පුවත්
ආහාර වර්ග 09ක මිල පහළට
ලංකා සතොස ආහාර වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
හෙට (අගෝ. 17) සිට නව මිල ගණන් බලාත්මක බව ලංකා සතොස පැවසීය.
ඒ අනුව, LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 970ක් දක්වා පහළ යනු ඇත.
එමෙන් ම, සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1160ක් දක්වා පහළ යනු ඇත.
බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 675කි.
තව ද දුඹුරු සීනි කිලෝ එකක මිල රුපියල් 350ක් දක්වා පහළ දමා තිබේ.
සෙසු ආහාර වර්ගවල මිල ගණන් පහතින් දැක්වේ.
ඉන්දු ලංකා සබඳතාව මිත්‍රත්වයට එහා ගිය සහෝදර බැඳීමක් - සාගල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම හා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් අද (16) පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙනු ලැබීය.
එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන ලදී. එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේ ද පැවසීය.
අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා.
මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තවදුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. “සබඳතාව” යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා, සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකියි.
පසුගිය දුෂ්කර කාල පරිච්ඡේදය තුළ අපේ මෙම සමුද්‍රීය මෙහෙයුම් කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍යව තිබූ ඉන්ධන ලබාදෙමින් ඇමරිකානු රජය සහ ඕස්ටේලියානු රජය ද අපේ ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහාය ලබා දුන්නා.
ගුවන් හමුදාවේ බොහෝ යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව තිබු හෙයින් එම කාලය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරලීම පමණක් නොව ගුවන් හමුදාවේ අවශතාවයන් සපුරාලීම ද මහත් අභියෝගයක් වුණා.
නවීන තාක්ෂණයත් සමඟ අපගේ ගුවන් යානාද එයට සරිලන අන්දමින් නවීකරණය කිරීමට අවශ්‍යව තිබුණත් අපගේ ආර්ථික තත්ත්වය නිසා එය සිදු කිරීම අපහසු කාර්යයක් වුණා.එබැවින් අපට මෙම සහාය ලබාදීම පිළිබඳ මම ඉන්දීය රජයට නැවත වාරයක් ස්තූවන්ත වෙනවා.
අපේ සමුද්‍ර මෙහෙයුම් පිළිබඳ අවධානය යොමු කරන විට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ප්‍රවාහනය හා මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වැනි කටයුතුවලදී විශේෂ තැනක් ගන්නවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීයව පිහිටි රටක් ලෙස මෙහිදී අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා.
අපට මුහුණදීමට සිදුවන අභියෝග දිනෙන් දින වෙනස් වන නිසා අප අනාගතය දෙස බලමින් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කරන විට අද මුහුණ දෙන අන්දමේ තර්ජනවලට මුහුණ දීමට සිදුව තිබුණේ නැහැ. පසුගිය යුද සමයේ දී ගුවන් හමුදාවට තිබූ වගකීම් මීට වඩා වෙනස්. නව තාක්ෂණය සහ කාලය සමඟ සිදුවන වෙනස්කම් සමඟ අපද ඉදිරියට යා යුතුයි.
මෙම නව අභියෝගවලට මුහුණදීම සඳහා අපේ ආරක්ෂක අංශය ද නවීකරණය විය යුතුයි. එම නවීකරණ වැඩපිළිවෙළ ජනාධිපතිතුමා විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළයුතුයි.
මීට අමතරව වැලි ජාවාරම මැඩලීම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම යන කරුණු පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට සූර්ය සහ සුළං බලශක්ති ප්‍රභවයන්ගෙන් අනුන රටක්. අප ඒවා ආරක්ෂා කරගත යුතුයි. එහිදී හමුදාවන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙන බව මම මෙහිදී සිහිපත් කරනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේශීය ණය ප්‍රශස්තකරණය ගැන මහ බැංකුවෙන් තවත් නිවේදනයක් !
දේශිය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම ඊයේ සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කර සිටියි.
ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව විචල්‍ය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 05ක් ලෙස පරිවර්තනය කර මෙම පියවීම සිදුකර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටය.
රථවාහන කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ
පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ.
මුදල් අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද : ජනාධිපති මඩු මංගල්‍යයට යයි
උතුරේ හා දකුණේ සාමයේ සංකේතය ලෙස සැලකෙන මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ.
මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ විය.
මඩු දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වෙන්නේ, සෑම වසරකම අගෝස්තු මස 15 වැනි දිනයි.
ඒ, මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි.
ජනාධිපති වික්‍රමසිංහ මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.
ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමත්හු වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.
මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් එහිදී පැවැසූයේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත්ය.
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩප්පේ හිමිපාණන්, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්දාදි හිමිපාණන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ ද ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු මැති ඇමැතිවරුගේ සහභාගීත්වයෙන් මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත් විය.
https://casite-1385010.cloudaccess.net/news?start=2502#sigProId1af4c37f9e
හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දේශපාලන ඔප් එකක : රට ජාතිය හෝල් සේල් !
ආරක්ෂක අංශයේ හිටපු ලොකු ලොක්කො ටිකක් මේ රටට පාලකයෙක් පත් කරන්න අමුතු දේශපාලන ගේමක් ගහගෙන එන්නලු යන්නේ. මේ වැඩේට ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය ලොකුම ලොකු කට්ටියකුත් හාමුදුරුවරු කට්ටියකුත් එකතු වෙලාලු ඉන්නෙ.
මේ දේශපාලන ව්‍යාපෘතියේ ඉන්නේ යුද්ධය අවසන් මොහොතේ නම් ගම් කියැවුණු ලොකූ කට්ටියක්. ඒකෙන් එක්කෙනෙක් මහ පුටුවේ වාඩිකරවන්න මෙයාලගෙ සැලසුමක් තියෙනවා.
එයා තවම තනතුරුවලින් එළියට ඇවිල්ලා නැති නිසා, උන්නැහේ විශ්‍රාම අරගෙන එනකොට එයාට මැච් එක ගහන්න පිච් එක හදලා තියන්නලු යන්නේ. කොහොම වුණත් මේක පටන් ගන්න යන්නේ ආණ්ඩුව කරන්න යන බලය බෙදීමට විරුද්ධවත් එක්ක.
හැබැයි වැඩේ වැඩිදුර ගෙනියන්න බැරිවෙයි කියලලු කට්ටිය කියන්නේ. ඒ දැනටම දේශපාලනය කරන ආරක්ෂක අංශ ලොක්කෙක් ලොකු පුටු හීනේ ඉන්න නිසා.
- Deshaya
ආණ්ඩු මාරු වන විට මාරු නොවන සංචාරක ප්‍රතිපත්තියක් ළඟදීම !
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා. එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයන් අතර, නොබියව එම අභියෝගය භාරගත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.
සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකියි. මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා අද ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අප එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි.
ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ.
අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා.
මෙරට සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.
සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ වගේම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා.
මෙතෙක් අපට තිබූ අභියෝගය වූයේ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනිමයි. ඒ වගේම ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ සංචාරක කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ සේවය කරන්නන් පළමු සේවා සහතිකය ලබා ගත් විගසම විදෙස් රැකියා සඳහා පිටත්ව යනවා. පසුව සිදු කෙරෙන්නේ ඒ වෙනුවෙන් වෙනත් අයෙකු බඳවා ගැනීමයි. මේ තත්ත්වය මෙරට හෝටල් ක්ෂේත්‍රයේ විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. එය ඇතුළු ක්ෂේත්‍රයේ තිබෙන අනෙකුත් ගැටලු විසදීමට අප කඩිනමින් පියවර ගන්නවා.
සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සම්බන්ධයෙන් විවෘත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තුළින් හොඳම කෙටි චිත්‍රපට 10 තෝරා ගෙන ඔවුන්ට මූල්‍යමය ත්‍යාග ලබා දීමට, මෙන්ම ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමටත් කටයුතු කරනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් සමූහයේ අතිසුඛෝපභෝගී හෝටලය එළැඹෙන 19 වනදා යාල ප්‍රදේශයේ දී ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි. ඒ හා සමගාමීව සංචාරක ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ද දියත් කිරිමට සැලසුම් කර තිබෙනවා.
මිලින්ද එයි : ක්ෂෙනුකා යයි !
ජනාධිපති මාධ්‍ය ඒකකයේ විදෙස් මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරන ක්ෂෙනුකා සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට එම ධුරයේ කටයුතු කරන මිලින්ද මොරගොඩ ගේ නිල කාලය එළඹෙන සැප්තැම්බර් මාසයේදී අවසන් වන අතර ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීන්දුව ගෙන ඇත.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේදී එවක ආණ්ඩුවේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතය. කෙසේ වුවත් ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ක්ෂෙනුකා සෙනෙවිරත්න මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර තිබෙන පළපුරුදු නිලඩ් රාජතාන්ත්‍රික නිලධාරිනියකි.
පෞද්ගලික රෝහලක කෝටි ගාණක ගැහිල්ලක් !
කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක සිදුව ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ අංශයක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් අය කරගන්නා මුදල්වලට රෝහලෙන් ලබාදෙන 20%ක විශේෂ වට්ටම් මුදල එම රෝහලේ අංශ ප්‍රධානියකු ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචාසහගතව ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක ය.
රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇති අතර ර රෝගීන් ඇතුළුව දෙසියකගෙන් පමණ දෙනා ගෙන් මේ වන විට ප්‍රකාශ ද ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.
එහි නේවාසික රෝගියෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව යන අවස්ථාවේ රෝහල වෙනුවෙන් ගෙවිය යුතු සම්පූර්ණම මුදල ගෙවිය යුතු අතර රෝහලෙන් ලබා දෙන විශේෂ වට්ටම ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ පසු එය ලබාදීම සාමාන්‍යය ක්‍රියාපටිපාටියයි.
නමුත් මෙම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන් ගෙන් නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන බ්ල්පත් අංශ ප්‍රධානියා ඇතුළු හය දෙනකු ව්‍යාජ ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදු කර ඇතැයි හෙළි වී තිබේ.
මේ වරටත් අදාළ චෝදනා එල්ල වන සේවකයන් හයදෙනා සේවයෙන් ඉවත් කර ඇත.
ජවිපෙ ඉන්දීය විරෝධය අවසන් !
ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.
හුණුපිටිය මංසන්ධියේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ කැලණිය ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඉන්දියාව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටිමත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයද ඇතුළත් වී තිබීම පිළිබඳව හොඳ දැක්මක් සහිතව ඉන්දියා සමග ගනුදෙනු කිරීමට සූදානම් බව එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ඉන්දියාව, චීනය ලෝකයේ විශාලම ආර්ථිකයන් බවත් ලොව විශාලතම නිෂ්පාදකයන් බවත් පැවසූ ඔහු එම රටවල් සමග හොද ගණුදෙනුවක් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ සිට ඉන්දීය විරෝධයක සිටි අතර එහි මුල් අවධියේ පැවති අධ්‍යාපන පංති 5 තුළ, ඉන්දීය ව්‍යාප්තවාදය යනුවෙන් පන්තියක් ද එක්කර තිබිණ. එසේම ඉන්දු - ලංකා ගිවිසුම අවස්ථාවේ ඊට විරුද්ධවද ජවිපෙ ප්‍රසිද්ධියේ කටයුතු කෙරිණ. ඒ අනුව මේ වන විට පෙන්නුම් කරන්නේ ජවිපෙ ඉන්දියාව සම්බන්ධ එම පැරණි අදහසින් විතැන්ව ඇති බවය.
චැනල් අයි නාලිකාව ලයිකාට දීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරලා !
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීම සඳහා ජුලි මස අග දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් වාර්තා වෙයි.
ඒ අනුව එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවත් දැනගන්නට ඇත.
කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.
‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.
ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්ව තිබේ.
නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි. කෙසේ වුවත් ලයිකා සමාගම සමඟ ගිවිසුම්ගතවීම සිදුව ඇත්තේ එම ආයතන ද නොසළකා බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැන නිවේදනයක් !
විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව පිණිස ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම සඳහන් කරයි.
ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවද එහි දැක්වෙයි.
කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද සමාගම පවසයි.
මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිකුත්කළ නිවේදනයෙහි පෙන්වාදී තිබේ.
මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇතිවූ බවද සමාගම පවසයි.
මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.
මේ අතර නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446කින් ලබාගන්නා රූප රාමු ඇතුළත් ආරක්ෂිත CCTV කැමරා පද්ධතියකින් යුතු පැනලයක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවද සඳහන් වෙයි.
සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් ද පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.
වියළි කාලගුණය පානීය ජල සැපයුමටත් හරස් වෙන ලකුණු !
මේ වන විට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී සිටියි.
ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද මණ්ඩලය සඳහන් කරයි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත් පවසයි .
කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කර දෛනික කටයුතු සඳහා පමණක් ජලය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටියි.
ජනාධිපති කඳුකරයට බැල්ම හෙළයි !
සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගුරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජනකොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අවධාරණය සිදුකර සිටියේ කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර්, එම්. රාමේශ්වරන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
කඳුකර ද්‍රවිඩ ජනතාවට අනන්‍යවූ ගැටළු මෙන්ම වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ වසර දෙසියයකට අධික කාලයක් තිස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කඳුකර ද්‍රවිඩ ජනතාව කටයුතු කළ අතර අදටත් ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් එම ජනතාව සිදුකරන බවය.
83 සිදුවීම්වලින් පසුව පවා බෙදුම්වාදී ප්‍රවණතා හෝ අවිගත් ත්‍රස්ත කටයුතු සඳහා කිසිඳු අවස්ථාවක එම ජනතාව යොමු නොවූ බවත් ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා රජය සහ දකුණේ සමාජය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී කඳුකර ද්‍රවිඩ ජනතාව වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමයේ ආරම්භ කළ වැඩසටහන අවසන් කිරීමට, ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ තමන් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2003 ආණ්ඩු සමයේ හැකිවූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
එසේම කඳුකර ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව තමන් ඉදිරියේදී කඳුකර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කැඳවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තම අපේක්ෂාව තවදුරටත් එම ජනතාව කඳුකර ද්‍රවිඩ හෝ වතු ජනතාව ලෙස ජීවත්කරවීම වෙනුවට ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක්කරලීම බවය. මේ වන විටත් වතුකරයේ සිට කොළඹ පැමිණි යම් ප්‍රමාණයක් පොදු සමාජයට ඇතුළත්ව සිටින නමුත් සමස්ථ ජනතාවම පොදුජන සමාජයට එක්කර ගැනීමේ අභියෝගය සාර්ථක කරගැනීමේදී එම ජනතාවගේ නියෝජිතයන්ට සුවිශේෂ කාර්ය භාරයක් සිදුකිරීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සීනිගම දෙවොලේ දෙවියන් පවා නොදුටු සැර ගැහිල්ලක් !
හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුල රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙලිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළේය.
කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කල බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත.
දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ පෙන්වා දී තිබේ.
එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණගෙන් කල විමසීමේ දී මෙසේ කීය.
සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා. මම මේ වෙලාවේ ඉන්නෙ වෙනත් කටයුත්තක. 2022 ලිපි ගොනුව බලල වැඩි විස්තර කියන්නම්. ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මෙසේ කීය.
ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා යනුවෙන්ද සදහන් කළේය.
- Mawrata
අපොස සාපෙ 10 ට ?
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි .
සාමාන්‍ය පෙළ ආරම්භක අවදියේදී 10 ශ්‍රේණියේදී පවත්වනු ලැබුවත් පසු කාලයේදී එම විභාගය 11 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් ඉදිරියට ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර අධ්‍යාපනයේ නව පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු යායුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කරදීමේ පදනම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පේරාදෙණි ආචාරින් 122ක් රට පැනලා පොලු තියලා !
විදේශීය විශ්වවිද්‍යාල වෙත ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසන්නේ 2010 වසරට පසුව මේ ආකාරයට ගිවිසුම් කඩ කළ වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව ය.
මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වෙතින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමසීමේදී ඔහු පවසා ඇත්තේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවය.
රටේ අනාගතය ගැන ජනපතිගෙන් සහතිකයක් !
පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායකගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.
මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.
එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.
අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.
මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.
ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.
අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.
මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.
අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි.
දෙවනුව අපනයන ආදායම. ඇගළුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
එසේම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවා ගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.
ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.
අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.
ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.
මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද, ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කය ද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.
ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 140 of 440