රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.
තරගකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
මම පළමුවෙන්ම මෙම සමාගමේ සභාපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමා අනාගතය දිහා හොඳින් බැලුව කෙනෙක්. අපට තිබෙන ඖෂධ හිඟය පිළිබඳ එතුමාට හොඳ අදහසක් තිබුණා. එතුමා දැනගත්තා ලංකා වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා මේ සමාගම ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයීමට විතරක් නෙවේ, ජාත්‍යන්තරයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරමින් අපේ අපනයන කර්මාන්තයත් දියුණු කරන්න පියවර අරන් තිබෙනවා.
තරුණයෙක් ලෙස එතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේ ආයෝජනය සිදු කර තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ අසීරුම කාල වකවානුවක බව කිව යුතුයි. අපේ වැය ශීර්ෂයේ තිබෙන හිඟකම මේ ආර්ථිකය කඩා වැටීමට එක හේතුවක්. අපට ලැබෙන විදේශ විනිමය අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ.
ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා සෑම වසරකම ණය ලබා ගන්න. දැන් ණය ගෙවන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. අපේ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුයි. සාර්ථක වෙන්න නම් අපි එකක් මතක තියාගන්න ඕන. අපිට අවශ්‍ය විදේශ විනිමය අප උපයා ගත යුතුයි. විදේශ විනිමයේ හිඟයක් තබා ගන්න බැහැ. වැය ශීර්ෂ හිඟයක් තියාගන්න බෑ. අපේ අරමුණ විය යුත්තේ වැය ශීර්ෂයේ අතිරික්තයත් තබා ගැනීම. එහෙම නම් අපේ විදේශ ආදායම් වැඩි කර ගන්න ඕන.
ඒ සඳහා අපනයනය අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ, වගා කරන බෝග වගේම ලබා දෙන සේවාවන් ඉහළ නංවා ගත යුතුයි. අපට අවශ්‍යව ඇත්තේ ඉතාම තරඟකාරී තාක්ෂණය යොදවන අපනයන කෙරෙහි යොමූ වූ ආර්ථිකයක්.
අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී තිබෙනවා. සමහර අය වේලක් කුසගින්නේ ඉන්නවා. මේවට අපි දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න ඕන. නැවත ඒ තත්ත්වයට ගිහින් විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා තමයි අද ඉතා තරඟකාරී, නවීන තාක්ෂණය යොදවන අපනයන ආර්ථිකයක් ඇතිකරගන්න සැලසුම් හදන්නේ. ඒ සඳහා තමයි අපි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.
අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න මහතා එදා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලුදෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා.
අපි සියලුදෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතුයි. අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න. ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුලේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ.
අපිට හොඳ ආර්ථික රාමුවක් තිබිය යුතුයි. හොඳ සමාජ රාමුවක් වගේම දේශපාලන රාමුවක් තිබෙන්න ඕන. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවේ ස්ථාවරභාවය මත. ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි නම් දුක් විඳින්නේ රටේ ජනතාව .
අද සියලු පක්ෂ මෙතන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ හැර. ඒ නිසා මම මෙතනදි කියන්න කැමතියි අපි ජාතික රාමුවක් අනුව වැඩ කරමු. එතකොට ආණ්ඩු මාරු වෙනවද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලුදෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ.
අපි ජාතික සභා ඇති කළා. මම බලාපොරොත්තු වෙන්නේ මේක වේදිකාවක් කර ගන්න මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න හා ඒවා ක්‍රියාත්ම කරන්න.
අද මෙම ව්‍යාපෘතියෙන් අපිට විදේශ විනිමය ලබා ගන්න නව මාර්ගයක් ලැබී තිබෙනවා. 2017 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ආවා වගේ අපි සියලුදෙනාට එකතුවෙලා එක ප්‍රතිපත්තියකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එය අපි ඉෂ්ට කරගමු.
සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල
සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තිය වුණේ ෆාමසි නිෂ්පාදන පිටරට යැවීමයි. අද යාඩෙන් ආයතනය විසින් සිදු කරනු ලබන්නේ ද එයයි. පහුගිය කොවිඩ් කාල කාලසීමාව තුළදී ඖෂධ වර්ගවල අවශ්‍යතාව තදින්ම දැනුනා. ඖෂධ අපනයනය කරන සමාගමක් ලෙසින් යාඩෙන් ආයතනය අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ සඳහා අප දායකත්වය සැපයිය යුතුයි. ජාත්‍යන්තර වේදිකාව තුළ යාඩෙන් ආයතනය ඉදිරියට ගෙන යාමට අපට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. මේ රට මුහුණ දී තිබෙන ඩොලර් ගෙන්වා ගැනීමට ද එමගින් හැකියාව තිබෙනවා මෙවැනි තරුණ ව්‍යවසායකයන්ට අප අත දිය යුතුයි . එමගින් අපේ රට තුළ විදේශ විනිමය ඉතිරි කරගත හැකියි.
යාඩෙන් ලැබොරටරීස් ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති ශශීමාල් දිසානායක,
පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදියන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.
යාඩෙන් ආයතනයේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වරාය හා නාවික ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, දුමින්ද දිසානායක, මයන්ත දිසානායක, සුජිත් සංජය, හර්ෂණ රාජකරුණා, නිමල් ලංසා, ජේ.සී අලවතුවල, ඉරාන් වික්‍රමරත්න, , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.