Ad

Ad 01

V2025

පුවත්

මාතරට ගංවතුර අවදානමක් : මාතර සියළු පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමේ

නිල්වලා ගඟ ආශ්‍රිතව ඇති විය හැකි විශාල මට්ටමේ ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.

මාතර , මාලිම්බඩ , කඹුරුපිටිය , තිහගොඩ , අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිලිබද විමිසිලිමත් විය යුතු බවත්, තවදුරටත් වැසි ඇඳ හැළුණහොත් නිල්වලා ගංගාවේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරු යෑමේ අවධානම එලෙසම පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර ප්‍රකාශ කළේ ය.

මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙමින් පවතින බව වාර්තා වෙයි.

අලුයම 3 න් අවසන්වු ගෙවුණු පැය 18 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ ද මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් ය.

එම අගය මිලිමීටර් 116 කි.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ වර්ෂාධික කාලගුණය හමුවේ පුද්ගලයින් 6000 කට අධික පිරිසක් ගංවතුරට කොටුවී ඇතැයි, දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සඳහන් කළේ ය.

පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස දහසකට අධිකයි.

කළු සහ ගිං ගංගා මෙන්ම අත්තනගළුඔයේ ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පවතින සුළු ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යමින් ඇති බවයි.

අත්තනගළුඔය , දූනමලේ ප්‍රදේශයෙන් පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි ද අද අලුයම වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් ය.

කළු ගගේ ජල මට්ටම පුටුපාවුල සහ මඟුර ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම ඉක්මවා යමින් ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වලට අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතර සියළු පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමේ

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.

එහිදී මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල්වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.

2023 නොබෙල් සාම ත්‍යාගය සිරගත නාර්ගේස් මොහොමඩිට......

මෙවර 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා සිරගතව සිටින ඉරාන ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි වෙත ලබාදෙන බව නිවේදනය කෙරේ.

” ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි ඇයගේ සටන සහ මානව හිමිකම් නිදහස ප්‍රවර්ධනය කිරීම“ සඳහා ඇයගේ නම තෝරා ගත් බව කමිටුව ප්‍රකාශ කරයි.

ඔස්ලෝහිදී ත්‍යාගය ප්‍රකාශයට පත් කළ නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රීස්-ඇන්ඩර්සන් පැවසුවේ “ඇය ක්‍රමානුකූලව වෙනස් කොට සැලකීමට සහ පීඩනයට එරෙහිව කාන්තාවන් වෙනුවෙන් සටන් කරයි.“ යනුවෙනි.

වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, නෝර්වීජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රීස්-ඇන්ඩර්සන්, නාර්ගේස් මොහොමඩි සිරගතව සිටින නිසා ත්‍යාගය පිළිගැනීමට නියමිත දෙසැම්බර් මාසයේදී කුමක් සිදුවේද යන්න පැහැදිලි කළේය.

ඇන්ඩර්සන්,පැවසුවේ “ඉරාන බලධාරීන් නිවැරදි තීරණයක් ගතහොත් ඔවුන් ඇයව සිරෙන් නිදහස් කරන” බැවින් ඇයට උත්සවයට සහභාගී විය හැකි බවයි.

නාර්ගේස් මොහොමඩි යනු ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ක්‍රියාකාරිනියකි.

මොහොමඩි පසුගිය දශක දෙකේ වැඩි කාලයක් සිරකාරියකි. මරණීය දණ්ඩනයට සහ හුදකලා සිරගත කිරීම්වලට එරෙහිව ඇයගේ නොනවතින උද්ඝෝෂණය හේතුවෙන් ඇය නැවත නැවතත් දණ්ඩනයට ලක්ව ඇත.

ජාතික ආරක්ෂාවට එරෙහි ක්‍රියාමාර්ග සහ රාජ්‍යයට එරෙහි ප්‍රචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහොමඩි මේ වන විට වසර 10 යි මාස 9 ක සිර දඬුවමක් විඳිමින් සිටී.

ඇයට කස පහර 154 ක් ද, දඬුවම් ලබාදී ඇති අතර, සංචාර සහ වෙනත් තහනම් කිරීම් ද නියම කරන ලදී.

ලෝකයේ ඉතා ඉහළ පිලිගැනීමක් ඇති නොබෙල් සාම ත්‍යාගය මෙවර 104 වැනි වරට ප්‍රදානය කිරීමට නියමිතය.

ලියුමක් නිසා හර්ෂගේ වරප්‍රසාද කඩවෙලා !

ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් විසින් 2023 ඔක්තෝබර් 04 දිනැතිව යොමු කර ඇති ලිපිය මගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් තමාගේ සහ කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගෙන පාර්ලිමේන්තුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කරන ලෙසත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

මෙහිදී ඊට අදාළ මාධ්‍ය වාර්තාද සභාගත කළ මන්ත්‍රීවරයා අදාළ ක්‍රියාව පැහැදිලිවම කාරක සභාවක් ඉදිරියෙහි පවත්නා කරුණකට විශාල බලපෑම් කිරීමක් බවද සඳහන් කළේය.

මීට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

ගරු කථානායක තුමනි, “2023 ඔක්තෝබර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තුවේ අනුමත විය යුතු 2023 ජුනි 16 දිනැති අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධව හදිසි අවධානය යොමු කිරීම”යන ශීර්ෂය යටතේ ඔබතුමාට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ට පිටපත් කරමින්, පාර්ලිමේන්තු මහ ලේකම් වෙත ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්, ගයනි ජයරත්න යන අය විසින් 2023 ඔක්තෝබර් 04 දිනැතිවයොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කරමි.

මෙම ලිපියේ 3 වැනි ‍ඡේදය උපුටා දක්වනු කැමැත්තෙමි.

“එම අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවත්, යම් හේතූන් මත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ගත් තීරණයක් මත එම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු වී නොමැති බව අපට දැන ගැනීමට ලැබී ඇත.”

ගරු කථානායකතුමනි,

මෙම අංක 2336/69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2023.06.16 දින නිකුත් කර ඇතත්, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර, කාරක සභාව වෙත යොමු කර ඇත්තේ 2023 ඔක්තෝබර් මස 03 දිනදීය. 2023 ඔක්තෝබර් 04 දිනැති ලිපියෙන් මෙලෙස චෝදනා කරනු ලබන්නේ එක් දිනකට පෙර කාරක සභාව වෙත යොමු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් වන අතර මේ සම්බන්ධව කාරක සභාව විසින් විශ්ලේෂණාත්මකව සලකා බැලීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි.

තවද මෙම ලිපියේ 6වන ජේදයේ දක්වා ඇති 2336/63 දරන ගැසට් පත්‍රය, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදන ඇතුළත් ගැසට් පත්‍රයක් වන අතර එය කිසිසේත්ම මෙම කාරක සභාවට අදාළ වූවක් නොවේ.

මෙම ලියුම්කරු විසින් සඳහන් කර ඇති අංක 2336/69 දරන 2023 ජුනි 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට සම්බන්ධකමක් දක්වන,රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්සලකා බලන ලදඅංක 2336/72 දරන 2023 ජුනි 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය පිළිබඳ කරුණු මා විසින් දන්වා සිටීමට කැමැත්තෙමි.

එම අංක 2336/72 දරන ගැසට් පත්‍රයද පාම් තෙල් මේද අම්ල ආනයනය සඳහා වන තීරු බදු ව්‍යුහය සංශෝධනය සම්බන්ධ ගැසට් පත්‍රයකි. එම ගැසට් පත්‍රය 2023.09.19 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කර ඇති අතර, කාරක සභාව විසින් අදාල අමාත්‍යංශ ගෙන්වා එදිනම (2023.09.19) එම ගැසට් පත්‍රය පිළිබඳ කරුණු සලකා බලන ලදී.

මෙලෙස තීරුබදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ හෙයින් එදින කාරක සභාවේ නිර්දේශය වූයේකර්මාන්ත අමාත්‍යංශය විසින් මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.09.26 දින මෙම ගැසට් පත්‍රය යළිත් වරක් සලකා බැලිය යුතු බවයි.

එදින (2023.09.26) ඉදිරිපත්වූ කරුණු රජයේ බදු ප්‍රතිපත්තිය සමග පරස්පර වූ බැවින් මේ සම්බන්ධයෙන් නැවත සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නිර්දේශ කරන ලද අතර, ඒ සම්බන්ධව නැවත සලකා බැලීමක් 2023.10.10 දින සලකා බැලිය යුතු බවට අදාළ පාර්ශ්වයන් වෙත දන්වා ඇත.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ගැසට් පත්‍රය සලකා බැලීම ප්‍රමාද කර ඇති බවට නගා ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.

මෙලෙස මෙම ගැසට් පත්‍රය කිහිප වරක් සලකා බැලීම කිසිම විටක මාගේ තනි තීරණයක් නොවන අතර, කාරක සභාව විසින් ගන්නා ලද සාමූහික තීරණයකි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එක් ගැසට් පත්‍රයක් කිහිප වරක් සලකා බලන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, අවස්ථා කිහිපයක දී මෙලෙස එකම ගැසට් පත්‍රය කිහිප වරක් සලකා බලන ලද අවස්ථා ඇත.
උදාහරණයක් ලෙසකැසිනෝ නියාමනය සම්බන්ධ රෙගුලාසිකිහිප වරක් සලකා බැලීමෙන් පසු කැසිනෝ නියාමන ආයතනයක් ඇති කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ ලිඛිත එකගතාවය දැක්වීමෙන් පසු එම රෙගුලාසි අනුමත කිරීම දැක්විය හැකිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රබර් මුද්‍රාවක් නොවන බවත්, ආණ්ඩුව ඉදිරිපත් කරන සියලුම කාරණා සම්මත කිරීමක් සිදු නොවන බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන අතර, එබැවින්, ඒ සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි දක්වා ඇති පරිදි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට ඇත. ඒ අනුව සංවරණ හා තුලන තත්ත්වය පවත්වා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හට එහි සභාපතිත්වය ලබාදීම සිදුකර ඇත.

පාර්ලිමේන්තුව විසින් සලකා බලනු ලබන කටයුතු සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාව මගින් වන අතර, මෙලෙස පිටස්තර කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙහි කිසිසේත්ම බලපෑම් කළ නොහැක.

මෙම ලිපිය රජයේ මුදල් පිළිබද කාරක සභාවේ මන්ත්‍රීවරුන් වෙත පිටපත් කර ඇති නමුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කර නැත. තවද මෙකී සංගමයට නිල වෙබ් අඩවියක් නොමැති අතර මෙම ලිපියේ දක්වා ඇති දුරකථන අංකය ද ක්‍රියා කරන්නේ නැත.

මෙම ලිපියේ මෙසේ සදහන් වූවද මාධ්‍ය වෙත වෙනත් අර්ථකථනයක් දෙමින් මෙම කාරණය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන්එක් වෙබ් අඩවියකමා හට මෙසේ චෝදනා කර ඇත.

“මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා බහුජාතික සමාගම් වෙනුවෙන් තම වගකීම් පැහැර හරියි... ආණ්ඩුවට පාඩුව රු. මිලියන 2000 යි”

මා ඒවායේ පිටපත් මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි.

ගරු කථානායකතුමනි,මෙය පැහැදිලිවම කාරක සභාවක් ඉදිරියෙහි පවත්නා කරුණකට විශාල බලපෑමක් ඇති කිරීමේ අවස්ථාවකි.

ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් මාගේ සහ කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටින අතර, ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගෙන පාර්ලිමේන්තුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ද සුරක්ෂිත කරන මෙන් ඉල්ලා සිටිමි.

හර්ෂ ද සිල්වා

විදුලි බිල වැඩි කිරීම : උපයෝගීතා කොමිසමේ සභාපතිට කුසල් හොඳවයින් අමතයි !

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාලව, ගාස්තු ඉහළ දැමීම සඳහා සිදුකර ඇති හේතු දැක්වීම් වල බරපතල මග හැරීම් තිබෙන අතර ඒවා නොදැනුවත්ව සිදුව ඇති බවක් විදුලි පාරිභෝගිකයකු ලෙස විශ්වාස නොකරන බවත් අවධාරණය කරමින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ ආර්ථික - දේශපාලන විශ්ලේෂකයකු වන කුසල් පෙරේරා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර ඇත.

පාරිභෝගිකයින් විසින් දැන ගත යුතු ඉහත සියලු විස්තර හා තොරතුරු ලං.වි.ම විසින් ලබා දෙන තුරු ගාස්තු ප්‍රතිසංශෝධනයකට අවසර නොදෙන ලෙසද ඔහු එහිදී සඳහන් කර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

2023 ඔක්තෝම්බර 05 වන දින

සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු සහ

අනෙක් සියලු සභිකයින් වෙත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම

06 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාලවය

ඉහතින් දැක්වෙන කාරණාව සම්බන්ධව මහජන අදහස් විමසීමට ප්‍රතිචාර වශයෙන් මෙය යොමු කරමි. මෙරට විදුලිය පාරිභෝගිකයින් අතුරින් විශාලම හා වැදගත්ම පාර්ශවකාර ක්ෂේත්‍රය මම නියෝජනය කරන්නෙක්මි.

මහජන අදහස් විමසීමේදී ඊට අදාල ලේඛන කිසිවක සිංහල හෝ දෙමළ පරිවර්තන ඔබ ආයතනය විසින් ලබාදී නොමැති හෙයින් මගේ පරිවර්තනයට අනුව, ඔබගේ 2023 සැප්තැම්බර 28 වන දින ලිපියෙහි සඳහන් වන්නේ පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම් කෙරෙන්නේ “2023 ජූලි - දෙසැම්බර කාලය සඳහා ඇස්තමේන්තුගත වැය වැඩිවීම පියවා ගැනීමට විදුලිබල මණ්ඩලය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන්” ඉදිරිපත් කර ඇති ඉල්ලීම පදනම්ව ය. එකී ලිපියෙහි සඳහන් අනෙක් කාරණාව නම්, “ඇමති මණ්ඩල කාර්යාලයෙන් ඇමති මණ්ඩලයේ තීන්දුව සම්බන්ධව වෙනත් කාරණා වලට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට දන්වා ඇත්තේ (අ) වියදම් පියවා ගැනීමේ ගාස්තු නියම කිරීමේ විධික්‍රමයට අනුව ලං.වි.ම විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව වහා සළකා බලන ලෙස සහ (ආ) 2024 ජනවාරි සඳහා කාල නිර්ණයකර ඇති ගාස්තු ප්‍රතිසංශෝධනය සියලු වියදම් පියවා ගැනීම වෙනුවෙන් 2023 ඔක්තෝම්බර වෙත ඉදිරියට ගෙනෙන ලෙස ය.”

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අමතා 2023 සැප්තැම්බර 04 වන දිනයේ ලං.වි.ම ලියූ පළමු ලිපියෙහි ඔවුන් විදුලිය ගාස්තු වැඩි කිරීම වෙනුවෙන් (1) ජලවිදුලි ජනනය පහත වැටීම (2) විදුලිය සඳහා ඉල්ලුම ඉහළ යාම සහ (3) විදුලි ඉල්ලුම වෙනුවෙන් විදුලිබලය ජනනය සඳහා අමතර වියදම් පියවා ගැනීමේ අවශ්‍යතාව යැයි හේතු කාරණා 03 ක් දක්වා ඇත.

ලං.වි.මට අනුව, ඔවුන් සියයට 3.15 ක ගාස්තු අඩු කිරීමක් යෝජනාකර තිබියදී උපයෝගිතා කොමිසම විසින් සියයට 14.2 ක විදුලිය ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2023 වසර සඳහා වැය පියවීමේදී රුපියල් බිලියන 33 ක හිඟයක් ඇතිව තිබේ. මෙහිදී සටහන් කළ යුත්තේ මෙම සියයට 14.2 ක ගාස්තු අඩු කිරීම කෙරෙන්නේ 2022 අගෝස්තුවෙහි සියයට 75 ක සහ ඉන් මාස 06 ට පසු 2023 පෙබරවාරියේ සියයට 65 ක ගාස්තු වැඩි කිරීම් වලින් පසුව බවය. වැදගත් වන්නේ පෙබරවාරියේ සියයට 65 ක් වැඩි කරනු ලැබූයේ 06 මසකට පෙර සියයට 75 ක් වැඩිකර ලබා ගත් වැඩි ගාස්තුවට වන බවය.

අතීතයේද සියලු ගාස්තු වැඩි කරනු ලැබූයේ ජා.මූ.අරමුදල කියන “වැය පියවීමේ ගාස්තු ප්‍රතිසංශෝධන” විධික්‍රමයටම විය. අතීතයේත් විදුලිය ගාස්තු වැඩි කෙරුණේ ලං.වි.ම සමස්ථ වාර්ෂික වියදම පියවා ගැනීමට ය.

විදුලිය පාරිභෝගිකයෙකු වශයෙන් ගාස්තු ඉහළ දැමීම සඳහා කෙරෙන මෙම හේතු දැක්වීම් සතු බරපතල මග හැරීම් මම දකිමි. ඒවා නොදැනුවත්ව සිදුවන්නේ යැයි මම විශ්වාස නොකරමි.

  1. මෙම 2023 වසර සඳහා ලං.වි.ම සමස්ථ වැය දැක්වෙන්නේ රුපියල් බිලියන 645.25 ක් වශයෙනි. ආදායම දැක්වෙන්නේ රුපියල් බිලියන 612.74 ක් වශයෙනි. මේ රුපියල් බිලියන 645.25 ක වැය සංයුතිය කුමක්ද? වියදම් වන්නේ මොනවා වෙනුවෙන්ද? පාරිභෝගිකයින්ට එම විස්තර ලබා දීම ලං.වි.ම සහ උපයෝගිතා කොමිසම හැමවිට මග හරිති.
  2. වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ජලවිදුලි ජනනය පහළ වැටීමෙන් 2023 වසරේ ලබා ගත හැකි ජලවිදුලි ප්‍රමාණය ගිගාවොට් පැය 3,750 ක් යැයි සඳහන් කරනමුත් ඒ හේතුවෙන් අහිමිවන ආදායම සහ එළෙස අඩුවන ජලවිදුලි බලය සඳහාවන ආදේශන වෙනුවෙන් වැය වන අමතර මුදල කෙතරම්දැයි සඳහන් නොකරන්නේය. ඇත්තටම පියවා ගත යුතු වන්නේ ඒ අමතර මුදල පමණි.
  3. දෛනික විදුලි පරිභෝජනය වැඩිවීම සාමාන්‍යයෙන් ගිගාවොට් පැය 43.5 ක් යැයි සඳහන් වේ. එය සනාථ කිරීමේ වැදගත් සාධක එනමුත් නැත. මේ සමාජයේ සාමාන්‍ය දැනුමට අනුව රට පුරා සියලු සුපිරි වෙළඳසල් ඔවුන්ගේ වියදම් කපා හැරීමේ එක් පියවරක් ලෙස විදුලිය භාවිතය අඩුකරන ප්‍රවනතාවක ඉන්නාහ. එවගේම අඩු ආදායම්ලාභි ගෘහිකයින්ද විදුලි පරිභෝජනය හැකි පමණින් අඩුකර ඇත. ඊට අමතරව, අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි බහුතරයක් පසුගිය කාලයේ විදුලිය ගාස්තු ඉහළ දැමීම නිසා ඉහළ ගිය ඔවුන්ගේ නිෂ්පාදන වියදම හේතුවෙන් නව ඇණවුම් සඳහා ගෝලීය වෙළඳපලෙහි තරග කළ නොහැකි යැයි පැමිණිළි කරති. මේ වනවිට ඒ කර්මාන්තවලද විදුලිය පරිභෝජනය යම් පමණකින් හෝ අඩුවිය යුතුව ඇත. එබැවින් ලං.වි.ම කියන විදුලිය සඳහා ඉල්ලුම වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලිව සනාථ කළ යුතුව ඇත.

එවැනි හේතු කාරණා සමග, විදුලිය පාරිභෝගිකයින් වශයෙන් සියලු විස්තර හා තොරතුරු දැන ගැනීමේ සම්මුති විරහිත අයිතියක් ඇති පාරිභෝගිකයිනට පහත විස්තර සියල්ල ලං.වි.ම විසින් ලබා දෙන තෙක් විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සඳහා කිසිදු අවසරයක් නොදෙන මෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් මම ඉතා දැඩිව ඉල්ලා සිටිමි. ඉල්ලා සිටින එකී විස්තර මෙලෙස ය.

  1. අනුමත සම්මත සේවක සංඛ්‍යාවට අමතරව සේවයේ ඉන්නා සේවක සංඛ්‍යාවත් ඔවුන්ගේ සේවා කාණ්ඩ හා ශ්‍රේණිත් ඔවුන් නඩත්තු කිරීම සඳහා 2023 වසරේ පළමු අර්ධයෙහි වැය කෙරුණ මුදල,
  2. මාසික අතිකාල වියදම, ගෙවනු ලබන සියලු දීමනා පිළිබඳ විස්තර සහ මාණ්ඩලික සේවකයින් සඳහා වැය වන ඉන්ධන වියදමට අමතරව, කල්බදු ක්‍රමයට ඔවුන්ට වාහන ලබා දෙන්නේ නම් ඒ සඳහා 2023 වසරේ පළමු අර්ධයෙහි වැය වූ මුදල,
  3. ලං.වි.ම විසින් තම සේවා පවරා ඇති පෞද්ගලික සමාගම් ලේඛනය, ඔවුන් තෝරා ගැනීමේ නිර්ණායක සහ ක්‍රියාවලිය සමග 2023 වසරේ පළමු අර්ධයෙහි ඔවුන් සඳහා වෙන් වෙන් වශයෙන් ගෙවූ මුදල,
  4. 2030 වසර වනවිට සමස්ථ විදුලිබල උත්පාදනයෙන් සියයට 50 ක් පුණර්ජන බල ශක්ති මගින් විය යුතු යැයි “2019 - විදුලිබල කර්මාන්තය සඳහා පොදු මාර්ගෝපදේශ ප්‍රතිපත්ති” අනුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ 05 වන වගන්තිය ප්‍රකාරව කරනු ලැබූ දැන්වීමෙහි වත්මන් තත්ත්වය,
  5. වසර 2018 වනවිට එකතු කළ යුතුව තිබූ සුළු ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 15, සූර්ය බලශක්ති මගින් මෙ.වො 160, ඝණ ජෛව ද්‍රව මගින් මෙ.වො 05 සහ ඛනිජ තෙල් පදනම් උත්පාදන මගින් මෙ.වො 320 ට අමතරව, “2018 - 2037 දිගු කාලීන විදුලි උත්පාදන ව්‍යාප්ති සැළසුම” අනුව බැර ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 842 ක්ද, සුළු ජලවිදුලි උත්පාදන මගින් මෙ.වො 215 ක්ද, සූර්ය බලශක්ති මගින් මෙ.වො 1,389 ක්ද සුළං මගින් මෙ.වො 1,205 ක්ද, ඝණ ජෛව ද්‍රව මගින් මෙ.වො 85 ක්ද, ඛනිජ තෙල් පදනම් උත්පාදන මෙ.වො 425 ක්ද, ස්වාභාවික වායු මගින් මෙ.වො 1,500 ක්ද, ගල් අඟුරු මගින් මෙ.වො 2,700 ක්ද විදුලිබල පද්ධතියට එකතු කිරීමේ ව්‍යාපෘති සම්බන්ධ මේ වනවිට වර්ධනය,
  6. ලං.වි.ම විසින් විදුලිය මිලට ගන්නා පෞද්ගලික සමාගම් ලේඛනය සමග 2023 වසරේ පළමු අර්ධයෙහි ඔවුන්ට ගෙවනු ලැබූ මුදලත් විදුලිය ඒකකයක් මිලට ගන්නා මිල තීන්දු කිරීමේ ක්‍රියාවලිය හා අවසන් තීන්දුව ගැනීමේ බලය ඇත්තේ කාටද යන්නත් සම්බන්ධ විස්තර,
  7. මාස 02 ක් හෝ ඊට වැඩි කාලයක් විදුලි බිල් නොගෙවූ දැනට පාර්ලිමේන්තුවේ ඉන්නා සහ නොඉන්නා දේශපාලකයින්ගේත්, පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ සහ ව්‍යාපාර වලත් නාම ලේඛනය හා ඔවුන්ගෙන් අය විය යුතු මුදල සහ මෙතෙක් ඔවුන්ට එරෙහිව පියවර නොගැනීමට ඇති හේතු.

ඉහත කාරණා සියල්ල ලං.වි.ම වාර්ෂික අය සහ වැය තීන්දු කෙරෙන සාධක බැව් ඔබද පිළිගන්නවා ඇත. එබැවින් මේ මොහොතේ විදුලිය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන් එකඟ වන්නට පෙර, ඒ සම්බන්ධ සියලු විස්තර ලබා ගැනීමේ පරම අයිතියක් පාරිභෝගිකයින්ට ඇත.

එවගේම මහජනතාවගෙන් අදහස් විමසීමේදී මේ රටේ රාජ්‍ය භාෂා වන සිංහල සහ දෙමළ භාෂාවලින් අදාල ලේඛන ලබා නොදීමේ වරද, සමාව භජනයකට වඩා මහජන අදහස් විමසීම සම්බන්ධ කිසිදු වගකීමක් උපයෝගී කොමිසමට නොමැති බව සනාථ කරන්නකි. එවගේම මෙලෙස කෙරෙන අදහස් එකතුකර ගැනීම සහ අවසන් තේරීම් විවෘත සාකච්ඡාවකින් තොරව උපයෝගිතා කොමිසමෙහි අයිතියක් ලෙස තිබීම, පාර්ශවකරුවන් සමගින් කෙරෙන විවෘත උපදේශනයක්ද නොවන්නේය. එනිසා ලබා ගන්නා සියලු අදහස් හා යෝජනා ඒවා ඉදිරිපත් කරනු ලබන අතළොස්සකට සීමා නොකර, බහුතර පාරිභෝගිකයින්ගේ අවධානයට හා අදහස් දැක්වීම වෙනුවෙන් ප්‍රසිද්ධ කළ යුතු යැයි මම අවධාරණය කරමි.

අවසන් වශයෙන් පාරිභෝගිකයින් විසින් දැන ගත යුතු ඉහත සියලු විස්තර හා තොරතුරු ලං.වි.ම විසින් ලබා දෙන තුරු ගාස්තු ප්‍රතිසංශෝධනයකට අවසර නොදෙන්න යැයි වන මගේ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.


ස්තුතියි.

මෙයට විශ්වාසි,

කුසල් පෙරේරා


විදුලි පාරිභෝගික සහ ලාංකීය පුරවැසි

නසීර්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් : ඉස්සරහට පිල් මාරු අමාරුවෙයි

2021 වසරේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ දී, ඊට පක්ෂව ඡන්දය ලබාදීම පදනම් කරගනිමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය නසීර් අහමඩ් විසින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කරමින් ය.

ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පවසා තිබිණ.

"මේක ඓතිහාසික නඩු තීන්දුවක්. මීට දශක කීපයකට පෙර ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක යන අමාත්‍යවරු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණා. ඉන් පසුව මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබාදී තිබුණේ නැහැ. අද මෙම තීන්දුව තුළින් නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යානුකූල බව අධිකරණය තීන්දු කර තිබෙනවා,"

මෙම තීන්දුව සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් පවසා සිටියේ "මෙම තීන්දුවත් සමගම නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වෙනවා. ඒ වාගේම අමාත්‍යධූරයත් අහිමි වෙනවා," යනුවෙනි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ, මෙරට ඇති පිල්මාරු දේශපාලන සංස්කෘතියට මෙකී තීන්දුව බලපෑමක් වනු ඇති බවය. එය සෘජු බලපෑමක් ලෙස තමන් නොහඳුන්වන බවත්, එවැන්නක් පැවසීමට හැකිවන්නේ සමස්ත නඩු තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය.

හිතුමතේ ජාත්‍යන්තර විමර්ශන කරන්න බෑ : කතෝලික රදගුරු සංගමය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති සූදානම් !

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බැවින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට එකඟවීමට හැකියාවක් නොමැති බවත් එබඳු පරීක්ෂණ පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ , 2023 ඔක්තෝබර් මස 08 වන ඉරිදා දිනෙන් පළ කර ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතු වැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගුව සම්බන්ධයෙන් කතෝලික රදගුරු සංගමය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුදානමින් සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් අතර එය පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2023 ඔක්තෝබර් මස 08 වන ඉරිදා දිනෙන් පළ කර ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතු වැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමුව තිබේ.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දෙන ලදී.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (05) දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඒ අනුව, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත. ඒ අනුව, එබඳු පරීක්ෂණ පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් වෙයි.

චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත : ඇමති ටිරාන් සිවිල් සමාජය හමුවෙයි !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවයි.

එසේම මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශන පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවත් ඔවුන් එහිදී පෙන්වාදී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍්‍ය ටිරාන් අලස් පෙන්වාදී ඇත්තේ මෙම පනත ගෙන ඒම 2016 වර්ශයේ සිට කරගෙන එනුලැබූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවය. එසේම අධිකරණ අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති අතර එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බවත් ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

තවද මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බව මෙහිදී පෙන්වාදී ඇති අමාත්‍ය ටිරාන් අලස් මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් පෙන්වාදී තිබේ.

තවද, මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස, අදාළ පනත පිළිබඳ ඔවුන් විසින් ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition), ශ්‍රී ලංකා නීතීඥ සංගමය, තානාපති කාර්යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

කාලගුණය අනතුරු අඟවයි ඉදිරියටත් තවත් වැසි

ඉදිරියේ දී පවතින වැසිබර කාලගුණ තත්ත්වය පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ සදහන්වේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ක පමණ තද වැසිද ඇති විය හැකි බවත් ඌව, නැගෙනහිර, උතුරු මැද පළාත්, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් වැඩිදුරටත් එහි සදහන්ව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බවය. තවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

කොල්ලුපිටියේ දී බසයක් මතට ගසක් කඩා වැටෙයි

කොල්ලුපිටිය ආර්. ඒ ද මෙල් මාවතේ දී ශ්‍රී ලංගම බස් රථයකට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇත.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිටකොටුවේ සිට දෙණියාව බලා ධාවනය වෙමින් තිබු බස් රථයකි.

අද (06)  ට උදෑසන 6.00ට පමණ සිදු වූ අනතුර හේතුවෙන් මේ වන විටත් 05 දෙනෙකු මිය ගොස් සිටින අතර තවත් බොහෝ පිරිසක් අසාධ්‍ය තත්ත්වයකින් පසුවන බව ද වැඩිදුරටත් සදහන්වේ.

අදාල සිද්ධියෙන් පසු පුද්ගලයන් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බව ද වාර්තාවේ.  

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව  පවසා ඇත්තේ  ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 

සජබ මහ ලේකම් ඩයනාගෙන් වරප්‍රසාද කඩකරලා ?

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර තමන්ට " බැ" යනුවෙන් අමතා අපහාස කළ බවත් තමන්ට පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම කාන්තාවකට එසේ අවමන් කිරීමට ඉඩ නොතබන ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ අවධාරණය සිදුකළ අතර තම පැමිණිල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව රැස්ව විභාග කර යළිත් එවැන්නක් ඇති නොවන තැනට කටයුතු සැලැස්සවිය යුතු බවද සඳහන් කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදය අවස්ථාවේ , ඒ සමයේ පොලිසිය භාර අමාත්‍යවරයා රංජිත් මද්දුමබංඩාර බවත් , ප්‍රහාරයක අවධානමක් සම්බන්ධයෙන් බුද්ධි ප්‍රධානියකු ලිඛිතව විෂය භාර අමාත්‍යවරයා ව වේලාසනින් දැනුවත් කර තිබූ බව තමන් ප්‍රකාශ කිරීම සමග මෙසේ දරුණු අපහාසයකට ලක්වූ බවත් ඇය එහිදී සඳහන් කළාය.

කාන්තාවන් සමග ඇරියස් එකක් විපක්ෂයේ සිටින බණ්ඩාරලා කිහිප දෙනෙකුට ඇතැයිද කී ඇය එම බණ්ඩාරලා හදා ගත යුතු බවද පැවසුවාය.

එසේම කාන්තාවන් සම්බන්ධයෙන් සලකන ආකාරය පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුව ආදර්ශවත් වියයුතු බවත් ඇය සඳහන් කළාය.

පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේදී මහා බල එදිරිවාදිකම් දෙවන තැනට දාන්න !

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බවත් දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන මෙම ත්‍රිත්ව අර්බුදය හමුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබඳ දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අද (05) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමිනි.

ඉරානයේ උප ජනාධිපති හා ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් (Ali Salajegheh) ද මෙම සමුළුවට එක්ව සිටි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරානයේ උප ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ හා සමගාමීව ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී සිදු විය.

දේශගුණික විපර්යාවලට මුහුණදීම සඳහා දෙරට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ එහිදී සාමුහිකව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ එහිදී නායකයන් අදහස් හුවමාරු කර ගත්හ.

රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දෙමින් 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම සැසිය සංවිධානය කරනු ලැබීය.

සමාරම්භක උත්සවය අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරු සහ පරිසර අධිකාරියේ සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද කීය.

මනුෂ්‍ය වර්ගයා අද සිය පැවැත්ම පිළිබඳ ඉතා දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” එකිනෙකට සම්බන්ධවීම නිසා ඇතිවී තිබෙන බලපෑම්, පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ පෘථිවියටද තර්ජනයක් වෙමින් විශාල හානියක් සිදු කරමින් තිබෙනවා.

අපි පෘථිවිය මත දැඩි පීඩනයක් ඇති කරමින් සිටින අතර මෙම “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” මේ වන විටත් ග්‍රහලෝක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.‍

ලෝකයේ හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් පමණ මේ වන විට වඳ වී ගොස් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම සහ ආක්‍රමණශීලි විශේෂ හඳුන්වාදීම හේතුවෙන් 22% ක් වඳවීමේ අවදානමට ලක්ව තිබෙනවා.මෙලෙස වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතිනවා.

සොබාදහමේ සහ ජෛව විවිධත්වයේ පිරිහීම හේතුවෙන් දුප්පත්කම, කුසගින්න, සෞඛ්‍යය, නගර, කාලගුණය හා දේශගුණය, සාගර සහ ගොඩබිම සම්බන්ධ තිරසර සංවර්ධන ඉලක්ක 44ක් අතුරින් 35 ක් කරා යන වත්මන් ගමන් මගෙහි ප්‍රගතිය අඩාල වී තිබෙනවා.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් විට, 2030 - 2052 අතර කාලය වන විට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයඇස්තමේන්තුගත කර තිබෙනවා.

පසුගිය දිනක මම විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වන තරුණ විද්‍යාඥවරියකගේ වෙබ් අඩවියක් කියවා බැලුවා.ඇයගේ නම සංජලී ද සිල්වා.දේශගුණික විපර්යාසවල බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවට දිනපතා දැනෙනවා බව ඇය එහි සඳහන් කර තිබෙනවා.

“ෆොසිල ඉන්ධන දහනය කරමින් සිදු කරන කර්මාන්ත සහ “දේශගුණික පාරාදීසය” නැවැත්වීමට තම කාර්යභාරය ඉටු කිරීමට අකමැති රටවල් විසින් සිදු කරන වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මෙම බලපෑම් විශාල වශයෙන් ඇතිවී තිබෙනවා.මගේ පවුල වන මගේ රටේ ජනතාවට මීට වඩා දෙයක් ලැබිය යුතුයි” මම මුළු හදවතින්ම ඇය සමඟ එකඟ වෙනවා.

ජර්මන් වොච් සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන දේශගුණික අවදානම් දර්ශකය මගින් ඇගේත් මගේත් රට වන ශ්‍රී ලංකාව, ආන්තික කාලගුණික සිදුවීම්වල ඉහළම අවදානමට නිරන්තරයෙන් ලක්වන රටවල් අතර ස්ථානගත කර තිබෙනවා.

ගෝලීය වශයෙන් සිදුවන විමෝචනය හමුවේ ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 0.03%ක් වන විමෝචනය නොසලකා හැරිය හැකි වූවද, පැරිස් සම්මුතිය තුළ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) හි 2030 සඳහා අපගේ ඉලක්කයන් වී ඇත්තේ හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම, ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම, වන ආවරණය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීම, 2042 වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත්වීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වීමයි.

COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී එළි දක්වන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු සොබාදහම පදනම් කරගත් විසඳුම් සීඝ්‍රයෙන් වැඩි කිරීම අරමුණු කරගෙන තිබෙනවා.

2050 වන විට ශ්‍රී ලංකාවේ ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ මාර්ග සිතියම COP 28 සමුළුවේදී එළි දැක්වීමට අපේක්ෂා කරනවා.

කුන්මිං- මොන්ට්‍රියල් (Kunming-Montreal) ගෝලීය විවිධත්ව රාමුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව 2016 සිට 2022 දක්වා වූ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම අලුත් කිරීමේ ක්‍රියාවලියේ ද අප නිරතව සිටිනවා.

ශ්‍රී ලංකාව ගෝලීය ජෛව විවිධත්ව උණුසුම් කලාප 36 න් එකක් වන බැවින්, පෞරාණික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සඳහා ජීවීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස මම පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් සාමාන්‍ය සහ අන්තරායකර අපද්‍රව්‍ය කාණ්ඩ නවයක් ආවරණය වන පරිදි කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළේ රට තුළ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමටයි.

ශ්‍රී ලංකාව 2019 වසරේ දී තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා.හරිත ප්‍රසම්පාදනය පිළිබඳ ප්‍රතිපත්තිය සහ හරිත නාමකරණ රාමුව මේ වසරේ දී ක්‍රියාත්මක වෙනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුදය විසඳීම සඳහා නව දැනුම සහ භාවිතයන් යොදාගැනීමට නව දේශගුණික විපර්යාස පනතක් සහ ජාතික පාරිසරික පනතක් සම්පාදනය කිරීමට මගේ රජය විසින් කටයුතු කරනු ලබනවා.

ඒ වගේම හරිත ආර්ථිකයකට පරිවර්තනය වීම අප ආරම්භ කර තිබෙනවා. නමුත් ඒ සඳහා පිරිවැයක් අවශ්‍යයි.

2023 සිට 2042 දක්වා වන දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වෙනවා. 2050 වන විට ශ්‍රී ලංකාවේ ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100කට වඩා අවශ්‍ය වෙනවා. එතැනින් ලයිස්තුව ඉවර නැහැ.අප මේ සඳහා අවශ්‍ය සම්පත් සඳහා මූලාශ්‍ර සොයාගන්නේ කොහෙන්ද?

අපට රට තුළින් මෙම මුදල් සොයා ගැනීමට හැකියාවක් නැහැ. මෙය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින ප්‍රශ්නයක් නොවෙයි. 2030 දක්වා වන ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) සපුරාලීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.9ක් අවශ්‍ය වෙනවා.

2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් හරිත බලශක්ති තාක්‍ෂණය සඳහා තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා.COP 27 හි දී, දේශගුණික ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සහ අවදානමට ලක්විය හැකි රටවල් සඳහා සිදුවූ හානි සහ පාඩු සඳහා අරමුදල් සැපයීමට එකඟතාවක් ඇති වුණා.

ෂාර්ම් එල් ෂෙයික් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම මගින් පරිවර්තනය වීම පිළිබඳ කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටු රැස්වීම්වලදී සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෑත කාලීන සැසිවාරවලදී සාකච්ඡා වු ප්‍රධාන ප්‍රශ්න මේ වන තෙක් විසඳි නැහැ.

මහා බල එදිරිවාදිකම්, භූ දේශපාලනික අවශ්‍යතා සහ බොහෝ අවස්ථාවල තම තමන්ගේ දේශීය ප්‍රතිපත්ති මගින් ආධිපත්‍යය දරනු ලබන වාතාවරණයක් තුළ දේශගුණික විපර්යාස වැනි මානව පැවැත්ම සඳහා පවතින අභියෝග සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ගෝලීය නායකයින්ට නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

නිදසුනක් ලෙස දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේදී ලබන වසර තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයක් අපේක්ෂා කළ නොහැකියි.ලබන වසර එක්සත් ජනපදයට මැතිවරණ වර්ෂයක් වනු ඇති අතර ප්‍රථමයෙන්ම දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් සහ මෙම ප්‍රශ්නය විසඳීමට බැරෑරුම් ලෙස කටයුතු කරන අය අතර දේශීය වශයෙන් පවතින වාද විවාද ජයගත යුතුව පවතී.

ඒ වගේම යුක්‍රේන යුද්ධය විසින් යුරෝපය ද බැඳ තබා තිබෙනවා.ඉන්දු පැසිෆික් කලාපය තුළ පවතින ආතතිය තවදුරටත් උත්සන්න විය හැකියි.
දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළුව විසඳීමට ගෝලීය සංසද ගණනාවක් උත්සාහ කර තිබෙන අතර බ්‍රිජ්ටවුන් මුලපිරීම, ජනතාව සහ පෘථිවිය සඳහා වන පැරිස් ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ බොහෝ මුල පිරීම් ඊට ඇතුළත්.

මේ වන විට මතුව ඇති ගැටළු සහ ඒ සඳහා ඇති විසඳුම් පෙනෙන්නට තිබෙනවා. නමුත් අඩුවක්ව පවතින්නේ මුදල්, නායකත්වය සහ ක්‍රියාවයි. ඒ නිසා, ආසියා-පැසිෆික් කලාපයේ සිටින අප සහ ගෝලීය දකුණේ අනෙකුත් රටවල විකල්ප නායකත්ව යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන ස්ථානයට පත්වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා අවම වශයෙන් වගකිව යුතු රටවල් අලාභයේ අසමානුපාතික කොටසක් දරන්නේ නැති බව සහතික කිරීම සඳහා අපට දේශගුණ යුක්ති සංසදයක් අවශ්‍ය වෙනවා. මෙය කළයුතු බවට අප සාමුහික හඬක් නැගිය යුතුයි.

අලාභ හා පාඩු සම්බන්ධ අරමුදල පිළිබඳ විවාදය අඛණ්ඩව පවතින අතර, අප පහත සඳහන් දේ පිළිබඳව ද එහිදී අවධාරණය කළ යුතු වෙනවා.
අප සතුව ඇති මුදල් නොසැලකිය යුතු යි, නමුත් අපි අවම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන මුලපිරීම සඳහා වන බිලියන 100ක මුදලින් මේ කටයුතු ආරම්භ කර එය ක්‍රියාවට නංවා ධනාත්මක ප්‍රතිඵල ලබා ගනිමු.

සංවර්ධිත ආර්ථිකයන් අවම වශයෙන් 2040 වන විට ඔවුන්ගේ ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්ක සපුරා ගැනීම සඳහා කැපවිය යුතුයි. මෙම ඉලක්කවලට අනුකූලව කටයුතු කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත්, එවැනි රටවල් විසින් ලෝකයේ සෙසු රටවලට වන්දි ගෙවිය යුතුයි.

එවිට එම අරමුදල්, සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීම, ඒ සඳහා අනුවර්තනය වීම සහ දේශගුණික සමෘද්ධිය අත්කර ගැනීම සඳහා වන මූල්‍ය අවශ්‍යතා සදහා යොදාගත හැකියි.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිළිබඳ ගෝලීය අභිලාෂයන් ප්‍රමාණවත් නොවීම සැබැවින්ම කනගාටුවට කරුණක්. සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස ගැටළු විසඳීම සඳහා අවධානය යොමු කිරීමට අවශ්‍ය ඇපකර ලබාදීමට සහ පුද්ගලික අරමුදල් ලබාදීම දිරිමත් කිරීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවෙහි ශේෂ වී පවතින අරමුදල් භාවිතා කිරීමේ අවශ්‍යතාවය බ්‍රිජ්ටවුන් මුලපිරීම මගින් පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.

නව සංවර්ධන බැංකුව හරහා සිදුකරන පරිමාණයෙන් සහනදායී මූල්‍යකරණයේදී ඇතිවන අතිරේක පරිමාවන් ද මේ සඳහා තීරණාත්මක අවශ්‍යතාවයක් වෙනවා. දේශගුණික විපර්යාස ආශ්‍රිත ආයෝජනයන් මගින් දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන අතර ඒ සඳහා කෙටි කාලීන ඉහළ පිරිවැයක් සහිත කඩින් කඩ සපයනු ලබන පුද්ගලික අරමුදල් මගින් මුදල් ලබාදිය නොහැකියි.

පවතින ගෝලීය මූල්‍ය දැඩිවීමේ තත්ත්වය, නව සංවර්ධන බැංකුව (NDB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හි වෙළඳපොළ සම්බන්ධ ණය අනුපාත ඉහළ නංවන අතර, ණය ගන්නා රටවල්වලට තවදුරටත් මූල්‍ය බර පැටවීම වළක්වා ගැනීම සඳහා එවැනි අනුපාතයන් සීමා කිරීමේ විකල්පය හෝ වෙනත් ක්‍රම සලකා බැලීම සඳහා පවතින තත්ත්වය ද සුදුසු අවස්ථාවක් වෙනවා.

මෙම ගෝලීය මූල්‍ය ආයතනවල තීරණ ගැනීමේ අධිකාරීන් තුළ, සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ සහ ගෝලීය දකුණේ වැඩි හඬක් තිබුනේ නම්, බොහෝ කලකට පෙර ඉහත සඳහන් කළ මුලපිරීම් තුනම දේශගුණික න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට තිබුණා.

අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීම සම්බන්ධයෙන් කෙන්යාව සිදු කර ඇති කැඳවීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුයි. මේ සියල්ලටම සමාන්තරව, හානි සහ පාඩු පිළිබඳ අරමුදලේ කටයුතු ද අප විසින් අවසන් කළ යුතුයි. සංවර්ධනය වූ සියලුම රටවල් මේ සඳහා දායක විය යුතු බව මම විශ්වාස කරනවා.

2050 ඉලක්කය ඉක්මවා යන සංවර්ධිත රටවල් වලින් ද අප ස්චේඡා දායකත්වයන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුයි. යෝජනාවන් එකක් හෝ දෙකක් මගින් දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දේශගුණික සාධාරණත්වය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියේ ආරම්භය මෙයයි. එය ජීවත්වීමේ අයිතියේ හරයයි. අනෙකුත් සියලුම අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ ජීවත්වීමේ අයිතිය තුළයි. දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තමන්ට පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීමට අකමැති රටවල් ජන සංහාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත් වනු ඇති බව ප්‍රකාශ කළ යුතුයි.

ඉරානයේ උප ජනාධිපති සහ ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් (Ali Salajegheh) මහතා ද, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ එලිසබෙත් මරුම ම්රෙමා (Elizabeth Maruma Mrema) ළමා හා යෞවනයන් සඳහා වන ප්‍රධාන කණ්ඩායමේ නියෝජිත ඇනිව මරී ක්ලාක් (Aniva Marie Clark) යන මහත්ම මහත්මීන් සහ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල නියෝජිතයින් වෘත්තිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

IMG 20231005 WA0011

ගෝලීය උතුරේ අධිපතිභාවය ප්‍රශ්න කිරීම වරදක් ද?

ගෝලීය උතුර විසින් ගෝලීය දකුණ දෙවැනි තැන ලා සැලකීම අනාදිමත් කාලයක සිට සිදු වූවකි. අප දිගින් දිගටම කර ඇත්තේ ගෝලීය උතුරටම පළමු තැන දී නිහඬව කරබාගෙන සිටීමයි. නමුත් ජනාධිපතිවරයා පෙරේදා ජර්මනියේදී ගෝලීය උතුරේ මෙම අධිපතිභාවයට දැඩි ලෙස අභියෝග කළේය.

ජනාධිපතිවරයා ගෝලීය උතුර විවේචනය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 සමුළුවේදී ජනාධිපතිවරයා පැවසුවේ, දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන්නේ සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය බවත්, එහි ප්‍රතිවිපාක දුප්පතුන්ට විඳීමට සිදු වන බවත්ය. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් දුප්පත් රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බව ද ඔහු එහිදී පැවසීය. ඔහු සංවර්ධිත රාජ්‍යයන්ට යෝජනා කළේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභ සහ හානි සඳහා වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කළ යුතු බවයි.

අනතුරුව පසුගිය මාසයේ කියුබාවේ පැවති G77 සමුළුව අමතමින් ජනාධිපතිවරයා නැවතත් ගෝලීය දකුණ මුහුණ දෙන අනේකවිධ අභියෝග පිළිබඳව අවධාරණය කළේය. වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද ඇතුළුව ගෝලීය දකුණ මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග හේතුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන බව සහ ගෝලීය ණය අර්බුදය උග්‍ර වන බව ඔහු සඳහන් කළේය. එසේම 15 වැනි සියවසේ යුරෝපයේ දියුණුව හරහා වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ නැව් මඟින් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ යටත් කර ගැනීමට හැකි වූ ආකාරයත්, එහි ප්‍රතිඵලයක් ලෙස අද දක්නට ලැබෙන තාක්‍ෂණික භේදය ඇති වූ ආකාරයත් ඔහු එහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළේ, ගෝලීය දකුණේ සිට ගෝලීය උතුරට සිදුවන බුද්ධි ගලනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ වැනි රාජ්‍යයන්ට උගත් පිරිස් අහිමිවීම විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුවට තර්ජනයක් බවයි. අපේ ශ්‍රම බලකාය අහිමි වීම හේතුවෙන් අප ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බව ද ඔහු පැවසීය.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර පවතින පරතරය තව තවත් පුළුල් වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ මධ්‍යස්ථ හා නොබැඳි රාජ්‍යයන්ට ගෝලීය මහා බලවතුන් හමුවේ නැවත වරක් සීමාවන්ට ලක් වීමට සිදුවී ඇති බව ද ඔහු සඳහන් කළේය. අපගේ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවයට ගරු නොකරන තත්වයක් උදාවී ඇති බව ද ඔහු එහිදී පැවසීය. ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සියල්ලන් ඇතුළත් වන ගෝලීය අනාගතයක් ගොඩනැංවිය යුතු බවයි.

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාව දෙස අප බැලිය යුත්තේ මේ පුළුල් සන්දර්භය සිතේ තබාගෙනය. ඉතා බාධාකාරී ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සියලු ක්‍රියාවලීන් අනවරත ලෙස ප්‍රශ්න කරන, ජනාධිපතිවරයා නියෝජනය කරන මතය නිර්දය ලෙස විවේචනය කරන සහ නුරුස්නා ලෙස හැසිරෙන උද්දච්ච මාධ්‍යවේදියෙකුට එරෙහි වීමට, නිරවද්‍ය කරුණු කාරණා වෙනුවෙන් පෙනී සිටීමට, අපහාස කිරීම්වලට ප්‍රතිචාර දැක්වීමට රාජ්‍ය නායකයකු කිසිවකුගෙන් අවසර ගත යුතු නැත. දැන් බටහිර කෙරෙහි මහත් අනුකම්පාවෙන් ජනාධිපතිවරයා විවේචනය අයට බොහෝ දේ සැනෙකින් අමතක වී ගොස් ඇති බව පෙනේ. කඩා වැටුණු ආර්ථිකයක් සහිතව, බිංදුවටම වැටුණු බංකොලොත් රාජ්‍යයක ජීවත් වීමට සිදුවීමත්, ඉන් මඳකට හෝ මිදී යම් සහනශීලී වටපිටාවක් නිර්මාණය කර දුන් රාජ්‍ය නායකයා දඬු කඳේ ගැසීමට සැරසීමත් දෙස වඩාත් දේශපාලනිකව බැලිය යුතුය.

රාජපක්ෂ කඳවුර, ජනතා විමුක්ති පෙරමුණ, සමඟි ජන බලවේගය සහ අනෙකුත් ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් සිය අන්තවාදී සහ වර්ගෝත්තමවාදී ආස්ථානවල රැඳෙමින් කරන ලද සියලු මානව හිමිකම් කඩ කිරීම් හමුවේ නිහඬ වත රකිමින්, උතුරේ සිවිල් යුද්ධයට පූර්ණ සහයෝගය දැක්වූ පිරිස්වලට, බටහිරට, අධිරාජ්‍යවාදයට සම්පූර්ණයෙන් එරෙහි වූ පිරිස්වලට දැන් හිටිඅඩියේ බටහිර ගැන මහත් කරුණාවක් පහළ වී ඇත. 'රනිල් අසමත්' යයි ඔවුන් කියන්නේ, රනිල් වනාහි බටහිර සමඟ වාදයට නොයා යුතු සහ බටහිර සමඟ යාප්පුවෙන් සිටිය යුතු අයෙකු ලෙස පූර්ව නිගමනය කරමිනි.

මා හට නම් මෙහි මහත් පරස්පරතාවයක් පෙනේ. එක් අතකින් අප බටහිර ගැති නොවිය යුතුයයි කියන අතර, අනික් අතින් බටහිරට බනින්නට එපා, ඒ අයට රිදුණොත් අපට ඒ රටවල්වලින් ලැබෙන ආධාර උපකාර නොලැබී යනු ඇතැයි කියා සිතීම දෙබිඩි පිළිවෙතක් නොවේ ද? අපට නම් ඕනෑ තරම් බටහිරට බනින්න පුළුවන්, නමුත් රනිල් එහෙම කළොත් අපේ බඩට වැදෙයි වැනි අර්ථයක් මේ තුළ තිබෙනවා නොවේ ද?

බටහිර රාජ්‍යයන්හි සංචාරය කරන විට සහ නවාතැන් ගෙන සිටින විට අපට දැනෙන ප්‍රධානම කාරණය නම්, අප ‘ගෝලීය දකුණේ ම්ලේච්ඡ කල්ලන්’ වීම නිසා ඔවුන් අපට දෙවැනි පුරවැසියන් ලෙස සලකන බවයි. එය වචනයෙන් නොකියතත් මහත් සේ සිතට දැනෙන යථාර්ථයකි. ජනාධිපතිවරයා ඉතා විචක්ෂණ ලෙස කාලයක් තිස්සේ ආමන්ත්‍රණය කරනුයේ සහ ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරනුයේ මේ යථාර්ථයයි. අප මීට අභියෝග කළ යුතු ආකාරය ජනාධිපතිවරයා මුල සිටම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබියදී එහි අග්ගිස්සක එල්ලී ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට පහර දීමට තතනන්නේ අවස්ථාවාදී අදේශපාලනික දෙබිඩ්ඩන් බව අප අවබෝධ කරගත යුතුය.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

වසරකට පසුව 23 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කර ක්‍රීඩකයන් 23 දෙනෙකු ගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඊයේ (05 වැනිදා ) ප්‍රකාශයට පත් කරන ලදී.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නායකයා කවුරුන්ද යන්න මේ වන විටත් තීරණය කර නොමැති අතර අද හෝ හෙට නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයින් වසරකට ආසන්න කාලයක් විධිමත් පුහුණුවක් නොමැතිව අක්‍රීය තත්වයෙන් සිටියද ගතවූ සති 5ක කාලය ඇතුලත තමා යටතේ යළි පුහුණුව ලබමින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් 
ඊයේ (05 වැනිදා ) කොළඹ පාපන්දු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාව මෙවර තරඟාවලිය යටතේ සහභාගි වන පළමු තරගය ලබන 12 වැනිදා යේමනය සමග එරටදී පැවැත්වේ. යේමනය ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 157වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව 207 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රේණිගත කිරීම් අනුව යේමනය ශ්‍රී ලංකාවට වඩා ඉහල මට්ටමක සිටියත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ගේ ආත්මශක්තිය සහ ජයග්‍රාහී මානසිකත්වය අනුව දිනුම් පැරදුම් පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව පුහුණුකරු මොරිසන්  පැවසීය.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ දී සවුදි අරාබිය සමග තරග වැදීමට නියමිත අතර අදාල තරග දෙකම ජයග්‍රහණය කොට දෙවෙනි වටය සදහා සුදුසුකම් ලැබුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් 750000 බැගින් ප්‍රසාද දීමනා පිළිගැනීමට ශ්‍රී ලංකා පිළිගැනීමට ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය;

සුජාන් පෙරේරා, ප්‍රභාත් අරුණසිරි, හර්ෂ ප්‍රනාන්දු, චරිත් රත්නායක, චලන චමීර, අසිකුර් රහමන්, මොහොමඩ් අමාන්, කවීෂ් ප්‍රනාන්දු, ෂෙනාල් පිංගෝ, මරියතස් නිතාර්ෂාන්, නව්ෂාඩ් මොහොමඩ්, ජූඩ් සුපුන්, ෆයිසාල් ආකිඩ්, වසීම් මොෂාන්, වසීම් රසීක්, වසීම් රසීක්, ෆයිසාල් රසීක් , චමෝද් දිල්ශාන්,රිෆ්ඛාන් මොහොමඩ් ,කවිදු ඉෂාන්,නෙයිසීර් මොහොමඩ් ,සෙනාන් ද සිල්වා සහ අරිස් මොහොමඩ්

අභියෝගය බාරගන්නවාද ? රටින් පනිනවාද : ජනාධිපතිගෙන් ප්‍රශ්නයක් !

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවා ද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (04) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 246 දෙනෙක් මෙහිදී උපාධිය ලබා ගත්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

ත්‍රිවිධ හමුදාවට බඳවා ගැනීමේ නිලධාරීන් ලෙස ද තවත් අය සිවිල් අංශ නියෝජනය කරමින් ද අවස්ථා හඹා යෑම සඳහා රටින් පිටවීම හෝ රැඳී සිටීම මෙම උපාධි ලබාන්නා ඔබ තීරණය කළ යුතුයි.

නමුත් රටේ තිබෙන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා බුද්ධිමත් මානව සම්පතක් රටට අවශ්‍යව තිබෙනවා. එම නිසා නිසි තීරණයකට එළැඹෙන ලෙස මෙහි සිටින බුද්ධිමත් උපාධිධාරින්ට මම යෝජනා කරනවා.

මෑත වසර කිහිපයේ දී ජාතියක් ලෙස අප විවිධ දුෂ්කරතාවන්ට සහ අවිනිශ්චිතතාවන්ට මුහුණ දුන්නා. ඒ හමුවේ තම අනාගතය සැලසුම් කිරීමේ දී විදේශගතවීමට බොහෝ අය පෙළඹී සිටිනවා.

කෙසේ වුවත් පහසු ගමනක් නොවූවත් ශ්‍රී ලංකාව අද ස්ථාවරත්වයේ සහ ආර්ථික ප්‍රකෘතියේ මාවතේ ගමන් කරන බව මම කියන්න කැමතියි. උද්ධමනය පාලනය කිරීමත් සමඟ ආදායම් උත්පාදනය තුලනය කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා.

2024 මෙරට ආර්ථික වර්ධනය නැවත ආරම්භ කරන වසර ලෙස හඳුන්වා දිය හැකියි. අප රටක් ලෙස අභියෝගයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම උපාධිධාරී බුද්ධිමත් ප්‍රජාව තමන්ගේ කාර්යභාරය නිසි අයුරින් ඉටු කර තිබෙනවා.

ඉදිරි වසර 10 තුළ විවිධ ආර්ථික අභියෝගවලට සංවර්ධිත රටවලට ද මුහුණදීමට සිදු විය හැකියි. කැනඩාව සහ යුරෝපය බොහෝ සංවර්ධිත ආර්ථිකයක් පැවතුනත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිනවා. මෙම ආර්ථික තත්ත්වයන් තුළ ඔබේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය අභියෝගයක් බව හඳුනා ගැනීම අවශ්‍යයි.

ඔබ මෙහි රැඳී සිටිමින් වෘත්තීය කටයුතුවල නිරත වන්නේ නම් රටේ සංවර්ධනයට දායක වෙමින් අදට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ වගකීම ඉටු කළ හැකියි.

ඔබ එම වගකීමේ කොටස්කරුවන් වෙමින් රටේ සංවර්ධනයට දායක වනවා ද? නැද්ද? කියා තමන්ම තීරණය කරන්න. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශ ගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් තරගකාරී ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතුයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළ යුතුයි. එමගින් වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියා සමඟ ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි.

එසේම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් යන දෙඅංශයම පිළිගන්නා අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම ඉතාම වැදගත් බව මම පෙන්වාදීමට කැමතියි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ, උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් සහ පීඨාධිපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනපතිට ගේට්ටු පෙරළුවාද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටි මෝටර් රථය මතට ගේට්ටුවක් වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම අනතුර සිදු වී ඇත්තේ ඊයේ දින (04) පෙරවරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරු කවුන්ටරය අසලදීය. මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ ඊට පෙර අවස්ථාවක දී මෙවැනි සිදුවීමක් සිදුව ඇති නිසාය. 

තවද එම අවස්ථා දෙකෙහිදී ම මුදල් ගෙවීම් කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද නැතහොත් මෙය අහඹු සිද්ධියක් ද යන්න තවදුරටත් සොයා බැලිය යුතු බව ප්‍රභූ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු පවසා ඇත.

මේ රටට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් රවීගෙන් සැර උත්තරයක්

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කළ යුත්තේ ජනතාවගේ බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීම යැයි හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින අතර ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද කියා සිටියි.
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙවර කියා තිබෙන්නේ ද, ඒ අය අවුරුදු ගණනාවක් තිස්සේ කියා සිටී ආකාරයටම මේ රටට මුල්‍ය විනයක් අවශ්‍ය වන අතර සියලු දෙනා ඊට සහය ලබා දීම අවශ්‍ය බවයි. මේ මොහොතේ අප කළ යුත්තේ බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීමයි. බදු ගෙවන්නන්ගේ පරාසය වැඩි කරනවා කියන්නේ බදු ගෙවන පුද්ගලයාගෙන් තව තවත් බදු අය කර ගැනීම නොව බදු ගෙවන පුද්ගලයින්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමයි.
මගේ විග්‍රහයේ හැටියට පළමු අදියරයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපේ යම් දුර්වලතාවයක් පෙනී ගොස් තිබෙන නමුත් මේ දුර්වලතාවයන් අපට සුද්දාම කියන්න අවශ්‍ය නැහැ. රටක් ලෙස අප යම් අවස්ථාවක දී බදු ලිපි ගොනු ප්‍රමාණය අඩු කළා. එසේ නම් මේ මොහොතේ කළ යුත්තේ ඒ බදු ලිපි ගොනු ප්‍රමාණය යළි වැඩි කර ඒ ඔස්සේ බදු වැඩි වැඩියෙන් එකතු කිරීමයි. රටේ ශීඝ්‍ර සංවර්ධන සඳහා හැකි තරම් ඉක්මනින් එම බදු ලිපි ගොනු ප්‍රමාණය වැඩි කළ යුතුයි.
2015 දී අප ආරම්භ කළ ඒ ගමන නොකඩවා ඉදිරියට ගෙන ගියා නම් මේ රට කවදාවත් බංකොලොත්භාවයට පත් නොවන අතර බදු ගෙවන ප්‍රමාණය ද වැඩි වී රට ද සංවර්ධනය වනවා. බදු බර වැඩි කිරීම රටට-ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. අප කළ යුත්තේ බදු ගෙවන වපසරිය වැඩි කර දරා ගත හැකි බද්දක් මිනිස්සුන්ගෙන් අය කිරීමයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා කියා අපට ජනතාව මත පනවා ඇති බදු 50%කින් හෝ 60%කින් කිසිසේත් වැඩි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. සාධාරණ විය යුතුයි. ඒ වගේම සියලු දෙනා මීට දායකත්වය දිය යුතුයි.
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින්ට බදු ගෙවිය හැකි සීමාවක් තිබෙනවා. පොලී අනුපාතිකය විශාල ලෙස වැඩි කිරීම මේ අයට දරා ගත නොහැකි වී තිබෙනවා. මේ සියල්ල ප්‍රායෝගික විය යුතුයි. මේ ප්‍රශ්නය සකච්ඡා කර විසඳන්නේ කෙසේ ද කියා රජයේ නිලධාරීන් දැන ගත යුතුයි. අපට රුපියල් 100ක් උපයා ගැනීමට අවශ්‍ය නම් ඒ ඉපයීම කළ යුත්තේ කෙසේද කියා අප දැන ගත යුතුයි. ඒ ගැන අපට සුද්දා කියන්න අවශ්‍ය නැහැ.
දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සංකල්පය තමයි අපේ රටට ඔබින්නේ...1977 දී එතුමා විවෘත්ත ආර්ථික සංකල්පය හරහා රට ලෝකයට එකතු කළේ නවීකරණයක් සිදු කිරීම සඳහායි. ලෝකයේ හැම තැනම සංවෘත්ත ආර්ථිකය කඩා වැටී තිබුණ අවස්ථාවක දී එතුමා විවෘත්ත ආර්ථිකය හඳුන්වා දෙමින් රට ලෝකයට එකතු කර සංවර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගිය.
දේශපාලකයින් කරන්නේ කයිවාරු ගැසීම විතරයි. මේ අය කරන්නේ වැඩ කරන සහ වැඩක් කළ හැකි පුද්ගලයින්ට පහර දීම විතරයි. රට ගොඩගැනීමට නම් අප සියලු දෙනා මහන්සි වී එකා වගේ වැඩ කළ යුතුයි. රටේ මිනිස්සුන්ගේ දැනුම්වත් භාවය හැකි තරම් වැඩි කළ යුතුයි. බුද්ධි ගලනයට තිත තැබිය යුතුයි."

වැසි තත්ත්වය තවදුරටත් : කාලගුණයෙන් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කරයි.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව විසින් අවශ්‍ය පියවර ගතයුතු බවය.

රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්වලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය. එමෙන්ම කොළඹ , ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික් සදහා නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සදහන් කරයි.

කෙසේ වෙතත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පවසයි.

මෙරට ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට


ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN) මඟින් සංවිධාන කළ GEN Compass Awards 2023 හි අවසන් වටය සඳහා තේරීපත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සමත් වෙයි.

2022 වර්ෂයේ පැවැති ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරමින් අත්කරගත් සාර්ථකත්වය සහ ඵලදායීත්වය මෙලෙස ඇගයීමට ලක්වීමට හේතු වී තිබේ. මෙරට ව්‍යවසායකත්ව සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ICTA හි කැපවීම මෙම ඇගයීම හරහා අවධාරණය කරයි.
ලොව පුරා ව්‍යවසායකයන්ට සහාය දැක්වීම, ව්‍යවසායකත්වය නඟා සිටුවීමමෙන් ම ඒ වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන ඇගයීම ගෝලීය ව්‍යවසායකත්ව ජාලය මඟින් සිදු කෙරේ
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරනු ලැබුවේ ප්‍රථම වරට වන අතර එවැනි තත්ත්වයක් තුළ මෙසේ ජාත්‍යන්තර ඇගයීමකට ලක් වීම විශේෂත්වයකි.

Page 126 of 440