නය පමණක් නොවෙයි.

ආදායම් මගහැරීම පිළිබඳව ගැටලුව වසරකින් විසඳිය හැකි දෙයක් නොවෙයි. අප මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් අපට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අප ඉන් බොහොමයක් සමග එකඟවී තිබෙනවා. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය අප මේ මොහොතේ මුදල් හොයා ගන්නේ කොහෙන්ද යන්නයි. ඒ සමඟ මේ ප්‍රශ්නයත් විසඳේවි.

ප්‍රශ්නය

ඔබ හිතන ආකාරයට කොපමණ කාලයක් ඒ සඳහා ගතවෙයි ද?

පිළිතුර

මම හිතන්නේ ලබන සතිය වන විට විසඳේවි.

ප්‍රශ්නය

දරිද්‍රතාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් පිළිබඳව දරුවන් සුරකිමේ ජාත්‍යන්තර සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

පිළිතුර

අපට පසුගිය වසරේදී උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප එය බොහෝ දුරට අඩු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන පැකේජයෙන් පසු අප ඊළග පියවර පිළිබඳව සිතා බලනවා.
රටේ ආර්ථිකය කඩා වැටුණු විට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. මා රට භාරගන්නා අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන තිබුණේ නැහැ. රැකියා නැති වුණා.කර්මාන්ත කඩා වැටුණා. නමුත් අප දැන් එයින් මිදෙමින් සිටිනවා. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය ගත් විට අද එය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය

ළමයින් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වාර්තාව නිකුත් කර සති කිහිපයයි ගතව තිබෙන්නේ.

පිළිතුර

ඔව්. මම එම වාර්තාව කියෙව්වා. මම එහෙම නැහැ කියන්නේ නැහැ. නමුත් අපට එහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා, දත්ත සහ ප්‍රතිශත සම්බන්ධයෙන් එකඟ විය නොහැකියි.

කුසගින්න පිළිබඳ අර්බුදයක් තිබෙනවා. මම ඒක නැහැ කියන්නේ නැහැ. පැහැදිලිවම, ආර්ථිකය කඩා වැටෙන විට, එසේ සිදුවෙනවා. නමුත් අප එයින් ගොඩඒමට උත්සාහ දරමින් සිටිනවා. අප ළමයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එය කුසගින්නට පමණක් සීමා කර නැහැ. නිසි ආරක්ෂාවක් නොලැබෙන දරුවන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ මට ලැබීමට නියමිතව තිබෙනවා.

ප්‍රශ්නය

අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අර්බුද තිබෙනවා.

පිළිතුර

අධ්‍යාපනය යම් දුරටකට පසුබෑමකට ලක්ව තිබෙනවා. 2024, 2025 වසර වන විට එය සාමාන්‍ය තත්ත්වයට ගැනීමටයි අප උත්සාහ කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ තීරණ ගත යුතුව තිබෙනවා. එවිට මේ චෝදනාව එල්ල වන්නේ නැහැ.

ප්‍රශ්නය

මෙය චෝදනාවක් නොවයි, මෙහි වෙනසක් තිබෙනවා. රාජ්‍යයක් තම ප්‍රශ්න විසඳා ගත යුතු කාලය සහ දෙමාපියන්ට දරුවෙකු පෝෂණය කිරීමට ඇති කාලය පිළිබඳව වෙනසක් තිබෙනවා.

පිළිතුර

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වුණා. මේ වසරේ තමයි ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවීමට පටන්ගෙන තිබෙන්නේ. තවම වසරක්වත් ගත වී නැහැ. මේ කාලය තුළ රටේ කුසගින්න පිළිබඳ ගැටලුව විසඳමින් සිටිනවා. ඒ වගේම දිළිදුකම අඩු වෙමින් පවතිනවා. ඒ වගේම වැඩි පිරිසකට රැකියා ලැබෙමින් තිබෙනවා. මෙය රට තුළ පරිවර්තනයක් සිදු වෙමින් පවතින සමයක්.

රටේ කුසගිනි අර්බුදයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. කුසගිනි අර්බුදයක් තිබූ නිසයි එය විසඳීමේ වගකීම මම භාරගත්තේ. මම කුසගිනි අර්බුදය නිමා කරන බව ප්‍රකාශ කරනවා.

 ප්‍රශ්නය

පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත් ?

පිළිතුරු

ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.

ප්‍රශ්නය

නැහැ. මම එලෙස හිතන්නේ නැහැ.

 පිළිතුර

බ්‍රිතාන්‍යයේ ද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය

ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරිම සාධාරණද ?

පිළිතුර

ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?‍

ප්‍රශ්නය

මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.‍

පිළිතුර

මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ... හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.

ප්‍රශ්නය

ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයෙකුත් පරික්ෂණයක් ඉල්ලා තිබෙනවා ?

පිළිතුර

මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කළ විට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි.

ප්‍රශ්නය

මෙතන තිබෙන කාරණාව පරම සත්‍ය පිළිබඳ නොවයි ?

පිළිතුර

විශේෂයෙන්ම චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් මම කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වෙනවා.

ප්‍රශ්නය

කොමිසමේ නිදහස හැර වෙනත් දෙයක් කිරීමට තරම් මෙම කොමිසමට හැකියාවක් තිබෙනවා කියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ ?

පිළිතුර
එය ඔබේ මතය, මගේ මතය නොවෙයි.

ප්‍රශ්නය

නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.

පිළිතුර

නැහැ. මට කතා කර අවසන් කරන්න දෙන්න

ප්‍රශ්නය

ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.

පිළිතුර

නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.

ප්‍රශ්නය

කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ ?

පිළිතුර

එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.

ප්‍රශ්නය

ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක් ?

පිළිතුර

ඔවුන් එකඟ වූ ස්වාධීන කොමිෂන් සභාව එයයි. ඔබ රදගුරු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් මම කරනවා. ඒ වගේම ඔවුන් පැමිණ මාව මුණගැසෙනවා. ඔවුන් හමුවෙන්නේ මම මිස ඔබ නොවෙයි. ඔබ මෙතන වාඩි වී කඩදාසියක් අතට අරගෙන කියවනවා. නමුත් මම කතෝලික සභාව සමග සාකච්ඡා කළා. මම නැවත මගේ රටට ගියවිටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.

දෙවැන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඉතින් යම් අතපසුවීමක් සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ පිළිබඳ කටයුතු කරයි. අවසාන වශයෙන් කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.

හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ කාරණය සම්බන්ධයෙන් කථා කළහොත්, මම ආපසු ගිය පසුව ඔහු හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුද මේ සම්බන්ධව කොමිසමක් පත් කළා, ඔහුට තවදුරටත් මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි ද කියා මම සාකච්ඡා කරනවා. මම මේකට සම්බන්ධත් නැහැ. මම උත්සාහ කරන්නේ මෙයට විසඳුමක් ලබාදීමටයි. ඔබ කාදිනල්තුමා ලබා දුන් කඩදාසියක් අරගෙන ඔහුට පේන්න එය කියවනවා. ඔබ කතෝලික සභාවත් සමඟ කතා කර තිබෙනවාද? ඔබ කතෝලික පූජකවරුන් සමඟ කතා කර තිබෙනවද?

ප්‍රශ්නය

නැහැ. මම කතා කර නැහැ.

පිළිතුර

එසේනම් ඔබට මගෙන් මේ ප්‍රශ්නය ඇසීමට කිසිඳු අයිතියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම වැරදියි කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නැහැ. එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ. ජර්මනියට එහෙම වෙලා නැහැ. ඔබට මොනවද ලැබී තිබෙන්නේ? ඔබ සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ මොනවාද? එක්සත් රාජධානිය සහභාගී වී තිබෙන ඒවා මොනවාද? ඇයි අසරණ ශ්‍රී ලංකාවේ අපට සහ ආසියාතිකයින්ට විතරක් මෙහෙම කරන්නේ? ඔබ හිතන්නේ අපි පහත් රටවල් කියාද?

නිවේදක

නැහැ

ජනාධිපතිතුමා

එහෙනම් ඇයි එහෙම අහන්නේ?

නිවේදක

මොකද කිසිවක් සිදු නොවු කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔබට 2008 සිට අද දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. මට ඒ පිළිබඳ ලයිස්තුවක් කිව හැකියි. උදුලාගම, උගත් පාඩම්....

ජනාධිපතිතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තමයි මේ. ඒ හැමදෙයක් සඳහාම අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ප්‍රශ්නය

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවසාන වාර්තාවේ තත්ත්වය කෙතරම් අශෝභන වී තිබෙනවාද කිවහොත්, මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ සිටින 12 දෙනෙකු විසින් ඔබේ රජයට බලපෑම් කරන ලෙස බයිඩ්න් පාලනයෙන් ඉල්ලා සිටිනවා.
ඇත්තටම සිදුවී ඇති අපයෝජන මොනවාද යන්න සහ ඒවා මැඩපවත්වන්නේ කෙසේද සොයා බැලීමට ඔබ මීට මාස කිහිපයකට පෙර සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ප්‍රකාශයට පත් කළා. මම පෙන්වා දුන් ඒවාට මෙන්ම මෙම කොමිසමටත් බලයක් නැහැ

 පිළිතුර

ඔබ එය වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් නොවෙයි. අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවා ඇති බවට මේ රටවල් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින අතර අපි බටහිර රටවල් සමගත් සාකච්ඡා කරනවා. සෙනෙට් සභිකයින්ට මෙයට මැදිහත් විය හැකිය සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මම ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව බරපතල ප්‍රශ්න ඇති වී නැහැ

ප්‍රශ්නය

මම විශ්වාස කරනවා ඔබ මිට මාසයකට පමණ පෙර නිකුත් වු එක්සත් ජාතීන්ගේ වාර්තාව දකින්න ඇති කියලා ?

පිළිතුර

එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ප්‍රශ්නය

කවුද ඒක ප්‍රතික්ෂේප කළේ ?

පිළිතුර

ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කවුද එය ලබා දුන්නේ? මම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැරදී කියලද ඔබ කියන්නේ?

පිළිතුර

එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි. මානව හිමිකම් කොමිෂම වැරදියි.‍

ප්‍රශ්නය

මානව හිමිකම් කොමිෂම වැරදියි වගේම Amnesty සහ human rights watch ද වැරදියි ද?

පිළිතුර

මානව හිමිකම් කොමිෂම වැරදියි.

නිවේදක

අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔබ කටයුතු කරනවා ද? ඔබේම ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එය ඉල්ලා සිටිනවා...

ජනාධිපතිතුමා

කවුද ඇමතිවරුන්?

නිවේදක

මම හිතන්නේ ප්‍රනාන්දු මහත්මයා.

ජනාධිපතිතුමා

කොයි ප්‍රනාන්දු ද?

නිවේදක

ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කිරීමට එකඟයිද?

ජනාධිපතිතුමා

ප්‍රනාන්දු නම තිබෙන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වෙළඳ හා වාණිජ කටයුතු ඇමතිවරයා ප්‍රනාන්දු කෙනෙක්. සංචාරක ඇමතිවරයාත් ප්‍රනාන්දු කෙනෙක්.

ඒ අයගෙන් කිසිම කෙනෙක් මගෙන් මෙවැනි ඉල්ලීමක් කර නැහැ. ඔබ බරපතළ චෝදනාවක් කර තිබෙන්නේ. ඒ නිසා එය පැහැදිළිව සඳහන් කරන්න.

නිවේදක

බරපතළ චෝදනාව මොකද්ද?

ජනාධිපතිතුමා

විමර්ශනයක් අවශ්‍ය බව පැවසූ මගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමතිවරු දෙදෙනා කවුද කියලා?

නිවේදක

එය චෝදනාවක් නොවෙයි. ඇත්තටම එය ප්‍රසිද්ධ කරුණක්.

ජනාධිපතිතුමා

නැහැ, ඔබ වැරදියි. මට තේරෙන විදියට නම් ඉන්නේ එක් අයෙකු පමණයි.

නිවේදක

මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ?

ජනාධිපතිතුමා

නීතියට අනුව, ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි. ඉන්පසුව, පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ හැකියි.

නිවේදක

ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා විමර්ශනය සිදු කරනවාද? ඔබ ඊට කැමතිද?

ජනාධිපතිතුමා

ඇත්තවශයෙන්ම, ඔවුන් විමර්ශනයක් සිදු කරනවා.

නිවේදක

ඒ වගේම විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?

ජනාධිපතිතුමා

නැහැ. ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද?

නිවේදක

60,000ත් 100,000ත් අතර ශ්‍රී ලාංකික ජනතාවක් අතුරුදන් වී තිබෙනවා. ඔබ තවමත් නැහැ කියනවා...

ජනාධිපතිතුමා

නැහැ. අවසානය දක්වා අපට තවදුරටත් වැඩ කිරීමට තිබෙනවා. මම හිතන්නේ එම සංඛ්‍යාව මීට වඩා අඩු බවයි.

නිවේදක

ඉතින්, ඒ පිළිබඳ ක්‍රියාත්මක විය යුතුයි නේද ?

ජනාධිපති

අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම මේ පිළිබඳව කටයුතු කරනවා. එහි කටයුතු කාලයක සිට සිදුවෙමින් පවතිනවා. මම ජනාධිපති ධූරයට පත් වුණේ මීට වසරකට පෙරයි.

නිවේදක

හොඳයි, නමුත් ඔබ අගමැති ලෙස හය වතාවක් බලයට පත් වී තිබෙනවා. ඉතින්, මෙය ඔබේ වගකීමක් ?

ජනාධිපතිතුමා

මෙහි පළමු පියවර තැබුවේ මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ බව සිහිපත් කළයුතුයි

නිවේදක

මම ඔබෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අසන්නම්. ඇතැම්විට ඔබට මේ සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි වෙයි. නමුත් සැබවින්ම ඔබ හමුවේ දැන් තිබෙන මෙම ප්‍රශ්නය ඉතා බරපතල ප්‍රශ්නයක් කියා මම විශ්වාස කරනවා.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වගවීම සහ යුක්තිය ඉටු කර නොමැති බව සිතන්න. ඒ පිළිබඳව ඔබ මෙහිදී දක්වන අදහස පිළිබඳව බොහෝ දෙනෙක් බලා සිටිනවා.

ජනාධිපතිතුමා

මම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙය නිවැරදි කිරීමට කටයුතු කරනවා. අපි ඔවුන් සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් දන්නවා අප එය කරනවා කියලා. අපි සෑම දෙයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කරනවා.

මගේ විදේශ ඇමතිවරයා ඔවුන් සමඟ නිතරම සාකච්ඡා කරනවා වගේම තත්ත්වය පිළිබඳව ඔවුන් සියලුදෙනාට අවබෝධයක් තිබෙනවා.

නිවේදක

එය ඉතා හොඳ තත්ත්වයක්

ජනාධිපතිතුමා

දැන් ඔබ ප්‍රශ්නය ඇසුවා. මම පිළිතුරක් ලබා දුන්නා. මෙය කිසිසේත්ම කනස්සල්ලට කරුණක් නොවෙයි. මම මානව හිමිකම්වලට ගරු කරනවා. ඒ පිළිබඳව හොඳම වාර්තාව තිබෙන්නේ මටයි.

නිවේදක

බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි .

ජනාධිපතිතුමා

ස්තූතියි

එඩ්ම්න්ඩ් උපහාර උත්සවයේදී : ජනාධිපතිගෙන් සියලු මාධ්‍ය වෙත පණිවිඩයක් !

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන 'දිවයින ' පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

මේ වන විට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ' එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය ' කෘතිය එළිදැක්වීම ද මේ හා සමගාමීව සිදු කෙරිණි.

මෙම කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. කේ. විජේබණ්ඩාර, නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති අධිකාරි යන අය විසින් සංස්කරණය කර ඇත.

මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ  හැඳින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

දශක හතක මාධ්‍ය මෙහෙවරක නිරත වූ එඩ්මන් රණසිංහ මහතාගේ මාධ්‍ය කලාව ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික සහ දේශපාලනය උන්නතිය සඳහා ඉවහල් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මාධ්‍ය කලාව ඉදිරියට ගෙන ඒමට කෘතිම බුද්ධිය දායක කර ගත හැකි අන්දම පිළිබඳ සොයා බැලීමෙන් ඵලදායි මාධ්‍ය කලාවක් නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

1977 මා මුලින්ම බියගම ආසනයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී, ඒ සඳහා අවශ්‍ය ලිපියක් සකස් කර ගැනීමට හොඳ මාධ්‍යවේදියෙක් පිළිබඳ විමසූ විට මගේ පියා එක්වරම කියා සිටියේ එඩ්මන් රණසිංහයන් පිළිබඳවයි. ඒ අනුව එතුමන් විසින් මගේ දේශපාලනයේ පළමු ලිපිය ලියා තැබුවා. එය පසුගිය වසර වන තෙක්ම මා සතුව තිබුණා. නමුත් එය දැන් මා ළඟ නැහැ.

මගේ පියා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එඩ්මන් රණසිංහ  සිළුමිණ, දිනමිණ වැනි පුවත්පත්වල කර්තෘවරයා ලෙස විශාල සේවාවක් ඉටු කළා.

එතුමාගේ පුවත්පත් කලාවට පියසේන නිශ්ශංක, එම්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන්ගේ හා ලේඛකයන්ගෙන් පන්නරය ලැබුණා. එම නිසා නිදහසට පෙර තිබුණු මාධ්‍ය කලාව මෙන්ම ඉන් පසුව බිහිවුණු මාධ්‍ය කලාවෙහිද මනා පරිචයක් රණසිංහ  සතුව තිබෙනවා.

1953 වසරේ සහල් මිල වැඩි වූ විට ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධූරයෙන් ඉවත්වීමට සිදු වුණා. ඊට වසර හැට නවයකට පසු තෙල් නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරය අතහැර යාමට සිදු වුණා. මෙම වසර 69 තුළ රණසිංහට විශාල අත්දැකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත පොතක් ලිවීමට වුවත් එතුමාට හැකියාව තිබෙනවා.

1964 පුවත්පත් අරගලය රණසිංහ මහතා විසින් ප්‍රායෝගිකව සිදු කළා. එතුමාගේ පළපුරුද්ද මෙරට මාධ්‍ය සංස්කෘතියට යම් බලපෑමක් සිදු කිරීමට සමත් වූ බව කිව යුතුයි. නමුත් මුද්‍රිත මාධ්‍ය කලාව මේ වන විට යම් බලපෑමකට ලක් වෙමින් තිබෙනවා.

එදා ඊයම් අකුරු අමුණා සිදුකළ පත්තර කලාව අද වන විට i pad එක දක්වා දියුණු වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය වැනි මහා මන්දිරයක තිබෙන දැනුම google මාධ්‍ය තුළ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව මේ වන විට නිර්මාණය වී අවසන්. එම නිසා පත්තර කලාව සමාජගත කිරීමට තාක්ෂණය හොඳ මෙවලමක් බවට පත්ව තිබෙනවා.

නමුත් ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා

මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි . දැන් ලෝකයේ තිබෙන පත්තර සහ journal එහි හිමිකරුවන් විසින් විකුණමින් හෝ එය නැවත ආයෝජන කරුවන්ට භාරදීමට සූදානම් වෙමින් තිබෙනවා. මාධ්‍ය කලාවේ ඉදිරි ක්‍රියාදාමය එළැඹෙන වසර දෙක තුන තුළ අපට දැකගන්නට පුළුවන්. එහි ප්‍රවීණයන් නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද බිහිවිය හැකියි.

මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය සිදු කළ ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ,
එඩ්මන් රණසිංහගේ දශක හතක මාධ්‍ය ජීවිතය වෙනුවෙන් පවත්වන උපහාර පිදීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට ආරාධනා කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.

එතුමා සම්මාන උපහාර බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නොවෙයි. එතුමා හැමදාම කිව්වේ මම කළේ සේවයක් කියා පමණයි. ඒ නිසා සම්මාන උපහාර වැඩක් නැහැ කියන මතයේ එතුමා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව මේ සිදුකරන උපහාරය ඉතාම වැදගත් වෙනවා. මක්නිසාද යත් පුවත් පත් කලාවේ දැනට සිටින ප්‍රවීණතම මාධ්‍යවේදියා එඩ්මන්ඩ් රණසිංහයන් නිසා.

1952 වසරේදී ලේක්හවුස් ආයතනයේ 'ඩේලිනිව්ස් ' පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ එඩ්මන්ඩ් රණසිංහ මහතා දිනමිණ නියෝජ්‍ය කර්තෘ පදවියද දරමින් ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටියදී 1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට එරෙහිව සේවයෙන් ඉල්ලා අස් වුණා.

1977දී යළිත් ලේක්හවුස් ආයතනයේම ඇරැයුමින් 'දිනමිණ' කර්තෘ පදවියට පත්වූ රණසිංහ මහතා පසුව සිළුමිණ කර්තෘවරයා ලෙස ද පත් වුණා.

1981වසරේදී 'දිවයින' පුවත් පතේ සමාරම්භක කර්තෘවරයා ලෙස පත් වූ රණසිංහ මහතා කෙටි කලකින්ම මෙරට පුවත්පත් කලාව නව මගකට ගෙන එමින් එය ඉහළම ජනප්‍රියත්වය කරා ගෙන ගියා. පසුව එහි මුල්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද වූ රණසිංහ මහතා 86 වියැතිව සිටියදී 2016 වසරේදී නැවතත් ' සිළුමිණ' කර්තෘ පදවියට පත් වුණා.

එතුමා නිකරුනේ පිටු පුරවා පාඨකයා මහන්සි කරවීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. බුද්ධිමත් පාඨක ප්‍රජාවක් ඇති කිරිමට එතුමා කැමැත්තක් දැක්වුවා. එතුමාගේ වෘත්තීය දිවියේ අරමුණු දෙකක් තිබුණා. ඉන් එකක් වන්නේ පාඨකයාගේ රසඥතාව වැඩිකරීම හා බුද්ධිමත් පාඨක ප්‍රජාවක් ඇති කිරීමයි. එතුමාගේ මාධ්‍ය සංකල්පය අදත් ‍අමෙරිකාවේ ක්‍රියාත්මක කරනවා.

වර්ල්ඩ් ස්ට්‍රීට් ‍ජර්නල් අළෙවි කර ගැනීම සඳහා පාඨය ලෙස භාවිතා කරන්නේ 'ඔබේ දරුවා පංතිකාමරයේ වීරයෙක් කරන්න' පුවත්පත මිලදී ගන්න කියායි. එවැනි පාඨ මීට දශක තුනකට පෙර එඩ්මන් රණසිංහයන් මෙරට පුවත්පත් කලාවට එකතු කළ ඒවායි. දිවයින පුවත්පත ජනතාව අතරට ගෙනයාම සඳහා විශේෂ වැඩ කොටසක් රණසිංහයන් විසින් සිදු කළ බව මෙහිදී සඳහන් කරන්න කැමතියි. අද මේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින දැවැන්තයන් බොහොමයක් එතුමන්ගේ සෙවණේ වැඩුණු අය වීම විශේෂත්වයක් බව කිව යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිදහස් පුවත්පත් කලාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. සාපරාධි අපරාධ නීතිය ඉවත් කළා. නමුත් අද වන විට පත්තර කලාව අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. මේ සඳහා යම් කිසි සහනයක් සැලසිය හැකි නම් එය වටිනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්. සී. දොළවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231003 WA0033

IMG 20231003 WA0034

නාමල්ගේ විදුලි බිල සනත් ගෙවලා !

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ විවාහ මංගල්‍ය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලි වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26 කට අධික හිඟව තිබූ මුදල තමන් අද (02) ගෙවූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට අදාළ මුදල ගෙවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

මෙම මුදල ගෙවා සිටියේ තම පෞද්ගලික මුදලින් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ගෙවනු ලැබූ මුදල රුපියල් 2,682,246.57 කි.

සමාජ මාධ්‍ය නියාමනය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය.

එම පනත හරහා;

  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම
  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම
  • තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලසීම
  • සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩ පැවැත්වීම
  • ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සිදුවනු ඇත.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට දිනයේදී සිදු කිරීමට නියමිත ය.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවීය.

‘සංගාට‘ ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති පුටුව හිමි වෙයි

එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබේ.

කුමාර් සංගක්කාර 2021 වසරේ එම ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමීස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වේ.

මෙම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියාකරන අතර ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.

ප්‍රමාදය නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කෝටි 195 ක පාඩුවක්!

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (2) පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන් වෙත මෙම ගුවන් ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ඔහු කීවේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවද වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිගේ කතාව සැර වැඩිද ?

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ දී කරපු කතාව සැර වැඩි නැද්ද?

මේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු පසුගිය දිනවල ඇසූ ප්‍රශ්නයක් ය.

ඒ ප්‍රශ්නය සාධාරණය. මන්ද ජර්මනියේ බර්ලින් තාප්පය බිඳ දැමීමට පසුව, ලෝක බලවතුන්ගේ “එදිරිවාදිකම් තාප්පයට”එච්චර සැර කුළුගෙඩි පහරක් වැදුණාමද කොහෙදය.

වැඩේ හොඳටම බරපතළ වුණේ, 2023 බර්ලින් ගෝලීය සංවාදයේ මූලිකයා බවට පත්වෙමින් ආරම්භක දේශනය ලබා දී තිබුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහට වූ නිසාය. සැබවින්ම ඔහුට මේ අවස්ථාව හිමි වන්නේ, මෑත යුගයේ දරුණුම ආර්ථික කඩා වැටීමකට ලක්වෙමින්, “ණය – මූල්‍ය අර්බුදයේ නූතන ජාතික රාජ්‍ය කඩාවැටීමකට අදාළ ගෝලීය ආදර්ශයක් වූ ශ්‍රී ලංකාව, ලෝකයම විමතියට පත්කරමින් වසරක් වැනි කාලයක් තුළ දෙපයින් සිටවූ රාජ්‍ය නායකයා වූ නිසාම පමණක් නොවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ තැන ලැබෙන්නේ දේශපාලන නායකයකු, රාජ්‍ය පාලකයකුගේ සාමාන්‍ය භුමිකාවෙන් ඔබ්බට ගිය, ගෝලීය අර්බුද පිළිබඳ සිදු කළ තක්සේරු, පුරෝකථන, අදහස් සහ විසඳුම් යෝජනා නිසාය. එකී අන්තර්ගතයේ වූ ප්‍රශස්ත බව නිසාය.

විශේෂයෙන් සමස්ත මානව සංහතියේම ඉරණම තීන්දු වීමට බලපාන දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් ලෝක දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. දේශගුණික විපර්යාස වෙනුවෙන් දැඩිව බලපෑමක් කරන කාබන් විමෝචනය අධිකව සිදු කරන රටවලට මෙන්ම මේ වන විටත් වැඩිම කාබන් විමෝචනයක් සිදු කරන රටවලට යළි තම වැඩපිළිවෙළ ගැන හැරී බැලීමට සිදුව ඇත.

බලවතුන් එක්ව ක්‍රියා නොකිරීම

එසේම ගෝලීය දකුණේ රටවල පොදු අර්බුදය, පොදු ඉරණම, පොදු අභාවාචී අත්දැකීම ඉතිහාසයේ පෙර කිසිම රාජ්‍ය නායකයකු ලෝක දේශපාලන වේදිකාවේ ඉස්මතු නොකළ ආකාරයට පෙරට ගැනීමටද පසුගිය සමය පුරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

සැබැවින්ම බර්ලින් ගෝලීය සමුළුවේ 2023 ආරම්භක දේශනය සිදු කරමින් මුල් තැන ලබන්නට මේ කාරණා දෙකත් හොඳටම ප්‍රමාණවත්ය.

ලෝක බලවතුන් ගෝලීය අර්බුද වෙනුවෙන් එක්සත්ව ක්‍රියා නොකිරීමත් ලෝක බලවතුන් යන වැරදි මාවත් ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කළේය. බලවතුන්ගේ පීඩනය ලබන රටවල් ගැනද සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි රටක් ඒ හමුවේ කොපමණ තෙම්පරාදු වී ඇතිද යන වගත් පැවසීය. බලවතුන් යන වැරදි මාවත්වල පසුපසින් ඒමට සූදානම් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක බලවතුන්ගේ ඇතැම් ප්‍රවේශ සහ ක්‍රමවේද නූතන අභියෝගවලට මුහුණ දීමට තරම් යාවත්කාලීන නොවීමත්, ඊට වන්දි ගෙවමින් ලෝකය අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන ආකාරයත් පෙන්වා දුන්නේ ය. එපමණක් නොව ලෝකයේ බලවත් රාජ්‍යයන් සමඟ සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු රටවලට එකට සිට කතා කිරීමට වේදිකාවක් හෝ නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඒ හමුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දුෂ්කරතාව මෙන්ම, ඊටත් වඩා අර්බුදයට ලක්වූ රටවල අත්දැකීම්වල පොදු බවද ඔහු ගෙනහැර දැක්වීය.

මේ ගෝලීය අවනඩුව ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බර්ලින් ගෝලීය සමුළුවේ සිට ලෝක බලවතුන් වූ අ‍ෙමරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාවට අවධාරණය කර සිටියේ ඔවුන් එක වේදිකාවක සිට, ගෝලීය අර්බුද සඳහා පිළියම් යෙදිය යුතු බවය. නැත්නම් ගෝලීයව දකුණට විකල්ප සෙවීමට සිදු විය හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

තවද 2024 ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම අ‍ෙමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ද අවධාරණය කෙරිණ.

එපමණක් නොව , “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවද පෙන්වා දුන්නේය.

මෙරට රාජ්‍ය නායකයකු ගෝලීය සමුළුවක, මේ ආකාරයට ගෝලීය බලවතුන් ඉලක්ක කර ඍජු ආමන්ත්‍රණ සිදු කරනවා අප අසා නැති තරම් ය.

අනෙක් අතට අප වැනි දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී යන්තමින් හිස ඔසවන රටක නායකයකුට ලෝක බලවතුන් මේ ආකාරයට ආමන්ත්‍රණය කිරීමට තරම් ධෛර්යයක් ඇතැයි සිතීමද දුෂ්කරය. නමුත් ඒ ධෛර්යය බිඳුවකුඳු අඩුවක් නැතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව ඇත. ඊට අදාළව ඔහු සතුව ඇති එකම අවිය නම්,“තම ස්ථාවරය නිවැරදිය” යන්න පමණය.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අවස්ථාවේ මෙන්ම ඊට සමගාමීව පැවැත්වුණු සංවාද සාකච්ඡාවලදී ද, ඊට පෙර සහභාගි වූ ජාත්‍යන්තර සමුළු, සාකච්ඡා සභා සහ රාජතාන්ත්‍රික හමුවලදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයටම ගෝලීය ප්‍රජාව නියෝජනය කරන එක් එක් ජාතික රාජ්‍ය, තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අතරේ, මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් පොදු ගෝලීය න්‍යාය පත්‍රයකට වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව බර්ලින් ගෝලීය සමුළුවේ සිදු කළ ප්‍රකාශය තේරුම් ගත යුතු වන්නේ එය ආරම්භක ප්‍රවේශයේ දිගුවක් ලෙස මිස අනෙකක් ලෙස නොවේය.

සැබවින්ම වත්මන් ගෝලීය සැකැස්ම අනුව, තනි රටක දේශසීමා තුළ සියල්ල කළමනාකරණය වන්නේ නැත. එනම්, ජාතික රාජ්‍යයේ දේශපාලන බලය පවා එහි දේශසීමාවලින් පිට කළමනාකරණය වන තැනට තත්ත්වයන් වෙනස් වී ඇති බවය. එසේ වූවා කියා ජාතික රාජ්‍යය අතාර්කික වීමක් හෝ අහෝසි වීමක් ද මෙයින් අදහස් වන්නේ නැත. මෙහිදී එක් එක් ජාතික රාජ්‍යයේ මෙන්ම, පොදුවේ ගෝලීය ප්‍රජාවේ පැවැත්මේ පොදු ආරක්ෂිත මූලධර්මය නම්, “එකා සැමටත් – සැම එකාටත්” පන්නයට සම්බන්ධ වීම සහ ක්‍රියාත්මක වීමය. එනම් කිසිවෙකුට තනිව පැවැත්මක් නැති අතර, තනි පැවැත්මක් වෙනුවෙන් අනෙකා නොතකා කටයුතු කිරීමටත් ඉඩක් නැත.

රටේ වගකීම බාර ගැනීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දේශපාලනයට සිය මැදිහත් වීම සිදු කරන්නේ ද අන්න ඒ කියන මූලධර්ම හැසිරීම අවධාරණය කරමින් ය. ඔහු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ක්‍රියාත්මක වූයේද අන්න ඒ කියන මූලධර්මය අනුව යමින් ය.

එදා රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව සිදු කළේ රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමය. එහිදී නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කර තිබූ බැවින්, පියවරක් හෝ ඉදිරියට යාමට නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 16 වතාවක් ගිවිසුම්ගතව එය උල්ලංඝනය කළ රටක් ලෙස ලංකාවට සහය දීමට ඒ මොහොතේ IMF ඉදිරිපත් වෙයිද කියන සැකය පවා තිබිණ. නමුත් දුෂ්කර ප්‍රයත්නයක් අවසානයේ IMF සමඟ එකඟතාව ලබාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් විය.

එදා එතැනින් ඇරඹි සාර්ථකත්වය පසුගියදා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශනයක් හරහා එළියට පැමිණ ඇත්තේ , Ò බංකොලොත් සහ ආර්ථික වර්ධනය වෙනුවට අවවර්ධනය දෙසට හැරී තිබූ ශ්‍රී ලංකාව නැවත හැරවීමට රජය සමත්ව ඇති බවÓ සඳහන් කරමින්ය.

එසේම ලබන වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 1.3 % ක් වනු ඇති බවටත් ආසියානු සංවර්ධන බැංකුව සිය වාර්තාවේ පුරෝකථනය කර ඇත. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ එය 1.5 % ක වර්ධනයක් විය හැකි බවය. මේ ආකාරයට ජාත්‍යන්තරයට විශ්වාසය ගොඩනැඟී ඇත්තේ, 2022දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය -7.8% ක් වූ සහ මේ වන විට – 3.0ක් ලෙස පවතින පසුබිමකය.

ඒ කියන්නේ ආර්ථික අර්බුදයේ බරපතළම සමය සාර්ථක ලෙස අවසන් කර නිවැරදි පීල්ලට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්ව ඇති බව නොවේද? එදා 70% තිබූ උද්ධමනය මේ වන විට 1.3 % කට ගෙනා රහස ඇත්තේ ද එතැනය. සැබවින්ම දැන් ඇත්තේ , රාජ්‍ය ආදායම් තවත් ඉහළ දමා ගැනීමට කටයුතු කිරීම ය. එම කටයුත්ත කඩිනමින් සිදු කරන්නට ඇති අවස්ථා වන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම සහ විදෙස් ආයෝජන හරහා ය. මේ වන විට IMF දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 330 ගැනීමට වන සාකච්ඡාව සිදු වෙමින් ඇත්තේ ද ඒ ගැනය.

පැරණි වැරදි

තම ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරන බවත් දැනට ඇති ගිවිසුම තමන් පිළිනොගන්නා බවත් පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පල් පාට් දමන්නේ එහෙම පසුබිමකය.

මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය විමසීමකදී IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගිවිසුමේ කරුණු කාරණා සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදු විය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බවය.

ශ්‍රී ලංකාව කියන්නේ දැනටමත් 16 වතාවක් IMF සමඟ වැඩසටහන් සඳහා ඇතුළත්ව ඒ 16 වතාවේම පොලු තැබූ රටක් ය. සජිත් කියන්නේ 17වන වතාවටත් පොලු තැබීම තමන්ගේ සූදානම කියාය. ඒ කියන්නේ 16 වතාවක් IMF වෙත පොලු තබා අමාරුවේ වැටුණු ලංකාව ආයෙත් අමාරුවේ දැමීමට වැඩි දෙයක් සජිත් නොදන්නා බවය. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් ලෝකයටම සිහිපත් කරන, ජාතික රාජ්‍ය මෙන්ම ගෝලීය ප්‍රජාවේම පැවැත්ම අරබයා තීරණාත්මක මූලධර්මය සජිත් නොදැන කඩකරන බවය.

2019 ආණ්ඩු පෙරළිය අවස්ථාවේ, ගෝඨාභය රාජපක්ෂ පාලනයද සිය ආර්ථික ප්‍රතිපත්තිය ලෙස පළමුව සිදු කළේ පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමෙන් ඉවත් වීමය. ඊට කිව්වේ දේශප්‍රේමී ආර්ථිකය කියාය. මේ තවමත් භුක්ති විඳින්නේ එහි අස්වැන්න ය. සජිත්ගේ මූලධර්මයත් එයම නොවේද?

එසේ නම්, දැන් ප්‍රශ්නය වන්නේ ජනතාව පිළිගන්නේ කාගේ මූලධර්මය ද යන්නය. ජනතාව තෝරාගන්නා මූලධර්මය මත ජනතාවගේ ඉරණම තීරණය වනු ඇත.

එස්. එම්. ලියනගේ
(2023-10-02 දිනමිණ )

හැඩකර වැඩ දැමූ බස් 58කට දැඩි අවවාද !

විවිධ වර්ණ, නීති විරෝධී බාහිර උපාංග සවිකර අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීම සමග රටේම අවධානය යොමුවූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර අද (02) මුදාහැර ඇති බව වාර්තා වෙයි.

පොලිස් රථවාහන කොට්ඨාශය මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුව වන අතර එහිදී අදාළ බස් රථ සහ ඒවායේ හිමිකරුවන් පිටකොටුව ප්‍රදේශයට කැඳවා තිබිණ.

එහිදී බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත්කිරීමට රථවාහන පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් සහ රියදුරන් වෙත අවවාද කර ඇත.

පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ බස් රථද මේ අතර වූ බවත් වාර්තා වෙයි.

මෙහිදී ඇතැම් බස් රථවල ඇතුළත සමාජ ශාලා ලෙස සකස් කර තිබූ අයුරු දැකගත හැකිවූ අතර ඇතැම් බස්රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබී ඇත.

මේ අතර පොලිස් රථවාහන කොට්ඨාශය පවසන්නේ නීති විරෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් : ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් අද (02) දහවල් 12.30 සිට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබේ.

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි සදහන් වේ.

එමනිසා දකුණු පළාත සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇත.

කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදියෙන් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ පුටුපාවුල ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ කලවල්ලෑව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙන්ම පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් ද වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 641 කට අයත් පුද්ගලයින් 2674 දෙනෙකු ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි පැවසිය.

මීට අමතරව, අකුරැස්ස, තිහගොඩ, මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටව ඇතැයි වාර්තාවේ.

හදිසි ඖෂධ මිල දී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (ඔක්. 2) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Page 127 of 440