පුවත්
එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට
එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු ගෙවීම් මෙරටට ලැබී ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ යටතේ ඩොලර් 878,650යි සත 53ක් මහා භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කර ඇති බවයි.
ඉතිරි රුපියල් මිලියන 16 ඉදිරියේදී ලැබීමට නියමිතයි.
එම මුදල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම් වෙනුවෙන් ලැබී තිබේ.
නෞකා සමාගමේ රක්ෂණ සමාගම සමග පසුගියදා ඇති කරගත් එකඟතාවකට අනුව එම අතුරු ගෙවීම් හිමිවිය.
මේ අතර ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන්ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන්ද අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනපති යළි දිවයිනට
කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබේ.
අද උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අතර අනතුරුව අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණි.
ජනාධිපති රනිල් ආව ගමන් අත්සන් කරන ගිවිසුම මෙන්න !
IMF සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිත අතර එහි දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව බව වාර්තා වෙයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර එහි ජනාධිපති නියෝජිත ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම සාකච්ඡා වලට සහභාගී වෙයි.
මෙම සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍ර වල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .
විශේෂයෙන් රාජ්‍ය ආදයම් ඉහල නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කරගෙන නොමැති බව අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙහිදි සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙල ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය.
එසේම දෙපාර්ශවය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද රත්නායක මහතා පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .
රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බවද පෙන්වා දී ඇත.
ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධි මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවත් එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද රත්නායක මහතා කියා තිබේ.
ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ.
මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.
සුපිරී වෙළඳ සැලේ සුපිරී ප්‍රහාරය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !
හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව අද (22) අසේල සම්පත් ප්රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත .
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් පවසන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම ආරම්භ කළ යුතු බවයි .
එසේම සමාජ මාධ්‍යයක ඇතැම් දේවල් පළ කර වහාම අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ ක්‍රියාත්මක නොවීම පිළිබඳ දැඩි සැකයක් මතුවන බවත් ඔහු පවසයි .
මන්ද සුපිරි වෙළෙඳ සැල තුළ දී තරුණියකට අමානුෂිකව පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍යවල පළ වී පැය 24කට ආසන්න කාලයක් ගතවී තිබුණද කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ඕනෑම නීති කඩකිරීමක් පිළිබඳ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත්කර ඇති බවය. පොලිසියේ රාජකාරි සඳහා ඇඟිලි ගැසීම අමාත්‍යංශය කිසිවිටෙකත් සිදුනොකරන නමුත් යුක්තිය ඉටුනොවීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඒ වෙනුවෙන් වන විකල්ප ක්‍රියාමාර්ග ද හඳුන්වා දී ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .
මේ අතර කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාලය සිදුවීම සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල සිද්ධිය පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ය.
නඩු ඉල්ලා අස්කරගෙන අල්ලස වාර්තා තියලා !
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් මින් යළි නඩු පවරා ඇත්තේ විස්සක් පමණක් බවද එම කාර්යාලය සඳහන් කරයි.
ජාතික විගණන කාර්යාලය නිකුත්කළ වාර්තාවක මේ බව සඳහන් අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත් වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් දැක්වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69 ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස් කරගෙන තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කළේය.
මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු බවත් ඉන් ලිපිගොනු 489 ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත් වාර්තාවේ දැක්වේ.
අවසන් නොකළ ලිපිගොනු926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බවද විගණන කාර්යාලය පවසයි .
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු 3 1/2ක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27 න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11 පමණක් බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත .
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතීක මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15 ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය සඳහන් කර සිටියි.
වාහන හැර සෙසු ආනයන සීමා ලබන මාසයේ ඉවතට !
වාහන හැර අනෙකුත් සියලු ම භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බව ය.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
දැනට එච්.එස්. කේත 600කට අදාළ භාණ්ඩ සඳහා ආනයනය සීමා පවත්වා ගෙන යන බව ත් ඒ අතරින් වාහන සඳහා අදාළ වන එච්.එස්. කේත 270කට ආසන්න ගණන හැර අනෙකුත් සියලු ම ආනයනය සීමා නිදහස් කිරීමේ හැකියාව ඇති බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නීපා හඳුනාගන්නා පරීක්ෂණ කට්ටල දින කිහිපයක් තුළ ලංකාවට !
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති 'නිපා' නමින් හැඳින්වෙන වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවය.
කෙසේවෙතත් නිපා වෛරසය පැතිරීම ඉතා අඩුවේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය.
රනිල්ව මිනිත්තු 25ක් එළියේ තියලා : වජිරගෙන් අනාවරණයක් !
පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන, ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ගේ ඉවසීම ගැන පුදුම හිතුන බවද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන්නේ යැයි ද කීය.
අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ "ඔබතුමා දැනට ඔහොම ඉන්න" යැයි පැවසූ බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළේය.
ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුනත් රනිල් වික්‍රමසිංහ පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්රස්තවාදීන් පුපුරුවාගෙන මැරෙන තැනට කටයුතු කෙරුණු බව ද කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කී කාරණා සියල්ලම එතුමා කැමති නම් ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා, එසේ ලබා දෙනවා නම් ඉතා වැදගත් බව කීය.
ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව කී මන්ත්‍රීවරයා, ඇතැම් දේශපාලකයන්ගේ කතා දකින විට ත්රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට කණගාටුවක් ඇති වන බවද බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව කීය.
(lankadeepa.lk)
ඊබ්‍රහිම්ගේ ත්‍රස්ත කටයුතු සහ ජවිපෙ දේශපාලනය අතර සම්බන්ධයක් නෑ - අනුර
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ බවක් එම ප්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජවිපෙ සහ ජාජබ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
2017 වසරේ ඊබ්‍රහම්ට විරුද්ධව අධිකරණය පැනවූ නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ වත්මන් අමාත්‍ය අලි සබ්රි මහතා බවද එසේ වූවා කියා අලි සබ්රි ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ යයි ලඝු කළ යුතු නැති බවත් ඔහු පැවසීය.
අනුර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
වසර දෙකක් පමණ ඊබ්‍රහිම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කළ ද එහි දී තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීමට සම්බන්ධයෙන් කිසිම එළිදරවුවක් වී නැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කුකුළු මස් මිල තවත් පහළට !
මේ වන විට රුපියල් 1150ක් පමණ වන කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (22) සඳහන් කළේය .
කුකුළු මල් නිෂ්පාදකයන් එම සහනය ජනතාවට නොදුන හොත් කුකුළු මල් ආනයනය කර හෝ පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් කුකුළු මස් කිලෝවක් රුපියල් 850 ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ සුපිරි වෙළෙඳසැල් කුකුළු මස් අළෙවියෙන් විශාල ලාභයක් ලබන බවත් එම වෙළෙඳසැල්වල ද කුකුළු මස් මිල අඩු කරන ලෙස දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කළ බව ය.
ජනපති, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ කළ කතාව
වත්මන් මෙන් ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිඳියාවෙන් යුත් සෞභාග්‍යවත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේ ය.
මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේ ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහය තමාට හිමි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, ඊයේ (සැප්. 21) නිව් යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය දේශනය පවත්වමිනි.
සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ ප.ව 10:00ට පමණ ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසි වාරය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
“පළමුවෙන් ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසි වාරයේ සභාපති ලෙස පත්වූ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ ගරු ඩෙනිස් ෆ්‍රැන්සිස් මැතිතුමාට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට කැමති යි.
ඒ වගේ ම පසුගිය දා ඇති වූ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් මොරොක්කෝ රාජ්‍යයේ සහ ලිබියා ජනරජයේ විපතට පත්වූ සියලු ම සරණාගතයින් සහ ඔවුන්ගේ පවුල්වලට මගේ ශෝකය පළ කරනවා. මෙම දුෂ්කර කාලය තුළ අපි අපගේ මිතුරන් වන මොරොක්කෝ සහ ලිබියානු ජනතාව සමග එකට සිටින බව ප්‍රකාශ කිරීමට කැමති යි.
“විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සහයෝගීතාව යළි ඇති කිරීම” යන ප්‍රකාශය අද අප ඉදිරියේ පවතින බහුපාර්ශ්වික අභියෝග පිළිබඳ මෙනෙහි කිරීමට පමණක් නොව, පසුගිය වසර පුරා මගේ රට වන ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ද සුදුසු බව මම විශ්වාස කරනවා.
පසුගිය වසරේ මෙම කාලය වන විට ඇති වී තිබූ බහුවිධ ගෝලීය අර්බුද මධ්‍යයේ ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩා ත් අභියෝගාත්මක කාල පරිච්ඡේදය අත්විඳිමින් සිටි අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දරන ලද උත්සාහයන් නිසා අප සතුව පැවති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ට ද තර්ජනාත්මක තත්ත්වයක් රට තුළ උද්ගත වුණා.
කෙසේ වුවත්, අප සතුව පැවති ගැඹුරින් මුල් බැසගත් සහ ඔරොත්තු දෙන ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්රජාතාන්ත්රවාදී දේශපාලන බල හුවමාරුවක් සිදු කිරීමට අප සමත් වුණා.
අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද පොහොර පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගාසිටුවමින් රටේ ස්ථාවරත්වය සහතික කිරීමට සහය වූ බව කිව යුතුයි.
ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සංහිඳියා යන ක්ෂේත්‍ර ප්රමුඛ කර ගනිමින් මා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක් අතකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා හේතු වී ඇති අතර අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය ඇතිකිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වනවා.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලාංකිකයන් දැනටමත් සිය දෛනික ජීවිතය තුළ අත්විඳිමින් සිටින අතර රටේ ප්‍රගතිය සම්බන්ධයෙන් අභ්‍යන්තරව හා බාහිර වශයෙන් විශ්වාසය ගොඩනැගෙමින් පවතිනවා.
වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට සාමයෙන් සහ සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සෑම ප්‍රදේශයක ම සියලු ජන කොටස්වලට ප්රතිලාභ සැලසෙන තිරසාර සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා රට මෙහෙයවීම මගේ අභිප්‍රාය යි. මෙම ඉලක්කය කරා ළඟා වීමට, අපගේ ම ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, විශ්වාසය සහ සහයෝගීතාවය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
එක්සත් ජාතීන්ගේ 80 වන සංවත්සරය යෙදෙන 2024 අනාගත සමුළුවට සූදානම් වන විට, බෙදුණු දේශපාලනික භූ දර්ශනයක් අපට දිස්වෙමින් පවතියි.
එමෙන් ම, නව ගෝලීය බල කේන්ද්‍රයක් මතුවෙමින් පවතින බවක් ද පෙනෙන්න තිබෙනවා.
මෙම වෙනස්වීම් සමග එක් අතකින්, ජනතාව දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය කරා ගමන් කරන අතර ඒ අනුව සංවර්ධනය සහ මානව ප්‍රගතිය පිළිබඳව විශාල බලාපොරොත්තුවක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගොඩබිම සහ සාගරවල ඇතිව තිබෙන මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික ආතතීන් විවෘත යුදමය තත්ත්වයන් ඇති කර තිබෙනවා.
ආරම්භක අවධියට වඩා ලෝකයේ පවතින ආරක්ෂක සන්ධානයන් මේ වන විට පුළුල් වී ඇති අතර ඒවාට මුහුණදීමට පැරණි සහ නව අවස්ථාවන්ට අනුකූලව උපායමාර්ග සැකසෙමින් පවතිනවා.
ඩිජිටල් බෙදීම, මූල්‍ය හා ණය අර්බුදය සහ බලශක්ති ප්රභවයන්ගේ පරිණාමය යන කරුණු සමඟ උතුර සහ දකුණ අතර පවතින ගෝලීය බෙදීම් තවදුරටත් පුළුල් කරනවා.
2030 පොරොන්දුවට පටහැනිව, දශක ගණනාවක් තිස්සේ අප විසින් නොදුටු දරිද්‍රතාවයේ සහ කුසගිනි මට්ටමක් අද අප දකිමින් සිටිනවා. ශ්‍රී ලංකාව වන ගෝලීය දකුණේ මධ්‍යස්ථ සහ නොබැඳි රටවලට මහා බලවතුන් හමුවේ නැවත වරක් සීමාවන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.
දිල්ලියේ පැවති G20, ප්රේටෝරියාහි පැවති බ්‍රික්ස් සමුළුව සහ හිරෝෂිමාහි පැවති G7 යන සමුළු ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඉන් ඔබ්බෙහි පැවති සමුළුවල මෑත කාලීන ප්‍රකාශ ගණනාවකින් අපට මුහුණු දීමට සිදුව ඇති මෙම අභියෝගයන්, දේශසීමා සහ අනෙකුත් සියලු ම බෙදීම් අභිබවා යාමක් දක්නට ලැබෙනවා.
මෙම තත්ත්වය හමුවේ අනාගත පරම්පරාවන් සඳහා පැහැදිලි අනාගතයක් ගොඩනැගීමට එක්සත් විය යුතු අවස්ථාව අප දැන් උදා කර ගත යුතුව පවතිනවා.
මෙවර මහා මණ්ඩලයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන්න මෙම වත්මන් ගෝලීය දුෂ්කරතාව පිළිබඳ මනා පිළිඹිබුවක්.
මෙම වසරේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට සමගාමීව පැවති තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීම, සංවර්ධනය සඳහා මූල්‍යකරණය සහ දේශගුණික අභිලාෂයන් පිළිබඳ සමුළුව ආදී සමුළු තුනකට ශ්‍රී ලංකාව ලෙස අප සහභාගී වී ඇති අතර එහිදී මීට සමගාමීව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය බවට අප එකඟ වුණා.
දේශසීමා විරහිත මූල්‍ය බලපෑම්, දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද මගින් මගේ රට වන ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමට ඇති හැකියාවට බාධා ඇති කරනවා.
ලෝක බලවතුන් අතර පවතින ගැටුම් සහ ආතතීන් මගින් ආර්ථික හා සාර්ව මූල්‍ය ස්ථාවරත්වයට අවිනිශ්චිතතාව එකතු කිරීම, සැපයුම් දාමයන් කඩාකප්පල් කිරීම සහ උද්ධමනය මෙන් ම ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කිරීම වැනි ගැටලු වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ඇති වාතාවරණය තවදුරටත් අසීරු කරනවා.
තිරසර සංවර්ධන ඉලක්ක සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් ඔබ්බට සංවර්ධනය සහ වර්ධනය පමණක් මැනීම සඳහා වන අතර, මානව යහපැවැත්ම, ඇතුළත් සමාජ සහ ගෝලීය තිරසාරභාවය එහි හරය තුළ අන්තර්ගතව තිබෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර, ශ්‍රී ලංකාව අනෙකුත් මධ්‍ය ආදායම් ලබන රටවලට වඩා ඉහළ කාණ්ඩයක ශ්‍රේණිගත කළ ඉහළ මානව සහ සමාජ සංවර්ධන දර්ශකයක් අත්කර ගෙන තිබුණා.
ශ්‍රී ලංකාව පෘථිවි තලය පිළිබඳ ඇති වගකීම පැහැර හැර නැහැ. පසුගිය වසරේ COP27හිදී අපි අපගේ දේශගුණ අභිලාෂ සැලැස්ම ගෙනහැර දැක්වූවා.
2030 වන විට විදුලි උත්පාදනයේ දී 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා බව ත්, වන ආවරණය 32% කින් ඉහළ නංවා ගැනීම සේ ම හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කරන බවට අප එහිදී ප්‍රකාශ කළා. 2040 වන විට ගල් අඟුරු ඉවත් කර 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළඟා වීමට අප අපේක්ෂාවෙන් සිටිනවා.
අපගේ අඩු කාබන් සංවර්ධන ගමන් මග අපට මධ්‍ය ආදායම් ලබන රටවලට අවශ්‍ය අවම ඒක පුද්ගල කාබන් විමෝචන අනුපාතයක් ලබා දී තිබෙනවා.
මෙම වසරේ මුහුණ දීමට සිදුවූ ආර්ථික අභියෝගය සහ ණය ගැතිභාවයේ ප්‍රතිඵලයක් ලෙස, රටක් ලෙස අප ළගා කර ගැනීමට අපේක්ෂා කළ වර්ධන වේගය අත්කර ගැනීමට අපට නොහැකි වී තිබෙනවා.
ආහාර උද්ධමනය අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර ආහාර සුරක්ෂිතතාව කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් තිබෙනවා.ඒ අතරම වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ කටයුතු අඩාල වී තිබෙනවා.
ඊට සමාන්තරව, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට මෑත වසරවල දක්නට ලැබුණු වියළි ම කාලගුණික තත්ත්වයේ බලපෑමට ලක්වීමට සිදු වුණා.
අයහපත් දේශගුණික ප්‍රතිඵල මගින් පිරිසිදු බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය ලබා ගැනීම සහ අපගේ ගොවීන්ගේ ජීවනෝපාය වැනි ක්ෂේත්රයන්ගේ බිම් මට්ටමේ බලපෑම් ඇති කර තිබෙනවා.
පසුගිය වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව අප ස්ථාවර වීම ආරම්භ කර ඇති මෙම අවස්ථාව වන විට මෙම තත්ත්වය අපට දැනටමත් ඇති දැඩි මූල්‍ය අවශ්‍යතාවය තවදුරත් තීව්ර කරමින් තිබෙනවා.
ණය අර්බුදයක සිටින දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, අපට දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාව අන් කවරදාටත් වඩා අද දැඩිව දැනී තිබෙනවා.
දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට ධනවත් රටවල් පොරොන්දු වූ නමුත් එම අපේක්ෂා තවමත් ඉටු වී නැහැ.
සංවර්ධිත රටවල් එම එකඟතා ඉටු කළ යුතු යි. ඔවුන් සතුව පවතින සාමූහික නමුත් වෙනස් වූ වගකීම්වලින් ඔවුන්ගේ කොටස භාර ගත යුතු යි.
දේශගුණික විපර්යාස අවම කිරීම සහ දේශගුණික අනුවර්තනය සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ ඉන් ඇති වන පාඩු හා හානි සඳහා වන්දි ලබා දීම ඔවුන්ට පැවරී ඇති එම වගකීම යි.
තිරසර සංවර්ධන ඉලක්කයන්හි සාර්ථකත්වය අත්කර ගැනීමට සහ දේශගුණික විපර්යාස ආපසු හැරවීමට ජාතික උත්සාහයන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ඉන් ප්රමුඛ වෙනවා. G20, සහ BRICS ඇතුළු බහු ගෝලීය සංසදවලදී මෙය ඉතා දැඩිව සහ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.
මහ ලේකම්වරයා විසින් යෝජනා කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීමේ වැඩපිළිවෙල මගින් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ ණය හිමියන්ගේ ස්වෛරී සහ පුද්ගලික ණය අර්බුදය අවම කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතය විසින් සිදුකළ යුතු සංයුක්ත මැදිහත්වීම් අතර පවතින අන්තර් සම්බන්ධතාවයන් පැහැදිලි කර දක්වා තිබෙනවා.
2008දී ඇතිවූ මූල්‍ය අර්බුදය විසින් එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 4ක් අහිමි කර ඇති බව ඇස්තමේන්තුගත කර තිබෙනවා. එක්සත් ජනපදය විසින් සිදු කර ඇති මෑත කාලීන අධ්‍යයනයන් මගින් අනාවරණය වී තිබෙන්නේ වසංගතය මගින් 2020 සිට 2024 දක්වා එක්සත් ජනපද ආර්ථිකය මත ඇති කරන බලපෑම ඩොලර් ට්‍රිලියන 14 දක්වා වැඩි වනු ඇති බවයි. ගෝලීය ආර්ථිකයේ ඉතිරි කොටස් ද මීට එකතු කළහොත් මෙම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වනු ඇත.
නූතන ඉතිහාසය තුළ අප කිසිදු අවස්ථාවක මෙවැනි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී නැහැ.දෙවන ලෝක සංග්‍රාමයේ පිරිවැය අද අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් වන අතර මාෂල් සැලැස්ම සඳහා පිරිවැය ඩොලර් බිලියන 150 ක් ලෙස සඳහන් වේ.
අපට ගෝලීය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි නම්, දේශගුණික විපර්යාස ආපසු හැරවීමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරගලයේදී අප නියත වශයෙන්ම අසාර්ථක වනු ඇත. අර්බුදය එහි උච්චතම අවස්ථාවට ළඟා වී නැති නිසා අපගේ ක්‍රියා පිළිවෙළ නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබෙනවා.
ඒ සමග ම, නව ගෝලීය මූල්‍යකරණයක් සඳහා වන පැරිස් සමුළුව මගින් මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයනු ඇත. එම නිසා, අනාගත සමුළු මගින් නව වැඩසටහන් සකස් කිරීමට නොව, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය සදහා දැනට පවතින මූල්‍ය සැලසුම් ප්‍රතිව්‍යූහගත කිරීම සිදු කළ යුතු ය.
ඒ අනුව මෙම අර්බුදයට මුහුණ දීමට ඉහත කරුණුවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු අතර, අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පවතින බෙදීම් බාධාවක් කර නොගත යුතු යි.
“බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative)” සහ අඩු ආදායම්ලාභී රටවල ණය පියවීමේ අවශ්‍යතාවය වැනි ප්‍රධාන කරුණු මෙම සභාවේදී සාකච්ඡා කෙරෙන නමුත් එයට ලැබිය යුතු අවධානය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. අවාසනාවකට මෙන්, දේශගුණික විපර්යාස, ණය සහන සහ තිරසර සංවර්ධනය යන මේ හා බැඳුණු ගැටලුවලට ප්‍රමුඛත්වය දීමට ආරක්ෂක කවුන්සිලය ද අපොහොසත් වී තිබෙනවා. මෙය අනාගත මානව සංහතියටම බලපානු ලබනවා.
පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතු යි. බෙදීමක් සමඟ යුද්ධයකට යාමට අපට හැකියාවක් නැහැ. මෙම අර්බුදය අවසන් කර ගන්නා තුරු එකිනෙකා වෙනුවෙන් පවතින එදිරිවාදිකම් පසෙක තැබීමට අපට ඇති හැකියාව මත ලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය රඳා පවතිනු ඇත.
දිගුකාලීන පලස්තීන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට අපොහොසත් වූ බහුපාර්ශ්වික යාන්ත්‍රණය, පසුගිය සියවසේ ලෝකය තුළ සිදු වූ සිදුවීම් පූර්වාදර්ශ කර ගනිමින් වර්තමාන සහ අනාගතයේ පවතින අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතු ය.
වත්මන් ගෝලීය විවිධත්වය සහ තීරණ ගැනීමේ නියෝජිතයන් ලෙස පවතින ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය ද පුළුල් කළ යුතු ය. ඊට සමාන්තරව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි කාර්යභාරය ශක්තිමත් විය යුතු ය.
මීළඟ සැසිවාරයට පෙර මෙම තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සංවාදයක නියැළෙන ලෙස ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.
දරිද්‍රතාවය සහ දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා අප මූල්‍යකරණ සහයෝගීතාව බලාපොරොත්තු වන අතර ගෝලීය යුදමය වියදම් අද වන විට ඩොලර් ට්‍රිලියන 2.24 දක්වා වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇත.
අතීතයේ දී අපගේ පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට ඉවහල් වූ ප්‍රධාන අවි පාලන රාමු බිඳ වැටී ඇති අතර න්‍යෂ්ටික ගැටුම් පිළිබඳ නැවත වරක් විවෘත සාකච්ඡාවල නිරත විය යුතුව ඇත.
එම තත්ත්වය වර්තමාන ලෝක බලවතුන් අතර උපායමාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයක් නොමැති බව ලෝකයට පිළිබිඹු කරන්නකි. මෙවැනි ගැටුම් උත්සන්න කිරීමට හේතුවන යුද්ධ වියදම් වැඩි කිරීම සීමා කරන ලෙස අප ඉල්ලා සිටිමු.
සංවර්ධනය වෙමින් පවතින රටවල් දශක ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් සිය හඬ නගමින් සිටිනවා. අති විනාශකාරී ආයුධ (WMD) සහ න්‍යෂ්ටික අවි නිරායුධකරණයට සහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරයට අනුකූලව, මේ වසරේ අප ඊට අදාළ විස්තීරණ පරීක්ෂණ තහනම් සඳහා වන ගිවිසුම අනුමත කළා. ඊයේ අප න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ද එකඟ වුණා.
ජාත්‍යන්තර වෙළෙඳාමේ සිට සමුද්‍රීය පාලනය දක්වා දශක ගණනාවක් පුරා බහුපාර්ශ්වික සාකච්ඡා හරහා ගොඩනඟන ලද ජාත්‍යන්තර නීති මත පදනම් වූ සහයෝගීතාවය මගින් ස්ථාපනය කර ඇති ක්ෂේත්රවලට අනෙකුත් ලෝක බලවතුන් විසින් සිදු කරන බලපෑම් අප නතර කළ යුතු ය.
ජාත්‍යන්තරය අද විශාල වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී. ඒ අතර ම, එය පෙර නොවූ විරූ අභියෝගවලට ද මුහුණ දෙමින් සිටි යි.
අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන්නේ පොදු විසඳුම් සඳහා අප තුළ පවතින සහයෝගීතාව පෙන්වීමට යි. අවදානමට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ අනාගතය නොව සමස්තයක් ලෙස අපගේ පෘථිවියේ අනාගතයයි.
ජාත්‍යන්තර සබඳතාවන් පුරා පැතිරී ඇති අවිශ්වාසය මධ්‍යයේ වුවද සාමාජික රටවල්වලට එකට වැඩ කිරීමට හැකි නව ක්‍රමවේදයන් අප විසින් සොයාගත යුතුව ඇත.
සංවර්ධනය වෙමින් පවතින ලෝකය සමග සහයෝගයෙන් එකට වැඩ කිරීම සඳහා නිත්‍ය සාමාජිකයන් සතුව පවතින කැමැත්ත තුළින් අපට මෙය සාක්ෂාත් කරගත හැකි ය.
බ්‍රිතාන්‍යයේ සම්මානයට පාත්‍ර වූ පුෂ්පා රම්‍යා ද සොයිසා දිවයිනට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ” ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය , කාළය , ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලබා දී ඇති බව පුෂ්පා රම්‍යා මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළාය .
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්රදානය කිරීමෙන් පසුව , ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ නියෝජනය කරමින් තමන්ට මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක් බව ද පුෂ්පා රම්‍යා මෙනෙවිය ප්‍රකාශ කළාය .
එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන සිය අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට හෙද නිලධාරීන් 75,000 ක් අවශ්‍ය වුවද , දැනට සිටින්නේ 38,000 ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසුවාය.
ජනපති IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා හමුවී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් දා නිව් යෝර්ක් නුවර බලා පිටත්ව ගියහ.
එහිදී මෙම හමුව සිදුව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් එම හමුවේදී සිදු වූ බව ය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමුව තිබේ.
නිපා ගැන සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්
ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්,
මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.
ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.
මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.
ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.
ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.
දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.
යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.
වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.
මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.
යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.
ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.
උසස්පෙළ විභාගය කල් යයි
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.
ඒ අනුව, ලබන සතියේ සංශෝධිත උසස් පෙළ විභාග කාලසටහන ප්‍රකාශ කරනු ඇත බවත් පාසල් වාර සටහනට හානියක් සිදු නොවන පරිදි එය සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන් : තීන්දුව ලබන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර සිදුකිරිමේ චෝදනා මත පැවති නඩු විභාගය අවසන් කර තිබේ.
දින 04 ක් පුරා සාක්ෂි විමසීම් සහ විත්ති වාචික කැඳවීම සිදුකෙරුණේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේදීය.
නඩු විභාගය අද (21) අවසන් කෙරුණද තීන්දුවක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර එය ලබන බ්‍රහස්පතින්දා (28) නිවේදනය කිරීමට නියමිතය.
මෙම චෝදනා මුලුමණින්ම අසත්‍ය බවත් සිය සේවාදායකයාගේ චරිතයට හාණියක් කිරීමේ අරමුණින් ගොතන ලද්දක් බවටත් පසුගිය දින 04 පුරා ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් අධිකරයේදී අවධාරණය කළේය.
කෙසේවෙතත් අදාළ තරුණියගේ පාර්ශවය එම මතය බැහැර කල අතර මෙම සිදුවීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බයි සඳහන් කෙරුණි.
පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.
එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්තේය.
කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවට අදාළව ධනූෂ්ක ගුණතිලකට එරෙහිව මෙම නඩු විභාගය සිදු කෙරුණි.
ජනපති සහ සමන්තා පවර් අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍ය ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් න්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.
ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර් වෙත සිය ස්තූතිය පිරිනැමීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කළේය.
දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.
කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.
“අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන හඳුන්වාදීම තුළින් සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්රයත්නය සඳහා අඛණ්ඩව සහය දක්වන අතරම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ද ලබා දීමට කටයුතු කරන බව සමන්තා පවර් මෙහිදී ප්‍රකාශ කර සිටියා ය.
ඕස්ට්‍රේලියානු කාන්තාව ධනුෂ්කගේ පෙර ආත්මයත් කියලා !
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර ඇත .
අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි.
එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි.
එහි දී ධනුෂ්ක පොලිසියට පවසා තිබුණේ, තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව පැවසූ බවයි.
තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදීම ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්ය.
එමෙන්ම තම හෝටලයට යාම සඳහා කුලී රථය ගෙන්වා දුන්නේ ද එම කාන්තාව විසින් බව ධනුෂ්ක පොලිසියට පවසා තිබිණි.
ධනුෂ්ක දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමාට කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
අධිකරණයේ දී අද අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, අදාළ කාන්තාව ගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බවයි.
සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලක ගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගනු ලැබීය.
එය අත්වැරදීමක් ලෙස සඳහන් කළ ඇය, අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි ධනුෂ්ක ගේ නීතිඥයා නැඟූ ප්රශ්නය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
එමෙන්ම ධනුෂ්ක විසින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට අදාළ කාන්තාව මූලික පැමිණිල්ලේ සඳහන් නොවන්නේ මන්දැයි නීතිඥයා මෙහි දී විමසා තිබේ.
මේ අතර, ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව පළමුවෙන් හමුවූ දිනයේ සීසීටීවී. දර්ශන අද පළමු වරට අධිකරණය විසින් මාධ්‍යයට අනාවරණ කළේය.
කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතය.
Page 131 of 440