පුවත්
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ නිම වන තෙක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කරන බව ලේකම්වරිය තවදුරට ත් සඳහන් කළාය.
සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර සිය සමාජ ජාල, සමූහයකට පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව, විභාගය ප්‍රශ්න පත්‍රය සකස් කළ විශේෂඥ මණ්ඩලය සැප්තැම්බර් 17 වන දා මෙම ගැටලුව පිළිබඳව සාකච්ජා කළ අතර එහිදී අදාළ ප්‍රශ්න 3 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.
කෙසේ වෙතත්, ඊයේ (සැප්. 19) මෙම ගැටලුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කළේ ය.
ගෝඨා - බැසිල් විදේශගත වේ
ජනාධිපතිවරණයට දිනයක් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අලුයම විදේශ ගතවී ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අලුයම 3.05ට ඩුබායි බලා පිටත් වූ EK 659 දරණ එමිරේට්ස් ගුවන් සේයට අයත් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය අතර එහි සිට ඔහු ඇමෙරිකාව බලා ගමන් ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා ගුවන් ගොටුපළේ ගෝල්ඩ් රූට් විශේෂ ප්‍රවේශයෙන් ඇතුළු වී ඇති අතර ඔහු ගමන් කර ඇත්තේ තනිවමය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න සහ ජයනත කැටගොඩ ද ඔහු සමඟ ගුමන් තොටුපළට පැමිණ ඇත.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදින නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් ඔහු පසුගිය සති කිහිපයේ හි විශාල කාර්ය භාරයක් කර තිබිණ.
මේ අතර මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මිට දින කිහිපයකට පෙර ඉන්දියාවට ගොස් ඇත. ඒ, ආගමික වැඩසටහනක් සඳහා ය.
ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී අද (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.
මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ.
එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
කෙහෙළියගේ පුතාගේ සුඛෝපභෝගී නිවාස දෙකක පරිහරණය තහනම් කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක තිබෙන නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (19 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දෙසැම්බර් මස 19 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කරන ලදී.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි "කැපිටල් රෙසිඩන්සි" නමැති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
5 ශිෂ්‍යත්ව විභාගය : ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන CID විමර්ශනයක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.
එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළේ ය.
සැප්තැම්බර් 15 වන දා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර සිය සමාජ ජාල, සමූහයකට පළ කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව, විභාගය ප්‍රශ්න පත්‍රය සකස් කළ විශේෂඥ මණ්ඩලය සැප්තැම්බර් 17 වන දා මෙම ගැටලුව පිළිබඳව සාකච්ජා කළ අතර එහිදී අදාළ ප්‍රශ්න 3 ඉවත් කර අවසන් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.
කෙසේ වෙනත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙසට මව්පියෝ පිරිසක් ඊයේ (සැප්. 18) අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණය නිරතව සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට එක්ව සිටි මව්පියෝ සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවීම හේතුවෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ත් නැවත විභාගයක් පැවැත්වුවහොත් ඊට මුහුණ දීමට තම දරුවන් සූදානම් බව ත් ය.
මැතිවරණය සඳහා නිවාඩු ලබා දිය යුතු ආකාරය....................
ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටී.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳව දැනුවත් කෙරුණි.
ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 04ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසීය.
ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් පහත පරිදි ඒ ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම සිදුකළ යුතු වේ.
කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්
කිලෝමීටර් 40ත් – 100ත් අතර දුරක නම් දිනක නිවාඩුවක්
කිලෝමීටර් 100ත් – 150ත් අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්
කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක්
එහෙත් තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇති සමහර ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේය.
රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල හා ශිෂ්‍යයින්ගෙන් හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයින්ට ඉහත පරිදි ඡන්දයට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වෙයි.
මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්රවීණත්වයක්
ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ” English for all” වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.
මෙම යෝජනාව තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදාද අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව පාරට බැස්ස බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වුවා නම් අද ඉංග්‍රිසි භාෂාව පිළිබඳ ගැටළුවක් රට තුළ නිර්මාණය නොවන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳන් කර සිටියේ ඊයේ (17) මල්වාන ජනතාව සමඟ පැවති හමුවෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොතිබීම හේතුවෙන් තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවලට රජයේ විසදුම කුමක්ද කියා තරුණයෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා සැලසුම් නොමැති බොරු පොරොන්දුවලට සීමා වූ සජිත්ගේ සහ අනුරගේ දේශපාලන අවශ්‍යතාවල බිල්ලක් නොවන ලෙසද තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.
ජන හමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ මා නියෝජනය කළ බිගයම ආසනයට පැමිණ මල්වානේ ජනතාව හමුවීම සිරිතක් ලෙස මම සලකනවා. මාල්වානේ ජනතාව සෑම අවස්ථාවකම මට විශාල සහයෝගයක් ලබාදුන්නා. එදා මල්වාන ඉතා පුංචි නගරයක්. වෙළෙඳ කලාපය ආරම්භ වීමත් සමඟ මල්වාන විශාල නගරයක් බවට පත්වී තිබෙනවා. විශාල දියුණුවක් ලබා තිබෙනවා. මල්වානේ වෙළෙඳාමත්, වෙළෙඳ කලාපයත් එක්ව මේ ප්‍රදේශයේ දියුණු ආර්ථිකයක් ගොඩනැඟී තිබෙනවා.
2022 වසරේ අප විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ මල්වානේ ජනතාව වෙළෙඳාම් කරන ජනතාවට ද විශාල පහරක් එල්ල වුණා. භාණ්ඩ ආනයනය කිරීමට විදේශ විනිමය තිබුණේ නැහැ. දැන් ඒ තත්ත්වයෙන් අප මිදී තිබෙනවා. දැන් රටේ ආර්ථිකය දියුණු වෙමින් පවතිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමට මට සිදුවුණා. මුදල් මුද්‍රණය කිරීම හෝ ණය ලබාගැනීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මට අසීරු තීරණ රැසක් ගැනීමට සිදුවුණා. නමුත් මාස හයක් පමණ ගතවන විට රුපියල ශක්තිමත් වෙමින් භාණ්ඩ මිලත් අඩු වී රට ස්ථාවර භාවයට පත්වීම ආරම්භ වුණා. මේ සියල්ල අතරතුර අපට අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් ප්රතිලාභ ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නැංවීම සඳහා මේ වනවිට උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කිරීමටත් හැකිවුණා.
එක් අතකින් ජනතාවට භාණ්ඩ මිල අඩු කිරීමෙන් සහනයක් ලබාදීමටත්, ආදායම වැඩි කිරීම මඟින් සහනයක් ලබාදීමටත් හැකි වී තිබෙනවා. නමුත් ඒ තුළ පරතරයක් තවම තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ ක්‍රමානුකූලව කටයුතු කරමින් ලබන වසරේදී ජීවන බර විශාල ලෙස සැහැල්ලු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප නිවැරදි මාර්ගයක ගමන් කරමින් සිටිනවා. මේ සියල්ල සිදු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර, අපට ණය දී ඇති රටවල් 18 මගින් ලබාදී ඇති ණය සහනය අත්‍යාවශ්‍ය වෙනවා. අද අප මේ තත්ත්වයෙන් සිටින්නේ එම සහාය ලැබුණු නිසයි. අපට මෙම එකඟතා වෙනස් කළ නොහැකියි. එසේ කළහොත් සියල්ල කඩා වැටෙනවා.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම බදු අඩු කරන බව ප්‍රකාශ කරනවා. එසේ සිදු කළ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හිමිව ඇති ආධාර අහිමි වෙනවා. ඩොලරයේ අගය ඉහල යමින් සියල්ල යළිත් කඩා වැටෙනවා. ඉදිරි වසර 5 තුළ අප ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කරගනිමින් අපේ වෙළෙඳාම දියුණු කරගත යුතුයි.
එදා අප මෙහි තිබූ පොල්වත්ත වෙළෙඳ කලාපයක් බවට පත් කර අළුත් ආර්ථිකයක් නිර්මාණය කළා. ඒ නිසා බියගම නගරය ඇතුළු අවට ප්‍රදේශයට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ලැබුණා. බියගමට මා කළ දේ සමස්ත රටටම සිදු කිරීමට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප බිංගිරිය, ත්‍රිකුණාමලය, යාපනය, හම්බන්තොට ආදී ප්‍රදේශවල විශාල ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මල්වාන ප්‍රදේශයද මම අමතක කර නැහැ. කෑරගල ප්‍රදේශයේද අළුතින් අයෝජන කලාපයක් ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ තාක්ෂණ කලාපයක් සමඟ නව නගරයක් ඉදි කළ හැකියි. එහි ඔබට වෙළෙඳාමේ නිරත විය හැකියි. ඒවගේම සියඹලාපේ මංසන්ධිය සඳහා යෝජිත නව රෝහල ද අප ඉදි කළ යුතුයි. ඒ නිසා ගෑස් සිලින්ඩර ලකුණට ඔබේ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ආවොත් සිදුවන්නේ කුමක්ද කියා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ නිසා අප එම තත්ත්වයට යා යුතුද? අප සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. ඔවුන්ට ඡන්දය දී නැවතත් රට නැති කරගන්න එපා. ඒවගේම ඇතැමුන් සමගි ජනබලවේගයට යනවා. සමගි ජනබලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂය නොවෙයි. ප්රදීපගම ආදර්ශ ගම්මානය නිර්මාණය කලේ මමත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එකට වැඩ කරලයි. එතකොට සජිත් හිටියෙත් නැහැ. ඒ නිසා සජිත්ට දෙන ඡන්දයත්, නාමල්ට දෙන ඡන්දයත් ඔබ බන්දේසියක තබා අනුරට දෙන ඡන්දයක් බව මම පැවසිය යුතුයි.
නැවත වරක් මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෙම ප්‍රදේශයත්, ප්‍රදේශයේ පාසලේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුත් මා භාරගන්නා බව පැවසිය යුතුයි. එනිසා සැප්තැම්බර් 21වෙනිදා ගෑස් සිලින්ඩරය ලකුණ ඉදිරියෙන් ඔබේ කතිරයට සටහන් කරන්න කියා මා ඉල්ලා සිටිනවා.
මෙහිදී රැස්ව සිටි තරුණ තරුණියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය:
මම පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන ශිෂ්‍යයාවක්. මා මෙන්ම ඔබතුමාට ඡන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔවුන් වෙනුවෙනු ඔබට ලබාදීමට ඇති පණිවිඩය කුමක්ද?
පිළිතුර:
තවත් වසර 25ක් පමණ වන විට ඔබේ වයස අවුරුදු 50වත් සම්පූර්ණ වී නැහැ. ඔබට හොඳ අනාගතයක් ලබාදීමට අපට අවශ්‍යයි. රුපියල ශක්තිමත් වෙමින් ආර්ථිකය ස්ථාවරවීම ආරම්භ වී තිබෙනවා. දැන් තරුණ ප්‍රජාව තමන්ට අවශ්‍ය අනාගතය කුමක් ද යන්න තීරණය කළ යුතු වෙනවා. Gen Z පරපුර ලෙස හඳුන්වන ඔබ සියලුදෙනාට හොඳ අනාගතයක් ලබාදීම මගේ බලාපොරොත්තුවයි.
ප්රශ්නය:
අපේ රටේ බොහෝ අය අපේ රටේ දේශපාලන තත්ත්වය ගැන නොදන්නා නිසා මේ මාසයේ නිවැරදි ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටිනවා. ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ඔබේ අනාගත සැලසුම් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා.
පිළිතුර:
කවුරුත් නැති වෙලාවක මට ජනාධිපතිකම භාර ගන්න සිදුවුණා. ආර්ථිකය නිවැරදි මගට ගැනීම සඳහා මම එය භාරගත්තා. දැන් අපි බංකොලොත් භාවයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඉතා ඉක්මනින් අපගේ කටයුතු කළමනාකරණය කිරීමට අපට හැකියාව ඇති බව ජාත්‍යන්තර ප්‍රකාශ කරනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අපගේ ණයහිමි රටවල් 18කින් ඒ සඳහා ආධාර සහ සහන ලැබෙනවා. ඒ නිසා අපි අපේ ආර්ථිකය අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. ඉතින් මම බියගම වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට අපි අපනයනයට නැඹුරු ආර්ථිකයක් සහිත රටත් බවට පත් වෙනවා.
ප්රශ්නය:
මීට මාස කිහිපයකට පෙර, හිජාබ්, නිකාබ් සහ අබායා පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන් කාර්යාලවල සහ පොදු ස්ථානවල ඇතුළු වීමේදී නින්දා අපහාසවලට ලක් වුණා. මේ වන විට තත්ත්වය යහපත් වී තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියටත් පවතීද?
පිළිතුර:
මා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවිට ඔබට එවැනි ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඔබට ඔබේ සම්ප්‍රදායික ඇඳුම් ඇඳීමට අවශ්‍ය නම්, එය ඔබේ තෝරා ගැනීමයි. ඔබට එය අවශ්‍ය නැතිනම් එයද ඔබේ තීරණයයි. ඔබ මුහුණ දුන් අභියෝග පිළිබඳ මට වැටහෙනවා. ඇත්තෙන්ම, මුස්ලිම් කාන්තාවන් පරීක්ෂා නොකළ යුතු බවත් ඔවුන්ගේ ඇඳුම් ඉවත් කිරීමට බල නොකළ යුතු බවත් පැවසීම පිළිබඳ කොමිසමකදී මට දෝෂාරෝපණයක් ද එල්ල වුණා. විරෝධතා නොතකමින්, විශේෂයෙන් ඔබේ ආදරණීයයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේදී ඔබ අත්විඳින දුෂ්කරතා මම හඳුනාගත්තා. මම දැන් ඒ සඳහා පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මඟින් තමන් ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට කැමතිද යන්න තෝරාගැනීමේ අයිතිය එම පුද්ගලයාටම ලබාදෙනවා වගේම එම තේරීමට ගරු කරනවා.
ප්රශ්නය:
ඉදිරි වසර 10ක අනාගතයක් දෙස බැලීමේදී ඔබ දැකීමට බලාපොරොත්තු වන සමාජ වෙනස්කම් මොනවාද?
පිළිතුර:
සමාජය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඒ තුළ කෘත්‍රිම බුද්ධිය ආධිපත්‍යය දරනු ඇති බව ඔබට පෙනෙනවා. ඔබ සහ මා අතර ඇති වෙනස නම් මම හැදුනේ අපිට ජංගම දුරකතනයක් හෝ කිසිවක් නොමැති කාලයකයි. ඒ නිසා අපි එකිනෙකා සමඟ කටයුතු කළා. දැන් ඔබ අයත් වන Gen Z පරම්පරාව සැමවිටම ජංගම දුරකථනය සමඟ ජීවත් වෙනවා. සෑම දෙයක්ම ඒ වටා කේන්ද්‍රගත වී තිබෙනවා. එබැවින් එය තවදුරටත් වැඩි දියුණු වන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය ද තවදුරටත් ඇතුළත් වනු ඇත. තවත් බොහෝ නව තාක්ෂණයන්ද පැමිණෙනු ඇතියි. එය හොඳද නරකද යන්න අපි තීරණය කළ යුතුයි. නමුත් අපේ රට ආපස්සට ගමන් කරනවාට මම කැමති නැහැ. ඒ නිසා මට අවශ්‍ය ඔබ දැනුවත් කර ජනතාව දැනුවත් කිරීමටයි. එවිට අපට තව වසර 20 කින් දැනුම පිළිබඳ ආර්ථිකයක ඇතිවන අභියෝග ජයගත හැකියි. ඇත්තෙන්ම එය කුමක් වනු ඇත්දැයි කීමට අපහසුයි.
ප්රශ්නය:
පාසලේ සිට විශ්වවිද්‍යාල සහ සේවා ස්ථානවලට සිසුන් මාරු වීමේදී ඔවුන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්රවිනතාවයේ ගැටලුවකට මුහුණ දෙනවා. මෙම හිඩැස පිරවීමට රජය සැලසුම් කරන්නේ කෙසේද?
පිළිතුර:
ශ්‍රී ලංකාව සඳහා මගේ ප්‍රතිපත්තිය ” English for all” වැඩසටහනයි. ඉදිරි වසර 10 තුළ, අපි ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කළ යුතු අතර සෑම කෙනෙකුටම භාෂාව ඉගෙන ගැනීමට ප්‍රවේශය ඇති කළ යුතු වෙනවා. මම මේ අදහස 1982 තරම් ඈතක දී අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරමින් පාරට බැස්සා. ඒ නිසා අපට ඉදිරියට යාමට නොහැකි වුණා. එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කළා නම් අද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එසේනම් ජවිපෙන් එයට විරුද්ධ වූයේ මන්දැයි ඔබ ඔවුන්ගෙන් ඇසිය යුතුයි. දැන් මම මෙය ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. පළමු වසර දෙක තුළ, අපි ගුරුවරුන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. පසුව අනෙක් පිරිසට පුහුණුව ලබා දෙන්නවා. පෞද්ගලික ආයතනවලට ලියාපදිංචි වී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට ද අපි අවස්ථාව ලබා දෙනවා. එනිසා ඉදිරි වසර 10 තුළ රට තුළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ඇති කළ හැකියි.
ප්රශ්නය:
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සමඟ අපේ රටේ තරුණ පරපුරට සම්බන්ධ වීමට අවස්ථාවක් තිබෙනවාද
පිළිතුර:
දේශගුණික විපර්යාස අප මුහණ දෙන ප්‍රධාන ගැටළුවක් වෙනවා. ඒ පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමට , පශ්චාත් උපාධි හැදැරීමට හෝ පර්යේෂණ පැවැත්වීමට විධිමත් ස්ථානයක් නැහැ. එනිසා ලෝකය වෙනුවෙන් අප මෙම විශ්වවිදයාලය කොත්මලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ආයතවලට ඒ සම්බන්ධවීමේ හැකියාව තිබෙනවා. ඒ හරහා දැනුම වර්ධනය කරගත හැකියි. ලෝකයේ පවතින ඕනෑම ආයතනයකට ද මේ සමඟ සම්බන්ධ වී කටයුතු කළ හැකියි. අප බලාපොරොත්තු වන්නේ එයයි.
පාසල් නිල ඇඳුම් ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
චීන රජයෙන් ලබා දෙන පාසල් නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් 13 වන දා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය අද (සැප්. 18) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, එම පාසල් නිල ඇඳුම් තොගය අදියර තුනක් යටතේ මෙරටට ලැබෙන බව ත් එහි දෙවන තොගය නොවැම්බර් 21 වන දා ලැබෙන බව ත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම පාසල් නිල ඇඳුම්වල අවසන් තොගය දෙසැම්බර් 20 වන දා ලැබීමට නියමිත බව ය.
ඒ අනුව, 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දාට පෙර පාසල් නිල ඇඳුම් දරුවන්ට ලබා දීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.
ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
මෙයට අමතරව පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය දීමට යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බවත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කළේය.
එහෙත් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නොමැති බවත් සතියේ දිනවල හා සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවටත් වාර්තා වේ.
වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ
මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.
දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.
අද පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.
අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.
වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිවෙකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
තමා රට භාරගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වූ බවද සඳහන් කළේය.
එසේම මෙම නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
අප මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම අනුමත කළේ 2015 වසරේදීයි. නමුත් එදා සිටම මීට විරුද්ධව විශාල විරෝධතා ගෙන ගියා. පාර්ලිමේනතුවේ පරීක්ෂණ කළා. අවසානයේ 2019 වසරේදී ආරම්භ කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අතපසු වුණා.
මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩකටයුතු අද ආරම්භ වී තිබෙනවා. මේ කර්මාන්තශාලාව මඟින් වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මේ සමග අපට අපේ අපනයන ක්ෂේත්රය ශක්තිමත් කර ගත හැකියි.
මෙම කර්මාන්තශාලාව වසර දෙකකින් ආරම්භ කිරීමට නියමිතව වුවද මේ සඳහා අපට වසර 10ක කාලයක් ගත වුණා. බොහෝදෙනා උත්සාහ කළේ මෙයට විරුද්ධව කටයුතු කිරීමටයි. කිසිවෙක් පක්ෂව වැඩකටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ සියලුදෙනා උත්සාහ කළේ මෙම ව්‍යාපෘතිය නතර කර දැමීමටයි. මෙම කර්මාන්තශාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගැනීමට තිබු අවස්ථා අප අහිමි කරගත්තා. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ දෙන්නේ නැහැ.
මම මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්නේ මෙම වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටයි. මෙම කර්මාන්තශාලාව කුලියාපිටිය දියුණුවේ එක කොටසක් බව කිවයුතුයි. මේ සමඟ කුලියාපිටිය දියුණුව ආරම්භ වෙනවා. අප බිංගිරියේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම සංචාරක කලාපයක් වෙනුවෙන් ඉරණවිල ප්‍රදේශයේ අක්කර 500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නිෂ්පාදන කලාපයක් මෙම ප්‍රදේශවලට ලැබෙනවා.
මෙම නව රැකියා අවස්ථා සමග පුහුණු පිරිස් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, පුහුණු පිරිස වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇති කරනවා. 21 වන ශතවර්ෂයේ මැද භාගයට අප ගමන් කළ යුතුයි. එය අතහැර යාමට හැකියාවක් නැහැ.
අද චීන සමාගම් මෙම අයෝජන සඳහා පැමිණ සිටින අයුරින් යුරෝපා සමාගම්ද ඉදිරියේ දි මෙහි පැමිණෙනවා. ඔවුන් සිටින්නේ අප නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වන තුරුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට ණය ලබාදුන් රටවල් 18 සමග සාකච්ඡා කර තිබෙනවා. අප දැන් පුද්ගලික බැදුම්කරුවන් සමඟ අවසාන වටයේ සාකච්ඡාවල නිරත වෙනවා. එම එකඟතා අනුව අප ඉදිරියට යනවා.
මම උත්සාහ කරන්නේ වයඹ විශාල දියුණුවක් ඇති කිරීම සඳහායි. ගම්පහ දියුණු කළ අන්දමින් අප වයඹ එම දියුණුව ඇති කරනවා. එහි ආරම්භයක් ලෙස මම කර්මාන්තශාලාව හදුන්වා දිය හැකියි. සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මෙම සමාගම මඟින් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහත්වරුන්ද, වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්යක්ෂවරුන් වන ජෙරාඩ් ප්‍රනාන්දු, මිකායිල් සෙල්වනායගම් යන මහත්වරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=198#sigProIdfb72b65260
විවාදයකට අනුර කල අභියෝගය රනිල් බාරගනී
අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගය බාරගැනීමට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීමට මත්තෙන් එම එම විවාදය කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
'' හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසා ''
අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම් දීමක්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 03 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේය,
ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක්
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000ක් යෙදවීමට නියමිතය.
ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයෙකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලීසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවට IMF කොන්දේසියක්
වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී අද (16) පැවසීය.
වැල් පාලමේ අභියෝගයෙන් පැනගිය අනුර- සජිත් නමැති නතාලියාලා දෙදෙනාට අයි.එම්.එෆ් කොන්දේසි ඉටුකළ හැකිදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ වැඩපිළිවෙළ හොඳින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ තමා ප්රමුඛ රජයකට බවද අවධාරණය කළේය.
"ඔබ හැම දෙනාම හුණුවටයේ කතාව දන්නවා. තාම අපි ඉන්නේ වැල් පාලමේ. තව ටිකක් යන්න තියෙනවා. පාලම හෙලවෙනවා. එම ගමන ස්ථිර කිරීම සඳහා අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වී සිටිනවා.
වැල් පාලමෙන් එගොඩට එන විට හුණුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා.
ඔවුන් දෙන්නාම පැනල ගිය නතාලියාලා. ඒ අයට කිසිම අදහසක් නෑ. හිතුමතේ බදු අඩු කරන බව කියනවා. මමත් බදු අඩු කරන්න කැමතියි. නමුත් අයි.එම්.එෆ් ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ. රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා.
හිතුමතේ වැඩ කරන්න මේ කිසිවකුටත් අයි.එම්.එෆ් එකෙන් බලය ලැබෙන්නේ නෑ. ඉතින් මේ අය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්ද? ඔවුන් අර්බුද හමුවේ පැන ගිහින් අදහසක් නැතුව හිටියේ.
නව ආණ්ඩුවට අයිඑම්එෆ් සංවිධානයෙන් කොන්දේසි තුනක් පනවා තිබෙනවා. පවතින රජය ගෙනයන වැඩසටහනේ අරමුණු ආරක්ෂා කිරීම, එමෙන්ම ඒ වැඩකටයුතු සාක්ෂාත් කර ගැනීම, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම යන කොන්දේසි අයිඑම්එෆ් සංවිධානය විසින් පනවා තිබෙනවා. ඉතින් නතාලියාලට මේ කොන්දේසි ඉටු කරන්න පුළුවන්ද?
මූල්‍ය අරමුදල කියන්නේ අපේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ලෙසයි. මේ ස්ථාවර බව ඇතිකොට රට ඉදිරියට ගෙන යාම සඳහා මා මේ ජනවරම ඉල්ලනවා. ඒ මගේ අනාගතය තහවුරු කර ගැනීමට නොව ඔබේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා" යැයි ජනාධිපතිවරයා කීය.
රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට ශක්තිය දීමට භික්ෂූන්වහන්සේලා පෙරමුණ ගත යුතුයි - දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
වෛරය, ක්‍රෝධය ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනපතිට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතු යැයි දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, වෛරය, ක්‍රෝධය, ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට එතුමාට නියත වශයෙන්ම අවස්ථාව ලබාදිය යුතු බවත් මේ සඳහා භික්ෂූන් වහන්සේ පෙරමුණ ගෙන ඉදිරියට පැමිණිය යුතු වුවත්, ඇතැම් භික්ෂූන් වහන්සේ ගෙන යන වැඩපිළිවෙළ මේ රටේ බුද්ධ ශාසනය විනාශයට හේතුවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද පතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල, උළුවිටිකේ කාර්යාල භූමියේ පෙරේදා (14) පැවැති විශේෂ සඝ සමුළුවකට හා ජය පිරිත් සජ්ඣායනයකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ මෙසේ ද පැවසූහ.
“මෙම සංඝ සමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතායි. එතුමාගේ සිරිතක් තිබෙනවා. ඒ රටේ වටිනා කාර්යයක් සිද්ධ කෙරෙනකොට විශේෂයෙන්ම එතුමා දේශපාලන වශයෙන් තීරණාත්මක වැඩ කටයුත්තක් සිද්ධ කරනවිට පින්වත් මහ සඟරුවන දහස් නමක් මේ නිෙවසට වඩමවලා සඟ සතු මහා දානමය පින්කමක් ඉෂ්ට සිද්ධ කරලා තමන්ටත්, රටේ සියලු නායකයන්ටත් ආශීර්වාදය ලබා ගන්නවා. එය විශේෂත්වයක් හැටියටයි මම දකින්නේ. ඒ විතරක් නෙමෙයි එතුමා නිරන්තරයෙන්ම මේ මහ සඟවන සමඟ ගැවසෙනවා. මම හිතන්නේ එහි ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා.
මෙවන් මොහොතක අපේ නායක හාමුදුරුවන් වහන්සේලා නිර්භීතව වැඩමවීම සම්බන්ධයෙන් මම ඔබවහන්සේලාට පළමු කොට ස්තූතිවන්ත වෙනවා. මේ මොහොත අංශ කිහිපයකින් අපිට බොහෝම වැදගත්. මම හදිසියේ කියවන්නට යෙදුණා බුදුන්ගේ සමාජවාදය කියලා පොතක්. ඒ පොත රචනා කරලා තියෙන්නේ කැනඩාවේ පදිංචි සුනීතා කියලා නෝනා මහත්මියක්. එතුමිය කැනඩාවේ දහම් පාසල් එහෙමත් කරනවා. ලංකාවට පැමිණි විටත් විශේෂයෙන්ම ‘චරිත භික්ඛවේ චාරිකං’ යන පාඨය මුල් කරගෙන එතුමිය විවිධ විග්රහ ඉදිරිපත් කරනවා.
අපි මහණ කරන්න ඇබිත්ත දරුවකු හොයා ගන්නේ බොහොම අමාරුවෙන්. ඒ දරුවා පන්සලට ගෙනවිත් අධ්‍යාපනය ලබාදීලා ඒ දරුවගේ කරට සිවුරු පටිය පලන්දවලා මහණභාවයට පත් කරලා අපේ පිරිවෙන් තුළ හොඳ ශික්ෂණයක් ඇතිව අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා.
ඒ වගේම ඒ දරුවා පැවිදි කරලා කුඩා නමක් හැටියට අධ්‍යාපනය දීලා ඉහළට ගේන්න හැම කැපවීමක්ම කරනවා. අවසානයේදී නායක හාමුදුරුවනේ ඉහළ අධ්‍යාපනයකට යොමුවුණු තැන, මගේ හාමුදුරුවන්ට ඒ ගෝල නම ඉන්නව ද? මගේ හාමුදුරුවන්ගේ මතවාදයට ඒ ගෝලයා අනුකූලයි ද? ඔබවහන්සේලාගේ රත්තරං දායකාදීන් අපේ පුංචි හාමුදුරුවෝ කිය කියා තමන්ට වළඳන්න තිබෙන දේට වඩා දහ දොළොස් ගුණයකින් ඒ දානය පිළියෙල කරගෙන ඇවිල්ලා මේ පොඩි හාමුදුරුවන්ට වළඳවනවා. පොඩි හාමුදුරුවෝ ශක්තිමත් කරලා, මගේ ගම බාරගන්න, අපේ සතර පේරුව භාරගන්න, මගේ හාමුදුරුවෝ වඩින්න ඕන කියලා ඉහළ අධ්‍යාපනයට යවන පොඩි හාමුදුරුවන් වෙසක් පෝයටවත් ගමට වඩිනව ද? ලොකු හාමුදුරුවන්ගේ ලියුම් කැබැල්ලට පිළිතුරක් තිබෙනවද? මට අසනීපයි කියලා කෝල් එකක් දුන්නම උන් වහන්සේ වඩියි ද?
හාමුදුරුවනේ ඒ වෙනස සිද්ධ කළේ කොතැනදි ද? ඉතිහාසය පුරාවට වාම දේශපාලනය ඉතාමත් නරක පැතිකඩකට ගිහිල්ලා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි හදාගන්න අපේ පුංචි හාමුදුරුවෝ අපට අවනත නොවන තැනකට ගෙනවිත් තිබෙනවා.
පහුගිය කාලයේ භික්ෂුව වෙනුවෙන් අපේ රටේ තිබුණු ප්රබලතම ආයතන, රත්තරන් හාමුදුරුවනේ ඔබ වහන්සේලා සමහරක් වෙලාවට හැදුණා වැඩුණා විතරක් නෙමෙයි, පරිවේණාධිපති තනතුරු ගොඩනගන්නට මූලික වුණු පිරිවේණාධිපති වහන්සේලා නිර්මාණය කළ අධ්‍යාපන ආයතනය අද කෝ? මේ රටේ අපේ භික්ෂූන් වහන්සේලා මහ රහතන් වහන්සේ නමක් කරනවා කියලා ගොඩනගපු අපේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වුණු අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ආයතනය අද මේ මොහොතේත් වසා දමන්න ස්ට්‍රයික් කරනවා. අපි උත්සාහ කළේ එතැනට යන භික්ෂූන් වහන්සේ, රහතන් වහන්සේ නමක් කරන්නයි. නමුත් කොතනින් ද මේ දරුවන්ගේ හිත් වෙනස් කරන්නේ?
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මොනතරම් අපේ තරුණ හාමුදුරුවරුන් වෙනස් වුණා ද? උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය තුළ අපේ උපකුලපතීන් වහන්සේ පින්වත් ආචාර්ය ස්වාමීන් වහන්සේලා කියන දේට අවනත වුණා ද? කොතනින් ද මේක සිද්ධ කළේ? අපේ විනය පිටකයෙන් ද? අපේ සූත්‍ර පිටකයෙන්ද? අපේ අභිධර්ම පිටකයෙන් ද එහෙමත් නැතිනම් වෙනත් තැනකින් ද? මගේ ශ්‍රී ලංකා දේශය තුළ වැඩ ඉන්න මගේ ශ්‍රීමත් නායක ස්වාමීන් වහන්සේලා මෙහෙම නිදිමත ඇතිව වැඩ කරලා බෑ. ‘දැන් අපි තැනකට ආවා, අපිට ඕවා නෑ, අපි ඕවට නෑ” කියලා ඉන්නවට වඩා අපේ මේ රත්තරන් තරුණ හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්නට අවශ්‍යයි.
1986, 87, 88, 89 කාලය තුළ තරුණ හාමුදුරුවන් වහන්සේලා අපවත් වුණු ප්‍රමාණය මට මතකයි. මම එදා ඒ පින්තූර එකතු කරමින්, එක්තරා සංවිධානයක් හරහා උන් වහන්සේලාගේ මානව අයිතීන් පිළිබඳව කටයුතු කරන්නට කැපවුණා. ඒ කැපවීමට 1336 නමකගේ නම් එකතු වුණා. ඒ දේවල් කවුරු කළත් එතැනට මේ රට ගෙන ගියේ කවුද? එතැනට මිනිස්සුන්ගේ මනස් විකෘතිය ගෙන ආවේ කවුද? මේවා ගැන අපි බොහොම ගැඹුරින් හිතන්න අවශ්‍යයි.
ඒ නිසා නායක හාමුදුරුවනේ, සිවුරු හැර ගිය අපේ ස්වාමීන් වහන්සේලාගේ සංඛ්‍යාව ගැන ඔබවහන්සේලා හිතුව ද? මේ සංඝ සමාජය තුළ අපේ ස්වාමීන් වහන්සේලා අතළොස්සක් වැඩ ඉන්නවා. නමුත් කොයි තරම් සංඛ්‍යාවක් සිවුරෙන් ගියා ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි තැන බුද්ධාගම ගැන සඳහන් වෙලා තිබෙනවා. සඳහන් වෙලා නම් තියනවා තමයි, නමුත් සිවුරක්වත් හම්බවෙන්නේ නැහැ. ඒ දේ අපේ රජයෙන් සැබෑවටම සිද්ධ වෙන්න ඕන. ඒ ක්රියාත්මකභාවය අපි ඉදිරියට හදාගන්න අවශ්‍යයි. එය බලවත් කරගන්නට අවශ්‍යයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබෙනවා, නමුත් එහි සිටින අය හාමුදුරුවන් වහන්සේලා දන් වළඳන වේලාව දන්නේ නැහැ. නමුත් අධිකරණ සංඝනායක හාමුදුරුවන් වහන්සේ නමක් අපවත් වුණාම මල් වඩමක් දෙන්න වැඩපිළිවෙළක් නම් තියෙනවා. ඒක පෙට්ටිය ගත්තම මල් ශාලාවෙන් නිකං දෙනවා. ඒකට අමාත්‍යාංශයක් ඕන නැහැ.
මෙවැනි වෙලාවක තමයි අපේ දහම් පාසල්වලටත් මම අර ඉහතින් සඳහන් කළ කාරණා ගෙනවිත් අපේ දහම් පාසල් දරුවන්ගේ හිතුත් දූෂණය කරන්න හදන්නේ. මේ සමාජය තුළ ගොඩනැඟෙන ඇතැම් වාමවාදී මත, සමාජවාද මත, බුදුහාමුදුරුවන්ගේ සාංඝික න්‍යාය තුළ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. දෙපයක් තිබෙන මනුස්සයෙක් එක කකුළක් තිබෙන මනුෂ්‍යයෙක් එක්ක සමාන කරන්නේ කොහොමද? කවදාවත් කාල් මාක්ස්, ලෙනින්ලාගේ, පසුකාලීනව ස්ටාරිලින්වාද හරහා එහෙමත් නැත්නම් අපේ ඔය කිසිම කෘතියකින්වත් ගේන මත ගැළපෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය ඊට එහා තියෙන්නේ. අපේ ජීවිතය ලෝකෝත්තර ධර්මය වගේම බෞද්ධ සංකල්පයක් එක්ක තියෙන්නේ. මේ නිසයි අපි මේ මොහොතේ මේ කාර්යයන් ගැන හිතන්නේ. එතැනදි අවනත වීම සහ අනාගමික යන කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.
අපේ රට හරිම වාසනාවන්තයි. ඇයි ඒ? අපේ රටේ කවර ජාතිකයෙක් උපත ලැබුවත් ඒ උපදින කෙනාට උපදිනකොටම ආගමක් තිබෙනවා. දකුණු කොරියාවට ගියාම අපිට පේනවා අම්මා අප්පච්චිගෙන් ඇහුවොත් කියන්නේ අපේ දරුවන්ට ආගමක් නැහැ කියලයි. අපේ ළමයි ආගම් අදහන්නේ නැහැ. අපිට නම් ආගම් තිබෙනවා. නමුත් මේගොල්ලන්ට නැහැ. නීතියයි ආගමයි හින්දා තමයි මේ ඩිංගහරි මේ රටවල් මෙහෙම පවතින්නේ. මේ ආගමත් දහමත් දෙක නැති වූ කල මිනිසා තරම් නරක සත්ත්වයෙක් මේ ලෝක ධාතුව තුළ නැති වේවි. ඒ නිසයි අවබෝධය තිබෙන්නට ඕන.
ඒ නිසයි අපි මේක අත්හරින්නේ නැත්තේ. ඒ නිසයි අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට මුල්තැන දී තිබෙන්නේ. නමුත් ඒ කාලේ නොතිබූ දේවල් දැන් වෙන්න යනවා. යටත්විජිත කරගෙන, කරන්න බැරි වෙච්චි දේ අපේම අය ලවා සිද්ධ කරන්න යනවා. ගහපු කොළ කෑලි අරන් ගෙන්ගෙට යාම නෙමෙයි, “චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තායතාව සුඛාය දේව මනුස්සානං“ කියන්නේ. හැබැයි අන්න අර සුනීතා මැඩම්ලා ලියපු පොත්වල තියෙන්නේ අපේ තරුණ හාමුදුරුවරුන්ට එවැනි අදහසක්.
ඒ නිසා පින්බර අම්මේ, ඔබ තවම නිවෙසේ උකස ගෙවාගන්න බැරිව දුක් වෙනවා. දරුවා රැවුල කොණ්ඩය වවාගෙන පාරේ විමුක්තිවාදියෙක් ලෙස යන්න යනවා. හිතන්න, ඒ නිසයි මගේ රත්තරන් හාමුදුරුවනේ අපි පෙරමගට වැඩම කළ යුත්තේ. ඒ නිසා මේ මොහොතේ මේ උතුම් පරිත්‍රාණ ධර්මානුශාසනා සමඟ අපි මේ රටට අවශ්‍ය කරන ආරක්ෂකභාවය වෙනුවෙන් ශක්තිය ලබාදෙන්නට අවශ්‍යයි.
පින්වත් හාමුදුරුවනේ, දැනටමත් මෝටර් සයිකල් එනවා. තැනක කොතැනක හරි කාර්යාලයක් ආරම්භ කරනවා නම් ඒ තැන්වලට ඇවිල්ලා, අක්කේ, අයියේ මේ බලාගමු 21 වෙනිදයින් පස්සේ බලමු, කියලා කියනවා. මේ විතරක් නෙමෙයි ආක්‍රමණශීලී පහරදීම් සිද්ධ වෙනවා. සමාජය තුළ මහා කෲරත්වයක් ඇති කරමින් තිබෙනවා. අද අපේ රටේ යමක් උපයා සපයා ගන්නා මිනිහා බිය ගැන්වෙලා. ඒ මනුස්සායා මේ රටින් එළියට යන්න හදනවා”
ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ගොඩනගන බව සජිත් කියයි
තමා ළඟ සිටින සියලු දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැගීමට එකතු වූ පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) යාපනය මනිපායී හි දී පැවති ජන රැලියක දී ය.
එම ජන රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
කැකෑරෙන ප්‍රශ්න අවසන් කරනවා
උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට විසදුම් ලබා දී සංහිඳියා ක්‍රියාවලිය තුළ මේ ගැටලු අවසන් කළ යුතු යි. හැමදාමත්ම කැකෑරෙන ප්‍රශ්න තියාගන්න බෑ. එය රටේ ම එකමුතුභාවයට හානියක් බැවින් සංහිඳියාව කේන්ද්‍ර කර ගනිමින් තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් ශක්තියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එක රටක් තුළ උපරිම බලය බෙදීමත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් පළාත් සභා සතු බලය මධ්‍යම ආණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම යන ප්‍රතිපත්ති පදනම් කර ගෙන උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රීයව යුද්ධය නිසා සිදු වු හානියෙන් පසු ජන ජිවිත ශක්තිමත් කරන්නට අපි කැපවෙනවා.
නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා
තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසඳුමක් ලෙස නව කර්මාන්තශාලා ආරම්භ කර විරැකියාව නිසා පීඩනයට පත් තරුණ ප්‍රජාව එම පීඩනයෙන් මුදවා ගන්නට අපි කැපවෙනවා. මම නිවාස ඇමතිවරයා විදියට රටේ සෑම තැනම නිවාස මෙන්ම උදා ගම්මාන හැදුව ද ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු එම නිවාස ව්‍යාපෘති සහ උදා ගම්මාන හදන එක නවත්වා දැමුවා. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහත් ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රතිපත්ති අනුගමනය කරපු නිසා ඒවා ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ. එම නිසා මම බලයට පත් වුනාට පස්සෙ එම නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා.
ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන
උතුරු නැගෙනහිර පළාත් මෙන්ම සෙසු පළාත් වල විශාල තරුණ පරපුරක් සිටින නිසා මේ අයට නවීන තාක්ෂණය උසස් අධ්‍යාපනය ලබා දිය හැකි ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කර, ඒ හරහා පරිගණක විද්‍යාව, භාෂා හැකියාව, තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී තරුණයන් සවිබල ගැන්වීම හරහා ඔවුන්ව ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වනවා.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එම්. සුමන්තිරන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥානම්, උතුරු පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී -කේසවන් සයන්තන් යන අය ද මෙම ජන හමුව සදහා එක්වූහ.
මේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න - රනිල්
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි.
එහිදි ජනාධිපතිවරයා පැවසුවේ තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බවයි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"දැන් කියනවා සජබෙන් මම දැන් ඉල්ලලා අස් වෙනවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕනේ මම ඉල්ලලා අස්වෙන මිහිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ලෝ වාගේ රනින් සූෂ් දාගෙන දුවන මිනිහෙක් නෙමෙයි කියලා.
මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේ එකතු වෙන්න. යූ.එන්.පී හැම එක්කෙනාටම මම කියනවා එන්න මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කියනවා මට උගන්වන්න බැරිවුණ එකක් උගන්වන්නම් දුවන්නේ නැතිව ඉන්න.
මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න. 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. මම පාර්ලිමේන්තු බලය එක්ක රට ස්ථාවර කළා. මම ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න.
අවුරුදු 5යි ඉල්ලන්නේ සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා"
Page 12 of 440