Ad

Ad 01

V2025

පුවත්

ආචාර්‌ය නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක  පත්කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.

ශ්‍රි ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම පත් කිරීම කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා - ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අනුර කුමාර ප්‍රතිඥා දෙයි

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද උදෑසන (23) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, දිවුරුම් දුන්නේය.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බවට සහතික විය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

''අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.

මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

 අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්. අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

 අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ. ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.

මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.

''මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ''

මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියයි.දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා.හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.

සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි. අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.

මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා. භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.

 අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි. ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ. එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.

 අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.

අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා. ''

ඉන්දීය මහකොමසාරිස් නව ජනපති අනුර හමුවෙයි

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය.

ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක  හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව එම හමුවේ දී ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා ප්‍රකාශ කර තිබේ.

නව ජනපති අනුර කුමාර දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය  ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක  තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීය.

අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක  1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.

1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණි.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක් වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවු 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබීය.

1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබේ.

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ගනු ලැබීය.

2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක  පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණි.

2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබීය.

2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක  2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් ව තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමු‍ණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වුණි.

2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබල වේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක  මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්ව ජයග්‍රහණය කරනු ලැබීය.

දිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඊයේ (22) රාත්‍රීයේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇත.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග මෙතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය අහෝසි වනු ඇත.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි - රනිල් අනුරට කියයි

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“ආයුබෝවන්

ආදරණීය පුරවැසියනි,

සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි.

මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.

ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.

ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා.

වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා.

මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ.

මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.

ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.

ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.

එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා. ඒ ගැන මම සතුටු වෙනවා.

මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.

මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.

මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.

වැල් පාළමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා

ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.

මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුම දෙනාටත්,

මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

9 වන විධායක ජනාධිපති, අනුර කුමාර දිසානායක.....

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක  තේරී පත්වී තිබේ.

ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.

අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.

ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය.

දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වෙයි.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය.

එහිදී විද්‍යා - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීය.

1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වෙයි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර සරසවි සිසුන් අතර ආකර්ෂණය දිනාගත්තේ ''අරවින්ද'' යන නාමයෙනි.

එපමණක් නොව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලබයි.

අනුර කුමාර දිසානායක සිය උසස් අධ්‍යාපනය නිමකරමින් 1995 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ, විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙනි.

අනුරගේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වෙයි.

ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවෙයි.

ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේදීය.

ඒ එම වසරේ පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.

ඔහු යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමින්.

2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අනුර කුමාර දිසානායක එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත්නොවිඳි විසල් ආදර්ශයක් රටට ලබාදීමට කටයුතු කළේය.

අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මගේ ඉතා තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 2වනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේදීය.

එදින ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහගෙන්, අනුර කුමාර දිසානායක වෙත පැවරුණි.

දෙරණ

2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකටය.

ඒ අනුව එහි සමස්ත ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 5,634,915

සජිත් ප්‍රේමදාස 4,363,035

රනිල් වික්‍රමසිංහ 2,299,767

නාමල් රාජපක්ෂ 342,781

දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක  අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක,

"මැතිවරණ කොට්ඨාසවල දෙන ලද වලංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබා නොමැති බැවින් ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස  හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත්කළ බව නිවේදනය කරමු."

"එසේ තරගයෙන් ඉවත්කරනු ලැබූ අනෙක් අපෙක්ෂකයන්ගේ දෙවැනි හා තුන්වැනි මනාපය තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇත්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව මැතිවරණ කොට්ඨාස භාර තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම්දී ඇති බව නිවේදනය කරමු."

"ගණන්කිරීමේ ශාලාවලින් මනාප ගණන්කර එහි ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන්වෙත දැනුම්දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා."

"ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාසයේ සියලුම ගණන්කිරීමේ ශාලාවලින් තරගයේ සිටින අපේක්ෂයන්ගේ වාසියට ලබාදී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා."

"මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කරනු ඇත. ඉන් අනතුරව මැතිවරණ කොට්ඨාස 22හිම තරගයේ සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ වාසියට ලබාදී ඇති මනාප එකතු කරනු ලබනවා."

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

අද (22) අලුයම 6.00 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ අද දහවල් 12.00 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.

ඊයේ රාත්‍රි 10.00 සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළේය.

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 77 වැනි වියේ පසු විය.

මොහු ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය නළුවෙක් වන අත‍ර ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු ද වේ.

මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා
කරන බව ඩබ්ලිව් ජයසිරි පසුගියදා ප්‍රකාශකර තිබිණ.

ඒ, ගැමුණු වන්නිනායක මෙහෙයවන ''මතක පද'' යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවකදීය.

තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන නමුත්, මෙම ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම මෙරට ජනතාව අපේක්ෂා කරන අලුත් වෙනසකට මුල පිරීමක් බව, ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට්‌ පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇත.

මේ වන විට රට තුල ඉතා සාමකාමී තත්ත්වයක් තිබුනද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාල සීමාව තුල තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම කාල සීමාව තුල ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර, විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ විදේශ වල සිට පැමිණ ගුවන් තොටුපලෙන් පිටවන සියළු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛණ ඇඳිරිනීති බල පත්‍රයක් ලෙස භාවිතා කළ හැක.

මීට අමතරව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාල සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරි හැඳුනුම්පත හෝ සුදුසු ලේඛණයක් භාවිතා කළ හැකි අතර, එම ලේඛණය සහ අදාල පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙම කාල සීමාව තුල ඇඳිරි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බැවින්, එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියළුම මහජනතාව වෙත ශ්‍රි ලංකා පොලිසිය අවධාරණය කර සිටියි.

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න ඒ බව දැනුම් දුන්නේය.

l jpg

ප්‍රධාන අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කළ හැටි

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේදී ද, සමගි ජනබලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවෙගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී ද, ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මරදාන අබේසිංහාරාමයේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මැදමුලන ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිත කළහ.

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් - ජනාධිපති රනිල්

460829774 1091891425830725 6950595582936131576 n

සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු මාධ්‍ය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා."

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවත්, රට විනාශ කළ සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්ව රට තුළ නව සමාජ හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවද ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමු - සජිත්

460724224 1091899812496553 2053786568973960754 n

සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසීය.

"ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම වගකීමක් හා යුතුකමයි", ඔහු එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් - අනුර

460990405 1091901112496423 3544371636189736647 n

ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

"මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි."

නාමල් රාජපක්ෂ කියපු කතාව

460989222 1091899175829950 3286344502623760559 n

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මෙසේ පැවසිය.

"ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ, අපි බොරු කියලා නැහැ. මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් ඒකට නෝනයි, ළමයි අල්ලගෙන වැඩක් නැහැ. ඒ වගේම තමයි අපි බයේ පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි. පැහැදිලිවම කියන්න ඕන, සමහර බොහෝ දේශපාලඥයන්ට වඩා ජනතාව බුද්ධිමත්".

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය වෙයි

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙයි.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.

මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක  විසින් ඊයේ (20) දින නිකුත් කර ඇත.

athi wisesa 1000p

ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවයි

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ පැයකටත් අඩු කාලයක් පමණයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක මහතා කියා සිටියේ එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම මේ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ ය

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහතින් දැක්වේ.

ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%

කොළඹ – 60%,
ගම්පහ – 62%,
කළුතර – 60%,
නුවරඑළිය – 70%,
ගාල්ල – 61%,
මාතර – 64%,
හම්බන්තොට – 60%,
මන්නාරම – 60%,
බදුල්ල – 59%,
රත්නපුර – 60%,
කෑගල්ල – 60%,
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%,
පුත්තලම – 57%,
මොනරාගල – 65%,
අනුරාධපුර – 70%

විවිධ ප්‍රකාශවලට නොරැවටෙන්න - මැතිවරණ කොමිෂන් සභාව

කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව හා පරිබාහිරව විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් ඡන්ද විමසීම පිළිබඳ වරින් වර නිකුත් කරන විවිධ ප්‍රකාශවලට නොරැවටෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම කරුණු ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වනවිට ගෙන ඇතිබවය.

ඊට අදාළ සියල්ල ව්‍යවස්ථාපිත කළ යුතු කාර්යන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන හරහා මහජනතාව දැනුවත් කර ඇතිබවද ඔහු සඳහන් කරයි.

එහෙත් විවිධ පුද්ගලයන් සහ සංවිධාන, කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව හා පරිබාහිරව ඡන්ද විමසීම පිළිබඳ වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් මේවනවිට ඡන්ද සලකුණු කරන ආකාරය, ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් ඔහු පවසයි.

එම ප්‍රකාශ සඳහා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙමින් තිබෙන බවත් ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.

ඡන්ද විමසීම සඳහා ඕනෑම තොරතුරක් පුරවැසියන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමට හැකි බවත් ජනාධිපතිවරණයේදී ජනතාවට දැනගැනීමට අවශ්‍ය සියලු තොරතුරු ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන බවත් ඒ හේතුවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශ සඳහා නොරැවටෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාලය ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට උපදෙස් කිහිපයක් ද ලබාදුනි.

 විද්‍යාපීඨයකට යන්න ලැබෙනවා කියන්නේ කඩඉමක්

"අවවාදයක් ලෙස දෙන්න කැමතියි, තේරෙන පීඨයකට පැමිණ දරුවන්ට ඇවිල්ලා පුරප්පාඩු පවත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරන්න කියලා. මේ 45,000 පුරවන්න අපි දරුවෝ 65,000ක් පමණ තෝරනවා. ඒ කියන්නේ 20,000ක් පමණ තමන්ට ලැබෙන සරසවි වරම ලබාගන්නේ නෑ. ඔවුන් තවදුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙමින් ඊට වඩා උසස් තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විද්‍යාපීඨයකට යන්න ලැබෙනවා කියන්නේ කඩඉමක්. ඒක තවදුරටත් එහාට යන්න උත්සාහ කරනවාට වඩා අධ්‍යාපනයට පැමිණෙන එක ඉතාම හොඳයි. වෛද්‍යවරයෙක් වෙනවා නම් ඉතාම හොඳයි, ඉංජිනේරුවෙක් වෙනවා නම් ඉතාම හොඳයි. ඒහා සමානවම විද්‍යාපීඨයකට ඇවිත් විද්‍යාඥයෙක් වෙන එකත් ඒ හා සමානව වැදගත් කියන එකත් දරුවන්ට අවවාදයක් ලෙස දෙන්න කැමතියි."

මේ අතර ජෛව විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂය ධාරාවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන් සඳහා නව පාඨමාලාවක් ලෙස විද්‍යාව හා කාර්මික කළමනාකරණ පාඨමාලාවට අයදුම් කළ හැකියි.

(adaderana.lk)

Page 11 of 440