පුවත්
හෙල්මට් කල්ලියට බලය ගියොත් වෙනදේ ප්‍රසන්න කියයි !
අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු ඇතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයි.
එබැවින් ඉතාම කල්පනාවෙන් යුතුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ දිවුලපිටිය,කටාන ප්‍රදේශවල පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මේක අපිට අමුතු වේදිකාවක්. මොකද මේ වේදිකාවේ සියලුම පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් ඉන්නවා. දේශපාලනයේදී අපි කාලයක් එකිනෙකා විවේචනය කරගත්තා. නමුත් ඒ සියලුම එදිරිවාදිකම් අතහැරලා අපි සියලුම දෙනා එකම අරමුණක් වෙනුවෙන් එකට ගමනක් යනවා.
ආර්ථික අර්බුධයත් සමග මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා. අපි තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්වින්ඳා. අපිට ඒ අතීතය මතකයි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන නිසා සමහරු කියනවා ප්‍රසන්න රණතුංග දැන් එක්සත් ජාතික පක්ෂයට බැඳිලා කියල. නෑ.. මම තවම පොහොට්ටුවේ. අද මහින්ද මහත්තයගේ වේදිකාවේ කයිවාරු ගහන්න වීරයෝ ඕනතරම් ඉන්නවා. නමුත් එතුමා 2015 පැරදුණ වෙලාවේ ඔය කවුරුවත් හිටියේ නෑ. මම තමයි එතුමා නැවත දේශපාලනයට ගේන්න පෙරමුණ ගත්තේ. බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා විදියට මගේ නිල නිවසේ තමයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණේ. ජනාධිපතිවරයෙක් පත්කරගෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වුනේ අපේ කැපකිරීම නිසයි.
යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කොවිඩ් වසංගතයෙන් රටත් ජනතාව බේරාගත්තේ. අපිට ඒ අතීතය මතකයි. කොවිඩ් වසංගතයෙන් පසුව ඇතිවුණ ආර්ථික අර්බුධය නිසි පරිදි කළමණාකරණය කර ගන්න එදා මමත් නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට බැරිවුණා. ඒ පළවිපාක තමයි අපි විඳෙව්වේ.
එදා ආර්ථිකය කඩාගෙන වැටුණු රට නැවත ගොඩ ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි එතුමට මේ ජනාධිපතිවරණයේදී කළගුණ සැලකිය යුතුයි. ඉතිහාසයේ රටවල් මීටත් වඩා දරුණු අර්බුධවලට මුහුණ දීල තියෙනවා. ඒ අවස්ථාවලදි දේශපාලනය පැත්තකට දාල රට වෙනුවෙන් මිනිස්සු එකට එකතු වුණා. අපිත් මේ එකතුවෙලා ඉන්නේ ඒ වගේ උදාර අරමුණක් වෙනුවෙන්. අපි ජනාධිපතිවරයාට උදවු කරන්නෙ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නෙමෙයි. එහෙම පුද්ගලික දේශපාන න්‍යායපත්‍රයක් අපිට නැහැ.
රට ගොඩනඟලා, ආර්ථිකය ස්ථාවර කළාම අපි පුළුවන් දේශපාලනය කරන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලන්න. ඒ තියෙන්නෙත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලමයි. මේ රටේ බලය තියෙන්නේ විධායකයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් විධායක ජනාධිපතිවෙලා ඉඳල නෑ. එතුමා හැමදාම හිටියේ දෙවැනි තැන. මේ පාර අවුරුදු දෙකකට ඔහුට විධායක ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් ඉතාම නරක තැනක රට තියෙද්දි. කෙටි කාලයක් තුළ එතුමා තමන්ගේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරල රට ගොඩ ගත්තා. මේ වැල් පාලමේ ඉතුරු ටික යන්න අපිට ඔහුව අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි එකතු වුණේ.
මේ රට හැමදාම ආපස්සට ඇද්දේ ජනතා විමුක්ති පෙරමුණයි. 2022 ගෙවල් ගිනි තියල රටේ මිලේච්ඡත්වය වැපිරුවේ අනුර කුමාර දිසානායකගෙ හෙල්මට් කල්ලියයි. ඒ වගේ කන්ඩායමකට බලය දුන්නොත් මේ රටේ ආයෙමත් ලේ වැගිරීමක් වේවි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් මේපාර ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. අනුර කුමාර හිතාගෙන ඉන්නේ තමන්ගේ සියයට 3 ඡන්ද ගොඩ සියයට 40 -50ක දක්වා වැඩි වේවි කියල. එහෙම වෙන්නෙ නෑ.එක ඡන්දයක් හදාගන්න කොච්චර මැරෙන්න ඕනද කියල දේශපාලනය කරන අපි දන්නවා.
– මාධ්‍ය ඒකකය
අලුත් සමීක්ෂණ වාර්තාව : අනුර - සජිත් එකතැන : රනිල්ගේ වක්‍රය ඉස්සෙයි !
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව එළිදක්වා තිබේ.
ඊට අනුව පෙර මාස වලට සාපේක්ෂව අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් ගේ ජනප්‍රියතාවය මඳක් අඩු වී ඇත්ත් ඔවුන් දෙදෙනා තවදුරටත් ඉදිරියෙන්ම පසුවෙන්නේ කරට කර මට්ටමේ සිටිමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි .
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක 37%ක් ලබා මත විමසුමේ ඉදිරියෙන් සිටිද්දී සජිත් ප්‍රේමදාස ඔහු හා ආසන්නයෙන්ම රැඳී සිටින්නේ 36%ක් ගනිමිනි.
පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද 4%ක් ලබාගෙන සිව්වන ස්ථානයට පත්ව සිටියි.
ශානිගේ ආරක්ෂාව : ශ්‍රේෂ්ඨාධිකරණයට අතිශය රහසිගත වාර්තාවක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුන්නේ ය.
තමන්ට සපයා තිබෙන ආරක්ෂාව දැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම්දීම සිදු කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය කියා සිටියේ පෙත්සම්කරුට මේ වනවිට ආයුධ සන්නද්ධ නිලධාරීන් සහිතව පොලිස් නිලධාරීන් දස දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බවය.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම මාර්තු මස 12 වනදා සිදු කිරීමට දින නියම කළේය.
කෙහෙළිය තවදුරටත් ඇතුලේ !
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (29) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී අධිකරණය වැඩිදුරටත් නියම කළේ සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙසය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ අනුව මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.
සජිත් සහ අනුර ක්‍රියාත්මක කරන්න යන්නේ ගෝඨාභයගේ ආර්ථික වැඩපිළිවෙළමයි !
වැරදි ආර්ථික තීන්දු ගනිමින් අද සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළම බවත්, සැලැස්මකින් තොරව බදු අඩු කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් පියවර නිසා 2022 වසරේදී රටේ ආර්ථිකය කඩා වැටුණු අයුරු කිසිවෙකු අමතක නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර අරගලයට මුවා වි ඔහු පන්නා දැමුවේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරි වූයේ පසුගිය වසර දෙක තුළ අසීරුවෙන් ඉදිරියට ගෙන ආ ආර්ථිකය ආරක්ෂා කරමින් ජනතාවට ජිවත්විය හැකි රටක් ගොඩනඟාදීමට බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (29) පස්වරුවේ මොණරාගල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අති විශාල ජනතාවක් එක්ව සිටියහ.
උමා ඔය ව්‍යාපාතියේ ඉතිරි වැඩද අවසන් කරන බවට මෙහිදී ගොවි ජනතාවට සහතික වූ ජනාධිපතිවරයා ගොවියාට පොහොර ලබා දුන් අයුරින් ජලය ද ලබා දී වී අස්වැන්න ඉහළ නංවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් උක් ගොවියන්ට ද පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහමෙසේද පැවසීය
එදා මේ රටේ ජනතාව පක්ෂ, පාට, ජාති, ආගම් බේද නොමැතිව සියලුදෙනා පොළිම්වල දුක් වින්දා. රට බේරා ගැනීමට නම් අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි බව එදා අප තීරණය කළා. එහිදී මේ රටේ ජනතාව ලබාදුන් සහායට මම ස්තූතිවන්ත වෙනවා.
අප වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එම ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමටයි. මගේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි.
අද සජිත් සහ අනුර කියනවා ජීවන බර අඩු කරන්නේ බදු අඩු කරලා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. ඒ වගේම ඔවුන් කියනවා බඩු මිලත් අඩු කරනවා කියලා. එසේනම් ආදායම් අඩුකරගෙන වියදම් වැඩිකරගත් විට ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ඔවුන් කිව යුතුයි. මෙහෙම කළොත් නැවත රට 2022 පැවති තත්ත්වයට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද සිදු කළේ මෙයයි. ඒ නිසා ඇති වු තත්ත්වය මම ඔබට අමතුවෙන් කිවයුතු නැහැ.
ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නම් සජිත් සහ අනුර පාරට ඇවිත් ගෝඨාභය ජනාධිපතිවරයාව පන්නා ගත්තේ ඇයි කියා මම අහනවා.
අපි කටයුතු කරන්නේ දිනෙන් දින ජාතික නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමටයි. අප දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙම මුදල් ලැබෙන විට ජනතාවට සහන ලබාදිය හැකියි. අපි සමෘද්ධිය වෙනුවට අස්වැසුම ගෙනත් ජනතාවට තුන් ගුණයක ප්රතිලාභ ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ දීමනාව වැඩි කළා. මෙලෙස ආර්ථිකය දියුණුවන විට ජනතාවට සහන ලබාදිය හැකියි.
2024 වසරට වඩා 2025 වසරේදී ජනතාවට වැඩි සහනයක් ලබාදිය හැකියි. මේ විදියට ආර්ථිකය දියුණු වී මුදල් තිබෙන නිසා උක් වගාව සඳහා දපොහොර සහනාධාරයක් ලබාදීට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ අයුරින්. බොරු පොරොන්දු දෙන්නේ නැතිව රටේ ආර්ථිකය දියුණුවීමත් සමඟ ජනතාවට සහන ලබාදීමට හැකි වෙනවා. 2025 අවසාන කාර්තුවේ සිට මෙම සහන ලබාදීම තවත් වැඩි කිරීමට හැකියාව තිබෙනවා.
ඒ නිසා මෙම වැඩපිළිවෙළ කඩා දමා පැරණි ක්‍රමයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ බදු බර අඩු කළ යුතුයි. අසීරු කාලයේ මුදල් මුද්‍රණය කළ නොහැකි තත්ත්වයක් ඇති වූ විට අපට බදු වැඩි කිරීමට සිදු වුණා. එමඟින් ජනතාව විශාල පීඩාවකට මුහුණ දුන් බව අප දන්නවා.
කෙසේ හෝ දැන් රටේ ආදායම් වැඩි වෙනවා. දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. එවිට ජනතාවට බදු සහන ලබාදිමට අපට හැකි වෙනවා. ඒ වගේම ලබන වසරේ තරුණ තරුණියන් ලක්ෂයකට ස්ථිර ආදායම් මාර්ග ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් කැමති පුහුණු ආයතනයකින් පුහුණුව ලබා ගැනීමට තවත් තරුණ තරුණියන්
50,000කට මුදල් ලබා දෙනවා.
මේ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කර ග්‍රාමීය ප්‍රදේශවලට ද සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි. මෙම ප්‍රදේශයේ ඉඩම් ගැටළුවේ කොටසක් මේ වන විට විසඳා තිබන අතර ඉතිරි කොටස කඩිනමින් විසඳීමට කණ්ඩායමක් යොමු කරනවා.
ඒ වගේම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ද අප කටයුතු කරනවා. මෙම කටයුතු තුළින් මේ පළාතේ කාෂිකර්මය දියුණු කර ගොවි ජනතාවට ශක්තිමත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
උමා ඔය ව්‍යාපාරයේ ඉතිරි වැඩ කොටස අප අවසන් කරනවා. ජනතාවට පොහොර ලබා දුන්නා වගේම ජලයද ලබා දීමට අප කටයුතු කරනවා. ඔබ මට වසර 05ක් ලබා දුන්නොත් පසුගිය අවුරුදු දෙකට වඩා විශාල වැඩකොටසක් අපට ඉටු කළ හැකියි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග :
අද අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා. එකිනෙකා මරා ගෙන තමන්ගේ දේශපාලන මතවාද වලින් දේශපාලන කළ කාලය අවසන් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම් එකම වේදිකාවකට ඇවිත් තිබෙනවා. ඒ සියලු කණ්ඩායම් එකතු කර ගෙන රට වෙනුවෙන් ඉදිරිපත් වුණ කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නේ.
අපේ අම්මාලා, තාත්තලා සහ ඉතිහාසය පුරාම දේශපාලනය වෙනුවෙන් සටන් කරපු කණ්ඩායම් දැන් එකතු වෙලා තියෙන්නේ එකම අරමුණක් වෙනුවෙන්. එදා ජනතාව පාරවල්වල ඉන්ධන, ගෑස්, බෙහෙත් ලැබෙනතුරු බලාගෙන හිටියා. රෝහල්වල රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දෙන්න බැරි වුණා. ආර්ථික අර්බුදයත් එක්ක රට බංකොලොත් වුණා. බංකොලොත් වෙනකොට කිසිදු රටක් ආධාර දුන්නේ නැහැ. රටට ණය දුන්නේ නැහැ. අපේ නායකයින්ට රට අත හැරලා යන්න සිදු වුණා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා.
අද රට සාමාන්‍ය තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වැල් පාලම් භාගයක් ඇවිත් තියෙනවා ඉතුරු ටික ගොඩ යාමයි අපේ වගකිමයි. ඒ ගොඩ යෑමේ තීන්දුව තිබෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාටයි. අද කටින් බතල හිටවන නායකයින් ඕන තරම් ඉන්නවා. වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.
රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර :
එදා අපි කතා කළේ පක්ෂයක අපේක්ෂකයෙක් දිනවන්නයි. අද අපි කැපවී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙක් දිනවන්නයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මීට අවුරුදු දෙකකට පෙර රටේ තිබුණු තත්ත්වය අපි දන්නවා. රැපියල් 2000ට පෙට්‍රල් ලීටරයක් ගහගෙන රෝහලට තමන්ගේ දරුවා ගෙනියපු දෙමව්පියන් හිටියා. ගෑස් නැතුව, දරුවට කිරි පිටි නැතුව දුක් විඳපු දෙමව්පියන් හිටියා. රෝහලට ගිහාම බෙහෙත් නැතිව දුක් විඳපු දෙමව්පියන් හිටියා.
මේ වගකීම බාරගන්න කියලා අපි එදා සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා. දැන් කයිවාරු ගහන සජිත් ප්‍රේමදාස මහත්තයා එදා කිව්වේ මේක බාර ගත්තොත් එයාට තව අවුරුදු දෙකකින් ජනාධිපති වෙන්න බැරි වෙනවා කියලයි.
එදා රටේ ජනතාව දුක් විඳිනකොට ජනතාවට කිසි දෙයක් කරගන්න බැරුව සිටපු වෙලාවේ පැනලා ගියපු සජිත් ප්‍රේමදාස අද ජනතාවගෙන් ජනාධිපතිකම දෙන්න කියලා ඉල්ලනවා.
රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ
වර්තමානයේ අප පසුවන්නේ ඉතා තීරණතාමක අවස්ථාවකයි. මේ රට ඉදිරියට ගෙන යමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අත්දැකීම් ඇති, දේශපාලන පළපුරුද්දක් සහ ජාත්‍යන්තර සබඳතා තිබෙන නායකයෙක් අවශ්‍යයි. එම පළපුරුද්ද සහ දේශපාලන පන්නරය ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ජනතාව නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුත්තේ අසීරු අවස්ථාවේ තමන් සමඟ සිටි නායකයාවයි.
ඒ නිසා නව වන විධායක ජනාධිපතිවරයා ලෙස ඉදිරි වසර 05 සඳහාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දිය යුතුයි. ඌව වෙල්ලස්ස ජනතාව එදා ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේ ද පුරසාරසම් දොඩවන්නන්ගෙන්, භීෂණය පතුරවන දේශපාලන ව්‍යාපාරවලින් මේ රට බේරාගෙන රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ඌව වෙල්ලස්ස ජනතාව පෙරට එන බව මම දන්නවා.
හිටපු අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා :
එදා මේ රට භාර ගන්න බැහැ කියලා සජිත් සහ අනුර පැනලා දිව්වා. තෙල්,ගෑස්, පොහොර තිබුණේ නැහැ. ඇගේ ගාන්න සබන් කෑල්ලක් තිබුණේ නැහැ. දරුවන්ට කිරි පිටි ටිකක් තිබුණේ නැහැ. එහෙම තිබු රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මහතා බය නැතිව ඉදිරිපත් වුණා. ඔහු මේ රට ගොඩනැගුවේ අනිත් අය කළ විදිහට සල්ලි අච්චු ගහලා හෝ සම්පත් විකුණලා නොවෙයි.
මේ රට ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ මහතායි. වැරදීමකින් හෝ ජවිපෙට බලය ගායොත් ජනවාරි මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න වෙන්නෙත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන කඩාකප්පල් වෙනවා. ජවිපෙ සමෘද්ධි අරමුදලටත් අත තියනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරය දිනවීම හැර වෙනත් විකල්පයක් නැහැ.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද
අතීතයේ ගනු ලැබු වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා මේ රට බංකොළොත් වෙලා ඉන්ධන සහ ගෑස් නැති වෙද්දි, පැය ගණනක් විදුලිය කප්පාදු කරද්දි, රෝහල්වල ඖෂධ නැතිව ජනතාව මියයද්දි මේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙද්දි මුලින්ම එතුමාව හමුවු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගයාශාන් නවනන්ද ඉස්සරහින්ම ඉන්නවා.මම එතුමාව සොයාගෙන ගියේ එතුමාගේ දැනුමෙන් සහ පරිනත භාවයෙන් උදව්වක් ගැනීමටයි.
ලංකාවේ ජනතාවගේ, මේ වෙල්ලස්සේ ජනතාවේග පූරුවේ පිනට පහළ වූ රනිල් වික්‍රමසිංහ මහතා ලක්මාතාව වේදනාවෙන් දුක් විඳිද්දී, නායකයෝ රටේ ජනතාවට මැරෙන්න ඇරලා, ජනතාව අතහැරලා පැන යද්දී මේ රට භාරගත්තා. ඒ වෙනුවෙන් අප ඔබතුමාට සදාකල් ණයගැතියි. ආර්ථිකය යුද්ධය ගොඩගෙන ඔබතුමා සුවහසක් ශ්‍රී ලංකා වැසියන්ගේ ජීවිත බේරා ගත්තා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක :
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ ඉතාම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙමින් ප්‍රසන්න රණතුංග මහතා වැනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරු ඒකරාශී කරගෙන ඉතාම නිවැරදි කළමනාකාරීත්වකින් යුක්තව අද මේ රට නිවැරදි දිශාවකට, නිවැරදි තැනකට, ස්ථාවර තැනකට ගෙනවිත් තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ඔබතුමාට සහය දෙන්නේ ඒ නිසයි. පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු නියෝජිතන් වැඩි පිරිසක් ඔබතුමා සමඟ එක් ඒ නිසයි.
ඒ වගේම එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක හිටපු අපේ ආදරණීය ජනතාව මේ විදියට ඔබතුමා සමඟ එක්ව සිටිනවා. ඒ ඔබතුමා මේ රට වෙනුවෙන් කළ මෙහෙවරට කෘතගුණ දැක්වීමටයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
IMF එකඟතා කඩ කළ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මෙරටට අහිමි වෙනවා "
විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරයි.
ඒ සමඟ මෙරට විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාද අහිමිව රට බරපතල අර්බූදයකට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවේදීය.
උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරමින් ජනතාවට සහන සැලසීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඊට අදාළ අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කිරීම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා” අද එළි දක්වනු ලැබුවා. ආර්ථික අර්බුදය හමුවේ අගාධය වැටී තිබු රට ජීවත් වීමට හැකි රටක් බවට පරිවර්තනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. වෙන කිසිවෙකු එම අභියෝගය භාර ගන්න උනන්දුවක් දැක් වූයේ නැහැ. ඒ වගේම එම අභියෝගය භාර ගන්න ඔවුන්ට හැකියාවක් තිබුණේ ද නැහැ.
පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් වන්නේ අපි ගොඩ නගා ගත් ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාම සඳහායි. මෙම වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙන යමින් ලැබෙන ප්රතිලාභ තවදුරටත් වැඩි කර ගන්නවාද නැද්ද යන්න සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව තීන්දු කළ යුතුයි.
මේ අවස්ථාවේ දී මෙරට වැදගත්ම කාණය වන්නේ ආර්ථිකයයි. බොහෝ පාර්ශ්ව ආර්ථිකය සම්බන්ධව විවිධ යෝජනා ඉදිරිපත් කළත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනී යනවා. කඩා වැටුණු මෙරට ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අප බොහෝ දෙනෙක් කැපවීමෙන් කටයුතු කළා. ඒ අවස්ථාවේ අපගේ වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමට සහ අපි අසාර්ථක වනු ඇතැයි සිතා හිනා වූ අය අද ජනතාව ඉදිරියට පැමිණි පොරොන්දු දෙන ආකාරය සාදාචාරාත්මක ද කියා ඇසිය යුතුයි.
මේ වන විට අප ලබා ගත් ආර්ථික ස්ථාවරත්වයේ ප්රතිලාභ ජනතාවට ක්‍රමවත්ව ලබා දෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා නිරන්තරයෙන් පැවසු කරුණක් වූයේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වන විට ඉන් එක් කොටසක් රටේ ආර්ථිකය ශක්තිමත් කර වීමට යෙදවිය යුතු බවත්, අනෙක් කොටස ප්‍රතිසංස්කරණ වැඩසටහන හමුවේ ඇතිවූ බලපෑම අවම කිරීමට ජනතාව වෙත ලබා දිය යුතු බවයි.
ඒ අනුව ජනාධිපතිතුමා විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කර විෂමතා ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව මත රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 55000 ක් වන ආකාරයට වැටුප් ඉහළ දැමීම සිදුවෙනවා. එය ලබන වසරේ සිට ලබා දීමට හැකි වෙනවා.
ඒ වගේම අපට ප්‍රධාන ඉලක්ක කිහිපයක් තිබෙනවා. එහි දී අයවැය සකස් කිරීමේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක පවත්වා ගත යුතුව තිබෙනවා. නමුත් එක් එක් පක්ෂ දී තිබෙන යෝජනා දෙස බැලූ විට ඇතැමුන් IMF වැඩසටහන සංශෝධනය කරන බව පවසනවා.
නමුත් මා ඉතා වගකීමෙන් සඳහන් කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ හැර විපක්ෂය ලබා දෙන පොරොන්දු මත ක්‍රියාත්මක වුවහොත් එය ක්‍රියාත්මක කරන මොහොතේ දීම මේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අහිමි වන බවයි. ඊට හේතුව අප අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2% ක ප්‍රමාණයක පවත්වා ගත යුතුයි. විපක්ෂය සඳහන් කරන පොරොන්දු ඉටු කළ හොත් අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.9 % ක් දක්වා පුළුල් වෙනවා. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3% ක පවත්වා ගැනීම අපගේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වනවා. නමුත් විපක්ෂය කියන පොරොන්දු ඉටු කිරීමට ගිය හොත් ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3% සිට සෘණ 4.3% දක්වා පහත වැටෙනවා. එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ අනුව එම වැඩසටහන අප රටට අහිමි වෙනවා. අප මෙරට ණය හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා ද අහිමි වෙනවා. පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා ද අහිමි වෙනවා. ඒ නිසා මෙවැනි තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු නොකර පොරොන්දු ලබා දීම සාධාරණ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් සංවිධාන සමඟ සිදු කරන සාකච්ජාවල තීන්දු තීරණ පැය 24 න් ගත නොහැකි අතර, ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ බදු ගෙවන පාර්ශ්ව වෙත සහන ලබා දීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාළව අපි 2023 සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා ආරම්භ කළා. ඒ අනුව දැනට අදායම් බද්දට අදාළව බදු නිදහස් සීමාව වන වර්ෂයකට ලක්ෂ 12 ක ප්‍රමාණය ඒ අයුරින් රඳවා ගැනීමටත් ලක්ෂ 5 සීමාව හත්ලක්ෂ විසිදාහස දක්වා ගෙන යාමට මේ වන විටත් IMF සමඟ වන සාකච්ජාවලදී එකඟතා ඇති කර ගනිමින් සිටින අතර, 2025 අප්‍රේල් මාසයේ සිට අදාළ බදු අඩු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
එහි දී අපෙන් විමසන ප්‍රශ්නයක් වන්නේ බදු අඩු කළ විට අහිමි වන ආදායම නැවත අය කර ගන්නේ කෙසේ ද යන්නයි. එම අහිමිවන ආදායම ආවරණය කර ගැනීමට IMF සමඟ අප එකඟතාවයකට පැමිණ සිටිනවා. එහිදී දැනට පනවා තිබෙන බදු මත අමතර පීඩනයක් හෝ නව බදු අය කිරීමට සිදු වන්නේ නැහැ. අප මෙම බදු සංශෝධනය ඉදිරිපත් කරන්නේ ක්‍රමානුකූලව සහ නැවත කඩා වැටීමකට ලක් නොවන ආකාරයටයි.
ඒ වගේම ඇතැම් පාර්ශ්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු රුපියල් බිලියන 1000ක් පමණ තිබෙන බවත් ඒවා නිසි ලෙස අය කර නොගන්නා බවත් ප්‍රකාශ කරනවා. නමුත් එයින් රුපියල් බිලියන 868ක් වෙත බදු අභියාචනා ඉදිරිපත්ව තිබෙනවා. 2023 වන විට හිඟ බදු රුපියල් බිලියන 188ක් තිබූ අතර,2024 වසරේ පළමු මාස හය තුළ එම හිඟ බදු වලින් රුපියල් බිලියන 104 ක් අය කර ගෙන තිබෙනවා. ඒ අනුව අප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බදු ගෙවන අයට නිදහසක් ලබා දී තිබෙනවා වගේම බදු පරිපාලනය ද කාර්යක්ෂම කර තිබෙනවා.
තවද මෙරට දුප්පත් සහ අවධානමට ලක් වූ ජනතාවට සහන සැලසිම වෙනුවෙන් අස්වැසුම නමින් විධිමත් ක්‍රමවේදයක් අප විසින් හඳුන්වා දුන්නා. එමඟින් ඉතාම දුප්පත් පවුලක් සඳහා රුපියල් 15000ක මුදලක් ලබා දෙනවා. මේ ආකාරයට ඛාණ්ඩ තුනක් යටතේ පවුල් ලක්ෂ විසිහතරක් වෙනුවෙන් රුපියල් බිලියන 205 වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මේ වන විටත් කිසිම දේශපාලන මැදිහත් විමක් නොමැතිව පවුල් ලක්ෂ 18ක් අස්වැසුම ප්රතිලාභ ලබනවා.
ඒවගේම මේ වන විට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට කටයුතු කරනවා. එහි දී ආර්ථික ක්‍රියාකාරීත්වයට වැඩි දායකත්වයක් සපයන වාහන සහ මහජන අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කිරීම පළමුව සිදු කෙරෙනවා. පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධයෙන් වහ සිමා ලිහිල් වන්නේ ඉන් අනතුරුවයි. මෙය ඉතා ක්‍රමානුකූලව සිදු කළ යුතු කටයුත්තක් බව පැවසිය යුතුයි.
2022 වසරේ ඩොලර් මිලියන 20ක් වූ අප විදෙස් සංචිතය මේ වන විට ඩොලර් බිලියන 5.6 ක් දක්වා වැඩි කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ඒ අතරතුර අප ණය ගෙවීම ද සිදු කර තිබෙනවා. අප ද්වීපාර්ශ්වික වශයෙන් ගත් ණය ගෙවීම තාවකාලිකව නතර කළත් බහුපාර්ශ්වික වශයෙන් සහ තවත් තෝරා ගත් ඛාණ්ඩවලට අදාළ ණය ගෙවීම් සිදු කර තිබෙනවා. මෙම කටයුතු සිදු කළ යුත්තේ 2022 වසරේ මෙන් විදෙස් සංචිත වෙත බලපෑමක් සිදු නොවන ආකාරයට බව අවධාරණය කළ යුතුයි.
විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි :
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට “පුළුවන් ශ්‍රී ලංකා” යන නම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා.2022 වසරේදී බොහෝ දෙනා අපිට බැහැ කියලා මේ රට බාර ගන්නත් අකමැති වුණා. නමුත් කිසිවකුටත් කළ නොහැකියි පැවසූ සියලු දේ අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ කණ්ඩායමත් සමඟ කරලා පෙන්නලා තිබෙනවා. ඒ නිසයි අප කියන්නේ රට තවදුරටත් ඉදිරියට ගෙන යාම අපට කරන්න පුළුවන් කියලා. ඒ වගේම අභියෝගාත්මක අවස්ථාවන්හිදී බියේ දුවන එක නොවෙයි වැදගත් වන්නේ , ඊට මුහුණ දීමයි. අප මෙම පස් වසරක මෙහෙයුම “පුළුවන් ශ්‍රී ලංකා” ලෙස නම් කළේ මේ කාරණා නිසායි.
මෙම ප්‍රතිපත්ති ප්රකාශනය www.ranil24.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකියි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සුරංගනා කතාවක් නොවෙයි. මෙය ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන යන ප්‍රධාන අංග 5කින් සමන්විත වෙනවා.
මෙහි අන්තර්ගත සියළු දේ සිදු කරන ආකාරය පිළිබඳව මෙහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. කළ නොහැකි කිසිවක් මෙහි සඳහන් නොවන අතර මෙහිදී සිදු වන්නේ පසුගිය දෙවසර තුළ අප සිදු කළ දේ තව දුරටත් ඉදිරියට ගෙන යාම පමණයි. එනම් අප අත්පත් කර ගත් ස්ථාවරත්වය ඉදිරියට ගෙන යාමයි.
එහිදී ජනාධිපතිතුමාගේ ක්‍රියාවලිය ජීවන වියදම අඩු කීරීම, රැකියා නිර්මාණය කිරීම , බදු බර අඩු කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියටත් කර ගෙන යාම මෙන්ම මේ රටේ ඉන්න සියළුම පුරවැසියන්ට බිම්කොටසක සින්නක්කර අයිතිය ලබා දීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ජනතාවට දේපළ අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් හා කඩිනම් කිරීම සඳහා වෙනම අධිකාරියක් ස්ථාපත කර එමඟින් උරුමය වැඩසටහන ඔස්සේ මිලියන දෙකක ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම්ලාභී නිවාසවල අයිතිය එම නිවැසියන්ට පැවරීම වසර 4ක් තුළ අවසන් කිරීමට නියමිතයි.
එසේම අධ්‍යාපන ක්ෂේත්රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විශ්ව විද්‍යාල පුළුල් කිරීම , විශ්ව විද්‍යාල හා අනුඅබද්ධ විද්‍යාපිඨ ඇති කිරීමට බලාපොරොත්තු වෙනව. ඒ තුළින් විශ්ව විද්‍යාල වලට ඇතුල්වන සිසුන් ප්‍රමාණය වැඩි කිරීමටත් ඒ හා සමානව විශ්ව විද්‍යාල වරම් නොලබන පිරිසට තාක්ෂණික ඥානය ලබාදීම සඳහා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරනවා
ඒ වගේම රාජ්‍ය සේවකයා කෙරෙහිද මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. තවද කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කාන්තා මූලික පවුල්වලට මිලියන 3ක් දක්වා වු ණය මුදලක් ලබා දීමට කටයුතු කරනවා.
ත්‍රිරෝද රථ රැකියාවේ නිරත පිරිසට පැවති ආර්ථික පසුබිම හේතුවෙන් ඔවුන්ට විශේෂ ණය මුදලක් ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු හරහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනව. රාජ්‍ය බැංකුවකින් ගිනි පොලියට ණය ගෙන තිබෙනවා. නම් එයින් ඉවත් වී සාධාරණ පොලියකට තමන්ගෙ දේපළ ආරක්ෂා කර ගැනිමේ හැකියාව එමඟින් ඔවුන්ට හිමි වෙනවා. මේ අතර පෞද්ගලික බැංකු සමඟද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනව.
එසේම ඩිජිටල්කරණය සෑම ක්ෂේත්රයකටම හඳුන්වා දීමටත් තරුණ ප්‍රජාව ඩිජිටල් කරණයට නැඹුරු කිරිම තුලින් මෙරට ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට කටයුතු කරනවා. ඔවුන්ට අදාළ අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යත්වය ලබා දීමට ත්, අඩු පොලියට ණය මුදලක් ලබා දීමටත් කටයුතු කරනවා.
දූෂණය පිටු දැකීමට පනවා ඇති නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමටත් නීති ක්ෂේත්රය ඩිජිටල්කරණය කරමින් කාර්යක්ෂතාව ඉහළ නැංවීමටද බලාපොරොත්තු වෙනවා.
තවද පළාත්සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරමින් හැකි විගස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන අතර මෙරට සාමය සංහිඳියාව ගොඩ නැඟීමේදී කිසිදු විදේශීය බලපෑමකට යටත් නොවන බවද සඳහන් කළ යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙලට අනුව නැගෙනහිර නවෝදාය තුලින් බලශක්ති, ප්‍රවාහන, වරාය,නාවුක හා ගුවන් කර්මාන්ත යන අංශවලින් සමන්විත ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරන බව සඳහන් කළ යුතුයි. වෙරුගල් ආරු සිට පානම දක්වා කුමන වෙරළ තිරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිදි සංවර්ධනය කිරීමටත්, සැඩඔය ව්‍යාපෘතියට 2025 වසරේදි ආරම්භ කරන බවත් මම මෙහිදී ප්‍රකාශ කරනවා.
එසේම ‘වතුකරයට හිරු පායයි’ විශේෂ වැඩ සටහන ඔස්සේ රු 1700ක් දක්වා වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ඉඩම් හිමිකම ලබා දීමටද අප කටයුතු කරනවා.
තවද මේ වන විටත් ආරම්භ කර තිබෙන කෘෂී නවීකරණ වැඩසටහන යටතේ අපනයනය පාදක කර ගත් ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක බව කිව යුතුයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර :
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ වැඩපිළිවෙලේ දිගුවක් ලෙස අප දකිනවා. පැවති ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත ක්ෂේත්රය බිඳ වැටී තිබුණා. එම කර්මාන්ත ක්ෂේත්රය නගා සිටුවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමග පස් වසරක ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පාසල් හැරයන කරන දරුවන් සඳහා රාජ්‍ය අංශය සහ පෞද්ගලිකාංශය ඒකාබද්ධ කරගෙන රැකියා පුහුණු පාඨමාලාවක් ලබාදීමටද යෝජනා කර තිබෙනවා. ඒ සඳහා දරුවෙකුට රුපියල් තිස් පන්දාහක මාසෙකදීමනාවක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.
රැකියා විරහිත තරුණ තරුණයෙන් අවම කිරීම මෙමගින් අපේක්ෂා කරනවා. මේ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 50ක මුදලක් වෙන් කිරීමටද යෝජනා කර තිබෙනවා.
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ජනාධිපතිවරයා රුපියල් 15000ක ජීවන වියදම් දීමනාවක් පසුගිය වසර දෙක සඳහා ලබා දී තිබෙනවා. ඒ වගේම ලබන වසරේදී රුපියල් 25000ක වැටුප් වැඩි කිරීමක් යෝජනා කර තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමටද යෝජනා කර තිබෙනවා.
කුසලතාවය මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. නිවසේ සිට කළ හැකි ඩිජිටල් සේවාවන් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා. ආසියාවේ අඩුම විදුලි බිල තිබෙන රට ලංකාවයි.එය ඉදිරියටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර පහ තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව පවත්වාගෙන යාමට ද මෙමඟින් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමටද සැලසුම් කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ තුළ අපනයන ආදායම් වැඩි කිරීමටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. බිංගිරිය ආයෝජන කලාපය, කන්කසංතුරේ පරන්තන් ආයෝජන කලාපය ඇති කිරීම, සපුගස්කන්ද ආයෝජන කලාපය පුළුල් කිරීම සම්බන්ධවත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ ජීවත් වෙන්න බැහැ කියපු යුගයක රට බාරගෙන රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට ගෙන එමින් ජීවත්වීමට ‘පුළුවන්’ පරිසරයක් නිර්මාණය කළ එකම නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.
අනෙක් දේශපාලන පක්ෂ ලබාදී තිබෙන පොරොන්දු හුදෙක්ම සිහින පොරොන්දු බව කිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලූ විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක කාලය තුළ ලබා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ යෝජනාද එහි අඩංගු වී තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැම පනතක් වෙනුවෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්දය නම් ලබාදී නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය......
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 'පුළුවන් සම්මුතිය' අද (29) එළිදැක්වුණි.
'රනිල් සමග රට දිනවන වසර පහක්' යන්න එහි තේමාවයි.
ජීවන බර අඩුකිරීම, රැකියා ලබාදීම, බදු සහන, අපනයන ආර්ථිකයකට පරිවර්ථනය ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත් ඇතුළත් කර තිබේ.
'රනිල් සමඟ රට දිනවන වසර පහක්' ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික ඉලක්ක පහක් මත පදනම් වී තිබේ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.
පස් අවුරුදු සැලැස්මේ විශේෂයෙන් අවධානයට යොමුකර ඇති කරුණු කිහිපයකි.
බදු බරට සහනයක්
* බදු ක්‍රමවේදයට වෙනස්කම්.
* වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක්.
* අතුරු බදු අහෝසි කිරීමට පියවර.
මින් ඉදිරියට සිදුවන වෙනස්කම්
* රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නැත.
* අයවැය හිඟය පියවීම සදහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.
* විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.
* සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.
අගහිඟකම් නැති පරපුරක්
* උවදුරුවලින් පීඩා විඳින අගහිඟකම් ඇති ජනගහනය 10% දක්වා අඩුකර සමාජ ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
* ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්රතිලාභ.
* දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා ලබාදෙන අතර එම පවුල්වල වකුගඩු, ආබාධ සහිත අයට සහ වැඩිහිටියන්ට වෙනම දීමනාවක්
ලස්සන 2048 කට
* මහ බැංකු පනත, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්ථන පනත මඟින් නව රැකියා නිර්මාණය කිරීම.
* හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවසක අයිතිය.
* ජාතික ධනසම්පත අරමුදල ස්ථාපනය.
* සමූපකාර ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගතකරණය.
දේපොළ හිමිකම
* වසර 4ක් තුළ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාසවල අයිතිය නිවැසියන්ට.
* මධ්‍යම පාන්තිකයින්ට සහනදායි නිවාස ණය.
දේශගුණයේ ගුණ අගුණ
* දේශගුණික කාර්යයන් පිළිබඳ මහ ලේකම් කාර්යාලයක්.
* දේශගුණ විපර්යාස අරමුදලක්.
නවීන කෘෂි සංස්කෘතියක්
* වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සඳහා රුපියල් 25,000ක සහනාධාරයක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත.
* කන්නයෙන් කන්නයට වී වලට සහතික මිලක්.
මහ සයුරේ රළ පතරේ
* කුඩා ධීවර යාත්රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමයක්.
* ධීවර කර්මාන්තය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම.
කිරි නැති හින්දා රට කිරි දීලා
* පශු සම්පත් මණ්ඩලය සමග ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයින් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නංවීමට දැවැන්ත වැඩපිළිවෙලක්.
* පාසල් දරුවන්ට නොමිලේ නැවුම් කිරි වීදුරුවක් දිනපතා.
* උසස් ජානමය කිරි හරක් 20,000ක් දේශීය කිරි ගොවීන්ට.
* දේශීය කිරි ගොවීන් වෙනුවෙන් සහන ණය.
යන්න රට වටේ
* සංචාරක ව්‍යාපාරය කඳුකරයට ව්‍යාප්ත කිරීම.
* අනුරාධපුරය සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත්කිරීම.
* නව සංචාරක කලාප තුනක්.
අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට
* ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්.
* බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත්කිරීම.
* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක්.
* කාබන් බද්දක් හඳුන්වා දීම.
බලශක්තිය
* හරිත හයිඩ්රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ආයෝජන දිරිමත් කිරීම.
* ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට.
ඩිජිටල් මාවත
* ඩිජිටල් පරිවර්ථනයක් උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනතක්.
* ඩිජිටල් පරිවර්ථන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක්.
* පූර්ණ ඊ රාජ්‍ය සේවයක්.
දැනුමෙන් සන්නද්ධ සමාජයක්
* සියලු වෘත්තීය පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන සඳහා "වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා" නව ආයතනය පිහිටුවීම.
* පශ්චාත් පාසල් අධ්‍යාපන කොමිසම පිහිටුවීම.
* 2026 අවසානයට පෙර පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩල 9ක්.
* තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් සෑම පළාතකටම.
* 2029 වනවිට දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය හා කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටු වීම.
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
* සියලු ගුරුවරුන්ට අලුත් දැනුම.
* සියලු පාසල් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඉංග්‍රීසි ගුරුවරු 2500ක් අලුතින් බඳවා ගැනීම.
ආරෝග්‍ය පරමා ලාභා
* වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණුවීම්.
* වෛද්‍යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි ලබාගැනීමේ පහසුකම්.
* කොළඹ ජාතික රෝහල දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත්කිරීම.
* සුහුරු සෞඛ්‍ය සේවයක් බිහිකරනවා.
* පෞද්ගලික රෝහල් නියාමනයට නීති හා පළාත් 9ට පෞද්ගලික රෝහල් ඇති කිරීම.
නිම් වළල්ලෙන් එහා ලෝකයට
* 2026 වනවිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීම.
* හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැඩ ආරම්භ කිරීම.
* කොළඹ හා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය.
පුරවර අසිරිය
* කළුතර සිට මීගමුව දක්වා තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කිරීම.
ගමන බිමන
* ඩිජිටල් තාක්ෂණයෙන් වාහන හැසිරවීම සිට රියදුරු බලපත්‍ර ලබාදීම.
* මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ඉදිරියට.
උතුරට යතුරක්
*යාපනයට ගංගාවක් ව්‍යාපෘතිය හා පාලිආරු ගංගාව හරස් කොට නව ජලාශයක්.
*පූනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට.
* යාපනයේ සාහිත්‍ය උළෙලක් පැවැත්වීම.
නැගෙනහිර නවෝදාව
*ත්‍රිකුණාමලය සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට.
වතුකරයට හිරු පායයි
* වතු සේවක ජනතාවට නව ගම්මාන.
* ලයින් කාමරවල වෙසෙන අයට ඉඩමක්.
ගෞරවනීය කාන්තාව
* කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත කිරීම.
* කාන්තා මුලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලිය යටතේ සහන ණය.
දැයට පිපෙන මල්
* ළමා නිවාස, පෙර පාසල්, අතිරේක පන්ති, ක්‍රීඩා පුහුණු ආයතන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය.
යොවුන් වසන්තයේ
* ජාතික තරුණ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය.
* නව පරපුරේ කතිකාව ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට.
ක්‍රීඩාවට ජවයක්
* නව ක්‍රීඩා නීතියක්.
* ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීම.
* ක්‍රීඩා පුහුණු ආයතනයක්.
* දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් කිරීම.
රාජ්‍ය සේවය
2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.
* වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.
* රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.
* කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.
* රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.
* රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.
* ආපදා ණය මුදල ඉහළ නැංවීම, දේපළ හා නිවාස ණය යළි ලබාදීම.
* නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර.
* නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.
* විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
* නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.
* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.
* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව
* ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට.
* සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.
* ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.
* විශේෂ රැකියා කෝටාවක්.
අලුත් රස්සා ලක්ෂයක්
* 2025 වසර තුළ රැකියා 100,000ක් ලබාදීම.
* සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙලක් 2025 වසරේ ආරම්භ කිරීම.
* එම තරුණයින්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදෙන අතර පුරා වසරක් පුරා ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක්.
* පුද්ගලික අංශයේ කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් එක් කිරීම හෝ පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වල රැකියා අවස්ථා හිමිකර දීම.
රට රස්සා
* විදෙස් ශ්‍රමිකයින්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම්.
* විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්.
* විදේශයන්හි වැඩිහිටියන් රැකබලා ගැනීම, දාරක සුරැකුම් සේවාන්හි රැකියා අවස්ථා.
පොලිස් පුනරුදය
* පොලිස් නිලධාරීන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.
සිරකරුවෝද මනුෂ්‍යයෝය
* විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගු කාලීන බන්ධනාගාරගත කිරීම යළි විමසීමකට භාජනය කිරීම.
අනීතික මත්ද්‍රව්‍ය දරැලීම
* මත්ද්‍රව්‍ය මැඩලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මුලස්ථානයක් ස්ථාපිත කිරීමට නව පනතක් කෙටුම්පත් කිරීම.
සංස්කෘතික පුරවැසියෙක්
* මහනුවර ආශ්රිත බෞද්ධ ශිෂ්ටචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම.
* ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රීම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරින් පහසුකම් ඇති කිරීම හා මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම.
* දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දීම.
ලලිත කලා
* දේශීය කලාකරුවන්ගේ කුසලතා ඔපවත් කිරීමට, කලා හා සංස්කෘතික කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර ප්රවණතා උකහා ගැනීමටත් අවශ්‍ය පසුබිම සකසා දීමට ආනන්ද කුමාරස්වාමි ජාත්‍යන්තර කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය නම් කිරීම.
* දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්‍රයක් පිහිටුවීම.
* ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්රවණතාවයන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත්කර ෆිල්ම් ශ්‍රී ලංකා යනුවෙන් නම් කිරීම.
* වාරණ මණ්ඩලය අහෝසි කර ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට පනත සම්මත කිරීම.
යහපත් මාධ්‍ය පරිසරයක්
* ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම.
* විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීම.
අනිවාර්යයෙන් කළ යුතු සංශෝධන
* ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමෙන්තුවට ලබාදීම.
* විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ද ? නැද්ද ? යන තීරණය නව පාර්ලිමේන්තුවට පැවරීම.
* නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ කාර්යයද නව පාර්ලිමේන්තුවට ලබාදීම.
*පුරවැසි ඡන්දයෙන් තේරීපත්වන නියෝජිතයින්ට රජය සමග ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කිරීම.
* දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කිරීම.
පුරවැසියා බලගැන්වීම
* ඍජුවම ජනතා හඬට සවන්දීමේ අභිලාෂය ඇතිව සමාජ කොන් කිරීම් සහ බැහැරකිරීම් වැළැක්වීම උදෙසා ස්ථාපිත කෙරෙන සමාජ සාධාරණ කොමිසමස් ස්ථාපිත කිරීම.
*ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගැනීම ජන සභාවන්හි අරමුණයි. දැනට නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. ඒවායේ අත්දැකිම් පදනම් කරගනිමින් රට පුරා ග්‍රාමසේවා වසම් 14,002ක ඇති 50,000 ඉක්මවන ගම්මාන සියල්ල නියෝජනය වන පරිදි ජන සභා පිහිටුවීම.
ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් ජනපති හමු වෙයි
ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සනිටුහන් කර තිබේ.
එහිදී ඔහු විසින් බේරුවල, අම්බලන්ගොඩ්, මිරිස්ස, හිරිකැටිය, රන්න, හම්බන්තොට, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, නින්දවූර්, චෙන්කලඩි, නිලාවේලි, මුලතිව්, පරන්තන්, පේදුරුතුඩුව, චුන්නාක්කම්, මන්නාරම, මැදවච්චිය, අනුරාධපුර, පුත්තලම, මාරවිල, මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබේ.
එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීමයි.
ඔහු මෙම චාරිකාව තුළදී තමා ගමන් කරන ස්ථාන පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි. ඒ හේතුවෙන් ඔහුට දෙස් විදෙස් විශාල පිරිසකට මෙරට සංචාරක අකාර්ෂණීය ස්ථාන පිළිබඳ දැනගැනීමටත් එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ප්‍රචාරණයක් ලබාදීමටත් කටයුතු කර තිබේ.
මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කළ අතර ඔහුට විශේෂ සමරු තිළිණයක් ද ප්රදානය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ වැඩ අරඹති
ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද ඔවුන්ට නියමිත රාජකාරි ආරම්භ කළහ.
යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 ක් වන අතර, ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනබව පැවසේ. එම කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ නාවෝ සැන්චේස් අමෝර්ය. ඔහු ස්පාඤ්ඤය නියෝජනය කරයි.
මෙම කණ්ඩායම අද (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී නිල වශයෙන් රාජකාරී අරම්භ කළ අතර, කණ්ඩායම් නායක නාවෝ සැන්වේස් අමෝර් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණය සදහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුමකට අනුව තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් අමෝර් මහතා එහිදී පැවසීය.
පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජබට
පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි ද පැවසේ.
ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වේ.
“සොබාදනවි” ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය ජනපති අතින් විවෘත කෙරේ
1977 ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත් කරගත් අයුරින් ඉදිරි දශකය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතින බවත්, යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද එක්වීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකවීම සඳහා අත්‍යාවශ්‍ය මෙරට විදුලිබල සැපයුම් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වන ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාධනවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
අද ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම අදියර විශ්වාසනීය විදුලි ප්‍රභවයක් සපයමින් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත. මෙම අදියර ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.
සෝබාධනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානමින් සිටියි. ඒ අනුව මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ. සංයුක්ත චක්‍ර ක්‍රියාවලිය මගින් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවට සහ වක්‍රව මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට සෘජුවම ප්රතිලාභ ලැබේ.
සමරු ඵලකය නිරාවරණය කර “සොබාදනවි” බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරීමට ද එක වූ අතර අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියේය.
විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බවත්, ඒ තුළ ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මෙම බලාගාරය ඉදිකිරීම පිළිබඳව මම එල්ටීඑල් (LTL) සමාගමට ප්‍රශංසා කරනවා. එල්ටීඑල් (LTL) සමාගම විසින් මේ වන විට අප රට තුළ බලාගාර රාශියක් ස්ථාපිත කර තිබෙනවා. එහිදි එල්ටීඑල් (LTL) සමාගම ලබාගෙන තිබෙන සාර්ථකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. මෙම ව්‍යාපෘතිය ඔබ අත්කර ගෙන ඇති ජයග්‍රහණවල අලුත්ම ජයග්‍රහණය බව කිවයුතුයි.
2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අපගේ විශේෂඥතාව වැඩි වන තරමට, ආසියානු කලාපය තුළ මෙන්ම අප්‍රිකාව තුළ අපගේ සාර්ථකත්වය පිළිබඳ පවතින අවස්ථා වැඩි වෙනවා.
සෝබාධනවි බලාගාරය මෙගාවොට් 350ක් උත්පාදනය කරන ශ්‍රී ලංකාව සතුව පවතින වැදගත් බලාගාරයක් බවට පත් වෙනවා. අප දැන් ආර්ථික සංවර්ධනයේ නව අදියරක් ආරම්භ කර තිබෙනවා. විදුලිබලය සහ බලශක්තිය නොමැතිව මෙම සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි. එනිසා අප ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
දිවංගත ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දීමත්, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඒ අනුව ඉදිරියට ගොස් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය ඉදිකිරීමත් අප ලද භාග්‍යයක් වුණා. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ නිදහස් වෙළඳ කලාප සඳහා අතිරික්ත විදුලිය ලබාදුන් මහවැලි සහ
සමනලවැව ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම විදුලිබලය නොමැතිව ඇඟලුම් කර්මාන්තය දියුණු කළ නොහැකියි.
අප ජල විදුලිය මත යැපීමේ අවසානය කරා ළඟා වන විට, ගෝලීය දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සමඟ සමපාත වන නව බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය මීළඟට ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්රය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතිනවා. යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද අප එක්විය යුතුයි. අනාගතය මෙයයි. ඒ අනුව 1977 ආණ්ඩුවේ පාලනය යටතේ ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්තික වර්ධකය බවට පත් කරගත් ආකාරයට, ඉදිරි දශකය සඳහා අපගේ වර්ධක අංශය බවට පුනර්ජනනීය බලශක්තිය පත්විය යුතුයි.
බලශක්ති ක්ෂේත්රය මෙම වර්ධනය තුළ සැලකිය යුතු අංශයක් බවට පත්වෙනවා. අප සතුව ඇති දේ උපරිමයෙන් යොදා ගත යුතු අතර හරිත හයිඩ්රජන් පිළිබඳ අප මීළඟට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි.
ඔස්ට්‍රේලියාව හරිත බලශක්තිය පිළිබඳ ලොව සුපිරි බලවතෙකු වීමට කටයුතු කරමින් සිටිවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා අපේ රටට ගිගාවොට් 50ක පමණ ශක්තියක් පවතිනවා. මෙම ශක්තිය භාවිතා කිරීම වැළැක්වීම සඳහා එල්ලවන බාධකවලට අප ඉඩ නොතැබිය යුතුයි.
බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ඒවා කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමත් කළ යුතුයි. මෙම ප්‍රවේශය පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව හරිත හයිඩ්රජන් වලින්ද අපගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කිරීමට හේතුවෙනවා.
අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂයෙන්ම නාවික හමුදාවට හරිත හයිඩ්රජන් භාවිත කිරීමට හැකි නම් ඒ තුළ ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව හරිත හයිඩ්රජන් මගින් බල ගැන්වෙන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වන ආකාරය පිළිබඳ සිතා බලන්න. බලශක්තිය සඳහා පමණක් නොව තාක්ෂණික දියුණුව සඳහා ද බලශක්ති අංශය සතුව විශාල හැකියාවක් තිබෙනවා.
අප සියලු ක්ෂේත්‍ර සමඟ තාක්ෂණය ඒකාබද්ධ කළ යුතුයි. එහිදී අපට දක්ෂ ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් ද අවශ්‍ය වෙනවා. අප සතුව සිටින හොඳම අයගෙන් බොහෝ දෙනෙක් රට හැර යමින් සිටින නිසා රජය නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අපට චෙන්නායි IIT හි මණ්ඩපයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ගලහ ප්‍රදේශයේ ආරම්භ කිරිමට නියමිත මෙම මණ්ඩපය අවසානයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු තාක්ෂණ විශ්වවිද්‍යාලය කුරුණෑගලින් ද, දෙවැන්න සීතාවක හෝ කිතුල්ගල ප්‍රදේශයේත්, තුන්වැනි විශ්වවිද්‍යාලය සියනෑ කෝරළයේ ද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අපට යොදාගත හැකි ස්ථාන පිළිබඳ සොයාබලමින් සිටිනවා.
මෙම උසස් අධ්‍යාපන ආයතන හතර ඇතුළුව, පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ද පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන අතර මේ සියල්ල අනෙකුත් ආයතන සමඟ ද එක්ව අපව අනාගතය සඳහා සූදානම් කරනවා. තාක්ෂණයෙන් ඔබ්බට යමින් අප කෘතිම බුද්ධිය සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. තාක්ෂණ සංවර්ධන පනත් කෙටුම්පත ද ඉක්මනින් සම්මත වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
අප තාක්ෂණය, හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව නව වර්ධන යුගයකට සූදානම් වන්නේ එවිටයි. මම තවත් ඔබේ කාලය වැය කරන්නේ නැහැ. ඔබගේ සියලු උත්සාහයන්ට මා සුබ පතනවා.
ගෙඹි දේශපාලනයට තිත තබනවා - සජිත්
සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අම්පාර පොතුවිල්හි දී පැවති ජන රැලියක් අමතමිනි.
වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත
‘‘සමහර අයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වෙනවා. ඒ නිසා සමහරු ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේ දී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සුවා. ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළේ මම ඇතුළු සමගි ජන බලවේගය යි.
බියර් පර්මිට්, වයින් ස්ටෝර්ස්වලට, පගාවට, සල්ලිවලට, මොවුන් ජනතා වරම විකුණා දැමුවා. සමගි ජන බලවේග රජයක් තුළ මේ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබනවා. දැනට ඇති නීති පවා තවදුරටත් ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබනවා.
අප රට නිදහස් රටක් වුණත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වෙලා. අප රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී තිබෙන මොහොතක සියලු ම ජනතාව: ජාතිය, ආගම, පන්තිය, තරාතිරම් කුමක් හෝ වේවා මුළු රට ම එකට එකතු අවස්ථාව සැප්තැම්බර් විසි එක නිර්මාණය වෙනවා. සමගි ජන බලවේගයේ අපි: එකමුතුභාවයෙන්, ජාතික සමගියෙන්, සංහිඳියාවෙන්, මිත්‍රශීලීත්වයෙන්, එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගනවා.
ජනාධිපති ඉඩම් කාරක සභාවක්
රට ආර්ථික මර උගුලක පැටලිලා, ජනතාව ආර්ථික විනාශයකට ලක්ව තිබෙන මොහොතක මේ තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනයඅපිම සතුව තිබෙනවා. දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සමග නිසා අපිට විශාල වැඩකොටසක් සිදු කරන්න පුළුවන්.
අපි පැහැදිලිව ම ජනතාවගෙ ඉඩම් ගැටලුවට විසදුම් ලබා දෙනවා. කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ආදිය ද සිදු කරනවා. මේ සඳහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කරලා ඒ හරහා ලංකාවෙ ම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දී හැඩ ඔය ව්‍යාපාරය ද ක්‍රියාත්මක කරනවා. ඒ, අනික් දිස්ත්‍රික්කවල ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට.
සැප්තැම්බර් විසි එක්වැනිදා ජයග්රහණයෙන් පස්සෙ නැවත වරක් ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දීලා, නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දීලා නැවත වරක් ගම් උදා යුගය බිහි කරනවා. දුගී දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න නව වැඩසටහනක් දියත් කරනවා. සමෘද්ධිය, ජනසවිය, අස්වැසුම, ආදී වැඩසටහන්වල හොද ගුණාංග එක් කර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. ඒ සමග ම මාස විසි හතරක් ඇතුළත මාස්පතා රු. විසි දහස බැගින් ලබා දෙනවා.
අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය - අලි සබ්රි
අතුරුදහන්වුවන්ගේ පවුල්වල හා ඔවුන්ගේ ආදරණීයන්ට ගෞරවණිය අවසානයක් මෙන්ම යුක්තිය සහතික කිරීමට අප කැපවීමෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි පැවසීය.
අගෝස්තු මස 30 වැනිදාට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදහන් වු තැනැත්තන්ගේ දිනය සැමරීම සදහා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අතුරුදහන් වු තැනැත්තන් සදහා වන කාර්යාලය විසින් උත්සවය සංවිධානය කර තිබු අතර, සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
මෙරට පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම මුලික කර ගනිමින් ආරම්භ කරන ලද අතුරුදහන් වුවන්ගේ කාර්යාලය මේ වන විට අතුරුදහන් වුවන්ගේ තත්වය තීරණය කිරීම හා ඒ සදහා විසදුම් ලබාදීම වෙනුවෙන් සිදු කරන ලද කාර්ය භාරය හරහා ජනතාව අතර, විශ්වාසය තහවුරු කර ගෙන සිටිති.
එක් දහස් නවසිය අසුවේ සිට මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින් බව වටහා ගත යුතුයි. ඔවුන්ට පවතින ගැටළු විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. යුද්ධයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දොලොස් දහස් නවසීයක් ක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළා. ඒ අය නැවතත් ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ වුණේ නැහැ.
තම ඥාතීන් අතුරුදහන් වීම හේතුවෙන් අසහනකාරී තත්වයට පත්ව සිටින අයගේ හඩට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහා ගත යුතුයි. මේ සදහා අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.
සත්‍ය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලය පිහිටුවීම මගින් අතුරුදහන් ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සදහා තවදුරටත් අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කටයුතු සදහා අන්තර්ජාතික ප්‍රජාව ලබා දෙන තාක්ෂණික සහයෝගය අගය කරනවා. ඒ වෙනුවෙන් ගෞරවය පුද කරනවා. නමුත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තරව කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. මිලියන 22 ක් වු ශ්‍රි ලාංකීය ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණ බවද අමාත්‍යතුමා සදහන් කළේය.
මෙම අවස්ථාවට අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, නීතිපති, ජනාධිපති නිතීඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය, Siri Walt, අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ විධායක අධ්යක්ෂ, ජේ.තත්පරන් මහත්මා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් හා අතුරුදහන් වු තැනැත්න්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.
වැල් පාලම කපලා යන්න හැදුවොත් අපි ඔක්කොම ගඟේ - ජනපති
වැල් පාලමෙන් ගොඩ යනවාද ? නැත්නම් ගඟට පනිනවාද ? යන තීරණාත්මක තීන්දුව ජනතාව සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (27) මාවනැල්ලේ පැවති ජන රැලියේදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් මෙලෙස මාවනැල්ල බස් නැවතුම්පොළ අසලදී අද පස්වරුවේ පැවැත්වුණි.
"එදා ඔය හැම කෙනාම දුක් වින්දා. පැය කීයක් පෝලිම්වල හිටිය ද? ගෑස් නැතුව කොච්චර කල් හිටිය ද? ත්‍රීවිල් එකට ඉන්ධන සොයාගන්න හිටිය ද? එහෙම අවස්ථාවක මම රට භාර ගත්තේ... ඒක නැති කරන්න."
"මට මේ සියලුදෙනා දුන්න සහයෝගය නිසා රට ගොඩගන්න පුළුවන් වුණා. අද අපි ආර්ථික ස්ථාවරභාවයට ගමන් කරනවා. සම්පූර්ණයෙන්ම එතනට ඇවිල්ලා නෑ. තව ඉදිරියට යන්න ඕනේ. අපි අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕනේ."
"ඉතින් මේ දුර යනවා නම් අපි මේ ගිය මාර්ගයේ යන්න ඕනේ. අපි වැල් පාලම සම්බන්ධ වුණ මාර්ගයේ යන්න ඕනේ. එතනින් දැන් අයින් වෙන්න බෑ. ඒ අය කියන්නේ දැන් ඒ වැල් පාලම කපලා යන්න කියලා. වැල් පාලම කපලා ගියොත් අපි යන්නේ ගඟට... එච්චරයි."
"මම බැලුවා ජනතා විමුක්ති පෙරමුණේ (NPP) ප්‍රකාශය.. අඩුම බිලියන 200ක් වත් අඩු වෙනවා.ආදායම අඩු කරලා කොහොමද වියදම වැඩි කරන්නේ. ඒ ගණිතය දන්නේ නැතිනම්, ඒ ආර්ථිකය දන්නේ නැතිනම් මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් කපන්න නෙමෙයි දෙපැත්තෙන්ම කපන්න. අපි මේ වැල් පාලම අතහරින්නේ නැතුවයි මේක කරන්නේ."
adaderana.lk
ෆවුසිට අත්හිට වූ සිර දඩුවම්
වාහනයක් අවභාවිත කිරීමේ වරද පිළිගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය අද (27) වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.
සිර දඩුවම වසර 10කට අත්හිටුවීමට විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.
එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 4ක දඩ ගෙවීමට ද අධිකරණය නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබූ අතර, නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමත්‍යාංශයේ මුදල් වලින් වැය කිරීම ඇතුළු අධි චෝදනා 04ක් යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ දඩුවම් නියම කෙරිණි.
ආදි වාසී අයිතිවාසිකම් රකින්න නව නීතියක්
ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.
එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කර ඇත.
ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාල ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ මූලික කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කර තිබේ.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ජනපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් බැහැ දකියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැදුටු අතර එහි අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් අකරැල්ලේ ඥානවංස ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන් වහන්සේ, කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍ය සූරියවැව හේමාන්නද ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.
මෙහිදී උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළහ.
අනතුරුව මහානායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නිකායික මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කළේය.
එසේම පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාළ ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාළව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳවද ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළේය.
අම්පාර හෝදාගෙන විමලවීරත් රනිල්ට !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගතහොත් පාරේ මිනිසුන් මරා දමන, ආගමික ස්ථානවලට පහර දෙන සහ අධිකරණය වසා දැමු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබූ, ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත්ව ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පැවසීය.
එබැවින් තම පෞද්ගලික මති මතාන්තර පසෙකලා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජා තුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් ඇතුළු පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් රැසක් සමඟ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පස්වරුවේ පැමිණි විමලවීර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට සහතික විය.
අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡවට එක් වෙමින් විමලවීර දිසානායක සඳහන් කළේ මෙය පක්ෂය අතහැර යාමක් නොවන අතර මෙම අවස්ථාවේ සියලුදෙනා රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණයක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ විමලවීර දිසානායක මෙසේද පැවසීය.
මෙරට ප්රජාතන්ත්රවාදය, මනුෂ්‍යත්වය, යුක්තිය නීතිය හා සාධාරණත්වය වැළලි යන අවසාන මොහොතේ ප්රජාතන්ත්රවාදය නම් පහනේ අවසන් දැල්ල නිවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී එම ප්රජාතන්ත්රවාදයත්, රටත්, රටේ ආර්ථිකයත්, නීතියත් ආරක්ෂා කරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ජීවිත කාලයම එතුමා සමඟ දේශපාලන සටනක සිටියත් 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම දායක වුණා. අද පොහොට්ටුවේ සිටින සියළු මන්ත්‍රීවරුන් එදා එතුමා ජයග්‍රහණය කරවීමට ඡන්දය භාවිතා කළා. ඒ තීරණාත්මක අවස්ථාවේ ප්රජාතන්ත්රවාදයේ අවසන් පහන් දැල්ල නිවීමට යන මොහොතේ එම වගකීම ගතහැකිව තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණක් බව අප දැන සිටියා.
එතුමා එදා ජනාධිපති නොවන්නට ඊළග පැය 24 තුළ ශ්‍රී ලංකාවේ උත්තරීතර සභාව ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල් කඩ වන පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කොට අද බංග්ලාදේශය මුහුණදී සිටින තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වීමට නියමිතව තිබුණා. නමුත් එතුමා පැය 24ක් තුළ මේ සියල්ල පාලනය කර ප්රජාතන්ත්රවාදයත්, නීතියත් ආරක්ෂා කළා.
දෙවැනි යුද්ධය ඇති වූ අවස්ථාවේ මේ රට ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ වගේම තෙල් පෝලිම්, ගෑස් පෝලීම්, ඖෂධ පෝලිම් මේ සියල්ල නැති කර එම ආර්ථික නරාවලින් අපව ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
අප සියල්ලට පෙර රට සහ ජනතාව ගැන සිතිය යුතුයි. රට ගලවා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට නම් අප දේශපාලන මතිමතාන්තර පසෙකලා එතුමාට සහාය ලබා දිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව නොසිටියහොත් බංගල්දේශය වගේ ලේ වැගිරෙන, පාරේ මිනිසුන් මරා දමන, හින්දු කෝවිල්, බෞද්ධ විහාරස්ථානවලට පහර දෙන, අධිකරණය වසා දැමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබු ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට පත්ව, ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වනවා.
Page 17 of 440