Language Switcher

Ad

Ad 01

V2025

ජනාධිපතිගේ කතාව සැර වැඩිද ?

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ දී කරපු කතාව සැර වැඩි නැද්ද?

මේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු පසුගිය දිනවල ඇසූ ප්‍රශ්නයක් ය.

ඒ ප්‍රශ්නය සාධාරණය. මන්ද ජර්මනියේ බර්ලින් තාප්පය බිඳ දැමීමට පසුව, ලෝක බලවතුන්ගේ “එදිරිවාදිකම් තාප්පයට”එච්චර සැර කුළුගෙඩි පහරක් වැදුණාමද කොහෙදය.

වැඩේ හොඳටම බරපතළ වුණේ, 2023 බර්ලින් ගෝලීය සංවාදයේ මූලිකයා බවට පත්වෙමින් ආරම්භක දේශනය ලබා දී තිබුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහට වූ නිසාය. සැබවින්ම ඔහුට මේ අවස්ථාව හිමි වන්නේ, මෑත යුගයේ දරුණුම ආර්ථික කඩා වැටීමකට ලක්වෙමින්, “ණය – මූල්‍ය අර්බුදයේ නූතන ජාතික රාජ්‍ය කඩාවැටීමකට අදාළ ගෝලීය ආදර්ශයක් වූ ශ්‍රී ලංකාව, ලෝකයම විමතියට පත්කරමින් වසරක් වැනි කාලයක් තුළ දෙපයින් සිටවූ රාජ්‍ය නායකයා වූ නිසාම පමණක් නොවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ තැන ලැබෙන්නේ දේශපාලන නායකයකු, රාජ්‍ය පාලකයකුගේ සාමාන්‍ය භුමිකාවෙන් ඔබ්බට ගිය, ගෝලීය අර්බුද පිළිබඳ සිදු කළ තක්සේරු, පුරෝකථන, අදහස් සහ විසඳුම් යෝජනා නිසාය. එකී අන්තර්ගතයේ වූ ප්‍රශස්ත බව නිසාය.

විශේෂයෙන් සමස්ත මානව සංහතියේම ඉරණම තීන්දු වීමට බලපාන දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් ලෝක දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. දේශගුණික විපර්යාස වෙනුවෙන් දැඩිව බලපෑමක් කරන කාබන් විමෝචනය අධිකව සිදු කරන රටවලට මෙන්ම මේ වන විටත් වැඩිම කාබන් විමෝචනයක් සිදු කරන රටවලට යළි තම වැඩපිළිවෙළ ගැන හැරී බැලීමට සිදුව ඇත.

බලවතුන් එක්ව ක්‍රියා නොකිරීම

එසේම ගෝලීය දකුණේ රටවල පොදු අර්බුදය, පොදු ඉරණම, පොදු අභාවාචී අත්දැකීම ඉතිහාසයේ පෙර කිසිම රාජ්‍ය නායකයකු ලෝක දේශපාලන වේදිකාවේ ඉස්මතු නොකළ ආකාරයට පෙරට ගැනීමටද පසුගිය සමය පුරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

සැබැවින්ම බර්ලින් ගෝලීය සමුළුවේ 2023 ආරම්භක දේශනය සිදු කරමින් මුල් තැන ලබන්නට මේ කාරණා දෙකත් හොඳටම ප්‍රමාණවත්ය.

ලෝක බලවතුන් ගෝලීය අර්බුද වෙනුවෙන් එක්සත්ව ක්‍රියා නොකිරීමත් ලෝක බලවතුන් යන වැරදි මාවත් ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කළේය. බලවතුන්ගේ පීඩනය ලබන රටවල් ගැනද සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි රටක් ඒ හමුවේ කොපමණ තෙම්පරාදු වී ඇතිද යන වගත් පැවසීය. බලවතුන් යන වැරදි මාවත්වල පසුපසින් ඒමට සූදානම් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක බලවතුන්ගේ ඇතැම් ප්‍රවේශ සහ ක්‍රමවේද නූතන අභියෝගවලට මුහුණ දීමට තරම් යාවත්කාලීන නොවීමත්, ඊට වන්දි ගෙවමින් ලෝකය අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන ආකාරයත් පෙන්වා දුන්නේ ය. එපමණක් නොව ලෝකයේ බලවත් රාජ්‍යයන් සමඟ සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු රටවලට එකට සිට කතා කිරීමට වේදිකාවක් හෝ නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඒ හමුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දුෂ්කරතාව මෙන්ම, ඊටත් වඩා අර්බුදයට ලක්වූ රටවල අත්දැකීම්වල පොදු බවද ඔහු ගෙනහැර දැක්වීය.

මේ ගෝලීය අවනඩුව ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බර්ලින් ගෝලීය සමුළුවේ සිට ලෝක බලවතුන් වූ අ‍ෙමරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාවට අවධාරණය කර සිටියේ ඔවුන් එක වේදිකාවක සිට, ගෝලීය අර්බුද සඳහා පිළියම් යෙදිය යුතු බවය. නැත්නම් ගෝලීයව දකුණට විකල්ප සෙවීමට සිදු විය හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

තවද 2024 ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම අ‍ෙමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ද අවධාරණය කෙරිණ.

එපමණක් නොව , “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවද පෙන්වා දුන්නේය.

මෙරට රාජ්‍ය නායකයකු ගෝලීය සමුළුවක, මේ ආකාරයට ගෝලීය බලවතුන් ඉලක්ක කර ඍජු ආමන්ත්‍රණ සිදු කරනවා අප අසා නැති තරම් ය.

අනෙක් අතට අප වැනි දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී යන්තමින් හිස ඔසවන රටක නායකයකුට ලෝක බලවතුන් මේ ආකාරයට ආමන්ත්‍රණය කිරීමට තරම් ධෛර්යයක් ඇතැයි සිතීමද දුෂ්කරය. නමුත් ඒ ධෛර්යය බිඳුවකුඳු අඩුවක් නැතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව ඇත. ඊට අදාළව ඔහු සතුව ඇති එකම අවිය නම්,“තම ස්ථාවරය නිවැරදිය” යන්න පමණය.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අවස්ථාවේ මෙන්ම ඊට සමගාමීව පැවැත්වුණු සංවාද සාකච්ඡාවලදී ද, ඊට පෙර සහභාගි වූ ජාත්‍යන්තර සමුළු, සාකච්ඡා සභා සහ රාජතාන්ත්‍රික හමුවලදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයටම ගෝලීය ප්‍රජාව නියෝජනය කරන එක් එක් ජාතික රාජ්‍ය, තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අතරේ, මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් පොදු ගෝලීය න්‍යාය පත්‍රයකට වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අනුව බර්ලින් ගෝලීය සමුළුවේ සිදු කළ ප්‍රකාශය තේරුම් ගත යුතු වන්නේ එය ආරම්භක ප්‍රවේශයේ දිගුවක් ලෙස මිස අනෙකක් ලෙස නොවේය.

සැබවින්ම වත්මන් ගෝලීය සැකැස්ම අනුව, තනි රටක දේශසීමා තුළ සියල්ල කළමනාකරණය වන්නේ නැත. එනම්, ජාතික රාජ්‍යයේ දේශපාලන බලය පවා එහි දේශසීමාවලින් පිට කළමනාකරණය වන තැනට තත්ත්වයන් වෙනස් වී ඇති බවය. එසේ වූවා කියා ජාතික රාජ්‍යය අතාර්කික වීමක් හෝ අහෝසි වීමක් ද මෙයින් අදහස් වන්නේ නැත. මෙහිදී එක් එක් ජාතික රාජ්‍යයේ මෙන්ම, පොදුවේ ගෝලීය ප්‍රජාවේ පැවැත්මේ පොදු ආරක්ෂිත මූලධර්මය නම්, “එකා සැමටත් – සැම එකාටත්” පන්නයට සම්බන්ධ වීම සහ ක්‍රියාත්මක වීමය. එනම් කිසිවෙකුට තනිව පැවැත්මක් නැති අතර, තනි පැවැත්මක් වෙනුවෙන් අනෙකා නොතකා කටයුතු කිරීමටත් ඉඩක් නැත.

රටේ වගකීම බාර ගැනීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දේශපාලනයට සිය මැදිහත් වීම සිදු කරන්නේ ද අන්න ඒ කියන මූලධර්ම හැසිරීම අවධාරණය කරමින් ය. ඔහු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ක්‍රියාත්මක වූයේද අන්න ඒ කියන මූලධර්මය අනුව යමින් ය.

එදා රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව සිදු කළේ රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමය. එහිදී නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කර තිබූ බැවින්, පියවරක් හෝ ඉදිරියට යාමට නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 16 වතාවක් ගිවිසුම්ගතව එය උල්ලංඝනය කළ රටක් ලෙස ලංකාවට සහය දීමට ඒ මොහොතේ IMF ඉදිරිපත් වෙයිද කියන සැකය පවා තිබිණ. නමුත් දුෂ්කර ප්‍රයත්නයක් අවසානයේ IMF සමඟ එකඟතාව ලබාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් විය.

එදා එතැනින් ඇරඹි සාර්ථකත්වය පසුගියදා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශනයක් හරහා එළියට පැමිණ ඇත්තේ , Ò බංකොලොත් සහ ආර්ථික වර්ධනය වෙනුවට අවවර්ධනය දෙසට හැරී තිබූ ශ්‍රී ලංකාව නැවත හැරවීමට රජය සමත්ව ඇති බවÓ සඳහන් කරමින්ය.

එසේම ලබන වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 1.3 % ක් වනු ඇති බවටත් ආසියානු සංවර්ධන බැංකුව සිය වාර්තාවේ පුරෝකථනය කර ඇත. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ එය 1.5 % ක වර්ධනයක් විය හැකි බවය. මේ ආකාරයට ජාත්‍යන්තරයට විශ්වාසය ගොඩනැඟී ඇත්තේ, 2022දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය -7.8% ක් වූ සහ මේ වන විට – 3.0ක් ලෙස පවතින පසුබිමකය.

ඒ කියන්නේ ආර්ථික අර්බුදයේ බරපතළම සමය සාර්ථක ලෙස අවසන් කර නිවැරදි පීල්ලට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්ව ඇති බව නොවේද? එදා 70% තිබූ උද්ධමනය මේ වන විට 1.3 % කට ගෙනා රහස ඇත්තේ ද එතැනය. සැබවින්ම දැන් ඇත්තේ , රාජ්‍ය ආදායම් තවත් ඉහළ දමා ගැනීමට කටයුතු කිරීම ය. එම කටයුත්ත කඩිනමින් සිදු කරන්නට ඇති අවස්ථා වන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම සහ විදෙස් ආයෝජන හරහා ය. මේ වන විට IMF දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 330 ගැනීමට වන සාකච්ඡාව සිදු වෙමින් ඇත්තේ ද ඒ ගැනය.

පැරණි වැරදි

තම ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරන බවත් දැනට ඇති ගිවිසුම තමන් පිළිනොගන්නා බවත් පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පල් පාට් දමන්නේ එහෙම පසුබිමකය.

මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය විමසීමකදී IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගිවිසුමේ කරුණු කාරණා සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් සිදු විය යුත්තේ එහි අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මත බවය.

ශ්‍රී ලංකාව කියන්නේ දැනටමත් 16 වතාවක් IMF සමඟ වැඩසටහන් සඳහා ඇතුළත්ව ඒ 16 වතාවේම පොලු තැබූ රටක් ය. සජිත් කියන්නේ 17වන වතාවටත් පොලු තැබීම තමන්ගේ සූදානම කියාය. ඒ කියන්නේ 16 වතාවක් IMF වෙත පොලු තබා අමාරුවේ වැටුණු ලංකාව ආයෙත් අමාරුවේ දැමීමට වැඩි දෙයක් සජිත් නොදන්නා බවය. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් ලෝකයටම සිහිපත් කරන, ජාතික රාජ්‍ය මෙන්ම ගෝලීය ප්‍රජාවේම පැවැත්ම අරබයා තීරණාත්මක මූලධර්මය සජිත් නොදැන කඩකරන බවය.

2019 ආණ්ඩු පෙරළිය අවස්ථාවේ, ගෝඨාභය රාජපක්ෂ පාලනයද සිය ආර්ථික ප්‍රතිපත්තිය ලෙස පළමුව සිදු කළේ පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමෙන් ඉවත් වීමය. ඊට කිව්වේ දේශප්‍රේමී ආර්ථිකය කියාය. මේ තවමත් භුක්ති විඳින්නේ එහි අස්වැන්න ය. සජිත්ගේ මූලධර්මයත් එයම නොවේද?

එසේ නම්, දැන් ප්‍රශ්නය වන්නේ ජනතාව පිළිගන්නේ කාගේ මූලධර්මය ද යන්නය. ජනතාව තෝරාගන්නා මූලධර්මය මත ජනතාවගේ ඉරණම තීරණය වනු ඇත.

එස්. එම්. ලියනගේ
(2023-10-02 දිනමිණ )