පුවත්
සිරිසේන ශ්‍රීලන්කන් පතුරු ගහයි !
ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පාර්සලයේ සිට තිබෙන්නේ ගැහිල්ල බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි .
ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය.
ඔහු මේ අදහස් දක්වා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනමක් !
දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් මෙම මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව පැවසුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) කරුණුවාර්තා කරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ තම කොළඹ නිවසට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සිංහල බසින් ලියන ලද ලියවිල්ලක් තමන් වෙත දුන් බවය.
තමාට සිංහල බස ලිවීමට හෝ කියවීමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.
සාගල ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් අමතයි !
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.
ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.
ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදය පසුගිය ජූනි 02 වනදා සිට 04 වනදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.
ජූනි 02 වනදා ආරම්භ වූ සමුළුවේ ප්‍රධාන දේශනය ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉන්දියාව, ඕමානය, ප්‍රංශය, පාකිස්ථානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
ස්ථාවර සහ සමතුලිත ආසියා පැසිෆික් කලාපයක් ඇති කිරීම, කලාපීය ගැටලු විසඳීම, ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාවේ විකාශනය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නායකත්වය ඇතුළු විවිධ තීරණාත්මක භූ-දේශපාලනික ගැටළු පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණි.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කළ සාගල රත්නායක මහතා ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද පැහැදිළි කළේය.
මහා බලවතුන්ගේ එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු නාවික ගමනාගමනය සහ ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිළි කළේය.
මේ අතර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු ෂැංග්‍රිලා සංවාදය සඳහා එක්ව සිටි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සාගල රත්නායක කටයුතු කළේය.
සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළ සාගල රත්නායක මහතා පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළේය.
ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ වරාය සහ සැපයුම් ක්ෂේත්‍රවලට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ග්‍රෙග් මොරියාටි මහතා සහ සාගල රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම් මැඩලීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ මාණ්ඩලික කමිටුවේ ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා සහ සාගල රත්නායක අතර හමුවක් ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කර ගැනීම කෙරෙහි එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, සාගල රත්නායක සහ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් විධානයේ ආඥාපති අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා අතර පැවති හමුවේ දී ඉන්දීය සාගර කලාපයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සාගල රත්නායක මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) ආසියා සහ පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් සිපොල්ලා මහත්මිය සමඟ පැවති හමුවේ දී කලාපයට අදාළ මානුෂීය ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සාගල රත්නායක මහතා විසින් අවධාරණය කළේය.
සාගල රත්නායක මහතා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිසිරි මහතා අතර හමුවක්ද පැවැත්වණු අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණ.
මේ අතර සාගල රත්නායක සහ යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ මහතා අතර හමුවක් ද මෙම සමුළුවට සමගාමීව සිදු විය.
සිංගප්පූරුවේ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන්ග් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) විසින් පවත්වන ලද වට මේස සාකච්ඡා දෙකකට ද සාගල රත්නායක මහතා සහභාගී වූ අතර කලාපයේ ප්‍රධාන ආරක්ෂක ගැටළු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමේ වේදිකාවක් වූ එම අවස්ථාවන්ට ෂැංග්‍රිලා සංවාදයට සහභාගී වූ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 29දෙනෙකු පමණ එක්ව සිටියහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල්යයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.
එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
තහනම් ප්ලාස්ටික් වැටලීම් ඇරඹේ !
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කළ ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් හෙට (06) සිට සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි සභාපති සුපුන් එස් පතිරගේ මේ බව අවධාරණය කර සිටියි.
අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් භාවිතය පිළිබඳව සහ නීතිවිරෝධී පොලිතීන් අලෙවි කිරීමෙන් පරිසරයට සිදුවන විනාශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද සංවිධානය කර තිබුණි.
ඒ අදට යෙදී ඇති ජගත් පරිසර දිනය වෙනුවෙනි.
මෙහිදී පොලිතීන් හා ප්ලාස්ටික් තොග අලෙවි කරන පිටකොටුව ඇතුළු අනෙකුත් වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදුවිය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙසේ පැවසීය.
"අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් හා නීතිවිරෝධී ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. අපි රේගුව සමග වැඩපිළිවෙලක් ආරම්භ කළා. එය ගිවිසුම්ගතව සිදුවෙනවා. අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් වර්ග අපි වරින්වර තහනම් කරලා තියෙනවා. අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපි සකස් කරලා තියෙනවා. ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. අද දවසේ කරන්නේ දැනුවත් කිරීම පමණයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. ජගත් පරිසර දිනයට සමගාමීවයි අපි මේ දැනුවත් කිරීම් කරන්නේ."
මහ අධිකරණයට අලුත් විනිසුරුවරුන් කිහිපදෙනෙක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර ඇත.
ඒ අනුව දිසා විනිසුරුවරුන් වන ටී. ජේ. ප්‍රභාකරන්, පී. කේ. පරණගමගේ හා පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ කේ. ඩී. වයි. එම්. නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.
එසේම ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
ජෙරම්ගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීරණය !
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
අදාළ පෙත්සම අද (05) එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණ.
එම අවස්ථාවේදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයින් මීට පෙර පෙත්සම්කාර දේවගැතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 28 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙන බවත් පැවසීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 24 වනදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදුකරන බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන් බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එසේ තිබියදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර දේවගැතිවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් එම පෙත්සම සලකාබැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
පෙත්සම්කාර දේවගැතිවරයා සිය ප්‍රකාශය තුළින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ආගම් සහ ආගමික විශ්වාසයන්ට බරපතළ ලෙස ප්‍රහාර එල්ලකර ඇති බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව පෙත්සම්කාර දේවගැතිවරයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තම සේවාදායකයින් දැඩි විරෝධය පළ කරසිටින බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුනි.
පෙත්සම්කාර දේවගැතිවරයාගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් නමැත්තාට රන් ජාවාරම මෙන්ම මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී තිබෙන බවට වාර්තා පළවී ඇති බවත් ඔහු සිය නීතිවිරෝධී කටයුතු රටවල් 14ක පමණ ව්‍යාප්ත කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
මෙම ඌබට් ඒන්ජල් නමැත්තා ශ්‍රී ලංකාවටද පැමිණ ඇති බවත් පෙත්සම්කාර දේවගැතිවරයාගේ "මිරකල් ඩෝම්" නමැති යාච්ඤා මධ්‍යස්තානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 3.3 කට වැඩි මුදලක් වැයකර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා, මෙවැනි විශාල මුදලක් මෙම කටයුතු සඳහා යෙදවුණු ලැබුවේ කෙසේද ? යන්න පිළිබඳව විමර්ශන සිදු වියයුතු බවත් පැවසීය.
ඒ අනුව තම සේවාදායකයන්ට ද නඩු විභාගය සඳහා මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පෙත්සම්කාර දේවගැති ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන යන මහත්වරු විරෝධය පළ කර නොතිබුණි.
ඒ අනුව අතරමැදි පෙත්සම ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසට මෙම පෙත්සම් විභාගය සඳහා මැදිහත්වී කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුනි.
ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෙත්සමට කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී සාමාජික විනිසුරු ශිරානි ගුණරත්න සඳහන් කළේ, අද දින නියමවී තිබෙන්නේ අතරමැදි පෙත්සමට අදාළ කරුණු සලකාබැලීම පමණක් බවය.
ඉන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.
ඊට අමතරව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් අද සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට දැනුම් දුනි.
පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 30 වනදා පැවැත්වූ දේව මෙහෙයකදී තමන් විසින් පළ කරන ලද මතයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
ඊට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ව සැකකරුවෙකු ලෙස නම් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පවසන පෙත්සම්කරු, තමන් විසින් පළකළ මතය තුළින් අදාළ වරදවල් උද්ගත නොවන බවත් පෙත්සම්කරු කියා පෙන්වා දෙයි.
තමන් විසින් පළ කරන ලද මතය තුළින් ආගමික අසමගියක් නිර්මාණය වන බව පොලීසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කෙරෙන සිද්ධීන් හෝ සාක්ෂි කිසිවක් පොලීසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව පොලීසිය විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එම දේවගැතිවරයා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ත්‍රයි නිකායික සංඝ නාහිමිවරුන් අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා - LGBTQI ප්‍රජාව (video )
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.
(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).
ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාවෝ ජුනි 4 වෙනිදා මේ වසරේ 'ප්‍රයිඩ් මාසය' සමරමින් විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලූපිටිය දක්වා පා ගමනින් ගමන් කළහ.
මෙවර එය 'නිදහසේ අභිමානී පා ගමන' (Freedom Pride Parade) යනුවෙන් නම් කොට තිබුණි.
සමාජ ක්‍රියාකාරිණි චානු නිමේෂා පා ගමන ආරම්භයට පෙර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ "අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා අපේ ජනතාවට සමානාත්මතාව නෑ සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක් වෙනවා රැකියාවක් කිරීමට හැකියාවක් නෑ"
"ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා මෙය ලෙඩක් නොවෙයි සමලිංගිකත්වය මාර එකක් නොවේ එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා.අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සිය දිවි නසා ගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය" යනුවෙනි.
BBC
යුධ හමුදාව ඩ්‍රෝන යානා මගින් වී වගාවට කෘමිනාශක සහ වල්නාශක යොදයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් පසුගිය සිකුරාදා (02) දින ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක යුද්ධ හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පීගේ සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.
පළමු අදියරේදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්ෂ ආර්එස්පී සහ 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ ‘Sri Pola Pvt Ltd’ ආයතනය හා ඊට අනුබද්ධ ඇති ‘Aerogeni Pvt Ltd’ ආයතනය සමඟ එක්ව මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.
Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.
https://casite-1385010.cloudaccess.net/news?start=2862#sigProIdc8979b52ab
ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ Erhai සමුළුව චීනයේදී
ගෝලීය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ 2023 Erhai සමුළුව චීනයේ යුන්නාන් පළාතේ ඩාලි නගරයේදී පැවැත්විණ. "මිනිසා සහ සොබාදහම සමගියෙන්, නවීකරණයේ මාවතක් කරා" යන්න මෙවර සමුළුවේ තේමාවයි.
සමුළුවට චීන හා විදේශීය විශේෂඥයින්, විද්වතුන් සහ ආරාධිත අමුත්තන් 400 කට ආසන්න පිරිසක් රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල, අධ්‍යාපන ආයතන සහව්‍යවසායන්නියෝජනය කරමින් සහභාගී විය.මෙම සංසදයට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය, යුන්නාන් පළාත් මහජන රජය සහ චීන මහජන සම්බන්ධතා සංගමය එක්ව අනුග්‍රහය දැක්වීය.
2023 Erhai සංසදයට සමාන්තරව උපසංසද කිහිපයක් ද පැවැත්විණ. එහි එක් උප සංසදයක් - "චීන ශෛලියේ නවීන පාරිසරික දර්ශනයේ ජාත්‍යන්තර සන්නිවේදන ආඛ්‍යාන ප්‍රකාශනය" යන තේමාව ඔස්සේ පැවැති අතර ඒ සඳහා චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහයේ ජාත්‍යන්තර සන්නිවේදන සංවර්ධන මධ්‍යස්ථානය, බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සන්නිවේදන පාසල සහ යුන්නාන් පළාතේ ආසියාව සහ අග්නිදිග ආසියාවේ කලාපීය ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය සමසත්කාරකත්වය දැක්වීය.
මෙම සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා සහභාගි විය. එහිදී ඔහු “ලෝක ප්‍රජාව මුහුණ දෙන පාරිසරික අභියෝග සහ චීන පාරිසරික ජයග්‍රහණ” යන තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය. සිය දේශනයේදී ඔහු අවධාරණය කළේ ගෙවි ගිය ශත වර්ෂය තුළ දුර්ලභශාඛ හා සත්ව විශේෂ 500 ක් පමණ ලෝකයට අහිමි වී ඇති බව නවතම පරීක්ෂනවලින් හෙළි වී ඇති බවයි.මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයට කර ඇති හානිය ආපසු හැරවීමට ලෝකයේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.
සමුළුවේදී විශ්ව විද්‍යාල, මාධ්‍ය, ප්‍රකාශන, චිත්‍රපට සහ රූපවාහිනී, බුද්ධි මණ්ඩල සහ ජාත්‍යන්තර සන්නිවේදනයට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වත්හු නවීන පාරිසරික සංකල්පයේ ජාත්‍යන්තර සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් දැනුම හුවමාරු කරගත්හ.
මෙම සංසදයේදී ජාත්‍යන්තර සන්නිවේදනය සඳහාවූ චීන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘYin Jie, චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනයේ ප්‍රධාන විශේෂඥ Song Yingjie, මියන්මාරයේ North Star Weekly හි ප්‍රධාන කර්තෘ U Win Tin, යුන්නාන් ඩේලි පුවත්පත් සමූහයේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ-Wang Tingyao, බෙයිජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ ඇකඩමියේ උපපීඨාධිපති Zhou Xinyu, බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පාසලේ මහාචාර්ය Xu Hailong, ෂැංහයි ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථානයේ වාර්තා වැඩසටහන් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhou Quan, චීන කෘෂි විශ්ව විද්‍යාලයේ සම්පත් හා පාරිසරික විද්‍යාව පිළිබඳ පාසලේ සහකාර මහාචාර්යJinKemo සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ කර්තෘJenifer Windall ඇතුළු විද්වතුන් පිරිසක් දේශන පැවැත්වීය.
පළමු Erhai සංසදය 2021 ඔක්තෝම්බර් මාසයේදී නිරිත දිග චීනයේ යුන්නාන් පළාතේ ඩාලිහිදී පැවැත්විණි. ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ (COP15) පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 15 වන රැස්වීමේ පළමු අදියරට පෙර මෙම සංසදය පැවැත්වුණේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ගෝලීය පාරිසරික පාලනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙනයි.
ලෝක බැංකුව ලංකාවට ලොකු ණයක් අනුමත කරයි !
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ලබාදීමෙන් පසු මෙම ආධාර මුදල අනුමත කර තිබේ.
රට බරපතළ අනතුරක දැමීමේ උත්සාහයක් ගැන කරූගෙන් අනාවරණයක් !
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කරයි.
එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
''මේ දිනවල රටේ විවිධ පාර්ශවයන් විසින් සිදුකරමින් පවතින ඇතැම් ප්‍රකාශ හා ඒවා ආශ්‍රයෙන් සිදුකරමින් පවතින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ඒවා මගින් රට නැවත වතාවක් රට බලවත් අනතුරකට යොමුකරවීමේ උත්සාහයක් තිබිය හැකි යයි අනතුරු අඟවන්නෙමු.
විවිධ ආගමික කරුණු පදනම් කරගනිමින් රටේ ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශයන් ගැන සැලකීමේදී අප තුළ ඇතිවන්නේ බලවත් වේදනාවකි. එමෙන්ම අප රටේ අතීත බොහෝ අප්‍රසන්න සිදුවීම් සිහිපත් කිරීමේදී ඒවා බොහෝමයකටම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ හා ක්‍රියාකාරකම හේතු වී ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එවැනි තත්වයක් තුළ මෙවන් උත්සාහයන් හරහා රට නැවැත එවැනි විනාශකාරී තත්වයකට යොමුකරවීමේ දුෂ්ට උත්සාහයන් තිබේද යන්න ගැන ගැඹුරින් අවධානය යොමුකල යුතුව තිබේ.
1983 අවාසනාවන්ත තතවය ඇතිවීමට පෙර මෙවැනිම වූ පසුබිමක් රට තුළ දැකගත හැකි විය.1915 ආගම්වාදී ගැටුමට හේතු වූවේ ද මෙවැනිම වූ කරුණුය. එමෙන්ම පාස්කු ඉරිදා දින ඇතිවූ සිද්ධියෙන් ඇතිවූ වේදනාකාරී කැලැල් තවමත් සුවපත් කරගැනීමට අපොහොසත් වී ඇති රටක මෙවැනි වාතාවරණයක් කිසිසේත්ම සැහැල්ලුවට ගත යුතු නැත.
වාර්ගික හා ආගමික සහජීවනය තහවුරු කරගැනීමට අපොහොසත්ව ඇති සෑම රටක්ම මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම සැලකීමේදී මෙන්ම මෙවන් තත්ත්වයන් තුළ අප රටට ද අත්කර දුන් විනාශයන් සිහිපත් කිරීමේදී යළි එවන් අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදීම ජාතියක් ලෙස අප සතු වගකීමකි. එහිදී රටේ දේශපාලන අධිකාරියට මෙන්ම සියළුම ආගමික නායකයන්ට ද සිවිල් සමාජ සංවිධානවලට හා ජනමාධ්‍ය වෙත ද බලවත් වගකීමක් ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එමෙන්ම එවන් පටු
උත්සාහයන් පරාජය කිරීම සඳහා මේ රටේ බුද්ධිමත් ජනතාව පෙරට පැමිණිය යුතු කාලය මෙය වන බව ද අපගේ විශ්වාසයයි.
එබැවින් රටේ ජාතික නායකයන්ගෙන් ද ආගමික නායකත්වයන් ගෙන්ද පොදුවේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ අප හමුවේ ඇති දුෂ්ට අරමුණු සහගත උත්සාහයන් ඉදිරියේ බුද්ධිමත්ව, ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසටය. ''
අප රට නැවතත් විනාශයකට යොමුකල හැකි සියළුම උත්සාහයන් පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සමස්ත ශ්‍රී ලංකිකයින් ඉල්ලා සිටියි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි !
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
මෙහිදී මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පහරදීමට තැත්කරනු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු ලබන වීඩියෝවක්ද සමාජ ජාලවල පලවී ඇත.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.
රත්‍රන් සබ්‍රිට VIP දොර වැහෙයි !
ගුවන් තොටුපොළ VIP පර්යන්තය හරහා හොරෙන් රත්රන් හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රුහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද (VVIP Facility) අහෝසි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු බලධරයන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි .
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා රත්රන් හා ජංගම දුරකථන සිද්ධියට කොටුවී දඩ මුදල් ගෙවා නිදහස් වීමෙන් පසු මොහුට එරෙහිව වහා පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත .
ඒ අනුව කරුණු අධ්‍යයනය කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාට ගුවන් තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතයද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇත .
උද්ධමනය, මාළු මිල හා එළවළු මිල : සිරස කියන්නේ ඇත්තද ?
උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා.
අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්තිවල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා.
"තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි." මයික් එක අල්ලද්දී එක් අයෙක් කියනවා.
"උඩරට එළවලු මිල සැසඳීමේදී වැඩිම මිල ඉහළ යාමක් සිදු වී ඇත්තේ කැරට් සඳහායි. එය 64%ක්. ... නෝකෝල් රාබු වැනි මිල ගණන්ද 40%කින් පමණ ඉහළ ගොස් තිබුණා. පහත රට එළවළු සඳහා වැඩිම මිල ඉහළ යාම සිදුව තිබුණේ කරවිල සඳහායි. එය 42%ක්." නිවේදිකාව කියනවා.
"...අපි ආවා භූමියේ යථාර්තය බලන්න." සිරස මාධ්‍යවේදිනියක් පොළේ ගිහින්.
"...මම ගිය සතියේ එනකොට මුකුණුවැන්න මිටියක් තිබුණා රුපියල් 30ත් 50ත් අතර වගේ මිලකට. අක්කේ දැන් මේ වන විට මුකුණුවැන්න මිටියක් කීයද?"
"සීයයි"
මේ එහි ප්‍රදර්ශනය කරන තවත් මිල ගණන් කිහිපයක්.
අප්‍රේල් 28 පැවති මිල
කැරට් - 200
බෝංචි - 280
ලීක්ස් - 240
අද (මැයි 30) මිල
කැරට් - 480
බෝංචි - 600
ලීක්ස් - 480
"එහෙනම් මහ පොළොවේ යතාර්ථය මේකයි. දරාගන්න බැරි තරමේ ආහාර උද්ධමනයක් තවමත් ලංකාවේ දක්නට ලැබෙනවා." නිවුස්ෆස්ට් වෙනුවෙන් ඔමායා කෝවිලගොඩගේ කියනවා.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේදී ආහාර උද්ධමනය 21.5% දක්වා අඩු වෙලා තිබෙනවා. මාළු, එළවලු මිල ගණන් ඔය කියන තරම්ම වැඩි වෙලානම්, ආහාර උද්ධමනය 21.5% මට්ටමේ තියෙන්නේ කොහොමද?
පළමු ප්‍රශ්නය නිවුස්ෆස්ට් මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන මිල ගණන් මහ පොළොවේ යතාර්ථයද?
පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය (average) මිල ගණන්.
පරා - 2,786.67
තලපත් - 3,120.67
කැරට් - 404.14
බෝංචි (කොළ) - 503.20
ලීක්ස් - 451.43
මුකුණුවැන්න - 70
දැන් බැලූ බැල්මටම පේනවා සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන "මහ පොළොවේ" මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මිල ගණන් වලට වඩා තරමක් වැඩි බව. එහෙමනම්, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව බොරු කරලද?
සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන්නේ "මහ පොළොවේ" තිබෙන ඇයට පෙන්වන්න අවශ්‍ය නිශ්චිත තැනක් පමණයි. ඒ තැන ඈ විසින් හිතාමතා තෝරාගන්නා තැනක්. සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ මාළු ගැන කතා කරද්දී කතා කරන්නේ තෝරා, පරා, තලපත් වගේ මිල අධික මාළු ගැන විතරයි. රටේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් අය ආහාරයට ගන්න සාපේක්ෂව මිල අඩු සාලයෝ, ලින්නෝ, හුරුල්ලෝ වගේ මාළු ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැහැ. බොහෝ විට ඒ මාළු වලත් මිල වැඩි වෙලා වුනත්, මෙතැනදී සිරස ප්‍රවෘත්ති සංස්කාරක විසින් හිතාමතාම තෝරා ගන්නේ වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙනවායැයි සිතන මිල ගණන් පමණයි. එළවලු ගැන කතා කරද්දී වුනත්, වැඩිම මිල වැඩිවීම් ගැන මිසක් මිල අඩු වීම් හෝ අඩු මිල වැඩිවීම් ගැන කතා කරන්නේ නැහැ. මහ පොළොවෙන් යථාර්තය හොයාගෙන ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති වටිනාකම ගැන පමණක් සලකලා.
එක පැත්තකින් මේක සිරස විසින් පමණක් හෝ මාධ්‍ය විසින් පොදුවේ කරන දෙයක් පමණක් නෙමෙයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දමන හෝ ශෙයා කරන ගොඩක් අය විසින් පෙන්වන්නෙත් තමන්ට පෙන්වන්න අවශ්‍ය දේවල්. (අපට වුනත් මේක අදාළයි). ප්‍රතිචාර දමන අයත් එහෙමයි. ඒකේ වැරැද්දක් නැහැ. තමන්ට කියන්න අවශ්‍ය දේ මිසක් වෙන අයට කියන්න අවශ්‍ය දේ කියන්නේ මොකටද?
ලංකාවේ ගොඩක් අය තවමත් හිතන්නේ තමන්ට අඩු මිලකට එළවලු, මාළු විකුණන එක රජය විසින් කළ යුතු දෙයක් කියලා. එළවලු, මාළු නිපදවන අය හිතන්නේ තමන්ගේ නිෂ්පාදන රජය විසින් වැඩි මිලකට මිල දී ගත යුතුයි කියලා. ඒ කාලයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, දේශපාලනය හරහා මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තිබෙන විදිහ. සමහර අය වෙළඳපොළ ගැන යාන්තමින් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්නේ අවුරුද්දකට කලින් ආර්ථිකය කඩා වැටුණු දවසේ සිටයි. ගොඩක් අය තවමත් ඔය ගොඩේ නැහැ.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් එකතු කරන්නේ විධිමත් ලෙස, කිසියම් ක්‍රමවේදයකට අනුවයි. රටේ තැනින් තැන එකම භාණ්ඩයක වුනත් මිල ගණන් වෙනස්. කීල්ස් සුපර් මාර්කට් එකේ කැරට් කිලෝ එකක මිලත් දෙල්කඳ පොළේ මිලත් සමාන නැහැ. දෙල්කඳ පොළට ගියත් හැම තැනම මිල ගණන් සමාන නැහැ. සමහර තැන් වල මිල අඩුයි. තව සමහර තැන් වල මිල වැඩියි. ඒ වගේම කැරට් කියන්නේ සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. ප්‍රමාණය ලොකු පොඩි වෙද්දී මිල ගණන් වෙනස් වෙනවා. බෝංචි ගත්තත් එහෙමයි. සුදු, බටර් බෝංචි සහ කොළ පාට බෝංචි එකම මිලට විකිණෙන්නේ නැහැ. මාළු ගත්තත් ඔය වගේ වෙනස්කම් තිබෙනවා.
මිල ගණන් අඩු වැඩි වෙන විදිහ හරි පිළිවෙලකට බලන්නම් මුලින්ම අදාළ භාණ්ඩය සම්බන්ධ කිසියම් සම්මතයක් හදාගන්න වෙනවා. දේශීය අර්තාපල් හා ආනයනික අර්තාපල් කියන්නේ වර්ග දෙකක්. සුදු බිත්තර හා රතු බිත්තර වෙනස්. ලොකු බිත්තර හා පොඩි බිත්තර එක මිලට විකිණෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් එළවළු, මාළු මිල ගණන් එකතු කරන්නේ එකම සම්මතයක් අනුගමනය කරමින්. ඒ වගේම, මිල අඩු තැන් හෝ වැඩි තැන් තෝරා බේරාගෙන මිල ගණන් එකතු කරන්නේ නැහැ. හැමදාම මිල ගණන් එකතු කරන්නේ එකම තැන් වලින්. අද පොළේ මිල බලලා හෙට සුපිරි වෙළඳසැලේ මිල බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ ඒ තැන් දෙකේ මිල ගණන් වෙනස.
ඒ වගේම, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිරස මාධ්‍යවේදිනිය මෙන් එක තැනකින් පමණක් මිල ගණන් එකතු කරගන්නේ නැහැ. තැන් ගණනාවකින් මිල ගණන් අරගෙන සාමාන්‍ය අගය තමයි ඉහත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා, සිරස මාධ්‍යවේදිනිය පෙන්වන මිල ගණන් මහ පොළොවේ යථාර්තය වෙන්න පුළුවන්. හැබැයි ඒ මහ පොළොවේ ඇය පෙන්වන තැන තිබෙන යථාර්තය. පොදුවේ ගත්තහම තත්ත්වය හරියටම ඊට සමාන නැහැ.
එහෙමනම්, මැයි මාසයේදී එළවලු, මාළු මිල ගණන් වැඩි වෙලා නැද්ද?
පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය මිල ගණන්.
පරා - 2,332.22
තලපත් - 2,539.38
කැරට් - 257.50
බෝංචි (කොළ) - 318.33
ලීක්ස් - 346.96
මුකුණුවැන්න - 73
පැහැදිලි ලෙසම අප්‍රේල් මාසයේ එළවලු හා මාළු මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, සිරස කියන තරමට වැඩි වෙලා නැහැ. මෙහි තියෙන්නේ මාධ්‍ය විසින් වගේම දේශපාලනඥයින් විසින් මිනිස්සුන්ගේ ස්වභාවික දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක්.
මාධ්‍යවේදිනිය විසින් පෙන්වන දැන් මිල ගණන් ඇත්ත මිල ගණන්. ඔය ගැන බොරු කියන්න බැහැනේ. මොකද ඕනෑම කෙනෙකුට අදාළ තැනට ගිහින් පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට වැඩේ අතේ මාට්ටු. හැබැයි මාසයකට කලින් මිල ගණන් කියලා ඉදිරිපත් කරන්නේ පට්ට බොරු. මොකද කාටවත් අතීතයට ගිහින් පරීක්ෂා කර බලන්න බැහැනේ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් බඩු මිල අඩු වෙද්දී වගේම වැඩි වෙද්දීත් එකම ක්‍රමවේදයකට අනුව මිල ගණන් එකතු කරගෙන වාර්තා කර තියන්නේ අවශ්‍ය කෙනෙකුට අතීතයේ පැවති තත්ත්වය මතක් කර ගන්න. ඒ වුනත්, ගොඩක් අය ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් පෙන්වන "භූමියේ යථාර්තය" ඇත්ත නිසා මාසයකට කලින් තත්ත්වය ගැන කියන කතාවත් ඇත්ත කියා නිකම්ම පිළිගන්නවා.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි අවසානයේදී මුකුණුවැන්න මිටියක් රුපියල් 70යි. සිරස මාධ්‍යවේදිනියට අනුව රුපියල් 100යි. මේක වෙන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 70 වෙද්දී සමහර තැන් වල මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි සතියකට කලින් මිල රුපියල් 30ක් කියා කියද්දී ඇය කියන්නේ පට්ට බොරුවක්. සමහර විට සමහර තැන් වල රුපියල් 50ට තිබුණා වෙන්න පුළුවන්.
රත්නපුරේ සමන් දේවාලයේ ගල් පැලයක් තිබෙනවා. ඕක දමලා තිබෙන පෙට්ටියේ වහලේ වැදිලා නැමිලයි තියෙන්නේ. සමහර වයසක අය කියන විදිහට ඒ අය පොඩි කාලයේ ඔය ගල් පැලය ඔයිට වඩා ගොඩක් උසින් අඩුයි. හැබැයි කාටවත් ඒ කතාව විශ්වාස කරනවා හෝ සැක කරනවා මිසක් තහවුරු කරගන්න විදිහක් නැහැ. අවුරුදු විසිපහකට තිහකට කලින් ගත්ත ඡායාරූපයක් එක්ක සංසන්දනය කළොත් ගල් පැලේ වැවිලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වුනත් එහෙම පරීක්ෂාවක් නොකර තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා. මේකත් ඒ වගේ දෙයක්.
මැයි, ජූනි, ජූලි මාස වල එළවළු, මාළු මිල වැඩි වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට ජූනි මාසයේදී. මේක උද්ධමනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. අගෝස්තු වගේ වෙද්දී ඔය වැඩි වෙන මිල නැවත අඩු වෙනවා.
අප්‍රේල් වෙද්දී හරාය කාලය ඉවර වෙලා වාරකන් කාලය පටන් ගන්නවා. හරාය කාලෙට මුහුද නිසලයි. මූදූ රස්සාවට ගිහින් ලේසියෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ කාලෙට ධීවරයන්ගේ ප්‍රශ්නය අහුවෙන මාළු ටික විකුණගන්න එක. සැපයුම වැඩි වෙද්දී මිල පහළ යනවා. මිල පහළ ගියත් ප්‍රමාණය වැඩි නිසා ධීවරයින්ගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙම මිල අඩු කරලත් විකුණගන්න බැරි මාළු ජාඩි, කරවල කරනවා.
වාරකන් කාලෙට එහෙම නැහැ. මූදු යන්න අමාරුයි. ඒ නිසා මාළු සැපයුම අඩුයි. මිල ඉහළ යන එකෙන් ධීවරයින්ට යම් සහනයක් ලැබෙනවා. කාගෙවත් මැදිහත්වීම් නැතත් වෙළඳපොළ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහට. මාළු කන්න සල්ලි නැති අයට කරවල කන්න පුළුවන්. කෝඩෙ ගහලා ඉන්න ධීවරයන්ට හරාය කාලෙදී වේලපු කරවල විකුණලත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. ජූනි මාසය වාරකන් කාලයේ පීක් එක. හැම අවුරුද්දෙම වගේ ඔය කාලයට මාළු මිල ඉහළ යනවා. මාළු මිලේ වගේම එළවලු මිලේත් මේ වගේ වාරික (seasonal) උච්ඡාවචනයන් සිදු වෙනවා. එළවලු මිල සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පීක් වෙනවා. ජූනි හා දෙසැම්බර් මාස වලදී. ඒ නිසා ජූනි මාසය එළවලු වගේම මාළු මිලත් ඉහළ යන මාසයක්. දෙපැත්තේ මාස දෙකටත් මෙහි බලපෑම තිබෙනවා.
එළවළු, මාළු මිල ඉහළ යද්දී සිරස වගේ මාධ්‍ය වලට රජමගුල්. නමුත් මිල අඩු වෙද්දී එවැනි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. එවැනි වටිනාකමක් ලැබෙන්නනම් ගොවියෝ, ධීවරයෝ තමන්ගේ අස්වනු විකුණාගත නොහැකි වී වහ බොන තරමට මිල අඩු වෙන්න ඕනෑ. කවර හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලටත් එහෙමම තමයි. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂයට පෙනෙන්නේ මිල අඩුවීම්.
අන්තර්ජාලයේ හොයද්දී 2021 දෙසැම්බර් 21 සිරස ප්‍රවෘත්ති වල ක්ලිප් එකක් හමු වුනා (https://www.youtube.com/watch?v=KSage9Lpwhk). මාස 18කට කලින්. උද්ධමනය වැඩි වෙන්න කලින්. ආර්ථික අර්බුදය මහ පොළොවට එන්න කලින්. මාධ්‍යවේදියා තරුෂ කුමාරසිංහ. ඒකේ කියන විදිහට කැරට් තොග මිල රුපියල් 450යි. ඒ නිසා විකුණන්න වෙන්නේ රුපියල් 600ට. මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති ඩී.එන්. සිල්වා මයික් එකට කියන විදිහට "එතකොට 250ක් රුපියල් තුන්සීයක් විතර වෙනවා". ඒ කියන්නේ කිලෝවක් රුපියල් 1,200ක්. රෙකෝඩින් එක කපලා අවශ්‍ය කෑලි පමණක් ප්‍රවෘත්ති වලට පෙන්වන නිසා කැරට්ද කියා හරියටම පැහැදිලි නැහැ.
දැන් අපි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැත්තකින්ම තියමු. සිරස "මහ පොළොවේ යථාර්තය" අනුව 2021 දෙසැම්බර් 17 කැරට් කිලෝ එකක් රුපියල් 600ක් පමණ වෙනවා. 2023 අප්‍රේල් 28 වෙද්දී, සිරස ප්‍රවෘත්ති අනුවම, ඔය මිල රුපියල් 200 දක්වා අඩු වෙලා. රටේ උද්ධමනය මේ තරම් ඉහළ යද්දී කැරට් මිල ඔය තරම්ම අඩුවුනානම් ඒක ප්‍රවෘත්තියක් වුනේ නැත්තේ ඇයි? ඒ ගොල්ලෝ පාර කියන්නේ ඔය විදිහට තමයි.
විධිමත්, සම්මත ක්‍රමයකට එකතු කරගෙන ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛණ විශ්වාස කරනවද නැත්නම් පාර කියන මාධ්‍ය වලින් පෙන්වන දේවල් ඒ විදිහටම පිළිගන්නවද කියන එක පෞද්ගලික කාරණාවක්. කොහොම වුනත් ඔය දෙකේ වෙනස තමයි පැහැදිලි කළේ.
උද්ධමනය කියා කියන්නේ බඩු මිල වැඩි වීම නෙමෙයි. කිසියම් මුදල් ඒකකයක වටිනාකම අඩුවීම. මුදල් ඒකකයක වටිනාකම අඩු වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී. හැබැයි මුදල් සැපයුම කියන්නේ විචලනය වන දෙයක්. දිනපතා, සතිපතා හෝ මාස්පතා මුදල් සැපයුමේ සිදුවන අඩු වැඩිවීම් බොහොමයක් නැවත ආපසු හැරවෙනවා. මුදල් සැපයුම ප්‍රායෝගිකව පහසුවෙන් ආපසු හැරවිය නොහැකි පරිදි ස්ථිර ලෙස වැඩි වෙලා කියා කියන්න පුළුවන් වෙන්නේ වසරක පමණවත් කාලය තුළ සිදු වී ඇති දේ දෙස බැලීමෙන් පමණයි.
උද්ධමනය මනිද්දී ඇත්තටම කරන්නේ මුදල් ඒකකයක මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති ආකාරය මනින එක. වසරකට කලින් රුපියල් 1000කින් මිල දී ගත් බඩු මල්ල මිල දී ගන්න අද කීයක් යනවද? මේක මනින්න යද්දී මතුවන ප්‍රශ්නයක් වන්නේ මුදලේ වටිනාකම අඩු නොවුනත් ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල විචලනය වන එක. මෙහි විස්තර කළ එළවලු හා මාළු උදාහරණ. වාරකන් කාලයට මාළු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා නෙමෙයි. මුදලේ වටිනාකම අඩු වෙලා නිසා නෙමෙයි. ඒ කාලයට මාළු සැපයුම අඩු නිසා. වාරකන් කාලය ඉවර වෙද්දී වැඩි වූ මිල නැවත අඩු වෙනවා. එළවළු මිලත් එහෙමයි.
උද්ධමනය මනිද්දී මිල මට්ටම සංසන්දනය කරන්නේ පසුගිය වසරේ අදාළ මාසයත් එක්ක. විශේෂ හේතුවක් නැතුව පසුගිය මාසය එක්ක සංසන්දනය කරන්නේ නැහැ. පසුගිය මාසය එක්ක සංසන්දනය කළොත් එයින් පෙනෙන්නේ සැපයුමේ සිදුවන කාලික වෙනස්කම් මිසක් උද්ධමනය නෙමෙයි. අධි-උද්ධමන කාලයකනම් මාස්පතා සිදුවන මිල ඉහළ යාම් දිහා බලන එකේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ වගේම, රුපියලේ වටිනාකම රටේ භාණ්ඩ හා සේවා සියල්ල එක්ක පොදුවේ සංසන්දනය කරනවා මිසක් තලපත් මාළු හෝ කැරට් එක්ක පමණක් සංසන්දනය කරන්නේ නැහැ.
මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ මාළු වියදම රුපියල් 1,004.60කින්ද, එළවළු වියදම රුපියල් 407.29කින්ද ඉහළ ගොස් තිබෙනවා. අර්තාපල් වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිලද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, පළතුරු, කිරිපිටි, බිත්තර වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිල අඩු වී ඇති නිසා සමස්තයක් ලෙස මාසය තුළ ආහාර පැසෙහි මිල ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් 943.11කින් පමණයි. ආහාර මිල ගණන් මාසය තුළ මෙපමණකින් ඉහළ යද්දී ආහාර නොවන වියදම් රුපියල් 986.16කින්ම අඩු වී ඇති බැවින් සමස්තයක් තුළ මිල මට්ටමෙහි සුළු හෝ අඩුවීමකුයි සිදු වී තිබෙන්නේ.
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මාළු වියදම රුපියල් 1,787.81කින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස කොළඹ පවුලක ආහාර වියදම රුපියල් 9,904.00කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 0% නොවී 21.5% මට්ටමේ තිබෙන්නේ ඒ නිසා.
උද්ධමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය විශාල ලෙස අඩුවීමෙන් මාළු හෝ එළවළු මිල ඉහළ යනවානම් එය ප්‍රශ්නයක් තමයි. නමුත්, කාලික කාලගුණ වෙනස්කම් නිසා සැපයුම වෙනස් වීම හේතුවෙන් සිදුවන මිල අඩු වැඩි වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. හරාය කාලයේදී මාළු සැපයුම වැඩි වෙද්දී මාළු මිල අඩු වෙනවා. ඒ විදිහට මිල අඩු වෙද්දී වෙළඳපොළ විසින් කරන්නේ පාරිභෝගිකයින්ට සංඥාවක් දෙන එක.
"අන්න මාළු ලාබ වෙලා. ගිහින් අරගෙන කාපල්ලා!"
පාරිභෝගිකයෝ මාළු පරිභෝජනය වැඩි කරනවා. ඒ නිසා අල්ලන මාළු ටික විකිණෙනවා. ධීවරයින්ට මාළු විකුණගන්න බැරුව වහබොන්න වෙන්නේ නැහැ. විකුණගන්න බැරි නිසා නිෂ්පාදනය කඩා වැටෙන්නේ නැහැ.
අනෙක් අතට වාරකන් කාලයට මිල වැඩි වෙනවා. ඒ හරහා වෙළඳපොළ විසින් කරන්නේ ධීවරයින්ට සංඥාවක් දෙන එක.
"මුහුද රළුයි තමයි. හැබැයි අවදානම අරගෙන මූදු ගියොත් අවදානමට හරියන ලාබයක් ලැබෙනවා!"
මිල වැඩි නිසා ධීවරයෝ යම් පිරිසක් හරි මූදු යනවා. සැපයුම ටිකක් හරි වැඩි වෙනවා. නිෂ්පාදනය අඩියටම කඩා වැටෙන්නේ නැහැ.
ඔය වැඩේ වෙළදපොල විසින් කරනවා. ඕකට ධීවර ඇමතිවරුන් හෝ අමාත්‍යංශ නිලධාරීන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිදහසෙන් පසු ලංකාවේ වෙලා තියෙන්නේ ඕක නෙමෙයි.
ලංකාවේ ධීවර ඇමති කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තිබෙනවා. මාළු මිල දී ගෙන බෙදා හරින්න හදපු ධීවර සංස්ථාවක් තිබෙනවා. සමාජවාදී මධ්‍යගත සැලසුමකට අනුව හදපු මේ ආයතන තවමත් තියෙනවා. ඒ නිසා, මාළු මිල වැඩි වෙද්දී මිනිස්සු ආණ්ඩුව දිහා බලන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ වෙළඳපොළට කරන්න බැරි දේවල් ඇමතිට කරන්න පුළුවන් කියලයි. තවමත් ඔය කතාව කියන අය ඉන්නවා.
ලංකාවේ ධීවර ඇමති රස්සාව නොකරපු දේශපාලන පක්ෂයක් නැති තරම්. එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, දෙමළ කොන්ග්‍රස්, වගේම ජනතා විමුක්ති පෙරමුණේ ධීවර ඇමතිලා කාටවත් වාරකන් කාලයට මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් වෙලා නැහැ. ඇමති කවුරු වුනත්, ධීවර ඇමතිට කාලගුණේ වෙනස් කරන්න බැහැ වගේම වාරකන් කාලෙට මාළු මිල ඉහළ යන එකත් වෙනස් කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට ඉඩ දිය යුතුයි.
හැබැයි කාලිකව සිදුවන සැපයුම් උච්ඡාවචනයන් නිසා මිල වෙනස්වීම් වෙළඳපොළ විසින්ම නියාමනය කරනවා. ජාඩි, කරවල කියා කියන්නේ මෙය සිදු වන යාන්ත්‍රනය. ලංකාවේ මූදූකරේ මිනිස්සු මාළු ජාඩි කරන්න පටන් ගත්තේ රටේ ධීවර අමාත්‍යංශයක් හැදුනට පස්සේ නෙමෙයි. මේවා වෙළඳපොළ විසින් හදා දුන් ස්වභාවික විසඳුම්.
ජාඩි, කරවල හදන එකේ නූතන ස්වරූපය ශීතාගාර. ශීතාගාර පහසුකම් වැඩි වන තරමට හරාය කාලෙදී එකතු වන මාළු අතිරික්තය ගබඩා කරගෙන වාරකන් කාලයට වෙළඳපොළට නිකුත් කිරීම මගින් සැපයුමේ සිදුවන උච්ඡාවචනයන් පාලනය කර ඒ හරහා මිලෙහි සිදුවන උච්ඡාවචනයන් පාලනය කරන්න පුළුවන්. එළවලු වලට වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. සංවර්ධිත රටවල ඔය වැඩේ වෙනවා.
දැන් මේ වැඩේ කළ යුත්තේ කවුද? ඒකත් කළ යුත්තේ රජයද? ධීවර සංස්ථාව වගේ ආයතන පිහිටවලා තියෙන්නේනම් මේක රජය විසින් කළ යුතු දෙයක් කියන අදහසින්. ඒ නිසා, අවශ්‍යනම් හිටපු ධීවර ඇමතිවරුන්ට චෝදනා කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රශ්නය සල්ලි කියලා.
ප්‍රශ්නය සල්ලිනම් එතැනම අවුලක් තිබෙනවා. කරන වැඩේ කාර්යක්ෂමනම් යට කරන සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කරන වැඩේ අකාර්යක්ෂමනම් ඒ වගේ වැඩකට මහජන මුදල් නාස්ති කරන එකේ තේරුමක් නැහැ.
වැඩේ ලාබනම්, පෞද්ගලික අංශයට අත ගහන්න බාධාවක් නැත්නම්, කවුරු හෝ කෙනෙක් ඔය ආයෝජනය කරනවා. ඒ හරහා මිල විචලනය ස්වභාවික ලෙස නියාමනය වෙනවා.
ඒ කියන්නේ වාරකන් කාලයට මිල වැඩි නොවනවා කියන එක නෙමෙයි. වාරකන් කාලයට තව දුරටත් මිල ඉහළ යනවා. නමුත් යම් සීමාවකින් එහාට යන්නේ නැහැ. මේ සීමාව කුමක්ද?
වැඩේ වෙන්නනම් වාරකන් කාලයේ මාළු මිල සහ හරාය කාලයේ මාළු මිල අතර සැලකිය යුතු මිල වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මිල වෙනස ඔය කාලය තුළ ශීතාගාරයක මාළු තියාගෙන එසේ කිරීමේ විචල්‍ය පිරිවැයට අමතරව ස්ථිර පිරිවැය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදලකුත් ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රමාණවත් ලාබයකුත් ලැබිය හැකි තරම් විශාල වෙනසක් විය යුතුයි. ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානම් පෞද්ගලික ආයෝජකයෝ වැඩේට අත ගහනවා. ඊට පස්සේ වාරකන් කාලයට වුනත් යම් සීමාවකින් එහාට මාළු මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, මාළු අස්වැන්න අඩු මාස වලදී ධීවරයාට ලැබෙන මිල ඕනෑවට වඩා අඩු වෙන්නෙත් නැහැ.
ඔය වගේ විශාල ආයෝජන දහ පහළොස් දෙනෙක් එකපාර කරන්නේ නැහැ. මුලින්ම අවදානම අරගෙන අත ගහන්නේ කවුරු හෝ එක්කෙනෙක්. එතකොට ටික කාලයකට ඒකාධිකාරයක් හැදෙනවා. එතකොට ඒ මනුස්සයාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් ගන්න ලාබය දිහා බලාගෙන තමයි තවත් කෙනෙක් වැඩේට අත ගහන්නේ. වෙළඳපොළ ප්‍රමාණය, අවශ්‍ය ආයෝජනයේ විශාලත්වය වගේ හේතු නිසා ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් මිසක් පනහක් හැටක්නම් කොහොමටවත් හැදෙන එකක් නැහැ. සහල්/ වී කර්මාන්තයේ වෙලා තියෙන්නෙත් ඔය වගේ දෙයක්.
සහල් ව්‍යාපාරය හා අදාළවනම් අතරමැදියන්ට කරන චෝදනා වල කෙළවරක් නැහැනේ. සහල් ව්‍යාපාරයේ අතරමැදියන් හරහා වෙන්නේ ඔය විදිහට සිදු විය හැකි මිල විචලනයන් සීමා වෙන එක. ඒ මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ ලාබයක් ගන්න තමයි. නමුත් මාළු මිල තරමට හාල් මිල උච්ඡාවචනය නොවන්නේ මේ අතරමැදියෝ ටික නිසා. ඔවුන් හරියට බදු නොගෙවනවානම් හෝ වෙනත් අනිසි වාසි ගන්නවානම් ඒ ගැන හොයා බලන එක අදාළ නිලධාරීන්ගේ වගකීමක්. ඒක මේකට අදාළ නැහැ. මාළු කර්මාන්තය ඇතුළෙත් ඔය වගේ අතරමැදියෝ කීප දෙනෙක් හිටියානම් ජූනි, ජූලි මාස වල මාළු මිල මේ තරමටම ඉහළ යන්නේ නැහැ.
කවුරුවත් නොකරන දේකට සල්ලි දමන එකේ ලොකු අවදානමක් තිබෙනවා. කවුරු හෝ ඒ අවදානම ගන්නේ යම් කාලයකට ඒකාධිකාරයක් පවත්වා ගන්න ලැබීමේ වාසිය දිහාත් බලාගෙන. ඒ විදිහට හැදෙන ඒකාධිකාර කිසිසේත්ම නරක නැහැ. දෙවැන්නාට වෙළඳපොළට එන්න පොළඹවන්නේ පළමුවැන්නාගේ ඉහළ ලාබ. ඒ නිසා, ඒකාධිකාරය නැති කරන්නනම් කළ යුත්තේ පුළුවන් තරම් ලාබ ගන්න ඉඩ අරින එක මිසක් ඒකට බාධා කරන එක නෙමෙයි. ඇමරිකාව වගේ රටක් හා අදාළවනම් කතාව වෙනස්. නමුත් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇතුළේ ඇමරිකාවේ දමන විදිගේ සීමා කිරීම් කරන්න ගියොත් අවදානමක් ගන්න කෙනෙකුට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ.
තරඟය වැඩි වෙලා ලාබ නැති වෙන්නේ ලාබ ලබන්න ඉඩ දෙන තරමටයි. හැදෙන්න කලින් ඒකාධිකාර කියලා ලේබල් කරලා රජය විසින් බාධාකිරීම් කරද්දී ඇත්තටම වෙන්නේ ඒකාධිකාරය බිඳ නොවැටී පවත්වා ගන්න උදවු කිරීමක් පමණයි. මොකද එවැනි බාධා කිරීම් වලට වැඩියෙන් බය වෙන්නේ කර්මාන්තයට අලුතෙන් එන්න ඉන්න අය.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි
විශ්වවිද්‍යාල සිසුන් 31 කට පන්ති තහනමක් !
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.
ඒ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධවීම නිසාය .
වාර්තා වන ආකාරයට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇත.
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණි.
අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.
මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බවත් වාර්තා වෙයි.
ව්‍යාපාර ආකර්ශනය කරගන්න ජනාධිපති දැඩි තීන්දු ගැනීමේ සූදානමක !
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය වූ ඊයේ (03) දින සමුළුව අමතමිනි.
“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ ඊයේ දින සමුළුව පැවැත්වුණු අතර එය අදින් (04) අවසන් වේ.
මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි. එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපැම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියේය.
ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.
ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසීය. පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවු බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නීති ක්ෂේත්‍රය, ප්‍රතිපත්ති සම්පාදකයන්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක් ආරම්භ කිරීමට මෙම සමුළුව මගින් අපේක්ෂා කරන බවයි. ජාතියක් ලෙස දියුණු වීමට නම්, නීති අංශය ව්‍යවසායකත්වයේ වැදගත්කමත්, ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කමත් හඳුනාගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
නිදහසින් ගෙවි ගිය වසර 75 න් පසු දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් පළමු වරට අද රට හමුවේ තිබෙන බව පැවසූ ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කුරිරු යුද්ධය සහ වැරදි ආර්ථික කළමනාකරණය රටේ ප්‍රගතියට බාධාවක් වූ බවත් පැවසීය. එබැවින් දැන් සියලුදෙනාගේ වගකීම වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම බව ද ඒ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශීය මෙන්ම දේශීය ආයෝජන ද ආකර්ශනය කර ආරක්ෂා කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි.
ආයෝජන සඳහා ඉතා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දැන් කතා බහට ලක්ව තිබෙන බව සිංගප්පූරුවේ කේ.එල්. ගේට්ස් ස්ට්‍රේට්ස් නීති සමාගමේ සභාපති එම්. රාජාරාම් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට තුළ ආයෝජන සඳහා ආයෝජකයන්ට තවදුරටත් පහසුකම් පුළුල්වීම සහතික විය යුතු බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනගඊස්වරන්, ෆයිස් මුස්තාෆා සහ චන්දක ජයසුන්දර යන මහත්වරු ප්‍රධාන සැසිය සඳහා සහභාගී වූහ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් මෙන්ම ප්‍රමුඛ ව්‍යාපාරික සමාගම් රැසක ඉහළ කළමනාකාරිත්වය මීට එක්ව සිටියහ.
https://casite-1385010.cloudaccess.net/news?start=2862#sigProId5ca5623fe7
මැකොස වෙතින් තවත් විරෝධයක් !
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පවසන්නේ මේ පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කළේය.
මේ තීරණයෙන් පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
Page 160 of 440