V2025

පුවත්

දුම්රිය වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය.....

ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ උපුටනයක් පහතින්,

අද (16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණී උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරමින් අසාධාරණ ලෙස ක්ෂණික වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේදීම (01/22) දුම්රිය දෙපාරිතමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 ඇතුළත්ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටලුකාරී තත්වයන් මත අමාත්‍යාංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාරක්ෂමතාව මේ වනතෙක් කිසිදු නව බදවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු කරණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025/05/07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එළැඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්වත්කර ඇත.

මෙම ඉල්ලීම්වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාව හා ගැටළු සාකච්ඡා මගින් විසදාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශය ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවයක් තිබුණ ද අමාත්‍යාංශය මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩවර්ජන දියත්කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ.

එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළහැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය හා රජය ලෙස සෑම අයුරකින්ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.

උසස්පෙළ වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/0112 786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකිය.

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබේ.

මෙම විෂය ධාරාවට අයත් විෂයයන් පහතින්,

W1

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගුයි

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට සූදානම් වී ඇත. 

ඒ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රියවල ආසන වෙන්කර ගත් මගීන් මෙන්ම සෙසු මගීන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටී.

 

මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ලට අ​ධිකරණයෙන් නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කර ඇ​ත.

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර ඇති අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම් දී තිබේ.

සබරගමුව නවකවධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් තවදුරටත් රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි නියෝග කළාය.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ලක්ෂ්මන් යාපාට අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

හරක් කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනයක්

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු ඊයේ (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස්  සහ දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි.

ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර අද (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.

රට තුළ සිදුව ඇති පරිවර්තනය පිළිබඳ ජාත්‍යන්තරයට ගෙන යාම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ වගකීමක් - ජනපති

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙම අදහස් පළ කළේ විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවේදීය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තැනක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙසද කියා සිටියේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජතාන්ත්‍රික සේවාවේ කොටසක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයින් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන් අපහසුතාවට පත්ව ඇති බවත් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන දෑ නොකරන බවත් කී ජනාධිපතිවරයා තානාපතිවරුන් වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සඳහන් කළේය.

නව දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පී. එම්. කොළොන්නෙ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යු. සේනාධීර, අමෙරිකානු නිව්යෝක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්. එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ යන  මෙලෙස පත්වීම් ලැබ සිටිති.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන  ද මෙම අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM) අතර ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් වලට අත්සන් තැබීම අද (15) සිදු කෙරිණි.

වර්තමාන බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ EXIM බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.

ප්‍රංශය සහ ජපානය සමඟ නිල ණයහිමි කමිටුවේ සම සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීමේදී ඉන්දීය රජය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

අර්බුදයේ උච්චතම අවස්ථාවේදී හදිසි අවශ්‍යතා සඳහා සහාය වෙමින් ඉන්දීය රජයේ නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ අභියෝග ජය ගැනීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උපකාරී විය.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව (EXIM) අතර ණය රේඛා සහ ගැනුම්කරුගේ ණය ගිවිසුම්වලට අදාළ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පිළිවෙලින් 2025 මාර්තු 25 සහ 2025 අප්‍රේල් 03 යන දිනවල සිදු විය.

ඉන්දීය රජය සමඟ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය රේඛා 07 සහ ගැනුම්කරුගේ ණය පහසුකම් ගිවිසුම් 04 හි මුළු මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 930.8 කි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ ඉන්දියානු EXIM බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් වෙඩ් ණය රේඛා ගිවිසුම් අත්සන් කළ අතර ඉන්දියාවේ EXIM බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිත් කුමාර් ගැනුම්කරුගේ ණය ගිවිසුම් අත්සන් කළහ.

ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අවසන් කිරීම නිසැකවම ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගැඹුරු සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මග පාදනු ඇත.

(සටහන | ජේ. මුණසිංහ)

අධිකරණ අමාත්‍යංශයේ වෙන්දේසි කරන්න යන සුපිරි වාහන

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත.

එම වාහන නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  අද (15) එක්විය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු අධික සුඛෝපභෝගී වාහන දහයක් මිල ගණන් කැඳවා වෙන්දේසි කර විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇත.

වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 03ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් විකිණීමට සැලසුම් කර මිල ගණන් කැඳවා තිබේ.

ලුණු ආනයනයට පියවර : අනවශ්‍ය තොග රැස් කළොත් වැඩ වරදී

මේ වන විටත් රජය ලුණු ආනයනයට පියවර ගෙන ඇති බැවින් වෙළඳපොල තුළ අනවශ්‍ය ඉල්ලුමක් ලුණු සඳහා ඇති නොකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලුණු හිඟය හේතුවෙන් සිතූ සිතූ පරිදි මිල වෙනස් කළහොත් මෙන්ම අනවශ්‍ය තොග රැස් කළහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්  පවසයි.

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළඟාවීමට නියමිත බවද වාර්තා වනවා.

මේ අනුව ලුණු හිඟයක් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව ලංකා ලුණු සමාගම සඳහන් කළේය.

පදනම් විරහිත ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයෙන් කැනඩාවට දැඩි විරෝධය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් අද(14) එම අමාත්‍යංශයේ දී සිදුවිය.

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බවත් ය.

ශ්‍රී ලංකාව මෙම අසත්‍ය ආඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ප්‍රචාරය කර ඇති බවට විශ්වාස කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුකළ බවට කිසිදු අනාවරණය කර ගැනීමක් කැනඩා රජය විසින් සිදුකර නොමැති බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී කැනඩාවේ විදේශ කටයුතු, වෙළෙඳ හා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊට අමතරව, කැනඩාව විසින් 2006 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබූ අතර 2024 වසරේ ජුනි මාසයේදී මෙම නාමය නැවත තහවුරු කරන ලදී.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පුන පුනා දැඩි විරෝධතා පළ කර ඇත.

බ්‍රැම්ප්ටන් නගර සභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැළැක්වීමට මැදිහත් වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් නිරන්තරයෙන් ඉල්ලීම් සිදු කරනු ලැබිණි.

මෙම ඉදිකිරීම, පුළුල් ශ්‍රී ලාංකික සහ කැනේඩියානු ප්‍රජාවන්ට අහිතකර බලපෑමක් ඇති කරන්නක් බවට ශ්‍රී ලංකාව සලකයි.

එවැනි පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීම සහ අසත්‍ය මත පදනම් වූ ස්මාරක ඉදිකිරීම මහජනතාව නොමඟ යැවීම පමණක් නොව, සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව, ජාතික සමගිය සහ චිරස්ථායී සාමය සඳහා ගනු ලබන ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රයත්නයන්ට බාධාවක් වන බව ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

හයේෂිකා අධිකරණයට භාරවෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න  විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය.

පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවය.

පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

19 වැනිදා සිට විශේෂ මදුරු මර්දන සතියක්

විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  පවසයි.

ඒ අනුව ලබන 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

එමෙන්ම කොළඹ ඇතුළු හඳුනාගත් දිස්ත්‍රික්ක 15 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් සඳහා විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියත්මක වන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව , පොලිසිය සහ සිවිල් සංවිධාන එකතුවෙන් පරිසරය පිරිසිදු කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේය.

“සින්දූර්” මෙහෙයුම නමක් පමණක් නොවෙයි – ඉන්දීය අගමැති

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.

ඉන්දීය – පාකිස්තාන යුද ගැටුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ(12) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කර ඇත.

“සින්දූර්” මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් වන බවත් එම “සින්දූර්” මෙහෙයුම නමක් පමණක් නොව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ හැඟිම් පිළිබිඹු කිරීමක් බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම මෙහෙයුම යුක්තිය සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීම වන බවත් මෙම කැපවීම පසුගිය මැයි 06 වැනි දින රාත්‍රියේ සහ 07 වැනි දින අලුයම් කාලයේදී මුලු ලොවම යථාර්තයක් බවට පත්ව ඇති ආකාරය දුටු බවත් ඉන්දීය හමුදාවන් විසින් පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සහ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානවලට නිවැරදිව පහර දුන් බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ත්‍රස්තවාදීන් කිසි විටෙකත් ඉන්දියාව මෙතරම් විශාල තීරණයක් ගත හැකි යැයි සිතන්නට නොමැති බවත් පාකිස්තානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නවත්වා ඇති නමුත් ඉදිරි දිනයන්හිදී පාකිස්තානය කුමන පියවර අනුගමනය කරනු ඇත්දැයි ඉන්දියාව නිරීක්ෂණය කරන බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව, ඇතුළු සියලු ආරක්ෂක සේනා ඒ පිළිබඳව නිරන්තර සීරුවෙන් සිටින බවත් “සින්දූර්” මෙහෙයුම අතරතුර මියගිය ත්‍රස්තවාදීන්ට සමුදීමට ඉහළම පාකිස්තාන හමුදා නිලධාරීන් පැමිණි අයුරු ලෝකයම දුටු බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා සඳහන් කරයි.

එය පාකිස්තානයේ අඳුරු පැතිකඩ ලොවට පෙන්වා දුන් බවත් එය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ ප්‍රබල සාක්ෂියක් වන බවත් ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා සඳහන් කරයි.

බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි

ඊයේ(11) අළුයම කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල සිදු වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට ඊයේ(11) පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත පැමිණියාය.

එහිදී අග්‍රාමාත්‍යවරිය දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳවත්, ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළාය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසීය.

මෙය ඉතාම බරපතල ඛේදවාචකයක්. මේ වගේ දේවල් දරාගන්න අමාරුයි. දරුවෝ, දෙමව්පියෝ හා නෑදෑ හිත මිතුරෝ අහිමි වෙලා තියෙනවා. අපේ රටේ දිනකට විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේවා වළක්වන්න අපේ ප්‍රවාහන ඇමතිතුමා විශාල උත්සාහයක් ගන්නවා.

මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා දුෂ්කරතා මධ්‍යයේ වුවද අපේ වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වීම ගැන. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සියලුම වැඩ පැත්තකින් තියලා රෝගීන්ව රෝහල් වෙත රැගෙන එන්න ක්‍රියා කරපු, ඒ මානුෂීය මෙහෙයුම දියත් කරපු සියලු දෙනාව මතක් කරන්න කැමතියි. මේක තමයි අපේ රටේ තියෙන විශේෂත්වය. මෙවැනි මානුෂීය ගුණාංග අපි රැකගත යුතුයි. රජයේ පාර්ශවයෙන් සිදු විය යුතු උපරිම දේ සිදු කරන්න අපි මැදිහත් වන බවත් මේ වෙලාවේ මම කියන්න කැමතියි.

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන  එක් වූහ.

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය අදයි

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.

කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ වෙසක් තොරණ, පහන් කූඩු හා දන්සැල් වැනි ආමිස පූජා ද අද දිනයේ සංවිධාන කර ඇත.

බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබීය.

සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍රවන බවට එහිදී සීහ නාද පැවැත්විය.

ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්මගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සමවැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි.

එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් විය.

සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාලහ.

වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයකි.

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි.

එහිදී උන්වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනකයි.

මෙරට ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් විය.

Page 7 of 471