පුවත්
ගෑස් මිල පහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.
සිමෙන්ති මිල අඩු වෙයි
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.
දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.
ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින් සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි.
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා.
ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.
අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිවයුතුයි.
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.
මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.
අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
2017 වසරේ ඇති වූ ආපාදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.
නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් ( Bonnie Horbach) ,
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ පසුගිය වසර 10 තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ අද මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා.
ජැන්සන් බ්‍රිජිං සමාගම පසුගිය වසර 10 තුළදී ශ්‍රී ලංකාව පුරා පාලම් ඉදිකිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒවා බොහෝවිට අප දන්නා අලංකාර පාලම් නොවෙයි. නමුත් ඒවා ජන ජීවිතය ජාතික සංවර්ධන ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරන සහ ග්‍රාමීය ජනතාවට සෘජු ප්‍රතිලාභ සලසන ව්‍යාපෘති බව කිව යුතුයි.
නායකත්වය යනු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අවස්ථා විවෘත කිරීමයි. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පීඩා වින්දා. එම අවස්ථාවේ දී නායකත්වයේ ගුණාංග මැනවින් පිළිඹිබු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා.
දැන් එතුමා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී සිටිනවා. එහිදී සියලු ජනතාවට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘති කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී තිබෙන අතර එම සංවර්ධනයේ ප්‍රතිලාභ අඩු ආදායම්ලාභී ජනතාවට ලැබෙන බවද සහතික කළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙරට ප්‍රථම වරට ළමා සිනමා ශාලාවක්
ළමයින් උදෙසා සිනමා ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ඇති කරලීම සඳහා යෝජනා කර, ඒ සඳහා මහජන මුදල් ප්‍රතිපාදන ලෙස වෙන්කර දීමෙන් අනතුරුව, පා.ම. යදාමිණි ගුණවර්ධන 05.30 දින එහි ප්‍රගතිය විමර්ශනය කළේය.
මෙරට මුල්වරට ළමා සිනමා ශාලවක් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාව බාරගෙන ඇත.
ප්‍රගති සමාලෝචනයේදී අදහස් දැක්වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, “අපේ සංස්කෘතික පාරිසරික උරුමයන් පිළිබඳ හැඟීම, රටෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ආකල්ප දියුණුව, මෙන්ම යහපත් මානව සාරධර්ම වර්ධනය සඳහා ළමා සිනමාව විශාල දායකත්වයක් සපයන බව” පැවසීය.
කොළඹ මහ නගර සභා ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වරුණී ගඟබඩආරච්චි , වාස්තු නිර්මාණ ශිල්පීහු, ඇතුළු මහ නගර සභා නිළධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 152ක වර්ෂාවක් ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.
දිවයිනේ සියළුම පාසල් හෙට වැසේ
පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු පවසති.
කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද නිලධාරීහු පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි - ජනපති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.
එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.
ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.
එසේම මරණසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කළේය.
කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ සහ විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මෙම “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදි කර තිබේ.
පස්මහල් ගොඩනැගිල්ලකින් සහ තුන්මහල් ගොඩනැගිල්ලකින් යුත් මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එකවර භික්ෂුන් වහන්සේ පනස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි අතර කාමර 20ක්, වාට්ටු අංගනයක්, දාන ශාලාවක්, බෙහෙත් ගබඩාවක්, හදිසි ප්‍රතිකාර අංශ, කාර්යාල කාමර සහ වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම්වලින් මෙය සමන්විතය.
සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂුන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා තිබෙන අතර භික්ෂුන් වහන්සේ පන්සිය නමකට භාවානායෝගීව වැඩ විසීමට සුදුසු පරිසරයකින් යුක්තය.
දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වෛද්‍ය උපකරණ සඳහා දකුණු කොරියාවේ හේතු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංශ හිමිපාණන් වහන්සේ අරාධනයෙන් දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂොන් Long Fong ආරාමයේ සින්දාවෝ (SinDaw) භික්ෂුණියගේ දායකත්වය ලබා දී තිබේ.
සමරු ඵලකය නිරාවරණය කර ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ ඉටුකරන විශිෂ්ඨ ජාතික, ආගමික සහ ශාසනික සේවාව සහ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මෙම ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකරමින් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසාදය උන්වහන්සේ වෙත පළ කරමින් සිරි සෝමේස්වර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථකාරී යන සම්මානෝපාධි ගෞරව නාමය පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
එම ගෞරව නාමයට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානයෙන් පසු උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
එසේම මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කළ දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණින් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කළ සන්ධ්‍යා කාන්තිලතා වෙත ද ජනාධිපතිවරයා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබෙන පළමු රෝහල මෙයයි. අපේ රටේ රෝහල්වල භික්ෂු වාට්ටු පැවතුණා. නමුත් මෙය භික්ෂු වාට්ටුවක් නොවෙයි.
රෝගාතුරුව වැඩවසන භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම රෝහල වෙන් කර තිබෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ දකුණු කොරියාවේ Neunghaeng භික්ෂුණින් වහන්සේ ප්‍රමුඛ සියලුදෙනාට රජයේ ස්තුතිය පිරිනමනවා.
මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඉල්ලා තිබෙන අතර එම සහාය ලබාදීමට කටයුතු කරන බවත් මෙම රෝහල දියුණු කරමින් ඉදිරියට ගෙන යාමට රජයේ ආධාර උපකාර ලබාදෙන බවත් මම ප්‍රකාශ කිරීමට කැමතියි.
ඒ වගේම ඉතා සුන්දර පරිසරයක මෙම රෝහල ඉදිකර තිබෙන අතර මෙම පරිසරයත් අප ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු බවද සිහිපත් කළයුතුයි.
ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා.
ඊට අමතරව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඕනෑම රජයක් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට පමණක් නොවෙයි රාජ්‍යයට පැවරෙනවා. එසේනම් රාජ්‍යයට අයත් අංශ තුන වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වු විධායකය, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වූ පාර්ලිමේන්තුව සහ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් වු අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමි විය යුතුයි.
මෙම සහයෝගය ලබා නොදී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මන්ත්‍රීවරු ලෙස අප සියලුදෙනා ව්‍යවස්ථාව අනුගමනය කිරීමට දිවුරුම් දී තිබෙනවා. එසේනම් අප සියලුදෙනා එම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් කිසිවිටෙක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේ ද නැහැ.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍යයි. ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මුලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.
ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුනයි. අප මෙය පදනම් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ එකකට හෝ විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් ලෙස සැලකෙනවා.
අද මෙම රෝහලේ රෝගීන් ගණනාවක් සිටිනවා වගේම එක රෝගියෙකු සුව කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා.
මරණාසන්නව සිටි රෝගියාව අප දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. නිරන්තරයෙන් අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ලෝකයේ කිසිදු රෝගියෙකු එකවර සුව වෙන්නේ නැහැ. මෙම රෝගියා සුව කිරීමට තව වසර තුන හතරක් ගත වෙනවා. නමුත් මෙම වැඩකටයුතු කරගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සහිත ස්තූතිය පිළිගැන්විමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ,
රටේ බොහෝ අපහසු යුගයක් පැවතුණා. එමෙන්ම පෝළිම් යුගයක් පැවතුණා. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් පසු අපට අද මෙම තත්ත්වයට පැමිණීමට හැකි වී තිබෙනවා. එය සියලුදෙනා නිතර්කයෙන් පිළිගත යුතු කරුණක්. එතුමා රට මේ තත්ත්වයට ගෙන ආ නිසා තමයි අද මෙම ආගමික උත්සවය සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ. එය අප සෑමවිටම කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන් ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද අද ජනාධිපතිතුමා මෙම කාර්යය වෙනුවෙන් සහභාගීවීම පිළිබඳ මගේ කෘතවේදීත්වය පළ කරනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන,
මේ රටේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී කැප කිරීමක් කරන මහා සංඝ රත්නය වෙනුවෙන් විශේෂිත රෝහල් පුරානයේ ඉදිකර තිබු බව ඉතිහාසයේ සනිටුහන් වෙනවා. මෑත ඉතිහාසය තුළත් නිදහසින් පසු විවිධ රජයන් විසින් දේශීය හා විදේශීය රෝහල්වල භික්ෂූන් වහන්සේ සඳහාම වෙන්වු වාට්ටු සකස් කර තිබෙනවා. ආයුර්වේද රෝහල් තුනකත් දේශීය බටහිර රෝහල්වලත් ගෞරවණීය භික්ෂූන් වහන්සේ සඳහා භික්ෂු වාට්ටු තිබුණත් භික්ෂූන් වහන්සේලා සඳහාම වෙන්වු රෝහලක් අප රටේ මෑත ඉතිහාසයේ ඉදිවී නොතිබු බව සඳහන් කළ යුතුයි. ඒ නිසා කොහුවල ශ්‍රී ධාතුමලු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක ස්වාමීන් වහන්සේ අනේක විද දුක්ඛ දොම්නස්සයන් මැද විශාල කැපකිරීමක් කරමින් රාජ්‍ය හමුදා හා වෙනත් දෙස් විදෙස් ධන පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව මේ මහා පුණ්‍ය කර්මය සිදු කර තිබෙනවා.
උන්වහන්සේගේ අරමුණ ජනාධිපතිතුමාට පැහැදිලි කිරීමෙන් පසු අපේ රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගම පෝෂණය කොට සුරක්ෂිත කිරීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් වන හෙයින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා.
මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමින් වහන්සේ, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ,
නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ගලපිටියාගම විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාධාපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය මාතලේ ධම්ම කුසල නායක හිමිපාණන් වහන්සේ, තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය අතිපුජ්‍ය වලේගොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ, තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපුජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන්වහන්සේ , උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානයක අතිපුජ්‍ය නිකපෝත චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් ද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන් සහ දකුණු කොරියාවේ බෞද්ධ දූත පිරිස ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නීතිපතිට සේවා දිගුවක් !
නීතිපති සංජේ රාජරත්නම්ට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර තිබේ.
එම සේවා දිගුවට අදාළ ජනපතිගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇත.
නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
වැලිපැන්න ජලයෙන් යටවෙයි : අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දැමේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව, යළි දැනුම්දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබෙන අතර වැලිපැන්න පිවිසුමෙන් පිටවන වාහන දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැම්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන භාවිත කළ යුතු බව ද එම අධිකාරිය දැනුම් දෙයි.
ගංගාවල ජල මට්ටම ඉහළට !
මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.
මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවද සදහන් කරයි.
ඉන්ධන මිල ගණන් සංශෝධනයක්
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420කි.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377කි.
භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක් වෙයි.
කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස්
2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝතා මතු කර තිබුණි.
එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිය විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කර නොතිබූ බවයි.
නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ, අප්‍රේල් මස දෙවැනි දා යැයි පෙන්වා දුන් මහාධිකරණ විසුරුවරයා ඒ අනුව, නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයකට පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.
ඒ, අනුව මෙම අධි චෝදනා පත්‍රය නීතිය ඉදිරියේ වලංලගු භාවය අභියෝගයට ලක් ඇති හෙයින් ඔවුන්ට එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා පැවසීය.
ඒ, අනුව විත්තිකරුවන් නිදහස් කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙයි
ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකිය
මෙම වසරේ ජනවාරි මාසයේ දී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටිහ.
ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර සෙසු 65,531 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වන බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ආර්ථික පරිවර්තන පනතට විරුද්ධ අයගේ අභිලාසය ශෙහාන් හෙළිකරයි !
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද ඒ මහතා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් අප බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. එමෙන්ම වඩා හොඳ යටිතල පහසුකම් සහිත රටක් නිර්මාණය කිරීම ද මෙමඟින් අපේක්ෂා කරනවා.
ඒ වගේම ආර්ථික වර්ධනයට සමගාමීව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට සහ නවෝත්පාදනයන් සහිත අපනයනය පුළුල් වූ තරඟකාරී වෙළෙඳපොළක් ඇති කිරීමට ද බලාපොරොත්තු වනවා.
නමුත් මෙම පනත පිළිබඳව අනවබෝධයෙන් සිටින පිරිස් විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ ද අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණයි. මෙම පනතේ අඩංගු ඉලක්කයන් සපුරාගත නොහැකි බවට ද ඔවුන් චෝදනා කරනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණයි.
එමෙන්ම අප රටේ ඉලක්කගත නීති රාමුවක් ක්‍රියාත්මක නොවීම ආර්ථික පරිහානියට හේතු වූ බව සියල්ලන්ම දන්නා කරුණක්. අප එයින් පාඩමක් උගත යුතුයි.
ඒ වගේම 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% ක්වූ මෙරට ණයබර 2032 වසර වන විට 95% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අප ක්‍රියාත්මක විය යුතුයි. තවද රජයේ දළ මුදල් සැපයීම 2022 වසරේ පැවතියේ 34.6% ක ප්‍රමාණයක් ලෙසයි. එය 2032 වසර වන විට 13% ක ප්‍රමාණයක් දක්වා අඩුකර ගත යුතුයි. රජයේ විදේශීය ණය සේවාකරණය 2022 වසරේ 9.6% ක් වුණා. එය 2027 වසර වන විට 4.5% දක්වා අඩු කර ගත යුතුයි. මෙම ඉලක්ක ඉදිරියේ දී මෙරට නීති රාමුව බවට පත් කිරීමට අප කටයුතු කරනවා. එමඟින් රටේ තිරසර ආර්ථිකයක් ඇති වෙනවා.
ඒ වගේම 2022 වසරේ රටේ ආර්ථිකය සෘණ 7.8%ක්ව පැවතුණා. නමුත් මෙම පනත් කෙටුම්පත හරහා 2027 වසරින් පසුව 5% ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් වෙත ගමන් කිරීම සිදුවනවා. රැකියා විරහිතභාවය ද 2022 වසරේ 4.7% ක්ව පැවතුණා. එය 2025 වසර වන විට 5% ට නොඅඩු ප්‍රමාණයක පවත්වාගෙන යාම සිදු කෙරෙනවා.
තව ද 2022 වසර වන විට කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීම තිබුණේ 32.1% ක් ලෙසයි. එය 2030 වසර වන විට 40% කට නොඅඩු ප්‍රමාණයකට වර්ධනය කර ගැනීමත්, 2040 වසර වන විට 50%ක් දක්වා වර්ධනය කර ගැනීමත් අපගේ ඉලක්කයයි.
එමෙන්ම ජංගම ගිණුමේ ශේෂය 2022 වසර වන විට සෘණ 1.9%ක්ව පැවතුණා. එය 2025 වසර වන විට 1%ක ප්‍රමාණයක පවත්වා ගෙන යා හැකියි. 2022 වසර වන විට 21% ක්ව පැවති භාණ්ඩ හා සේවා අපනයනය 2025 වසර වන විට 40%ක් දක්වා සහ 2040 වසර වන විට 60% දක්වා වර්ධනය කරගැනීමත් ආර්ථික පරිවර්තන පනත හරහා සිදු වනවා.
2022 වසර වන විට 1.6% ක්ව පැවති සෘජු විදේශ ආයෝජන 2030 වසර වන විට අවම වශයෙන් 5% ක මට්ටමක පවත්වාගෙන යාමට බලාපොරොත්තු වනවා. එම සෘජු ආයෝජන ප්‍රමාණය රටේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2030 වසර වන විට 40% ක ප්‍රමාණය දක්වා පරිවර්තනය කරගැනීම ද අපගේ ඉලක්කය වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහන තුළ ප්‍රධානතම සාධකය බවට පත්වන්නේ, අප රටේ ප්‍රාථමික ශේෂයයි. 2022 වසර වන විට සෘණ 3.7% ක්ව පැවති ප්‍රාථමික ශේෂය 2025 වසර වන විට ධන 2.3% දක්වා බවට පර්වර්තනය කර ගැනීම සහ 2032 වසරින් ඔබ්බට 2% ක මට්ටමක පවත්වාගෙන යාමට ද අප බලාපොරොත්තු වනවා.
තව ද රාජ්‍ය ආදායම 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් ලෙස පැවතුණා. එය 2025 වසර වන විට 15% ට වැඩි ප්‍රමාණයකින් පවත්වා ගෙන යාම අපගේ ඉලක්කයයි. එමඟින් අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව ජනතාවට සැපයීමට හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.
ඒ වගේම රටේ ඇති වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ දිළිඳු සහ අවදානම් සහගත ජනතාවට සිදුවන බලපෑම වැඩි වී තිබෙනවා. මෙම බහුමාන දරිද්‍රතාවය 2027 වසර වන විට 15%කට අඩු මට්ටමකට රැගෙන ඒමට සහ 2035 වසර වන විට 10% දක්වා රැගෙන ඒමත් අපගේ ඉලක්කයයි.
මෙම ආර්ථික පරිවර්තන පනත ප්‍රකාරව ඇති නීතියට අනුකූලව ඉලක්කගත වැඩපිළිවෙළ වෙත අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම වෙනවා. අප එය නොපිරිහෙළා ඉටු කරන බව ද පැවසිය යුතුයි.
පාර්ලිමේන්තුව ජුනි 4 රැස්වෙයි !
පාර්ලිමේන්තුව ජුනි මස 04 වනදා සිට 07 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.
පසුගියදා 28 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
එහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජුනි 4, ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජුනි 5, ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 6, පැවැත්වීමට නියමිතය.
රුසියාවේ හමුදා සේවයට පිරිස් යොමුකළ කෙරුමන් රිමාන්ඩ් !
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය .
ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේය .
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බවට ලද පැමිණිලි 7ක් අනුව සැකකරුවන් දෙදෙනා මැයි 15 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ගෙනතිබූ අතර කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික ය.
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරනවා - ජනපති
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක් වෙමිනි.
රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.
බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.
එසේම රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බවද සඳහන් කළ ජනාධිපතිවරයා නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය දියුණු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවද අවධාරණය කළේය.
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එතුමා සෑමවිටම සමාජ යථාර්ථය හදුනා ගනිමින් නවීකරණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ බවද සඳහන් කළේය.
දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර ඇගයීම ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වුණේ 1964 වසරේදීයි. එය තීරණාත්මක කාලයක්. පළමු වතාවට වමේ පක්ෂ එකට එක්ව එක්සත් වාමාංශික පෙරමුණ ඇති කළා. එන්.එම්. පෙරේරා, පිලීප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, කොල්වින් ආර්. සිල්වා යන මේ සියලුදෙනා එකට එකතු වෙලා මැයි දින රැළියට සහභාගි වු අයුරු එහිදී අප පළමු වරට දුටුවා. සටන් පාඨ කියමින් ගාලු පාරේ විශාල සෙනඟක් අරගෙන ආවා.
1964 මැයි දිනය අමතක නොවන මැයි දිනයක් වුණා. එයින් මාස තුන හතරකට පසු තවත් පරිවර්තනයක් සිදු වුණා. එම සන්ධානයම කඩා වැටුණු අතර සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩුවට එක් වුණා. එසේනම් එදා තිබුණු වමේ වෘත්තිය සමිති ව්‍යාපාරය එතැනින් කඩා වැටුණා. ඉන් පසුව කිසි දිනක ප්‍රධාන වෘත්තීය සමිතිවලට එකතු වෙන්න අවස්ථාව හිමි වුයේ නැහැ.
1970 – 1974 කාලයේ ජනතාව විඳි දුක නිසා ඒ වටා සම්බන්ධ වෘත්තීය සමිතිවලටත් සාමාජිකත්වය අහිමි වුණා. 1977 සිට තවත් යුගයක් ඇති වුණා. ආණ්ඩුවේ ආර්ථික පාලනයේ උපරිම යුගය තමයි 77 වන තෙක් පැවතුනේ. ඉන්පසුව නව යුගයක් පැමිණියා. ක්‍රමානුකූලව විවෘත ආර්ථිකයක් ඇති කළා. වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒ සමඟ වෙනස් වුණා. ජාතික සේවක සංගමය ප්‍රධාන වෘත්තිය සමිති සංගමය ලෙස ඉදිරියට පැමිණියා.
1972 ජාතික සේවක සංගමයේ නීති උපදේශක ලෙස එම වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. කෙසේ හෝ ඒ කාලයේ සිට අද වන තෙක් තවත් වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ලෝකයේ දේශපාලනය වෙනස් වුණා. සමාජවාදී හා ධනවාදී රටවල් අතර තරගය වෙනුවට 1989 සිට ගෝලීයකරණය සමඟ ඉදිරියට ආවා. ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ ආර්ථිකය විවිධ අයුරින් වෙනස්කම්වලට ලක් වුණා. එම අත්දැකීම් සමඟ තමයි අප ඉදිරියට පැමිණියේ.
අද කම්කරුවන්ද, කොන්ත්‍රාත්කරුවන්ද, හිමිකරු ද කියලා වෙනසක් නැහැ. අලුත් විදියට නිවසේ සිට වැඩකටයුතු කරනවා. කොවිඩ් සමයේ අප සියලුදෙනා මෙම අත්දැකීම ලබා ගත්තා. සම්පුර්ණයෙන් ලංකාවේත්, ලෝකයේත් ක්‍රමවේදය වෙනස් වෙලා තිබෙනවා. වෘත්තීය සමිතිත් ඒ අනුව වෙනස් විය යුතුයි. එම යථාර්ථය හදුනාගත් පුද්ගලයෙකු ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා හැඳින්විය හැකියි.
ඔහු නවීකරණය සමග ඉදිරියට යාමට කටයුතු කළා. අද තිබෙන ව්‍යාපාර නෙවෙයි එදා තිබුණේ. අද ලෝකයත් වෙනස් වෙලා, අපේ රටත් වෙනස් වෙලා. අද අප සිටින්නේ විවෘත ආර්ථිකයකයි.
ඒ අනුව අලුත් ලෝකය සමඟ අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අප තීරණය කළයුතුයි. 1964 සටන් පාඨ හෝ ක්‍රියා මාර්ග අද අපට සුදුසු නැහැ. එසේනම් අප සියලුදෙනා යථාර්ථය පිළිගෙන අනාගතයට මුහුණ දිය යුතුයි. විශේෂයෙන් වෙළෙඳපොළ ආර්ථිකයත්, සමාජ සාධාරණත්වයත් එකට එක් කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.
අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරු අන්දම දෙස බැලූ විට එක අතකින් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව කියන්න පුළුවන්. නමුත් මම එයින් සෑහිමකට පත් වන්නේ නැහැ. වැටී සිටී අප දැන් නැගිට ඇවිදිමට පටන් ගත්තා පමණයි. අපට තව දුර යාමට තිබෙනවා. අප එය මතක තබා ගෙන කටයුතු කළයුතුයි.
2027 වන තෙක් ණය නොගෙව සිටීමට අප දැන් අවස්ථාව ලබාගෙන තිබෙනවා. පොළිය ගෙවීමට තිබෙනවා. නමුත් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවීමේ කාලය 2042 දක්වා අප ඉල්ලා තිබෙනවා. අප ඒ පිළිබද සාකච්ඡා කර අවසාන එකඟතාවකට පැමිණීමට කටයුතු කරනවා. ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකියි.
නමුත් අප ආනයන පදනම් කරගත් ආර්ථිකයක තවදුරටත් රැදී සිටියහොත් අපට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ විදියට විදේශ ණය ලබාගැනීම අඛණ්ඩව සිදු කළහොත් අප එම ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.
ඒ වගේම දේශීය ණය ලබා ගැනීමත් සීමා කිරීමට අප දැන් තීරණය කර තිබෙනවා. දේශීය ණය සීමා කළ විට සේවක අර්ථ සාධක අරමුදලින් ලබාගත හැකි මුදල් ද සීමා වෙනවා. ඊළගට මතු වන්නේ එම ආයතනවල රැස්වන මුදල් ආයෝජනය කරන්නේ කෙසේද,
දේශීය වශයෙන් ආයෝජනය කරනවාද විදේශීය වශයෙන් ආයෝජනය කරනවාද කියන ප්‍රශ්නයයි. එම තීරණය ගතයුත්තේ කවුරුන් විසින්ද යන්න අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි. බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ. ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා. පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි. එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.
රජයේ අනෙක් ආයතන සඳහා, එදිනෙදා කෙරෙන දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු නොවන අයුරින් නව නීති කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රට දියුණු කිරීම පිළිබඳ අප අලුතින් සිතිය යුතුව තිබෙනවා. ආර්ථිකය දියුණු නොකළහොත් ලංකාවට අනාගතයක් නැහැ.
මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. 2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.
මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා. වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.
අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා. කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය අසීරු ගමනක්. පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි.
විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු. අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.
මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සහ දේශපාලය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධතාවත්, අනාගතයේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳවත් සිතිය යතුයි. අද අපේ රට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ සියලුදෙනාගේ අදහස් ඉදිරිපත් කර එකඟතාවකට පැමිණීමට සේවක කේන්ද්‍රයක් ඇති කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුවෙන් මුදලක් ලබාදීමටත් අප සූදානම් බව ප්‍රකාශ කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙම කාලය තුළ කළ සේවයට මාගේ ස්තූතිය පිරිනමනවා.
කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර ,
කම්කරුවා ” දියව්” ” දියව් ” කියන සටන් පාටයෙන් මුදවාගෙන “සමෘද්ධිමත් ආයතනයක් තෘප්තිමත් සේවක පිරිසක්” සංකල්පයට වෘත්තිය සමිති ගෙන ආවේ ලෙස්ලි දේවේන්ද්‍ර මහතායි. සේවකයන් මහ පාරේ අරගලවලට කැඳවමින් මිනිස් පැය දස දහස් ගණන් පාරට වැය කරන වෘත්තිය සමිති වෙනුවට සාකච්ඡා මේසයෙන් වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබාදීමට ලෙස්ලි දේවේන්ද්‍ර මහතා කටයුතු කළා.
වෘත්තීය සමිති නව මානයකට ගෙන යමින් තෘප්තිමත් සේවක ප්‍රජාවක් ඇති කිරීමට එතුමා කළ සේවය ප්‍රශංසනීයයි. අනාගතය දකින වෘත්තිය සමිති නායකයෙක් ලෙස එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. නූතනවාදී මනසක් තිබුණු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා රටේ ආර්ථිකය වෙනුවෙන් ශ්‍රමිකයා නිසි ආකාරයට මෙහෙයවීම සිදු කළා. සමහර වෘත්තීය සමිති නායකයින් ලෝකයට ගතු කියමින් කර්මාන්තශාලා වසා දමා ආර්ථිකය විනාශ කරද්දී ආයතනත් ආර්ථිකයත් රැක ගැනීම සඳහා ලෙස්ලි දේවේන්ද්‍ර මහතා සිදුකළ මෙහෙය අප සියලු දෙනාගේ පැසසුමට ලක් කළ යුතුයි.
දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර,
වෘත්තිය සමිති නායකයකු වීමේ ගමන් මගට මා පිවිසුනේ ඉතාම අහම්බයෙනුයි. නමුත් ඒ ගමන මාස හයක් පමණ යන විට මිනිසුන්ට උදව් කර ලැබෙන තෘප්තිය නිසා ඉදිරියට ඒමට හිතේ කැමැත්තක් ඇතිවුණා.
මිනිසුන්ට උදව් උපකාර කිරීමෙන් ලැබෙන සතුට සල්ලි වලින් ලබාගන්න බැහැ.මා වෘත්තීය සමිති ආරම්භ කරන කාලයේ බොහෝ සංවිධාන ප්‍රකාශ කළේ ධනපති පංතිය බංගවේවා කියායි. මා එය පිළිගත්තෙ නැහැ. මක්නිසාදයත් ලෝකයේ ධනේශ්වර පාලන බිඳ දමා ආණ්ඩු බලය ලබාගත් සමාජවාදී පාලකයින් ඉදිරියට ගෙන ගියේ ධනේශ්වර ආර්ථික ක්‍රමයමයි.
එම නිසා ධනේෂ්වර ආර්ථික ක්‍රමයක් තුළ ශ්‍රමිකයා නිවැරදි තැන ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා. ඒ නිසාම “දියව්”” දියව්” යන සටන් පාඨ වලින් ඉවත් වී “සමෘද්ධිමත් ආයතනයක් තෘප්තිමත් සේවක පිරිසක්” සංකල්පය ඉදිරියට ගෙන යාමට මා කටයුතු කළා.එමගින් සේවක අයිතිවාසිකම් දිනා ගනිමින් රටේ ආර්ථිකයට වැඩදායී ආයතන බිහි කිරීමට හැකියාව ලැබුණා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=792#sigProIdcca8cea7ab
අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායකවලට මුලිකත්වය ලබා දෙන ලෙස ද එම නිර්දේශ අතර ඇතුළත්ය.
මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතාකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත් බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒව හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදෙන ලදී.
ඒහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී එම පුද්ගලයින්ගේ අතින් දත්ත සටහන් කරගැනීම ඔස්සේ විශාල දුෂණ අක්‍රමිකතා සිදුවන ආකාරය පිළිබඳව කාරක සභා සාමාජිකයින් මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්හ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදීද අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක් භාවිතා කරමින් සිදු කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශයක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදෙන ලදී.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම ආශ්‍රිතව ඉදරිපත් වී ඇති අක්‍රමිකතා සඳහා විධිමත් ලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පලවිය.
එලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ඔස්සේ තව තවත් දුෂණ අක්‍රමිකතා සිදුවන බවත් එය අස්වැසුම ප්‍රතිලාභ නිවැරදිම පුද්ගලයින් සඳහා හිමිවීමට දැඩි බාධාවක් ඇති කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ලැබෙන පැමිණිලි විභාග කර ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ගරු එම්. ඒ. සුමන්තිරන් ,ගරු මහින්දානන්ද අලුත්ගමගේ , ගරු නිමල් ලාන්සා , ගරු මධුර විතානගේ, ගරු මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Page 45 of 440