පුවත්
ගීතා වෙනුවට සීතා එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීතා කුමාරි අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේ ය.
අමාත්‍යවරිය මෙම ධූරය සඳහා පත් කර ඇත්තේ, ඇය දැනට කටයුතු කරනු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව ය.
මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ගීතා කුමාරසිංහයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ ගීතා කුමාරසිංහව ඉවත් කර තිබුණි.
කෙහෙළියට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ඔහුගේ ඇප කොන්දේසි ලෙස සඳහන් විය.
එසේම හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම සඳහන් කළේ, සැකකරු මේ වනවිටත් මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔහු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරින බවය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ ඔහු එම නඩුවේ 8 වැනි සැකකරු ලෙස නම් කරමිනි.
මේ අතර, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර ද අද දින ඇප මත මුදා හැරුණි.
කෙසේ වෙතත්, මෙම නඩුවේ පළමු සැකකරු වන ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 2 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප නියම කරන ලද්දේ, මාස 7කට පසුව ය.
ගීතා කුමාරසිංහ ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවතට
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය.
සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත සහය පළකිරීමත්, අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනා ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙත සහය පළකරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරතවීමත් මෙසේ ඔවුන් තනතුරුවලින් ඉවත් ඉවත්කිරීමට හේතුවී ඇත.
එසේම, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු ජනාධිපතිවරයා විසින් සැප්තැම්බර් 05 වෙනිදා ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනාට අමාත්‍ය ධුර අහිමිවිය.
ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ මාර්ගය තරුණ පරපුරට සකසා දෙනවා
Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණු බවද පෙන්වා දුන්නේය.
පසුගිය වසර දෙක තුළ ඇති කරගත් මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බව පෙන්වා දුන් ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා, එබැවින් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට තමාට ඉදිරි වසර 05ක කාලය අවශ්‍ය බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය බවත්, අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ථෙරවාදී ආර්ථිකයක් පිළිබඳ සඳහන් වෙනවා. මොකක්ද මේ ථෙරවාදී ආර්ථිකය කියන්නේ?
පිළිතුර
එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවෙයි. එය වහාම ක්‍රියාත්මක කළ හැකි වැඩසහනක්.සැප්තැම්බර් 22 වනදා සිට මෙහි සඳහන් වැඩසටහන් ගණනාවක් ක්රියාක්මක කළ හැකියි. අනෙක් අයගේ තිබෙන්නේ ප්‍රතිපත්ති මිස මොනවද කරන්නේ කියා සඳහන් වන්නේ නැහැ.
ථෙරවාද ආර්ථිකය ලෙස හඳුන්වන්නේ වෙළඳ ආර්ථිකයකටයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය විවෘත ධර්මයක්. එය වෙළෙඳාමට සම්බන්ධයි. එදා වෙළෙඳ සමාගම්වලට ධර්මයක් තිබුණේ නැහැ. ඔවුන් පැරණි කුල ක්‍රමය අනුව වෙළෙඳ කුගය ලෙස කටයුතු කළා. බුදු රජාණන් වහන්සේගේ දේශනාව නිසා ලෝකයේ හැම තැනම වෙළෙඳාම දියුණු වුණා. බුදු රජණන් වහන්සේගේ පණිවිඩය මුලින්ම ශ්‍රී ලංකාවට ගෙනාවේ තපස්සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින්. වෙළඳාම සමඟ එක් වූ ආගම් ධර්ම දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ බුද්ධාගමයි. අනෙක ඉස්ලාම් ධර්මයයි.
වෙළෙඳ කේන්ද්‍රයක් ලෙස රජරට දියුණු වුණා. එක පැත්තකින් බටහිරින් ආවා . අරාබි පැත්තෙන් ඇවිල්ලා මාන්තායිවලට භාණ්ඩ ගෙනවිත් මල්වතු ඔය හරහා අනුරාධපුරයට ගෙනාවා. චීනය පැත්තෙන් ත්‍රිකුණාමලයට ගෙනවිත් එතැනින් අනුරාධපුරයට ගෙනාවා. ඔවුන්ට ආපසු යාමට මෝසම් සුළඟ ආරම්භ වන තුරු බලා ඉන්න සිදු වුණා. ඒ නිසා මාස ගණනාවක් අනුරාධපුරයේ නැවතුණා. ඒ අනුව ඒ කාලේ හොඳ සංචාරක ව්‍යාපාරයක් තිබුණා විය හැකියි. ඒ නිසා අනුරාධපුරය විශාල වෙළෙඳ රාජධානියක් බවට පත් වුණා. අපි පල්ලව සහ චෝල යන රාජ්‍ය සමඟ වෙළෙඳාම සඳහා සටන් කළා. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමා මියන්මාර්යට හමුදා යැව්වා. අපට අවශ්‍ය වුණේ වෙළඳාම සහ මුහුදු ප්‍රදේශය පාලනය කිරීමටයි.
මේ සියල්ලම රජරට රාජධානිය කඩා වැටෙන විට විශේෂයෙන්ම ථෙරවාද බුදු දහමේ බලපෑම් ඇතුව තායිලන්තයේ ද ඒ හා සමාන වෙළඳ රාජධානියක් ඇති වුණා.
තායිලන්තය විවෘත ආර්ථිකය පිළිගත්තා. අපිට වඩා දියුණු වුණා. ලංකාව එක තැන පල් වුණා. දැන් අපි දියුණු විය යුතුයි. ඔබ සියලු දෙනාට හොඳ අනාගතයක් තිබිය යුතුයි.
2019 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදනය වුනේ ඩොලර් බිලියන 89යි. මම උත්සාහ කරන්නේ 2050 වර්ෂය වන විට එය ඩොලර් බිලියන 350ක් 400ක් කිරීමටයි. ඒ වන විට අපි නැති වුණාට අපි මාර්ගය සකස් කර දෙන්නම් ඔබ හොඳ ශක්තිමත් රාජ්‍යයක් ගොඩ නඟන්න.
ප්රශ්නය
ආර්ථිකය වර්ධනය වීමේදී ඒ තුළ තරුණයින් වෙනුවෙන් පවතින ඔබතුමා සතු සැලැස්ම කුමක්ද?
පිළිතුර
මට තිබෙන සැලැස්ම නම් Gen Z පරපුර, මේ සමාජයට ඇතුල් කරගනිමින් සමාජය ගොඩනැගීමේ වගකීම භාරගැනීමේ පිරිසක් බවට පත් කිරීමටයි. තමන්ට අවශ්‍ය අනාගතය තමන් තීරණය කළ යුතුයි. මම වයස අවුරුදු 20 පමණ කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලනය පිළිබඳ ගැටළු පැවතුණා. අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ වැඩ කළා. එතුමා ජනාධිපති බවට පත්වුණා. ඉන් අනතුරුව අපට අවශ්‍ය ආකාරයට සමාජය නිර්මාණය කරන ලෙස එතුමා අපට කිව්වා. එතුමා ආර්ථිකය විවෘත කළා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ. මට ඔබෙන් ඇසීමට තිබෙන ප්රශ්නය නම් තරුණයන් ලෙස තවත් වසර 25කින් ඔබට අවශ්‍ය සමාජය කුමක්ද කියායි.
ඒ වන විට මෙහි සිටින බහුතරයක් දෙනාට අවම වශයෙන් වයස අවුරුදු 50ක් පමණ වෙනවා. ඇතැමුන්ට මුණුපුරු මිණිපිරියන්ද සිටිය හැකියි. තමන්ට අවශ්‍ය සමාජය කුමක්ද යන්න තමන් දැනගත යුතුයි. මගේ උත්සාහ වන්නේ පසුගිය වසර දෙකෙහි මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ජනතාවට ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමයි. ඒ වගේම රටේ ආර්ථිකයත් දියුණු කිරීමයි.
අපට හැමදාම දුප්පත් රටක් වීමට බැහැ. මගේ කුඩා කාලයේදී ජපානය අපට පසුපසින් සිටියා. අද ඔබට පසුපසින් සිටින්නේ කවුද? මියන්මාරය, ඇෆ්ගනිස්ථාන සහ ලාඕසයයි. අපි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණහොත් ඔවුන්ද අපව පසුකරගෙන යයි.
ඒනිසා අප දේශපාලනය කිරීමේදී බොරුවට සටන්පාඨ කියවීමෙන් ඵලක් නැහැ. අනෙක් රටවල් මෙන් අප ගොඩනඟන අනාගතය පිළිබඳ තීරණයක් ගත යුතුයි. මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ අපි බොරු කළ නිසයි. සෑම දෙයක්ම නොමිලයේ දීමකින් තොරව, සෑම දෙයකටම ණය ගන්නේ නැතිව, අප මේ ආර්ථිකය ගොඩනැඟිය යුතු බවට සත්‍ය පැවසුවා නම්, මේ තත්ත්වය උදාවන්නේ නැහැ. අන්තිමට ණය ගෙවීමට නොහැකිව අද මේ පරපුරට එහි බර දැරීමට සිදුව තිබෙනවා. එනිසා එම තත්ත්වය වළක්වාගනිමින් හොඳ සමාජයක් නිර්මාණය කිරීමට මූලික වන සමාජය ගමන් කරන මාර්ගය සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය ඉදිරියට ගෙන යාම ඔබේ යුතුකමයි.
ප්රශ්නය
රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී නැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවා ප්‍රකාශ කළා. එය ඇත්තද?
පිළිතුර
එය කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන් බව කිව යුතුයි. මැතිවරණ නිරීක්ෂකයින්ට මේ සම්බන්ධයෙන් තියෙන මැදිහත් වීම මොකක්ද කියලා මම දන්නේ නැහැ. මේ මැදිහත්වීම් ස්වාධීනද දේශපාලනික ද කියලා ගැටළුවක් ඇති වෙනවා. වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් තිබුණා. ඒ සම්බන්ධයෙන් උදය ආර්. සෙනවිරත්න කමිටුව පත් කළා. අප ක්‍රියාත්මක කරන්නේ එම කමිටුවේ ලබා දුන් වාර්තාවයි.
2022 වර්ෂයේ මුදල් තිබුණේ නෑ. ඒ වර්ෂයේ කටයුතු කළේ බොහෝ වියදම් අඩු කරලයි. 2022 දී අපේ දළ දේශීය නිෂ්පාදය ඩොලර් බිලියන 76කට පහත වැටී තිබුණා. එය 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 84 දක්වා ඉහළ ගියා. ඉන් ලැබුණ මුදල් සහ ලෝක බැංකුවෙන් ලබා ගත් මුදලවලින් පළමුවෙන්ම සිදු කළේ අඩු ආදායම්ලාභීන්ට ‘අස්වැසුම’ ලබා දීමයි. මේ වසර වන විට තව දුරටත් අපේ දළ දේශීය නිෂ්පාදනයේ දියුණුවක් දක්නට ලැබුණා. ඒ තක්සේරුව මත ජනවාරි මාසයේ රජයේ සේවකයින්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට කටයුතු කළා. අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ලෙස ආර්ථිකය ක්‍රියාත්මක වන බව මාර්තු මාසය වන විට අපට අවබෝධ වුණා. ඒ නිසා රුපියල් 10,000ක් ලබා දුන්නා. 2025 වර්ෂය වන විට අපට මුදල් තිබෙනවා. ඒ අනුව උදය ආර්. සෙනවිරත්න වාර්තාව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මුදල් අපට තිබෙනවා.
රජයේ සේවකයින්ටත් අපි සහනයක් ලබා දිය යුතුයි. 2022 වර්ෂයේදී රුපියල් 185 ක් වූ ඩොලරයේ අගය රුපියල් 370 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ 100% කින් වැඩි වුණා. ඒ වගේම බඩු මිලත් වැඩි වුණා. නමුත් අපට වැටුප් වැඩි කළ හැකි වුණේ නැහැ. ඒ සඳහා මුදල් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ජීවන බර වැඩි වුණා. මෙවන් දීමනාවලින් ඔවුන්ට සහන දීමට කටයුතු කරනවා. මේ ආකාරයට තවත් අවුරුද්දක් ක්‍රියාත්මක විය යුතුයි.
අපි ඉන්නේ ගොඩක් අමාරු තැනක. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම වැදෙන්නෙම සාක්කුවට. මොකද භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ අනුව කාටවත් ප්‍රමාණවත් මුදල් නැහැ. අය්. එම්. එෆ් සංවිධානය ප්‍රකාශ කළේ මෙය 2027 දී සිදු කරන්න කියලයි. නමුත් මම කිව්වා එය 2025/26 කාලය තුළ සිදු කළ යුතු බව.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හම්බන්තොට අක්කර 4000ක ආයෝජන කලාපයක් පිළිබඳ සඳහන් කර තිබෙනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදීද මෙවැනි යෝජනා පිළිබඳ සඳහන් කෙරුණා?
පිළිතුර
අපට නවීන කර්මාන්ත ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තිබෙනවා. ඒ සඳහා පහසුකම් පවතින ආයෝජන කලාප ඇති කිරීමට තිබෙනවා. මම බලාපොරොත්තු වන්නේ විශාල ආයෝජන කලාප ඇති කිරීමටයි. අපි කටුනායක සහ බියගම කලාප අක්කර 400 බැගින් යොදවා මුලින්ම ආරම්භ කළා. ඊට වඩා විශාල ප්‍රමාණයේ ආයෝජන කලාප ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු නව ආයෝජන කලාපය බිංගිරියේ අක්කර 1000ක භූමි ප්‍රදේශයක ආරම්භ කරනවා. රට වටේම ඒ ආකාරයෙන් ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට කැමති ස්ථානයකට ගොස් ඒ හා සම්බන්ධ විය හැකියි. යාපනයේද අක්කර 1000ක් මේ වන විට වෙන් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ ප්‍රදේශයේ අක්කර 1000ක් පවතිනවා. අවශ්‍යනම් එම භූමි ප්‍රමාණය තවත් වැඩි කළ හැකියි. හම්බන්තොට ප්‍රදේශයේ වරායක් සහ ගුවන්තොටුපොළක් තිබෙනවා. එනිසා එම පහසුකම්වලින් ප්‍රයෝජන ගත යුතුයි.
ඒ අනුව හම්බන්තොට සහ මොනරාගල යන ප්‍රදේශවලින්ද අක්කර 10,000ක් පමණ වෙන් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟ විශාල කර්මාන්ත ආර්ථිකයක් හම්බන්තොට ප්‍රදේශයට ලැබෙනවා. කර්මාන්ත නගරයක් ලෙස මෙම කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ නිසා හම්බන්තොට ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ඇතිවෙනවා. මේ සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කරවීමට ද අපට අනාගතයේ කටයුතු කිරීමට තිබෙනවා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට සංවර්ධනයට අදාළ සැලසුම් සිංගප්පූරුවේ සුබානා ජුරොන්ග් සමාගම හරහා සකස් කර තිබෙනවා.
ප්රශ්නය
Gen Z පරපුර ලෙස අපි ඇයි ඔබතුමා මීළඟ ජනාධිපති ලෙස තෝරා ගත යුත්තේ ඇයි?
පිළිතුර
ඔබතුමිය ඊට හේතුවක් කියන්න.
තරුණියගේ පිළිතුර
පසුගිය වසර දෙක තුළ රට ස්ථාවරත්වයකට පත් කිරීම සඳහා ඔබතුමා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සාධනීය වැඩ කොටසක් කර පෙන්වා තිබෙනවා. අප බලාපොරොත්තු වන තැනට රට ගෙන ඒමට ඔබතුමාට හැකි බව මම විශ්වාස කරනවා. ඔබතුමාගේ වචනයෙන්ම මම කැමතියි දැන ගන්න මේ ගැන.
ජනාධිපතිවරයා
මම මේ රට භාර ගෙන සාමාන්‍ය ජන ජීවිතයක් මේ වන විට ඇති කර තිබෙනවා. බඩු මිල වැඩිවීම වැනි ප්‍රශ්න කිහිපයක් තවමත් තිබෙනවා. නමුත් ආර්ථිකයේ ස්ථාවරභාවය තහවුරු කළ යුතුයි. එය තහවුරු නොකළහොත් ආර්ථිකය කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටුණහොත් නැවත එදා තත්ත්වයට පත් වෙනවා. ඔබේ අනාගතය තීරණය කිරීමට මේ වසර පහ අවශ්‍යයි. ස්ථාවරභාවය තහවුරු කිරීම ප්‍රමාණවත් නැහැ. තහවුරු කිරීමෙන් පමණක් අපි කොහොමද අපට අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ? අපේ ආනයනවලට ගෙවීමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. අපේ අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. අපනයන ආර්ථිකයට ගියාම තමයි අපනයන ආර්ථියක් හැදෙන්නේ. එසේ නොමැති නම් තවත් අවුරුදු 15කින් ආර්ජන්ටිනාව වගේ මේ ආකාරයටම ගොඩ එන්න බැරි විදියට, මීට වඩා දරුණු ආකාරයට කඩා වැටෙනවා. මේ අවස්ථාවේ නිවැරදිව ක්‍රියා කළොත් ඒ තත්ත්වය නොවී ඉදිරියට යන්න අපට පුළුවන්.
අනෙක් පක්ෂ කියනවා බදු අඩු කරනවා කියලා. මමත් කැමතියි බදු අඩු කරනවා කියලා කියන්න. නමුත් අපේ ආදායම් මදි නම් කොහොමද කොහොමද බදු අඩු කරන්නේ? අයි. එම්. එෆ් සංවිධානය කියන්නේ අපේ ආර්ථිකයට තවත් අපේ ණය බර උසුලන්න බැහැ කියලයි. ණය ගැනීම නිසා ආර්ථිකය කඩා වැටෙන්න යනවා.ඒ නිසා ණය ගන්න එපා කිව්වා. නමුත් අපට තව ටික කලක් ණය ගැනීමට සිදු වෙනවා.
අය වැය පරතරය වහන්න ණය ගන්නවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වඩා ගන්නේ නැහැ කියලා අපි එකඟ වුණා. අපේ අය වැය සකස් කළ යුතු වන්නේ ඒ අනුවයි. ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබිය යුතුයි. එසේ නොකළ හොත් අපට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම බැංකුවලින් ණය ගන්න බැහැ. මුදල් අච්චු ගහන්න බැහැ. රුපියල ශක්තිමත් කිරීමට මේ මාර්ගයේ යා යුතු වෙනවා. අනෙක් අය කියනවා වගේ බදු අඩු කර වියදම් වැඩි කරන්න බැහැ.
2025 අයවැයට අපිට ලබා දී ඇති සීමා අනුවයි අපි ක්‍රියා කරන්නේ. ඒ අනුව 2025ට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 6898ක් වෙනවා. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 5100යි. මේ පරතරයට මොකක්ද කරන්නේ? රුපියල් බිලියන 1700ක පරතරයක් තිබෙනවා. එතන 5% (5.2%) අල්ලනවා. අප සතු ප්‍රාථමික ශේෂයේ අතිරික්තය වන්නේ රුපියල් බිලියන 781යි. එවිට රුපියල ස්ථාවර වෙනවා.
මාලිමාවේ යෝජනා සමඟ ඒ අයවැය හැදුවොත් කොහොමද කියලා බලමු. ඒ අනුව අපේ වියදම ඩොලර් රුපියල් 8900 කට වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 2000කින් වැඩි වෙනවා. නමුත් ඔවුන් බදු අඩු කරන නිසා ආදායම රුපියල් බිලියන 4900 යි. අපට වඩා රුපියල් බිලියන 2000ක් අඩුයි. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 4000යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9% යි. මේක තමයි වෙනස. අපි ප්‍රාථමික ගිණුම් ශේෂය 2.3%ක තබාගන්න. නමුත් මෙතන සෘණ 4.3%ක් වෙනවා. මෙහෙම පොරොන්දු දීලා ආපහු අපි රට වට්ටන්න යන්නේ. මුදල් නැතුව මාර්කට් එකට ගියොත්, මාර්කට් එකෙන් මුදල් ගත්තොත් එවිට පොලිය 25%ක් වෙයි. මේ අනුව ගිය හොත් අයි.එම්. එෆ් මීළඟ වාරිකය අපට ලැබෙන්නේ නැහැ. එවිට අපේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. එවිට ඩොලරය රුපියල් 400ක් පමණ වෙයි. අයි. එම්.එෆ් මුදල් දෙන්නේ නෑ කිව්වම ඩොලරය රුපියල් 500ක් බවට පත් වෙයි. අපි මේ දේශපානය කළ යුතුද?
මම මෙහෙම කරන්නේ නෑ කියලා මට බණිනවා. මම මේ විදියට කළොත් ඔබේ අනාගතය මම පාවලා දුන්නා වෙනවා. මෙය අමාරුයි. නමුත් අපි මෙතැන් සිට ඉදිරියට යමු. වසරක් දෙකක් යන විට මේ තත්ත්වය වෙනස් වෙනවා. ‘පුළුවන් ශ්‍රී ලංකා’ හි තිබෙන්නේ වැඩ සටහනක්. එය සැලැස්මක්. සැප්තැම්බර් 22 වනදාම එය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනෙක් ඒවා කරන්න පුළුවන්ද? එකක් කියනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. ඒක හරි. මම ජනාධිපති වුණාම රට පොහොසත් වෙනවා. ජීවිතය ලස්සන වෙනවා.
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඩිජිටල්කරණය පිළිබඳ කොටස් මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 5 සිට ඩොලර් බිලියන 15 දක්වා ව්‍යාප්ත කරන බව. එය කිරීමට සැලසුම් කරන්නේ කොහොමද?
පිළිතුර
අපට එය සාක්ෂාත් කරගත හැකි බව මට විශ්වාසයි. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයේ දී තවත් අත්දැකීම් ලබා ගැනීමට හැකිවෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් ගත්විට, එය මූලික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ආශ්රිත ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමටද අප කටයුතු කරනවා. ඒ වගේම මේ ආශ්රිත විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම ඇතුලු අවශ්‍ය සියලුම ආකාරයට අප සහාය ලබා දෙනවා. ඉතිරිය එම කර්මාන්ත විසින් සිදු කළ යුතුයි.
ප්රශ්නය
මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙනවාද?
පිළිතුර
ඒ සඳහා පක්ෂවලින් වැඩි පුර කාන්තාවන් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විට අප කාන්තා සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා. නමුත් කොමිසම තවම පත් කර නැහැ. එය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. පක්ෂවලින් වැඩිපුර කාන්තා නියෝජනය ලබා දෙන ලෙස කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් අප ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මූලික වැඩසටහන වශයෙන් ජනසභා සහ ප්‍රාදේශීය සහ පළාත් සභාවල කාන්තා නියෝජනයට සංඛ්‍යාවක් ලබා දීමට අප කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට නව මැතිවරණ ක්‍රමයක් එන විට ඊට කාන්තා නියෝජනය කොපමණද කියන එක සම්බන්ධයෙන් තවමත් වාද විවාද පැවැත්වෙනවා. නමුත් මිශ්‍ර ක්‍රමයකට ගිය හොත් අනුපාතය අනුව පත් කරනු ලබන මන්ත්‍රීවරු අතර කොටසක් කාන්තාවන්ගෙන් නම් කිරීමට හැකියාව ලැබෙයි. ඒ වගේම පක්ෂවලට කියන්න පුළුවන් තමන්ගේ අපේක්ෂකයන්ගෙන් සියයට 10-15ක් හෝ 20 ක් කාන්තාවන් විය යුතු බව.
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තරුණ ප්‍රජාවට රැකියා 100,000ක් ලබාදෙන බව සඳහන් වෙනවා. ඒ වගේම කලා විෂය ධාරාව හදාරා රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එම පිරිසට ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විසඳුමක් ලබාදී තිබෙනවාද?
පිළිතුර
අපි කෘෂිකර්ම නවීකරණය, කර්මාන්ත ශාලා, ඇති කිරීමට හා ඒ වගේම සංචාරක කර්මාන්තය නැංවීමට පියවර ගන්නේ රැකියා ලබා දීම සඳහායි. ආයෝජකයින්ට ආයෝජන කටයුතු සිදු කිරීමට සඳහා අප අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම පවතින ව්‍යාපාර ද දියුණු වීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. වසර 4ක් තුළ තරුණ ප්‍රජාවට රැකියා ලැබුනේ නැහැ. ඒ වගේම අලුත් ආයෝජන ඇතිවන තුරු මේ සඳහා යම් කිසි සහනයක් ලබාදිය යුතුයි. ඒනිසා රජයේ රැකියා, පෞද්ගලික අංශයේ රැකියා සහ ස්වංරැකියා අවස්ථා ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පුද්ගලික අංශයේ රැකියා සඳහා වසරක වැටුප් අප විසින් ගෙවනු ලබනවා. ස්වයං රැකියා සඳහා පහසු ක්‍රමයට ණය ලබාදීමත්, අවුරුද්දක් පමණ කාලයක් සඳහා අවහ්‍ය දීමනා ලබාදීමත් සිදු කල යුතු වෙනවා. දැනට කලා විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන සිසුන්ට ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය විෂය ඇතුළු රැකියාවකට යාමට අවශ්‍ය සුදුසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. එවිට විරැකියාවෙන් පෙළන කලා උපාධිධාරීන් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා මෙම රැකියා 100,000 වැඩසටහන අප හඳුන්වා දී තිබෙන්නේ විරැකියාව අඩු කිරීමටයි
තරුණ අපිට තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයට එක් වීමට වැඩපිළිවෙලක් ඔබතුමාගේ වැඩසටහන තුළ තිබෙනවාද?
පිළිතුර
ඔව්. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ දැනට තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත්කරනවා. රජය සහ පෞද්ගලික අංශය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වගාකරණ බෝග අලෙවි කිරීම සඳහා පෞද්ගලික සමාගම් සම්බන්ධ කරගත යුතුයි. ඒ වගේම ශීතාගාර පහසුකම් දඅවශ්ය වෙනවා.
මේ සියල්ලම පුද්ගලික සමාගම් සමඟත් සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වී ගොවිතැන සැලකූ විට හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8ක අස්වැන්නකට ගමන් කළ යුතු වෙනවා. එම ඉලක්කයට ළඟාවන විට අපට රටෙට අවශ්‍ය මුළු සහල් ප්‍රමාණය වියළි කලාපයෙන් ලබාගත හැකිවෙනවා. තෙත් කලාපය වෙනත් භෝග වගාවට යොදාගත හැකියි.
ප්රශ්නය
දැන් ආර්ථිකය ස්ථාවර වුවත්, ජීවන වියදම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළයි. ඒ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද?
පිළිතුර
ආර්ථිකය සැලකූ විට රුපියලට සාපේක්ෂව ඩොලරය රුපියල් 185 සිට 370 දක්වා ඉහළ ගියා. ඩොලරයක වටිනාකම රුපියල් 400 දක්වා ඉහළ යාමේ අවදානමක් එදා අපට තිබුනා. ඒ නිසා මම රුපියල ස්ථාවර කිරීම සඳහා ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රතිඵලයලක් ලෙස ඩොලරයක වටිනාකම රුපියල් 300ට ස්ථාවර වී තිබෙනවා. නමුත් අපේ වැටුප තවමත් ඩොලරයට රුපියල් 185 මත පදනම් වෙලා තිබෙනවා. ඉතින් අපි ආදායම වැඩි කරනවා වගේම රුපියල ශක්තිමත් කිරීමෙන් භාණ්ඩ මිල අඩු කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.
ඡන්දෙට ලැබෙන පාසල් නිවාඩුව
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.
තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ඊට අදාළ නිවේදනය පහතින්.
රනිල්, මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති පතුරු ගසයි
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්පොළ ජන රැළියේදී අද(09) පැවසීය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂිකව රුපියල් බිලියන 8900 ක වියදමක් යන බව කී ජුඅනධිපතිවරයා, බදු අඩු කළ විට ලැබෙන ආදායම රුපියල් බිලියන 4900 ක් පමණක් බව සඳහන් කළේය.
කෝපි කඩේ කතා නැතුව සංඛ්‍යාලේඛන සමග මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නැයි අනුර දිසානායක ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
"මිත්‍රයා" ලෙස ආමන්ත්‍රණය කරන්නට එපා යැයි අනුර දිසානායක තමා හට පවසා තිබෙන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ නිසා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආමන්ත්‍රණය කරන බවද කියා සිටියේය.
"අප ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරමු. අනාගතයේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යා යුත්තේ ඒ නිසයි.'''
'' ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් අය රට හදන ආකාරය ගැන කියන්නේ මොනවාද? සජිත් ගැන මොනවා කියන්නද? ඔවුන් හැම දෙයක්ම නොමිලේ දෙන බව කියනවා. තව ටික දවසකින් ඔවුන් බඩු ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියාවි.''
මාලිමාවෙන් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අය කියන්නේ කෝපි කඩේ කතා. ඇත්ත කියන්න බයයි. මාලිමාව කියන විදියට අයවැය හැදුවොත් ආරම්භ වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 400 - 450 අතර අගයකින් ඉහළ නැගලා. එහෙම වුනොත් උද්ධමනය සියයට 25කට යනවා. අපට ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක අගයක් දක්වා පමණයි.
දැනට අපේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 6800ක් පමණ වෙනවා. නමුත් ආදායම ඩොලර් බිලියන 5100ක්. මේ අනුව අපට පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවීම සඳහා සියයට පහකට වඩා අඩු පොලියකට ණය ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එවිට අපගේ අයවැය පරතරය පියවීමට හැකියාව ලැබෙනවා.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන්ගේ අයවැය පිළිබඳ මා සලකා බැලුවා. රුපියල් බිලියන 8900 ක් මාලිමාවේ ප්‍රතිපත්ති අනුව වියදම යනවා. මේ අය කියන පරිදි බදු අඩු කළ විට ආදායම රුපියල් බිලියන 4900 ක් පමණයි. අපගේ අයවැය අනුව ලබන ආදායම බිලියන 5100යි. රුපියල් බිලියන 4000ක් අඩුවී තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9ක් අඩු වී තිබෙනවා. ඉතින් ඉතිරි ටික හොයාගන්නේ කොහොමද?
ණයට සල්ලි ගන්න ගියොත් ඔවුන්ට පොලිය සියයට 25 ක්වත් ගෙවන්න වේවි. සල්ලි අච්චු ගහන්න ගියොත් මොකද වෙන්නේ? කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ඩොලරය පන්සියයක් වේවි.
මා අහන්න කැමතියි මා මිත්‍ර....... ආ, මට මිත්‍රයා කියන්න එපා යැයි කියලා තිබෙනවා . හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් මම අහනවා. මේ අයවැය මොකක්ද? මිනිසුන්ට නැවත මෙහෙම බර පටවන්න හදන්නේ ඇයි? වහාම සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා කියන්න එපා. ජනතාවට දාන්න යන බර ගැන කියන්න.
හිල් තියෙන බැනියම් අඳින කෙනා සහ ඩොක්ට සූරියප්පෙරුම මෙය හැදුවා නම් ඒ අය උත්තර දෙන්න. මේ අයට ආර්ථිකය සැලසුමක් නැහැ. ආර්ථිකය නැවත කඩනවා. එහෙම වුනොත් ගෝඨාභයගේ කාලෙට වඩා අමාරු තත්ත්වයක් හිටපු කෘෂිකර්ම ඇමති අනුරදී යුගයක් ආවොත් ඇතිවේවි. මේ නිසා ඔබ ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කරන්න" යයි ද ජනාධිපතිවරයා කීය.
රනිල් දැන් වහා ම සමාව ගතයුතු යි - අනුර
දැන් සමාව ගත යුත්තේ රනිල් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඊට හේතුව, උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේ ම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් යැයි අනුර කුමාර දිසානායක පැහැදිලි කළේ ය.
අනුර කුමාර දිසානායක මෙම පැහැදිලි කිරීම කළේ ඊයේ (08) මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ 25වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.
එම සමුළුවේ දී අනුර කුමාර දිසානායක පළ කළ අදහස් මතු දැක්වේ.
ස්තුතියි සුමන්තිරන්...!
‘‘ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් විසි එක්වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද ජයසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බවට පසුගිය හයවැනිදා ප්‍රචාරයක් දියත් කර තිබුණා. අධිකරණ නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයක නඩු පවරන්න පුළුවන්. මේ වන විට අපට එන්තරවාසි යැවීම සහ පැමිණිලි කිරීම් කිසිම අඩුවක් නැතිව කරන්න සිදු වී තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව නීතිඥ මහත්වරුන්ගේ කෝට් එක පවා ගලවන්න පුළුවන්. අපි අධිකරණය ඉදිරියේ ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
දේශපාලන වේදිකාවේ මේ විකෘති කිරීම් සහ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම් දැන්වත් නතර කරන්න ඕනෑ. රාවුෆ් හකීම්, තිස්ස අත්තනායක වැනි අයටත් එන්තරවාසි යවා තිබෙනවා. තිස්ස අත්තනායක සමාව ගත්තත්, නඩු පැවරිය යුතු තත්ත්වයක කූට ලේඛන හැදීමටම උපන්නෙක් බවට පත් වී සිටිනවා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.
රනිල්ට එරෙහි චෝදනා
රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ෂේප්’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා. ඒ වාගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්ෂා කළ ආකාරය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක දී පරීක්ෂණ කරනවා. ඔය අතරේ තවත් අවලාද නඟමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, විසි දෙවැනිදා කලබල ඇති වෙයි කියලත් ප්‍රචාර යවනවා.
පොලිසියට දෙසතියක නිවාඩුවක් දුන් එජාප ය
ජයග්‍රහණය කළාම පරාජිතයන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ ඔවුන්ටයි. විශේෂයෙන් ම එක්දහස් නමසිය හැත්තැ හතේ සිටි රනිල් වික්රමසිංහලාටයි. එදා මැතිවරණ ජයග්රහණයෙන් පසුව සති දෙකක් පොලිසිය ස්ථානවලට සීමා කර විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න, වෙඩි තියන්න ඉඩ සලසා දුන්නා. ඒ කාලයේ කිවුවේ, සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා කියලයි. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් විසි තුන්වෙනිදා සිට හැම පක්ෂයක ම පාක්ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්රජාතන්ත්රවාදී අයිතියක්. සැප්තැම්බර් විසි එක්දා දක්වා පක්ෂවලට බෙදිලා, අපි වැඩ කරයි. නමුත්, සැප්තැම්බර් විසි එකෙන් පසුව මේ රට ගොඩනැගීම සඳහා අපට ඡන්දය නොදුන් ඡන්දදායකයාත් එකතු කරගෙනයි මේ රට ගොඩනගන්නේ. ඒ නිසා අපේ ජයග්රහණයෙන් පසුව අනෙක් පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ.
කලින් කලට කියන කතා
කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම ‘මාලිමාවට දිනන්න බැහැ’ කියලා කිවුවා. ඊළඟට ‘මාලිමාව දිනුවොත්...’ කියලා කිවුවා. දැන් කියන්නේ, ‘මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ’ කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්න ද? මේ ජයග්රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.
ආදායමෙන් සාධාරණ පංගුවක් සේවක සේවිකාවන්ට
මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්රතිපත්තියයි.
නූතන වහල් වෙළඳාම
පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ. කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා.
තෘප්තිමත් විශ්‍රාම කාලයක්
ආර්ථිකය ස්ථාවර නම්, භාණ්ඩ හා සේවා මිල නිරන්තර උච්චාවචනයන්ට ලක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පවතින අස්ථාවරභාවය ස්ථාවර වැටුපක් ගන්නා අයට දැඩි පීඩාවක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ අය රැකබලා ගැනීමේ ක්‍රියාමාර්ග අපි ප්‍රමුඛත්වයේ ලා ගන්නවා. ධීවර, ගොවි, කර්මාන්ත, වතු සේවය වාගේම රාජ්‍ය සේවය යන සියලු ම අංශවල ධනය නිෂ්පාදනය කරන පිරිස්වලට ජීවිතයේ අවසානය දක්වා එකලෙසම වැඩ කළ නොහැකියි. හැම දෙනාටම සාධාරණ, තෘප්තිමත් විශ්‍රාම කාලයක් තිබිය යුතුයි. නමුත්, අපේ රටේ බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු, ආහාර ලබාගත නොහැකි, ඖෂධ ලබාගත නොහැකි කටුක ජීවිතයි. ඒ නිසා සියලු ම දෙනාට සහභාගි විය හැකි දායක විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමයක් සකසනවා. රාජ්‍ය අංශයේ සිදු කළ යුතු වැඩ කොටස සහ පෞද්ගලික අංශයේ වැඩ කොටස ඉතා හොඳින් අප තේරුම්ගෙන සිටිනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සාර්ථක කර ගැනීමේ දී එම සේවක, සේවිකාවන් විශාලතම කාර්යභාරය සිදු කරනවා. ඔවුන්ව රැකබලා ගන්නා, ඔවුන්ව සුරක්ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ ජාතික ජන බලවේගය යි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය
සැප්තැම්බර් විසි එක්වැනිදා ගොඩනැගෙන ආණ්ඩුව අනෙකුත් හැම ආණ්ඩුවකට ම වඩා වෙනස් වන්නේ ඒ නිසයි. මෙතෙක් පැවැතුණේ, වැඩකරන ජනතාවගේ ම ශ්‍රමයෙන් ගොඩනැගුණු, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑ ආණ්ඩුයි. කඩාවැටෙන ආයතනවල, කඩාවැටෙන සමාගම්වල ආයෝජනය කර කෝටි දහස් ගණනක පාඩු සිදු කළා. නමුත්, ආයෝජනය කළ ඩීල්කරුවන් තමන් අතරේ විශාල මුදල් ප්‍රමාණයක් බෙදා ගත්තා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනා පනතට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවක, සේවිකාවන්ට වෙඩි තැබුවා. විශාල පිරිසක් තුවාල වී ආබාධිත බවටත් පත් වුණා. පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට සිදු කළා. පාලකයන් වැඩ කරන ජනතාව ගැන කල්පනා කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව හැම වෙලාවේ ම තීන්දු ගත්තා. එයට වෙනස්ව වැඩ කරන ජනතාව ගැන කල්පනා කරලා තීන්දු ගන්න ආණ්ඩුවක් ගොඩනඟනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිදු කරමින්, ලංකාවේ අනාගතය ගොඩනඟන ආණ්ඩුවක් ගොඩනැඟීම සැප්තැම්බර් විසි එක්වැනිදා ආරම්භ කරනවා. එම ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනාම ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.
රිෂාඩ්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයන් රැසකගේ සහාය ජනපතිට
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයන් රැසක් පවසති.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif , මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන්(AGH Subihan) යන මහත්වරුන් ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවෙ හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන් සහ මුසලි උලමා සභා හිටපු සභාපති එම්. තව්ෆීක් යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් අද (09) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කළහ.
උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් පසුගිය ආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂය මුල සිටම සිටි බවත් පක්ෂ නායකත්වය ද එම ස්ථාවරයේ සිටි බවත් පෙන්වා දුන්හ.
එහෙත් පක්ෂයේ ඇතැමුන්ගේ බලපෑම් මත රිෂාඩ් බදුර්දීන් මහතා වෙනත් අපේක්ෂකයකුට සහාය දීමට තීරණය කළ නමුත් පක්ෂයේ බහුතරයකගේ සහයෝගය ජනපතිට හිමිවන බව ද එම නියෝජිතයෝ සඳහන් කළහ.
අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සමඟ ගත් විට මේ රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත්, පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමාට සහාය දීම ඉතා වැදගත් බවත් පෙන්වා දුන් මෙම පිරිස තම නායක රිෂාඩ් බදුර්දීන් මහතා ද තීරණය වෙනස් කර ජනපති සමඟ එක් විය යුතු බව ද කියා සිටියේය.
පුත්තලම මන්නාරම මාර්ගය ඉදි කිරීම ඇතුළු උතුරේ මුස්ලිම් ජනතාවට සම්බන්ධ ගැටලු රැසක් තමන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, ඊට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් ලබාදුන් බවත් එම නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර පොදුජන පෙරමුණ නියෝජනය කළ බේරුවල නගර සභාවේ හිටපු නගරාධිපති මසාහිම් මොහොමඩ්, වත්තල මාබෝල නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.එච්.එම්. නවුෂාද් යන මහත්වරු සහ සමගි ජන බලවේගය නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරින් රැසක් ද අද ජනාධිපතිවරයා හමු වී එළැඹෙන ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට සහතික වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සහ කලුතර හිටපු නගරාධිපති ආමිර් නාසිර් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තලතා රනිල්ගේ වැලිමඩ රැලියට එක්වෙයි
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන 'පුළුවන් ශ්‍රී ලංකා' ජනරැළි වේදිකාවට එක්වූවාය.
ඉකුත්දා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූයේ, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී සමගි ජන බලවේගය ගොඩනැගීම දායකවීම පිළිබඳව සිය කනස්සල්ල පළකරමිනි.
එජාපයේ හිටපු ලේකම්වරයකු වන දිවංගත ඇමති ගාමිණී අතුකෝරළ ගේ නැගණිය වන නීතිඥ තලතා අතුකෝරල, රත්තපුරේ දිස්ත්‍රික්කය නියෝජනය කළ මහජන මන්ත්‍රීවරියෙකි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකොරාල, ජනපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.
(ජේ මුණසිංහ වැලිමඩ සිට..)
බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් මැ.කො.ට පැමිණිල්ලක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා එම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තනතුරට අනීතිකව දුරකතන ඔස්සේ හිතවතුන්ගෙන් පමණක් අයැදුම්පත් කැඳවා තිබෙන බව කියමින් ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ලේකම්වරයා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින නමුත් තවදුරට ත් තනතුරේ රැඳී සිටිමින් අනීතික අයුරින් මෙසේ අයැදුම්පත්‍ර කැඳවා තිබෙන බව ත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන 10 වන දා කැඳවා තිබෙන බව ත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තනතුර ද්විත්ව තනතුරක් වන පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ධූරයට විධිමත්ව දිවයින පුරා අයැදුම්පත් කැඳවිය යුතු නමුත් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි හදිසියේ අයැදුම්පත් කැඳවීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇතැයි ප්‍රධාන ලේකම්වරයා එමගින් පෙන්වා දෙයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දිගින් දිගට ම දේශපාලන කටයුතුවලට මැදිහත්වෙමින් සිටින බව පවසන ජෝසෆ් ස්ටාලින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තනතුරට අයැදුම්පත්‍ර කැඳවීම හා සම්මුඛ පරීක්ෂණ අවලංගු කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.
මව්බිම
ජනපති ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජාගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි.
ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතින් සුරක්ෂිත කිරීමේ රජයේ කැපවීම යළි අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මඟපෙන්විම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්රදානෝත්සවය අමතමිනි.
දිවයිනේ සෑම ප්රදේශයකින්ම පැමිණි ලංකා අපෝස්තලික නිකායේ පූජකවරුන් 800ක පමණ පිරිසක් මේ අවස්ථාවට එක්ව පැමිණ සිටියහ.
නිදහස් ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා ජාතික සම්බන්ධීකාරක ආචාර්ය කර්බී ද ලැනරෝල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිසුන් 170 දෙනෙකුට පදවි හා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිසූන් කිහිප දෙනෙකුට සහතික පත් පිරිනැමීම ද සිදු කෙරිණි,
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සියලු ආගමික ප්‍රජාවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඩිජිටල් සහ තාක්ෂණික යුගයේ ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒ තුළ ඇති අවස්ථාවන් පිළිබඳව ද පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු පදවිය සිනොඩ්හි ප්‍රධාන ලේකම් ලෙස අලුතින් තේරී පත් වූ ගරු ආචාර්ය කර්බි ඩී. ලැනරෝල් පියතුමන් වෙත සුබ පැතුම් එක් කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දශකය තුළ ලැනරෝල් පියතුමන් විසින් අපෝස්තලික රදගුරු නිකාය වෙත දක්වනු ලැබූ දායකත්වය ද ඇගයීමට ලක් කළේය.
මෙරට සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආගමික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර ජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුම් සෙවීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
ශ්‍රී ලංකාවේ කිතුණු ප්‍රජාවගේ ජයග්‍රහණ ද මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් සියවස් ගණනාවක් රට තුළ දෝංකාර දුන් බව සඳහන් කළේය. තමන් කැමති ධර්මයක් ඇදහීමේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ සියලු ආගම් සඳහා සමාන පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණි.
ආගමික පිළිවෙත්වල අනාගතය පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සංවිධිත ආගම් කෙරෙහි ඩිජිටල් යුගයේ සහ කෘතිම බුද්ධියේ බලපෑම ලෙස ප්‍රධාන අභියෝග දෙකක් පෙන්වා දෙන ලදී. යොහැතස් ගුටෙන්බර්ග් විසින් නිර්මාණය කරන ලද මුද්‍රණ යන්ත්‍රය වැනි තාක්ෂණය ආගමික ඉගැන්වීම් ප්‍රචලිත කිරීම සඳහා ඓතිහාසිකව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, ඩිජිටල් වේදිකාවල නැගීම සහ කෘත්‍රීම බුද්ධිය (AI) ආගමික සංස්ථාව සඳහා අලුතින් ඇති විය හැකි ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන තරුණ තරුණියන්ට මනෝවිද්‍යාත්මක මඟපෙන්වීම ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේය. තරුණයින් සම්බන්ධ මෑත කාලීනව සිදු වූ ගැටළු සහගත සිදුවීම් මෙහිදී ඉස්මතු කළ ජනාධිපතිවරයා මෙම ගැටළු විසඳීම සඳහා ආගමික හා ප්‍රජා නායකයින්ගේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
ඉදිරි කාල පරිච්ඡේදයේදී, සියලු දෙනාම එකතු වී මෙම ගැටලුව පිළිබඳව සලකා බැලීම වඩාත් සුදුසු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ආගමික පසුබිම පිළිබඳව නොසලකා සියලු පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී රට පුරා සිටින ජනතාව කිසිඳු බේදයකින් තොරව එක හා සමානව දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව අවධාරණය කළේය. මෙම දුෂ්කර අවස්ථාවේ වගකීම භාර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ සාගල රත්නායක මහතා එතුමාගේ සන්සුන්, විශ්වාසනීය නායකත්වය පැසසුමට ලක් කරන ලදී.
මහ බැංකුවේ ස්වාධීනත්වය, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීති සහ ජාත්‍යන්තර මට්ටමේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත් සම්මත කිරීම වැනි සැලකිය යුතු ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සඳහන් කළ සාගල රත්නායක මහතා රට ස්ථාවර කිරීමේ ප්රයත්නයේදී සියලුදෙනා එක්ව කටයුතු කිරිමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු සහ අපෝස්තලික දයෝසීසයේ සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත් කර ඇති බවය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"හෙට දිනය ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහාරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා කටයුතු කරනවා. එම දිනයේදී අපි බලාපොරොත්තු වෙනවා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදෙන්න."
"ඒ නිසා නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට."
'ඉන්න බැරි නම් යන්න' - ජනපති කියයි
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරයාට හිතවාදී පිරිස් එහිදී දැනුම් දී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක මොහොතක මන්ත්‍රීවරුන් නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීම පලක් නොවන බවයි. ඔවුන් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවද හිතවාදීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මෙම පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .
රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වෙයි. එසේම තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිප දෙනකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා ඇත්තේ තමන් ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව දෙන ලෙසත්ය.
(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)
වසන්ත සමරසිංහට එරෙහිව මනුෂගෙන් එන්තරවාසියක්
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමැති මනූෂ නානායක්කාර රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සඳහා අත්සන් යෙදීම සඳහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බව ද එන්තරවාසියේ සඳහන් වේ.
මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සඳහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ දැක්වේ.
අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයතු කරන බවද වසන්ත සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වේ.
රනිල්ව කියවන්න : දීප ව්‍යප්ත කැන්වසින් වැඩක් !
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන “රනිල්ව කියවන්න” නම් වූ ප්රචාරක වැඩසටහන හෙට (07) පෙ.ව 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.
පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධානය කෙරේ.
නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු නොවන ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක සුබවාදී හෙටක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු එක්රැස් කරමින් පැවැත්වෙන මම ප්රචාරක වැඩසටහන සමඟ එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ගෞරවයෙන් ආරාධනා කෙරේ.
ජනපති යටතේ රේගුව වැඩ පෙන්නයි : මාස 8ට ආදායම රුපියල් ට්‍රිලියනයයි !
කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.
2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි. නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.
මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා පෙන්වා දෙයි.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය මගපෙන්වීම හා දායකත්වය සේම තම දෙපාර්තමේන්තුවේ කටයුතු ස්වාධීනව කිසිදු බලපෑමකට යට නොවී ක්‍රියාත්මක වීමේ නිදහස ලබාදීම මත මෙම තත්ත්වයට පහසුවෙන් ළගා වීමට හැකියාව ලැබුණු බව ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්රවේශවීමට හැකි වූ බවත්, අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරීන්ට ක්‍රියාත්මකවීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්‍රමවේද ආශ්‍රිතව පැවති වංචා හා දූෂණ දුරු කරමින් හොර ජාවාරම් සම්පූර්ණයෙන් අත්හිටුවමින් වැඩකටයුතු කිරීමට සමස්ත රේගු කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ද මීට මනා පිටිවහලක් වු බව සරත් නෝනිස් මහතා පවසයි.
ස්ථාන මාරුවීම් සහ සමස්ත රේගු පරිපාලන ක්‍රමවේද විධිමත්ව සිදු කිරීමටත් වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක් යටතේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවම මෙහයවමින් එය නිතැතින් විමසමින් හා අත්‍යාවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් පරිපාලන කටයුතු තවදුරටත් සිදු කෙරේ.
උරුමය රකින එජාපයට වසර 78යි : ජී.එල් - ගොඩහේවා - ඩලස් පෙරමුණේ සිටින සජබෙ එජාප ප්‍රතිපත්ති නැහැ !
ඩී.එස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක වැනි නායකයන් විසින් එදා රටට නිදහස දිනාගැනීම වෙනුවෙන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය පසුව දෙකඩ වී පක්ෂ දෙකක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරන අද වනවිට රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා එම පක්ෂ දෙක යළි එක්ව සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට වෙනුවෙන් එකට එක් වූ විට කෑ ගහන සජබට අද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම මුල්තැන ගත් එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නොමැති බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මොරවක ප්‍රදේශයේ අද (06) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.
අනුර කුමාර දිසානායක ද අද ආණ්ඩුව යන මග යමින් අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව ප්‍රකාශ කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධි ප්‍රකාශ පිළිබඳ ජාතික ජන බලවේගය රටට පැහැදිළි කළයුතු බවද සඳහන් කළේය.
ජාතික ජන බලවේගය වෙනසක් කරන බව කියමින් රට මුලා කළද පිටු 232ක් වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනසක් ගැන කිසිදු සඳහනක් නොමැති බවත් ඔවුන් සිදු කරන බව පවසන වෙනස “හිස්” බවත් පැවසු ජනාධිපතිවරයා රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන බවද අවධාරණය කළේය.
ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද මට විශේෂ දවසක්. එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා වැනි නායකයන් එක්ව මේ රටට නිදහස ලබාදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇති කළා. ඉන් පසුව වෙන්ව ද්වි පක්ෂ ක්‍රමය ඇති වුණා. අද යළිත් රටේ ආර්ථික නිදහස වෙනුවෙන් විශාල තර්ජනයක එල්ල වු අවස්ථාවේ රට බේර ගැනීමට අපි සියලුදෙනා එක්වෙලා ඉන්නවා.
අප එකට එක්වුණා කියා ඇතැමුන් කෑ ගැහුවා. එහෙම කෑ ගහන්නේ පැනලා ගිය අය. අද සජබ ට එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නැහැ. ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම එක්ක ඉන්න අයට එක්සත් ජාතික පක්ෂය කියන්න බැහැ. අද ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අමතක කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ලෙස අප රට අසීරුතාවකට පත් වු සෑම අවස්ථාවකම එක්ව වැඩ කරන්න සූදානම්. අප එසේ නොකළානම් අද මෙහි සිටින බොහෝ දෙනෙක් හාමතේ මිය යනවා. ඖෂධ නැතිව මිය යනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපි හැම වෙලාවම ඇත්ත කියනවා.
ඩී.එස්. සේනානායක මැතිතුමා, ජේ.අර්. ජයවර්ධන මැතිතුමා සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපිට ඉගැන්වුවේ ඇත්ත කියන්නයි. ඒ නිසා තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනෙක් පක්ෂ විවිධ ප්‍රකාශ සිදු කරද්දි අපි ඇත්ත කථා කළේ. රටේ ආර්ථිකය බංකොළාත් වෙන්න යනවා කියලා අපි එදා කිව්වා.
ඒ අනුව අපි අපේ මැතිවරණ ප්‍රකාශයේ මෙසේ සඳහන් කළා. “ අප බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මාර්ග ඔස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 6000ක මුදල් සොයා ගැනීමටයි”. එදා අප බොරු කියනවා කිව්වා. අපට සැලැස්මක් නැහැ කිව්වා. අවසානයේ ඡන්දයෙන් අපි පැරදුනා. මට බොහෝ දෙනෙක් කිව්වා ඇයි ඇත්ත කිව්වේ බොරු කිව්වනම් දිනන්න තිබුණා කියලා. මම කිව්වා මම ඇත්ත වසන් කරන්න ලෑස්ති නැහැ කියලා. එදා අපි කියපු විදිහට රටේ ආර්ථික අර්බුදය ඇති වුණා.
ඒ අවස්ථාවේ කිසිවෙක් භාර නොගත් රට භාරගත් අපි රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. ඒ වගේම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. අපි දැන් මේ ආර්ථිකය තහවුරු කරගෙන ඉදිරියට යා යුතුයි. ඒ වැඩ සැලැස්ම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් මම රටට ඉදිරිපත් කර තිබනෙවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වසර 05කින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට මම කටයුතු කරනවා.
එහිදී ජනතාවට තවදුරටත් සහන සැලසීමට අප කටයුතු කරනවා. නමුත් එය විපක්ෂය කියන විදිහට කරන්න බැහැ. එහෙම කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. නමුත් අපි දැන් ගෙන යන වැඩපිළිවෙළ ස්ථීර වැඩපිළිවෙළක් බව කිවයුතුයි.
මේ රටේ 52%ක් වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අපි පිළිගෙන තිබෙනවා. අනෙක් පක්ෂ වගේ නෙවෙයි කාන්තාවන් වෙනුවෙන් අපි වෙනම මැතිවරණ ප්රකාශනයක් එළිදක්වා තිබෙනවා. එය මගේ වෙබ් අඩවියේ තිබෙනවා.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අපි සම්මත කළා. එමගින් මේ රටේ කානාත්වන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. අප දැන් එය ක්‍රියාත්මක කරනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා කිරීමට මෙතෙක් නීතියක් තිබුණේ නැහැ. නමුත් අපි එය වසර දෙකක් තුළ ගෙනාවා.
ඒ වගේම කාන්තා සහ ළමා හිංසනය වැළැක්වීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ යටතේසෑම පොලිස් සථානයකම කාන්තා හා ළමා හිංසනය මැඩපැවැත්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම යුක්තිය මෙහෙයුම හරහා ඔබේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර දෙනවා. ගෘහස්ථ හිංසනය මැඩපැවැත්වීමට නීතියේ සහාය ලබා දෙන ක්‍රමයක් අපි ඇති කරනවා. එවන් වැඩසටහන් ගණනාවක් අප ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වගේම අප කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කර මේ පළාත්වලට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි. සිංහරාජය සංචාරක කලාපයක් බවට පත් කර මේ ප්‍රදේශය දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යනවා.
ඩිජිටල් සහ නිෂ්පාදන ආර්ථිකයක් අපි මේ රටේ ඇති කරනවා. ඒ වෙනුවෙන් රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. මේ සමඟ විදේශ ආයෝජන ගෙන ඒමට ද අප කටයුතු කරන බව මා ප්‍රකාශ කරනවා.
අපි මේ කටයුතු සිදු කරන විට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතා සැපැතැම්බර් 04 වනදා කැළණියේ දී ප්‍රකාශ කර තිබෙනවා “අපේ මිලියන 3.8ක මාර්කට් එකෙන් අපට යන්න බැහැ. මේ මාර්කට් එකෙන් එළියට අපි යන්නේ නැහැ. ඒ නිසා අපි මේ කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා එළියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා” කියලා.
ඒ කියන්නෙත් අපනයන කර්මාන්තයේ රැදෙන්න කියලයි. අනුර දිසානායක මන්ත්‍රිතුමා අප යන මාර්ගයේ යන එක හුඟක් හොදයි. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. අපනයනය කරන්න නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. අනුර කියනවා අපනයන ආර්ථිකයකට යනවා කියලා. පක්ෂය ඒකට දම්වැලක් දමා තිබෙනවා.
මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට විරුද්ධව සුනිල් හදුන්නෙත්ති මහතා සහ ඒ අයගේ ආර්ථික උපදේශක හර්ෂන සුරියප්පෙරුම නඩුවක් දාලා කියනවා “ආනයන ආදේශක නොසලකා හැරීමට ලක් කරන අපනයන ආයෝජනා මත පදනම් වූ ආර්ථිකයක් සදහා වැඩි වශයෙන් අනුග්‍රහය දක්වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තුන්වන සහ හතරවන වගන්තිවලට පටහැනියි” කියලා.
අනුර කියනවා අපි අපනයන කර්මාන්තයට යනවා කියලා. හඳුන්නෙත්ති කියනවා බැහැ ආනයන කර්මාන්තයේ සිටිය යුතුයි කියලා.
ඒ වගේම විදේශ ආයෝජකයන්ව පැත්තකට දාන්න කියලා ඔවුන් කියනවා. මෙහෙම සළකන විට ඔවුන් එයිද, ඒ නිසා අනුර දිසානායක මහතා මේ පරස්පර විරෝධි කරුණු අපට පැහැදිළි කළ යුතුයි.
අද ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යනවා. ජාතික ජන බලවේගය තව පැත්තකට යනවා. මාලිමාවට කොයි පැත්තට කැරකෙන්නද යන්නේ කියලා හිතාගන්න බැහැ.
ජාතික ජන බලවේගය කියනවා වෙනසක් ගේනවා කියලා. ඔවුන් කරන වෙනස මොකක්ද කියලා මම අහනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232 කියවූ විට කිසිම වෙනසක් නැහැ. වෙනස කරන්නේ අපියි.
රටේ ආර්ථිකය වෙනස් කර අපනයන ආර්ථිකයකට අපි යනවා. අපි මේ රටේ ජනතාව ලක්ෂ 20කට “අයිතිය” ලබා දෙනවා. එයයි වෙනස. අපි නව අධ්‍යාපන වැඩසටහන් ගෙනාවා. පාර්ලිමේන්තුවේ කන්තා හා තරුණ නියෝජනය ගෙන ආවේ අපියි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහාද එය ගෙනවිත් තිබෙනවා.
එපමණක් නොවෙයි ජන සභා ඇති කර කාන්තා හා තරුණ නියෝජනය වැඩි කර තිබෙනවා. පුද්ගලයන් ලක්ෂයක් එකතුව පෙත්සමක් අත්සන් කර එව්වොත් පාර්ලිමේන්තුවේ එම විෂය වාද කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කර තිබෙනවා. මේවයි වෙනස්කම්. ඒ හැර වෙනස “හිස්” නම් වෙනස් කරනවා කිව්වට වැඩක් නැහැ.
දුෂණය වැළැක්වීමට අප දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ගෙනවිත් දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධි පනත අනුමත කර ගැනීමට කටයුතු කරනවා. මේ අය දූෂණය ගැන කථා කරනවා. නමුත් අපි කතා කරන්නේ නැහැ දුෂණයට වැට බදිනවා. ඒ වගේම අපි සමාජ සාධාරණත්ව කොමිසම ගෙනවිත් තිබෙනවා. මේ රටේ ඡන්ද ක්‍රම වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.
ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232ක් තිබුණාට අනාගතය ගැන කරුණු නැහැ. මම කැමතියි, අනුර කුමාර දිසානායක අපට මේ කරුණ පැහැදිළි කරලා දෙනවා නම්. නමුත් පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන වැඩපිළිවෙළයි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගහන්න කියා මම ඉල්ලනවා.
Page 14 of 440