කොත්මලේ, ගැරඞිඇල්ල බස් අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ කතරගම ඩිපෝ අධිකාරීවරයාට නඩු පැවරීමට ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.
එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අනතුරු සිදුවූ ස්ථානයේ කිසිදු ආරක්ෂිත පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලබාගැනීමට ද නිර්දේශ කළ බවයි.
එමෙන්ම, බස් රථයේ කාර්මික දෝෂයක් හෝ වෙනත් රථයක ගැටීමක් පිළිබඳ අදාළ කමිටුවට අනාවරණ වී නොමැත.
අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයේ මීදුම්, වැසි, ලිස්සන ස්වභාවයක් හෝ ප්‍රතිවිරුධ දිශාවට වාහනයක් ධාවනය වී නොමැති බව ද අදාළ කමිටුව අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව, එම කමිටුව නිගමනය කර ඇත්තේ රියදුරාගේ විඩාව හෝ නින්දයාම වැනි තත්ත්වයක් හේතුවෙන් වලක වැටුණු බස් රථය අනතුරට ලක්වී ඇති බවටය.
ඒ රියදුරාගේ පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තාව අනුව, ඔහුට හදිසි රෝගී තත්ත්වයක් වැලදී නොමැතිවීම සහ රස පරීක්ෂක වාර්තාව අනුව මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබීම හේතුවෙනි.
එමෙන්ම, රියදුරා, කොන්දොස්තර ඇතුළු මගීන් 84 දෙනෙක් ගමන් කළ බස් රථයේ ධාවන කාලය පැය 9.5 ක් වී ඇති අතර, රියදුරාගේ සේවා කාලය පැය 13.5 ක් බවද කමිටුව අනාවරණ කරගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, දීර්ඝ කාලයක් අමතර රැකියාවක් ලෙස ටිපර් රථ රියදුරෙක් ලෙස සේවය කළ බස් රථ රියදුරා අනතුරට පෙර දිනය පුරා එහි නිරතවී ඇති බවයි.
එමෙන්ම, කතරගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 300 කට ආසන්න දුෂ්කර මාර්ගයේ ධාවනයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත අනුව කතරගම ඩිපෝව අවසර ගෙන නොමැත.
මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරුන්ට වගකීමක් පවතින බවත්, ඒ අනුව කටයුතු නොකරන නිලධාරීන්ට විනයානුකූල පියවර ගැනීමටත් අදාළ කමිටුව පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.