V2025

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වී තිබුණි.

සජිත්ට ඡන්දයක් ලබා දීම යනු අනුරට ඡන්දය දීමක්

සජිත්ට ඡන්දයක් ලබා දීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව පැවසූවේ හලාවතදී පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

සජිත් ප්‍රේමදාසට දැන් කිසිවිටෙකත් ජයග්‍රහණය කළ නොහැකි බව කී ජනාධිපතිවරයා සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායකට බව පැවසීය.

එම කාරණය එක්සත් ජාතික පාක්ෂකයන්ට අවධාරණය කරන බවද ජනාධිතිවරයා සදහන් කළේය. එම නිසා රට ජයග්‍රහණය කිරීම සදහා එක්ව කටයුතු කරමු යැයි සියලු එජාප පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

තවද, උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බව කී ජනාධිපතිවරයා රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවද සදහන් කළේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ටද?

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ITAK ජ්‍යෙෂ්ඨ උප සභාපති සී වී කේ සිවඥානම් ඉදිරිපත් කළ යෝජනාව බෙදීමකින් තොරව සම්මත වූ බවයි දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට දිගින් දිගටම විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් ට පැවසුවේ.

කෙසේවෙතත් ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.

මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ, දෙමළ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේක් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 12 කින් ය. එහි නව මිල, රුපියල් 332 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දැමීමත් සමග එහි මිල රුපියල් 377 ක් දක්වා පහළ යනු ඇති.

ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින් ය. එහි නව මිල රුපියල් 307 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමගයි.

එසේ වුවද භූමිතෙල් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවන බව වාර්තා වෙයි.

'මට අවශ්‍ය තනතුරු නොවේ, තවත් ගෝඨා කෙනෙකුගෙන් රට බේරා ගැනීමයි' - තලතාගෙන් නිවේදනයක්

තමාට අවශ්‍ය වී ඇත්තේ තනතුරු හෝ වරප්‍රසාද නොව, තවත් ගෝඨාභය කෙනෙකුගෙන් රට බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසන්නීය.

තමා එදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බව යයි ද ඇය කියා සිටියි.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික ගැටළුවක් නැතත්, ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී එම භයානක සත්‍යය අවබෝධ වූබව මන්ත්‍රීවරිය පවසයි.

තලතා අතුකෝරළ එබව සඳහන් කර ඇත්තේ, ඊයේ (30) පස්වරුවේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති තමා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවන බවත්, ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම බවත් ඇය සිය නිවේදනයෙන් කියා සිටියි. එය ඛෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක කාරණයක් බවද හිටපු මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

 ''තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට රට යළිත් පත්විය යුතු නැත''

තලතා අතුකෝරළ විසින් නිකුත්කර ඇති නිවේදනය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළවේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැඛෙනවාද යන්න පිලිබඳ සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ.

එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළව මුලූ රටේම අවධානය යොමු වියයුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිලිබඳ සිද්ධියක් නොවේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීමය. එය ඛෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි.

එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳව සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහා ය.

මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බවය. එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත්‍රී ධූරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහා ය.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය. ඒ බව මා වහා ජනතාවට කිවයුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීමය.

එහෙයින් මෙම ජනාධිපතිවරණයේදී ඔබ හුදු ප්‍රචාරක රැළිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේක‍ෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ.

එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත. අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලූ දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාක‍ෂි කොතෙකුත් ඇත.

එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී හුදු සන්ධානවාදී ප්‍රචාරක ක්‍රමවලින් රටත් ජනතාවත් මුලා කරන කිසිවකුට අසුනොවී සමාජ ආර්ථීක හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔඛෙන් ඉල්ලමි.

තලතා අතුකෝරළ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි

මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉගියක්

ජනාධිපතිවරණයෙන් දින 66කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩක් පවතින අතර, එසේ වුවහොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැදවා දින 66ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක කීය.

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000ක්

එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතව තිබේ .

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි.

මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණෙදි ඡන්දෙ දාන්නෙ මෙහෙමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසා ඇත්තේ, ඡන්දදායකයන්ට තම පළමු මනාපය එක් අපේක්ෂකයෙකුටත් දෙවැනි සහ තුන්වැනි මනාපය තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුටත් සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි.

ඡන්දදායකයන්ට ද තම පළමු මනාපය පමණක් සලකුණු කිරීමේ තේරීම ඇති බවද සභාපතිවරයා පවසයි.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ඡන්දදායකයකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රම දෙක පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පහත මාර්ගෝපදේශය නිකුත් කර ඇත.

xrt3453

ජනපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට  සඳහන් කළේ , දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පැවසුවේ ය.

‘අනේ අපොයි’ නොකියන්නට නම් මාලිමාව දිනවන්න - අනුර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිර්මාණය කළ හොත් කිසිදු දිනක ‘අනේ අපොයි’ කියන්නට ජනතාවට සිදුනොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකපැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (29) පොළොන්නරුවේ පැවති ජන රැලිය අමතමිනි.

එම ජන රැලියේ දී අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ අදහස් දැක්විම මතු දැක්වේ.

සතුටු විය හැකි තීන්දුව

‘‘අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.

අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා. 

හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව අපේ දරුවෝ ඉගෙන ගන්නවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු.  එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව  අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.

අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක්

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටක ම නීතිය ඉදිරියේ හැමෝ ම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා. 

අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක්  තමයි  අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා විසි දහසක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන්  එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.

යලට මහට අතර මැද තව කන්නයක්

අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්‍රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.

මෝල් හිමියන් වෙත විශේෂ අවධානය

ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට පොළොන්නරුවෙ ම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක් ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතිය ම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා මධ්‍ය පරිමාණ මෝල් නගා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.

නව පර්යේෂණ සහ නව සොයාගැනීම්

ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්; නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණ ඇති කරනවා. අපි දෙදහස් තිහ වෙනකොට  අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.

සෙකන්ඩ් ක්ලාස් වැඩ ඉවරයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර: අපේ රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දෙදහස් හතළිස් අටේ දී ආර්ථිකය හදනවාලු. හතළිස් අටේ දී ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් ගන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් දහදාහක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාම ද? හැමදාම ඕන ද?

 අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත්  වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ දහයක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව දහදාහක දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.

සුළං බලයෙන් විදුලිය

ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල තුනෙන් එකක් අඩු කරන්න පුළුවන්. අනාගතයේ සියයට අසු පහක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් හතළිහකට වැඩිය නිපදවන්න පුළුවන්. දෙදහස් හතළිහ වෙන විට අපේ රටට මුළු ඉල්ලුම ම ගිගාවොට් අටයි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් හතළිස් දාහක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත අටයි දශම දෙකයි දෙකක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත හතරට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.

විධිමත් සුව සේවයක්


අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.

ස්කූටි ඕනෙ ම ද...?

ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය; දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට තිස්පන් දහසක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලා ම ගන්නේ ස්කූටියක්. පඩිය හතළිස් දාහයි; ස්කූටියට මාසෙකට කැපෙනවා තිස්පන් දහසක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා.  තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.

පොර බැදුවොත් හොඳ රටක්

අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ රට ඉතාම දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න  පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් විසි එක්වෙනිදාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.’’

අපි වගා ණය කපා දමනවා - සජිත් ප්‍රේමදාස

මේ රජයට ගොවියාගේ වගා ණය කපා දමන්න බැරි වුව ද සමගි ජන බලවේග රජයක් තුළ මේ වගා ණය කපා දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 හෙතෙම මෙලෙස පැවසුවේ නිකවැරටියේ පැවති ජන රැලියක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසිය.

අපි රකින්නෙ පොඩි මිනිසා

‘‘දුගී දුප්පත්කම තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවක්අපිට තියෙනවා. මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අපේ රටේ බහුතරයක් ජනතාව අසරණ වෙලා. දැන් තියෙන්නේ ජනතාව පැත්තකට දමලා කෝටි ප්‍රකෝටිපතියන් රකින රජයක්. රජයේ බැංකුවලට පොලු තිබ්බ කෝටිපතියන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන්න කියල ජනාධිපතිවරයාට සහ මුදල් ඇමතිවරයාට කිව්වට එයාලා පිළිතුරු දෙන්නෙ නෑ. මේ අයගේ ගජමිතුරු සම්බන්ධතා මත කෝටි ප්‍රකෝටි ගණන් ණය කපා හැරලා. ඔවුන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් ගොවියාගේ වගා ණයත් කපා හැරිය යුතු යි. සමගි ජන බලවේගය සිටින්නේ සුපිරි පොහොසතා රකින්න නෙවෙයි. පොදුජනතාව ගොවි ජනතාව ධීවරයා, කම්කරුවා ඇතුළු පොඩි මිනිසා රකින්න.

ගෞරවාන්විත පොලිස් සේවාවක්

කුඩු කාරයෝ සැප වාහනවල යද්දි පොලිසියට ත්‍රිවිල්වල යන්න සිදුවෙලා. ඒ නිසා ගෞරවාන්විත පොලිස් සේවාවක් ක්‍රියාත්මක කරලා මෙරට ආරක්ෂක අංශ සඳහා තනතුරුට අදාළ විශ්‍රාම වැටුප ලබා දීමටත් කටයුතු කරනවා. අධ්‍යාපනයේ සිටින නිලධාරීන්ගේ වැටුප් විෂමතා ගැටලු විසඳලා සමස්ත රාජ්‍ය සේවයට ම ශක්තිය ලබා දෙනවා.

වී මාෆියාවට තිත

එමෙන්ම වීවලට සහතික මිලක් ලබා දෙනවා. නාඩු, සම්බා, කීරි සම්බා, කැකුලු යනාදී හාල් සඳහා විශාල මිලක් තිබුණට ගොවියාට ලැබෙන්නෙ සොච්චම් මිලක්. පාරිභෝගිකයාගෙන් ඉහළ මිලක් අය කරනවා. ඒ කියන්නෙ මෙහි දූෂණයක් මාෆියාවක් තියෙනවා. මේ වී මාෆියාව නැති කරල දාලා අපි, ගොවි ජනතාව සුරකින යුගයක් බිහි කරනවා.

දුකේදී ළඟ ඉන්න හිතවතා

ජනතාවට කරදරයක්, හානියක් සිදුවන විට කම්පාවට ලක්වන විට කණගාටුවට ලක් වන විට ජනතාවගේ දුක සැපත බවට පත් කරන අහේනියට විසදුම ලබා දෙන විට මුලින්ම මතකයට එන්නේ කාගෙ නම ද කියල හිතල බලන්න. ජනතාව රකින ජනතාවට පිහිටවන ජනතාව ජීවත් කරවන්නේ කවුද කියලා හදවතින් විමසන්න. ජනතාවගේ දුකේදී ළඟ ඉන්න එකම හිතවතා වෙන්නේ සජිත් ප්‍රේමදාස මම යි. කයිය නායකයන්ගෙන් වගේ ම ප්‍රභූ පැළැන්තිය වෙනුවෙන් පෙනී සිටින ටයි කෝට් කාරයොන්ගෙන් විසදුම් ලැබෙන්නෙ නෑ. ජනතාවට විසදුම් දෙන්නේ ජනතාව සමඟ සිටින සමගි ජන බලවේගය විතරයි.’’

(සටහන - ජයසිරි අලවත්ත)

එජාප මහ ලේකම් ධූරය : පාවාදීම සූදානම් වූ රංගේ දොට්ට : තනතුර තලතාට !

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) රංගේ බණ්ඩාර ඉවත් කිරීමට අදාළ ලිපියට අත්සන් තබා ඇත.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව පාලිත රංගේ බණ්ඩාර පසුගිය කාලයක් තිස්සේ සිය ධූරයට අදාළ වගකීම් කිසිවක් ඉටුකර නොමැති.

දේශපාලන කරළිය තුළ මේ සම්බන්ධයෙන් පැතිර ගිය තොරතුරු අනුව ඔහු සමගි ජනබලවේගය සමඟ එක්වීමට නියමිතව සිට තිබේ.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පසුගියදා සමගි ජනබලවේගය පක්ෂය අත් හැර පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය සඳහා නම් කිරීමට නියමිත ය. කෙසේ වුවත් ඇය මෙතෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවක් සඳහන් කර නොමැති බවද වාර්තා වෙයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති රනිල් හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  ද එක්ව සිටියේය.

හෙල්මට් කල්ලියට බලය ගියොත් වෙනදේ ප්‍රසන්න කියයි !

අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු ඇතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයි.

එබැවින් ඉතාම කල්පනාවෙන් යුතුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ දිවුලපිටිය,කටාන ප්‍රදේශවල පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේක අපිට අමුතු වේදිකාවක්. මොකද මේ වේදිකාවේ සියලුම පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් ඉන්නවා. දේශපාලනයේදී අපි කාලයක් එකිනෙකා විවේචනය කරගත්තා. නමුත් ඒ සියලුම එදිරිවාදිකම් අතහැරලා අපි සියලුම දෙනා එකම අරමුණක් වෙනුවෙන් එකට ගමනක් යනවා.

ආර්ථික අර්බුධයත් සමග මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා. අපි තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්වින්ඳා. අපිට ඒ අතීතය මතකයි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන නිසා සමහරු කියනවා ප්‍රසන්න රණතුංග දැන් එක්සත් ජාතික පක්ෂයට බැඳිලා කියල. නෑ.. මම තවම පොහොට්ටුවේ. අද මහින්ද මහත්තයගේ වේදිකාවේ කයිවාරු ගහන්න වීරයෝ ඕනතරම් ඉන්නවා. නමුත් එතුමා 2015 පැරදුණ වෙලාවේ ඔය කවුරුවත් හිටියේ නෑ. මම තමයි එතුමා නැවත දේශපාලනයට ගේන්න පෙරමුණ ගත්තේ. බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා විදියට මගේ නිල නිවසේ තමයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණේ. ජනාධිපතිවරයෙක් පත්කරගෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වුනේ අපේ කැපකිරීම නිසයි.

යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කොවිඩ් වසංගතයෙන් රටත් ජනතාව බේරාගත්තේ. අපිට ඒ අතීතය මතකයි. කොවිඩ් වසංගතයෙන් පසුව ඇතිවුණ ආර්ථික අර්බුධය නිසි පරිදි කළමණාකරණය කර ගන්න එදා මමත් නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට බැරිවුණා. ඒ පළවිපාක තමයි අපි විඳෙව්වේ.

එදා ආර්ථිකය කඩාගෙන වැටුණු රට නැවත ගොඩ ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි එතුමට මේ ජනාධිපතිවරණයේදී කළගුණ සැලකිය යුතුයි. ඉතිහාසයේ රටවල් මීටත් වඩා දරුණු අර්බුධවලට මුහුණ දීල තියෙනවා. ඒ අවස්ථාවලදි දේශපාලනය පැත්තකට දාල රට වෙනුවෙන් මිනිස්සු එකට එකතු වුණා. අපිත් මේ එකතුවෙලා ඉන්නේ ඒ වගේ උදාර අරමුණක් වෙනුවෙන්. අපි ජනාධිපතිවරයාට උදවු කරන්නෙ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නෙමෙයි. එහෙම පුද්ගලික දේශපාන න්‍යායපත්‍රයක් අපිට නැහැ.

රට ගොඩනඟලා, ආර්ථිකය ස්ථාවර කළාම අපි පුළුවන් දේශපාලනය කරන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලන්න. ඒ තියෙන්නෙත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලමයි. මේ රටේ බලය තියෙන්නේ විධායකයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් විධායක ජනාධිපතිවෙලා ඉඳල නෑ. එතුමා හැමදාම හිටියේ දෙවැනි තැන. මේ පාර අවුරුදු දෙකකට ඔහුට විධායක ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් ඉතාම නරක තැනක රට තියෙද්දි. කෙටි කාලයක් තුළ එතුමා තමන්ගේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරල රට ගොඩ ගත්තා. මේ වැල් පාලමේ ඉතුරු ටික යන්න අපිට ඔහුව අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි එකතු වුණේ.

මේ රට හැමදාම ආපස්සට ඇද්දේ ජනතා විමුක්ති පෙරමුණයි. 2022 ගෙවල් ගිනි තියල රටේ මිලේච්ඡත්වය වැපිරුවේ අනුර කුමාර දිසානායකගෙ හෙල්මට් කල්ලියයි. ඒ වගේ කන්ඩායමකට බලය දුන්නොත් මේ රටේ ආයෙමත් ලේ වැගිරීමක් වේවි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් මේපාර ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. අනුර කුමාර හිතාගෙන ඉන්නේ තමන්ගේ සියයට 3 ඡන්ද ගොඩ සියයට 40 -50ක දක්වා වැඩි වේවි කියල. එහෙම වෙන්නෙ නෑ.එක ඡන්දයක් හදාගන්න කොච්චර මැරෙන්න ඕනද කියල දේශපාලනය කරන අපි දන්නවා.

– මාධ්‍ය ඒකකය

අලුත් සමීක්ෂණ වාර්තාව : අනුර - සජිත් එකතැන : රනිල්ගේ වක්‍රය ඉස්සෙයි !

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව එළිදක්වා තිබේ.

ඊට අනුව පෙර මාස වලට සාපේක්ෂව අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් ගේ ජනප්‍රියතාවය මඳක් අඩු වී ඇත්ත් ඔවුන් දෙදෙනා තවදුරටත් ඉදිරියෙන්ම පසුවෙන්නේ කරට කර මට්ටමේ සිටිමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි .

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක 37%ක් ලබා මත විමසුමේ ඉදිරියෙන් සිටිද්දී සජිත් ප්‍රේමදාස ඔහු හා ආසන්නයෙන්ම රැඳී සිටින්නේ 36%ක් ගනිමිනි.

පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද 4%ක් ලබාගෙන සිව්වන ස්ථානයට පත්ව සිටියි.

PEVI 01 20240828 E 1024x576

 

PEVI 02 20240828 E 1024x576

ශානිගේ ආරක්ෂාව : ශ්‍රේෂ්ඨාධිකරණයට අතිශය රහසිගත වාර්තාවක් !

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුන්නේ ය.

තමන්ට සපයා තිබෙන ආරක්ෂාව දැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය කියා සිටියේ පෙත්සම්කරුට මේ වනවිට ආයුධ සන්නද්ධ නිලධාරීන් සහිතව පොලිස් නිලධාරීන් දස දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බවය.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම මාර්තු මස 12 වනදා සිදු කිරීමට දින නියම කළේය.

කෙහෙළිය තවදුරටත් ඇතුලේ !

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (29) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී අධිකරණය වැඩිදුරටත් නියම කළේ සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙසය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.

සජිත් සහ අනුර ක්‍රියාත්මක කරන්න යන්නේ ගෝඨාභයගේ ආර්ථික වැඩපිළිවෙළමයි !

වැරදි ආර්ථික තීන්දු ගනිමින් අද සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළම බවත්, සැලැස්මකින් තොරව බදු අඩු කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් පියවර නිසා 2022 වසරේදී රටේ ආර්ථිකය කඩා වැටුණු අයුරු කිසිවෙකු අමතක නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර අරගලයට මුවා වි ඔහු පන්නා දැමුවේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරි වූයේ පසුගිය වසර දෙක තුළ අසීරුවෙන් ඉදිරියට ගෙන ආ ආර්ථිකය ආරක්ෂා කරමින් ජනතාවට ජිවත්විය හැකි රටක් ගොඩනඟාදීමට බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (29) පස්වරුවේ මොණරාගල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අති විශාල ජනතාවක් එක්ව සිටියහ.

උමා ඔය ව්‍යාපාතියේ ඉතිරි වැඩද අවසන් කරන බවට මෙහිදී ගොවි ජනතාවට සහතික වූ ජනාධිපතිවරයා ගොවියාට පොහොර ලබා දුන් අයුරින් ජලය ද ලබා දී වී අස්වැන්න ඉහළ නංවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් උක් ගොවියන්ට ද පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහමෙසේද පැවසීය

එදා මේ රටේ ජනතාව පක්ෂ, පාට, ජාති, ආගම් බේද නොමැතිව සියලුදෙනා පොළිම්වල දුක් වින්දා. රට බේරා ගැනීමට නම් අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි බව එදා අප තීරණය කළා. එහිදී මේ රටේ ජනතාව ලබාදුන් සහායට මම ස්තූතිවන්ත වෙනවා.

අප වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එම ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමටයි. මගේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි.

අද සජිත් සහ අනුර කියනවා ජීවන බර අඩු කරන්නේ බදු අඩු කරලා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. ඒ වගේම ඔවුන් කියනවා බඩු මිලත් අඩු කරනවා කියලා. එසේනම් ආදායම් අඩුකරගෙන වියදම් වැඩිකරගත් විට ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ඔවුන් කිව යුතුයි. මෙහෙම කළොත් නැවත රට 2022 පැවති තත්ත්වයට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද සිදු කළේ මෙයයි. ඒ නිසා ඇති වු තත්ත්වය මම ඔබට අමතුවෙන් කිවයුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර පාරට ඇවිත් ගෝඨාභය ජනාධිපතිවරයාව පන්නා ගත්තේ ඇයි කියා මම අහනවා.

අපි කටයුතු කරන්නේ දිනෙන් දින ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමටයි. අප දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙම මුදල් ලැබෙන විට ජනතාවට සහන ලබාදිය හැකියි. අපි සමෘද්ධිය වෙනුවට අස්වැසුම ගෙනත් ජනතාවට තුන් ගුණයක ප්‍රතිලාභ ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ දීමනාව වැඩි කළා. මෙලෙස ආර්ථිකය දියුණුවන විට ජනතාවට සහන ලබාදිය හැකියි.

2024 වසරට වඩා 2025 වසරේදී ජනතාවට වැඩි සහනයක් ලබාදිය හැකියි. මේ විදියට ආර්ථිකය දියුණු වී මුදල් තිබෙන නිසා උක් වගාව සඳහා දපොහොර සහනාධාරයක් ලබාදීට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ අයුරින්. බොරු පොරොන්දු දෙන්නේ නැතිව රටේ ආර්ථිකය දියුණුවීමත් සමඟ ජනතාවට සහන ලබාදීමට හැකි වෙනවා. 2025 අවසාන කාර්තුවේ සිට මෙම සහන ලබාදීම තවත් වැඩි කිරීමට හැකියාව තිබෙනවා.

ඒ නිසා මෙම වැඩපිළිවෙළ කඩා දමා පැරණි ක්‍රමයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ බදු බර අඩු කළ යුතුයි. අසීරු කාලයේ මුදල් මුද්‍රණය කළ නොහැකි තත්ත්වයක් ඇති වූ විට අපට බදු වැඩි කිරීමට සිදු වුණා. එමඟින් ජනතාව විශාල පීඩාවකට මුහුණ දුන් බව අප දන්නවා.

කෙසේ හෝ දැන් රටේ ආදායම් වැඩි වෙනවා. දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. එවිට ජනතාවට බදු සහන ලබාදිමට අපට හැකි වෙනවා. ඒ වගේම ලබන වසරේ තරුණ තරුණියන් ලක්ෂයකට ස්ථිර ආදායම් මාර්ග ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් කැමති පුහුණු ආයතනයකින් පුහුණුව ලබා ගැනීමට තවත් තරුණ තරුණියන්
50,000කට මුදල් ලබා දෙනවා.

මේ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කර ග්‍රාමීය ප්‍රදේශවලට ද සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි. මෙම ප්‍රදේශයේ ඉඩම් ගැටළුවේ කොටසක් මේ වන විට විසඳා තිබන අතර ඉතිරි කොටස කඩිනමින් විසඳීමට කණ්ඩායමක් යොමු කරනවා.

ඒ වගේම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ද අප කටයුතු කරනවා. මෙම කටයුතු තුළින් මේ පළාතේ කාෂිකර්මය දියුණු කර ගොවි ජනතාවට ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

උමා ඔය ව්‍යාපාරයේ ඉතිරි වැඩ කොටස අප අවසන් කරනවා. ජනතාවට පොහොර ලබා දුන්නා වගේම ජලයද ලබා දීමට අප කටයුතු කරනවා. ඔබ මට වසර 05ක් ලබා දුන්නොත් පසුගිය අවුරුදු දෙකට වඩා විශාල වැඩකොටසක් අපට ඉටු කළ හැකියි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග :

අද අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා. එකිනෙකා මරා ගෙන තමන්ගේ දේශපාලන මතවාද වලින් දේශපාලන කළ කාලය අවසන් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම් එකම වේදිකාවකට ඇවිත් තිබෙනවා. ඒ සියලු කණ්ඩායම් එකතු කර ගෙන රට වෙනුවෙන් ඉදිරිපත් වුණ කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නේ.

අපේ අම්මාලා, තාත්තලා සහ ඉතිහාසය පුරාම දේශපාලනය වෙනුවෙන් සටන් කරපු කණ්ඩායම් දැන් එකතු වෙලා තියෙන්නේ එකම අරමුණක් වෙනුවෙන්. එදා ජනතාව පාරවල්වල ඉන්ධන, ගෑස්, බෙහෙත් ලැබෙනතුරු බලාගෙන හිටියා. රෝහල්වල රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දෙන්න බැරි වුණා. ආර්ථික අර්බුදයත් එක්ක රට බංකොලොත් වුණා. බංකොලොත් වෙනකොට කිසිදු රටක් ආධාර දුන්නේ නැහැ. රටට ණය දුන්නේ නැහැ. අපේ නායකයින්ට රට අත හැරලා යන්න සිදු වුණා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා.
අද රට සාමාන්‍ය තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වැල් පාලම් භාගයක් ඇවිත් තියෙනවා ඉතුරු ටික ගොඩ යාමයි අපේ වගකිමයි. ඒ ගොඩ යෑමේ තීන්දුව තිබෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාටයි. අද කටින් බතල හිටවන නායකයින් ඕන තරම් ඉන්නවා. වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර :

එදා අපි කතා කළේ පක්ෂයක අපේක්ෂකයෙක් දිනවන්නයි. අද අපි කැපවී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙක් දිනවන්නයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මීට අවුරුදු දෙකකට පෙර රටේ තිබුණු තත්ත්වය අපි දන්නවා. රැපියල් 2000ට පෙට්‍රල් ලීටරයක් ගහගෙන රෝහලට තමන්ගේ දරුවා ගෙනියපු දෙමව්පියන් හිටියා. ගෑස් නැතුව, දරුවට කිරි පිටි නැතුව දුක් විඳපු දෙමව්පියන් හිටියා. රෝහලට ගිහාම බෙහෙත් නැතිව දුක් විඳපු දෙමව්පියන් හිටියා.
මේ වගකීම බාරගන්න කියලා අපි එදා සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා. දැන් කයිවාරු ගහන සජිත් ප්‍රේමදාස මහත්තයා එදා කිව්වේ මේක බාර ගත්තොත් එයාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්න බැරි වෙනවා කියලයි.

එදා රටේ ජනතාව දුක් විඳිනකොට ජනතාවට කිසි දෙයක් කරගන්න බැරුව සිටපු වෙලාවේ පැනලා ගියපු සජිත් ප්‍රේමදාස අද ජනතාවගෙන් ජනාධිපතිකම දෙන්න කියලා ඉල්ලනවා.

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ

වර්තමානයේ අප පසුවන්නේ ඉතා තීරණතාමක අවස්ථාවකයි. මේ රට ඉදිරියට ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අත්දැකීම් ඇති, දේශපාලන පළපුරුද්දක් සහ ජාත්‍යන්තර සබඳතා තිබෙන නායකයෙක් අවශ්‍යයි. එම පළපුරුද්ද සහ දේශපාලන පන්නරය ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජනතාව නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුත්තේ අසීරු අවස්ථාවේ තමන් සමඟ සිටි නායකයාවයි.

ඒ නිසා නව වන විධායක ජනාධිපතිවරයා ලෙස ඉදිරි වසර 05 සඳහාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දිය යුතුයි. ඌව වෙල්ලස්ස ජනතාව එදා ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේ ද පුරසාරසම් දොඩවන්නන්ගෙන්, භීෂණය පතුරවන දේශපාලන ව්‍යාපාරවලින් මේ රට බේරාගෙන රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ඌව වෙල්ලස්ස ජනතාව පෙරට එන බව මම දන්නවා.

හිටපු අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා :

එදා මේ රට භාර ගන්න බැහැ කියලා සජිත් සහ අනුර පැනලා දිව්වා. තෙල්,ගෑස්, පොහොර තිබුණේ නැහැ. ඇගේ ගාන්න සබන් කෑල්ලක් තිබුණේ නැහැ. දරුවන්ට කිරි පිටි ටිකක් තිබුණේ නැහැ. එහෙම තිබු රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මහතා බය නැතිව ඉදිරිපත් වුණා. ඔහු මේ රට ගොඩනැගුවේ අනිත් අය කළ විදිහට සල්ලි අච්චු ගහලා හෝ සම්පත් විකුණලා නොවෙයි.

මේ රට ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ මහතායි. වැරදීමකින් හෝ ජවිපෙට බලය ගායොත් ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න වෙන්නෙත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන කඩාකප්පල් වෙනවා. ජවිපෙ සමෘද්ධි අරමුදලටත් අත තියනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරය දිනවීම හැර වෙනත් විකල්පයක් නැහැ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද

අතීතයේ ගනු ලැබු වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා මේ රට බංකොළොත් වෙලා ඉන්ධන සහ ගෑස් නැති වෙද්දි, පැය ගණනක් විදුලිය කප්පාදු කරද්දි, රෝහල්වල ඖෂධ නැතිව ජනතාව මියයද්දි මේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙද්දි මුලින්ම එතුමාව හමුවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගයාශාන් නවනන්ද ඉස්සරහින්ම ඉන්නවා.මම එතුමාව සොයාගෙන ගියේ එතුමාගේ දැනුමෙන් සහ පරිනත භාවයෙන් උදව්වක් ගැනීමටයි.

ලංකාවේ ජනතාවගේ, මේ වෙල්ලස්සේ ජනතාවේග පූරුවේ පිනට පහළ වූ රනිල් වික්‍රමසිංහ මහතා ලක්මාතාව වේදනාවෙන් දුක් විඳිද්දී, නායකයෝ රටේ ජනතාවට මැරෙන්න ඇරලා, ජනතාව අතහැරලා පැන යද්දී මේ රට භාරගත්තා. ඒ වෙනුවෙන් අප ඔබතුමාට සදාකල් ණයගැතියි. ආර්ථිකය යුද්ධය ගොඩගෙන ඔබතුමා සුවහසක් ශ්‍රී ලංකා වැසියන්ගේ ජීවිත බේරා ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ ඉතාම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙමින් ප්‍රසන්න රණතුංග මහතා වැනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරු ඒකරාශී කරගෙන ඉතාම නිවැරදි කළමනාකාරීත්වකින් යුක්තව අද මේ රට නිවැරදි දිශාවකට, නිවැරදි තැනකට, ස්ථාවර තැනකට ගෙනවිත් තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ඔබතුමාට සහය දෙන්නේ ඒ නිසයි. පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු නියෝජිතන් වැඩි පිරිසක් ඔබතුමා සමඟ එක් ඒ නිසයි.

ඒ වගේම එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක හිටපු අපේ ආදරණීය ජනතාව මේ විදියට ඔබතුමා සමඟ එක්ව සිටිනවා. ඒ ඔබතුමා මේ රට වෙනුවෙන් කළ මෙහෙවරට කෘතගුණ දැක්වීමටයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240829 WA0008

Page 48 of 472