පුවත්
බස්නාහිර මෙන් උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ද දියුණු කරනවා - ජනපති
උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත සෞඛ්‍ය පහසුකම් ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම අරමුණ බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, මාන්කුලම් මූලික රෝහලේවෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (26) එක් වෙමිනි.
නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්,ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේදී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළයුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නගා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවති රජය විසින් ආරම්භ කළා.
එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වු නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.
යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවිමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.
ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි
රාගම රෝහල ආරම්භ කළේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස වගේම මානසික ගැටළු තිබූ අය වෙනුවෙන් සත්කාර කිරීමටයි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් රාගම රෝහල වැනි නවීන රෝහලක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.
මෙම උතුරු පළාතට හිමි වූ රෝහල් ඒකක 04 සතුව තිබෙන උපකරණ ලංකාවේ බොහෝ රෝහල්වල නැහැ. මෙම උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් රෝහල් පරිපාලනය සහ රෝහල් කළමනාකරණයේ මූලිකත්වය ගත යුතුයි. කියුබාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවන්වලදී ඉදිරියෙන් සිටින්නේ රෝහල් පරිපාලනය සහ කළමනාකරණය හොඳ මට්ටමක පවතින නිසයි. එම නිසා රෝහල් කළමනාකරණය සහ පරිපාලනය උසස් තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආසියානු සංවර්ධන අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා ගත හැකියි. සුභවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙම සෑම කටයුත්තක් තුළින්ම අප බලාපොරොත්තු වන බව ද කිවයුතුයි.
ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,
නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන හාරදහස් පන්සියයක වියදමින් මාන්කුලම් රෝහලේ ඉදි කළ වෛද්‍ය පුනරුත්තාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් සපුරා ගැනීම සඳහා විශාල පිටිවහලක් වෙනවා. යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් මෙවැනි පහසුකම් සළසා දෙමින් සිදු කරනු ලබන සේවාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපගේ ස්තූතිය පිරිනමනවා.
රට අභියෝග රැසකට මුහුණ පා සිටි අවස්ථාවක එම අභියෝගවලින් රට මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා එදා නොබියව ඉදිරිපත් වුණා. එදා මේ රට පත්ව තිබූ තත්ත්වය ජනතාවට අමතක වී නැතැයි මා විශ්වාස කරනවා. ඒ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා කැප වී කටයුතු කළා. එහි ප්‍රතිඵල අද මේ රටේ ජනතාව භුක්ති විඳිනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්,
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ගත කරන තුන්වන දිනයයි. මේ දින තුන පුරාම උතුරු පළාතේ සංචාරය කරමින් ජනතාව මුහුණ දෙන ගැටළු සියැසින් දැක ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට අප ස්තූති වන්ත වෙනවා. අද එතුමා අතින් විවෘත කෙරෙන මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය DRIVE ව්‍යාපෘතිය යටතේ විවෘත වූ තුන්වන රෝහලයි.
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ගත කරන තුන්වන දිනයයි. මේ දින තුන පුරාම උතුරු පළාතේ සංචාරය කරමින් ජනතාව මුහුණ දෙන ගැටළු සියැසින් දැක ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට අප ස්තූති වන්ත වෙනවා. අද එතුමා අතින් විවෘත කෙරෙන මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය DRIVE ව්‍යාපෘතිය යටතේ විවෘත වූ තුන්වන රෝහලයි.
මෙය උතුරු පළාතේ සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයක් බවට පත් වන බව විශ්වාසයි. මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත් වන්නේ ජනාධිපතිතුමාගේ උනන්දුව, කැපවීම සහ ධෛර්‍යමත් බව නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී මෙම ව්‍යාපෘතිය උතුරු පළාතට ලබා ගත් බව සිහිපත් කළ යුතුයි.
ඒ අනුව මාන්කුලම් රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කර තිබෙනවා. එදා අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ මෙම වැඩකටයුත්ත අද ජනාධිපතිවරයා ලෙස විවෘත කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. එසේම සෞඛ්‍යය ක්ෂේත්‍රය පමණක් නොව අනෙකුත් සියලුම ක්ෂේත්‍ර කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක් වනවා.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නෝගරාදලිංගම්,
මේ ප්‍රදේශයේ තිබෙන රෝහල්වල පැවති පහසුකම් ප්‍රමාණවත් වූයේ නැහැ. එවන් පරිසරයක් යටතේ අද මෙම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම අනෙකුත් රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලිය හැකියි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මා ඉල්ලා සිටිනවා.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,
අද විවෘත වූ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය උතුරු පළාතටත්, වන්නි දිස්ත්‍රික්කයටත් විශාල සම්පතක් වන අතර එය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
මෙම වටිනා සම්පත අප විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මේ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හො බැක් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කටුනායක ගුවන් තොටේ වාහන නැවැත්වීම සහ හැසිරවීම ගැන විශේෂ දැනුම් දීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ වාහන නැවැත්වීම සහ හැසිරවීම පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එහි සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටත ප්‍රදේශයේ වාහන නවතා තැබීම, තදබදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් කිරීමේ අරමුණින්, කිසිදු විටෙක රියැදුරු නොමැතිව වාහන නවතා තැබීම තහනම් කරන බව ය.
ඊට අමතරව ආගමන ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලු ම වාහන අදාළ රථ ගාල්වල සිට නියමිත වේලාවන්හිදී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතු ය.
රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30කට වඩා වැඩි කාලයක්, වාහන තදබදයක් ඇති වන පරිදි, අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන්, ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී විශේෂ ගාස්තුවකට යටත් කරනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.
මෙම ක්‍රියාවලිය මගින් පහසු සහ ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළින් ගුවන් මගීන්ට හිමි වන අතර, අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනය මගින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය වැඩි දුරටත් සඳහන් කර ඇත.
ජනපති සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් සොයා බලයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර විග්නේෂ්වරන්ගේ වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.
යාපනය දිස්ත්‍රික්කයටත් නව ගුරු පත්වීම් 375ක්
යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂනය කරනවානම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් පැවසු ජනාධිපතිවරයා වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.
උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.
- උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිතය විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
අද ගුරු පත්විම් ලබන ඔබ සියලුදෙනා විශාල වගකීමක් භාර ගන්නවා. සිසුන් 35-40ක් සිටින පන්ති කාමරයක දරුවන්ගේ අනාගතය අද ඔබ භාරගන්නවා. එම දරුවන්ගේ අනාගතය නිර්මාණය වන්නේ ඔබේ මගපෙන්විම අනුවයි. එම වගකීම ඉටුකළ නොහැකි නම් ඔබ ගුරු වෘත්තියට සුදුසු වන්නේ නැහැ.
එදා යාපනයේ ගුරුවරු දිවයිනේ සෑම ප්‍රදේශයකටම සහ ජාත්‍යන්තරයටද අවශ්‍ය වුණා. ඔවුන් එම වගකීම විශාල කැපවීමකින් යුතුව ඉටු කළා. මම අධ්‍යාපනය ලැබු කොළඹ, රාජකීය විද්‍යාලයේත් යාපනයෙන් පැමිණි ගුරුවරුන් සිටියා. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කළ අතර එම සුවිශේෂි කැපවීම නිසාම යාපනයේ සිටි ප්‍රසිද්ධ ගුරුවරු පිළිබඳ තවමත් සමාජයේ කථා බහකට ලක් වෙනවා. එම ගුරු සිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වූ බව කිවයුතුයි.
යාපනය ගොඩනැගුනේ එහි අධ්‍යාපනය උසස් මට්ටමකින් පවත්වාගෙන ගිය නිසයි. යාපනයේ ඇතැම් පාසල් ලෝකය පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. හාර්ට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ සිය දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ඔබද එම ගෞරවනිය වෘත්තියට ඇතුළත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.
ගුරු වෘත්තිය තුළ ඔබ ආදර්ශයක් විය යුතුයි. සටන් පාඨ කියමින් මහ පාරේ කෑ ගසනවානම් සිසුන් ඔබව පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබේ වගකීම නිසි ලෙස ඉටු කළයුතුයි.
එදා යාපනයේ හොද පාසල් ක්‍රමයක් පැවතුණා. අපේ හිටපු කථානායකවරයෙක් වන කේ.බී. රත්නායක මහතා අධ්‍යාපනය ලැබුවේ හාර්ට්ලි විද්‍යාලයේයි. යුද්ධය හේතුවෙන් ගුරුවරු ඉවත්ව ගිය නිසා එම පාසල පසුබෑමකට ලක් වුණා. යාපනයේ අධ්‍යාපන ක්‍රමය නැවත ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතුයි.
උතුරේ මන්ත්‍රීවරු සහ විශ්විවිද්‍යාල නියෝජිතයන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර යාපනයේ පාසල් ක්‍රමය නැවත පෙර පැවති ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අදාළ සැලසුම් ආණ්ඩුවට ලබා දෙන ලෙස මම ආණ්ඩුකාරතුමියට දැනුම් දීමට කැමතියි.
දෙමළ හා සිංහල අධ්‍යාපනය පමණක් දරුවන්ට ලබාදීම ප්‍රමාණවත් නොවන අතර ඉංග්‍රිසි දැනුමද ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළයුතුයි. මෙය වසර 10-15ක දීර්ඝ වැඩපිළිවෙළක් වුවද දැන් සිටම එම කටයුතු ආරම්භ කළ යුතුයි.
ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් උතුරේ දරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටිමින් අද පත්වීම් ලැබූ සියලුදෙනා වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, එම්.ඒ. සුමන්තිරන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් දිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම්වල ගිවිසුම් අහෝසියි !
වතු සේවක වැටුප් වැඩි වීම ස්ථීර නිසා ඒ සඳහා එකඟ නොවන රජය සමග ගිවිසුම්ගත වූ වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ය.
වතු සේවකයන්ගේ වැටුප් වැඩි වීමට අදාළ ගැසට් පත්‍රයට අමතරව ක්‍රියාත්මක ගැසට් පත්‍රයක් ඉකුත් 21 වන දා නිකුත් වූ බව ද ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා වැඩි වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350ක මුදල සමග රුපියල් 1700 කින් වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථීර වශයෙන් ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24ක් පමණ ඇති බව ද ඒ අතරින් යම් අයෙකු මෙම වැඩි කළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යංශය ඒ බව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
1995 වසරේ පටන් වතු බදු ගත් කණ්ඩායමකට මෙවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව බාහිර ගැටලු ද නොඑසේ නම් එසේ සිදුවන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලු නිසා ද යන්න සොයා බැලීම මෙම කමිටුව මගින් මූලිකව සිදුවන බව ද ඔහු පැවසීය.
ඒ අනුව, වතු සේවකයන්ට ජීවත්වීමට හැකි පරිදි වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලුවක් නම් එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයන්ට මෙම වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කිලිනොච්චි ජනතාවටත් සින්නක්කර ඉඩම් ඔප්පු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රට සහලින් ස්වයංපෝෂිත කරන වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් අයිතිය ලබාදීමට හැකිවීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වීම එම වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඉවහල් වනු ඇති බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මෙම වේදිකාවේදී නර්තනාංග කිහිපයක් ඉදිරිපත් කෙරුණා. එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා අප දුටුවා. අප ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කළයුතුයි. ඒ පිළිබඳ පළාත් සභාවේ සංස්කෘතික අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන්ට ආධාර උපකාර කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.
ඊයේ (24) සන්ධ්‍යාවේදී මට යාපනයේ තරුණ තරුණියන්ගේ සංගීතයට ඇහුම්කන් දීමට ද අවස්ථාව ලැබුණා. මට එවන් අවස්ථාවක් උදා වුණේ බොහෝ කලකට පසුවයි. ඔවුන්ගේ ඉල්ලීම අනුව තරුණ සේවා සභාවේ දායකත්වය ඇතිව ඉන්දීය නාට්‍ය ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙම ජූලි මාසයේ දී සංදර්ශනයක් පැවැත්වීමට මම පොරොන්දු වුණා. ඔබ සියලුදෙනාට ඒ සඳහා සහභාගිවිය හැකියි.
කිලිනොච්චි ජනතාවට සිනක්කර ඉඩම් ඔප්පු ලබාදීමට අද පියවර ගෙන තිබෙනවා. මෙම ඔප්පු ලබාදීමට පෙර ඒ ඒ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමට අප කටයුතු කළා. මෙහිදි නව නීති පැනවීමට මම කටයුතු කළේ නැහැ. සුදු ජාතිකයන් ඉඩම් අත්කරගත් නීතියෙන්ම ජනතාවට ඉඩම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. මෙම ඉඩම් අත්කර ගැනීමෙන් පසු සුදු ජාතිකයන් එය ආරක්ෂා කළා. ඒ අයුරින් ඔබත් මෙම ඉඩම් ආරක්ෂා කරගත යුතුයි.
මෙම ඉඩම් හිමිකම මෙහි ජනතාවට ලැබිය යුතු දෙයක් බව මම විශ්වාස කරනවා. අපේ ගොවි ජනතාව රට සහලින් සංවයංපෝෂිත කළා. 2003 වසරේ මම අගමැතිවරයා ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. මෙම වන්නි ප්‍රදේශයේ වගා කටයුතු සිදු කිරීමෙන් රට සහලින් ස්වයංපෝෂිත කළ හැකි බව එදා අප දුටුවා. නමුත් මෙම වන්නි ප්‍රදේශය පැවතුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදින් යටතේයි. අපි සාම ගිවිසුම අත්සන් කර සටන් විරාමයක් ඇති කළ පසු මෙම ප්‍රදේශවල වගා කටයුතු සඳහා පොහොර එවීමට මම එදා තීරණය කළා.
ඒ අයුරින් 2002 වසරේ පොහොර ලබා දීමට කටයුතු කිරීම නිසා, 2003 වසරේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වුණා. කිලිනොච්චි – වන්නි ප්‍රදේශය සහ අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක මෙරට වී වගාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙස අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතැම් අයට මෙම වැඩසටහන යටතේ තමන්ගේ නිවාස තිබෙන ඉඩම්වල අයිතිය හිමි වෙනවා. තවත් පිරිසකට තමන් වගා කරන ඉඩම්වල අයිතිය හිමි වෙනවා.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මයක් රට තුළ නිර්මාණය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ සමඟ මීට වඩා ශක්තිමත් සහ තරගකාරී කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කළ හැකි බව අප විශ්වාස කරනවා. ලෝකයේ වැඩිවන ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට අපත් සුදානම් විය යුතුයි. මෙම කෘෂිකාර්මික වැඩසටහනේදි වන්නි ප්‍රදේශයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
රටපුරා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට අනුව, පළමු අදියරේ දී දඹුල්ල ප්‍රදේශයේ දස දහසකට ඉඩම් ඔප්පු ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළා.
දෙවන අදියරේදී යාපනයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සිදු වූ අතර එහි තුන්වන අදියර යටතේ අද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. ඒ වගේම හෙට (26) දින උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට ද ඉඩම් ඔප්පු ලබාදීම සිදු කෙරෙනවා. එසේම මෙම ජුනි මාසය අවසන් වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයෙන් විශාල පීඩාවකට පත් වුණා. එම ජනතාවට අහිමි වූ සංවර්ධනය නැවත ලබාදීම වෙනුවෙන් ජනාධිපතිතුමා කැපවී කටයුතු කරනවා. ඒ වෙනුවෙන් උතුරේ විවිධ ආයෝජන සඳහා අවස්ථාව ලබාදී ඇති අතර එම ආයෝජනවලින් අපේ ජනතාවගේ ජීවනෝපාය දියුණු කළ හැකි බව අප විශ්වාස කරනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය
මේ ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් රජයේ කාර්යාලවලට පැමිණෙන්නේ ඉඩම් ගැටළු විසඳා ගැනීමටයි. මේ වන විට ජනාධිපතිතුමා ඔබේ ඉඩම් ප්‍රශ්නයට සෘජුවම විසඳුම් ලබා දී තිබෙනවා. ඔබට තවදුරටත් රජයේ කාර්යාලවලට යාමට අවශ්‍ය වන්නේ නැහැ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 45,000ක් පමණ සිටිනවා. ඒ අතරින් ඉඩම් අයිතිය ලබාදීමට නියමිත පවුල් 21,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඉඩම් නොමැති පවුල් දහසක් සිටින බවට ගණන් බලා තිබෙනවා. ඔවුන්ට ද ඉඩම් ලබාදීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
දීර්ඝ කාලයක් ඉඩම් අයිතිය නොමැතිව සිටි ජනතාවට අද ඉඩම් අයිතිය හිමි වෙනවා. මේ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිතුමාට අප ස්තූතිවන්ත වෙනවා.
කිසිදු සීමාවකින් තොරව අද ඔබට මෙම ඉඩම් අයිතිය හිමි වෙනවා. ඔබ මෙම ඉඩම ආරක්ෂා කරගත යුතුයි. මෙය උගස් කිරීමට හෝ විකිණිමට ඔබට හැකියාව තිබෙනවා. එසේම බහුජාතික සමාගම් ඇවිත් මේ ඉඩම් මිලදී ගැනීමට උත්සාහ කළ හැකියි. එසේ සිදු නොකර ඔබේ ඉඩම් කොටස ඔබේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්
මේ බිමේ උපන් ජනතාවට එම භූමියේ අයිතිය හිමිවිය යුතු බවට මෙහි ජනතා නියෝජිතයන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කලා. එසේම පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ විසින් ලබාගත් ඉඩම් නැවත ජනතාවට ලබාදිය යුතු බවට ද දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කළා. එම ඉඩම් නිදහස් කර ජනතාවට ලබාදීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වූ දා සිටම විශේෂ උනන්දුවකින් කටයුතු කළා. මෙම කටයුතුවලදී ජනාධිපතිතුමාට ඇතැම් ස්ථානවලදී බාධා එල්ල වී තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්නේ ජනතාවගේ ඉඩම් ජනතාවට ලබාදිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි.
දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි. ජනාධිපතිතුමා ඒ පිළිබඳ නිසි අවධානය යොමු කරමින් කටයුතු කිරීම පිළිබඳ සතුටු වෙනවා.
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්
“උරුමය” වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබාදීම අද සිදු කෙරෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 45ක් තුළ මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කළ වැඩකොටස මට විනාඩි 05කින් ප්‍රකාශ කළ නොහැකියි.
රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ නීති ඉදිරි මාස කිහිපය තුළදී ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ සමඟ උතුරේ පමණක් නොව සමස්ත රටේම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනු ඇති බව අප විශ්වාස කරනවා. ඒ පිළිබඳ කාන්තාවක් ලෙස මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මැති සභයේ තවත් අනංගයෙක් !
කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
එම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත් අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත් ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇත.
ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෙයට පෙර විනය ක්‍රියාමාර්ග ගැනිණ.
- lankadeepa
සියලු පුරවැසියන්ගේ දේපළ පිළිබඳ තොරතුරු රැස්කරයි !
රජයේ අංශයේ ඇතුළුව මෙරට සියලු පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු වෙයි.
එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
තවද බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුය.
එමෙන්ම ආයෝජන පිළිබඳ තොරතුරු සහ කොටස් ගනුදෙනු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත.
යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
කිලිනොච්චිය රෝහලේ ඉදිකළ කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ !
දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.
2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි.
අද විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.
කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
එසේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ඊට පාර්ලිමේන්තුවේ කිසිවෙකු එරෙහි නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
2017 වසරේ යහපාලන රජය යටතේ ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වුණා. නමුත් අද එය සාර්ථකව නිමා කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා.
අද කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මේ ප්‍රදේශ දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම මෙම ප්‍රදේශයේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙනවා. කිලිනොච්චියේ ද එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම ප්‍රදේශවල තිබෙන ඉඩම් ගැටළු මෙන්ම අතුරුදන් වු පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා.
අද විවෘත කළ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ විශිෂ්ට කාර්යයක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ පියවර රැසක් අප මේ වන විට ගෙන තිබෙනවා.
අපේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම් පදනම් කර ගනිමිනුයි. ඒ නිසා අප දැන් කාන්තාවන් වෙනුවෙන් නව කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
කාන්තාවන් බල ගැන්වීමේ පනත යටතේ කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කරනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද කෙටුම්පත මෙම ජූනි මාසය අවසානයට පෙර සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එම කෙටුම්පත දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර එම කටයුතු අවසන් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට කිසිවෙකු විරුද්ධ වනු ඇතැයි මා සිතන්නේ නැහැ.
කාන්තා ආයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානවලදී උසස්වීම්, ස්ථාන මාරුවීම්වලට අදාළව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි.
කාන්තා අයිතිවාසිකම් නීතිගත කිරීමට අප අපේක්ෂා කරන අතර ඒ සඳහා එම නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නිවසේදී කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. මෙම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත් මේ වන විටත් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත් කියවා බලන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අප අපේක්ෂා කරනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
අද කිලිනොච්චියේ සහ ඊයේ යාපනයේ විවෘත කෙරුණු ගොඩනැඟිලි මඟින් ජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව තිබෙනවා. මෙම පහසුකම් ලබා දීම පිළිබද උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම යාපනය රෝහල ජාතික රෝහලක් බවට උසස් කිරීමේ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා.
2005 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එතුමාට සහයෝගය ලබා දුන්නා නම් එයින් දෙමළ ජනතාවට විශාල වාසියක් අත්වෙන්න තිබුණා.පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහි වගකීම භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව මුහුණ දුන් පෝලිම් යුගය , භාණ්ඩ හිඟය, ඉන්ධන හිඟය ඇතුළු ගැටලුවලට කෙටි කාලයක් තුළ විසඳුම් ලබා දුන්නා. අප එතුමාට තවත් කාලය ලබා දී එතුමා සමඟ ඉදිරියට ගියහොත් මේ රට ගොඩනැගීමට හැකියාව තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්
මීට වසර දෙකකට පෙර රටේ ජනතාව ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියදී ඛේදජනක ලෙස සමහරු මිය ගියා. ඔවුන්ගේ ජන ජීවිත කඩා වැටුනා. මෙවැනි තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් රෝහල් ගත කිරීමටත් සිදුවුණා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම පුවත ඇසීමෙන් මහත් කම්පාවක් ඇති වුණා. රටේ පවතින දරුණු තත්ත්වය හමුවේ අපගේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් අපගේ සුවදුක් විමසා සිටියා. නමුත් අද අපි ඒ අතීතය අමතක කර තිබෙනවා.
අද රටට අවශ්‍ය වන්නේ ලෝකය පිළිගත් නායකයෙක්. වත්මන් ආර්ථික අර්බුදය අභ්‍යන්තර ප්‍රයත්නයන්ගෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍යයි. අපේ වත්මන් නායකයාට තිබෙන ගෝලීය පිළිගැනීම සහ නායකත්ව ගුණාංග නිසා මේ අර්බුදයෙන් රට යහමගට ගැනීමට සමත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට අප ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය සේවාව ඕනෑම ප්‍රජාවක පැවැත්මේ මූලික අංගයක් වන අතර, මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් කැපවු සියලුදෙනාට මගේ අවංක ස්තූතිය පිරනමනවා.
සෞඛ්‍යය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර රජයේ බලය සම්පූර්ණයෙන්ම බෙදා හැරිය යුතු ක්ෂේත්‍ර දෙකක් බව අප දන්නවා. එසේම අර්ථවත් බලය බෙදා හැරීමක් පිළිබඳ අප උනන්දුවකින් කටයුතු කරන බවද සඳහන් කළයුතුයි.
ජනතාවට ඉඩම් අයිතිය ලබාදී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිතුමා දරන උත්සාහයට උතුරේ ජනතාවගේ ප්‍රාණමය එතුමාට හිමි වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්
ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙය ඉතා ප්‍රමිතියෙන් උසස් ව්‍යාපෘතියක් බව සඳහන් කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, වත්මන් ජනාධිපති ලෙසත් මෙම කටයුතු වෙනුවෙන් සිදු කරන කැපවීමට මම ස්තුතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක්
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම පිළිබඳ පිළිබඳව මම ඉතා සතුටු වෙනවා.
මෙම ව්‍යාපෘතිය නෙදර්ලන්තයේ VAMED සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් ලෙස පෙන්වාදිය හැකියි. 2018 ජුනි 12 වන දින විධිමත් කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල නවීනතම රෝහල් හතරක් ඉදිකිරීමට සැලසුම් කළා.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදලින් 75%ක් නෙදර්ලන්ත රජයෙන් පිරිනමනු ලබන සහන ණයක් ලෙසත් ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙසත් ලබාදීමට කටයුතු කළා.
පසුව ඇතිවූ COVID-19 වසංගත තත්ත්වය සහ 2022 දී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් නෙදර්ලන්ත රජයේ ප්‍රදානය, මුළු මුදලින් 35%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවද සඳහන් කිරීමට කැමතියි.
පූජ්‍ය පක්ෂය ද, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සජිත් එන්නේ නෑ - මම එන්නම් : දිලිත් අනුරට අභියෝග කරයි !
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ වෙනුවට තමන් සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ලයිට්හවුස් දේශන ශාලාවේ ඊයේ (22) පැවති ජනරජ දින සැමරුම සදහා එක්වෙමින්ය.
එහිදී දිලිත් ජයවීර මෙසේද පැවසීය.
"එම විවාදයේදී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්."
"දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.
ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට, දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න. මම එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇදුම් පැළදුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත්, පුද්ගලික ජීවිතය ගැනවත් මම අහන්නේ නැහැ."
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කරනවා - ජනපති
උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ එක් වෙමිනි.
ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ, විද්‍යා පීඨ සහ කෘෂිකර්ම පීඨ ඇතුළු විද්‍යා විෂයන් මත පදනම් වූ මෙරට ඇති සියලු පීඨවල දැනට පවතින්නේ පැරණි තාක්ෂණය බවත්, මෙම තාක්ෂණය නව ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ යුතු බවටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙහිදී පෙන්වා දුන්නේය.
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික දරුවන් දක්ෂතා පෙන්වන්නේ මෙම තාක්ෂණය හදාරා නොව ,ඔවුන්ගේ දැණුම මත පමණක් බව පෙන්වා දුන් ඒ මහතා නව තාක්ෂණය හඳුන්වා දීමෙන් මෙරට විශාල දියුණුවක් කරා ගෙන යා හැකි බවද සඳහන් කළේය.
ඒ පිළිබඳ යෝජනාවලිය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කඩිනමින් සකස් කර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
අද විවෘත කෙරුණු සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල වසර 46 කට පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල වන අතර ඒ සඳහා රුපියල් මිලියන 942 ක් වැය කර තිබේ. සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල සිසුන් 1200 කට උපාධි හා පශ්චාත් උපාධි සායනික පුහුණුව ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙන අතර ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගීතා සඳහා ද පහසුකම් සපයයි.
වර්ග මීටර් 6000 කින් යුත් මෙම ගොඩනැගිල්ල දේශන ශාලා කිහිපයක්, සායනික කුසලතා විද්‍යාගාර සහ ශ්‍රවණාගාරයකින් සමන්විත වේ. ශල්‍යාගාර, ප්‍රතිසාධන කාමර, පිරිසිදු කිරීමේ ප්‍රදේශ, බැහැර කිරීමේ කලාප, වන්ධ්‍යාකරණ ඒකක, සූදානම් කිරීමේ කාමර සහ ගබඩා පහසුකම් ද මෙහි ඇතුලත්වේ.
එසේම රෝගීන් රඳවා සිටින කාමර, උපදේශන කාමර සහ එන්ඩොස්කොපි, සනාල සැත්කම් සහ මැමෝග්‍රැෆි සඳහා විශේෂිත ඒකක, පර්යේෂණ රසායනාගාර, අධිකරණ වෛද්‍ය විමර්ශන ඒකකය සහ කෞතුකාගාරයක් ද මීට අයත් ය.
ප්‍රසව හා නාරිවේද දෙපාර්තුමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන සාඵල්‍යතා සත්කාර ඒකකය විශේෂඥ උපදේශන, රෝග විනිශ්චය සේවා සහ ප්‍රතිකාර පහසුකම් ඇතුළු පුළුල් සේවාවන් සපයනු ඇත. සායනික අත්හදා බැලීමේ ඒකකය (CTU) දේශීයව අනුවර්තනය කරන ලද රෝගීන්ට නැඹුරු වූ, ලාභදායී ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සායනික පර්යේෂණ සඳහා පහසුකම් සපයයි. සායනික ප්‍රවේණික ඒකකය (CGU) ජානමය රෝග විනිශ්චය සහ රෝග කළමනාකරණය සඳහා පහසුකම් සපයන අතර රෝග නිවාරණය සඳහා දැනුම ලබා දෙනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
යාපනය දිස්ත්‍රික්කයට ජාතික රෝහලක් ලබා දෙන ලෙස ඔබ සියලු දෙනා රජයෙන් ඉල්ලීමක් කළා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අපි අනුමැතිය ලබාදුන්නා. ඒ වගේම යාපනය රෝහල මීළග ජාතික රෝහල බවට පත් කිරීමට අප කටයුතු කරනවා.
යාපනය දිස්ත්‍රික්කය තුළ උසස් සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට අවශ්‍යයි. එවිට කොළඹ පමණක් නොවෙයි දකුණ, උතුර සහ මධ්‍යම පළාත්වලද හොඳ රෝහල් පද්ධතියක් ඇති වෙනවා. අප එතනින් නතර නොවිය යුතු අතර දියුණු කළයුතු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව ද සොයා බැලිය යුතුයි.
මම නිතරම යාපනය දිස්ත්‍රික්කයට පැමිණෙන බව මෙහිදී සඳහන් වුණා. ඇත්ත වශයෙන්ම මම මෙවර මෙහි පැමිණියේ රෝහල් කිහිපයක් විවෘත කිරීම සඳහායි. මම පැමිණියේ දීර්ඝ නිවාඩුවක් පවතින සති අන්තයකයි. ඒ පිළිබඳ මම ඔබගෙන් සමාව ඉල්ලනවා.
මම පසුගිය වර මෙහි පැමිණි අවස්ථාවේ, මෙම නව රෝහල් දෙක විවෘත කිරීම වෙනුවෙන් මෙහි පැමිණෙන ලෙස ඔබ සියලුදෙනා සහ නෙදර්ලන්ත තානාපතිනිය මගෙන් ඉල්ලීමක් කළා. ඉතින් යාපනයට ඇවිත් යනවා වෙනුවට මේ සති අන්තයේ මෙතැනට පැමිණ මෙම කටයුතු අවසන් කිරීමට මා තීරණය කළා.
ඇතැම් අය මගෙන් අහනවා ඔබ නිතරම මෙහි පැමිණෙන්නේ ඇයි කියලා. අගමැති ලෙස සිටියදීත් ජනාධිපති ලෙසත් මම නිතරම මෙහි පැමිණෙන්නේ යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මා විශ්වාස කරන නිසයි.
යාපනය දිස්ත්‍රික්කයට දිගු කලක් සංවර්ධනයේ ප්‍රතිලාභ හිමි වූයේ නැහැ. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව රැකියා සොයන පිරිසක් මෙහි සිටිනවා. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු ඇතැම් ප්‍රශ්න විසඳිමට අපට හැකි වී තිබෙනවා. රැඳවුම් භාරයේ සිටින සිරකරුවන් සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ගැටළු බොහොමයක් පවතිනවා. තවමත් අපට මෙය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වී තිබෙන අතර අදාළ විසදුම් පවතින දේශපාලන ප්‍රශ්න වටා කැරකෙමින් පවතිනවා.
සංහිඳියාව ගොඩනැඟීම, අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ගෙවීම්, සත්‍ය හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් අප ගත යුතු පියවර රැසක් තිබෙනවා. මෙම සියලු ගැටලුවලට විසදුම් ලබාදිය යුතු කාලය මෙය බව මා විශ්වාස කරනවා.
ඒ වෙනුවෙන් සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මම මේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරමින් සිටින අතර ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
පෙර පැවති සියලුම කොමිෂන් සභා වාර්තා පිළිබඳ සොයා බැලීම සිදුවනවා. නවාස් කොමිසමේ වාර්තාව පසුගියදා අපට ලැබුණා. එය මෙම සියලුම කොමිෂන් සභා වාර්තාවල මව් වාර්තාව ලෙස මම සලකනවා. ඒ වගේම එය මේ පිළිබඳ අවසන් කොමිෂන් සභා වාර්තාව වනු ඇතැයි මා විශ්වාස කරන අතර තවත් කොමිෂන් සභා වාර්තාවක් අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වෙනස්කම්වලට භාජනය විය යුතු බවට ඔවුන් ලබා දී ඇති නිර්දේශය මා පිළිගන්නවා. එය එසේ සිදු කළ යුතුයි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් වගේම ඒ සමඟම මතුවන වන්දි ලබාදීමේ සමස්ත ප්‍රශ්නය පිළිබඳව අප සියලුදෙනා එක්ව සොයා බැලිය යුතුයි.
ආර්ථික අර්බුදය නිසා පසුගිය අවුරුදු දෙකේදී අපට බොහෝ ප්‍රමාණයක් වන්දි ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ඒ සඳහා මුදල් වෙන් කිරීමට අපට සිදු වෙනවා.
ඒ වගේම සත්‍ය, සිදු වූ දේ සහ සංහිඳියාව වෙනුවෙන් අපි සිදු කරන්නේ මොනවාද යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව (TRC) ගෙන ඒමට රජය කැපවී සිටින නමුත් එහිදී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අධිකරණ බලතලයි.
සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව මඟින් අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුතුද නැතහොත් එම කොමිෂන් සභාව විසින් සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අධිකරණ බලතල ක්‍රියාත්මක කරනු ලබන වෙනම අධිකරණයක් අපට තිබිය යුතුද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුයි. ඒ වගේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා රජය ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතැළු සියලු පාර්ශ්වයන් මෙන්ම සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව නීතිගත කිරීමට අපට සහාය ලබා දුන් තානාපතිවරුන් තිදෙනා සමඟ ද සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස මම ඇමතිවරුන් දෙදෙනාට දැනුම් දී තිබෙනවා.
මේ සමඟ ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබෙන බව මා විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡා කර ක්‍රියාත්මක කළ හැකි විසඳුම් සමඟ එකඟතාවයකට පැමිණෙමු කියා මා ඇමතිවරුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම උතුරු පළාත ඉහළ සංවර්ධන විභවයක් පවතින පළාතක් බව කිව යුතුයි. මෙම පළාත තුළ ඉතා ඉහළ පුනර්ජනනීය බලශක්ති හැකියාවක් තිබෙන අතර නියත වශයෙන්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගිය හැකියි. අප තවම උතුරු පළාතේ තිබෙන මෙම හැකියාව භාවිතා කර නොමැති අතර එම හැකියාව පවතින්නේ මෙගාවොට් වලින් නොව ගිගාවොට් වලින් බව සඳහන් කළයුතුයි.
ඒ වගේම අපට අවශ්‍ය වන්නේ තරගකාරී, ඉහළ වටිනාකමක් ඇති අපනයන කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කිරීමටයි. උතුරු පළාත එහිදී වැදගත් පළාතක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පළාතේ ගොවි ජනතාවට ඒ සඳහා හැකියාවක් තිබෙනවා. මේ තුළින් ජනතාවගේ ආදායම් මට්ටම මෙන්ම උතුරු පළාත තුළත් විශාල දියුණුවක් ඇති කළ හැකියි.
ඒ වගේම කර්මාන්ත සම්බන්ධයෙන් සැලකූවිට කන්කසන්තුරේ පළමු ආයෝජන කලාපය පිහිටුවීමටත්, පසුව පරන්තන් සහ මාන්කුලම් හි කර්මාන්තපුර ආරම්භ කිරීමටත් අප සාකච්ඡා කරමින් සිටිනවා.
ඒ වගේම අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. එසේම උතුරේ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති හැකියාව පිළිබඳව අප සොයා බලමින් සිටිනවා. ඉදිරි කාලය තුළ ඇතිවන ගොඩබිම් සම්බන්ධතාව තුළ යාපනය ඇතුළු මුළු පළාතම විප්ලවීය ලෙස වෙනස් වනු ඇතියි.
මෙම කටයුතු සමඟ උතුරු පළාත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කරමින් සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ සිසුන්ගේ නර්තන අංග කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. මම ඔවුන්ට ප්‍රශංසා කරනවා. ඔවුන් බොහෝදෙනෙකු වයස අවුරුදු 21 සීමාවේ සිටින අයයි. ඒ කියන්නේ 2002, 2003 වසරවල ඉපදුණ දරුවන්. ඔවුන්ට හොඳ අනාගතය නිර්මාණය කර දිය යුතුයි.
ඔවුන් අප Gen Z ලෙස හඳුන්වන අය. ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගා දිය යුතුයි. නව ආර්ථික රාමුවක් තුළ වේගවත් සංවර්ධනයක් කරා යාමට නීති ගෙන ඒමට අප කටයුතු කර ඇත්තේ එම නිසා බව ද කිවයුතුයි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
“2003 වසරේ සිට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මෙම ගොඩනැගිල්ල ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියා. මේ වනවිට එම ඉල්ලීම ඉටුවී තිබෙනවා. එසේම කෘෂි පීඨය ඇතුළු අනෙන් ඉල්ලීම් සඳහා ද කඩිනමින් විසඳුම් ලබා දෙනවා. පසුගිය සමයයේ රටම විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබියදී රට භාර ගැනීමට විපක්ෂ නායකවරයා ඇතුළු කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. එදා ඒ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. අද රට තුළ සංවර්ධනය කටයුතු රැසක් සිදු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ධාවනය කළ නොහැකි වාහනයක් භාරගෙන එය ප්‍රවාහනයට සුදුසු තත්ත්වයට අලුත්වැඩියා කර තිබෙනවා. ඉදිරියේදී එම වාහනය ඉතා හොඳින් ධාවනය කිරීමට එතුමාට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම එතුමා තුළ තිබෙනවා. ජනාධිපතිතුමා එය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන නිසා ඔහු ගැන විශ්වාසයක් අපට තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්න්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදි උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළා. අද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබාදෙන මෙම ගොඩනැගිල්ල උතුරට ලබා දෙන සංවර්ධනයේ තවත් එක් උදාහරණයක් ලෙස මා දකිනවා.
විශේෂයෙන් ඉඩම් ලබාදීමේ සංවේදී කාරණාව සම්බන්ධයෙන් එතුමා උතුරේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ද උතුරු, නැගෙනහිර පළාත්වල සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිටම උතුරේ මෙන්ම නැගෙනහිර සංවර්ධනය සදහා කැප වී කටයුතු කළා. අද මේ විවෘත කරන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල උතුරට පමණක් නොව රට වෙනුවෙන්ම කළ හොඳ ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ විද්‍යාර්ථයන් බිහිවන තෝතැන්නක් බවට මෙය පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.
මීට පෙර මේ සභාව ඇමතූ කථිකයන් ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිතුමා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනයත්, එහි ජනතාව පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඇතැම් විට 2005 වසරේදී ඔබතුමාගේ ගමනට බාධා කළේ උතුර විය හැකියි. මේ වන විට උතුරේ ජනතාව එය පසුතැවිල්ලෙන් සිහිපත් කරනු ඇතැයි මම සිතනවා.
මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කර ගැනීම පිළිබඳ මම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුබ පතනවා.
මෙම ආයෝජනය සැබවින්ම ඉතා ඵලදායී එකක් වනු ඇතියි. යාපනය දිස්ත්‍රික්කයට පැමිණි ජනාධිපතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනිමින් මෙම සංචාරයේ දී එතුමා උතුර වෙනුවෙන් ඔබ කරන සෑම කටයුත්තක්ම අප අගය කරනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්
වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ පළමු ඉදිකිරීම් සනිටුහන් කරමින් එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ වැඩකටයුතු අවසන් කළ බව ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගි විය හැකිද කියා පසුගිය මාර්තු මාසයේ දී මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා. මැයි මාසයේ පැමිණෙන බවට එතුමා පොරොන්දු වුණා. ඔහු පොරොන්දු වූ පරිදි මෙහි පැමිණ තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාජේන්ද්‍ර සුරේන්ද්‍රකුමාරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය හෙට (25) උදේ 5.30 වනවිට ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැක.
ඉන්පසුව තවදුරටත් එය උතුරු දෙසට ගමන් කරමින්, හෙට රාත්‍රී 11.30 පමණ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද පැ.කි.මී 60 - 70 අතර සුළං සහ තද වැසි ඇති වේ.
මේ අතර මුහුදු ප්‍රදේශ ද ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනපති කොළඹ නගරයේ වෙසක් වැඩසටහන් කිහිපයකට !
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක් විය.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරිණි.
ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ආලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කළේය.
විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23,24,25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.
එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.
මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය..
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය කොටපොල මංගල ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය වෙළඟේපොල ධම්මික ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් මැයි 23,24 සහ 25 යන දිනයන්හි දී සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය වෙසක් පහන් කූඩු තරගයක්, භක්ති ගීත ප්‍රසංගයක් හා නාට්‍ය සංදර්ශනයක් මෙන්ම බත් දන්සැලක් ඇතුළු විවිධාංග රැසකින් සමන්විතය.
විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ජනාධිපතිවරයා වෙසක් කලාපය වෙත පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මරදාන – සුදුවැල්ල එක්සත් බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් කලාපය සහ දර්ශනීය වෙසක් තොරණ ඊයේ (23) පස්වරුවේ විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
ශ්‍රි ධර්මාලෝක දයා මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිහේන සද්ධාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කර තිබූ මෙම වෙසක් කලාපය විශේෂාංග රැසකින් සමන්විත අතර මණිකාර කුලුපගතිස්ස ජාතික කතාව රැගත් දර්ශනීය වෙසක් මහා තොරණ මරාදන මන්සන්ධියේ දී මැයි 27 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරු සහ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
සහන පොළිය යටතේ විශේෂ ණය ක්‍රම කිහිපයක්
විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
එම ණය යෝජනා ක්‍රම මෙරට කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙන අතර, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මේ පිළිබද අදහස් දක්වමින් පැවසූවේ, විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
එම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ සංඥා දෝෂ ඇති වීම සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රමාදය හට ගෙන ඇති බවයි.
මේ අතර, කොළඹ – බදුල්ල තැපැල් දුම්රියද අද (24) අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
විද්‍යාව හා තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයට මුහුණ දීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් තිබෙනවා - ජනපති
විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූ අතර විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය.
“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටකේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයකි
මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය හා විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාර 22ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ද, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන 05ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.6ක් ද, ආපදාවට ලක්වූ විහාරස්ථාන 03ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 0.4ක් ද, දහම් පාසල් 12ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5ක් ද, බුද්ධශාසන අරමුදල යටතේ දුෂ්කර විහාරස්ථාන 32ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 32ක් ද වෙන් කර තිබේ. මීට සමගාමීව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 25කට වැඩි ප්‍රමාණයක සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කර තිබේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.
විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවයට අයහපත් කාළගුණික තත්ත්වය නිසා සහභාගිවීමට අවස්ථාව නොලැබීම පිළිබඳව මම කණගාටු වෙනවා. මාතලේ දිස්ත්‍රික්කය අපේ ථෙරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව කිවයුතුයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වූයේ මේ මාතලේ අළුවිහාරයේදීයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. අප ථෙරවාද බුදු දහම පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතුයි.
අනුරාධපුර යුගයේ පැවති පිරිවෙන්වලින් බිහි වුණේ මහා සංඝයා වහන්සේලා පමණක් නොවෙයි. ලෝකයේ ප්‍රධානම වාරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ අරම්භ කිරීමට එම අධ්‍යාපනය නිසා අවස්ථාව ලැබුණු බව සෙනරත් පරණවිතාන වැනි වියතුන්ගේ මතය වුණා.
අද ලෝකය මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙමින් සිටිනවා. වැඩි වැඩියෙන් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශය සහ තාක්ෂණ අංශය දියුණු වී තිබෙනවා. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග අපට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදු වෙනවා.
නමුත් ථෙරවාද බුදු දහම අනුගමනය කරන සහ එහි නියම අර්ථය පිළිබද දැනුවත් අයට මෙය ගැටළුවක් වන්නේ නැහැ. ථෙරවාද බුදු දහම තුළින් මෙම ගැටළුවලට විසඳුම් සෙවිය හැකියි. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතුය.
ඔබ සියලුදෙනාට සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුන්මුල්ලේ සීලක්කන්ද, ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ, රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ , උදයන කිරිදිගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278කට ජනපති සමාව
වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ, ඔවුන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බවයි.
නිදහස් කිරීමට නියමිතව ඇති කාන්තා රැඳවියන් ගණන 10කි.
ජනාධිපතිවරයා විසින් එම සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.
මේ අතර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් අද හා හෙට දින බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා ඇත.
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසුවේ, රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි පමණක් ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ඇත.
Page 47 of 440