V2025

පුවත්

නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් දිවයිනට...

නිල සංචාරයක් සඳහා නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස්  දිවයින⁣ට පැමිණ තිබේ.

ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගනු ලැබ ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස්  ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක  සමග මෙන්ම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වින්ස්ටන් පීටර්ස්  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  සමග වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ඇති බවයි.

නිළි රැජිණගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව.....

අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (25) පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරේ .

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත රැගෙන ආවේය.

නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයන විට ඇය 78 වන වියේ පසුවිය.

ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට(26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක  සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව යි.

ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බව එහි දැක්වේ.

ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වේ.

දුමින්ද 29වැනිදා තෙක් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලදි.

අල්ලස් ගත් RMV ලොක්කො තුනක් රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට පත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන ජුනි මස 6 වැනිදා දක්වා බන්ධනාගාරයේ රදවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (23) නියම කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට අමතරව මෙලෙස රිමාන්ඩ් ගත කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ සේවය කරන සහකාර කළමනාකාරවරු දෙදෙනෙකි.

අල්ලස් හෝ   දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්, නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

ඔවුන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන, රුපියල් ලක්ෂ 40 ක මුදලක් ද, අල්ලස් කොමිසම භාරයට ගෙන තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසුවුණි.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.

“සංචාරක උදාව 2025” ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව” මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට අනගි අවස්ථාවකි.

වෙළෙඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය අද (23) සහ හෙට (24) දෙදින තුළ පැවැත්වෙන අතර හෝටල්, සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමටද එක් වූ අතර ප්‍රදර්ශනයට එක්ව සිටි සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කථා බහකද නිරත විය.

මෙහි සමාරම්භක අවස්ථාවේදී අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025 වසර සංචාරක උදාවේ වසර බවත්, මෙම වසර අවසන් වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 05ක ආදායමක් උපයා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර යන  සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ඇතුළු ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක  පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක  වෙත භාරදී ඇත.

මහාචාර්ය අයි.එම් කරුණාතිලක  වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගනී.

ඔහු 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇත.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ (University of Dundee) උපාධිධාරියෙකි.

එසේම එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියේ, සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධි සාමාජිකත්වයද දරයි.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ විශේෂඥතාව වෙනුවෙන් මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනය (APACPH) සහ අග්නිදිග කලාපීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සංගමය (SEARAME) වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම තුළින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලේකම් ලෙසද සේවය කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනඥයින්ගේ විද්‍යාලයේ (CME) ආරම්භක සභාපතිවරයා විය. විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති මහාචාර්ය අයි.එම් කරුණාතිලක  2021දී ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) මහලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර මෙම කීර්තිමත් තනතුර දැරූ පළමු ශ්‍රී ලාංකිකයාද වේ.

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක  1921 දී ලංකා විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ 20 වන උපකුලපතිවරයා වේ.

අත්අඩංගුවට පත් දුමින්ද CIDය හමුවට

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී රන් පැහැ ආලේප කළ T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අද (23) පෙරවරුවේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබේ.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක රැඳී සිටියදී අත්අඩංගුවට පත්වී ඇත.

පසුගියදා හැව්ලොක්සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවකගේ ගමන් මල්ලක බහා තිබියදී රන් ආලේපිත ටී56 ගිනිඅවියක් සොයා ගැනුණි.

එම විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් සිදු කෙරුණු අතර, අත් අඩංගුවට ගත් සැකකාර පුද්ගලයෙකු පවසා ඇත්තේ එම ගිනිඅවිය තමන් හට සැකකාර දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබූවක් බවයි.

මේ අතර රුවන්වැල්ල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ කාන්තාවන් දෙදෙනොගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

දේශබන්දුට එරෙහි අධිකරණ අපහාස චෝදනා ගොනුවත් සූදානම්, නීතිපතිවරයා අධිකරණයට දන්වයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව ගතයුතු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නිතීපතිවරයා සූදානම් බව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම  අද (22) මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාසට දැනුම් දුන්නේ ය.

ඒ, දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ගොනුව සකස් කර අවසන් බව සඳහන් කරමිනි.

මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 නමැති හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර, ඇප ලබා ගැනීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් ක්‍රියාකළ ආකාරයෙන් අධිකරණය අපහාසයක් වී ඇත්දැයි විමර්ශනයක් කළ යුතු බව, පසුගිය අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය.

මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයාට දැනුම් දුන්නේ, අධිකරණයට අපහාසක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බැවින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අභියචානාධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගොනු කරන ලෙසයි.

ඒ අනුව අධිකරණ ආඥාවන් උල්ලංඝණය කිරීම සහ අධිකරණයට අපහස කිරීම යන චෝදනා යටතේ දේශබන්දු තෙන්නකෝන්ට සහ ඇප ලබාදීමෙන් පසු ඔහු මොටර් රථයකින් අධිකරණ සංකීර්ණයෙන් පිටතට රැගෙන ගිය රොෂාන් ලක්ෂිත යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුලු සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුව ඔක්තෝබර් 10 වැනිදා පෙරවරු 10 ට කැඳවීමට දින නියම කළේ ය.

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

රාජ්‍ය ආයතනවල වාහනවලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය.

නව රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තිය යටතේ නව කාඩ්පත හඳුන්වාදීම සිදුවෙයි.

COVID-19 ප්‍රභේදයක් පැතිරීම ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වයට ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්, අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනට. COVID 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බව ද කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවැරදි සහ කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා මනා සුදානමකින් පසුවන අතර, ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා සෞඛ්‍ය ඇමති අතර හමුවක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා හමු වූ අතර, එහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දහසක් අළුතින් ආරම්භ කිරීම, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන ජාත්‍යන්තර සංවිධාන සහ පරිත්‍යාගශීලීන් එක් කර මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් කටයුතු කිරීම, මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත සෞඛ්‍ය වෘත්තිකයින් විදේශගතවී‌මේ ගැටළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් පදනම් කරගනිමින් විසඳුම් සෙවීම, ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්ව මෙරට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝව මෙහිදී සාකච්ඡා සිදු කර ඇත.

මීට අමතරව නුදුරු දිනකම මෙරට සංචාරයකට එක්වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතාට මෙහි දී ආරාධනා කළ අතර, එමෙන් ම 2025 ඔක්තෝම්බර් මස කොළඹ දී පැවැත්වෙන දකුණු ආසියානු කලාපීය සමුළුවට සහභාගීවන ලෙස ද අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාට ආරාධනා කර ඇත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්විය.

පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

2023 වසරෙන් පසුව මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වන්සේ මෙම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අද (21)දී පැවති සාකච්ඡාවේදීය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ  සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද ධම්මරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ.

‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වන දා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පොසොන් සතිය ජූනි 07 වන දා සිට ජූනි 13 වන දා දක්වා පැවැත්වෙන අතර එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.

පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

රාජ්‍ය පොසොන් උත්සවයට අදාළ පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජේ‍යෂ්‍ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.පී රත්නායක යන  ඇතුළු ආයතන ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

රමිත් රඹුක්වැල්ලත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී  නියෝග කර ඇත.

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියට අදාළ නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් බණ්ඩාර රඹුක්කැල්ල ඊයේ දින නම් කිරීමෙන් අනතුරුව අද දින අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය කෙහෙහෙළිය රඹුකැල්ලගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් මෙම වංචාවට ආධාර අනුබල ලබා දුන් බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වීය.

අද පස්වරුවේ සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බැංකු ගිණුම් විවෘත කිරීමේ දී TIN අංකය අනිවාර්ය කෙරේ

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙයි.

ඒ අනුව සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමටද අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වෙයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක  අදාළ අංශවලට අද (20) උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 04කට ආසන්න කාලයක් පැවැත්විණි.

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන්  පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි.

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  විසින් රණවිරු සේවා අධිකාරියට භාර දෙන ලද අතර, එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක  විසින් එම ලේඛන භාර ගනු ලැබීය.

මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය.

මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

Page 3 of 469