Ad

Ad 01

V2025

පුවත්

රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට

ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලැබූ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලැබීමට යන බවට පැතිර යන ආරංචිය අතිශයින්ම සුභ ආරංචියක් වන අතර එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතයට ශක්තියක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
 
 මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  මහාචාර්ය මිල්ටන් රාජරත්න මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අවධාරණය කර සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස රවී කරුණානායක මහතාට පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සියලු වගකීම් සහ කාර්ය භාරයන් පවරා දෙන ලෙසයි.
 
රවී කරුණානායක කියන්නේ උගතෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. ආචාරශීලී පුද්ගලයෙක්. සුහදශීලී පුද්ගලයෙක්. මිත්‍රශී පුද්ගලයෙක්. ඔහුට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තිබෙනවා. ලෝකය ඔහුව පිළි ගන්නවා. ඒ වගේම ඔහු නැති බැරි, අන්ත අසරණ, දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු අහංකාර නැහැ. උද්ධච්ඡ නැහැ. රෑ 12.00 ට කතා කළත් දුරකථනයට එනවා. ඔහුට හොඳ පළපුරුද්දක් තිබෙනවා. ඒ වගේම ඔහුට තිබෙන්නේ තරුණ සිතුවිලි. එමනේම ඔහු උසාවියෙන් නිර්දෝෂී වූ පුද්ගලයෙක්.
 
රවී කරුණානායක මහතා සතු මෙම කුසලතා සහ ගුණාංග නිසා ඔහුට ජන සමාජයේ සෑම තරාතිරමකම සහ සෑම ස්ථරයකම ජනයා එකට ඒකරාශී කළ හැකියි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත හොත් විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපට ද එම පක්ෂයට මතවාදී සහයක් ලබා දීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ වන විට විසිරී සිටින එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කළ විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් යළි එකට ඒකරාශී කිරීමේ ශක්තිය ද රවී කරුණානායක මහතාට තිබෙනවා."

ජවිපෙ අපේක්ෂකයන්වත් උද්ඝෝෂණයට ආවේ නෑ - ප්‍රසන්න

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සඳහා ඔවුන් ගේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දහයෙන් එකක් වත් සහභාගී කරවා ගැනීමට සමත් නොවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

ජවිපෙට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වැඩකිරීමට වුවත් ජනතාවට අවශ්‍ය එය නොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පැවති උත්සවයක් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මාධ්‍ය යොමුකළ ප්‍රශ්න වෙත ප්‍රතිචාර දක්වමින් මෙසේද පැවසීය .

අද මිනිස්සු තේරුම් අරන් ඉවරයි. ඒ අයට ඕනා දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නයි. ඒක මිනිස්සු පිළි ගන්නේ නෑ. මුල තිබුණ තත්ත්වය ඒ අයට නෑ. ඒක ඔවුනුත් තේරුම් අරන් තියෙනවා. අපි හිතනවා ජාතික මැතිවරණයකට අනාගතයේදී යයි කියලා. ඕනිම මැතිවරණයකට පොහොට්ටුව සුදානම්.

ප්‍රශ්නය – මේ වසරේදී මැතිවරණයක් තියෙනවද.

පිළිතුර – ඒක මැතිවරණ කොමිසම තීන්දු කරන්න ඕනි. ආණ්ඩුව තීන්දු කරන්න ඕනි. මිනිස්සු ඉල්ලුවේ මැතිවරණයක් නෙමෙයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විදියක්. ඒක දැන් හදාගෙන යනවා. රට ස්ථාවර භාවයකට යනකොට මැතිවරණ වලට යන්න පුළුවන්.

ප්‍රශ්නය – මැතිවරණයකට වියදම් කරන්න රටේ මුදල් තියෙනවද?

පිළිතුර – ඒක මුදල් අමාත්‍යාංශයෙන් කියන්න ඕනා දෙයක්. හැබැයි දේශපාලන පක්ෂයක් විදියට සංවිධාන ව්‍යුහය හදලා තියෙනවා ඕනිම මැතිවරණයකට.

ප්‍රශ්නය – ගෙනල්ලා තියෙනවා නව මාධ්‍ය පනතක්. ඒ පනතට ඔබතුමන්ලා සහයෝගය දෙනවද.

පිළිතුර – ඇත්තටම මාධ්‍ය නිදහස සලකනවා. මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි ඒ නිදහස වල් බූරු විදියට පාවිච්චි කරනවා නම් වැරදියි. මම ඒවට බැට කාපු මිනිහෙක්. මාධ්‍ය ආයතන වුණත් යම් දෙයක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒකේ වගකීමක් අරන් කරන්න ඕනි. කරලා ඉවර වෙලා සමාවෙන්න කියලා පහුවෙන්දා චූටි අකුරෙන් දාන එක නෙමෙයි කරන්න ඕනි.

අලුත් ප්ලෑනක් !

පියාණන්ගේ නාමයෙන් රටේ ලොකු පුටුවට වෙහෙස වෙන පුත්‍රයෙක් මේ වෙද්දි ලොකූ ප්ලෑනක් අඳිනවලු ඊළඟ බලය අල්ලන්න. එයා එකපාරකුත් ඉල්ලලා වැඩේ අවුල් වුණු නිසා මේ පාර ඉල්ලලා දිනන්නමලු ඉන්නෙ. ඒත් එහෙම හිටිය කෙනා හදිසියෙම 2030 සම්බන්ධව ප්ලෑන් එකකුත් අඳින්න අරන්ලු.

එයා කියන්නේ එයාට තවම වයස තියෙන නිසා මේ පාර වැඩිය දඟලන්නේ නැතුව ඉන්නවා කියලා. දැනට ඉන්න ලොකු තැනට තව චාන්ස් එකක් එන බව දැනුණොත් එයා මේ ප්ලෑන් බී හෙවත් 2030 සටනටලු වැඩේ කරන්න ගන්නෙ.
පුළුවන් තරම් එයා පොදු අපේක්ෂකයා වෙන්නලු හදන්නෙ. එහෙම බැරිවුණොත් එයා ඉවසලා ඉන්නවා කියලයි කියන්නේ වෙලාව එනකල්. මොකද උන්නැහේගෙ රාජයෝගය වැඩ කරන විදියට ඡන්දෙට සැට් වෙන්නලු කල්පනා කරන්නෙ.

deshaya

ඝාතකයාට සමාව දීමට රතනහිමි ඇතුළු පිරිසක් බලපෑම් කළාද?

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (ජුනි 12 වැනිදා) අනාවරණය විය.

විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණ අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.

එම ලිපියේ අන්තර්ගත කරුණු වලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයින්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව පෙනී යන බවය.

මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

නිලධාරීන් ජනාධිපතිවරයා නොමඟ යවලද?

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමඟ යැවීමක් කර තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනකියා සිටියේ, මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ යැවීමක් කර ඇතැයි, පෙනී යන බවය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයවර්ධන , අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන ලේඛන පිරික්සීමේදී අදාළ සමාව ප්‍රදානය කිරීමේ කටයුත්ත එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදු වී ඇතැයි, පෙනී යන්නේ යැයි කියා සිටියේය.

මෙම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම වරදකරුට සමාව ලබාදීමට නිර්දේශ කිරීමේ දී අදාළ කමිටුව විසින් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණයේ, තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් අදාළ කමිටුව තම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල පවතින ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බව මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පෙන්වා දෙනු ලැබීය.

වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටළු සහගත බව විනිසුරු තුරයි රාජා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 20 වැනිදා තෙක් කල් තැබුණි.

ඝාතන සිද්ධියේ පසුබිම

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙනලදි.

කෙසේවෙතත්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ.

ඔක්තෝබර් 20 වෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින්, ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි.

අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයත් සමඟය.

BBC

නැගෙනහිර හමුදාව අත්කරගෙන සිටි ඉඩම නිදහස් කරයි !

මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භටපිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.

එහිදී සඳහන් වන ආකාරයට රජයේ නියෝගයට අනුකූලව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස් කේ ආර්.කේ.හෙට්ටිආරච්චි විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මියට එම ඉඩම්වල නිත්‍යානුකූල ලිපි ලේඛණ බාරදී ඇත.

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්ෂ3ක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය.

අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 56 දෙනෙකුට පමණ අයිති මෙම ඉඩම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නිත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත පැවරීමට නියමිතව ඇත.

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට නඩු !

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු පවරා තිබේ.

ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ මැයි 09 වනදා රට තුළ පැවැති තත්ත්වය හමුවේ මෙම ඝාතනය සිදුවී තිබිණ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරින් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

අනුර මනතුංග පවසා ඇත්තේ පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බවය.

වසරේ අග ආර්ථික වර්ධනය ධන අගයකට !

මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකතනයන් සිදු කළද , පසුගිය වසරේද එම පුරෝතකනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි. මෙම වසරේද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බව පැවසෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ සෘණ 3.0 ක් වනු ඇත. එසේම මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2- 3 අතර අගයක් ගනු ඇත.

කෙසේ වෙතත් සියළු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ථානයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

කඩිනම් ජනාධිපතිවරණ අදහස ආණ්ඩුව අත්හැරලා !

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කඩිනම් ජනාධිපතිවරණ අදහස අත්හැරීමෙන් පසු ලබන වසරේ (2024) අගෝස්තු මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් ඊට පෙර ජනාධිපතිවරණ මෙහෙයුම් ආරම්භ කොට මූලික සංවිධාන කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය තීරණය කර ඇත.

දැනට වාර්තා වන තොරතුරු අනුව ඉදිරි ජනාධිපතිවරණයට විවිධ පක්ෂ සහ සංවිධාන යටතේ තරග කරන බවට ප්‍රචාරය වන නම් ගණනාවක් ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේ හැර විපක්ෂයේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ද අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම සිටි ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ජනක රත්නායක යන අය ගැන ද විවිධ දේශපාලන පර්ෂදවල සාකච්ඡා කෙරෙමින් පවතී.

ඒ අතර පක්ෂ මාරු ගණනාවක් ගැනද අදහස් පළවෙමින් ඇති අතර සුළු පක්ෂ ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද තවත් සුළු පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායටද ඉදිරිපත් වනු ඇත. කුමාර වෙල්ගම, රවුෆ් හකීම් සහ ජීවන් තොණ්ඩමන් යන පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනු ඇතැයි සඳහන්ය. පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සජබ සමඟ එක්වී ජනාධිපතිවරණ ව්‍යාපාරයට පිවිසෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර සමගි ජන බලවේගය ගනු ලැබූ විශේෂ තීරණයකට අනුව එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයන් බහුතරයක් ඉදිරි මහ මැතිවරණයකදී තරග කර මන්ත්‍රී ධූර ලබාගත යුතු යැයි යෝජනා වී තිබේ. කෙසේ නමුත් පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අදහස වන්නේ ලබන වසර මුලදී හෝ කල් දමා ඇති පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවටය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධ තීරණය මෙතෙක් ප්‍රකාශ කර නැත.

  • deshaya

විදුලිබලේ ජවිපෙ වෘත්තීය සමිතිය ආයෙත් සටනට !

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මේබව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕනේ. එම පනත සම්මත වීමෙන් පසු සති 6ක් ඉක්මවා යෑමෙන් අනතුරුව ඔක්තෝබර් 1 වනදා සිට මෙම සමාගම් 15 රට තුළ ක්‍රියාත්මක කරන්න ඒ අය තීරණයක් අරන් තියෙනවා කියලා. ඒ අය තීරණයක් අරන් තියෙනවා මේ පනතේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් නොකරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප. විදුලිබල මණ්ඩලය සමාගම්වලට ලබාදීමේ පනත වහාම හකුළා ගන්න ඕනේ. එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එකතුවෙලා 21 වනදා අපි හැමෝම බලාගාර කාර්යාල සේවයෙන් ඉවත් වෙලා විහාරමහාදේවි උද්‍යානයට රොඳ බදිනවා. "

ජනාධිපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරකට සූදානම් වෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් හමුවීමටද නියමිතව තිබේ .

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි – ජනපති

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබූ බව ත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එමගින් විදේශීය සිසුන් ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, පසුගිය 9දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුට ම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේ ය.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේ ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළා ය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඇගයීමට ලක් කෙ‍රිණි.

වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සමසෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉන්ජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයන, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව, මහාචාර්ය බී. ඒ. කේ. එස් පෙරේරා ( මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී. එම් දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්. බී. ඩී. ආර්. පී විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්. පී කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීන් වඩාත් ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ඒ. එන් මදුශංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ. කේ අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්. එච්. එම් සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්. බී කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත් ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත් ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

Ranil Wikcremesinghe copy 696x522“මම උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේ දී මම මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත්විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මම මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

නමුත් ඒ වන විට මම මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඉතින් ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුණේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලුදෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා.

මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබි තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නව ද, එක්සත් රාජධානයට යනවද කියලා. නමුත් මම තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සමබන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස අම්මා බල කර සිටිය ත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.

මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන් ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාට යි. ඒ වගේ ම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ලාබාල ම තරුණ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා.

ඉතින් මම ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. මම ලංකාව තුළ මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා.
නමුත් අද තරුණ තරුණියන්ගෙන් අහන්න ඔවුන් ලංකාවේ ඉන්න කැමති ද කියලා. ඔවුන් බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.

ඒ දවස්වල අපි ලංකාවේ විශ්වවිද්‍යාලයකට තෙරුණේ නැත්නම් තමයි දෙවන විකල්පය ලෙස එක්සත් රාජධානිය තෝර ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළ යුතු යි.

අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. නමුත් අපි 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000 – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු යි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මකවන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමග ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේ ම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. ඉතින් මේ ක්‍රම තුන ම ක්‍රියාත්මක කරනවා ද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගනවාද කියා අප අවධානය යොමු කළ යුතු යි.

ඒ වගේ ම, උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ වගේ ම, තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා.

සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශවීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළ යුතු යි.

විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල් ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදව් කරනවා.අපි මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සලකා බැලිය යුතු යි. අපට මේ ප්‍රශ්න මගහැර යා නොහැකියි. මොකද රටක් ලෙස ඉදිරියට යාමේ දී අපට ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ ම, අපි අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින් ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා.

අපි නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කරගන්නේ කෙසේ ද කියා අවධානය යොමු කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතු යි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්විවිද්‍යාල සඳහා ආකර්ශණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක් බව කිව යුතුයි.

උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇතිකිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අපි කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ඒ වගේ ම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් අවුරුදු 20ක් පමණ වන තුරු උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මම උපාධිය ලබාගන්නා විට මට වයස අවුරුදු 21යි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දී. මම හිතන්නේ දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳ ම කාලය තමයි අපතේ යන්නේ. ඉන්පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අපි ඉක්මනින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.

අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබාදෙන තුරු බලා නොසිට අපි අපේ ම විසඳුමක් සොයා ගත යුතුයි.

ඊළඟ ප්‍රශ්නය තමයි වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්න. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපිත් ඒ ක්‍රමය අනුගමනය කරනවාද, එහෙමත් නැත්නම් අපි මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනව ද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට අයත් නොවන විශ්වවිද්‍යාල සැලකුවහොත් ඔවුන් පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.

ඒ වගේ ම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවාද යන්න පිළිබඳව මම CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළා. ඒ වගේ ම අප සිදුකර ඇති පශ්චාත් උපාධි අධ්‍යයන මොනවා ද?

ලංකා විශ්වවිද්‍යාලය “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 4කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසළටවත් පැමිණ නැහැ. අපි මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලුදෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය තිබෙනවා. “Chat GBT ” තිබෙනවා. මේවා විභාග සඳහා ත් භාවිත කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිත කරනවා. ඉතින් යල් පැන ගිය ක්‍රම සමඟ සිටිනවා ද, නැත්නම් තාක්ෂණය සමග ඉදිරියට යනවා ද කියා අප අවධානය යොමු කළ යුතු යි.

2050 වන විට දකුණු ආසියාවේ ජනගහනය දෙස බැලුවහොත් එය ඉතා වේගයෙන් වැඩි වෙනවා. ඉන්දියාවේ ජනගහණය සමහර විට බිලියන 1.7ක් දක්වා ඉහළ යා හැකියි. ඒ වගේ ම දරිද්‍රතා මට්ටම අඩු වී ආදායම ඉහළ යාම සිදු වෙනවා. මෙය බංග්ලාදේශයේ, පකිස්තානයේ, මියන්මාරයේ සහ නැගෙනහිර අප්‍රිකානු රටවල ද සිදුවිය හැකියි. මේ වැඩිවන ජනගහණය අනුව අවශ්‍ය විශ්වවිද්‍යාල ඉදිකළ නොහැකියි.ඉන්දියාවට පමණක් මේ සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමට නොහැකියි.
අපි ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. එසේ නම් අප රට තුළ ප්‍රමාණවත් විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තිබිය යුතුයි. දැන් ඔවුන් අපේ අවශ්‍යතා සපුරනවා වගේ ම ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට අපට සිදුවන කාලයක් උදාවිය හැකියි කියා මම විශ්වාස කරනවා.

ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනව ද, නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා ද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. අපි මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.

අද සම්මාන ලැබු ඔබ සියලුදෙනාට මම සුබ පතන අතර මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිව යුතුයි. ඒ වගේ ම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබා දීමට අපි බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.”

නවීන්ට සබරගමු ආණ්ඩුකාර ධුරය !

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ලබන සතිය තුළ දී ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ටිකිරි කොබ්බැකඩුව ඊයේ (10) ඉල්ලා අස්විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ අලුත් පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන එබව සඳහන් කළේය.

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාතේ, ගාල්ල, මාතර, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද අද (11) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

බදු ගෙවන්නම බෑ කියා : ගොමාව යළි වර්ජන සූදානමක !

ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.

රජයේ ආදායමට හානි නොවන ලෙස බදු සංශෝධන සිදු කිරීමට බාධාවක් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව පවසා තිබියදී රජයේ ඒ පිළිබඳව නොසලකා හැර ඇති බව ද ලේකම්වරයා චෝදනා කරයි.

ජුනි මාසයේ දී මෙම සංශෝධන සිදු කරන බව ජනාධිපති වරයා දුන් පොරොන්දුව ඉටු වන බවක් දක්නට නැතැයි ද පවසන ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ බවත් කියා සිටියි.

ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවද අලුත්ගේ තවදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණයකට සූදානම් : හිටපු ජනපති මහින්ද කියයි !

ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ.

විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.

"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

සංහිඳියාව කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස් !

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ අවසන් කර, ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේය.

ඉඩම් ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, රාජ්‍ය අංශයේ පරිහරණය යටතේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම, මහවැලි ඉඩම් සම්බන්ධ ගැටලු නිරවුල් කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කරනු ලැබීය.

සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

බලය විමධ්‍යගත කිරීම, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන සැලසුම් සහ පළාත් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු ඇතුළු අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල දිස්ත්‍රික් ලේකම්වරු හා නැගෙනහිර හා උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරු මාර්ගගත තාක්ෂණය (Zoom) ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ වූහ.

“සංවර්ධන අරමුණුවලදී සංචාරක ව්‍යාපාරය උපරිමයෙන් දායක කර ගන්නවා” – ජනපති

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාවට ම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බව ත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (ජූනි 9) ආරම්භ කෙරුණු “2023 සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.

ප්‍රදර්ශනයට එක්ව සිටි සූපවේදින් සමග සුහද කතාබහක නිරත වූ වික්‍රමසිංහ  ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විමසා බැලීය.

සූපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

“2023 සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙළ වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපට ම ආවේණික ඉවුම් පිහුම් කලාව යි. එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතු යි.

අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා. මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ හැකියාව නොමැති වී තිබෙනවා. එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහය ලබා දීමට අපි අපේක්ෂා කරනවා.

නමුත් රජයට තනිව ම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි. එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි. එහිදී ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානමින් සිටිනවා.

ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙන ම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු ‍වෙනවා. ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා. තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබා දීමටත්, ප්‍රවීණ විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.

ඒ වගේ ම, මෙරට සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “තරු” සංකේත ඔවුන්ට ලබා දීමට පියවර ගත යුතුයි. නව සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මේ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ද සහය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි බව මගේ විශ්වාසයයි.

අපේ තරුණ තරුණියන් තුළ විවිධ කුසලතා තිබෙනවා. එම කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය හැකියි. අද මෙහි සිටින ඔබ සියලු දෙනා අනාගතයේ දක්ෂ සූපවේදීන් බවට පත්වී රටට සේවය කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු පසුබිම සකස් කර දීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”

Page 158 of 440