V2025

පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

වැඩි විස්තර පහතින්,

Media on 2025.06.12 පැය 1450 ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සම්බන්ධව by poornima

පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අදාළ අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් බලංගොඩ පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ලන්ඩන් වෙත පියාසර කල ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී මගීන් 242ක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, Air India ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ යානයක්.

අනතුර වන අවස්ථාවේ යනය තුළ ඉන්දීය පුරවැසියන් 169ක් එංගලන්ත ජාතිකයින් 53ක්, පෘතුගාල ජාතිකයින් 7ක් කැනේඩියානු ජාතිකයෙකු සිට ඇත.

තවතද ගුවන් නියමුවන් 2ක් සහ කාර්යමණ්ඩල සාමාජිකියන් 10 දෙනෙකු යානයේ ගමන් කර තිබිණි.

අහමදාබාද් ගුවන්තොටුපොළේ සිට යානය ගමන් ආරම්භ කර තිබුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් බලා ගමන් කිරීම සඳහායි.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ගුවනට එසවූ යානය අඩි 625ක් උඩදී පාලක මැදිරිය සමග තිබූ සියලු සම්බන්ධතා නතර වී ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, යානය එරට වේලාවන්, පස්වරු 1.38ට පමණ එය අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි වෛද්‍ය ශිෂ්‍ය නිකේතනයක් වෙත කඩා වැටුණු බවයි.

කොත්මලේ, මාරක බස් අනතුරට හේතුවු ලංගමට නඩු

කොත්මලේ, ගැරඞිඇල්ල බස් අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ කතරගම ඩිපෝ අධිකාරීවරයාට නඩු පැවරීමට ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.

එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අනතුරු සිදුවූ ස්ථානයේ කිසිදු ආරක්ෂිත පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලබාගැනීමට ද නිර්දේශ කළ බවයි.

‍එමෙන්ම, බස් රථයේ කාර්මික දෝෂයක් හෝ වෙනත් රථයක ගැටීමක් පිළිබඳ අදාළ කමිටුවට අනාවරණ වී නොමැත.

අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයේ මීදුම්, වැසි, ලිස්සන ස්වභාවයක් හෝ ප්‍රතිවිරුධ දිශාවට වාහනයක් ධාවනය වී නොමැති බව ද අදාළ කමිටුව අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව, එම කමිටුව නිගමනය කර ඇත්තේ රියදුරාගේ විඩාව හෝ නින්දයාම වැනි තත්ත්වයක් හේතුවෙන් වලක වැටුණු බස් රථය අනතුරට ලක්වී ඇති බවටය.

ඒ රියදුරාගේ පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තාව අනුව, ඔහුට හදිසි රෝගී තත්ත්වයක් වැලදී නොමැතිවීම සහ රස පරීක්ෂක වාර්තාව අනුව මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබීම හේතුවෙනි.

එමෙන්ම, රියදුරා, කොන්දොස්තර ඇතුළු මගීන් 84 දෙනෙක් ගමන් කළ බස් රථයේ ධාවන කාලය පැය 9.5 ක් වී ඇති අතර, රියදුරාගේ සේවා කාලය පැය 13.5 ක් බවද කමිටුව අනාවරණ කරගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  පැවසුවේ, දීර්ඝ කාලයක් අමතර රැකියාවක් ලෙස ටිපර් රථ රියදුරෙක් ලෙස සේවය කළ බස් රථ රියදුරා අනතුරට පෙර දිනය පුරා එහි නිරතවී ඇති බවයි.

එමෙන්ම, කතරගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 300 කට ආසන්න දුෂ්කර මාර්ගයේ ධාවනයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත අනුව කතරගම ඩිපෝව අවසර ගෙන නොමැත.

මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරුන්ට වගකීමක් පවතින බවත්, ඒ අනුව කටයුතු නොකරන නිලධාරීන්ට විනයානුකූල පියවර ගැනීමටත් අදාළ කමිටුව පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට...

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සිදු කරන පරික්ෂණවලට අදාළවය.

සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙමස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රනිල්ගෙන් CIDයට ප්‍රකාශයක්...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල  විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.

හෙට සිට 15% කින් විදුලි ගාස්තු ඉහළට

විදුලි ගාස්තු හෙට සිට 15% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල්  මේ බව සඳහන් කළේ , අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ජනපති ජර්මනියට ළඟා වෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්වේ.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) මහතා අතර නිල හමුව පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති.

නිල සංචාරයක් සඳහා ජනපති ජර්මනිය බලා පිටත්වෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක  2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වෙයි.


කාලගුණයෙන් අනතුරු ඇඟවීම්......

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසංතුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ,සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර හෙට (11) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී 50-60 ක පමණ තද සුළං ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේත, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

බුද දහම සමග ලැබුණු ශිෂ්ටාචාර උරුමය පදනම් කරගනිමින් යහපත් සමාජ පරිවර්තනයකට එක්වෙමු - ජනපති

ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, “අනුබුදු දහමින් ලොවම නිවේවා“ තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලාංකේය ජාතිය ශිෂ්ට සම්පන්න පරිවර්තනයකට ගෙන ගිය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සහ මිහින්තලාව අමතක කර ජාතික පොසොන් උත්සවය සැමරිය නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය

එම නිසා මෙවැනි අධ්‍යාත්මික වටිනාකම් සහිත උරුමය ඇති භූමිය සුරක්ෂිත කොට මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම රාජ්‍යයක වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එම වගකීම ඉටු කළ හැක්කේ මහ පොළොව සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවතින පුරවැසියන්ට මිස පොළොවට උඩින් පාවෙන මිනිසුන්ට නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අනුරාධපුර නගරය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද කියා සිටියේය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ බවත්, සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම නගරය, ප්‍රථම වැව, පළමු සැත්කම කළ ස්ථානය, යෝධ ඇල වැනි උරුමයන් සහිත අනුරාධපුරය යළි පැරණි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්ය රජය සිදු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය. එම ප්‍රතිනිර්මාණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ සිදු කිරීමට ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් කැමැත්ත පළ කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

''රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීමට කටයුතු කරනවා ''

''ඕනෑම ජාතියකට නැගී සිටීමට ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. එවැනි ශක්තිමත් අත්තිවාරමක් ශ්‍රී ලාංකේය ජනතාවට බුද්ධ දර්ශනය මගින් ලැබී තිබෙනවා. අධ්‍යාපනය වියළුණු සමාජයක ශක්තිමත් පුරවැසියන් බලාපොරොත්තු වන්න බැහැ. වසර දෙදහකට අධික කාලයකට පෙර මේ රටට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කළේ බුදු දහමයි. පන්සල් පිරිවෙන් බවට පත් කරමින් මේ රටේ ජනතාවට අධ්‍යාත්මික මෙන්ම දැනුම ලබාදීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට බුදු දහම විශාල කාර්යයක් කළා. ශිෂ්ට සම්පන්න සමාජ යාන්ත්‍රණයක් ඇතිවීම එමඟින් සිදු වුණා. ඒ සඳහා වසර 2500ක ඉතිහාසයේ මේ රටේ වැඩ සිටී මහා යතිවරයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.

මේ වනවිට එම සමාජ යාන්ත්‍රණය බිඳවැටී තිබෙනවා. පොලිසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා. මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි.

ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි.

වසර දෙකක කාලයක් ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගෙන ජාතික පොසොන් උත්සවය මිහින්තලයේදී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කරන ලදී.

පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම මිහින්තලේ විහාරාධිකාරී පූජ්‍ය සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් විසින් සිදු කරන ලදී.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, අමාත්‍ය වසන්ත සමරසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, තිළිණ තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොසොන් වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල්.......

2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග  සඳහන් කරයි.

එම ලියාපදිංචි ලේඛනයට අනුව කොළඹ 944 ක්, ගම්පහ 1792 ක්, කළුතර 977 ක්, නුවර 1264 ක්, මාතලේ 812 ක්, නුවරඑළිය 352 ක්, ගාල්ල 1186 ක්, මාතර 1021 ක්, හම්බන්තොට 533 ක්, යාපනය 03 ක්, කිළිනොච්චි 03 ක්, මුලතිව් 17 ක්, වවුනියා 21 ක්, මන්නාරම 02 ක්, මඩකළපුව 09 ක්, අම්පාර 584 ක්, කල්මුණෙයි 14 ක්, ත්‍රීකුණාමලය 152 ක්, කුරුණෑගල 2114 ක්, පුත්තලම 731 ක්, අනුරාධපුර 2301 ක්, පොළොන්නරුව 650 ක්, බදුල්ල 968 ක්, මොණරාගල 716 ක්, රත්නපුර 1097 ක්, කෑගල්ල 922 ක් වශයෙන් දිවයින පුරා දන්සල් සංවිධාන කර ඇත.

“ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශ” ශීර්ෂය යටතේ 2025.05.06 දිනැති ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය.

එම මාර්ගෝපදේශ මාලාව තුළ සෞඛ්‍ය බලධාරීන් සමග දන්සල් ලියාපදිංචිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තොරතුරු රැස් කිරීම, ආහාර පිළියෙල කරන්නන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහතික කිරීම, ආහාර හසුරුවන්නන් විසින් පිළිපැදිය යුතු අත් පිරිසිදුව තබාගැනීම හා සම්බන්ධ සනීපාරක්ෂක පිළිවෙත්, ආහාර හසුරුවන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය, භාවිත කරන අමුද්‍රව්‍ය, ආහාර පිළියෙල කිරිම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ආහාර සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය, ආහාර සනීපාරක්ෂාව සහ සුරක්ෂිත පරීක්ෂාව ආදී කරුණු ඇතුළත් කර තිබේ.

 

වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් CID අත්අඩංගුවට

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය අද තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහාය.

මෙවන් පසුබිමක අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කරණු ලැබුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ගේ වැඩ තහනම් කිරීමටය.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ  පත්කෙරුණි.

මන්නාරමට නව සුළං විදුලි බලාගාර දෙකක්

ලංකාව පුනර්ජනනීය බලශක්ති විභවය ඉහළින්ම පවතින රටක් වන අතර මේ වන විට ලෝකය ම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමු වී ඇති බවත්, ලෝකය ම පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය වන කාලයක සොබා දහම අපේ රටට තෑගි දී තිබෙන: හිරු එළිය, සුළඟ උපරිම අයුරින් භාවිතයට ගෙන රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම් ප්‍රදේශයේ යෝජිත සහ දැනට ක්‍රියාත්මක සුළං විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල චාරිකාවක යෙදුණු අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි...

''විශේෂයෙන් ම මේ මන්නාරම කලාපයේ සුළං විදුලිබලය නිපදවා ගැනීමේ හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නත්, ඒ සඳහා වන ආයෝජන, නව තාක්ෂණය භාවිතය දිරිමත් කරමින් අපේ රටේ බලශක්ති අභියෝග ජයගන්න අපි බලයට පත්වෙන්නත් කලිං හදපු සැලසුමට අපි ක්‍රියාත්මක වෙනවා.''

මෙම සංචාරයේ දී අමාත්‍යවරයා, දැනට ටෙන්ඩර්පත් කැඳවා ඇති මුල්ලිකුලම මෙගාවොට් සියයක ධාරිතාවයක් සහිත යෝජිත සුළං විදුලි බලාගාරයට වෙන්කළ ප්‍රදේශය ද, දැනට ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක තම්බපවණි සුළං විදුලි බලාගාරයත් නිරීක්ෂණය කළ අතර, එහි ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක ද නියැළුණේ ය. ඒමෙන් ම එම පරිශ්‍රයට යාබදව ඉදිකිරීමට නියමිත, නව රජය විසින් ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 4.65ක අවම මිලකට මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද සහ ළඟදී ම ඉදි කිරීමට නියමිත මෙගාවොට් 50ක ධාරිතාව සහිත Hayleys Fentons සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිත ප්‍රදේශය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහි දී මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති පූජ්‍ය එස් මාකස් පියතුමා ප්‍රමුඛ එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග ඔවුන්ගේ ඉල්ලීම්, යෝජනා, පිළිබඳව මෙන්ම මන්නාරම ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

(සටහන - ශාන් මොහොමඩ්)

මහින්දානන්දගෙන් අභියාචනයක්...

කොළඹ මහාධිකරණයෙන් නියම කළ වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමට එරෙහිව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

ඔහුට සිර දඬුවම් නියම වූයේ, 2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් නීත්‍යානූකූල නොවන ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් කළ බවට වන චෝදනාවට, වරදකරු කරමිනි.

ඊට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරයා, අභියාචනා පෙත්සම ගොනු කළේ, නීතිඥ සනත් විජේවර්ධන  මාර්ගයෙනි.

එය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී තිබේ.

පෙත්සම්කරු සිය අභියාචනා පෙත්සමෙන් කියා සිටින්නේ, අල්ලස් කොමිසම ගොනුකළ චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් මැයි 29 වැනිදා බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් නඩු තීන්දුව දී ඇතැයි, ඔහු පෙත්සමෙන් අවධාරණය කරයි.

ඔහු ඉන් පෙන්වා දී ඇත්තේ, විත්තිය ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවයි.

එවැනි තත්ත්වයක් තුළ තමාට නියම කළ දඬුවම් නියෝගය, නීතියට පටහැනි බව විත්තිකාර පෙත්සම්කරු කියා සිටී.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, දණ්ඩන නියෝග බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවයි

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී ඇත.

ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධිය හේතුවෙන් මෙසේ තුෂාර උපුල්දෙණිය ගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.

මේ අතර, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයකට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු අද (ජූනි 09) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සැකෙවින් මෙසේය...

රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබිණි.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව ජූනි 05 යළි කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී, අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරන ලදී.

අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව ය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ය.

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකින්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු බව කියන, රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් ද දැනුම් දී ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ, ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ කාර්මික විද්‍යාඥ වශයෙන් සේවය කරමින් සිටියදී දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නොමැති රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකු වශයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි කටයුතු කිරීමෙන් තොරව 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස ඔහු තරග කර ඇති බවයි.

මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් කරන ලද 2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කරන බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ඊට අදාළ විධිමත් විනය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, වැඩ තහනමට් ලක්ව සිටින කාලයේදී වැටුම් ගෙවීමක් සිදු නොකරන බවත්, එම කාලය තුළ රටින් පිට නොවිය යුතු බවත්, පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ යුතු බවත්, ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම වැඩතහනමට ලක්ව සිටින කාලය තුළ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන සාමාන්‍ය අනුග්‍රහය ද රවී කුමුදේෂ්ට අහිමි වන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දෙවැනි වරටත් මැකෝ ගිරවෙක් නැති වෙයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ.

පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්ත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී තිබේ.

මෙම ගිරවා රඳවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙයි.

කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගතවී ඇති බව නිලධාරීන් දැක ඇත.

පසුව මේ සම්බන්ධව එහි පාලනාධිකාරිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබේ.

පසුගිය 2021 වසරේ අගෝස්තු මස 08 වැනි දිනද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබුණි.

Page 2 of 471