පුවත්
හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප්රිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කලක් මහත් ජනප්‍රියතාවට පත්ව සිටි රත්තරන් පොරවාගත් ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගත්තේ ය.
ඔහු ඊයේ (නොවැ. 3) තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප් රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන් ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ, එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබා ගෙන මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බව ය.
ඒ අතර, විමර්ශන නිලධාරීන් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ, එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බව ය.
එමෙන් ම, එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බව ත් ය.
ඒ අනුව, විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථය ද ධාවනය කර ඇති බව ය.
එමෙන් ම, එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබා දී ඇති බව දේවගැතිවරයා ප්‍රකාශ කළ ද විමර්ශනවලදී සැක කරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් දේවගැතිවරයා සන්තකයේ තිබූ බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් දේවගැතිවරයා අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ ඥාති පුතාගෙන් ද දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.
මූලික පරීක්ෂණයේදී සිදුකළ ප්‍රකාශ අනුව, මෙම වාහනය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා වෙත සැක සංකා එල්ල වුවද දිගින් දිගට ම සිදුකළ විමර්ශනයේදී එම රථය දේවගැතිවරයා සන්තකයේ කලක සිට තිබී ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මෙම රථය එකලස් කළ එකක් ද එහි චැසි අංකය, එන්ජින් අංක, සම්බන්ධයෙන් වාර්තාවන් කැඳවා ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ රසපරීක්ෂක ආයතනය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
දේවගැතිවරයා ඇතුළු පවුලේ උදවිය මෙම රථය භාවිත කර ඇති බව පොලිසියට නිල නොවන තොරතුරු ලැබී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අදාළ වාර්තා ලැබීමෙන් පසු එම රථයේ හිමිකරු කවුරුන් ද යන්නත් එය පාවිච්චි කර ඇත්තේ කවුරුන් ද යන්නත් නිශ්චිතව තහවුරු කරගන්නා බව ය.
රන් කිලෝ 5ක පමණ ප්‍රමාණයක් පැලඳ සැරිසරන මෙම දේවගැතිවරයා කලක් සමාජ මාධ්‍ය ජාලවල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ගාල්තැන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේවාලයටද විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා ලබාදී තිබිණි.
තවත් එකලස් කරන ලද වාහන කිහිපයක් සම්බන්ධයෙන්ද ලැබූ තොරතුරු මත තෙල්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
(mawbima.lk)
ආචාර්ය මොතිලාල් ටෙලිකොම් සභාපති ධුරයට
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා තෝරා පත්කර ගෙන තිබේ.
එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය.
ටෙලිකොම් ක්ෂේත්රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක්ද වේ.
වසර 05ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබූ අතර ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.
ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා ඇත.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේ තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් ව තිබේ.
ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ, අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.
එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළේ ය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට, කටයුතු යොදා ඇති බවයි.
එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු පැවසුවේ ය.
ලොහාන් කොළඹ ජාතික රෝහලට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයන්න විශේෂඥ කමිටුවක්...
අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
විෂයභාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මත එම කමිටුව පත් කර ඇත.
එම තීරණය ගෙන ඇත්තේ, දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට
ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලවෙත මාරුකර තිබේ.
මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ ඉකුත් 31වනදා මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.
කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණි.
බොහෝ ප්‍රදේශවලට අද තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම, බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් ද සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
කරාපිටිය වෙදදුරෝ වැඩවර්ජනයක
වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කෙරේ
ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
56 හැවිරිදි වියේ පසුවන ආචාර්ය හාන්ස් විජයසූරිය මෙරට විදුලි සංදේශ ක්ෂේත්රයේ දැවැන්තයෙකි.
ඔහු ශ්‍රී ලංකාවේ පළමු වරට GSM තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකු ලෙස හඳුන්වා දිය හැකියි.
තව ද දකුණු ආසියාවේ පළමු වරට ශ්‍රී ලංකාවට 3G, 4G සහ 5G යන තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාව ලෝකය තුළ විදුලි සංදේශ ක්ෂේත්රයේ ඉහළින් ඔසවා තබන්නට විජයසූරිය මහතා කළ සේවාව ඉමහත් ය.
ඔහු ආසියාවේ දෙවන විශාලතම විදුලි සංදේශ සමාගම වන Axiata Group Bhd හි සමූහ විධායක උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර තිබේ.
මේ අතර, මෙරට ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම සන්නිවේදන සැපයුම්කරු වන Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායකවරයා ද විජයසූරිය කටයුතු කළේය.
P. M. W. විජයසූරිය සහ සුසිලා විජයසූරිය යන දෙපළට දාව උපන් ආචාර්ය හාන්ස් විජයසූරිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.
ඔහු 1989 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියත්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් ද ලබාගෙන තිබේ.
ආචාර්ය හාන්ස් විජයසූරිය 1994 වසරේදී ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ය.
ඔහු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.
මේ අතර, ආචාර්ය හාන්ස් විජයසූරිය John Keells Holdings PLC සහ Sri Lankan Airlines (Sri Lankan National Airline) හි අධ්යක්ෂ මණ්ඩල සාමාජියෙක් හා ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.
GSM Asia-Pacific හි හිටපු සභාපති - GSM සංගමයේ කලාපීය උනන්දුව දක්වන කණ්ඩායම, සහ ආසියා පැසිෆික් විදුලි සංදේශ කර්මාන්තයට ඔහුගේ දායකත්වය වෙනුවෙන් GSM 100 ගෞරවනීය භූමිකාවට ඇතුළත් කර තිබේ.
2016, GSM සංගමය විසින් "ආසියානු ජංගම දුරකතන කර්මාන්තය සඳහා කැපී පෙනෙන දායකත්වය" සම්මානයේ පළමු ප්‍රතිලාභියා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය නම් කර තිබේ.
තවද 2024 දී ආචාර්ය විජයසූරිය ගෝලීය ජංගම දුරකතන කර්මාන්තයේ කැපී පෙනෙන දායකත්වය අගයමින් GSM සංගමය විසින් "සභාපති සම්මානයෙන්" පිදුම් ලබා තිබේ.
ආචාර්ය හාන්ස් විජයසූරියගේ මව චිත්‍ර ශිල්පිනියක් වන අතර, ඔහුගේ පියා වන P.M.W. විජයසූරිය 1971 සිට 1983 දක්වා මෙරට විගණකාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.
KDU සරසවියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් ඇතැයි වාර්තාවේ.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
එම අනතුරෙන් සිසුන් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර ප්‍රතිකර සඳහා ඔවුන්ව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
අනතුර සිදු වන විට බස් රථයේ 40 දෙනෙකු පමණ සිට ඇති අතර මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් අතර විශ්වවිද්‍යාල සිසුන් 34දෙනෙකු, ආචාර්යවරුන් තිදෙනෙකු සහ හමුදා සෙබළෙකු, බස් රථයේ රියැදුරු රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක්වූ නිවිතගල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකාරියන් ය.
බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල පසුකර අඹගහඔය ප්‍රදේශයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබිණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බස් රථයේ රියැදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ය.
‘පාර්ලිමේන්තුව ශුද්ධ කරමු’ NPP වාගාලාපයේ යටි පෙළ අරුත කෙෂාල් පැහැදිලි කරයි
මේ මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණු වේදිකාවේ රැව් පිළිරැව් දෙන වදන් මාලාවක් වන්නේ ‘‘පාර්ලිමේන්තුව ශුද්ධ කරමු’’ යන්න ය.
එම වදන් මාලාවට පසුව වේදිකාව අබියස සිටින ජනතාවට ඇසෙන්නේ ‘‘මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු’’ යන වදන් මාලාව ය.
අසා සිටින පිරිසට නම් මෙය ඉතා ප්රිති ජනක මෙන් ම විනෝද ජනක ප්‍රකාශයක් විය හැකි ය. නමුත් මෙම වදන් මාලාව සිහි බුද්දියෙන් කියවන පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මෙහි යටිපෙළ අරුත් ගන්වාගත හැකි ය; එහි බියකරු සහ ම්ලේච්ඡ ස්වභාවය ද හඳුනාගත හැකි ය.
එසේ හඳුනාගත හැකි අය මෙන් ම නොහැකි අය ද වෙති; විශේෂයෙන් ම මාලිමා රැල්ලට හසුව ගසාගෙන යන පිරිසට නම් එහි යටි පෙළ අසු නෙවේ; හසු වුව ද ඔවුන්ට එය වැගත් නොවේ. මන්ද ඔවුන් දැන් පත්ව සිටින්නේ සුනාමියට මොහොතකට පෙර මුහුදු ජලය ඈතට ඇදුණ මොහොතේ මුහුද දෙසට දිව ගිය මිනිසුන් ලෙසිනි. එම පිරිස එසේ වුව ද රටේ බහුතරයක් එසේ නොවන හෙයින් ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු ය.
මෙම කරුණ සම්බන්ධයෙන්: අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු ඩිජීටල් මිඩියා අධ්යක්ෂ, ගැස් සිලින්ඩරය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින කේශාල් ජයසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු දැක්වෙන්නේ එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.
ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු ශ්‍රමදානයකට ද? පාර්ලිමේන්තු භූමදානයකට ද?
මෙරට ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ ලෙස සලකන පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා බරපතළ අනතුරක් වෙත යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය. අධික බලය විසින් දූෂණය වහා ඉහළ යන බව ප්රත්යක්ෂ කරමින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය බරපතළ අනතුරක් වෙත තල්ලු කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව ශ්‍රමදානයකින් පිරිසිදු කළ යුතු බවය. එහි අතිශයින්ම බිය ජනක සහ ඛේදනීය තත්වය වන්නේ පාර්ලිමේන්තුවේ සියලු නියෝජිතයන් එම පක්ෂයේ පිරිසගෙන් සමන්විත විය යුතු බවට ඔවුන් ගෙන යන ප්‍රචාරය යි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සියයට පනහ ඉක්මවන නියත බහුතරය ලබා ගැනීමට අසමත් වූ ජාතික ජන බලවේගය, ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන් ලැබූ සුළු බහුතරයෙන් උද්දාමයට පත්ව කරනු ලබන ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදය කෙරෙහි ඔවුන් තුළ ඇති දුරස්ථ බවය. ඉකුත් ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට ලැබුණේ භාවිත කළ සමස් ඡන්ද ප්‍රමාණයෙන් 42% පමණක් වන අතර එම පක්ෂය අයත් වන්නේ භාවිත කළ ඡන්ද ප්‍රමාණය අතුරෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පිරිස ලෙසට ය. සාතිශය බහුතරයක් සිටින්නේ ජනාධිපති අනුරට ප්‍රති පක්ෂව බව ඔවුන් අවබෝධ කරගත යුතුය.
එවන් තත්ත්වයක සිටින ඔවුන් අද කියා සිටින්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතු බවය. සත්‍ය වශයෙන්ම ඔවුන් සිදු කරන්නට යන්නේ පාර්ලිමේන්තු ශ්‍රමදානයක් සිදු කළ යුතු බවට මුවාවී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අවසන් කරන භූමදානය සිදුකිරීම දැයි යන බරපතළ සැකය මේ වන විට ජනිත වී තිබේ.
ඉකුත් ජනාධිපතිවරණයේදි ඔවුන් ඉල්ලා සිටියේ වසර 76ක සාපය අවසන් කිරිමට ඡන්දය ලබා දෙන ලෙස ය. නමුත් එය රටේ සරල බහුතරය ද එය අනුමත කර නොතිබිණ.
එදා ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවට සමානුපාතික නියෝජනය හඳුන්වා දුන්නේ ද මෙම පාර්ලිමේන්තුව ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට අනුව නියොජනයක් ලබා දිය යුතු නිසා වන අතර ඊට හේතු වූයේ පෙර තිබු සරල බහුතර නියෝජන ක්‍රමයෙන් ආසනය දිනා ගන්නා අපේක්‍ෂාකයා මන්ත්‍රිවරයා බවට පත්වීම හරහා ගැටලු රැසක් නිර්මාණය වී තිබූ බැවිනි. 1994 සිට ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ලැබුණේ මේ පැවති සාමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙනි. එහෙත් ඔවුන්ට අද ඒ සියල්ල අමතක ය.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සාර්ථක වීමට නම් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය පැවතීම ද අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනයට සෑම මහජන නියෝජිතයෙකුට ම අවස්ථාවක් තිබිය යුතුය. එය තමන්ට හිතෛෂීවන්ත, තමන්ගේම පිරිසක් පමණක් නියෝජනය කරන ලෙස කවුරුන් හෝ ඉල්ලා සිටින්නේ නම් එය ඒකාධිපති වියරුවකින් කරන ප්‍රකාශයකි. එවන් ඒකාධිපතිවරුවන්ගේ ප්‍රතිවිපාක මේ රට වසර ගණනාවක් තිස්සේ අත්විඳ ඇති බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.
2022 අර්බුද අවස්ථාවේ දී එවකට පැවති ආණ්ඩු පක්ෂය ඊට මුහුණ දීමට නොහැකිව අසරණ වූ අවස්ථාවේ එම අභියෝගය බාර ගත්තේ එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඇතැම් විට එදා ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයට ම අනුව යමින් අභියෝගය භාර නොගත් බව ද මේ රටේ ජනතාවට අමතක නැත. ආණ්ඩු පක්ෂයේ සේම විපක්ෂය ද පාර්ලිමේන්තු නියෝජනය තුළ සිටිය යුතු බවත් ඒ දෙපාර්ශවය ම ශක්තිමත්ව පැවතිය යුතු බවත් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් සියලු දෙනා ම විශ්වාස කරන කරුණකි.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ඉතිහාසයක් ඇති කණ්ඩායමකට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තමන්ගේ ග්‍රහණයට ගැනීම නම් එකී අරමුණ ඉටු කිරීමට ප්රජාතන්ත්රවාදය අගයන කිසිවෙකු ඉඩ ලබා දෙන්නේ නැත. එදා බෝම්බ ගසා හෝ විනාශ කිරීමට නොහැකිවූ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මෙවර, මැතිවරණයට මුවා වී තමන්ගේ නියෝජිතයින්ගෙන් පමණක් පාර්ලිමේන්තුව පුරවා ඉටුකර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබල වේගයට අවශ්‍යව ඇත්දැයි යන්න ඔවුන්ගේ හැසිරීම් සහ ප්‍රකාශයන් තුළින් ගම්‍ය වෙමින් පවතී. ආධුනික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මේ රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව පිරී ගියහොත් එයින් අත්වන අනතුර සහ භයානක ප්‍රතිවිපාක පිළිබඳව නැවත නැවතත් කල්පනා කළ යුතුය.
පසුගිය අර්බුදකාරී මොහොතේ පාර්ලිමේන්තුව තුළ අත්දැකිම් බහුල රනිල් වික්‍රමසිංහ බඳු මන්ත්‍රිවරයෙක් නොසිටියා නම් ඇති වන තත්ත්වය මොනතරම් බිහිසුණු වනු ඇත්දැයි සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවේ. ඉතාමත්ම ජනප්‍රිය සටන් පාඨ ලෙස පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම,උගත් බුද්ධිමත් අයගෙන් පාර්ලිමේන්තුව පිරවීම බඳු ප්‍රකාශ ලාබෙට අලෙවි කළ හැකි වුවත් යථාර්ථයේ දී එය හුදෙක් අමනෝඥ කටයුත්තක් පමණි.
2019 සහ 2020 වසරේ දී වියත් මග හරහා පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනා පාර්ලිමේන්තුව මෙන්ම රට ද බංකොලොත් කළ අයුරු මේ රටේ ජනතාවට අමතක නැත. කණගාටුවට කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ පළමු ඉනිම නිමා කළ පසු එහි දෙවෙනි ඉනිම ජාතික ජන බලවේගය ආරම්භ කොට තිබීමය. එබැවින් එළඹෙන මැතිවරණය තීරණාත්මක වන්නේ තවදුරටත් මේ රට තුළ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරගන්නවා ද, නොඑසේනම් ජාතික ජන බලවේගය පවසන පරිදි පාර්ලිමේන්තුව ශ්‍රමදානයක් බවට පත් කිරීමේ වචනයට මුවා වී පාර්ලිමේන්තුව භූමදානය කරනවා ද යන කරුණ සම්බන්ධව තීන්දුවක් ගැනීමට අවස්ථාව සැලසෙන හෙයිනි.
එබැවින් මේ බිහිසුණු තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
(කේශාල් ජයසිංහ)
අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ
හිටපු ඩිජීටල් මිඩියා අධ්‍යක්ෂක
කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක
2024 ඔක්තෝම්බර් 31
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කරයි
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ.
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.
ඉන්ධන මිළ සංශෝධනයක්
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.
රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත.
මේ අතර ලංකා IOC සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත.
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබී තිබුණු තොරතුරක් අනුවය.
අදාළ තොරතුරු අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබුණි.
එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා සති 03කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටය.
ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මිරිහාන පොලීසිය වෙත රැගෙන යෑමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වී ඇත.
පරක්කු නෑ වෙනස් කරමු - සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!
''පරක්කු නෑ වෙනස් කරමු'' යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්රචාරක වැඩසටහන අද ආරම්භ වී තිබෙනවා.
ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්.
නැවතත් රට ප්‍රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයෙන් කියවෙනවා.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන යන නායකයන් දෙපල යටතේ මේ මැතිවරණ මෙහෙයුම සිදු කරන බව එයින් පැහැදිලිව පෙනෙනවා.
යල් පැන ගිය ඉවුරු බිඳිමු
රට වෙනුවෙන් පවුරු බඳිමු
එක්සත් වී එකට නැගෙමු
ජනතාවගෙ පැත්ත ගනිමු
අභියෝග ආවට මහමෙරක්
ආයෙ හැරුනද? පෙරහැරක්
මහ පොළවෙ පාමින් පෙළහරක්
ගමන අරඹන මෙහෙවරක්
කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන - කඳවුරක්
මවා සුරඟන කතා
දමා වැල් පාලම කඩා
රවටලා රැලි හද හදා
බලය ගෙන උදුරලා
නොපැතුවත් තුන් හිතින්
යළිත් රට වැටුනොතින්
ගොඩගන්න වෙන නිසා
හදමු බඳිමු අපි කඳවුරක්
පරිනත මහ බල කඳවුරක්
ආයෙ ආවත් උවදුරක්
කර තියන මහ බල කඳවුරක්
කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන - කඳවුරක්
අගමැතිනි සහ චීන තානාපති අතර හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් අද(30) සිදු විය.
මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.
මෙහිදී චීන රජයේ ත්‍යාගශීලීත්වය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතාට තම කෘතවේදීත්වය පුදකර තිබේ.
දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.
විභාගය පැවැත්වෙන දින වකවාණුව පිළිබඳව තීරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දී බව පැවසු විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පෙනී යන බව ද සඳහන් කළේය.
ඒ අනුව දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බව ද පැවසීය.
සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවත් පැවසීය.
මේ අතර තමාට හා විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද පැවසු විභාග කොමසාරිස්වරයා, උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර බව ද කියා සිටියේය.
පසුගිය කාල සීමාව පුරා රට මුහුණදුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් පැවසු විභාග කොමසාරිස්වරයා 2025 අවසන් වී 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.
ඒ අනුව උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අපේක්ෂකයින්ගේ මානසිකත්වය වඩා හොඳින් පවත්වා ගන්නා ගෙන විභාග සඳහා පෙනී සිටින ලෙසත් කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත්, ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.
විභාග මධ්‍යස්ථාන 2,317ක දී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර උතුරු පළාතේ ඩෙල්ෆ් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
Page 8 of 446