පුවත්
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි
70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට වයස, අවුරුදු 89 කි.
1935 වසරේ නොවැම්බර් 10 වැනිදාවක සුගතපාල සෙනරත් යාපා මහතාගේ උපත සිදුවෙන්නේ, අකුරැස්ස මලුදූව එරළුව ගම්මානයේදී ය.
ඔහු සිය සිනමා චාරිකාව ආරම්භ කරන්නේ හන්තානේ කතාව සිනමා පටයෙනි.
මෙරට බිහිවූ කඩවසම්ම රංග පෞරුෂය වූ විජය කුමාරතුංගයන්, හන්තානේ කතාව සිනමා පටය හරහා රිදී තිරයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ද ඔහුට ය.
ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත, හන්තානේ කතාව හරහා ඔහු ජනගත කළ දැවැන්තයින් වේ.
ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ පෙම්බර මධූ සහ ඉන්දුට මල් මිටක්, සුගතපාල සෙනරත් යාපා මහතා හෙළ සිනමාවට දායාද කළ සෙසු සිනමා වත්කම් ය.
ඉතින්, සුගතපාල සෙනරත් යාපා මහතාණෙනි, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනීමට දැක්වූ දායකත්වයට, ඔබට මල් මිටක්.
කොරියාවේ ධීවර රැකියා සඳහා ලංකික කාන්තාවන්ටත් අවස්ථාව
දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ඇතුලත්වේ. ඔවුන් කොරියාව බලා පිටත්වීමට පෙර, දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි.
දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රි ලංකාවට ලැබී ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' - අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි
ජාතික ජන බලවේගය විසින් තම ඉදිරි පාලනය කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල ඇතුළත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ එළිදක්වන ලදී.
ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී අද (26) පැවති උත්සවයකදීය.
ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි.
අනතුරුව උත්සව සභාවට පැමිණි පිරිස පිළිගැනීමට සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සභාව දැනුවත් කළාය.
ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන් මහා සංඝරත්නයට සහ පූජක පක්ෂයට පිළිගන්වනු ලැබීය.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විත වේ.
එහි පළමු පිටු 50 තුළ පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට අන්තර්ගත කර තිබෙන්නේ ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණුය.
ලාංකිකයින්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙන එමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් මෙහි තෙවන කොටසින් අවධාරණය කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් පිළිබඳවය.
ඒ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මිත්‍රශීලි පොලිස් සේවාවක් සහ මතින් තොර රටක් ඇතුළු සැලසුම් සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසන් පිටුවේ දක්නට ලැබනේනේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පණිවුඩයයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජෙනරාල් අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපති, රියෙන්සි අර්සකුලරත්න, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කලාකීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය උපාලි පන්නිලගේ, ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය, විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම් ජී කුලරත්න, DSI සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති නන්දදාස රාජපක්ෂ, සමාගම් අධ්යක්ෂ අශ්වින් නානායක්කාර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපකුලපති මහාචාර්ය රාහුල අතලගේ, ජපාන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බදතා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය එන්. එස්. කුරේ, එමරල්ඩ් ජාත්‍යන්තර ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඒ. එෆ්.එම් ඉක්රම්, පොලිස් කොමිසමේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ, ශ්‍රී ලංකා විවෘත්ත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාසා, ප්‍රවීන සාහිත්‍යවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්ය අනුර කරුණාතිලක, හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නිර්ණය අභියාචනා කමිටු සභාපති අශෝක පීරිස්, ජාතික අපනයන මණ්ඩලයේ සභාපති ජයන්ත කරුණාතිලක, ජාතික අධ්‍යයන ආයතන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රමිලා ඉලේපෙරුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ජී දයාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක ජයසිංහ, මහාචාර්ය සෝමරත්න බාලසුරිය, අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජ්‍ය ව්‍යාපාර පරිපාලනවේදී කනිෂ්ක නිරෝෂන්, පුරාවිද්‍යා විද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්රාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, ජාතික ජන බලවේගයේ ව්‍යාපාර සංසදයේ සාමාජික චන්න ගුණවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානආරච්චි, දේශීය ආදායම් පොදු සේවක ප්‍රධාන ලේකම් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අජිත් පුෂ්පකුමාර, නීතිඥ සුපුන් විජේරත්න, ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, මනෝචිකිත්සක, කථිකාචාර්ය තීක්ෂනා දේවින්දි, ප්‍රවීණ රංගන ශිල්පිණී චාන්දනී සෙනවිරත්න, මහාචාර්ය ගාමිණී පියදාස, ලංකා බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී පී.ඒ ජයසිංහ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී එච්. එම් හෙන්නායක බණ්ඩාර, PickMe , Digital Mobility Solutions Lanka Pvt Ltd ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ මහාචාර්ය ගීතා තරංගනී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඊට එක් වී සිටියහ.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්
ජනපතිගේ සහායට ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් රැසක්
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රබල ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙති.
කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය ඇමතිනි, කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ප්‍රියංගනී අබේවීර, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, එස්.ඩී. බන්ඩාරනායක මැතිතුමාගේ මුණුපුරු, පණ්ඩු බන්ඩාරනායක මහතාගේ පුත් ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක, කොලොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත රත්නායක, රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උපාලි චන්ද්‍රසේන, අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක අනුර මුණසිංහ, දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර, පොතුවිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විජයමුනි නිපුන සොයිසා, කැළනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තිලක් වරාගොඩ, ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අසිත වෑගොඩපොල, ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක චමිල ද සිල්වා යන මහත්ම මහත්මීන් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පෙරවරුවේ පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළහ.
පසුගිය කාලය තුළ රටේ සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා එක් කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය බේරාගත් බව පෙන්වා දුන් මෙම නියෝජිතයින් ඉන්ධන සහ ගෑස් පෝළිම්වල ජාති ආගම්, පක්ෂ, පාට බේදයෙන් තොරව රටේ සියලු ජනතාව දුක් විඳි බවත්, නැවත රට එවන් තත්ත්වයකට පත්විමට ඉඩ දිය නොහැකි බවත් ප්‍රකාශ කළහ.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සත්‍ය නිදි කරමින්, බොරුව වපුරමින් සිටියද, රටේ ජනතාව මේ වන විට සත්‍ය අවබෝධ කර ගනිමින් සිටින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
දැක්මක් නැති පිරිසට බලය පැවරීමෙන් රටේ ආර්ථික යළි කඩාවැටීමේ අවදානමක්
කිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළානම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදිමට සුදානම් බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ(24) පස්වරුවේ දඹුල්ල බස්නැවතුම්පොළ භූමියේදි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” දඹුල්ල විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
දඹුල්ල ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් මෙම ජන රැලියට එක්ව සිටි අතර එහිදි ඔවුහු ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත්හ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ 2022 ජුලි මාසයේ දී තමා මේ රටේ වගකීම භාරගත්තේ ජනතාව වෙනුවෙන් බවත්, රටේ එදා පැවති ගැටළුකාරී තත්ත්වය අවසන් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ තමා අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ ද ජනතාව වෙනුවෙන් බවත්ය.
දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වා ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දෙවසර තුළ අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළයුතු බව ද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මම අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. එක් පක්ෂයකටවත් අයත් නැතිව රට වෙනුවෙන් මම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මම මේ තනතුර භාරගත්තේ ජනතාව වෙනුවෙන්. එදා තිබුණ අර්බුද අවසන් කර රටේ ස්ථාවරත්වය ඇති කිරීමට මම කටයුතු කළා. මට අවශ්‍ය වුණේ එදා තිබු ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීමටයි.
එදා එම ප්‍රචණ්ඩක්‍රියා නැවැත්වුවේ නැත්නම් පාර්ලිමේන්තුවත් අහිමිව අපටද අද බංග්ලාදේශයට මුහුණදීමට සිදුවු තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. එදා අවනීතිය රජ කළා. එක් කණ්ඩායමක් තමන්ගේ සතුරන්ට පහරදීමට පටන් ගත් අතර තවත් පාර්ශ්වයක් රට පාලනය කිරීමට උත්සාහ කළා.
නමුත් මම එක් කණ්ඩායමක ජනාධිපතිවරයා නොවී රට වෙනුවෙන් ඉදිරියට පැමිණියා. එදා අරගලයට සහාය ලබාදුන් තරුණ තරුණියන් රටේ වෙනසක් ඉල්ලා සිටියා. මම ඔවුන්ට ඇහුම්කම් දුන්නා. අද මම රට තුළ එම වෙනස ආරම්භ කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට මට සහාය ලබාදෙන ලෙස මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායකයා කියන්නේ රටේ විකල්ප අගමැතිවරයායි. ජනතාව ආරක්ෂා කිරීමට විපක්ෂනායකයාටත් යුතුකමක් තිබුණා. නමුත් ඔහු එය ඉටු කළේ නැහැ. ඔහු පැනලා ගියා.අපි අසීරු කාලයකට මුහුණ දුන්නා. එහිදී අපට දුෂ්කර තිරණ ගැනීමට සිදුවණා. මුදල් මුද්‍රණය කිරීමට නතර කිරීමට සිදු වුණා. රජයේ වියදම් අඩු කිරීමට සිදු වුණා. ආදායම් උපයා ගැනීම වෙනුවෙන් අකමැත්තෙන් වුවද වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. මෙම ඇතැම් තිරණ ඔබටත් බරක් වුණා. අප සමහර තීන්දු ගත්තේ කැමැත්තෙන් නොවේ. එහිදී මෙම බර දරාගත් සියලු ජනතාවට මම ස්තුතිවන්ත විය යුතුයි. කෙසේ වුවත් අප එම පියවර නොගත්තානම් අද අපට රටක් නැහැ.
අද අපේ රටේ ආර්ථිකය දියුණු වී තිබෙනවා. ඒ සමඟම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. එදා සමෘද්ධිය වෙනුවෙන් වැය කළේ රුපියල් බිලියන 60යි. අද අප අස්වැසුම වැඩසටහන වෙනුවනේ රුපියල් බිලියන 183ක් වැය කරනවා. එදා ලක්ෂ 16කට ලැබුණු එම ප්‍රතිලාභය අපි ලක්ෂ 24ක් වෙනුවෙන් ලබාදී තිබෙනවා.
එසේම වකුගඩු රෝගින්ට, වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයන්ට ලබාදෙන දීමනා ඉහළ දමා තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදුන් අතර 2025 පාදක වසර කර ගනිමින් ජීවන වියදම ලෙස රුපියල් 25,000ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එසේම ආරම්භක වැටුප ජීවන වියදම සමඟ රුපියල් 55,000ක් බව අප නියම කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක් ලබාදුන්නා. මේ අප සිදුකළ ප්‍රධාන වැඩකටයුතු කිහිපයක් පමණයි. බංකොළොත් නොවු ආණ්ඩුවකට කිරීමට නොහැකි වු වැඩකොටසක් බංකොලොත් බව ප්‍රකාශ කරතිබු රටක්ව තිබියදී අප විසින් සිදු කළා.
අද වන විට අපේ රටට සංචාරකයන් පැමිණෙනවා. රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රදේශවල හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 08ක් ලබාගත හැකි පරිදි දියුණු කිරීමට අප සහාය ලබා දෙනවා.මේ අතර ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ද අප පසුගි දෙවසර තුළ කටයුතු කළා.
දැක්මක් නැති අයට අපි රට භාරදෙන්න හොඳ නැහැ. දුන්නොත් මේ රට විනාශ වෙනවා. ඒ නිසා අප ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. තවත් වසර කිහිපයක් යන විට මේ ප්‍රශ්න සම්පුර්ණයෙන් විසඳා ගනිමින් අපට ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.
ජනතාව වෙනුවෙන් අප ගෙන ගිය වැඩපිළිවෙළේදී විපක්ෂයේ කිසිවෙක් අපට සහාය ලබා දුන්නේ නැහැ. 2023 ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස රංජිත් මද්දුමබණ්ඩාරයි, හරිනි අමරසුරියයි අධිකරණයට ගොස් නඩු දැම්මා. නමුත් මේ රටේ ජනතාවට අවශ්‍ය වුයේ ජිවත්වීමට නිසා ජනතාවගේ ජිවන අයිතිය වෙනුවෙන් මට එම මුදල් වැය කිරීමට සිදු වුණා. නමුත් ඔවුන්ට අවශ්‍ය වුණේ රට අවුල් කිරීමටයි. මාස තුන හතරක් මැතිවරණ කරන විට ජනතාවට මෙම සහන ලබාදීමට නොහැකි වෙනවා.
මම මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කළා කියලා ඔවුන් අධිකරණ තීන්දුවක් ගත්තලු. නමුත් ජනතාවගේ මුලික අයිතිවාසික්ම සුරැකීම නිසා මා වෙනුවෙන් තීරණයක් ගත්තානම් ඊට මුහුණදීමට සුදානම් කියා මම ප්‍රකාශ කරනවා.
ඇසුරුම් කළ කසල දුම්රියෙන් අරුවක්කාඩුවට
ඇසුරුම් කළ කසල දුම්රියෙන් රැගෙන යෑම අද (25) පළමු වරට ආරම්භ කෙරුණි.
වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසල පුත්තලම අරුවක්කාඩු කසල අංගනය වෙත 756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් රැගෙනවිත් තිබේ.
දුම්රිය මගින් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයේ ඇති තරාදිවලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාළ කසල පුරවා වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යන බව සදහන් වේ.
මෙම කසල තොගය කසල අංගනය වෙත ගොඩ බෑම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි ද බලධාරීහු පවසති.
ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනයට කිසිවකුගෙන් උපදෙස් අවශ්‍ය නෑ – ඇමති සුසිල්
සෑම පුරවැසියකුගේ ම දිවිපෙවෙත සමග අත්‍යන්තයෙන් ම බැඳී පවතින ජනාධිපතිවරණය මෙවර අන් කවරදාටත් වඩා රටේ ආර්ථික වර්ධනය මූලික වශයෙන් පදනම් කරගෙන ඇති බවත් වත්මන් ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට එම රාජ්‍ය පාලන කටයුතු සම්බන්ධයෙන් කිසිවකුගෙන් උපදෙස් අවශ්‍ය නැති බවත් එය ක්‍රියාවෙන් ම එතුමා ඔප්පු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුවෙල නවගමුව -දකුණ සමූපාකාර මාවත ජනතාව දැනුම්වත් කිරීමේ හමුවකට එක් වෙමිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 1977 වර්ෂයේ සිට අමාත්‍යවරයෙක් වශයෙන් මෙන් ම අගමැතිවරයෙක් වශයෙන් ද අද්දැකීම් සමූහයක් හා මනා පරිචයක් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇති බවයි. වත්මන් ජනාධිපතිවරයාගේ වසර දෙකහමාරකට ආසන්න ධුර කාලය තුළ සැලසුම්ගත අධ්‍යාපන, ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති මත මේ වන විට රටේ පාලනය සිදු වන බවත් අධ්‍යාපන ක්ෂේත්රය තුළ ද එම සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය.
වැසී තිබූ පාසල් විවෘත වී මේ වන විට පාසල් පෙළපොත්, නිල ඇඳුම්, පාසල් දිවා ආහාරය දරුවන්ට නිසි කලට ලබා දෙමින් විභාග කාල සටහන යථාවත් කර ගුරු හිඟය පියවා ඩිජිටල්කරණය හරහා නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසකට පදනම සකස් කරමින් පවතින අවස්ථාවක එහි ඉදිරියට යෑමට නම් වත්මන් ජනාධිපතිවරයා තව දුරටත් රැඳී සිටිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. ඒ සියල්ල කළ හැකි වූයේ රටේ බංකොලොත් ආර්ථිකය යථාවත් කර රට අරාජික අවස්ථාවක වගකීම් භාරගෙන ක්‍රියා කළ නිසා බව කී ඒ මහතා කිසි දු දේශපාලන පක්ෂයකට කොටු නොවූ නිර්පාක්ෂික නිර්වාර්ගික ස්වාධීන අපේක්ෂකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා වටා සියලු ජනතාවට පාට, පක්ෂ භේදයකින් තොර ව ඒකරාශී විය හැකි බවයි.
එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන රටේ ආර්ථිකය ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා ලබන වසරේ දී තවදුරටත් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් සිටින බව ඒ මහතා පැවසූවේ ය. තව ද රාජ්‍ය පාලනය කෝඩුකාරයන්ට කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු මේ වන විට අවලංගු කර තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේය.
ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව රාජිත රණසිංහ පැවසීය.
කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය මත එම කටයුතු සිදුකළ යුතුය බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
මංගලගේ පොත් එකතුව ප්‍රධාන පුස්තකාලයන් වෙත ප්රදානය කෙරේ
දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන්, ඔහුගේ පුළුල් හා ආදරණීය පෞද්ගලික පොත් එකතුවෙන් කොටසක් ගෞරවනීය ආයතන තුනකට පරිත්‍යාග කොට ඔහුගේ මතකයට ගෞරව කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින්පියවර ගනී.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, යාපනය මහජන පුස්තකාලය සහ මාතර මහජන පුස්තකාලය වෙත එම ප්‍රදානයන් සිදු කෙරෙනු ඇත.
විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ කීර්තිමත් ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ සෙන්ට්රල්ශාන්ත මාටින්ස් හි අධ්‍යාපනය ලැබීමෙන් පසු විලාසිතා නිර්මාණකරුවෙකු සහ ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
කාලීන කටයුතු, ජාත්‍යන්තර සබඳතා, සංවර්ධන අධ්‍යයනය, ඓතිහාසික නවකතා, වැඩියෙන්ම අලෙවි වන ප්‍රබන්ධ, කවි, විකාර සාහිත්‍යය, සංචාර, භාෂා, චිත්‍ර, අත්කම්, සහ ඡායාරූපකරණය ඇතුළු පුළුල් පරාසයක විෂයයන් සම්බන්ධයෙන් වන ඔහුගේ පොත් එකතුව මගින් ඔහුගේ ඉගෙනීමට ඇති රුචිය සහ අන්තර් විෂය ලැදියාවන්මනාව පිළිබිඹු වේ.
වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ශ්‍රී ලංකාවේ දැනුම බෙදාගැනීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසට ක්‍රියාත්මක වනබණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය මෙම ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
එම මධ්‍යස්ථානය විසින් මෙම පොත් එකතුව ලේඛනගත කිරීමට සහාය වන අතර, රාජ්‍ය තාන්ත්‍රික සහ ජාත්‍යන්තර කටයුතු කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීමට වඩාත් අදාළ පොත් ඊට ප්රදානයකෙරෙනු ඇත.
මෙම පරිත්‍යාගය විශේෂයෙන් යෝග්‍ය වන්නේ එය රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියැලී සිටින්නන් සහ ගෝලීය වේදිකාවේ විවිධ කර්මාන්තවලදී ශ්‍රීලංකාව නියෝජනය කරන්නන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට ඉන් සහායක් ලැබෙන බැවිනි.
විනාශ වී තිබූ යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමේ පූරෝගාමී කාර්යයට මුලපුරමින්
යාපනය මහජන පුස්තකාලයට පොත් ප්රදානය කිරීමට ගත් තීරණය විශේෂ වැදගත්කමක් දරයි. ගිනි තැබීමට ලක් වූ එම පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමටමංගල සමරවීර දැඩි ලෙස කැප වී සිටි අතර, එම සිද්ධිය සියළුම ශ්‍රී ලංකාවාසීන්ගේ ඛේදවාචකයක් ලෙසින් ඔහු සැලකීය. හිටපු ජනාධිපතිනී බණ්ඩාරනායකකුමාරතුංගගේ පාලන සමයේදී යාපනය පුස්තකාලය සහ එහි මිල කළ නොහැකි පොත් එකතුව නැවත ගොඩනැංවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රට පුරාසිටින ශ්‍රී ලාංකිකයන් බලමුළු ගැන්වීමට උත්සාහ කළ ‘ගඩොලක් හෝ පොතක්’ ව්‍යාපාරයේ සාඩම්බර සංවිධායකයෙකු ලෙසින් ද ඔහු කටයුතු කළේය. මෙමපරිත්යාගය නියෝජනය කරන්නේ එම ඓතිහාසික අලාභය පියවා ගැනීමට ගන්නා අඛණ්ඩ උත්සාහයක් ලෙසටයි.
මීට අමතරව, ඔහුගේ පුස්තකාලයේ කොටසක් මාතරට ගෙන ගොස් මහජන පොත් එකතුවක් සැකසීම මගින්, ඔහුගේ ආදරණීය දකුණේ උපන් ගමෙහි විශේෂයෙන් කලා හා සංචාර ක්ෂේත්රයන්ට ලැදි තරුණ තරුණියන්ට ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම පරිත්‍යාගය මංගලගේ ජීවිත කාලය පුරාවටම වූ දැනුම වෙනුවෙන් කැපවීම සහ ප්‍රජාවන් අතරට ගෙන ඒමට සහ අවබෝධය වර්ධනය කිරීමට එහි ඇතිශක්තිය පිළිබඳ විශ්වාසයට උපහාරයක් බව ඔහුගේ සහෝදරිය වන ජයන්ති සමරවීර මහත්මිය පැවසුවාය.
“මෙම ප්රදානය මගින් මංගලගේ පුළුල් බුද්ධිමය කුතුහලයෙන් සහ රාජ්‍ය සේවයට කැපවීමේ උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් අනාගත පරපුරට ආස්වාදයක් සහ දැනුමක් ලබා දෙනු ඇතැයි අපිබලාපොරොත්තු වෙමු.”
පුස්තකාල මගින් පොත් ලේඛණගත කිරීම සහ තෝරා ගැනීමෙන් පසුව පොත් පරිත්‍යාග කිරීමේ උත්සවය ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරේ. ඔහුගේ පොත්එකතුවෙන් කුඩා කොටසක් ඔහුගේ පවුලේ රැකවරණය යටතේ තවදුරටත් පවතිනු ඇත.
ගුරු - ගෝලයා එකම වේදිකාවක.....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයෙකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මඩකලපුව අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ට ආශීර්වාද කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක ඇමති ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) සංවිධානය කළ "පුලුවන් ශ්‍රී ලංකා" මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර මහජන රැළියේ වේදිකාවට ගොඩවූ සිවලින්ගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.
මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටි 98 වියැති බී. සිවලිංගම් සිය ශිෂ්‍යයෙකු වන රනිල් වික්‍රමසිංහ මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැළියට පැමිණ තිබුනි.
රනිල් වික්‍රමසිංහ ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අනුර බණ්ඩාරනායක , මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට එතුමා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කතාවේදී සිහිපත් කළේය.
හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක අද (24) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 76 වියේ පසු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුණුපුරා, එජාප ප්රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රුක්මන් සේනානායක 1973 දී දේශපාලනයට පිවිසියේ දැදිගම ආසනයෙනි.
1994 දී නැවත පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දිනා ගත්තේය.
රුක්මන් සේනානායක 2002 සිට 2004 දක්වා පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඉන්පසු ඔහු 2007 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් විය.
ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයේ නියෝජිතයෝ පැමිණෙති
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇත.
මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද දිවයිනට පැමිණීමට නියමිතය.
එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරීක්ෂණයට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය. ඉන්දියාව,නේපාලය,බංග්ලාදේශය, පකිස්තානය, මාලදිවයින ඇතුළු රටවල මැතිවරණ නිරීක්ෂණ සංගම් සහ නියෝජිතයන් ද මැතිවරණ නිරීක්ෂණය සඳහා අවසර ඉල්ලා ඇත.
අවසර ලබා ගන්නා ආයතන සහ නියෝජිතයන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුය.
ආගම්වලට අපහාස කරන්න කාටවත් බැහැ - සජිත්
පසුගිය කාලයේ බිහි වූ ආණ්ඩු ආගම ජාතිය භාෂාව කුලය කේන්ද්‍ර කර ගෙන ජන ජීවිත විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (23) මහනුවර අකුරණ නගරයේ දී පැවති ජන රැලියේ දී ය.
මතු දැක්වෙන්නේ එම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ සම්පූර්ණ කතාව ය.
මම, කඩා වැටුණු රට එක්සේසත් කරනවා
‘‘ජාතිවාදයට ජාතිභේදයට ආගම්වාදයට විරුද්ධව පාරට බැස්සේ සමගි ජන බලවේගය යි. ආදාහනය සහ භූමදානය ගැටලුවේ දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහපාරට බැහැලා ජාතික සමගිය ආගම් අතර සමගිය වෙනුවෙන් පාරට බැස්සෙත් සමගි ජන බලවේගය යි. සමහර අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා ඉස්ලාම් ආගමට අපහාස කරමින් අන්තවාදී චෝදනා එල්ල කරා. මේ රටේ කිසිම කෙනෙකුට: කිසිදු ආගමකට, ජාතියකට, අපහාස කරන්න අයිතියක් නෑ. සෑම ආගමකට ම ජාතියකට ම ගරු කළ යුතුයි. මේ රට අපි හැමෝගෙ ම රට.
මේ බෙදුනු රට; කඩාවැටුණු රට එක්සේසත් කිරීම මම කරනවා. අපේ ආණ්ඩුවක් යටතේ: ජාතිවදයට, ජාතිභේදයට, ආගම්වාදයට, ආගම්භේදයට, අන්තවාදයට ඉඩ නෑ. අපේ රටේ මේ මොහොතේ පවතින්නේ ගැටුම්කාරී දේශපාලනය රජවුණු යුගයක්. තරහ මරහකම්, එදිරිවාදිකම්, හතුරුකම්, ජාතිවාදය ආගම්වාදය, ගෝත්රවාද,ය වර්ණභේදය, කුල භේදය යනාදි විදියටරට බෙදිලා; රට බංකොලොත් වෙලා ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අතරමං වෙලා ඉන්න මොහොතක තවදුරටත් නොබෙදී එකතු වෙන්න ඕනෙ. ඊර්ෂ්‍යාව වෛරය බල තන්හාව බැහැර කරලා රට ගොඩනගන එකමුතුභාවයකට එක්වෙන්න ඕනෙ. එහෙම නැතුව මේ විදියට නම් ඉදිරියට යන්න බෑ.
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයට මේ රටේ පොදු ජනතාව ගැන හිතන්නේ නෑ; පොදුජන හදගැස්ම ගැන අවබෝධයක් නෑ. සංහිඳියාව, සහෝදරත්වය හා මිත්රශීලීත්වය තුළ ජනතාවක් විදියට එකට එකතු වී එකමුතුභාවය රට ගොඩනගන ශක්තිය බවට පත්කරගත යුතුයි. බෙදුණු රට තුළ විවිධ හේතු නිසා කඩා වැටුණු, ගරා වැටුණු ජන සමාජය එකමුතුභාවය තුළින් යළි ගොඩනැගීමට එක්වන්නැයි මම හැම දෙනාට ම මිත්‍රත්වයේ හස්තය දිගු කරනවා.
රට සින්නක්කරව ලියා ගන්න කාටවත් අයිතියක් නෑ
බංකොලොත් රට ගොඩ ගත යුතුයි. අප රට ආර්ථික වශයෙන් දියුණු වනවා වෙනුවට බංකොලොත් වෙලා. ඒකටට හේතුව තමයි කණ්ඩායමක් රට සින්නක්කරව ලියාගෙන වගේ පාලනය කිරීම. මේ රට තනි පුද්ගලයකුට... එහෙමත් නැතිනම් කණ්ඩායමට අයිති රටක් නෙවෙයි; ලක්ෂ දෙසිය විස්සක් ජනතාවට අයිති රටක්. ජනාධිපතිවරණය හරි මහමැතිවරණය හරි දිනුවා කියලා රට සින්නක්කරව ලියාගන්න බෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ. ඒක තාවකාලික භාරකාරත්වයක් විතරයි. අපි නව ආර්ථික දැක්මක් තුළින් රට ගොඩගන්නවා. සියලු දෙනාට සමාන ප්රතිලාභ ලැබෙන සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ගොඩනංවා රට නැවතත් දියුණු කරනවා. අපේ රටේ සීමසහිත සන්නාම තිබුණට කොරියාව තුළ විවිධ ක්ෂේත්රයන්ට අදාළ සන්නාම තියෙන නිසා අපේ රටත් ඒ තත්ත්වයට ගත යුතුම යි.
බෝම්බ දෙකක් වැටුණු ජපානයත්, යුද්ධයෙන් විනාශ වූ වියට්නාමයත්, ගෝත්‍රික යුද්ද නිසා විනාශ වුණ රුවන්ඩාවත් අද ලෝකයේ දියුණු රටවල්. අපිත් ඒ විදියට දියුණු විය යුතු යි. ඒ සඳහා ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළ යුතුයි. ‘නැහැ බැහැ බලමු’ කියන අදහස නැති කරගෙන එකමුතුභාවයෙන් සහ කැපකිරීම් සිදු කරලා, සද්ජාතිකත්වයක් ඔස්සේ අපේ රට ගොඩ ගැනීමට එකතු වන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
(සටහන - ජයසිරි අලවත්ත)
එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුර - සජිත් පැන ගියා
එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙනයෑමට සුදුසු දැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලියට එක්වෙමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවැති මෙම ජනහමුවට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාව එම ජනතාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
“2022 ජූලි මාසයේ දී මා ආණ්ඩුව භාරගෙන පළමු වරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමයි. එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත් මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළා.
කැමති අයට භූමදානය කිරීමටත් කැමති අයට ආදාහනය කිරීමට හෝ ශරීරය වෛද්‍ය පීඨයට භාර දීමටත් හැකියාව ලැබෙන පරිදි නව නීති ගෙන ඒමට අදාළ කෙටුම්පත ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ගැසට් කිරීමට කටයුතු කරනවා. එසේම එම තත්ත්වයට මුහුණ දුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමට කමිටුවක් පත් කරනවා.
මීට වසර දෙකකට පෙර ආහාර නැතිව, ගොවිතැන් කිරීමට පොහොර නැතිව ජනතාව සිටියා. ගොවිතැන් කිරීමට පොහොර නොමැතිව ගොවීන් අසරණ වුණා. ආහාර, ඖෂධ නොමැතිව ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වුණා. මා 2022 වසරේ ජූලි මාසයේ දී ආණ්ඩුව භාරගෙන මුලින්ම කටයුතු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමටයි. මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා.
මා රට භාර ගන්නා විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොලරයක මිල රුපියල් 300ක්. මේ රට මා භාර ගනිද්දි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76කට අඩු වී තිබුණා. 2023 අවසන් වන විට එය ඩොලර් බිලියන 84ක් බවට පත්කර ගැනීමට කටයුතු කළා.
ජනතාවට තවදුරටත් සහන ලබාදිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89ක් බවට පත්කර ගත යුතුයි. උද්ධමනය සියයට 9ක් බවට පත්කරගත යුතුයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා. එපමණක් නොවෙයි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 92ක් බවට පත්කර ගතහොත් රුපියල තවත් ශක්තිමත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කටයුත්තයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සජිත්ට හෝ අනුරට හැකියාවක් නැහැ. රට භාර ගන්නා ලෙස ඉල්ලූ විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරිසකට රටක් පාලනය කළ හැකිද ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඔවුන් පැනලා ගියා.
මට තිබුණේ තනි මන්ත්‍රී ආසනයක්. නමුත් ජනතාව දුක් විඳින නිසා මම මේ රට භාර ගත්තා. ජනතාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රීවීල් රියැදුරන්ට හයර් එක්ක යෑමට නොහැකි වුණා. මේවා දැකලා මේ නායකයන් අනුකම්පා කළාද? නමුත් ඒ අවස්ථාවේ රට භාරගත් මම ද්‍රෝහියෙක් කියලා අද ඔවුන් කියනවා. මම හොරු ආරක්ෂා කරනවලු. ඔවුන් හිතන්නේ එපමණයි. ජනතාවගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ. ඔවුන් කිව්වා සමෘද්ධිය ගෙවන්න සල්ලි නැහැ කියලා.
නමුත් මම අස්වැසුම හරහා ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 16 – සිට ලක්ෂ 24 දක්වා ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම වැඩිහිටි දීමනාව වැඩි කළා. සජිත් හා අනුර මෙම කටයුතු සිදු කිරීම වෙනුවෙන් මා සමඟ එක් නොවුණේ ඇයි? මේ රටේ ජනතාව සජිත්ට හා අනුරට වරදක් කළාද? ඒකද ඔවුන් ජනතාවට උදව් නොකරන්නේ. ඔවුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සිතුවේ නැහැ. තමන් ගැන පමණයි සිතුවේ. එසේනම් ජනතාව ඔවුන්ට ඡන්දය ලබාදිය යුතුද.
භූමදානය කරන්නේ නැතිව ආදාහනය කිරීම නිසා මුස්ලිම් ජනතාවට විශාල හානියක් සිදු වණා. කැමති අයට භූමදානය කළ හැකි අතර, කැමති අයට ආදාහනය කිරීමටත් කැමති අයට තමන්ගේ සිරුර වෛද්‍ය පීඨයට ලබා දිය හැකි ආකාරයට අප අලුත් නීතියක් ගෙන එනවා. අලි සබ්රි ඇමැතිතුමා එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, අප එය ගැසට් කරනවා. ඇයි සජිත් හෝ අනුර මෙහෙම පනතක් ගෙනාවේ නැත්තේ. මෙය මුදල් පනතක් නොවෙයි, ඕනෑම මන්ත්‍රීවරයකුට ගෙන ආ හැකි පනතක්. ඒ වගේම මේ තත්ත්වයට මුහුණ දුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමටද කමිටුවක් පත් කරනවා. මෙම සිදුවීම පසුගිය ආණ්ඩු සමයේ සිදු වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලුවා.
අප තව දුර යා යුතුයි. අප මෙම වැඩ කටයුතු ආරම්භ කළා පමණයි. තවත් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපට ආධාර අවශ්‍යයි. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් 17ක් සමඟ සාකච්ඡා කර ආධාර ලබාගෙන තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. එම ගිවිසුම කඩ කළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් සජිත් කියනවා එම ගිවිසුම වෙනස් කරනවා කියලා. අනුරත් කියනවා මෙම ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් නැවත මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා. ගඟට වැටී මැරෙන්න ගිය මිනිහා බේරාගෙන ගංඉවුරට ගෙන ආ විට නැවත ගඟට පනිනවා ද? අපි මේ රට ගොඩනැඟිය යුතුයි. තරුණයන්ට අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. මෙය ආරම්භය පමණයි. අප ඉදිරියට යා යුතුයි. ඔබේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න කියා මම කියනවා” යැයි පැවසීය.
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇත.
ඒ අනුව
සුදු සීනි කිලෝවක් රුපියල් 242ක්
සම්බා සහල් කිලෝවක් රුපියල් 226ක්
කඩල කිලෝවක් රුපියල් 439ක් ලෙස මිල සංශෝධනය කොට තිබේ.
තවද,
හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපියල් 92.50,
රතු ලූනු ග්‍රෑම් 100ක් රුපියල් 47ක්
වියළි මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 78ක්
මුංඇට ග්‍රෑම් 100ක් රුපියල් 89ක්
ග්‍රෑම්155 ටින්මාළු (ආනයනික/දේශීය) රුපියල් 270ක්
ග්‍රෑම් 425 ටින්මාළු (දේශීය) රුපියල් 450ක් සහ
ග්‍රෑම් 425 ටින්මාළු (ආනයනික) රුපියල් 500ක් ලෙස මිල සංශෝධනය කර ඇත.
සැප්තැම්බර් විසි දෙක ම අපි වැඩ පටන් ගන්නවා - අනුර
ජාතික ජන බලවේගය රට වෙනස් කිරීමේ කටයුත්ත එළඹෙන සැප්තැම්බර් 22වැනිදා සිට ම ආරම්භ කරන බව අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ පසුගිය දා බණ්ඩාරගම පැවති මහජන රැලිය අමතමිනි.
එහිදී අනුර කුමාර දිසානායක මෙසේ අදහස් දැක්විය.
රෝහිත මිලියන හතළිහක වත්කම් උපයා ගත්තේ කොහොම ද?
‘‘රට පුරාම මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් මේ ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට සැප්තැම්බර් විසි එක්වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා වෙනස් කිරීමේ ආරම්භය ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්තියි. විසිදෙවෙනිදා ඉඳලා ම අපි ඒ වැඩේට බහිනවා. වංචාවේ, දූෂණයේ ගිලී තිබෙන ආණ්ඩුකරණය වෙනුවට එයින් මුදා ගන්නා ආණ්ඩුකරණයක් ඕනෑ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරමයි. මහජනයාට වඩා උඩින් සඳලුතලයේ ඉන්න දේශපාලනඥයන් සහ පතුලේ ඉන්න ජනතාවක් වෙනුවට හැමෝම සම තත්වයේ හිඳිමින් කටයුතු කෙරෙන වෙනසක් ජාතික ජන බලවේගයෙන් සිදු කරනවා. මේ දක්වා පාලකයාට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රෝහිත පාර්ලිමේන්තුවේ ඉන්නවා. මිලියන හතළිහක වත්කම් උපයා ගත්තේ කොහොම ද කියලා අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් පැවැත්වූවා. හරියටම පරීක්ෂණය පවත්වන දවසේ නයා කෑවා. සාමාන්‍ය පුරවැසියෙක් මෙහෙම කළා නම්, පොලිසියට නයාවත් ගේන්න කියනවා. පොදු ජනයාටත්, පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් ජාතික ජන බලවේගයෙන් බිහි කරනවා.
දෙදහස් හතළිස් අට වන තුරු රනිල් ඉඳීවි ද...?
පොලිසියේ මහත්වරුන්ටත් තමන්ගේ යුනිෆෝම් එකේ, තමන්ගේ සහ රැකියාවේ ගෞරවය තබාගෙන කිසිම දේශපාලනඥයකුට යටත් නොවී නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා රටක් හදන්න ඕනෑ. ඒ වෙනස කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්. මුළුමනින්ම කඩාවැටී, සාමාන්‍ය පුරවැසියකුට ඉක්මනින්ම තමන්ගේ කටයුතු කරගත නොහැකි මට්ටමේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය ගොඩනගන්නේ ජාතික ජන බලවේගයෙන්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයත් මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. විෂයයන් නවීකරණය කරන්න ඕනෑ. ලෝකයේ අලුත් විද්‍යාව හා තාක්ෂණය උරා ගන්නා, දෙමාපියන්ට බරක් නොවන අධ්‍යාපනයක් අපි හඳුන්වා දෙනවා. ඒ අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්. ක්‍රමානුකූලව මෙම කටයුතු සිදු කරන තෙක් ජනතාව ජීවත් කරවන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ දෙදහස් හතළිස් අටේ දී එයා රට හදන තෙක් ඉවසන්න කියලයි. මරු මෑන්... දෙදහස් හතළිස් අට වෙන කොට එයාට අවුරුදු අනූනවයයි. එයා දෙදහස් තිහේ දී රට හදන බව කීවේ නැහැ. එහෙම කීවා නම්, මාධ්‍යවේදියො ප්‍රශ්න කරයි. නමුත්, දෙදහස් හතළිස් අට වන තුරු එයාවත් ඉඳී ද? අපි පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන අතර, දිළිඳු ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්නවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය ලබාගත නොහැකි පුරවැසියන්ට මාසයකට රුපියල් 10,000කට වැඩි දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. මේ ආධාරය ලබා දෙන්නේ ජීවිතාන්තය දක්වා නොවෙයි. රට ගොඩනගමින්, ප්රතිලාභ ලැබෙන තුරු සෞඛ්‍යාරක්ෂිතව, දරුවාට අධ්‍යාපනය ලබා දෙමින් ජීවත් වෙන්නයි.
සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ඉවත් කරනවා
රැකියාවක් කරන කෙනාටත් බඩු මිල, සෞඛ්‍ය වියදම් වාගේම දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බැහැ. ඒ නිසා ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුළුමනින්ම ඉවත් කරනවා. ජාතික ජන බලවේගයට ඒ වෙනුවෙන් සල්ලි කොහෙන් ද කියලා කට්ටියක් අහනවා. රනිල් වික්‍රමසිංහ අද කියලා තියෙනවා හෙක්ටයාර් එකකට රුපියල් පහළොස් දහස බැගින් පොහොර සහනාධාරයක් දෙනවාලු. අවුරුද්දකට දළ වශයෙන් හෙක්ටයාර් ලක්ෂ දාහතරක් වගා කරනවා. ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි දෙදහසක් විතර අවශ්‍ය වෙනවා. ඒ වාගේම ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන් දහස ගාණේ වැඩි කරනවාලු. ආසන්න වශයෙන් අවුරුද්දකට රුපියල් කෝටි හතළිස් දහසක් විතර ඕනෑ වෙනවා. ඒ ගැන ප්‍රශ්න නොකරන අය ජාතික ජන බලවේගයෙන් දිළිඳු ජනතාවට ලබා දෙන සහනාධාර ගැන ප්‍රශ්න කරනවා. අපි ඒ සහනාධාර ලබා දෙන්නේ හොඳින් තෝරා බලා සකස් කර ගත් නිර්ණායක අනුව අවශ්‍යම ජනතාවට. එක කන්නයක් පොහොර සහනාධාරය ලබා දෙයි. ඔය කියන පඩි වැඩි වීම කරන්නේ නැහැ. එයා ජනවාරි වෙන කොට ගෙදර බව දන්නවා.
ජාතික ජන බලවේගය රට ගොඩනගමින් යන අතර, ජනතාව රැකබලා ගැනීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අය කර ගත හැකිව තිබෙන නමුත්, අය කරගෙන නොමැති බදු රුපියල් කෝටි එක් ලක්ෂ දසදහසක් තිබෙනවා. ජනතාවගෙන් අය කර ගත් සමහර බදු වර්ග ඒ ජාවාරම්කාරයන් ආණ්ඩුවට ගෙවා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ අයගේ අරක්කු පැක්ටරි තුනකින් විතරක් රුපියල් කෝටි හයසිය ගණනක් එකතු කර ගන්න තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස්, සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ග ලක්ෂ්මන් වසන්ත පෙරේරා මේ විදියට බදු පොලු තියලා තිබෙනවා.
කාට සල්ලි සොයාගන්න බැරි වුනත් අපිට පුළුවන්
ජනාධිපතිවරු, ඇමැතිවරු නඩත්තු කරන්න මහජනතාවගේ ධනයෙන් කොච්චර වියදමක් දරනවා ද? අවුරුද්දක දී විදේශගත වෙන්න අවශ්‍ය මුදල් තක්සේරු කරලා වෙන් කරනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට අවුරුද්දට ම වෙන් කළ මුදල් මාස කිහිපයක දී ඉවර කරලා. ඒ ගොල්ලන්ගේ දේශපාලනය කරන්න මහජනයාගේ ධනය වියදම් කරනවා. මේ විදියට වෙන් කර ගත් සල්ලි මදි වෙලා අලුතින් ලක්ෂ දෙදාහක් රට යන්න විතරක් වෙන් කර ගත්තා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ නාස්තිය නතර වෙනවා. ඇමැතිවරුන්ට නිවාස, ලයිට් බිල්, වතුර බිල්, වාහන හත අටක්, ඉන්ධන, ටෙලිෆෝන් බිල් ගෙවන්නෙත් මහජනතාව. කෙහෙළිය රඹුක්වැල්ලගේ ගෙදරට එක්ලක්ෂ විසි එක්දහසක මාසික ලයිට් බිලක් ආවා. භාණ්ඩාගාරයට ලැබෙන සල්ලි හොරකම් කරනවා විතරක් නොවෙයි, අත දිගහැර නාස්ති කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හොරකම නතර කර වංචාව දූෂණය නතර කර අය කරගත යුතු බදු අය කරගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවනවා. ඒ නිසා කාට සල්ලි හොයා ගන්න අමාරු වුණත්, ජනතාවට ලබා දිය යුතු සහන ලබා දීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
මෘදුකාංග ඉංජිනේරුවරුන් ලක්ෂ දෙකක් බිහි කරනවා
පියවරෙන් පියවර රට ගොඩනඟන අතර, එක දරුවකුවත් අධ්‍යාපනයෙන් පිටමං වී පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. දුප්පත්භාවයෙන් මිදෙන්න තිබෙන ප්‍රධාන අවස්ථාව අධ්‍යාපනයයි. අපේ සැලැසුම්වල වැඩිම අවධානය යොමු කර තිබෙන්නේ නැණවත්, ගුණවත්, නිරෝගීසම්පන්න දරු පරම්පරාවක් ගොඩනැඟීමේ අධ්‍යාපනය වෙනුවෙන්. ලෝකයේ වටිනාම සම්පත් හැටියට වෙනත් භෞතික දේවල් හඳුනාගෙන තිබුණත්, අද වෙන කොට දැනුම මූලිකම සම්පතක් හැටියට ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ තරුණ, තරුණියන් මෘදුකාංග ඉංජිනේරුවරුන් හැටියට අඩුම තරමින්, ලක්ෂ දෙකක්වත් බිහි කරන්න සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන සමස්ත වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ලබන විසි එක්වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය කියන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔබ අපට බලය ලබා දෙන දවසයි. ඒ නිසා ඉදිරි ටික දින තුළ අපි හැම දෙනාම ඉතා හොඳින් සැලැසුම් කරලා තවත් අය හමු වී දැනුවත් කර ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ලබා දෙන්න ක්‍රියා කරන්න. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම ක්‍රියා කර රට ගොඩනැගීමට එකතු වෙමු කියලා ආරාධනා කරනවා.’’
දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම Online ක්‍රමයට
අන්තර්ජාල සේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (අගෝ. 23) සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමට හැකි ය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහගේ සහභාගීත්වයෙන් ඊයේ (අගෝ. 22) පෙරවරුවේ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු කර ඇත.
දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිල දී ගත හැකි වන අතර මුදල් ගෙවූ පසු කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකතනය වෙත ප්‍රවේශපතේ QR කේතය ලබා ගත හැකි ය.
එම QR කේතයට අදාළව දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.
ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි ය.
මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අයෙකු පත් කළ හැක - මැ.කො.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් මේ වනවිට අභාවප්‍රත්ත වී සිටින අවස්ථාවක ඔහු වෙනුවෙන් වෙනත් අයෙකු එම දේශපාලන පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් එම ලකුණ යටතේ නම් කිරීමට අවස්ථාව පවතින බවද කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී ඒ පිළිබද තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
තවද, වෙනත් අපේක්ෂකයෙක් නම් කළත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් සිදුනොවන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
අලුතින් නම්කරන අපේක්ෂකයාට තරග කිරීමට සිදුවන්නේ පෙර අපේක්ෂකයාගේ (අභාවප්‍රාප්ත වූ අපේක්ෂකයා) නමින් බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසීය.
Page 18 of 440