Language Switcher

Ad

Ad 01

V2025

ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය ඉදිරියටත් සාම කළාපයක් !  සාගල  

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  සඳහන් කළේය.

සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, දැනට පවතින කලාපීය රාමු මෙන්ම මුලපිරීම් සමඟ පෙල ගැසී ඒ සඳහා සහාය දීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ  හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.

සාගල රත්නායක  මේ බව සඳහන් කළේ රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පැවති 'කොළඹ ගුවන් කතිකාව 2023' (Colombo Air Symposium 2023) හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරට සංවිධානය කරන ලද මෙම කතිකාව ඔක්තෝබර් 09- 10 දෙදින තුළ පැවැත්වේ.

එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය යන රටවල් ඇතුළුව දෙස් විදෙස් විද්වතුන් රැසක් 'කොළඹ ගුවන් කතිකාව 2023' සඳහා සහභාගි වූ අතර මූලෝපායික අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CDISS) අධ්‍යක්ෂ මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා (Adam Leong Kok Wey) විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 06වන වරටත් සංවිධානය කරන මෙම කතිකාව සඳහා සහභාගී වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස සළකනවා. 2015- 2016 හිදී මෙහි පළමුවැන්න ආරම්භ වුණේ “සමුද්‍රීය ගුවන් ආරක්ෂාව හරහා ජාතිය ගොඩනැගීම” යන තේමාව යටතේයි.

ශ්‍රී ලංකාව යුදමය තත්ත්වයෙන් මිදුණු සහ යුද්ධයේ අවසාන අදියරේදී මෙරට ගුවන් සීමාවේ විවිධ උල්ලංඝණයන්ට මුහුණ දුන්නා. ඒ කාලයේ ගුවන් ආරක්ෂාව කියන මාතෘකාව ඉතා කාලෝචිත මාතෘකාවක් බවට පත්ව තිබුණා.

ඉන්දියානු සාගර කලාපය සමුද්‍රීය වෙළඳාමේ සිට ආරක්ෂාව, උපායමාර්ගික, ආර්ථික, පාරිසරික සහ සමාජීය වශයෙන් ප්‍රධාන ගෝලීය සම්බන්ධතා දක්වා පරිවර්තනය වී ඇති මොහොතක මෙවර මෙහි මාතෘකාව වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ හවුල් අවශ්‍යතා පෝෂණය කිරීමයි.

අපේක්ෂිත පරිදි, ඉන්දියානු සාගරයේ උපාමාර්ගික වැදගත්කම එහි සීමාවන් කරා ළඟා වී ඇත්තේ කලාපයේ පැවැත්ම සහ ආධිපත්‍යය සඳහා බලපෑම් කරන බාහිර ප්‍රධාන බලවතුන් සමඟයි. ඔවුන් වෙළඳ මාර්ගවල ප්‍රධාන මරමස්ථාන අසල යුදමය පැවැත්මක් පවත්වා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා.

මෙහිදී කලාපය තුළට ලෝක බලවතුන්ගේ පැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා. ඉන්දු-පැසිෆික් කලාපය ලෙස අර්ථ දක්වා ඇති ප්‍රදේශයේ උපායමාර්ගික වැදගත්කම චීනයේ ගෝලීය නැගීම සමඟ ද සම්බන්ධ වෙනවා.

එක්සත් ජනපදය හා චීනය අතර පවතින විශාල බල අරගලය හමුවේ, චීනය විසින් කළාපයේ සිදුකරනු ලබන ක්‍රියාවන් පරීක්ෂා කර බැලීමට ඉන්දියාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ සාපේක්ෂව සාමකාමී අයුරින් පවතින ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික සහ දේශපාලනික වශයෙන් ලෝකයේ දැඩි අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

ඉන්දියාවේ ආරක්‍ෂක පරිසරය සඳහා ස්ථාවර ඉන්දියන් සාගරයක් යන කාරණය ඉතා වැදගත් වෙනවා.

ඵලදායි කලාපීය ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, භූගෝලීය වශයෙන් උපායමාර්ගික පරිසරය හරය බවට පත් වන නිසා, පොදුවේ පවතින අවශ්‍යතා සඳහා එය තර්ජනයක් හෝ අවදානමක් නොවන බවට දැඩි හැඟීමක් අපට තිබිය යුතුයි.

යුරෝපීය සහ මැදපෙරදිග ජාතීන් ඉන්දියානු සාගරය කෙරෙහි දක්වන උනන්දුව වැඩි වීම ධනාත්මක වර්ධනයක් බව කිව යුතුයි. කෙසේ වෙතත්, මෙය කලාපයේ බලවතුන් අතර ආතතීන් වැඩි කිරීමට හේතු නොවන බව සහතික කිරීම වැදගත් වෙනවා.

එබැවින් හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වෙනවා.

සන්නිවේදන මාර්ග තහවුරු කිරීම, සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) මත පදනම් වූ බහුපාර්ශ්විකව එකඟ වූ නීති පිළිපැදීම සහ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික රාමු භාවිතා කිරීම මගින් කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අපට ක්‍රියා කළ හැකියි.

කලාපීය ආරක්ෂක සැලැස්මක්, පොදු කලාපීය අනන්‍යතාවයක් හෝ පිළිගත් කලාපීය නායකත්ව රාමුවක් නොමැති වීම හේතුවෙන් ඉන්දියානු සාගර කලාපය තුළ ඵලදායී ක්‍රියාමාර්ගයක් කරා සහයෝගීතාවයෙන් යුතුව ගමන් කිරීම දැවැන්ත අභියෝගයක් වී පවතිනවා.

සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, අපි දැනට පවතින කලාපීය රාමු සහ මුලපිරීම් සමඟ පෙලගැසීමටත් ඒ සඳහා සහාය දැක්වීමටත් උත්සාහ කළ යුතුයි.

අග්නිදිග ආසියාවේ මෙන්ම පුළුල් ආසියා-පැසිෆික් සහ ඉන්දියානු සාගර කලාපවල ආර්ථික හා ආරක්ෂක සැලැසුම හැඩගැස්වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම මගින්, නායකත්වය ලබාදීමට උත්සාහ කරනවා.

සැබැවින්ම මෙය ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සහ ආර්ථික සැලැස්ම වෙනස් කිරීම සඳහා බෙහෙවින් අවශ්‍ය සාමූහික නායකත්වයක් බව කිව යුතුයි.
බිම්ස්ටෙක් සහ ආසියාන් කලාපීය සංසදය වැනි ආසියාන් සංවිධානයේ යාන්ත්‍රණ, කලාපය සඳහා අනුගමනය කළ යුතු සහයෝගීතාව පිළිබඳ ආදර්ශයන් විය හැකියි.

නමුත් බටහිර ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය, ප්‍රමුඛ ලෙසසළකන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය ද අප සතුව තිබෙනවා.මෙම යාන්ත්‍රණය, දේශපාලනික වශයෙන් ඉහළ මට්ටමකින් සාකච්ඡා පැවැත්වීමට සහ අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා තවත් පරමාදර්ශී සහ පැහැදිලි තේරීමක් විය හැකියි.

ඇත්ත වශයෙන්ම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම මෙම සතියේ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව එහි සභාපතීත්වය ලබාගැනීමත් සමග පැහැදිලිවම මෙම සංසදයේදී මේ කරුණ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇතියි.

ඉන්දියන් සාගරය බොහෝ දුරට ගැටුම් හා ආරවුල් වලින් තොර බව නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත්, ඉන්දු පැසිෆික් කලාපයේ පවතින ආතතීන් ඉන්දියානු සාගර කලාපයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. එබැවින් මහා බල එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකාව හමුදා සන්ධානවලින් වැළකී සිටීමේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉන්දියන් සාගරය ගැටුම් වලින් තොර විය යුතු බව අපේක්ෂා කරනවා. ඇත්ත වශයෙන්ම, 1971 දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වුණා. එය කලාපය තුළ යාත්‍රා කිරීමේ සහ පියාසර කිරීමේ නිදහසට දායක වී තිබෙනවා.

අප ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගය වන්නේ කලාපය තුළ සහ ඉන් පිටත පවතින බල සංයෝජනයන්ගේ අවශ්‍යතා සහ මැදිහත්වීම් හඳුනාගෙන ඒවා ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයයි. එවැනි මූලාරම්භයන් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සංසද මගින් සංවාදයක් ඇති කරනවා.

එබැවින් ගුවන් හමුදාව විසින් මෙය සංවිධානය කිරීම වඩාත් වැදගත් වෙනවා. එබැවින් ඒ පිළිබඳව මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තූතිවන්ත වෙනවා.

මෙම ක්ෂේත්‍රයේ දැවැන්ත අත්දැකීම් ඇති මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා අද මෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සිටිනවා.

දශක ගණනාවක් පුරා ගුවන්යානා තාක්ෂණය විශාල ලෙස දියුණු වී තියෙනවා. දෙවන ලෝක සංග්‍රාමයේදී ගුවන් යානා විශාල වශයෙන් නිෂ්පාදනය වූ බව අපි දන්නවා.

ඔවුන් ලුහුබැඳ ගියේ තාක්ෂණය හෝ ගුවන් යානයේ ගුණාත්මක භාවය පිළිබඳව නොවෙයි. මහා පරිමාණ නිෂ්පාදනය පිළිබඳවයි.

ඔවුන්ට ගමන් කිරීමට, සාම්ප්‍රදායික පරිදි ආයුධ මගින් වෙඩි තැබීමට සහ අවශ්‍ය අවස්ථාවලදී බෝම්බ හෙළීමට ගුවන් යානා අවශ්‍ය වුණා. ඒ වගේම තමයි ගුවන්යානාවක් නැති වුණොත් නැති වුණාම තමයි. ඇත්තෙන්ම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තිබුණත් එදා අනුගමනය කළේ එයයි. නමුත් දැන් අපි දියුණුයි.

අපි තාක්‍ෂණය අතින් දියුණු වී තියෙනවා, අපි ආයුධවල තාක්‍ෂණික අංශයෙන් මෙන්ම ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය පැත්තෙන් ද දියුණු වී තියෙනවා, එහිදී භාවිතා කරන තාක්ෂණය සඳහා විවිධ වාසි ලබා දීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවලට හැකියාව තිබෙනවා.

ඉස්සර නම් රේඩාර් වලින් මග හැර යාමට අවශ්‍ය නම් පියාසර කරන්නේ හරිම පහතින්. ලෝක යුද්ධ සමයේදී සිදු වූයේ එයයි. නමුත් දැන්, රහසිගතව යාමේ හැකියාව ලැබෙන්නේ පහළින් එලෙස පියාසර කිරීමෙන් නෙවෙයි, භාවිතා කරන ද්‍රව්‍ය හා භාවිතා කරන තාක්‍ෂණය මතයි.

දැන්, යම් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න, ඔබට ගුවන් යානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්දියාව විසින් මෑතකදී සබ්මැරීන පිටතට ගෙන යන MQ-9B ඩ්‍රෝන යානා පිළිබඳ විශාල මිලදීගැනීමක් සිදුකළා. ඒක ඩ්‍රෝන් එකක්. එය ගුවන් නියමුවෙකු රැගෙන යන්නේ නැහැ. ඒ ආකාරයෙන් තාක්ෂණය විශාල දියුණුවක් ලබා තිබෙනවා.

මෙම තීරණාත්මක අවස්ථාවේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති බව සහතික කිරීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දියානු සාගරයේ සිය කාර්යභාරය අගය කරන ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. මෙම භූමිකාවට සහාය වන සැමට අප ඉතා කෘතඥ වෙනවා. ඩ්‍රෝනීය ගුවන් යානයක් ලබා දීමෙන් ඉන්දියාව, මේ සඳහා අපට උපකාර කර ඇති බව මම සඳහන් කළ යුතුයි.එක්සත් ජනපදයද අපගේ නාවික ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා උපකාර කිරීමට ඉදිරියට පැමිණ සිටිනවා.

ඒ වගේම එවැනි අපේ මිත්‍ර රටවල් මෙහි පැමිණ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදී තිබෙනවා වගේම මෙවැනි සම්මන්ත්‍රණවලට අප සමඟ එක් වී ඉන්දියන් සාගරය තුළ සිදු කරන මේ කාර්යභාරයට සහයෝගය දී තිබෙනවා. මා පෙර සඳහන් කළ පරිදි, මෙම කලාපයේ ආරක්ෂාව සඳහා නිවැරදි සාකච්ඡාවක් සිදු වන බව සහතික කිරීම සඳහා වැදගත් වන මූලික පදනම්, මේවා බව සඳහන් කළ යුතුයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් තානාපතිවරු , මහකොමසාරිස්වරු, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.