විචාර
ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? - (කෙෂාල් ජයසිංහ)
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා.
මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩක් ඇති බවයි.
එය කිසිසේත් වසර දෙකකින් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බව කිසි කෙනෙක් විශ්වාස කළේ නැහැ. විපක්ෂයේ කිසිදු බලවේගයක් එම අභියෝගය භාර නොගත්තේ පැවති අවධානම නිසාය. ජාත්‍යන්තර ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන ලංකාව තිබු තත්ත්වයේ සිට කෙටි කාලීනව ප්‍රශංසනිය තත්ත්වයට ගෙන ඒම අගය කර තිබුණා. ලංකාව වගේම අර්බුදයට ගිය පාකිස්ථානය, කෙන්යාව, ගානාව, ආජින්ටිනාව වැනි රටවලටද ලංකාව ආදර්ශයට ගන්නා ලෙස ජාත්‍යන්තර ආයතන උපදෙස් දී තිබුණා.
ආර්ථික අර්බුදයෙන් ඇති වු දේශපාලන අර්බුදය කළමනාකරණය කිරිම යන කරුණ මත ජනාධිපති වික්‍රමසිංහ ගේ නම ජාත්‍යන්තර ආයතනවල ප්‍රශංසාවට ලක්වුණා. මෙය පසුගිය දශක තුන තුළම ලංකාවේ පාලකයෙකු ජාත්‍යන්තරයේ ඇගයිමට ලක් වු පලමු අවස්ථාවයි.
ඒහෙත් ගැටළුව වනුයේ ලෝකයම පිළිගත් පුද්ගලයෙකු ලංකාවේ බහුතර ජනතාවක් පිලිගන්නේ නැත්තේ මන්ද යන්නයි. මෙයට හොඳම උදාහරණ ලෙස අපිට පෙන්වා දිය හැක්කේ ලක්සම්බර්හි හිටපු අගමැති Jean-Claude Junckerගේ (ජෝන් ක්ලෝඩ් යුන්ක) ප්‍රකාශයයි. "We all know what to do but we don't know how to get reelected once we have done it."
හිටපු ජනාධිපතිවරයාට සිදු වුයේ Jean-Claude Juncker (ජෝන් ක්ලෝඩ් යුන්ක) කළ දෙයයි. ජනතාව අකමැති ඉතා අමිහිරි ඒහෙත් රට ස්ථාවර කිරීමට කළ යුතු බොහෝ වෙනස්කම් කළා. එම වෙනස්කම් ක්‍රියාත්මක කලේ මැතිවරණය අමතක කරමින්.
උපයන විට අය කරන බදු වැඩි කලා. අගය ඒකතු කිරීම මත බදු වැඩි කළා. අපනයන සීමා කළා. මේ සියල්ල කළේ රට ස්ථාවර කිරිම වෙනුවෙන්. මේ සියල්ලම කරේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවමින්, විශ්‍රාම වැටුප් ගෙවමින් හා සහනාදාර ගෙවිම් තිබුණු ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩි කරමින්.
රට ස්ථාවර කිරිම වෙනුවෙන් විපක්ෂයේ සියළුම පාර්ශ්වල සහය ඉල්ලා සිටියත් සමස්ථ විපක්ෂයම ඔහුට සහය නොදි රට ස්ථාවර කරන වැඩපිළිවෙල විවේඡනය කලා. ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය විසදන වසර දෙක තුළම පූර්ණ කාලීනව තම දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කලේ තම පක්ෂවලට අයත් වෘත්තිය සමිති යොදාගෙන පුළුවන් තරම් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොදි ඒවා කඩාකප්පල් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරින් යොදා ගනිමින් පැවති රජයේ සමස්ත ක්‍රියාවලියම හාස්‍යට ලක් කලා. වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පරාජය සමාන වනුයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ වෙන්විමට පැවති මැතිවරණයටයි.
ඒහිදි ඒවකට කම්කරු පක්ෂය හා කොන්සර්වටිව් පක්ෂ යන ප්‍රධාන පක්ෂ 2ම යුරෝපා සංගමයේ රැදි සිටිය යුතු යන ස්ථාවරයක සිටියා. UKIP පක්ෂය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුය යන ස්ථාවරයේ සිටියා. ඉතා කුඩා පක්ෂයක් වු UKIP පක්ෂයේ ස්ථාවරයට බහුතර කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. දැන් බ්‍රිතාන්‍ය ජනතාව තමන් ගත් තීරණය වැරදි බවට අදහස් පල කරමින් ඉන්නවා.
පසුගිය අවුරුදු 03 තුළ බ්‍රිතාන්‍යයේ ඇතිවු ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස යුරෝපා සංගමයෙන් වෙන්විමද ප්‍රබල ලෙස බලපැ බවද බොහෝ දෙනාගේ අදහසයි.
ප්‍රංශය තුළදි සිදුවුයේ මේ හා සමාන තත්ත්වයකි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් රට ස්ථාවර කිරිම වෙනුවෙන් කළ යුතු ජනප්‍රිය නොවන බොහෝ වෙනස්කම් රාශියක් කලා. 2017 සිට අළුතින් රැකියා මිලියන 2ක් ඇති කලා. මිලියන 06ක් ව්‍යාපාර අවස්ථා ඇති කලා. ව්‍යාපාර බද්ද අඩු කර තිබුණා. ධන බද්ද අඩු කර තිබුණා. උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසකට ඇතුලත් විමට අවස්ථා සලසා තිබුණා. 2032 බිඳ වැටිමට පැවති රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාවර කළා. නමුත් පසුගිය මැතිවරණයෙදි ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායම පරාජය වුණා.
ප්‍රංශයේ නව අගමැති ලෙස පත්වු මිෂෙල් බානියේටද අද සිදු වි ඇත්තේ මැක්රොන් ගෙන ගිය වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමයි. අද ලංකාවටත් සිදු වි ඇත්තේ පත් වු ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ වැඩපිලිවෙල දිගටම ක්‍රියාත්මක කිරිමට පමණයි. අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරාජය වුවත් ඔහු ඉදිරිපත් කළ වැඩසටහන ජයග්‍රහණය කර ඇත.
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වනු ඇත !
දාර්ශනිකයන් මෙන්ම ආගමික ශාස්තෘන් විවිධාකාරයට ලෝකය විග්‍රහ කර ඇත. ඒ සියල්ලේ ඇත්තේ වටිනා මිනිස් ජීවිතය සරු කරගන්නා ආකාරයය. එය සැපවත් කරගන්නා ආකාරයය. ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ එය හසුරවා ගන්නා ආකාරයටය. එසේම ජීවිතයේ වටිනාකම උත්පාදනය වන්නේ සහ රඳා පවතින්නේ අප්‍රමාදය මතය. දිනක් සැවැත්නුවර ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ “ස්වාමීනී මෙලොවටත් පරලොවටත් පිහිට වන එකම ධර්මයක් තිබේද”? කියාය. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදො ඛො බ්‍රාහ්මණ” ආදී වශයෙන් මිනිසාගේ දෙ ලොව යහපතට එක ම ධර්මය "අප්‍රමාදය" බවය. එනිසා ආගමික අර්ථයෙන් පමණක් නොව භෞතිකවාදී අදහස අනුව ගත්තත් මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකක්ය. ඒ ගැන වන ජනවහරේ පාඩම නම් " අපායට ගියත් වේලාසනින් යන්න" කියාය. නැත්නම් ප්‍රමාද වන්න එපා කියාය.
මෙවර සටහනට මෙවැනි පූර්විකාවක් ගන්නට සිතුණේ 2023 වසරේ ලංකාවාසී බෞද්ධ ජනතාව වෙසක් සැමරුම සඳහා එක්වූ උද්‍යෝගය නිසාය. මංමාවත් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අතර, ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවේත් අඩුවක් තිබුණේ නැත. එනිසාම සීලය සමාධිය ප්‍රඥාව වඩවන ආගමික වතාවත් මෙන්ම, වෙසක් තොරණ, වෙසක් කූඩු, වෙසක් දන්සල් හැම අතම දකින්න ලැබිණ. ජාති ආගම් බේදයක් නැති ජනතා එකමුතුවත් කැපී පෙනිණ. මේ ආකාරයට ජනතාව වෙසක් උත්සවය දැහැමි සිතැතිව මහත් උත්කර්ෂයෙන් සමරනු ලැබුවේ, වසර තුනකට පමණ පසුවය. 2022 වසර සැලකිල්ලට ගත හොත් මිනිසුන් සිටියේ වෙසක් අසිරිය විඳිමින් නොවේය. එදා වෙසක් පොහොය හමුවේ රට තිබුණේ අවීචි මහා නරකාදියක ජීවමාන පිටපතක් බඳු තත්ත්වයකට පත්වෙමින්ය. එක් පසෙකින් කන්න බොන්න නොමැතිව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, හිඟය සමඟ ඇති වූ පෝලිම් තිබූ අතර, අනෙක් පසින් ප්‍රචණ්ඩත්වය මුසු වූ දිග්ගැස්සෙන අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබිණ. ලෝකය එදා මේ රට හඳුන්වා දුන්නේ "උග්‍ර ණය සහ දරුණුම ආර්ථික අර්බුදයකට ලක්ව, ගොඩ ඒමක් ගැන පුරෝකථනයක් පවා කරගන්නට නොහැකි ගෝලීය නිදර්ශනයක් ලෙස" ය. එහෙම පසුබිමක කවුරුත් සම්බුදු තෙමඟුල සිහි කරන්න ගියේ නැත. කවුරුත් අතට නවගුණ වැල ගෙන සිටියේ නැත. අමුතුවෙන් නොලිව්වත්, එදා කවුරුත් කර කියමින් හිටිදේ එහෙම අමතක කරන්නත් හොඳ නැත.
නමුත්, වසරක් ඉක්මයන වෙසක් සැමරුමේ සැබෑ සිරිය විඳින්න මෙරට ජනතාවට හැකි විය. එපමණක් නොව ලෝකයාට අප රට ගැන තිබූ විග්‍රහය වෙනස් කරන තැනට රට ඔසවා තබන්නට ද හැකි විය. ඒ කිසිවක් ඓශ්චර්යක් නිසා සිදුවූවක් නොවේය. දේශපාලන කුහකත්වය පසෙක තබා කිවහොත් රට මේ තැනට ඔසවා ගන්නට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නොපමා මැදිහත්වීම නිසාය.
මතු වූ අභියෝගය !
එදා පාලකයන්ට රට පාලනය කරගත නොහැකි තැනට පත්ව තිබූ අවස්ථාවේ, සම්ප්‍රදායික දේශපාලන නායකයන් කිසිවෙකු ඒ මතු වූ අභියෝගය භාර ගත්තේ නැත. විපක්ෂ නායක සජිත් එන්න කියා ගන්න කිව්වත් රට භාරගත්තේ නැත. "රට මට දෙන්න - ගොඩදාන හැටි මම පෙන්වන්නම්" කියා ජවිපෙ නායක අනුර කිව්වේ නැත. අවසානයේ විමසීම ලැබුණේ රනිල්ටය. ඔහු ඒ වන විටත් විපක්ෂයේ සිටි, තනි ආසනයේ මන්ත්‍රීවරයා වුවත්, වගකීම භාරගත්තේය. මෙහිදී වඩාත් සුවිශේෂී කාරණය වන්නේ, පළමුව අගමැති වූ සහ දෙවනුව ජනාධිපති වූ රනිල්ගේ අප්‍රමාද හැසිරීමය. නැතිනම්, ප්‍රමාද නොවී, ගතයුතු තීන්දුව නිශ්චිත මොහොතේ නිවැරදිව ගැනීමය. පළමුව පෝලිම් යුගය අවසන් කර ජනතාව දෛනික ජීවන පැවැත්මට ගෙනගිය ඔහු එකින් එක, පෙළින් පෙළ, රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීය.
එය රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන චරිතයේ සුවිශේෂ ගුණ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඔහු ජනප්‍රියතාවාදය ගැන කිසිදාක විශ්වාසයක් තැබුවේ නැත. ඒ වෙනුවට පූර්ණ කාලීන දේශපාලනඥයකු ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් අවශ්‍යම මොහොතේ විය යුතු දේ , කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ පැහැදිලිව පැවසීය. නිවැරදි දේ පැවසුවා පමණක් නොව ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියේය. දේශපාලන වශයෙන් කොතරම් පසුබෑම් පැමිණියත්, ප්‍රතිපත්ති වෙනස් කරේ නැත. අඛණ්ඩව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. අසත්‍ය කොතරම් දරුණු වටලෑමක් කළත්, අසත්‍ය කොතරම් දරුණු ප්‍රහාරයක නිරත වුවත්, රනිල් වෙනස් වුණේ නැත. ඔහු එවිටත් පසක් කර සිටියේ, " මට ගැහුවට කමක් නෑ, මේ වැඩේ රට, ජනතාව වෙනුවෙන් මේ මොහොතේ කරන්න , කල් දාන්න එපා, ඉක්මන් කරන්න, මොකද එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්" කියාය. ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමේ සිට කොරෝනා වසංගතය අවස්ථාවේත් , එතැන් සිට ලංකා ආර්ථිකය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය කඩා වැදීමට පෙරත්, රනිල් වික්‍රමසිංහ, කළ කී දෑ වෙනම ගෙන තබා බැලූ කළ, මේ කියන කතා අතිශයෝක්තියක් නොවන බව තේරුම් ගන්න දුෂ්කර නැත.
එහෙමය කියා රනිල්ගේ ආදර්ශය කොයිකත් කඩිමුඩියේ කිරීම යැයි සිතා කවුරුත් වරද්දා ගත යුතු නැත. මෑත දේශපාලන ඉතිහාසයේ ගනු ලැබූ අමනෝඥම දේශපාලන තීන්දුවක් වූ රසායනික පොහොර තහනම අවස්ථාවේ, ඊට අදාළ රනිල්ගේ ප්‍රතිචාරය වූයේ, "ඔය වැඩේ ඔහොම හදිස්සියට කරලා හරියන්නේ නෑ " කියාය. එසේම ඓතිහාසික දේශපාලන කඹයක් ගිල්ලවා සජිත් යොදාගෙන එක්සත් ජාතික පක්ෂය කඩන අවස්ථාවේද රනිල් කිව්වේ, "අපරාදේ සජිත් කලබල වුණේ" කියාය. ඒ අවස්ථා දෙකටම අදාළව රනිල්ගේ කියවීම නිවැරදි බව දැන් හොඳටම තහවුරුව ඇත. ඒ නිසා රනිල් ආදර්ශයක් ලෙස ගත යුතුව ඇත්තේ, කොරහෙත් අත දාගන්න තරම් හදිස්සි වීම නොව, අවශ්‍යම මොහොතේ නිවැරදි දේ කිරීම වෙනුවෙන් කොහෙත්ම ප්‍රමාද නොවිය යුතු බවය.
මේ මොහොතේ ජනාධිපති රනිල් ඉන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ආරාධනය අනුව තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවය. මේ සංචාරය ගැනත් විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයා රටේ මුදල් නාස්ති කරමින් පිටරට මළගෙවල්වලට, වැඩකට නැති උත්සවවලට යන බවය. මීට පෙර ජපානයේ ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍යට සහ දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට යන විටත් විපක්ෂය කිව්වේ ඔය කතාවමය. විපක්ෂයේ ඒ කතා මොනවා වුණත් මේ සහභාගිත්ව හරහා, ජාත්‍යන්තරයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව කෙරෙහි යළි අවධානය යොමු කරගැනීමට සහ ජාත්‍යන්තර සහයෝගය අත්පත් කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි විය. මෙවර බ්‍රිතාන්‍ය සංචාරය අවස්ථාවේ පවා චාල්ස් රජු මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සමඟ එකම මොහොතක කතා බස් කර අදහස් හුවමාරු කරගන්නට ජනාධිපතිට අවස්ථාව ලැබී තිබිණ. ඊට පෙර කාලගුණ සමුළුව අවස්ථාවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඒ සඳහා චාල්ස් රජුගේ පැමිණීම පවා අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පැවසූ ලෝක නායකයා ද රනිල්ය. ඔහු ඒ ආකාරයට මැදිහත්වීම සිදු කළේ එවකට බ්‍රිතාන්‍ය අගමැති චාල්ස් රජුගේ එම සංචාරය අනවශ්‍ය බව පවසා තිබූ පසුබිමකය. කෙසේ නමුත් ගෝලීය දේශගුණ විපර්යාස සඳහා මුහුණදීම මෙන්ම ඒ සඳහා බලපෑම් සහගත මැදිහත්වීමකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව පවතින පුළුල්ම ජාත්‍යන්තර සංවිධානය ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයට ඇති හැකියාව මේ වන විට ජාත්‍යන්තර දේශපාලනයේ අවධානයට පාත්‍රව ඇති කරුණක් වී තිබේ.
මුල්‍ය අරමුදලේ සහය ලැබීම නිසා අනෙක් පසින් මේ වන විට රට පවතින්නේ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කර ගැනීමේ අත්‍යවශ්‍ය මොහොතකය. එහිලා සුපුරුදු බලවත් රටවල් සමඟ මෙන්ම අලුතෙන් නැඟී එන අප්‍රිකාව ද කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. බ්‍රිතාන්‍ය සංචාරය අවස්ථාවේ රුවන්ඩා මෙන්ම ඝානා යන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා අලුත් කරගන්න ජනපති රනිල් ක්‍රියාත්මක වුණේද ඒ අනුවය. මේ ක්‍රමය මීට පෙර මෙරට පාලකයන් අත්හදා හෝ බලා නොමැති අලුත් ක්‍රමයක්ය. නමුත් කොරෝනා වසංගත පශ්චාත් ගෝලීය හැඩගැස්ම තුළ සහ ගෝලීය ආර්ථික අවපාත හමුවේ මතුව ඇති නව ප්‍රවණතා ජනාධිපති රනිල් විසින් රට සරු කරන්න , රටට අර්ථයක් දෙන ආකාරයට යොදාගන්නේ ඒ ආකාරයටය.
එහි ප්‍රතිඵල අදටත් ලැබී ඇත. මේ වන විටත් මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියත්මක විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන අරමුදලේ සහය ප්‍රකාශය වී හමාරය. ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පුළුල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත්තේ ද ඒ අනුවය. එහිදී ආර්ථික පරිවර්තනය, වර්ධනය හා තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ආර්ථික අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 03 මත පදනම්ව ලෝක බැංකුව විසින් සහය ලබාදීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ද ලෝක බැංකුවේ සහය හිමිව ඇත. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එසේම යළි ජපානය මෙරට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස තවත් රාජ්‍ය ගණනාවක් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වන සාකච්ඡා ආරම්භ කර ඇත.
නිවැරදි තීන්දුව
මේ සියල්ල හිමිවන්නේ ජනපති රනිල් නිවැරදි තීන්දුව අප්‍රමාදව ගෙන කටයුතු කළ නිසාය. එපමණක් නොව, ඉතිහාසයේ අවශ්‍ය මොහොතේ ගත යුතු නිවැරදි තීන්දු නොගැනීම විසින් සෑම ක්ෂේත්‍රයකම සිදු වූ බිඳ වැටීම, කඩා වැටීම මේ සමඟ නැවත ගොඩගැනීමේ ඓතිහාසික කර්තව්‍ය ද මේ මොහොතේ රට හමුවේ ඇත. නැතිනම් රට නවතින්න නියමිත 2022 ටත් අන්ත තැනකය.
ඒ තරම් වගකීම් සහගත මේ පසුබිමේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සිහිපත් කරන්නේ කුමක්ද ? ඒ නම් හඳට පොලු ගැසූ ග්‍රාම්‍ය මැට්ටන් මිස අනෙකෙකු නොවේය. රනිල් වික්‍රමසිංහ පාලන බලය ගැනීමෙන් පසුව රනිල් රාජපක්ෂ බවට බෞතීස්ම කළ මොහොතේ පටන් විපක්ෂයේ හැසිරීම එබඳුම ය. ලැබෙන සුළු මොහොතේ විපක්ෂය සතුටු වන්නේ, තමන් ගහපු පොලුවලට හඳ බිම වැටුණා කියාය. අනතුරුව ඔවුන් හඳේ රස කියන්න කට අරින්න සූදානම් වන විටම, යළිත් හඳ අහසේ දිස් වන අතර, තවමත් ඉතිරිව ඇත්තේ, "හඳ බිම දැම්මා" කියා, විපක්ෂය අනුභව කළේම "වසුරු" බව ඒ කටවල් වලින්ම කියන්නට නොහැකිවූ පමාව පමණය.
එනිසා දැන්වත් විපක්ෂයට ඇත්තේ අප්‍රමාදව තීන්දුවක් ගෙන රට ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට සහය දීමය. තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ කඳවුරේ ජනාධිපති නොව, ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට ගොඩනගන අභියෝගය භාරගත්, ඒ වගකීම මේ මොහොතේත් නොපිරිහෙළා ඉටුකරන නායකයා බව විපක්ෂය පිළිගත යුතුව ඇත. ඉතිහාසය වීරයන් නම් කරන්නේ බලය සඳහා සිදු කළ සැහැසිකම් හෝ ට්‍රැජි කොමඩි ඇසුරෙන් නොවේය. බලය පිණිස මරාගත් චූලෝදර මහෝදර නාග සහෝදරයන්ගේ ගැටුම සමතයට පත්කරන්න බුදුන් පවා වැඩිය බව අප අසා ඇත. නමුත් ඉතිහාසය විසින් සදාතනික දේවත්වයට ඔසවා තැබුවේ, නාගයන් සමඟ එතෙක් පැවති ගැටුම් සියල්ල පසෙක තබා, නාගයන් සමීපයට ගොස් බුදුන් පිළිගෙන, සමනොළ ගිරි මස්ථකයේ සිරිපතුල තබවන්න නොපමාව කටයුතු කළ "සුමන සමන්" දේව වංශිකයාවය. ඒ හැර බලයට මරාගත්ත නාග සහෝදරයන් ඉතිහාසය "දේවත්වයට" පත්කළේ නැත. වර්තමානය අප කෙලෙස ලියා ගත්තත් විනිශ්චය ඉතිහාසය සතුය.
එවැනි පසුබිමක ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසී අවිද්‍යාවේ අඳුර දුරු කර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට විපක්ෂය දායක විය යුතු නැද්ද ? විපක්ෂයේ පමණක් නොව අප සැමගේ වගකීම එය නොවේද ? ඒ වෙනුවෙන් වන ප්‍රමාදය කාගේ වුවත් එය පසුතැවිල්ලට හේතුවක් නොවනු ඇතිද ?
එස්. එම්. ලියනගේ
(2023-05-08 දිනමිණ)
සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු!
ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි.
ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්. චන්ද්‍රිකා බිහිවෙන්නෙත් තරමක් වමට බර ආණ්ඩුවක් හරහා. හරිනි බිහිවෙන්නෙත් වමට බර ආණ්ඩුවක් හරහා.
ලංකාවේ දකුණට බර සහ ජාතිකත්ව සහ ලිබරල් කියන ආණ්ඩු කොච්චර තිබ්බත් ලංකාවේ ජනගහනයෙන් බාගෙකට මදක් වැඩි කාන්තාවන් වෙනුවෙන් කාන්තාවකට අගමැතිකම දෙන්න මැලිවුණා. හෝ වෙනත් බල අරමුණු වෙනුවෙන් කොච්චර උගත් කාන්තාවන් පාර්ලිමේන්තුවේ හිටියත් ඔවුන්ට ඒ අවස්ථාව දුන්නේ නැහැ. ඒ අතින් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉස්සරහින් ඉන්නවා. ප්‍රගතිශීලී වෙනවා.
ආරම්භයක් හැටියට ගත්තොත් මාව ටැග් කරලා සමහරු ලියල තිබ්බ අනුර ජනපතිගේ දිවුරුම්දීමේ උත්සවයේ කිසි ප්‍රභූ ගතියක් නැහැ සමනලීල ඇවිත් ඉන්නේ කොටහළු ගෙදරක යනවා වගේ කියල (මම ටැග් එක ඉවත් කළා).
ඔව්..සමනලීල රොඩ්නිල මේ ආණ්ඩුව බලයට ගේන්න මහන්සි උනා. ඒ අයට තමයි ඒ උත්සවයට එන්න කියන්න ඕනි. එයාල තුල ප්‍රභූ ලුක් එකක් නැතුව ඇති. නමුත් ඒ උත්සවය ප්‍රභූ හාත්පසක් (ambience) නොගත්ත නිසාම තමයි ඒක රාජපක්ෂලාගේ රනිල්ලාගේ උත්සවයකින් වෙනස් වෙන්නේ.
ඒක සාමාන්‍ය මනුස්සයෙක්ගේ දිවුරුම්දීමක්. සාමාන්‍ය මිනිස්සු එක්ක කරපු දේශපාලන ගමනක සංධිස්ථානයක්. ඒක ජනතා දේශපාලනයක් ඇතුලේ වෙනස් දෙයක්. සහ බ්‍රෙෂ්ට් කියන විදියට දියුණු අවස්ථාවක්. නිදහසේ ඇඳුමක් ඇඳල නිදහසේ තමන්ට කැමති විදියට ඉන්න එක දියුණු සමාජ අවකාශයක් නිර්මාණය වීමක්.
හුණුවටයේ අසඩක් කළේ වැරහැලි ඇඳගත් අම්ම නඩුකාර පුටුවේ වාඩිකරපු එක.
මෙතෙක් බිහිවුණ කිසිම ආණ්ඩුවකින් ආරාධනා පත්‍රයක් නොගිය මිනිස්සු ටිකක් එදා දිවුරුම්දීමේ උත්සවයට ඇවිල්ල හිටිය. ඒක අලුත්. ඉතිහාසය එයාලටත් ඒ අවස්ථාව දෙන්න ඕනි.
දැනට ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. හැඳුනුම්පත් එකතු කළෙත් නැහැ. ලාම්පු නිවන්න කිව්වෙත් නැහැ. ඒ ඉතිහාසය ඉවරයි.
තවමත් අනුර සහ ඒ කණ්ඩායම උත්සාහ කරමින් ඉන්නේ යම් යම් දේශපාලන වෙනස්කම් අරන් එන්න. හැබැයි තියුණු දේශපාලන නිමේශයක් නිර්මාණය වෙමින් තියෙන්නේ අනාගතය වෙනුවෙන්.
එකම දෙයයි. වඩ වඩා ජනතාව ඉල්ලා සිටි ප්‍රතිසංස්කරන ඉක්මනින් ගෙනාවොත් ඊළඟ ජනවරම ගැන කුකුසක් තියාගන්න ඕනි නැහැ. හෝදලා එනවා. ඒ වගේම වඩා ජනතාවාදී සහ ප්‍රගතිශීලී සමාජ දේශපාලන වෙනස්කම් වෙනුවෙන් අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා.
මිනිසුන් විශ්වාස කරන්න!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
ජැක්සන් නම් මිත්‍යා කතාව... (Mahesh Hapugoda)
මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා.
මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ පරිත්‍යාගමය දෙයක් කරන්න හැකියාවක් නැහැ.
කොහේදෝ කැලේක ගිහිල්ල එනකොට අලියෙක්ගේ හැප්පිලා ඔත්පළ වෙච්ච ජැක්සන් ඇන්තනී ජීවත් වීමේ උපකාරක සහිතව (life support) දැන් මාස ගාණක් ජාතික රෝහලේ කියල කියනවා. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් මරණයට සූදානම් නැහැ. හැබැයි දැන් ජීවිතය කියල මහා ලොකු දේකුත් නැහැ.
ඒ නිසා මම කැමතියි එයා මරණයත් නොවන ජීවිතයත් නොවන පාරභෞතික තැනක මේ වෙලාවේ ස්ථානගත කරන්න (in between position).
ජැක්සන් කියන්නෙම මිත්‍යා කතාවක්. දැනුත් ඒකෙ වෙනසක් නැහැ. ඇක්සිඩන්ට එකෙන් ඒක තවත් වැඩිවුණා.
ඉතිහාස කතා, යුද්ධ කතා, මහාවංස කතා, වීර කාව්‍ය, බුදුන්, බුදුන්ගේ ඥාතීන් වගේ ප්‍රබන්ධ හෝ ආඛ්‍යාන (fictional narrative) ඔස්සේ මේ අපි ජීවත් වන සාහසික එහෙත් මියයමින් පවතින ක්‍රමයට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල ජීවය දුන්නේ ජැක්සන් ල. දැන් මේ ක්‍රමය විසින් ම ආපහු එයාට ජීවය පිඹිමින් ඉන්නවා. ඔහු මමියක් ලෙස හෝ පවත්වාගෙන යන්න ඕනි වෙලා ඇත්තේ ඇත්තටම ඔහු ආපසු ජීවිතය (ඒ තිබ්බ හැටියටම) ලබා ගනී කියල හිතන නිසා නම් නෙවෙයි. මෙතැන තියෙන්නේ භෞතික ජැක්සන් ට වඩා පාර භෞතික ජැක්සන් කෙනෙක් (metaphysics) අපි තුළ ඉන්න නිසා ඒ දෙවැනි ජැක්සන් මරාගන්න අපි තුළ තියන නොකැමැත්ත.
ඒ කියන්නේ අපේ පැවැත්මේ ආරම්භය (the myth of origin) කියල දෙයක් ආඛ්‍යාන ගත කරලා විචිත්‍රවත් කරලා ඒක එක යුගයක රාජ්‍ය බලය එක්ක පටලලා කතන්දර කියපු මිහිහට ආපහු අපි කරන මරණයේ සැලියුට් එක.
හුඟක් අය කියනවා මේ අවුරුදු දවස් වල තමයි ජැක්සන්ගේ අඩුව හොඳටම දැනෙන්නේ කියල. ඒ කියන්නේ යම් අවතාරයක් අපි තුළ හොල්මන් කරනවා එයා හිටියනම් හොඳයි වගේ.
අපි මේ ජීවත් කරවන්නේ අපි තුළ තියන මිත්‍යාව මිසක් ඇත්තට පවතින ජැක්සන් කෙනෙක් නෙවෙයි.
ඒ කියන්නේ ජැක්සන් කියන්නේ නැහැ (එහෙම සිහියක් එයාට නැහැ) මාව ජීවත් කරපල්ලා කියල. හැබැයි අපි උත්සාහ කරනවා දැනටත් ඇත්ත ජීවිතයක් නැති, එහෙම ජීවිතයක් ලබාගන්න පුළුවන් කියල හිතන්නත් බැරි කවුදෝ ජැක්සන් කෙනෙක් ජිවත් කරවන්න. ඒක මිනිස් ශිෂ්ටාචාරයේ යම් වටිනාකමක් තමයි. ඒකට අපි ගරු කරන්න ඕනි.
ජැක්සන්ට මරණයේ ලිපිය ආවට මොකද ඒක ඔහු අතට දෙන්න පරක්කු වෙනවා. ඒ පරක්කුව තියෙන්නේ අපේ ජැක්සන් සම්බන්ද මරණ ආශයේ (killer instinct).
හැබැයි කොයි මොහොතක හරි යම් වෛද්‍යවරයකුට මේ ''මරණය පරක්කු කිරීමේ'' සුවපහසු ස්ථානයෙන් ඔබ්බට ගිහිල්ලා ලියුම (the purloined letter) ඔහු අතට දෙන්න වෙනවා.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
ඒ තමයි මංගල... එතැන තමයි හිස්තැන - (ජයනි අබේසේකර)
(මංගල සමරවීර ගේ තෙවෙනි අනුස්මරණය අගෝස්තු 24 දිනට යෙදී ඇත)
මම මංගල ගැන දන්නේ බොහොම ටිකයි. ඒකත් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්ත මංගල ගැන.
අදට හරියටම අවුරුදු තුනකට කලින් මංගල කෙරෝනා ආසාදිතව තමන්ගේ ජීවිතේට සමුදෙනවා.
දේශපාලනඥයෝ මියයන්නත් කලින්ම නිවන්සුව ප්‍රාර්ථනා කරද්දි තමන් ගෙවපු අවලස්සන දේශපාලන ජීවිතේ, මරණය විසින් පවා අහෝසි නොකරද්දි මංගලගේ සමුගැනීම ම මංගලව ජීවමාන කරනවා. කිසිම දේශපාලකයෙක්ගේ මරණය වෙනුවෙන් නොඅඩපු මිනිස්සු මංගලගේ වියෝව වෙනුවෙන් ඇඬුවා.
ඒක උත්කර්ෂවත් පැවැත්මක්... රසඥතාවක්... දේශපාලන ඉවක්... තිබ්බ මිනිහෙක්ගේ නික්මයාමක්... ඒ නිසාම මේ සියලු දේශපාලන අවුල් වියවුල් මැද මංගල හිටියා නම්... කියල අද බොහෝ දෙනෙක් කියනවා. ජීවත්ව හිටිය මංගලටත් වඩා මියගිය මංගල ගැන අද වැඩි වැඩියෙන් කතා කරනවා.
මංගල වෙනුවෙන් සමබිමට මම 'මංගල කලාපය' කරද්දි ඒකට මංගල ගැන වචනයක් හරි එකතු කරන්න හැමෝටම ඕන වුනා. නොදන්න මංගල ගැන ඒ ලිපි දිගේ ගිහින් දැන ගන්න හුඟක් දේ තිබුනා. ඒ හැමෝම තමන් දන්න මංගල ගැන ලියලා තිබුනා.
පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තට පස්සේ තමයි මංගල තමන්ගේ දේශපාලන ජීවිතෙත් පුද්ගලික ජීවිතෙත් ස්වර්ණමය කාලයක් ගෙව්වේ කියලයි මට හිතෙන්නෙ. පාර්ලිමේන්තු දේශපාලනය ඇතුළේ එයාට තිබ්බ සියලු සීමාවන්ගෙන් එයා එළියට ඇවිත් හිටියා. මංගල තමන්ගේ ජීවිතේ දිහාම ආපසු හැරී බැලීමක් ඇතුලේ හිටියේ. ඒ නිසාම එයාට පුලුවන් වුනා තමන් ඇත්තටම විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනී ඉන්නත් ඒක සද්දෙට කියන්නත්... එයාගේ දේශපාලන ජීවිතය ඇතුළේ එයා අතින් වුන ඇතැම් අතපසු වීම් ගැන පවා පිළිගන්නත්.
ඒකයි මේ දේශපාලන අවුලට තමනුත් වගකියන්න ඕන කියල මංගල ප්‍රසිද්ධියේ කිව්වේ. මංගලගේ දේශපාලන භාවිතය ගැන මොන විවේචන තිබුනත් වැදගත් වෙන්නේ ඒ ගැන අවංකව කතා කරන්න මංගලට තිබුන ධෛර්ය... ඒක ලංකේය දේශපාලන භූමියේ කවදාවත් බලාපොරොත්තු වෙන්න පුලුවන් තත්ත්වයක් නෙවෙයි. ඡන්ද වෙනුවෙන් ජාතික ප්‍රශ්නය ගැන කට ඇරගන්න බැරි... තමන්ගේ අතින් වුන අතීත වැරදි ගැන අවංකව සමාව ගන්න බැරි... ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගැන කතා කරලා බලයට ආවාම පැසිස්ට්වාදීන් වෙන දේශපාලන හැසිරීම් අතරේ මංගල සුවිශේෂි වෙන්නේ ඒ නිසා.
තමන් පවා හවුල් වුන ඒ අවුල හදන්න 'මංගල ගමනක්' එයා යමින් හිටියා. එයා ඒ ගමනෙදි එහෙම් පිටින්ම විශ්වාස කරේ තරුණ පරම්පරාව. රාජපක්ෂ පාලනය ඇතුළේ විමල් වීරවංශල හදපු ව්‍යාජ දේශප්‍රේමයට ආගම්වාදයට ජාතිවාදයට එරෙහිව මංගල සැබෑ දේශප්‍රේමයට නව අර්ථකතනයක් ගෙන එමින් හිටියා. ඒ වටේට තරුණ රැල්ලක් ගොඩනැගෙමින් තිබුනා. ආරම්භයේදීම මංගල ඒ ගමනට සමුදුන්නත් මංගලගේ බලාපොරොත්තුව තමයි තවමත් දැල්වෙන්නේ.
මංගල මිනිස්සුන්ගේ ශක්තිය විශ්වාස කරා. දේශපාලනිකව මිනිස්සු ගත්ත තීරණ එයා විවේචනය කරේ නෑ. තමන්ගේ අයිතිවාසිකම් ගැන දන්න සැබෑ දේශප්‍රේමී මිනිස්සු වැඩි වැඩියෙන් බිහිවීම ගැන එයා හීන දැක්කා. ඒ වෙනුවෙන් එයා වැඩ කරා...
මානව හිමිකම්, ජාතික ප්‍රශ්නය, සංහිඳියාව වගේ කාරණා පොළොවට ගේන්න දේශපාලන නායකත්වය දුන්නේ මංගල කියලයි මම හිතන්නේ. 'සුදු නෙළුම' සහ 'මව් පෙරමුණ' කියන්නේ ඒකට උදාහරණ. මංගල දේශපාලනිකව කොතන හිටගත්තත් ජාතික ප්‍රශ්නයත් මානව හිමිකම් පිළිබඳ කාරණයත් අත්නොහැර අල්ලන් හිටියා.
පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් තරුණයෝ එක්ක හිටගත්ත මංගලත්, ඒ වෙනුවෙන් කරපු පෙනී සිටීම මොහොතකටවත් අත්ඇරුයේ නෑ. තරුණයෝ එක්ක හිටියට පරණ තැටිනේ ගහන්නේ කියද්දිත් මංගල කිව්වේ අවුරුදු හැත්තෑහතරක් තිස්සේ පරණ තැටිවලට උත්තර හොයා ගන්න බැරි වුන නිසා තමයි අපි තවම මෙතන ඉන්නේ කියල.
පාර්ලිමේන්තු දේශපාලනෙන් එළියට ඇවිත් තමන්ගේ ජීවිතේ ඒ තරම් නිදහස්වත් දේශපාලනිකව පුදුම තරම් සක්‍රීයවත් ගත කරපු වෙන දේශපාලකයෙක් ගැන කියන්න මගේ කෙටි ජීවිතය තුළ අත්දැකීම් නෑ. කට ඇරියොත් නිකන්ම ජෝකර්ලා වෙන දේශපාලකයෝ අතරේ මංගල, Tik tok කරලත් වස්තිලාගේ මහරජ මංගලට රඟපාලත් තමන් කවුද කියල හරියටම සලකුණු කරල පෙන්නුවා.
මංගල හැමදේම පටන්ගත්තේ තමන්ගෙන්. සමානයන් හැටියට හැමෝටම සලකන්න පටන්ගත්තේ මංගල අවකාශයෙන්. මංගල අපි හැමෝටම මංගලම වුනා.
එක වට මේසෙක අපි කතා කරද්දි කවුරු හරි නිශ්ශබ්දයි නම් මංගල එයාව කොහොම හරි කතා කෙරෙව්වා. මහා දේශපාලන සාකච්ඡා අස්සේ විහිළු කරල මහා හයියෙන් මුළු ශරීරෙම ගස්සමින් එයාට හිනාවෙන්න පුලුවන්කම තිබුනා. එහෙම සාකච්ඡාවක් තිබුනේ එයාගේ ගෙදර නම් හවායින් සුරුට්ටුවක් පත්තු කරගෙන නිස්කාන්සුවේ එයා අපිව අහන් හිටියා. ලංකාවේ කිසිම දේශපාලකයෙක්ට තව කෙනෙක් අහන් ඉන්න සංයම තියෙනව කියල මම විශ්වාස කරන්නේ නෑ. ඒත් මංගලට තව කෙනෙක් වෙනුවෙන් ඕන තරම් වෙලාව තිබුනා.
මංගලගේ රැඩිකල්කම තිබුනේ වචනවල නෙවෙයි. මංගල විවේචනය කළේ සිවුරවත් බෞද්ධකමවත් නෙවෙයි.. ඒ යටින් තිබුන කුහක බිම්ගත අශ්ලීල පදනම. ඒක ඒ මොහොතේ ජනප්‍රිය අදහස වුනේ නෑ. ඒ නිසාම මංගල බෞද්ධ වීරෝධීයෙක් වුනා. මංගල තමන්ගේ ලිංගික පැවැත්ම හැංගුවේ නෑ. ඒ නිසාම මංගල සමනළයා වුනා. හැබැයි මංගල එයාගේ ගමන හිනාවේවි ගියා. ඒක බොහොම සවිඥානික දේශපාලන ගමනක්.
ඒ ගමන යන්න එකඟ වුන මිනිස්සු අතරේ කොල්ලෝ කෙල්ලෝ අතරේ පුංචි තැනක ඉඳන් මට එයාව පෙනුනා.
ඒ මංගල, හිනාවෙන් සමරන්න ඕන උත්කර්ෂවත් පැවැත්මක් තිබුන විචිත්‍රවත් මිනිහෙක්.
ඒ තමයි මම දන්න මංගල... එතැන තමයි තවම හිස්තැන.
(ජයනි අබේසේකර)
මාධ්‍යවේදිනී - සිවිල් සමාජ ක්‍රියාකාරිනි
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වාසු ජාතිවාදියෙක්ද?
වාසුදේව මෙරට දේශපාලනයට කරමින් තිබෙන කෙංගෙඩියක් පවතීද?
මම හිතන්නේ ඔහුගේ දායකත්වය ද බොහෝ කුඩා වාමාංශික කණ්ඩායම්වල දේශපාලන දායකත්වය වැනිම දෙයක් බවයි. 1977 මහ මැතිවරණය තුළින් අහෝසි වුන මෙරට සම්ප්රදායික වමේ පැවැත්ම තහවුරු කරගැනීමට නැවත යම්තම් හෝ අවස්ථාව ලැබෙන්නේ 1994 චන්ද්රිකා බණ්ඩාරනායකගේ ආගමනයෙන් පසුවය.
ඉන්පසු පොදුජන/SLFP දේශපාලනය තුළ පැරණි වාමාංශිකයාට යම් ඉඩක් මතුවිය. ඒ එජාපයේ කඩාවැටීමට සාපේක්ෂවය. ජවිපෙ ඔලුව හංගා ගත්තේ ද එම කදවුර තුළමය. කුඩා පක්ෂවලට සංධාන දේශපාලනය තුළ සිය අනන්‍යතාවය තහවුරු කරගන්නේ කෙසේද යන බරපතල ගැටලුව තිබේ.
තම අනන්‍යතාවයට තර්ජනයක් වන හැමවිටම ජවිපෙ එම සංධානවලින් එළියට පැමිණ තිබේ. වන්ද්රිකාගේ ආණ්ඩුවෙන් ජවිපෙ එළියට ආවේ දෙමළ ජනයාට වෙනම පාලන ඒකකයක් ලැබෙයි කියන බයට හා එලෙස ලැබුණොත් එම 'පාපකර්මයට' හසුවීමේ ආනිසංස ලෙස එම පක්ෂය බෞද්ධ කදවුරෙන් ප්රතික්ෂේප වේය යන බිය නිසාය. බෞද්ධ කදවුරේ දේශපාලන අධානග්රාහීත්වයට බියවුනේ වමේ/ සමාජවාදී ජව්පෙය. එකල එයට වාසු බියවුනේ නැත.
ඊළගට උතුරට බෝම්බ දැමීමට ජවිපෙ හා මහින්ද එක්විය. එහි වාසුත් සිටියේය. වාසු හැම විටම මෙම කදවුර අත්නොහරිමින් සිට ඇත.
නමුත් වාසුට බලය බෙදීම ගැන ජවිපෙට වඩා යහපත් ස්ථාවරයක් ඇත. එයට පක්ෂව ඔහු පෙනීසිටී.
පසුගිය කාලවල පොහොට්ටුව ගොඩ නැගීම තුළ වාසු සිටියේය. ඒ ජාත්‍යන්තර මට්ටමේ වාමාංශික උපායක කොටස්කරුවෙක් ලෙසය. පොහොට්ටුව චීනයේ මෙරට නියෝජනය යි. චීනය වමේය. ජවිපෙද එය කියයි. එබැවින් වාසුට අනුව බටහිර කදවුරට එරෙහිව තෝරාගත යුත්තේ පොහොට්ටුවයි.
ජවිපෙ චීන කදවුර සමග යටින් කටයුතු කරන ගමන් උඩින් යහපාලනයට පක්ෂය. නමුත් මහින්ද පිළිබද ලව් එකක් පැවතීම ඔවුන්ගේ ප්රමුඛ පෙළේ නායකයන්ගේ ලක්ෂ්ණයයි. වාසුට ද පැරණි මහින්ද ගැන, පාගමන් ගිය මහින්ද ගැන ලව් එකක් ඇත. ඒ අතින් මහින්දට අද උඩින් වෛරකලාට ජවිපෙ මෙන්ම වාසුලා ද එකතුව මහින්ද ගොඩ නැගුවේය. මූලෝපායිකව පැරණි සහ නව ජවිපෙ වමේ උපාය එයවිය.
ජවිපෙ එම උපායෙන් එළියට ගන්නට අනුර උත්සාහ කළේය. ලාල් එයට විරුද්ධය. වාසු සහ මෙරට වම සැබවින්ම තවම දේශපාලනයට පිවිසෙන්නේ වම/දකුණ පිළිබදව ජාත්‍යන්තරවාදී දැක්මකිනි. එයට ගෝලීයකරණය විශ්වාසකරන පසුනූතන වමේ පරම්පරාව එකග නොවන නිසා වාසුට ජාතිවාදී ලේබලය ඇලවීමට ඔවුන් පසුබට නොවෙයි.
අතුල සමරකෝන් ගේ ෆේස්බුක් ගිනුමෙනි .
යන්නේ කොහෙද නොදන්නා උද්දච්ච ගැටවරයෝ
ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා ඇහුණා. කැමරාවක් ඇල්ලුව ගමන් මෙවැනි නොදන්නා දේවල් සද්දෙ දාලා කියන ගැටයින් පසු ගිය අවුරුද්ද දෙකේ දේශපාලන පක්ෂත් හදාගෙන, විශේෂයෙන් සමාජ මාධ්‍ය පුරා ලොකු කතා කියමින් යනවා.
මේ අඳබාල තරුණයින්ගේ ජනප්‍රිය කතා දෙකක් තියෙනවා. එකක් තමයි “ඔය මහල්ලෝ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනෙ” කියන කතාව. අනෙක තමයි “අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවන්න ඔනෙ” කියන කතාව. ඉස්සෙල්ලා මේ හැට පැනපු කතාවට උත්තර දීලා ඉන්නම්.
රැකියාව කර ගෙන යාමේ ශාරීරික අපහසුතාව නිසා පුද්ගලයින් රැකියාව අත හැර යාම 19 වන සියවස වන විට එංගලන්තයේත් යුරෝපය පුරාමත් නිතර හමුවුන ගැටළුවක් වුනා. ඒ වනවිට ඔවුන්ගේ ශ්‍රම පලදායිතාවත් බොහෝ සේ අඩුව තිබුණා. ඒ පසුබිමෙහි, වයස 70 දී අනිවාර්යෙන් විශ්‍රාම යා යුතුයි කියා 1881 දී ජර්මනියේ රාජ්‍ය නායක ඔටෝ ෆන් බිස්මාක් තීන්දු කෙරුවා. එය පසුව 1916 දී අවුරුදු 65 දක්වා අඩු කෙරුනා. යුරෝපයේ අනෙක් රටවල්ද ඒ වගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් තීන්දු කෙරුවා. එංගලන්තයද 1908 දී “මහළු විය විශ්‍රාම පනත” සම්මත කරමින් විශ්‍රාම යෑමේ වයස 70 කියා තීන්දු කෙරුවා. පසුව 1946 දී “ජාතික රක්ෂණ පනත” සම්මත කරමින් පිරිමින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සහ කාන්තාවන්ගේ අවුරුදු 60 කියා තීන්දු කෙරුවා. ඇමෙරිකාවේද 1935 සමම්ත කෙරුණු “සමාජ රක්ෂණ පනත” මගින් විශ්‍රාම යෑමේ වයස 65 කියා තීන්දු කෙරුවා. ඒ කාලයේ ලොව පුරා හැම රටකම වගේ මේ ප්‍රවනතාව දකින්න ලැබුණා.
මේ වයස් සීමා තීන්දු වුනේ කාරණා දෙකක් මත. එකක් ඒ සමාජයේ සාමාන්‍යයෙන් පිළිගැණුනු ශ්‍රමිකයාගේ ශාරීරික ශක්තිය හා පලදායිතාව අනුව. දෙවැන්න පුරප්පාඩු පුරවා ගැනීමට ඇති විරැකියාවේ සංඛ්‍යා මත. මතක තියා ගත යුතු වැදගත්ම කාරණාව නම් මේ කතා කරන යුගය, කාර්මීකරණය වෙමින් තිබූ නමුත් එය දෑතේ ශ්‍රමය මත නිෂ්පාදනය තීන්දු වූ යුගයක් වූ නිසා, විශ්‍රාමය හැම තිස්සෙම ගණන් හැදුනේ ශ්‍රමිකයාගේ ශාරීරික තත්ත්වය මත මිස, පාලකයාගේ වයස අනුව නොවන බව.
දැන් අප නව සියවස සමග පැමිණ ඇත්තේ ශාරීරික ශ්‍රමය එළෙසින් වැය නොකෙරෙන තාක්ෂණික ලෝකයකටයි. මේ නිෂ්පාදනය යාන්ත්‍රීකරණය වූ යුගයක්. ඒ නිසා ශාරීරික ශක්තිය ගැන ප්‍රශ්න කිරීමක් දැන් නැහැ. දැන් ගණන් හැදෙන්නේ කුසලතා සහ දැනුම අනුවයි. ඒ වගේම මේ අප ඉන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේක්ෂිත ආයු කාලය ඉහළ ගිය නවීන ලෝකයකයි. 1950 දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 52.2 යි. එය 1960 දී අවුරුදු 59.1 යි. දැන් 2023 වන විට අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77.6 ක්. නාගරික මැද පංතියේ වෛද්‍ය පහසුකම් සමග වයස අවුරුදු 90 ඉක්මවන සංඛ්‍යාවත් ටික ටික ඉහළ යනවා.
ඒවගේම තව වැදගත් සාධකයක් තමයි තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අත්දැකීම් හා බුද්ධි වර්ධනය සමග පරිනත වෘත්තිකයින් හමුවන්නේ ගැටවර වයසේ නෙවෙයි. හැට පැන්නට පස්සෙයි. නවීන ලෝකයේ මේ ප්‍රවනාව සමග බොහෝ රටවල විශ්‍රාම යෑමේ අනිවාර්ය වයස් සීමාව එක්කෝ ඉහළ දානවා, නැතිනම් එය අනිවාර්ය නොකරන නිර්දේශිත වයස් සීමාවක් තීන්දු කරනවා. කැනඩාවේ අනිවාර්ය විශ්‍රාම යෑමක් නැහැ. ජාතික විශ්‍රාමික පහසුකම් ලැබීමට සුදුසු කම් ලබන්නේ අවුරුදු 60 දීයි. උපරිම පහසුකම් ලැබෙන්නේ අවුරුදු 65 න් පසු විශ්‍රාම ගිය විටයි. 2023 සිට ඕස්ත්‍රේලියාවේ විශ්‍රාම යෑමේ වයස 67 ක් කෙරුවා. පින්ලන්තයේ වයස අවුරුදු 64 ත් 69 ත් අතර විශ්‍රාම යා හැකියි. 2030 න් පසු විශ්‍රාම යෑමේ වයස් සීමාව ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය අනුව තීන්දු කරන්න සැළසුම්කර තියෙනවා. නෙදර්ලන්තයේ විශ්‍රාම යෑමේ වයස දැන් අවුරුදු 67 ක් වෙනවා. එය අපේක්ෂිත ආයු කාලය අනුව 2028 දී අවුරුදු 67 යි මාස 03 ක් කෙරෙනවා.
අපි විවෘතවන ලෝකය ගැන නොදන්නා ගැටවරයින්ට විශ්‍රාම යෑම ගැන කෙටියෙන් කියනවා නම්, මේ අප ඉන්නේ ඇඟේ හයියෙන් දර පලා මිටි බැඳ විකුණන යුගයේ නෙවෙයි. මේ මොලේ හයියෙන් ප්‍රශ්න විසඳන යුගයක්. ඒ නිසා විශ්‍රාම යන වයසත් ඉහළ යනවා මිස පහළ යන්නේ නැහැ.
ඊළගට රටක ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ තරුණකමට නොවන බව වයස අවුරුදු 44 ක් වුන එංගලන්ත අගමැති රිෂි සුනාක් 2022 ඔක්තෝම්බරයේ සිට මාස 18 කදී කදිමට ඔප්පු කෙරුවා. එයා නායකත්වය ගත්ත බි්‍රතාන්‍ය කොන්සවටිව් පක්ෂය අවුරුදු 180 ට පසු ලැබුව අන්ත පරාජය, පසුගිය ජූලි 04 වන දා ලැබුවා. චීන අසහාය නායක, ජනාධිපති සී ජිංපිං වයස අවුරුදු 71 ක් වෙලා තාම යෝධ රටක යෝධ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයනවා. දකුණු අප්‍රිකාවේ දෙවන වරටත් ජනාධිපති ලෙස පත් කර ගත් සිරිල් රැමෆෝසා ගේ වසය අවුරුදු 72 ක්. බංගලාදේශ අගමැතිනි ශෙයික් හසිනාට දැන් වයස අවුරුදු 76 ක්.
යන්නේ කොහේදැයි නොදන්නා මේ අලුත් ගැටවරයෝ අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවමු කියන එකටත් කෙටියෙන් උත්තර දීලම නවතින්නම්. අවුරුදු 75 ට පෙර නිදහස් ලංකාව පාලනය කරන්න පාර්ලිමේන්තුවට සර්වජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් අද නැහැ. වෙනකක් තියා 1970 පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් ඉන්නේ දෙන්නයි. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව විතරයි. දැන් ඉන්නේ පසුගිය අවුරුදු 45 ක් රට කෑව අය විතරයි.
නිදහසින් පස්සේ 1947 සිට එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ප්‍රධානවූ ම.එ.පෙ ආණ්ඩුව පත් කරන විට, ලංකාවේ විධිමත් අධ්‍යාපනයේ ඉගැන්වීම් කෙරුණු ප්‍රධාන මාධ්‍ය වුනේ ඉංග්‍රීසි භාෂාවයි. කොළඹ සහ පේරාදෙනිය විශ්ව විද්‍යාල වලට ඇතුළු වුනේ කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වගේ ප්‍රධාන නගර කිහිපයේ තිබුණු ලොකු ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු ළමුන් විතරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඒ නිසා සමාජයේ ප්‍රභූන්ට අයිති අධ්‍යාපනයක් වුනා. බහුතර සිංහල-දෙමළ ජනතාවගේ ළමුන්ට උසස් අධ්‍යාපනයට ගොඩ වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ විෂමතාව ඉවත් කරන්න තමන්ගේ මව් බසින් ඉගෙන ගන්න නෛතිකව අවසර දීලා ගමේ සිංහල-දෙමළ ළමුන්ට උසස් අධ්‍යාපන වරම් දුන්නේ 56 න් පස්සේ පත් වුනු ආණ්ඩු. ඒ දේශපාලකයින්ට පින්සිද්ධ වෙන්නයි තමන් ඉගෙන ගත්තෙ කියලාවත් නොදන්න මේ අලුත් ගැටවරයෝ ඒ දේශපාලකයින් රට කෑවා කියන්නේ මොනවා දැන ගෙනද?
අනෙක මේ අය දැන් අහලවත් නැති වසංගත රෝග, මැලේරියාව, වසූරිය, පෝලියෝව, බරවා රෝගය මේ රටෙන් තුරන් කෙරුණේ 50-60 දසකවල ආණ්ඩු ක්‍රියාත්මක කළ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නිසයි. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ යුගයේ ලාංකීය රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව ගැන වෙනත් රටවලට කියනවා. රට කෑවා කියන්නේ ඒ දේශපාලකයින්ටද?
අලුත් ගැටවරයින්ට කියන්නම අවශ්‍ය තවත් වැදගත් කතා කීපයක් තියෙනවා. දැන් ඉන්න මන්ත්‍රීවරුන් දන්නෙත් නැතිව ඇති ඔවුන්ට නිදහස් වාර්ෂික දුම්රිය බලපත්‍ර තියෙන බව. නමුත් 50, 60, 70 දසක වල විශේෂයෙන් උතුරු-නැගනෙහිර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ රාත්‍රී දුම්රියෙන්. ගාල්ලේ මන්ත්‍රී දහනායකත් නිතර රුහුණු කුමාරියේ කොළඹ ආව ඇමතිවරයෙක්. නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් ලංගම බස් එකේ කොළඹ ආව මන්ත්‍රීවරයෙක්. කැස්බෑවේ මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි පිළියන්දල ටවුමේ කයිවාරු ගහගෙන හිටිය, සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පොල් අතු වහනකොට වහලට නගින මන්ත්‍රීවරයෙක්. එහෙම මන්ත්‍රීවරුන්ද අවුරුදු 75 ක් රට කෑවා කියන්නේ?
මේ අන්තිම රස කතා කීපය. අවුරුදු 05 ක් 1965 සිට එක දිගට ආණ්ඩුවේ වාර්ෂික අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති යූ. බී. වන්නිනායක 1970 මැතිවරණයෙන් තමන්ගේ ආසනයද පරාජයවී, ගෙදර යන්න සූට් කේසයත් අරගෙන පිටකොටු යන බසයක් එනතුරු මේට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රාවස්ථිය ඉදිරිපිට බස් නැවතුම්පළේ සිටගෙන සිටිය වග දන්නවාද? හැම අවුරුද්දකම ලාංකීය නියෝජිතයා වශයෙන් කෘෂිකර්ම ඇමති එම්. ඩී. බණ්ඩා රෝමයේ පැවති ලෝක ආහාර සංවිධානයේ රාජ්‍ය නායක සම්මේලනයට යන්නට පෙර, ඒ කාලය තුල තමන්ගේ නිවසට ලබාදී ඇති නිල දුර කතනය විසන්ධිකර තබන ලෙස දිස්ත්‍රික් විදුලි සංදේශ ඉංජිනේරුවරයාට ලිඛිතව දන්වන බව දන්නවාද? විවේකයක් අවශ්‍යයැයි සිතුණු විට හවසක, 70 පළමු වසරවල මුදල් ඇමති වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොල්ලුපිටියේ ලිබටි සිනමා ශාලාවේ චිත්‍රපටයක් බැලීමට ප්‍රවේශය පත්‍රය ගැනීම සඳහා පෝලීමේ ඉන්නා බැව් දන්නවාද? ඔහු මුදල් ඇමති වශයෙන්ද ආව ගියේ පෞද්ගලික වියදමින් ඉන්ධන ගසා ගෙන ඔහුගේ පෞද්ගලික වාහනයෙන් බැව් දන්නවාද? ඒ යුගයේ කිසිදු ඇමතිවරයෙක්, කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා හෝ පොලිස් ආරක්ෂාවක් ලබා නොගත් බව දන්නවාද?
නිදහසින් පසු පළමු අවුරුදු 30 ක පමණ කාලයේ ආණ්ඩු, රට සංවර්ධනය කරන්න ඉදිරිපත් කළ ඔවුන්ගේ සැළසුම්වල තිබූ වැරදි දේශපාලන ගණන් හැදීම් ගැන අපි කතා කළ යුතුයි. නමුත් “රට කෑම” පටන් ගන්නේ 1977 න් පසු ජයවර්ධන ජනාධිපති තහවුරු කළ නිදහස් වෙළඳපල ආර්ථිකය සමග බව තරුණ පරම්පරාව දැන සිටිය යුතුයි. එනිසා, අවුරුදු 45 ක් රට කෑව පරම්පරා වලට දැන් ඉන්න අලුත් පරම්පරාවේ හැමෝමත් අයත් වෙනවා. මේ විනාශයට වගකිව යුතු වෙනවා. දේශපාලකයින් අවුරුදු 75 ක් රට කෑවා කියා නිකම් බොරුවට කෑ ගසමින් තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ නැතුව, ඒ ඇත්ත ඉතිහාසය පිළිගෙන මේ වංචාකාරී, දූෂිත සමස්ථය වෙනස් කරන්න කතා කරමු.
කුසල් පෙරේරා
2024 ජූලි 17 වන දින
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම !
“තුනෙන් දෙක”ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ
වික්‍රමසිංහ ආණ්ඩුව විධායක ශ්‍රේණයට වැඩි කළ රුපියල් 25,000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සේවාවටම ඉල්ලා වෘත්තීය සමිති දුසිම් කිහිපයක් පසුගිය සතියේ දෙදිනක වර්ජනයක් දියත් කළහ. ඒ වනවිට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් “ඉතිරි තුනෙන් දෙක” ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. රුපියල් 25,000 සටනින් ගුරු - විදුහල්පති තුනෙන් දෙකේ සටන මුළුමනින් සෝදා පාලුවට ගියේය. අවසානයේ කිසිවකුට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබුණු සටන් ලෙස සියලු උද්ඝෝෂණ හැකිලින. ගුරු සංගම් නායකයින් කියන්නේ ඔවුන් ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් නොවේ යැයි කියා ය. ඔවුන් විසඳුම් සඳහා ඉල්ලන “සුභෝධිනි වාර්තාවේ” වැටුප් නිර්දේශ වලින් තුනෙන් පංගුවක් 2022 ජනවාරියේ සිට ඔවුන්ට ලැබේ. දැන් ඉල්ලන්නේ තුනෙන් ඉතිරි දෙක ය.
මේ අවුල් ආරම්භ වන්නේ 1994 නොවැම්බර ජනාධිපතිවරණයේදී අපේක්ෂිකාවන් දෙදෙනා අතර තිබූ තරගයේදී වාසි ගැනීමට සිතා හදිසියේ පිහිටවු ගුරු සේවය හේතුවෙනි. ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් දෙවරකට ගොනු කෙරුණි. පළමුවැන්න විදුහල්පති සේවාවට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත විදුහල්පති සේවයේ වැටුප් වැඩි කරන්නට සිදු වූයෙන් එය තවත් අවුලකට හේතු විය. ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයට සිදුවූ අසාධාරණකම් හේතුවෙන් ඔවුහුද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවලට 1995 බී.සී. පෙරේරා වාර්තාවේ නිර්දේශද හේතු වූයෙන් 2006 දී සම්මත කෙරුණ රජයේ සේවාවේ සියලු ශ්‍රේණි සහ තනතුරු ආවරණය කෙරෙන “ජාතික වැටුප් ප්‍රතිපත්තිය” මගින් එය අවලංගු කෙරුණි. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවය සඳහා වන වැටුප් සංශෝධනයක් 2006 අප්‍රේල් 25 වන දින රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 6/2006 මගින් ක්‍රියාත්මක කෙරුණි. විෂමතා ගැන කතා කරන්නට බී.සී. පෙරේරා නිර්දේශ පදනම් වූ සුභෝධිනි වාර්තාවද දැන් අදාල නැත. දැන් අවශ්‍ය වන්නේ වල් වැදුණු, විනාශ වන පාසල් අධ්‍යාපනය ගොඩ ගැනීමට විසඳුම් සාකච්ඡා කිරීම ය.
ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු සාධක කිහිපයක් ඇත. පාසලේ සිසු සංඛ්‍යාව හා පහසුකම් සම්බන්ධ සාධකය ඉන් ප්‍රධාන වන්නකි. ගුරු මණ්ඩලයේ සංයුතිය සහ සුදුසුකම් දෙවැන්න ය. විදුහල්පති වගකීමට යටත් පාසල් පරිපාලනය තවකකි. දෙමාපිය සහයෝගයේ ස්වරූපයද එවගේම වැදගත් වන්නකි. එවැන්නක් ගැන සිතන්නවත් නොහැකි, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලොකු බලපෑම් සමග ප්‍රධාන නගරවල නඩත්තු වන අති ජනප්‍රිය යෝධ පාසල් සමූහයක් ඇත. ළමුන් හය හත්දායක් ඉන්න, ගුරු මණ්ඩලයේ දෙතුන් සීයක් ඉන්න ඒවායේ විදුහල්පති සහ ගුරු මණ්ඩල අතර හෝ අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වා ගැනීම උගහටය. වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි දෙමාපියන් සමග යහපත් නිරන්තර සහසම්බන්ධයක් පවත්වා ගැනීමට ගුරු මණ්ඩලයට නොහැකිය. ඒවා පැවැත්මෙන් හා සංඛ්‍යාත්මකව බරවා රෝගී පාසල්ය.
ළමුන්ගේ දැනුම, සමාජ අවබෝධය හා කුසලතා වර්ධනය සමග පෞරුෂ වර්ධනය ගැන සැළකුවහොත් වඩාත් සාර්ථක අධ්‍යාපනයක් සඳහා පාසලක ළමුන් 1,000 ට වඩා නොසිටිය යුතුය. පළාත් පාලන ආයතන මගින් පාසල් පාලනය කෙරෙන්නේ නම් වඩාත් හොඳය. එවිට දෙමාපියන් පළාත් පාලන ආයතනයේ ඡන්දදායකයින් වීමත් වාසියකි. ඒ ප්‍රදේශයෙන්ම නැතිනම් ඒ දිස්ත්‍රික්කයෙන් ගුරුවරුන් පත්කර ගැනීමටද හැකිය. අපේ සමාජ සම්පත් හා වත්කම් තත්ත්වයන් අනුව, මා ගණන් බලන අයුරු, ගුරු දෙගුරු හවුලක් සමගින් වූ අධ්‍යාපනික ක්‍රියාවලියක් සඳහා පාසලක උපරිම වශයෙන් තබා ගත යුත්තේ ළමුන් 1,500 කි. ඒවායේ සංගීත, නැටුම්, චිත්‍ර, ශාරීරික අධ්‍යාපනය වැනි විශේෂ විෂයන් සඳහා වන ගුරු සංඛ්‍යාව අතහැර, පාසලේ ගුරු සංඛ්‍යාව විය යුත්තේ 60 ක් පමණය.
එවැනි පාසල් කොපමණ තිබේද? ළමුන් 1,000 ත් 1,500 ත් අතර වන පාසල් ඇත්තේ 393 කි. ගුරුවර ගුරුවරියන් 25 ත් 50 ත් අතර සේවය කරන පාසල් ඇත්තේ 1,677 කි. මේ පාසල් වල තබා මීට වඩා කුඩා පාසල්වල පවා ඉගැන්වීම් හා ගුරු දෙගුරු සහසම්බන්ධයත් විදුහල්පතිගේ පාසල් පරිපාලනයත් ප්‍රායෝගිකව හා නිවැරදිව ඇගයීමට ලක් වන්නේ නැත. එබැවින් පවතින පාසල් අතුරින් වැදගත් අධ්‍යාපනයක් ඇති ආකෘතියක් සොයා ගත නොහැක. අනාගතය වෙනුවෙන් පාසල් පරිපාලනය, ගුරු වෘත්තිය සහ පාසල් විෂය ලේඛන සමග පාඨමාලා අලුතින්ම සකස් කර සංවිධානය කිරීම එබැවින් සමාජ අත්දැකීම් මත සාකච්ඡාමය ක්‍රියාවලියකින් සිදු විය යුත්තකි. එහිදී ගුරු සේවාව දුර දිග යන පරිවර්තනයකට බඳුන් කළ යුතු වන්නේය. දෛනික අත්දැකීම් අනුව, රාජ්‍ය සේවාවේ සියලු වෘත්තීන් අතුරින් වඩාත්ම දූෂිත නොවුනත් වඩාත්ම පිරිහුණු පසුගාමී සේවාව, වත්මන් ගුරු සේවාව වන්නේය.
හැම ක්ෂේත්‍රයකම, හැම වෘත්තියකම වැදගත් දායකත්වයක් ලබා දෙන, තම වගකීම් ඉටු කරන පුද්ගලයින් තවමත් ඉතිරිව ඇත. එළෙසින්ම, ගුරු විදුහල්පතිවරුන් අතරත් සේවයට කැපවුනු එවැන්නෝ තවමත් ඉන්නාහ. දක්ෂ ගුරුවරුන් වූවත් තම පාසලේ සිදුවන අසාධාරණ අකටයුතුකම් ගැන ඔවුන් කතා කරනවා ඇසෙන්නේ නැත. අධ්‍යාපනයේ බිඳ වැටීම ගැන හඬක් නොනගන ඔවුන්ගේ පුද්ගලික සේවා දායකත්වයෙන් අධ්‍යාපනයේ පිරිහීම නැවතිය නොහැකි බව අවධාරණය කළ යුත්තකි.
මේ අප ඉන්නේ හැම ක්ෂේත්‍රයකම කාර්යශූර, සේවයට කැපවුනු බහුතර සේවක පිරිස් සිටි 1950 - 60 දසක වල පැවති පරාර්ථකාමී සමාජයේ නොවේ. මේ 80 දසකයෙන් ආරම්භ වූ සිල්ලර අවශ්‍යතා තොරම්බල් කෙරුණු අතිශය හිස්, ආත්මාර්ථකාමී සමාජ පැවැත්මක් තරගෙට වැළඳගන්නා, කුහක සමාජයක් හැදුනාවූ යුගයකි. මෙය මහ ජාතිය, ආගම, කුලයද අත නොහැර වාහනයේ වර්ගය, ප්‍රමාණය, මිල මත සමාජ තත්ත්වය ගණන් හදන යුගයකි. මෙය නිවසෙහි කාමර ගණන, උඩුමහල් සංඛ්‍යාව, අඳින ඇඳුමේ මිල අනුව සමාජ පිළිගැනුම තීන්දු කෙරෙන යුගයකි. මෙය අවට සමාජයේ සියල්ලන්ට දැකිය හැකි ලෙස ඉදිරියෙන් සිටීම සඳහා පාරිභෝගික තරගයක හති ලමින් දුවන සමාජයකි. අසීමිත ආදායම් සොයන පාරිභෝගික ණයකාරයින් හදන ක්‍රෙඩිට් කාඩ් පත්, වාරික හා කල් බදු, බැංකු ණය සමගින් සුසුම්ලන සමාජයකි.
මේ සමාජයේ කඩා වැටීම, ආර්ථික පිරිහීම සමග සදාචාරය, විනය, සමාජ වටිනාකම් සහ හර පද්ධතීන්ද සෝදා පාලු වූ සමාජ පිරිහීමකි. ඒ හේතුවෙන් මුදල්මය දූෂණ වංචා වලට අමතරව, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය හා ලිංගික අතවර කිරීම්, ළමා අපචාර හා ලිංගික හිංසන, කප්පම් ගැනීම්, කොන්තරාත් මිනීමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සාමාන්‍ය ජන ජීවිතයේ අංග බවට පත්ව ඇත.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර මාසය අවසන් වන විට ඒ මාස 09 තුල බාල වයස්කාර ස්ත්‍රී දූෂණ සම්බන්ධව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබිණ. ඉන් 22 කු ගැබ් ගෙන තිබිණැයි වාර්තා විය. ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරයට 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ලැබී ඇත. ඉන් සියයට 41 ක් ලිංගික හිංසන සේ සළකනු ලැබිණ. කවුරුත් දන්නා පරිදි, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර ස්ත්‍රී දූෂණ, විශේෂයෙන් පාසල්වල සිදුවන ළමා අපචාර හා ශාරීරික හිංසන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවන්නේය. දකුණු ආසියානු රටවල ස්ත්‍රී සහ බාල වයස්කාර දරුවන් සම්බන්ධ දූෂණ හා අපචාර සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන “ඉක්වොලිටි නව්” සංවිධානය ගොනු කළ ලංකාවේ නිල දත්ත අනුව 2018 ස්ත්‍රී දූෂණ පැමිණිලි 1,792 ක්ද 2019 දී 1,779 ක්ද විය. එවගේම 2019 දී ළමා දූෂණ 1,490 ක්ද වාර්තාවී තිබිණ.
අප ගුරු වෘත්තිය ගැන කතා කරන්නේ අනෙකුත් අය මෙන්ම ගුරුවරුන්ද මේ දුෂ්ඨ, කුහක මහ ජාතිවාදී, ආගම්වාදී පිරිහුණු සමාජයෙහිම නිපැයුම් බැව් පිළිගනිමින්ය. ඒ අතර ගුරු වෘත්තිය රජයේ අනෙක් සේවාවන්ට වඩා පසුගාමී සමාජ ආකල්ප හා වැඩවසම්වාදී සිතුම් පැතුම් සමග පැවතීමටද හේතුවක් ඇත. ගුරු වෘත්තියට බහුතරයක් ඇතුළු වන්නේ ග්‍රාමීය සහ අර්ධ නාගරික සමාජයෙනි. අපගේ නගරය වෙළඳපලක් වන අතර ග්‍රාමීය සමාජය අසංවර්ධිත පැරණි සමාජයකි. එය නිදහස් වෙළඳපල ආර්ථිකයෙහිද අත හැරුණු සමාජයකි. අර්ධ නාගරික සමාජය, රෝස් නොකර තම්බාපු රෝස් පාන් ගෙඩියක් වැනිය. මේ පිරිස් සේවා ස්ථාන ලෙස තෝරා ගන්නේද ඔවුන්ට හුරු පුරුදු අව වර්ධිත ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ය. එනිසා බහුතරයක් ගුරුවරුන් ඉන්නේ ළිං කටින් පෙනෙනවාට වඩා ලොකු ලෝකයක් දකින්නට, ගසක අත්තකටවත් ගොඩ නොවූ ළිංමැඩියන් මෙනි. තමන් දන්නා හඳුණන තමන්ගේ හුදකලා පුංචි ලෝකයක ය. ඒ හේතුවෙන් ඊළග පරම්පරාව වසර 10 ට වැඩි කාලයක් පාසලේදී එකතුකර ගන්නේ, එවන් ගුරුවර ගුරුවරියන් එකතුකර ගත් සියලු පුද්ගලවාදී, නිස්සාර ආකල්ප හා නොවටිනාකම් ය. ඔවුන්ගේ යොවුන් පෞරුෂ හැදෙන්නේ නිරන්තරව ගොදුරුවන මේ පසුගාමී බොල් ආකල්පමය හැඩ කිරීම් සමග සමාජ වගකීම් නොහඳුණන, ආත්මාර්ථකාමයක් වැළඳ ගනිමින් ය. එබැවින් මේ පාසල් වලින් මේ ගුරුවරුන්ගෙන් හැදෙන තෙවන පරම්පරාව, ගුරු පත්වීම් ගෙන පාසල් වලට එන්නේ බාල ෆොටෝ කොපි වලින් ගත් ඊටත් වඩා බාල ෆොටෝ කොපි වශයෙනි.
අධ්‍යාපනය ගොඩ දැමීමට නම්, මේ විනාසකාරී ගමන නතර කරගත යුතුව ඇත. එය යෝධ සමාජ වෙනසක් සමග සිදු විය යුත්තක් වන අතරම, ගුරු වෘත්තියෙහි වෙනසක් වෙනුවෙන්ද පියවර ගත යුත්තකි. කෙටියෙන් කිවහොත් ගුරු සේවය රැකියාදීමේ පහසුවට තබා ගත යුත්තක් නොවන බව සමාජයට කීමෙනි. ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සමග නිශ්චිත පිළිවෙතක් තිබිය යුතුය. එය තෙවසරක දියුණු පාඨමාලා සමග අලුතින්ම සංවිධානය කළ යුතු නවීන ගුරු අභ්‍යාස විද්‍යා පීඨ වලින් සමත්වන වෘත්තිකයින්ට සීමා කළ යුත්තකි. විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ගුරු සේවයට එන්නට අවශ්‍ය නම්, ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යා පීඨයක අවසන් වසර සම්පූර්ණ කර ගුරු වෘත්තීය සහතිකය ලබාගත යුතු යැයි නියමයක් තිබිය යුතුය. විශ්ව විද්‍යාල නීති පීඨයෙන් සමත්වන නීති උපාධිධාරීන්ට නීති වෘත්තියට ඇතුළු වන්නට නීති පාසලේ අවසන් විභාගය සමත් විය යුතු ලෙස ය.
එනිසා දැන් වහා අත ගැසිය යුත්තේ ගුරු සේවාව සැබෑ නූතන වෘත්තියක් ලෙස ස්ථාපිතකර ගැනීමේ එවැනි විසඳුමකට ය. ගුරු වෘත්තිය හැදීමට පටන් ගතහොත් අපට අධ්‍යාපනය ගොඩ දැමීම ගැන කතාවට අනතුරුව ගොඩ විය හැකිය. ලොකුම තුවාලය සනීපකර ගතහොත් අනෙක්වා සුවකර ගැනීම බරපතල ප්‍රශ්න නොවන්නාක් වැනිය.
කුසල් පෙරේරා
2024 ජූලි 16 වන දින
නිර්මාල්ගේ මහාචාර්යකමින් නිර්මාල්ටම දමා ගැසීම !
නිර්මාල්ගේ ඉතිහාස මහාචාර්යකමින් නිර්මාල්ටම දමා ගැසීම තමන් තමන්ටම බෝම්බයක ගසා ගැනීම වැනි වැඩකි. කලාතුරකින් එවැනි වැඩ තමා මහාචාර්යකමට නොවටිනාව යැයි කියන අයට තමන්ගේ ආචාර්ය ධර්මානුකූල බව පෙන්වීමටත් ස්ව -භාවිතයේ වැදගත්කම පෙන්වීමට ලැබෙන අවස්ථාවකි. සාමාන්‍යෙයන් එවැනි පාපොච්චාරණ සඳහා ඉදිරිපත් නොවන පිරිසක් මැද නිර්මාල් අභීත මහාචාර්යවරයෙකි.
ඔහු බුකියේ මීළඟ ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැවසීය. පොහොට්ටු පාක්ෂීයක් ලහි ලහියේ ඉන්ටර්ලොක් අල්ලමින් සිටි ලේකම් වරයෙකු ජනාධිපති පුටුවට ලෑස්ති කළහ. ඒ අනාවැකිය පිටුපස ගිය 69 ලක්ෂය ද ඡන්දය නොදී සිටි අයද සදා අනාථ විය. මෙවැනි පසේ බුදු කතා නිසා ද රටට නොතේරෙන තමන්ටම පමණක් තේරෙන විනාශයන් ගැන හොර රහසේ සතුටු වූවන් අතර විය. මෙවැනි ඉතිහාසඥයින් අනාගතයේ කෞතුක වස්තු විය යුතුයි.
නමුත් මෙරට උසස් අධ්‍යාපන කේෂ්ත්‍රය පිළිබඳවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳවත් ඉතා වැදගත් විවිරණයකි. නිර්මාල් ප්‍රශ්න කරන්නේ ඔහුගේ විෂය තේරීම සහ වෘත්තීය උන්නතිය ද මහාචාර්ය පදවිය ද ලොතරැයියක් බවයි. ඔහුගේ වෘත්තීය ලඟා කර ගැනීම් සඳහා අවශ්‍යම යෙදවීම් වන ඉගැන්වීම, පර්යේෂණ, දැනුම බෙදා දීම සඳහා මෙන්ම සහ ජාතික සංවර්ධනයට දායක්වය පිළිබඳ ලබා දුන් දායකත්වය පිළිබඳ සාමාන්‍ය සමාජය ප්‍රශ්න කරන්නේ නම් එය අධ්‍යාපනයේ අර්බුදයක් මිස ඔහුගේ අර්බුදයක් නොවන බවත් සඳහන් කරයි. එසේම ඔහු බුද්ධිමතුන් සිටින්නේ එළියේ ද කියයි.
නිර්මාල් නිරන්තරයෙන් බාහිර සමාජය සමඟ ඔහුගේ දැනුම පරීක්ෂා කරමින් සිටින ඓන්ද්‍රීය බුද්ධිමතෙකු නිසා සාමාන්‍ය ජනතාවගේ සිට විවිධ වෘත්තීය තල නියෝජනය කරන අයගේ අදහස් සමඟ ගැටේ. නිර්මාල් මහාචාර්යවරයෙකු ලෙස ඔහු සිටින තැන ස්ව පරීක්ෂාවකටත් අධ්‍යාපන පද්ධතියටත් එමඟින් සිදුකරන අභියෝගය වැදගත් වේ. දැනුම නිසා ගොඩනැගුණු ඊගෝව ස්ව- පරීක්ෂාවක් කර ගැනීම කාට කාටත් ගුණදායකයි. ඒ සඳහා තවත් කෙනෙකුට අභිප්‍රේරණයක් ද මෙම ලිපිය හේතු විය හැකියි.
වත්මන් අර්බුදය තේරුම් ගැනීම සහ ඒවාට මැදිහත්වීම පිළිබඳ සලකා බැලීමේ දී රටේ නුසුදුසු දේ සිදුවන විට නිහඩව බලා සිටි අය අතර විශ්වවිද්‍යාල ප්‍රජාවන් ද සිටිති. එවැනි තැන්වලදි බුද්ධිමතුන්ගේ කාර්යභාරයේ නිහඩතාවය ඇස් පනාපිටම දැක බලා ගත හැකි විය. එය ඔවුන්ගේ ද ප්‍රශ්නයක් නොවේ. සිස්ටම් එක විසින් ඔවුන් නිහඩ කරවීමක් ද විය හැකියි.
තමන්ගේම උසස්වීම් වලට සීමා වී පර්යේෂණ ද ප්‍රකාශණ ද සිදුකරන්නට වී ඇත්තේ ද ආර්ථික දේශපාලනය ක්‍රියා කරන අයුරෙනි. සමාජමය උපයෝගීතාවයකින් තොරව තනිව තනිව හා කණ්ඩායම් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාව මේසා විශාල සිදුකරන පර්යේෂණවල වාසිය දත්ත සුසානයන්ට (Data Cemetery) යාම සිදුවන්නේ ද මේ අධ්‍යාපනයේ අර්බුදය මෙන්ම ඒවා ආර්ථික සහ දේශපාලන නොගැලපීමයි.
සමහර තැන්වල දී මහාචාර්යවරුන්ට ඔවුන්ගේ දැනුම යොදා ගැනීමට නොහැකිව ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනා ඔවුන් විසින්ම කුණු කූඩයට දමා ගනියි. එවැනි තැන්වල දී බුද්ධිමතුන් පසුපසට ගොස් දේශපාලන හෙංචයින් පස්ස දොරින් කටයුතු කරන විශ්වවිද්‍යාල උගතුන් ද තනතුරු සඳහා පවා දීම් ද ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන්ම අපිට විශ්වවිද්‍යාල තුළ ද දැකිය හැකිය.
අධ්‍යාපනය තුළ ඇති විවිධ වෘත්තීය ප්‍රවේශයනුත්, ඉහළට යාමට ලබා දී ඇති වරයන් ද නිසා බොහෝ අයට මහාචාර්ය පදවිය ලැබේ. ඔවුන් ඇත්තටම මහාචාර්යවරුන් ද යන්න පිළිබඳ සමාජයේ කතිකාවක් ගොඩනැඟෙන්නේ ඔවුන් විසින් සිදුකරන කාර්යභාරයේ ඇති උපයෝගීතාවය නිසා. මෙය විශ්වවිද්‍යාල පමණක් නොව ඕනෑම කේෂ්ත්‍රයක ද නිර්මාල් වැනි ප්‍රශ්න කිරීම් වෘත්තීය උපයේගීතාවය යොදා ගෙන ප්‍රශ්න කරගත හැකිය.
සමහර විශ්විවද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ට ඒ සඳහා කෙතරම් සුදුසුකම් සපුරාලා තිබුණත් මහාචාර්ය පදවිය අයදුම් නොකරයි. ආචාර්ය උපාධිය ලබාගෙනත් වසර ගණනාවක්ම ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය තනතුරේ සිටි බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු සිටියහ. දැනුත් සිටිති. නමුත් බොහෝ අය එය දැකින්නේ, ඔවුන්ගේ අසමත්කම ලෙසිනි. නමුත් ඔවුන්ගේ අවිඥාණයට සවන් දෙමින් ස්වයංව ප්‍රශ්න කරමින් ඔවුන්ට ගුරුහුරුකම් ලබාදුන් මහාචාර්යවරු ලංකාවේ ප්‍රබල මහාචාර්යවරුන්ගේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න කර අයදුම්පත පස්සට දමා ගත් අය අප දැක ඇත. මොවුනුත් ඒ සඳහා ඉතා සුදුසු තම විෂයේ ප්‍රවීණයෝය. මේ පදවයි සමඟ ලැබෙන සමාජ වටිනාකම පරිණතකම ප්‍රවීණත්වය සහ බහුශ්‍රැත සමඟ ඔවුන් අඩිය පස්සට ගන්නේ තමන්ගේ සුදුසුකමට වඩා මහාචාර්ය පදවියේ ඇති බලවත්කම අවබෝධ කරගෙනයි. එහෙම සිතමින් සිටි බොහෝ ආචාර්යවරුන් ඔවුන්ගේ එම සුදුසුකම සපුරා ගත්තේ ඉතා මෑතකදීය. එය ඔවුන් ඒ තනතුර සඳහා ලබා දුන් ගරුත්වයයි. ඒ සඳහා නුසුදුසුකම නිසා නොවේ.
ඒ නිසා නිර්මාල් වැනි මහාචාර්යවරුන්ට ඔවුන්ගේ මහාචාර්යකමින් දමා ගසන්නට සිදුවන්නේ එක අතකට මහාචාර්ය පදවියේ උපයේගීතාවය ද වේ. අනෙක් අතට මහා සමාජයේ මේ වන විට ඇති පීඩාව ද දැක ඒවාට උඩගෙඩි දුන් ද හතු පිපෙන්නා සේ පිපෙන මහාචාර්යවරු දැක පස්වනත් ප්‍රීතියෙන් ද විය හැකියි. මහාචාර්යකම නිර්මාල් නිසා බැබළෙනවා මිසක් නිර්මාල් නිසා මහාචාර්යකම බැබළෙන්නේ නැත. වෙළද දැන්වීම් නොදමන තමන්ගේ නිහඩ සේවය සිදුකරමින් සිටින මහාචාර්යවරු ද විශ්‍රාම ලත් මහාචාර්යවරු ද සිටියි. ඔවුන්ගෙන් මේ රට වැඩ ගන්නේ නැත. නිර්මාල් නම් දැනුම බෙද බෙද බුකියේ හෝ සිටි.
ශාස්ත්‍රඥයින් විසින් ප්‍රගුණ කළ යුතු බොහෝ ආචාර්ය ධර්මීය භාවිතයන් මේ කෙටි පාපොච්චාරණයේ අන්තර්ගත වී ඇත. නිර්මාල්ගේ ඉතිහාස මහාචාර්යකමින් නිර්මාල්ටම දමා ගැසීම තව කෙනෙක් ඉලක්ක කර ලිව්වත් බොහෝ පැති ගැන සිතිය හැකිය. මේ දිගහැරුම ඒ ගරුත්වය පිළිබඳවයි.
චන්දිමා ජයසේන ගේ ෆේස්බුක් ගිනුමෙනි
අනතුරු ඇඟවීම් මදි නැවැත්වීමේ නියෝගයි ඕනෑ !
උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට යළි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී ඇති අවවාදාත්මක උපදෙස් අනුව එම නිවේදනය නිකුත් කර ඇත.
එහි ඇති බොහෝ උපදෙස් අතර එකක් වන්නේ අධික උෂ්ණත්වය ඇති දිනවල නිවාසන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙසයි. එමෙන්ම අධික උෂ්ණත්වය සහිත දින වල සිසුන් එළිමහනේ හා ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතුය යන්නයි. තවදුරටත් කියන්නේ සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි.
එහෙත් මහ මගට බැස්ස විට අපට දකින්නට ලැබෙන දර්ශනය වන්නේ පාසල් නිවාසන්තර ක්‍රීඩා තරග වෙනුවෙන් කරන පුහුණුවීම් හා පාසල් නිවාසන්තර ක්‍රීඩා තරග මෙම උණුසුම් කාලගුණය අවස්ථාවේදීත් එළිමහනේ සිදු කෙරෙමින් පවතින බවය. පාසල් නිවාසන්තර ක්‍රීඩා තරගයක් වෙනුවෙන් අක්කරෙයි පත්තු ප්‍රදේශයේ පැවැත් වූ ගම හරහා දිවීමේ
තර්ගයකදී පාසල් සිසුවකු අවාසනාවන්ත ලෙස මිය ගියේ දින කිහිපයකට පෙරය.
ඒද අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අනතුරු අඟවා තිබූ තත්වයක් යටතේය. ගම හරහා දිවීම වැනි දිගු දුර ධාවන ඉසව් ගැන මීට පෙර සිදුවූ මෙවැනිම අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් කළ අනතුරු ඇග වීම් දැන් මතක නැති ගානය.
නිවාසන්තර ක්‍රීඩා තරග පැවැත්වීම සම්බන්ධයෙන් එක් අතකින් විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ට දොස් කියාද ඵලක් නැත. මන්ද ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය වන නිසාය. පාසල් වලට ලැබෙන කාල සටහන අනුව පාසල් පළමු වාරය ආරම්භයේදී නිවාසන්තර ක්‍රීඩා තරග පවත්වා ඒ මගින් කොට්ඨාස ක්‍රීඩා තරගවලට සුදුස්සන් තෝරාගත යුතුය. ඉන්පසු දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ තරග සඳහා නිශ්චය කළ දින වකවානු එළඹේ.
ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම වෙනුවට නිවාසාන්තර ක්‍රීඩා තරග මෙම උණුසුම් කාලයේ නවත්වන්නට උපදෙස් ලබාදී ඒවා පසුපසට ගෙන ක්‍රීඩා තරග කැලැන්ඩරය පසුපසට ගැනීමය.
ක්‍රීඩා තරග නැවැත්වීමේ උපදෙස් ලබානොදී අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමෙන් ක්‍රීඩා තරගවත්, ඒ සඳහා වන පුහුණු වීම් වත් නවතින්නේ නැති බව අධ්‍යාපන බලධාරීන් තේරුම් ගත යුතුය.
(anidda.lk - ලසන්ත රුහුණගේ)
චම්පික Vs චම්පික - මාධව රුවන්පතිරණ
(ලීඩර් ටීවී ඉදිරිපත් කළ ඩිරෙක්ට් පොලිටික්ස් වැඩසටහනේ 43 සේනාංකයේ නායක පාටලී චම්පික රණවක හා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.)
'ද ලීඩර් ටීවි' සමග චම්පික රණවක සංවාදය අවසානය දක්වා ඇසීමේදී පෙනී යන්නේ චම්පික රණවක ඇත්ත වශයෙන්ම පිළිගන්න, ඔහුට අවබෝධ වී ඇති සමස්තයට පිටුපාමින් ආණ්ඩු බලය සඳහා තම ස්ථාවරයන්ගෙන් විතැන්වීමට සිදුව ඇති බවය.
ඒ කෙසේ වෙතත් අධිවේගී මාර්ග තැනීම අත්හිටවීම (අදහස් ප්‍රකාශ කිරීම තුල පෙනී යන්නේ ඔහු අධිවේගී මාර්ග වලට එරෙහි වුවද ජනතා ප්‍රසාදය නැති වෙන බැවින් වෙනත් කතාවක් ගොතාගෙන ඇති බවකි), කැලෑ එලි කිරීම නවතා දැමීම, වාහන ගෙන්වීම අතිශය සීමා කොට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම වැනි දේශාපලන තීරණ වල සිටිනා බවකි.
එවැනි ස්ථාවරයක මෙරට ආණ්ඩු බලය ලබා ගත හැකි වෙනත් කිසිවෙකුත් නොමැති බැවින් ඊළඟ ආණ්ඩු බලය 43 වන සේනාංකය ට ලබා ගත හැකි නම් වර්තාමන සංවර්ධන පිස්සු විකාරය පිළිබඳව සාවදාන වීම සඳහා විවේකයක් හෝ ලැබෙනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ UNP ය සමග එකතුව චම්පික ඇතුළු පිරිසට මෙය කල හැකිද යන්නයි.
පාරිසරික අර්බුදයක් ඇති බව චම්පික පිළිගනී. ඒ අතරම ඔහු කියනා කාරණය වන්නේ මිනිසුන් අති දැවැන්ත සංවර්ධනමය පිම්මක් සාක්ශාත් කොට ගෙන ඇති බවය.
ඉන් පසුව ඔහු පවසන්නේ බර වැඩ නොකරන අයෙකුට දිනකට කිලෝ කැලරි 2100ක් අවශ්‍ය බවත්, එසේ නමුත් ආසන්න වශයෙන් ඒ වගේ 120 ගුනයක් එක් අයෙකු දැනට බල ශක්තිය පාවිච්චි කරන බවය.
ඒ අනුව ලෝක ජනගහනය බිලියන හතක් වුවද එවැනි 120 ගුණයක් සිටිනවා වැන්නක් "මහී කාන්තාව" ට (ඔහුගේ දෘෂ්ටිවාදී ආස්ථානය) පෙනෙන බවය.
ඒ අනුව ඔහු පවසා සිටිනුයේ, පවතිනුයේ ජනගහනයේ ප්‍රශ්නයක් නොවන බවත්, එය පාරිභෝජනයේ ප්‍රශ්නයක් බවත්ය.
ඔහු එහිදී වැදගත් කරුණු කිහිපයක් ඉස්මතු කරමින් සම්පත් හිඟය සහ පාරිසරික අර්බුධය හෙතුවෙන් "අපට මේ සෙල්ලම" කරගෙන යා හැකිද යන්න ප්‍රශ්නය කරයි.
''ලංකාව යනු ඉතාම අවම මට්ටමකින් කාබන් විමෝචනය කරනා රටකි.''
ඔහු කරුණු දක්වනුයේ විද්‍යාත්මක ගණනය කිරීම් තුලය. එම ගණනය කිරීම් වලට අනුව ලංකාව යනු ඉතාම අවම මට්ටමකින් කාබන් විමෝචනය කරනා රටකි.
චම්පිකට අනුව එබැවින් ලංකාව පරිසර දූෂණය ට අදාළ රාජ්‍යයක් නොවේ. ඒ අනුව එසේ එවැනි රාජ්‍යයක් බවට පත් වීමට නම් ලංකාව ලෝකයේ දියුණු රටවල් මට්ටමේ පරිසර දූෂිත රාජ්‍යයක් බව ට පත්විය යුතු ව ඇත.
ඒ අනුව ඔහු පවසන්නේ ගල් අඟුරු බලාගාර සෑදීම හේතුවෙන් ලංකාව පරිසර දූෂණ මට්ටම ට ලඟා වීමක් නොමැති බව ය. ඔහු එසේ පවසන්නේ විද්‍යාත්මක ගණනය කිරීම තුලය. ඔහු කියන දේ වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අඩුවෙන් පරිසරය දූෂණය කලාට කමක් නැත යන්න ඔහුගේ අදහසයි.
විදුලි බලශක්තියට ගැටගැහෙන අනෙකුත් නිෂ්පාදන, ප්‍රවාහනය, ඒවාට අදාළ යටිතල පහසුකම් වැනි තවත් බොහෝ දේවල් විසින් ඇති කරන පාරිසරික බලපෑම් ඇත. පරිසර විද්‍යාවේ කාබන් මානය යනු තවත් හොඳම තකතීරු විශේෂඥ නිර්නායකයක් පමණි. ඒ ගැන කතා කිරීම වුවද වැඩකට නැති දෙයකි.
පාරිසරික අර්බුදය විද්‍යාව තුලින් විසඳිය හැකිද, හැකි නම් ඒ ගෙනෙන විසඳුම් තුල තවත් අලුත් ප්‍රශ්න ඇති කරමින් එන්න එන්නම අර්බුදය උග්‍ර වන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී තමන් මුලින් අදහස් දැක් වූ ස්තාවරයෙන්ද විතැන් වෙමින් සහ ප්‍රශ්නයද මගහරිමින් මුලින් දැක්වූ අදහසට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් චම්පික විසින් ප්‍රකාශ කරයි.
ඇත්තටම ඔහු තුලින් ඒ ප්‍රකාශ වන්නේ "පරිසරවාදයේ" විරුද්ධභාශයයි.
කාබන් විමෝචනය නැවැත්වීම සඳහා ගෙනෙන විකල්ප ඊට වඩා හානිදායක බව නොපෙනීම කෙතරම් විශේෂඥභාවයක් ද ? චම්පිකට අනුව හරිත යනු එයයි (ඔහු එසේ පවසයි)...
ඔහු ඊළඟට කතා කරනුයේ කැලෑ කැපීම වෙනුවට කල යුත්තේ දැනට තිබෙන භූමි වල ඵලදාව වැඩි කර ගැනීම කරා අප යා යුතු බවය. ඇත්තටම ලෝකයට හොඳටම කෙල වී ඇත්තේ මේ කෙලිය කිරීමට ගොස් ය.
උදාහරණයකට චම්පික පොල් පලදාව වැඩිකර ගත යුතු බව පවසයි. නමුත් පොල් පලදාව වැඩි කොට ගැනීමට ගොස් දැන් සිදුව ඇත්තේ කිසිඳු රෝගයක් නොමැතිව වැවුන පොල් ගස අතුරුදහන් වෙමින් ලෙඩ රෝග සහිත, නිශ්චිත රසායනික පොහොර පටිපාටියක් අනීවාර්ය වූ, දුර්වල පොල් ගසක් ඉතිරි වීමය.
එබැවින් දැන් ඇත්තටම සිදුව ඇත්තේ පොල් පලදාව අඩු වීමය. දැනුමකින් ශාඛ අභ්‍යන්තරිකව වෙනස් කිරීමට යාමෙන් නැවත සංස්කරණය කල නොහැකි අර්බුද හටගෙන ඇත. ඒ අනුව දඹදෙණිය යුගයේ සිට පැවතුන පොල් වගාවට විවිධාකාර ලෙඩ රෝග ඇති වීමට පටන්ගෙන ඇත.
වී ගොවි තැන :
ඉන් පසුව චම්පික වී ගොවි තැන පිළිබඳව කතා කරයි. 1960 දශකයේ කෘෂි රසායන සහ රසායනික පොහොර ලංකාව තුල හඳුන්වා දෙනුයේ අස්වැන්න වැඩි කර ගැනීම සහ වී වගාව සඳහා වන කාලය අඩු කරගැනීම යන ආකර්ශනීය ඉදිරිපත් දීම් හරහාය.
ඉන් වී අස්වැන්න දෙගුණයකට වඩා වැඩි විය. තවත් අස්වැන්න වැඩිකර ගැනීම සඳහා වී වර්ග හඳුන්වා දෙන ලදී. අස්වැන්න සඳහා වන කාලය අඩු, මිටි ගොයම් ගස් සහිත වී වර්ග නිසා අලුත් ප්‍රශ්න ඇති විය.
එසේම ඒවා වගා කිරීමට නම් ඊට අදාළ අනීවාර්ය පොහොර පටිපාටියක් සහ කෘෂි රසායන පටිපාටියක් නියම කොට ඇත. ඉන් බැහැරව කිසි සේත්ම නූතන විද්‍යාව විසින් නිපදවන ලද එම වී වර්ග වගා කල නොහැක.
නමුත් වී වගා කරුවන් එවැනි වී වර්ග වගා කිරීමට පෙළඹුන ප්‍රධාන කරුණ වන්නේ කලින්ට වඩා අඩු කාලයකින්, අඩු ශ්‍රමයකින්, අඩු භූමි ප්‍රමාණයකින් ලබා ගත හැකි වැඩි අස්වැන්න නිසාය. ඔවුන්ට එසේ ලැබෙන අදායම සඳහා කල හැකි, මිල දී ගත හැකි දේවල් වෙළඳ පොළ හරහා ක්‍රමයෙන් පැමිණෙන්නට විය.
විශාල පිරිසක් යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙමින් වෙනත් රැකියා සහ නිෂ්පාදන වෙත යොමුවෙමින් සිටීම තුල වී වගාව සඳහා පැමිණි විකල්ප විසින් අලුත් ගැටළු ඇති කරන ලදී. ඒ තත්වය මේ වෙන විට තවත් උග්‍ර වී ඇත්තේ විශාල පිරිසකගේ ආහාර අවශ්‍යතාවය සඳහා සුළු පිරිසක් වගා කිරීමට වීම තුලය.
එම තත්වය තුල නූතන විද්‍යාව විසින් ගෙනෙන ලද විකල්ප සහ විසඳුම් වල ඍජු සහ වක්‍රාකාර ප්‍රතිපල මේ වනවිට ලැබී ඇත.
ජලජ ජීවීන් සහ කුඹුරු ආශ්‍රිතව සිටි ජීවීන් නොමැති කුඹුරු, ජල මූලාශ්‍ර සහ භූ ගත ජලය විස වීම, සහල් විස වීම, විවිධ ලෙඩ රෝග, එසේ තිබියදීත් දිගින් දිගටම කෘෂි රසායන සහ රසායනික පොහොර නැතුවම බැරි තත්වයක් උදා වීම වැනි දේවල් ඍජු ප්‍රතිපල කිහිපයක් ලෙස දැක්විය හැකිය.
එසේම ඍජු නොවූ අවශේෂ ප්‍රතිපල ගොවීන්ට ලැබෙන අතිරික්තය පාරිබෝජනය සඳහා යෙදවීම තුල ලැබී ඇත. එනම් මේ ඇති වී තිබෙන තත්වය නවීන කෘෂිකර්මාන්තය පැමිණීමට පෙර අතීතයේ නොවූ විරූ තත්වයකි. එම තත්වය ඇති කලේ විද්‍යාත්මක විසඳුම් විසිනි.
නමුත් එම විද්‍යාවට ඇති වී තිබෙන තත්වය නැවත සංස්කරණය කල නොහැක (චම්පික ද එය සංවාදය ආරම්භයේදී පිළිගනී. එනම් ඔහු උදාහරණයකින් පවසන්නේ මේ දිනවල යුරෝපය සිසාරා හමා යන සුළි සුළඟ කිසිඳු විද්‍යාවකට නැවැත්විය නොහැකි බවය. විද්‍යාව විසින් ඇතිකොට ඇති තත්වයන් සියල්ල එසේය).
සංවාදය ආරම්භයේදී චම්පික ප්‍රකාශ කොට සිටිනුයේ පවතින්නේ ජනගහනයේ ප්‍රශ්නයක් නොවන බවය. නමුත් ඔහු වී ගොවි තැන ගැන කතා කරමින් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාශ කරයි.
එනම් රට 1950 වන විට රට සහලින් ස්වයංපෝෂිත නොවූ බවත්, ජනගහනය වැඩි වීම තුල නවීන කෘෂිකර්මාන්තයට යාමට සිදුවීම අනීවාර්යක් වූ බවත්ය.
ප්‍රශ්නය වන්නේ සහල් නිෂ්පාදනය මදි නම් පවතින්නේ සහ පැවතිය හැක්කේ එක් අනීවාර්ය විසඳුමක් ද යන්නයි. එසේම ජනගහනය එක වර වැඩි උනිද යන්න තවත් ප්‍රශ්නයකි. නමුත් ප්‍රශ්න අසන සිරිමලී එය නොවිමසයි.
තේ වගාව :
ඔහු තේ වගාව ගැනද කතා කරයි. ඒවායේ අස්වැන්න වැඩි කල යුතු බව කියයි. තේ වගාව ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එය මෙරටට අවශ්‍ය වූ වගාවක්ද නොවේ.
තේ වගාව නිසා සිදු වූයේ ලංකාවේ මිනිසුන් දේශීය පානයන් වෙතින් විතැන් වී තේ පානයට ඇබ්බැහි වීම සහ කඳුකර කැලා විනාශ වීම, ජනාවාස වීම (එතුලින් සිදුවන නොයෙකුත් විනාශයන් ඇත), වැනි තත්වයන් නිසා ඇති වී තිබෙන බලපෑම් වලට මුහුණ දීමට සිදු වීමයි.
ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් වගා කල තේ හැඳින්වූයේ රිකිලි තේ ලෙසය. නමුත් පසු කාලීනව රිකිලි තේ වෙතින් විද්‍යාත්මක තේ වෙත මාරු වූයේ ඵලදාව වැඩි කොට ගැනීම සඳහාය.
නමුත් නව තේ වර්ග සඳහා ද ඉහත සඳහන් කල වී වලට මෙන්ම රසායනික සත්කාරය අවශ්‍ය විය. එනම් තේ පැල සිටුවීමේ සිටම රසායනික සත්කාර පටිපාටියක් අනීවාර්ය කොට ඇත. එසේ නොමැති නම් එම තේ වගා කල නොහැකිය.
තේ වගා කරනුයේ රටේ කඳුකර පෙදෙස් වලය. ඒ අනුව එම වගාවන් සඳහා යොදන රසායනයන්හි ප්‍රතිපල රටටම ලැබෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ග්ලයිපොසේට් නැවැත්වීම වැනි විද්‍යාව තුලම විකල්ප යනු කෙතරම් තකතීරු කම් ද යන්න වැටහෙනු ඇත්තේ ඒ වෙනුවට යොදන රසායනයන්ගේ ප්‍රථිපල ලැබෙන කාලය වන විටය.
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තවත් අවශ්‍ය තරම් උදාහරණ ගත හැකිය. ඒ සියල්ල ඉහත විස්තර කරන තත්වයට සමානය. නමුත් මෙහිදී අවධාරණය කල යුත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් චම්පිකගේ ඇති ස්ථාවරය කුමක්ද යන්නයි. එය නම් "දැනුවත් විද්‍යාත්මක ගොවියා" ය. ඒ අනුව චම්පික රණවක කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් යෝජනා කරන වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ වෙතින් වෙනස් වන්නේ මහා පරිමාන කෘෂි සමාගම් පිටු දැක "දැනුවත් විද්‍යාත්මක ගොවියා" ඇති කිරීම තුලය.
නමුත් චම්පිකගේ බලාපොරොත්තුව සඵල කොට ගත හැක්කේ මහා පරිමාන කෘෂි සමාගම් තුලින් මිස තම දරුවන් හට කෘෂිකර්මාන්තය උරුම නොකිරීමේ බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් කෘෂිකර්මාන්තයේ නිරත වන ගැමි ගොවියා තුලින් නොවේ (එම ගොවියා ලවා ඔය වැඩේ හරියාකාරව කරගත නොහැකිය).
චම්පික පතන කෘෂි නිෂ්පාදනය ලබා ගැනීමට හැක්කේ එවිටය.
ඒ අනුව ගොවියා එවැනි සමාගම්වල හෝ වෙනත් නිෂ්පාදන ආයතනවල රැකියා කරන්නෙකු බවට පත්කළ යුතුව ඇත. නමුත් එවැනි සමාගම් වලට මහා පරිමාන වගා බිම් අවශ්‍යය. එසේ නොමැතිව පාරම්පරිකව, සමාජීයව, ප්‍රජා මූලිකව ගොඩනැගුන අසන්තතික ගොවි බිම් එවැනි සමාගම් සඳහා නොගැලපේ.
ඒ අනුව දැනට බැසිල් රාජපක්ෂගේ සැලසුම වන මහා පරිමාන වගා බිම් ඇති කිරීමෙන් තොරව චම්පික බලාපොරොත්තු වන නිෂ්පාදනය උගහටය. ඒ සඳහා කැලැ එලි කිරීම අත්‍යවශ්‍ය වේ.
ඇට නැති පේර, කොහු නැති අඹ, ලෙල්ල ඝන ගස් ලබු වැනි උදාහරණ ඔහු ගනී. අපිටද ගස් ලබු උදාහරණයට ගෙන පැහැදිලි කිරීමක් කල හැකිය. කොටින්ම කියන්නේ නම් අප කුඩා කල තිබූ වසර ගණනක ආයුෂ ඇති, රෝග නැති, එක දිගටම ඵලදාව ලබා දුන් උස යන ගස් ලබු වර්ග අද නොමැත.
කැපූ පසු කොමඩු ගෙඩියේ ඇතුලත රතු පැහැයටද වඩා රතු පැහැ පැණි රස පැපොල් වර්ගයක් ද එකල තිබුණි. සෑම ගෙවත්තකම එවැනි ගස් කිහිපයක් තිබූ අතර වෙළඳ පොලෙන් පැපොල් මිල දී ගැනීමක් එකල සිදු නොවීය (නාගරික ප්‍රදේශ වල හැර).
කොවුලන්, කපුටන් ඇතුළු අනෙකුත් කුරුල්ලන්ටද ඇති තරම් පැපොල් තිබුණි. වඩ වඩාත් නාගරීකරණය වන විට, ගෙවතු නොමැති ගෙවල් සෑදෙන විට, පැපොල් ගසක් හෝ සිටුවීමට කාල වෙලාවක් නොමැති පිරිස වැඩි වන විට, ඊට අනුලෝම වශයෙන් වෙනම පැපොල් වගාකරුවන් බිහි වන විට, චම්පික පවසන ආකාරයේ ප්‍රවාහනයට අවශ්‍ය ලෙල්ල ගනකම්, නොතැලෙන, අඩු භූමි ප්‍රමාණයක වැඩි ඵලදාවක් ලබා දෙන, උස නොයන සහ එබැවින් බිම සිට අතින් පලදාව නෙලිය හැකි අභිජනනය කරන ලද සහ ජාන වෙනස් කොට සාදන ලද පැපොල් බීජ වර්ග ලංකාවට ආනයනය කරන ලදී.
එසේම එවැනි පැපොල් වල පැපොල් ඇට ද නොමැති අතර ඇට තිබුනද එම ඇට වලින් පැල වන ගස් වල එක්කෝ ඵලදාව දුර්වලය නැති නම් මුල් අකාරයේ ගෙඩි නොමැති අතර එක්කෝ කොහෙත්ම ගෙඩි නොසෑදේ (F1 F2 F3 F4....).
එනම් සෑම අලුතෙන් වගා කිරීමකදීම පැපොල් බීජ මිල දී ගත යුතුව ඇත. දැන් මේ වන විට සිදුව ඇත්තේ විද්‍යාව විසින් අභ්‍යන්තරිකව වෙනස් කරන ලද පැපොල් වර්ග මිශ්‍ර වී ඊට පෙර තිබූ ස්වභාවික පැපොල් වර්ග වඳ වී යාමයි.
ඒ අනුව දැන් අපට අවශ්‍ය වුවද ගෙමුදුලේ පැපොල් ගසක් වවා ගත නොහැකිය. එක්කෝ ඒවාට කුඩා කාලයේදීම ලෙඩවල් සෑදේ නැති නම් ගෙඩි නොමැත. ඉදිරියේදී අනෙකුත් වගා වලට ද ඔය ආනිසංසය අත්වීමට නියමිතව ඇත.
"සමානාත්මතාවය" සහ "නිදහස"
ඉන් පසු චම්පික ප්‍රවේශ වනුයේ "සමානාත්මතාවය" සහ "නිදහස" පිළිබඳව ප්‍රශ්නයටයි. එහිදීද ඔහු එකක් පසු පස එකක් වන සේ එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දේ.
සියලු දෙනා හට වාහන නොමැති තත්වයක් යටතේ සමානාත්මතාවය ඇති වන්නේ කෙසේදැයි අසන ප්‍රශ්නයේදී සියලු දෙනා හට වාහන ලබා ගැනීමට ඉඩ දිය නොහැකි බව පැහැදිලිව පවසයි. නමුත් සමානාත්මතාවය පිළිගන්නා බවද පවසයි (නිදහස සහ සමානාත්මතාවය යනු ලිබරල් ස්ථාවරයන් වේ).
නමුත් ඔහු පසුව පවසන්නේ අම්බානිලා මෙන් නොව ගාන්ධි අනුදත් ව්‍යාපාරිකයා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බවත්, නමුත් ධන උත්පාදනය ඔහුගේ කාර්ය බවත්ය. එවැනි කතා නම් විකාර බැවින් ඒවා ගැන කතා කිරීම ද වැඩකට නැති වැඩකි.
එසේම ඔහු පවසන්නේ ධනවාදී නිදහස් තරඟ පොලට සමානව පිවිසීමට ඉඩ කඩ සකස් කල යුතු බවය. ඔහුට අනුව සමානාත්මතාවය යනු එයයි. ඔහු විසින් දුරටත් අවධාරණය කරනුයේ ධනවාදී නිෂ්පාදනය සහ වෙළඳපොල "සම බිමක්" කල යුතු බවය.
ධනවාදය ක්‍රියාත්මක වන්නේ පාරිභෝජනය මත නොවේ නම්, අතිරික්ත වටිනාකම නැවත නිෂ්පාදන ලෙස පැමිණ වෙළඳ පොළ ප්‍රසාරණය වන්නේ පාරිභෝජනය තුල නොවේ නම්, එය සිදු වන්නේ වෙන කෙසේද?
උදාහරණයකට වාහන නිෂ්පාදනය කරනුයේ ඒ සඳහා වෙළඳ පොලක් තිබෙන නිසාය. අහසේ හෝ මාර්ග ඉදි කල යුත්තේ එම නිෂ්පාදන (වාහන) පාරිභෝජනය සඳහාය. වාහන තවදුරටත් ප්‍රයෝගික නොවේ නම් ඩ්‍රෝන වැනි අහසේ ගමන් කල හැකි පුද්ගල ප්‍රවාහන නිෂ්පාදන සහ ක්‍රම සම්පාදනයන් වෙත ධනවාදය මාරු විය යුතුව ඇත.
එසේ නොමැතිව චම්පික සිතන ආකාරයේ ගාන්ධිවාදී ආගමික සදාචාර පැවතුම් තුල ආචාරධාර්මික සීමාවන් සලකුණු කිරීමෙන් මෙය ඔහු බලාපොරොත්තු වෙන ආකාරයට විසඳිය හැකිද ? ඔහුට ඔහුගේ ඒ අර්ථයන් තුල සිරිමලී අසන ප්‍රශ්න වලට නම් පිළිතුරු දිය හැකිව ඇත.
සාකචඡාව තුල චම්පික විසින් බලශක්තිය සම්බන්ධයෙන් ද දිගින් දිගටම පරිසරවාදී විසඳුම් යෝජනා කරයි. ඒවා එකින් එක සාකච්චා කිරීමට වඩා පොදුවේ ඒ පිළිබඳව අදහස් දක්වා ඇති ලිපියක සබැඳියාව පහතින් දක්වා ඇත.
ලිපිය
මෙසේ ආණ්ඩු බලය ලබාගෙන මේ ධනවාදී ප්‍රවාහය වෙනස් කල හැකි කිසිවෙකුත් මෙදියත වසනවා යයි අප සිතන්නේ නැත. අපගේ දේශපාලන ස්ථාවරයන් පිළිගන්නේ ද ඉතාම සුළු පිරිසකි. අපගේ ලේඛන කියවන, අපගේ අදහස් අහන බොහෝ දෙනෙකුට අනුව අප විහිළු කරුවන් හෝ මෝඩයින්ය. එය ලෝකයටම පොදු තත්වයකි.
මුළු විද්‍යාත්මක ලෝකයම එක් දිශාවකට නිනව්වක් නොමැතිව දිනපතා හැල්මේ දුවමින් සිටින විට, එය පිළිනොගන්නා සහ අප වැනි මෝඩයින් වීමට අකමැති ඔවුන්ගේ වෙහෙස මහන්සිය සහ ආතතිය මදකට හෝ නිවා දැමීම සඳහා අවශ්‍ය අබිං වර්ග කිහිපයකින් ප්‍රධානතම අබිං වර්ගය වන්නේ පරිසරවාදය (හරිත) යන්නයි.
@ස්පාටකස් ලිපි (Spartacus.lk)
(උපුටාගැනීම - මාධව රුවන්පතිරණගේ ෆේස්බුක් පිටුවෙන්.)
අළුතෙන්ම පටන්ගමු....
ඊයේ අති දැවැන්ත පරාජයෙන් පස්සේ ටීම් එකේ වගේම අනික් හැමෝගෙම මූණු ඇඹුල් වෙලා තියනවා දැක්ක. සමහරු අඬන්න වගේ. සමහරු හතර අතේ බනිනවා.
කේන්තිය, ආවේගය, බලාපොරොත්තු රහිත බව වගේම රටේ සමස්තයක් හැටියට තියන කඩාවැටීම වගේ හැම දෙයක්ම මේ බැනීම සඳහා පාදක වෙලා තියනවා. ඒ ඔක්කොම හරි.
දැන් ආයේ මේ තරඟාවලියේ රැඳී සිටීමක් ගැන හිතන්න ඕනි නැහැ. මම කියන්නේ තව කවුරුහරි දිනනකම් හරි පරදිනකම් හරි ඉඳල අනුන්ගේ පානෙන් පිනට ලෝක කුසලානේ ඕනි නැහැ. මීට කලිනුත් මම දැක්ක ඒ වගේ පෝස්ට්. අරය පැරදුණොත් අපි ගොඩ වගේ. මම කියන්නේ එහෙම නැතුව ඇත්ත රණශුරයෝ වගේ ඇත්තටම දිනන්න මෙතන ඉඳන් වැඩ කරමු.
පළමුවෙන් අපි මෙතැන ඉඳන් ආවේගයට ඉඩ නොදී තාර්කික සහ සබුද්ධික වෙමු. එකෙන් පටන් ගම්මු.
ප්‍රථමයෙන් මේ පරාජය අමතක කරලා ඊළඟ සියලු තරඟ සඳහා අපේ කණ්ඩායමේ මනස හදමු. ඉන්දියාව ලොකුයි මාරයි කියල හිතන එක නවත්වල අපේ උන් ඉන්දියාව ක්‍රිකට් නොගහන තැනට ගහපු විදියවල් ගැන සොයමු. සනා මම හිතන්නේ ඉන්දියාවේ ගොඩක් පන්දු යවන්නෝ විශ්‍රාම ගන්වල තියනවා.
ඒ වගේ මොන 'ලොකු' රටක් ආවත් උන්ට මුහුණ දෙන්න තාක්ෂණය සහ ඔරොත්තු දීම හදන්න ඕනි. ලෝකයේ සියලු නවීන තාක්ෂණය එක්ක අපි වැඩකරන්න ඕනි. අපි ලෝක කුසලානේ ගත්තේ ඔස්ට්‍රේලියාවට ගහල. ඒකයි ඉතිහාසය.
රට ඇතුලේ ගහන ක්‍රිකට් වැඩි කරන්න ඕනි. විශේෂයෙන් ක්ලබ් ක්‍රිකට්, පාසල් ක්‍රිකට්. තරඟකාරී LPL ක්‍රිකට් උනත් කමක් නැහැ සුවිශේෂ දක්ෂතා හඳුනාගන්න පුළුවන් වෙන විදියට. අපේ මිෂන් එක ඊළඟ ලෝක කුසලානය කරගම්මු.
ලෝකයත් එක්ක තියන තරඟ සහ කවුන්ටි ක්‍රිකට් වලටත් යන්න පුලුවන් නම් හොඳයි ගෝලීය අත්දැකීම් ගන්න.
ලෝකයේ ක්‍රිකට්වල සියලු අලුත් වර්ධනයන් ගැන පර්යේෂණයන් කරන්න ඕනි. අලුත් ක්‍රිකටර්ස්ල ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි. ඒ සඳහා ටීම් එකක් ඉන්න ඕනි. ක්‍රිකට් රිසර්ච් ගැන වෙනම අවධානයක් තියෙන්න ඕනි (research institute). විශේෂයෙන් AI එක්ක (කෘතීම බුද්ධිය සහ ක්‍රිකට්) අපි ඉස්සරහට යන්න ඕනි.
හැම පාසැලකම සහ හැම පළාතකම අලුත් ක්‍රිකටස්ල ගැන තොරතුරු රැස්කරගන්න ඕනි. අලුත් දක්ෂතා හොයාගන්න ඕනි. ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනි. සියලු පැරණි ක්‍රීඩකයින්ගේ සහය මේ සඳහා එකතු කරගන්න ඕනි.
විශේෂයෙන් මේ මට්ටමට ක්‍රිකට් පජාත කරපු ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක ගැන ඉතාම ඉක්මනින් තීරණයක් ගන්න ඕනි.
වැටුණට කමක් නැහැ. නැගිටිමු! අපේ ආදරණිය ෆෑන්ස්ල වෙනුවෙන් ඒ දේ කරමු.
මම ක්‍රිකට් ගැන දන්න ලොකු මඟුලක් නැහැ. ඒ නිසා දන්නා අය මීට වඩා කතාකරන්න. ඒක උදව් වෙයි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
ලංකාවේ අර්බුදය: චම්පික හා අනුර !
මා කලක් ජේවීපිය හා ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුනේ සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග වාදයට, විමුක්තිකාමී හා රණකාමී වේශයක් ලබාදුන්, ලංකාවේ යහපතට හේතුවන සැබෑ ප්‍රතිසංස්කරණ ඇතිවීම වලකා ලූ, සම්ප්‍රදායි දේශපාලන පක්ෂවලට වඩා වෙනස් සිංහල සමාජයේ පීඩිතයින්ට මුල් විහිදී ගිය සටන්කාමී එහෙත් පසුගාමී දේශපාලන ධාරා දෙකක් ලෙසය. සිංහ ධජය තමන් වෙත හිමි කරගැනීම ගැනීම සදහා මේ ව්‍යාපාර දෙක අතර එක කාලයකදී ලොකු පොරයක් තිබුණි. එම ධජයේ කිසියම් පංගුවක් අනුර කුමාර අත තිබුනු අතර ඉතිරි පංගුව තිබුනේ චම්පික රණවක අතය. අවසානයේ මහින්ද රාජපක්ෂ එම ධජයේ එකම හිමිකරුවා බවට පත්වූ අතර ඒ ක්‍රියාදාමය තුළ උදුරා ගැනීමක් සේම කැමැත්තෙන් භාරදීමක් යන ලක්ෂණ දෙකම අඩංගු වී තිබුනේ යැයි කිව හැකිය. මේ දෙපාර්ශවය මහින්ද රාජපක්ෂ බලයට ගැනීම සදහා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කළේය. ඒ දෙපිරිස නොවේ නම් ප්‍රභාකරන්ගේ වර්ජනය තිබියදීත් 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වන්නට ඉඩ තිබුණි.
සිංහ ධජය සඳහා පොරය
මහින්ද ජනාධිපති වී ඔහු සිය දේශපාලන බල අධිකාරිය ශක්තිමත් කරගැනීමෙන් පසු ජේවිපිය රාජපක්ෂ පාලනය සමග පවත්වාගෙන ආ සන්ධානයෙන් ඉක්මනින් ඉවත් විය. ඊට වෙනස්ව චම්පිකගේ හෙළ උරුමය එම ආණ්ඩුවෙන් ඉවත් වූයේ අවුරුදු 10 කට පසුවය. ඉන්පසු බොහෝ දේ සිදුවු අතර 2015 පරාජයවූ මහින්ද වෙනුවට 2019 අවසානය්දී ගෝඨාභය බලයට පත්වී මහින්ද අත තිබූ සිංහ ධජය ගෝඨාභය අතට මාරුවිය. එය දැන් තිබෙන්නේ ඔහු අතින් ද ගිලිහෙන තත්වයකය. ඒසේ ඔහු අතින් ගිලිහෙන සිංහ ධජය තමන් වෙත හිමි කර ගැනීමේ ආශාවක් අනුර කුමාර තුල ඇතිවී, ඔහු ඒ අරමුණ ඉටුකර ගැනීම සදහා ඊට ගැළපෙන ලෙස ඇඳුම් මාරු කර ගනිමින් සිටින බව පෙනේ. ඒ සමග ඔහුට හා ඔහුගේ ව්‍යාපාරයට අවංක ලෙස හෝ මූනිච්චාවට ඇති කර ගෙන තිබූ බහුත්වවාදි ගුණධර්මද ඉකමනින් අත් හරින්නට සිදු විය හැකිය. ඉතාමත් පුදුම සහගත දේ වනුයේ චම්පික ඊට වෙනස්ව 2015 තෝරාගත් මාර්ගයේම ඊට තරමක් වෙනස් ආකාරයකට ගමන් කිරීමට හිත හදාගෙන සිටීමය. ඔහු ගේ ගියර් මාරුව හා එතැන් සිට පවත්වා ගෙන යමින් තිබෙන වෙනස්කම් අවංකද නැද්ද යන්න තවමත් කිව නොහැකිය. රටේ සුළු ජාතින්ගේ විශ්වාසයට හේතු නොවීම රටේ අනාගත නායකත්වයට ඉව අල්ලමින් සිටින මෙම නායකයින් දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය.
චම්පික සිය සංදර්ශනය පැවැත්වීම සදහා තෝරාගෙන තිබුනේ ද අනුර කුමාර ඔහුගේ සංදර්ශනය පවත්වන ලද ශාලාව මය. අනුර කුමාර, ජාතික ජනබලවේගය සංදර්ශනය වර්ණවත් කරන හේවිසි කණ්ඩායම ලෙස යොදා ගන්නා විට චම්පික එම කාර්‍යය සදහා 43 වැනි සේනාංකය යොදා ගත්තේය. අනුර තමන්ගේ දේශනයට අතිරේකව "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නමින් පොත් පිංචක්ද පළ කර තිබුණි. චම්පිකද සිය දේශනයට අතිරේකව අර්බුදය හා එය ජය ගතයුතු මාර්ගය විග්‍රහ කිරීම සදහා "ගොඩ එමු ගොඩ නගමු" යන හිසින් පොත් පිංචක් පළ කර තිබුනි. මෙම සංදර්ශන දෙක අතුරින් බාහිර පෙනුම අනුව නම් වැඩි ලකුණු ලැබිය යුත්තේ අනුරගේ සංදර්ශනයටය. නායකයින් දෙපල කරන ලද කථා දෙක අතරින් චම්පිකගේ කථාව වඩා අර්ථවත් සේම බරසාරය. අනුරගේ ප්‍රවේශය වුයේ ලංකාව ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ තමන්ට හා තම පක්ෂයට පමණක් බව පෙන්නුම් කොට රට අපට බාර දෙන ලෙසත් රට බාරගන්න අප සූදානම් බවත් කියා සිටීමය. චම්පික ඊට වෙනස්ව අර්බුදය ජයගැනීම සදහා පුළුල් ජාතික සම්මුතියක් හා ඒ සදහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ගැන කථා කළේය. ඒ ප්‍රවේශ දෙක අතරින්ද චම්පිකගේ ප්‍රවේශය අනුර කුමාර කුමාරගේ ප්‍රවේශයට වඩා පුළුල් බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඔහු පරාජය කිරීමේ ප්‍රශ්නය දැන් රට මුහුණ දී තිබෙන අර්බුදයට වඩා කුඩා ප්‍රශ්නයක් ලෙස සැළකිය හැකිය. එසේ තිබියදීත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නය ජයගැනීම සදහා 2010 දී ඍජු ලෙස පොදු පෙරමුණක් හා පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන්ද නැවත 2015 දී පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් අනියම් ලෙසද පෙනී සිටියේය. මහින්ද පරාජය කරන්නට ජාතික එකසත් පෙරමුණක් අවශ්‍ය වූ ජවිපෙට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නයට වඩා සිය දහස් ගුණයක් තරම් විශාල අර්බුදයක් ලෙස සැළකිය හැකි දැන් රට මූහුණ දී තිබෙන අර්බුදය විසඳන්න කල්පනා කරනුයේ පොදු ජාතික එකඟතාවයක් නැතිව තනි පක්ෂයක් ලෙසය!
එක යුගයක් අවසන් වීම
චම්පික ඉදිරිපත් කරන විසඳුම් ගැන කතා කරන්නට පෙර විශාල අර්බුදයක කරවටක් ගිලී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන නායකයින් හා ව්‍යාපාර ගැන මා කරනු ලබන විවේචනයන් ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීම වැදගත් වේ යැයි සිතමි. මා ඔවුන්ගේ තරඟකරුවකු නොවන අතර බල දේශපාලන ව්‍යාපෘතියක කොටස් කරුවකුද නොවෙමි. විවේචනය කරන්නේ විනාශ කිරීමේ අරමුණින් නොව දේශපාලන තලය මුවහත් කිරීමේ අරමුණිනි. දැන් අපි මුහුණ දී තිබෙන අර්බුදය ක්‍රියාකාරි ශක්තියෙන් පමණක් ජය ගත හැකි අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය. ඒ සඳහා පරිකල්පනය දියුණු කර ගැනීමද අවශ්‍යය. එය කළ හැක්කේ කරුණු හැදෑරීමෙන්, ඒ කරුණු විග්‍රහ කිරීමෙන්, ඒවා සංවාදයට හා වාද විවාදයන්ට ලක් කිරීමෙනි. මා කරන්නේ ඒ සදහා සුදුසු මතවාදි පසු තලයක් ඇති කිරීමට උත්සාහ කිරීමය.
හොඳට හෝ නරකට එක යුගයක් අවසන් වෙමින් නව යුගයක් උදාවෙමින් පවතී. ඒ ක්‍රියාදාමය තුළ වෙනස් වන්නට කැමති නැති අධාන ග්‍රාහි දේශපාලන නායකයින් සේම දේශපාලන ව්‍යාපාර ද විනාශ වීමට නියමිත ය. මගේ මතය අනුව මේ අර්බුදය හොඳට හෝ නරකට අවසන් වන අවස්ථාව වන විට පරණ දේශපාලන නායකයින් අතරින් අල්ලා ගෙන සිටීමට හැකිවනු ඇත්තේ අතලොස්සකට පමණය. ඒ ධර්මතාව දේශපාලන ව්‍යාපාරවලටද බලපානු ඇත. එවිට දේශපාලන තලයේ වැඩි පංගුව සමන්විත වනු ඇත්තේ අළුත් නායකයින්ගෙන් හා අළුත් ව්‍යාපාර වලිනි. ඔවුන්ගේ ද සාර්ථක හෝ අසාර්ථක භාවය රදා පවතිනු ඇත්තේ නිර්භීත ලෙස තීන්දු ගැනීමට තිබෙන හැකියාව, අවංකකම හා පරිණත භාවය යන සාධක මතය. කුරුස යුද්ධය යුරෝපයේ අවසාන ආගමික යුද්ධය වුවාසේ වර්ගය හා ආගම මුල් කරගත් අවසාන මැතිවරණය වනු ඇත්තේද 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණ යයි. මින් මතු මහා වර්ගය හෝ මහා ආගම මත පමණක් පදනම් වී මැතිවරණ ජය ගැනීමට කිසිම පක්ෂ ව්‍යාපාරයකට නොහැකිවනු ඇති අතර මින් මතු ලංකාවේ මහජනයාගේ පිළිගත් නායකයින් හා පක්ෂ බවට පත්වීමට හැකි වනු ඇත්තේ එක වර්ගයකට හෝ ආගමකට සීමා නොවූ භේදයකින් තොරව සියලු වර්ග හා ආගම් වලට අයත් ජනයා එක සමාන අයිතිවාසිකම් ඇති එක සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් ලෙස සලකා ක්‍රියා කරන නායකයින්ට හා පක්ෂවලට පමණය. ඒ සුදුසුකමේදීත් අනුර හා චම්පික යන නායකයින් දෙදෙනාම ඉන්නේ එම සුදුසු කම සම්පූර්ණ කරගත් තත්වයක නොව සම්පූර්ණ කර ගත යුතු තත්වයකය.
දැන් අපට චම්පික ගේ වැඩසටහනේ හොඳ නරක ගැන කථා කරන තැනකට යා හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා නිවැරදිය. හොඳ සිහිය තිබෙන ඕනෑම ආණ්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේද මීට පෙර ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දුන් ලංකාවේ විවිධ ආණ්ඩු එම අර්බුද විසඳා ගත්තේ ද චම්පික යෝජනා කර තිබෙන ආකාරයට සමාන ආකාරයටය. වඩාත්ම මගේ මත භේදයට හේතු වන්නේ සමාජ-දේශපාලන අර්බුදයට අදාලව ඔහු ඉදිරිපත් කර තිබෙන විග්‍රහයන් හා යෝජනාය. සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන මහා කඩා බිඳ වැටීම හා ඊට බලපෑ ගැටුම් ආශ්‍රිත ප්‍රශ්න පදනම් කරගත් "වර්ග, කුල, ආගම් ප්‍රශ්නය" ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කෙරුන හා තවමත් ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කරමින් තිබෙන ප්‍රශ්නය ලෙස චම්පික සළකන්නේ හෝ සළකන්නට කැමති නැති බව පෙනේ. "ගොඩ එමු ගොඩනගමු" යන පොත හෝ ලේඛනය චම්පික ලියන ලද හෝ ඔහු ගේ අදහස් ඇතුළත් පොතක් හෝ ලේඛනයක් ලෙස සලකතොත් එහි ඔහු කියන්නේ "යුද්ධය අවසන් ය... යුද්ධ සමයේ ඇතිවූ ආවේගයන්, වේදනාවන්, වෛරයන් පමණක් නොව සමහර න්‍යායන් හා කථිකාවන් පවා" වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවය.
සුළු ජාතිකයින් නොසළකා ක්‍රියා කිරීම
අපි මොහොතකට උතුරේ දෙමළ ප්‍රශ්නය අමතක කරමු. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනතාව තුල වෛරයක් හා පිළිකුලක් ඇති කිරීම සදහා ආරම්භ කොට අද දක්වා විවිධ ආකාර වලට පවත්වා ගෙන යමින් තිබෙන මුස්ලිම් විරෝධී හිංසනය අවසන් නොකර තිබියදීත් රටේ යහපත සලකා මුස්ලිම් ජනයා එම හිංසනය ඉවසා සිටිය යුතු අතර ඔවුහූ තමන්ට කරන ලද එම හිංසා පීඩා මුළුමනින් අමතක කල යුතු යි කියා චම්පික හිතන්නේද? දෙමළ තරුණ පරපුර ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ දෙමළ ජනයාට හිමි සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම මගින් ඔවුන්ට අහිමිකල මනුෂ්‍ය ගෞරවය දිනා ගැනීම සදහා නිත්‍යානුකූල හා සාමකාමී රාමුවක එක දිගට වසර 18 ක් සටන් කොට අවසානයේ ඔවුන්ට එරෙහිව 1983 ජූලි වලදී බිහිසුණු හා කුරිරු සංහාරයක් ක්‍රියාත්මක වීමෙන් පසු වය. 83 කළු ජූලියට පෙරද උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ඇතිවී තිබුන ද ඒවා ට දෙමළ ජනතාවගේ පිළිගැනිමක් තිබුනේම නැති තරම් ය. එම දිග්ගැස්සුන බෙදුම් වාදී කැරැල්ල පරාජය කෙරුණේ අඩු වැඩි ප්‍රමාණයකට ජේවීපී කැරැල්ල පරාජය කෙරුනු කුරිරු ආකාරයටය යන කාරණය අමතක කලද කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ කැරලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතුව තිබුණේ ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කල ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් නොවේද? ලංකාවේ වර්ග, කුල, ආගම් ප්‍රශ්නය සම්බන්ධයෙන් චම්පික සිතන බව පෙනෙන්නේ එය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන කාලයාගේ ඇවෑමෙන් ඉබේ විසඳෙන ප්‍රශ්නයක් ලෙසය.
දේශපාලන ක්‍රමය ගැන
දේශපාලන ක්‍රමය ගැන චම්පික කල්පනා කරන විදියද පසුගාමීය. අළුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම විස්තර කර තිබෙන්නේ සපුරාගැනීම ඉතා දුෂ්කර කාරියක් ලෙසය. වැඩි කැමැත්තක් ඇති බව පෙනෙන්නේ ජනාධිපති ක්‍රමයත් ආරක්ෂා කරගෙන තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් යන ඉදිරි ගමනක් ගැනය. 20 වැනි සංශෝධනය අහෝසි කොට නැවත වැඩි දියුණු කල 19ක් කරළියට ගන්නා වැඩ පිලිවෙලක් ඒ සදහා ප්‍රමාණවත් වේ යැයි කල්පනා කරන බව පෙනේ. 19 වැනි සංශෝධනය නිසා අධිකරණය ස්වාධීන වීද? එසේ නම් ගෝඨාභයට එරෙහිව පැවරුණ නඩුවලදී සමහර අධිකරණ වලදී සාධාරණ හා නීතියට අනුකූලව කරුණු සලකා බලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකෙරුනේ ඇයි? ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවයට අදාල ප්‍රශ්නයේදී එය ජනාධිපතිවරණයට තරඟ කරන්නට යන අපේක්ෂකයකුට අදාල ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස සලකා අධිකරණය එම ප්‍රශ්නය හොඳින් කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි? 19 නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරන තත්වයක තිබුනේ නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය, නාම යෝජනා අවස්ථාවේදී හොඳින් කරුණු පරීක්ෂාවට ලක්කෙරෙන අවස්ථාවක් බවට පත් කරගත යුතුව තිබුනි. එය එසේ නොවූ බව අපි දනිමූ. මහජනයාගේ ආකර්ශනට හේතු වුවත් 17 හා 19 සංශෝධන වලින් ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ලද කොමිසන් සභා ක්‍රමය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩ නගන ලද ක්‍රමයක් නොවීය. ජනාධිපති කැමතිතාක් පමණක් පැවතිය හැකි ක්‍රමයක් විය. එවැනි දුර්වල ක්‍රමයක් ගොඩ නැගෙන්නට ඇත්තේම ජනාධිපතිවරුන්ගේ පමණක් නොව එම තනතුරට පත් වීමට සිහින දකිමින් සිටි නායකයින්ද එම ක්‍රමය දුර්වල තත්වයකින් ගොඩ නගනවා දකින්නට අපේක්ෂා කළ නිසා විය හැකිය. ජනාධිපතිගේ බල පරාක්‍රමය ඉදිරියේ තමන් සිටින්නේ දුර්වල තත්වයක බව මේ ක්‍රමයට තනතුරු ලබා ගෙන සිටි අය දැන සිටියේය. අවශ්‍ය අවස්ථා වලදී පාට මාරුකරන ප්‍රතිපත්තියක් ඔවුන් තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාය. මෙම කොමිසන් සභාවල සාමාජිකයින් සාමාන්‍ය කාලවලදී බලයේ සිටින ජනාධිපතිවරයාට පක්ෂපාත ලෙසත් එක්තරා ප්‍රමාණයකට ස්වාධීන ලෙසත් ක්‍රියා කල අතර, සංක්‍රමණීය කාලවලදී සිය පැවැත්ම රැක ගැනීම සදහා බලයේ සිටින ජනාධිපති වෙනුවට බලයට එන්නට නියමිත ජනාධිපතිට පක්ෂපාතව ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන හෝ නොදැන මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් උත්සහ කලේ නීතියට ඉහළින් සිටින ජනාධිපති එම තත්වයෙහි සිටියදීම උසස් නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම වළකා ඒ කටයුතු නියාමනය කිරීමය. නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකුගේ කටයුතු නියාමනය කල හැකි වනු ඇත්තේ ජනාධිපති නීතීයට ඉහළින් සිටින තත්වය අහෝසි කිරීමෙන් පසුව පමණක් බව එම සංශෝධන දෙකේ න්‍යායවාදින් තේරුම් නොගැනීම කොතරම් විහිළු සගතද? චම්පික ජනාධිපති කමට සිහින දකින බව පෙන්නෙන්නේද නීතියට ඉහළින් සිටින අවලස්සන ක්‍රමයද ආරක්ෂා කර ගැනිමට හේතුවන ආකාරයටය. ජනාධිපති නීතියට ඉහලින් සිටින තත්වය නැති කල යුතු බව, ඔහූ කොතැනකවත් කියා නැත. එය අමතක වීමක් නිසා විය නොහැකිය. අනුර කුමාර නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියයි. එහෙත් ඔහු එය අහෝසි කරන්නට යන බව පෙනෙන්නේ ජනාධිපතිවරණයට තරඟ කොට ජනාධිපතිකම ලබා ගැනීමෙන් පසුය!
මෙම ලිපිය දීර්ඝ වීම වැළකීම සඳහා මා විස්තර සහිතව කථා කරන්නේ නැතත් මෙම නායකයින් දෙදෙනා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීම හා ජනාධිපති ක්‍රමය තුළ දූෂණයෙන් කුණුවූ තත්වයකට පත්ව තිබෙන පාර්ලිමේන්තුව එම තත්වයෙන් මුදාගැනීම සදහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ද ප්‍රමාණවත් තරමින් අදහස් පළකර නැති බව කිව යුතුය.◼️
දේශපාලන විචාරක
වික්ටර් අයිවන්ගේ ෆේස්බුක් ගිනුමෙනි
දැන් සැපද ?
සමෘද්ධි කළමනාකාරිණියක් මාධ්‍යකරුවෙකුට කුනුහරුපෙන් බැනපු වීඩියෝව සහ ඡායාරූප මේ දක්වා ඕනෑවටත් වැඩියෙන් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණු දෙයක්.
එබැවින් ඇය කළ වරදට මුළුමහත් රටෙන්ම දඬුවම් ලැබුණා කියලයි මට හිතෙන්නේ. සිය රැකියාව අත්හිටුවීමත්, ලැබුණු නින්දාවත් ඇයට පෞද්ගලිකව විඳින්න ලැබුණු දේවල්.
මෙහි වරද ඇයගේ පමණද? මගේ නම් අදහස මෙහි ආයතන ප්‍රධානියා, එනම් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයා හෝ ලේකම්වරිය මෙහි කොටස්කරුවෙක්. ඔහු හෝ ඇය තමන් යටතේ සිටින සේවකයන්ට මහජන සේවය හෝ මහජන සබඳතා පිළිබඳ නිසි මග පෙන්වීම් ලබා දී තිබුණේ නම් මෙවැනි දෙයක් සිදුවීමට ඉඩක් නැහැ.
එමෙන්ම ඇයගේ කෝපාවිශ්ඨයට වැඩ පරිසරයද හේතුවක් විය හැකියි. එම නිළධාරිණිය තවත් නිළධාරිණියකට තර්ජනය කරන ආකාරයෙන්ද කියවෙන්නේ එහි කුඩා පාතාලයක්ද ක්‍රියාත්මක වන බවයි.
තමන් විසින් වන පොත් කරනු ලැබූ ආයතන සංග්‍රහයේ අඩංගු දෑ අමතක වීම මෙන්ම පහළ නිළධාරීන්ට අවශ්‍ය අඛණ්ඩ පුහුණුවීම් ලබා නොදීමේ වගකීමද භාරගත යුත්තේ ආයතන ප්‍රධානියායි.
අනෙක් අතට කුණුහරුපයෙන් බැණ වැදීමේ වරදට වැඩ තහනමකට ලක්වීම සාධාරණ හෝ අසාධාරණ යැයි කීමකට වඩා මෙහි ඇත්තේ ලංකාවේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවයි. මෙය රාජ්‍ය සේවකයන් බහුතරයක් සාමාන්‍ය ජනතාවට සලකන ආකාරය පිළිබඳ ප්‍රතිභිම්භයක් සේ ගිනිය හැකියි.
රාජ්‍ය ආයතනවලදී ජනතාව පීඩාවට පත්වීම සුලභ දෙයක්. යුරෝපය ඇතුළු දියුණු රටවල රෝගියාද සැලකෙන්නේ තමන්ට වටිනා පාරිභෝගිකයෙකු (Customer) ලෙසයි. එමෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම ආයතනයකට සේවාවක් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටුවේද යන්න Monitor වන System එකක් පවතී. ලංකාවේ රාජ්‍ය අංශයේ එවැන්නක් නැති තරම්ය.
කවරෙකු හෝ ජනතා සේවාවක් ඉටුකිරීමේදී මහජන සබඳතා මනාව පවත්වා ගැනීමට මෙන්ම දරාගැනීමේ හැකියාව සමග ධනාත්මකභාවයකින් (Resilience and positivity) රාජකාරී කිරීමට වගබලාගත යුතුය.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් එසේ නොවන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරුවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කොමසාරිස්වරුන්ගේ සිට ඉහළ නිළධාරීන් ඊට වගකිව යුතුය.
සරල උදාහරණයකට, අදාළ සමෘද්ධි කළමනාකාරවරිය උපාධිධාරිනියක්ද විය යුතුය. එමෙන්ම එකී සේවයට එක්ව අවම දශක දෙකකටවත් වඩා වැඩි කළක් විය හැකිය. නිරන්තරයෙන් මහජතාව සමග ගැවසෙන නිලධාරිණියක ලෙස ඇයට කෙතරම් පුහුණුවීම් ලබා දී තිබේද? ඇයගේ සේවය පිළිබඳ ඇගයීම් (Evaluation) කර තිබේද? එසේ නොමැති නම් එය ඇයගේ වරදක් නොවේ.
කෙසේ වෙතත් මේ සිදුවීම, රාජ්‍ය සේවකයන් ජනතාවගේ සුගදශීලී සේවකයන් බවට පත්කිරීමේ වැදගත් සංධිස්ථානයක් කරගත හැකිය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට හෝ අමාත්‍යාංශය ලේකම්වරයාට එකී කුනුහරුපය ඇසී රාජ්‍ය සේවකයා සුහදශීලී මහජන සේවකයෙකු බවට පත් කිරීමේ උවමනාව ඇති විය යුතුය. ඒ සඳහා තීරණයක් ගැනීම සහ නියෝග දීම ඔවුන්ගේ වැඩකි.
රැකියාව රඳාපවතින්නේ රජයෙන් ලැබෙන වැටුප මත නොව තමන් මහජනතාවට ඉටුකරන ඉහළ ගුණාත්මක සේවාව මත බව රාජ්‍ය සේවකයන්ට ඒත්තු ගැන්වෙන රාජ්‍ය සේවයක්ද ස්ථාපනය විය යුතුය.
|මහින්ද රුබසිංහ
පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා : මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය !
අනුරලා මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමේ සිදුවීම සුජාත කිරීම වෙනුවෙන් අප මිත්‍ර ලියනගේ අමරකීර්ති සිය බුද්ධිමය රන් කෙන්ඩියෙන් සිංහ තෙල් බිද බිද ගලපා ඔහුගේ බ්ලොග් අඩවියේ සටහනක් රචනා කර ඇත.
ඒ සදහා ඔහු 'තාර්කික ලෞකිකවාදයේ' සිට 'පශ්චාත්-විචාරාත්මක ලෞකිකවාදය' දක්වාත් 'රොමිලා තාපර්' ගේ සිට 'අමර්තයා සෙන්' දක්වාත් විහිදෙන සංකල්පීය ආයුධ කිහිපයක් ප්‍රදර්ශනය කර සිටියි.
අනුරලාගේ අස්ගිරි-මල්වතු බැහැ දැකීම පිළිබද විවේචන අඩවියට අමරකීර්ති ඇතුල්වන්නේ ඊට ඇති ලොකුම හා පහසු දොරටුවෙනි.බොහෝ විට එය ඊට ඇති එකම දොරටුව යැයි අමරකීර්ති වැනි සිංහල-බෞද්ධ ප්‍රගතිශීලීන් තමන්ටම ඒත්තු ගන්වා ගැනීමට බෙහෙවින් රුචිකරනවා වැනිය . ඊට අනුව අපේ සම්ප්‍රදාය සමග අභිමුඛ වී දේශපාලනය කරන ජවිපෙ/ජාජබ වැනි බලවේගයක් මල්වතු-අස්ගිරි පාර්ශව බැහැ දැක සංවාද කිරීමේ ,ආසිරි ලැබීමේ අවුලක් නැත.එය සාමාන්‍යය.ඔහුගේ සටහන අවසානයේ දක්වන පරිදි අනුරලා ..."අට පිරිකර රැගෙන පන්සල් ගියද ආගමික අන්තවාදයට එරෙහිවත්, අශීලාචාර භික්ෂු ප්‍රතිරූපකවලට එරෙහිවත් අභීතව..." කතා කර ඇත. අනුර(ලා) "ආචාරධාර්මික භික්ෂූන් වහන්සේලා සමග නිරන්තර සංවාදයක පිහිටා සිටියේය".තවදුරටත් අමරකීර්ති මෙසේ ද කියා සිටියි.."මෑතක් වනතුරුම ජාතිවාදී භික්ෂු ප්‍රතිරූපවල ව්‍යාජ සිංහ ස්‍යෙයා සහ වහසි බස්වලට රැවටී සිටි බොහෝ බෞද්ධයෝ අලුත් ආචාරධාර්මික බෞද්ධකමක් සොයමින් සිටිති"..
අපූරුය. අනුරලා, අමරෙලා මල්වතු-අස්ගිරි ඇතුළු අධිපති ආගමික නියෝජනයන් නිරතුරුව මුණ ගැසෙන්නේ 'අලුත් ආචාරධාර්මික බෞද්ධ කමක්' වෙනුවෙනි. "බෞද්ධ අනන්‍යතාවය මැදුම් පිළිවතින් පවත්වා ගැනීම" වෙනුවෙනි. මල්වතු-අස්ගිරි වැනි ඩබලයන් එම ආචාර ධාර්මික භික්ෂූන් ගණයට නොවැටෙන බව අමරෙ කියන්නේ නැත.අමරෙට අනුව අනුරලාගේ අස්ගිරි-මල්වතු වන්දනය අප තේරුම් ගත යුත්තේ "අශීලාචාර භික්ෂු ප්‍රතිරූප" වලට එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙසය..අමරෙගේ අදාළ ලිවීම තුළ වන "සූස් කට්ටකම" තව ශාප් විය යුතුව තිබෙයි.
ජාතික සම්ප්‍රදායන් හා එහි සංඝඨකයන් විමුක්තිවාදී විකල්ප දේශපාලන න්‍යාය පත්‍රයක් තුළට ඇතුළත් කරගැනීම අපගේ ද අවධාරණාත්මක යෝජනාවකි. එ'නිසා භික්ෂූන්,පන්සල්, වතාවත් හා ජන විශ්වාසයන් නිශේධනාත්මකව බැහැර කිරීමේ ආන්තික වාම ස්ථාවරයක අප නැත. එහෙත් අත්‍යවශ්‍ය හා තීරණාත්මක කරුණු දෙකක් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙයි. පළමුවැන්න වන්නේ ඉහත කී සංඝථකයන් විකල්ප කතිකාවක් තුළ අලුතෙන් සුසම්බන්ධ කරන්නේ කෙසේද යන්නයි. සරලව කිවහොත් එම සම්ප්‍රදායික උපාංගයන් එහි පසුගාමී අගයන්ගෙන් විතැන් කර යළි අර්ථවත් කරලීමේ භාවිතයයි.ජවිපෙ දෘෂ්ටිවාදී අවුල් පිරිසිදු කර දීමේ ස්වයං-භූමිකාවක් අමරෙ විසින් මේ කාලයේ බාර ගෙන තිබුණද ඉහත කතිකාමය තාක්ෂණය ගැන අමරේට අවබෝධයක් ඇත. සාහිත් යික හා සංස්කෘතික නූතනත්වය පිළිබද ඔහුගේ රචනා මෙහිදී අපට විවිධ පාඩම් කියා දෙන බව ද කිව යුතුය.
එහෙත් අමරෙලා වැනි සිංහල-බෞද්ධ ප්‍රගතිශීලීන් ඇතුළු නොවීමට පරිස්සම් වන අසීරු-පටු දොරටුව ඇත්තේ ඉහත කී වඩාත් තීරණාත්මක දෙවෙනි කරුණට අදාළවය.එය නම් යම් සිදුවීමක් අර්ථවත් කෙරෙන කතිකාමය සන්දර්භය නොහොත් එහි කතිකාමය පසමිතුරු අක්ෂය කුමක්ද යන්නයි.අනුරලාගේ අස්ගිරි-මල්වතු මන්ත්‍රණයට සංගත අර්ථ පථයක් ලැබෙන්නේ එමගිනි.එය කුමක්ද ?
ජවිපෙ දේශපාලනය මුළුමනින්ම පදනම් වන්නේ බහුතරවාදී ජාතික රාජ්‍ය මතවාදී සිතිජයකය. 'එක් රාජ්‍යයකට ඇත්තේ එක් ජාතියක් ය' යන මෙම යුරෝ-යටත් විජිත මතවාදයට ජවිපෙ ඉතිහාසය පුරාම ණයගැතිය.මේ 'ඒකීය ජාතිය' යනු අන් කිසිවක් නොව සිංහල-බෞද්ධ බහුතර ජනවාර්ගික ජාතිකවාදයයි.දෙමළ වාර්ගික-ජාතිකවාදී ව්‍යාපාරය සටන් වැදුනේ මෙම අධිපතිවාදයට එරෙහිවය. එම දෙමළ අරගල ව්‍යාපාරය පදනම් වූයේ සන්නද්ධ මැදිහත්වීමකින් තවත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණය කරගැනීමේ (එල්ටීටීඊ වැනි) නැඹුරුවක් මුල පටන්ම හෝ මුළු මනින්ම නියෝජනය කරමින් නෙවෙයි. රාජ්‍ය බලය බෙදාගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී-ප්‍රතිශංස්කරණ අරගලයක්ද ඒ හා අවියෝජනීයව බැදී තිබිණි. උතුරු-නැගෙනහිර සන්නද්ධ අරගලය වනසා දැමීමේ මහමොළ කරු ලෙස ජවිපෙ අධි-උද්වේගයකින් කටයුතු කළේ මේ බලය බෙදා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමද වනසා දැමීමේ දේශපාලන අභිලාසයෙනි. මහින්ද රාජපක්ෂව ' ' 'බල්ලෙකු නාවන ලෙස' ඇද ගෙන යමින් උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ හිස මතට 'බර අවි අතහැරීමේ' ජවිපෙ මෙහෙයුම එහි කුප්‍රකට ප්‍රතිඵලයයි.
දෙමළ ජනතාව මත දියත් කළ සංහාරය වෙනුවෙන් අවම වශයෙන් සමාව භජනය කිරීමකින් හෝ තොර වූ ජවිපෙ තවමත් යහමින් සිටින්නේ එම යුද්ධය උත්කර්ෂණය කිරීමේ හා යුධමය-සංහාරයේ නායකත්ව උරුමය තමා සන්තක කරගැනීමේ ආඩම්බරයකය. උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙත බලය බෙදා හැරීමේ කිසිදු දේශපාලන යෝජනාවක් ජවිපෙට නැතුවා පමණක් නොව ජවිපෙ/ජාජබ සිටින්නේ නියමෙන් හා අනියමෙන් ඊට එරෙහි ස්ථාවරයකය.තමන් මත රාජ්‍ය මර්දන හස්තය සාහසික ලෙස යොදවා සිය යුක්ති සහගත දේශපාලන ඉල්ලීම් පවා කමකට නොගන්නා ජවිපෙ/ජාජබ ගැන බහුතර දෙමළ ජනතාවට ඇත්තේ එදිරිවාදී ආකල්පයකි.බැහැර කිරීමකි.
අනුරලා මල්වතු-අස්ගිරි මූලස්ථානය ඇතුළු විවිධ භික්ෂු සංස්ථාවන් සමග නිතර ගණුදෙනු පවත්වා ගැනීම අර්ථවත් වන්නේ මෙම පුළුල් සන්දර්භය තුළය. මෙලෙස දෙමළ ජනතාවගේ දේශපාලන අරගලයට එරෙහි ව රාජ්‍ය මර්දනය උසි ගැන්වූ ආගමික-මතවාදී කේන්ද්‍රය ඇත්තේ දළදා වහන්සේ වැඩ සිටින මායිමේමය. ඒ මල්වතු-අස්ගිරිලාය. අනුරලා එම මර්දනයේ දේශපාලන මතවාදී හස්තය විය. නොබෝදා එකී අත්වැල් පැටලුණී. එය හුදු අහම්බයක් නොව මනුෂ්‍ය-දේශපාලන යුක්ති ධර්මයකට එරෙහි වූ සාමූහික ගිවිසුමක් පිළිබද බරපතළ සංකේතයකි. අවම වශයෙන් මෙවැනි විප්‍රකාරයන් දෙස බලා සිටින දෙමළ ජනතාවට සිතෙනු ඇත්තේ කුමක්ද ?..ජවිපෙට කෙසේ වෙතත් අමරකීර්තිලා වැනි බුද්ධිමතුන්ට මේ ගැන වගක් තිබේවිද ?
"පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය"
විදර්ශන කන්නංගර ගේ ෆේස්බුක් ගිනුමෙනි
රවීව තේරුම් ගැනීමට ශ්‍රී ලාංකේය ජන මනස ප්‍රබුද්ධ විය යුතුයි !
රවි කරුණානායක ගැන කියන විටම සමහරුන්ගේ මනසට එන වැරදි චිත්‍රය කුමන්ත්‍රණකාරී බලවේග විසින් සමාජගත කොට ඇති විකෘතියකි.
එය රවි ගේ පෙර පවකැයි ඔහු ගැන කියවා ඇති ඔහුට සමීප සමහරු කියන්නේ ගැඹුරු කරුණු රැසක් හා සාධක සහිතවය.
අද දේශපාලනයේ බහුල නිසි අධ්‍යාපනයක් හා අත්දැකීම් නැති අට පාස් හිස් අයට සාපේක්ෂව රවි ඉහළ අධ්‍යාපනයක් ලැබූ ශක්තිමත් පවුල් පසුබිමක් සහිත අයෙකි. රවි සමග හැරෙන්නටවත් බැරි නිසා ඔවුහු රවි ට එරෙහි කුහකත්වය මුදාහරිති. රවි යනු ලලිත් හා ගාමිණී සෙවණේ පෝෂණය වූ දැනට වසර 30 ක දේශපාලන අත්දැකීම් ඇත්තෙකි. තවද රටේ ආර්ථිකය සවිමත් කරමින් හා විශාල පිරිසකට රැකියා සපයා ඇති සාර්ථක ව්‍යාපාරිකයෙකි. දේශපාලන හා ව්‍යාපාර ක්ෂ්‍රේත්‍රයේ පුලුල් දැක්මක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා සහිත අයෙකි.
ඒ සියල්ලට වඩා ඔහු මෙරටින් බිහිවූ හොදම මුදල් ඇමතිවරයාය. එය කියනවිට සමහරු උපහාසයෙන් බැලූවද ලොවම පිළිගත් එංගලන්තයේ බැංකුකරුවන්ගේ ආයතනය එම ගෞරවය ඔහුට ලබාදුන්නේ කෙසේද යන්න කිසිවෙකු ගවේෂණය කරන්නේ නැත.
ලොව හොදම මුදල් ඇමති ලෙස රවීට ලැබුණු එම ගෞරවය මෙරටට ලැබුණු එකම අවස්ථාව විය.
එහෙත් එය කුහකත්වයෙන් හා පහත් උපහාසයෙන් මෙන්ම බොරු චෝදනා මෙන්ම මඩ වලින් වැසීයාම රට පැත්තෙන් ගත්විට අවාසනාවකි.
ඉන්දන මිල රු 10 කින් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ශ්‍රේෂ්ටාධිකරණය නියම කල ද එය නොකල පාළකයන් 2015 ආසන්නයේ සිටියදී රවි මුදල් ඇමතිවූ වහාම මෙරට ජනතාවට දුන් සහන පැකේජය තරම් එකක් වෙනත් කිසිදු රටක ජනතාවට ලැබී තිබුණේ නැත.
ඉන්දන ගෑස් පොහොර මිල අඩුකර සමෘද්ධි මහපොළ වැඩිහිටි දීමනා වැඩිකල එවකට මුදල් ඇමති රවි ගැබිනි මවුන්ට පෝෂණ මල්ලක් ලබා දී රජයේ සේවකයන්ට රු10, 000 ක ඉතිහාසගත පඩි වැඩිවීමක් ලබා දී ආර්ථිකය අද මෙන් බංකොලොත් නොකර සමබරව ඉදිරියට ගෙන ගියේ ඔහු ගේ නිවැරදි දැක්ම තුළය. ඔහු හොදම මුදල් ඇමති වූයේද ඒ තුළය.
එහෙත් අහක යන බැදුම්කර කරුමයක් එවකට මුදල් ඇමතිවූ හේතුවෙන් රවි ගේ කරමත පතිත විය. නමුත් මහබැංකුව හා සෙසු රාජ්‍ය බැංකු බාරව සිටියේ රවි නොව යහ පාලන රජයේ වෙනත් දෙදෙනෙකි. රවි ට චෝදනා කරන කිසිවෙකු ඒ මූලික කරුණ පවා නිවැරදිව වටහාගෙන නැත. අද ඔහුගේ කරමත පටවා ඇත්තේ අනුන්ගේ පවු බව හිතෙන්නේ එහෙයිනි. තවද රවී හැමවිටම "රනිල්" වෙනුවෙන් පෙනී සිටි හා සටන් කල චරිතයකි. ඒ තුළ ඔහු රනිල් ට එරෙහි බලවේග වලද සදාතනින ගොදුරක් හා එදිරිවාදියෙක් බවට පත්වීම ද වැඩි දෙනෙකු තේරුම් නොගත් වැදගත් යථාර්තයකි.
යහපාලනයේ සිටි බොහෝ ප්‍රබලයන් තනියම එම බලයේ රස හා සාරය උරද්දී රවි හැකි උපරිමයෙන් පාක්ෂිකයා හා සමස්ත ජනතාව බලාගත් අතර ඔවුන්ගේ දුකට සැපට තම අතේ මුදලින් පවා පිහිටවූ එකම මිනිසාය.
එහෙත් මෙරට බොහෝ ජඩ මාධ්‍ය කළේ පොළොවේ පය ගසා මිනිසුන් සමග සිටි රවි දේශපාලන ලෙස ඝාතනය කොට රටම කෑ හොරුන් මිණීමරුවන් හා පගාකාරයින් ට ආවඩා ඔසවා තැබීමය. එම ජඩ මාධ්‍ය මෙහෙයුම තුළ පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් ද මනස විකෘති කරගත්හ.
රවි යනු පෙර කළ අකුසලයක් පෙර පවක් ගෙවන මිනිසෙකු බවට ඇතැමුන් කරන විග්‍රහය යථාර්තවාදී වන්නේ එවැනි පසුබිමකය. මන්ද රවි ට එල්ලවූ බැදුම්කර හා සෙසු සියලු චෝදනා හා මඩ වලින් අභයාචනාධිකරණයේදී නිදොස් කොට නිදහස්වී ඇති බැවිනි. එසේම රවී මුදල් ඇමති ලෙස ප්‍රතිපාදන නොසපයන්නට මධ්‍යම අධිවේගයේ මිරිගම කුරුණෑගල කොටසක් අද ජනතාවට ලැබෙන්නේ නැත.
තවද රවී තරම් සුන්දර පවුල් ජීවිතයක් ගෙවන මිනිසුන් ද වත්මන් දේශපාලකයන් අතර විරලය. ඔහු ගැන සැබෑ ලෙස තේරුම් ගන්නට ලාංකීය ජන මනස ප්‍රබුද්ධ විය යුත්තේ එහෙයින් බවට තර්කයක් මතු වන්නේ එවැනි පසුබිමකය. තවද රවී වැනි පොළොවේ පය ගසා සිටින අයගෙන් රටට වැඩ නොගතහොත් එය ජනතාවගේ පැත්තෙන් කරනා අසාධාරණයක් බවට ද මතවාද පවතී.
රවි සමඟ හෝරාවක් (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග)
අර්බුදය හා අනුර කුමාර
ජවිපෙ ජාතික ජන බලවේගයේ නාමයද යොදාගෙන 20 වනදා පවත් වන ලද සමුළුවේදී ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේ "මේ රට බාරගන්න අපි සූදානම්" ය කියාය. ඔහු එසේ කීවේ එය තම පක්ෂය කරන්නට යන අලුත්ම වැඩක් ලෙස අසන්නන් තුළ හැඟෙන ආකාරයටය. එහිදී කරන ලද කථාවේදී තම පක්ෂය අනෙක් පක්ෂ දෙක මෙන් නොව රටේ පාලන බලයට සම්බන්ධයක් නොතිබුනු, එම පක්ෂ දෙකට වෙනස්, අදූෂිත සංස්කෘතියකට උරුම කම් කියන පක්ෂයක් ලෙස පෙන්නුම් කරන්නටද උත්සහ කලේය. ඔහු කියන දේවල යම් සත්‍යක් තිබෙන්නේය. එහෙත් ඉරි ගසා පෙන්වන තැන් වල දෝෂ පවතී.
ඉතිහාසය කෙටියෙන්
ජවිපෙ උත්පත්තිය 1964 ලෙස සැලකුවහොත් එම පක්ෂයේ දැන් වයස අවුරුදු 57 කි. එහි පාර්ලිමේන්තු ඉතිහාසයද අවුරුදු 27 ක් පරණය. එක ක්‍රමයකට නොව විවිධ ක්‍රම වලට පාලන බලය හිමි කර ගැනීමට උත්සහ දරා තිබෙන පක්ෂයක් ලෙස සැළකිය හැකිය. 1971 දී සන්නද්ධ කැරැල්ලක් මගින් බලය අල්ලන්නට උත්සහ කළේය. 1982 දී ජනාධිපතිවරණයට තරඟ කලේ ශ්‍රීලනිපට තිබෙන දෙවැනි තැන අහිමි කොට එම තැන තම පක්ෂය වෙත හිමි කර ගැනීම සදහාය. 1983 ඇති කරන ලද පක්ෂ තහනම මුවාවක් කොටගෙන නැවත රහසිගත දේශපාලනයකට යොමු වී 1987-89 කාලයේදී බලය අල්ලාගැනීමේ අරමුණින් බිහිසුණු කැරැල්ලක් කරළියට ගෙනාවේය. එම කැරැල්ලේ පරාජයෙන් පසුව 1994 දී නැවත දක්ෂ ලෙස ප්‍රචණ්ඩ මාවත අතහැර පාර්ලිමේන්තු මාවතට මාරු විය.
ඉන්පසු 2001 සැප්තැම්බර් වලදී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවක් සදහා අවබෝධතා ගිවිසුමක් ඇති කරගත්තේය. ඉන්පසු 2004 ජනවාරි වලදී පොදුජන එක්සත් පෙරමුණ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් මැතිවරණ සන්ධානයක් ඇති කර ගත්තේය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයට එම සන්ධානයෙන් තරඟ කොට එම පක්ෂයට තිබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 16 සිට 39 දක්වා ඉහළ දමා ගැනීමට සමත් විය. ජනාධිපතිනි චන්ද්‍රිකාගේ එම සන්ධාන ආණ්ඩුවේ ප්‍රභල ඇමති ධූර හතරක් හිමිකර ගත්තේය. ජනාධිපතිනිය මුළුමනින් ජවිපෙ මත නොයැපී එජාපයෙන් කණඩායමක් ආණ්ඩුවට එකතු කරගැනීම නිසා ජවිපෙ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ගියද 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර කළේය. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා කරළියට ගෙනාවේය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කරන වැඩසටහනට අනියම් ලෙස ආධාර කළේය. නිත්‍යානුකූල හිමිකමක් නැතිව ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද හිමිකර ගත්තේය. 2019 ජනාධිපතිවරණයට ජාතික ජනතා බල වේගයෙන් තරඟ කළේ ජනාධිපතිවරණය ජය ගැනීමේ අරමුණින් නොවේ, එමගින් පාර්ලිමේන්තු බලය වර්ධනය කරගැනීම සදහාය. එහෙත් ඒ අරමුණ සපුරා ගැනීමට හැකිවූයේ නැත. වර්තමානයේදී විරුද්ධ පක්ෂයේ දක්ෂිනාන්ශික කදවුරේ පෙනෙන්නට තිබෙන අවුල් සහගත තත්වය තුල ඊළග මැතිවරණයෙන් පාලන බලය හිමි කර ගැනීමේ හැකියාව සමහර විට තමන් ලැබෙනු ඇතැයි කිසියම් ප්‍රමාණයකට හෝ විශ්වාස කරන තත්වයකට පත්ව තිබෙන බව පෙනේ.
මතවාදි තලය
එම ඉලක්කය සපුරා ගැනීම සදහා මතවාදි තලය සකස් කරනු පිණිස විශේෂ තර්ක ක්‍රමයක්ද සකස් කරගෙන තිබෙන බව පෙනේ. ඒ අනුව මේ රට විනාශ කළේ මාරුවෙන් මාරුවට රට පාලනය කල දූෂිත පක්ෂ දෙක විසිනි. ජවිපෙ ඔවුන් මෙන් දූෂිත නොවනවා සේම ඔවුන් මෙන් රට පාලනය කරද නැත. ඒනිසා ඒ දෙපිරිස විසින් විනාශ කර තිබෙන රට ගලවා ගැනීමේ ඇත්ත අයිතිය තමන්ට තිබෙන්නේය කියා ඔවුන් විශ්වාස කරන බවද පෙනේ. එහෙත් රටේ දේවල් සිදුවී තිබෙන්නේ ඔවුන් හිතන තරම්ම සරල අකාරයකට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සමාජයක මතවාදි තලය කෙරෙහි බලපාන්නේ පාලක පක්ෂ පමණක් නොවේ; එසේ නොවන කණ්ඩායම් ද බලපායි. රජරට කලාපයේ බහුලව දක්නට තිබෙන වකුගඩු රෝගය කෘෂි පොහොර හා කෘෂි රසායන නිසා ඇති වී තිබෙන්නක් බව සමාජ ගත කලේ මතවාදි ගුරු කුලයක් මිස පාලක පක්ෂයක් නොවේ. මුස්ලිම් වද බෙහෙත් කථාව සමාජ ගත කලේද එවැනි කණ්ඩායමකි. මේ වන විට දෙමළ විරෝධි වර්ගවාදය අත් හැර තිබුනද සිංහල බෞද්ධ සිත් සතන් තුළ ප්‍රගතිශීලි පෙනුමක් ඇති දමිළ විරෝධි වර්ගවාදයක් ඇති කිරීමෙහි ලා ජවිපෙ ලොකු කාර්‍යභාරයක් ඉටු කළේය. ප්‍රචණ්ඩ අරගල න්‍යාය හා ඒ සදහා යොදාගත් භාවිතයද ලංකාවේ දැන් ඇතිවී තිබෙන කුණුවීම, බංකොලොත්භාවය හා අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැළකිය හැකිය. සොරකම බලවත් වරදක් වුවද ධනය සොරකම් කරන්නන් අතින් සිදුවන හානියට වැඩි හානියක් ධනය විනාශ කරන්නන් අතින් සමාජයට සිදු වන්නේයැයි කිව හැකිය. සොරකම් කරන ධනය පවා විවිධ ආකාරවලට නැවත සංසරණය වීමක් සිදුවේ. එහෙත් විනාශ කල ධනයක් එසේ වන්නේ නැත. ලංකාවේ කැරළිකාර ව්‍යාපාර අතින් සිදුවී තිබෙන ධන විනාශයේ තරම අති විශාලය. ලංකාවේ දැන් ඇතිවී තිබෙන අර්බුදය කෙරෙහි වංචාව හා දූෂණය පමණක් නොව එවැනි ධන විනාශයන්ද බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.
ජවිපෙට සිය පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සතුටු විය හැකි දේවල් තිබිය හැකිය.එහෙත් එම විෂයේදී ලංකාවේ දේශපාලන පක්ෂ වලට ආදර්ශයට ගත හැකි ආදර්ශ මාදිලියක් බවට පත් වීමට ජවිපෙ සමත් වූයේ නැත. ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලනයට එකතු වන විට පාර්ලිමේන්තුව තිබුනේ දූෂණයෙන් කුණුවෙමින් තිබෙන තත්වයකය. 1978 ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ වැදගත් ලක්ෂණයක් බවට පත්ව තිබුණි. විටින් විට බලයට පත්වන ජනාධිපතිවරුන් සිය මන්ත්‍රීන් කණ්ඩායම පක්ෂපාති හා තෘප්තිමත් තත්වයක තබාගත්තේ ඔවුන්ට ද නීතිවිරෝධී ලෙස ධනය උපයාගැනීමට මාර්ග හදා දීමෙනි. ඒ සදහා ජනාධිපතිවරුන් මන්ත්‍රී වරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩදුන්නේය. ඒනිසා සමහරෙක් ආණ්ඩුවේ වටිනා ඉඩම් අත්පත් කරගනිමින් වැවිලි කරුවන් බවටද, සමහරෙක් ලොකු කොන්ත්‍රාත් කරුවන් බවටද, තවත් සමහරෙක් විවිධ බලපත්‍ර ලාභී ව්‍යාපාරිකයන් බවටද පත් වූහ. චන්ද්‍රිකා පාලන කාලයේදී බාර් ලයිසන් දෙන ලද්දේ මන්ත්‍රීවරුන් හරහාය. ඒ නිසා මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් බාර් හිමියන් බවට පත්විය. මේ වැනි දේවල් මන්ත්‍රීන්ට අකැප ඔවුන්ගේ තනතූරු හා ප්‍රජා අයිතිය අහිමි කිර්‍රීමට හේතුවන බරපතල වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ජනාධිපති වරුන් වැළකුවේය. එම තත්වය පාර්ලිමේන්තුව විශාල ප්‍රමාණයකට දූෂිත කිරීමට හේතුවී තිබුනි. පාර්ලිමේන්තුවේ පැවති එම අවලස්සන තත්වයට එරෙහිව හඩනගන ප්‍රතිපත්තියක් මගින් එම තත්වයේ වෙනසක් ඇති කිරීමේ හැකියාව ජවිපෙට තිබුනද මොනයම් හේතුවක් නිසා හෝ එම පක්ෂය ඒ ගැන කතා කිරීමෙන් වැළකී සිටින පිළිවෙතක් අනුගමනය කලේය. ඒ මගින් එම පක්ෂය මහජනයා අතර ලොකු පිළිගැනීමක් හිමි කරගැනීමට තිබුන අවස්ථාවක් අහිමි කරගත්තේය.
විසඳුම කුමක්ද?
අන් පක්ෂවල මන්ත්‍රී වරුන්ගේ භාවිතයට වඩා ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ භාවිතය හොද විය හැකි වුවද ඩියුටි ෆ්‍රී වාහන සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනය කළ ප්‍රතිපත්තියද දෝෂ සහගතය. අවශ්‍ය නම් විකුණා මුදල් කර ගත හැකි ආකාරයට මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ලබා දීමේ ක්‍රමයද සැලකිය හැක්කේ මන්ත්‍රී වරුන්ට අයතා වරප්‍රසාද ලබාදෙන, නීතියට පටහැනි, දූෂිත ක්‍රමයක් ලෙසය. එම ක්‍රමය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි රට මත අති විශාල වැය බරක් ඇති කිරීමට හේතුවු ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. පසුව රජයේ සේවයේ ඉහල ශ්‍රේණිවල නිලධාරින්ට ද ඒ ක්‍රමයට වාහන දෙන්නට සිදුවූයේ මන්ත්‍රීවරුන් සදහා පවත්වාගෙන ගිය ක්‍රමය සාධාරණය කිරීමට අවශ්‍ය වූ නිසාය. අවසානයේ එය රටට ඔරොත්තු නොදෙන තරමේ අති විශාල වැය බරක් පැටවීමට හේතුවූ නාස්තිකාර හා දූෂිත ක්‍රමයක් විය. දැන් රටේ දේශපාලකයන් පමණක් නොව සුප්‍රා ගනයට වැටෙන රාජ්‍ය නිලධාරින්ද පාව්ච්චි කරන්නේ ලක්ෂ 300 කට වැඩි වටිනාකමක් ඇති ඉන්ධන පරිභෝජන වියදම ඉහලම මට්ට්මක පවත්නා සුඛෝපභෝගි මෝටර් රථය. රටේ ඇතිවී තිබෙන බංකොලොත් භාවය කෙරෙහි රාජ්‍යයේ දූෂිත ඩියුටි ෆ්‍රී වාහන ක්‍රමයද බලපා තිබෙන්නේයයි කිව හැකිය. වාහන විකුණූ මුදල් පක්ෂයට දුන්නා මිස අප ගත්තේ නැතැයි කීවාට එම වරද නිවැරදි වන්නේ නැත. පක්ෂයේ භාණ්ඩාගාරයට ගියේ රජයේ හාණ්ඩාගාරයට යායූතු මුදල් ය. එබදු නාස්තිකාර හා විනාශකාරි ක්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩ හැරීමෙන් හා එහි කොටස් කරුවකු ලෙස ක්‍රියා කිරීමෙන් ජවිපෙ වරදක් කර නැතැයි කිව නොහැකිය.
ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එය ජයගත යුතු අකාරය ගැන තියුණු විග්‍රහයක් ජවිපෙට තිබෙන බවක් 20 වනදා සිදු කරන ලද කථා වලින් නම් පෙනෙන්නේ නැත. එසේම එම සමුළුව වෙනුවෙන් "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" යන හිසින් පළ කර තිබෙන පොත් පිංචෙන්ද ඒ ගැන හොද විග්‍රහයක් කරන්නට සමත් වී නැත. ලංකාවේ අර්බුදය ගැන ඇත්තටම ඔවුන්ට තිබෙන විග්‍රහය කුමක්ද? ඔවුන් එම අර්බුදයට ඉදිරිපත් කරන විසදුම් මොනවාද? ඒ සමග ඇසිය යුතු තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තිබේ. ඊළග ජනාධිපතිවරණයට පෙර රාජ්‍යයේ බිද වැටීමක් ඇති වුවහොත් කරන්න යන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නයට යම් සංවේදි භාවයක් තවමත් පෙන්නුම් කර ඇත්තේ චම්පික රණවක සහ රනිල් වික්‍රමසිංහ පමණය. ඊළග මැතිවරණයට පෙර ආණ්ඩුවේ බිදවැටීමක් සමග රාජ්‍යයේ බිද වැටීමක් ඇතිවුවහොත් විය හැක්කේ කුමක් ද?