පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළට බංග්ලාදේශයේ සහාය
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ සහතික වූවාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී බංග්ලාදේශ අගමැතිනිය මේ බව සඳහන් කළාය.
සමූපකාර ක්‍රමවේදය අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී එකඟතාවය පළ කළේය.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසුව බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පොරොන්දු වූවාය. දෙරටේ ආයෝජන මණ්ඩල සම්බන්ධීකරණය කරමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ද නායක දෙපළ සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
බංග්ලාදේශයේ පැවැත්වෙන බිම්ස්ටේක් සමුළුවට සහභාගී වන ලෙස මෙහිදී බංග්ලාදේශ අගමැතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කළ අතර එම සමුළුව පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයක් බැවින් ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්රි යන සහභාගී කරවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංගලාදේශ අගමැතිවරියට දැනුම් දුන්නේය.
මැතිවරණයෙන් පසුව තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිවරිය වෙත පොරොන්දු විය.
මෙහිදී අදහස් දැක් වූ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවයි.
එම කටයුතු වෙනුවෙන් බංග්ලාදේශයෙන් මෙන්ම ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන ශ්‍රී ලංකා දූත පිරිස සහ බංග්ලාදේශ දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දුම්රිය වර්ජනය අවසන්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
අමාත්‍යවරයා සහ රියැදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ, ප්‍රවාහන අමාත්‍යංශයේදී ය.
කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි.
හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකොමොටොව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පවසයි.
සජිත් රනිල්ගේ වැඩපිළිවෙළ නිවැරැදි බව තහවුරු කරයි !
තම රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා කෙලින් කතාකරන අයකු ලෙස තමන් බලයට පත්වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියා ඇතැමුන් පවසනවා. ඔවුන් රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් තුළ දරුවන් හතළිස් ලක්ෂය ගැන සිතා එසේ පවසන්නේ නෑ. ඔවුන්ගේ ඡන්ද මල්ල ගැන සිතා අප සිංහල පමණයි කියා පවසනවා. තවත් ප්‍රදේශවලට දමිළ පමණයි යනුවෙන් පවසනවා. දමිළ පමණයි කියා පවසන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා නොවෙයි තමන්ගෙ ඡන්ද වැඩිකරගන්නයි. මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජබ නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ නිවැරැදි බව මේ හරහා තහවුරු කර ඇති බවයි. එසේම ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ඔහු එවැනිම ප්‍රවේශයක් ගනුඇති බවද විචාරක අදහස වී තිබේ.
ඉන්දියාවේදී ජනපතිට උණුසුම් පිළිගැනීමක් !
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළඟා විය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න යනවිසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් අතර ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද (09) පස්වරුවේ පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව නරේන්ද්‍ර මෝදි ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.
මෙම ඉන්දීය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටිති.
රනිල්ගේ ජයග්‍රහණය ගැන එජාප ජාතික ලේකම්ගෙන් සහතිකයක් !
එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා ඇපකැප වී ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.
නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නා බවද ඒ මහතා විශ්වාසය පළ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ අදහස් පළ කළේ, කොළඹ දී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රට ඉදිරි දැක්මක් එක්ක ඉදිරියට ගමන් කරනවා. රටේ සහ ජනතාවගේ අනාගතය ඉතාම පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම රට සහ ජනතාව ගැන සිතා කටයුතු කළ දේශපාලන පක්ෂයක් බව ජනතාව දන්නවා.
ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට මම මගේ ශෝකය ප්‍රකාශ කරන අතර එම ජනතාවට අවශ්‍ය සහන, වන්දි සහ ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජය ගත හැකි සියලු පියවර ගෙන තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව පක්ෂයේ ජාතික ලේකම් ලෙස පත් කළා. එක්සත් ජාතික පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී එක්සත් ජාතික පක්ෂය නගා සිටි විය යුත්තේ රට-ජනතාව වෙනුවෙනුයි.
මේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටෙන ආකාරයට සකස් කළ යුතු අතර එම හැකියාව සහ දක්ෂතාවය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඊට තවත් උදාහරණයක් වන්නේ විදුලි බල පනත සම්මත වීමත් එක්ක විදුලිය ගාස්තු විශාල ලෙස අඩු වීමයි. ඒ වගේම මීට කාලකට පෙර මේ රටේ තිබූ පෝලිම් යුගය සහ එමගින් ඇති වූ මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වය ගැන සිහිපත් කළ යුතුයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මැතිවරණයෙන් ජය ගෙන තෙවැනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා. ඉන්දියාව දියුණු වන විට අපේ රටටත් ඒ වාසිය ලැබෙනවා. ඉන්දියාව සීඝ්රයෙන් ඉදිරියට යනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග එකට එක්ව වැඩ කරන්නේ ඒ බව දැන ගෙනයි.
තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් සහ සේවා ආර්ථිකය වගේම මේ රට නවීන කෘෂිකර්මය ඔස්සේ ද ඉදිරියට ගෙන යා යුතුයි. කටු පොල් වගාව ගැන මේ රටේ වැරදි මතයක් තිබුණා. කෙසේ නමුත් ඒ වැරදි මත නිවැරදි වී කටු පොල් වගාව නැවත ස්ථාපිත වනු ඇතියි.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර තබා තිබෙනවා. ඒ පනත රටට-ජනතාවට සුභවාදී පනතක් බව කිව යුතුයි. මේ හරහා ණය ප්‍රමාණය සහ ජීවන වියදම සීමා වේවි. විපක්ෂය කරන්නේ ජනපතිවරයා විවේචනය කරමින් බිල්ලෝ මැවීමයි. කෙසේ නමුත් ඔවුන් රට ගොඩනගන කරුණු කාරණා සම්බන්ධයෙන් විවාදවලට සූදානම් නැහැ. විවාදවලින් පැන යනවා. අප ප්‍රශ්න කරන්නේ විවාදයට එන්න බිය ඇයි කියලයි. විවාදවලට බියේ හැංගිලා සිටින්නේ ඇයි..? විවදයෙන් පැනලා ගියේ අදක්ෂ නිසයි. මම නම් කියන්නේ මේ විවාදයට රනිල් වික්රමසිංහත් කැඳ විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට මම ඇපකැප වී ක්‍රියා කරනවා නවා. ඒ වගේම රට-ජනතාව වෙනුවෙන් කරන මේ අරගලය සමග එකට ඒකරාශී වන ලෙස මම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට ද අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්ට ද ආරාධනා කරනවා.
එක්සත් ජාතික පක්ෂය ගොඩනගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා. සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් එකට ඒකරාශී කිරීමට අප කටයුතු කරනවා. ඒ රට ගොඩනගන දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වේවි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන්නේ බොරුවක් බව කිව යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න අපට හැකියාව තිබෙනවා. අප සියලු දෙනා එකට ඒකරාශී වී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නිහඬව තිබූ ඡන්ද සියල්ල සක්‍රීය වෙලා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ ගන්න හැකියාව පවතිනවා.
මෝදිගේ දිවුරුමට ජනපති ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ අද පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නවදිල්ලිය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) රාත්‍රී 7.15ට ආරම්භ කිරීමට නියමිතය.
ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.
දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය ජයගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්රමුඛ සන්ධානය පසුගිය දා සමත්වුණි.
ඉන්දීය ඉතිහාසයේ තුන්වැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන් දෙවැනි පුද්ගයා වන්නේ ඔහුයි.
කෙසේ වෙතත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර රාෂ්ට්‍රපති භවන් අවට මාර්ගවල ද රථවාහන සීමා කිරීම ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලිමාව බලය ගත්තත් ගමන IMF සමඟ : අනුර සහතික වෙයි !
වත්මන් තත්ත්වය යටතේ ජාතික ජන බලවේගය පක්ෂයට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
දැනට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළතට ගිවිසුස් ගත වී ඉදිරියට ගොස් ඇති බවත් එනිසා එම ගමන ආපසු හැරවිය නොහැකි බවත් ඔහු පැවසීය .
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ සජීවී දේශපාලන සංවාදයක් සඳහා සහභාගී වෙමිනි.
පවතින ආණ්ඩුව විසින් පොල් ගෙඩිය භාගයට කරකවා ඇති නිසා එය ආපසු කරකැවීමට ඉඩක් නැති බවත් එසේ කළහොත් චෝදනාව දෙවන පාර්ශ්වයට ලැබෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
කෙසේ වෙතත් මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට එළඹියේ නැති නම් වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබූ බවද ඔහු කියා සිටි නමුත් ඒ කුමක්ද යන්න නොපැවසිණ .
නව සන්ධානයේ පළමු රැළියට අති විශාල ජනකායක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජන රැළිය අද (08) පස්වරුවේ හම්බන්තොට අම්බලන්තොට නගරයේදී පැවැත්විණ .
“එක්ව පෙරට – දිනුම රටට” යන තේමාව යටතේ ඇරඹි මෙම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා විශාල ජන සහභාගීත්වයක් තිබීමද කැපී පෙනුණි.
නව සන්ධාන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග පැවති මංගල ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් සහභාගි වී සිටීම විශේෂත්වයකි.
ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුූළුල් සන්ධානයක් ගොඩනගන බව සන්ධාන නයකයින් එහිදී ප්‍රකාශ කරයි.
මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, සූරේන් රාඝවන්, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබ්රි රහීම්, නිමල් පියතිස්ස, ප්‍රමනාත් සී දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල, යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.
මහී - ගුණේ ගැටුම දුරදිග යන හැටි මෙන්න !
පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව පහරදීම සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම සිදුවීමට අදාළ විමර්ශන සිදුකරන කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
පසුගියදා පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළේය.
එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇති බවද වාර්තා වෙයි.
කොටුව පොලීසිය මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙන්නේ මෙම පැමිණිලි පදනම් කරගෙනය .
විජේදාසත් වෙන්ඩ ජනාධිපති ලැයිස්තුවට !
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමඟ වූ සුහද හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
තමන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත් ඒවාට මුහුණ දිය නොහැකි නම් මෙවැනි තීරණ නොගන්නා බවත් පසුගිය කාලයේදී වෙනත් පක්ෂ වලින්ද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අයට ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය .
කෙසේ වුවත් මීට පෙර දේශපාලන ක්ෂේත්රයේ රාවයක් පැතිර ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා නම් තමන් ඉදිරිපත් නොවන බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇති බවය. නමුත් එම තීන්දුව මේ වන විට සංශෝධනය වී ඇති බව තහවුරු වෙයි.
අද සිට ආයෙත් වැස්ස වැඩි වෙයි : කාලගුණයෙන් නිවේදනයක් !
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකිය.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.
මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙන බව සඳහන්ය.
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට !
"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියන්නේ අපේ ජන වහරේ ජනප්‍රිය කියමනක්. ඒ කියමනේ විදිහට අපි යන්නේ කොහෙද යන්න ගැන වගේම ගමනාන්තය ගැනත් නිවැරදි අදහසක් තියෙන්න ඕන. නැත්නම් යන්න ඕන තැන දැනගෙන හිටියත් නිවැරදි තැනට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි ගමනක් යනකොට ඉබේටම වගේ ලොකේෂන් චෙක් කරගන්නේ. හරි කියලා හිතාගෙන යන පාරත් සමහර වෙලාවට වරදින්න ඉඩ තියෙනවා. ප්‍රාග්ධනයෙන් සවිමත් අභිමානවත් පුරවැසියන් සිටින ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් ඉදිරියට යන්න, මගේ අදහස් අකුරු බවට පත්වෙන "හරි පාර" දිගහැරෙන්නේ ඒ වගේ ගමනකට. දැනගෙන යන, ඒ තැන නිශ්චිත, නිවැරදි ගමනකට.
ජුනි මාසය ආරම්භ වුණේ දේශගුණික විපර්යාස පිළිබඳ බරපතළ ලෙස සිතීමේ අවශ්‍යතාව යළි යලිත් තහවුරු කරමින්. පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය සමඟ ඇතිවූ අපදා හමුවේ ජුනි 5 වනදා වන විට පුද්ගල මරණ 30ක් වාර්තා වෙලා තිබුණා. දිවයිනේ දිස්ත්‍රික්ක 13 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී තිබුණා.
ගංවතුර, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, අකුණු සැර වගේම නියඟ වැනි ආපදා තත්ත්වයන් සැළකෙන්නේ ස්වාභාවික ආපදා ලෙසයි.
අපේ රට සම්බන්ධව අවධානය යොමු කළොත් ස්වාභාවික අපදා අපේ දෛනික ජීවිත අත්දැකීමක් කිව්වත් වැරදි නෑ. ඒ වගේම ස්වාභාවික ආපදා අපට නවත්වන්නත් කොහෙත්ම හැකියාවක් නෑ. නමුත් මූලික ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර සහ ජලය වගේම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම රජයේ වගකීම වෙනවා. ඒ නිසාම මේ මොහොතේද රජය විශේෂ කැබිනට් සංදේශයක් පවා අනුමත කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මේ හමුවේ සුපුරුදු පරිදි සම්ප්‍රදායික විපක්ෂය රජයේ මැදිහත්වීම විවේචනය කරමින් සිටිනවා. ඒ හැර විකල්පයක් විපක්ෂය වෙතින් ඉදිරිපත් නොවීම ජාතික අවාසනාවක්.
විපතටපත් ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම රජයේ වගකීම වුවත් ඒ සඳහා මුදල් කොහෙන්ද ? කවුරු රට පාලනය කළත් මේ සඳහා වෙන්කරන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල්. ඒ අනුව ස්වාභාවික ආපදා වෙනුවෙන් අප රට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් මහජන ධනය වැය කරනවා. යළිත් ව්‍යසනයක් ඇති වූ විට ඒ ආකාරයටම ජනතා මුදල් යළි වියදම් කරනවා. මේක "අපි කෙසෙල් ගෙඩියක් කාලා ලෙල්ල බිම දමා, ඊටම ලිස්සා වැටීම"ට සමානයි. අපි හැමදාම ගෙඩිය කාලා, ලෙල්ල බිම දමා ලිස්සා වැටෙනවා. එසේ නම් අපි , දියුණු ප්‍රතිපත්තියක් වෙත අවධානය යොමුකළ යුතුයි. එය මෙරට සිදුවන ස්වාභාවික ආපදා වල ප්‍රමාණය සහ හානියේ තීව්‍රතාවය තක්සේරු කිරීමේදී එය ජාතික අවශ්‍යතාවක් වෙනවා. එනිසාම මේ සම්බන්ධව මා සතු අත්දැකීමක් මේ මොහොතේ ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කළා.
ඒ 2015 වසර. යහපාලන ආණ්ඩු සමය.මම මුදල් ඇමති. ඒ කාලේ නැගෙනහිර ඇතිවූ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයකට අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදුවුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් ඉහළ දැමීම ඇතුළු විශේෂ ආර්ථික සහන පැකේජයක් ලබාදී තිබූ ඒ අවස්ථාවේ එම මුදල වෙන් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, විපතටපත් ජනතාව වෙනුවෙන් එම මුදල් වෙන් කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ මොහොතේදී මා කල්පනාකරා මෙවැනි තත්ත්වයකට මුහුණදීමට තිරසර විසඳුමක්. එහිදී මගේ අදහස වුණේ රටම ආවරණය වන ආකාරයට ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමයි. මම ඒ යෝජනාව සමඟ එවකට අග්‍රාමාත්‍යවරයා වූ , වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළා. ඔහු එය ඉහළින් ඇගයීමට ලක්කළා වගේම, කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ මා 2016 අයවැය යෝජනා සඳහා එය ඇතුළත් කළා. මා එය හඳුන්වා දුන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල යටතේයි. එහිදී එම අරමුදල සඳහා සිදුවිය හැකි අලාභ අවධානම වැළක්වීමට ප්රතිරක්ෂණයක් ගෙන ඒමත් සැලසුම් කළා. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර දෙස් විදෙස් රක්ෂණ සමාගම් වෙත ඊට ආරාධනා කළා. එහිදී වරලත් ගණකාධිකාරවරයකු වන ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු විසින් මැදිහත්ව ඉදිරිපත් කළ විදෙස් සමාගමක් වෙත ප්රතිරක්ෂණ අවස්ථාව ලබාදුන්නා.
2016 අයවැයේ දී මා ස්වාභාවික ආපදා රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වෙන්කළා. නමුත් ස්වාභාවික ආපදා රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 15800ක් 2016 වසරේ දී අප ලබාගෙන ජනතාවට නිකුත්කර තිබුණා. ඒ වගේම තමයි 2017 වසරේ දී රුපියල් මිලියන 590ක් වෙන්කර වන්දි ලෙස රුපියල් මිලියන 17000ක් ලබාගෙන තිබුණා. ඒ වන්දි, ගංවතුර, සුළි සුළඟ , නායයාම් හමුවේ අවතැන් වන ජනතාවට විතරක් නෙවෙයි, නියඟයෙන් පීඩාවටපත් ගොවියාටත්, ධීවර කටයුතු වලදී ස්වාභාවික ආපදාවකට ලක්වන ධීවරයටත් හිමිවුණා. මෙහිදී තවත් වැදගත් කාරණයක් සිදුවෙනවා. ඒ තමයි ප්රතිරක්ෂණය අවස්ථාවේ අදාළ සමාගම ඔවුන්ගේ පිරිවැය අවම කිරීම වෙනුවෙන් ස්වාභාවික ආපදාවට මුහුණදීමට අදාළ අපේ සූදානම ගැනත් උනන්දුවීම. එහිදී ඔවුන් ස්වාභාවික ආපදා පාලනය කර ගැනීමට මෙන්ම ආපදාවෙන් පසු තත්ත්වය කළමනාකරණය කරගැනීමට අදාළ අපේ පෙර සූදානම ගැනත් අවධානය යොමුකරනවා. ඒ තුළ දිස්ත්‍රික් මට්ටමින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් සක්‍රීයව නිර්මාණය වෙනවා. එවකට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කටයුතු සාර්ථක කරගන්න මාහැඟි සහයක් ලබාදුන් බවත් මේ වෙලාවේ සිහිපත් කල යුතුයි.
සැබවින්ම ඒ වන්දි මුදල් අපි රක්ෂණ වන්දි ලෙස එදා ලබා නොගත්තා නම්, මේ සඳහා වියදම් කරන්න සිදුවෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. ඒ කියන්නේ ජනතා බදු මුදල් වලින්. ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැයකළ විට එම වියදම පියවා ගන්න නැවත බදු අය කරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගෙවන්නෙත් ජනතාව. කවුරු රට පාලනය කළත් යතාර්ථය එයයි. එසේ නම් ජනතා නියෝජිත වගකීම ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමයි.
නමුත් අවාසනාව වන්නේ, අපේ රටේ හොඳ දේට නිතර සිදුවන ඉරණම එම කටයුත්තටද සිදුවීමයි. ඒ කියන්නේ මගෙන් පසුව එම කටයුත්ත ඉදිරියට නොයාම. පසුව පැමිණි පාලනයන් එම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්තිය අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් කෙසෙල් ගෙඩිය කා ලෙල්ල බිම දමන , පසුව ඊටම ලිස්සා වැවීම තෝරාගෙන තිබුණා.
නමුත් මා ආසියා ෆැසිපික් කළාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ 2017 වසරේදී මෙහි පැමිණි ලෝක බැංකු නියෝජිතයන් රටම ආවරණය වන ආකාරයට දියත්කළ ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉහළ ඇගයීමකට ලක්කලා. ඒ වගේම ඔවුන් මට සඳහන් කළා "මේ වගේ අත්දැකීමක් අපි ලැබුවේ ලෝකයේම පළමු වතාවට බව. ඇත්තටම මම පෞද්ගලිකව එවැනි ඇගයීමකට ලක්වීම සතුට දනවන කරුණක්. නමුත් ලෝකයෙන් පැසසුම් ලද එවැනි ප්‍රතිපත්තියක් අප විසින් අහිමිකර ගැනීම ජාතික අවාසනාවක්. මෙවැනි මොහොතක හෝ යළි එවැනි තිරසාර ප්‍රතිපත්තියක් ගැන සිතීම ජාතික අවශ්‍යතාවක්.
[මුදල් හා විදේශ කටයුතු හිටපු අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , රවී කරුණානායක විසින් මොනරා පුවත්පතට සතිපතා ලියන හරි පාර කොලමෙනි ]
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර තැබුවා
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ට හොඳ රටක් නිර්මාණය කර දීමට ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
අද, Sands Active පුද්ගලික සමාගම මෙල්ඩෝල් නමින් නව ඖෂධයක් එළිදක්වා තිබෙනවා. මෙය හිසරදය සඳහා භාවිතා කරන ඖෂධයක් බව ද සඳහන් කෙරුණා. අද මේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තවත් ඖෂධ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් සිදු කළ ආයෝජනය පිළිබඳ අප ඔබට ප්‍රශංසා කළ යුතුයි.
ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඖෂධ ප්‍රති මිලදී ගැනීමේ පහසුකමක් තිබිය යුතුයි කියන පදනම මත ගත් තීරණය අප එදා අනුමත කළා. එම තිරණයේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ආයතනය තිබෙනවා. ඒ තුළින් මේ කර්මාන්තයට උපකාරයක් සිදුවන අතර එය යහපත් තත්ත්වයක් බවද සඳහන් කළයුතුයි.
ඇත්ත වශයෙන්ම මේ හරහා දේශීය වෙළෙඳපොළට ඖෂධ සපයන කර්මාන්ත ශාලාවක් ආරම්භ වී තිබෙනවා. නමුත් අපනයන හැකියාව මත Sands Active සමාගම දැනටමත් තමන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් අපනයනය කිරීමට යොමුව තිබෙනවා.
විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් මේ වන විට ඔවුන් විවෘත කර තිබෙනවා. ඔවුන් අපනයනය සඳහා තවදුරටත් යොමු විය යුතු බව අප ඔවුන්ට මතක් කර දී තියෙනවා. මෙය එක් උදාහරණයක් පමණයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන තවත් බොහෝ නිෂ්පාදන, බොහෝ ව්‍යාපාර මෙල්වා සමාගම විසින් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම සමූහය වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම එය ඉතා සාර්ථක වී තිබෙනවා.
අද මෙම සමාගම මඟින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර දී තිබෙනවා. අප ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මෙවැනි හොඳ රැකියා අද මේ රටට අවශ්‍යයි. අද විරැකියාව මේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන් ද විශාල පිරිසක් සිටිනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ නව රැකියා අවස්ථා බිහි වුණේ නැහැ. වසර 04ක විරැකියාවක් අද මේ රටේ තිබෙනවා.
ඒ අනුව විරැකියාව සහ ජිවන බර අඩු කිරීමේ ප්‍රශ්නයට අප අද මුහුණ දී සිටිනවා. 2019 වසරේදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ විග්‍රහය අනුව රටේ බහුමාන දරිද්‍රතාවය 15%යි. පසුව එය 25%ට වැඩි වුණා. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. අපේ ප්‍රධාන කාර්ය වන්නේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීමයි. ඒ වෙනුවෙන් රට තුළ සීග්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.
මම ජනාධිපති ධූරයට පත්වන විට මේ රට ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට ලක්ව තිබුණා. ඇතැමුන් සිතුවේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වසර 05ක්, 06ක් ගතවනු ඇති බවයි. අනාගතයක් නොමැති බව පවසමින් ඇතැම් පිරිස් රටින් පිටවෙලා ගියා. නමුත් වසර දෙකකින් රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට ගෙන ඒමට හැකි බව මම විශ්වාස කළා. කෙතරම් අසීරුතා තිබුණත්, අපට යම් කිසි ආර්ථික බරක් දරා ගැනීමට සිදු වුණත්, එය කෙටි කාලයකට සීමා කර රටේ ආර්ථිකය ශක්තිමත් කර ජීවන මාර්ග ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ධ ඉහළ දැමීමට සිදුවුණා, ඒ නිසා ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට ද සිදු වුණා. නමුත් වසර දෙකක් ගතවීමට පෙර රුපියල ශක්තිමත් වී අද රටක් ලෙස ඉදිරියට යාමට අපට හැකි වී තිබෙනවා.
පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලැබුණා, රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. රටේ ජනතාවගේ හැකියාව සහ දක්ෂතාව අනුවත්, රජයේ නිවැරදි සැලසුම් නිසාත් අද රටේ ආර්ථිකය ඉදිරියට පැමිණ තිබෙනවා. අද අප කථා කළ යුතුව තිබෙන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇතිවයි. එසේ නොමැතිව ඕපා දූප කථා කර ඵලක් නැහැ.
රටේ සැබෑ දේශපාලන ප්රශ්නය පිළිබඳ කථා කළ නොහැකි නිසා සහ ඒවාට විසදුම් සෙවිය නොහැකි නිසා අද තරුණ තරුණියන් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී සිටිනවා. එය අප සියලුදෙනා පිළිගත යුතුයි. අප මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඉදිරියට යා යුතුයි.
තව මාස කිහිපයකින් අපි රටක් ලෙස බංකොළාත්භාවයෙන් ඉවත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නොව ණය දුන් රටවල් සහ පුද්ගලික සංවිධාන සමඟ ද අප දැන් ඊට අදාළ සාකච්ඡා පවත්වාගෙන යනවා. නමුත් මෙතනින් සියල්ල අවසන් වන්නේ නැහැ. එක තැන සිටියහොත් අප නැවත වැටෙනවා. එසේනම් අප ඉදිරියට යා යුතුයි. අප ඉදිරියට යන විට බොරු පොරොන්දු දී වැඩක් නැහැ. හැම දෙනාම බොරු පොරොන්දු දෙනවා. නමුත් අද අප වෙත පැවරී ඇති වැඩකොටසක් තිබෙනවා. ඒ නිසා නිකරුනේ වේදිකා මත පොරොන්දු දෙන්නේ එපා.
මේ වන විට ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි ඉලක්ක ගණනාවක් තිබෙනවා. 2027 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වර්ධනය විය යුතුයි. එය මෙතෙක් කල් පැවතුනේ සෘණ අගයකයි. 2027 න් පසු අප 8%ක ආර්ථික වර්ධන වේගයක් කරා යා යුතුව තිබෙනවා. රට සංවර්ධනය වන විට එහි ආර්ථික වර්ධන වේගය වසර 15ක්වත් 8%ක මට්ටමේ තබා ගත යුතුයි. ලොව බොහෝ රටවල් එම දියුණුව උදා කරගත්තා. චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, බංගල්දේශය මේ සියලු රටවල් එම දියුණුව ලබා ගත්තා. අප රටද එම තත්ත්වයට ළඟා විය යුතුයි.
මෙරට විරැකියාව 2025 වසර වන විට 5%ක් දක්වා අඩු කළ යුතුයි. 2040 වන විට මේ රටේ අපනයන ආර්ථිකයක් තිබිය යුතුයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මේවා සිදු කළ හැකි දේ බවට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව නීතියක් සම්මත කර ගැනීමට අප කටයුතු කරනවා. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියක් කුමන නායකයෙක් මේ රට භාරගත්තත් මේ එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරැදි කරන පළමු පියවර අප තබා තිබෙනවා. තරුණ තරුණියන්ට හොඳ රටක් පිළිබඳ නව බලාපොරොත්තුවක් ලබාදීමට ඊළඟ වසර දෙක, තුනක කාලය තුළ කටයුතු කළයුතුයි.
එහිදී ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. නව රැකියා අවස්ථා බිහි කළයුතුයි. ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. අද ග්‍රාමීය ජනතාවගේ ආදායම පහළ මට්ටමක තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තය තුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කර ග්‍රාමීය ආදායම වර්ධනය කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සිදු කිරිමට අප බලාපොරොත්තු වෙනවා.
දැන් රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හරහා වසරකට සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් දැනට තිබෙන හොටල් කාමර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නව හොටල් ඉදි කළ යුතුයි.
ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. රජයේ වෘත්තීය පුහුණු අංශ පෞද්ගලික අංශ සමඟ ඒකාබද්ධ කර වර්තමානයට ගැළෙපෙන වෘත්තිකයන් බිහි කිරීමට කටයුතු යුතුයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශයට, ඩිජිටල් අංශය දියුණු කිරීම සඳහා රජයෙන් මුදල් ලබාදිය හැකියි. මේ සඳහා ඉදිරිපත් වන තරුණ තරුණියන්ට අප උදව් කළ යුතුයි.
තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ 23,000ක පිරිසක් වසරකට බිහිවෙනවා. මේ පිරිස 50,000ක් දක්වා වැඩි කළ යුතුයි. නව කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. විදේශ ආයෝජනද මෙරටට කැඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආයෝජන කලාප අක්කර 10,000ක් ඇති කරනවා. මේවා පාලනය කරන්න වෙනම අධිකාරියක් බිහි කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 3000ක්, යාපනයේ දිස්ත්‍රික්කයේ අක්කර 1500ක්, ත්‍රිකුණාමලයේ අක්කර 4000ක් ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. ඒ ආකාරයට අක්කර 10,000ක වෙළඳ කලාප රට තුළ ඇති කරනවා. මෙමඟින් විශාල ආර්ථික දියුණුවක් ඇති කරනවා.
යුද්දයකින් පසුව ආර්ථිකය දියුණු කරන්න වියට්නාමයට හැකි වුණා. ඉන්දුනිසියාවට සහ මැලේසියාවට ද මේ ආර්ථික ගමන යන්න පුළුවන් වුණා. අපට හැමදාම හිඟන ජාතියක් ලෙස ජීවත් වෙන්න බැහැ. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් සකස් කර දිය යුතුයි. ඒ වෙනුවෙන් අප රටක් ලෙස ස්වශක්තියෙන් නැගී සිටිය යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, ඉෂාක් රහුමාන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, මෙල්වා සමූහයේ සභාපති පෙරියසාමිපිල්ලෙයි ආනන්දරාජා, මෙල්වා ආයතනයේ අධ්යක්ෂවරුන් වන අනුපර් ෂෙගර්, විකාෂන් මුරුගානන්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදේශ ප්‍රේෂණ ඉහළට
විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2024 මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනය සඳහන් වේ.
එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.
එය 2023 වසරේ ජනවාරි හා මැයි මාසය අතර කාලය සමග සැසදිමේ දී 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි.
දුම්රිය වර්ජනය තවදුරටත් ....
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.
උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටින අතර තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවඑහි ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක කියා සිටියේය.
හර්ෂට එල්ල වන තර්ජන හොයන්න ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට නියෝගයක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වන බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කර තිබේ.
අද (ජූනි 7) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ, තම ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ද භාර ගත යුතු බව ය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය නැවතත් ජෙනරාල් ශවේන්ද්‍රට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නැවත වතාවක් පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.
ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.
ඔහු ප්‍රථම වරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.
යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා 2022 මැයි 31දා යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරනු ලැබිය.
දුම්රිය රියැදුරු වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් ඊයේ (ජූනි 06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
2015 හා 2017 වර්ෂවලදී සේවයට බැඳුණු දුම්රිය රියැදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් හා වැටුප් කේතාංකයක් ලබා නොදීම, බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුණ ද අද පස්වරුවේ ධාවනය වන දුම්රිය සඳහා එය බලපෑ හැකි බව දුම්රිය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
Page 43 of 440