පුවත්
ගෝඨා ඇමරිකාවට !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද (26) පිටත්ව ගොස් ඇත .
වාර්තා වන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ඇත.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .
මත්තල 2021 දී කෝටි 444 ක අලාභයක් !
මත්තල ගුවන්තොටුපොළ 2021 වසරේදී රුපියල් බිලියන 4.44ක (කෝටි 444) ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව විගණන වාර්තාවක් අනාවරණය කර ඇත .
එසේම රත්මලාන ගුවන්තොටුපොළ ද රුපියල් මිලියන 461ක අලාභයක් ලබා ඇති බවත් එහි සඳහන් ය.
මේ අතර වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා 'ලංකාදීපය'ට පවසා ඇත්තේ හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැති බව ය.
කෙසේ වෙතත් ගුවන් යානා නඩත්තුව වැනි කටයුතු සම්බන්ධයෙන් යම් යම් පිරිස් ඉදිරිපත් වෙමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්කළ විමසුමකදීය.
මේ අතර යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල් කිසිදු ආදායමක් ලබා නොමැති බව ද අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
එම ගුවන්තොටුපොළවල කාර්යසාධනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන නිරීක්ෂණයකදී එබව අනාවරණය වී ඇත.
එසේ ම, මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා දරන ලද රුපියල් මිලියන 36,564ක් වූ ප්‍රාග්ධන වියදම ඵලදායි ලෙස භාවිත කර නැති බව නිරීක්ෂණය වී ඇති බව ද විගණකාධිපති වාර්තාව සඳහන් කරයි. එම ඉදිකිරීම සඳහා ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය සඳහා ණය පොළිය ලෙස 2010 වසරේ සිට 2015 මාර්තු දක්වා කාලපරිච්ඡේදය තුළ මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 1,708ක මුදලක් සහ ගුවන් සමාගම විසින් 2015 වසරේ අප්‍රේල් මාසයේ සිට 2022 මාර්තු මාසය දක්වා රුපියල් මිලියන 3,532ක මුදලක් ගෙවනු ලැබ ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
2021 වසරේ දෙසැම්බර් 31 දිනට එම ණය මුදලේ ශේෂය අමෙරිකානු ඩොලර් මිලියන 109ක්ව තිබුණු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
මත්තල ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් පමණ වුව ද පසුගිය වසර 5ක කාලය තුළම ගුවන්තොටුපොළ භාවිත කර ඇති මුළු මගීන් සංඛ්‍යාව 91,747ක් වන බව ද විගණකාධිපති වාර්ෂික වාර්තාව සඳහන් කරයි.
පසුගිය වසර 5ක කාලය තුළ ගමන් කළ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396ක් පමණක් බව ද එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව 2021 වර්ෂයේදී මත්තල ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතුවලින් රුපියල් මිලියන 4,440ක ශුද්ධ අලාභයක් සහ 2017 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් මිලියන 20,590ක සමුච්චිත ශුද්ධ අලාභයක් ලබා ඇති බවද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිය මෙහෙයුම් කටයුතුවලින් අඛණ්ඩව අලාභ ලබා ඇති බව ද 2017 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් මිලියන 1,693.66ක සමුච්චිත අලාභයක් සහ 2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 461.08ක අලාභයක් ලබා ඇති බව ද එම වාර්තාව හෙළි කරයි.
2020 සහ 2021 වර්ෂවලදී එම ගුවන්තොටුපොළේ එක් වසරකට ගුවන් යානා 13 බැගින් පමණක් හසුරුවා ඇති බව ද හැසිර වූ මගීන් සංඛ්‍යාව 2020 වසරේ 60ක් සහ 2021 වසරේ 28ක් පමණක් වන බව ද එම වාර්තාව සඳහන් කරයි.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී මගීන් සඳහා විවෘත කර තිබුණ ද පසුගිය වර්ෂ 3ක කාලය තුළ සිය මෙහෙයුම් කටයුතුවලින් අඛණ්ඩව අලාභ ලබා තිබුණු බව ද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන අතර 2021 වර්ෂයේදී පරිපාලන වියදම ලෙස රුපියල් මිලියන 40.74ක වියදමක් දරා තිබුණ ද කිසිදු ආදායමක් උපයා නොතිබුණු බවද එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, මඩකළපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පසුගිය වසර 5ක කාලය තුළ කිසිදු ආදායමක් උපයා නොමැති බව ද එසේ වුවද පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 74.64ක මුදලක් වැය කර තිබුණු බව ද විගණකාධිපති වාර්ෂික වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
මාලදිවයින් හිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්
දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවන්ට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරට අපරාධ අධිකරණය (දෙසැම්බර් 25 වැනිදා) වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05 ක දඩයක් නියම කරනු ලැබීය.
පෞද්ගලික සමාගමකින් නීතිවිරෝධීව මුදල් ලබා ගැනීම ඇතුලු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.
කෙසේ වෙතත් යමීන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
හිටපු ජනපති යමීන්ට 2018 දී බලය අහිමි වූ නමුත් 2023 දී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ඔහු මාලදිවයින් ප්රගතිශීලී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අබ්දුල්ලා යමීන් මාලදිවයින් හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අඩ සහෝදරයෙකි.
2019 දී ද ඔහුට වසර පහක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කෙරුණු අතර නිවාඩු නිකේතන සංවර්ධන අයිතීන් බදු දීමෙන් රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම චෝදනා එල්ලවී තිබුණි.
දඬුවම් කිරීමෙන් පසු, යමීන් 2020 දී නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කරන ලදී.
නිදහස් වූ දා සිට, යමින් මාලදිවයිනේ ඉන්දියානු බලපෑමට එරෙහි ව්‍යාපාරයක් සමඟ නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය.
ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික නාවික මංතීරුවලට ආසන්නව පිහිටා ඇති මාලදිවයින, කලාපය තුළ බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර බල තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.
බීබීසී
විපක්ෂයේ කෙරුමෙක්: හිතවත් කම නිසා විශ්රාමයේ හැප්පෙයි !
විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන, වෙන්ඩ ජනාධිපති හීන මවාගෙන ඉන්න මහත්තයෙක් නොකෙරෙන දීගෙක පැටලිලා සැප බයිට් එකක් වෙන සීන් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ .
සිද්ධිය ගැට ගැහිලා තියෙන්නේ රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යන ප්‍රතිපත්තිය මත. ඔය ප්‍රතිපත්තිය නිසා විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන, වෙන්ඩ ජනාධිපති හීන මවාගෙන ඉන්න මහත්තයට මාරම හිතවත් මැතිසබා සේවකයන් අවුරුදු හැටෙන් පැන්ෂන් යැවීම ගැන තමයි උයියා කරගෙන තියෙන්නේ .
මේ මැතිසභා සේවක ඩබලට දෙසැම්බර් අවසන් සතියේ ගෙදර යන්න වෙලා තියෙන්නේ . හැබැයි ඒ දෙන්නට ඕන තවත් අවුරුද්දක්වත් සේවයේ ඉන්නලු.
ඒ හින්ද කවුන්සිලේ රැස්වෙන හැම දවසකම වගේ අර විපක්ෂයේ උන්නැහේ විශේෂ කතාවක් කරමින් දියවන්නා කවුන්සිලේ සේවකයන් පෙන්ෂන් යැවීමේ වයස අවුරුදු 61 කරන්නම කියල කියනවලු...
මේක නිතරම කියන්න ගිහිල්ල දැන් ඒ කතාව තරමක විහිළුවක් බවටත් පත්වෙලා කියලයි ආරංචි...
මේ විපක්ෂ ලොක්කා කොහොම කිව්වත් පැන්ෂන් වයස වෙනස් නොකරන්න ආණ්ඩුව තීන්දු කරල ඉවරලු. බලන්න නේද විපක්ෂයේ නායක වගේ ඉඳලා , වෙන්ඩ ජනාධිපති හීන මවන අතරේ තමන් දන්න කියන අය වෙනුවෙන් විතරක් ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඉල්ලන හැටි. මෙහෙම එක්කෙනෙක් ජනාධිපති වුනොත් කොහොම තියෙයිද කියලා ටෙලිෆෝන් පාටියේ කෙරුමොත් දැන් දැන් කතා වෙනවලු.
දේශපාලන වාර්තාකරු
ටෙලිෆෝන් පක්ෂයේ තරුණ මන්ත්‍රී ඉල්ලා අස්වෙයිද ?
අපි මේ කියන්න යන උන්නැහේ ටැලිෆෝන් පාටියෙ තරුණ මන්ත්‍රී සයිස් මහත්තයෙක්. එන්නෙ මිණිපුරේ ඉඳල... ඉතින් උන්නැහේ තමන් පක්ෂයෙ දරන සහකාර මට්ටමේ ලේකම් තනතුරකින් ඉල්ලා අස්වෙන්න හදන බවට වාර්තා වෙලා තිබෙනවා.
මෙයට කළිනුත් මුන්නැහේ දෙතුන් පාරක්ම තමන් පක්ෂයෙ දරන පට්ටම්වලින් ඉල්ලා අස්වෙන බව කියල තිබුණ. ඒත් ගියේ නම් නැහැ. ඉතින් සමහරැ නම් කියන්නෙ මේ ඉල්ලා අස්වෙන කතාව නාට්‍යයක් කියලයි.
කොහොම නමුත් මේ පාර මුන්නැහේ ඉල්ලා අස්වෙනවය කියන්න හේතුව පොටෝ ප්‍රශ්නයක් කියල ආරංචියි... පසුගියදා තිබුණ පක්ෂ සංවත්සරේ වෙලාවෙ වේදිකාවෙ හයිකරල තිබුණ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙ ඡායාරූප පුවරුවෙ මෙයාගෙත් තවත් පක්ෂයෙ ඉහළ තනතුරක් දරන නෝන කෙනෙක්ගෙත් පින්තූර තිබුණෙ නැතිලු.
ඇත්තටම ඒක සංවිධායකයන් අතින් වුණ අත්වැරුද්දක් බව වගකිවයුතු අය සොයාගෙන මෙයාට කියලත් තිබුණලු. එහෙම කියද්දිත් මෙය දිගටම පක්ෂය එක්ක කොක්ක දාගන්නලු හදන්නෙ... ඒ අතරෙ තමන්ගෙ පැරණි නායකය වන වත්මන් රටේ නායකතුමා ගැනත් වර්ණනා කරනවලු. ඒ නිසා මෙවර මෙයාගෙ නාට්‍යය ඉවර වෙන්නෙ කොතැනින්ද කියල තමයි පක්ෂයෙ සමහරු බලා ඉන්නව කියන්නෙ.
-Deshaya
විදෙස් රැකියා ඒජන්සි 400 ක : ලයිෂන් කැන්සල් !
චෝදනා ඇති විදේශ රැකියා ඒජන්සි 400ක බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි .
මෙම රැකියා ඒජන්සි ආයතන සංචාරක වීසා මඟින් මැද පෙරදිග ඇතුළු රටවල් රැසකට විගමනිකයන් රැකියා පිණිස යොමු කර ඇති අතර එම විගමනිකයන් ගේ රැකියා ස්ථිරත්වය ඇතුළු තොරතුරු කාර්යාංශයට ලබා නොදීම ඇතුළු කාර්යාංශය විසින් පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කිරීම මත මෙම තහනම පනවා ඇතැයිද ඇමැතිවරයා පවසයි .
එසේම විමර්ශන කටයුතු හා පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කාර්යාංශ කොන්දේසි හා කම්කරු නීති උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි ආයතන 13ක කම්කරු බලපත්‍ර අවලංගු කිරීමටද කටයුතු කර ඇත.
මේ වසරේ ගත වූ පළමු මාස 11 තුළදී ලද පැමිණිලි මත පුද්ගලයන් 75 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් 13 දෙනකු විදේශ රැකියා ඒජන්සි හිමිකරුවන් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
එම කාලය තුළ පමණක් කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සි ආයතනවලට එරෙහිව පැමිණිලි 614ක් ලැබී ඇති අතර එයින් පැමිණිලි 115ක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
නියමිත වෙලාවේ ජන්දය තියෙනවා : රැට්ටලා බැට්ටලා පෙරටුගාමීන් හයිය පෙන්වන්න !
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොයවා පැවතිය යුතුම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
නමුත් මැතිවරණය පැවැත්වීමට යම් යම් ගැටලු ඇති නමුත් එය පැවැත්විය හැකි පළමු මොහොතේ පැවැත්වීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි .
එසේ පවත්වන මැතිවරණයට අරගලකරුවන් සියල්ලන්ද ඉදිරිපත් වී තම ශක්තිය පෙන්විය යුතු බවත් රැට්ටලා, බැට්ටලා මෙන්ම රූපවාහිනියට පැන දේශන දුන් අයද පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී තමන්ට ජන සමාජය තුළ ඇති ශක්තිය හා පිළිගැනීම පෙන්නුම් කල යුතු බවත් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ ද මැතිවරණයට ඉදිරිපත් කර තම ශක්තිය යුතු බවද ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට පිවිස රටේ පාලනයට මැදිහත් වීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
මහ මැදුරටත්, දුගී පැලටත් සතුට එක ලෙස ලබා දීම රජයේ ඉලක්කයයි - ජනාධිපති
මහ මැදුරට ත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබා දීම තම රජයේ ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නත්තල් දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත්කරමින් ය.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති එම සම්පූර්ණ පණිවිඩය පහත දැක්වෙයි .
“සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි.
එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.
බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන් ම ආදර්ශයක් ගෙන දුන්නේ ය. උන්වහන්සේ මුළු දිවිය ම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ය.
ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය යි.
“වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු,” යනුවෙන් සුදතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි.
මහ මැදුරට ත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබා දීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතු ය.
කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා! යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා! යි ශුභාශිංසනය කරමි.”
සීමා නීර්ණ කොමිසමේ රැස්වීම : සජබ - පොහොට්ටුව වර්ජනය කරලා !
මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණ කොමිසම විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමක් පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය පක්ෂය විසින් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ සීමා නිර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා දේශපාලන පක්ෂ කැඳවා පවත්වන ලද විශේෂ රැස්වීම මෙසේ එම පපක්ෂ විසින් වර්ජනය කර තිබේ.
විශේෂ සිදුවීම වන්නේ මෙම පපක්ෂ දෙක පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කිරීම ය.
කෙසේ වුවත් පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ සහ සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ මෙම හමුවට පැමිණ ඇති බවත් වාර්තා වෙයි .
අදාළ රැස්වීමට සහභාගි වූ බහුතර පක්ෂ ඉල්ලා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි .
ඇතැම් පක්ෂ සීමා නිර්ණය මගින් මහජන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීමට විරුද්ධව අදහස් දක්වා ඇති බවත් තවත් සමහර මුස්ලිම් හා දෙමළ පක්ෂ සීමා නිර්ණය කටයුතු කෙරේ තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කර ඇති බවත් දැනගන්නට ඇත .
කෙසේ වෙතත් මෙම රැස්වීම සඳහා නොපැමිණි දේශපාලන පක්ෂවලට මෙම මස 27 දින පැවැත්වෙන දේශපාලන පක්ෂ රැස්වීම සඳහා නැවත ආරාධනා කරන බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණ කොමිසම පවසයි .
දිස්ත්‍රික්ක 04කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්ක 04 වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාවට කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත්වන ලෙසයි.
මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබේ.
ඒ,මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම හේතුවෙනි.
දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න ප්‍රකාශ කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ආශු CID යයි !
ජනාධිපති හිටපු උපදේශක ආශු මාරසිංහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආශු මාරසිංහ මෙසේ පැවසීය .
"මෙය නීතිය ඉදිරියේ තියෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා මේ ගැන කතා කරයි."
අනතුරුව ආශු මාරසිංහගේ නීතිඥයා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
"ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත්ම පිළිකුල් සහගත, අසත්‍ය, සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා පුරා සංසරණය වෙනවා. ඒ වගේම කරුණු විකෘති කරල ලද ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා."
"මාගේ සේවාදායකයා සහ එක්තරා කාන්තාවක් අධ්යක්ෂ ධුරය දරන සමාගමක ඇතිවෙන ආරවුලක්. ඒ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ පසුබිම තමයි මේ දේවල් සිදුවෙන්නේ."
පුංචි ජන්දය ගැන මැතිවරණ කොමිසමේ තීන්දුව මෙන්න !
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම ජනවාරි මස 05 වැනි දිනට පෙර නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත .
ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ දී ඊයේ (23) පැවැති සාකච්ඡාව අවස්ථාවේ ය.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය සහ නාම යෝජනා භාර ගන්නා කාලය පිලිබද දැන්වීම දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කරන බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණ.
එහෙත් ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ එම දැන්වීම ජනවාරි මස 05 වැනි දිනට නිකුත් කිරීමට ය.
මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් ඊයේ පෙරවරුවේ කොළඹට කැඳවා තිබූ අතර එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි .
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස මැද දිනක දී පැවැත්වෙනු ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.
නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමත් නඩුවක් වෙලා !
පොලිස් ස්ථාන 260ක් සඳහා නව ස්ථානාධිපතිවරුන් පත්කරමින් ඊට අදාළ ලැයිස්තුව ඊයේ (23) දිනයේදී නිකුත් කර තිබිණි.
කෙසේවෙතත් මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිට තමන්ට අවශ්‍ය අය එක් එක් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වශයෙන් පත්කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙවර පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණේ ඊට අදාළ නිසි වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමිනි. එනම්, කිසිදු දේශපාලන බලපෑමකට කිසිදු ඉඩක් නොතබමිනි.
ඒ අනුව මුලින්ම පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබුණු අතර ඊට අයදුම්පත් 1300 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබිණි. ඒ සඳහා පත්කෙරුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් එම පිරිස සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලද අතර එහිදී අයදුම්කරුවන් 1024 දෙනෙකු එම මණ්ඩලය විසින් තෝරාගෙන තිබිණි. එම නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තෝරා නොගැනුණු අය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදෙන ලදී. එම දින 14 තුළ අභියාචනා ඉදිරිපත් කළ අය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අභියාචනා මණ්ඩලයක් පත්කෙරුණු අතර එහිදී තවත් 67 දෙනෙකු තෝරාගන්නා ලදී.
ඒ ආකාරයෙන් තෝරාගන්නා ලද 1091 දෙනෙකුගේ නාමලේඛනය අවසානයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ඒ නිලධාරීන්ගේ සුදුකම් අනුව ඔවුන්ව A1, A2, A3, B, C, D වශයෙන් ශ්‍රේණිගත කර තිබිණි. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන ද ඒ ආකාරයෙන්ම ශ්‍රේණිගත කර තිබෙන හෙයින් ගැලපෙන අයට අදාළ පත්වීම් ලබාදෙන ලදී.
මෙහිදී තවත් කරුණයක් සැලකිල්ලට ගෙන තිබිණි. එනම් ඒ ඒ නිලධාරියාගේ උපන් ගම හෝ පදිංචි ගම හෝ බිරිඳගේ ගමට පත්වීම් ලබා නොදීමටයි.
එලෙසින් සකස් කෙරුණු ස්ථාන මාරුවීම් ලේඛනය ඊයේ ප්‍රසිද්ධියට පත්කෙරිණි. ඇත්තෙන්ම මෙය සම්පූර්ණයෙන්ම නිසි ක්‍රමවේදය අනුගමන කරමින් පොලිස් ස්ථානාධිපති පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැකි බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.
එසේ තිබියදීත් අද (24) දිනය වනවිට ආණ්ඩු පක්ෂයේම පාර්ලිමේන්තු නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම ලැයිස්තුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලපෑම් කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. ඒ, තමතමන්ගේ හිතවතුන් තමන්ට අවශ්‍ය පොලිස් ස්ථාන සඳහා පත්කර දෙන ලෙස ඉල්ලමිනි.
ඇත්තෙන්ම දන්නා කාලයක් තිස්සේ අපේ රටේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කෙරුණේ ඒ ඒ ප්‍රදේශවල සිටින ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතුන්ට ඕනෑ ඕනෑ පරිද්දෙනි. එසේ පත්කරගත් දේශපාලන හිතවතුන් වැඩ කළේ අදාළ දේශපාලනඥයාට ඕනෑ හැටියට ය. පසුගිය මහා ජන අරගලය ආරම්භ වුණේ ද මෙවැනි දේශපාලනඥයින්ගේ දූෂිත ක්‍රියාකාරකම්වලට එරෙහිව ය. එහෙත් ඒ දේශපාලනඥයින් තවමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බව පෙනෙන්නේ ඔවුන් තවදුරටත් තමන්ගේ පැරණි දූෂිත ක්‍රියාවලියම ඉල්ලමින් බලපෑම් කරන්නට පටන් අරගෙන ඇති නිසා ය. ඔවුන් මේ නටන්නේ යළි අරගලයක් කැඳවා ගන්නා පැත්තට ය.
මේ අතර ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින්නේ මෙම ස්ථානාධිපති පත්වීම්වලට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා එරෙහි වී ඇති බවටත් ඔහු මෙම ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් ය. එහෙත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසීය. මෙම සියලුම නාමලේඛන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකර ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.
ඒ අනුව අපට කියන්නට ඇත්තේ එක දෙයකි. දේශපාලනඥයින්ගේ වුවමනාවට ඔවුන්ගේ හිතවතුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර එවන ක්‍රමවේදයක් ජනතාවට කොහෙත්ම වුවමනා නැත.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි
ටිරාන් සහ විජේදාස පොලීසියට කරන්න යන්න වැඩේ මෙන්න !
දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ( 23) පැවැත්විණි.
පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත් කර ඇති අතර, එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.
පොලිස් ආඥා පනත සංශෝධනය කරන ලෙස 2010 වසරේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර මෙම පනත සංශෝධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද උපදෙස් ලබා දී තිබේ. නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන නිලධාරීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගි විය.
ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට එරෙහි පලමු පැනල්ටිය FIFA වෙතින් !
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍ර වලට එරෙහිව මෙරටක් බහුතරයක් ක්‍රීඩා සමාජ වලින් විරෝධය එල්ලවෙමින් තිබියදී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලද අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් පළමු විරෝධය මතුව ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) යි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි Kenny Jean-Marie විසින් පෙරේදා (22) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත විද්‍යුත් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ, පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව FIFA හි බලවත් කනස්සල්ල පළකරන බවයි.
2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුකුලව හා එහි සඳහන් රාමුවට අනුකූලව නිලවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නියෝජිතයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණී අතර අනතුරුව අමාත්‍යවරයා සහ අමාත්‍යංශ බලධාරීන් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව හා නිලවරණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගනු ලැබිය. එම නියෝජිත පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු ඇතුළත් විය.
මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතු බවයි
කෙසේවුවද එසේ ඇතිකරගත් එකඟතාවයන්ට පිටුපා අමාත්‍යවරයා විසින් කඩිමුඩියේ ක්‍රීඩා සංගම්වලට අදාල ගැසට් නිවේදන තුනක් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානයට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ Kenny Jean-Marie විසින් පෙරේදා (22) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) හිටපු මහ ලේකම් උපාලි හේවගේ වෙත යොමුකර ඇති විද්‍යුත් ලිපියේ සිංහල පරිවරත්නයක් පහත පළවේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL)
උපාලි හේවගේ මහතා
මහ ලේකම්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පැරිස්, 2022 දෙසැම්බර් 22
kje/sba/nak/rta/ssa
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණ මාර්ග සිතියම
හිතවත් මහලේකම්තුමනි,
2022 ඔක්තෝම්බර් මස අවසානයේ නිකුත් කරන ලද අධිකරණ නියෝගයට අනුව එකඟ වූ මාර්ග සිතියමෙන් බැහැර වී ඇති බවට, වාර්තා පැහැදිලිව පෙන්නුම් කරන බැවින් අපව පුදුමයට පත් කළ මෑත මාධ්‍ය වාර්තා කිහිපයක් අපි සලකා බලමු.
විශේෂයෙන්ම, FFSLහි කලින් වූ ව්‍යවස්ථාව මත පදනම්ව, නව FFSL විධායක කමිටුවක් මාස හතරක කාලයක් සඳහා තෝරා ගැනීමට ලබන ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වීමට නියමිත බව අපගේ අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ අපගේ මූලාශ්‍ර හරහා අපි අතිරේකව නිරීක්ෂණය කල, FFSL මහා සභාව විසින් 2022 සැප්තැම්බර් 22 දින, FFSL නව ව්‍යවස්ථාව සම්මත කරන ලද අතර, එය අදාළ රජයේ බලධාරීන් විසින් නිරීක්ෂණය කර, අවශ්‍ය නම්, නව ව්‍යවස්ථාවෙහි "වෙනස් කිරීම්" කර සම්මත කර ගැනීම සඳහා FFSL වෙත ඉදිරිපත් කරනු ඇත.
ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, FFSL සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අදාළ නියෝජිතයන් සමඟ 2022 සැප්තැම්බර් 5-8 දිනවල කොළඹට පැමිණි පළමු දූත මෙහෙයුමෙහි පැවති පුළුල් සාකච්ඡා වලින් පසුව මාර්ග සිතියමක් සඳහා දැනටමත් එකඟ වී ඇති බව FIFA සහ AFC සිහිපත් කිරීමට කැමතියි. (cf. 2022 සැප්තැම්බර් 8 දිනැති FIFA-AFC ලිපිය). විශේෂයෙන්ම, FFSL මහා සභාව විසින් සම්මත කරන ලද නව ව්‍යවස්ථාව මත පදනම්ව, 2022 ඔක්තෝම්බර් මස අවසානය වන විට නව FFSL විධායක කමිටුව තෝරා පත් කර ගැනීමට එකඟ විය.
අවසානයේදී, පිරිස 2022 සැප්තැම්බර් 22 වන දින, නව FFSL ව්‍යවස්ථාව සාර්ථකව සම්මත කරන ලද මහා සභාව නිරීක්ෂණය කිරීම සඳහා FIFA-AFC ඒකාබද්ධ දූත පිරිස කොළඹට පැමිණියහ. එබැවින් FIFA සහ AFC සලකනු ලබන්නේ 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාව මගින් FFSL ක්‍රියාත්මක විය යුතු බව සහ එහි ඉදිරි මැතිවරණ සංවිධානය කිරීම නව ව්‍යවස්ථාපිත පදනම නියෝජනය කල යුතු බවයි. මේ සම්බන්ධයෙන්, FIFA සහ AFC හි අදහස වන්නේ, අපගේ ආරම්භක මාර්ග සිතියමේ සන්දර්භය(context) තුළන් පසුගිය මාස කිහිපය තුළ ගත් උත්සාහය සහ ප්‍රගතිය නව මාර්ග සිතියම මගින් නිසැකවම අනතුරේ හෙළනු ඇති බවයි.
මෙම පසුබිමට එරෙහිව, අපි FFSL එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත බැඳීම වෙත (cf. art.[වගන්තිය] 14 par.[ඡේදයෙහි] 1 (i) සමඟ ඒකාබද්ධව FIFA ප්‍රඥප්තිවල 1 වෙනි ඡේදයෙහි 19 වගන්තිය සහ AFC ව්‍යවස්ථාවෙහි 4 වෙනි ඡේදයෙහි 15වෙනි වගන්තියට) අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
එමෙන්ම එහි කටයුතු කිසිඳු තෙවන පාර්ශ්වයකින් අනිසි ලෙස බලපෑමට ලක් නොවන බව සහතික කරමු. තවද, FIFA ව්‍යවස්ථාවෙහි 2වෙනි සහ 3වෙනි ඡේදයෙහි 14 වගන්තියට අනුව, තෙවන පාර්ශ්වයන්හි බලපෑම අදාළ සාමාජික සංගමයේ වරදක් නොවුණත්, ඉහත සඳහන් කළ FIFA ව්‍යවස්ථාවෙහි වගකීම උල්ලංඝනය කිරීම සපයා ඇති සම්බාධකවලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අපගේ පෙර අන්‍යෝන්‍ය අවබෝධයට අනුකූලව සකස් කරන ලද මාර්ග සිතියමට අනුව වසර හතරක ධුර කාලයක් සඳහා නව විධායක කමිටුවක් තෝරා ගැනීම සඳහා නව මාර්ග සිතියමක් පිළියෙල කර 2023 ජනවාරි 3වන දිනට පෙර අපට ලබා දෙන ලෙස අපි FFSL වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු. 2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුව ඉහත සඳහන් රාමුවට අනුකූලව මැතිවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබේ.
ඉහත කරුණු සැලකිල්ලට ගැනීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වන අතර FFSL හි ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.
ඔබට විශ්වාසි,
Kenny Jean-Marie
ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි
බිල් ගේට්ස් එන වසරේ ලංකාවට !
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු තිබේ.
ඊට අදාලව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හෙයිම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන වෙත බාරදී ඇත.
මෙම තීරණයට එළැඹ ඇත්තේ එරික් සෝල්හෙයිම් සහ රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සැකච්ඡා කළ අවස්ථාවේදීය.
ලෝකයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නිරතවන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හෙයිම් ට දැනුම් දී තිබේ. එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.
එසේම ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් ට ද මෙරටට ආරාධනා කිරීමටත් ඔහුත් සමඟ එක්ව දේශගුණික විපර්යාස කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දුවී තිබේ. ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ පනත ලබන වසරේ මුල් කාර්තුවේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය කර ඇත.
බදු වෙනස ගැන මුදල් අමාත්‍යංශය කරුණු පහදයි !
ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් අද (23) මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එහිදී කොළඹ පැවති සාකච්ඡාවකදී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ ජනරාල්, කපිල සේනානායක පවසා ඇත්තේ මෙය සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවය.
පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්යක්ෂ ජනරාල්, කපිල සේනානායක පැවසූ අතර ඒ මෙසේය.
රුපියල් ලක්ෂයක ආදායමකට බදු පැනවීමක් නොමැත.
වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500
රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර ඇති බව එහිදී සඳහන් වූ අතර එසේම ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කිරීමටද නියමිත බවත් සඳහන් විය.
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන පොලිසියෙන් නිවේදනයක් !
දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් නොකඩවා පොලිස් පරීක්ෂණ සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අභිරහස් ලෙස සිදුවු ඝාතනයක් හේතුවෙන් නිවැරදි සැකකරු සොයාගැනීම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී ද ප්‍රකාශ 58ක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශ අනුව ද පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Page 215 of 440