Ad

Ad 01

V2025

පුවත්

එළැඹෙන ජනාධිපතිවරණයේදී TMVP සහාය රනිල්ට !  

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක් ලබා දෙන බවයි. ඒ වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව පැවසු ජනාධිතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය තමා භාරගන්නා බවද අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය :

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීරසාර විසදුමක් සෙවීමට අප කටයුතු කළයුතුයි. ඒ වගේම තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. නැගෙනහිර පළාත අඩු සංවර්ධිත පළාතක්. ඉදිරි වසර 05දීද එම පළාත අඩු සංවර්ධිත පළාතක් ලෙස තැබිය නොහැකියි. ඒ නිසා නැගෙනහිර පළාත දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි.  එහිදි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. ඒ වගේම දිවයිනේ අනෙකුත් නොදියුණු පළාත් ද සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රදේශවලට නව කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒමට අප කටයුතු කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමග අලුත් ඉඩම් වගාකටයුතු සඳහා යොදවනවා. එමඟින් ජනතාවට විශාල ආදායමක් ලබාගැනීමට හැකි වෙනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම කටයුතු ද දියුණු කළයුතුයි. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණු කිරීම සමඟ ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම මඩකලපුව ගුවන් තොටුපොළද දියුණු කළයුතුයි. අප මෙම සංවර්ධන අභියෝගය භාරගත යුතුයි. එම අභියෝගය ජයග්‍රහණය කර නැගෙනහිර පළාත දියුණු පළාතක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ජනවාර්ගික ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට අවශ්‍ය නොවන අතර අප සියලුදෙනා එක්ව ඊට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුයි.

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් :

අද දිනය ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට අද දිනය පත්වන බව නොඅනුමානයි.

මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැඟෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතිනවා.  මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබාදිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසදුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබාදීම අපේ වගකීමයි.

ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් හමුවේ වුවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ද අපගේ ස්තූතිය එතුමාට පුදකරනවා.

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික නවීකරණය, ධීවර ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය, කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙන ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිවයුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට අප සහතික වෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ගේ නිවසේ පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එක් විය. එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම එස්. වියාලේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්  සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පක්ෂ තීන්දුවලට පිටින් ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් අමාරුවේ !

පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.

බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බවද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුම් හකීම්  පැවසුවේ එසේ විමධ්‍යගත මුදල් ලබාගත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම්ද සඳහන් වූ බවයි.

පක්ෂ නායකත්වය නොදැනුවත්ව මෙවැනි දේවල් සිදු වී ඇති බවත් මේ තත්ත්වය යටතේ ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල  පැවසුවේ විමධ්‍යගත මුදල් හෝ මත්පැන් බලපත්‍ර හෝ තීරු බදු රහිත වාහන බලපත්‍ර හෝ ලබා ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය පක්ෂයක් හැටියට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.

පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවෙන් එවැනි වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවෙන් විමධ්‍යකට අර මුදල් ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

  • Lankadeepa

ජනපති මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බලයි !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ එක් විය.

දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පූජකතුමා සමඟ සාකච්ඡාවක නිරත විය.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  වෙත උපදෙස් දෙනු ලැබීය.

එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දුන්නේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද සිට යළිත් වැස්ස වැඩි වෙන ලකුණු !

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ‍

මඩකලපුව පවුල් 27,595කට සින්නක්කර ඉඩම් ඔප්පු

“උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවය පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ආවරණය වන පරිදි මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් විය.

මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන් 252 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අතර රුපියල් මිලියන 1,055ක වියදමින් මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍යවරයාව සිටියදී එතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම ආරම්භ කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවා පහසුකම් පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය.

ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

කෘෂිකර්ම නවිකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරනවා.

ඒ වගේම වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මඩකලපුව කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එවිට හොද හෝටලයක් මේ පළාතට ලැබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ කිරි ගව පාලනය දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේ ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමෙන් පසු විශාල වැඩකොටසක් මෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රධාන අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

නැගෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාල දෙකම මෙහි පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙන අතර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සමග වැඩි වැඩියෙන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමට හැකි වෙනවා.

ඒ වගේම පසුගිය වසර තුන හතරක් ගුරුවරු බඳවා ගැනීමට නොහැකි වූ නිසා පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ගරු පත්වීම් ලබාදීම ද අද සිදු වුණා. විරැකියාව අපේ රටේ විශාල ගැටළුවක් වී තිබෙනවා. ඒ අනුව අපි නව සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර දිය යුතුයි. අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා. රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ අනුව ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා. දැන් ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවෙකුට යටත්වීමට අවශ්‍ය නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. දැන් ගොවි ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබෙනවා. මෙම ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරින් සියලුදෙනා ගමට එවීමට අප වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා.

එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරින්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබාදිමට කටයුතු කරනවා. එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබාදීමයි. එම ලැබෙන ඉඩම් අයිතියා ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා‍.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්,

අද දින ගරු ජනාධිපතිතුමා පිළිගැනීමට ලැබීම මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ව්‍යාපෘතිය එතුමා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව කිවයුතුයි. වජිර අබේවර්ධන ඇමතිතුමා එදා ලබාදුන් රුපියල් බිලියනයක පමණ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ මහතාම අද ජනාධිපතිවරයා ලෙස එය විවෘත කිරීමට පැමිණ සිටිනවා.‍

රටේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙස ජනාධිපතිතුමා අපට නිතරම උපදෙස් දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ සමබන්ධවී කටයුතු කරනවා.

මඩකලපුව දිස්ත්‍රික්කය ගොවි ජනතාව විශාල පිරිසක් සිටින කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් බව කිවයුතුයි. ඒ වගේම නැගෙනහිර පළාත තුළ රටේ දිගම වෙරළ තීරය පිහිටා ඇති බැවින් ජලජීවී වගාව දියුණු කිරීමට ඇති හැකියාවද ජනාධිපතිතුමා අපට පෙන්වා දී තිබෙනවා. එනිසා ජලජීවී වගා ව්‍යාපෘති සඳහා දේශීය ගොවින් මෙන්ම ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අප සතුව විශාල ඛනිජ වැලි නිධි පවතින අතර ඒ සඳහා අගය එකතු කිරීම සහ ඛනිජ අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ මේ සියලු ව්‍යාපෘති සංවර්ධනය කිරීමට අප ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා.

මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඒ. එල්. එම්. අතාවුල්ලා,

මඩකලපුවේ ජනතාව වෙනුවෙන් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම, සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සහ ගුරු පත්වීම් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින මෙම අවස්ථාවට පැමිණීම ඉතිහාසගත වෙනවා.

මේ කාලයේ සියලු දෙනා කතා කරන්නේ මැතිවරණ පිළිබඳවයි. ඊට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා අහනවා. එපමණක් නොවෙයි දේශපාලන නායකයෝ යාපනයට ගොස්, දෙමළ ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙනවා. දෙමළ ජනතාවට යම්කිසි සහනයක් ලබාදිය යුතුයි. ඔබතුමා නිසා ඒ මතයට සියලු දෙනා පැමිණිම පිළිබඳව අප ආඩම්බර වෙනවා.

යුද්ධය නිසා අපට බොහෝ දේ අහිමි වුණා. එවැනි ප්‍රශ්න යළිත් ඇති නොවන ආකාරයට සියලු ජනතාවට සහයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටේ ජීවත්වන සිංහල, මුස්ලිම් , දෙමළ අපි සියලු දෙනා එක්ව ජීවත් විය හැකි රටක් නිර්මාණය වීමයි. ජනතාවට බලය ලැබෙනවා නම් රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්,

රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගෙන නව ආර්ථික ප්‍රතිපත්ති රැසක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට නම් ජනතාව අධිෂ්ඨානශීලි විය යුතුයි.

මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවාගෙන තරුණ පරපුරට බලාපොරොත්තුවක් ලබාදීමේ වගකීම අප සියලුදෙනාට පැවරී තිබෙනවා. අපි බංකොළොත් රටක් ලෙස ලෝකයට ණය වෙමින් ඉදිරියට යනවද, එසේ නොමැතිව ණය කළමනාකරණ කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවද කියා අප තීරණය කළ යුතුයි. දිගුකාලීන දැක්මක් සහ ආර්ථික තිරසාරභාවයක් මත අප අද රටක් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටිනවා. මේ තත්ත්වය ඉදිරියට ගෙන යාමට අපට විශාල වගකීමක් තිබෙනවා. අප ජනාධිපතිතුමාට සහයෝගය ලබාදීමට කටයුතු කරන්නේ ඒ නිසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්,

අපේ රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. අතේ සල්ලි තිබුණත් අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමට ජනතාවට දින ගණන් පෝලිම්වල සිටීමට එදා සිදු වුණා. මේ රට ගොඩගැනීමට කිසිවෙකුට පැහැදිළි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.

නමුත් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේ නිවැරදි වැඩපිළිවෙළක් තමන් තුළ තිබූ නිසා එදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව රට භාර ගත්තා.

අන්ධකාරයට තරවටු කිරීමට බොහෝ දෙනෙක් සිටියද, අඳුර දුරු කර ආලෝකය ගෙන ඒමට යමෙකු අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ ඒ නිසයි. එතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා අද රට දියුණු වෙමින් තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. මුරලිදරන්, නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අපේක්ෂා රෝහලේ නව සිව් මහල් ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාව

රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ  ඊයේ ( 20) නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප්‍රථීකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකමි අවමවිම හේතුවෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකරගේ අදහසකට අනුව මෙම නව සිවිමහල් ගොඩනැගිල්ල ඉදිකිරිමට කටයුතු සිදුකරනු ලැබු අතර ඒ සදහා 2023 සැප්තැමිබර් මස 21 වන දින මුල්ගල තැබිම සිදුකරන ලදි.

පළමුව ඉදිකිරිමට අදහස් කර තිබු තෙමහල් වාට්ටු සංකිර්ණය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබිම හේතුවෙන් සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකිරිමට කටයුතු සිදු කරනු ලැබු අතර ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරිම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාටිටු සංකිර්ණය පිළිසකර කර අලූත්වැඩියා කිරිමද මේ වනවිට සිදුකරනු ලබයි.

69 ලක්ෂයේ අප්පොච්චි වෙන්න ගිය නඩේට  සුගීෂ්වර හොඳවායින් අමතයි !

එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජීවිතය අනතුරේ වැටී සිටියදී හිත හදන්න වචනයක් කියන්න නොපැමිණි පුද්ගලයන් අද 69 ලක්ෂයේ ජන වරම රකින්නට කතා කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර චෝදනා කරයි.

හිටපු ජාතිකවාදී නායකයා පන්නන්න වැඩකළ උදවිය අද ජාතිකවාදී නායකයකු ගෙනෙන බව පැවසීම රට්ටු හිනස්සන කතාවක් බවද ඔහු පැවසීය .

කළුතර පැවති ජනහමුවකදී අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

එදා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවස අසළ සිදුවීම වෙලාවේ පසුගිය දවසක නුගේගොඩ රැළියේ කෑ මොර දුන්නු එක අයිය කෙනෙකුට මං කතා කරා,  ඒ අයියා කිව්වා ඔව් මල්ලි මං දන්නවා සිද්ධිය කියලා, මම කිව්වා ඔයා පොඩ්ඩක් කතා කරලා හිත හදන්න කියලා. ඇවිල්ලා යන්න එන්න කියලා, මේ යෝධයා මාර කතාවක් කියනවා. අපෝ බෑ මල්ලි මං ඔතනට ආවොත් මගේ ෆොටෝ එහේ මෙහේ ගියොත් හිතයි මං මේ ඩීල්කාරයෙක් කියලා කිව්වා. අන්න එහෙමයි එදා ඔය ජාතිකවාදී දේශප්‍රේමියෝ ටික කටයුතු කළේ. මේ අයියලගේ කුමන්ත්‍රණය තේරුම් ගත්ත මොහොතෙම එදා ගෝඨාභය ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යධුර වලින් ඉවත් කරලා දැම්මේ ඒකයි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජීවිත අනතුරකට ලක්වෙලා හිටපු වෙලාවේ ඒකට එක වචනයක් කියන්න බැරි පුද්ගලයෝ අද ගිහිල්ල කියනවා හැට නම ලක්ෂයේ ජනවරම රකිනවා කියලා. ඒ හින්දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනවරම රකින්න කවුරුත් ඇවිල්ලා රැස්වීම් තියන්න ඕන නෑ. අපිට හිටපු හොදම දේශප්‍රේමී, ජාතිකවාදී නායකයා වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පන්නන තැනට පත්කරලා , දැන් කියනවා අපි අලුත් ජාතිකවාදී නායකයෙක් ගේනවා කියලා, අපිට කියන්න තියෙන්නේ මේවා රට්ටු හිනස්සන විහිළු කතා, අපි පැහැදිලිවට කියනවා හැටනම ලක්ෂේ ජනවරම නිසි තැනට යනවා ජනතා අභිලාෂයන් එක මොහොතෙන් ඉටුවෙන්නේ නෑ දවසින් දවස ඉටුවේවි.

හැමදාම වගේම වේදකා හදාගෙන ඉන්දියන්, ඇමරිකන් බිල්ලෝ මවන බිස්නස් එක ඔවුන් අදත් ලස්සනට කරන බව පේනවා. සිංහ කොඩිය පපුවේ ගහගත්ත බොරු දේශප්‍රේමීන්ට නැවතත් අපේ ජනතාව රැවටෙයි කියලා මම හිතන්නේ නෑ.

ඒ නිසා අද අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වය පාලනය කරලා ජාත්‍යන්තරය කළමනාකරණය කරන්න පුළුවන්, ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ආයෝජන රටට ගෙනැල්ලා රට ගොඩදාන්න පුළුවන් නායකයෙක්, ඒක නිසා තමයි අද අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ වෙලාවේ සිටින හොදම විකල්පය යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා......

ෆොනීගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් !

තමන් මීට දින තුනකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙතින් වෙලාවක් ඉල්ලූ විට, තමන්ට අවස්ථාව නොදෙන ලෙස උපදෙස් දී ඇති බව සඳහන් වූ බවත් අද දිනයේද තමන් පාර්ලිමේන්තුව අමතන්නේ ආණ්ඩුවේ වෙලාව ලබාගෙන බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දැඩි විවේචනයක් එල්ල කළ බවක් ද පෙන්නුම් කෙරුණු අතර පක්ෂ නායකයකු වූ පමණින්  හෝ තාත්තා ජනාධිපති වී සිටි පමණින්  රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බවද පැවසීය .

‍‍‍‍අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බවද ඔහු අවධාරණය කර සිටියේය .

පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී මන්ත්‍රීවරයා  තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බවද සඳහන් කළේය.

එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත්  එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයක වැටෙන බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත්  පැවසීය .

"උරුමය"  ලබා දීම කාර්යක්ෂම කරන්න  : ජුනි 26-30 රට පුරා ජංගම වැඩසටහනක් !

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත්  පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්  මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්  මෙසේද පැවසුවාය ;

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට රට පුරා ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක වන අතර එය තවත් වේගවත් කිරීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මේ මස 26 වනදා සිට 30 දක්වා දිනවල දීප ව්‍යාප්තව ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ ජංගම වැඩසටහන සඳහා ඉඩමක සින්නක්කර ඔප්පුව ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතයි. බලපත්‍ර ලාභියා කළ යුත්තේ ඔහු අත තිබෙන බලපත්‍රය හෝ දීමනා පත්‍රය ඉදිරිපත් කිරීම පමණයි.අනෙක් සියලුම මිනුම් කටයුතු, ලේඛන කටයුතු රාජ්‍ය නිලධාරීන් විසින් සකස් කර දෙනවා. මෙම වැඩසටහන සමඟ රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සඳහා ඉඩම් බලපත්‍ර ලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවද සඳහන් කළ යුතුයි.

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් පාඩිකෝරාළ :

මහවැලි කලාප තුළ බලපත්‍රලාභීන් 280,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මහවැලි කලාප දහය තුළ දිස්ත්‍රික්ක පහළොවක ජීවත්වන බලපත්‍රලාභී සියලුම දෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට හැටදහසක පමණ පිරිසකට ඔප්පු ලබාදීම සඳහා සියලුම වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ :

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ග්‍රාමීය ජනතාවට මේ පණිවුඩය නිසි පරිදි අවබෝධ වී නැහැ. ඇතැමුන් තමන්ගේ ඉඩම් හිමි බලපත්‍ර නිවෙසේ තබාගෙන සිටීම තුළ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීමට ඇති මහඟු අවස්ථාව අහිමිවී යන බව කිවයුතුයි.

ඒ නිසා හැකි ඉක්මණින් තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තමා සතු බලපත්‍රය බාරදී කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න කියන දැනුම්දීම ද මේ අවස්ථාවේ සිදු කරනවා.

එසේම මෙම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සහ ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව පැවැත්විමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගමට පැමිණෙනවා. එහිදී තමන්ගේ ඉඩම සම්බන්ධ ලිපි ලේඛන ලබාදී ලදුපතක් ලබාගතයුතුයි. උරුමය වැඩසටහන යටතේ තම සින්නක්කර ඉඩම් අයිතිය කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අභයගුණවර්ධන, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ කේ.ආර්. සරත් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය !

බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර අද (20) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ත්‍රිකුණාමලය සංවර්ධනය සහ කන්කසන්තුරෙයි වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා විය.

එසේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන්තොටුපොළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි !

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කෙරිණ.

මෙම පනත් කෙටුම්පත 2024 මැයි මස 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජුනි 4 වනදා පවත්වා කල්තබා තිබිණ.

ඒ අනුව එම විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වුණි.

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින්  කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සපයා ඇත.

එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනත මගින් ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

මේ අතර යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පතද  (දෙවැනිවර කියවීම) අද විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. 

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු අනුෂංගික කාරණා සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමේ විශේෂ අවස්ථාවක්

 පොසොන් පොහොය දිනය (21) වෙනුවෙන් දැනට බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි.

ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක  පවසයි.

ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහඅතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටියි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක් විය.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් ජනතාවට භාරදීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතිනි.

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  එක් විය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා  ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 සිට 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ සංශෝධනයක්

2025 වසරේ සිට පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් මෙම සංශෝධනය සිදු කරන බව රජය පවසයි.

ඒ අනුව, පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත් එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

අවසන් මානුශික මෙහෙයුමේ නිහඩ සැබෑ සෙන්පතියා යුධ හමුදාවේ දෙවැනි පුටුවට

ජයග්‍රාහී යුද්ධය සදහා පියවරු දහසකි. එහෙත් නිහඩවම උපන් බිම වෙනුවෙන් සිය බොහෝ යුතුකම් මැනවින් ඉටු කලසැබෑ විරුවන් රාශියක් නිහඩවම යුධ හමුදාවෙන් සමුගෙන හෝ විශ්‍රාම ගොස් ඇති බව කිවහොත් එය ජාතිහිතේශී දේශමාමක් ඔබට අතිශයෝක්තියක් නොවන වේදනාත්මක පුවතක් වනු ඇත.

එහෙත් එය සැමදා එසේම නොවන් අතර එවන් නිහඩ ජාතිහිතේශියකු වෙත සාධාරණය ඉටුවූ විරල අවස්ථාවක් ඊයේ දින උදා වූ බව සොම්නස් සිතින් පවසන්නේ සැබෑ ශ්‍රී ලාංකික ඔබගේ මුවට මදහසක් සමග සිතටත් සොම්නසක් ගෙන එමිනි. මා ඒ පිලිබදව සටහන් කරන්නේ අභිමානයෙන් හා ආඩම්බරයෙනි.

ඔහු නමින් මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ ආර් ඩබ්ලිව් පී, ආර් එස් පී, එන් ඩී යූ, පී එස් සී, වන අතර ඔහු ඊයේ දිනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාන්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.

සැමවිටම නිහඩ එහෙත් ප්‍රථාපවත් සිනාවකින් මුව මඩල පුරවා ගෙන සිටින මහත්මයෙමයෙකු සහ හොද සවන් දෙන්නෙකු ලෙස ප්‍රකට මෙම නිශ්ශබ්ද වීරෝධාර සෙන්පතියාගේ අවසන් යුධ දායකත්වය කෙසේ වේද ?

එදා නන්දිකඩාල් කලපුවේදි ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා විනාශ කරන තුරු මෙම යුද්ධය සදහා නැවතීමේ තිත තැබිය බොහැකි බව එවකට සිටි බොහෝ දේශපාලන නායකයන්, ආරක්ශක ලේකම් වරුන් සන්නද්ධ හමුදාප්‍රධානීන් හා දැන් සිටින ආරක්ශක ලේකම්වරුන් සන්නද්ධ හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කලත් ප්‍රභාකරන්ගේ අවසන් මොහොත ලගා කරදුන් ඒ වීරෝධාර බලඇනියේ අනදෙන නිලධාරි ලෙස භූමියේ යුද්ධය සදහා සැබැවින්ම අනදුන්නේ එවකට ලුතිනන් කර්නල් වරයෙකු වූ විජයබාහු පාබල බල ඇනියේ අනදෙන නිලධාරී වූ මෙතුමන් විසිනි. ඔබ සැම උද්වේගයෙන් නැරබූ ප්‍රභාකරනගේ අවසන් චායාරූපයේ දැක්වෙන වෙඩි සලකුනු සිදුකල ජයග්‍රාහී උන්ඩය ඒ නම හෙලිනොකල නාදුනන සොල්දාදුවාගේ අවියෙන් එල්ල ඌයේ මෙතුමන්ගේ අන පරිදි වන අතර මෙහි වැදගත්ම සාධකය වන්නේ එදා එසේ අවසන් වූ ජයග්‍රාහී යුද්ධය සදහා අයිතිකාර පියවරුන් රාශියක් සිටියත් ඒ කිසිවකට අයිතිය කීමට හෝ පුවත්පත් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සුක නොවූ මේ නිහඩ අභිමානවත් නිලධාරියා අදටත් එසේම නිහඩව සිටීමයි.

බදවාගැනීම් අංක 31 යටතේ 1988 ජුල්‍ය් මස26 වනදින ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත එක්වෙන මේ වීරෝධාර සෙන්පතියා ඉන්දීය යුධහමුදා ඇකඩමියෙන් මූලික පුහුනුව ලබා 1990 ඔක් 05 වන දින දෙවනලුතිතන්වරයෙකු ලෙස පස්වන විජයබාහු පාබල හමුදාව වෙත ඇතුලත් වේ.

චීනයේ ජාතික ආරක්ශක විශ්ව විද්‍යාලය වෙතින් සිය මූලික හා පශ්ශාත් උපාධිය ලබා ගන්නා මෙම නිලධාරී මේ වන විට යුධ හමුදාවේ ඇති සියලුම වැදගත් හා ප්‍රභල තනතුරු සියල්ල හොබවා මේවන විට ආරක්ශක සේනා මධ්‍යම ආඥාපති ලෙස රාජකාරී කරන අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී කරයි.

කුඩා සොල්දාදුවාගේ දුක සැප නිතරම නිහඩව සොයා බලමින් සියලු ප්‍රශ්න සදහා සද්භාවී සාධාරන උත්තර අප්‍රමාදව ලවා දෙන රහසින්වත් හොරකමක් නොකරන මහත්මයෙකු ලෙස ප්‍රසිද්ධ මෙතුමාගේ බොහෝ දෙනෙකුඅගය කරන ගුනාංගය වනුයේ නිහඩ චාම් දිවි පෙවතයි.

තරුන නිලධාරී පාඨමාලාව පකිස්තානය , නිලධාරී ප්‍රවාහන කලමනාකරන පාඨමාලාව ඉන්දියාව කනිශ්ඨ නිලධාරී පාඨමාලව ඉන්දියාව , පාබල බලඇනි අනදෙන්නන්ගේ පාඨමාලාව චීනය, ජාතික ආරක්ශක විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව චීනය වැනිවිදේශ පාඨමාලා රාශියක් හදාරා ඇති එතුමා එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජාකාරීන් හීදී දැක්වූ කුසලතාවයන් නිසා විදෙස් පැසසුමට ලක් වූ අයෙකි.

මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාව තුල වීරෝධාර හා සේවා පදක්කම් 15 කට් අධික ප්‍රමානයක් හිමිකර ගෙන ඇති අතර රට වෙනුවෙන් තුවාල ලැබීමේ හේතුව මත දේශපුත්‍ර සම්මානයෙන් කිහිප වරක් පිදුම් ලබා ඇත. එසේම සතුරා අභිමුවෙහි සිය ජීවිතය පවා පරදුවට තබා සිදුකල අති විශිශ්ඨ කැපවීම වෙනුවෙන් රන වික්‍රම පදක්කමින් හා සතුරා හමුවේ සිදුකල වීර ක්‍රියා අගය කිරීම වෙනුවෙන් රන ශූර පදක්කමින් කිහිප වරක් පිදුම් ලබා ඇති බැව් සිහිපත් කරන්නේ අ භිමානයෙන් හා ආඩම්බරයෙනි.

කලකට පසු නිහඩ නිහතමානී සැබෑ වීරෝධාර සෙන්පතියෙකු වෙත ලබාදුන් විශිශ්ඨ තනතුරු අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි අතර මෙම නව තනතුර හේතුවෙන් ඔබ කිසිදා උදම් අනන්නේ නැති බැව් අපි එදා යුධ බිමේ සිටි පුවත්පත් කලා වේදීන් ලෙස හොදින්ම දනිමු.

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමිනි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය අද සිට ජූනි 23 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

විවිධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියි. මෙය ප්‍රදර්ශන කුටි 1307කින් සමන්විත අතර හරිත කර්මාන්ත කලාපයක් ලෙස වෙනම පරිශ්‍රයක් පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කාලය තුළ හරිත කර්මාන්තකරණය පිළිබඳ පර්යේෂණාත්මක විද්වත් සමුළුවක් ද පැවැත්වෙයි.

පීත්ත පටිය කපා “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

Ceylon Plaza පරිගණක යෙදුම හඳුන්වාදීම ද මීට සමගාමීව සිදු කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යාමට ඇතැමුන් පුරුදු වී ඇති බවයි. එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත්, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රමේෂ් පතිරණ අමාත්‍යතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරනවා. එහි එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හඳුන්වාදිය හැකියි. මෙය මෙරට පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි.

පසුගිය කාලයේ දී අප රට බංකොළොත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඉදිරි සති කිහිපය තුළ අප එම බංකොළොත් රටක් යන ලේබලයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඊට අදාළ ගිවිසුමටද ඉදිරි සති කිහිපය තුළ එළැඹිමට නියමිතයි. මේ සමඟ පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීමත් පහසු වෙනවා. එසේනම් වසර දෙකක කාලයක් තුළ අප මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.
නමුත් අපට මෙයින් සෑහීමකට පත් විය නොහැකියි. අප මෙම ණය නැවත ගෙවන්නේ කොහොමද කියා අවධානය යොමු කළ යුතුයි. අප දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා 2042 වසර වන තෙක් කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අප ආනයන ආර්ථිකයක් නිසා ආනයන වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. ඒ සඳහා අපට විදේශ විනිමය නැහැ. ඒ නිසා නැවත ණය ගැනීමට සිදු වෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් තවත් වසර 15-20කින් අපට නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය වීමට කටයුතු කරමින් සිටිනවා.

අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේදී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා. එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා. මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.

එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රටවන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇතිව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. 1960දී අපට DFCC බැංකුව තිබුණා. ඒ වගේම 1980දී NDB බැංකුව ආරම්භ කළා. පුද්ගලීකරණයෙන් පසු මේ බැංකු දෙකම අපේ රටේ තිබෙන ප්‍රධාන වාණිජ බැංකු බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් එදා මේ බැංකු නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇගළුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කිරිමට අප අපේක්ෂා කරනවා.

එහිදී පොලි අනුපාතය අඩු මට්ටමක තබාගත යුතුයි. ඒ වගේම මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ද ඇති කරනවා. අනෙකුත් මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් අලුත් ආයතනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලු කර්මාන්තකරුවන්ට සහාය ලබාදීම වෙනුවෙන් මේ ආයතන පද්ධතිය නිර්මාණය කරනවා. ඊළග වසර 05 – 10 තුළ අප මෙම මාර්ගයේ ඉදිරියට ගමන් කළයුතුයි.

ඒ වගේම බංග්ලාදේශය, මියන්මාර්ය වැනි රටවලට ගොස් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපට අවශ්‍ය නම් ඒ පිළිබඳවද ඉදිරියේදි අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය මෙයයි. මේ කටයුතු සිදුකරන අතරම අප ඉන්දියාව සමගත් වැඩකටයුතු කරගෙන යනවා. මම ඒ පිළිබඳ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වගේම හෙට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට සූර්ය බලය සහ සුළං බලය භාවිතා කිරීම සහ හරිත හයිඩ්‍රජන් ලබා ගැනීම පිළිබඳ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. උතුරු මුහුදේ එම වාසිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අදානි සමාගම ලංකාවට පැමිණියේ එහි පළමු පියවර ලෙසයි. අප මෙම නව මාර්ගයේ ගමන් කළයුතුයි.

නමුත් හැම කටයුත්තකදීම අධිකරණයට යාමේ සිරිතක් අපේ රටේ ඇතැම් අයට තිබෙනවා. එහි වාසිය ලැබෙන්නේ නීතිඥයන්ට පමණයි. අධිකරණයට ගිය පමණින් රට සංවර්ධනය කරන්න බැහැ. අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව අප ඉදිරියට යා යුතුයි. මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලුදෙනා සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මා කර්මාන්ත අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

2022 වසර ශ්‍රි ලංකාවට ආර්ථික වශයෙන් ඉතාමත් අපහසු වසරක් වුණා. නමුත් මෙරට සියලු කර්මාන්තකරුවන් විවිධ බාධක මැද වුවද කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කිරීම මම ඉතා අගය කරනවා. ඒ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට විශාල වැඩකොටසක් ඉටු කළා. ඇගළුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට එතුමා විශාල කැපවීමකින් කටයුතු කළා.

මේ වන විට ශ්‍රී ලංකාවේ අපනයන බහුතරය සීමා වී තිබෙන්නේ ඇගළුම් අපනයන සහ වැවිලි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදනවලින් පමණයි. නමුත් රටක් ලෙස අපට ඉදිරියට යාමේදී ආහාර තාක්ෂණය, ඖෂධ නිෂ්පාදනය,අසුරුම්කරණය, මෝටර් රථ එකලැස් කිරීම් ඇතුළු අංශ ගණනාවක විශාල විභවයක් තිබෙන බව මෙම ප්‍රදර්ශනය තුළින් පිළිබිඹු වෙනවා. ජාතියක් ලෙස අප තුළ තිබෙන මෙම ශක්තිය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කළ යුතු අතර ජනාධිතිපතිතුමා ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත ගුණරත්න මහීපාල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. එස්. සමරකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද විදෙස් තානාපතිවරුන්, සංස්ථා මණ්ඩල සභාපතිවරුන්, අනුග්‍රාහක සමාගම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වාහන tune up දන්සලක්

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කරන ලදී.

අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වෙයි.

යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙයි.

"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ  මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව ක්‍රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැහැ. එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානි කරයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදු කරනවා."

නතාෂා සහ බෲනෝ නිදහස්

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 19) නියෝග කර තිබේ.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරිණි.

nata buno

Page 39 of 440