ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.
පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙසේ ද පැවසීය,
අපි දැනට IMF වැඩසටහනේ දෙවන වාරිකය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී ඔවුන් අපට ලබා දී තිබූ ඉලක්කවලට අදාළ ඇගයීම් පිළිබඳව අවධානය යොමු කෙරුණා.
රාජ්‍ය ආදායම් උත්පාදනයට අදාළව කරුණු කිහිපයක ප්‍රමාදයන් තිබුණත් අපි රජයක් විදිහට ඒ සඳහා වෙහෙසුණා. ඒ වගේම අපි විවිධ ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබෙනවා. එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි නායකත්වය ද ලබා දී තිබෙනවා.
මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීම හැකියාවක් තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි.
අද දිනය වන විට සිදු කෙරෙන පුරෝකථනයන්ට අනුව 2024 වසරේ දී 1.8%ක හෝ 1.9%ක ධන ආර්ථික වේගයක් සඳහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිමය ආර්ථික වැඩපිළිවෙළ තුළ පාරිභෝගිකයාට දරාගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබාදීම ප්‍රධාන අරමුණක් වුණා.
ඒ අනුව මීට පෙර 94% ක් ලෙස පැවති ආහාර උද්ධමනය -5.1%ක් දක්වා අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙරට පැවති උද්ධමනය මෙන්ම ආහාර උද්ධමනය මෙතරම් කඩිනමින් පහතට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඇතැමුන් විශ්වාස කළේ නැහැ. මෙරට ආර්ථිකය පසුගිය වසරට වඩා මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ රජය විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිවල නිවැරදි භාවය නිසයි.
එමෙන්ම 30% ත් 32%ක් දක්වා ඉහළ ගිය බැංකු පොලී අනුපාතිකය 15%-16%ක් දක්වා අඩුවීම නිසා මෙරට ව්‍යවසායකයන් සහ වෙළෙඳුන් මත තිබූ විශාල පීඩනයක් දැන් ඉවත් වී තිබෙනවා. ඒ හරහා මේ රටේ ආර්ථිකය නැවතත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා.
ඒ වගේම පැවති ආර්ථික අර්බුදයත් සමඟ අපට තිබු විශාලම ප්‍රශ්නය තමයි විවිධ ආනයනික භාණ්ඩ තහනම් කිරීම. එමගින් අපට අන්තර් ජාතික වෙළදාමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවුණා. ඇතැම් ආනයන සීමා කිරීම නිසා දේශීය නිෂ්පාදකයාට ද විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දීමට සිදු වුණා.
අපි නිෂ්පාදනය කරන්නේ ජාතික පරිභෝජනයට පමණක් නෙවෙයි, අපනයනය ද ඉලක්ක කරගනිමින්. නමුත් ඇතැම් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කළ නොහැකි වූ විට නිෂ්පාදන කටයුතු අඩපණ වෙනවා. එය ජාතික නිෂ්පාදනයට මෙන්ම අපනයන ආදායම පහත වැටීමට ද බලපානවා.
ඒ වගේම කුමන ආකාරයේ ආනයනයන් සඳහා අප ඉඩ දිය යුතු ද යන්න පිළිබදව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ගැඹුරින් අවධානය යොමු කළා. ඊට අනුව දැනට අප වාහන ආනයනය හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනය සහ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම පිළිබඳව ද තීන්දු කර තිබෙනවා.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ ද සූදානමක් පවතිනවා. එහිදී කුමන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේ ද යන්න පිළිබදව ද අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳ පළ සමතුලිතතාවයෙන් ගිලිහුණු අවස්ථාවේ සමාගම් විශාල වශයෙන් ලාබ ලබාගැනීමට කටයුතු කලා. එහිදී ජනතාව පීඩාවට පත් වුණා. එනිසා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයටයි.