පුවත්
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජයයි !
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.
අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද ඔබ මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙසයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසුව කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කිරීමේදි එතුමා ලබාදුන් අදහසක් තමයි අද මේ අයුරින් දියුණු කර තිබෙන්නේ. තරුණ නායකයන්ට රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ලබා දෙමින් ආණ්ඩුවේ කටයුතුවලට දායක වීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අප එම සියලු අදහස්වලට ඇහුම්කම් දෙනවා.
අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.
මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.
මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.
රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමඟ රටට ආදායම් අහිමි වුණා. ඒ සමඟම කොවිඩ් වසංගතයත් පැමිණියා. රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඒ වෙනුවට කළේ ඉටු කළ නොහැකි බව දැනගෙන වුවද ජනතාවට විවිධ පොරොන්දු ලබා දීමයි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි වීමයි.
ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳිමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.
ඉන් පසුව තරුණයන්ට ද මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.
අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නැහැ. විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහත්මයා කොහොමද, කොතැනද වාද කරන්නේ කියා තෝර ගන්න මාසයක් වාද කළා. අවසානයේ එක් අයෙක් පැමිණියේ නැහැ. මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වි නැහැ.
ඒ නිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවද කියලා ඔවුන් පැවසිය යුතුයි. නමුත් කිසිවෙක් එවන් ප්‍රකාශයක් සිදු කර නැහැ. ඔබේ ආනගතය භාර ගැනීමට ඔවුන් සූදානම් නැත්නම් ඔබ ඔබේ අනාගතය ගැන සිතා ඉදිරියට යා යුතුයි. එහිදී මෙවන් වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. ඔබේ දැනුම වැඩිකර ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරීන් සහ පුද්ගලික අංශය හමුවීමට අවස්ථාව සලසා දිය හැකියි. නව යෝජනා ඉදිරියට ආ යුතුයි. පැරණි ක්‍රමවේදයේ තවදුරටත් සිර වී නොසිට අපි රටක් ලෙස වේගයෙන් ඉදිරියට යමු කියා මා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.
මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒවටා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය,
ජාතික තරුණ පාර්ලිමේන්තුව කියන සංකල්පය, සංකල්පයකින් ඔබ්බට ගොස් ව්‍යවස්ථාපිත බලයක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට ඔබ අතට පත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය කුමක්ද?
පිළිතුර,
තරුණ පාර්ලිමේන්තුව කාලයක් පුරා ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ පිළිබඳ නීතියක් ඉදිරිපත් කිරීමට සුදුසු කාලය එළැඹ තිබෙනවා. මෙම කණ්ඩායම තෝරා ගන්නේ කෙසේද යන්න එක් ගැටලුවක්. එය යොවුන් සමාජවලට සීමා කරනවාද එසේත් නැත්නම් විවෘත කරනවාද? විවෘත කරනවා නම් එම ලැයිස්තු සකස් කරන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න කිහිපයක් පැන නැඟී තිබෙනවා. ඒවාට විසඳුම් සොයා දෙන ලෙස මම දැනුම් දී තිබෙනවා. ඒ අනුව අපට ක්‍රියා කළ හැකියි.
ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභාවල තරුණ කාන්තා නියෝජනය පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. තරුණ නියෝජනය යෝජනා වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේදීයි. නමුත් එය නාමයෝජනාවලට පමණක් සීමා වුණා. මේවා ඉදිරි වසර දෙක තුන තුළ ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රතිපත්තියක් ලෙස මා පිළිගෙන තිබෙනවා. තරුණ නියෝජනය පිළිබඳ සාකච්ඡාව දැන් හෝ ආරම්භ කළ හැකියි. ඒ වගේම ජනසභා තිබෙනවා නම් ඊට කාන්තා හා තරුණ නියෝජනය අවශ්‍යයද, ඒ මොන ආකාරයෙන්ද යන්නත් සිතා බැලිය යුතුයි. මේ පිළිබඳව තරුණයන්ගේ අවධානය යොමු කර පිළිතුරක් සොයා ගැනීම සුදුසු බව මම හිතනවා.
ප්‍රශ්නය,
අමාත්‍යාංශවල ලේකම්වරු සමඟ කටයුතු කිරීමට තරුණ නායකත්ව කාර්ය බළකායක් ගොඩනැඟීමට අපට අවස්ථාව තිබෙනවාද? සුහුරු තාක්ෂණය හා සම්බන්ධ කටයුතුවලදී බිම් මට්ටමේ ඒ පිළිබඳ අවබෝධයක් නැහැ?
පිළිතුර,
අමාත්‍යාංශ හා පරිපාලනයට තරුණ අදහස් එක් කිරීම ඉතා වටිනවා. එය සිදු කළ යුත්තේ කෙසේද කියා ඔබම සාකච්ඡා කර අපට දැනුම් දෙන්න. පාර්ලිමේන්තුව හා සම්බන්ධ වීමේ වැදගත්කම තිබෙන්නේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඊට සහභාගි වීමට අවස්ථාව හිමි වන නිසයි. අමාත්‍යාංශ හෝ පළාත් සභාවලට සම්බන්ධ වෙනවා කියන්නේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වෙනවා කියන එකයි. එසේ සම්බන්ධ වීමට වඩාත් සුදුසු ක්‍රමවේදය කුමක්ද කියා එක්ව සාකච්ඡා කර අපට ඉදිරිපත් කරන්න. ඒ ගැන මම කියන්නේ නැහැ. මොකද මේ මගේ අනාගතය නොවෙයි. 2048 වන විට මම නැහැ. ඒ ඔබේ අනාගතයයි.
ප්‍රශ්නය,
රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එම අභියෝගය බාර ගෙන ඔබතුමා සාර්ථකව ඊට මුහුණ දුන්නා. නමුත් යම්කිසි ආකාරයකින් ඔබතුමා ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නායකත්වය ගැනීමට කිසිවෙක් සිටිනවාද?
පිළිතුර,
මෙම මැතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය හෝ පරාජය නොවෙයි. එහිදී තීරණය වෙන්නේ රට පරාජය වෙනවාද නැද්ද යන්නයි. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. එය බිඳවැටුණහොත් අපට නැවතත් විදේශ විනිමය නැති වෙනවා. නැවතත් ඖෂධ, පෙට්‍රල්, ගෑස් නොමැතිව පෝලිම්වල දුක් විඳීමට සිදු වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යනවාද නැද්ද කියා තීරණය කළ යුතු වෙනවා.
මෙම ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන ලෙස මම සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැති නම් විකල්පයක් ඉදිරිපත් කරන්න. මෙවර මැතිවරණයේදී තෝරා ගැනීමට සිදු වන්නේ පුද්ගලයන් නොවෙයි, ක්‍රමයයි. මේ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි කියා ඔබ සෑහීමට පත් ව තිබෙනවා නම් මේ ක්‍රමය සමඟ ඉදිරියට යමු.
එසේ නොමැතිව නැවත කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක්, විදේශ විනිමය නැති ඖෂධ, පොහොර නැති රටක් අවශ්‍ය නම් වෙනත් පාර්ශ්වයක් තෝරාගත හැකියි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය නම් රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා හැකියි.
රජයේ වැඩපිළිවෙළ හොඳ නැත්නම් ඊට විකල්පයක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් මෙතෙක් කිසිවෙක් එවැනි විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ගිවිසුම සංශෝධනය කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා ගිවිසුම වෙනස් කිරීමට හැකියාවක් නැහැ කියලා. ලබන මාසයේ රට බංකොළොත්භාවයෙන් නිදහස් වෙන එකට මට අත්සන් නොකර සිටිය හැකිද? ඒ නිසා ඔබ තමන්ගේ අනාගතය පිළිබඳ සිතා තීරණයක් ගත යුතුයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ,
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය : බුද්ධි තොරතුරුවලට වැඩ කරාද විමර්ශනයට කමිටුවක් !
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ.
මෙම විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් මහත්මිය කටයුතු කරයි.
2019 අප්‍රේල් 21 වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලද පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු මත රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින්, ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ මෙන්ම එසේ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ඒවා ප්‍රමාණවත්ද යන්න කමිටුව මඟින් විමර්ශනය කිරීමට නියමිතය.
එමෙන්ම වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මාස හතරක කාලයක් විශ්වාස කළේ ඇයි ද යන්න සහ ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මොනවාද යන්න මෙම කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතය.
2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද 2021 ජනවාරි 31 වැනි දිනැති අවසන් වාර්තාව මඟින් 2019 අප්‍රේල් 21 වැනි දින එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට, ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු ලැබී ඇති බව සඳහන් කර ඇත.
තවද, 2018 නොවැම්බර් 30 වැනි දින හෝ ඒ ආසන්න කාලසීමාවේදී වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිය අනාවරණයන් ලිඛිතව දැනුම්දී ඇති අතර එයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සම්බන්ධයක් තිබෙන බවට විශ්වාස කෙරිණි.
නමුත් එම සිද්ධියෙන් මාස හතරකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවකට ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) මීට සම්බන්ධ බව ආනාවරණය කර ගන්නා ලදී.
2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාවේ 2021 ජනවාරි 31 දිනැති අවසන් වාර්තාව ඇතුළත් සංයුක්ත තැටිය ද විමර්ශන කමිටු වෙත ලබා දී ඇති අතර අදාළ කරුණු සම්බන්ධයෙන් අදාළ ඕනෑම නිලධාරීන්ගෙන් විමසීමට සහ ලේඛන පරීක්ෂා කිරීමට ද ජනාධිපතිවරයා විසින් කමිටුවට බලය පවරා තිබේ.
ඒ අනුව 2024 සැප්තැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර අදාළ කමිටුව වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට ද උපදෙස් දී තිබේ.
මැතිවරණ කල් දානවාට පොහොට්ටුව විරුද්ධයි - නාමල්
මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ අද (12) පැවති විශේෂ රැස්වවීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බවත් ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ ගේ පක්‍ෂය එක ආසනයකට වැටුණු බවද සඳහන් කළ මන්ත්‍රීවරයා කෙසේ වුවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් සඳහන් කළේය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයෙක් සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .
සංහිඳියාවේ ස්මාරකය හදන කමිටුවේ වාර්තාව ජනපතිට !
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. සනාතනන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆර්සානා හනීෆා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි යන සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව 2023-05-22 වනදා ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබීය.
1983-2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්‍යයනය කරන ලදී.
ඒ අනුව විශේෂඥ කමිටුව විසින් පසුගිය කාලය තුළ යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මහජන අදහස් විමසීමේ සැසි පවත්වන ලද අතර සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් අදහස් විමසීම ද සිදු කෙරිණි.
මෙම මහජන සැසි, අදාළ ප්‍රදේශවල සේවය කරන ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයෙහි ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලදි. ඒ සඳහා සහභාගී වූ ජනතාවට ජාතික සමගිය, සංහිදියාව සහ ප්‍රතිසන්ධානය පිළිබඳ සිය අභිලාෂයන්, අදහස් සහ යෝජනා විවෘතව සහ නිදහස්ව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිනි.
අනුස්මරණය සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවට කමිටුව විසින් අවධාරණය කර ඇති අතර, විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් අනුස්මරණය සහ ප්‍රතිසන්ධානය යන සංසිද්ධීන් සමඟ වෙනස් ආකාරයෙන් ක්‍රියාකරන බවට කමිටු වාර්තාව තුළින් පෙන්වා දී ඇත.ඒ හරහා ගොඩනැගුණු පොහොසත් දැනුම් සම්භාරයක් පවතින බවත් පෙන්වා දෙන විශේෂඥ කමිටුව, රටේ ගැටුම් සම්බන්ධ අතීතය පිළිබඳව වාර්තා කිරීමට, අදහස් දැක්වීමට හෝ වෙනත් ආකාරයකින් ඒ හා කටයුතු කිරීමට දරන උත්සහයේ දී එම දායකත්වයන් උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිළි කර දී ඇත.
සිය අධ්‍යයනයේ දී මතු වූ පුළුල් අදහස් මාලාව සලකා බැලීමෙන් අනතුරුව කමිටුව විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අතුරින් ශ්‍රී ලංකාවේ ගැටුම් සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්ට අදාළව ගැටුම් සමය තුළ දී බිහි වූ කලාත්මක හා සංස්කෘතික ප්‍රකාශන තැන්පත් කරනු ලබන සංරක්ෂණාගාරයක් වශයෙන් සංකේතීය ගොඩනැගිල්ලක් කේන්ද්‍රීය ස්ථානයක ඉදිකිරීම නිර්දේශ කර ඇත. මේ තුළින් ගැටුම් නැවත ඇති නොවීම සඳහා සාමූහික කැපවීම සහතික කිරීමත්, සියලු ශ්‍රී ලාංකිකයන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කෙරේ.
කමිටු වාර්තාව භාරදීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියේය.
ජාතික තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අතර පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය හිමිව ඇත.
රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් වේ.
පැවති රජයන් විසින් වරින්වර හඳුන්වා දෙනු ලැබ ඇති විවිධ ප්‍රතිපත්තීන් අනුව තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම හේතුවෙන් මෙරට ආයෝජන සඳහා වන තරගකාරී පරිසරයට අයහපත් බලපෑමක් සිදු ව ඇති බව රජය පවසයි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමාගේ උපදෙස් මත ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ නියෝජිතායතනවල සාමාජිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව විසින් වෙළෙඳ කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ සහ මෙම විෂයය හා සම්බන්ධිත අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ මග පෙන්වීම යටතේ ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රජාව සමඟ සාකච්ඡා කර ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියමිතය.
පොදු ස්ථානවල ලිංගික හිරිහැර සිදු කරන්නන්ට නීති තද වෙයි
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ලක්ෂ ගණනක් පාසල් සිසුන්ට ජනපතිගෙන් ශිෂ්‍යත්ව !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6000ක් වෙනුවෙන් මසකට රුපියල් 6000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී ඇත. ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිතය.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන අනුව කොළඹ දිස්ත්‍රික්කයට දළ වශයෙන් ශිෂ්‍යත්ව 5,000 ක් පමණ හිමි වන අතර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් දැනටමත් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කර ඇති ශිෂ්‍යත්වලාභී නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 396 අතුරින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 1758 දෙනෙකු සඳහා ද හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.
ශිෂ්‍යත්ව අයදුම්පත්‍රය සමඟ ලබා දී ඇති දුරකථන අංක වෙත හා කෙටි පණිවිඩ යැවිය හැකි දුරකථන අංක වෙත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
තවද මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට නියමිතිය. කෙසේ වුවද කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා හිඟ වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ඉදිරි දින කිහිපය තුළ බැංකුගත කිරීමට කටයුතු කරන අතර එසේ මුදල් බැංකුගත කිරීමෙන් පසු කෙටි පණිවිඩයක් මඟින් (SMS) අදාල ශිෂ්‍යත්වලාභින් දැනුවත් කිරීමට ද කටයුතු කෙරේ.
මීට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා තෝරාගෙන ඇති ශිෂ්‍යත්වලාභින් සඳහා ද ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක් !
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි.
රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 වර්ෂය සඳහා වන අය වැය මඟින් පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා ඇත.
එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව විසින් අදහස් කරනු ලබන රජයේ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත්, මෙම කමිටුවට හැකියාව ඇත.
මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ලබා දීමට ද උපදෙස් දී තිබේ.
ඔන්මැක්ස් DT තැම්පත්කරුවන්ගේ තොරතුරු CID යයි !
"ඔන්මැක්ස් ඩී.ටී" හී තැන්පත්කරුවන් සහ මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔන්මැක්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට අද (11) නියෝග කළේය.
තැන්පත්කරුවන් 61210ගේ තොරතුරු බව දක්වමින් ඔන් මැක්ස් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක් නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
එබැවින් තැන්පත්වරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල,හැඳුනුම්පත් අංකය,දුරකථනය අහංකය හා ඊමේල් ලිපිනය මෙසේ ලබා දීමට නියෝග කෙරිණි.
එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවද රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පැවසීය.
කෙහෙළියගේ පෙත්සමට දින දෙයි !
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සමක් වැඩිදුර සලකාබැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (11) නියම කළේය.
හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර තිබුණේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණ .
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න නියෝග කළේය.
මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියම කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.
රුසියානු සන්නද්ධ හමුදාවලට ලාංකිකයින් බඳවා ගැනීම අත්හිටුවීමට එකඟතාව
රුසියානූ සන්නද්ධ හමුදාවල සේවය සඳහා තවදුරටත් ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනිම අත්හිටුවීමට රුසියාව සිය එකඟතාව පළකර තිබේ.
ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර සිදු වූ හමුවකදීය.
රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් අමාත්‍ය සැසිවාරයට සහභාගිවීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි රුසියාවට ගොස් සිටී.
සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟතාව පළ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී රුසියානු සන්නද්ධ හමුදාවට බැඳී සිටින මෙරට පුරවැසියන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවය.
මේ අතර රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා ලබන 26 සහ 27 පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අදාළ සාකච්ඡා සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 25 වැනිදා රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ රුසියා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වූ වෛද්‍ය සමන් වීරසිංහ ද ඇතුළත්ය.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේවන විට පැමිණිලි 486 ක් ලැබී ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ 0112 441 146 යන දුරකථන අංකයට ඒ පිලිබද තවදුරටත් තොරතුරු ලබා දිය හැකි වේ.
newsfirst
සමන් රත්නප්‍රියගේ මැතිවරණ කාර්‍යාලයත් විවෘත කරයි !
එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
පිළියන්දල, මිරිස්වත්ත, ආසිරි උයන 250/8 යන ස්ථානයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කර ඇත.
හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අචල ජාගොඩ , එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයන් සහ සිවිල් හා වෘත්තීය සමිති ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මාතලේ ආසන සමුළුවෙන් තෙන්නකෝන්ලා හැළුවට : නාමල්ට විරෝධය !
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පැවැත්වුණු පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ට ආරාධනා කර නොතිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඊට සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.
අදාළ සමුළුව පසුගිය 8 වනදා රත්තොට බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පවත්වා ඇති අතර ඒ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ය.
සමුළුව සංවිධානය කර තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක විසිනි.
පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ය. කෙසේ වුවත් ඔහුට සහ ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත මෙම සමුළුවට ආරාධනා නොකිරීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙන බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා වන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හට අදාළ සමුළුවට ආරාධනා නොකිරීම ඔහුට කළ අගෞරවයක් මෙන්ම මදි පුංචිකමක් බවයි.
පොහොට්ටුව තමන්ට සලකන්නේ මේ ආකාරයට නම් ඒවායේ ප්‍රතිඵලත් ඔවුන්ට ලැබෙනු ඇති බවත් තමන්ටත් තම පියාටත් කළ අගෞරවය ගැන දිස්ත්‍රික්කයේම ජනතාව කතා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
ජනාධිපතිවරණය දිනලා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 130ක් ගන්නවා !
ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී ජාතික ජනබලවේගය පක්ෂය ආසන 120 – 130 ත් අතර ප්‍රමාණයක් දිනා ගන්නා බව ජවිපෙ සහ ජාජබ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .
ජාතික ජන බලවේගයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ තංගල්ලේ පැවති එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින්ය.
සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එම ඡන්දයෙන් පාර්ලිමේන්තු වරම් ලබා ගන්නා බවද එහිදී ඔහු සඳහන් කළේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මෙසේ පැවසීය .
“ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා. එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.”
එසේම පළාත් පාලන අයාතනවලට මෙන්ම පළාත් සභාවලට දට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තරුණ පිරිසක් අවශ්‍ය බවත් මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය .
“සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි. ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු.
ආණ්ඩුව ප්‍රමුඛ වතු කම්කරුවන් වැටුප් සටන දිනයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ගැසට් කළ වතු කම්කරු රුපියල් 1700 ක දෛනික වැටුප 1,700ක් මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.
ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.
ජනාධිපති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අප්‍රේල් මස 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක් ලෙස පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කෙරිණ .
රජයේ මේ තීරණය සම්බන්ධයෙන් ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බව පවසා සිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සිය තීරණය සංශෝධනය කළේ නැත.
මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට අද පියවර ගත්තේය.
ජනපති සහ ඉන්දීය ප්‍රබලයකු අතර හමුවක් !
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ආචාර්ය එස්. ජයශංකර් අතර හමුවක් අද (10) සිදු විය.
ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් පැවසීය.
අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ජයශංකර් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තන පනත මඟින් පළාත් සභාවලට හිමිවන බවයි.
එසේම සත්‍ය හා ප්‍රතිසංධාන පනත් කෙටුම්පත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර දෙරටෙහි ධීවරයන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් තීරණයකට එළැඹීමට ද අවධානය යොමු විය.
වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්, අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.
නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනය ද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ඉන්දීය රජයේ දූත පිරිසක්මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බලය ඉල්ලන පාර්ශවයන්ට බන්දුලගෙන් අභියෝගයක් !
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
මෙම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මේ වන විට විවිධ පාර්ශ්වයන් විරෝධතා, වර්ජන උද්ඝෝණ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කොට 2025 අයවැය ලේඛනයෙන් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට ද එළඹුණා.
රජයට කෙතරම් අවශ්‍යතා තිබුණත් 2024 අයවැය ලේඛණය මඟින් අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකිවක් නැහැ. පසුගිය දශක හතරක පමණ කාලයක සිට ආණ්ඩුවක් කටයුතු එදිනෙදා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් පුනරාවර්තන වියදම් වෙනුවෙන් අදායමක් නොතිබූ බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි.
2023 වසරේ දී සියළුම බදු වර්ග වැඩිකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1550ක් එකතුකර තිබෙනවා. ආනයන අපනයන බදු මඟින් රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 923ක් එකතුකර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් එකතු කර තිබෙනවා. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියන බිලියන 20ක් එකතු කර තිබෙනවා. බදු නොවන ආදායම රුපියල් බිලියන 219ක් වනවා.
ඒ වගේම ආධාර ලෙස රුපියල් බිලියන 16ක් ලැබී තිබෙනවා. විවිධ තැන්පත් මඟින් රුපියල් බිලියන 304ක් ලැබී තිබෙනවා. ඒ අනුව සියළුම මාර්ග ඔස්සේ ලැබී ඇති සම්පූර්ණ අදායම් ප්‍රමාණය රුපියල් බිලියන 3201ක් ලෙස සටහන් වනවා.
කෙසේ වෙතත් මෙම ආදායම් මඟින් ඕනෑම රජයක් එදිනෙදා පවත්වාගෙන යාම මෙන්ම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාමික වැටුප්, සමෘද්ධි, අස්වැසුම වැනි සහනාධාර සහ ණය සඳහා පොලිය ද ගෙවිය යුතු වනවා. ඒ සඳහා 2023 වර්ෂයේ දී පමණක් රුපියල් ට්‍රිලියන 4.3ක් වැය වී තිබෙනවා.
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු වනවා. ඒ අනුව 2025 වර්ෂය ලබන විට බාහිර විදේශ සම්පත් පරතරය ජාත්‍යන්තර ගනු දෙනු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ.
ඒ සඳහා අතීත වර්ෂයන්හී අත්දැකීම් අනුව අමෙරිකානු ඩොලර් බිලියන 5018ක් අවශ්‍ය වන බව පුරෝකතනය කෙරෙනවා.
ඒ වගේම ඉදිරි අයවැය සකස් කෙරෙන ඕනෑම ආණ්ඩුවක් මෙම මුදල් සපයා ගත යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 663ක් ලබාදීමට එකඟවී තිබෙනවා.
එහිදී අයවැය හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ලබාදීමට එකඟ වී තිබෙනවා. ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලබාදීමට එකඟවී තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එකඟ වී ඇති පරිදි ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව රාජ්‍ය බලය ලබාගැනීමට අපේක්ෂා කරන පාර්ශ්ව රටට පැවසිය යුතුයි. ඒ අනුව ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා නොකර මේ කාටවුවත් රටේ ඉදිරි අයවැය සඳහා වෙනත් විකල්පයක් නැති බව ද පැවසිය යුතුයි
Page 42 of 440