විශේෂාංග
කිව්වා වගේම මැතිවරණයක් හැටියට ජනාධිපතිවරණ ලොකු බොරුවක්
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි කළ හරීන් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුරු ලබා දුන් බවට අද (අගෝස්තු 20) උදේ පුවත් වාර්තා දුටිමි (https://www.google.com/url?q=https://www.newswire.lk/2024/08/19/harin-and-manusha-appointed-presidential advisors/&source=gmail&ust=1724252888948000&usg=AOvVaw0vXYoDVLGSPo4XHZfNyWgU">https://www.newswire.lk/2024/08/19/harin-and-manusha-appointed-presidential-advisors/). “මේ රටේ දේශපාලන සංස්කෘතිය සමග, පූර්ණ බලැති ජනාධිපතිවරයෙකු ජනාධිපති පුටුවේ වාඩිවෙලා, අපේක්ෂකයෙකු ලෙස තරග වැදීම, ලෝක විහිළුවක් නොවේදැයි” පසුගිය ජුලි 31 වන දින මා ඇසුවේ (https://www.google.com/url?q=https://theleader.lk/review/25246-2024-07-31-09-07-53&source=gmail&ust=1724252888948000&usg=AOvVaw2Uo9HmCu0iilUJySvAyyr3">https://theleader.lk/review/25246-2024-07-31-09-07-53), අපේක්ෂකයා ජනාධිපති වශයෙන් අත්සන් තබන බොහෝ දේ මැතිවරණයට අයුතු ලෙස බලපාන්නට ඉඩ ඇති බව කීමටය.
මෙහිදී මැතිවරණ කොමිසම මුහුණ දෙන බරපතල අවුලක් ඇත. ජනාධිපති නිල ලිපි ශීර්ෂයක් සහිත ලිපියක රනිල් වික්‍රමසිංහගේ අත්සනට යටින් නිලය සඳහන් වන්නේ “ජනාධිපති” ලෙසින් ජනාධිපති මුද්‍රාවද සමගින් වුවහොත් එය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ යැයි සළකා තීන්දු දිය නොහැක. මේ ජනාධිපතිවරණ ක්‍රමයට අනුව, “ජනාධිපති අපේක්ෂක” වෙනුවෙන් විධායක ජනාධිපතිට ආදේශ විය හැක. ජනාධිපතිවරයා හා අපේක්ෂකයා වෙන් කිරීම සඳහා “ඉර” ගැසිය යුත්තේ කොතැනින්ද කෙසේද යන්න නොවිසඳිය හැකි අවුලකි.
මෙයටම ඈඳෙන තවත් අවුල් ඇත. ඇමති මණ්ඩලයේ මූලාසනය හිමි වන්නේ තමන්ගේ අභිමතය අනුව ඇමති ධූරද තියා ගන්නා ජනාධිපතිවරයාට ය. එබැවින් මේ ජනාධිපති මැතිවරණ කාලයේ ඒ අසුනෙහි වාඩි වන්නේ ජනාධිපතිද, ජනාධිපති අපේක්ෂකදැයි කිව හැක්කේ කාටද? ඇමති මණ්ඩලය ගන්නා තීන්දු පාර්ලිමේන්තුව මගින් සම්මත කර ක්‍රියාවට නැගීමට විරුද්ධ විය හැකි වූවත්, කිසිවකුට එවැන්නක් ක්‍රියාත්මක කිරීම නතර කළ නොහැකිය. නතර කිරීමට අවශ්‍ය නම්, එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ප්‍රථම අධිකරණ තීන්දුවකින් ය. එයට ප්‍රධානම හා මූලිකම හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව “ජනතා පරමාධිපත්‍ය” වන “පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය” මැතිවරණයකින් පත් කෙරෙන ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බාර වන හෙයින්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදයෙහි සඳහන් අයුරු “අත්හළ නොහැකි” ජනතා පරමාධිපත්‍ය, එහි අනු ව්‍යවස්ථා අංක 04.(අ) සහ (ආ) අනුව ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හා ජාතික ආරක්ෂක වගකීම් සම්බන්ධයෙන් ජනාධිපති ධූරය මගින් ය. එය මේ මැතිවරණ කාලයේද එළෙසින්ම පැවතිය යුතුය. එහි ප්‍රතිපාදන සතු අන්තර්ගතය, මැතිවරණ කොමිසමට පාලනය කිරීමට හෝ සීමා කිරීමට නොහැක. එනිසා ඒ අසුන්වල ඉන්නා, ජනතාව තෝරා පත් කරන ලද දේශපාලකයින් ඉහතින් සඳහන් ඒ ව්‍යවස්ථාමය අවසර භාවිත කරන්නේ කෙසේදැයි තීන්දු කෙරෙන්නේ ඔවුන්ගේ අභිමතය අනුවය. හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානාක්කාර තමන්ගේ උපදේශකයින් ලෙස පත්කර ගැනීම පමණක් නොව, “ජනාධිපති” අත්සනින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ලා පත්කර ගතහොත් මැතිවරණ කොමිසමට, එයටද විරුද්ධ විය නොහැක.
සදාචාරයක් වගකීමක් නැති, අන්ත දූෂිතයින්ගේ දේශපාලනයක් සමග සමාජ වගකීමක් නොදන්නා, තරගයට හම්බ කරන්නට හැල්මේ දුවන ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ගේ ඡන්ද වලින් මෙවැනි විධායක ජනාධිපතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කෙරෙන මැතිවරණ මේ රටේ සුගතියට හේතු නොවන්නේය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඡන්දදායකයාටද එය වගක් නොවීමෙහිය. මේ රටේ මෙතෙක් උගත් නූගත්, නාගරික හා ග්‍රාමීය සියල්ලන් අවුරුදු 93 ක කාලයක් “සර්වජන ඡන්දය” භාවිත කර තිබෙන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් නොවේ යැයි මම කිහිප වර කියා ඇත.
මෙවරද එසේම ය. කිසිදු සංවර්ධන සැළසුමක් ගැන කතා නොවන, අනෙකා විවේචනය කරන, “දූෂිතයින් හිරේ දානවා” වැනි නෙකෙරෙන දේවල් සඳහා පොරොන්දු දෙන, ජනාධිපති අපේක්ෂකයින් පසුපස යන ඡන්දදායකයින් කවුරුන් ජනාධිපති ලෙස පත් කළද, ඒ පත් කරන්නේ මෙවැනි ව්‍යවස්ථාමය අවුලක් තමන්ගේ අභිමතයට භාවිත කිරීමේ බලය හා අවසරයද ලබා දෙමින්ය.
මෙය වහා වෙනස් කළ යුතුව ඇත. එනිසා මේ ජනාධිපති අපේක්ෂකයින්ට ජනතාව විසින් අවම තරමින් එක කොන්දේසියක් පැනවිය යුතුය. ජනාධිපති ලෙස තේරී පත් වූ විගස, මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට මත්තෙන්, විධායක ජනාධිපති ධූරය මුළුමනින් අහෝසි කිරීමට පොරොන්දු වන්න යැයි කිව යුතුය. එය හුදු පොරොන්දුවක් ලෙස නොව, ඊට අදාල ව්‍යවස්ථා සංශෝධනය මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් දෙන පොරොන්දුවක් විය යුතු යැයිද කිව යුතුය. එම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ලෙස ජනතා වරමක් ලබා ගැනීම එහි අරමුණ විය යුතු හෙයින් දිගු වැල්වටාරම් නොමැති “විධායකය - ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් සඳහන් 07 වන පරිච්ඡේදයෙහි අනු ව්‍යවස්ථා අංක 30 සිට 41(7) දක්වා වන සියලු අනු ව්‍යවස්ථා අහෝසි කරමින් ජනාධිපතිවරයා වෙත අනු ව්‍යවස්ථා අංක 33 සිට 34(3) දක්වා වන ප්‍රතිපාදන මගින් පවරා ඇති කාර්ය හා බලතල පාර්ලිමේන්තුව වෙත ඊට අදාල ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ පවරනු ලබන්නේය” වැනි සංශෝධනයක් ජනතාවට ඉදිරිපත් කරන මෙන්ද අපේක්ෂකයින්ට කිව යුතුය.
මැතිවරණයකදී එවැනි වගකීමක් හෝ නොගන්නා රැල්ලට යන ඡන්දදායකයින් සඳහා නොව, මෙය යම් සමාජ වගකීමක් දැරීමට සූදානම් අතළොස්සක් හෝ ඇතැයි සිතමින් ලියූවකි.
කුසල් පෙරේරා
2024 අගෝස්තු 20
Kusal Perera
Journalist
කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි
තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල් ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 150 කට වැඩි ප්‍රමාණයක් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ඩිශාන් ගුණසේකර විසින් නීති විරෝධී ව අත්පත් කර ගෙන විවිධ ව්‍යාපාරිකයන්ට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක කරයි. ඒ සඳහා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කේ. එච්. ඒ. කැළුම් නිශාන්ත හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තනමල්විල අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ගේ සහයෝගය ලබා දී තිබේ. මෙම ඉඩම් ජාවාරම මෙහෙය වීම රුහුණු මහා කතරගම දේවාලයේ ඉඩම් අංශය භාර එච්. එම්. ආර්. සී. කේ. බණ්ඩාර විසින් සිදු කරයි. දැනට වසර කිහිපයක සිට ඉතා ම සංවිධානාත්මක ව සිදු කරන මෙම ජාවාරම මගින් රන්න ප්‍රදේශයේ සී. පී. දේශිකා සහ රත්නපුරයේ ප්‍රභාත් නම් ව්‍යාපාරිකයකු ඇතුළු කිහිපදෙනෙකුට වසර 35 ක බදු පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දී ඇති සියලු වනාන්තර ඉඩම් අලි - ඇතුන් ගේ වාසස්ථාන වෙයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම්වලට අමතර ව ගොවීන් කිහිපදෙනෙකු විසින් දීර්ඝ කාලයක් වගා කරන ලද ඉඩම් ද මේ ආකාරයෙන් කතරගම දේවාලයට අයත් ඉඩම් යැයි සඳහන් කරමින් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන ව්‍යාපාරිකයන්ට බදු දීම සිදු කර තිබේ. මේ හේතුව නිසා ඉඩම් අහිමි වූ සමහර ගොවි ජනතාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමට ද පෙළැඹී ඇත.
මීට අමතර ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් පුෂ්පකුමාර හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ විසින් ද ඔවුන් ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මීට ප්‍රථම මෙම ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බෙදා දීම සිදු කර තිබේ. ඒ අනුව මෙම වනාන්තර ඉඩම් ජාවාරම ඉතා ම සංවිධානාත්මක ව වසර ගණනාවක සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම ද සහිත ව සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
රජයේ වනාන්තර ඉඩම් නීති විරෝධී ව බදු පදනම මත ලබා ගත් ව්‍යාපාරිකයන් විසින් වනාන්තර සම්පූර්ණයෙන් ම ඉවත් කර, මාර්ග සකස් කර අලි - ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදි කර වගා බිම් ස්ථාපිත කර තිබේ. මීට අමතර ව ගොවීන්ගෙන් අත් පත් කර ගත් ඉඩම්වල වගා කර තිබුණු රටකජු, මුං. කවුපි, කුරක්කන්, බඩ ඉරිගු, දෙහි වැනි බෝග වර්ග ඩෝසර් යන්ත්‍ර මගින් ඉවත් කර වගා ළිං විනාශ කර වසර ගණනාවක් ගොවීන් භාවිත කළ ඉඩම් මෙම ව්‍යාපාරිකයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. වත්මන් හිමිකරුවන් විසින් මෙම ඉඩම්වල ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වීම ද සිදු කර ඇත.
මීට අමතර ව මෙම ප්‍රදේශයේ තවත් රජයේ වනාන්තර අක්කර 48 ක් සඳහා මේ වන විට ඔප්පු සකසමින් පවතී. එය තනමල්විල ප්‍රාදේශීය ලේකම් හා අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ගේ සහය මත සිදු කෙරෙමින් පවතී. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු විමසීමේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කළේ මෙම ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ඉඩම් අක්කර 80 ක් ප්‍රාදේශීය ලේකම් විසින් ද ඉතා ම සූක්ෂම ව අත්පත් කර ගෙන ඇති බව ය.
මේ සියල්ල වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇත. මීට අමතර ව නිලධාරීන් හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු කණ්ඩායම විසින් නීති විරෝධී ව කූට ලේඛණ සකස් කර ඉඩම් බදු දීම මගින් දණ්ඩ නීති සංග්‍රහය ද උල්ලංඝනය කර තිබේ.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් රජයේ වනාන්තර සඳහා ආරක්ෂාව ලබා දී තිබේ. පනතේ 20(1) උප වගන්තියේ රජයට අයත් වනාන්තරවල තහනම් ක්‍රියා දක්වා ඇත. ඒ අනුව ගස් කපා හෙළීම, වනාන්තර එළි කිරීම, තාවකාලික හෝ ස්ථිර ඉදිකිරීම් කිරීම හෝ ඒවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ.
එවන් තහනම් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව වනාන්තරයට සිදු කළ හානිය සම්බන්ධයෙන් අධිකරණය විසින් තක්සේරු කළ වන්දි මුදලක් දඩයක් ලෙස ගෙවීමට ද සිදු වේ.
පනතේ 20(2) උප වගන්තියට අනුව මෙම වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය.
පනතේ 49 වන වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීම වැළැක්වීම සඳහා සෑම වන නිලධාරියෙකු ම මැදිහත් වීම සිදු කළ යුතු ය. පනතේ 48(1) උප වගන්තියට අනුව රජයේ වනාන්තරයක සිදු කරන වැරදි වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි වරදක් ලෙස දක්වා ඇත. ඒ අනුව මෙම නීති උල්ලංඝනය කිරීමට හෝ එම නීති ක්‍රියාත්මක කිරීමෙන් මඟ හැර සිටීමට කිසිදු වන සංරක්ෂණ නිලධාරියකුට හැකියාවක් නැත.
මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව ද මෙම වනාන්තර විනාශ කිරීම නීති විරෝධී වේ. මෙම පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු ය.
මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මෙම පාරිසරික අණ පනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම වනාන්තර එළි කිරීම් සිදු කර තිබේ. මෙම ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවූ භූමි ප්‍රදේශ එළිකිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් කිසිදු අනුමැතියක් ලබා ගැනීමෙන් තොර ව නීති විරෝධී ව වනාන්තර එළි කිරීම සිදු කරන පුද්ගලයන්ට එරෙහි ව හා වනාන්තර ඉඩම් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් පුද්ගලයන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ දහ අට වන පරිච්ඡේදයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අයතා ලේඛන සකස් කිරීම කූට ලේඛන සැකැසීම ලෙස හැඳින්වේ. එහි 459 වන වගන්තියට අනුව කූට ලේඛණයක් ලෙස සැකසූ ලේඛණයක් සැබෑ ලේඛණයක් ලෙස භාවිතා කිරීම ද දඩුවම් ලැබිය යුතු වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 457 වන වගන්තියට අනුව කූට ලේඛණ සැකසීම හා කූට ලේඛණ සත්‍ය ලේඛණ ලෙස භාවිතා කිරීම සිදු කරන පුද්ගලයකු වසර 7 ක් දක්වා බණ්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකි ය. මේ අනුව තනමල්විල ප්‍රාදේශීය ලේකම් හා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු කණ්ඩායම මේ වැරදි සියල්ලට ම වරදකරුවන් වේ.
මෙම නීති ක්‍රියාත්මක කර කඩිනමින් මෙම වනාන්තර විනාශය නතර කළ යුතු වන්නේ වැව්වල ජල පෝෂක වනාන්තර අහිමි කර සිදු කරන කෘෂිකර්මාන්තයේ හා ගොවීන් ගේ ජන දිවියේ බිඳ වැටීම පාලනය කිරීම සහ අලි - ඇතුන් ගේ වාසස්ථාන විනාශ කර සිදු කරන අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීම පිටු දැකීම සඳහා ය. එපමණක් නොව මෙරට නීතියේ ආධිපත්‍යය හා ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මගින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වැළැක්වීමෙන් සෑම පුද්ගලයකුට ම නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට ද මෙම නීති කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හරින අවස්ථාවක දී දඩුවම් කළ හැකි ය. ඒ අනුව රජයට අයත් වනාන්තර බදු දීම හා එළි කිරීම් සිදු කිරීමේ දී ඊට එරෙහි ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් සිදු කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමකි. ඊට එරෙහිව එම නිලධාරීන්ට විරුද්ධ ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ව ඇත.
වන විනාශයට අමතර ව ගොවි ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි ව ද පොලීසිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වී නොමැත. මේ නිසා එම ජනතාව තමන් ජීවත් වූ භූමියේ ම අවතැන් ව සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පර්ච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අදාළ 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවලට අනුව නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුට ම හිමි ය. එය අහිමි වන්නේ නම් මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ ව හිමි විය යුතු ය. නමුත් මෙම ජනතාව ගේ වගා බිම් කතරගම දේවාලයේ බස්නායක නිලමේ විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, ඔවුන් ගේ වගා බිම් විනාශ කර, වෙනත් පුද්ගලයන්ට එම ඉඩම් බදු දීමට එරෙහිව පැමිණිලි කළ ද තනමල්විල පොලීසිය හෝ ප්‍රාදේශීය ලේකම් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පොලීසිය විසින් පැමිණිලි භාර ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා මෙම ජනතාව ගේ මූලික අයිතිවාසිකම් සියල්ල ම මෙම නිලධාරීන් හා බස්නායක නිලමේ විසින් අහිමි කර ඇත.
එක්සත් ජාතීන් ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ සඳහන් වගන්ති බොහොමයක් ම මෙම ඉඩම් ජාවාරමේ දී උල්ලංඝනය කර ඇත. 1955 වසරේ දී එහි සාමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීමට ක්‍රියාත්මක විය යුතු ය. නමුත් එය එසේ කර නොමැත. මානව හිමිකම් ප්‍රකාශනයේ 1 වන වගන්තියට අනුව යම් රටක ජීවත්වන සියලූ ම මිනිසුන් ගේ ගරුත්වය හා අයිතිවාසිකම් සමාන වෙති. 6 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස සෑම අතින් ම සැලැකුම් ලැබීමට සෑම කෙනෙකුට ම අයිතියක් ඇත. 7 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන වෙති. 8 වන වගන්තියට අනුව රාජ්‍ය නීතිය මගින් යුක්තිය ඉටු කරවා ගැනීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයකට ම හිමි ය. 17 වන වගන්තියට අනුව සෑම පුද්ගලයකුට ම දේපල හිමිකම දැරීමේ අයිතිය ඇති අතර එම දේපල බලහත්කාරයෙන් අහිමි කිරීමට කිසිවකුට හැකියාව නැත. මෙම මානව අයිතිවාසිකම් සියල්ල මෙම ගොවි ජනතාවට අහිමි කර ඇත.
මේ සියල්ල නිවැරදි කිරීමට අප මැදිහත් විය යුතු වන්නේ ගොවි ජනතාවට හා වන සතුන්ට එරෙහි ව බලවතුන් හා නිලධාරීන් එක් ව සිදු කරන දැවැන්ත පීඩනයන් පිටුදැකීමට ය. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ගොඩ නැගීමෙන් සෑම පුරවැසියකුට ම නිදහසේ බලපෑමකින් තොර ව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහා ය.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
“ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාව”
ඡන්දය දෙන්නට කලින් “ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාව” කවර ආකාරයේ ශ්‍රී ලංකාවක්දැයි සිතන්න
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” තෝරා ගැනීම ඔහු රටේ ආර්ථිකය බේරා ගත්තේ යැයි කීමට සංකේතයක් ලෙස යොදා ගන්නකි. ඒ වෙනුවෙන් නාම යෝජනා බාරදී අවසන් වූ වහා ඔහුගේ මැතිවරණ ප්‍රචාරය ආරම්භ වූයේ වට්ස්ඇප් මගින් බෙදා හැරිය ඉතා නිර්මාණාත්මක වැකියක් සමගින් ය. ගෑස් සිලින්ඩරයක රූපයක් සමග එහි කියා තිබුණේ “කෝල් කරලත් ඉල්ලන්නේ ගෑස් ටැංකිය” කියාය. නමුත් එහි පොට පටලවාගෙන තිබූයේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ලකුණටත් ප්‍රසිද්ධියක් දීමෙනි. “කෝල් කරලා” ඉල්ලනවා යැයි කීමට එහි දුරකතනයක රූපයක්ද උඩින්ම යොදා තිබිණ. ඒ ප්‍රචාරය මා දැක්කේ රනිල් හැමදාම අවුල් කරගන්නා ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ සුන්දර සංකේතයක් විලසින්ය.
එය ලැබුණු විගස ඊළගට මට ලැබුණු දුර කතන ඇමතුමෙන් ඇසුවේ, “මෙදා මොකද වෙන්නේ?” යැයි කියා ය. “මෙනවද වෙන්න ඕනේ?” යැයි මා ඔහුගෙන් පෙරළා ඇසූ විට “ඉන්න පිරිසිදුම අපේක්ෂකයාට ඡන්දෙ දීපං” යැයි උත්තරය විය. බරපතල කාර්යක් මට බාර දෙමින් ඔහු ඒ විගස දුරකතනය විසන්ධි කළේය. “දැන් හොයපංකො පිරිසිදු එකෙක්” කියා මම මටම කියා ගත්තෙමි.
“දූෂණය” යැයි අර්ථ ගැන්වෙන්නේ කුමක්දැයි මම කල්පනා කළෙමි. සියලු දේශපාලන නායකයින් දූෂණ වංචා ලඝු කර තිබෙන්නේ විගණනය නොවන සෘජු මුදල් ගනුදෙනුවලට ය. රාජපක්ෂලාට එරෙහිව එල්ල කෙරෙන චෝදනා සහ ජ.වි.පෙ ඒ වෙනුවෙන් ගොඩ ගැසූ ලිපි ගොනු ප්‍රමාණය එවැනි සෘජු මුදල් ගනුදෙනුවලට සීමා වූ චෝදනා විය. ඒවා මුදල් මළු එහා මෙහා කෙරෙන කතා නොවුනි. වර්තමානයේ මුදල් ගනුදෙනු සිදු වන්නේ බැංකු ගිණුම් හරහා පොත්වල සටහන් කෙරෙන බැර කිරීම් හා හර කිරීම් මගින්ය. එහෙත් දූෂණය යනු එපමණද?
“දූෂණය” එතැනින් එහා බොහෝ දුර යන කතාවකි. කවුරුත් දන්නා නිදසුනක් ගතහොත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවා තෙමසක් යන්නටත් කලියෙන් වූ පළමු මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙහි වූ අක්‍රමිකතා මගින් දූෂණයක් සිදුවිනැයි චෝදනා විය. ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ගෝලයින් වැනි වූ ඔහුගේ පක්ෂයට සම්බන්ධ නීතිඥ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාවක් නොවුනි යැයි වාර්තාවක් ලබා ගත්තේය. අගමැති වික්‍රමසිංහට බැඳුම්කරයෙන් මුදල්මය වාසියක් නොවුනු බව කවුරුත් පිළිගන්නා කාරණාවකි. එහෙත් ඒ දූෂණයෙහි ඔහුගේ හවුලක් වගකීමක් නොවුනිද? ඔහු තවදුරටත් පිරිසිදු ද?
දූෂණය තේරුම් ගැනීමට එතැනින් තව එහාට ගියහොත් 2004 දෙසැම්බරයේ සුනාමි ව්‍යසනය සමග විපතට පත් අනාථ වූ පවුල්වලට ආධාර ලෙස සතර දිග් බාගයෙන් ලංකාවට ලැබුණු විශාල ඩොලර ආධාර වංචා කළේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයෙහි චෝදනා ගොනු කෙරුණි. මහින්දව නිදොස් කොට නිදහස් කිරීමට එවකට සිටි අග විනිසුරු සරත් එන්. සිල්වා මුල් විය. එය තමා අතින් මේ රටේ ජනතාවට සිදු කෙරුණු බරපතල වරදක් යැයි ඔහු පසුව ප්‍රසිද්ධියේ කීවේය. පළමු දිනයේ සිටම සමාජයේ පොදු මතය වූයේ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචාවට වරදකරුවකු බවය.
එවැන්නකු සිංහල-බෞද්ධ ජනාධිපති අපේක්ෂකයෙකු වූ විගස, ඔහුව ජනාධිපති ලෙස ජයග්‍රහණය කරවීමේ කීර්තිය හා වගකීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු හැඳින්විය හැක්කේ කෙසේද? “අප පෙනී සිටියේ යුධ ජයග්‍රහණයක් වෙනුවෙන්” යැයි කීමෙන් සුනාමි අරමුදල් වංචාව හංගන්නේ කාගේ සේප්පුවේද? එපමණක්ම නොවේ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් ලබා ගත් ඇමතිකම් තුනෙන් එකක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලය යොදා ගනිමින් සිය පක්ෂ ශාඛා මගින් “සුනාමි පුනරුත්ථාපන ජනතා කමිටු” ලේබල අලවා දකුණේ වෙරළබඩ ජනතාවට ලැබිය යුතු වූ සුනාමි අරමුදල් සිය පක්ෂ අරමුදලට හැරවූ පක්ෂයක් පිරිසිදු දේශපාලකයින්ගේ පක්ෂයක් විය හැකිද?
කවුරුත් කතා නොකරන මහජන මුදල් ගසා කන තවත් දූෂණයක් වන්නේ මහජන මුදලින් නඩත්තු කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් වන නිල නිවාස අවභාවිතා කිරීමය. හිටපු මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තුවේ නියෝජනය වන නිසා හෝ පක්ෂයක ප්‍රධානීන්ට ඒ නිල නිවාස තමන්ගේ කොළඹ පදිංචියට තබා ගැනීමේ කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැත. බලාධිකාරීන් ඒ ගැන ප්‍රශ්න නොකිරීම නිසා ඒවා අවභාවිත කිරීම වරදක් නොවන්නේද?
දූෂණ වංචා සඳහා ලොකු පොඩි යැයි ගණන් හැදීමක් නැත. ආණ්ඩු පාලනයේ සහ දේශපාලන බලය මත සිදුකෙරෙන දූෂණවල බොහෝ විට ඇත්තේ පාර්ශව දෙකක් පමණක් නොවේ. දූෂණ වංචාවල පංගුකාරයින් වන්නේ ඒවායේ මුදල් අත ගෑවුන් පමණක්ද නොවේ. එවැනි දූෂිතයින් පාලන බලයට ගෙන එන්නට කවර ආකාරයකින් දායක වූවත් ඔවුන්ද දූෂණයේ පංගුකාරයින්ය. දූෂණ සම්බන්ධ එවැනි බොහෝ කරණා සමග මම තොරතුරු ටිකක් පෙළ ගැස්සුවෙමි.
- ජයවර්ධන ජනාධිපතිගේ 1977 ආණ්ඩුවෙන් පටන් ගත් විට, හැම ආණ්ඩුවක්ම දූෂිත අසාර්ථක ආණ්ඩු විය. ආණ්ඩු පාලනයෙන් ආණ්ඩු පාලනයට දූෂණ වංචා නොකඩවා වැඩි විය. උග්‍ර විය. මහවැලි ඉදිකිරීම් වල තිබූයේ සියයට 10 ක කොමිස් පමණක්දැයි දැන් මතකයක් නැත.
- මහවැලියෙන් පසු දූෂණ බරපතල ලෙස වගා වන්නට වූයේ 80 දසකයේ සිට ව්‍යාප්ත වූ ඇඟළුම් කර්මාන්තය සමග ය. එකල ඇඟළුම් අපනයන නිෂ්පාදනය සඳහා ඇනවුම් දෙනු ලැබූයේ “මල්ටි ෆයිබ එරේන්ජ්මන්ට්” (එම්.එෆ්.ඒ) යැයි වූ කෝටා (සළාක) ක්‍රමයකට ය. කර්මාන්ත අමාත්‍යාංශයෙන් එළෙස කෝටා දීමේ තිබූ සීමා නිසාම, නොපමාව විශාල දූෂණයකට ඉඩ හැදින. ඒ සමග ජනාධිපති ප්‍රේමදාසගේ ඇඟළුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය සඳහා දෙනු ලැබූ වරප්‍රසාද සමග ඇඟළුම් කර්මාන්තයේ දූෂණ තව වර්ධනය විය.
- විදේශ ආයෝජන මත අපනයන නිෂ්පාදනය සඳහා බදු විරාම, බදු සහන, බදු ඉවත් කිරීම්, යටිතල පහසුකම් ආදිය ඇතුළත් විශාල සහන මල්ලක් 1977 න් පසු හැම ආණ්ඩුවකින්ම ලබා දුන් හෙයින් ඒ වෙනුවෙන් ජාවාරම්කාර ව්‍යාපාරික කල්ලි හැදින. එවැනි ජාවාරම්කාරයින් දේශපාලන අධිකාරයත් රජයේ ඉහළ නිලධරයත් හවුල් කර ගනිමින් වරදාන වරප්‍රසාද බෙදා ගැනීමේ යෝධ දූෂණ වංචා හේතුවෙන් හැම ආණ්ඩුවක් යටතේම විගණනය නොවුනු වත්කම් හා ලාභ තැන තැන පොදි ගැසින.
- විශේෂයෙන් නව සියවසේ සිට පාර්ලිමේන්තු දේශපාලනයේ ඉන්නේ මේ දූෂිත ආර්ථිකයේ ජාවාරම්කාර මුදල් මතින් නඩත්තු කෙරෙන දේශපාලන පක්ෂ හා නායකයින් පමණි. ඒ පක්ෂ සතු සක්‍රීය දැනුවත් සාමාජිකත්වයක් නොමැති අතර, එනිසාම පක්ෂ වල ප්‍රජාතන්ත්‍රවාදයක්ද නැත.
- පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙන විට නොතිබු අධි සුවපහසු නාගරික ජීවන රටාවකට හිමිකම් කීමට, දරුවන් කොළඹ අති ජනප්‍රිය පාසල් වලට ඇතුළු කිරීමට, විශාල මුදල් වැය වන දේශීය හෝ විදේශීය පෞද්ගලික උසස් අධ්‍යාපනයකට යොමු කිරීමට, මන්ත්‍රීවරුන් සියලු දෙනාට පක්ෂ පාට වලින් තොරව හැකියාවක් ලැබී ඇත.
මෙය ඡන්දදායකයින් සම්බන්ධයෙන් කිව යුතුය. අවුරුදු 45 ක් පුරා හැඩ වුනු පදම් වුනු දූෂිත සමාජයක් අනිවාර්යෙන් පසුගාමී ආත්මාර්ථකාමී සමාජයකි. කුමන පක්ෂයක වූවත් මැතිවරණ ක්‍රියාකාරීන් ඡන්දය තීන්දු කරන්නේ “මට මොකද්ද ලැබෙන වාසිය” යැයි ගණන් හදා මිස “රටට ලැබෙන වාසිය කුමක්දැයි” ගණන් හදා නොවේ. ඔවුන් ඡන්ද එකතු කරන්නේ විරෝධාකල්ප වගා කිරීමෙනි. රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා විසඳුම් ගැන කතා කිරීමෙන් නොවේ. එවැනි අති බාල දේශපාලනයක සංවර්ධන සැළසුම් ඉල්ලා ඒ අනුව ඡන්දය දෙන ඡන්දදායකයින් හැදෙන්නේ නැත. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි තුන්වන පරම්පරාවටද ඡන්දය ලැබුණු මෙවර ජනාධිපතිරණයෙහි ඡන්දදායකයා තවමත් ඒ පසුගාමී, ආත්මාර්ථකාමී ඡන්දදායකයාම ය.
කවුරුත් කතා වන ඉදිරිපෙළ අපේක්ෂකයින් හදන්නේද ඒ පසුගාමී, ආත්මාර්ථකාමී ඡන්දදායකයාම ය. ඔවුන්ගෙන් කවරෙකුට ඡන්දය දුන්නත් ඉතිරි වන්නේ එකම අවාසනාවන්ත ඉරණමකි. එනිසා මගේ බලාපොරොත්තුව මේ ජනාධිපතිවරණයේදී ලබන වර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා “අප ඉදිරියේදී බලාපොරොත්තු විය යුතු ශ්‍රී ලංකාව” සම්බන්ධ සංවාදයක් ගොඩ නගා ගැනීම ය.
කුසල් පෙරේරා
2024 අගෝස්තු 17 වන දින
Kusal Perera
Journalist
ආපහු මී ඇට පත්තුකරමු ද ?
ටයි කෝට් එහෙම දාගෙන ආපු විදුලි බල මණ්ඩලේ එකා කියපු කතාවේ අවුල මේකයි. ඒ කියන්නේ මට අනුව. වෙනත් කෙනෙකුට වෙනත් විදියකට පේන්න පුළුවන්.
එක යුගයක අපේ මුත්තල මී මුත්තල කළුවර නැති කරගන්න පත්තු කරේ මී ඇට. මී ඇට පත්තු කරකර ඉඳල පස්සේ ලාම්පුතෙල් කියල එකක් මානව වර්ගයා හොයාගත්තට පස්සේ ඒකෙන් ලාම්පු කුප්පිය පත්තුකරන්න ගත්ත එක සමාජ පරිණාමය ඇතුළේ එක අවධියකින් තවත් අවධියකට විතැන් වීමක්. යම් ආකාරයක ප්‍රගමනයක්. උසස් තත්වයකට පරිණාමය වීමක්.
සංචාරකයෝ රවට්ටන්න ඕනිනම් දැනුත් පුළුවන් පැල් කොටයක් අටවලා මී ඇට පත්තුකරන්න. ඒ එක්ක ඩොලර් හොයන්න පුළුවන්. ඒ නිසාම අපි නැවත මී ඇට යුගයට යමු කියන එක සමාජයක් නූතන අර්ථයෙන් ආපස්සට ගමන්කරවීමක්.
මී ඇට පත්තු කරන එකෙන් පාරිසරක වාසි අත්වෙනවා වගේ කතා කියන්න පුළුවන්. ඒත් අතිශයින් සංකීර්ණ මෙට්‍රෝපොලිටන් එකක එපාට්මන්ට් එකක මී ඇට පත්තු කරගෙන පාඩම් කරන්න බැහැ.
සමාජයක් ප්‍රගමණය කරා ගෙනියන්න තමයි 'නූතන දේශපාලනය' (modern politics) තියෙන්නේ. නූතන කියන්නේ නූතන නිර්මාණශීලි තාක්ෂණය සහ විද්‍යාව නූතන පැවැත්මට මුසුකරනවා කියන එක. ජීවිතය පහසුකරලා දෙනවා කියන එක. ඒක දේශපාලනික වැඩකුත් වෙන නිසා ඒකට නූතන දේශපාලන කියල කියනවා.
ඒ නිසා ඔය කියන ප්‍රකාශකයා ලාම්පු කුප්පියෙන් පොත් පාඩම් කරපු පරම්පරාවක් ගැන කියන එක අතීතකාමී අර්ථයෙන් හරි උනාට නූතන අර්ථයෙන් නෛතික නැහැ (legitimacy).
දැන් නූතන දේශපාලනය කරනවා කියන උං ඉන්නේ අපිට නැවත කුප්පි ලාම්පු දෙන්න නම් එතන තියනවා ලොකු දේශපාලන ප්‍රශ්නයක්.
අපි ඒක විසඳාගන්න වෙනවා.
තෝමස් අල්වා එඩිසන්ගේ ෆොටෝ එකක් නොදා ඉන්න හිතුවා. මේ ඉන්නේ AC (alternative current) හොයාගත්ත නිකොලා ටෙස්ලා.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
දිනනකොට දිනන්න නම් කාට බැරිද?
ධම්මික කියන්නේ බිස්නස් කාරයෙක්. නිකම් බිස්නස් කාරයෙක් නෙවෙයි ලංකාව ඇතුලේ ගොඩක් සල්ලි හම්බුකරපු බිස්නස් කාරයෙක්. නිකම්ම සල්ලි හම්බුකෙරුවත් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් එක්ක මර්සියෙන් බිස්නස් කරපු හාදයෙක්. නිකම් බිස්නසුත් නෙවෙයි වෙන කාටවත් ටයිල් එහෙම ගේන්න බැරි වෙලාවක තමන්ගේ ටයිල් ටික ඒකාධිකාරයක් යටතේ විකුණලා සල්ලි හම්බු කරපු ''දක්ෂ'' ව්‍යපාරිකයෙක්. ඒ වගේම 'කසළ නැව්' ගැනත් නම ගෑවුණා කියල කියනවා (ඇත්ත බොරු මම දන්නේ නැහැ).
ඒ කියන්නේ කාටත් විවෘත අවකාශයක, විවෘත තරඟයක් එක්ක, ලොකු අවදානමක් එක්ක, කම් ඕ ගෝ චිකාගෝ කියල සල්ලි විසිකරලා සල්ලි හම්බුකරන්න හදපු මනුස්සයෙක් නෙවෙයි ධම්මික මටනම්. මම කියන්නේ එහෙම ඉතිහාසයක් ගැන අපි අහල නැහැ.
අවම වශයෙන් බණ්ඩාරනායකලා, සේනානායකල තමන්ගේ දේපළ උගසට තියල, තිබ්බ දේවල් නැති කරගෙන, ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දේශපාලනය කළා කියල අපි අහල තියනවා. ඒ අයට කුමාරි ජයවර්ධන කියන්නේ ''සොක්කෝ'' කියල (nobodies). ධම්මිකල එක්ක ගත්තම එයාල සොක්කෝද මම දන්නේ නැහැ.
ඉතිං ධම්මිකට දේශපාලනය වැදගත් වෙන්නේ ''එයා දන්නා බිස්නස්'' අර්ථයෙන් මිසක් අවදානම් අර්ථයෙන් නෙවෙයි. හැම පැත්තක්ම ආවරණය කරලා, හැම පැත්තකම තරඟය සීමාකරලා, ටයිල් විකුණනවා වගේ දේශපාලන පිටිය සකස්කරලා දුන්නොත් නම් ඔන්න එයි ජනාධිපති වෙන්න. දැන් පොහොට්ටුවට එහෙම ශක්තියක් නැති නිසා පොර පස්ස ගහනවා.
Ford vs Ferrari එකේ දෙවැනි හෙන්රි ෆෝඩ්, ෆෙරාරි බොස්ගෙන් (එන්සෝ ෆෙරාරි) ඉල්ලන ගේම වගේ එකක් නම් කවදාවත් අපිට ධම්මික වගේ අයගෙන් බලාගන්න බැරිවෙයි. හැම දෙයක්ම ලොස් වෙලා තිබ්බ වෙලාවක තමයි ෆෝඩ් කියන්නේ ''පලයන් පුතා ගිහින් යුරෝපෙ එක්ක යුද්ධ කරපන් කියල'' (Go to war, son).
බටහිර බටහිර වෙලා අපි මෙහෙම උනේ ඇයි කියල හෙන්රි ෆෝඩ්ගේ ඒ ගේම් එක දිහා විතරක් බලල අපිට හිතාගන්න පුළුවන්.
හරිනම් ඇත්තට පොහොට්ටුවට ආදරේ මිනිහෙක් නම් මේ වෙලාවේ තමයි ගේම් එකට උර තියන්න ඕනි. කුජීත වෙලාවේ තමයි ඒ පැත්තේ හිටගන්න ඕනි. පැරදුණත් කමක් නැහැ මේ වෙලාවේ සල්ලි ටිකක් හරි දමල පක්ෂේ බූස්ට් කරලා ගන්න ඕනි කියල හිතන්න ඕනි. මට යමක් ලැබුණේ නැතත් ඉස්සරහට හරි කෙනෙක් මේකෙන් බූස්ට් වෙයි කියල හිතන්න ඕනි මේ වෙලාවේ.
බංකොලොත් වෙලාවේ තමයි ඇත්ත මිනිස්සු ඕනි. ගොඩ ගියාට පස්සේ නම් පඳුරකට ගහලත් නායකයෝ හොයාගන්න පුළුවන්. ධම්මිකල ටයිල් වික්කේ රට හොඳටම හිරවෙච්ච වෙලාවක.
දිනනකොට දිනන්න නම් කාට බැරිද?
ඇහැට කූල් අයි ඩ්‍රොප්ස් ස්පෙක්ස් දාල අව්වේ යන්න කාට බැරිද?
(ධම්මිකගේ ෆොටෝ එකක් වෙනුවට මම ආසයි Ford vs Ferrari එකේ ෆොටෝ එකක් මෙතන එල්ලන්න). ❤
දේශපාලන විශ්ලේෂක, මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
අමෙරිකාවේ Intuitive machines සඳ මතුපිටට සාර්ථකව යානයක් ගොඩ බස්වයි
අමෙරිකාවේ Intuitive machines සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.
ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.
අමෙරිකානු යානයක්, සඳට මතට ගමන් කළේ වසර 58 කට පසු පළමු වරටයි.
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අදාළ යානය රැගත් ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණේ පසුගිය 15 වැනිදා ය.
මිනිසුන් රහිත එම යානය යොමු කර ඇත්තේ, සඳ මතුපිට අධ්‍යයනය කිරීමේ අරමුණින් ය.
රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ 6 ක් ඉන් රැගෙන ගිය බව, නාසා ආයතනය නිවේදනය කළේ ය.
අමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125 ක් ද, ඔඩිසියස් යානය සඳ මතට රැගෙන ගියේ ය.
ඒ අනූව ඒවා සඳ මතට රැගෙන ගිය පළමු කලා කෘති ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි නාසා ආයතනය පවසයි.
නාසා ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කළේ අඩ සියවසකට වැඩි කාලයක් සාර්ථක සඳ මෙහෙයුමක් දියත් නොකළ නාසා ආයතනයට සහ අමෙරිකානුවන්ට අද ඓතිහාසික දිනයක් බවයි.
Newsfirst.lk
ලංකාවෙ ඩිගෝල්!
රනිල් සහ චාල්ස් ඩිගෝල්
දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක මුව විටය.එම ජනාධිපති වරණයෙන් රනිල්ට විය හැක්කේ කුමක්ද?රනිල් බලයට පත්වු වහාම වාගේ ඔහු රටේ නායකයන් අතර සිටින සමාර්ට්ම නායකයා වන බවට මා කල ප්‍රකාශයක් මහජන කථා බහකට හේතුවී තිබුණි.83 කළු ජූලියෙන්, ජේවීපේ දෙවැනි කැරැල්ලෙන් හා එල්ටීටීඊ යුද්ධයෙන් රටට සිදුවූ හානියේ ප්‍රමාණය ඩොලර් බිලියන 200 ක් බව මා ප්‍රකාශ කලේද එම සාකච්චා වේදීය.එයද මහජන අවදානයට යොමුවූ වැදගත් කරුනක් වන අතර එය රටේ ඇතිවී තිබෙන බිඳ වැටීම ඊට බලපෑ හේතු ගැන කෙරෙන කථිකාවට එකතු කෙරුන නව මානයක් ලෙසද සැලකිය හැකිය.ජනාධිපතිවරණයට රට ගමන් ගනිමින් තිබෙන අවස්තාවක ඇතිවී තිබෙන අධිකරණය හා පාළක පක්ෂය අතර ඇති වී තිබෙන ගැටුමද මහජන කථාබහට හේතුවී තිබෙන උනුසුම් මාතෘකාවකි.ජනාධිපති රනිල්ගේ කැමැත්ත තිබෙන බව පෙනන්නේ පාර්ලිමේන්තුවට උත්තරීතර තත්වයක් ලබා දෙන වෙස්ට් මිනිස්ටර් දේසපාලන ක්‍රමයට කිසියම් ප්‍රමාණයකට සමාන ජනාධිපති ක්‍රමයකි.සොල්බරි විවස්ථාවෙන් ලැබී තිබුණ ක්‍රමය කොල්වින් සිය පළමු ජනරජ විවස්තාවෙන් වෙනස් කොට පාර්ලිමේන්තුවට උත්තරීතර තත්වයක් ලැබෙන පාර්ලිමෙන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කලේය.
ඉන් පසු ජේආර් ජයවර්ධන ඇමරිකානු ජනාධිපති ක්‍රමය වෙනුවට ඩිගෝල් ඇතිකල ප්‍රංස ක්‍රමය ආදර්ශයට ගනිමින් ඇති කරනලද ජනාධිපති ක්‍රමයේදිද ජනාදිපති උත්තරීතර කොට අධිකරනය ඊට පහලින් තිබෙන ආයතන ක්‍රමය්ස්ක් බවට පත් කලේය.ඒ ක්‍රමය යටතේද අධිකරණයට ලබා දෙන ලද්දේ නීතියෙන් නියම කල ඉතාමත් සීමිත විමර්ශන බලයක් මිස පූර්ණ විමර්ශන බලයක් නොවේ.මගේ මතය වන්නේ අධිකරණයට පුර්ණ විමරශ්න බලයක් ලබා දිය යුතු බවය.එහෙත් එම අයිතිවාසිකමට පෙර අධිකරණය සිය වුවමනාවෙන් ම ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කරහැනීමට හේතුවන අභයන්තර විපර්‍යාසයකට යායුතුය.ඉංදියාව සමග ගත්විට ලංකාවේ ශේෂ්ඨාධිකරනය තිබෙන්නේ ප්‍රමානවත් තරමේ ඉදිරි ගාමි තැනක නොව පසු ගාමි තැනකය.ලංකාවේ සිදුවී තිබෙන විවස්ථාව උල්ලංගනයක් ගැන සොයා බලන තැනකට ගිය හොත් අධිකරණයද ජනාධිපති හා විවස්ථාදායකය සමඟ කල්ලී ගැසී විවස්ථාව උල්ලංගනය කල අවස්තා දැකිය හැකිය.
එවැනි වැරදි නිවරදි කරගැනීමේ වගකීමක් අධිකරනයටද ඇත්තේය..ඒ සඳහා අධිකරණයද තමන්ගේ කටයුතු දෙස විවේචනාත්මක ආපසු හැරී බලන තැනකට යායුතුය.විටින් විට පාළකයා හා අධිකරණය අතරද ගැටුම් ඇති විය හැකිය.එවැනි ගැටුම් අස්වභාවික නැත.එම ගැටුම් විටෙක පොදු යහපතටද තවත් සමහර විට පොදු අයහපතටද හේතු විය හැකිය.ඇමරිකාවේ සියළුම ජනාධිපතිවරුන් අතරින් ශේෂ්ඨමයා ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන්ට අගවිනිසුරු රොගර් සමගත් ශේෂ්ඨාධිකරණය සමගත් ලොකු ගැටුමක් තිබුණි.ජනාධිපති ලින්කන් සිවිල් යුද්ධයට ගියේ හේබියස් කෝපර්ස්( Habeas Corpus) ආඥාව( නීති විරෝධි ලෙස රඳවා තබාගැනීමක් හෝ සිරගත කිරීමක් වලකන ආඥා ක්‍රමය) බලරහිත කෙරෙන ජනාධිපති ආඥාවක් පණවමිණි.එය විවස්ථා උල්ලංගනයක් බව ශේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලද ජනාධිපති ලින්කන් සිය ස්තාවරය සිවිල් යුද්ධය අවසන්වන තෙක්ම වෙනස් කලේ නැත.
සංකේතාත්මක අර්ථයෙන් ලංකාවේ දේසපාලන ක්‍රමයේ මහා බිද වැටීමක් ඇති වූයේ ගෝඨාභ රාජපක්ෂ ජනාදිපතිවරයාට තනතුර අත්හැර පලායන්නට සිදුවූ 2022 මාර්තු 15 වනදා සිදුවූ මහජන නැගිටීමත් සමඟය.එහෙත් එම අරගලය නව විකල්ප දේසපාලන ක්‍රමයකට උත්පත්තිය ලබාදෙන ඓතිහාසික අවස්තාවක් ලෙස ක්‍රියා කලේ නැත.නව උපතක් පිලිසිඳ ගැනීමකට අවශ්‍යකරන සරු ගැබක් ලංකාවට නොතිබුනේය.ඒ නිසා ඇතිවූ විශේෂ දේසපාලන වටපිටාව සියළු පරණ දේසපාලන පක්ෂ වලට තිබුණ පිලිගැනීම දුර්වල කොට එම සියළු දේශපාලන පක්ෂ අඩුවැඩි ප්‍රමාණයකට යල්පැන ගිය හා ගන්ධබ්බ තත්වයකට පත් කිරීමට හේතු විය.එක පාර්ලිමේන්තු නියෝජනයක් පමණක් තිබුණු රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමද එම අරගලයේ අතුරු ඵලයක් වශයෙන් සිදුවුවක් ලෙස සැලකිය හැකිය.අරගලය රනිල් වික්‍රමසිංහට බලය දෙන ලෙස ඉල්ලා සිටියේ නැතත් අරගලය විසින් ඇතිකර තිබුණ ප්‍රස්න විසඳා ගැනීම සඳහාත් අරගලය ඇති කිරීමට හේතුවී තිබුණ ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීම සදහාත් පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහට රාජ්‍යය බලය ලබා දුන්නේය.
ලංකාවේ පාර්ලිමේන්තුව රට මුහුණ දී තිබු අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට බලය පවරන ලද අකාරයත් ප්‍රංස පාර්ලිමේන්තුව 1958 දී ප්‍රංසයට මුහුණ දෙන්නට සිදුවී තිබූ අර්බුදය විසඳාගැනීම සඳහා චාර්ල්ස් ඩිගෝල්ට බලය දුන් අකාරය අතරත් අපූරු සමාන කමක් පවතී. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ ෆැසිස්ට් හමුදා ප්‍රංසය යටත් කරගැනීමට සමත් විය.ජර්මන් ෆැසිස්ට් ආධිපත්‍යෙන් ප්‍රංසය නිදහස් කරගැනීමේ සටනට නායකත්ව දුන්නේ ඩිගෝල් ය.1945 දී ජර්මන් ආධිපත්‍යයෙන් ප්‍රංසය නිදහස් වීමෙන් පසු 1946 දී ජෙනරල් ඩිගෝල්ගේ නායකත්වයෙන් තාවකාලික ප්‍රංස රජයක් ඇතිවී මැතිවරණයක් පවත්වා හතරවන සමූහාණ්ඩුව (1946-1954) ඇති කරගන්නා ලදී.ඒ සමග ඩිගෝල් විශ්‍රාම ගියේය.හතර වැනි සමූහාණ්ඩු කාලය ප්‍රංසය අවුල් වියවුල් වලින් පිරුණු අස්තීර භාවය රජකල කාල පරිච්චේදයක් විය.එම සමුහාණ්ඩුව පැවති වසර 8 ක කාලය තුළ ආණ්ඩු පෙරලි 5 ක් සිදුවූ අතර විටින් විට ඇති කර ගත් ඇමති මණඩල සංඛියාව 25 කි.ප්‍රංසයේ පැවති දේසපාලන අස්ථාවර භාවයට අතිරේඛව මොරොක්කෝව, ටියුනීසියාව හා ඉන්දුචීනය ප්‍රංසයට අහිමිවූ අකාරයටන ඇල්ජීරියාවද ප්‍රංසයට අහිමිවන තත්වයක් ඇති වෙමින් තිබුණි.ඇල්ජිරියානු කැරැල්ල පැවතියේ බිහිසුනු දිග්ගැසුන කැරැල්ලක තත්වයකය.ප්‍රංසය මුහුණදී තිබුණ අර්බුද ජය ගැනීම සදහා ඩිගෝල්ට පාලන බලය පවරා දිය යුතු බවට පාර්ලිමේන්තුට ඉදිරි පත්වූ යෝජනාවකට මුළු මන්ත්‍රීවරුන් 329 කින් 224 ක් පක්ෂව ජන්ද ලැබී ඩිගෝල් 1958 මැයි 1 වන දින ප්‍රංසයේ නම් කල අගමැති බවට පත්විය.එවිට ඔහු ගේ වයස අවුරුදු 68 ක් විය.ඔහු හයමාසයක් වැනි කෙටිකාලයක් තුල දේසපාලන ක්‍රමය වෙනස් කිරීමට හේතුවන නව විවස්තාවක් ගෙනවිත් එය ජනමත විචාරනයකින් සම්මත කරගනිමින් පස්වන සමූහාණ්ඩුව ඇති කලේය.ඩිගෝල් එම සමුහාණ්ඩුවේ වසර දහයක් ( 1959-1969 දක්වා)එක දිගට ජනාධිපති ධුරය දැරූ වේය.ඔහුගේ එම පාලන කාලය තුල හතරවැනි සමූහාණ්ඩු කාලය තුල හොඳටම අබල දුබල තත්වයකට පත්ව තිබුණ රාජ්‍යය හා දේසපාලන ක්‍රමය නව හා බලසම්පන්න තත්වයකට පත් කිරීමට හේතු විය.දුබල තත්වයකට පත්ව තිබූ ආර්ථිකයද ශක්තිමත් තත්වයකට පත්වී ප්‍රංසය නැවත බලවත් රටක් බවට පත් විය.
රනිල් වෙනත් බොහොමයක් දේශපාලන නායකයන්ට නැති ලංකාවේ දියුනුව සඳහා වන සිහින පොදියක් ඇතිව සිටි නායකයෙකි.එහෙත් ඔහු ඔහුගේ එම සිහින පොදියත් සමග ඔහු ලංකාවේ දේසපාලන සමාජය විසින් නොවැදගත් කොට සලකා ඉවත දමනු ලැබූ තත්වයක සිටි නායකයෙකු ලෙසද සැලකිය හැකිය.ඔහු 1994 සිට ලංකාවේ ලොකුම දේසපාලන පක්ෂයවී තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටියද රාජ්‍ය බලය හිමිකර ගැනීමට වැඩි අවස්තාවක් ලැබෙන හැම අවස්තාවකදීම එම ජයග්‍රහනය අහිමි කිරීමට ඔහුට පාලනය කල නොහැකි අහම්බ හේතුවක් බලපෑවේය.1999 ජනාධිපති වරණයේ ඔහු ගේ පරාජය කෙරෙහි ඔහු ගේ ප්‍රතිවාදිනිය වූ ජනාධිපති චන්ද්‍රිකා තුවාල කිරීමට හේතුවූ ටවුන් හෝල් බෝම්බ සිද්දිය බලපෑවේය.ඉන් පසු පහසුවෙන් ජය ගත හැකි තත්වයක තිබූ 2005 ජනාධිපතිවරණයේ පරාජය කෙරෙහි ප්‍රභාකරන් අවසාන මොහොතේදී ක්‍රියාවට නගන ලද ජන්ද වර්ජන වියාපාරය බලපෑවේය.ඉන්පසු 2015 දී පොදු අපේක්ෂකයෙකුට මිස රනිල්ට මහින්ද පරාජය කල නොහැකි බවට රනිල් විරෝධි කණ්ඩායමක් ඉතා සියුම් හා බලවත් ලෙස සමාජ ගතකරන ලද මතවාදයක් නිසා ජනාධිපති වරණයට තරඟකිරීමේ අවස්තාව රනිල්ට අහිමි වී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමේ අයිතිය පක්ෂයට කිසිම සම්බන්ද යක් නොතිබුණු මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට සිදුවිය.මෛත්‍රීපාල සිරිසේන ප්‍රදාන කොට එජාප ජන්දවලින් ජනාධිපති ධූරයට තේරි පත් විය.(2015 දී මෛත්‍රීපාල වෙනුවට රනිල්ට එම තනතුරට පත්වන්නට ඉඩ දුන්නේ නම් රට බංකොලොත් තත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.)ඉන්පසු 2019 ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අයිතියද රනිල්ට අහිමිවී අවසානයේ දී 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කලද පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නොහැකි විය.ඉන්පසු රනිල් පාර්ලිමේන්තුවට ආවේ එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුන අවස්තාව ප්‍රයෝජනයට ගනිමිනි.රටේ ඇතිවූ මහා කඩා වැටීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවු මහජන නැගිටීම ඉදිරියේ තනතුර අතහැර පළාගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුව රනිල් ව ජනාධිපති ධූරයට පත්කරන අවස්තාව වන විට රනිල්ට පාර්ලිමේන්තුවේ තිබුනේ ඔහු නියෝජනය කල පාර්ලිමේන්තු ආසනය පමණය.ඒ සමග රට ඇද වැටී තිබුණ අරාජක හා බංකොලොත් තත්වයෙන් රට ගොඩ ගැනීම සදහා ඔහු විසින් ක්‍රියාවට නගන ලද වැඩ සටහන ප්‍රායෝගික, වර්ණවත් හා අසම සම වැඩ සටහනක් වී යැයි කිව හැකිය.
රාජ්‍යයේ ඇති වී තිබුණ බිඳ වැටීම හා එහි ඇති වී තිබුන අරාජකත්වය ජයගැනීම රනිල් පළමුවෙන් ජයගත යුතුව තිබුණ දුෂකරම අභියෝගය වී යැයි කිවහැකිය.ගෝල්ෆේස් පිටිය සිය ප්‍රධාන බල ප්‍රදේශය බවට පත් කරගෙන සිටි සාමකාමි අරගල කරුවන්ට අගමැති මහින්ද රාජපක්ෂ බලන්නට පමිණි දේසපාලන ආධාර කරුවන් පිරිසක් විසින් පහරදීමේ සිද්දියක් නිසා ප්‍රති ප්‍රාහාර එල්ලකරන තත්වයක් ඇතිවී කොළඹට පැමිණි ආණ්ඩු පක්ෂ ආධාර කරුවන්ට නැවත ගම් ප්‍රදේශවලට ආපසු යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථ නවතා පහරදීම් සිදුවූ අතර ඒ ගැටුම අවසන් වූයේ ආණ්ඩු පක්ෂයේ දේසපාලකයන් 70 වගේ පමණ නිවාස ගිනි තබා විනාශ කිරීමෙනි.රනිල් වික්‍රම සිංහගේ කොළඹ පුද්ගලීක නිවසද ගිනි තබා විනාස කර තිබුණ අතර ජානාධිපති මන්දීරය,අරලිය ගහ මන්දීරය හා ආගමැති කාර්‍යාලය ඇතුළු සංකේත වැදගත් කමක් ඇති රජයේ මර්මස්ථාන ගනනාවක් අරගල කරුවන් අල්ලා ගෙන සිටියේය.පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ බලවත් තර්ජනයක්ද පාර්ලිමේන්තුවට එල්ලවී තිබුනි.බිහිසුණුම දේ පොලීසිය හා ආරක්ෂක හමුදා විශාල ප්‍රමාණයකට ආත්ම විස්වාසය අහිමි කරගනිමින් නිෂ්ක්‍රීය තත්වයකට පත් ව සිටීමය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය වෙලාගෙන තිබු එම අරාජක තත්වය නැතිකොට රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය කිසියම් විශාල ප්‍රමාණයකට යාථා තත්වයට ගෙනාවේ අරගල කරුවන් පැහැර ගෙන ගොස් අතුරු දහන් කිරීම් වලින් හෝ ඔවුන් ගේ ජීවිත විනාශ කිරීම් වලින් හෝ ඔවුන්ට බිහිසුණු ලෙස පහරදී තුවාල සිදු කිරීම් වලින් හෝ තොග ගනනින් ඔවුන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් වලින් තොරවය.රනිල් ගෙවුම් ශේෂ අර්බුදය ජයගැනීම සඳහා ක්‍රියාවට නඟන ලද වැඩ පිළිවෙළ විශාල ලෙස කථාබහට ලක්වී තිබෙන්නක් වන නිසා ඒ ගැන කථා කරන්නේ නැත.එම වැඩ සටහනද රටේ ඇති වී තිබුන ඇද වැටීම ඉක්මනින් ජයගනිමින් යහපත් ප්‍රතිඵල ගෙන දුන් විචිත්‍ර හා ප්‍රායෝගික වැඩ සටහනක් ලෙස සැලකිය හැකිය.මුලදී එය බලවත් විවේචනයන්ට ලක්විය.එම වැඩ සටහන කඩා කප්පල් කිරීමට ලොකු උත්සහායන් ක්‍රියාත්මක වුවද එවාට මහජනයා ක්‍රියා කාරි ලෙස සහාය නොදීම නිසා කඩාකප්පල් කාරින්ගේ අරමුණු සඵල වූයේ නැත..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙවීගිය වසර දෙකක් තරම් කාලය තුළ රට ඇද වැටී තිබුණ අවසනාවන්ත තත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා ඉටුකර තිබෙන කාර්‍යභාරය ඉතාමත් සුවිශාලය.බංකොලොත් භාවයට පත් වෙනත් රටවල් සමඟ සසදන විට ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය තිබෙන්නේ අසම සම තත්වයකය.රනිල් ඒ සියල්ල කලේ තමන්ගේ පාර්ලිමෙන්තු කණ්ඩායමක් පවා නැතිව අනුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සමඟය.රනිල් රඟපෑ එම සුවිශේෂ භූමිකාව තුළ ඔහු ලෝක නායකයින් අතරද කැපී පෙනෙන තත්වයක් හිමිකරගත් නායකයෙකු බවට පත් කලේය.ජනාධිපති රනිල් යටතේ වැඩ කල කැබිනට් මණ්ඩලයද වර්ණවත් කැබිනට් මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වීමට නියමිතය.රනිල් ගේ එම වැඩ සටහන පාර්ලිමේන්තුවේ ක්‍රියා කාරිත්වයද කාර්‍යක්ෂම කිරීමට හේතු විය.
එම කාලය තුළ සම්මත කරගත් නව අන පනත් සංඛියාව 100 කට ආසන්නය.අපි රනිල්ට කොන්දේසි විරහිතව සහාය දුන්නත් රනිල් අපේ පක්ෂය දෙකඩ කලා කියා චෝදනාවක් නාමල් රාජ පක්ෂ විසින් ඉදිරි පත් කර තිබේ.පොහොට්ටුව පක්ෂය රනිල් ගේ වැඩ සටහනට කොන්දේසි විරහිතව උදව් කල බව සැබෑවකි.එසේම රනිල්ට රට මේ තත්වයට ගෙන ඒමට නොහැකිවී තිබුණ අරාජකත්වය තව කලක් පැවතියේ නම් නාමල් වැනි අයගේ තත්වය කුමකින් කුමක් විය හැකිව තිබුනේද?ලංකාවේ අර්බුදය විසින් අර්බුදයට යවා තිබෙන්නේ පොහොට්ටු පක්ෂය පමණක් නොවේ; රටේ සියළු දේශපාලන පක්ෂ තිබෙන්නේ අර්බුදයට ගිය තත්වයකය.ඒ තත්වය තුල පක්ෂ කැබලි වීම නොවැලැක් විය හැකිය.ඒ තත්වය ජයගැනීමට අවශ්‍ය නම් රටේ පවතින ජරාජීර්නවී යල් පැනිගිය තත්වකට පත්ව තිබෙන දේසපාලන ක්‍රමය නිර්මානශීලි ලෙස ප්‍රති නිර්මාණය කරගැනීමට හේතුවන ප්‍රති සංස්කරණ වලට යායුතුය.ඇතිවූ මහා අර්බුදයෙන් පසුව බල ලෝභයෙන් හා දේශපාලන කට්ටි වාදයෙන් තොරට සියළු දේශපාලන පක්ෂ එකට එකතුවී එවැනි ප්‍රතිසංස්ජරණ වැඩ සටහනක් සදහා පොදු එකඟතාවයක් ඇති කරගනිමින් එය ක්‍රියාවට නඟන තැනකට ගියේ නම් දැන් ලංකාව තිබෙනු ඇත්තේ දැන් තිබෙන තත්වයටත් වඩා දියුණු තත්වයක නොවේද? දැන් එවැනි ප්‍රතිසංස්ජරණ වැඩ සටහනක් සඳහා තීන්දු කිරීමේ හැකියාව ලැබෙනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.එහිදීත් රටේ දේශපාලන නායකයින් අතර සිටින ප්‍රතිසංස්කරණ භාෂාව වැඩියෙන්ම තේරෙන නායකයා ලෙස සලකන්න සිදු වන්නේ රනිල් වික්‍රමසිංහය.
නූතන ලංකාව බිහිකල නායකයින් අතුරින් රට ගොඩනැගීම සඳහා වන ශක්තිමත් ප්‍රායෝගික දර්ශනයක් පෙන්නුම් කර තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහය.ඔහුට තිබෙන දක්ෂතා රට හඳුනාගත්තේ බොහෝ ප්‍රමාදවී මේ අර්බුදය නිසාය.ලංකාව නායකයින් ගෙන් තොර කාන්තාර දේශයකි.ඒ තත්වය කෙරෙහි ලංකාවේ ඇතිවූ ප්‍රචන්ඩ කැරලිත් එම කැරලි මර්ධනය සදහා රජය යොදා ගැනුණු ප්‍රති ප්‍රචන්ඩ වියාපාරත් බල පෑවේය.රටේ සිටින නායකයින් අතරින් අප කැමති වුවත් නැතත් රටට සිටින ලොකුම හා බුද්ධිමත් නායකයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහ ය.ඔහු බංකොලොත් හා අරාජක තත්වයකට පත්ව තිබූ ලංකාව එම අසෝභන තත්වයෙන් මුදා ගැනීම සඳහා ඉතාමත් සුවිශේෂ කාර්‍ය භාරයක් ඉටු කල නායකයා ලෙස සැලකිය හැකිය.ඒ වෙනුවෙන් ඔහුට ජාතියේ ප්‍රණාමය පලකරන අතර රට වඩා ශක්තිමත් තැනකට ගැනීමට හේතුවන දෙසපාලන ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට එහි ජනයා වඩා ශක්තිමත්, යහපත් හා ප්‍රතාපවත් තැනකට ගැනීම සඳහා ඊලඟ පස් අවුරුද්ද රට පාලනය කිරීමේ වගකීමද රනිල් වික්‍රම සිංහටම බාර දිය යුතුය.ඔහු මේ ජනාධිපති වරණයෙන් පරාජය වුවහොත් නිසැක වශයෙන්ම ඒ සමඟ රටේ මහජනයාගේ ලොකුම වීරයා වනු ඇතත් ඔහුය.
අපි අපව ගලාවගත් මේ මිනිසා පරාජ කලේ ඇයි කියා මහජනයා හඬා වැලපෙන තත්වයක් ඇතිවනු නොවැලැක් විය හැකිය.එහෙත් ඔහුගේ පරාජයත් සමඟ ලංකාව නැවත කඩා වැටෙන තත්වයකට පත්වීමද නොවැලැකිය හැකිය.එවැනි තැනකට ලංකාව ඇද වැටෙන්නට ලංකාවේ මහජනතාව ඉඩ නොදිය යුතුය.
දේශපාලන විශ්ලේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් ගිනුමෙනි
ස්ටයිල් එකට ජීවත් උනානම් ස්ටයිල් එකට මැරෙන්න !
1978 පස්සේ ලාංකික දේශපාලනයට හඳුන්වලා දුන්න විධායක ජනාධිපතිකම කියන්නේ සියලු තනතරුවලට උඩින් තිබ්බ මහත් අනුහස් සහිත තනතුරක් කියල තමයි සලකන්නේ. ඒ නිසා ඔය තනතුරට බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියක් කරන්නත් විතරයි කියල විරුදාවලියකුත් තිබ්බ.
ඒ නිසා අහෝසි කරනවා කියල පරසක්වළ ගහල ආපු කිසිම කෙනෙක් මේ තනතුර අහෝසි කලේ නැහැ. අඩුවෙන් හෝ වැඩියෙන් තියාගෙන ඉන්න හදපු එක තමයි කළේ.
දැන් ආයෙත් කණුකුනුවක් යනවා විධායක ජනාධිපතිකම අහෝසි කරන්න ඕනි කියල. හැබැයි ඒක අර හැමදාම තිබ්බ ජනතා ඉල්ලීමකට කරන දෙයකට වඩා වෙනස් හැඩයක් ගන්න බව තමයි මට නම් පේන්නේ.
මට නම් හිතෙන්නේ ඒක බලය හුවමාරුවීමේ යම් ආපතික -හදිසි -අවදානම් මොහොතක් කළමනාකරණය කරගන්න කරන වැඩක් වගේ. ඒ කියන්නේ සටනක් පරාද වෙනකොට සතුරා අතට තමන්ගේ හොඳම අවි අත්පත් වෙන්න නොදී විනාශ කරනවා වගේ වැඩක්. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ මේ ලඟදී කිව්වේ ''ඕක මම නම් භුක්ති වින්ද. ඒ හින්ද දැන් අහෝසි උනාට කමක් නැහැ කියල''. දැන් ඕක ඒ කණ්ඩායම් ඉන්න හැම කෙනෙක්ම කියන්න පුළුවන් දෙයක්. මෛත්‍රී, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ හැම කෙනෙක්ම.
එයාල ඒකෙ රහ දැක්කා. ඒකෙ ආතල් එක ගත්ත. දැන් ඉතින් ඕනි දෙයක්. ලාංකික දේශපාලනයේ ''විෂ සහිත සාරය'' උනේ විධායක ජනාධිපති ක්‍රමය (poisonous content). ජේ ආර් ළඟ, මහින්ද ළඟ, චන්ද්‍රිකා ළඟ, ප්‍රේමදාස ළඟ, අවම වශයෙන් මෛත්‍රී තුල පවා ඒ විෂ අපි දැක්කා.
විධායක ජනාධිපති ක්‍රමයේ විෂ බලය සහ වරප්‍රසාද එක්ක එයාල ස්ටයිල් එකට ජීවත් උණා. හැබැයි දැන් මැරිල යන්න හදන්නේ පරාජිත විදියට. තැන් තැන් වල හැංගි හැංගි, අඬ අඬා, බයේ.
ඇත්තටම නිර්භීත ක්‍රමය කියල මට නම් හිතෙන්නේ ''ඔව් අපි දන්නවා ඔය වෙපන් එකේ හැටි. කමක් නැහැ. වෙනත් කෙනෙක් ගත්තත් අපි බය නැහැ'' වගේ එකක් මෙයාල කියයි කියල. මොකද අනික් මිනිස්සු සටන්කළේ ඒ වෙපන් එක නැතුව.
කැප්පෙටිපොළ සුද්දගේ තුවක්කු එපා කීවා....ඒක තමයි ක්‍රමය. මොනවා තිබ්බත් නැතත් සුද්ද ඉස්සරහ පොර කුජීත උණේ නැහැ.
හැබැයි දැන් රාළල එහෙම කියන්නේ නැහැ. වෙපන් විනාශ කරල පසුබහින හැඩයක් තමයි පේන්න තියෙන්නේ. මම ආසයි ඇත්තම වෙපන් සහිත විරුද්ධවාදිය එක්ක යන හටනකට. එතකොට ඒක සමුරායි මරණයක් වෙයි.
නිකොටින් නැති සිගරට් වගේ සාරය අහිමි සටනක් කියන්නේ වැඩක් නැති දෙයක්...
ස්ටයිල් එකට ජීවත් උනානම් මැරෙන්න ඕනිත් ස්ටයිල් එකට. මම ඒක ඉගෙන ගත්තේ යුකියෝ මිෂිමාගෙන්.
@Yukio Mishima
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
"පිං ජනපති"ගේ වැඩ කොහොමද ?
1980 වැඩ වර්ජනයත් 1983 ජාතිවාදී කෝලාහලයත් ලංකාව ඇතුලේ ජූලි මාසය උණුසුම් කළේය. ඊට පසුව මතක හිටින තැනට ලංකාව ඇතුලේ ජූලි මාසය උණුසුම් කළේ, 2022 වසරේ මැයි 08 ප්‍රහාරය සමඟ වූ ගෝල්ෆේස් අරගලයේ වූ තීරණාත්මක හැරවුමය. එනම් එල්ල කෙරුණු ප්‍රහාරය විසින් අරගලය ප්‍රචණ්ඩකාරීන් අතට පත් කිරීමය. එහි ප්‍රතිඵලය නම් රට රකින්න කියා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ජූලි 13, පණ බේරාගන්න රටින් පැන යන්න සිදුවීමය. අනතුරුව 2022 ජූලි 14, ගෝඨාභය ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමත් ජූලි 21 , රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් විසින් ජූලිය තවත් උණුසුම් කළේය. 2022 ජූලි 21 බලය ගත්තේ , ඊට දෙවසරකට පෙර පැවති මහ මැතිවරණයේදී එජාප නායකයා ලෙස පාර්ලිමේන්තුවේ තනි ආසනයකට හිමිකම් කියූ රනිල් වික්‍රමසිංහ වීම විපක්ෂය එදා හෑල්ලු කළේ" පිං ජනපති" කියාය. විපක්ෂයේ ඇතමුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ව බෞතීස්ම කරන්න හදිසි වුනේ " රනිල් රාජපක්ෂ" කියාය. ඒ ජනාධිපති මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත (1981 අංක 2) යටතේ පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්ද විමසීමේදී ජන්ද 134ක් ලබා ජනපති වෙන්න බහුතර සහාය පොදුජන පෙරමුණෙන් ලබාගත් නිසාය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතිහාසයේ වූ දරුණුතම අභියෝගාත්මක තත්ත්වය හමුවේ බව රහසක් නොවේය. එක් පසෙකින් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය රට වෙලාගෙනය. අනෙක් පසින් ප්‍රචණ්ඩ වූ සහ දිග්ගැස්සෙන අරාජිකත්වයක් රට වෙලාගෙනය. ජනාධිපතිධුරයේ දිවුරුම් දී පැය 12ක් ගතවීමටත් පෙර රනිල් කළේ ආරක්ෂක අංශ යොදවා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමය. අනතුරුව ඔහු ඉන්ධන, ගෑස් , පෝලිම් අවසන් කරන්නට ක්‍රියාමාර්ග ගත්තේය.
ඒ සෑම අංශයක්ම එකින් එක සාර්ථක වන විට ජනපති රනිල් වැටුණු රට ගොඩගැනීම වෙනුවෙන් වන සිය සිව් වැදෑරුම් සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.
- ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී අයිඑම්එෆ් සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම
- විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම මෙන්ම ඒ සමඟ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම
- මෙම වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණය බරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත දේශයක් බවට පත්වීම
එතැන් පටන් ඔහු අභියෝගය බාරගත් පළමු මොහොතේම සඳහන් කළ ප්‍රසිද්ධ වැල් පාලමේ අවධානම් නමුත් නොගොසින් බැරි ගමන ඇරඹුවේය. 2023 සහ 2024 අයවැය ලේඛන මගින් එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළේය. රට මේ වන විට අත්විඳින්නේ ඒ වැඩසටහනේ අස්වැන්නය. තවදුරටත් ඉන්ධන , ගෑස් පෝලිම් රටේ නැත. ඖෂධ හිඟයක් ද නැත. 2022 වන විට දවසේ පැය 14ක් පමණ වූ විදුලි කප්පාදුවද නැත. 2022 වසරේ 70% ක් වැනි ඉහළ අගයකට ගිය උද්ධමනය මේ වන විට අවසානයේදී 1.7% ක් දක්වා අඩුවී ඇත. එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබූ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගෙන ඇත. 2022 මැයි මාසය වන විට ඩොලර් මිලියන 20ක් ලෙස, එනම් එක් පුරවැසියකු වෙනුවෙන් එක් ඩොලරයක් නැතිව පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු මෙරට විදේශ සංචිතය මේ වන විට ඩොලර් මිලියන 5410 ක් දක්වා ඉහළ නැග ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලද ඒ සමඟ ශක්තිමත්ව හමාරය.
එපමණක් නොව ප්‍රාථමික ගිණුමේ හිඟය, අතිරික්තයක් ලෙස පරිවර්තනය වී ඇත. මහ බැංකුව ස්වාධීන කිරීම සහ IMF සමඟ ගිවිසුම්ගතවීම හමුවේ මුදල් මුද්‍රණය නොකර අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් තත්ත්වය සම්පුර්ණ වී ඇත. විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගෙන ඇත. එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීම හමුවේ වසර දෙකකට පසුව විදෙස් රටවල් ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන සමඟ නීත්‍යානුකුල ලෙස ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිව ඇත. එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන අතර ණය ගෙවීමට හැකි රටක් බවට වන සහතිකය ජාත්‍යන්තරය වෙතින් ලබා ඇත. අනෙක් අතට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම හමුවේ ණය ගෙවීමේ කාලය 2043 දක්වා දීර්ඝ කර ගන්නටත්, ගෙවීමට ඇති ණය වෙනුවෙන් ඩොලර් බිලියන 8ක සහනයක් ලබාගන්නට හැකිව තිබේ. පසුගිය කාලසීමාව තුළ ණය පොලිය සහ වාරික ගෙවීමට රටේ මුළු ආදයමෙන් 70%කට වඩා වැය කරමින් සිටින රටකට මෙය අස්වසුමක් නොවේද ?
අනෙක් අතට ආර්ථික අර්බුදය හමුවේ දරුණුතම අවධාමකට පාත්‍රවූ ප්‍රජාව රැකගැනීම වෙනුවෙන් අස්වැසුම සමාජ ආරක්ෂණ ජාලය ක්‍රියාවට නගා ඇත. සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුල්‍ය ප්‍රතිපාදන ඊට වෙන්කර ඇත. ලක්ෂ 14ක් ලද සමෘද්ධිය වෙනුවට ලක්ෂ 23ක ප්‍රජාවක් අස්වැසුම මඟින් සුරක්ෂිත කර ඇත. ලක්ෂ 20ක ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම සඳහා උරුමය වැඩසටහන දියත්කර ඇති අතර, නාගරික මහල් නිවාසවල වෙසෙන්නන්ට ඔවුන්ගේ නිවාස අයිතිය ලබාදීමේ හිමිකම් ඔප්පු වැඩසටහනද දියත්කර ඇත. කෘෂි නවීකරණය ඇතුළුව කෘෂි කර්මාන්තයේ මෙන්ම කර්මාන්ත ආශ්‍රිතව විප්ලවීය පිම්මක් වෙනුවෙන් රට සූදානම් කරමින් තිබේ.
දුෂණය පිටුදැකීමට අවශ්‍ය අණපනත් සම්මතකර, ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිත කර රට යළිත් පෝලිම් යුගයක් වෙත නොවැටීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන පණත ගෙනවිත් ඇති අතර මුල්‍ය කළමනාකරණ පනත මඟින් රටේ මුල්‍ය විනය සහතික කිරීමට කටයුතු කර ඇත. එසේම ඉතිහාසයේ අඩුම කාලයක් තුළ වැඩිම අණපනත් ප්‍රමාණයක් සම්මත කර ගන්නට කටයුතු යෙදුණේ මේ කාලසීමාව තුළය. ඊට ඉලක්කයක් ඇති අතර පැහැදිලි වැඩපිළිවෙලක් ද තිබේ. තවදුරටත් යැපුම් ආර්ථිකයක් හෝ ආනයන ආර්ථිකයක් ඔස්සේ රටට අනාගතයක් නැති බව නිතර අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට අපනයන , හරිත ආර්ථිකයක් වෙත යොමුකළ යුතු බව කියන්නේ ඒ නිසාය. පුනර්ජනනීය බලශක්තිය භාවිතයට ගැනීම , ද්වී පාර්ශවීය සහ බහු පාර්ශවීය වෙළඳ ගිවිසුම් නැවත ඇතිකර ගන්නටද කටයුතු කරමින් ඇත.
දරුණු ආර්ථික අර්බුදයකට විසඳුම් ලෙස ඇති ගෝලීය අත්දැකීම නම් රාජ්‍ය අංශයේ වියදම් වල බරපතල කප්පාදු කිරීමය. ඒ වෙනුවෙන් වැටුප් සහ කාර්ය මණ්ඩල කප්පාදුවය. නමුත් ලංකාවේ ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී යළි නැගී සිටීම වෙනුවෙන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල තුළ එවැන්නක් තිබුණේ නැත. ඒ වෙනුවට ඔහු රාජ්‍ය සේවක වැටුප තවත් රුපියල් 10000කින් වැඩි කළේය. රාජ්‍ය ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් ජනප්‍රියවාදී තීන්දු වෙත පයින් ගසා දැඩි තීන්දු ගත්තේය. බදු ප්‍රතිසංස්කරණ අකුරට හඳුන්වා දුන්නේය. ඉන්දියානු සාගරයේ භූ දේශපාලන මර්මස්ථානයක පිහිටි මෙරට ඒ නිසාම වන ආර්ථික, දේශපාලන වැදගත්කම අතිමහත්ය. ඉන්දියානු වට අද්දර රටවල සංගමයේ සභාපතිත්වය ගනිමින් එම වටිනාකම රටට ගැනීමට අවශ්‍ය සැලසුම් පවා සකස් කරන්නට ජනාධිපති රනිල් කටයුතු කර ඇත. ඒ අපේක්ෂාව තුළ වන්නේ ලොව වටිනාම සහ ප්‍රබලම ඉන්දියානු සාගර කලාපයේ බල කේන්ද්‍රයක් බවට රට පත්කිරීමය. ඒ වෙනුවෙන් විවේචනය කරන්න සිදුවන්නේ ගෝලීය බටහිරද , නැගෙනහිරද, උතුරද දකුණද කියා වෙනසක් ජනපති රනිල්ට නැත. අවශ්‍ය මොකක්ද ? ඒ වෙනුවෙන් වන නිවැරදි ප්‍රතිපත්තිය තමන් සතුද ? ඒ සමඟ ක්‍රියාත්මකවීම ජනපති රනිල්ගේ ස්වාභාවයය.
එවැනි කටයුතු සිදුකිරීම ජනප්‍රියවාදී දේශපාලන අදහසින් බැලුවහොත් සියදිවි නසා ගැනීමකට දෙවැනි නැත. නමුත් ජනපති රනිල්ට වැදගත් වුණේ, තමන්ගේ දේශපාලන අනාගතයට වඩා මිලියන 22ක ජනතාවගේ ඉරණමය. රටේ අනාගතයය.
සාමාන්‍යයෙන් දේශපාලනඥයන් කතා කීමට හපන්නුය. දේශපාලන තීන්දු තීරණ කියමින් ඕනම අබබ්බයෙකුටත් කතා පවත්වන්න පුළුවන. මොන මොනවා හෝ තීන්දු තීරණ ගන්නද පුළුවන. නමුත් දේශපාලනයේදී, රාජ්‍ය පාලන කලාවේදී වැදගත් වන්නේ, තමන් විසින් ගනු ලබන තීන්දුවේ ප්‍රතිඵලය සම්බන්ධව නිවැරදි පුරෝකතනයක සිටීමය. කරන්න පෙර ප්‍රතිඵලය දැකගත හැකි තැනට තීන්දු තීරණ පරිණතව තිබීමය. එසේ පෙර කියවීමක් නොමැතිව ගනුලබන තීන්දු කොයිකටත් වඩා දේශපාලනයේදී අවධානම් ය. ඒ ගැන මතක හිටින පාඩම කියාදුන්නේ ජනාධිපති ගෝඨාභය ය. දේශපාලන උගත් පාඩම් තමන්ගේ ජීවිත වලට එක්කර ගැනීමට නොහැකිවීම වත්මන් විපක්ෂය සිදුකරගත් ලොකුම වරදය.
එදා විපක්ෂ නායක සජිත් ආර්ථික දත්ත දෙස බලා රටේ වගකීම ගන්න බය වීම පෞරුෂ දුර්වලතාවක් පමණක්ම නොවේය. දත්ත දෙස බලා ක්‍රියාත්මකවීමට තරම් දැක්මක් හෝ වැඩපිළිවෙලක් ඔහුට නොතිබීමද ඊට බලපෑවේය. අද වෙන්ඩ ජනපතිට ඇඳ සිටින අනුරලා පවා එදා හිටියේ, ප්‍රචණ්ඩ වූ අරගලකරුවන් සමඟ ගොස් පාර්ලිමේන්තුවත් වටලෑමේ මනෝභාවයක මිස, අර්බුදය විසඳා මිලියන 22ක ජනතාවගේ ඉරණම ශෝකාන්තයක් වීම වළක්වන තැනක නොවේය. නමුත් ජනපති රනිල් අර්බුදය විසඳීම වගේම ඊට අදාළ වැඩපිළිවෙළ නිශ්චිතව දැන සිටියේය. සිය සැළැස්ම ක්‍රියාවට නැගීමත් සමඟ අත්වන ප්‍රතිඵලයද දැන සිටියේය. එදා අභියෝගයට බයෙන් සැඟවුණු සහ එදා රාජ්‍ය දේපොළට හානි කරමින් ප්‍රචණ්ඩ රස්තියාදුකාරයන් සමඟ පාරේ පිස්සු නැටුවන් අද වෙන්ඩ ජනපති සූට් ඇඳ තවදුරටත් ජනතාව අන්දන්න එන විට අඬනවාද හිනාවෙනවාද කියන තෝරා ගැනීම ජනතාව සතුය.
සැබවින්ම ජනපති රනිල් එම ධූරය ගත්තේ පිනටද ? කියා අසමින් විපක්ෂය කෝචෝක් දමන විට ජනාධිපති රනිල් සිටියේ පැය 24 ම රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට වෙහෙසෙමින්ය. විපක්ෂය රනිල් රාජපක්ෂ කියමින් අවලාද නගන විට, ජනපති රනිල් හිටියේ, රාජපක්ෂලා මෙන්ම හිටපු පාලකයන් අතින් වැරදි පීල්ලට වැටුණු රට හරි පීල්ලට ගන්න වෙහෙසෙමින් ය. විපක්ෂය ජනපති රනිල්ගේ කලිසම දෙස බලා සිටින විට ජනපති රනිල් සිටියේ ජනතාව සාගතයෙන් ගලවාගෙන සැනසුම් සුසුමක් හෙළන තැනට රට මෙහෙයවමින්ය. ඔවුන් IMF ගැන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන බොරු බිල්ලන් මවන විට ජනපති රනිල් සිටියේ, රට බංකොලොත් බවින් මුදවාගෙන ලෝකය ඉදිරියේ දෙපයින් සිටගැනීමට සූදානම් කරමින්ය. ඔවුන් ජනපති රනිල්ගේ ටයි ගැටය දෙස බලාසිටින විට ජනපති රනිල් සිටියේ ආර්ථික අර්බුදයෙන් මෙන්ම විශේෂයෙන් ණය උගුලෙන් ගැළවීම ලද රට යළිත් එවැනි අභාවාචකයකට නොවැටෙන තැනට කටයුතු සකස් කරමින්ය.
ජනපති රනිල් ගේ පදවි ප්‍රාප්තියේ තෙවසර ඇරඹෙන 2024 ජූලි 21 වන විට ඒ සියලු ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වයක් ලැබීමට ඔහු සමත්ව ඇත. වෙරිටේ සමීක්ෂණ වාර්තා පවා ඊට සාක්ෂි දරන්නේය. සැබවින්ම 2022 වසරේ බලය ගන්නා විට ආර්ථිකය ඇතුළුව සෑම අංශයකින්ම ඇද වැටී විනාශව තිබු රට, 2018 වසරේ තිබූ තැනට යළි ගෙන ඒමට ජනපති රනිල් සමත්ව ඇත. ඒ වෙනුවෙන් දියත්කළ වැඩපිළිවෙල අසාර්ථක කර ආපසු රට අර්බුදය දෙසට හැරවීමට ප්‍රයත්න දැරූ විපක්ෂය දේශපාලන වශයෙන් නිරුවත්ව ඇත. එසේ නම් දැන් ඇත්තේ 2019 සිදුකළ වරද යළිත් නොකර, ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගෙන වේගවත් සංවර්ධන යුගයකට යාමය. ආපසු හැරීමක් නැති මේ තීරණාත්මක කඩඉම් කාලය පරිස්සමෙන් සීරුවට පැනිය යුතුය. ඒ වෙනුවෙන් මේ වෙලාවේ සුදුසුම රනිල් ය. කාගේ කාගේත් තේරීම ජනපති රනිල්ගේ පිනෙන් "පිං ජනපති පදවි පතන", රට ආපසු අර්බුදයට කැඳවීමට වෙහෙසෙන "වෙන්ඩ ජනපති"ලා විශ්‍රාම ගන්වමින් ජනතාව ඒ තීන්දුව ගන්නා දිනය වැඩි ඈතක නැත. මේ පසුබිමේ ජනතාව වෙතින් අනිවාර්යය දේශපාලන විශ්‍රාමයට නියමිත "වෙන්ඩ ජනපතිලා"ගෙන් අහන්න ඇත්තේ "පිං ජනපතිගේ වැඩ කොහොමද ?" කියාය.
එස්. එම් . ලියනගේ
යුක්තියේ මෙහෙයුමට හසු නොවන අවුරා ලංකා තාඹුගල නැවත රාජාංගනය වනසයි
යුක්තියේ මෙහෙයුමට හසු නොවන අවුරා ලංකා තාඹුගල නැවත රාජාංගනය වනසයඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ විරංජිත් තාඹුගල නැවත වරක් රාජාංගන යාය 18 ගම්මානයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ව නීති විරෝධී ව වගා බිම් සැකසීම ආරම්භ කර ඇත. පාරිසරික හෝ ඉඩම් අනුමැතීන් ලබා ගැනීමකින් තොර ව රජයට අයත් ඉඩම් හා වනාන්තර බලහත්කාරයෙන් අත්පත් කර ගෙන භූමිය සැකසීම යළිත් වරක් මේ ආකාරයෙන් සිදු කරමින් පවතී.
රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාව පීඩනයට ලක් කරමින් ඔවුන් ගේ වගා බිම් හා කුඹුරු ඉඩම් පමණක් නොව කහඹිලියාපිටිය වැව අත්පත් කර ගැනීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට තාඹුගල ගේ මුදල් මත යැපෙන 456 තුළාන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී ඩී. එල්. ජගත් චමින්දසිරි විසින් සහයෝගය ලබා දේ. මීට අමතර ව මෙම සමාගමේ නීති විරෝධී ක්‍රියා සියල්ලට ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ගේ සහයෝගය ලැබෙන බව ද වාර්තා වේ. මේ සියලු සහයෝගයන් මත තාඹුගල රාජාංගනය යාය 18 ගම්මානය ඔහු ගේ අණසකට නතු කර ගෙන ඇත.
අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා හමුදා බුද්ධි අංශ මගින් පරීක්ෂණ පවත්වා ඔහු ගේ සියලූ ම නීති විරෝධී ක්‍රියා මේ වන විට අනාවරණය කර ගෙන තිබේ. නමුත් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම විසින් තාඹුගල ගේ මුදල් බලය මත ඔහු ව අත් අඩංගුවට ගැනීමේ කටයුතුවලට බාධා කරමින් පවතී. මේ නිසා පසුගිය කාලයේ තාවකාලික ව නතර කර තිබූ නීති විරෝධී ඉඩම් සංවර්ධන කටයුතු නැවත වරක් ආරම්භ කර ඇත.
බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ යුක්තියේ මෙහෙයුම දේශපාලන හා ව්‍යාපාරික බලය නොමැති පුද්ගලයන් මත පමණක් ක්‍රියාත්මක වන බව ය. ඒ අතරතුර විරංජිත් තාඹුගල වැනි ජාවාරම්කරුවන්ට යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගෙන් රැකවරණය ලැබීමෙන් මේ බව තවදුරටත් තහවුරු වේ.
පසුගිය කාලයේ දී එස්. එම්. චන්ද්‍රසේන හිටපු ඉඩම් අමාත්‍යවරයා හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් ලැබුණු දේශපාලන රැකවරණය අද වන විට තාබුගල විසින් ලබා ගෙන ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, විජේදාස රාජපක්ෂ ගෙන් හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගෙනි. රජරට ගොවි තරුණ තරුණියන් විදේශ රටවල සේවයට යවා ඉඩම් නිදහස් කර ගැනීමට මනූෂ නානායක්කාර අමාත්‍යවරයා හරහා මේ වන විට සැලැසුම් සකස් කර ඇති අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහයෝගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් ගේ වගා බිම් හා වනාන්තර ඉඩම් අවුරා ලංකා, කෝමාරිකා වගා ව්‍යාපෘතියට ලබා ගැනීමට පියවර ගනිමින් සිටී.
නමුත් මේ සියල්ල සිදු කරන්නේ අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑ ම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඒ සඳහා ක්‍රියාත්මක වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.
අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.
පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් අද වන තුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තාඹුගල ගේ මුදල් බලය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීමට යොමු වී නොමැත.
පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.
නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. එහෙත් අද දක්වා මෙම නීති ක්‍රියාත්මක කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත.
ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී මේ ආකාරයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි. මේ අනුව පෙනී යන්නේ නීතියේ සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රට තුළ සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව ය. මේ නිසා අලි - මිනිස් ගැටුම, ජල අර්බුධ, සමාජ ආර්ථික ගැටළු රැසකට ගොවි ජනතාව ගොදුරු වී ඇත. වත්මන් ආණ්ඩුව සමාගම් හා ව්‍යාපාරිකයන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී ගොවි ජනතාව වගා බිමෙන් අවතැන් කර දරුණු පීඩනයකට ලක් කරන බව ද මේ මගින් තහවුරු ව තිබේ. මේ පිළිබඳ ව ගොවි ජනතාව මෙන් ම සියලු ප්‍රජාව ඉතා හොඳින් අවබෝධ කර ගත යුතු අතර ඊට එරෙහිව කටයුතු කිරීමට පෙරමුණ ගත යුතු ය. එසේ නොමැති වුවහොත් ඉතා කෙටි කාල සීමාවක් තුළ දී ගොවි බිම් හා වනාන්තර යන සියල්ල සමාගම් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සතු වීම මත ගොවි ජනතාව අවතැන් වීම වළක්වා ගත නොහැකි වනු ඇත.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
කාන්තාවන්ට අයිතිවාසිකම් එපා ද?
කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත (Women’s Empowerment Bill) සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත විය. කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායමත් එක්ව 2022 දෙසැම්බර් මාසයේදී කෙටුම්පත් කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත (Gender Equality Bill) සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ අවධානය යොමු වූයේ ඉතා අවම වශයෙනි. විදෙස් මාධ්‍ය මේ කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට නොතිබූ බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා දැක්වූ ඉහළ උනන්දුව සහ කැපවීම, කිසිදු කාන්තා දේශපාලන නියෝජිතවරියකට, කාන්තා සංවිධානයකට, ස්ත්‍රීවාදිනියකට හෝ කාන්තා ක්‍රියාකාරිනියකට නොතිබුණේ ඇයි?
කාන්තා දිනය වැනි විශේෂ අවස්ථාවන්හි කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට සමාජයේ තිබෙන දෙවැනි තැන පිළිබඳව වේදිකා මත වැළපෙන, වීදි බැස සටන් පාඨ කියමින් පෙළපාලි යන කාන්තාවන් ඔවුන්ගේ දුක් ගැනවිලි සහ දීර්ඝ කාලීන නොසලකා හැරීම්වලට සෘජුවම ආමන්ත්‍රණය කළ හැකි පනතක් ගෙන එන විට මුනිවත රකින්නේ ඇයි?
ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම හේතුවෙන් ද? එසේ නැතිනම් තමා සමාජය ඉදිරියේ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින බවට පෙන්වාගෙන සිටින ව්‍යාජ ප්‍රතිරූපය හේතුවෙන් ද? එසේත් නැතිනම් මෙතරම් කාලයක් කාන්තාවන් පිළිබඳව සමාජ ක්‍රියාකාරකම්වල නියැලුනත් මෙවැනි පනතක් ගෙන ඒම වෙනුවෙන් මැදිහත් වීමට ජනාධිපතිවරයාට පෙර තමාට නොහැකි වූ බැවින් ද?
කෙසේ වුව ද, 2024 ජුනි 18 වැනි දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී ඇති තීන්දුව විකෘතිසහගත බවයි.
එබැවින් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙසේ කරන්නේ එම තීන්දුව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තියෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම පිළිබඳ බලය උල්ලංඝනය වී තිබෙන බැවින් යයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත සමලිංගිකත්වය සහ සමලිංගික විවාහයන් අපරාධ ලෙස නොපිළිගැනීමේ නීතිමය පූර්වාදර්ශයක් සපයන බවට තර්ක කරයි.
මෙම පනත් කෙටුම්පතේ ඇති ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අදහස් බෞද්ධයන් බහුතරයක් සිටින ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වටිනාකම් යටපත් කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇත. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ අපගේ සංස්කෘතියෙන් බලාපොරොත්තු නොවන දෙයක් බව විනිසුරුවරුන්ගේ අදහසයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවදුරටත් සඳහන් කරන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා නොසලකා සියල්ලන්ට සමාන අවස්ථා ලබා දීමට අරමුණු කරන බවයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව පාර්ලිමේන්තුවට කිසිසේත් පිළිගත නොහැකි බවයි. එබැවින් එම තීන්දුව අභිභවා, පනත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත්, අත්තනෝමතික නීති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට නීතිමය පූර්වාදර්ශ ඇති බවත් ඔහු අවධාරණය කළේය.
අධිකරණයේ පූර්ව ප්‍රගතිශීලී තීරණ අධිකරණය විසින්ම යටපත් කිරීම ජනාධිපතිවරයා හැඳින්වූයේ, judicial cannibalism (අධිකරණමය මිනී මස් කෑමක්) යනුවෙනි. “මෙය දේශපාලන කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසි ලෙසකින් මේ පිළිබඳව තීන්දුවක් දෙන්න බැහැ. එහෙම වුණොත් ඔවුන් බල සීමාව උල්ලංඝනය කරමින් අපේ ක්ෂේත්‍රයට එනවා,” යයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පූර්ව නඩු තීන්දු සහ දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් උපුටා දක්වමින්, සහ පස්වැනි තිරසර සංවර්ධන ඉලක්කය මෙන්ම 2011 සිට පැවති කාන්තාවන් සවිබලගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කරමින්, සිදු කරන ලද සිය ප්‍රකාශය මඟින් ජනාධිපතිවරයා උත්සාහ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය තමාගේම පූර්වාදර්ශ අභිභවා ගොස් ඇති බව පෙන්වා දීමටයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ විවාහ නීතිය වෙනස් නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය මඟින් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
“ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් පිළිබඳ තීන්දු දීමට හැකියාවක් නැහැ. ඔවුන්ට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවට උපදෙස් ලබා දීමට පමණයි. එබැවින් පාර්ලිමේන්තුව තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගත යුතුයි.” ජනාධිපතිවරයාගේ මෙම අදහස් මත පදනම්ව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ සම්මත වීම අත්‍යවශ්‍යය. එමෙන්ම මේ පිළිබඳව සමාජයේ පුළුල් කතිකාවක් ද නිර්මාණය විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියෙන් දක්වා ඇති සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම මඟින් ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කොට සැලකීම නොවිය යුත්තක් බව දැක්වුව ද, සමාජයේ කාන්තාවන්ට ඇත්තේ දෙවැනි ස්ථානය බවත්, පුරුෂ මූලික ප්‍රතිපත්තිවල දැඩි ග්‍රහණයෙන් කාන්තාවන්ට දිගින් දිගටම පීඩා විඳීමට සිදුවන බවත් අප සියලු දෙනාම අත්දැකීමෙන් දන්නා ප්‍රායෝගික කාරණයකි. එසේ වුවත්, කාන්තා ගැටලු ආමන්ත්‍රණය කිරීමට කාන්තාවන්ටම සුවිශේෂ වූ නීති කිසිවක් මීට පෙර ශ්‍රී ලංකාවේ තිබී නැත. එබැවින් කාන්තාවන් වෙනුවෙන්ම ගෙන ආ පනතක් කෙරෙහි කවුරුන් නැතත් කාන්තාවන් උනන්දු විය යුතු නොවේ ද?
කාන්තාවන් සවිබලගැන්වීමට පහසුකම් සැපයීම පිණිස කාන්තාවන් සඳහා ජාතික කොමිසමක් පිහිටුවීම, ඒ හරහා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තීරණ ගැනීම සඳහා සහභාගි වීමේ සම අයිතිය, වෙනස්කොට සැලකීම පිළිබඳ ගැටලු ආමන්ත්‍රණය කිරීම, රජයේ කාර්යාල සේවා, සෞඛ්‍ය පහුසකම්, අධ්‍යාපනය, රැකියා අවස්ථා, වෘත්තීය පුහුණුව සඳහා සම අවස්ථා, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වයට එරෙහි ආකල්ප සහ භාවිතයන් හඳුනා ගැනීම, ජාතික සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ජාතික ප්‍රතිපත්තියේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ ඇති ප්‍රතිපාදන කෙරෙහි අවධානය යොමු කිරීම ආදිය ඇතුළත් පුළුල් ක්ෂේත්‍රයක් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ කෙටුම්පතෙන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනතෙන් ආවරණය වේ.
පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් පක්ෂ භේදයකින් තොරව දායකත්වය සපයා කෙටුම්පත් කළ මෙම පනත් වෙනුවෙන් පසුව ඇතැමෙකු පෙනී නොසිටි බවත්, මෙම පනත් හදිසියේ සම්මත කරගැනීමට තැත් කරන බව කියමින් විවේචනයට ලක් කළ බවත් දක්නට ලැබුණි.
මින් අදහස් වන්නේ, කාන්තා අයිතිවාසිකම්වලට වඩා ඉදිරි මැතිවරණ ජය ගැනීම සඳහා වූ ඔවුන්ගේ දේශපාලන ඉලක්ක ඉදිරියට පැමිණ ඇති බව ද?
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සිය කැමැත්තෙන්ම සමාජයේ දෙවැනි තැන ගෙන, සදාකල් තමාට වෙනස්කොට සැලකීම පිළිබඳව කාන්තා දිනවලදී නාට්‍යානුසාරයෙන් රඟ දක්වා, අඬා වැළපී ඉන් සෑහීමට පත් වනු ඇතැයි අපට සිතීමට සිදුවන්නේ මෙම පනත් පිළිබඳව ඇති ඇල්මැරුණු සමාජ ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමු කරන විටයි.
ඇතැම් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ සමයේදී ගෙන එන ජනප්‍රිය ව්‍යාපෘති පසුපස කිසිදු විචාර බුද්ධියකින් තොරව ගමන් කරන කාන්තාවන්ට සැමදා ඔවුන්ගේ දුක විකිණීමට සිදුවීම අහඹුවක් නොවේ. එසේ නොකළොත් එම දේශපාලන පක්ෂවලට සිය පැවැත්ම අහිමි වනු ඇත; දිවා රෑ දකින බල සිහින බොඳවී යනු ඇත. කාන්තාවන් මෙම යථාර්ථය තේරුම් ගන්නේ කවදා ද?
නව පනත් හරහා කාන්තාවන් සඳහා පිහිටුවන ජාතික කොමිසමෙන් ඔවුන් සවිබලගැන්වෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ 52% කට ආසන්න කාන්තා ජනගහනයට අවබෝධ කර දිය යුතුය; ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කාන්තා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පතකට ශ්‍රේෂ්ඨාධිකරණය මෙතරම් විරෝධය පළ කළේ මන් ද, යන්න වෙනම අධ්‍යයනය කළ යුතු මාතෘකාවකි. ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් අයිතීන් ඉල්ලා උසාවි නොයන බැවින් ඔවුන්ට විශේෂ පනතක් අනවශ්‍ය යයි අධිකරණ විනිසුරුවරුන් කල්පනා කළා විය හැකිය.
කෙසේ නමුත් කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැප වූ ජනාධිපතිවරයාට මම මගේ ගෞරවණීය ස්තුතිය පළ කරමි.
ආචාර්ය ඉන්දි අකුරුගොඩ
අධ්‍යයනාංශ ප්‍රධාන
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය
21-06-2024
රටකට ඕනි පරමාදර්ශ..!
ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමා ජෝසප් (Shamar Joseph).
බටහිර ඉන්දීය කොදෙව් වල බරකාරා කියන පළාතේ අවම පහසුකම් යටතේ ළමාකාලය ගතකරපු ෂමා ක්‍රිකට් බලල තිබ්බේ කළු සුදු රූපවාහිනියකින්. එහෙම බලද්දී තමයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දැවැන්තයින් දෙන්නෙක් වෙච්ච කර්ට්නි ඇම්බ්‍රෝස් සහ කර්ට්නි වොල්ෂ් දකින්න ලැබෙන්නේ.
එහෙම දැකල ඒ වීරයින්ට ආස වෙලා එදා ඉඳල ඕනෑම රවුම් හැඩයෙන් යුතු දෙයක් දැක්කොත් එයා ඒකෙන් පන්දු යවන්න උත්සාහ කරල තියනවා. පේර ගෙඩියක්, දෙහි ගෙඩියක්, ලෙමන් ගෙඩියක් වගේ ඕනෑම දෙයක් මේ වෙනුවෙන් එයා පාවිච්චි කරලා තියනවා.
එහෙම පන්දු යවල තමයි ඒ පළාතේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ෂමා ගහන්න අරන් තියෙන්නේ.
ඒ විදියට ටිකෙන් ටික ෂමා එයාගේ ක්‍රිකට් ක්ෂ්තිජය පුළුල් කරගන්නවා. එහෙම පුළුල් කරගෙන ලෝකේ ප්‍රථම වතාවට බරකාරා වලින් ටෙස්ට් වරම් ලබපු පළමුවැන්නා බවට පත්වෙනවා. ඒ ඓතිහාසික ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී. අතිශයින් ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව.
ටෙස්ට් වරම් ලැබිල පළමු පන්දුවෙන්ම දවාගන්නේ දෙවැනි ඩොන් බ්‍රැඩ්මන් විදියට විරුදාවලි ලබපු ස්ටීව් ස්මිත්.
ඒ තරඟයේ ෂමා නමට විකට් පහයි. ඊයේ මැච් එකේ විකට් හයයි. මැච් එකත් දිනුම්. 1997න්පස්සේ කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ දිනපු එකම තරඟය.
කණ්ඩායමේ ගොඩක් අය අලුත්. අලුත්ම කොල්ලෝ ටිකක් ගේම ගහනවා. ඒ තරඟයේ බර ගොඩක් කරට ගත්තේ ෂමා.
තරඟය දින්නට පස්සේ ලාරා අඬනවා. ඒ මක්නිසාවත් නෙවෙයි එයාලගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ඉතිහාසයට යම් හෝ සාධාරණයක් මේ පොඩි කොල්ලෝ ටික කරපු නිසා.
ගාෆීල්ඩ් සෝබර්ස්, විව් රිචඩ්, ක්ලිව් ලොයිඩ්ලගේ ඉඳල ඇම්බ්‍රෝස්ල හරහා ලාරා සහ චන්ද්‍රපොල් දක්වා ඒ ලැයිස්තුව ඉතාම දිගයි. ජයග්‍රහණ ලැයිස්තුවත් එහෙමයි. නමුත් මෑත කාලයේ බටහිර ඉන්දීය ක්‍රිකට් නන්නපෝල් වෙලා තිබ්බේ.
මෑතක පසුබැහැල තිබ්බට බලාගෙන හැදෙන්න ශ්‍රේෂ්ඨයින් ගොඩක් බටහිර ඉන්දීය කොදෙව්වන් එයාලගේ ක්‍රිකට් ඇතුලේ හදල තියනවා. ඉතින් ෂමාට ''මමත් මේ වගේ වෙන්න ඕනි'' කියල හිතෙන එක මට නම් අතිශයින් ලස්සන ශිෂ්ටාචාර හැඟීමක්....
ෂමා දිහා බලාගෙන හැදෙන්න තව පොඩි පරම්පරාවක් දැනටම ඇති.
ෂමා, දුර ගමනක් වෙනුවෙන් සුබපැතුම්!❤
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
මොකක් හරි පටන්ගන්න එක හොඳයි..!
ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්. මොකද ගෝල්ෆේස් අරගලයේ හැඟීම්, අභිප්‍රායන් සහ මනෝභාවයන් (sentiments) තවමත් සමාජයේ යම් නිර්නාමික (anomymous) හැඩයකින් හොල්මන් කරමින් තිබෙන නිසා. මෙතන මම හොල්මන් කියන වචනේ යොදන්නේ එහි ප්‍රභලත්වය (magnitude) සහ තිවෘරතාව (intesnitty) සලකුණුකිරීම පිණිස.
ඇත්තටම මේක මීට සෑහෙන්න කලින් කරන්න තිබ්බ දෙයක්. නමුත් මැතිවරණයක් ගැන තවමත් ස්ථිරබවක් නැති නිසා දැන් ආව කියල එහි බලපෑමට ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
ඇතැම් විචාරකයින් සඳහන් කරනවා මේ පැමිණීම නිසා ජාතික ජන බලවේගයට යම් බලපෑමක් වෙයි. ඒ නිසා මේක මේ මොහොතේ නොකර අපි හැමෝම ජාතික ජන බලවේගය වටා එකතු වෙන්න ඕනි. ඒක තමයි ඇත්ත දේශපාලනය කියල.
නමුත් මට පේන්නේ මෙහෙම දෙයක්.
අපි ජීවත්වෙන්නේ දේශපාලන බහුත්වයක් ඇති ගෝලීය නිමේෂයක. ඒ නිසා බහුත්ව දේශපාලනයන්ගේ ආගමනය වලක්වන්න බැහැ. ලංකාවේ උනත් රනිල් පොහොට්ටු සජබ ශ්‍රී ලංකා ජාජපෙ පෙරටුගාමී වගේ ගොඩක් අය භූමියේ ඉන්නවා. එහා මෙහා වෙනවා.
හොරු ඇල්ලීම් වගේ දෙයක් හැරුණම ජාතික ජන බලවේගය විසින් සෘජු ක්‍රම වෙනසක් (system change) පිළිබද අදහසක් මේ වෙලාවේ කතාකරන්නේ නැහැ. ඒ වෙනුවට යම් ප්‍රතිසංස්කරන සහ මේ ක්‍රමයත් එක්ක යම් එකඟතා ප්‍රමාණයක් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඒකට සමාජයේ යම් එකඟතාවක් ලැබෙමින් පවතිනවා. ඒ නිසා ඒක ඒ විදියට ගියාවේ.
නමුත් මේ ක්‍රමය වෙනුවට වෙනත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් වූ රැඩිකල් අදහස් වෙනුවෙන් සිහින මවන තවත් සමාජයේ සෑහෙන කොටසකුත් ඉන්නවා. ඒ නිසා ''ජන අරගල සංධානය'' (මේක මැතිවරණ වෙනුවෙන් ගත්තම ලංකාවේ නැගල යන නමක් නෙවෙයි. ඒක වෙනම කතාවක්) බිහිවීම හොඳ දෙයක්.
එකක් තමයි ජාතික ජන බලවේගයේ ජනප්‍රියතා අගතීන් විසින් (මම මේක මගේ එක වීඩියෝවක කියල ඇති) බහිස්කරණය වන මිනිසුන් වෙනුවෙන් යම් වේදිකාවක් නිර්මාණය වීම.
ජාතික ජන බලවේගය කතා නොකරන සෘජු වාම අපේක්ෂා සහිත මිනිසුන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය වීම. දැනට එයාලට යන්න තැනක් නැහැ.
ඒ ඔක්කොටම වඩා වෙනත් ආකාරයේ අත්හදා බැලීමක් සඳහා ඉඩක් නිර්මාණය කිරීම. ඒ ඔස්සේ තවත් ඕනෑම දෙයක් සිදුවීමට ඉඩතිබීම.
ජාතික ජන බලවේගය වෙනුවෙන් දෘෂ්ටිමය අනෙකෙක් නිර්මාණය වීම. සහ ඒ ඔස්සේ ජාතික ජන බලවේගයට යම් යම් අගතීන්ගෙන් නිවැරදි වීමට හැකිවීම.
මේ සියල්ලටමත් වඩා මාලිමාවෙන් පසු දේශපාලනයක් වෙනුවෙන් වන ප්‍රවාහයක් දැන් සිටම නිර්මාණය වීම හොඳ දෙයක්.
කොහොම උනත් ආරම්භක ප්‍රවේශයක් හැටියට ගත්තම මට නම් ජන අරගල සංධානයේ ජනප්‍රිය වයිබ් එක මදි. එයාල ගෝල්ෆේස් නොස්ටැල්ජියාවෙන් මිඳුනොත් තවත් හොඳයි. මොකද මේ එන්නේ මැතිවරණයක්. ඒක වෙනස්ම බෝල්ගේම් එකක්.
මොනවා උනත් මොකක් හරි දෙයක් පටන්ගන්න එක හොඳයි...❤ ජය!
@මේ ගෝල්ෆේස් අරගලයේ මම ආසම ෆොටෝ එකක්. හැබැයි අතීතකාමයක් නැහැ.
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි
මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 900 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 31630 ක් හා මීටර 900 ත් 1500 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 4875 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතය වටා තවත් වනාන්තර හෙක්ටයාර 2500 ක් පමණ අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එසේ අනාරක්ෂිත ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් ය. එම වනාන්තර සියල්ල සිංහරාජ වන රක්ෂිතය හා සම්බන්ධ ව ඇති අතර සුවිශේෂී ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අතර ජල පෝෂක ප්‍රදේශ ලෙස ද ක්‍රියා කරයි.
වර්තමානය වන විට සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළි කරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තරය. මෙම වනාන්තර ප්‍රදේශ තුළ මුළු ලොවින් ම සිංහරාජයට පමණක් ආවේණික ජීවී විශේෂ බහුල ව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු ව ඇත. මේ ක්‍රියාවලිය ප්‍රමාද වන සෑම නිමේෂයක දීම සිදු වන්නේ එම වනාන්තර ජෛව ප්‍රජාව සමඟ මෙරටට අහිමි වීම ය.
මේ ආකාරයෙන් සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල - වලන්කන්ඳ කොටසට මායිම් ව පිහිටි අක්කර 600 කට වඩා වැඩි ව්‍යාප්තියක් පැවති රෝස්මෙරි වත්ත වනාන්තරය සීඝ්‍රයෙන් එළි කරමින් තේ වගාව හා එනසාල් වගාව ව්‍යාප්ත කරනු ලැබේ. මෙම වනාන්තර පද්ධතිය ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රක්වාන දකුණ හා කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම් දෙකට, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්නිල ග්‍රාම නිලධාරී වසමට සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොළේකන්ඳ ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. රෝස්මෙරි වත්ත වනාන්තරය වතු කොටස් 5 කට අයත් වේ. අක්කර 129 ක් වන රෝස්මෙරි වත්ත, අක්කර 255 ක් වන බොයිනේ වත්ත, අක්කර 123 ක් වන එවර්ටන් වත්ත සහ අක්කර 40 බැගින් වන ටුලුකන් වත්ත හා ග්ලෙනල්වා වත්ත වශයෙන් මෙම වනාන්තරය පිහිටා තිබේ.
මෙම වනාන්තර පද්ධතියෙන් ආරම්භ වන ප්‍රධාන දියපහරවල් ගණනාවක් වේ. එනම් ඉදිකඩ දොළ, බීරි දොළ, අමුණුකරේ දොළ, හල් දොළ, පොළොන් ඇල්ල, හීන් දොළ, අනන්ත දොළ හා සන්නස් දොළ වශයෙනි. මෙම දියපහරවල ජලය ප්‍රධාන වශයෙන් ම කළු ගඟට එක් වන අතර රක්වාන දොළ ඔස්සේ වලවේ ගඟට ද මෙම වනාන්තරයේ දියපහරවල ජලය එක් වේ.
මෙම ජල මූලාශ්‍ර පදනම් කර ගෙන ප්‍රජා ජල ව්‍යාපෘති 5 ක් ක්‍රියාත්මක වේ. රක්වාන කුඩා නගර ජල ව්‍යාපෘතිය, රක්වාන ප්‍රාදේශීය සභා ජල ව්‍යාපෘතිය, ගංගොඩ - කොට්ටල ප්‍රජා ජල ව්‍යාපෘතිය, වෙරළුගහමුල පැරණි හා වෙරළුගහමුල නව ප්‍රජා ජල ව්‍යාපෘතිය යන ජල ව්‍යාපෘති මගින් පවුල් 5000 කට පමණ පානීය ජලය සැපයීම මේ වනාන්තර පද්ධතියේ ජල පෝෂක මත සිදු වේ.
මෙවන් වූ සුවිශේෂී වනාන්තර පද්ධතියක් අද වන විට පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් විනාශ කරමින් පවතී. ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ වන රක්ෂිතයේ වලන්කන්ඳ කොටස හා සම්බන්ධ ව පිහිටා ඇති ටුලුකන් වත්තේ ගල්ඇන්ඳහේන ප්‍රදේශයේ අක්කර 15 ක පමණ වනාන්තර ප්‍රදේශයක් නීති විරෝධී ව අත්පත් කර ගෙන සිටින, කෙලින්වීදිය, රක්වාන ලිපිනයේ පදිංචි මොහොමඩ් ෂරීෆ මොහොමඩ් ඉයාස් (එම්. එස්. එම්. ඉයාස්) නම් පුද්ගලයකු විසින් වනාන්තරයේ යටි ස්ථරය සම්පූර්ණයෙන් ම ඉවත් කර 2023 වසරේ මුල් කාලයේ දී එනසාල් වගාව ආරම්භ කෙරිනි. ටුලුකන් වත්තේ වනාන්තරවල සිට බොයිනේ වත්තේ වනාන්තර ද මේ වන විට මහ පරිමාණයෙන් මෙම පුද්ගලයා විසින් ඉවත් කර ඇත. එනසාල් වගාවට අමතර ව වනාන්තර ඉවත් කර තේ වගා බිම් ව්‍යාප්ත කිරීම ද මේ වන විට සිදු කරමින් පවතී.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර 5 ක පමණ වනාන්තර භූමියක් බදු පදනම මත ලබා ගෙන එය භාවිත කර මේ වන විට අනවසරින් අක්කර 15 ක් පමණ වනාන්තර එළි කර නීති විරෝධී ව අත්පත් කර ගෙන ඇත. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතයට මායිම් ව පිහිටි මෙම වනාන්තර ඉඩම වටා විදුලි වැටක් ඉදි කර තිබේ. මේ මගින් සිංහරාජ අඩවියේ ජීවත් වන සතුන්ට ද විශාල බලපෑම් ඇති වෙමින් තිබේ. මේ තත්ත්වය පාලනය කිරීමට මෙම වනාන්තර ඉඩම් සියල්ල ම සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කළ යුතු ව ඇත.
මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිත ව ඇති ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ධාශයට අයත් රක්වාන දකුණ ග්‍රම නිලධාරී වසමට හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොළේකන්ඳ ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි රෝස්මෙරි වත්ත හා එවර්ටන් වත්ත යන වනාන්තර ප්‍රදේශ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් අත්පත් කර ගෙන මේ වන විට විවිධ භාවිතයන් සඳහා යොදා ගෙන ඇත. අක්කර 129 ක් වන රෝස්මෙරි වත්ත 1987 වසරේ දී ප්‍රකාශන ඔප්පුවක් මගින් දැනට ජීවතුන් අතර නොමැති සිරිවර්ධන කුරුප්පු නම් පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන ඇති අතර පසු ව ඔහු ගේ දරුවන් වන රොහාන් කුරුප්පු හා සුදර්ශන කුරුප්පු යන අයට එම ඉඩම අයත් වී ඇත. ඔවුන් විසින් අක්කර 30 ක් පමණ වන වනාන්තරයක් කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ලලිත් රාජපක්ෂ යන අයට විකුණා තිබේ. ඔහු විසින් මෙම ඉඩමට පරිභාහිර ව පිහිටි වනාන්තර ද එළි කර තේ වගා බිම් ව්‍යාප්ත කිරීම හා හෝටලයක් ඉදි කිරීම සිදු කර ඇත. එම ඉඩමෙහි ඉතිරි අක්කර 99 ක වනාන්තර ප්‍රදේශය ගොඩකවෙල, බලවින්න ප්‍රදේශයේ පදිංචි ජයරත්න කුරුප්පු නම් පුද්ගලයකු විසින් මිල දී ගෙන ඔහු ගේ පවුලේ අයට අයත් සමාගමක් මගින් වනාන්තර එළි කරමින් සංවර්ධනය කරමින් පවතී.
මීට අමතර ව අක්කර 123 ක් වන එවර්ටන් වත්ත එම්. එස්. මරික්කාර් නම් පුද්ගලයකු විසින් එවර්ටන් වැවිලි සමාගම නම් සමාගමක් යටතේ වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන මේ වන විට වනාන්තර එළි කරමින් තේ වගා බිම් ව්‍යාප්ත කිරීම, දැවමය ශාක කපා විකිණීම සිදු කරයි. මීට අමතර ව කළුගල් කැනීම ද සිදු කර ඇත.
මේ ආකාරයෙන් වැසි වනාන්තර විනාශ කිරීම හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 ක් පමණ බව තහවුරු වී තිබේ. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84 කි. ඒ අනුව ලංකාවේ දැනට ඉතිරි වී ඇති වැසි වනාන්තර ප්‍රමාණය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.
මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13 කට ප්‍රථම මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට මේ ආකාරයෙන් තේ, එනසාල් හා කටුපොල් වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.
මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම හා වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.
නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.
ආරක්ෂිත නොවන මේ සියලු වැසි වනාන්තර එළි කිරීම් සිදු කරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම හෝ වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශිත රක්ෂිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පස සංරක්ෂණ කලාපයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය.
ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.
නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාලයේ නිලධාරීන් මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට උපදෙස් ලබා දී ඇත්තේ එකවර හෙක්ටයාර එකකට වඩා අඩු නැතහොත් අක්කර 2.5 කට වඩා අඩු වනාන්තර කොටස් හෝ සිංහරාජ වන රක්ෂිතයේ මායිමේ සිට මීටර 100 කට වඩා දුරින් පිහිටි වනාන්තර හෝ එළි කිරීම සිදු කරන ලෙස ය. ඒ ආකාරයෙන් සිදු කරන වනාන්තර එළි කිරීම් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට අයත් නොවන බවට නීති විරෝධී ව වනාන්තර එළි කරන පුද්ගලයන්ට මෙම නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත. අප මෙම වන විනාශයන් සිදු කරන ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම ක්‍රියාවල නිරත පුද්ගලයන් අප සමඟ පැවසූවේ මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට උපදෙස් ලබා දී ඇති බව ය. එපමණක් නොව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද ඉඩම් ජාවාරම්කරුවන් හා එක් ව වනාන්තර ඉඩම් කොල්ලය සිදු කරමින් සිටී.
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් නීතියෙන් රිංගා යාමට ජාවාරම්කරුවන්ට උපදෙස් ලබා දී ඇති නමුත් උක්ත නීතිමය තත්ත්වයන්ට අමතර ව මෙලෙස නිති විරෝධී ව එළි කරන වනාන්තර ඉඩම් සියල්ල 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රදේශ වේ. ඒ අනුව මෙම ප්‍රදේශයේ වනාන්තර එළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වයන් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මෙම නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් සිංහරාජ අඩවිය හා ඒ වටා පිහිටන සියලූ ම පරිසර පද්ධති, ජල පෝෂක බිම් ඇතුළු සියල්ල ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් නීති හා අණ පනත් සකස් කිරීම ද සිදු කළ යුතු ය. සිංහරාජ අඩවිය හා ඒ වටා පිහිටි ප්‍රදේශයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීම මෙන් ම ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවේ යෙදවීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී.
එසේ තිබිය දී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වනාන්තර විනාශ කළ හැකි ආකාරය පිළිබඳ ව ජාවාරම්කරුවන්ට උපදෙස් ලබා දීමෙන් පෙනී යන්නේ මෙම සුවිශේෂී වනාන්තර පද්ධතිවල වටිනාකම පිළිබඳ ව කිසිදු අවබෝධයක් මෙම වනාන්තර විනාශ කිරීමට උපදෙස් ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට නොමැති බව ය.
මෙම සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අප යෝජනා කරන්නේ සිංහරාජ වන රක්ෂිතය වටා කිලෝමීටර 2 ක ප්‍රේරක කලාපයේ පිහිටි සියලු වනාන්තර ආරක්ෂිත තත්ත්වයට පත් කරන ලෙස ය. මෙම වනාන්තර පනත් දෙකක් යටතේ ආරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස හෝ 2022 අංක 7 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව අභය භූමියක් ලෙස හෝ ප්‍රකාශයට පත් කර සිංහරාජ වන රක්ෂිතය වටා පිහිටි සියලූ ම අනාරක්ෂිත වනාන්තර ආරක්ෂිත තත්ත්වයට පත් කළ බව ය.
මෙම පනත් දෙක ම යටතේ රජයට අයත් නොවන ඕනෑ ම භූමි ප්‍රදේශයක් රජයට අත්පත් කර ගැනීමකින් තොර ව ආරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි ය. විශේෂයෙන් අභය භූමියක් ලෙස සිංහරාජ වන රක්ෂිතය වටා කලාපය ප්‍රකාශයට පත් කිරීමෙන් සිංහරාජයේ ජීවත් වන අලි දෙදෙනා ගේ රැකවරණය සුරක්ෂිත කිරීම හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිමය මැදිහත් වීම සිංහරාජ අඩවිය ආරක්ෂා කිරීම සඳහා ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය ක්‍රියාත්මක කරන අතරතුර නීති විරෝධී ව වනාන්තර එළි කරන පුද්ගලයන්ට හා ඒ සඳහා උපදෙස් ලබා දුන් නිලධාරීන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ලෝකයේ අලුත්ම ලොකුම පොහොසතා මෙන්න !
ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාමවල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි.
වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 76ක්. එනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න මුදලක්. මේ වන විට එම පවුලේ වත්කම් එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය සිදු වන්නේ වසංගත කාලයේදී සහ ඉන් පසුවයි.
වසංගත කාලයේදී ලුවී විටෝන්, සෙපෝරා වැනි සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තවත් ඉහළ ගියා මිස පහත වැටුණේ නැහැ. එයට එක් හේතුවක් සේ සැලකෙන්නේ වසංගත කාලයේදී බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මානසික මට්ටම පහත වැටීම වලක්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිල දී ගැනීමයි. වසංගතයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ බොහෝ රටවල් විසින් මුදල් සැපයුම වැඩි කිරීම මීට තවත් හේතුවක්.
ලෝකයේ සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳාමෙන් හතරෙන් එකක් පමණ උතුරු ඇමරිකාව (ඇමරිකාව හා කැනඩාව) තුළත්, තවත් හතරෙන් එකක් පමණ යුරෝපය තුළත් සිදු වන අතර චීනය තුළද ආසන්න වශයෙන් හතරෙන් එකක සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියක් සිදු වනවා. මෙම වෙළඳපොළවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ චීනයයි. 2030 වසර වන විට ලෝක සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොළ තුළ චීනයේ පංගුව 40% දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
ලෝක ජනගහණයෙන් පහෙන් එකක් පමණ ජීවත් වන චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වෙද්දී සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලුමද වේගයෙන් ඉහළ යාම මීට හේතුවයි. මේ වන විටද මෙම වෙළඳපොළ යුවාන් බිලියන 600ක පමණ, එනම් ඩොලර් බිලියන 85ක පමණ වෙළඳපොළක්. එයින් 10%ක පමණ ලොකුම පංගුව තිබෙන්නේ ලුවී විටෝන් හා සෙපෝරා ඇතුළු ආර්නෝ පවුලේ පාලනය යටතේ තිබෙන සන්නාම වලටයි.
වසංගත කාලයේ මන්දගාමී වී තිබුණු චීනයේ ආර්ථිකය මේ වන විට නැවතත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සමඟම චීනය තුළ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුමද වේගයෙන් ඉහළ යනවා. මීට සමාන්තරව ආර්නෝ පවුලේ වත්කම්ද ඉහළ යනු දැකිය හැකියි.
කෙසේ වුවත් මේ අයුරින් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යද්දී එහි වාසිය ලැබෙන්නේ බනාඩ් ආර්නෝ වැනි ධනවතුන්ට පමණක් නෙමෙයි. මෙම භාණ්ඩ වල සැපයුම් දාමයන්ට සම්බන්ධව ලොව පුරා විසිරී සිටින විශාල පිරිසකගේ ආදායම් ඉහළ යාමට මෙය හේතු වෙනවා.
ඉකොනොමැට්ටා ගේ ෆේස්බුක් පිටුවෙනි
පවිත්‍රා වන්නිආරච්චි සමනල වැව හා වනාන්තර අක්කර 2000 ක් ඉවත් කර නීති විරෝධී විදුලි වැටකින් අලි - ඇතුන් ගේ වාසස්ථාන දෙකඩ කිරීම අඛණ්ඩව කරයි - සජීව චාමිකර
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් නීති විරෝධී ව විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 30 කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට අවසන් කර ඇත. මෙම වනාන්තරය රජවක වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරයි. ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරය කොටස් දෙකකට වෙන් කර ඇති අතර අලි - ඇතුන් ගේ වාසස්ථාන සම්පූර්ණයෙන් ම අවහිර කර දැවැන්ත හානියක් සිදු කර ඇත. මේ නිසා අලි - ඇතුන්ට පමණක් නොව අනෙක් විශාල ක්ෂීරපායී සතුන්ට ද සමනල වැව දෙසට පිවිසීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම විදුලි වැට මගින් අවහිර වනු ඇත.
මෙම විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් සමනල වැව, කොස්ගම තලාව, කොස්ලන්ද, සොරගුනේ හා වෑඑළිය ඇතුළු අක්කර 2000 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් අලි - ඇතුන්ට අහිමි වේ. නිවැරදි සැලැසුමකින් තොර ව විශාල වනාන්තර පද්ධතියක් දෙකඩ කර අලි - ඇතුන් ගේ වාසස්ථාන අවහිර කර විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ වර්ධනය වනු ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකළමුල්ල, දෙනිපිටිය, ගොමිඅරාව, කෙරතල, වෑගුණපට්ටිය හා බලිදුවැව යන ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී ඇත. ඒ සඳහා සමනල වැව වනාන්තරය දෙකඩ කර විදුලි වැටක් ඉදි කිරීම අවශ්‍ය නොවන අතර මෙම ගම්මාන වට කර පෝටකඩ සිට ඇල්ලකඳුර ගල දක්වා විදුලි වැට සකස් කළ විට මේ සියලූ ම ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම පාලනය වේ. මේ වන විට කෙරතල ගම්මානය වටා විදුලි වැටක් සකස් කර ඇත. ඒ ආකාරයෙන් අනෙක් ගම්මානවලට ද අලි - ඇතුන් පිවිසීම පාලනය කළ හැකි ය. ඒ වෙනුවට දැවැන්ත වන විනාශයක් හා සුවිශේෂී වනාන්තර පද්ධතියක් දෙකඩ කිරීම අවශ්‍ය නොවේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇත. නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි - ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරීන් ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති ව ය.
ක්‍රමවත් සැලැසුමකින් තොර ව අලි - ඇතන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි විදුලි වැටවල් ඉදි කිරීම හේතුවෙන් අලි - මිනිස් ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබිය දී මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන ආකාරයෙන් අලි - ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය කිරීමෙන් මෙම ගම්මානවල මෙන් ම ඒ අවට ගම්මානවල ජනතාවට ද අනාගතයේ දී දරුණු අලි - මිනිස් ගැටුමකට මුහුණ දීමට සිදු වනු ඇත.
සමනල වැව වනාන්තරය ඇතුළු ව විශාල වනාන්තර ප්‍රදේශයක් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2008 නොවැම්බර් 25 වන දින අංක 1577/5 දරන ගැසට් නිවේදනය මගින් රජවක වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 7(1) උප වගන්තිය යටතේ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. එම උප වගන්තියට අනුව රක්ෂිත වනයට අයුතු ලෙස ඇතුළු වීම හා රැඳී සිටීම, ගස් කැපීම, පොතු ගැලවීම, ශාක පිළිස්සීම, දියපහරවල් අවහිර කිරීම, වනය තුළ ඇති පැළෑටි හෝ කොටස් ඉවත් කිරීම, ප්‍රවාහනය, විනාශ කිරීම, වැලි, පස්, ගල් ඉවත් කිරීම, යන සියලූ ම ක්‍රියා තහනම් වේ.
එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතරදඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේකව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.
පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඬුවමට ම යටත් විය යුතු ය.
එපමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව පාලනය වන රජයට අයත් වනාන්තර කොටස් එළි කරමින් මෙම විදුලි වැට ඉදි කිරීම සිදු කරයි. මෙම වගන්තියට අනුව රජයට අයත් වනයක ගස් ගපා හෙළීම, දැව හෙළීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ. එවන් තහනම් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව අධිකරණය විසින් නියම කළ වන්දි මුදලක් දඩයක් ලෙස හානිය සම්බන්ධයෙන් ගෙවීම ද කළ යුතු ය. මීට අමතර ව පනතේ 20(2) උප වගන්තියට අනුව රජයට අයත් වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය. එය පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාරට ද අදාළ වේ.
මෙම පනතට අමතර ව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන විදුලි වැටවල් කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.
අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මෙම නීතිමය තත්ත්තවයන් උල්ලංඝනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට අභිමත බලය භාවිත කර සමනල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර හා රජවක වන රක්ෂිතයට අයත් අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර විදුලි වැටක් ඉදි කිරීමට අනුමැතිය ලබා දීමට කිසිදු බලයක් නොමැත. මෙය නීති විරෝධී ක්‍රියාවකි. එපමණක් නොව බලය අයුතු ලෙස භාවිත කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන්න මෙමගින් උල්ලංඝනය කර ඇත.
විදුලි වැටක් ඉදි කිරීමේ දී එක් කිලෝමීටරයක් සඳහා අක්කර 2.5 ක වනාන්තර ඉවත් කිරීමට සිදු වන අතර රුපියල් මිලියන 2 ත් 3 ත් අතර මුදලක් වැය වේ. මේ මගින් කොමිස් මුදල් ලබා ගැනීම හා දැව ජාවාරම පදනම් කර ගෙන මෙම විදුලි වැට ඉදි කරන බව පෙනෙන්නට තිබේ. එසේ නොමැති නම් මෙම විදුලි වැට ජනාවාස ආවරණය කර ඉදි කිරීම සිදු කළ යුතු ය.
රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී හා අලි - ඇතුන් ගේ වාසස්ථාන ඇතුළු සමනල වැවේ ජල පෝෂක වනාන්තර දෙකඩ කරන අවිධිමත් විදුලි වැට ඉදි කිරීම වහා ම නතර කර ඒ වෙනුවට පෝටකඩ සිට ඇල්ලකඳුර ගල දක්වා විදුලි වැට නිවැරදි අධ්‍යයනයක් හා සැලැසුමක් මත පදනම් ව මුල්ගම ඇතුළු ගම්මාන ආවරණය වන පරිදි ඉදි කර අලි - ඇතුන් ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීම වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර සිටිමු. මීට අමතර ව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් දැව ජාවාරම්කරුවන් හා නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම්වලට මැදිහත් වන ව්‍යාපාරිකයන් වෙනුවෙන් මේ අකාරයෙන් අන්තනොමතිකව ගනු ලබන තීරණ හා නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට ද පියවර ගත යුතු ව ඇත.
අවන්තගේ රනිලියානු සත්‍යය..!
මනෝවිශ්ලේෂණය සත්‍යයක් නම්, දෙවියන් මියගිය බව ද සත්‍යයක් නම්, අවන්ත ආටිගල සත්‍යයක් නම්, රනිල් වික්‍රමසිංහ ද සත්‍යයක් නම්, ඉඳින් මේ සමඟ අමුණන කාටූනය වනාහී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කාටූන් ශිල්පියෙක් ඇඳි හොඳම සමකාලීන ලාංකික කාටූනය වන්නේය. එසේම රනිල්ගේ ප්‍රචාරක බලකාය විසින් ඉතාම හොඳින් මාකට් කලයුතු කාටූනය ද මෙය වන්නේය.
එය දැනටමත් රනිල් ප්‍රචාරණ යාන්ත්‍රණය විසින් කලඑළි බස්වා ඇති ''සැබෑව'' (Reality) ප්‍රචාරක ටැග් ලයිනය සමඟද නියමෙටම පෑහෙන්නේ ය. එනම් ඒ ''සැබෑව'' යන්න ලකානියානු රියල් (Real) යන්නට සමාන්තර ලෙස ගැටගසා ඇති හෙයින් ය.
රියල් (The Real) යනුවෙන් ලකාන් අදහස් කරන 'යථාව' යනු කිසිම තිරයක (screen) ආධාරය නොලබන්නකි. තිරයක් නොමැතිව පවතින්නකි. එනම් එය ඇත්තේ හෙළුවෙන් ය. අමු හෙළුවෙන් ය. අමුම අමු හෙළුවෙන් ය. එය මුණගැසීම එනිසා අසීරුය.
තිරයට පිටුපසින් ඇති බිබික්කමක් නැත. දෙවියන් ඉන්නවා යැයි කිවූවද ඇති දෙවියෙක් නැත. නැති දෙවියෙක් ඇතැයි කියමින් තිරය ළඟ ඉන්නේ කපුවෙක්ය. දෙවියන් නැති බව ඌ දන්නවා උනත් කාසි (චන්ද) නිසා ඌ ඉන්නේ දෙවියන් ඇති සැටියට ය. ඒ නිසා ඇත්තටම පවතින්නේ තීරය ය.
ඉතිහාසය තුළ තිරය මේ අයුරින් දෘෂ්ටිවාදයේ ආරම්භය සහිටුහන් කරන්නේ ය.
තිරය නිසා අපි හිතන්නේ තිරයට පිටුපසින් මොකක් හෝ ඇති කියාය. එය දෙවියන්ගේ හෝ කපුවාගේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. තිරය කරන්නේ අපේ රෝගී ප්‍රක්ෂේපනයට උදව් දීමක් පමණකි.
අවන්තට අනුව රනිල් කර ඇත්තේ තිරය ඉවත්කර අපිට යථාව මුණගැසීමට සැලැස්වීමකි. කෙලින් ම දෙවියන් නැති බව නිරුවත් ලෙස පෙන්වීමකි. එය සාමාන්‍ය දේශපාලඥයින් කිසිදා නොකරන දෙයකි. ඒ නිසාම අවන්තගේ ඉතුරු දෙදෙනා එසේ කර නැත. කාටූනයට අනුව එය රනිල් විසින් කළ රැඩිකල් වැඩකි.
අවන්තගේ රනිල් වැඩිය සීනුව හොලවන්නේ ද නැත. ඒ මාකට් කිරීමට තරම් දෙවි කෙනෙක් නැති හෙයින් ය. මේ අයුරින් තිරය නම් දෘෂ්ටිවාදය ඉවත්කර යථාවේ දේශපාලනය ආරම්භ වන්නේය (The ploitics of the Real).
තිරය ඉවත්කර ඇති හෙයින් දෙවියන් නැත. දෙවියන් නැති හෙයින් දේවාලයක් නැත. දේවාලයක් නැති නිසා කපුවෙක්ද නැත. දෙවියන් නැති නිසා යක්ෂයක් ද නැත.
කිසිවක් වසන්කර නැති නිසා බිමට වැටීමට කලිසමක් නැත. සමට යටින් නිරුවතක් ද නැත. දෘෂ්ටිවාදය ඉවත් වූ පසු අවසානයේ කිසිවක් ම නැත. ඇත්තේ ගැඹුරු ශුන්‍යබවක් පමණි. එයට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යය.
දැන් තේරීම ඔබට බාරය.
(මෙය කාටූනයට අදාළ සටහනක් පමණි). 🙂
( මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි )
ක්‍රිකට් නම් අරුමැසි බව ජයගත්ත එකට සතුටුයි !
ඉන්දියාවේදි ඉන්දියන් ප්‍රේක්ෂකයින් ඉස්සරහා වෙනත් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් උස්සනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. ඒක ඊයේ ඉන්දියන් භූමියේදීම ඔස්ට්‍රේලියාව කළා. ඔවුන්ට සුබපැතුම්!
කමින්ස් කලින්දා ප්‍රෙස් එකේ කිව්වේ ඔවුන්ගේ ආශාව මිළියන ගණනක් ඉන්දියන් ප්‍රේක්ෂකයින් 'නිහඬ කරන' එක කියල. එහෙම නිහඬ කිරීමේ අභියෝගය සුන්දර එකක් කියල. ඊයේ තරඟයේ මුල ඉඳල ඔවුන් කරන්න ගත්තේ ඒක. ඒ කියන්නේ ඉන්දියාව තුෂ්නිම්භූත කරන එක. ඔය ''නිහඬ බව'' (silence) කියන එකේ තියනවා පොඩි ක්‍රිස්තියානි ආවේශයක්.
ගෝෂාකාරී ඉන්දියාව නිහඬ කළා කියන්නේ දේවල් තවදුරටත් ඔවුන්ගේ පාලනයේ නැහැ කියන එකට සංකේතයක්. ඒක තමයි ඔසියන්ගේ ජයග්‍රහණයේ පළමු පියවර. ඒක ශිෂ්ටාචාර අභියෝගයක්. ඒ අනුව ඔසියෝ අභියෝග කළේ ඉන්දියන් ක්‍රිකට්වලට නෙවෙයි. ඉන්දියන් ශිෂ්ටාචාරයට. අනන්‍යතාවට. දැන් ඔයාලට තේරෙන්න ඕනි අගමැති මෝදිගේ වේදනාව.
ඇත්තටම වෙනත් විදියකට ආයෙත් ප්‍රාදූර්භූත වුණේ සුදු ස්වාමියා සහ යටත්විජිත ස්වාමි මානසිකත්වය. ඔය නිශ්ශබ්ද කතාවෙන් තමයි ඔසියෝ එයාලගේ ''මානසික ගේම් එක'' පටන්ගත්තේ. ඒක ගැඹුරු දේශපාලනයක්.
තරඟ ආරම්භයේ ඔසීල හිටියේ එච්චර කැපීපෙනෙන තැනක නොවුනත් ඔවුන් තරඟ මාලාවේ අතරමඟදී තරඟාවලියට ඇත්තටම මුහුණදෙන්න ගත්ත. ඒකෙ එක හැරවුම් ලක්ෂයක් තමයි ඇෆ්ගනිස්ථානය එක්ක තිබ්බ මැච් එක. ඒ මැච් එකේ මැක්ස්වෙල් ක්‍රීඩාකරපු ඉණිම ඇතුලේ ඔවුන් ඔප්පුකළා මේ තරඟාවලියේ ඔවුන්ටත් ඕනෑම දෙයක් සිද්ද කළ හැකියි යන්න. ඒ නිසා ඊයේ ෆයිනල් එකේ ඔසීලගේ විකට් තුනක් අඩුවට වැටෙද්දී දිගින් දිගට කැමරා කෘ එක පෙන්නන්න ගත්තේ මැක්ස්වෙල්ව.
ඒ මැච් එකෙන් තමයි ඔවුන් මානසික ආධිපත්‍යය පතුරුවන්න ගත්තේ. ඒ එක්කම ඔවුන් ගහනවා දකුණු අප්‍රිකාවට.
ඊයේ මැච් එක කැරකෙන්න හේතු උණේ ඔවුන්ගේ ප්‍රවේශම් පන්දුයැවීම. ඒ වගේම විශිෂ්ට පන්දුරැකීම. ඒ සියල්ල සමඟ ට්‍රැවිස් සහ ලබශේන්ගේ අනර්ඝ සම්බන්දතාව. ඒ හැමපාරම ඔවුන් ඉන්දියාව නිහඬ කළා...
වැඩිය සද්දයක් තිබ්බේ නැති ට්‍රැවිස් හෙඩ් සෙන්චරියක් දැම්ම. ඒ තමයි ලෝක කුසලානයක අවසන් තරඟයක හඹායෑමකදී ගත්ත දෙවැනි ඒ වර්ගයේ ශතකය. අනික තියෙන්නේ ශ්‍රේෂ්ට අරවින්ද ද සිල්වාගේ නමට.
පිටපතකට අනුව සකස්කරලා තිබ්බ (scripted) මේ කුසලානේ ජයග්‍රහණය සැමරීම ඒ පිටපතින් ගලවලා අරගෙන තමන්ගේ පිටපතකට අනුව (පිටපතක් නැතුව) ඔසියෝ අරන්ගියා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි උනත් මේ මැච් එකට ඇවිල්ලා හිටියේ ඒ පිටපතට අනුව කියල මට හිතෙනවා. කොහොම උණත් බටහිරයෝ හැදුව ක්‍රිකට් කියන්නේ ගොඩක් වෙලාවට පිටපතකට අනුව රඟදක්වන්න බැරි හරි අපූරු ක්‍රීඩාවක්. පුරෝකථනය කරන්න බැරි එක්තරා මැජික් ගතියක් ඒකෙ තියනවා. ඒකම තමයි ක්‍රිකට්වල ලස්සන. අරුමැසි බව.
මම කැමතිම ඒ පිටපතකට අනුව ගහන්න පුළුවන් කියල හිතපු ක්‍රිකට් පරාජය උණාට. ඇත්තටම දිනුවේ ඔසියෝ නෙවෙයි. ක්‍රිකට්වල අනුහස් සහගත බව. පුදුම සහගත බව. ඕනෑම දෙයක් සිද්ද වෙන්න පුළුවන් බව. බටහිර බව.
ඒ නිසා සතුටුයි....❤
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි