පුවත්
හැම බලයටම වඩා ප්‍රබල බලය ගැන අනුර කියයි !
හැම බලයකටම වඩා ජන බලය ඉතා ප්‍රබල බව ඉතිහාසය ඔප්පු කර තිබෙන බව ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ජාතික ජන බලවේගයේ ජා-ඇළ ආසන සමුළුව අමතමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
අපේ රටේ තීරණාත්මක ලෙස දේශපාලන කඳවුරු දෙක බෙදිලා ඉවරයි. දැන් අපට තිබෙන්නේ පළමුවැනියා වෙනව ද, දෙවැනියා වෙනව ද කියන සටනයි. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් වුවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. ආපසු හැරී බැලුවාම වෙනසක් වෙලා නැහැ. අපේ රටට වුවමනා සැබෑ වෙනසක්.
අපේ රටට දේශපාලන සංස්කෘතියේ, ආර්ථික ප්‍රතිපත්තියේ සහ යහපත් සමාජ වෙනසක් අවශ්‍යයි. දශක ගණනාවක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ සැබෑ වෙනස සිදු කරන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම්. මහජනයාගේ ධනය පරෙස්සම් කරන දේශපාලනයක් ඕනෑ.
සැමට සාධාරණ නීතියක් අවශ්‍යයි. රටේ ප්‍රබලම කඳවුර මාලිමාව බවට පත් කරමු .
EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !
EPF පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.
පල්ලේගම සුමන අත්අඩංගුවට !
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් ලෙස හඳුන්වමින් නිවසක සිටි පල්ලේගම සුමන නමැති චීවරධාරියෙකුව අද (08) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ලැබී තිබූ පැමිණිලි මත එම චීවරධාරියාව පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මීට මාස 02කට පමණ ඉහතදී කාන්තාවන් දෙදෙනෙකුට සහ මෙම චීවරධාරියාට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.
විදුලි කප්පාදුවක් නෑ : කංචන සහතික වෙයි !
රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අසත්‍ය මත සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
දිවයින පුර සියලු ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට මෙන්ම සමනළ වැව ජලාශයෙන් ලබා දිය හැකි උපරිම ජල ප්‍රමාණය විදුලිය උත්පාදනය වෙනුවෙන් ලබාදීමට, කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ වගේම අද (08) අළුයම 3.00 සිට සමනළ වැව ජලාශයේ උපරිම ජළ ධාරිතාවයෙන් ජලය කියුබික් මීටර් මිලියන 3.5ක් නිකුත් කිරීමටත්, එම ජල ධාරිතාව භාවිත කරමින් විදුලි උත්පාදනය කිරීමටත් විදුලිබල මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද කිව යුතුයි.
මෙම මස 11 වනදා සිට 15 වනදා දක්වා කියුබික් මීටර් මිලියන 2.5ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ජලය නිකුත් කරමින් විදුලිය උත්පාදනය කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව මෙම මස 16 වැනිදා වන විට පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සමනළ වැව ජලාශයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවෙනවා.
මේ අතරතුර පොල්පිටිය සහ හම්බන්තොට සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ කටයුතු අවසන් කිරීමටත්, විශේෂයෙන්ම අවශ්‍යතාව අනුව විදුලිය මිලදී ගැනීම සඳහාත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
සමනල වැව ජලාශය පාලනය වන්නේ විදුලිබල මණ්ඩලය යටතේයි. අනිකුත් සෑම ජලාශයකම විදුලිබල උත්පාදනයට අවශ්‍ය ජලය නිකුත් කිරීමේ වගකීම දරනු ලබන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල කළමනාකරණ කමිටුව මගින් බව කිවයුතුයි.
සමනල වැව ජලාශයේ ජල ධාරිතාව නිසි කළමනාකරණයකින් යුතුව විදුලිය උත්පාදන කටයුතු සඳහා යොදා ගන්නවා. විදුලි බල මණ්ඩලය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩසටහන අනුව විදුලි උත්පාදනය කරනවා නම් සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කිසිදු ගැටලුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවා.
සමනළ වැව ජලාශයෙන් අතිරේක ජලය නිකුත් කිරීම නිසා දකුණු පළාතේ මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, ගාල්ල දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙනුත් යම් කාල සීමාවකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට රජයට මේ අවස්ථාවේ සිදුව තිබෙනවා. සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් මෙම මස 16 වැනිදා වන විට විදුලිය මිලදී ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
එක අර්බුදයක් තුළ තවත් අර්බුද කිහිපයක් නිර්මාණය කිරීම වෙනුවට, පළමු අර්බුදයට විසඳුමක් වශයෙන් ජලය නිකුත් කිරීමට සහ දෙවැනි, තෙවැනි, හතරවැනි අර්බුද ඇති නොවීමට අඛණ්ඩ විදුලිබල සැපයුමක් තහවුරු කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.
එනිසා පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සියලුම බලාගාර පද්ධති තුළින් විදුලිය සැපයීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. රජය කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවකට අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු ද නැහැ. විදුලි කප්පාදුවක් සිදුවන විට රටට සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. රටේ කර්මාන්තවලට බලපෑමක් සිදු වෙනවා.
ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම අර්බුදය තුළින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. සමනල වැව ජලාශයේ ජලය නිකුත් කිරීම සම්බන්ධයෙනුත් ඇතැම් දේශපාලන කණ්ඩායම් හා සංවිධාන විවිධ මත සමාජගත කළා. එම කණ්ඩායම ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙනවා. ඔවුන්ගේ එම උත්සාහය රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් ව්‍යර්ථ කිරීමට හැකි වූ බව කිව යුතුයි.
අඛණ්ඩ විදුලි බලයක් නොතිබීමේ අත්දැකීම අපි සියලු දෙනාම මීට වසරකට පෙර අත්වින්දා.
ජනතාව ඉන්ධන පොළිම්වල දුක් වින්දා. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. එසේම රෝහල්වල මෙන්ම ජනතාවගේ දෛනික කටයුතුත් අඩාල වුණා.
ඈත අතීතයේ කුප්පි ලාම්පුවලින් සිය අවශ්‍යතා සපුරා ගත්තත්, මෑත කාලයේ කුප්පි ලාම්පුවලින් සියලු අවශ්‍යතා සපුරා ගන්න බැහැ. ඒ නිසා තමයි සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් වූ සැලසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීමට සමගාමීව කෘෂිකර්මාන්තයට අවශ්‍ය යම් ජල ප්‍රමාණයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා.
රටේ පවතින නියඟ තත්ත්වය සියලුදෙනා අවබෝධ කරගත යුතුයි. මෙම වසරේ බලාපොරොත්තු වූ වර්ෂාව ලැබුණේ නැහැ. ඉදිරි කාලයේත් ඒවැනි දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඉදිරි වසර දෙකක කාලය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සදහා අවශ්‍ය විදුලිය ඕනෑම අවස්ථාවකදී මිලදී ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා.
අද ශ්‍රී ලංකාවට අවශ්‍ය 21 වන සියවසට ඔබින ආර්ථික ක්‍රමවේදයක් !
යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට නම් 21 වන සියවසට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (08) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා මුලපිරීමේ (Launch of Key Trade Facilitation Initiatives in Sri Lanka) උත්සවයට එක්වෙමිනි.
Trade Facilitation Initiatives in Sri Lanka වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
රට බංකොළොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා තරගකාරී ආර්ථිකයකට අප යොමු විය යුතුයි. එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට ද කටයුතු කළ යුතුයි.
ආර්ථිකය ප්‍රතිව්‍යුගත කිරීම හරහා පෞද්ගලික අංශයටත් ආර්ථිකයේ වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. මෙහිදී පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය සැම විටම සූදානමින් සිටිනවා.
මෙම වෙළඳ පහසුකරණ වැඩසටහන දියත් කිරීම තුළින් ලෝක වෙළඳාමට ශ්‍රි ලංකාවේ දායකත්වය ඍජු ලෙස සැපයීමට අවස්ථාව හිමි වනවා.
ඒ වගේම ආර්ථිකය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම තුළින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකියි. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය 21 වන සියවසට ඔබින ආර්ථික ක්‍රමවේදයක්. 20 වන සියවසේ ආර්ථික ක්‍රමවේද තවදුරටත් මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා 20 වන සියවසේ ක්‍රමවේද වෙනස් කරමින් සියලු ක්‍රියා පටිපාටි සඳහා ගතවන කාලය අවම කරන, ව්‍යාපාරික ප්‍රජාවට උපකාරී වන නව ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා ඩිජිටල්කරණය ඉතාම වැදගත් වෙනවා.
ආයෝජන, වෙළෙඳ මේ සියලු ක්ෂේත්‍ර තුළ නව ආර්ථික කොමිෂන් සභා නීතිය අනුව නිශ්චිත කාල සීමාවක් තුළ එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කළ යුතුයි. ඊට අනුරූපීව අප ද වෙනස් විය යුතුයි. එසේ නොමැති වුවහොත් රටක් හෝ ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැහැ. ආර්ථිකය ඩිජිටල්කරණයට යොමුවන විට සියලු ක්ෂේත්‍ර ඊට අනුගත විය යුතුයි.
රටක් ලෙස අප නව වෙළෙඳපොළ අවස්ථා සොයා බලා තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එසේම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සමඟ සම්බන්ධවීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා. එය විශාල වෙළෙඳපළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. නමුත් වෙළඳ පහසුකම් සහ ඩිජිටල් පරිවර්තනයකින් තොරව එම වෙළඳපොළට පිවිසීමට අවස්ථාවක් නැහැ.
ඒ වගේම අප ඉන්දියාව සමඟ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට ද මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.
අප යුරෝපීය සංගමය සමඟ හෝ ඇමරිකානු වෙළෙපොළ සමඟ ගනුදෙනු කරන විට වෙළඳ පහසුකම් සහ ඩිජිටල්කරණය මහත් ලෙස උපකාරී වනවා. එබැවින් මෙය අත්‍යාවශ්‍ය අනුගතවීමක් බව කිවයුතුයි.
ශ්‍රී ලංකාව රටක් ලෙස වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන අතර, වෙළඳ පහසුකම් ලබාදීම සහ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. මෙම සියලු කටයුතු සඳහා ගෝලීය වෙළෙඳ පද්ධතියක් අවශ්‍ය වනවා. ලෝකයේ රටවල ආර්ථිකය ගොඩනැඟීමට ස්ථාපිත කළ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති රෙගුලාසි පිළිපැදීම ආර්ථිකය ගොඩනැඟිම සඳහා ඉතා වැදගත්. දකුණු ආසියාවේ රටවල් මෙම ආර්ථික නීති රෙගුලාසි පිළිපදිමින් කටයුතු කරනවා. මෙහිදී වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේදී අපට උපකාර කරන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) වෙතද විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.
ගෝලීය ආර්ථික නීති වෙනස් කිරීමට අවශ්‍ය නම්, සියලු දෙනාගෙන් විමසා ඒ පිළිබඳ සියලු දෙනාගේ කැමැත්ත ලබා ගත යුතුයි. මන්ද, එම නීති ශ්‍රී ලංකාව ලෙස අපට ද බලපාන එක් ප්‍රශ්නයක් වන නිසයි. අලි රණ්ඩු වෙනකොට තණකොළ තමයි පෑගෙන්නේ. ඒ නිසා ලෝක වෙළෙඳ සංවිධානය නීති සම්පාදනය කළ යුත්තේ සියලුදෙනාට භාවිතා කළ හැකි ආකාරයටයි. දකුණු ආසියාව මෙන්ම ශ්‍රී ලංකාවද ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රීතිවලට අනුගතවිමට කැමැත්තෙන් පසු වෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජර්මනියේ නියෝජ්‍ය තානාපති ඕලාෆ් මල්ෂෝ (Olaf Malchow) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථවට එක්ව සිටියහ.
දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්න : ජනපතිගෙන් ප්‍රතිඥාවක් !
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය.
ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ද කටයුතු කළේය.
උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
පාසල් සිසු දරුවන් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස මෙලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් අද ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි අතර ඔවුනට නව ඇත්දැකීම් රැසක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි විය.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නොරොච්චෝලේ ඒකක තුනෙන් දෙකක් වැඩ නෑ !
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි.
මෙම ඒකකය හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් එක්කරනු ලැබුවක් බවත් වාර්තා වෙයි.
එසේම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන ඒකක ත්‍රිත්වයෙන් තවත් ඒකකයක් මීට පෙර තාවකාලිකව අක්‍රීය කර පවතී.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ඒකකය පසුගිය ජුනි මාසයේදී මෙලෙස අක්‍රීය කරනු ලැබීය.
ඒ අනුව මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වන්නේ එක් ඒකකයක් පමණි.
එම ඒකකයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක් එක්කරයි.
මේ අතර දිවයින පුදා අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි බල මණ්ඩලය විසින් සහතික කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කුමන ආකාරයක හෝ විදුලි කප්පාදුවක් සඳහා සැලසුමක් නොමැති බවය.
එසේම පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය අතිරේක විදුලිය සපයා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇති බවත් එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
සජිත් ජනාධිපති ධූරයට කිසිසේත් සුදුසු නෑ !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයෙකු නොවන බව දෙමළ ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පවසයි .
ඔහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ කිසිදු කැමැත්තක් නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි .
සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ දෙමළ ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින්ය .
13 වන ව්‍යවස්ථා සංශෝධය සම්බන්ධයෙන් ප්‍රේමදාස මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවත් දෙමළ ප්රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව කිසිවෙකු ප්‍රකාශ කරන්නම් එය මිථ්‍යාවක් බවත් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
ජනාධිපතිවරයා දහතුන්වන සංශෝධනය හා ඊට අයත් බලතල ගැන පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ උනන්දුවෙන් බලා සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සමනළ වැවේ ජලය උඩවලවට !
වලවේ කලාපයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි .
එහිදී ජාතික විදුලි බල අවශ්‍යතාවයට අහිමි වන ධාරිධාව විකල්ප ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමටත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .
උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කිරීම මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
නියඟය නිසා සිදුවූ වගා හානි තක්සේරු කරන්න උපදෙස් !
මේ වන විට මතුව තිබෙන නියං තත්ත්වය හමුවේ වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් නිකුත්කළ බව වාර්තා වෙයි .
මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දී ඇති අතර ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .
නියඟයේ බලපෑම නිසා අනුරාධපුර මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හානි සිදුවී ඇති බැවින් ගොවීන්ට වන්දි මුදලක් ලබා දීමට සිදුවනු ඇති වනු ඇති බව ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇත.
ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම නිසා වී වගාවට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර ට උපදෙස් දී ඇත.
අරගලයක සෙවනැල්ලක් ගැන බුද්ධි වාර්තාවක් !
නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.
කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.
විපක්ෂයේ පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද මේ කටයුත්තට සම්බන්ධ වී සිටින බවට බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.
නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටහනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව මෙම පිරිසට අද අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
- Lankadeepa
13න් රට බෙදෙන්නේ නෑ !
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසීය.
ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අවබෝධය තුළින් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එමඟින් රට බෙදීමක් කිසිසේත් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට - සැවොම එක මඟකට' මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කැඳවා සර්ව පාක්ෂික සමුළුවක් ද පැවැත්වූවා. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් 13 වැනි සංශෝධනය හඳුන්වා දෙන සමයේ දී එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ වත්මන් ජනාධිපතිවරයා බලය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
බලය බෙදාහැරීම තුළින් රට දෙකඩ වන බවට දකුණේ ඇතැම් දේශපාලන නායකයන් ද ප්‍රකාශ කරනවා. එසේම උතුරු හා නැඟෙනහිර දේශපාලන නායකයන් ද පූර්ණ බලය බෙදීමක් ඉල්ලා සිටිනවා. මේ දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ දැඩි ස්ථාවරයක සිටයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ දෙපාර්ශ්වයම මධ්‍යස්ථ ප්රවේශයකින් යුතුව සුහදව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම මේ රටේ ඉදිරි ගමනට වඩාත් සුදුසු බවයි.
උතුර හා නැගෙනහිර නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන් මෙන්ම දකුණේ ඇතැම් දේශපාලඥයන් ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් රට බෙදීමක් සිදු වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ සියලු පළාත්වලට සමානව බලය බෙදී යාමක් පමණයි.
මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි වන්නේ දෙපාර්ශ්වයම විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් පමණයි. ඒ නිසා ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාත නියෝජනය කරන පක්ෂයක් ලෙස අපේ මතය ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටිනවා.
රටක් සංවර්ධනය කිරීමේදී මාර්ග පද්ධතිය ඉතා වැදගත් සාධකයක්. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම අපහසු වී තිබෙනවා. දැනට අමාත්‍යාංශය සතු ප්‍රතිපාදනවලින් මාර්ග සංවර්ධන කටයුතු හැකිතාක් දුරට සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. නමුත් එම ප්‍රතිපාදන මේ වන විටත් ලැබී තිබෙන සියලු ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විදේශීය ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
මීට අමතරව රටේ සංචාරක කලාප සංවර්ධනය, අපනයන වගාවන් ප්‍රවර්ධනය, මත්ස්‍ය කර්මාන්තය හා දේශීයව වගා කළ හැකි ධාන්‍ය වගාව ආදී විවිධ වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
නැගෙනහිර පළාතේ කජු වගාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. භාවිතයට ගෙන නොමැති රජයේ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි. ඒ වෙනුවෙන් විදේශ ආයෝජන ලබාගැනීමට දැනටමත් කටයුතු කර තිබෙනවා.
Eris: හඳුනා ගත් නව කොවිඩ් ප්‍රභේදයක්
කොවිඩ් – 19 නව ප්‍රභේදයක් වන එරිස් (Eris) වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බව එංගලන්ත සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.
ඔමික්‍රෝන් කොවිඩ් වෛරසයෙන් හට ගත් උප ප්‍රභේදයක් ලෙස එරිස් වෛරසය සැලකේ. පසුගිය මාසයේදී පළමුවරට එරිස් වෛරස් ආසාදිතයෙක් වාර්තා වුණේ මහා බ්‍රිතාන්‍යයෙනි. පසුව ආසියා මහද්වීපයෙන් ද එරිස් ආසාදිතයන් සොයා ගැනුණි.
එරිස් ප්‍රභේදය නව COVID 19 රෝගීන්ගෙන් හතෙන් එකකට ආසාදනය වන බව සොයාගෙන තිබේ.
එරිස් හි වඩාත් සුලභ රෝග ලක්ෂණ 5 වන්නේ නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුවයි.
එන්නත් සහ පූර්ව ආසාදන මඟින් මිනිසුන් ආරක්ෂා වුවත්, රටවල් ඔවුන්ගේ ආරක්ෂාව අත් නොහැරිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සදහන් කළේය.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් ඉල්ලා සිටින්නේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පැලඳීම, බූස්ටර මාත්‍රා ලබාගැනීම සහ ගෘහස්ථව ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහතික කරන ලෙසයි.
එමෙන්ම, COVID-19 එරෙහිව රටවල් ගොඩනඟන ලද පද්ධති නඩත්තු කිරීම සහ විසුරුවා නොහරින ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.
අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි
මහාධිකරණ විනිසුරු එම්. සී. බී. සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
එසේම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කර ඇත.
සුළඟින් මෙගා වොට් 15ක් ජාතික පද්ධතියට
මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇති බව වාර්තා වේ.
වින්ඩ්ෆෝස් හා හිරුරැස් පවර් දායකත්වයෙන් (Sri Lanka,as the Hiruras Power(Pvt) Ltd Wind Power Project) ටර්බයින් 06කින් මෙම මෙගාවොඩ් 15 මෙසේ ජාතික පද්ධතියට එක් කර ඇත.
මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
මේ අතර, විදුලි බිල වැඩීවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය අදහස් පළ කරමින් පවසා සිටියේ, විදුලිබිල නැවත වරක් වැඩිකිරීම තමන්ට ද ගැටලුවක් බවය.
"අපි දීර්ඝකාලීන විසඳුම්වලට යන්න ඕනේ. අපි විදුලිය වැඩිකරන එක නෙමෙයි තිබෙන්නේ නිෂ්පාදන වියදම කොහොමද අඩුකරන්නේ කියලා අපි බලන්න ඕනේ. අපි පුළුවන් තරම් සෝලා, සුළං වගේ දේවල්වලට ගිහින් නිෂ්පාදන වියදම අඩුකරගත යුතුයි."
ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි :සිසු පොත් බෑගයේ බර අඩු කරයි !
ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙමඟින් අපේක්ෂා කරන අතර සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ සිදුකළ හැකි වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳීසිටීම හා එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමඟින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසුව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මඟින් බවත් අමාත්‍යවරයා පැවසීය.
ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජපානයෙන් යූරියා පොහොර නැවක්......
ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ වරායට ඊයේ (05) රාත්‍රියේ ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර, පෙරේදා දිනයේ කොළඹ වරායට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් රැගත් නෞකාවේ පොහොර, දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත.
විදුලි බිල ගැනත් නිවේදනයක් !
විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මාධ්‍ය සිදුකළ විමසීමක දී පවසා ඇත්තේ මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි.
කෙසේ වුවත් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අවධාරණය කර සිටියේ මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි .
කෙසේවෙතත් මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
Page 142 of 440