Ad

Ad 01

V2025

පුවත්

හිරුණිකාටත් සජබ එපා වෙයි !

සමගි ජන බලවේගයේ වත්මන් තත්ත්වය පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

සමගි ජන බලවේග නායකයන් විශ්වාස කරන්නේ මුහුණු දෙකේ තක්කඩියන් පමණක් බව ද ඇය සඳහන් කළාය.

දවල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් රාත්‍රියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින කපටියන් පක්ෂය තුළ සිටින බවද ඇය සඳහන් කරයි.

නමුත් පක්ෂය වෙනුවෙන් කැපුවුන තමන් වැනි අය වෙනුවට නායකයා විශ්වාස කරන්නේ ඔවුන් බව ද ඇය චෝදනා කළා ය.

සමගි ජන බලවේග පක්ෂයෙන් යළිත් පාර්ලිමේන්තුවට පත් වී ජනාධිපතිතුමා සමඟ එකතු වන බව ඔවුන් පවසන බවද පැවසූ ඇය හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර මන්ත්‍රී වරුන්ට එරෙහිව මුලින් විනය ක්‍රියාමාර්ග ගත්තේ නම් ඉන්පසු කිසිවකුත් ජනාධිපති සමග සම්බන්ධ වීමට කටයුතු නොකරනු ඇති බවද ඇය කියා සිටියාය.

සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද සහභාගී වූ ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

රනිල්-රවී දෙදෙනාම අනාගතවාදී නායකයින් !

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන් දෙදෙනාම අනාගතවාදී, ගෝලීය සහ දුරදර්ශී නායකයින් යැයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කරති.

මේ බව අවධාරණය කර සිටින්නේ, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසකි.

IMG 20230622 WA0001
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී පොදු රාජ්‍ය මණ්ඩලයේ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම එතුමා දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුව මාරු කර ගෙන තිබුණා.

මේ තත්ත්වය ඉතා හොඳ ප්‍රවනතාවයක් වන අතර ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා ද මීට කලකට පෙර සිටීම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සහ හඬ නගමින් ඊට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා අප දුටුවා.

ඊට හොඳම උදාහරණය වන්නේ, ආර්ථිකයඩිජිටල්කරණය කළ යුතු බවට රවී කරුණානායක කලක සිටම කරන යෝජනාව වන අතර එමගින් පැහැදිලි වන්නේ ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගේම නූතනත්වය අගයන පරිනත ගෝලීය දේශපාලන නායකයෙකු වන බවයි.

පළමු වතාවට දකුණු ආසියාවේ මුළු රටක්ම ස්වාභාවික ආපදාවලින් රක්ෂණය කරමින් 2015-2016 අය-වැය යෝජනාවලියේ දී ශ්‍රී ලංකාවට ස්වාභාවික ආපදා රක්ෂණාවරණයක් ලබා දුන්නේ මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක  වන අතර ඒ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ඇතිවයි.

"සුරක්ෂා" රක්ෂණාවරණය යටතේ පාසල් දරු දැරියන් සියලු දෙනා රක්ෂණය කරමින් ද, උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට "Tab" පරිගණක ලබා දෙමින් තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට කටයුතු කළේ ද රවී කරුණානායකයි.

මේ අනුව පැහැදිලි වන්නේ රවී කරුණානායට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන් දෙදෙනාම අනාගතවාදී, ගෝලීය සහ දුරදර්ශී නායකයින් බවයි."

ඩයනා අධිකරණයට අපහාස කරලා ?

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවයට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මස 24 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඉකුත් මැයි මස 29 වනදා 'අද දෙරණ' රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී වූ ඩයනා ගමගේ අමාත්‍යවරිය එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙරම එය ලබාගන තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේෂණ පරීක්ෂණයක් සිදුකළ බවත් එහිදී අදාළ නඩු තීන්දුව මුලින්ම පළවී තිබුණේ ඕෂල ලක්මාල් නමැත්තෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බවත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පළවී නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

මීට අදාළව ඔෂල හේරත් ගෙන් ප්‍රකාශයක් සහටන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී දින හතරකට පසුව ඔහු විසින් එහි පිටපත් ලබාගෙන තිබෙන බව අනාවරණයවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියා සිටියේය.

මීට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කළේය.

ඒ අනුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලීම් කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

"අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති කරුණු පිරික්සීමේදී මා විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එය ලබාගන තිබෙන බව මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩු තීන්දුව යතුරුලියනය කරන ලද්දේ මාගේ නිවසේදී මා විසින් මාගේ ලැප්ටොප් පරිගණකයෙන්. එසේ යතුරුලියනය කරන ලද නඩු තීන්දුව pen drive එකක දමාගෙන නිවසේ සිට මගේ කලිසම් සාක්කුවේ දමාගෙන අධිකරණය වෙත රැගෙන ආවා."

"ඉන්පසුව අධිකරණයේ දී එම නඩු තීන්දුවට අදාළ පිටපත් මා විසින්ම ලබා ගත්තා. මෙම නඩු තීන්දුව පිටපත් කිරීමේ කටයුතුවලට කිසිදු යතුරුලියන ලේඛිකාවක් සම්බන්ධ වුණේ නැහැ. එමනිසා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පිටවීමට කිසිදු හැකියාවක් නැහැ." යනුවෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය."

වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා,

"ඉදිරිපත්වී ඇති කරුණු පිරික්සීමේදී මෙම පරීක්ෂණයට භාජනයවී සිටින තැනැත්තිය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය අධිකරණය විසින් නිරීක්ෂණය කළා. ඒ තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු කරුණු ඇති බව පෙනී යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ලබන අපහාසයක් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය අභියාචනාධිකරණය වෙත පැවරී තිබෙනවා."

"නමුත් අධිකරණ සංවිධාන පනත යටතේ ද මෙම අපහාසය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට මාගේ අධිකරණයටත් බලය ලබාදී තිබෙනවා. එහෙත් මෙම වරදේ ස්වභාවය සම්බන්ධයෙන් සලකාබැලීමේදී මාගේ අධිකරණය හමුවේ පවත්වනු ලබන නඩු විභාගයකින් අනතුරුව පැනවිය හැකි දඩුවම ප්‍රමාණවත් වන්නේ නැහැ."

"නමුත් අභියාචනාධිකරණයට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් පුළුල් බලයක් තිබෙනවා."යනුවෙන් සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණය සභාපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බවත් නියෝග කළේය.

ඊට අදාළ කටයුතු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සහතික පිටපතක්, ඇය විසින් අදාළ රූපවාහිනී සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශය අන්තර්ගත සංයුක්ත තැටිය සහ සෙසු ලේඛන ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

මුලාශ්‍රය - අද දෙරණ

වීසා දඩය ඉහළට !

නියමිත වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනය කරමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ දඩය දින 7 - 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

සංක්‍රමණික හා විගමන පනතේ (351 පරිච්ඡේදය) 23 වැනි වගන්තිය යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

මේ අතර මුල් වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ දින සිට ගණනය කර දින 07ක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අයෙකුට පිටවීමේ වරායේදී අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් තොරව ශ්‍රී ලංකාවෙන් පිටවිය හැකි බවද එහි සඳහන් වේ.

කැනඩාවේ හිටපු අගමැති අහපු ප්‍රශ්නවලට ජනපති රනිල් දුන්න පිළිතුරු !

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.

පරිසර අභියෝග, ආර්ථික සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව යන්න සංකීර්ණ මාතෘකා බවට පත්ව ඇති යුගයක, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් වඩා සුරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට එක්ව කටයුතු කරන්නේ කෙසේද, යන්න සාකච්ඡා කිරීමේ අරමුණින් ලෝක නායකයන් මෙවර සංසදය සමඟ එක්ව සිටියහ.

ස්ටීවන් හාපර් මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීම, රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීනව වඩාත් හිතකර වෙළෙඳ ශේෂයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත්, ලිබරල් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගෙන එහිදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

තමා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ ගත් පියවර මත පදනම්ව දමිළ ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ ප්‍රගතිය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදයට එරෙහි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සම්මත කරගැනීම ඇතුළු තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ තිබීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදි අදහස් පළ කළේය.

ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරය සම්බන්ධව රජය සහ විපක්ෂය අතර පැවති මතභේද අධිකරණ තීන්දුවක් මගින් නිරාකරණය කර ඇති බවත්, එමෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්වල ඉඩම් සම්බන්ධ පවත්නා ගැටලු විසඳීමට ද රජය කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රශ්නය

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය මෙන්ම අභියෝග පිළිබඳ මම කියවා තිබෙනවා. ශ්‍රී ලංකාව වත්මනයෙහි මුහුණ දෙමින් තිබෙන ගැටලු විසඳීමට ඔබ විසින් ගනු ලබන පියවර පිළිබඳව ලෝකය විමසිලිමත්ව බලා සිටිනවා ?

පිළිතුර

පසුගිය වසරේ මැයි, ජූලි මාසවලදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඔබ සියලුදෙනා දන්නවා. ඒ වන විට රටේ නායකත්වය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුයේ නැහැ.

2019 ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපති අපේක්ෂකයා බවට ප්‍රකාශ කිරීමට මට සිදු වුණා. ඒනිසා 2019 ජනාධිපතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්. වෙනස්ම ජනතාවාදී ප්‍රවේශයක් ජනතාවට අවශ්‍යව තිබුණා.

නමුත් ඔහු ඉතා දරුණු පරාජයක් අත්කරගත්තා. කොවිඩ් වසංගතයට රට ගොදුරු වීමත් සමඟම 2020 අගෝස්තු මාසයේ අපි මැතිවරණයට ගියා. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමඟ අපි සිටිය යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා.

2016 දී අප ආරම්භ කළ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව ප්‍රාථමික අතිරික්තය සඳහා කැපවි යුතු අතර, සහනාධාර ලබාදීම් අඩු කිරීමට අවශ්‍යව තිබුණා. මෙය ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව 2018 ජූනි වන විට අපට ඩොලර් මිලියන 300ක මූලික සේවාවක් තිබුණා. එය ස්වල්පයක් පමණක් වුවත් අපට එය වර්ධනය කරගැනීමට හැකියාවක් තිබුණා.

නව රජය බලයට පැමිණීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි ගිවිසුම යළිත් ක්‍රියාවට නැංවීමෙන් තව ඩොලර් බිලියන 5ක් පමණ රැස් කරගැනීමට හැකියාවක් තිබුණා.

මම අග්‍රාමාත්‍ය ධූරය දැරූ කාල වකවානුවේදී, ජපානය, ඉන්දියාව මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර බිලියන තුන හතරක් විතර වටිනා ව්‍යාපෘති රටට ලබාගත්තා. නමුත් ඒ සියල්ලම පසුගිය රජය විසින් අවලංගු කර දැමුවා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා රට තුළ දැඩි කැලඹීමක් ඇති වුණා. ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන් 65 දෙනෙකුගේ නිවාස ගිනිබත් කිරීමත් සමඟම එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා.

එදින රාත්‍රියේ මම ආණ්‌ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සමඟ සාකච්ඡා කරමින් සිටියදී මම ඇහුවා මට කරන්න පුළුවන් උදව් මොනවද කියලා. පසුදිනම, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාට කතා කර අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහ ලෝක බැංකුවට යන ලෙස මා එවකට සිටි ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒ නිසා ආණ්‌ඩුව මට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බලකර සිටියා. මාව අගමැතිවරයා ලෙස පත් කර ගනිමින් ධුරයේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ඔවුන් පැවසුවා. ඒ වගේම ඔබතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න, අපි සහාය ලබාදෙනවා කියා ඔවුන් මට පැවසුවා.

ඒ වන විටත් අපේ පසුගිය වසරේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් පමණ වී තිබුණා. 2022 අප්‍රේල් වන විටත් අපි බංකොලොත් රටක් බව ප්‍රකාශ කර තිබුණා. අපි යථා තත්ත්වයට පත්වෙමින් සිටින විට උද්ඝෝෂකයින් යළිත් වීදි බසින්නට පටන් ගත්තා. ඒ වගේම ජූලි 9 වෙනිදා විශාල පිරිසක් කොළඹට ඇවිත් සිටියා.

උද්ඝෝෂකයින් ජනාධිපති නිල නිවසට කඩා වැදුණා. ජනාධිපතිවරයාට හොර රහසේ වරායට පරිශ්‍රයට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවකට නගිමින් ඔවුන්ගේ සහාය පැතීමට සිදු වුණා. එදා සවස පක්ෂ නායකයෝ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියා ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩ බලන ජනාධිපතිවරයා විය යුතුයි කියන අදහසත් ඒ සමඟම ආවා.

නමුත් එදා විපක්ෂය කිව්වා මමත් ඉල්ලා අස්විය යුතුයි කියලා. ව්‍යවස්ථානුකුලව අග්‍රමාත්‍ය ධූරය සඳහා අයෙකු සොයාගන්නා ලෙසත්, එවිට මට ඉල්ලා අස්විය හැකි බවටත් මම විපක්ෂයේ පාර්ශ්වයන්ට පැවසුවා. ඒ අතරතුර, කිසියම් මාධ්‍යයක ඉල්ලීම් හෝ බලපෑම් පරිදි උද්ඝෝෂකයින් පිරිසක් පැමිණ මගේ නිවසට ගිනි තැබුවා. ඔවුන් හිතුවේ මම ධූරයෙන් ඉවත් වෙයි කියලා. මේ අතර පසු දින ඇතැම් තානාපතිවරුත් මට ඉල්ලා අස්වෙන ලෙස දන්වා සිටියා.

නමුත් ඇතැමුන් කථානායකවරයාට වැඩබලන ජනාධිපති ධූරය භාරගන්නා ලෙස යෝජනා කළා. කෙසේ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප වුණා. නමුත් මම මගේ ස්ථාවරයේ සිටිමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළා. ඒ වන විට ජනාධිපතිවරයා රටින් පිටමං කර, පසුව මාලදිවයිනට රැගෙන ගොස් තිබුණා.

මම කැබිනට් රැස්වීමක් පැවැත්තුවා. අනතුරුව උද්ඝෝෂකයෝ තීරණය කර තිබුණා අගමැති කාර්යාලය අත්පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවත් අත්පත්කරගත යුතුයි කියලා. ඊට දවස් දෙකකට පසුව පැය පහක් හයක් පමණ අගමැති කාර්යාලයෙන් පිටත ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඔවුන්ට වෙඩි තැබීමට නියෝග කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අන්තිමට ඔවුන් අගමැති කාර්යාලයටත් කඩා වැදුණා. පසුව, පා ගමනින් පාර්ලිමේන්තුවට පැමිණෙමින්, පස්වරුව වන විට තවත් පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්විය යුතු බවත් ඔවුන් දන්වා සිටියා. විපක්ෂ නායකවරයා ද එම කටයුතුවලට සහාය දැක්වූවා. පාර්ලිමේන්තුව මෙලෙස පවත්වාගෙන යා නොහැකි අතර එය ආරක්ෂා කරගත යුතු බව මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් සතුව සිටී ශ්‍රී ලංකාවේ හොඳම හමුදා බලඇණිය නිරායුධව එහි ස්ථානගත කළ අතර, ඔවුන් එහිදී සාර්ථකව උද්ඝෝෂකයින් විසුරුවා හරිනු ලැබුවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී සෙබළුන් 24 දෙනෙක් තුවාල ලැබුවා.

එම අවස්ථාව වන විට මම තීරණය කළා මම ජනාධිපති ධූරයේ වැඩ භාරගතයුතු කියලා. ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම එවා තිබුණේ මට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න කියන ඉල්ලීම කරමින්, නමුත් ඒ වන විට ජනාධිපති කාර්යාලය අත්පත් කරගෙන සිටි පිරිස මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවාට කැමති වුණේ නැහැ. වැඩබලන ජනාධිපති ලෙස ධූරය භාරගැනීම සඳහා මට පාර්ලිමේන්තුව භාවිතා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මම අගවිනිසුරුවරයාගේ නිවස භාවිතා කළේද නැහැ. මම උදේ පාන්දරම මගේ නිවස අසළ පිහිටි පවුලේ පන්සලට ගියා. අගවිනිසුරුතුමා එතැනට පැමිණියා. පන්සලේ හාමුදුරුවෝ එහි ආරක්ෂාව ඉවත් කිරීමට උපදෙස් දී තිබුණා, පන්සල තුළ මගේ දිවුරුම් දීම ඡායාරූපගත කළා.

මීළඟට සිදු කිරීමට තිබුණේ පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමයි. ඒ සම්බන්ධවත් විරෝධතා මතු වුණා. එවිට මම කිව්වා විරෝධතා පැවැත්වීමට ඉඩ දිය යුතුයි කියලා. නමුත් ඒවා විරෝධතා නොවෙයි. එම විරෝධතාවන් සිදු කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමට බව මම ප්‍රකාශ කළා.

ඒ වගේම විරෝධතාකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. නමුත් අත්අඩංගුවට ගත් සියලුදෙනාව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් විසින් නිදහස් කළා. එක විරෝධතාකරුවෙකුවත් සිරගත කළේ නැහැ. අනෙක තමයි නීතිඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් සමඟ සිටීම නිසා ඔවුන්ට එය දිරිගැන්වීමක් වුණා.

පාර්ලිමේන්තුවට පහර දෙන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීම මගින් දෙතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුවුණා. හමුදාව ඇතුළට යවා අගමැති කාර්යාලයේ පාලනය නැවත ලබා ගැනීමේ ක්‍රමය සොයා බලන ලෙස මම උපදෙස් දුන්නා. ඉන් පසුව ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය රජයේ පාලනයට නතු කරගන්නා ලෙස අප උපදෙස් දුන්නා.

රාජපක්ෂවරුන් නායකත්වය ලබා දුන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේද සහාය මට තිබීම නිසා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම ඉතා සුවිශේෂී එකක් වුණා. ඔවුන්ට ද අවශ්‍ය තිබුණේ මාව එම මැතිවරණයට ඉදිරිපත් කිරීමට. මම ඡන්ද 135කින් ජයග්‍රහණය කළා.

එම නිසා රට යථා තත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වුණා. ව්‍යාපාරිකයින්, පෞද්ගලික සමාගම් හිමිකරුවන් , ග්‍රාමීය ජනතාව ඇතුළු සියලුදෙනා මේ දෙස නිහඩවම බලා සිටිමින්, රට තුළ නීතිය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබා දෙමින් ඒ පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා. ඔවුන් මා වෙනුවෙන් නොසිටි නමුත් රට තුළ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළ සමඟ පෙනී සිටියා.

ඉතින් රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමෙන් පසු, ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මම පූර්ණ අවධානය යොමු කළා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවල නිතර වුණා. මෙම සැප්තැම්බර් මාසයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තීරණයකට පැමිණීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම රටේ සම්පූර්ණයෙන්ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙනවා.

ලිබරල්වාදී ලිහිල් ආර්ථික ක්‍රමවේදයක් හරහා වැඩි ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අප කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා. ඒ වගේම දිගු කාලීනව, වාසිදායක ලෙස වෙළෙඳ ශේෂය ඉහළ නංවාගැනීමට ආයෝජන අවශ්‍යයි . 2024 වන විට මෙම කටයුතුවල විශාල ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය

ආර්ථික අර්බුද පොදුවේ සියලු රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයක්. ඒ වගේම එය පොදු අභියෝගයක්. මීට දිගුකාලීන විසඳුමක් ලෙස දැකිය හැක්කේ පෞද්ගලික අංශයේ දායකත්වයයි.

පිළිතුර

දැනට තිබෙන විකල්පය වන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගත් උපාය මාර්ගික ක්‍රමවේදයක්. මම අවංකවම විශ්වාස කරන්නේ මේ හැර වෙනත් කිසිදු විකල්පයක් නැහැ. බොහෝ කලක සිට වෙළෙඳපොළ ආර්ථිකය විසින් තමයි මෙම ගැටලු විසඳා තිබෙන්නේ.

ප්‍රශ්නය

ප්‍රජාතන්ත්‍රවාදය හැර අනෙකුත් සියලුම පාලන ක්‍රමයන් භයානක බව වින්ස්ටන් චර්චිල් වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. ආර්ථිකය වර්ධනය කිරීමට ඇති එකම මාර්ගය කොන්සර්වේටිව්වාදය බව අවසානයේ අවබෝධ කර ගන්නා තුරු සමාජවාදය, ආරක්ෂණවාදය, සංගතවාදය, ජනප්‍රියවාදය අනුගමනය කිරීමට උත්සාහ දැරීම අපට නිරන්තරයෙන් දැකගැනීමට හැකිවන දෙයක්. එහිදී, ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවන්හි අනාගතය ඔබ දකින්නේ කෙසේද? එහි උපායමාර්ගික සබඳතා මොනවාද සහ ඊළඟට මුහුණ දෙන අවදානම් තත්ත්වයන් මොනවාද?

පිළිතුර

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සබඳතා ප්‍රධාන වශයෙන් ස්ථාපිත වී තිබෙන්නේ දකුණු ආසියානු කලාපය මූල් කරගෙනයි. ප්‍රධාන වශයෙන් ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, ජපානය, මැදපෙරදිග, සහ විශේෂයෙන්ම චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුළු, යුරෝපය සමඟ ද සබඳතා පුළුල් කර ගැනීමට අප කටයුතු කරනවා.

ප්‍රශ්නය

තරගකාරී වෙළඳපොළ පීඩනයන්, කොවිඩ් වසංගතය, විශේෂයෙන්ම වත්මන් යුක්‍රේන යුදමය තත්ත්වය යනාදී කරුණු නිසා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් මෙන්ම චීනය සහ එහි මිත්‍ර රටවල් අතර සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ධ්‍රැවීකරණයක් නැත්නම් ගැටුම්කාරී තත්ත්වයක් අපට දැකගන්න පුළුවන්.ආර්ථික වර්ධනයේදී ඔබ ශ්‍රී ලංකාව ස්ථානගත කරන්නේ කොතැනද? ලංකාවට හිමි තැන කුමක්ද ? එමෙන්ම, ඔබ ඒ සඳහා මොනවගේ ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කරන්නේ ?

පිළිතුර

මූලික වශයෙන්, අපි ගෝලීය දකුණේ සහ ආසියාවේ ස්ථාවරය සමඟ සිටිනවා. එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම අපට අවශ්‍යයි.

ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් රටවල ඉදිරි දැක්ම යන කරුණ සැලකිල්ලට ගැනීමේදී පැසිෆික් සහ අනෙකුත් කරුණු අතිශයින්ම වැදගත්. චීනයේ නැගීම, කලාපයේ රටවල දියුණුව සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එබැවින් චීනයේ ආර්ථික සංවර්ධනය අපට ඉතා වැදගත්. ඉන්දියාව සහ ආසියාන් කලාපිය රටවල්වල මෙන්ම මැදපෙරදිග අඛණ්ඩ තිරසාර වර්ධනයක් දැකීමට තවත් වසර 20 - 25 ක් වත් ගතවනු ඇතියි. බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත්ව ස්ථාපිත කරන අතර, පවත්නා ද්විපාර්ශ්වීය ශ්‍රී ලංකා එක්සත් ජනපද සබඳතා අගය කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි වැදගත් වන්නේ. අපි ආරම්භයේ සිටම එක්සත් ජනපදයට සහාය ලබා දුන්නා. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ඉන්දියන් සාගරයේ රිම් සංගමය (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහාය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

නමුත් අපි නාවුක කටයුතුවල නිදහස වෙනුවෙන් ද පෙනී සිටිනවා. ඒවගේම විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒවා අප සාමුහිකව විසඳාගත යුතුයි. සියල්ල එක බලවතෙකුගේ ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් එය කළ නොහැකියි. මිත්‍රශීලිව සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අර්බුධකාරී තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය

නිතරම ඇහෙන දෙයක් තමයි ඇමරිකාව අපේ ආරක්ෂාවට වැදගත් කියන එක. ඒ වගේම චීනයේ සහයෝගය අපේ ආර්ථිකයට තීරණාත්මකයි. චීන ආයෝජන මෙන්ම චීන ව්‍යාපාර ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්. අනෙක් අතට, මා දකින පරිදි, චීනයට ඇති විශාල බැඳීම් ගැටලුවක් ලෙස තිබෙනවා ?

පිළිතුර

පුද්ගලික අංශ ආයෝජකයන්ගෙන් විශාලතම ආයෝජකයා වන චීනය විශාලතම ද්විපාර්ශ්වික ණය ලබාදෙන රටක් වෙනවා. අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හසුරුවන්නේ කෙසේ දැයි චීනය දෙගිඩියාවෙන් සිටියේ.

අපට පැරිස් සමාජය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඉන්දියාව සහ චීනය පිටත සිට එය නිරීක්ෂණය කළා. කොහොම නමුත්, ඉන්දියාව පසුව පැරිස් සමාජයේ අදහසට එකතු වුණා.

ඉන්දු-චීන පොදු වේදිකාවක් පිළිබඳ හමුවේදී යෝජනා කළ නියෝජිතායතනය සමඟ අපි ඒ පිලිබඳ සාකච්ඡා කළා. නමුත්, චීනය පොදු වේදිකාවේ රැස්වීමේ නිරීක්ෂකයෙකු ලෙස පමණක් සහභාගී වී සිටියා. ඒ වගේම ඔවුන් අප සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව කියා සිටියා. නමුත් අපට වඩා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම පිළිබඳව උනන්දුවක් දැක්වුවා.සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු පාර්ශ්වකරුවන් ක්‍රියාකාරීව තබා ගන්නවා. ඒ වගේම අපි හැම පාර්ශ්වයක්ම දැනුවත් කරනවා. ඒ වගේම චීනය ඇතුළු අනෙකුත් බලවතුන් ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය

ඔබේ රට යුක්‍රේනය සහ රුසියාව යන රටවල් දෙකම සමඟ වැදගත් වෙළඳ සබඳතා පවත්වා තිබෙනවා. මතුව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

පිළිතුර

ගෝලීය දකුණේ බොහෝ රටවල් හුදෙක් පිටත සිට බලා සිටිනවා. ආසියාන් රටවල් යම් ක්‍රියාකාරී වැඩකොටසක් ඉටු කරන අතර, ඔවුන්ගෙන් බහුතරය මධ්‍යස්ත ක්‍රමවේදයක් අනුගමනය කරනවා.

අපට අවශ්‍ය වන්නේ ගැටුම් සමථයකට පත් කර ගැනීමත්, ගැටුම පුළුල් නොවන බවට සහතික කර ගැනීමයි. යුරෝපයේ ආරම්භ වී තිබෙන්නේ යුධමය තත්ත්වයක්. එනිසා අපි බලාපොරොත්තු වන්නේ නිදහස් සාමකාමී ස්වෛරී යුක්‍රේනයක් පමණයි. එය අප විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන අතර අවසානයේ මෙය විසඳිය හැක්කේ රුසියාවට පමණක් බව අප විශ්වාස කරනවා. එය තමයි සත්‍ය තත්ත්වය.

ජනාධිපති රම්පෝසාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් රුසියාව සහ යුක්‍රේනය බලා පිටත්වුණා, අපි මෙම යුද්ධයේ අවසානය දකින්න කැමතියි. මෙම අස්ථාවර තත්ත්වය අප්‍රිකානු රටවලට මෙන්ම අපටද දැඩි ලෙස බලපාමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ හේතුවෙන් ඉන්ධන සහ ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ප්‍රශ්නය

ඔබ යුද්ධය ගැන කතා කර තිබෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් තිබුණා. අපි කවුරුත් දන්නවා මින් පෙර තිබූ ගැටලු සහ ඒ පිළිබඳ එවකට රජයන් කටයුතු කළ ආකාරය. නමුත් ඔබ රට තුළ සංහිඳියාව ස්ථාපිත කරන්නේ කෙසේද කියා කියන්න පුළුවන්ද ?

පිළිතුර

මම අග්‍රාමාත්‍යවරයාව සිටියදී එම ක්‍රියාවලිය ආරම්භ කළ නිසා මම අවසන් කළ තැනින් ඉදිරියට යනවා. මම දමිළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරනවා. අපි බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළිබඳ නීති කෙටුම්පත් කර තිබෙනවා. නව ත්‍රස්ත මර්දන නීතිය පිළිබඳව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂය අතර ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබූ අතර ඉන් දෙකක් විසඳාගැනීමට හැකිවුණා. තුන්වන ප්‍රශ්නය නම්, ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරය සම්බන්ධවයි. එහිදීඔවුන් මගේ මතය විමසුවා. මම කිව්වා උසාවියෙන් තීන්දුවක් ගන්න අපි එම තීන්දුව අනුව කටයුතු කරනවා කියලා. මේ වන විට එය අධිකරණය විසින් විසඳීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් ඉඩම් ප්‍රශ්නය සමථයකට පත් වී තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු සාර්ථකව සිදුවෙමින් තිබෙනවා.

ජනපතිගේ නිවැරදි තීන්දු තීරණ නිසා සහල් ආනයනයට ගිය මුදලත් ඉතිරි වුණා - නලින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

‍එසේම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ බදු සහන ලබාගෙන ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු සඳහන් කළේය.

වෙ‍ළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (22) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා අවස්ථාවේදී රට විශාල අර්බුද රැසකට මුහුණ දෙමින් තිබුණා. එවැනි අවස්ථාවක තමයි එතුමා මට රටේ ජනතාවට ඉතා සංවේදී අමාත්‍යාංශයක් භාර දුන්නේ. රට තුළ ඇතැම් ආහාර තිබුණේ දින දෙක තුනකට පමණයි. කෘෂිකර්මාන්තයේ තිබූ කඩාවැටීමත් සමඟ ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවුණු ආකාරයට පිටරටින් හාල් ආනයනය සඳහා පියවර ගැනීමට සිදුව තිබුණා. පසුගිය රජයේ පොහොර ප්‍රතිපත්තිය නිසා ආහාර අර්බුදයට සෘජු බලපෑමක් එල්ල වුණා. නමුත් ජනාධිපතිවරයා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ යළිත් නිසි පරිදි ක්‍රියාත්මක කළා. ඒ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ ‍හේතුවෙන් ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවන්නේ නැහැ. සහල් ආනයනය කිරීමට වැය කළ ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් රටට ඉතිරි කර ගැනීමට එමඟින් හැකියාව ලැබී තිබෙනවා. එලෙස ඉතිරි වන ඩොලර් ප්‍රමාණය යොදාගෙන ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ ආනයනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මේ වන විට භාණ්ඩ ආනයන ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආනයනයකරුවන්ට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම ශක්තිමත් වී තිබෙනවා. වෙළෙඳ පොළ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ නමුත් බඩු මිල අඩු වෙලා නැත්තෙ ඇයි කියලා ජනතාව අහනවා. දෙසැම්බර් මස වන විට ආහාර උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකියාව ලැබෙයි කියා අප විශ්වාස කරනවා. 2022 වසරේ පැවති භාණ්ඩ මිලට වඩා අද වන විට භාණ්ඩ මිල පහළ ගොස් තිබෙනවා. උදාහරණයක් විදිහට රුපියල් 314 කට තිබූ ලූනු කිලෝව අද වන විට රුපියල් 120 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ වගේම අර්තාපල්, සුදු සීනී, රතු පරිප්පු, කඩල, සුදු කැකුළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී තිබෙනවා. සෘජු ආනයනය කිරීමට ඉඩ දුන් නිසා තමයි එහෙම සහනයක් ජනතාවට ලබාදීමට හැකිවී තිබෙන්නේ. දේශීය කර්මාන්කරුවන් කිහිප දෙනෙක් තවමත් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබාදීමට පියවර ගෙන නැහැ.

රජය ඔවුන්ට ලබාදුන් සහන හේතුවෙන් ඔවුන්ට පවතින මිලට වඩා තවත් මිල අඩු කරන්න හැකියාව තිබෙනවා. ඉදිරියේදී මේ මිල පහළ නොදැමීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාරි‍භෝගික අධිකාරියට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම ටයිල්, සිමෙන්ති, නානකාමර උපාංග සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නවා. මීට අමතරව මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයක් සඳහාම උපරිම සිල්ලර මිලක් නියම අනිවාර්යය කරනවා. ටයිල් ආනයනය කිරීම අඩු කිරීමෙන් ඒවායෙහි මිල ඉහළ යෑමක් සිදු වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හරහාත් තරගයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. එම තරගයට සූදානම් වෙන්න කියා මම ඔවුන්ට දැනුම් දුන්නා. රජයක් ලෙස අප ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය වටපිටාව මේ වන විට සකස් වී තිබෙනවා. ඉදිරියේදී සිමෙන්ති සඳහා සිල්ලර මිල නියම කිරීමේදී එම ගණනය කිරීම් සිදුකළ ආකාරය පැහැදිලි කළ යුතු බව මම එම සමාගම්වලට දැනුම් දී තිබෙනවා. සිමෙන්ති නිෂ්පාදනයට ගිය වියදම, ලාභය, වෙළෙන්දාට ලබාදෙන ලාභය සැලකිල්ලට ගෙන උපරිම සිල්ලර මිල නියම කළ යුතුයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වැටලීම්වලට යනවාට වඩා අද සිදුව තිබෙන්නේ පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීමටයි. මිල ප්‍රදර්ශනය කිරීම නිසි පරිදි සිදු කර තිබුණොත් මිල හරියට බලා ගන්න පුළුවන්. මිල ප්‍රදර්ශනය කිරීම් සියයට සියයක්ම සිදුවෙනවා ද කියා සොයා බැලීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ජීවන වියදම පිළිබඳව තිබෙන ගැටලුවලට විසඳුමක් ලෙස නිෂ්පාදන වියදම අඩු කිරීමටත් පියවර ගත යුතුයි. නිෂ්පාදකයාට අලුත් තාක්ෂණය ලබා දිය යුතුයි. මේ වන විට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් අප වාර්තාවක් සකස් කරමින් සිටිනවා. එමඟින් දේශීය නිෂ්පාදකයා හරහා අඩු මිලට පාරිභෝගික ජනතාවට භාණ්ඩ ලබාදීමට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. පරිප්පු සියයට සියයක්ම ආනයනය කරනවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි දේ පවා තවමත් අපි ආනයනය කිරීමේ තත්ත්වයක් තිබෙන්නේ. මේවා තේරුම් අරගෙන වැඩ කිරීම අවශ්‍යයි.

ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව කළමනාකරණය කිරීම දුෂ්කර කටයුත්තක්. වසර විස්සකට පසුව පාරිභෝගික අධිකාරි පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම පනත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීලා තිබෙනවා. එමඟින් විශාල වශයෙන් පාරි‍භෝගික ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

 අඩු මිලට දේශීය නිෂ්පාදන සකස් කිරීමට වැඩපිළිවෙළක් අප සකස් කරගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට විශාල වැඩ කොටසක් රජය සිදුකර තිබෙනවා. 1864 පාන් ආඥා පනත අවලංගු කරන්න මම ඉල්ලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවටත් හා වෙළෙඳ අමාත්‍යාංශයටත් එම පනතින් කිසිදු වැඩක් කර ගන්න බැහැ. ප්‍රමිතිය බලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. බර බලන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව. පාන් ආඥා පනත කොටස් තුනකට වෙන් වෙලා. එම පනත අවලංගු කරලා පාන් සඳහා නව පනතක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. සහල්වලට අමතරව තිරිඟු පිටි තමයි ජනතාව වැඩිපුරම භාවිතා කරන්නේ. ඒ නිසා තිරිඟු පිටි සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. කොහොම නමුත් පාන් මිල ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක මිල අඩු වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් මිල අඩු වෙයි කියා විශ්වාස කරනවා.

භාණ්ඩවල මිල පහළ දැමීම සඳහා එයට සම්බන්ධ අනිකුත් අමාත්‍යාංශවල සහාය ද ලබාදිය යුතුයි. ඒ වගේම පාරිභෝගික ජනතාවට සහන ලබා නොදෙන සමාගම්වලට දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට වන්නේ නැහැ. මේ රටේ තිබෙන ඇතැම් සමාගම් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට කටයුතු කර නැහැ. නමුත් ඔවුන් රජය වෙතින් ලබාගත හැකි සහන උපරිමයෙන් ලබා ගෙන තිබෙනවා. ඒ තුළ ඔවුන් අසාමාන්‍ය ලෙස ලාභ ලබනවා. මොවුන් රටේ ජනතාව ගැනත් සිතිය යුතුයි. රට ගොඩනඟන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන භාණ්ඩවල මිලත් අඩු විය යුතුයි. රටේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන්න, සාමාන්‍ය පුරවැසියෙකුට නිවසක් ඉදිකර ගන්න, වැසිකිළියක් ඉදිකරන්න අවශ්‍යයි. ඒ නිසා අසාමාන්‍ය ලෙස මිල වැඩි කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නිතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ලංකා රජයේ වැඩ ගැන IMF වෙතින් සහතිකයක් !

වර්මානයේ පවතින ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන ආකාරය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසයි.

ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර ඇත.

ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මුණගැසීමෙන්  අනතුරුව  ට්විටර් සටහනක් තබමින් ය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටී.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්  විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගීව සිටියි.

ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වනුයේ  "වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම" යන්නය.

බෲනෝට ඇප : නතාෂා නැවතත් බන්ධනාගාරයට

SL-Vlogහි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 21) නියෝග කර තිබේ.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.

කෙසේ වෙතත්, නතාෂා එදිරිසූරිය ජූලි 05 වන දා දක්වා නැවත ත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මේ අතර, ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන ජූලි මස 5 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජෙරොම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.

ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ජනපති සහ පැට්‍රීෂියා අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළේය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබිණ.

IMG 20230620 WA0017

මහින්ද කහඳගම රිමාන්ඩ් !

පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

ඒ කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සැකකරු අද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 07 වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහනුවර පදිංචි ජයන්ත මුණවීර යන අය විසිනි.

කොළඹ වංචි විමර්ශන කාර්යාංශයේ ඒකක 07හි අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක දිසානායක සහ පොලිස් සැරයන් (69043) ඉහළගෙදර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූහ.

වගවීම සම්බන්ධ එ.ජා. යෝජනා ශ්‍රී ලංකා රජය පැහැර හැරලා ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් තුන්වන සැසිවාරය 2023 ජුනි 19 දින ජිනීවා නුවර දී ආරම්භ විය.

එහි පළමු සැසියේ දී, මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා වන වෝකර් ටර්ක් විසින් එම සැසියේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන රටවල සංක්ෂිප්ත තත්ත්වය පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

එහි දී, "ශ්‍රී ලංකා රජය 'කණගාටුදායක' ලෙස වගවීම පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කළත්, අපගේ වැඩකටයුතු සඳහා එය දිගටම යොදා ගන්නවා,"යි නව මහ කොමසාරිස්වරයා අදහස් දැක්වූවේ ය.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත කෙරුණේ පසුගිය වසරේ 2022 ඔක්තෝබර් හයවැනි දා ය. එම යෝජනාවේ කරුණු 19ක් අඩංගු වූ අතර, එයින් නවයක් ම ආර්ථික අර්බුදය සහ මෑතකාලීන මානව හිමිකම් කඩවීම් හා සම්බන්ධ ය.

කෙසේ වෙතත්, එම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.

සැසිවාරයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, දශක ගණනක් තිස්සේ ජනවරම දරා සිටි අය ක්‍රියාත්මක නොකළ මෙම යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීමට ඔහු ශ්‍රී ලංකාව උනන්දු කරන බව ප්‍රකාශ කළේ ය.

මෙවැනි යෝජනා පැමිණි විට, [බොහෝ රටවල්] ඒවා ක්‍රියාත්මක කරනවා වෙනුවට නව සැසිවාරයන්හි දී 'ඔහේ රෝල්කරමින් ඉදිරියට ගෙන යන' බවත්, එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉදිරියට එන්නැ යි සියලු රටවල්වලින් බලවත් ඉල්ලීමක් සිදු කරන බවත් ඔහු පැවසුවේ ය.

නව මහකොමසාරිස් 'වෝකර් ටර්ක්' කවු ද?

ඔස්ට්‍රියානු ජාතික නීතිඥවරයෙකු වන වෝකර් ටර්ක්, වියානා විශ්වවිද්‍යාලයයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ තැනැත්තෙකු වන අතර, ඔස්ට්‍රියාවේ ලින්ස් විශ්වවිද්‍යාලයයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අයෙකි.

ඔහු ජාත්‍යන්තර සරණාගත නීති සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති සම්බන්ධයෙන් බොහෝ ලියවිලි ප්‍රකශයට පත් කර තිබේ.

ඔහුගේ දිගුකාලීන වෘත්තිය ජීවිතය තුළ දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විධායක කාර්යාලයයේ ප්‍රතිපත්ති පිළිබඳ උපලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු රටවල් ගණනාවක ම මානව හිමිකම් සම්බන්ධයෙන් වසර ගණනාවක් විවිධ තනතුරු දරමින් කටයුතු කර ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ දැක් වේ.

ඔහු, මීට පෙර මහකොමසාරිස් ලෙස කටයුතු කළ මිචෙල් බැචලේගෙන් පසු 2022 ඔක්තෝබර් 17 සිට මෙම තනතුර දරයි.

මෙවර සැසියේ ප්‍රධාන මාතෘකා මොනවා ද?

මෙවර මානව හිමිකම් සැසිවාරය ජුනි 19 සිට ජුලි 14 දක්වා පැවැත්වීමට නියමිත ය.

වෙනිසියුලාව, මියන්මාරය, යුක්ක්‍රේනයේ තත්ත්වය, ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ පා සිටින තත්ත්වය හා සුඩානයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය මෙවර සැසියේ දී මූලික වශයෙන් ම සාකච්ඡා කිරීමට නියමිත ය.

මීට අමතර ව, ශ්‍රී ලංකාවේ මානව භිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාචික යාවත්කාලීන කිරීමක් සහ, ශ්‍රී ලංකාව, පාකිස්ථානය ඇතුළු රටවල් 13ක විශ්වීය වාර සමාලෝචනයේ අවසන් ප්‍රතිඵල පිළිබඳ සලකා බැලීමට ද නියමිත ය.

බීබීසී

මහින්දානන්දගෙන් ජනපති ගැන සහතිකයක් !

‘මීට වසරකට පෙර ලෝකයා අපේ රට ‍දිහා බැලුවේ ඉතියෝපියාව දිහා බලනව වගේ. නමුත් වසරකට පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර අරගෙන රට යථා තත්ත්වයට පත්කරල තිබෙනවා’ යයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

මීට වසරකට පෙර ලෝකයා අපේ රට ‍දිහා බැලුවේ ඉතියෝපියාව දිහා බලනව වගේ. නමුත් වසරකට පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර අරගෙන රට යථා තත්ත්වයට පත්කරල තිබෙනවා. දැන් මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත්වෙනකොට ඒ තනතුරට වත්මන් ජනාධිපතිතුමා පත්කරන්න ගත්තු තීරණය සම්බන්ධයෙන් අපි සතුටට පත්වෙනවා.

මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් අපි මේ වෙලාවෙ රට ගැන හිතන්න ඕන. අපිට පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර නැහැ. මේ වෙලාවේ අපි ඉන්න ඕන රට ගොඩගන්න දේශපාලන න්‍යායපත්‍රයේයි. ඒ නිසා කොන්දේසි විරහිතව අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදුන්නා. ඉදිරි වසර දෙකහමාරතුළත් රට ගොඩගෙන ආර්ථිකය ස්ථාවර කරන්නත් අපි ඔහුට මහය ලබාදෙනවා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභ්‍ය රාජපක්ෂය වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහතාට වෙන්නත් අපි ඉඩ තියන්නේ නැහැ.

රට ගොඩගන්න, මිනිස්සු ජීවත්කරන ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට සහය දෙන ගමන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. පසුගිය කාලයේදි ෆේස්බුක් එකේ ජනාධිපතිවෙලා හිටියේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු දිගින් දිගටම රැස්වීම් තියාගෙන ගියා. අනුරගෙ රැස්වීම්වලට ජන ගඟක් කියල මාධ්‍යයේ පළවුණා. නාවලපිටියේ අපි අනුරගෙ රැස්වීමට හොඳම තැනක් දුන්නා. ඒ රැස්වීමට 950ක් විතර ආවා. නාවලපිටියේ රැස්වීමට දිස්ත්‍රික්ක තුනකින් සෙනඟ ගෙනාව. අරගලය වෙලාවේ මිනිස්සු ගෙනාවේ බයකරල.

අරගලයට නායකත්වය දුන්න සංවිධාන අටකට පිටරටින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලැබුණු බව පුවත්පත්වල පළව තිබෙනවා. මිනිස්සු දැන් මේව දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන් එක්ක කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධානයක්. මම ඒක හැමදාම කියනවා. 2009 දි ප්‍රභාකරන් මරන්න කටයුතු කරනකොට අයවැය පරාජය කරන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා මහින්ද මහත්තය පැරදුණානම් යුද්ධය තවමත් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ පියා ජාතික ලැයිස්තුවට නම්කළේත් ජනතා විමුක්ති පෙරමුණයි.

අනුරට තියෙන්නේ ඡන්ද තුනයි. කතාව පාර්ලිමේන්තුවේ 150ක් ඉන්නව වගේ. දැන් බඩු මිල අඩුයි, ඉන්ධන මිළ අඩුයි, විදුලිය දෙනව. ඒ නිස අද අනුරලාට ජනතාව අතරට එන්න මාතෘකා නෑ. මාධ්‍ය මර්ධන පනතක් අල්ලගෙන ඒකෙන් ගොඩ යන්න අනුරල හදනවා. මාධ්‍ය මර්ධනයක් වෙනව නම් අපිත් එතන නැහැ. නමුත් මාධ්‍ය නියාමනයක් සිදුවිය යුතුයි. එතන අපි ඉන්නවා.

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියවනවා. මිනිහ පත්තර මල්ලි වගේ. සජිත් නැඟිටිනකොට අපේ මන්ත්‍රීවරුන්ගෙන් භාගෙට භාගයක් නැඟිටල යනවා. ඇවිදින්නෙත් ජනාධිපති වගේ. හෙට අනිද්දට ඔහුගෙ පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා ළඟ හිට ගන්නවා. අපේ අයගෙන් බොහෝ දෙනෙක් හෙලිකොප්ටරේ එල්ලිලා. එතන ඉන්න සියයට අසූවකට වැඩි පළාත් පාලන නියෝජිතයන් පිරිසක් නැවත අපි එක්ක එකතු වෙනවා. ඩලස් අලහප්පෙරුම අපෙන් ඡන්දය අරගෙන සජිත් එක්ක සන්ධාන ගහගත්තා. ඒක තමයි ඔහු කරපු ලොකුම වැරද්ද. ද සියළු දෙනා අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි බය වෙන්න අවශ්‍ය වන්නේ නැ.

පාදඩයන්ගේ ගෝරනාඩුව !

ජාතික ජනබලවේගයේ නලීන් හේවගේ විසින් මෛත්‍රී වික්‍රමසිංහ හට අපහාසාත්මකව කතා කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වනු දැකිය හැකිය. මෛත්‍රී වික්‍රමසිංහ වැඩිවියට පත්වීම පිළිබඳව මේ ප්‍රකාශ සම්බන්ධයෙන් සමබිමේ අප විසින් පැතිකඩ කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන්නෙමු.
 
ප්‍රධාන වශයෙන් වමේ දේශපාලනය කරනවා යයි කියමින් සිටින, මේ රට වෙනස්  කරනවා යයි පුරාජේරු කියන, නරුමවාදී ජ.වි.පෙ. ප්‍රධාන සාමාජිකයකු විසින් කාන්තාවන්ට අපහාසාත්මකව කතා කිරීම දැකිය යුත්තේ කෙසේද? මෙයින් පැහැදිලි වන්නේ ගෙදර තම බිරිඳ ට ආදරේට කුණුහරපෙන් අමතන මින්නේරිය වැනි ගමක සාමාන්‍ය මනුස්සයෙක් හා ජ.වි.පෙ. ප්‍රමුඛ විද්වත් ජාතික ජනබලවේගයේ විද්වතුන් අතර වෙනසක් නොමැති බවය. එසේම නලීන් හේවගේ කාන්තාවන්ට අපහාසාත්මකව කතා කරන විට එයට හූ තියමින් සිය එකඟතාවය පළ කරන්නේ ද නලීන් හේවගේ පන්නයේ ගැමියන් ය. 
 
පාදඩ වාචාලකමක් සහිත ඔහේ හිතට නැගෙන සිතුවිලි ප්‍රසිද්ධ වේදිකාවේ කියවන නලීන් හේවගේ දැන් ජා.ජ.බ. වේදිකාවේ නැතුවම බැරි චරිතයකි. ඔහුගේ කතා ඇසීමට බොහෝ ගැමියන් රැස් කකා ඇදෙයි. මේ බව දන්නා ටිල්වින් සිල්වා 2002 දී විමල් වීරවංශව ට වේදිකාවේ  වැඩි ඉඩක් වෙන්කර විමල්ගේ කටින් ගොඩ යෑමට දැඟලුවාක් මෙන් දැන් නලීන් හේවගේ ට මයික් එක ලබා දී ඇත. ජ.වි.පෙ. විමල් වීරවංශව හා නලීන් හේවගේ අතර කිසිදු  වෙනසක් නැත. දෙදෙනාම ජාතිවාදී, වර්ගවාදී, පුරුෂෝත්තම වාදීන් වීම නිසාය.
 
මේ අනුව නලීන් හේවගේ හරහා ජ.වි.පෙ. සිදු කරමින් සිටින්නේ පහළ පංතිවල ජනතාව පාලනය කිරීමයි. එය අන් අයට වඩා නිවැරැදිව සිදු කරන්නේ නලීන් හේවගේ විසිනි. ටිල්වින් ට අනුව ඔහු දක්ෂය.
 
ජ.ජ.බ.යේ හරිනි අමරසූරිය එක් පසෙකින් ස්ත්‍රීවාදය දේශනා කරමින් කාන්තාවන්ට සිදුවන අපහරණ ගැන පෙනී සිටින පසුබිමක නලීන් හේවගේ විසින් අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධ වේදිකාවේ දී නිකුත් කරයි. අප දන්නා තරමට ස්ත්‍රීවාදීන්ට සහ ස්ත්‍රී විරෝධීන් ට එකම වේදිකාවේ තියා එකම පක්ෂයක හෝ සිටිය නොහැක. ජ.ජ.බ. පැල්ම මතු වන්නේ මේ ආකාරයට ය. දෙදෙනාටම පවතින ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍යව ඇති බැවින් දෙදෙනාටම කිසිදු ගැටලුවක් නොමැති ව එකට සිටිය හැක. එය ජාතිවාදී මහින්ද රාජපක්ෂ සමඟ මාක්ස්වාදී ජ.වි.පෙ. උතුරේ විමුක්ති අරගලය පරාජය කිරීමට එකම වේදිකාවක සිටියාක් මෙනි. 
 
එසේම අනෙක් අතින් ගත්කල සමාජයේ වෙනස් කිරීමට යන නලීන් හේවගේ වැනි විජේවීර වාදීන් තමන් එලෙසම තවදුරටත් සිටීමට උත්සහ කරයි. සැබෑ සමාජ විප්ලවයක් වීම යනුවෙන් හඳුන්වන්නේ තමන් වෙනස් වීමයි. නලීන් හේවගේ ඇතුළුව ජ.ජ.බ. බාහිර ලෝකය වෙනස් කිරීමට උත්සහ කරන්නේ මේ ආකාරයට ය. ගෙදර බිරිඳ ට කතා කරන විදිය මෙන්ම සමාජය අතර ඇති වෙනස මොවුන්ට අවිඥානිකය. 
 
ඈත ගම්වල ගැමියන් දැරියක වැඩිවියට පත්වීම සලක්න්නේ අසාමාන්‍ය දෙයක් ලෙස මිසක සාමාන්‍ය විද්‍යාත්මක කරුණක් ලෙස නොවේ. වැඩිවියට පත්වීම මැජික් එකක් ලෙස සලකනු ලබන නොදියුණු ගැමියන් තවමත් ගම්වල ඇත. මෙම අගති දේශපාලනයට  ඒම විශේෂයෙන් වාමාංශික දේශපාලනයට ආ විට දේශපාලනය යනු වෙනස් කිරීමට සහ වෙනස් වීමට ඇති දෙයක් ලෙස නොව  තමන්ගේ අගතීන් සමාජගත කිරීමේ තෝතැන්නක් ලෙසයි. එබැවින් අවසානයේ මාක්ස් ලෙනින්ට වඩා තම නුහුගුණ තත්වයන් අධිනිශ්චය වේ. ජ.ජ.බ. යේ නලීන් හේවගේ හරහා ඉඟි කරන්නේ මෙයයි.
 
සමබිම පක්ෂයේ ෆේස්බුක් පිටුවෙනි 

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය - පනත් කෙටුම්පත සම්මතයි !

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (20)පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පළමු කතාව පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය කාර්යය සහ කර්තව්‍යය නිශ්චිතව දැක්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව එහි සඳහන් වේ.

මෙය පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

YOUTUBE බලා ගිනි අවි හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට !

යූ ටියුබ් වීඩියෝ නරඹා ගිනිඅවි නිදපවූ පුද්ගලයින් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීලදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුය.

සැකකරුවන් දෙදෙනාගේ ඥාතීත්වය මාමා සහ බෑනා ලෙස අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, අඩි 05ක් පමණ දිග ගිනි අවියක්, T56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් ද සොයාගත් බව පොලීසිය කියයි.

ප්‍රධාන සැකකරු අරගල සමයේ බදුරලිය ප්‍රදේශයේ රුපියල් කෝටි 14ක පමණ වටිනාකමකින් යුත් වාහන සහ යතුරුපැදි වෙළෙඳසැලක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු බවද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිත කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීති විරෝධී ක්‍රියා 4ක් ගැන තොරතුරු 1997 ට කියන්න !

විෂ මත්ද්‍රව්‍ය මෙන්ම නවක වාදය ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ට අදාළ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කෙටි දුරකථන අංකයක් ස්ථාපනය කර ඇත.

1997 ලෙසින් වන එම අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම කෙටි දුරකථන අංකය ඔස්සේ...

  • විෂ මත්ද්‍රව්‍ය
  • සංවිධානාත්මක අපරාධ
  • මහා පරිමාණ පාරිසරික හානි
  • උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පාසල් නිල ඇඳුමේ වෙනසක් !

ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටියි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර සිටින්නේ පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත.

"බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමාගේ අනුමැතියත්, ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියත්, අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියත් එයට හිමිවෙලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඒක හොඳ කාර්යයක් විදියට අපි දකිනවා. ඒක මේ අවධානම් තත්ත්වය පහව යන තුරු සිදුකරන්න."

Page 155 of 440