ප්‍රභූ පෙළැන්තියෙන් බැහැරව රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනයට පිවිස පාලන බලය ලබා දීමට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (07) ගාල්ලේ පැවති ජන හමුවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
රට කරන්න දන්නෙ නැතිනම් සීයගෙන් අහන්න
‘‘රණසිංහ ප්‍රේමදාස, ඩී.බී විජේතුංග යන නායකයන් සාමාන්‍ය තැන්වලින් ඇවිත් ජනපති ධුරය දක්වා පැමිණියා. එවැනි පුද්ගලයෙක් ජනපති වීම ගැන අපි ආඩම්බර වෙනවා. රටේ ආර්ථිකය හැසිරවීමේ වැඩ කටයුත්ත දන්නවා නම් හරියට කරන්න. දන්නේ නැතිනම් ‘‘සීයගෙන්’’ අහන්න. රට වැටුණු අවස්ථාවෙ මාත් එක්ක එකතු වෙලා අර්බුදයට මුහුණ දීලා රට ගොඩගත් කණ්ඩායම අද ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. වසර දෙකක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට උදව් කරපු මේ අයට විශේෂ පළපුරුද්දක් තිබෙනවා.
එදා ණයෙන් ගිලුණු රට දැන් කෙසේ හෝ ගොඩගෙන තිබෙනවා. රට මුහුණ දී තිබූ ප්‍රශ්නවලින් තවම සම්පූර්ණයෙන්ම මිදිල නැහැ. ඒ නිසා පළපුරුදු කණ්ඩායමක් අවශ්‍යයි. ජනාධිපති ඇතුළු මාලිමාවේ උදවිය ආණ්ඩුවේ ඉන්නවා කියල පේන්න තවම හැසිරෙන්නේ නැහැ. බලය ගත්තට පස්සේ කරන වැඩපිළිවෙළක් ගැන කියන්නෙත් නැහැ; හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ. ඒ මදිවට දැන් වෛරය පතුරවමින් වටේ යනවා.
76 වසරක් කරපු දේවල්
වසර හැත්තෑ හයක් තිස්සේ මුකුත් කරේ නැහැ; රට නැති කරා කියමින් වෛරය පතුරවනවා. ඒ නිසා මාලිමාවේ මිත්‍රයන්ට මෙන්ම සෙසු අයට දැනගැනීම සඳහා කරුණු කිහිපයක් මතක් කරන්න කැමතියි.
- 1948 වසරේ රජයේ පාසල් 3188යි. 2024 එම පාසල් ප්‍රමාණය 10146යි. 1948 පාසල් යන අනුපාතය සියයට 65යි. දැන් එය ජනගහනයෙන් සියයට 92.43යි. එය දකුණු ආසියාවේ හොඳ ම තත්ත්වයක්. මෙය රට නැති කිරීමක්ද? මේ සියලුම දෙනා ඉගෙන ගත්තේ අප නිදහස් අධ්‍යාපනය ගෙනා නිසයි.
- 1948 පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව මිලියන 1.3යි. අද මිලියන හතරයි. නිදහස ගනිද්දි රජයේ විශ්වවිද්‍යාල එකක් තිබූ අතර අද වනවිට 17ක් තිබෙනවා. එදා අධ්‍යාපන විද්‍යා පීඨ නොතිබූ අතර අද 19 ක් තිබෙනවා.
- 1948 වසරේ විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව සිසුන් බඳවා ගැනීම දහසයි. අද 45000යි.
- ආයු අපේක්ෂාව එදා අවුරුදු හතළිහයි. අද අවුරුදු 77යි. එදා රජයේ රෝහල් 183යි. අද 1093යි. එදා රජයේ වෛද්‍යවරුන් 1862ක් සිටි අතර අද 23000ක් සිටිනවා.
- දළ දේශීය නිෂ්පාදනය එදා ඩොලර් මිලියන 843 ක් වූ අතර අද ඩොලර් මිලියන 84000ක් වෙනවා.
- එදා අපනයනය ඩොලර් මිලියන 470 ක් වූ අතර අද ඩොලර් මිලියන 16800 ක් වෙනවා. සංචාරක පැමිණීම එදා අටදහසයි. අද මිලියන දෙකහමාරයි.
- එදා කෘෂිකර්මය සඳහා ජලය සම්පාදනය කරන වැව්වල භූමි ප්‍රමාණය අක්කර අට ලක්ෂ 65000යි. ඒ සියල්ල අතීතයේ තිබූ වැව්. අද අලුත් ජලාශ ව්‍යාපාර ඇති කළ පසු එහි අගය මිලියන 1.9යි. රජ කාලේ ඉදිකළ වැව් ජලාශවලට වඩා වැඩි ප්‍රමාණයක් අප මේ සමයේ ඉදි කර තිබෙනවා. අවුරුදු දහසකින් කළ දේට වඩා අප අවුරුදු 76කින් කර තිබෙනවා.
- එදා වරාය 4 යි. අද 7 ක් තිබෙනවා.
- එදා විදුලි බල ධාරිතාව මෙගාවොට් 25යි. අද මෙගාවොට් 5182යි.
- එදා දුරකතන ග්රාහකයන් 8570යි. අද මිලියන 3.5යි. ජංගම දුරකතන මිලියන 29යි.
- ස්ථාවර අන්තර්ජාල පරිශීලකයන් මිලියන 2.7යි. 3ජී, 4ජී ජංගම දුරකථන මිලියන 23යි.
මේ ගැන මාලිමාවේ උදවිය කියන්නේ මොකක් ද? ඉතින් ඇයි මේ වෛරය පතුරවගෙන යන්නේ?
හැමදාම ප්‍රභූ පන්තිය ගැන කතා කරනවා. මම එකක් කියන්න කැමතියි. අප කිසිවෙකුත් මෙය ප්‍රභූ පන්තියට සීමා කර නැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති කරන්නට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයයි. එතුමා ප්රභූවරයෙක් ද? අනතුරුව ඩී.බී විජේතුංග මැතිතුමා ජනාධිපති ධූරයට පත් කරන්නට කටයුතු කළා. එතුමා ජීවිතය ආරම්භ කළේ පොලිස් කොස්තාපල්වරයෙක් විදියට.
මේ රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනයට ඇතුළු වී ඉදිරියට එන්න ක්‍රමවේද අප ඇති කර තිබෙනවා. තවත් එවැනි පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීම ගැන අප ආඩම්බර වෙනවා. මේ තත්ත්වය ආරම්භ කරේ අපි. අප ප්‍රභූ පංතියක් ඇතිකර නැහැ. සියලුම දෙනාට නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට එන්න අවස්ථාව තිබෙනවා.
ජවිපෙ මාක්වාදි පොත් පත් කියවිය යුතුයි
ජනතා විමුක්ති පෙරමුණ යනු සමාජවාදී මාක්ස්වාදී පක්ෂයක්. මේ අයට මාක්ස්වාදය ගැන ලියැවුණු ජාත්‍යන්තර පොතපත කියවන ලෙස මා ආරාධනා කරනවා. හිටපු අගමැතිතුමාගෙන් ඒ ගැන අහන්න. මාක්ස්වාදය ලංකාවට රැගෙන ආවේ එතුමාගේ පියා. අපිට ඇවිත් මේවා කියන්න එපා. අපි නොදන්නවා නෙවෙයිනේ.
මේ පාර්ලිමේන්තු ඡන්දයේ වැදගත්ම අංශය ආර්ථිකයයි. මූල්‍ය අරමුදල හා සම්බන්ධ ගිවිසුම් ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි මේ අය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. නැතිනම් ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම නැතිකර ගමනවාද කියා කියන්න. අයි.එම්.එෆ් සංවිධානය සමග දෙවරක් සාකච්ඡා කළා .නොවැම්බර් වන විට තුන්වැනි වාරිකය ලබාගත හැකි බව රූපවාහිනී වැඩසටහනකදී ජනපති පැවසුවා. දැන් තුන්වෙනි වාරිකය ගැන සාකච්ඡා කරන්නෙත් නොවැම්බර් මාසයේ. එකඟ වුණොත් මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල ලබාගන්න පුළුවන්. එකඟ වෙන්නේ නැතිනම් කරන්නේ කුමක්ද? ඒ නිසා තමන් ගත් ස්ථාවරය කුමක්ද කියා රටට ප්‍රකාශ කළ යුතුයි.
එක තැනකින් බදු අඩු කරොත් තව තැනකින් පනවන්න වෙනවා...
අපගේ ප්‍රාථමික අයවැයේ අතිරික්තය 2025-2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3ක් විය යුතුයි. ඒ කියන්නේ වියදම්වලට වඩා ආදායම් 2.3කින් වැඩි විය යුතුයි. අද තිබෙන්නේ 0.6යි. 2025 වර්ෂයේදී කොතෙක් දුරට අතිරික්තය දියුණු කරනවාදැයි කිව යුතුයි. මූල්‍ය අරමුදල ඒ කාරණය අසාවි. මේ කාරණය රටට ප්‍රකාශ කරන්න.
එමෙන්ම 2027 වන විට අප රටේ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කිරීමට අප එකඟ වී තිබෙනවා. මේ වන විට අප සිටින්නේ සියයට 11-12ක මට්ටමේ. මෙම අගය අප ක්‍රමයෙන් වැඩි කර කර කරගන්නේ කෙසේද?
වැට් මෙන්ම උපයන විට බද්ද වෙනස් කරන්නට තිබෙන්නේ මෙම සියයට 15 ඇතුළෙ. එක තැනකින් බදු අඩු කරොත් තව තැනකින් පනවන්න වෙනවා. මෙයින් බේරෙන්න බැහැ.
මගේ සාක්කුවට සල්ලි දැම්මොත් තව කෙනෙක්ගේ සාක්කුවෙන් අරගන්න වෙනවා. මේ කාරණය දැනගෙන එක බද්දක් පැනෙව්වෙ ඒ නිසයි. උපයන විට බද්ධ ලක්ෂ දෙකක සීමාවට ගැනීමේ දී අහිමිවන මුදල් උපයා ගන්නේ කොහොමද? හුස්ම ගන්න විට බදු පනවනවද? වැසිකිළියට යන විට බදු පනවනවා ද?
නරක ශබ්දයක්
පරදින බව දැනගෙන අප රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ බවට අනුර ජනාධිපතිවරයා රූපවාහිනී වැඩසටහනකදී පැවසුවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරන බවත් මාර්තුවේ සිට යම් සහනයක් ලැබෙනු ඇති බවත් අනුර එහිදී පවසනවා. ඒක නම් හොඳ සද්දයක් නෙමෙයි නේද? අප තීරණය කරේ ජනවාරියේ සිට වැටුප් වැඩි වීම ලබා දෙන්නටයි. ජනාධිපති නිසා ටිකක් කැබිනට් පත්‍රිකා කියවන්නැයි මා ජනපතිට කියනවා.
පහල තලයේ අයට වැඩි වැටුප් වැඩි වීමකුත්, ඉහළ තලයේ අයට අඩු වැටුප් වැඩි වීමකුත් ලබාදෙන බවත් අප කියා නැහැ. මේ හොරකම මොකක්දැයි මා ජනාධිපතිවරයාගෙන් අහනවා. ජනවාරියේ සිට ගෙවිය යුතු වැටුප් වැඩිවීම මාර්තුවේ සිට ගෙවනවා යැයි කියන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නේ ඇයි? රජයේ සේවකයන් වැඩ කරේ මාලිමාව වෙනුවෙන්. ඔවුන් තැබූ විශ්වාසය අමතක කර තිබෙනවා. ඒ අයගේ වෘත්තීය සමිති කෝ!
ජීපීඑස් මාර්ගයෙන් ආසන සොයන අපේක්ෂක අපේක්ෂිකාවෝ
අප ආර්ථිකයේ දියුණුවක් ඇතිකර තිබෙනවා. 2024 වසරේ දී සියයට තුනක ආර්ථිකයක් ලබාගන්නා බව මූල්‍ය අරමුදල පැවසුවත් අප 4.4ක වර්ධනයක් ලබා ගත්තා. එන වසරේදී සියයට පහක වර්ධනයකට යන්න පුළුවන්. දන්නවා නම් මේ වැඩ කටයුත්ත කරන්න. දන්නේ නැතිනම් සීයගෙන් අහන්න.
මිනිස්සුන්ට හිමි මුදල් නොදී ඉන්න එපා. අනෙක් සහන ලබාදෙන්න රුපියල ශක්තිමත් කරන්න.
අපි පාර්ලිමේන්තුවට යවන්න හදන්නේ මෙවැනි අත්දැකීමක් නැති පිරිසක්ද? ආසන හොයා ගන්නේ ජීපීඑස් තාක්ෂණයෙන්. මිනිස්සු හොයන්නේ ඡන්ද ලැයිස්තුවෙන්. මේක මහ විහිළුවක්. අනෙක් හැම ලැයිස්තුවක ම තිබෙන්නේ ප්‍රදේශයේ දන්න අයගේ නම්. මාලිමාවේ ඉන්න අය කවුද? ගම දන්නෙත් නෑ. ආණ්ඩුව දන්නෙත් නෑ. පාර්ලිමේන්තුව දන්නෙත් නෑ.මේක විශාල අර්බුදයක්. මේ පාර්ලිමේන්තුවට පළපුරුද්ද ඇති අය එවන්නැයි අප කියන්නේ ඒකයි.’’