Ad

Ad 01

V2025

පුවත්

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය දෙන්න “රන්දොර උරුමය” ඇරඹේ !

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජිවත් වන ජනතාවට එම නිවසේ පූර්ණ අයිතිය හිමිවන අවස්ථාවටයි. ඒ වගේම උරුමය වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප එම සියලු දෙනාට උදව් උපකාර කළා.

එහිදි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය ලබා දිම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවසක අයිතිය ඉතා වැදගත් වෙනවා. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. එම බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන අපට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. නමුත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත්තේ නැතිනම් අපේ රට තවත් ලෙබනනයක්, කෙන්යාවක් බවට පත් වෙනවා.

අද රට තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා. වසර දෙකක් තුළදී මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අපට හැකි වුණා. මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව මා කාලයක් තිස්සේ ප්‍රකාශ කළ කරුණක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලුදෙනා එක් වුණා.

මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් වූ අවස්ථාවේ නිවසක වටිනාකම මට දැනුනා. එම පිරිස කිසිවෙකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නැහැ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වෙනවා. වෙඩි තිබා මිනිස්සු මරන එකට මම කැමති වුණේ නැහැ. එම නිවසේ තිබු මගේ පොත් පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා.

එම අවස්ථාවේ නිවසක වටිනාකම වඩා තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය ලබා දීම වෙනුවෙන් අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා උරුමය වැඩසටහන ගමට සිමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා.ගමේ ලක්ෂ 20ක ජනතාවට උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවසක උරුමය හිමි වෙනවා. ඔබ මෙම නිවස ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එය ලස්සනට පිරිසිදුව තබා ගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මෙය ඔබේ ජිවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා.

ජනතාවට හැකි තරම් සහන ලබා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලුදෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑ ගසා නොවෙයි. එම වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කරලා නොවෙයි. අරමුණක් තිබෙනව නම් එම අරමුණ ඔස්සේ වැඩ කළයුතුයි.

අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. අප සමෘද්ධි දීමනාව වගේ තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. ඒ වගේම රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස 02ක් ලබාදීමට කටයුතු කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. කෘෂිකර්මාන්තය දියුණු කළා. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පැවති රජයන්ට මෙම කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. නමුත් අපට මෙම වැඩකොටස සිදු කිරීමට හැකිවූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමතිවරුන්ට ස්තූති කළයුතුයි. අප සියලුදෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපට ණය ලබා දුන් නිල ණයහිමියන් සමග, චීනය එක්සීම් බැංකුව සමඟ මෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ අප එකඟතාවට පැමිණ තිබෙනවා. ඒ අනුව අපට ගෙවීමට තිබෙන ණයවලින් රුපියල් බිලයන 08ක් අඩු වී තිබෙනවා. ඒ වගේම 2042 වන තෙක් අපට ණය ගෙවීමට කාලය ලැබී තිබෙනවා. එසේ නම් අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යාමට කිසිවෙක් කැමතිවෙයි කියා මම හිතන්නේ නැහැ.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ආරක්ෂා කරගත්තේ නැතිනම් ඉදිරියේදී අපට රටක් ලෙස මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අපට හැමදාම ණය වෙන්න බැහැ. ඒ නිසා අප මුදල් උපයාගත හැකි අපනයන ආර්ථිකයකට යා යුතුයි. මෙම අරමුණු වෙනුවෙන් අප කැපවිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබේ අනාගතය අද පවතින්නේ ඔබේ අතෙයි. ඒ වගේම අපි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය යුතුයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට අපි විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාම ගිය අයට සහනයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මම මහා භාණ්ඩාගර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අයට සහනයක් ලබාදීම වෙනුවෙන් මේ වසර අවසන් වන විට අප මුදල් වෙන් කළ යුතුයි. ඉදිරියේදී පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කිරීමට නම් බැංකු පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් පොළිය අඩු වූ විට විශ්‍රාමිකයන්ට එමඟින් අවාසියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාද වැඩසටහනක් සකස් කරන ලෙස මහා භාණ්ඩාගර ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.
ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යාමට තිබෙනවා. අනාගත පරපුරට අවශ්‍ය සමාජය අප ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අපට කළහැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය ලබා දීම තුළින් අද අප සිදු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

2024 උසස් පෙළට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

එම දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

නොවැළැක්විය හැකි හේතූන් පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත ලබන 12 වැනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.

වර්ජනය නොකළ අයට වැටුප් වර්ධක දෙන අයුරු.......

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන  අද (10) පැහැදිලි කළේය.

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ, විධායක ශ්‍රේණියේ නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ඊයේ (09) කැබිනට් අනුමැතිය හිමිවුණි.

"වර්ජනය කරපු දිනවල... කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ නොවී දරුවන්ගේ පැත්තේ හිටගත්තු ගුරුවරුන්ට විතරක් 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමකුත්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප්වල වර්ධකයක් ලැබෙනවා."

"රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?"

විශ්‍රාම වැටුපට බල නොපාන ආකාරයට වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්මතයි !

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව රජය පවසයි.

UDA අධ්‍යක්ෂ ජනරාල් දොට්ට දාපු හේතුව එළියට !

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද  අවධාරණය කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 අයවැය යෝජනාවට අනුව කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය 04 වනදා පැවති සාකච්ඡාවක දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවයට නොගැළපෙන අප්‍රසන්න ආකාරයෙන් හැසිරුණු බවත් එය සමතයකට පත් කිරීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතේ ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තාවකාලිකව ඉවත් කිරීම සහ හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදව අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීම විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සදහන් කළේය.

පසුගිය 04 වනදා අදාළ සාකච්ඡාව පවත්වා ඇත්තේ මේ මස 17 වනදා කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීම ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රගති සමාලෝචනය සදහායි. විෂය භාර ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය යන ආයතන වල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍යාධිකාරී ඇතුලු සියලුම වගකිවයුතු නිලධාරීන් සහභාගී වූහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා ඇති අතර මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ දී ඒ සදහා වැය වන මුද්දර ගාස්තු හා නොතාරිස් ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණද මෙතෙක් එම ප්‍රතිපාදන නොලැබීම නිසා ඔප්පු ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමේ ගැටළුවක් තිබෙන බව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී ඇත. ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස තමන් ඒ සදහා මැදිහත්ව අදාළ මුදල ලබා දීමට කටයුතු කරන බවට තමන් මෙහිදී සහතික වූ බව අමාත්‍යාංශ ලේකම්වරයා කිවේය.

ඊට එකග නොවූ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම විෂය භාර අමාත්‍යවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිකර ගත් බවත් එය ඉතා අප්‍රසන්න තත්වයක් බැවින් එය සමතයකට පත් කර ගැනීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතෙන් ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.

අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාද සදහන් කළේ මෙම හිමිකම් ඔප්පු ප්‍රධානය දිගින් දිගටම ප්‍රමාද වීම වැළැක්වීම සදහා අමාත්‍යවරයා ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි . ඊට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකගතාවය පල නොකළ බව පැවසූ  සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විෂය භාර අමාත්‍යවරයා සමග ඇතිකර ගත්තේ අනවශ්‍ය ගැටුමක් බවයි. අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ ප්‍රතිපාදන ලබා දෙන බවට වගකීම භාරගත් පසු ඒ පිළිබදව දිගින් දිගටම තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැතත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය පිළි නොගෙන දිගින් දිගටම අනවශ්‍ය වාදයකට පෙළඹුනු බවද සභාපතිවරයා කීවේය.

සාකච්ඡාව සදහා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද කැදවූ අතර ඔහු සදහන් කළේ චක්‍ර ලේඛ උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේ දී බලකෙරුණු බවයි. අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා එය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් එවැනි බලපෑමක් එදින සාකච්ඡාවේ දී සිදු නොවූ බවත් අවධාරණය කළේය. දැනට විනයානුකූල පියවරක් ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කෙරුණු බවත් ඔහුට එරෙහිව ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මෙහිදී අදහස් පල කළ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද අවධාරණය කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී තමන්ටද විවිධ ගැටළු මතු වූ බවයි. ඒ අනුව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව විනයානුකූලව  පියවර ගැනීම මෙම රැස්වීමට සහභාගී වූ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද ඒකමතිකව අනුමත කළහ.

නීතිපති පුරප්පාඩුව : නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති ලේකම් ප්‍රතිචාර දක්වයි !

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්  විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක  පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත්, ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා  සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස්  වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම, 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් නීතිපති ධූරය සඳහා කිහිප දෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර, එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධූරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබිණ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

වර්ජනය තිබුණත් විශ්‍රාම වැටුප් වෙලාවට !

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස්  පැවසීය.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡන්ද දිනන්න බැරි පාර්ශ්ව රට අස්ථාවර කරන්න හදනවා

මැතිවරණ  ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  පැවසීය.

බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  මෙසේද පැවසීය,

නිදහසින් පසුව බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම රට වෙනුවෙන් උපරිම වැඩ කොටසක් සිදු කළ බව අප කවුරුත් සිහි තබා ගත යුතුයි. නමුත් දුර්වලතා ද පැවැතියා. කෙසේ හෝ මේ වන විට නිදහසින් පසුව එක දිගට තිබුණු පාලන තන්ත්‍රයේ දුර්වලතා විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඊට එක් උදාහරණයක් මෙසේ පෙන්වා දිය හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 වගන්ති දෙකෙහි සඳහන් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් පිළිබඳවයි. එනම් මහජනතාවට අයිතිවාසිකම් ලබා දිය හැකි ආකාරය ගැනයි. කෙසේ හෝ 27, 28 කුමක් සඳහන් වුවද 29 වගන්තියේ කිසිම වගවීමක් ඇති නොවීමටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂාවීම සඳහා නීතියෙන් කිසිම අයිතිවාසිකම් නොපැවරේය යන්න සටහන් වී තිබෙනවා. එපමණක් නොවෙයි, කිසිම අධිකරණයක් හෝ විනිශ්චයාධිකාරයක් මඟින් දේශපාලනඥයන් විසින් කරන ප්‍රකාශ ඉටුකරවා ගැනීමට අවස්ථාව නොමැති බව ද සඳහන් වී තිබෙනවා.

දැන් මේ තත්ත්වය තුළ තමයි රටේ දේශපාලන පක්ෂ එක දිගට මහජනතාවට බොරු පොරොන්දු දෙමින් රට විටින් විට කඩාගෙන වැටීමට ඇද දමා තිබෙන්නෙ.

මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නිසා වර්තමාන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 සහ 29 වැනි වගන්ති වගවීමක් ඇති කිරීමට හැකිවන පරිදි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පිටු 165 කින් සමන්විත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151, 152 කියන වගන්තිවල සඳහන් වන මහජනතාව විසින් තෝරාපත් කර එවන මන්ත්‍රීවරයාගේ ප්‍රධාන වගකීම වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගකීමයි. ඒ මූල්‍ය වගකීම දුර්වල වන්නේ දේශපාලන පක්ෂ විටින් විට සිදු කරන අසත්‍ය ප්‍රකාශ නිසයි. එම තත්ත්වය වළක්වමින් දේශපාලන පක්ෂ පවසන කාරණාවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා වාර්තා කිරීමට අයවැය කාර්යාලය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එතැනින් නොනැවතුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තිය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කළා. ඒ අනුව දැන් දේශපාලන පක්ෂ විසින් බොරු කියන යුගය අවසන් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජුනි 23 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දී රට වැටෙනවා පරිස්සමින් ක්‍රියා කළ යුතු බව පැවසුවා. ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු බව මෙන්ම, රට යන ගමන් මඟ වෙනස් කළ යුතු බව ද සඳහන් කළා. නමුත් එය එවකට පාලකයන් විසින් ඉටුනොකළ බැවින් අවසානයේ එම පාලනය අකර්මණ්‍ය වුණා.

අනතුරුව 2022 මැයි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ තනි අසුනක් පමණක් හිමිව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජූලි මාසයේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ඡන්ද 134 ක් ලබාගෙන අට වැනි විධායක ජනාධිපති හැටියට රටේ වගකීම බාරගත්තා.

එමෙන්ම දැනට අවුරුදු දෙකකට කලින් ජනාධිපතිතුමා භාරගත්තේ බංකොලොත් වූ රට ජාත්‍යන්තරයේ සහය ලබාගෙන ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කිරීමට සමත් වුණා.
නමුත් මේ ප්‍රශ්නය ඉවර නැහැ. මේ වන විටත් විදෙස් ණය ගෙවීම සඳහා 2027 වන තුරු කාලය ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස් සංචිතයේ ඩොලර් කෝටි 500 ක පමණ මුදලක් තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව ජීවත් කරමින්, ආදායම වැඩිවෙන ව්‍යාපෘති ආරම්භ කරමින් ආර්ථික පරිවර්තන පනත මඟින් රට ගොඩනැඟීමේ ඉලක්ක ලබා දී තිබෙනවා. ඊට අනුව 2027 වන විට ආර්ථික සංවර්ධන වේගය 5% ක ඉලක්කයක තබාගත යුතු බව නීතියෙන් නියම කර තිබෙනවා. එතැනින් නොනැවුතුණු ජනාධිපතිතුමා 2030, මෙන්ම 2042 දී ද කවුරු රට පාලනය කළත් එම දේශපාලන පක්ෂවල වගකීම නීතිගත කර තිබෙනවා.

ඒ වගේම අප කල්පනාවෙන් වැඩකළ යුතුව තිබෙනවා. යම් අයෙක් මෙවර රට වරදක් සඳහා තල්ලු කළහොත් අප ඒ අය කවුද කියා හඳුනාගත යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස බොරු කියන අයගේ ලේඛනයක් ගමේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. මහජනතාවට රවටන කණ්ඩායම්, බොරු පොරොන්දු දෙන කණ්ඩායම් මහජනතාව හඳුනාගත යුතුව තිබෙනවා.

මෙවර අප අතින් යළි වරදක් වුවහොත් ඒ වරද ආපසු හැරවිය නොහැකි බරපතල වරදක් බවට පත්වෙනවා. ඒ නිසා අප දැන් බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා.
එසේ නම් රටට පාලකයන් පත්කරගන්නා විට ශ්‍රී ලාංකික මහජනතාව සිතිය යුතු එක් කරුණක් තිබෙනවා. ඊළග ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කවුරුහරි සුදුස්සෙක් සිටිනවා නම් ඔහු සුදුසු වන්නේ කෙසේ ද යන බව ඔබ විසින් තීරණය කළ යුතුයි. ඒ නිසා මේ මෙහොතේ මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.
මේ වන විට ඇතැම් පාර්ශ්ව වැඩවර්ජනය කරනවා. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් අපොහොසත් නිසා ඒ අය ජයග්‍රහණය සඳහා රට අස්ථාවර කිරීමට සූදානම් වනවා.
වර්ජකයන් ඉල්ලා සිටින විදිහට වැටුප් වැඩි කිරීමට නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ ආකාරයට 18% වැට් බද්ද 21% ට වැඩි කළ යුතුයි. ඉන් සිදු වන්නේ වැඩ කරන ජනතාවගේ තේ කෝප්පය, බත් පැකට් එකට තව මුදලක් වැඩි වීමයි. එසේ වුවහොත් බංකොලොත්වුණු රට යළි භයානක තත්ත්වයකට ගමන් කිරීම වැළැක්විය නොහැකියි. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව සහාය ලබා නොදෙනු ඇතැයි ද අප විශ්වාස කරනවා.

ජුලි 08 සහ 09 සේවයට වාර්තා කළ අයට විශේෂ වැටුප් වර්ධකයක්

රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදී.

දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු කළේය.

පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබිණි.

පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැත. අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැක.

කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.

CLUB වසන්ත ඝාතනය ගැන පොලිස් නිවේදනය මෙන්න !

අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයකු ඝාතනය කෙරුණු සිදුවීම සඳහා වෙඩික්කරුවන් පැමිණි වාහනය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කඩුවෙල කොරතට ප්‍රදේශයේ මාර්ගයක් අසල මෙම වාහනය දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.

ගායන ශිල්පිනී කේ සුජීවා ට අයත් ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් ඇයද තුවාල ලබා බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

2024-07-08 වන අද දින උදෑසන කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ කඩුවෙල පාර, අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මරණකරුවන් අවුරුදු 55 හා 38 වයස් වල පසුවන කොළඹ 07 හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රථිකාර ලබයි.

සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩි තැබීම සඳහා ටී 56 ගිණි අවි 02 ක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේ දී අනාවරණය වී ඇත. අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

ලෙනවගේ පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි !

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 ක් බව පැහැදිලි යැයි පෙන්වා දුන් අතර මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය මූලික විරෝධතා මතු කළාය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණ වලට පමණයි.ඒ නිසා පෙත්සම්කරුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් හැකියාවක් නෑ. පෙත්සම්කරු ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු විසින් අනුමත කොට නීතියක් බවට පත් වී තිබෙනවා. එවැනි නීතිගත වූ කරුණකට එරෙහිව කිසිදු අධිකරණයක් නඩු පැවරීමට හැකියාවක් නැහැ. එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණේ කෙසේදැයි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔහුගේ පෙත්සම පදනම් විරහිතයි " එම නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැහැ'

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළේය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 යටතේ මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණයකට පමණයි. පෙත්සම්කරුට එවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හැකියාවක් නෑ. මෙම පෙත්සම තුළ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නෑ." එම නිසා පෙත්සම මුල් අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

එය සලකා බැලීමට තරම් පදනමක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය. හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ ජනාධිපතිවරණය සමයේදී එම ජනාධිපතිවරණය අත් හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු විසින්ම රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නේය.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව 2019 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

තවත් අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු එය ක්‍රියාත්මක වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් 30(2) වගන්තිය සංශෝධනය කර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට 05 දක්ව අඩුකර තිබෙනවා. දින තුනක් විවාදයකින් පසුව පාර්ලිමේන්තුව එය සම්මත කළා. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියකට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැහැ." යනුවෙන් සඳහන් කළේය.

තවත් අතරමැදි පෙත්මක් ඉදිරිපත් කර තිබූ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පදනම් විරහිත බවත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඉල්ලා සිටියේය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ භාවයෙන් ඉවත් කර තිබෙන පුද්ගලයෙකු යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ජනාධිපතිවරයාට වසර හයක කාලයක් නිලයේ සිටිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් එය අධිකරණයට කළ බලපෑමක් බවත් ජනාධිපති නීතිඥ වීරකෝන් පෙන්වා දුන්නේය.

පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මෙම පෙත්සම්කරු 2019 වසරේ ද මේ ආකාරයෙන්ම පෙත්සමක් ඉදිරිපත් කළා. එම තීන්දුවේ පිටපත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව කිසිදු කරුණක් පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර නෑ. කරුණු වසංකර තිබෙනවා. එම නිසා මෙම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමීල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පෙත්සම්කරු සිය පෙත්සමේ තමන් ඡන්ද දායකයෙකු බව ප්‍රකාශ කර නෑ. 2019 වසරේ ජනතාව ඡන්දය ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව දැනගෙනයි. එසේ නම් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙත්සම්කරු කියන්නේ කෙසේද? පෙත්සම්කරු මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ කූට අරමූණකින් යුතුවයි." එම නිසා දැඩි ගාස්තුවට යටත්ව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටියි

ඉන් අනතුරුව පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව මා සඳහන් කරනවා." යනුවෙන් කියා සිටියේය.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්නයක් යොමු කරමින් "ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

"ස්වාමීනි... ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 යි. එම නිසයි මෙම නීතිවිරෝධී ජනාධිපතිවරණයට එරෙහිව නඩු පැවරුවේ." යනුවෙන් පෙත්සම්කරු පිළිතුරු ලබා දුන්නේය.

විනිසුරු විජිත් මලල්ගොඩ ප්‍රශ්නයක් මතු කරමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔබ එය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළා?

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු "නැහැ.. ස්වාමීනි.." යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී විනිසුරු මළල්ගොඩ පෙත්සම්කරු අමතමින් "ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් තිබුණා නම් ඔබ එය අභියෝග කළ යුතුව තිබුණේ එම අවස්ථාවේ දී. ඔබ එම අවස්ථාවේදී එය කළේ නැහැ. දැන් අධිකරණයට පැමිණ අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම තුළ පදනමක් නැහැ" යනුවෙන් කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරු අමතමින් "ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය කියවා තිබෙනවාද? 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. ඉතින් ඔබ දැන් ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නේ කොහොමද?" යනුවෙන් විමසීය.

විනිසුරු විජිත් මළල්ගොඩ යළිත් ප්‍රශ්නයක් මතු කරමින් "සම්මත වූ නීතියක් යළි ප්‍රශ්න කරන්න කියලද ඔබ අපට කියන්නේ" යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සිට 86 දක්වා තිබෙන වගන්ති වලින් අධිකරණය සම්මත කළ නීතියක් සම්බන්ධයෙන් පවා යළි සලකා බැලීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. මෙම ක්‍රියාවලිය අධිකරණය අතින් සිදුවූ වරදක්." යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරුට තරයේ අවවාද කළ විනිසුරු විජිත් මළල්ගොඩ නීතියට අනුව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය ලබා දුන් අවස්ථාව වැරදි ලෙස පරිහරණය නොකරන ලෙසත් දන්වා සිටියේය.

ඉන් අනතුරුව අගවිනිසුරුවරයා පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒක අභියෝගයට ලක් කරමින් ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළාද? යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු තමා එම අවස්ථාවේදී අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් නොකළ බව ඔහු සඳහන් කළේය.

නැවතත් පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා "ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළේ නැහැ. එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා. ඒවා පිළිබඳ පූර්ණ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය තම නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිගමනවලට අනුවයි පාර්ලිමේන්තුව අදාළ පනත සම්මත කළේ. එය දැන් නීතියක් බවට සම්මත වී හමාරයි. සම්මත වූ නීතියකට එරෙහිව මෙයාකරයෙන් නඩු පැවරීමට හැකියාවක් නෑ. ඔබ 2019 වසරේදීත් මේ ආකාරයේ නඩුවක් ගොනු කර තිබුණා. එය අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඔබ එහි තීන්දුවේ පිටපත් ලබා ගත්තාද?" යනුවෙන් ප්‍රශ්න කළේය.

'ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද?'

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරු සඳහන් කළේ තමා එම තීන්දුවේ පිටපත් ලබා නොගත් බව ය.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙත දෝෂාරෝපණ එල්ල කළ අගවිනිසුරුවරයා

"ඔබ වගකිවයුතු පුරවැසියෙක් නම් ඔබේ නඩුවේ තීන්දුවේ පිටපත ලබාගෙන කියවිය යුතුව තිබුණා. එහෙත් ඔබ එසේ කර නැහැ. එසේ නොකොට මේ ආකාරයෙන් නඩු පැවරීම යුක්ති සහගත නෑ." යනුවෙන් කියා සිටි අතර පදනමකින් තොරව අධිකරණයට පැමිණ අධිකරණයේ කාලය නාස්ති කිරීම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කරු ඇමතු අගවිනිසුරුවරයා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද? යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු එය තමා පිළිගන්නා බව අධිකරණය හමුවේ පැවසීය.

ඉන් අනතුරුව අගවිනිසුරුවරයා කරුණු දක්වමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 05 ක් බව පැහැදිලියි. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. එසේ තිබියදී මේ වගේ නඩු පවරා ඇයි අධිකරණයේ කාලය කා දමන්නේ" යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු එස්. තුරෙයි රාජා පෙත්සම්කරු අමතමින් “2019 වසරේ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස මා කටයුතු කළා. එහිදී ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අපි පියවර ගත්තා. එසේ තිබියදී ඔබ එම කාරණයම යළි අධිකරණයට ගෙන ඇවිත් තිබෙනවා. එදා පැවති නඩු විභාගයේදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඔබට ප්‍රශංසා කළ බව ඔබ ඔබගේ දේශනවලදී සඳහන් කළා. ඒක වැරදියි. එදා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා ඔබට කියා සිටියේ නීතිය හරියාකාරව දැනගෙන කරුණු දක්වන්න කියලයි. එය ප්‍රශංසා කිරීමක් ලෙස තේරුම් ගන්න එපා."යනුවෙන් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම පැය භාගයකින් පමණක් කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම පවරා පවත්වාගෙන යාමට තරම් සාධාරණ පදනමක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බව ය.

මෙම පෙත්සම්කරු විසින් 2019 වසරේ මේ ආකාරයෙන් නඩුකරයක් ගොනු කිරීමට පියවර පියවර ගෙන තිබියදී ඒ බව සඳහන් නොකොට යළි ඒ හා සමාන නඩුකරයක් ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයේ කාලය නාස්ති කිරීමක් කරන බවත් ඒ අනුව පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුව මසක් තුළ අධිකරණයට ගෙවිය යුතු බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.

අතරමැදි පෙත්සම්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබුණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර ඇති බව ය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දෙති.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවටත් ඔවුහූ චෝදනා කරති.

එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නීතියක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත් අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ඡන්දය වැළක්වීමට අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. "යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ "2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි" යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය - BBC සිංහල

අද ලෝකය ඉදිරිපත් කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා

බුදු දහම සහ මේ වන විට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනිමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ අද (08) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් විසින් සිදු කළ සුවිශාල කැපකිරීමකින් පසු 1802 වසරේදී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණි. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී, අතිපුජ්‍ය දවුල්දෙණ ඥානීස්වර, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ආදී මහා යතිවරයාණන් වහන්සේලා අමරපුර මහා නිකායට නායකත්වය දුන්හ.

වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ සියලුම ආදිකර්තෘන් වහන්සේලා සිහිකරමින් අමරපුර දිනය සමරනු ලැබු අතර සබරගමුව අමරපුර සාමග්‍රී සංඝ සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, වැඩබලන උත්තරීතර මහානායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමින් වහන්සේ උත්සවයේ මුලසුන හෙබවූහ.

අමරපුර මහා නිකාය නියෝජනය කරන පාර්ශ්ව 22 සියලුම මහානායක හිමිවරුන් මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලාට උපහාර පුද කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශාසන අභිවෘද්ධිය සහ රට වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් සහ අමරපුර නිකායේ සියලුම පාර්ශ්වවල ආශිර්වාදය පළ කරමින් ජනාධිපතිවරයා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්විණි.

මෙයට සමගාමීව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා වෙත ‘ජනහිතකාමී ශාසනබන්ධු’ ගෞරව නාමය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමිපාණන් වහන්සේ විසින් පිරිනැමූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අමරපුර මහා නිකාය ආරම්භ කිරීමෙන් පසු ආදි කර්තෘවරුන් සිහි කිරීම සාම්ප්‍රදායිකව සිදු වෙනවා. අමරපුර නිකාය නවීන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටසක්. අපේ මහකරාවේ ශ්‍රී ඥානවිමලතිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම අරමරපුර මහා නිකාය ආරම්භ කෙරුණා. මේ රටේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධයත්, සිංහල ව්‍යාපාරයේ ශක්තියත් යන දෙකම එක් කර ගනිමින් 20 වන ශතවර්ෂයේ දී ආගමික, දේශපාලනික හා සමාජයීය යන සෑම ක්ෂේත්‍රයකම මතය නියෝජනය කරමින් ලංකාවේ සමාජ ක්‍රමය හැඩ ගැසුණා.

එහිදී අමරපුර මහා නිකායෙන් සිදු වූ සේවය ඉතා වැදගත් කොට සැලකිය යුතුයි. මේ රටේ ඉතිහාසයේ ගොඩනැගීම වෙනුවෙන් ඇති වූ බලවේගයක් ලෙස අමරපුර නිකාය හැදින්විය හැකියි.

අද අප සිටින්නේ විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයකයි. සිතාගත නොහැකි අන්දමින් අද ලෝකය වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම මුළු ලෝකයම කෘතිම බුද්ධිය පිළිබඳ අවධානය යොමු කර තිබෙන අවස්ථාවක අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. තවත් වසර 05ක්-10ක් යන විට කෘතීම බුද්ධි තාක්ෂණය සහ මනස අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අපට පුළුල් අවධානයක් යොමු කිරීමට සිදු වෙනවා. විශේෂයෙන් බුදු දහම සහ කෘතීම බුද්ධි තාක්ෂණය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මත වැඩසටහනක් ආරම්භ කිරීමට මම තාක්ෂණික අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ පිළිබඳ මහා සංඝරත්නය සහ ගිහි පිරිස සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

අද අපි සමාජක් ලෙස ඉදිරියට යා යුතුයි. එහිදී අපට පසුබැසීමට බැහැ. අපේ රටේ කීර්තිමත්ම යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයේදී මහාවිහාරය, ජේතවනාරාමය, අභයගිරිය වැනි ප්‍රධාන පිරිවෙන් බිහි වුණා.

එදා ගිහි පැවදි සියලුදෙනා අධ්‍යාපනය ලැබුයේ මෙම පිරිවෙන්වලින්. මහාසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශ්ව කර්ම ඉදිකිරිම් සිදු කිරීමට එදා අපේ ජනතාව දැනුම ලබාගත්තේ මෙම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බව කිවයුතුයි. ඒ වගේම වත්මන් ඉංජිනේරුවන් පවා පුදුම කරවන අපේ විශිෂ්ට වාරි සංස්කෘතියත්, සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණත් බිහි වුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසයි.

නවීන දැනුම සහ මෙම විශිෂ්ටතා එක් කර ගනිමින් අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අද පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බුද්ධ දේශනාව තුළ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ගතව තිබෙනවා. පරිසරය රැක ගැනීම පිළිබඳ අප කුඩා කාලයේ සිටම ඉගෙන ගෙන තිබෙනවා.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ ත්‍රිපිටකයේ ඇතුළත් කරුණු සහ අද තිබෙන විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධකම විමසා බැලීමට රජයක් ලෙස අපේ අවධානය යොමුව තිබෙනවා. එය රජයට තනිව කළ නොහැකි අතර සියලුදෙනා එක් වී එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය සමඟ එක්ව මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අප දැනට සාකච්ඡා කරගෙන යනවා. ලුම්බිණිය මහාමයා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළේ‍ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ කනින්හැම් මහාචාර්යවරයා. මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අප එතුමා සමඟ සාකච්ඡා කර තිබෙනවා. මෙම කටයුතු අවසන් වන විට වසර 20-25ක් ගතවුවත් අපේ ඉතිහාසය මතු පරපුරට දායාද කිරිම වෙනුවෙන් අප මෙම කටයුතු සිදු කළ යුතුයි.

ඒ වගේම යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලබන සතියේ මෙරටට පැමිණෙනවා. මුළු අනුරාධපුර නගරයේම කැණිම් කටයුතු සිදු කිරීම පිළිබඳ මම එතුමියගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වසර 50ක්වත් ගත වනු ඇති බව අපේ මාහාචර්යවරුයෙකු ප්‍රකාශ කළා. ඊජිප්තුව වසර 100ක් ගිහින් තවමත් එම කැණීම් කටයුතු අවසන් කර නැහැ.

එසේම අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම වෙනුවෙන් අලුත් ආයතනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනය හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.

මෙම කටයුතු ඒ සඳහා පමණක් සීමා කරන්නේ නැහැ. මහායන බුදු දහම ඇතුළු සියලු ධර්මයන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළයුතු වෙනවා. තවදුරටත් ඉදිරියට යමින් නැති වුණ නිකායන් පිළිබඳවද තොරතුරු අධ්‍යයනය කළයුතුයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ සමයේ තිබුණු ආගම් පිළිබඳව එනම් ආලාර, කාලාම, උද්දකරාම පුත්‍ර මේ සියලුදෙනා පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. දර්ශනය, ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම බෞද්ධ දර්ශනයට අදාළ භාෂා පිළිබඳ අවධානය යොමු කළයුතුයි. පාලි, සංස්කෘතික, චීන ඇතුළු භාෂා දැනුම ලබා ගැනීම අවශ්‍යයි. එසේම අද ලෝකයේ තිබෙන අනෙකුත් ආගම් පිළිබඳව ද දැනුම ලබාගත යුතුයි. තවත් වසරක් පමණ ගත වන විට මේ සඳහා නව ආයතනයක් ඇති කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. බුදු දහම සහ අප ගමන් කරන නවීන තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් තිබෙනවා. එම සම්බන්ධතාව අවබෝධ කරගනිමින් අප ඉදිරියට යාමට කටයුතු කරමු.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, වැඩ බලන මහානායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ,

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ආදි කර්තෘවර පරම පූජනීය වැලිතර ඥානවිමලතිස්ස නා හිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රධාන මහ නායක හිමිපාණන් වහන්සේලා වෙත උපහාර පුද කිරීම මෙහිදී සිදු වෙනවා.

අමරපුර සංඝ සභාව එදා සිට මේ දක්වා අප රටට සිදු කළ ශාසනික මෙහෙවර අතිවිශාල බව පැවසීය යුතුයි. මෙම අවස්ථාවට වැඩම කළ තෛනිකයික මහ නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය කෘතවේදීව සිහිපත් කරනවා කරනවා.

උතුම් ධර්මය විනාශ කරන චීවරධාරීන් ඇතුළු ගිහි පිරිස් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කාලය එළැඹ තිබෙනවා. පන්සල ගමේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට අප කටයුතු කළයුතුයි.

ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරය ඇතුළු විහාරගනයේ නායක, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්ම දින්න නායක හිමිපාණන් වහන්සේ, සබරගමු අමරපුර සාමග්‍රී දිස්ත්‍රික් මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්වල මුදිත නායක හිමිපාණන් වහන්සේ, රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය දිවියාගල විජිතසීහ ස්වාමින්වහන්සේ යන ස්විමාන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය ද, අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි, සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, හිටපු කතානායක කරු ජයසූරිය, සබරගමුව පළාත් සභා ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ වර්ජන : යන්තම් ගොඩදාපු රට ආයෙත් වට්ටන්නද ?

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

2022 වර්ෂයේ සිට විශාල ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ රාශියක් අප අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවට පනත් රැසක් ඉදිරිපත් කළා මෙන්ම තවත් පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඒ වගේම ලෝක බැංකුවේ සහයෝගය ඇතිව 2020 – 2030 ඩිජිටල් ආර්ථික සැලැස්ම එළි දැක්වීම ද සිදුකළා. අද වන විට පවතින අමෙරිකානු ඩොලර් බිලියන 3ක ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම හෙට (09) දිනයේ පාර්ලිමේන්තුවේ දී විදුලි සංදේශ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වනවා. මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන්නේ වසර 28 පසුව බව ද සඳහන් කළ යුතුයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකතන සමාගම් අතර තරඟකාරීත්වය සාධාරණ තරඟකාරීත්වයක් බවට පත්කිරීම ද මෙහි එක් අරමුණක් වනවා. මීට පෙර විදුලි සංදේශ පද්ධති බලපත්‍රයට පමණක් මෙම පනත සීමා වී තිබුණා. ඒ අනුව සංශෝධන අනුමත කරගැනීමෙන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ද වෙනස් වනවා.

ඒ වගේම ඉදිරියේ දී චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වනවා. සමුද්‍ර කේබල් සේවාව සඳහා බලපත්‍ර ලබාදීමට සහ නියාමනය කිරීමට ද අප කටයුතු සූදානම් කරමින් තිබෙනවා. තාක්ෂණ ප්‍රවර්ධන පනත ද මෙම වසර තුළ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

එමෙන්ම තාක්ෂණ හා නවෝත්පාදන කොමිසම පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා. එමඟින් රටේ ඇති සියළුම සංවර්ධන සහ නවෝත්පාදන සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම සිදුවනවා. පර්යේෂණ වාණිජකරණය කිරීම මෙන්ම උපදෙස් ලබාදීම ද ඒ හරහා සිදු කිරීමට නියමිතයි.

තවද මේ වන සිදු කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව සියළුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා සිටිනවා. එම දීමනාව ලබාදීමට නම් වර්ෂයකට තවත් රුපියල් බිලියන 280ක පමණ වියදමක් දැරිය යුතු වනවා. රට පවතින තත්ත්වය හමුවේ එම වියදම් සොයා ගන්නා ආකාරය විපක්ෂය සඳහන් කළ යුතුයි.

ඒ වගේම මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩ වර්ජන දියත් කිරීම හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමිකර තිබෙනවා. එහි අවසන් ප්‍රතිපලය භුක්ති විදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට බව වර්ජනයේ නිරත පිරිස් වටහා ගත යුතුයි.

මෙම වර්ෂය තුළ දී අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 11ක් ලබාදිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙනවා. මෙම උද්ඝෝෂණ මඟින් විපක්ෂයේ පාර්ශ්ව බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබිය යුතුව තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතුයි

රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන  පැවසීය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ඔහු රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගද මෙහිදී අදහස් දැක්වු අතර මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඔහු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වැටුප් වැඩිකරන ක්‍රමවේදයක් කියන්න : හාල්පාරු වෘත්තීය සමිති නායකයන්ට අභියෝගයක් !

මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂවලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය  පැවසීය.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් මුදල්  රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි.

මීට වසර දෙකකට පමණ පෙර 1372000(දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහසක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ රාජ්‍ය  අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක වැටුප රු. 10000 කින් වැඩි කිරිමට කටයුතු කළ බවද සඳහන් කළේය.

හැකියාවක් පවතී නම් එය තවත් වැඩි කළ යුතු බව තම අදහස බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ එක් එක් , විවිධ කොටස්වලට සීමා වූ ප්‍රශ්න රාශියක් ඇති බව පිලිගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී සිදුවන්නේ තවත් වියදම් කිරීමක් බැවින් එමඟින් ඇතිවන්නේ භාණ්ඩාගාරයට වැය බරක් ඇති වීම බව සඳහන් කළ රාජ්‍ය  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ගත් දැඩිව බැඳුනු තීන්දු ක්‍රියාත්මක කිරීමට දැඩිව රජය බැඳී සිටින බවද සඳහන් කළේය.

ඒ අනුව එක් එක් කණ්ඩායම්වල ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් සෙවීමේදී තවත් ප්‍රශ්න රාශියක් උද්ගත වන බව පෙන්වා දුන් රාජ්‍ය  අමාත්‍යවරයා , මෙම සියළු ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර 2025 අයවැය මගින් එම විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මෙහිදී පැවසීය.

රට වැටී තිබුණු තත්ත්වයේ සිට නැගිටිමින් සිටින මොහොතක ,තම තමන්ගේ වගකීම , රට තිබෙන තත්ත්වය, ගමන් කරන ධනාත්මක තත්ත්වය සියලු දෙනා තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බවද එහිදී ඒ මහතා  පැවසීය.

වෘත්තීය සමිති 200ක්  ජුලි 8-9 ලෙඩ වෙයි : විසඳුමක් නැත්නම් දැඩි ක්‍රියාමාර්ග !

රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් හෙට (8) සහ අනිද්දා (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වාර්තා වෙයි.

ඒ අතර සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් සේවයට අයත් වෘත්තීය සමිති තිබෙන බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිත එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේ 8-9  දෙදින  අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බවය.

සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්න වන බවත් ඔහු සඳහන් කළේය. 
ජීවන වියදම ඉහළ යාම, බදු බර වැඩිදීම මත ඇතිවූ ආර්ථික පීඩනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරමින් රුපියල් 25000ක දක්වා දීමනාවක් වැඩිකර ඇති බවත් ඔහු  පැවසීය.

ජීවන වියදම හා බදු බර ඉහළ යාම සමස්ත රාජ්‍ය සේවකයින් විශ්‍රාමිකයන් පීඩාවට පත්ව ඇති බැවින් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සහ විශ්‍රාමිකයන් සියලු අංශ නොසලකා ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් විධායක සේවයේ ශ්‍රේණීන් සඳහා රුපියල් 25000ක් දක්වා දීමනා වැඩිකර ලබාදීමට ආණ්ඩුව පදනම් කරගත් කරුණු පදනම් කරගෙන සෙසු සේවකයින්ටත් ඒ සාධාරණය ඉටු කිරීම සඳහා රුපියා 25000ක දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බවත් සූරියආරච්චි පැවසීය .

මෙම  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට  ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත්  පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  චන්දන සූරියආරච්චි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජිකයෙක් මෙන්ම මාලිමාවේ ප්‍රබලයකු වන බවත් මේ මොහොතේ ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක ඔහු නිරතවෙන බවක් නිරීක්ෂණය වන බවයි.

සම්බන්ධන් සහ මා නිරතුරුවම නොබෙදුනු ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියා - ජනපති 

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන්  ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවත්, සම්බන්ධන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ආර්. සම්බන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමිනි.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිවරයා ඔහුගේ අභාවය තමාට දිගුකාලීන මිතුරෙකුගේ අහිමි වීමක් බවද සඳහන් කළේය.

ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම කථා කළ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙන බවත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ තිබෙන ප්‍රශ්න නීතියෙන්ම විසඳීමට එම කොමිසමට බලයට ලබා දීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතාගේ භූමිකාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා විපක්ෂ නායකයෙකු යනු විකල්ප අගමැතිවරයා බව සඳහන් කළ අතර, ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් නියම විපක්ෂ නායකයෙකුගේ ගුණාංග ප්‍රකට කළ බව ද සඳහන් කළේය.

මේ අතර මැතිවරණ පිළිබඳව ද අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ කවුරු අධිකරණය හමුවට ගියද මෙම වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සමඟ මට දිගුකාලීන මිතුරෙක් අහිමි වී තිබෙනවා. මම එතුමා හඳුනාගත්තේ මීට වසර 50කට පෙර එතුමා නීතිඥවරයෙකු ලෙසත්, මම නවක නීතිඥවරයෙකු ලෙසත් කටයුතු කළ අවස්ථාවේ. 1977 සම්බන්ධන් මහතාත් මමත් නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා.

එම පාර්ලිමේන්තු මැතිවරණයේ දී මම සහාය ලබා දුන්නේ ත්‍රිකුණාමලයේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික නවරත්නම් මහත්මයාටයි. නමුත් එම තරගයෙන් සම්බන්ධන් මැතිතුමා ජයග්‍රහණය කළා.
විශේෂයෙන්ම වෙනම රාජ්‍යයක් ඇති කළ යුතුයි කියන යෝජනාව අනුව එදා පාර්ලිමේන්තුව දෙකට බෙදිලා තිබුණා.

සම්බන්ධන් මැතිතුමාට ආණ්ඩුවේ මන්ත්‍රීවරු සමඟ විශේෂ සම්බන්ධකමක් තිබුණා. එතුමා සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ මේ රට බෙදන්න බැහැ කියලා, එතුමා කිව්වා ෆෙඩරල් ක්‍රමය දෙන්න නැත්නම් අප ඇති කළ දිස්ත්‍රික් සභා ක්‍රමයට වඩා බලතල ලබා දෙන්න කියලා.

අප අතර ප්‍රශ්නයක් තිබුණා. මම ත්‍රිකුණාමලයේ ඉඩමක් තරුණ සේවා සභාවට පවරාගත් අවස්ථාවේ අප අතර පාර්ලිමේන්තුවේ විවාද පවා ඇති වුණා. එතුමා මෙය පාලනය කිරීමට ගත් උත්සාහයත්, අප ගත් උත්සාහයක් සාර්ථක වුණේ නැහැ. 1983 වසරේදී එතුමා ලංකාවෙන් පිටත් වෙලා ගියා. එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු අප නැවත සම්බන්ධකම් ඇති කරගත්තා. 2009 වසරේ ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට අදාළව මට එතුමා සමඟ නැවත වැඩ කිරීමට අවස්ථාව ලැබුණා.

එතුමා කිසිවිටක වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැහැ. හැම වෙලාවෙම කිව්වේ සියලුදෙනා එකට සිටිය යුතුයි කියලා. දෙමළ ජනතාව දුක් විඳිනවා, ඔවුන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳිය යුතු බව එතුමා ප්‍රකාශ කළා. අපි මැතිවරණවලදී එකට කටයුතු කර තිබෙනවා වගේම පොදු අපේක්ෂකයන්ට සහාය ලබා දී තිබෙනවා. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අප සියලුදෙනා එකතුවෙලා වැඩ කළා. ඊට පෙර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වැඩ කටයුතු කළා. මම එතුමා සමඟ නිතරම අතීත සිදුවීම් පිළිබඳ, ඒ වගේම දේශපාලනය ගැන කථා කරනවා. එතුමා 1948 මේ රට නිදහස ලබා ගන්නා අවස්ථාව දුටු එකම මන්ත්‍රීවරයා. ඒ වගේම අප දේශපාලනය ගැන කථා කළා.

ඉන් අනතුරුව එතුමා විපක්ෂනායකයා ලෙස කටයුතු කළා. එතුමා එතනදී තම චරිතය මැනවින් පෙන්නුම් කළා.

එතුමා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරලා ඒ පිළිබඳ කටයුතු කළා පමණක් නොවෙයි එතුමා විපක්ෂනායකවරයා ලෙස සියලු ලාංකිකයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. එතුමා එම අවස්ථාවේ කටයුතු කළේ නියම විපක්ෂ නායකයෙක් ලෙසයි. නියම විපක්ෂ නායකයෙක් කියන්නේ විකල්ප අගමැතිවරයෙක්.

2018 වසරේ ආණ්ඩුව තුළ ඇති වූ අර්බුදයේ දී මට අගමැතිකම අහිමි වූ අවස්ථාවේ එතුමා විපක්ෂ නායකයා ලෙස නියම නායකත්වය පෙන්නුවා. වෙනත් හේතු නිසා අපේ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ විශේෂයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අපට දේශපාලන විසඳුම් ඉදිරිපත් කිරීමට පසුබිමක් තිබුණේ නැහැ.

මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ප්‍රශ්න පිළිබඳ එතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ මන්ත්‍රීවරු සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී ඉතා වැදගත් අදහස් කිහිපයක් එකතු වුණා.

අප දෙදෙනාගේම එකඟත්වය වුණේ නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමයි. මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් මට මූලිකත්වය ලබා දීමට සිදු වුණා. ඒ නිසා අපේ සාකච්ඡා අවසන් මාස කිහිපය තුළ කල් තැබීමට සිදු වුණා.

මෙම පාර්ලිමේන්තු සතියේදී මෙම සාකච්ඡා නැවත ආරම්භ කළ හැකිද කියා මම සොයා බැලුවා. නමුත් එම අවස්ථාව ලැබෙන්නට පෙර සම්බන්ධන් මැතිතුමා අප අතරින් වෙන් වුණා. නමුත් අප මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යමින් ඒවා අවසන් කළයුතුයි. ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. තමන්ගේ ගම්මාන අත්පත් කර ගැනීම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නීතියෙන්ම එම ප්‍රශ්න විසඳීමට මෙම කොමිසමට බලයට ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. නමුත් දැන් අප සාකච්ඡා කර තීරණය කර තිබෙන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමටයි. කවුරු අධිකරණයට ගියත් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වනවා. ඊළගට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන අතර ඉන් පසුව පළාත් සභා මැතිවරණය පැවත්වෙනවා.

අලුත් ක්‍රමයේ පවතින ගැටළුකාරී තත්ත්වය නිසා පැරණි ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලිම් ඉදිරිපත් වුණා. ඒ සඳහාත් අප අතර එකඟත්වයක් පැවතියා.

 කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රීකම තබාගෙන මේ සඳහා තරග කිරීමට ඉඩ ලබාදීමට තීරණය වුණා.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් පොලිස් බලතල නොමැතිව අනෙක් බලතල ගණනාවක්
මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ දැන් සිටින ප්‍රධාන ඇමතිවරු සමඟ සාකච්ඡා කරනවා. වෙනත් බලතල ගැන ඉන් පසුව සාකච්ඡා කළ හැකියි.

අලුත් යෝජනාවක් ලෙස ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන්නේ බලය බෙදා හැරීමේ දී 13 වන සංශෝධන රාමුව තුළ උපරිම බලය විමධ්‍යගත කිරීමටයි. ඒ වගේම නවාස් කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කිරීමට තිබෙනවා. විදේශ ඇමතිතුමා මට දැනුම් දී තිබෙනවා සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් සභා පනත් කෙටුම්පත (TRC) ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා කියලා.ඊට අමතරව ජන සභා ක්‍රමය පිළිබඳවත් අප දැන් සාකච්ඡා කර එකඟත්වයකට පැමිණ තිබෙනවා. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යමින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

සම්බන්ධන් මැතිතුමා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ නායකයෙක්. සම්බන්ධන් මැතිතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. අප දෙදෙනාම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ පුද්ගලයන්. ඒ සඳහා අප දෙදෙනා එකඟත්වයෙන් යුතුව සාකච්ඡා ඉදිරියට ගෙන ආ අතර එම කටයුතු අවසන් කිරීමට සියලුදෙනාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජා, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ. අන්නමලෙයි යන මහත්වරු ඇතුළු ඉන්දිය නායකයන් කිහිප දෙනෙක්  ද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියහ.

එසේම  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා, එස්. රාසමාණික්‍යම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස, යන මහත්වරු සහ දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම : ජූලි 12  සිට දිස්ත්‍රික් මට්ටමින් !

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිතය.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා අ.පො.ස (උ/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කර ඇත.

අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමගින්‍ රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊලඟ මස සිට අ.පො.ස. (උ/පෙළ) ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වන අතර තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමට කටයුතු කරන අතර, ඊලඟ මස සිට මසකට රු 3000/- බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලැබේ.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුව Follow/Like කර තබාගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

Page 34 of 440