Ad

Ad 01

V2025

පුවත්

උද්ඝෝෂණවලදී දරුවන් පලිහක් කරගන්න එපා - ළමා ආරක්ෂණ අධිකාරිය !

මහජන උද්ඝෝෂණවලදී පලිහක් ලෙස ළමයින් යොදා ගැනීමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පවසා ඇත .

පසුගිය මාස කිහිපය පුරා ම කුඩා දරුවන් උද්ඝෝෂණවලට සහභාගි කොට ගත් අවස්ථා බොහෝ සංඛ්‍යාවක් පිළිබඳව වාර්තාවූ නිසා එය විශේෂ තත්ත්වයක් සේ සලකා ඒ පිළිබඳ අවධානය යොමු කරන බවද සභාපතිවරයා සඳහන් කර ඇති අතර ඒ ‘මව්බිම’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

මේ සිදුවීමේදී කිසිදු පාර්ශවයක් ගැනීමට හෝ නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා එම පැමිණිලි සියල්ල පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන බව ද සභාපතිවරයා පවසා ඇති අතර අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා යම්කිසි පීඩාවකට, අපහසුතාවකට පත්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට තීරණය කොට තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

එහිදී මෙයට සම්බන්ධ පාර්ශ්ව ගැන සොයා බලා යම් හෙයකින් පොලිසිය අතින් දරුවන් පීඩාවට පත්වන අයුරේ ක්‍රියා සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයාටත්, මානව හිමිකම් කඩවී ඇත්නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමටත් දැනුම් දෙන බවත් හිතාමතා ම පීඩාවට හා හිංසාවට පත්වන අයුරින් එම ස්ථානයට මවුපියන් දරුවන් රැගෙනවිත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ අංශය සමඟ හා නීතිඥවරුන් සමග ඊයේ (ඔක්. 10) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඔහු කීය. මීට පෙර මෙරට උද්ඝෝෂණ පැවැතියත් ඒ සඳහා ළමයින් සහභාගි කර ගැනීමේ සිද්ධි වාර්තා නොවූ බවත් පැවැති රජයට විරුද්ධව මෑත කාලයේ සංවිධානය කළ උද්ඝෝෂණවලදී මෙවන් සිදුවීම් වාර්තා වූ බවත් හෙතෙම සඳහන් කළේ ය.

කුඩා දරුවන්ට එම විරෝධතා පවත්වන්නේ කුමක් සඳහා දැයි කිසිදු අවබෝධයක් නොමැති බව ද සභාපතිවරයා පැවැසීය.

ඔවුන් ඒ සඳහා සහභාගි වන්නේ ඔවුන් විසින් තීරණය කොට විරෝධතා දැක්වීමේ අරමුණින් නොව මවුපියන් හෝ භාරකරුවන් කුඩා දරුවන් ඒ සඳහා රැගෙන යන නිසා යැයි ද ඔහු කීය.

ඇතැම් අවස්ථාවල පාසල් ගුරුවරු පවා මෙවන් විරෝධතා සඳහා පාසල් දරුවන් සහභාගි කරගත් සිදුවීම් වාර්තා වූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ළමයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති ජාතික නීති පිළිබඳව සහ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එළැඹ ඇති ජාත්‍යන්තර සම්මුති පිළිබඳව ද අවධානය යොමු කරමින් ඒ මත පදනම් වී තම නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කරන බව හා ඒ අනුව කටයුතු කරන බව ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රකාරව ළමයින් සම්බන්ධයෙන් සියලු ක්‍රියාකාරකම්වලදී, පෞද්ගලික, සුබසාධන, සමාජ, ආයතනික, නීතිය ක්‍රියාත්මක කිරීම් අධිකරණ, ආරක්‍ෂක අංශ හෝ ව්‍යවස්ථාදායක ආදී කවර හෝ පාර්ශවයක් ළමයින්ට අදාළව හෝ ළමයින් සම්බන්ධ කටයුතු කරනවා නම් ළමයාගේ උපරිම යහපත සැලසෙන අයුරින් ක්‍රියාකළ යුතු යැයි දැක්වෙන බවද හෙතෙම අවධාරණය කළේය.

විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි ආදියෙහිදී විවිධාකාරයේ නොසන්සුන්තා, ගැටුම් ඇතිවන නිසා ඒවාහිදී ආරක්‍ෂා වීමට දරුවන්ට අවබෝධයක් නැතැයිද අඩු තරමේ දරුවන් රැගෙන යන මවුපියන්ට, භාරකරුවන්ට පවා අවස්ථානුකූලව කටයුතු කිරීමට නොහැකි අවස්ථා උදාවනු ඇතැයි ද ඔහු කීය.

මෙවන් තැන්වලට දරුවන් රැගෙන යෑමෙන් ඔවුන් අනතුරුවලට, පීඩාවට හා ජීවිත අවදානමට පවා ලක්විය හැකි බවත් සභාපතිවරයා පැවසීය.

ඒ පිළිබඳව දරුවන් නොදැන සිටියාට වැඩිහිටියන් ඒ බව දන්නේ යැයිද ඔහු අවධාරණය කළේ ය.

එම නිසා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂවලින්, උද්ඝෝෂකයන්ගෙන්, විරෝධය දක්වන පිරිස්වලින්, විවිධ සමාජ කණ්ඩායම්වලින්, ස්වේච්ඡා සංවිධානවලින් ආදී කවර හෝ එකමුතු පාර්ශවවලින් දරුවන් මෙවන් තැන්වලට රැගෙන යාමෙන් වළකින්නැයි ද මෙය නීතියෙන් කරනු ලබන නියෝගයකට වඩා ළමයාගේ උපරිම යහපත සැලසීම සඳහා කරනු ලබන ඉල්ලීමක් බව ද ඔහු පැවසීය.

කයිවාරු විතරයි : යූරියා පොහොර ටෙන්ඩර් සාකච්ඡාවෙන් අනුර සජිත් මාරු වෙලා !

යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ සජබ සහ ජාජබ ඇතුළු පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව අදාළ සාකච්ඡාව සඳහා සහභාගි ව නොමැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ චෝදනා ඉදිරිපත් කළ පාර්ශ්ව සාකච්ඡාව සඳහා ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් බවයි.

2022/23 මහ කන්නය සඳහා මිල දී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන ලෙස ආරාධනය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙි පිළිබඳ කතා කරන්නට එන්නැයි ලිපි ඉදිරිපත් කළ බවද පවසයි .

මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) දවල් 12ට කැඳවා තිබිණි.

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර සඳහා මුලින්ම ඉදිරිපත් කළ ටෙන්ඩරය අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,700ක් ඉදිරි සති 02 ඇතුළත ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් : රජයෙන් නිවේදනයක් !

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.

ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.

එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී ඇත.

අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරයි.

ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබේ.

මෙම ක්‍රමවේදය “ගැප්” ලෙස හඳුන්වන අතර, ඉන්දුනිසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබා ගෙන තිබේ.

ලංකාව ඇතුළු රටවල් 54කට දැඩි ණය සහන අවශ්‍යයි : ජාත්‍යන්තර නිර්දේශයක් !

දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වාදී ඇත.

ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් හරි අඩක් මෙම රටවල් 54 තුළ ජීවත් වන බව එම වාර්තාවේ සඳහන් කර ඇත .

ඉක්මන් ණය සහන නොලැබුණහොත් එම රටවල දරිද්‍රතාවය තවත් උග්‍ර විය හැකි බව එම වාර්තාව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පකිස්තානයේ සිට චැඩ්, ඉතියෝපියාව සහ සැම්බියාව දක්වා රටවල් දැඩි ණය අර් බුදයකින් පීඩා විඳින බව එම වාර්තාව පෙන්වාදී තිබේ.

ඇති වී තිබෙන ගෝලීය අර්බුද හමුවේ එම රටවලට සහනයක් ලබා දීම සඳහා එම රටවල් ගිවිසුම් ගත වී ඇති බැඳුම්කර ගිවිසුම් සඳහා විශේෂ වගන්ති එකතු කිරීම, ණය කපා හැරීම සහ පුළුල් සහන ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර් ධන වැඩසටහනේ පරිපාලක ස්ටයිනර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත .

මෙම රටවල ණය අර් බුද කළමනාකරණය කිරීම අපහසු වීමට පෙර එයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පවසා තිබේ.

බැඳුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ : විත්තියේ විරෝධය අධිකරණය පිළිගෙන !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) පිළිගත්තේය.

මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

මෙම නඩුව සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වවීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.

දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණ.

ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සංජීව මොරායස් (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩුව විභාග කිරීමට මෙන්ම ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු හැර අනෙකුත් විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර් ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.

2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදු කිරීම, ඒ සඳහා අාධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන මූලික විරෝධතාවක් මතුකරමින් නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෂෙරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

විත්තියේ මුලික විරෝධතාවයට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් විත්තියේ මුලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.

නඩුව දෙසැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එදින පැවැත්වීමට නියම කළේය.

- lankadeepa

මහජනතාවට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් !

මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ.

කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට මහජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි (e-mail) සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකර දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පරිදි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේ වන විට යොමු කර තිබේ.

මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු අතර, වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක් (04) ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

එසේම සියලුම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් එකී ලිපිය අදාළ, විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතුය.

කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතුය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතුය.

එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට උත්සුක විය යුතු අතර, ඒ සඳහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතුය. එලෙස ම, ඒ සඳහා සාධාරණ කාලයක් තුළ/ දැනුම්දුන් දිනට පෙර එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.

කාර්යාලය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් ලැබෙන ආයතන/අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතුය.

කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතු අතර එම නිලධාරියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගැනීමට කටයුතු කළයුතුය.
එම අවස්ථාවේදී ම, පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂය භාර නිලධරයන් විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

දවුලුගල මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට !

මහ බැංකු සහකාර අධිපති ධුරයේ සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ කේ.එම්.ඒ.එන් දවුලුගල ඔක්තෝම්බර් මස 7 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට උසස්කර ඇත.

මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද(11) ප්‍රකාශයට පත්කර ඇත.

එකී නිවේදනය අනුව මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මෙම පත් කිරීම සිදුකර තිබේ.

යෝධ පිම්මක් වෙනුවෙන් : එජාප මහ ලේකම් ධූරය රවීට !

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමට තීරණය වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පක්ෂයේ මහලේකම් ධුරය දරන පාලිත රංගේ බණ්ඩාරට පක්‍ෂයේ වෙනත් ධුරයක් හිමි වනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි .

එජාප මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික තනතුරු ද මේ සමග සංශෝධනය වනු ඇති බවත් වාර්තා වෙයි .

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වන අතර ජාතික සංවිධායක ධුරය, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් දරයි.

මේ ආකාරයට පක්ෂයේ ඉහළ නිලධාරී මණ්ඩලය සංශෝධනය සමග පක්ෂ ප්‍රවර්ධන කටයුතු වේගවත් කිරීමේ අපේක්ෂාවක් ඇති බවත් සඳහන් වෙයි.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලනය යටතේ ආර්ථික අර්බුදය සමනය වෙමින් ජනතාව දෛනික ජීවන කටයුතු බාධාවකින් තොරව සිදුවෙමින් ඇති අතර පොදුජන පෙරමුණේ මෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එක්සත් ජාතික පක්ෂය වටා එක්වීමේ ප්‍රවණතාවක් දක්වන බවත් පෙන්නුම් කරයි.

ලාෆ් ගෑස් මිලත් පහළට !

ලාෆ් සමාගම විසින් බෙදා හරින එම සමාගමේ ගෑස් මිල අඩුකිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 500කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් 200කින් මිල අඩු කර තිබේ.

නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 5300ක් වන අතර කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 2120ක් වෙයි.

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්ත්වයන් නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙන්ම මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

“කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර මේ වනවිටත් සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාමීය මට්ටමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බවත්, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් අනාවරණය විය.

ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළව වගා කටයුතු කරගෙන යාමේදී පවතින බාධක සහ ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඉන්ධන සහ පොහොර සපයා ගැනීම, ඉඩම් ගැටලු, බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු විය.

දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මකවීමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරිපත් කළ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම උදෙසා ග්‍රාමීය මට්ටමින් සිදු කළයුතු බෝග වගාවන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම තොරතුරු මත පදනම්ව ආහාර බැංකු (food bank) සහ ප්‍රජා මුළුතැන් ගෙය (Community kitchen) යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

2023 වසර දක්වා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කර ජනතාවගේ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආර්ථික අර්බුදයට සූදානම් වීමට මෙම වැඩසටහන උපයෝගී කර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නේය.

සති 03කින් පසු සතියකට වරක් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  අලුතින් වගා කරන පිරිස් සඳහා ඉඩම් ලබාදීම කඩිනම් කිරීම සහ ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරි වැසි සමය නව බෝග වගාවන් සඳහා සුදුසු වන අතර ප්‍රමාදයකින් තොරව ඒ සඳහා යොමුවීමට ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පැහැදිළි කළේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන අය සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
2022-10-11

අතුරුදහන්වූවන්ගේ ළඟම ඥාතියාට ගෙවන මුදල ඉහළට !

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය සඳහා ගෙවනු ලබන මුදල රුපියල් ලක්‍ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගෙන අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුලේ ළඟම ඥාතියාට රුපියල් ලක්‍ෂයක දීමනාවක් එක්වර ගෙවීමට කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු මස තීරණය කළ අතර, එම මුදල ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවන නිසා මෙම දීමනාව ලබාදීමේදී අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූරණ කාර්යාලය විසින් තහවුරු කිරීම ප්‍රමාණවත් බව ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

ජන ඒකරාශී පාලනයට පුහුණුව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි !

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් අද(11) සිදු විය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී ය.

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් , ජන ඒකරාශී වීම් පාලනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබේ.

ම ශ්‍රී ලංකා පොලිසිය ජන ඒකරාශී වීම් පාලනය කිරීමේදී කිසිදු පාර්ශවයක් අගතියට පත් නොවන ආකාරයෙන් කටයුතු කිරීමෙ වැදගත්කම බෙන් මෙලර් සඳහන් කර සිටියේය.

මෙම ජන ඒකරාශී වීම් නීත්‍යානුකූල අවසර ගැනීමකින් තොරව සිදුවන විට ශ්‍රී ලංකා පොලිසියට ඒ සඳහා ක්‍රියාත්මක වීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී අවධාරණය කර ඇත.

නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන වගකීමක් බව බෙන් මෙලර් හා සාරා හල්ටන් පිලිගන්නා බවද මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් වෙත පවසා ඇත.

තවද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත ජන එකතුවීම් පාලනය පිලිබඳව පුහුණු වැඩමුළුවක් සංවිධාන කිරීමට සහායෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මෙහිදී ඉල්ලීමක් කෙරිණි.

තවද ජන ඒකරාශී වීම්වලදී කුඩා දරුවන් පලිහක් විදියට යොදාගැනීම නොකල යුත්තක් බව බෙන් මෙලර්, සාරා හල්ටන් , ටිරාන් අලස් අමාත්‍යවරයාගේත් ඒකමතික අදහසව තිබේ.

ජොනී ඇතුළු 03කට විදෙස් ගමන් තහනමක් !

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත.

ඒ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළ බවට චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා භාරදෙමින් අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේය.

නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුවිය.

අනතුරුව විත්තිකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

මෙම නඩු විභාගය නොවැම්බර් 29 වනදා තෙක් කල් තැබීය.

ආණ්ඩුව නිසා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියකින් රට ගොඩනඟමු - ජනපති

රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.

තරගකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

මම පළමුවෙන්ම මෙම සමාගමේ සභාපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමා අනාගතය දිහා හොඳින් බැලුව කෙනෙක්. අපට තිබෙන ඖෂධ හිඟය පිළිබඳ එතුමාට හොඳ අදහසක් තිබුණා. එතුමා දැනගත්තා ලංකා වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා මේ සමාගම ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයීමට විතරක් නෙවේ, ජාත්‍යන්තරයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරමින් අපේ අපනයන කර්මාන්තයත් දියුණු කරන්න පියවර අරන් තිබෙනවා.

තරුණයෙක් ලෙස එතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේ ආයෝජනය සිදු කර තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ අසීරුම කාල වකවානුවක බව කිව යුතුයි. අපේ වැය ශීර්ෂයේ තිබෙන හිඟකම මේ ආර්ථිකය කඩා වැටීමට එක හේතුවක්. අපට ලැබෙන විදේශ විනිමය අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා සෑම වසරකම ණය ලබා ගන්න. දැන් ණය ගෙවන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. අපේ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුයි. සාර්ථක වෙන්න නම් අපි එකක් මතක තියාගන්න ඕන. අපිට අවශ්‍ය විදේශ විනිමය අප උපයා ගත යුතුයි. විදේශ විනිමයේ හිඟයක් තබා ගන්න බැහැ. වැය ශීර්ෂ හිඟයක් තියාගන්න බෑ. අපේ අරමුණ විය යුත්තේ වැය ශීර්ෂයේ අතිරික්තයත් තබා ගැනීම. එහෙම නම් අපේ විදේශ ආදායම් වැඩි කර ගන්න ඕන.

ඒ සඳහා අපනයනය අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ, වගා කරන බෝග වගේම ලබා දෙන සේවාවන් ඉහළ නංවා ගත යුතුයි. අපට අවශ්‍යව ඇත්තේ ඉතාම තරඟකාරී තාක්ෂණය යොදවන අපනයන කෙරෙහි යොමූ වූ ආර්ථිකයක්.

අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී තිබෙනවා. සමහර අය වේලක් කුසගින්නේ ඉන්නවා. මේවට අපි දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න ඕන. නැවත ඒ තත්ත්වයට ගිහින් විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා තමයි අද ඉතා තරඟකාරී, නවීන තාක්ෂණය යොදවන අපනයන ආර්ථිකයක් ඇතිකරගන්න සැලසුම් හදන්නේ. ඒ සඳහා තමයි අපි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.

අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න මහතා එදා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලුදෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා.

අපි සියලුදෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතුයි. අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න. ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුලේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ.

අපිට හොඳ ආර්ථික රාමුවක් තිබිය යුතුයි. හොඳ සමාජ රාමුවක් වගේම දේශපාලන රාමුවක් තිබෙන්න ඕන. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවේ ස්ථාවරභාවය මත. ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි නම් දුක් විඳින්නේ රටේ ජනතාව .

අද සියලු පක්ෂ මෙතන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ හැර. ඒ නිසා මම මෙතනදි කියන්න කැමතියි අපි ජාතික රාමුවක් අනුව වැඩ කරමු. එතකොට ආණ්ඩු මාරු වෙනවද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලුදෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ.

අපි ජාතික සභා ඇති කළා. මම බලාපොරොත්තු වෙන්නේ මේක වේදිකාවක් කර ගන්න මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න හා ඒවා ක්‍රියාත්ම කරන්න.

අද මෙම ව්‍යාපෘතියෙන් අපිට විදේශ විනිමය ලබා ගන්න නව මාර්ගයක් ලැබී තිබෙනවා. 2017 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ආවා වගේ අපි සියලුදෙනාට එකතුවෙලා එක ප්‍රතිපත්තියකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එය අපි ඉෂ්ට කරගමු.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 

සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තිය වුණේ ෆාමසි නිෂ්පාදන පිටරට යැවීමයි. අද යාඩෙන් ආයතනය විසින් සිදු කරනු ලබන්නේ ද එයයි. පහුගිය කොවිඩ් කාල කාලසීමාව තුළදී ඖෂධ වර්ගවල අවශ්‍යතාව තදින්ම දැනුනා. ඖෂධ අපනයනය කරන සමාගමක් ලෙසින් යාඩෙන් ආයතනය අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ සඳහා අප දායකත්වය සැපයිය යුතුයි. ජාත්‍යන්තර වේදිකාව තුළ යාඩෙන් ආයතනය ඉදිරියට ගෙන යාමට අපට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. මේ රට මුහුණ දී තිබෙන ඩොලර් ගෙන්වා ගැනීමට ද එමගින් හැකියාව තිබෙනවා මෙවැනි තරුණ ව්‍යවසායකයන්ට අප අත දිය යුතුයි . එමගින් අපේ රට තුළ විදේශ විනිමය ඉතිරි කරගත හැකියි.

 යාඩෙන් ලැබොරටරීස් ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති ශශීමාල් දිසානායක,

පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදියන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.

යාඩෙන් ආයතනයේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වරාය හා නාවික ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, දුමින්ද දිසානායක, මයන්ත දිසානායක, සුජිත් සංජය, හර්ෂණ රාජකරුණා, නිමල් ලංසා, ජේ.සී අලවතුවල, ඉරාන් වික්‍රමරත්න, , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221010 WA0057

IMG 20221010 WA0052

 

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණයට  ශ්‍රී ලංකාව සහ ජපානය අත්සන් තබයි !

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.

ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී.

මෙම යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්‍රණයකි.

ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක කරනු ලබයි.

කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.

මෙම යාන්ත්‍රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරේ.

එමෙන්ම මෙම යාන්ත්‍රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ක්‍රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්‍රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීම ද එම ව්‍යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්‍රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට ද දායක වනු ඇත.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

තවද, මෙම යාන්ත්‍රණය (JCM), ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මගපෙන්වීමෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ සුවිශේෂී අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත..!

තිලිණි ප්‍රියමාලි කේස් එක ගැන ගොඩක් කට්ටිය ගොඩක් දේවල් ලියල තියනවා දැක්ක. ගොඩක් අය සතුටු වෙන්නේ සුදු (දේශපාලනය) සහ කහ (ආගම) රෙදි ඇඳගත්ත උන් ටිකක් ඒක නිසා රෙදි ගලවා ගත්ත එක ගැන. රහත්, අර්හත්, සෝවාන්, සකෘදාගාමී සෙට් එකේ සුදු පැවැත්ම යට තියන කළු අඳුර ස්ත්‍රී ශරීරයක් හරහා නිරුවත් වීම එතරම් අලුත් දෙයක් නම් නෙවෙයි.

ලෝකේ කොහෙත් ගැහැණිය සහ සල්ලි එකට ගමන් කරනවා. ඒ ගමන ගොඩක් වෙලාවට අශ්ලීල එකක්.

අපි මේ කතා කරන්නේ සල්ලි නැතුව හොම්බ බිම ඇනුන රටක් ගැන. හිඟාකන රටක් ගැන. ලෝකේ පීචන් වෙන රටක් ගැන. එහෙම රටක ගැහැණියක් සහ ද්‍රවශීල ව්‍යාපාරයක් ගැන.

පිරිමි එකතු වෙලා සුදු රෙදි ඇඳගෙන හප කරපු රටක ප්‍රියමාලි මෙහෙම කරන එක විශ්වාස කරන්න බැරි දෙයකුත් නෙවෙයි.

සල්ලි හොයන්න ශ්‍රමයවත්, නිෂ්පාදනවත්, බුද්ධියවත් ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ වසඟය. ඒ සඳහා වන සංඥා මැසිම (sign-machine) තමයි ප්‍රියමාලි මේ හදල තිබිල තියෙන්නේ.

ටෙලියක රඟපෑව, ප්‍රසිද්ධ උනා, දේශපාලකයෝ ටිකක් දැනහඳුනා ගත්ත, ලෝක වෙළඳ සංකීරණයේ ඔෆිස් එකක් දා ගත්ත, ලස්සනට ඇඳ පැළඳ ගත්ත, බිස්නස් ලෝකේ වචන ටිකක් අහුලා ගත්ත, හොලිවුඩ් ෆිල්ම් වල වගේ කළු ඇඳ ගත්ත බොඩි ගාඩ්ල ටිකක් ගත්ත. ගිණිකනා වට්ටන්න දැන් සියල්ල සුදානම්. මැෂින් එක රෙඩි. දැන් පුළුවන් අඳුරු ගුහා ඇතුලේ තියන ''නැති සල්ලි'' වලට ලංවෙන්න.

සල්ලි නැහැ කියල කිව්වට සල්ලි තියනවා. හැබැයි ඒවා තියෙන්නේ අඳුරු ගුහාවල. ඒ ගුහාවලට යන්න පුළුවන් නිශාචර වවුලන්ට විතරයි. මට අනුව ඔය කියන ප්‍රියමාලි එහෙම නිශාචර පැවැත්මක්. ප්‍රියමාලි එහෙම කරන්නේ සුදු රෙදි කච්චි ගණන් ඇඳලා, පන්සල් වටේ ගිහිල්ල. නිකම් පන්සල් නෙවෙයි. පෝස්ට් මොඩන් පන්සල්. සල්ලි දෙයියන්ගේ මල්ලි වෙච්ච පන්සල්.

ප්‍රියමාලි කියන්නේ මිනිස් පැවැත්ම ඇතුලේ බුජු බුජු ගාන මුදල් ආශාව, තණ්හාව, ලාභය උලුප්පල අරන් ඒක එක්ක සෙල්ලම් කරලා තමන්ගේ කොටස සාක්කුවේ දාගන්න පුළුවන් ද්‍රවශීල ප්‍රාග්ධන චරිතයක්.

මිනිස්සුන්ට ගුටි දීල රැකගන්න හදන දේශපාලනයේ සහ ආගමේ අශ්ලීල පැත්ත ඕක තමයි.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශ කරල දානවා. මම කියන්නේ එක අතකට එහෙම වෙන්න ඕනි කියල.

එයා ඉස්සරහ දියවුණ පිරිමි කියන්නේ හයිය පිරිමි නම් නෙවෙයි. මොකද බුදුන් තණ්හා මර දූතිය ඉස්සරහා කෙළින් හිටියා. මුං වසඟ මැෂිම ඉස්සරහ දිය වෙලා යනවා. මම හිතන්නේ ගොඩක් අය මේ සිද්දිය නිසා සතුටු වෙන්නේ ඒ මහා පොරවල් කියල කියන මාධ්‍ය චරිත දියවෙලා යන හැටි දැකල. මරු...!

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි.

දමනු ඇත..!

ජනාධිපති රනිල්ගෙන් චන්ද්‍රිකාට තනතුරක් : ඉදිරිය ගැන ඉඟියක් ?

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කර තිබේ.

මෙම වැඩසටහනේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 6 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එම වැඩසටහන සඳහා ද හිටපු ජනාධිපතිනිය සහභාගීව සිටියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් බැවින් රජයේ ආරාධනයෙන් එම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බවයි.

හිටපු ජනාධිපතිනිය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක පුවත් මවන්නියක වන අතර ඒ හමුවේ මෙකී නව තනතුර ඉදිරි දේශපාලන සිතියම සම්බන්ධයෙන් අදහසක් මතුකරන්නක් බව විචාරක මතය වී තිබේ.

මේ වන විට ශ්‍රීලනිපයේ දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ප්‍රවේශයක හිටපු ජනාධිපතිනිය පසුවෙන අතර ඊට විකල්පයක් ලෙස හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂයක්ද නිර්මාණය කර ඇත.

දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ දුරට පක්ෂ මත පදනම් නොවූ, මේ අසීරු මොහොතෙන් රට ගොඩනගන ජාතික වැඩපිළිවෙළක් සහ ඊට සහය දක්වන බලවේග වල එකතුවක් ලෙස ඉදිරි දේශපාලනය හැඩ ගැසීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

එරික් සෝල්හයිම් ආයෙත් එයි !

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් අද(10) පස්වරුවේ මෙරටට පැමිණ ඇත .

ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

වාර්තා වන ආකාරයට ඔහුගේ මෙම සංචාරයේදී මෙරට ඉහල පෙලේ රාජ්‍ය නායකයන් හමු වී සාකච්චා පැවැත්වීමට නියමිතව ඇත.

මීට පෙර එරික් සෝල්හයිම් මෙරට සාම සාකච්ඡා පිළිබඳ නෝර්වේ විශේෂ සාම නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Page 245 of 440