පුවත්
පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් 8,435කට ස්ථිර පත්වීම්
පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය.
එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.
ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කර තිබෙයි.
කොළඹ ගංවතුර ගැන වාර්තා කැඳවයි
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
සාගල රත්නායක මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.
පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක පැවසීය.
ඒ අනුව ඉදිරියේදී නැවත එවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල් යන අය, අදාළ ආයතන ප්‍රධානීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලුදෙනා ලැබු සුබ ආරංචියක්
අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසූ ජනාධිපතිවරයා ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බවත්, ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැක ගැනීමට බිය වූ සහ ඊට කිසිඳු සහායක් ලබා නොදුන් පිරිස් දරුවා වැල් පාලමෙන් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවද කියා සිටියේය.
ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම
ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය.
රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
වැරදි පාරකට හැරුණොත්, නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම පිළිබඳ සියලුදෙනාට අවබෝධයක් ඇති බැවින් එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ජනතාවට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගන්නා තීන්දුවෙන් තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නොව රටේ සහ දරු පරපුරේ අනාගතය බව ද අවධාරණය කළේය.
බංකොලොත්ව, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණු රට තමා ගොඩ ගත්තේ තම පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක්, තමා පත් කළ රාජ්‍ය නිලධාරීන් හෝ තමා පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නොවන බවද පැවසූ ජනාධිපතිවරයා එම කිසිවක් නොමැතිව වසර දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩනැගීමට තමාට හැකිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය
අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා.
අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා.
ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.
රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.
Sri Lanka Won …. !!
ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.
මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.
මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.
2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.
අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.
2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි.
2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ.
මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා.
නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්.
ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.
අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා.
අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා.
සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ.
අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි.
ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා.
මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා.
අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා.
එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ. රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා.
හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා.
මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.
ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්.
“යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි!
මම බය නැතුව වැඩේට අත ගැහුවා.
2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.
- ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම.
- විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම.
- මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීම
මම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.
සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.
ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්, අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.
අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.
ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.
2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?
එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.
2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.
2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.
ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.
මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.
එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.
ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා. ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.
මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.
කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ.
මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කිහිපයක් ගත වේවි.
නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.
අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ.
අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.
අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි.
මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.
ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.
අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි. සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.
තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.
සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.
රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි? මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?
මෙන්න මේකයි හේතුව.
ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.
ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.
ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා.
ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.
මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.
එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.
මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද?
මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා. ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.
බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි. ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.
ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද?
මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.
හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා.
නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.
“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම ලැබිය යුතු ය..
රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය…..”
ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.
එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි.
ස්තුතියි.
ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා සාර්ථකව අවසන් කරයි !
ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණ ඇත.
මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණීම සාර්ථකව අවසන් කර තිබේ.
මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දරන ලදී. ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සෙසු සාමාජිකයන් වෙයි.
නිල ණය හිමියන්ගේ සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණයවල ඒකාබද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10 කි.
මෑතකාලීනව ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් විදේශ ණය ගෙවීමට නොහැකි විය. ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත වූ අතර, ණය තිරසාර නොවන රටවලට ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට සිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට සමගාමීව ආරම්භ කිරීම අවශ්‍ය විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය (Debt Sustainability Analysis – DSA) ආරම්භයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ණය සහන මට්ටම තීරණය කරනු ලබයි. ඉන් අනතුරුව, අදාළ ණයහිමියන් සහ ණයගැතිභාවයට පත්වී ඇති රට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මඟින් පෙන්වා ඇති ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය ණය සහන සපුරාලන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මඟින් දක්වා ඇති ඉලක්ක මත පදනම්ව, ලබාදෙනු ලබන ණය සහන, රටින් රටට වෙනස් වේ.
විවිධ ණය හිමියන් විවිධ ක්‍රම මඟින් ණය සහන ලබාදෙයි. නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව වැනි නිල ණය හිමියන්, ගෙවීම් කාලය දීර්ඝ කිරීම (ණය කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම) සහ පොලී අනුපාත අඩු කිරීම හරහා ණය සහන සලසනු ලැබේ.
නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් දෙකම සැලකිය යුතු කල්පිරීමේ කාල සීමාවන් දීර්ඝ කිරීම, ප්‍රාග්ධනය සඳහා සහන කාලසීමාවන් ලබාදීම සහ පොලී අනුපාත අඩු කිරීම් යන කරුණු ඔස්සේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ණය සහනයක් ලබා දෙයි.
ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් සහ අනාගතයේ දී ණය ගෙවීමේ හැකියාව වැඩිදියුණු වන තෙක් කෙටි කාලීනව ශ්‍රී ලංකාව සඳහා පවතින ගෙවීම් බර අඩු කර තිබේ.
මෙය ප්‍රමාණාත්මකව තක්සේරු කිරීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් ක්‍රියාත්මක කාල සීමාව තුළ ගෙවිය යුතු ඔවුන්ගේ අදාළ ණය ප්‍රමාණයෙන් 92% දක්වා ණය සහන ලබා දෙයි.
එක් එක් ණයහිමියා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මගින් දක්වා ඇති ඉලක්කය සපුරාලිය යුතු අතර අනෙකුත් ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සමඟ ද සන්සන්දනාත්මක විය යුතු වේ.
මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවන්ට පැමිණීම කඩිනම් කරනු ඇතියි. නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කිරීම මෙම ක්‍රියාවලිය පහසු කරනු ඇත.
අද එළැඹුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවල පහත සඳහන් ප්‍රතිලාභ ඇතුළත් වේ.
- මූල්‍ය සහන:
ශ්‍රී ලංකාවේ බදු ආදායම, ණය ගෙවීම් වෙනුවට අත්‍යවශ්‍ය පොදු සේවා සඳහා යොදා ගත හැකි අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා කාලය ලබා දෙයි.
- විදේශ මූල්‍යකරණය:
ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ද්විපාර්ශ්වික මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කළ හැකිය. අයවැයේ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය සහාය සම්බන්ධයෙන් වන කෙටි කාලීන විදේශ මූල්‍ය පහසුකම් සලසා ගැනීම සම්බන්ධයෙන් මෙමගින් සැලකිය යුතු බලපෑමක් සිදුවේ.
එය ඉදිකිරීම් වැනි අංශ සඳහා ධනාත්මක බලපෑම් ඇති කරන අතර වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මධ්‍ය කාලීනව සිට දිගු කාලීනව ධනාත්මක බලපෑම් ඇති කරයි.
- ණය ශ්‍රේණිගත කිරීම්:
නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිගමනය, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරකි. වාණිජ බැඳුම්කර හිමියන්ගේ ණය ද කඩිනමින් ප්‍රතිව්‍යුහගත කළ පසු, එය ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට මග පාදයි. නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිගමනය විදේශ මූල්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශය සහ අඩු පිරිවැය යන ආකාරවලින් සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙනු ඇතියි. එය වෙළඳ මූල්‍යකරණයේ සිට අන්තර් බැංකු අරමුදල් සලසා ගැනීම දක්වා සියලු අංශ කෙරෙහි බලපායි.
මහේල ඉල්ලා අස්වෙයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ 2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පරාජයට පත්ව පළමු වටයෙන්ම ඉවත්වීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවෙමින් ඇති පසුබිමක ය.
එසේම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවය.
ගුරු-විදුහල්පති හෙටත් ලෙඩ වෙනවලු !
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවය. එහිදී විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එම විරෝධයට කඳුළුගැස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ තුළ ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.
සමාරම්භක සැසියෙන් අනතුරුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන අයගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද පැවැත්විණ.
එසේම මෙම සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ IFS සමාගමේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මොෆට් අතර හමුවක් ද සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
අප වේගවත් වර්ධනයක් දෙස අවධානය යොමු කරනවා නම්, නිසැකවම ඩිජිටල් ආර්ථිකය සහ සමස්ත නවෝත්පාදන පද්ධතිය අත්‍යවශ්‍ය වෙනවා. අප එය ආරම්භ කළේ සංචාරක කර්මාන්තය හා කෘෂිකාර්මික නවීකරණය හරහායි. මෙය හඳුනාගෙන ඇති තවත් වේගයෙන් වර්ධනය වන අංශයක්. ඉතින් අප එය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? අප මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද?
කෙසේ වෙතත් අප සතු හැකියාව සහ අපගේ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. පළමුවෙන්ම, අපගේ ආර්ථිකය තුළ මෙම අංශය පුළුල් කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය අපට සහය වන්නේ කෙසේද? යන්න සොයා බැලිය යුතුයි.
මේ වන විට අපි සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය ඩිජිටල් අංශයේ ව්‍යාප්තිය සමඟ එකට බැඳෙනවා. කෘෂිකර්මාන්තය, සුහුරු කෘෂිකර්මයක් ලෙස නවීකරණය කිරීමට අපගේ අවධානය යොමුවී තිබෙනවා.
දෙවනුව, ඕනෑම අංශයක් පුළුල් කිරීමේදී, සළකා බැලිය යුතු කරුණු දෙකක් තිබෙනවා. ඒ ආර්ථික අර්බුදය සහ තාක්ෂණය භාවිතා කිරීමයි. එම තාක්‍ෂණය දියුණු කිරීමට සහ භාවිතා කිරීමට හැකි ශ්‍රම බලකායක් ද අපට අවශ්‍ය වෙනවා. ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් ගත් විට, අප එය හඳුනාගෙන තිබෙන්නේ, ඒ සඳහා පවතින ඉල්ලුම වැඩිවෙමින් පවතින නිසයි. මීට අමතරව, ආසියාවේ සහ අප්‍රිකාව දෙසින් අනාගතයේදී ඇතිවන ඉල්ලුම දෙස බලන්න. දෘඪාංග සහ මෘදුකාංග යන අංශ දෙකම ආවරණය වන ආකාරයෙන් චීනය සහ ඉන්දියාව යන දැවැන්තයින් දෙදෙනෙකු අතර අප සිටිනවා. අප එම දැනුම ප්‍රයෝජනයට ගෙන මේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
අප දැනටමත් ඉන්දියාව සමඟ පෞද්ගලික අංශයේ පවතින අවස්ථා පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම්වල රාජ්‍ය නොවන ඉන්දියානු වෙළඳ සංගමය (NASSCOM) යන ආයතන මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කරන අතර, තවත් ආයතන ද ඒ සඳහා එක්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අප මෙම වෙළෙඳාම ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතර අපගේ ජාතික වේදිකාව ගොඩ නැඟීම සඳහා ද එමගින් සහාය ලබා ගන්නවා. චීනය සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එහි ද අප සාර්ථක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. අප සිටින්නේ ආසියාවේයි. අප ඉදිරියට යා යුත්තේ මෙතැන සිටයි. අප විවිධ ක්ෂේත්‍ර දෙස බැලිය යුතුයි.
ඒසේම කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිමත් කරමින් අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සැලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ඒ සමඟම, ඒ තුළ කුමන ව්‍යවසායන් දියුණු කළ යුතුද සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතිරි වැඩ කටයුතු දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරෙනවා.
යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත්විට, අප විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව සහ ජාතික විද්‍යා පදනම යටතේ ජාතික මට්ටමින් පහසුකම් ගොඩනගමින් සිටිනවා. ඊට අමතරව අප නව නීති හඳුන්වා දෙනවා. පළමුව, අප ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන තාක්ෂණික උපදේශකයා ලෙස කටයුතු කරනු ලබන ප්‍රධාන තාක්ෂණ නිලධාරියෙකු නිර්මාණය කරනවා. ඉන්පසුව, අප තාක්ෂණික හා නවෝත්පාදන කවුන්සිලය පිහිටුවනවා. එය වාණිජකරණය මත පදනම් වූ පර්යේෂණ සඳහා අරමුදල් සපයනු ඇතියි.
අප ජාතික විද්‍යා පදනම හරහා ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාවන් සඳහා ද අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ වාණිජකරණය සඳහාද ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ශුද්ධ හා ව්‍යවහාරික පර්යේෂණ සඳහා රජය විසින් ලබාදෙන සියලුම අරමුදල් ජාතික විද්‍යා පදනම හරහා ලබාදෙන අතර, එහි ප්‍රමුඛතාවන් සකස් කර ඒවායේ කාර්ය සාධනය ද අධීක්ෂණය කරනවා. සියලුම රාජ්‍ය ආයතන මෙයට අනුකූල විය යුතු අතර පර්යේෂණ වාණිජකරණය කිරීමට අපේක්ෂා කරන පිරිස් කොමිෂන් සභාව සමඟ කටයුතු කළ යුතුයි. මෙම ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම මෙන්ම මීට පෙර පර්යේෂණ කටයුතු අත්හැර දමා තිබූ විශ්වවිද්‍යාල සඳහාද විවෘත වෙනවා.
අප ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය ද පිහිටුවනවා. මින් පෙර පරිගණක හා තොරතුරු තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ අප දැන් මේ හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් සිටිනවා. අප හඳුන්වා දෙනු ලබන අවසාන නව ආයතනය වන්නේ ජාතික කෘත්‍රිම බුද්ධි (AI) මධ්‍යස්ථානයයි.
මෙම වැඩසටහන සඳහා මානව සම්පත් අවශ්‍ය වෙනවා. කෙටි කාලීනව, මෙම මානව සම්පත අපට වැඩිපුර නිෂ්පාදනය කළ හැකි නමුත් එය ඉදිරියේදී ප්‍රමාණවත් නොවිය හැකියි. මගේ මතය නොවුනත් ඇතැම්විට අපට මේ සඳහා පිටතින් පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට සිදු විය හැකියි.ඒසේ නම් ඒ් මේ සඳහා බාධා නොකළ යුතුයි. අප වැඩි ශ්‍රම බලකායක් පුහුණු කරන තරමට ප්‍රතිඵලය යහපත් වනු ඇතියි. රට තුළ අපට පළපුරුදු මානව සම්පත අවශ්‍ය නම්, සමාගම්වලට බාධා නොවන පරිදි සහ ශ්‍රී ලාංකිකයන්ට මධ්‍ය කාලීනව ප්‍රගතියක් ලබා ගත හැකි වන අයුරින් කෙටි කාලයක් සඳහා පිටතින් මානව සම්පත සපයා ගැනීමට ඉඩ දිය යුතුයි.
ඒ් වගේම අප මේ වන විට සමස්ත වෘත්තීය පුහුණු ක්‍රමවේදයම ප්‍රතිව්‍යුහගත කරමින් සිටිනවා. එහිදි ආයතන බොහෝ ප්‍රමාණයක් වෙනුවට පළාත් නියෝජිතායතන නවයක් සහිත එක් අධිකාරියක් පිහිටුවන අතර එම එමඟින් පවත්වාගෙන යනු ලබන විවිධ පුහුණු මධ්‍යස්ථාන සියල්ල වෘත්තීය විද්‍යාල බවට පත් කරනවා.
ඒ සමඟම තාක්ෂණික විද්‍යාල ද ප්‍රතිසංස්කරණයට ලක්වෙනවා. අප සිසුන්ට වසර දෙකකින් පමණ උපාධියක් ලබා ගැනීමට ඉඩ සලසනු ලබන සහාය උපාධි වැඩසටහනක් හඳුන්වා දීමට සැලසුම් කරනවා. වෘත්තීය හා තාක්ෂණික විශ්වවිද්‍යාල, විවෘත විශ්වවිද්‍යාලය හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලින් අවසානයේ උපාධිය හෝ ශාස්ත්‍රපති උපාධි දක්වා ඉහළ යා හැකි සහාය උපාධි සහිත උපාධිධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි අරමුණයි. මෙම ප්‍රවේශය උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකෙහිම යෙදී සිටින පිරිස්වලට ප්‍රයෝජනවත් වනු ඇතියි.
චෙන්නායි IITහි මණ්ඩපයක් මහනුවර ආරම්භ කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒවගේම අප කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආකෘතිය අනුව සැකසුනු නව විශ්ව විද්‍යාල තුනක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. පළමුවැන්න කුරුණෑගල විශ්වවිද්‍යාලය, සීතාවක සහ කොළඹින් පිටත ඇතැම් විට ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳවත් අප සලකා බලමින් සිටිනවා. මෙම විශ්ව විද්‍යාල තාක්‍ෂණය සහ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන අතර විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අනෙකුත් විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතියි.
අප විශ්වවිද්‍යාල තුළ පවතින පහසුකම් වැඩි දියුණු කරමින් ඒවා පුළුල් කරනවා. දැනට ඉංජිනේරු පාඨමාලා නොමැති සමහර විශ්ව විද්‍යාලවලට ඒවා හඳුන්වා දීමට අවසර දෙනු ලබන අතර, විශ්වවිද්‍යාල තුළ කෘත්‍රිම බුද්ධිය (AI) ඉගැන්වීම හඳුන්වාදීම සම්බන්ධයෙන් ද කටයුතු සිදු කරමින් තිබෙනවා.
කලා විෂය ධාරාවෙන් කලා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක් අපට ඉන්නවා. රජයේ රැකියා දෙස බැලුවොත් මේ වන විට ඒ අයට රැකියා ලබාදීම ගැටළුවක් වී තිබෙනවා. භූගෝල විද්‍යාව වැනි විෂයයන් හෝ වෙනත් විෂයයන් හදාරන අවස්ථාවක ඒ අනුව ඔවුන්ට රැකියා ලබාදිය හැකි සමාගම් තිබේද යන්න පිළිබඳ අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් විශ්ව විද්‍යාලයේ සිටියදී, මෙම සිසුන් තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් බවට පත්වන්නේ නම් එවිට ඔවුන්ට රැකියා සොයා ගත හැකියි.
මෙම වැඩසටහන මඟින් නිශ්චිත පිරිසකට රැකියා අවස්ථා සැලසෙනවා. මේ සඳහා රජය අරමුදල් සපයනු ඇතියි. වැටුප් ගෙවීමට මුදල් නොමැති නිසා සංවර්ධන නිලධාරීන් ලෙස තවත් අමතර රැකියා ඇති කිරීමට වඩා තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට මුදල් ලබාදීම වැදගත් වනවා. ඒ නිසා, යෝජනා වී ඇති මෙම වැඩපිළිවෙල ස්ථාපිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ සැමදෙනා සමඟ සාකච්ඡා කිරීමට අප සූදානම්.
තවද අධි තාක්‍ෂණික නගර සඳහා ද අප යටිතල පහසුකම් ස්ථාපිත කළ යුතුයි. මේ සඳහා අවම වශයෙන් අක්කර 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන කොළඹට තදාසන්න ප්‍රදේශයක පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. යාපනය වැනි කුඩා ප්‍රදේශවලට අක්කර 25ත් 50ත් අතර ප්‍රමාණයක නගර පිහිටුවිය හැකියි. එක් ප්‍රධාන අධි තාක්‍ෂණික නගරයක් කොළඹ ද, තවත් නගරයක් මහනුවර ද පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. මෙය අපගේ වර්තමාන චින්තනයයි. මානව සම්පත් සංවර්ධනය සහ පර්යේෂණ කෙරෙහි අප සැලකිය යුතු අවධානයක් යොමු කරනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ආර්ථික ප්‍රබෝධයක් අත්කර ගෙන තිබෙනවා. පොලී අනුපාත 30% සිට 12% දක්වා පහත වැටී ඇති අතර උද්ධමනය 68% සිට තනි ඉලක්කමක් දක්වා අඩු වී තිබෙනවා. විනිමය අනුපාතිකය ස්ථාවර කරමින් අපගේ විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 දක්වා ශක්තිමත් වී ඇති අතර අපගේ දළ දේශීය නිෂ්පාදිතය ධන 5.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ජයග්‍රහණ සියල්ල මෙම ඩිජිටල් ආයෝජන සමුළුවට සත්කාරකත්වය සැපයීම වෙනුවෙන් අප පරිපූර්ණ ලෙස ස්ථානගත කර තිබෙනවා.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ තනි පුද්ගල අන්තර්ජාල භාවිතය 3.9% කින් වර්ධනය වී ඇති අතර එය ගෝලීය සාමාන්‍ය වන 1.8% ද ඉක්මවා තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිතය 6.5% කින් ඉහළ ගොස් ඇති අතර, අපගේ ජංගම දුරකථන භාවිතය 148% ක් වනවා. මෙම තත්ත්වය මඟින් මෙරට ඩිජිටල් පරිවර්තනයක් සඳහා අප සතු හැකියාවන් පෙන්නුම් කෙරෙනවා. 2025 වන විට දීප ව්‍යාප්ත වශයෙන් 4G ආවරණය ලබා ගැනීම අපගේ ඉලක්කය වන අතර අපගේ අන්තර්ජාල සම්බන්ධතා සඳහා ඇති විකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් Starlink අන්තර්ජාල සේවාව සඳහා ද අප මූලික අනුමැතිය ලබා දී තිබෙනවා.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,
DigiEcon වැඩසටහන තාක්ෂණ අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒසේම රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට ලක් කිරීම ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන සාධකයක් වී තිබෙනවා. රේගු සත්‍යාපන කටයුතු සහ සැපයුම් ඩිජිටල්කරණය කිරීම වැනි තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් සිදු කළ මෑත කාලීන ව්‍යාපෘතීන්, විශේෂයෙන් විදේශ ආයෝජන සඳහා පෙර තිබූ අපහසු ක්‍රියාවලීන් විධිමත් කර තිබෙනවා. ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යන ආයතන දෙක මේ වන විට සිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් මෙවලම් භාවිතා කරනු ලබනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක,
ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා මේ වන විට මුදල්, මූල්‍ය සහ පාලන යන අංශයන්ගේ සැලකිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙනවා. මූල්‍ය අංශයෙන්, මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි නව නීති හඳුන්වා දී තිබෙනවා. මෙම පියවර මඟින් මහ බැංකුවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම, විනයගරුක මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම සහ රාජ්‍ය ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, එමඟින් වඩාත් ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරනවා.
ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රධාන අංගයක් වන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මේ වන විට ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධනාත්මක ඇගයීමට ද ලක්ව තිබෙනවා. මෙම නීති මඟින් ආර්ථික වර්ධනයේ සහ නවීකරණයේ නව යුගයක් ආරම්භ කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. වේගයෙන් වර්ධනයක් අත් කර ගත හැකි ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය, ඉතා පහසුවෙන් ළඟා විය හැකි ක්ෂේත්‍රයක් බවට අප හඳුනාගෙන තිබෙනවා. මෙම අංශය දියුණු කිරීමට පමණක් නොව ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් එය නඟා සිටුවීමට ද අප කටයුතු කරමින් සිටිනවා.
IFS සමාගමේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මොෆට්,
IFS සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස පුද්ගලිකව මා පමණක් නොව, පසුගිය අවුරුදු 25 ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සිටින IFS ප්‍රජාව උණුසුම් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ස්තුතිය පුද කිරීමට කැමතියි.
මගේ අත්දැකීම් අනුව, ශ්‍රී ලංකාව යනු ස්වීඩනයේ ආරම්භ කරන ලද IFS මගේ සමාගම සමඟ ගැඹුරු සහ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගත් රටක්. ශ්‍රී ලංකාවේ ජනතාව, ඔවුන්ගේ පොහොසත් සංස්කෘතිය සහ ප්‍රශංසනීය කාර්යයන් ආචාර ධර්ම සමඟින්, IFS සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වයට නිසැකවම දායක වී තිබෙනවා.මේ වන විට තුන් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අප පසුගිය වසර 25 පුරා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කර ඇති අතර තවත් පුද්ගලික ආයතන තුනක් මඟින් අපට මේ සඳහා සහාය ලැබුණා.
එම ආයතන සංවිධාන රට තුළ IFS සමාගමේ සාර්ථකත්වය ගොඩනැඟීමට සහ ඔවුන්ගේ අනෙකුත් සමාගම් සඳහා අපගේ මෙහෙයුම් පුළුල් කිරීමට ද උනන්දු වෙනවා. මේ සඳහා IFS හෝල්ඩින් සමාගම කොළඹ වරාය නගරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් අපගේ ආයෝජකයින් සතු IFS සමාගමට අයත් නොවන සමාගම් වෙත තොරතුරු තාක්ෂණ සේවා සපයනු ලබනු ඇති අතර ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව තුළ අමතර රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කිරීමට ද අපේක්ෂා කරනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශීය හා විදේශීය ආයෝජකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන අතර මෙය ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබුණි.
ඒ අනුව, එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමා සහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබාදීම සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඒ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩිදියුණු කිරීම සඳහාය.
එසේම මීට පෙර ලෝක බැංකුවේ අනුග්‍රහය ලත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් සහ මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත මෙරට ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර ඇත.
මූල්‍යාධාර ලැබෙන නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි මෙම ප්‍රයත්නයන් පුළුල් කරනු ඇති අතර, වඩාත් පුළුල් සේවා පැකේජයක් සහ වැඩිදියුණු කළ සත්කාරක ගුණාත්මක භාවයක් සමඟ පහසුකම් 1,000කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත වේ.
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත, නමුත් නැගී එන සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා එය ශක්තිමත් කළ යුතුය,” යන්නයි.
සන්නස්ගල නිදහස්
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කළ චෝදනා ප්‍රතික්‍ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් උපුල් ශාන්ත සන්නස්ගල මුදාහැරීමට ඊයේ (24) නියම කළේය.
තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා, වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල අධිකරණයේ පෙනී සිටයේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු පසුව ලබාදෙන බව පවසා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු ලබානොදී වංචා කිරීම, විශ්වාෂය කඩ කිරීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම යටතේ කෙටුම්පත් කළ චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළහ.
විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවා දෙන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් මෙම සිද්ධියට පාදක මුදල් තම සේවාදායකයා විසින් ‘මාර්ග ගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටින බව පැවසු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න, අවශ්‍ය නම් මෙම මුදල් ලැබුණාද? කියා ඔහුගෙන් සැක හැර දැනගැනීමට හැකියාව ඇතයිද කීය.
ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකරු වන ගනේමුල්ල පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා අධිකරණය හමුවට කැඳවු මහෙස්ත්‍රාත්වරයා නඩුවට පාදක වු මුදල් සැකකරු විසින් තමන්ට ගෙව්වාද? යනුවෙන් ප්‍රශ්න කළේය.
එම ප්‍රශ්ණයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් සිද්ධියේ පැමිණිලිකාර නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා නඩු කීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පොලිසිය දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වු බවත් කීය.
මෙම නඩුව අවසන් කර දෙන්නැයි ගල්වලආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලමක්ද කළේය.
(lankadeepa.lk -මනෝප්‍රිය ගුණසේකර)
ජනපතිගේ 26 ප්‍රකාශය රට හොල්ලයි : හර්ෂ බයිලා ගහයි - රවි රටටම කියයි !
බංකොලොත් භාවයෙන් ගැල වී ලෝකය සමග ගනුදෙනු කරමින් දියුණු ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් සිටින මේ අවස්ථාවේ දී විපක්ෂය මවන බිල්ලන්ට රැවටී ජනතාව රෑ වැටුණු වලේ දහවල් නොවැටිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මේ බව අවධාරණය කර සිටියේ, කොළඹ දී ඊයේ (23) කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
අපේ රට මේ වන විට රට දියුණු සහ හොඳ ආර්ථිකයක් දෙසට ගමන් කරමින් සිටිනවා. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කෙසේ නමුත් ජන ජීවිතය ඒ තරම් පහසුම නැති බව කිව යුතුයි. ඉදිරියේ දී ප්‍රශ්නයත් විසඳෙනවා.
2024 ජූනි මස 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතනවා. එහිදී එතුමා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට-ජනතාව දැනුම්වත් කරාවි. රට බංකොලොත් භාවයෙන් එළියට ඇවිත් තිබෙන බව සියලු දෙනාටම පැහැදිළියි. ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙනවා.
එමනිසා ජනතාව රෑ වැටුණු වලේ දවල් නොවැටී ගමන් කළ යුතුයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුත්තේ රටක් බංකොලොත් වුණාමයි. ඒ අනුව අප ගියා. ඒ හේතුවෙන් රට බංකොලොත් භාවයෙන් එළියට පැමිණෙමින් සිටිනවා. රට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබමින් සිටිය දී පවා අවස්ථාවාදී, බල ලෝභී සහ කිසිම වැඩ පිළිවෙළක් නොමැති විපක්ෂය සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවා ජනතාව නොමඟ යවනවා.
විපක්ෂයේ මේ කුමන්ත්‍රණවලට ජනතාව යළි රැවටෙන්නේ නැහැ.
නිවාසවලට බදු ගහන කතාවක් කියමින් ජනතාව නොමඟ යවා කුලප්පු කිරීමට විපක්ෂය අසර්ථක උත්සාහයක යෙදී සිටිනවා. කියනවා. රජය සෑම නිවසකටම බදු ගහන්න යනවා යැයි සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා කියනවා. මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු කරුණු කාරණා දන්නේ නැහැ. බොරු කියනවා. මම කියන්නේ මේ වගේ බොරු කියා බිල්ලෝ මවා රට ගිනි තියන්න එපා. වැරදි මත සමාජ ගත කරනු එපා.
මේ බදු හඳුන්වා දුන්නේ, බදු ගෙවීම පැහැර හරිමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට අදාළවයි. සෑම නිවසකටම බදු ගහනවා කිව්වාම ජනතාවට ක්‍රෝධයක් ඇති වනවා. විපක්ෂයට අවශ්‍ය වන්නේ එසේ කර රටේ ගමන අඩපන කිරීමටයි. මේ ක්‍රියාව ජාතික අපරාධයක් බව කිව යුතුයි. ආර්ථිකය ගැන නිසි අවබෝධයකින් තොරව පටු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කියන මේ කතා නිසා ජනතාව නොමඟ යාමට ඉඩ තිබෙනවා.
එවැන්නක් සිදුවුණොත් රට-ජනතාව යළි අනාථ වනවා. රටේ කඩා වැටුණු ආර්ථිකය යළි නොවැටෙන තත්ත්වයට පත් කිරීම අපේ අරමුණයි.
මේ අතර එදා MCC ගැන විවිධ අභුත චෝදනා එල්ල කළා. ආයෝජන ගැන වැරදි ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා රටට බොහෝ දේ අහිමි වුණා.
රටක් ලෙස ශ්‍රී ලංකාව දුප්පත් නැහැ. නමුත් ජාතියක් ලෙස අප හිතන ආකාරය දුප්පත් බව කිව යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරන්න බැහැලු. ඒ ගිවිසුමේ කිසිම ස්ථානයක එහෙම සඳහන් වන්නේ නැහැ. ජනතාව මේ බොරුවලට නොරැවටිය යුතුයි. බොරුව පරාජය කළ යුතුයි.
මේ රටේ තරුණ තරුණියන් අද බලා සිටින්නේ Cryptocurrency දෙසයි. අප එදා PayPal හඳුන්වා දුන්නා. අද සියලු දෙනා අසන්නේ Cryptocurrency පිළිබඳවයි. ඒ නිසා මේ සියල්ල බැලිය යුතුයි. රටට ඔබින ලෙස මේ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද කියා සෙවිය යුතුයි. ශ්‍රී ලංකාවෙන් පිට ලොකු ලෝකයක් තිබෙනවා.
ඒ වගේම Cryptocurrency වගේ ක්‍රමවල සාධනීය ගුණාංග ගැන සොයා බැලීම අවශ්‍යයි. නිල වශයෙන් Cryptocurrency ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද කියා බැලිය යුතුයි.
රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය සහ වගකීම භාර ගත්තේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.
රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වනවා. ජාතිය අමතද්දී එතුමා ඒ ගැන නිල ප්‍රකාශයක් කරාවි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ හැම ප්‍රශ්නයකටම උත්තර දිය හැකි ඉන්ද්‍රජාලික ආයතනයක් නොවෙයි. නමුත් එම ආයතනය නිවැරදි ලෙස භාවිතා කළ හැක්කේ සහ එම ආයතනයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන කවරේ ද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුයි.
පොසොන් පොහොය දවසේත් වෙසක් පොහොය දවසේ වගේම රට පුරා උත්සව, පිංකම් සහ දන්සැල් සංවිධානය කර තිබුණු බව අප දුටුවා. ජනතාව දන්සැල් ඇතුළු පිංකම් සිදු කරන්නේ එදාට වඩා යම් ආදායමක් උපයා ගෙන තිබෙන නිසයි. ජනතාව දන්සල් සංවිධානය කරන්නේ රටේ යම් සුභදායි තත්ත්වයක් තිබෙන නිසයි.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට කඩන්න බැරි කොන්දේසියක් !
පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟව එම ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බව, එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලන් ඒකමතික තීරණයකට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම අද පවත්වා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි ඔහුගේ නිල නිවසේදී ය.
පොදුජන පෙරමුණ පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් රැසක් මීට එක්ව සිටි බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම හමුවේදී ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳව තීරණයක් නොගත් බවය.
නමුත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට රැස්වූ බොහෝ දෙනාගේ අදහස වූ බවද ඔහු සඳහන් කර සිටියේය .
පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩි කළ රුපියල් 2500ක දීමනාව මේ සතියේ සිට !
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.
ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.
එහිදී තරුණ තරුණියන් නැගූ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ.
ප්‍රශ්නය,
නැගෙනහිර පළාතේ පමණක් පෙර පාසල් 1800 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් එහි ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ දිමනාව වැඩි කිරීමට අදහසක් තිබෙනවාද?
පිළිතුර,
පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට අප තීරණය කළා. එම වැඩි කිරීම මේ සතියේ සිට ක්‍රියාත්මක වන බව කිවයුතුයි.
ප්‍රශ්නය,
ස්ථීර නිවාස ඇතුළු මූලික පහසුකම් නොමැති විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් නිවාස යටිතල පහසුකම් සපුරාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවාද?
පිළිතුර,
මේ වසරේ අවසන් කාර්තුව මැතිවරණ පැවැත්වෙන කාලසීමාවක්. ඒ නිසා එම කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට නොහැකි වුවත් ඊළඟ වසර කිහිපය තුළ මෙම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය විශාල ලෙස දියුණු කිරිමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තුළින් ඉදිරි වසර කිහිපය තුළ මේ පළාතේ විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඇතුළු ත්‍රිකුණාමල නගරය සංවර්ධනය වෙනුවෙන් අප ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම කටයුතු සමඟ ඉදිරියේදී නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ද උදා වෙනවා.
ප්‍රශ්නය
කරදියනාරු ප්‍රදේශය ආශ්‍රිතව ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති තරුණ තරුණියන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මේ ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් පිහිටුවීමට හැකියාවක් තිබෙනවාද?
පිළිතුර,
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ,
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්, කොණ්ඩක්කුඩා ප්‍රදේශයේ විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එමඟින් මේ පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදාවෙනවා. මීට අමතරව විවිධ ආයෝජන මත කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම ප්‍රදේශයේ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති යහපාලන ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍යවරයා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ ව්‍යාපෘති බව කිවයුතුයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එස්. වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමති ධුරයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේය.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ය.
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් දිවුරුම් දුන්නේය.
අනධ්‍යයන සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයක : අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසය.
මේ අතර දිවයින පුරා පිහිටි පාසල්, විද්‍යාපීඨ, අධ්‍යාපන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ භෞතික සම්පත් ආරක්ෂාව සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ බව ඉල්ලා තිබේ.
මෙවන් පසුබිමක් තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හුදු දේශපාලන ප්‍රවේශයක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.
පාසල් අනධ්‍යයන සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ දිය නොහැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය අද (23) පෙරවරුවේ විවෘත කරමිනි.
මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයාව දමිල චාරිත්‍රාණුකූලව පිළිගනු ලැබිණි.
පීත්ත පටිය කපා රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.
අනතුරුව පැවති උත්සව සභාවේ දී කෘෂි සංවිධාන සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ ද අද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති. පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව තිබේ.
රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මෙම වැඩසටහන කෘෂි නවීකරණ වැඩසටහනේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. අපේ රටේ වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලු ඉඩම් වගාව සඳහා යොදාගත යුතුයි. අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි. මෙරට ආහාර අවශ්‍යතාව පමණක් නොව අනෙක් රටවල ආහාර අවශ්‍යතාවය සඳහා ද කෘෂි බෝග අපනයනයට අප සුදානම් විය යුතුයි. ඒ තුළින් අපට ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට අපට නැවත විදේශ ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීම සඳහායි. අලුත් ආර්ථිකයක් ඇතිවන විට රටේ ගොවි ජනතාවට ද හොඳ ආදායමක් ලැබෙනවා.
අද මෙම කර්මාන්තශාලාව විවෘත කළා වගේම නවීන තාක්ෂණය සමඟ තමන්ගේ වගා කටයුතු සිදු කිරීමට කෘෂි සංවිධානවලට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබා දීමද සිදු කෙරුණා. ඉන්දීයාවේ ගොවින් මෙම වගා කටයුතු මෙහෙයවන්නේ තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය මඟින්.
රජයේ ඉඩම්වල ගොවිතැන් කරන අයට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ඊයේ දින එම වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඔබට ඉඩම් අයිතිය හිමිව තිබෙනවා. එහි ආඩම්බරය ඔබට දැනිය යුතුයි. ඒ වගේම අප දීප ව්‍යාප්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ආරම්භ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම ලබන වසර වන විට කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් ක්‍රමානුකූලව මේ රටේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම තුළින් ග්‍රාමිය ප්‍රදේශ දියුණු වෙනවා.
ඒ වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ද විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර මහවැලි ඒ සහ බී කලාප ඇතුළු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම දියුණු වෙනවා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
චීන නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීනයේ සිචුආන් පළාතේ උප ආණ්ඩුකාර සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් YE Hanbing ඇතුළු නියෝජිත පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවිය.
ශ්‍රී ලංකාවේ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස ප්‍රශංසාව පළකරන ලදී.
ඉදිරියේදී පරිගණක අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යා හැකි බැවින් කලාපීය රටවල් රැසක මේ වනවිට අවධානය යොමුවී ඇති බවත් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද චීන නියෝජිත පිරිස පෙන්වා දෙනු ලැබීය.
තාක්ෂණය,දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා වැඩසටහන් සිදුකීරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් එම නියෝජිත පිරිසගෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරියේදී චීනයේ සිචුආන් පළාතේ පැවැත්වීමට නියමිත පොලිස් සමුළුව සඳහා අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු මෙරට නියෝජිත පිරිසකට ඊට සහභාගී වන ලෙස ආරාධනයක්ද කරනු ලැබිණි.
මෙම අවස්ථාවට සිචුආන් පළාතේ ලෙෂාන් නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක DENG Hua සහ සියෑං නගරයේ උප නගරාධිපති සහ මහජන ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක ZHENG Xiaoqing මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන්ද එක්ව සිටියහ.
සියළුම පාසල්වල ව්‍යවසායකත්ව කව පිහිටුවීමට චක්‍රලේඛයක් !
රටේ ආර්ථික වර්ධනයට දායකවන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුළින්ම ඇති කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල ව්‍යවසායකත්ව කව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම අද (22) " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවේදී සිදු කරන ලදී.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයේ දාපසුගිය 2023 වසරේ ජුනි මාසයේදී පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වන විට පාසල් 400 ක සිසු දරුවන් 16 000 ක පිරිසක් මෙම පාසල් ව්‍යවසායකත්ව කවවල ක්‍රියාකාරීව කටයුතු කරයි.
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ,
ලංකාවේ අධ්‍යාපනය තවමත් දැනුම මත පමණක් පදනම්ව තිබීම විශාල ගැටලුවක් වන බවත්, මේ තත්ත්වය වෙනස් කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම නවීකරණය විය යුතු බවයි. එමෙන්ම රටක කර්මාන්ත සංවර්ධනයට පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදුකළ යුතු අතර එය පාසල් වලින් පටන් ගෙන විශ්ව විද්‍යාල කරා ගමන් කළ යුතු බවවත් විශ්ව විද්‍යාල වල සිදුකෙන්න පර්යේෂණ නිෂ්පාදන බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගත ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර අදහස් දක්වමින් සඳහන් කළේ,
ලංකාවේ ශ්‍රම බලකායෙන් 2.8% ක් වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට 10% ක් දක්වා ගෙන ඒමට ආ කර්මාන්ත අමාත්‍යංශය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී 2.8% ක් ලෙස පැවති ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2024 වසර වන විට 3.2% ක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් බවයි. එමෙන්ම මේ තත්වය ඉදිරියට ගෙනයාමට ව්‍යවසායක සංවර්ධනය මේ වන විට පාසල් විෂය ධාරාවන්ට ඇතුළත් කර තිබෙන බවත් ලංකාවේ ඇති වෘත්තිය නිපුණතා ආයතන 12 හරහා කර්මාන්ත වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ලංකාවේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වර්ධනය වූ විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වන බවද තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවට සමගාමීව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණතා සහිත වෘත්තිකයින් බිහිකිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ අවබෝධතා ගිවිසුමට එළබීමද සිදුකරන ලදී.
" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හතරවන දිනයේ සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා , වයඔ පලාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් W.A.P.K නිශාන්ත, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
Page 38 of 440