Ad

Ad 01

V2025

පුවත්

පක්ෂ මාරු කළ මැතිඇමතිවරුන් තිගැස්මෙන් !

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් දැන් තිගැස්මෙන් පසුවෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ සිදුකළ කරුණු විමසීමකදීය.

පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි බියක් ඔවුන්ට තිබෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.

එහිදී එම තිගැස්ම  මහින්ද අමරවීර අමාත්‍යවරයාට නොමතිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති වන්නට හේතුවක් නැති බවය.

බෝට්ටුවෙන් ඉන්දියාවට යමුද?

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව හෙට (ඔක්. 10) සිට ක්‍රියාත්මක වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසයි.

ඒ අනුව, ඊට අදාළ අත්හදා බැලීම් චාරිකාවක් ඊයේ (ඔක්. 8) දින සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, ‘චෙරියපානි’ නම් එම මගී යාත්‍රා සේවාව හෙට දින දහවල් 12:30ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දු වීමට නියමිත බව ය.

ප්‍රථම මංගල චාරිකාවට මගීන් 50කට ආසන්න ගණනක් පැමිණෙන බව ත් යාත්‍රාව එදින ම පස්වරු 4:00ට නාගපට්නම් බලා යාත්‍රා කිරීමටත් නියමිත බව ත් එම අමාත්‍යංශය පැවසීය.

ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6 වූ අධිවේගී ⁣”චෙරියපානි” යාත්‍රාවෙන් මගින් 150ක් රැගෙන යාමට හැකියාව තිබේ.

නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 04ක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750ක් ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500ක් ද අය කරනු ලබයි.

ඒ වෙනුවෙන් එක් මගියෙකුට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ සමාගමක් වන ආශා නියෝජිත පෞද්ගලික සමාගම (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේ ද ගමන් ප්‍රවේශ පත් අලෙවි නියෝජිතයෙකු පත් කර ඇති බව එම සමාගම සඳහන් කර ඇත.

මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450ක වියදමකින් නවීන පහසුකම්වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර කරනු ලැබ ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම පර්යන්තය තුළ ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

 

ලංකාවට මැලේසියානු සහාය....

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir  පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir  අතර හමුවක් අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණී.

RCEP වෙත ශ්‍රී ලංකාව ඇතුළුවීමෙන් මෙරට පුළුල් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගතහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මැලේසියානු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින්, “ශ්‍රී ලංකාව අපේ කලාපයට අයත්” බව ප්‍රකාශ කළේය. මෙම ආර්ථික ඉදිරි දර්ශනයේ ප්‍රගතිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දු-පැසිෆික් කලාපය සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) හි අනාගත දැක්ම සමඟ පෙළගස්වන බව මෙහිදී තහවුරු කළේය.

වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) වැනි කලාපීය කණ්ඩායම්වල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වර්ධනය වන සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ට ආරාධනා කළේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.

පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මැලේසියානු රජයට ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාව සමඟ පවතින ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මානව සම්බන්ධතා අතර භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය සැම්බ්‍රි ඇබ්ඩ් කඩීර් (Zambry Abd Kadir) මහතා, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට තම රජය අපේක්ෂා කරන බව පැවසීය.

මැලේසියානු දූත පිරිසට සහකාර මහලේකම්වරුන් වන Dato Syed Mohamed Bakri Syed Abdul Rahman සහ Ahmed Kamrizamil Reza, මහ කොමසාරිස් Badli Hisham Adam ඇතුළත් වූ අතර රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්විය.

සංවත්සරය අස්සේ : එජාපයේ තනතුරු වෙනසක් !  

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවත් එහි දී හිටපු මුදල් අමාත්‍ය මහ ලේකම්වරයා ලෙස පත්කෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී මෙම  පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසසිදුවීමට නියමිතය.

පක්ෂ මහ ලේකම් ධුරය සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායක පත්කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය සමයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට කිහිපයක් සිදුව ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත මෙම පත්කිරීම සිදුකිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.

මේ වන විටත් එළඹෙන වසර මැතිවරණ වසරක් වනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් කතා බහක් මතුව තිබෙන අතර ඒ හමුවේ පක්ෂය ශක්තිමත් කිරීමට නම් සංවිධාන කටයුතු වලදී මෙන්ම  සියලු පාර්ශ්ව සමඟ ගනුදෙනු කළ ජ්‍යෙෂ්ඨයකු මහ ලේකම් ධුරය සඳහා පත්කර  බව  පක්ෂයේ  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගේ මතය වී තිබේ.

ඒ සඳහා සියලු සුදුසුකම් ඇති නායකයා මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන රවී කරුණානායක බව පක්ෂයේ  බහුතර අදහස බවත් දැනගන්නට ඇත.

එසේම පක්ෂය දුර්වලව පැවති අවස්ථාවේ පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම රටේම අවධානය දිනාගන්නා අයුරින් සාර්ථකව පැවැත්වීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සමත්වූ අතරඑහිදී බොහෝ පාක්ෂිකයන් ද ඉල්ලා සිටියේ එම ජවය  පුරා සිටින අලි නැගිටවීමට යෙදවීම සඳහා පෙරට එන ලෙසය.

කෙසේ වුවත් යෝජිත පක්ෂ සම්මේලනයෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ ශක්තිමත් ගමනක් යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මැදිහත්ව මේ වන විට සකස්කර ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නිමා වූ සංචාරය

රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී අභවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සදහන් කළේ ඔහු අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමක් අවසානයේ යලි පැමිණමින් සිටි අවස්ථාවේ තලාව මාර්ගයේ මොරගොඩ නම් ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථයේ වන අලියකු ගැටීම නිසා සිදු වූ අනතුරින් බරපත තුවාල ලැබු ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මිය යන විට 65 වන වියෙහි පසුවුණි.

මෙරට ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ විශිෂ්ට මාධ්‍යවේදියෙකි. තව ද මොහු රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.

සිනමාවට අසහාය සේවයක් කළ මෙතුමාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවකි.

සිනමාවේ ද වේදිකාවේ ද රූපවාහිනියේ ද සූර ලෙස කරක් ගැසූ ජැක්සන් ඇන්තනී නම් මහා සංචාරකයා දිවි ගමනේ සංචාරය නිමාකර ගොස් ඇත. ඔහු කල කී දෑ මෙරට සමාජයේ කාලාන්තරයක් පුරා පවතිනු ඇත.

ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනීට මොක්සුව ලැබේවා...

සැරටම හෙන ගහනවා : කාලගුණයෙන් නිවේදනයක් !

ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද යන පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එසේම නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම යන දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉලංගෙයි තමිල් අරසු තනිවෙයි !

දෙමළ ජාතික සන්ධානය ලෙස ආර් සම්බන්ධන් නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු කරන පක්ෂ ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේ ඉවත් වීමට තීරණය කර ඇත්තේ සෙල්වම් අඩෙයික්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, ආර් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් බුලට් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් යන පක්ෂයි.

එසේ ඉවත් වන පක්ෂ දෙමළ ජාතික සන්ධානයට අයත් නැති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය හා සීවී විග්නේශ්වරන් ගේ පක්ෂය යන උතුරේ පක්ෂ සමග ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

  • Anidda

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මුලසුන ලංකාවට : රැස්වීම ඔක් 23 !

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් ඉදිරි සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඕස්ටේලියානු සහකාර විදේශ කටයුතු අමාත්‍ය ටිම් වොට්ස් (Tim Watts), බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මූමන් (Dr A. K. Abdul Momen), ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් (Dr. Subrahmanyam Jaishankar), ඉන්දුනිසායාවේ දේශපාලන නීති සහ දේශපාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ඇඩම් මුලවර්මන් ටුජිඕ (Adam Mulawarman Tugio), ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් - අබ්දොලාහියන් (Hossein Amir-Abdollahian), මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දතෝ සෙරි ඩිරජා සම්බ්‍රි අබ්දුල් කදීර් (Dato Seri Diraja Zambry Abdul Kadir), මුරුසියේ විදේශ කටයුතු, කලාපීය සහයෝගීතා සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනීෂ් ගොබින් (Maneesh Gobin), ඕමානයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ෂෙයික් ඛලීෆා බින් අලි බින් ඉසා අල්-හර්ති (Sheikh Khalifa bin Ali bin lssa Al-Harthy), සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය අධ්‍යාපන සහ විදේශ කටයුතු පිළිබඳ දෙවන අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් මලිකි බින් ඔස්මන් (Dr Mohamed Maliki Bin Osman), දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය නලෙඩි පන්දෝර් (Dr (Mrs) Naledi Pandor), තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සිහසක් ෆොන්ග්කෙට්කියෙව් (Sihasak Phuangketkeow), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය ෂයිඩ් මුබාරක් අල් හජරි (Sayeed Mubarak Al Hajeri), යේමනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අස්වන් අබ්දුල්ලාහ් අහමඩ් අල්-ඔවුද් (Awsan Abdullah Ahmed Al-aud) යන මහත්ම මහත්මීන් කොළඹ දී පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වනු ඇත.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය මසහිරෝ කොමුරා (Masahiro Komura), කොරියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චන්ග් යුන්ග් - වොන් (Chung Byung-won), එක්සත් රාජධානියේ ඉන්දු - පැසිෆික් අමාත්‍ය ඈන් මාරි ට්‍රැවලියන් Anne Marie Trevelyan යන අය මෙහි සංවාද හවුල්කරුවන් ලෙස එක් වෙති.

අමාත්‍යවරුන්ගේ කවුන්සිලය යනු ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ තීරණ ගැනීමේ ඉහළම ආයතනය යි.

මෙම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මීළඟ සභාපති ධුරය භාර දීමට නියමිත ය. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  මෙම කවුන්සිලයේ මුලසුන හොබවනු ඇත.

කවුන්සිලයට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම ඔක්තෝබර් 9-10 දෙදින පැවැත්වීමට නියමිත ය.

1997 දී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරයේ වටද්දර ප්‍රදේශවල පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයකි. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරති. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත. අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ සභාපතිත්වය භාරගනු ඇත.

වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හරිත ආර්ථිකය ඇතුළුව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයට අදාළව සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව අමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් ආචාර්ය සල්මාන් අල් ෆාරිසි සහ මුරුසි හි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත ය.

මෙරටට පැමිණෙන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවීමට නියමිත ය. තවද, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

'කටවුට් සහ පෝස්ටර්වල මගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න එපා' - ජනපති

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

එසේ ම සෑම පෝස්ටරයකම ත ම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වැළකෙන ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (ඔක්. 8) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ (07) සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.

වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු. සටන්පාඨ දේශපාලනයයි කටවුට් දේශපාලනයයි අපිව මෙහෙට ගෙනාවා. අන්තිමට ආර්ථිකය කට් වුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතින් හිතමු. මම අනිත් දේශපාලන නායකයින්ටත් කියනවා. තමන්ගේ පින්තූරය හැම පෝස්ටරයකම දාන එක උවමනා නෑ කියලා. මිනිස්සු අපි රූපවාහිනියේ එනවා දැකලා බැන බැන ඉන්නවා. පෝස්ටර්වල දාලා අලවලා ඒ අයට තව එකපාරක් දෙන්නේ අපිට බනින්න..."

තව ද දස වසරක සැලැස්මක් තුළ නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව ත් මහවැලි ව්‍යාපාරයෙන් මග හැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කිරිමට පියවර ගන්නා අතරම නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කොළඹ විශාල ගස් ඉවත් කරයි

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කළේය.

ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත්කළේය.

lankadeepa.lk

මහ වැස්සෙන් දිස්ත්‍රික්ක රැසක පුද්ගලයින් එක්ලක්ෂ පහලොස් දහසක පමණ පිරිසක් පීඩාවට.....

නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය අද (08) දිනය තුළ තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මාතර, අත්තුඩාවේ පිහිටි ගංවතුර ආරක්ෂණ ගල් බැම්මෙන් ජලය පිටාර ගැලීම මීට තවත් හේතුවක් වී ඇත. 

මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, S. P. C. සුගිෂ්වර  පැවසීය.

පවතින අවදානම් තත්ත්වය හමුවේ, ජලය පිටාර ගලන ගල්බැම්බ නැරඹීමට ඒ අශ්‍රිත ප්‍රදේශවලට ජනතාවට පැමිණීමෙන් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනු ලැබේ.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පුද්ගලයින් එක්ලක්ෂ පහලොස් දහසක පමණ පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, මාතර දිස්ත්‍රික්කයේ ය.

ගංවතුර හමුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,900 ක පුද්ගලයින් 6,940 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

කළුතර දිස්ත්‍රිකයේ පවුල් 1,062 පුද්ගලයින් 4,014 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ  පැවසීය.

මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 10,000කට අයත් පුද්ගලයින් 40,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.

තවද,  යක්කලමුල්ල, වෙළෙන්දාවත්ත ප්‍රදේශයේ කන්දක් නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 20ක පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවෙත යොමු කෙරුණි.

හපුතලේ, බෙරගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විහාරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි, පොලීසිය රියදුරන්ට දැනුම් දීමක් සිදුකරනු ලබයි.

මේ අතර පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 03 කට නිකුත් කළ නාය යෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ගාල්ල , මාතර හා කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ඒ අතරට ඇතුළත් වේ.

එමෙන්නම් බදුල්ල, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලටද, අදියර 1 සහ 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි පැය 48 තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සිදු නොවේ - ඇමති රමේෂ්

ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ  පවසයි.

 වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

"රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ."

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවාගෙන නෑ : රෝහිණී ප්‍රශ්න කරයි !

2019 සිට 2022 වසර දක්වා උසස් පෙළට පෙනී සිටි කිසිදු ශිෂ්‍ය කණ්ඩායමකින් මේ වන තෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම් ගැසට් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ.

පාසල්වල ගුරුවරුන් විශාල පිරිසක ගේ හිඟයක් වර්තමානයේ පවතින නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එම හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් මන්ත්‍රීවරිය එහිදී සඳහන් කර තිබේ.

සූර් වැඩිවෙලා මන්ත්‍රී ඩබලට ජිනීවා මිස් වෙලා !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගි වීම විපක්ෂයේ උදවිය බොහොම තදින් විවේචනය කළා.

එහිදී විපක්ෂයේ ඇතමුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව පවා විවේචනය කළේ " ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරා වගේ ලොකු පරිවාර සේනාවක් සමග විදෙස් සංචාර යන්න පටන් අරගෙන කියලා .

ඒ කතා මොනවා වුණත් ඔන්න මේ කියන්න යන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉතාම වැදගත් වැඩක් දාගෙන විදෙස් සංචාරයක නිරත වෙලා, " හොඳටම කරපු " ආකාරය .

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මේ ගිහින් තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමැතීමටලු.

කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් තමයිලු මේ ගමන ගියා කියන්නේ .

ඉතිං ඒ දෙන්නට ජිනීවා මානව හිමිකම් කොමිසමට සමගාමී සැසියක් ඇමතීමට අවස්ථාව තිබිලා තියෙන්නේ ඔක්තෝබර් 05 වැනිදා පෙරවරු 9.30ට සහ 10.10ට ලු.

ඒත් ඉතිං ඊට කලින් දවසේ ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී සිය හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ මත්පැන් සාදයකට සහභාගි වෙලා සූර් වැඩිවුණා ලු. ඒ නිසා දවල් වෙනකල් නින්ද ගිහින්ලු.

ඒ නිසා ජීනීවා මානව හිමිකම් සමුළුවට සමගාමී සැසිය අමතන වෙලාව පහුවෙලාලු. ඒ කියන්නේ සූර් වැඩි වෙලා ගිය වැඩේ කරගන්න බැරි වෙලා.

දැන් ඉතිං වැඩේ මෙහෙටත් ලීක් වෙලා නිසා මීක් නැතුවලු ඉන්නේ. ඒ මදිවට පක්ෂයේ උදවිය අලුත් පිරුලක් එහෙමත් හදලලු දෙන්නවම දාලා. යි .....යි ජිනීවා ගියා වගේ කියලා .

ඔන්න ඔහොම වැඩවලට තමයි කියන්නේ , ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටාසිට" කියලා.

මොනවා වුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක ඇමරිකාවේ ගිය පිරිස නම් කියන්නේ , නිදාගන්න විතරයි විවේකය ලැබුණේ , අනිත් හැම වෙලාවෙම රනිල් ලොක්කා එක්ක මීටිං පිට මීටිං තිබුනා " කියලයි.

  • දේශපාලන වාර්තාකරු -

පරිස්සමෙන් පාරේ යන්න : පොලිසිය දන්වයි !

මෙම වසරේ ගතවූ මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී ය.

සිදුවූ අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී අතර එම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම සංඛ්‍යාව 540ක් බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය .

" රිය අනතුරුවලින් වැඩිම මියගිය පිරිස පදිකයින් නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලයි . සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසාත් අනතුරු සිදුවී තිබෙනවා.

ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා"

විදෙස් ප්‍රේෂණ ඉහළ ගිහින් !

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.

ඊට අනුව 2023 සැප්තැම්බර් මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 482.4ක් වූ අතර, එහි 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 4,345.1 දක්වා වර්ධනය වී ඇත.

එය 2022 ජනවාරි - සැප්තැම්බර් හා සසඳන විට 68.8%ක වැඩි වීමක් බව සඳහන් වෙයි.

අත පාටිය තීන්දුවක් අරගෙන !

පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මේ වන විට පක්ෂය ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස්වීම් !

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු 2023. 09. 27 දින සිට ක්‍රියාත්මකවන පරිදි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන ආකාරයට මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

එසේම අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

Page 125 of 440