Language Switcher

V2025

'මහ බැංකුව දිගටම සල්ලි අච්චු ගහනවා' - රොහිණි කවිරත්න

මාලිමා ආණ්ඩුව මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධව රොහිණි කවිරත්න යළි මාධ්‍ය  වෙත පවසා සිටී.

මාලිමා ආණ්ඩුව මුදල් මුද්‍රණය කළා යැයි පළමුවෙන් ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී, මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රොහිණි කවිරත්න ය.

ඉක්බිති ඇය දෙවන වරට ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ය.

අද ඇය නැවත වතාවක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව විවෘත වෙළඳපළ ක්‍රමය යටතේ මුදල් මුද්‍රණය කළා යැයි අනාවරණය වීමෙන් අනතුරුව, පසුගිය දින කිහිපය තුළ බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇත. නමුත්, මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටින බව ඇය පවසන්නි ය.

මතු දැක්වෙන්නේ අද රෝහිණි කවිරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය නිකුත් කළ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළා

විවෘත වෙළඳපළ ක්‍රමය යටතේ මුදල් මුද්‍රණය කිරීම අනාවරණය වීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුළ බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති නමුත්, මහ බැංකුව මුදල් මුද්‍රණය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටී.

නොවැ. 08 දින රු. බිලියන 10ක් ද, නොවැ. 07 දින රු. බි. 15ක් ද, නොවැ. 06 දින රු. බි. 20ක් ද මහ බැංකුව විසින් පද්ධතියට පොම්ප කරනු ලැබ ඇත. මෙය ඔක්. 15න් පසුව දිනකට පොම්ප කරන ලද අඩුම මුදල් ප්‍රමාණය යි. ඔක්තෝබර් 29, 30 දිනවල අන්තර් බැංකු හුවමාරුවෙන් පසුව මහ බැංකුව වෙත ලැබුණු ප්‍රමාණය රු. බිලියන 200 ඉක්මවා ගිය අතර, මේ වන විට එය නැවත රු. බිලියන 165 – 180 ප්‍රමාණය රඳවා ගැනීමට පසුගිය සතියේ මහ බැංකුව කටයුතු කර ඇත.

අඩු පොලියට බැංකු පද්ධතියට මුදල් පොම්ප කිරීම හෙවත් මුදල් මුද්‍රණය කිරීම අඛණ්ඩව සිදු වන අතර, එය රනිල් වික්‍රමසිංහ රජය යටතේ පැවති රිද්මය සහ ප්‍රමාණයට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී. අඩු පොලියට එක් රැය (overnight action) වෙන්දේසි ක්‍රමය යටතේ නොවැ. 1, 4, 5, 6, 7 සහ 8 දිනවල පිළිවෙළින් රු. බිලියන 50, 20, 35, 20, 15 සහ 10 ලෙස අඩු පොලී අරමුදල් මහ බැංකුව නිදහස් කර ඇත.

අන්තර් බැංකු හුවමාරුවේ මුදල් ගනුදෙනු අවසන් කර, මහ බැංකුවේ ස්ථාවර පහසුකම් තැන්පතු සහ ද්‍රවශීලතාව යොදා ගනිමින්, මුදල් අච්චු ගැසීම 2014 ඔක්. 28 දින මා විසින් අනාවරණය කරනු ලැබී ය. එම අනාවරණය සිදු කරන දින දක්වා අඛණ්ඩවම රු. බිලියන 160 – 201 සීමාවේ තැන්පතු ප්‍රමාණය පැවතුණි. කෙසේ වුව ද, සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව නැවත එය රු. බිලියන 165 – 180 දක්වා ක්‍රමිකව පහතට ගෙන ඒමට මහ බැංකුව කටයුතු කළේ ය. ඒ, මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකු වෙත අඩු පොලියට නිකුත් කරන මුදල් ප්‍රමාණය පහත දැමීම හෙවත් මුදල් පොම්ප කිරීම අඩු කිරීම තුළිනි. සරව ම මෙය මුදල් මුද්‍රණය කිරීමකි.

නව රජය බලයට පත්වීමෙන් පසුව අවස්ථා 5ක දී, රු. බිලියන 75, 65, 70, 60 සහ 50 බැගින් වන දින 7කට වලංගු 8.61% සිට 8.65% දක්වා වන පොලී අනුපාත යටතේ වන වාර වෙන්දේසි (term action) සිදු කර ඇත. අවසන් වාර වෙන්දේසිය නොවැ. 12 දින කල් පිරීමට නියමිත ය. දින 7කට වරක් බැගින් අඛණ්ඩව සිදු කරන මෙම ක්‍රියාව තුළින් සිදු වන්නේ ද, අතිරේක මුදල පොම්ප කර තබා ගැනීම හෙවත් මුදල් මුද්‍රණය කිරීමේ මුලික ව්‍යවහාරය යි.

මහා මැතිවරණය හේතුවෙන් පාලනයට ලක්ව ඇති මුදල් පොම්ප කිරීම මහා මැතිවරණයෙන් පසුව නැවත ආරම්භ වීමේ අවදාමක් ද පවතී.

(රෝහිණී කවිරත්න)
මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා