Language Switcher

Ad

Ad 01

V2025

ගෝලීය උතුරේ අධිපතිභාවය ප්‍රශ්න කිරීම වරදක් ද?

ගෝලීය උතුර විසින් ගෝලීය දකුණ දෙවැනි තැන ලා සැලකීම අනාදිමත් කාලයක සිට සිදු වූවකි. අප දිගින් දිගටම කර ඇත්තේ ගෝලීය උතුරටම පළමු තැන දී නිහඬව කරබාගෙන සිටීමයි. නමුත් ජනාධිපතිවරයා පෙරේදා ජර්මනියේදී ගෝලීය උතුරේ මෙම අධිපතිභාවයට දැඩි ලෙස අභියෝග කළේය.

ජනාධිපතිවරයා ගෝලීය උතුර විවේචනය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ ඊජිප්තුවේ පැවති COP27 සමුළුවේදී ජනාධිපතිවරයා පැවසුවේ, දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන්නේ සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය බවත්, එහි ප්‍රතිවිපාක දුප්පතුන්ට විඳීමට සිදු වන බවත්ය. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් දුප්පත් රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බව ද ඔහු එහිදී පැවසීය. ඔහු සංවර්ධිත රාජ්‍යයන්ට යෝජනා කළේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභ සහ හානි සඳහා වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කළ යුතු බවයි.

අනතුරුව පසුගිය මාසයේ කියුබාවේ පැවති G77 සමුළුව අමතමින් ජනාධිපතිවරයා නැවතත් ගෝලීය දකුණ මුහුණ දෙන අනේකවිධ අභියෝග පිළිබඳව අවධාරණය කළේය. වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද ඇතුළුව ගෝලීය දකුණ මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග හේතුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන බව සහ ගෝලීය ණය අර්බුදය උග්‍ර වන බව ඔහු සඳහන් කළේය. එසේම 15 වැනි සියවසේ යුරෝපයේ දියුණුව හරහා වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ නැව් මඟින් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ යටත් කර ගැනීමට හැකි වූ ආකාරයත්, එහි ප්‍රතිඵලයක් ලෙස අද දක්නට ලැබෙන තාක්‍ෂණික භේදය ඇති වූ ආකාරයත් ඔහු එහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළේ, ගෝලීය දකුණේ සිට ගෝලීය උතුරට සිදුවන බුද්ධි ගලනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ වැනි රාජ්‍යයන්ට උගත් පිරිස් අහිමිවීම විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුවට තර්ජනයක් බවයි. අපේ ශ්‍රම බලකාය අහිමි වීම හේතුවෙන් අප ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බව ද ඔහු පැවසීය.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර පවතින පරතරය තව තවත් පුළුල් වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ මධ්‍යස්ථ හා නොබැඳි රාජ්‍යයන්ට ගෝලීය මහා බලවතුන් හමුවේ නැවත වරක් සීමාවන්ට ලක් වීමට සිදුවී ඇති බව ද ඔහු සඳහන් කළේය. අපගේ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවයට ගරු නොකරන තත්වයක් උදාවී ඇති බව ද ඔහු එහිදී පැවසීය. ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සියල්ලන් ඇතුළත් වන ගෝලීය අනාගතයක් ගොඩනැංවිය යුතු බවයි.

ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාව දෙස අප බැලිය යුත්තේ මේ පුළුල් සන්දර්භය සිතේ තබාගෙනය. ඉතා බාධාකාරී ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සියලු ක්‍රියාවලීන් අනවරත ලෙස ප්‍රශ්න කරන, ජනාධිපතිවරයා නියෝජනය කරන මතය නිර්දය ලෙස විවේචනය කරන සහ නුරුස්නා ලෙස හැසිරෙන උද්දච්ච මාධ්‍යවේදියෙකුට එරෙහි වීමට, නිරවද්‍ය කරුණු කාරණා වෙනුවෙන් පෙනී සිටීමට, අපහාස කිරීම්වලට ප්‍රතිචාර දැක්වීමට රාජ්‍ය නායකයකු කිසිවකුගෙන් අවසර ගත යුතු නැත. දැන් බටහිර කෙරෙහි මහත් අනුකම්පාවෙන් ජනාධිපතිවරයා විවේචනය අයට බොහෝ දේ සැනෙකින් අමතක වී ගොස් ඇති බව පෙනේ. කඩා වැටුණු ආර්ථිකයක් සහිතව, බිංදුවටම වැටුණු බංකොලොත් රාජ්‍යයක ජීවත් වීමට සිදුවීමත්, ඉන් මඳකට හෝ මිදී යම් සහනශීලී වටපිටාවක් නිර්මාණය කර දුන් රාජ්‍ය නායකයා දඬු කඳේ ගැසීමට සැරසීමත් දෙස වඩාත් දේශපාලනිකව බැලිය යුතුය.

රාජපක්ෂ කඳවුර, ජනතා විමුක්ති පෙරමුණ, සමඟි ජන බලවේගය සහ අනෙකුත් ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් සිය අන්තවාදී සහ වර්ගෝත්තමවාදී ආස්ථානවල රැඳෙමින් කරන ලද සියලු මානව හිමිකම් කඩ කිරීම් හමුවේ නිහඬ වත රකිමින්, උතුරේ සිවිල් යුද්ධයට පූර්ණ සහයෝගය දැක්වූ පිරිස්වලට, බටහිරට, අධිරාජ්‍යවාදයට සම්පූර්ණයෙන් එරෙහි වූ පිරිස්වලට දැන් හිටිඅඩියේ බටහිර ගැන මහත් කරුණාවක් පහළ වී ඇත. 'රනිල් අසමත්' යයි ඔවුන් කියන්නේ, රනිල් වනාහි බටහිර සමඟ වාදයට නොයා යුතු සහ බටහිර සමඟ යාප්පුවෙන් සිටිය යුතු අයෙකු ලෙස පූර්ව නිගමනය කරමිනි.

මා හට නම් මෙහි මහත් පරස්පරතාවයක් පෙනේ. එක් අතකින් අප බටහිර ගැති නොවිය යුතුයයි කියන අතර, අනික් අතින් බටහිරට බනින්නට එපා, ඒ අයට රිදුණොත් අපට ඒ රටවල්වලින් ලැබෙන ආධාර උපකාර නොලැබී යනු ඇතැයි කියා සිතීම දෙබිඩි පිළිවෙතක් නොවේ ද? අපට නම් ඕනෑ තරම් බටහිරට බනින්න පුළුවන්, නමුත් රනිල් එහෙම කළොත් අපේ බඩට වැදෙයි වැනි අර්ථයක් මේ තුළ තිබෙනවා නොවේ ද?

බටහිර රාජ්‍යයන්හි සංචාරය කරන විට සහ නවාතැන් ගෙන සිටින විට අපට දැනෙන ප්‍රධානම කාරණය නම්, අප ‘ගෝලීය දකුණේ ම්ලේච්ඡ කල්ලන්’ වීම නිසා ඔවුන් අපට දෙවැනි පුරවැසියන් ලෙස සලකන බවයි. එය වචනයෙන් නොකියතත් මහත් සේ සිතට දැනෙන යථාර්ථයකි. ජනාධිපතිවරයා ඉතා විචක්ෂණ ලෙස කාලයක් තිස්සේ ආමන්ත්‍රණය කරනුයේ සහ ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරනුයේ මේ යථාර්ථයයි. අප මීට අභියෝග කළ යුතු ආකාරය ජනාධිපතිවරයා මුල සිටම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබියදී එහි අග්ගිස්සක එල්ලී ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට පහර දීමට තතනන්නේ අවස්ථාවාදී අදේශපාලනික දෙබිඩ්ඩන් බව අප අවබෝධ කරගත යුතුය.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ