V2025

පුවත්

කොටහේනේ දැරියක් මියයාම සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයෙන් වැඩිදුර විමර්ශන - පොලීසිය

කොටහේන ප්‍රදේශයේදී දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකතන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින්, දරුවන් ඉදිරියේ මියගිය දැරියව මානසික පීඩනයට පත්කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර, වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය හා බම්බලපිිටිය පොලිසිය සිදුකරන බවයි.

එම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී අදාළ සිදුවීමට මුහුණදී ඇතැයිද පොලිසිය පවසයි.

මේ අතර, පොලිසිය පැවසුවේ ඇය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ ගුරුවරයෙකුගේ අතවරයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර පසුගිය ජනවාරි 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයා ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර ඇති බවයි.

සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර එම නඩුව ලබන 19 වැනිදා යලි කැඳවීමට නියමිතව තිබේ.

නව පළාත් පාලන ආයතන ජූනි 02 රැස් වෙයි

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බැවින් පළාත් පාලන ආයතනවල බහුතරය හිමි කරගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපතිවරුන් සතියක් ඇතුළත දන්වා එවන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

“කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්ය. එය අද ආරම්භවීමට නියමිතය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධාන කරනු ලබයි.

රාජ්‍ය වෙසක් උත්සවය එළැඹෙන 16 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

විශ්වවිද්‍යාවලට Online ලියාපදිංචිය අද සිට..

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ඔස්සේ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බවයි.

ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා ලියාපදිංචී වීම කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ ය.

එතැන් සිට සති 2ක කාලයක් ලබා දී ඇත්තේ ලියාපදිංචිවීමේදී තෝරාගත් විශ්වවිද්‍යාලයේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමටයි.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300 කි.

බෙල් 212 ගුවන් අනතුරින් හමුදා භටයින් 06 ක් ජීවිතක්ෂයට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන් : ජනපති අනුරගෙන් සුබ පැතුම්

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (8) පස්වරුවේ තේරී පත්විය.

ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.

69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය.

එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.

ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.

ඒ පෙරදිනය දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට උන්වහන්සේ එක්වීමෙන් අනතුරුවය.

අභිනව පාප් වහන්සේට ජනපති අනුරගෙන් සුබ පැතුම්

තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක  සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරණ අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.” යනුවෙනි.

495534063 1123070453171876 3756640279884311023 n 1170x1170

 

නව පාප් වහන්සේ තෝරා පත් කරගනී

නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

කෙසේ නමුත් නව පාප්වරයා කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

ඒ 'අපට නව පාප්වරයෙක් පත්ව ඇත' යන අරුතින් යුතුව 'හබෙමුස් පාපම්' යන වාක්‍යය හඩනගා කියැවීමෙන් අනතුරුවය.

මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බවද වාර්තා වෙයි.

දේශබන්දුට මැයි 19 පරීක්ෂණ කමිටුවෙන් කැඳවීමක්

පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන්  ලබන 19 වැනිදා කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පවසන්නේ, අදාළ කමිටුව රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.

දේශබන්දු තෙන්නකෝන්  එලෙස එම විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටින්නේ පළමු වරටය.

ලෝක බැංකු කණ්ඩායමේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති අජේ බංගා මහතා අතර හමුවක් මැයි 07 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රමුඛ අරමුණක් වී තිබිණි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුවේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය, ලෝක බැංකු කණ්ඩා⁣යමේ සභාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළ අතර සියලු දෙනාම ඇතුළත් වන සහ තිරසාර සංවර්ධනය සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද අවධාරණය කළාය.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය අගය කළ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති බන්ගා මහතා, ආර්ථිකය යථාතත්වයට පත්කරලීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලේ ප්‍රධානම සාධකයක් ලෙස නව රැකියා නිර්මාණය කිරීමේ සහ රැකියා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වැදගත් බව මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ නිෂ්පාදන කර්මාන්ත වැනි තීරණාත්මක අංශවල ආයෝජනය කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව මෙන්ම එහි ප්‍රධාන අංශ සංවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ ශක්‍යතාව හා වැදගත්කම පිළිබඳවද බන්ගා මහතා සිය අදහස් පළ කළේය.

නවෝත්පාදන සහ ඵලදායිතාව සඳහා මෙම කෘතීම බුද්ධිය භාවිතයේ හැකියාවන් ගවේෂණය කිරීමටද ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

නැගී එන කර්මාන්තවල අවශ්‍යතාවන් සමඟ වඩා හොඳින් ගැලපීම සඳහා සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙම හමුවට ලෝක බැංකු කණ්ඩායම නියෝජනය කරමින් එහි විශේෂ උපදේශක Trevor Kincaid, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ David Sislen, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ Gevorg Sargsyan, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියාව සඳහා කලාපීය අධ්‍යක්ෂ Imad Fakhoury, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, සහ එම අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධම්මික ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවෙන් ඉවතට

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා අද (08) කටයුතු කළේය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන තිබේ.

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීමට අනුමැතිය

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආහාර තාක්ෂණයේ යෙදෙන්නන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත, ස්වේච්ඡාවෙන් පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය 2004 වර්ෂයේදී පිහිටුවා ඇති අතර, එම ආයතනය මේ වන විට ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබෙන බව සඳහන් වෙයි.

එම ආයතනය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීමට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සහ ආයතනයේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම සඳහා 2016-09-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024 -06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත්, එම පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් වේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, එකී පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

හිස් වූ මන්ත්‍රී ආසනයේ සමන්ත රණසිංහ දිවුරුම් දෙයි

සමන්ත රණසිංහ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

අද(08) පෙරවරුවේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන්ත රණසිංහ, දිවුරුම් දුන්නේය.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක  ඉදිරියේදීයි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුණේ, ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර  හදිසියේ අභාවප්‍රාප්ත වීමත් සමගයි.

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම පිණිස සංශෝධනයක් ඇතුළත් කිරීම සඳහා 2017 අංක 2 දරන දිවි නැගුම (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම පිණිස 2024‑12‑30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව විභාග කොමසාරිස් ජනරාල් පත් කරයි

විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්.ජේ.එම්.සී.ඒ.ජයසුන්දරගේ සේවා කාලය 2025‑05‑06 දිනෙන් අවසන් වන බැවින්, පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඒ.කේ.සුභාෂිණී ඉන්දිකා කුමාරි ලියනගේ  වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුව ඇත.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury), ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan) මීට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් 'දූෂණය' නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද (07) නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර  ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර  අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි.

ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකය.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳඟන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා  ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.

Page 6 of 469