V2025

පුවත්

විදුලි බලයට නව සභාපතිවරයෙක්....

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල  පත්කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.

ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) සමත් වී තිබෙයි.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.

මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය පසුගිය පෙබරවාරි 18වනදා වාර්තා විය.

එදින එම අගය සටහන් වුණේ ඒකක 17,193.80ක් ලෙසයි.

පිය - පුතු ඇප මත මුදා හැරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල  ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  අද(03) නියෝග කළා ය.

ඇප නියම වූයේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 03ක් සහ රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප 03ක් ලෙසයි.

සැකකරුවන්ට ඇප දෙමින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළා ය.

අධිකරණය නියෝගය කළේ, තුන් වැනි සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නායක  ද රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02ක් හා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙසය.

අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළවයි.

කෙහෙළිය රඹුක්වැල්ල  ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පමණක් පුද්ගලයින් 15 දෙනකු සේවයට බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

නඩුව ඔක්තෝබර් 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කෙරිණි.

COVID -19 වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  සදහන් කරයි.

ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වේ,

2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලැබීය.

SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයකි. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේද 2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර ඇත.

2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක් විය. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරයි.

ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතී.

පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝග වල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවේ. එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැත.

උණ, සෙම්ප්‍රත්ශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී. නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍යවේ.

කෙසේ වුවද මෙම COVID – 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් වේ.

කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීමහෝ විෂබීජනාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම, අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ.

එමෙන්ම යම් අයෙක් ශ්වසන රෝගයකින්පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනයවීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම වැනි දේ යෝග්‍ය වේ.

රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ, යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමනවා - ජනපති

ජාවාරම්කාර ව්‍යාපාරික කළු යාන්ත්‍රණය බිඳ දමන බව , ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, කිසිදු ආර්ථික සාධකයක් සඳහා දේශපාලන තීරණ නොගන්නා බවයි.

ජාතික බදු සතියේ සමාරම්භක උත්සවය අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

2024/2025 තක්සේරු වර්ෂ සඳහා වන බදු වාර්ග අන්තර්ජාලය මුදා හැරීම මෙහිදී සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය ඒකාබද්ධව ශ්‍රී ලංකා රේගුව සඳහා හඳුන්වා දෙන ASYHUB එළිදැක්වීමත් මෙහිදී සිදුවිය.

එමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්වීමේ කටයුතු වඩා කාර්යක්ෂවම සහ විනිවිදභාවයකින් සිදු කිරිමට අවස්ථාව උදා වෙනු ඇත.

දේශීය නිෂ්පාදනය කරනු ලබන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් බෝතල් සඳහා විශේෂ ආරක්ෂික සලකුණු සහිත ස්ටිකරයක් සහ ඩිජිටල් කේත හඳුන්වාදීමත් සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

අනුදි යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියේය.

එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි.

එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විමත් සමග ශ්‍රී ලංකාවේ ලෝක රූ රැජින බලාපොරොත්තුව බිඳවැටුණි.

72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් විය.

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමිනි.

කෙසේ වුවද 72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී ලොව පුරා මහත් බලාපොරොත්තු තැබූ ඉන්දියාව නියෝජනය කරමින් තරග කළ නන්දිනි ගුප්තාටද සිය කිරුළේ බලාපොරොත්තුව අහිමි විය.

‘බන්දුල පෙතියා’ වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් කරයි

991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික ( Point Endamic) මත්ස්‍යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද(02) කෑගල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ දී පැවැත්විය.

මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත, මෙම මත්ස්‍යයා ඇල්ලීම, තුවාල සිදුකිරීම , සන්තකයෙහි තබා ගැනීම හෝ විකිණීම , ප්‍රවාහනය , ප්‍රදර්ශනය කිරීම හෝ වාසස්ථානවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු විය.

පසුගිය 22වන දින නික්කඳුපොල දොළ පහර පිහිටි ප්‍රදේශයට ආසන්න පාසල් 03ක් සම්බන්ධ කරගෙන “බන්දුල පෙතියා” සුරකිමු තේමාව යටතේ පැවැත්වූ චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම නියෝජ්‍ය අමාත්‍යවරයා , වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් විසින් සිදු කළේය.

502374190 10228842215669317 6917401955284987922 n 1024x682

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ  පවසයි.

මේ අතර මිහින්තලා රජය මහාවිහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන ස්වාමීනවහන්සේ ද පවසන්නේ 2022 වසරට පෙර පැවති ආකාරයටම රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට අවශ්‍ය රාජ්‍ය මැදිහතවීම සිදුව ඇති බවයි.

මිහිදු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමක් ලෙස පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සති පිරිතෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පොසොන් උත්සවය රාජ්‍ය මැදිහත්වීම මත සිදු කිරීමටද සියලු කටයුතු යොදා තිබේ.

wasantha

වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වන ලකුණු !

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

"Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2025" නැරඹීමට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය.

ප්‍රදර්ශන කුටි වෙත යමින් ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය.

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන  ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ  ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා  ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

702b88b5 48d1 4877 b450 03d1f7b7f656 large

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටාට

72 වැනි ලෝක රූ රැජිණ තායිලන්ඩ් නියෝජනය කරමින් පැමිණි ඔඔපල් සුචාටා චොන්සිරිට දිනා ගෙන තිබේ.

1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.

එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.

2025 මැයි 31 වන දින ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හයිටෙක්ස් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී කිරුළ පැළඳූ අතර, එහිදී ඇයගේ පූර්වගාමියා වූ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඇයට කිරුළු පළඳවන ලදී.

WEB 19 793349

Opal Suchata

ආපදා තත්ත්වයයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි

දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 104කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් 4623 දෙනෙකු පිඩාවට පත්ව සිටී.

ආපදාවලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට ජනාධිපතිතුමා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒහි ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවේ ආපදා හේතුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක් ද, අර්ධ හානිවූ නිවාස සදහා හානිවූ ප්‍රමාණය අනුවද වන්දි ලබාදෙන බවයි.

ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට පියවර ගෙන ඇතැයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු සදහා ලක්ෂ 10ක වන්දියක් ලබාදෙන බවයි.

කාලගුණ තත්ත්වය

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු- මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අඩු මිලට තෙල් දෙන්න අබුඩාබිය සූදානම්......

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන  අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri)  සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi)  ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉදිරි පැය 36දීත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වඩා තද වැසි ඇති විය හැකි බවය.

උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60ක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  අද(30) දින නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක  නඩුවට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්  අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලැයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ, සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් අවශ්‍ය බවයි.

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නඩුව ජුලි මස 11වැනි කැඳවීමට දින නියම කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවයයි.

අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා නිලුපුලී ඉදිරියේදී මෙම නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි කොටුව පොලීසියේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළව සාවද්‍ය පරිහරණයට ලක් කළ දේපොළ පොදු දේපළ බවත් එබැවින් පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් එම පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවත් සඳහන් ක‍ර ඇත.

එම අවස්ථාවේ මින් පෙර මහේස්ත්‍රාත් අධිකරණයට විමර්ශන නිලධාරින් ඉදිරිපත් කළ වාර්තාවල එම කරුණු සඳහන් නොකළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය විසින් නිලධාරීන්ගෙන් විමසිමක් කර ඇත.

පසුව විමර්ශන නිලධාරීන්ගෙන් දුර්වල විමර්ශනයක් නිරීක්ෂණය කළ බවත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් කළ කරුණු වාර්තා කරන ලෙසත් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කළේය.

කෙසේ නමුත් මෙම නඩුව ලබන 02 වන දින කැඳවීමට නියමිතය.

රට පුරා PCR පරීක්ෂණ......

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  ප්‍රකාශ කළේය.

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බියවිය යුතු නැතැත් එය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අනිල් ජාසිංහ,

"අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුයේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා. ආසියාවේ කොවිඩ් වැඩිවීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කරන එක වැඩි කරා. කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් භාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක් එක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඒක අනිත් අයට හොඳයි."

ගෙවුණු ආසන්න කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් ඉහළයාමක් පෙන්නුම් කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙලෙස කොවිඩ් සුලබ ව්‍යාප්තියක් වාර්තාවන්නේ මධ්‍යධරණී රටවල, අග්නිදිග ආසියානු රටවල සහ බටහිර පැසිෆික් කලාපීය රටවලිනි.

ඒ අනුව JN 1, LF 7 සහ NB 1.8.1 වැනි කොවිඩ් උප ප්‍රභේද මේ වනවිට රටවල් රැසකින් වාර්තා වී තිබේ.

එලෙස ආසාදිතයින් බහුලව වාර්තාවන රටවල් අතරට ඉන්දියාව ද අයත්ය.

LF 7 සහ NB 1.8.1 කොවිඩ් උප ප්‍රභේද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින උප ප්‍රභේද වශයෙන් සැලකේ.

මෙවන් පසුබිමක ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවධානය යොමුකර තිබේ.

Page 1 of 469