V2025

පුවත්

යුද්ධය වැනි ඛේදවාචකයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු – ජනපති

“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු, යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා, වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් යුතු සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීමයි” ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස පැවති 16 වන රණවිරු දින සැමරුම් උත්සවය අමතමිනි .

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විය .

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති

දශක ගණනාවක් අපේ රට යුද්ධකට මුහුණ දුන්නා. රටට, ජනතාවට විශාල විනාශයක් අත්කර දුන් එම යුද්ධය මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කළ අපේ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් අපි අද සමරනවා. ඒ අනුව අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක් බව කිව යුතුයි.

මෙම සැමරුම එම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් වගේම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වෙනවා.

මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.

එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.

නමුත් “යුද්ධය” යන වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද, විනාශකාරීද කියා.

නමුත්, මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නොවේ. ඒ හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද. අද උතුර, දකුණ කියා භේදයකින් තොරව මේ යුද්ධයේ විනාශයේ සහ ඛේදවාචකයේ නටඹුන් මතින් ගොඩනැඟී තිබෙන අයුරු අපි දැක තිබෙනවා.
පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් මේ මාතෘ භූමියේ තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මෙම නාම පුවරුවල ලියා තිබෙන නම් අතර තමන්ගේ පුතාගේ නම තිබෙනවාද, තමන්ගේ ස්වාමියාගේ නම තිබෙනවාද, තමන්ගේ දරුවාගේ නම තිබෙනවාද කියා ඇගිලි තබමින් නම් සොයන අය සිටින බව මම දන්නවා. අපේ අම්මලාගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය අපි දන්නවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සොයනවා.

යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.

අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැදීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි. අපේ සියවසේ සිදුවීම්, සිදුවීම් බවට පත්වීමට ඉඩදී අත්හැරිය යුතු නැහැ, යහපත් මිනිසුන් ලෙස අපි සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීම් බවට පත් කරගත යුතුයි.

එසේනම් මහා ඛේදවාචකයක් සහිත ඉතිහාසය විසින් අපිට කියන්නේ කුමක්ද, යළි එවැනි තත්ත්වයක් අපේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඩයි. ඒ අත්දැකිම්වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු පරම්පරාව යළි යුද ගැටුමකට යා යුතුයි කියා නොවෙයි. ඒ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්.

මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.

විශේෂයෙන් තමන්ගේ දෙපය බිම තබා ඇවිදිය නොහැකි සොල්දාදුවන් අද මා ඉදිරිපිට සිටිනවා. මා අද උදෑසන ඔවුන් බලන්න ගියා. ඉතා දිගු කාලයක් පුරා ඇතැම් අය 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇදක පමණක් තම ජිවිතය ගත කරනවා. එක් අයෙක් 1988 සිට එලෙස සිටින බව පැවසුවා. ඔවුන් තමන්ගේ සිතිවිලි වචන බවට පෙරළා ගත නොහැකිව කදුළු පිරි දෙනෙතින් ඒ දුක් පෙන්නුම් කරනවා. මෙම ඛේදවාචකය අපි අවසන් කළ යුතුයි. අනාගත පරපුරට අපි භාර දිය යුතු වන්නේ සමගි සම්පන්න රාජ්‍යයක් නොවේද?

එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.

මෙවැනි යුද්දයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මව්පියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුව තිබෙනවා. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඩට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැගිට සාමය අවශ්‍ය බවට හඩ නැගිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.

සාමය පාවා දීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳයාව පාවා දීමක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස වර්ධනය වන විට තව තවත් උස් හඬින් අප ගෙන ආ යුතු වන්නේ මානවවාදය. මනුෂ්‍යත්වය. අපේ රට තුළ පමණක් නොවේ. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම්වලින් ලෝකයට අත්පත් කර තිබෙන්නේ කුමක්ද? ජයග්‍රහණද? නෑ. විනාශයයි. ඒ නිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.

යුද්ධයේ ආස්වාදය යුද්ධය තමන්ගේ බලය ලබා ගැනීමට ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනා විඳින ආස්වාදය සතුට අපි අහිමි කළ යුතුයි.

මේ වෙලාවේ බයිනේත්තුව අතේ තබා ගෙන යුනිෆෝම් එකක් ඇඳ ගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබළාගේම හැම නිලධාරියාගේම අපේක්ෂාව තමන්ගේ අතේ තිබෙන ගිනි අවිය කුමන මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවායි කියන ප්‍රාර්ථනයයි. මානවවාදයේ ප්‍රාර්ථනය එයයි. පොදු සමාජයේ ප්‍රාර්ථනය විය යුත්තේ එයයි. එහෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කුමන මොහොතක හරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මෙය කිව යුතුයි.

ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වනනේ සත්‍යට. අපි යටත් විය යුතුයි මානවවාදයට. මිනිසත්කමට. නමුත් අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ. ඒ නිසා මා හිතනවා ඉතිහාසය අත්දැකීම් බවට පත් කර ගැනීමට නම් ඒ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත් ජනතාවක් බවට පරිවර්තනය විය යුතුයි. අපි ඇති තරම් ලේ හලා තිබෙනවා. අපි මේ මහ පොලොව තෙත් වන තුරු ලේ හැළු ජාතියක්. ගංගා රුධිරයෙන් ගලා යන තරමට ලේ හැලු ජාතියක්. දෙමවිපියන්ගේ, ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හැළු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුනුතම වේදනාවන්ට බිහිසුණු

විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිස්සු. ඒවා අත්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති වීම වැළැක්විය යුතුයි.

මා මීට පෙරත් ප්‍රකාශ කළා කිසිවෙක් මේ යුද්ධයට එළඹෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අවි අතට ගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එසේ නම් අපට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් වීම,එහි ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීමයි. එසේ නොමැති නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ වෙනවා. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපිට පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවලට බිය නොවී අපි සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්.

අවි අත දරා සිටින සෑම සොල්දුදුවෙකුගෙන්ම, සෑම නිලධාරියෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩ කළ පිරිසක්, ඔබ අනාගතයේද අපේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් වන ලෙසයි. අපේ දෙමව්පියන්ට මම කියන්නේ ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරු ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද?ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි.

අපේ දරුවන්ට යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. එය ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. එහෙත් අප විසින් සාර්ථකව කළ යුතු ව්‍යායාමයක්. මා මේ අවස්ථාවේ සුදුසු නොමැති වුවත් කියන්න කැමතියි උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් මේ ජාතිවාදය වෙනුවෙන් නැවත කැරැලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා. වෙන කිසිවක් නොව බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම්, අපට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කර ගැනීමට අප සමත්ව නැහැ.

මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? මේ වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම් සහිත කලාප රට තුළ තිබෙනවා. එමඟින් අප නිදහස් ද? අදත් ලෝකයේ කුමන ස්ථානයක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපෑමක් ඇති කරයි කියන බිය තිබෙනවා. අප නිදහස්ද? අද ආර්ථික වශයෙන් ස්වෛරීභාවය අහිමි කරගත් ජාතියක්. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සදහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා අපේ මාතෘ භූමිය ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට නම් මේ ආර්ථික පරිවර්තනය අත්පත් කර ගත යුතුයි.

නීතියේ විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හෝ මේ රාජ්‍ය තුළ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අප රටේ අපරාධ, කුඩු වසංගතවලින් තොර රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. ගැටුම්, අවිශ්වාසය, වෛරය නොමැති රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. එවිට මව්බිමේ පූර්ණ නිදහසත්, ශක්තිමත් ස්වෛරීභාවයක් අපට නිර්මාණය වෙනවා. එහෙම නොමැතිව ස්වෛරීභාවය හුදු කඩදාසියක තිබෙන වාක්‍යයක් බවට පත් නොවිය යුතුයි. එය මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කළ යුතුයි.

ඔබට, අපට මේ මාතෘ භූමිය පිළිබඳව බිඳිය නොහැකි ප්‍රේමයක් තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට අනුලංගනීය ලෙස ප්‍රේම කරනවා. මේ මාතෘ භූමිය ලෝකයේ උසස්ම මාතෘ භූමියක් බවට පරිවර්තනය කිරීමේ සහ මේ රටේ ජනතාව ලෝකයේ උසස් ජනජීවිතයක් ගත කිරීමට ගොඩනැංවීමේ වුවමනාව අපට තිබෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය සාමය සහ සංහිඳියාවයි. එනිසා මේ අවස්ථාවේදී අප සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි සෑම තීරණයක් නිර්භීතව ගත යුතු යැයි මා විශ්වාස කරනවා.

අප ඉදිරියේ තිබෙන මේ ස්මාරකයෙහි ස්ථාවරත්වය, ආරක්ෂාව, අපේ දිවිදුන් සෙබළුන්ගේ ආධ්‍යාත්මය, අභිමානය ඇතුළු සියල්ල මේ කුළුණ තුළ කැටි වී තිබෙනවා. අප ඔවුන්ගේ ආධ්‍යාත්මය, වීර්යය, නිර්භීතභාවය, පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගත යුතුයි. එසේ කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන් ද? ඒ වඩාත් සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත් වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ අනුස්මරණය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.

මර්වින් සහ ප්‍රසන්න යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම්

16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාවේ කොමිෂන් නොලන් නිලධාරීන් දසදහස් අනූ තුන්දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇත.

බලලත් නිලධාරී දෙක නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 225 දෙනෙකු බලලත් නිලධාරී එක නිලයට උසස් කර තිබේ.

මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 816 දෙනෙකු බලලත් නිලධාරී දෙක නිලයට සහ සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලන් නිලධාරීන් 1,191 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට උසස් කර ඇති බව යුද හමුදාව නිවේදනය කළේය.

එමෙන්ම කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලන් නිලධාරීන් 2,302 නෙකු උසස් කර ඇත්තේ සැරයන් නිලයටය.

ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලන් නිලධාරීන් 3,468 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2,091 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

දේශබන්දු විමර්ශන කමිටුව හමුවට

දේශබන්දු තෙන්නකෝන්  සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල නිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඒ සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන්  පෙනී සිට ඇති බව වාර්තා වේ.

රණවිරුවන්ගේ සුවදුක් බලන්න මිහිඳු සෙත් මැදුරට ජනපති යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.

සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මිහිඳු සෙත් මැදුර – සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

චාමර සම්පත්ට ඇප

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත්ව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කර තිබේ.

පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  අද (19) දින පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබිණි.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පනත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා සින් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදවා හැරිමට නියෝග කරන ඇති අතර අදාල නඩුව ඔක්තෝබර් 21 දින කැඳවිමට නියමිතය.

මහින්දානන්ද රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මෙම මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි  අද (19) නියෝග කළාය.

ඉකුත් සිකුරාදා දින නිකුත් කළ වරෙන්තුවකට අනුව අමාත්‍යවරයා අද දින පෙරවරුවේ සිය නීතිඥ මාර්ගයෙන් අධිකරණය පෙනී සිටියේ ය.

අල්ලස් කොමිසමේ සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට පස්වරු 4.00ට පැවැත්වීට කටයුතු යොදා ඇත.

එම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට නියමිතය.

එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

එම අවස්ථාවට යුද සමයේ ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

මෙම ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ප්‍රධාන අරමුණ ලෙස දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා දිවි හිමියෙන් සටන් කළ රණවිරුවන් සදහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීමයි.

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන CCDයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

 මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්ය. එම වාහනය පදවා ඇත්තේ තුසිත හල්ලොලුවගේ හිතවතෙකි.

පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව ගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

⁣තුසිත හල්ඔලුව පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පසුගිය 15 දා ප්‍රශ්න කිරීමකටද ලක් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව ඇති අතර ඔවුන් අද පස්වරුවේ රැස්වී මේ පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

මුලාශ්‍රය - aruna.lk

විදුලි බිල 18.3% කින් ඉහළ දැමීමේ යෝජනාවක්

විදුලි බිල සියයට 18.3 කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

ඊට අදාළ යෝජනාවලිය ඊයේ (16) මහජන උපයෝගීතා කොමිසමට භාර දුන් බව එහි වැඩබලන සභාපති උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම, විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය, මෙම මාසය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ, ජුනි පළමු වැනිදා සිටයි.

දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ.

ඒ අනුව අද(18) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගත්තේය.

දුම්රිය වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය.....

ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ උපුටනයක් පහතින්,

අද (16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණී උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරමින් අසාධාරණ ලෙස ක්ෂණික වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේදීම (01/22) දුම්රිය දෙපාරිතමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 ඇතුළත්ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටලුකාරී තත්වයන් මත අමාත්‍යාංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාරක්ෂමතාව මේ වනතෙක් කිසිදු නව බදවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු කරණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025/05/07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එළැඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්වත්කර ඇත.

මෙම ඉල්ලීම්වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාව හා ගැටළු සාකච්ඡා මගින් විසදාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශය ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවයක් තිබුණ ද අමාත්‍යාංශය මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩවර්ජන දියත්කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ.

එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළහැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය හා රජය ලෙස සෑම අයුරකින්ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.

උසස්පෙළ වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/0112 786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකිය.

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබේ.

මෙම විෂය ධාරාවට අයත් විෂයයන් පහතින්,

W1

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගුයි

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට සූදානම් වී ඇත. 

ඒ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රියවල ආසන වෙන්කර ගත් මගීන් මෙන්ම සෙසු මගීන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටී.

 

මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ලට අ​ධිකරණයෙන් නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කර ඇ​ත.

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර ඇති අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම් දී තිබේ.

සබරගමුව නවකවධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් තවදුරටත් රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි නියෝග කළාය.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ලක්ෂ්මන් යාපාට අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

Page 4 of 469