පුවත්
ඊශ්‍රායලයට මෙරට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි !
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (11) සඳහන් කළේය.
මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
නසීර් වෙනුවට අලි සහිර් පාර්ලිමේන්තුවට !
නසීර් අහමඩ් ගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) නිකුත් කරනු ලැබීය.
අලි සහීර් මවුලානා මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ලයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාය.
මේ අනුව ඔහු කතානායකවරයා ඉදිරියේ ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය.
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇති බව දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය. ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේ අනුවය.
තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද?
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවන ආකාරයට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග පසුගිය සමයේ පැති මාරු කළ මන්ත්‍රීවරුන්ට ද ඉරණම අත්වෙයිද යන්න සම්බන්ධයෙන් දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයක් යොමුව ඇත.
මේ ඒ සම්බන්ධයෙන් " තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද? " මැයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනකි.
තවත් මන්ත්‍රීවරු 9 කට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද?
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමෙන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව දේශපාලන පක්ෂ රැසක කැළඹිල්ලක් මතු කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී.ල.නි.ප., ස.ජ.බ., රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක මන්ත්‍රීවරු පක්ෂ මාරු කර සිටිති. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද, මෙලෙසම අහෝසි විය හැකිය ද? යන්න බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නය කි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු මැතිවරණ පනත ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමට නම් මුලික නිර්ණායක කිහිපයක් තෘප්තිමත් විය යුතුය. පළමුව, අදාළ පක්ෂයේ ව්‍යවස්ථාව මගින් පක්ෂ සාමාජිකයා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ශක්තිමත්, නිශ්චිත ප්‍රතිපාදනයක් පැවතිය යුතුය. දෙවැන්න, එම ප්‍රතිපාදනයකට අනුව, විධිමත් විනය ක්‍රියාමර්ග ගැනීමත්, ස්වභාවික යුක්ති නීතියට අනුව (නිදහසට කරුණු දැක්වීම් අවස්ථාව) ඔවුන්ට හිමිවී ඇති ද? යන්නය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සිය පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය විධිමත් ලෙස ව්‍යවස්ථාවෙන් ලේඛන ගත කර ඇති ප්‍රමුඛ පක්ෂය යි. එ.ජා.ප. ව්‍යවස්ථාව අනුව පක්ෂයට සමාජිකත්වය තහනම් කිරීම ඒක පාර්ශිකව වුව ද කළ හැකිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපාදන මුස්ලිම් කොන්ග්‍රසය තරම් සවිමත් නැත. සජබ පිටු 32 ව්‍යවස්ථාව තුල එවැනි විධිමත් ප්‍රතිපාදනයක් ඇත්තේම නැති තරම් ය. ජවිපෙ ට සමාජිකත්වය සම්බන්ධයෙන් දැඩි තිරණ ගැනීමට ව්‍යවස්ථාව ඉඩ සලසයි. ශ්‍රීලනිප ව්‍යවස්ථාව මේ වන විට අධිකරණයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බැවින් ඔවුනට සාමාජිකයින් ඉවත් කිරීම පහසු නැත.
පිටු 62 ක නසීර් අහමඩ් නඩු තීන්දුව තුලින් මතු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති නම්, ඉවත් කිරීම අපහසු නොවන බවයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් හෝ ඒ ආසන්න ගණනකට විනය පරීක්ෂණ, නඩු විභාගයක් පැවැත්වෙමින් ඇත. නසීර් අහමඩ් අනුවම යමින් ඔවුන් සියළු දෙනා ද පක්ෂවලින් ඉවත් කිරීම, ඒනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට හැකියාව තිබේ ද?
එයට ‘ඔව්‘ සහ ‘නැත‘ යැයි උත්තර දෙකක් තිබේ. මේ ඒ පිළිබඳ විෂය මුලික විග්‍රහයකි.
ඉවත් කිරීමේ නෛතික ප්‍රතිපාදනය කුමක්ද?
1978 ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව, ‘‘ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් කවර හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ....................‘‘ සිදු කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය යි.
99 (13) වගන්තියේ ව්‍යවහාරික නීතිය යුග දෙකකි. එහි පළමු වැන්න, පක්ෂ විනය කඩකල මන්ත්‍රීවරුන් ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ 1992 ට පෙර යුගය යි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය), වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය. එදා, පක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩු වලින් (SC 50/87Spl සහ SC 51/87 Spl) පැරදුණු ඔවුන් ට මන්ත්‍රී ධූර අහිමි විය.
1988 මැයි 24 දින සම්මත වූ, 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හදුණ්වා දෙනු ලැබීය. එහි දී, අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදුවේ. මන්ත්‍රී ධූරය අයිති පක්ෂයට නැතිනම්, මන්ත්‍රීවරයාට ද, මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයේ නියෝගයට අවනත විය යුතු ද? හෟර්ද සාක්ෂිය අනුව ඡන්දය දීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාවක් නොමැති ද? යන සෛද්ධාන්තික තර්කය මතුවන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය.
නීතිය, ව්‍යවහාර බුද්ධිය, නායකත්වය හා දෝෂාභියෝගය
ජනාධිපති ආර්.ප්‍රේමදාස ට විරුද්ධ දෝෂාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් 8 දෙනා, 1991.09.06 දින එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් අනුව එජාපයෙන් නෙරපා හරිනු ලැබීය. නෙරපීමට එරෙහිව, දිසා අධිකරණයේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු (Dissanayake v. Kaleel SC (Special) Nos. 4 සිට 11/91 දක්වා) විභාග විය. එම නඩුව, පක්ෂ තහනම් කිරීම පිළිබඳ නෛතික තත්වය පිළිබඳ විශ්ව කෝෂයකි. විනිසුරු ප්‍රනාන්දු, වඩුගොඩපිටිය හා කුලතුංග විසින් ලබා දුන් නඩු තීන්දුව පිටු 248 කි.
‘‘පක්ෂ සාමාජිකත්වය නෙරපීම හිතු මනාපයට කළ නොහැකිය. යුක්තිය තිබිය යුතුයි. මන්ත්‍රීවරුන්ට තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය යුතුය. වරද කුමක් ද කියා චෝදනා පත්‍රයකින් දැන්විය යුතුය. උත්තර දීමට, නීතිඥ සහාය ලබා ගැනීමට, පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුය.‘‘ යන්න ගාමිණී නඩුවේ පදනමයි.
සමානුපාතික නියෝජනය තුල පක්ෂය ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වන බැවින්, පක්ෂ සාමාජිකත්වය අහිමි වූ විට මන්ත්‍රී ධූරය අහිමිවිය යුතු බව අනෙක් පස තර්ක වූවේය.
නඩුවෙන් ලලිත් - ගාමිණී කණ්ඩායම පරාජය වූවේ එජාපය ‘‘ස්වභාවික යුක්ති නීතිය අනුව කටයුතු කර තිබූ බව‘‘ තහවුරු කරන්නට එජාපය නීතිඥයින්ට හැකි වූ නිසාය.
ඇත්තම කථාව නම් එජාප නායකයින්, විනය පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑලට යොමු කළ බවට ලේඛන තිබූ නමුත්, ඒවා මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබුණි. (තැපෑලේ දී ලිපි අස්ථාන ගත කරනු ලැබීම එවකට මහ ලේකම් සිරිසේන කුරේ ගේ මෙහෙයුමකි)
ප්‍රේමදාස හමුවේ දණ ගැසු මන්ත්‍රීවරුන්ගේ ඉරණම
ආර්.ප්‍රේමදාස ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කර පසුව තම අත්සන ඉවත් කර ගත්, ආරියරත්න ජයතිලක හා එස්.ඒ.මුතුබණ්ඩා ද, පක්ෂයෙන් නෙරපනු ලැබීය. නෙරපීම අභියෝගයට ලක් කර, ශ්‍රේෂ්ඨාධිිකරණයට ඉදිරිපත් වූ (මුතුබණ්ඩා එදිරි කලීල් SC 2/92 Spl) නඩුවේ පැමිණිල්ලේ නීතිඥවරු ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කණ්ඩායමකි. ජයතිලක, මුතුබණ්ඩා ගේ පෙත්සම නිශ්ප්‍රභා විය. අඛණ්ඩව අභියෝග කළෝ ද, අතරමැද දී දණ ගැසූවෝ ද එකම ඉරණම උරුම කර ගත්තෝය.
විපක්ෂයේ කැරළිකරුවන්ගේ ඉරණම
මේ කාලයේ ම (1993), ශ්‍රීලනිපයේ, ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, මර්වින් සිල්වා, හේමකුමාර නානායක්කාර ඇතුළු කණ්ඩායම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද, පක්ෂ නායකත්වය නොතකා කටයුතු කළේය. ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා, අනුර බණ්ඩාරනායක එජාපට එක් වී උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරය දැරීය. ශ්‍රීලනිප මේ මන්ත්‍රීවරු නෙරපා දැමූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙනු ලැබීය. ඔවුන් ට රැකවරණය ලැබුණේ, නෙරපා හැරීමේ ක්‍රියාවලියේ තිබූ දුබලතාවයන් ය.
1993 ශ්‍රීලනිප නඩුව, බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක හා මන්ත්‍රී තිලක් කරුණාරත්න විසින් සිරිමා බණ්ඩාරනායක විරුද්ධවය. ‘ද අයිලන්ඩ්‘, 1993.01.24 දින ‘ලක්දිව‘, බීබීසී සම්මුඛ සාකච්ඡා මගින් ශ්‍රීලනිප විනය දැඩිව කඩ කළ බව චෝදනාව විය. 1993.05.31 දින තිලක් කරුණාරත්නගේ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහය සාර්ථක වූවේ නැත. නමුත්, විනය පරීක්ෂණවලට එරෙහිව අතුරු තහනම් නියෝග ගැනීමේ වත්මන් සුලබ ව්‍යවහාරයේ කේන්ද්‍රය තිලක් ගේ නඩුවයි. විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සභාව වසර ගණනාවකින් පවත්වා තිබුණේ නැත) හේතුවෙන් තිලක් කරුණාරත්න නෙරපා හැරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කළේය.
ඒ අනුව පැහැදිලි වන්නේ, 1994 ට පෙර යුගයේ දී ද, ස්වභාවික යුක්ති නීතියේ පියවර අනුගමන කිරිම හෝ නොකිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැනීමේ හැකියාව/නොහැකියාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ හැකියාව/නොහැකියාව ස්ථාපනය වී ඇත.
ආචාර්ය විමල් වික්‍රමසිංහ සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු කණ්ඩායමක්, සිරිසේන කුරේ එජාප හිටපු මහ ලේකම්වරයා ගේ ද මැදිහත්වීමෙන් ‘පුරවැසි පෙරමුණ‘ ලෙස වෙනම මැතිවරණයට ඉදිරිපත්වීමට 1999 දී සැලසුම් කෙරුණි. නමුත්, එම සාකච්ඡා පැවැත්වෙන අතර, එම කණ්ඩායමේ සරත් අමුණුගම, සුසිල් මුණසිංහ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ ඇතුළු 35 ක් දෙනෙකු ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා‘‘ යැයි කියමින් චන්ද්‍රිකා ආණ්ඩුවට එක් විය.
‘‘පක්ෂයෙන් එලවීම සඳහා හේතු නොදැක්වීම, චෝදනා පත්‍රයක් නොමැතිවීම‘‘, හේතුවෙන් 1999 නොවැම්බර් මස එජාපය මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය (SC SPL.(E) NO. 4/99) තීරණය කළේය. සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය නඩුවෙන් පසුව කිසිදු අවස්ථාවක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂවලින් ඉවත් කිරීම හා එමගින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ඉවත් කිරීමට දේශපාලන පක්ෂ දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නසීර් අහමඩ් නඩු තීන්දුවෙනි.
මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමේ ක්‍රමවේදය කුමක් ද?
දේශපාලන පක්ෂයක් සිය සමාජිකයෙකු නෙරපා හැරීමට ගනු ලබන තීරණය පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුයි. එවිට මැතිවරණ කොමිසම ඒ බව අදාළ මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ. මන්ද, පක්ෂ සමාජිකත්වය අහිමිවීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ ධූරය අහිමි වන බැවිනි. කෙසේ නමුත්, මැතිවරණ කොමිසම දින 21 යන තුරු අදාළ මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ නැත. නීති ප්‍රකාරව පක්ෂයේ තීරණයට එරෙහිව අදාල පක්ෂ මුලස්ථානය ස්ථාපිත දිසා අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීම එහි අරමුණ යි. යම් මන්ත්‍රීවරයෙකු දින 21 ක් තුල දිසා අධිකරණයේ නඩු පවරන්නේ නැති නම්, මැතිවරණ කොමිසමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සක නොවන්නේ නම්, එම මන්ත්‍රීවරයා ඉවත් කරනු ලබයි.
දිසා අධිකරණයකින් අතුරු තහනම් නියෝග ලබා ගත හැකි නම්, තම ධුරය රැකගන්නට එවිට මන්ත්‍රීවරයාට හැකියාව ලැබේ.
ජනතා විමුක්ති පෙරමුණ - බුලේගොඩ නඩුව
ජවිපෙ දෙවැනි නැගිටීමෙන් පසුව, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ නමින් මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පක්ෂයේ ලේකම් ආරිය බුලේගොඩ විසින් නෙරපනු ලැබුවා නොව, පන්නා දමනු ලැබූවේ ‘පක්ෂයේ සාමාජික ගාස්තු නොගෙවීම/ගෙවීම පැහැර හැරීම‘ චෝදනාව යටතේ ය. ගලප්පත්ති ගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සුදානම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ ගලප්පත්ති ට එදිරි බුලේගොඩ නඩුවේ දී (1997 1 SLR 393) ද, ස්වභාවික යුක්ති මුලධර්මයට අනුව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම, පෙත්සම්කරු ඇති චෝදනා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම මත නීති විරෝධී බව තීරණය විය.
18 ට සම්මත කිරීමට ‘දෑත් ශක්තිමත් කිරීම‘
ජනාධිපතිවරයාගේ අතට බලය ගොනු කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයක් ලබාදීම සඳහා එජාප මන්ත්‍රීවරු 7 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට ඡන්දය දුන්නේය. බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වරණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර් එම මන්ත්‍රීවරුන් ය. එජාප ය මෙම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරනු ලැබූ නමුත්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැත.
එක්සත් ජාතික පෙරමුණ නම් නාමික පක්ෂය (සැබෑ නම එක්සත් ජාතික පක්ෂය) යටතේ තරඟ කළ රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු 8 ක් ද 18 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔවුන් කිසිවෙකුට විරුද්ධව එදා එජාපය විනය පියවර ගත්තේ නැත.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පී.එච්. පියසේන ද 18 ට පක්ෂව ඡන්දය දුන්නේය. 2010 නොවැ. 28 දින ‘ඉලංගේ තමිල් අරසු කච්චි‘ පක්ෂය විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහු ඉවත් කළේය.
පියසේන තමන් පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව යාපනය දිසා අධිකරණයේ (DC Jaffna case No. 38/2010 (Misc) නඩු පැවරූ නමුත් ඔහුට තහනම් නියෝගයක් ගැනීමට නොහැකි විය. තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව, පියසේන ශ්‍රේෂ්ඨාධිකරණයට SC Application Special [Expulsion] No. 03/2010) පෙත්සම ඉදිරිපත් කළ අතර, 2011 පෙබරවාරි 8 දින ද්‍රවිඩ ජාතක සන්ධානය විසින් පියසේන ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම නිතී විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල බැවින් මන්ත්‍රී ධූරය රැකුණේය.
හකීම් - රිෂාඩ් යුද්ධය
ස්වභාවික යුක්ති නීතිය, මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ තහනමට බලපාන ආකාර පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, රිෂාඩ් බදුර්දීන් හා නජිම් ඒ මජීඩ් 2005 අප්‍රේල් 4 දින පක්ෂයෙන් නෙරපීම යි. ඉහත මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විවේචනය කරමින් පක්ෂය වෙත ලිපියක් යැවීය. එම ලිපියේ විවේචණය නොඉවසූ හකීම් එයට පෙරළා උත්තර දුන්නේ ‘‘ඔබ වැරදියි. උතුරු නැගෙනහිර මුස්ලිම්වරුන්, ඔබ විසින් සිදු කළ ක්‍රියාවට සමාව දෙන්නේ නැත. පක්ෂය ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත්තේය, (“Finally I would like to remind that the Muslims of the north east will not pardon you for the treacherous act committed and the Party to o will take appropriate action against you in due course .”) යැයි කියමිනි.
පක්ෂය රිෂාඩ් ඇතුළු කණ්ඩායම නෙරපීමට විරුද්ධ ශිරානි බණ්ඩාරනායක ලියූ නඩු තීන්දුවේ දැක්වෙන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර ‘‘ඔබ වැරදියි. මුස්ලිම් සමාජය පවා සමාව දෙන්නේ නෑ‘‘ යැයි පැවසීම තුලින් ‘‘නෙරපීමට පෙර ඔබ අදාළ මන්ත්‍රීවරුන් වැරදිකරුවන් බවට පූර්ව නිගමනයකට පැමිණ තිබූ බව යි. 02/2005, 03/2005, 04/2005 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුන එකට විභාග කොට අලී, රිෂාඩ්, මජීඩ් ගේ පක්ෂ තහනම නීත්‍යානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් එන් සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 2005 ජූලි 1 දින තීන්දු කරනු ලැබීය. මුස්ලිම් කොන්ග්‍රසයේ විනය කාර්ය පටිපාටියට අනුව, පක්ෂ සාමාජිකයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයට පමණී. එසේ තිබිය දී, පක්ෂ නායකයා වරද පිළිබද පූර්ව නිගමනයකින් කටයුතු කළ බව එම නඩුවේ ප්‍රමුඛ තර්කය වූවේය. නසීර් අහමඩ් නඩු තීන්දුවේ දී එදා තමන්ට වැරදුණු තැන, නීතියට අඩුව අඩුවක් නොවන සේ සපුරා ගන්නට මෙවර මුස්ලිම් කොන්ග්‍රසය සමත් වූවේය.
සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවීම හා අමිර් අලී නඩුව
මුස්ලිම් කොන්ග්‍රසය හා විරසකවීමෙන් පසුව ඒ වන විටත් නීතිඥ හමිඩ් විසින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර තිබූ දේශපාලනය ලෝකයේ ‘අනාගත රිෂාඩ් ගේ පක්ෂය‘ යැයි ඒ වන විටත් හදුන්වා දෙමින් තිබූ ‘‘සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සංවිධානය කෙරුණි. එහි මහ ලේකම්වරයා වූයේ වයි.එල්.එස්.හමීඩ් ය. පුත්තලමේ පැවති සම්මේලනයට රිෂාඩ් බදුර්දීන්, අමීර් අලී ඇතුළු ඒ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කටයුතු සඳහා සම්බන්ධකර නෙගෙන සිටි පිරිසට ආරාධනා කර තිබුණි. නමුත්, ඒ වන විට ඔවුන් පක්ෂයේ මුදල් ගෙවා සමාජිකත්වය ගත්තෝ නොවීය. පක්ෂ සම්මේලනයේ දී රිෂාඩ් බදුර්දීන් පක්ෂ නායකයා ලෙස ද, අමීර් අලී පක්ෂයේ සභාපති ලෙස ද නම් යෝජනා විය.
මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය දරමින් සිටින අතරම, වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳ රවුෆ් හකීම් ඒ වන විටත් පක්ෂය සමග විරසකව සිටි මේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසනු ලැබීය. අමීර් අලී, රිෂාඩ් උසාවිය ගියේය. පක්ෂයේ මහ ලේකම් ප්‍රකට නීතිඥ හමීඩ් එයට අපුරු උත්තරයක් දුන්නේය. එහි අර්ථය ‘‘රිෂාඩ්, අමීර් අලී ට පක්ෂයේ තනතුරු යෝජනා කෙරුණා. ඔවුන්ට පක්ෂ සාමාජික අයදුම්පත් බාරදුන්නා. ඔවුන්ට තනතුරු ලැබෙන්නේ පක්ෂ සාමාජිකත්වය ගත්තේ නම් පමණයි. නමුත්, ඔවුන් පක්ෂ සාමජිකත්වය ලබා ගැනීම ප්‍රතිකේෂප කළ බැවින් ඔවුන්ට තනතුරු ලබාදීම හෝ බාර ගැනීමක් සිදු නොවූ බව‘‘ ය. උසාවිය හමීඩ් ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගනු ලැබූවෙන්, එවර ද, හකීම් ට විරුද්ධ මුස්ලිම් සමාජයේ ප්‍රභලම අභියෝගය බවට පත් වූ රිෂාඩ් බදුර්දීන් පක්ෂයෙන් නෙරපීමට/එළවා දැමීමට/මන්ත්‍රී ධූර අහෝසි කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට හැකිවූවේ නැත.
මාතලේ දේශපාලන ප්‍රබලයෙකු වූ නන්දිමිත්‍ර ඒකනායක එජාපයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. පසුව පක්ෂ මාරු කර පොදුජන පෙරමුණට එක් වී, පළාත් සභාවට බුලත් කොළය යටතේ නාම යෝජනා ලබාදුන්නේය. ඒ අතර, 2009 මැයි මස එජාප යේ මන්ත්‍රී ඇලික් අලුවිහාරේ මිය ගිය බැවින්, ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර ට මන්ත්‍රී ධූරය හිමි විය. එජාපය නඩු ගියේය. තමන්ට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබූ බවට (ලියාපදිංචි තැපෑලෙන් කැඳවීම් ලිපියක් යොමු කර තිබූ නමුත්, එය තමන්ට නොලැබූණු බව අධිකරණයට ඒත්තු ගන්වන්නට හැකි විය.) වූ තර්කය මත ඒ් වන විට පොදුජන පෙරමුණේ සිටි නන්දිමිත්‍ර ට එජාප ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය ලැබුණි. ඔහු විපක්ෂයෙන් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී එදිනම ආණ්ඩුවට එක් විය. එය පක්ෂ මාරු කිරීම පිළිබඳ අපූර්වතම නඩු තීන්දුවයි!
කෙහෙළිය, බෝගොල්ලාගම, මහින්ද සමරසිංහ එජාපයෙන් නෙරපීම
බෝගොල්ලාගම නඩුවේ දී, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) අ වගන්තිය අතර ඇති පරස්පරය ගැන විනිසුරු ජයසිංහ ලියූ තීන්දුව සුවිශේෂි වේ. නිසි විනය පරීක්ෂණයකින් තොරව එජාපයෙන් නෙරපා ඇති බව තීරණය කළ නිහාල් ජයසිංහ, නිමල් දිසානායක, රාජා ප්‍රනාන්දු විනිසුරුවරුන් බොගොල්ලාගම ගේ පක්ෂ සාමජිකත්වය රැකදුන්නේය. එජාපයේ නීතිඥයින් එදා අධිකරණයට කීවේ බෝගොල්ලාගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී ඇමතිධූර ලබා ඇති බැවින් ‘විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බව‘ කියමිනි.
කෙහෙළිය නඩුව
2000, 2001, 2004 මැතිවරණවල දී මහනුවරින් වැඩිම මනාප ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් විය. කෙහෙළිය නඩුවේ දී (S.C. (EXPULSION) NO. 1/2006) තීන්දුව අගවිනිසුරු සරත් එන් සිල්වා 1978 අංක 2 දරණ අධිකරණ පනත 41 (2) වගන්තිය උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශ කර ඇත. විනය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පූර්ණ නොවන්නේ නම්, මන්ත්‍රීවරයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම, පක්ෂයෙන් නෙරපීම කළ නොහැක්කක් බවට පොදු මතයක් ස්ථාපනය වූවේ කෙහෙළිය ගේ තීන්දුවත් සමඟ ය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් මස අගමැති මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවට එක්විය. ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට ද, ද්‍රවිඩ ජාතික සන්ධානයට හැකි වූයේ නැත.
2007 පෙබරවාරි මස මංගල සමරවීර හා ශ්‍රීපති සුරිආරච්චි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය හා ගැටෙමින් අමාත්‍ය ධූර අහිමි කර ගනු ලැබීය. මන්ත්‍රීවරුන් විපක්ෂය සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කළ නමුත් පක්ෂය ඔවුන් නෙරපා දැමීමට සැබෑ උත්සාහ කළේ නැත.
විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2008 දී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කල නමුත්, ඔවුන්ගේ ද මන්ත්‍රී ධූර අහිමි කිරීමට හැකි වූවේ නැත. විමල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉන් පසුව ක්‍රියාත්මක විය.
මොහාන් ලාල් ග්‍රේරෝ ද දිසා අධිකරණය මගින් ලබාගත් තහනම් නියෝගයකින් මන්ත්‍රී ධූරය රැක ගැනීමට සමත්වූවේය.
නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් කියවෙන්නේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් මුස්ලිම් කොන්ග්‍රස් නායකත්වය පක්ෂයේ ක්‍රියාමාර්ග තීරණය කර ඇති බවත්, විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ය.
වර්තමානයෙන් අනාගතයට
නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් පසුව, දේශපාලන පක්ෂ කිහිපයක තවත් මන්ත්‍රීවරුන් කිහි දෙනෙකුටම අදාළ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාමාර්ග ගැන පුළුල් අවධානයක් මේ වන විට යොමුව ඇත.
ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ නෛතික භාවය අධිකරණය මගින් විභාග කෙරෙමින් ඇති නිසා ද, සජබ පිටු 32 ක ව්‍යවස්ථාවේ සමාජිකයින් ඉවත් කිරීමේ ප්‍රතිපාදනයේ ඇති දුබලතාව නිසා ද, තවත් මන්ත්‍රීවරුන් පිරිසකට සිය අසුන් අහිමිවීමේ අවදානම අවමය.
ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ශක්තිමත් නොවන හා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන, ස්වභාවික යුක්ති නීතියට පටහැනි ලෙස පක්ෂ ක්‍රියාකාර ඇති කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් නෙරපා හැරීම අධිකරණය මගින් මේ දක්වා කිසිදු අවස්ථාවක ඉඩ සලසා නැත.
රජිත් කීර්ති තෙන්නකෝන්
පාස්කු ප්‍රහාර සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශන වාර්තා කතෝලික සභාව ඉල්ලයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල රටවල රහස් පරීක්ෂක කණ්ඩායම් ලබා දී ඇති බවට විදේශීය මාධ්‍ය හමුවේ පැවසු වාර්තා තමන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඔක්තෝබර් 6 වැනිදා යොමු කළ ලිපියක් මගින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව දන්වා සිටින්නේ ජර්මනියේ ‘ඩොයිෂ් වෙල’ (Deutsche Welle) මාධ්‍ය ආයතනය වෙත එම තොරතුරු හෙළි කරන තෙක් තමන් හෝ රට වැසියන් ඒ බැව් දැන නොසිටි බවයි.
"මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI), බ්‍රිතාන්‍යය පොලීසිය, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේ වැඩිදුරටත් සඳහන් කරයි."
එකී ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවල පිටපත් ද තමන් සමඟ බෙදාගන්නේ නම් එය අගය කොට සලකන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ලෙස රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහයක රදගුරු හිමිවරුන් දෙදෙනෙකුගේ ද අත්සන් සහිතව යොමු කර ඇති ලිපිය මගින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සහා වාර්තාවේ සියලු වෙලුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව ද ජනාධිපතිට ස්තුතිය පුද කර තිබේ.
“කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දෙන ලදැ,” යි ජනාධිපති මාධ්‍ය ඒකකයද තහවුරු කර තිබුණි.
රදගුරු සමුළුව පවසන්නේ එම වෙළුම් සියල්ල අධ්‍යයනය කරමින් ඉන්නා බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමන් කාදිනල් හිමිපාණන් සමඟ ගනු දෙනු නොකරන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමඟ සාකච්ඡා කළ බවත් ජර්මනියේ ‘ඩොයිෂ් වෙල්’ මාධ්‍ය ආයතනය සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනි.
සභා නායකත්වයේ බෙදීමක් ඇතිබවක් අඟවන එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්, හුදකලා පුද්ගලයකු නොව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බවයි.
"කාදිනල් හිමිපාණන්, කොළඹ අගරදගරු හිමිපාණන් ලෙස හුදකලා වු අයකු නොව, ශ්‍රී ලංකා කතෝලක රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බව මෙහි ලා සඳහන් කළ යුතුය. එහෙයින්, ඔබතුමන් කාදිනල් හිමිපාණන් පිළිබඳව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වයට සිදුකරන හානියකි."
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිගේ සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ උප සභාපති, ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මහ ලේකම් සහ කොළඹ සහයක රදගුරු ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමි, කොළඹ, රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමි, මහනුවර රදගුරු හා හලාවත අපෝස්තලික පරිපාලක රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමි, අනුරාධපුර රදගුරු නෝබට් එම්. අන්ද්‍රාදි නි.ම.නි. හිමි, සා.බෙ.නි. හිමි හා රත්නපුර රදගුරු ක්ලීටස් සී. පෙරේරා හිමි, මන්නාරම් රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු හිමි, ගාල්ල රදගුරු රේමන්ඩ් කේ, වික්‍රමසිංහ හිමි, යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමි, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා හිමි, බදුල්ල රදගුරු ජූඩ් නිශාන්ත සිල්වා හිමි, කොළඹ සහයක රදගුරු පී. ඇන්ටන් රංජිත් හිමි, කොළඹ සහයක රදගුරු මක්ස්වල් ජී. සිල්වා හිමියන්ද අත්සන් තබා තිබේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින්ගේ තොරතුරු දැනගන්න දුරකථන අංක දෙකක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන ඇත.
ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත.
මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වන බව ද වාර්තා වෙයි.
පරිසර අමාත්‍ය ධූරය හිස් වෙයි : වේකන්සි පුරවන්නේ කවුද ?
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වි ඇති බවත් ඒ අනුව අදාල පුරප්පාඩුව පිරවීම සඳහා කටයුතු කරන ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඊයේ (09) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඒ ඇත්තේ, නීතිපති දෙපාර්තුමේන්තුව මඟින් ලබා දුන් උපදෙස් අනුව ය.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා වන අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඔහුව නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත.
නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කෙරෙණු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.
මේ අතර පුරප්පාඩු වන පරිසර අමාත්‍ය ධූරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිටින බවත් වාර්තා වෙයි .
විදෙස් අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් හමුවෙයි !
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වීය.
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය.
සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ශ‍්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.
අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දකුණු අප්‍රිකාව ලබාදුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරිය වෙත සිය කෘතඥතාව පළ කළ අතර නුදුරේදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, වසර අවසන් වීමට පෙර එය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අනාගතය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සභාපතීත්වය දරනු ලබන කාලසීමාව තුළ ඉන්දියන් සාගරය පිළිබඳ තම දැක්ම වූයේ කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීම බව සඳහන් කළේය.
සෑම වසර දෙකකට වරක් සාමාජික රටවල රාජ්‍ය නායක රැස්වීමක් පැවැත්වීමට තමා යෝජනා කරන බවත්, ඉන්දියන් සාගරයට තමන්ගේම දේශපාලන අනන්‍යතාවයක් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඊශ්‍රායල - හමාස් ගැටුම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊශ්‍රාලය සහ පලස්තීනය අතර සාමය තහවුරු කළ යුතු බවට අප්‍රිකානු සංගමය විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සහාය පළ කරන බව ප්‍රකාශ කළේ ය.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව සමඟ ශ්‍රී ලංකාව සිය සහයෝගිතාව පුළුල් කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කාන්තාවන් රකින වැදගත් පනත් 3ක් ළඟදීම !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.
එසේම කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මෙසේ ද පැවසීය,
වත්මන් රජය කාන්තාවන් සහ ළමයින්ගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ද ඉතා වැදගත් උපදෙස් සහ නිර්දේශ ලැබී තිබෙනවා.
මේ වනවිටත් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරාවට ක්‍රියාත්මක 1938 දුරකතන අංකය හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනන්‍යතාවය හෙළි කිරීමකින් තොරව අත් හැර දමා යන දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් “ කවුළුව ” වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වනවා. ඒ සදහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැගීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළීබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.
මෙම වැඩසටහන එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙනවා. මෙම සමස්ත වැඩසටහන ඉදිරි පස් වසර (2024 - 2028) තුළ ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ තරුණ කාන්තාවන්, වැන්දඹුවන්, බන්ධනාගාරගතවු පවුල්වල කාන්තාවන්, වතු අංශයේ කාන්තාවන්, අඩු ආදායම්ලාභී නාගරික කාන්තා ව්‍යවසායිකාවන් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ වගේම දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට අප කටයුතු කරනවා. මීට අමතරව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය විසින් ළමුන් වෙනුවෙන් ද විශේෂ කාර්යයන් රැසක් මේ වන විට ක්‍රියාවට නගා ඇති බව කිවයුතුයි.
ගර්භනී සහ කිරිදෙන මව්වරු සඳහා මාස 10 කට රු. 45,000 පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන මේවන විටත් ක්‍රියාත්මකයි.ඒ අනුව මාස 6 ක කාලයක් සඳහා සහ කිරිදෙන සමයේ මාස 04 ක් වශයෙන් මාස 10 ක් සඳහා අදාළ ප්‍රතිලාභය හිමි වනවා.
මීට අමතරව 2023 වර්ෂයේ දී පෙර පාසැල් ළමුන් සදහා උදෑසන ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000 ක් වනවා .
ඒ වගේම “ගුරු අභිමානී” වැඩ පිළිවෙලට අනුව පෙර පාසල් ගුරුවරියන් සඳහා මාසිකව රු.2500/- ක දීමනාවක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.
ළමුන් හා කාන්තාවන්ගේ ගැටළු සඳහා මාසිකව දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම ද මේ වනවිටත් අප ආරම්භ කර එම කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතිනවා.
පෝෂණ ඌනතා හදුනාගනු ලැබූ මොණරාගල, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්වලට අදාල පෙර පාසල් ළමුන් සඳහා අධි පෝෂණීය බිස්කට් ලබාදීමට අප කටයුතු කරනවා.
ර/ සීවලී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය ජනාධිපති කාර්‍යාලයේ !
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 152කු මීට එක්ව සිටී අතර කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදි. අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව කතානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරයි.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙය පාසලට හිමි වු සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කළේය.
පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තු එක් කර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංසදයක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත පැහැදිළි කළාය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය ඉදිරියටත් සාම කළාපයක් ! සාගල
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.
සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, දැනට පවතින කලාපීය රාමු මෙන්ම මුලපිරීම් සමඟ පෙල ගැසී ඒ සඳහා සහාය දීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.
සාගල රත්නායක මේ බව සඳහන් කළේ රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පැවති 'කොළඹ ගුවන් කතිකාව 2023' (Colombo Air Symposium 2023) හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරට සංවිධානය කරන ලද මෙම කතිකාව ඔක්තෝබර් 09- 10 දෙදින තුළ පැවැත්වේ.
එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය යන රටවල් ඇතුළුව දෙස් විදෙස් විද්වතුන් රැසක් 'කොළඹ ගුවන් කතිකාව 2023' සඳහා සහභාගි වූ අතර මූලෝපායික අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CDISS) අධ්‍යක්ෂ මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා (Adam Leong Kok Wey) විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 06වන වරටත් සංවිධානය කරන මෙම කතිකාව සඳහා සහභාගී වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස සළකනවා. 2015- 2016 හිදී මෙහි පළමුවැන්න ආරම්භ වුණේ “සමුද්‍රීය ගුවන් ආරක්ෂාව හරහා ජාතිය ගොඩනැගීම” යන තේමාව යටතේයි.
ශ්‍රී ලංකාව යුදමය තත්ත්වයෙන් මිදුණු සහ යුද්ධයේ අවසාන අදියරේදී මෙරට ගුවන් සීමාවේ විවිධ උල්ලංඝණයන්ට මුහුණ දුන්නා. ඒ කාලයේ ගුවන් ආරක්ෂාව කියන මාතෘකාව ඉතා කාලෝචිත මාතෘකාවක් බවට පත්ව තිබුණා.
ඉන්දියානු සාගර කලාපය සමුද්‍රීය වෙළඳාමේ සිට ආරක්ෂාව, උපායමාර්ගික, ආර්ථික, පාරිසරික සහ සමාජීය වශයෙන් ප්‍රධාන ගෝලීය සම්බන්ධතා දක්වා පරිවර්තනය වී ඇති මොහොතක මෙවර මෙහි මාතෘකාව වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ හවුල් අවශ්‍යතා පෝෂණය කිරීමයි.
අපේක්ෂිත පරිදි, ඉන්දියානු සාගරයේ උපාමාර්ගික වැදගත්කම එහි සීමාවන් කරා ළඟා වී ඇත්තේ කලාපයේ පැවැත්ම සහ ආධිපත්‍යය සඳහා බලපෑම් කරන බාහිර ප්‍රධාන බලවතුන් සමඟයි. ඔවුන් වෙළඳ මාර්ගවල ප්‍රධාන මරමස්ථාන අසල යුදමය පැවැත්මක් පවත්වා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා.
මෙහිදී කලාපය තුළට ලෝක බලවතුන්ගේ පැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා. ඉන්දු-පැසිෆික් කලාපය ලෙස අර්ථ දක්වා ඇති ප්‍රදේශයේ උපායමාර්ගික වැදගත්කම චීනයේ ගෝලීය නැගීම සමඟ ද සම්බන්ධ වෙනවා.
එක්සත් ජනපදය හා චීනය අතර පවතින විශාල බල අරගලය හමුවේ, චීනය විසින් කළාපයේ සිදුකරනු ලබන ක්‍රියාවන් පරීක්ෂා කර බැලීමට ඉන්දියාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ සාපේක්ෂව සාමකාමී අයුරින් පවතින ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික සහ දේශපාලනික වශයෙන් ලෝකයේ දැඩි අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
ඉන්දියාවේ ආරක්‍ෂක පරිසරය සඳහා ස්ථාවර ඉන්දියන් සාගරයක් යන කාරණය ඉතා වැදගත් වෙනවා.
ඵලදායි කලාපීය ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, භූගෝලීය වශයෙන් උපායමාර්ගික පරිසරය හරය බවට පත් වන නිසා, පොදුවේ පවතින අවශ්‍යතා සඳහා එය තර්ජනයක් හෝ අවදානමක් නොවන බවට දැඩි හැඟීමක් අපට තිබිය යුතුයි.
යුරෝපීය සහ මැදපෙරදිග ජාතීන් ඉන්දියානු සාගරය කෙරෙහි දක්වන උනන්දුව වැඩි වීම ධනාත්මක වර්ධනයක් බව කිව යුතුයි. කෙසේ වෙතත්, මෙය කලාපයේ බලවතුන් අතර ආතතීන් වැඩි කිරීමට හේතු නොවන බව සහතික කිරීම වැදගත් වෙනවා.
එබැවින් හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වෙනවා.
සන්නිවේදන මාර්ග තහවුරු කිරීම, සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) මත පදනම් වූ බහුපාර්ශ්විකව එකඟ වූ නීති පිළිපැදීම සහ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික රාමු භාවිතා කිරීම මගින් කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අපට ක්‍රියා කළ හැකියි.
කලාපීය ආරක්ෂක සැලැස්මක්, පොදු කලාපීය අනන්‍යතාවයක් හෝ පිළිගත් කලාපීය නායකත්ව රාමුවක් නොමැති වීම හේතුවෙන් ඉන්දියානු සාගර කලාපය තුළ ඵලදායී ක්‍රියාමාර්ගයක් කරා සහයෝගීතාවයෙන් යුතුව ගමන් කිරීම දැවැන්ත අභියෝගයක් වී පවතිනවා.
සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, අපි දැනට පවතින කලාපීය රාමු සහ මුලපිරීම් සමඟ පෙලගැසීමටත් ඒ සඳහා සහාය දැක්වීමටත් උත්සාහ කළ යුතුයි.
අග්නිදිග ආසියාවේ මෙන්ම පුළුල් ආසියා-පැසිෆික් සහ ඉන්දියානු සාගර කලාපවල ආර්ථික හා ආරක්ෂක සැලැසුම හැඩගැස්වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම මගින්, නායකත්වය ලබාදීමට උත්සාහ කරනවා.
සැබැවින්ම මෙය ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සහ ආර්ථික සැලැස්ම වෙනස් කිරීම සඳහා බෙහෙවින් අවශ්‍ය සාමූහික නායකත්වයක් බව කිව යුතුයි.
බිම්ස්ටෙක් සහ ආසියාන් කලාපීය සංසදය වැනි ආසියාන් සංවිධානයේ යාන්ත්‍රණ, කලාපය සඳහා අනුගමනය කළ යුතු සහයෝගීතාව පිළිබඳ ආදර්ශයන් විය හැකියි.
නමුත් බටහිර ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය, ප්‍රමුඛ ලෙසසළකන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය ද අප සතුව තිබෙනවා.මෙම යාන්ත්‍රණය, දේශපාලනික වශයෙන් ඉහළ මට්ටමකින් සාකච්ඡා පැවැත්වීමට සහ අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා තවත් පරමාදර්ශී සහ පැහැදිලි තේරීමක් විය හැකියි.
ඇත්ත වශයෙන්ම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම මෙම සතියේ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව එහි සභාපතීත්වය ලබාගැනීමත් සමග පැහැදිලිවම මෙම සංසදයේදී මේ කරුණ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇතියි.
ඉන්දියන් සාගරය බොහෝ දුරට ගැටුම් හා ආරවුල් වලින් තොර බව නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත්, ඉන්දු පැසිෆික් කලාපයේ පවතින ආතතීන් ඉන්දියානු සාගර කලාපයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. එබැවින් මහා බල එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
ශ්‍රී ලංකාව හමුදා සන්ධානවලින් වැළකී සිටීමේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉන්දියන් සාගරය ගැටුම් වලින් තොර විය යුතු බව අපේක්ෂා කරනවා. ඇත්ත වශයෙන්ම, 1971 දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වුණා. එය කලාපය තුළ යාත්‍රා කිරීමේ සහ පියාසර කිරීමේ නිදහසට දායක වී තිබෙනවා.
අප ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගය වන්නේ කලාපය තුළ සහ ඉන් පිටත පවතින බල සංයෝජනයන්ගේ අවශ්‍යතා සහ මැදිහත්වීම් හඳුනාගෙන ඒවා ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයයි. එවැනි මූලාරම්භයන් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සංසද මගින් සංවාදයක් ඇති කරනවා.
එබැවින් ගුවන් හමුදාව විසින් මෙය සංවිධානය කිරීම වඩාත් වැදගත් වෙනවා. එබැවින් ඒ පිළිබඳව මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තූතිවන්ත වෙනවා.
මෙම ක්ෂේත්‍රයේ දැවැන්ත අත්දැකීම් ඇති මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා අද මෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සිටිනවා.
දශක ගණනාවක් පුරා ගුවන්යානා තාක්ෂණය විශාල ලෙස දියුණු වී තියෙනවා. දෙවන ලෝක සංග්‍රාමයේදී ගුවන් යානා විශාල වශයෙන් නිෂ්පාදනය වූ බව අපි දන්නවා.
ඔවුන් ලුහුබැඳ ගියේ තාක්ෂණය හෝ ගුවන් යානයේ ගුණාත්මක භාවය පිළිබඳව නොවෙයි. මහා පරිමාණ නිෂ්පාදනය පිළිබඳවයි.
ඔවුන්ට ගමන් කිරීමට, සාම්ප්‍රදායික පරිදි ආයුධ මගින් වෙඩි තැබීමට සහ අවශ්‍ය අවස්ථාවලදී බෝම්බ හෙළීමට ගුවන් යානා අවශ්‍ය වුණා. ඒ වගේම තමයි ගුවන්යානාවක් නැති වුණොත් නැති වුණාම තමයි. ඇත්තෙන්ම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තිබුණත් එදා අනුගමනය කළේ එයයි. නමුත් දැන් අපි දියුණුයි.
අපි තාක්‍ෂණය අතින් දියුණු වී තියෙනවා, අපි ආයුධවල තාක්‍ෂණික අංශයෙන් මෙන්ම ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය පැත්තෙන් ද දියුණු වී තියෙනවා, එහිදී භාවිතා කරන තාක්ෂණය සඳහා විවිධ වාසි ලබා දීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවලට හැකියාව තිබෙනවා.
ඉස්සර නම් රේඩාර් වලින් මග හැර යාමට අවශ්‍ය නම් පියාසර කරන්නේ හරිම පහතින්. ලෝක යුද්ධ සමයේදී සිදු වූයේ එයයි. නමුත් දැන්, රහසිගතව යාමේ හැකියාව ලැබෙන්නේ පහළින් එලෙස පියාසර කිරීමෙන් නෙවෙයි, භාවිතා කරන ද්‍රව්‍ය හා භාවිතා කරන තාක්‍ෂණය මතයි.
දැන්, යම් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න, ඔබට ගුවන් යානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්දියාව විසින් මෑතකදී සබ්මැරීන පිටතට ගෙන යන MQ-9B ඩ්‍රෝන යානා පිළිබඳ විශාල මිලදීගැනීමක් සිදුකළා. ඒක ඩ්‍රෝන් එකක්. එය ගුවන් නියමුවෙකු රැගෙන යන්නේ නැහැ. ඒ ආකාරයෙන් තාක්ෂණය විශාල දියුණුවක් ලබා තිබෙනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති බව සහතික කිරීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දියානු සාගරයේ සිය කාර්යභාරය අගය කරන ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. මෙම භූමිකාවට සහාය වන සැමට අප ඉතා කෘතඥ වෙනවා. ඩ්‍රෝනීය ගුවන් යානයක් ලබා දීමෙන් ඉන්දියාව, මේ සඳහා අපට උපකාර කර ඇති බව මම සඳහන් කළ යුතුයි.එක්සත් ජනපදයද අපගේ නාවික ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා උපකාර කිරීමට ඉදිරියට පැමිණ සිටිනවා.
ඒ වගේම එවැනි අපේ මිත්‍ර රටවල් මෙහි පැමිණ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදී තිබෙනවා වගේම මෙවැනි සම්මන්ත්‍රණවලට අප සමඟ එක් වී ඉන්දියන් සාගරය තුළ සිදු කරන මේ කාර්යභාරයට සහයෝගය දී තිබෙනවා. මා පෙර සඳහන් කළ පරිදි, මෙම කලාපයේ ආරක්ෂාව සඳහා නිවැරදි සාකච්ඡාවක් සිදු වන බව සහතික කිරීම සඳහා වැදගත් වන මූලික පදනම්, මේවා බව සඳහන් කළ යුතුයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් තානාපතිවරු , මහකොමසාරිස්වරු, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
සජබ සභාපති SF : ජනපතිව ඉහළටම ඔසවා තබයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින්ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය හැකි පුරවැසියෙකු නොවන බවත් ඔහු පවසයි.
සමගි ජනබලවේගය පක්ෂයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවය.
සජබ ඇතුලේ තරගයක් !
කෙසේ වුවත් මේ වන විට විපක්ෂයේ පාර්ශ්ව අතර ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රබල තරගයක් මතුව තිබේ.
එහි විශේෂත්වය වන්නේ ද සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයේ , එහි නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ද එම තරගය පැවතීමයි.
මේ වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා ගේ මුහුණ නොබලන තැනට මේ " වෙන්ඩ ජනාධිපති ":තරගය ඔඩුදුවා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
2030දී සියලු ම පාසල් සිසුන්ට දිවා ආහාරය - අධ්‍යාපන ඇමති
2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කළේ ය.
පාසල් පද්ධතිය තුළ විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
තවද ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමටත් ක්‍රියා කරන අතර සමස්ත අධ්‍යාපන පද්ධතියේම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම්වල දී සියලු දෙනාට ම ඊට අනුගත වීමට සිදු වන බවත් කියා සිටියේ ය.
ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම
අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා මේ වන විශාල ජනකායක් බොරැල්ලේ ඔහුගේ දේහය තැන්පත් කර ඇති කොළඹ 8, බෞද්ධාලෝක මාවතේ, ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි වෙත පැමිණෙමින් සිටිති.
එමෙන් ම, කලාකරුවන් රැසක් ද ජැක්සන් ඇන්තනීගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එහි පැමිණ සිටිති.
රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්ව ඔහු බරපතළ තුවාල ලබා මාස 14ක කාලයක් රෝහල්ගතව පසුවීමෙන් අනතුරුව ජැක්සන් ඇන්තනි ඊයේ (ඔක්. 9) ජීවිතක්ෂයට පත් විය.
ඔහුගේ දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අද උදෑසන 7.30 සිට රාත්‍රී 11:00 දක්වා අවස්ථාව ලැබේ.
අනතුරුව දේහය හෙට (ඔක්. 11) හා අනිද්දා (ඔක්. 12) දෙදින රාගම පාර, කඩවත පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසෙහි දේහය තැන්පත් කෙරෙනු ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (ඔක්. 12) සවස 3:00ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.
ජැක්සන් ඇන්තනි නළුවෙකු, ගායකයෙකු, නිවේදකයෙකු, සාහිත්‍යවේදියෙකු, කලා විචාරකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, හඬ නළුවෙකු, ගවේෂකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, මාධ්‍ය කළමනාකාරවරයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරුවෙකි.
කටුනායක ගුවන් තොට ඩිජිටල්කරණය වෙයි
මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය අද (10 ) දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.
ඒ අනුව ගුවන් ගමන් සදහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාළකවරුන්ට අත්‍යාවශ්‍ය වන ” ගගන නාවික තොරතුරු ප්‍රකාශනය ” ( Aeronautical Information Publication ) මින්පසු අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල්කරණය වෙමින් ඔවුන් අතට පත් වීම සිදු වේ .
එසේම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ( Flight Plan ) ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතය .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් (රුපියල් කෝටි 120 ක් ) වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් (M.S.Thales ) සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර , එම කාළයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට ලැබීම ජයග්‍රහණයක් බව මෙම උත්සවයේ දී ප්‍රකාශට පත් විය .
මේ වනවිට යුරෝපය , ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිතා කරන අතර ආසියා ෆැසිපික් කළාපයේ මාළදිවයින , ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල් තවමත් තවමත් තම ගුවන් සීමා කළාප වල ගුවන් යානා හැසිරවීම සදහා භාවිතා නොකරයි .
මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත් වී තිබේ.
මෙම පද්ධතිය මගින් රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ වෙත ද අවශ්‍ය සේවා සම්පාදනය කරනු ලබයි .
මෙම උත්සව අවස්ථාවට වරාය , නාවික , ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ , එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත , ශ්‍රී ලංකාවේ ගුවන් සංතරණ ප්‍රධානී නිශාන් අබේවර්ධන , තත්ව සහතිකය පිරිනැමූ සී.ජී.එස්. සමාගමේ ව්‍යාපාර කළමනාකරු චාමික විමලසිරි යන මහත්වරුන් ඇතුළු ගුවන් නියමුවන් , විදේශීය ගුවන් සේවා නියෝජිතයන් ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ .
ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස් !
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ( 09) අමාත්‍ය මණ්ඩලය හමුවේ අදහස් දැක්වීමක් සිදුකර ඇත.
ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ එම ප්‍රකාශය පහත දැක්වෙයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට සිදු කළ ප්‍රකාශය (2023-10-09)
“ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා. සංචාරකයින් ලෙසත්, විවිධ සේවකයන් ලෙසත් ඊශ්‍රායල ජාතිකයින් සැලකිය යුතු පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට යාම සඳහා අපි උපකාර කළ යුතු වෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබනවා. ඒ සඳහා අපේ සහයෝගය දැකවීම ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබෙනවා. එසේ වුවත්, මේ සියල්ලෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකියි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.
ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමය විසින් ගෙන ආ යෝජනාවට එකඟ වෙනවා. මෙම අර්බුදයේ තවත් බලපෑමක් තිබෙනවා. පෙට්‍රල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඉන් පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ තිබෙනවා. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට විශාල පහරක් බවත් කිව යුතුයි.”
පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියට නව නිලධාරී මණ්ඩලයක්
මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇනඩ් යන්ග් (Ernst & Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ හිටපු උපදේශකවරයෙකු වන අර්ජුන හේරත් පත් කර තිබෙනවා.
රජයේ හිටපු නීතීඥ නිසිත් අබේසූරිය, ජනාධිපති නීතීඥ සෞම්‍යා අමරසේකර, ඩිජිටල් නීති විශේෂඥ හා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ජාත්‍යන්තර ප්‍රමිති ආයතතයේ සහතිකලත් විගණක හා තාක්ෂණ කළමනාකරණ විශේෂඥ බිම්සර සෙනවිරත්න සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ඩිජිටල් උපාය මාර්ග විශේෂඥ ෂෙහාන් විජේතිලක යන අය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මීට අදාළ 2022 අංක 9 දරන ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත, 2022 මාර්තු මස 19 වැනි දින කතානායකවරයා විසින් සහතික කර බලාත්මක කරනු ලැබූ අතර ඒ සමඟ දකුණු ආසියානු කලාපයේ පුද්ගලික දත්ත ආරක්ෂණය වෙනුවෙන් නීති සම්පාදනය කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වුණි.
2023 ජූලි මස 21 වැනි දින නිකුත් වූ ගැසට් නිවේදනය මගින් මෙහි පස්වන කොටස ක්‍රියාත්මක කිරීමත් සමඟ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ හරහා රාජ්‍ය ආයතන, බැංකු, සන්නිවේදන මෙහෙයුම් සහ රෝහල් වැනි ආයතන සතුව පවතින මහජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම අරමුණු කරන අතර, පෞද්ගලිකත්ව නීතිය පිළිබඳ ගෝලීයව සිදුවන වර්ධනයන් මෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ ඩිජිටල් උපාය මාර්ග අනුව ද මෙම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අතිශය වැදගත්කමක් උසුලයි.
එමගින් ජාතික ඩිජිටල් උපාය මාර්ග සහ ශ්‍රී ලංකාවේ අද්විතීය ඩිජිටල් අනන්‍යතා (SL-UDI) ව්‍යාපෘතිය සමඟ සමගාමීව, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන්ය.
මෙම ස්වාධීන නියාමක යාන්ත්‍රණය විසින් පෞද්ගලික දත්ත නිසි ලෙස පාලනය කිරීම සහතික කිරීම සඳහා විවිධ අංශවල නියාමකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.
මෙම පනත කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය 2019 වර්ෂයේ සිට මහජන අදහස් විමසීම මගින් විනිවිදභාවයකින් යුතුව ආරම්භ කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ අයවැය කතාවේදී ද දත්ත ආරක්ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් 2023 වසරේ දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම සහතික කර තිබේ.
ඇමති නිමල් කියන බිලියන 22 ලාබය මොකක්ද ?
මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ, "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .
පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා එය මේ වන විට ගුවන් ගමන් වාර 200 සම්පූර්ණ කර තිබෙන බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.
පසුගිය කාලය තුළ පැවැති විවිධ අර්බුද හමුවේ ගුවන් සේවා කටයුතු පවත්වාගෙන යාම විශාල අපහසුතාවයකට පත්ව තිබුණා. කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමන් වාර නවතා දමා තිබුණා . ඒ වගේම සංචාරකයින්ගේ පැමිණීම තිබුණේ ද ඉතා පහල මට්ටමකයි. ඩොලර් අර්බුදය හේතුවෙන් සමස්ත ගුවන් ක්ෂේත්‍රයම විශාල අර්බුදයකට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස එම වකවානුවේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීම පවා ඉතා අසීරු වුණා. ඒ කාලයේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගත්තේ එක් ගුවන් යානයක් මදුරාසියට යවා එමඟින් තවත් ගුවන් යානයකට අවශ්‍ය ඉන්ධන ගෙන ඒම හරහායි. නමුත් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ සහ මාගේ මැදිහත්වීම මත ගුවන්යානා සඳහා ඉන්ධන ආනයනය පෞද්ගලික අංශය ට ලබාදීම තුළින් හිඟයකින් තොරව ගුවන් යානා සඳහා ඉන්ධන ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා . ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීන තාක්ෂණය යොදා ගෙන සංවර්ධනය කිරීම නිසා අන්තර් ජාතික ගුවන් සේවා අධිකාරිය විසින් එය අග්නිදිග ආසියාවේ ප්‍රධානම ගුවන් තොටුපළක් බවට නම් කරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබු විවිධ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානාවල වාර ගණන වැඩි කිරීමට ඔවුන් කටයුතු කළා.
ඒ අනුව එමිරේට්ස් ගුවන්යානා සතියකට ගුවන් ගමන් වාර 28ක්, චයිනා ඊස්ටන් එයාර් සතියකට ගුවන් ගමන් වාර 05ක්, එතිහාර්ඩ් ගුවන් වාර 06ක්, කටාර් එයාර් ගුවන් වාර 35ක්, එයාර් අර්බියා ගුවන් වාර 11ක්, එයාර් ඉන්ඩියා 17ක්, ජසීරා එයාර් 04ක් ලෙස ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම තවත් ගුවන් සමාගම් කිහිපයක් සිය මෙහෙයුම්වාර ශ්‍රී ලංකාව හරහා ආරම්භ කිරීමට එකඟතාව පළකර තිබෙනවා.
ඒ වගේම පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. සතියකට තුන් වතාවක් පමණක් මදුරාසිය සහ පලාලි අතර පැවති ගුවන් මෙහෙයුම් වෙනවිට ගුවන් වාර 200 සම්පූර්ණ කර තිබෙනවා.
කොරෝනා වසංගතය සහ රටපුරා පැවැති ආර්ථික අර්බුදය හමුවේ මගීන් ගෙන් තොර කලාපයක්ව තිබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මේ වන විට කාර්යබහුල ගුවන්තොටුපලක් බවට පත්වෙමින් තිබෙනවා. එය පසුගිය අගෝස්තු මාසයේ මගීන් 650,000 අධික පිරිසකට සේවා සපයා තිබෙනවා. ගුවන් සේවා සැපයීමෙන් මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 22ක ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. එයින් රුපියල් බිලියන දහයක් මහා භාණ්ඩාගාරයට අප ලබාදී තිබෙනවා.
මත්තල ගුවන්තොටුපල සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහි මෙහෙයුම් පාඩුව අවම කර ගැනීම සඳහා ද දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. එම යෝජනාව මහා භාණ්ඩාගාරයට යොමු කිරීමෙන් පසුව ඒ සම්බන්ධව ලෝක බැංකුව සමග ද සාකච්ඡා කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාරදෘශ්‍ය භාවයක් ඇති කිරීමට ජාත්‍යන්තර උපදේශකවරයෙකුගේ සහාය ලබා ගැනීමට යෝජනා කෙරුණා. ඒ අනුව නව උපදේශකවරයෙක් මේ වන විට පත්කර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. එම කටයුත්ත සැලසුම් කළ ආකාරයට සිදු වුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගත හැකියි.
මේ වන විට අප අයිති කිසිදු ගුවන් යානයක් නැහැ. තිබෙන සියලු ගුවන් යානා ලබාගෙන තිබෙන්නේ කල් බදු පදනම යටතේයි. ගුවන් යානයක් මිලදී ගැනීම ක්ෂණිකව සිදුකළ නොහැකියි. එහිදී ඇණවුම භාරදී වසරක පමණ කාලයක් බලාගෙන සිටීමට සිදුවෙනවා. අපට A330 ගුවන් යානා නොමැතිවීම නිසා එංගලන්තයට, ප්‍රංශයට, ඕස්ට්‍රේලියාවට මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. දැනට අප කල්බදු ක්‍රමයට ගෙන තිබෙන ගුවන් යානා සියල්ලම A320 යානායි. එම ගුවන් යානාවලින් දුර මෙහෙයුම් කටයුතු සිදු කරන්න බැහැ. එම නිසා මෙම ගැටලු ද විසඳා ගැනීමට සිදු වන්නේ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම හරහායි.
පසුගියදා ගුවන් ගමන්වල සිදු වූ ප්‍රමාදයන් නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 06 ක් පමණ වෙනවා. වෘත්තිය සමිති කියා සිටියේ ගුවන් යානා වල තාක්ෂණ දෝෂ නිසා එම ප්‍රමාදයන් සිදු වූ බවයි. නමුත් ගුවන් ඉංජිනේරුවරයකුගේ සහතිකයක් නැතුව ගුවන් නියමුවෙකුට ගුවන් යානයක් අහසට ඔසවන්න හැකියාවක් නැහැ. අනෙක් කාරණාව නම් අනෙක් ගුවන් සමාගම් වල ගුවන් නියමුවන් මසකට ගුවන් පැය සීයක ගුවන් ධාවන කාලයක් සිදු කළත් අපේ ගුවන් නියමුවන් ගෙන් බහුතරය පියාසර කර තිබෙන්නේ ගුවන් පැය 63ක් පමණයි. එම නිසා විවිධ චෝදනා සිදු නොකර ආයතන හැටියට සාර්ථක ඉදිරියට යාමට තම තමන්ගේ කැපවීම ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ සඳහා සේවකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතුයි. ඒ වගේම ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.
ඒ වගේම එයාර් ඉන්දියා ආයතනය, ටාටා ආයතනය විසින් මේ වන විට මිලදීගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට boeing 777 ගුවන් යානා 250ක් සඳහා ඇනවුම් භාර දී තිබෙනවා. අපද එවැනි කලාපීය ගුවන් සමාගම් සමග ඒකාබද්ධව ඉදිරියේදී ගුවන් ගමන්වාර වැඩ කිරීම තුළින් ශ්‍රී ලංකන් සමාගමේ 6000වන සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගනිමින් ශක්තිමත් ගුවන් සේවයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඊශ්‍රායල් - හමාස් ගැටුම : දැනට ශ්‍රීලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන් !
ඊශ‍්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන්ව ඇති අතර තවත් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙසේ අතුරුදහන්ව සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත්, අනෙක් අතුරුදහන්ව සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මෙම අතුරුදහන්ව සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් සොයා ගැනීම සඳහා මේ වන විට ඔවුන්ගේ තොරතුරු රතු කුරුස ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
තවද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති නමුත් තත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.
තානාපති කාර්යාල ආරංචිමාර්ග අනුව මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ ඊශ්‍රායලයේ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණ තිබෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැකියා සඳහා ය.
Page 124 of 440