පුවත්
රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් ඇති විට එය ඇතමුන් කඩාකප්පල් කරන්න හදනවා !
රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුවද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුන් ද ඉදිරිපත්වීම පුදුමයට කරුණක් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අද ත්රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
90 දශකයේ දී නිවාඩුවක් සඳහා මම ස්විස්ටර්ලන්තයට ගියා. මම නැවති සිටියේ මගේ පියාගේ මිත්‍රයෙකුගේ නිවසේයි. මම එම නිවසට ගිය විට එතුමා මට කිව්වා අද සන්ධ්‍යාවේ පොලිසියේ කෙනෙක් ඔබතුමා හමු වෙන්න එනවා කියලා. මම ඇහුව ඇයි කියලා. ඔහු කිව්වා නැහැ අපේ සිරිතක් තිබෙනවා කවුරුහරි පිට ගමකින් අපේ ගම්වලට, නගරයට ආ විට අප එය පොලිසිට වාර්තා කිරීම අවශ්‍යයි කියලා.
එම රටවල මෙම වැඩපිළිවෙළ හැමදාම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි පිටින් එනවා නම් ඔවුන් ගැන සොයා බලනවා. එවිට එම ප්‍රදේශවලට ත්රස්තවාදීන්ට පැමිණීම අසීරුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ද අසීරුයි. අද අප මේ ආරම්භ කර තිබෙන්නේ එම ප්‍රජා පොලිස් ක්‍රමයයි. එංගලන්තයෙත් මෙම ක්‍රමය ක්‍රියත්මක වෙනවා. හැම ගෙදරකම ඉන්නේ කවුද කියලා පොලිසියේ අය දන්නවා. යුරෝපීය රටවල් ගණනාවක ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
නමුත් අද ලන්ඩන් නුවර ඇතුළු යුරෝපයේ නගර කිහිපයක මෙය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා හැමතැනම සොරකම් සිදුවන අතර මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදු වෙනවා. මේ අයුරින් නීතිය හා සාමය පාලනය කර ගැනීමට නොහැකිවීම රිෂී ෂුනාක්ගේ ආණ්ඩුව පැරදීමට එක හේතුවක් වුණා.ඔවුන් කියන්නේ ආණ්ඩුවේ පළමු කටයුත්ත නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලයි.
අපිත් රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අරගත්තා. ඒත් පසුගිය 2021- 2022 වසරවල මේ රටේ නීතිය හා සාමය කඩා වැටුණා. ගෙවල් විනාශ කළා, ගෙවල්වලට ගිනි තිබ්බා. මේ විදියට නීතිය හා සාමය කඩා වැටෙද්දි නැවත රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අපට සිදු වුණා.
රට තුළ සිදුවූ විනාශකාරි ක්‍රියාවන් පසුපස මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ද සිටියා. ඒ නිසා රටේ ආර්ථිකය හදන ගමන් මත්ද්‍රව්‍ය පාලනය කිරීමටත් අපට සිදු වුණා. මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් මෙම ප්‍රජා පොලිස් කමිටු ඇති කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන විට මෙය සාර්ථක වෙයිද, නැද්ද කියා ප්‍රශ්නයක් තිබුණා. නමුත් අද මෙය සාර්ථක වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා.
අද බොහෝ ප්‍රදේශවල සොරකම් සිදුවන්නේ මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍යවලට අවශ්‍ය මුදල් සොයා ගන්න ඔවුන් සොරකම් කරනවා. මෙම තත්ත්වය ඉදිරියට යන්න දෙන්න බැහැ. අද ඇෆ්ගනිස්ථානයේ සිට අපේ රටට මත්ද්‍රව්‍ය පැමිණෙනවා. පාකිස්ථානය, ඉන්දියාව මේ සියලු රටවලට මෙම මත්ද්‍රව්‍ය එනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වන්නේ මුහුදු මාර්ගයෙන්. ඒ නිසා අපට දැන් නාවික හමුදාව මේ කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුව තිබෙනවා. කලාපයේ සියලු රටවල් එක්වෙලා මීට විසදුමක් සෙවිමට දැන් තීරණය කර තිබෙනවා.
ඒ සමඟම අප ගම්වල මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන අතරම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විනාශ වෙන්නේ අපේ අනාගත පරපුරයි. ඒ නිසා මෙහිදී අප සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳ පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. එහිදී ගමේ පන්සල ඇතුළු ආගමික ස්ථාන වෙත විශේෂ කාර්යයක් පැවරෙනවා. ඒ වගේම පාසල තුළ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. ඇතැම් සිසුන් පාසල්වලට මත්ද්‍රව්‍ය ගෙන එනවා.
ඒ නිසා මත්ද්‍රව්‍යවල එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් මම මෙම කමිටුවලින් ඉල්ලා සිටිනවා. මෙහිදී අකමැත්තෙන් හෝ ඇතැම් අය නීතිය යටතේ රඳවා ගැනීමට මට සිදුව තිබෙනවා. මෙම තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. තව අලුත් නීති අවශ්‍යයි.
සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. එච්චර දුර යාමට අපට අවශ්‍ය නැහැ. නමුත් මේ අය අත්අඩංගුවේ තබා ගැනීම අවශ්‍යයි. මෙම පිරිස් අත්අඩංගුවට ගත් පසු මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුත් මේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ ගැන මම පුදුම වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් බව මම විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය අළෙවි කිරීම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් නොවන බවත් , මත්ද්‍රව්‍ය අළෙවි කරන අය අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් බවත් ඔවුන් කියනවා . ඒ නිසා මේ පිළිබඳ අපේ ස්ථාවරත්වය කුමක්ද කියා පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි.
රටට තිබු ආර්ථික තර්ජනයෙන් අද අප ඉවතට පැමිණෙමින් සිටිනවා. පසුගිය වසර දෙක තුන තුළ අප ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ජීවත්වීම සඳහා ඇතැම් අය සොරකම් කළා. නමුත් අද සොරකම් කරන්නේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටයි. අප දැන් ටිකෙන් ටික ආර්ථිකය සකස් කරගෙන යනවා. අප ලබාගේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබාගෙන තිබෙනවා. අලුත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන අතරම රාජ්‍ය මුදල් නිසි ලෙස පාලනය කිරීමට අපි වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය පනත සහ මහ බැංකු පනත සකස් කර තිබෙනවා. අපට දැන් අය වැය පාලනය කිරීමට සිදු වෙනවා.
පසුගිය කාලයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදිම වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළා. රටේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ජනතාවට සහන ලබාදීම සමබරව සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. දැන් ඇතැම් අය කියනවා තවත් වැටුප් වැඩිකිරීම් අවශ්‍යයි කියලා. එය අසීරු වැඩකටයුත්තක්. අපි ගුරුවරුන්ට 2022 වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම 2024රුපියල් දස දහසක දීමනාව ලබා දුන්නා. ඒ නිසා එම ඉල්ලීම් අසාධාරණයි. ඔවුන්ට දෙවරක් දීමනා ලැබෙන විට අනිත් අයට ලැබුනේ එක් වරයි.
ඒ වගේම සංවර්ධන නිලධාරින්, ලිපිකරුවන් කියනවා වැටුප් වැඩි කරන්න කියලා. මෙම වැටුප් වැඩිකිරීම් සිදු කළොත් දෙන්න සල්ලි නැහැ. එවිට බදු වැඩි කිරීමට සිදු වෙනවා. දැන් 18%ක වැට් බද්දක් අය කරනවා. එම දීමනාව ලබා දුන්නොත් නැවත වැට් බදු වැඩි කිරිමට සිදු වෙනවා. එය ජනතාවට දරා ගන්න බැහැ.
ඒ වගේම රජයේ සේවයේ සිටිය යුත්තේ ලක්ෂ 10යි. නමුත් මේ වන විට ලක්ෂ 15ක් සිටිනවා. ඇතැම් අය කිව්වා ලක්ෂ 05ක් වැටුප් රහිත නිවාඩු යවන්න කියලා. පස්සේ එම ගෙවීම් කරන්න කිව්වා. ලක්ෂ 10කට වැටුප් ලබා දෙන්න වැට් බද්ද 18%ක් දක්වා වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා.
එහිදී මම කිව්වා කිසිවෙකු නිවාඩු යවන්න බැහැ කියලා. ජනතාවගෙන් බැනුම් අහලා වැට් බදු වැඩි කරලා රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දුන්නට පස්සේ මේ වසරේ නැවත ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.
එලෙස වැටුප් වැඩිවීමක් ලබාදුන්නොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ මාසයේ මැද සිට මැතිවරණවලට සූදානම් විය යුතුව තිබෙනවා. නමුත් ලබන වසරේ මෙම වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට අප මේ වන විට කමිටුවක් පත් කර තිබෙන අතර 2025 අය වැයේදී එම අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා.
රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩා බිඳ දැමීමට ඇතැමුන් උත්සාහ කරනවා. අප මෙම වැටුප් වැඩිවීම්වල මුදල් ලබා දුන්නහොත් අපට ලැබීමට තිබෙන ඩොලර් බිලියන 08 අහිමි වෙනවා. අද රටේ තිබෙන ආර්ථිකය අනුව කිසිදු පක්ෂයකට මෙය කිරීමට හැකියාවක් නැහැ.
ඒ වගේම අප දැන් ඉදිරියට යන විට අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනැවිත් තිබෙනවා. ඒ අනුව නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇති වෙනවා. මෙම ඌව පළාත විශාල කෘෂි අපනයන ප්‍රදේශයක් ලෙස දියුණු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය දියුණු කළ හැකියි. අප රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. මෙම කටයුතු කරන අතරතුර මත්ද්‍රව්‍ය නිසා අපේ අනාගත පරපුර විනාශ වෙනවනම් අපේ උත්සාහයෙන් ඵලක් නැති වෙනවා. එම තරුණ පරපුර ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.
ජයසූරියට වගකීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර තිබේ.
ඒ ඉන්දියාව සහ එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා පෞද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉල්ලා අස්විය.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස ද කටයුතු කරනු ලැබේ.
රනිල් ජනාධිපතිවරණයට එනවා : රුවන් සහතික වෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන අද (06) සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමිණි.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්වුණු අතර එහිදී එජාප නියෝජ්‍ය නායකයා මෙසේද පැවසීය.
"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.
අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙනවා. ඔහු එලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා.
සජිත්ට දින 200ක් යන දේ ජනාධිපති එක දවසින් කරයි !
නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමිනි.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත් වේ.
එක් සුහුරු පංති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මේ වන විට ලෝකය නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ඒ අනුව මෙරට අධ්‍යාපන ක්‍රමය ද නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කණ මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
එදා අප අධ්‍යාපන ප්‍රතිපත්ති රැසක් රටට හඳුන්වා දුන්නා. එම අධ්‍යාපන ප්‍රතිපත්ති එම යුගයට ගැළපුනද අද වන විට සිදුව තිබෙන තාක්ෂණික දියුණුවත් සමඟ අධ්‍යාපන ක්ෂේත්රයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙනවා.
මේ වන විට පාසල් තුළ කෘතිම බුද්ධි සමාජ ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එංගලන්තය ඇමරිකාව වැනි රටවල කෘතිම බුද්ධි තාක්ෂණය ආරම්භ කර වසර කිහිපයක් ගත වෙනවා. අප මේ වසරේ ආරම්භ කළ කෘතිම බුද්ධි තාක්ෂණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ගුරුවරුන්ට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ යටිතල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සහ ජාතික පාසල් කෘතිම බුද්ධි පාසල් දක්වා උසස් කළ යුතුයි.
නවීන තාක්ෂණය සමග ඉදිරියට යාමේදී අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබෙන සහාය ඉතා අගය කොට සලකනවා. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවට අයිඅයිටී තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාදීමටද කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙනවා.
මැලේසියාවේදී ඊලෝන් මස්ක් මහතා සමඟ මම සාකච්ඡා කළා. එතුමාගේ අන්තර්ජාල තාක්ෂණය, පාර්ලිමේන්තු පනත සම්මත වූ පසුව මෙරටට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඈත ගම්වල සිටින දූ දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය කඩිනමින් ලබාදීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. අද දකුණු පළාත අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශේෂී දක්ෂතා දක්වන පළාතක් බවට පත්ව තිබෙනවා. දකුණු පළාතේ පළමු ඕලන්ද පාසල තමයි අද බද්දේගම ජාතික පාසල බවට පත්වී තිබෙන්නේ.
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට ගැළපෙන දරුවෙක් නිර්මාණය කිරීම මඟින් රටක් ලෙස ලෝකය ජය ගැනීමට අපට අවස්ථාව හිමි වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ විපක්ෂ නායක සජිත් , හෙළිදරව් නොකළ මූල්‍ය මූලාශ්‍ර සහාය ඇතිව දින දෙසීයක් ගෙන පාසල් දෙසීයකට යන ආකාරයට සිදුකරන සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ , එක් දිනකින් සිදුකර ඇති බවයි. එම කටයුත්ත පාසල් තුළට ගොස් විපක්ෂ නායක මෙන් දේශපාලනය නොකර එය පාසලින් පරිබාහිර ස්ථානයක සිදුකිරීම වැදගත් බවද හෙතෙම පැවසීය .
ජනාධිපතිට සහාය දෙන්නේ ණය නිසා හෝ බය නිසා නෙවෙයි : රට වෙනුවෙන් - බැසිල්
රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බවත් එසේ කරන්නේ වෙන ජනාධිපතිවරයාට ඇති ණයක් නිසා හෝ බයක් නිසා නොවන බවත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පැවසීය.
පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල් වික්‍රමසිංහට බව තීරණය කළ බව පැවසූ බැසිල් රාජපක්ෂ අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බවද සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, පොදුජන පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී , රෝහිත අබේගුණවර්ධන දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (06) කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගණයේදී මේ උත්සවය පැවැත්වුණි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ප්රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගීව සිටියහ.
රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි !
රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.
රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.
ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.
අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.
මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
අද අප ආර්ථික වශයෙන් බොහෝ දුර පැමිණ තිබෙනවා. එදා ජෙට්වින් හෝටලයේ සිට මෙම ගාලු මුවදොර හෝටලය දක්වා සිදු වු දේ මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගිය ගමන, මාගේ නිවසත් ගිනිබත් කරගෙන ගියා. කෙසේ හෝ අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තව දුර යාමට තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගන්න නොහැකි වන බව මම එදා පැහැදිළිව ප්‍රකාශ කළා. බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් ආර්ථිකය නැති වෙනවා.
එදා මට මේ රට භාර ගැනීමට සිදු වුණා. අප සියලුදෙනා එකතුව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ සියල්ල අපට එකවර ලැබෙන්නේ නැහැ.
ණය ආපසු ගෙවීමේ දී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩකොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද. අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.
අප කැඩුණු ආර්ථික ක්‍රමය සකස් කරගෙන ඉදිරියට ගියත් කැඩුණු දේශපාලන ක්‍රමය තවම සකස් කරගෙන නැහැ. එදා නායකයන් බයේ දිව්වා. එවන් තත්ත්වයක් තිබෙනවා නම් , මොකක්ද මේ රටේ තිබෙන දේශපාලන නායකත්වය.
එවන් නායකයන්ට රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද? එදා ඔවුන් බිය වී පැන ගියේ ඔවුන් ළඟ විසඳුමක් නොතිබූ නිසයි.
හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ පසුව මේ රටේ සාමය සහ ස්ථාවරත්වය බිඳ වැටෙන්න ගියා. ඇතැම් අය මට අගමැතිකමින් ඉවත් වෙන්න කිව්වා. එහෙම දේශපාලන ක්‍රමයකින් රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද,
අපි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට සුනිල් හඳුන්නෙත්ති මහතා නඩුවක් දැම්මා. එම නඩුවෙන් කියැවෙන්නේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යයි” කියලා. අද අපට ආර්ථික ගැටළුවකට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ අප ආනයන ආර්ථිකයක කටයුතු කිරීම නිසයි.
ඒ වගේම තව කෙනෙක් ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් ගැන කියනවා. ඔහු අසාර්ථක පුද්ගලයෙක්. නැත්නම් ලෝකය වටේ ගිහින් නායකයන්ගෙන් සල්ලි ඉල්ලගෙන එන්නලු. මම හිඟා කන මිනිහෙක් නෙවෙයි, ඒ වගේම සිංහල ජාතිය හිඟා කන ජාතියක් නොවෙයි. ඒ වගේම ඇතැම් අය තවම කියනවා අලුත් දෙයක් ඕන කියලා. ඒ කියන්නේ ආනයන පදනම් කරගත් ආර්ථිකයක්ද ?
මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.
අපි නිසි ලෙස තෝරාගෙන රටට අවශ්‍ය වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. සිහින ලෝකවල ඉන්න හොඳ නැහැ. අපි සත්‍ය දැනගෙන වැඩ කළ යුතුයි. අද අපි ගන්න පියවර අනුව තමයි අපේ ඉදිරි ගමන තීරණය වන්නේ. අපි රටේ ආර්ථිකය හදනවා වගේම අලුත් දේශපාලන ක්‍රමයක් සකස් කළ යුතුයි. වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පිරිසක් වගේම ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතිව කතා කළ හැකි පිරිසක් එමඟින් නිර්මාණය විය යුතුයි. එසේ නොමැතිව මේ රටට අනාගතයක් නැහැ.
අපි සෑමවිටම ඇත්ත කථා කළා. දේශපාලනයේ දී ඇත්ත කියන්න බය විය යුතු නැහැ. ආණ්ඩුවට පක්ෂද, විරුද්ධද කියන එක නොවෙයි, ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මම සෑම පක්ෂයකින්ම පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා. පක්ෂවල විනයක් තිබුණේ නැති වුණාට ආණ්ඩුවේ විනයක් තිබුණා. බය නැතුව කණ්ඩායමක් අපත් සමඟ එක් වුණා. පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව අපත් සමඟ එකතු වුණා. අද අපි ආර්ථිකය සකස් කරගෙන තිබෙන මට්ටමට අපේ දේශපාලන ක්‍රමය තවම පැමිණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරමින් අප වැඩ කළ යුතුයි.
දයාසිරි මහ පාරේ වැඩ බාරගෙන !
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට අද (05) එම පක්ෂයේ මහ ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය.
ඒ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමේ දොරටුව අගුළු දමා වසා දමා තිබූ නිසාය.
එසේම වාර්තාකරුවන් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය අසළට පොලිසියද කැඳවා තිබූ බවයි.
මීට පෙර ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මහ ලේකම් ධුරය ඉසිළුවත් හිටපු ජනාධිපති මෛත්රීඵල සිරිසේන විසින් ඔහුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබිණ. ඒ සම්බන්ධව පැවති නඩු විභාගයේදී පසුගියදා තීන්දු කෙරුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ගෙන තිබු තීරණය වළකාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටය.
නමුත් ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල සිරිපාල ද සිල්වා ගේ පාර්ශව විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මහ ලේකම් ධුරය යළිත් අත්හිටුවන ලදී.
මේ සම්බන්ධව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දයාසිරි මන්ත්‍රීවරයා පවසා සිටියේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වය විසින් ගෙන ඇති තීරණය තමන් නොපිළිගන්නා බවයි.
මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බවට ජනපති මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දීලා !
නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (05) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව අප මේ වන විට පෞද්ගලික ණය හිමියන් සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. අපට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ අඩු කර ගැනීමට හැකිවීමේ සුබ ආරංචිය ඔබවහන්සේට දැනුම් දෙන්න කැමතියි .
ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක සහන කාලයක් ලබා ගැනීමටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනීමටත් අපට හැකි වුණා. මෙම වාසිය ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ සැලසුම් සහගතව කටයුතු කළහොත් නැවත ණය නොගන්නා තත්ත්වයකට රට ගෙන ආ හැකියි .
බෞද්ධ රටක් වන තායිලන්තය විවෘත ආර්ථිකය සමඟ අද ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. තායිලන්තය 1950 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණයවලට වඩා දෙගුණයක ණය බරක් තිබු රටක්. නමුත් අද වන විට අපනයනය මත පදනම්ව ධනාත්මක ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. 1991දී ශ්‍රී ලංකාවට කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒම සම්බන්ධව එවකට වියට්නාමයේ කර්මාන්ත ඇමතිවරයා මගෙන් විමසීමක් කළා. අද මට වියට්නාමය කර්මාන්ත ඇමතිවරයාගෙන් ආයෝජන සහ කර්මාන්ත ගෙන ඒම සම්බන්ධයෙන් විමසීමට සිදු වෙලා.
මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා. 2015දී ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක පූජ්‍ය වලේගොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අත්තංගනේ සාසනරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෑතර මහින්ද ස්වාමීන් වහන්ස, පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අකරැල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරක්ෂක සභාවේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , හිටපු අමාත්‍ය දයා ගමගේ, නිකායේ ආරක්ෂක සභාවේ ධම්මික සමරවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනුවෙයි !
දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණි.
ඊට එරෙහිව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන පාර්ශ්ව සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර තිබෙන බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.
ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් එහිදී චෝදනා කර ඇත.
එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරයි.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකාබලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මම ලෑස්තියි : ධම්මික කියයි !
පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.
එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියේය.
කෙසේ වුවත් පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යේෂ්ඨයන් රැසකගේ අදහස වී තිබෙන්නේ එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබාදී ඉදිරි වසර 5 සඳහා ද රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවයි.
හැමදාම වැල් පාලමේ ඉන්න බෑ ස්ථිර පාලමක් හදාගන්න අවශයි !
හැමදාමත් රට වැල් පාලමේ ගෙනයා නොහැකි බැවින් රට ආර්ථික වශයෙන් ස්ථාවර කෙරෙන ස්ථිර පාලමක් තැනිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.
රට පවතින වත්මන් තත්ත්වය මත විදෙස් ආයෝජන රටට පැමිණීම ආරම්භ වන බවත් එසේම අර්බුදය සමයේ ඇනහිට තිබූ විදෙස් ආධාර සහිත සංවර්ධනය ව්‍යාපෘතිද නැවත ඇරඹෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
රට ණය බරෙන් එලියට ගත යුතුව තිබෙනවා. ඒ තත්ත්වයට රට පත්වීම සම්බන්ධව බියවී ඇති ඇතැම් පාර්ශ්ව රාක්ෂයන් සහ බිල්ලන් මවමින් සිටිනවා.
ගිය සතියේ සියලුම ණයකරුවන්ගේ සහාය ලංකාවට ලබා දීමට එකඟතාව හිමිවුණා. මෙරටට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන බිලියන 37ක්. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කරගෙන ගෙවීම් සිදුකරන ආකාරයට සම්බන්ධව එකඟතාවට පැමිණ ඇති නිසා දැන් රට බංකොලොත් ලේබලයෙන් එළියට ඇවිත් තියෙන්නේ. දැන් මෙරට ණයවර ලිපියකට පවා පිළිගැනීම ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය මෙරට ණය හිමි පාර්ශ්ව විසින් පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවද කිව යුතුයි. මෙම තත්ත්වය මත නැවතී තිබූ විදෙස් ආයෝජන නැවත රටට පැමිණීම විශ්වාසයි. ඒ වගේම අර්බුද සමයේ ඇනහිට තිබු විදෙස් ආධාර මත දියත්කළ සංවර්ධන ව්‍යාපෘතිද නැවත ආරම්භ වෙනවා.
ඒ වගේම හැමදාම වැල් පාලමේ ඉන්නත් බෑ. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන ආකාරයට ස්ථිර පාලමක් හදාගන්න ඕනේ. ණය බරෙන් එළියට එන්න ඕනේ. ඒකට වැඩ කරන විට බයවෙලා බිල්ලො මවනවා රාක්ෂියෝ මවනවා...
බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවන හැටි අපිට පෙන්නන්න ඕන.
චන්දෙ තියන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා..සමහරු චරිත ඝාතනය කරන්න හදනවද දන්නේ නෑ.
තරුණ ජීවිත ව්‍යාකූල නොකර අනධ්‍යයන සේවකයින් වැඩට එන්න !
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙනකු දවස් 65 ක් පුරා නිරත වැඩ වර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්රයම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.
2019 වසරේ කොවිඩ් වසංගතයත්, 2020 වසරේ ආර්ථික අර්බුදයත්, 2021 අරගලයත් හමුවේ මානසිකව වඩාත් පීඩාවට පත් මේ දරුවන් ඒ සියලු අභියෝග හමුවේ විශ්වවිද්‍යාලයට තේරී පත් වන 18% අතරට එක් වුනත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ව තව දුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්වීම ජාතික ඛේදවාචකයක් බව කිව යුතුයි.
මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කණගාටුයි. ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවුයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සළකා බලා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා.
ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ( FUTA) එළි බැස තිබෙනවා. 2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කර ගත් ඔවුන්, අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා. විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩ නගා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.
අනධ්‍යන සේවකයින් ගේ මෙම ඉල්ලීම් සාධාරණයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී උදය සෙනවිරත්න කමිටුවට යොමු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරහා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව මා පොරොන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා කිරීමට අප කටයුතු කරනවා. සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා !
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.
රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.
තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන්නේ රටට බත සපයන ගොවි ජනතාවයි. නමුත් ඔවුන්ට මෙතෙක් තම ඉඩම්වල අයිතිය හිමිව තිබුණේ නැහැ. තමන් ජීවත්වන බිමේ නීත්‍යානුකූල අයිතිය හිමි නොවූ ලක්ෂ ගණනක් ජනතාව අද මේ රටේ සිටිනවා. ඔවුන්ට අයිතිය ලබාදීම වෙනුවෙන් අප උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා.
මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.
මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.
ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.
ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.
මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.
ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.
අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.
මේ රටේ ගොවි ජනතාව 2022 – 2023 කන්නවල ලබාදුන් අස්වැන්න නිසා තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණේ. ඒ සමඟම සංචාරක ව්‍යාපාරය දියුණු වුණා. මේ සියල්ල සමඟ අද අපි ඩොලර් බිලියන 08ක සහනයක් ලබාගෙන ණය බරින් නිදහස් වීමට මාර්ගය සකස් කරගෙන තිබෙනවා.
ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.
අනිත් අය සමාජවාදය ගැන කථා කරනවා. නමුත් නියම සමාජවාදය මෙයයි. ඉඩම් ජනතා අයිතියට ලබා දීම මේ හරහා සිදු වෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ලෝකයේ රටවල් දෙකක් පමණයි. ඒ ජපනය සහ දකුණු කොරියාවයි. නමුත් එම රටවල් දෙකේම සිදු වුණේ අඩු මුදලකට ඉඩම් ලබාදීමයි. නමුත් අප මේ ඉඩම් ලබා දෙන්නේ නොමිලේ බව කිවයුතුයි. මෙම වැඩසටහන මඟින් මේ රටේ අයිතිය තිබෙන ජනතාව තවත් ලක්ෂ 20කින් වැඩි කර තිබෙනවා.
ඒ වගේම සමෘද්ධි වැඩසටහනේ ප්රතිලාභ මෙන් තෙගුණයක් ජනතාවට ලබාදෙමින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ බංකොලොත් වූ රටකයි. කෙතරම් අසිරුතා තිබුණත් රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. වැටුප් වැඩි කිරීම පිළිබඳ ඉදිරි වසරේදී අවධානය යොමු කළ හැකියි. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ද සිදු වුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් ඉහළ ගියා. අද නවීන සංචාරක ව්‍යාපරයක් රටේ ක්‍රියාත්මක වෙනවා. මේ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය පෙසොන් පොහොයට රට පුරා දන්සැල් විශාල ප්‍රමාණයක් පැවත්වුණා. මීට දෙවසරකට පෙර ජනතාවට කන්න නැතිවයි සිටියේ. අද ඔබේ දහඩිය මහන්සියෙන් නෙළාගත් අස්වැන්නෙන් පොසොන් පොහොයට ලංකා ඉතිහාසයේ මෙතෙක් නොපැත්වුණු දන්සැල් ප්‍රමාණයක් පසුගිය පොසොන් පොහොය සමයේ පැවැත්වුණා. මේ පිළිබඳ විදෙස් තානාපතිවරුන් මා සමඟ පුදුමය පළ කළා. මේ අපේ ශක්තියයි.මේ අනුව ජනතාවට උපකාර කළ හැකි සෑම අන්දමකින්ම එම සහන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ සමඟම රට දියුණුව කරා ගෙන යනවා.
ඒ වගේම මේ වන විට මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සීග්‍රයෙන් දියුණුවෙමින් පවතිනවා. ගම්පහ සහ කොළඹින් පසුව වැඩිම ජනගහණයක් ජිවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පළාත සැලැස්මක් අනුව දියුණු කිරීම අපේ අරමුණයි. ඒ නිසා බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි.
ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.
පොලිස් නිල සුනඛ අංශයට නව සුනඛයින් 35 දෙනෙක්
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ .
මෙම සුනඛයන් අතරට බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඇතුළත් වෙයි.
මෙම සුනඛයන් නෙදර්ලන්තයේ K.- 10 Working Dog නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .
මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .
මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .
මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .
මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 07/05 දින අලුයම 02.05 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණි.
මෙම සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .
මෙම සුනඛයන් එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
මෙම සුනඛයන් මෙරටට රැගෙන ඒමට පෙර පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් නෙදර්ලන්තයේ එම ගොවිපළ වෙත ගොස් පෞද්ගලිකව එම සතුන්ගේ අස්ථි , ජාන ආදිය පරීක්ෂා කිරීම ද සිදු කර තිබුණි .
මෙම අවස්ථාවේ සිය අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙම සුනඛයන් මාස 08 ත් 12 ත් අතර වයස් වල පසු වන බවත් , ඔවුන් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .
''ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්රයට ශක්තියක්''
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේය.
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
පසුගිය අර්බුද සමයේ බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක්ම අතරමඟ ඇනහිටියා. නමුත් මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ නිසා විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම රටේ පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීමට මහත් පිටුවහලක් වන බව කිව යුතුයි.
ඒ වගේම වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමත්‍යාංශය එක්ව අදාළ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මිල ගණන් පහළ දැමීමට හැකි වී තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉකුත් සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව අඩු මිලකින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට අපට හැකි වී තිබෙනවා. මෙවැනි පියවර ගැනීම හමුවේ විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වී තිබෙනවා.
තව ද අදානි ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් සහ පරිසර වාර්තා මෙන්ම ඊට අදාළ වැඩිදුර කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. අනතුරුව පවතින මිල ගණන් අනුව කටයුතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බවක් පෙන්නුම් කෙරෙනවා. ඔවුන් උමාඔය සහ සාම්පූර් වැනි විදුලි බලාගාර නිර්මාණය කිරීමේ දී ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළා.
ජනපති, ඊශ්‍රායල තානාපති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි - ජනපති
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරය වේ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියි.
තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරයයි.
2024 ,අයවැය යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අවසන් කිරීමට අවසන් දිනයක් දැනුම්දෙයි !
2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කර ඇත.
මේ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත කෙටි පණිවිඩයක් නිකුත්කර ඇත.
ඊට අනුව අද (03) MF/02/2023-(iv) චක්‍රලේඛය මඟින් මෙම උපදෙස් ලබාදී තිබේ.
Page 35 of 440