Ad

Ad 01

V2025

පුවත්

මත්ද්‍රව්‍ය සහ පාතාලේ මඩින්න පොලිස් කමිටුවක් !

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර ඇත .

ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කරන ආකාරයට එම කමිටුව මෙසේය .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - බස්නාහිර පළාත - ටී.එම්.ඩබ්.ඩී තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - උතුරු පළාත - කේ.පී.එම් ගුණරත්න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - දකුණු පළාත - එස්.සී මැදවත්ත

අණදෙන නිළධාරී - විශේෂ කාර්ය බලකාය - ඩබ්.එස්.ඊ ජයසුන්දර

නියෝජ්‍ය පොලිස්පති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - එස්.පී රණසිංහ

නියෝජ්‍ය පොලිස්පති - මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය - ඔෂාන් හේවාවිතාරණ

නියෝජ්‍ය පොලිස්පති - විශේෂ කාර්යාංශය - ටී.සී.ඒ. ධනපාල

අධ්‍යක්ෂක - කොළඹ අපරාධ කොට්ඨාසය - එන්. සිල්වා

ලන්සලගේ වැඩ ගැන බැසිල්ගෙන් ජනාධිපතිට පැමිණිල්ලක් !

මේ වන විට පොදුජන පෙරමුණ වෙතින් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ ක්‍රියාමාර්ග තම පක්ෂයේ වැඩකටයුතු සඳහා ගැටලුවක් වී ඇති බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැමිණිලි කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අනුව බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ , පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ය.

මේ වන විට අනුර ප්‍රියදර්ශන යාපා , නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම මන්ත්‍රී කණ්ඩායම නව සන්ධානයක් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට සහය දක්වන මැති ඇමතිවරුන් ද මෙම සන්ධානය සමග එක්ව ඇති අතර පොදුජන පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට සහය දක්වන ස්ථාවරයක් ගෙන ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව නිමල් ලංසා ,අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ ,නිමල් ලන්සා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇති බවට දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් ද පැවතීමය.

ලංකාවට ආපු මැක්‍රෝන් රනිල්ට නැව් පොරොන්දුවක් දීලා !

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පොරොන්දු වී ඇති බව වාර්තා වෙයි .

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති හමුවේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කර ඇති බවත් ඉන් අනතුරුව මෙම පොරොන්දුව ප්‍රංශ ජනාධිපතිවරයා ලබාදී ඇති බවත් වාර්තා වෙයි .

එහිදී නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි .

එහිදී ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපතිවරයා මගින් අදාළ කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස බවත් වාර්තා වෙයි .

ඊළඟ පිම්මට සූදානම් වෙන්න : ගෘහ නිර්මාණ ශිල්පීන්ට ජනපති දන්වයි !

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි එහි ඇති කරගත යුතු බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අද (05)පෙරවරුවේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

“ගෘහ නිර්මාණ ශිල්පය : කල්පවත්නා බලපෑමක්” තේමාව යටතේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාස්තු විද්‍යා ආයතනය (AIA) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාවේ සහ දකුණු හා අග්නිදිග ආසියා කලාපයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු 350කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  :

ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පීන් කල්පවතින නිර්මාණ සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාඩම්බර සිහිවටන අපට තිබෙනවා. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිවහැකියි.

මෙරට විශ්මිත නිර්මාණයන් පිළිබඳ හොඳම වාස්තු විද්‍යාත්මක උදාහරණය සීගිරියයි. පොළොන්නරුවේ දකින්න තිබෙන විශ්මිත ඉදිකිරීම්වලට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා.

ඒ වගේම 19 වන සියවසේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චැපල් ශාලාව, කැලණි විහාරය, ලේක්හවුස් ගොඩනැඟිල්ල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නිදහස් චතුරස්‍රය, ජෙෆ්රි බාවා නිර්මාණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත ඉතිහාසයේ සිදු කළ විශ්මිත නිර්මාණ අතරට ගැනෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් කඩා වැටීමක් සිදු වුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි වුණා.

මෙම ආර්ථික කඩා වැටීමට පෙර අපේ රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. නමුත් පසුගිය කාලයේ ගෙන ගිය අවිධිමත් ක්‍රියාවලිය නිසා රටට ණය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා.

කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් විය යුතු බව මම විශ්වාස කරනවා. රජය ගෙන යන ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නැවත අවස්ථාවන් රැසක් නිර්මාණය වනු ඇතියි. මීට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය ලබා තිබූ ප්‍රගතිය අපට වේගයෙන් අත්කරගත නොහැකි වුවත්, යම් යහපත් මට්ටමකට ළගාවීමේ හැකියාව තිබෙනවා. එසේම විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ මෙම කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා.

කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබා දිය යුතු බව මම විශ්වාස කරනවා. අඩු හා මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදිකර නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා ලබා දෙනවා නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකියි.
ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා ලබා දුනහොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න. එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයකයන්ගේ ප්‍රමාණය මිලියන 2.5 සිට මිලියන 5ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙරට හොටල් ගොඩනැඟිලි නවීකරණය කිරීම අවශ්‍ය වෙනවා. එහිදී මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා වැදගත්. වරාය නගරයේ රජයට අයත් කොටසේ ඉදිකිරීම් සඳහා අපේ ගෘහ නිර්මාණශිල්පීන්ගේ උපදෙස් ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයන් තම දියුණුව වෙනුවෙන් මෙම අවස්ථා භාවිතා කළ යුතු අතර හොඳ නාමයක් ද ගොඩනඟා ගත යුතුයි.

කොළඹ නගරය ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය මඩකලපුව වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්විද්‍යාල නිර්මාණය කිරීමට ද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාරවත් නගර බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නව පනතක් ගෙන ඒමට ද ඉදිරියේ දී කටයුතු කරනවා. එම නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අවශ්‍යයි.
මහනුවර නගරය තුළ විධිමත් නගර සංවර්ධන සැලැස්මක් නැවත ක්‍රියාත්මක කිරීමට අප ජපාන රජය සමඟ සාකච්ඡා කරනවා. එම නව නගර සැලැස්ම සහ පාලම පේරාදෙණිය දක්වා දීර්ඝ කළ යුතුයි.ඒ වගේම නැවත විධිමත් සංවර්ධනයකට ලක් කළයුතු තවත් නගර තිබෙනවා. මෙම සියලු කටයුතු අප සිදු කළ යුතුයි. එම අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් වන්න.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. මම 2016 වසරේ එම වගකීම භාරගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළා. දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේ දී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ලැව් ගිනි ඇති වී තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මෙම අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා.

ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලට ද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.
මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක් ද අප මේ වන විට හඳුනාගෙන සිටිනවා.

මෑත යුගයේදී මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යන්න බැහැ. එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙනවා. එම වගකීම ඔබ භාරගත යුතුයි.

අමෙරිකානු ‍නියෝජ්‍ය තානාපති ඩග්ලස් ‍‍ සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටොල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගල්කිස්සේ සිට කන්කසන්තුරේට නව දුම්රියක්

'යාල්නිලා' නමින් ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ සඳහන් කරන්නේ, මෙම දුම්රිය ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක් කෙරුණු බවය.

 මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කර ඇත.

aruna.lk

13 ගැන යෝජනා අදහස් එවන්න අවසන් දිනය දන්වයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

ණය ප්‍රශස්තකරණ කටයුත්තේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි !- ජනපති

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (04) පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහිදී සිදු වන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.

නමුත් ඊට පෙර අප ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කළයුතුයි. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපගේ ප්‍රධාන ණය හිමි රටවල් සමඟ ද අප ඒ පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම විවිධ පාර්ශව සමග සාකච්ඡා කළා. ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටිය මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා එය පිළිගන්නා ලෙස. ඒ සඳහා රාජ්‍ය මුදල් කොමිටියෙන් සංශෝධනයකුත් ලබා දී සියලුදෙනාම පක්ෂ බේදයකින් තොරව වැඩ කටයුතු සිදු කළා.

ඒ පිළිබඳ රාජ්‍ය මුදල් කොමිටියට මම ස්තූතිවන්ත වෙනවා. අප බලාපොරොත්තු වුණා විපක්ෂය ද ඊට සහය ලබා දෙයි කියලා. ඒත් විපක්ෂයේ පක්ෂ අතර අභ්‍යන්තරව තිබු ප්‍රශ්නයක් නිසා ඔවුන් ඊට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඇතැමුන් විරුද්ධ වුණා, තවත් පිරිසක් ඡන්දය දීමට පැමිණියේ නැහැ. ඒ ගැන අප කණගාටු වෙනවා. කෙසේ හෝ සියලුදෙනාගෙන් ලැබුණු සහයෝගය මම සිහිපත් කරනවා. අප දැන් එය සම්මත කර තිබෙනවා ඒ අනුව ණය ප්‍රශස්තකරණ කටයුතු මෙම සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විපක්ෂයේ සහයෝගය නොලැබුණත් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පක්ෂ ගණනාවක් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අපට සහාය වුණා. ඔවුන් ඊටවිරුද්ධව කටයතු කළේ නැහැ. අවාසනාවකට හැම කෙනෙකුගෙන්ම එම සහාය හිමි වන්නේ නැහැ.

ඇතැමුන් මෙය කඩාකප්පල් කිරීමට බලනවා. ඇතැමුන් පාරට බැස විශාල විරෝධතා ඇති කිරීමට උත්සාහ කළා. නමුත් ජනතාව එය පිළිගත්තේ නැති නිසා දැන් අධිකරණය වෙත ගොස් තහනම් නියෝග ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණුවලට අධිකරණය ද යොදා ගැනීමටයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ නැවතුණොත් විදේශ රටවල් අප සමඟ ගනුදෙණු කරන්නේ නැහැ. නැවත රට තුළ ඉන්ධන පොලිම් ඇති වෙනවා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නැති වෙනවා.

රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය මගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නිතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.

ඒ වගේම සියලුදෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලුදෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු.

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරයි !

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

සැප්තැම්බර් පළමු සතිය වන විට එම භාණ්ඩ 300 නම් කරන බව ද අමාත්‍යවරයා පවසයි .

ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක එම සීමා ඉවත් කිරීමට පසුගිය මාස තුනක පමණ කාලය තුළ ආණ්ඩුව කටයුතු කර ඇත .

119 ට බොරු කිව්වොත් වැඩ වරදියි !

119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධව නිවේදනයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවය.

පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවද අදාළ නිවේදනයේ සඳහන් වන අතර එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් අදාළ පණිවිඩ විමසීමේදී නිරීක්ෂණය වී ඇති බවද නිවේදනය සඳහන් කරයි.

මේ හේතුවෙන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

EPF ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් !

රජය ගෙන තිබෙන තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර ලබාදී තිබේ.

අදාළ පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණ.

පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.

වයඹ සරසවියට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයක් පත්කෙරේ.

ඒ අනුව නව කුලපති ධුරයට සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

වසර පහක කාලයක් සඳහා ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණියව එම ධුරය සඳහා පත්කර ඇත

ඉදිකිරීම් ක්ෂේත්‍රය නගාසිටුවන්න රජයේ අවධානය !

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක  මේ බව සඳහන් කර සිටියේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීය.

පසුගිය සමයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.

ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දෙනු ලැබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  සඳහන් කර සිටියේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර, පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවත් ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්ය.

ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩ නිම කර ඇත්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

ඒකීය රටක බලය බෙදීමට එකඟයි : ප්‍රසන්න ප්‍රසිද්ධියේ කියයි !

ඒකීය රටක බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුලම්මුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඔලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන්ට අද (03) දින සහභාගී වෙමිනි.

ඉදිරි කාලයේ උතුරු නැගෙනහිර පළාත් වල නැනෝ ජල පිරිපහදු නව මධ්‍යස්ථාන 400ක් ඉදිකරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත් වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. මෙය “සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

උමාරාගේ සිදුවීම දඩමීමා කරගෙන නටන නාඩගම සැකයි ! (වීඩියෝ )

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය විකෘති කළ බවට චෝදනා කරමින් ඇතැම් මාධ්‍ය විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුම පිටුපස, රටේ නොසන්සුන්තාවයක් ඇති කර යලිත් වරක් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමේ උවමනාවක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකන් දෙදෙනෙකු වන නීතිඥ සේනක පෙරේරා සහ ප්‍රසංග ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජාතික ගීය විකෘති කර ගායනා කලායැයි චොදනා කරමින් උමාරා සිංහවංශ ගායන ශිල්පිනිය මූලික කරගෙන ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය තුල ජාතිවාදය වපුරා රටේ නොසන්සුන්තාවක් ඇතිකිරීමට විවිද පාර්ශවයන් බලාපොරොත්තුවන බවත්, එහෙයින් කුමන හෝ කණ්ඩායමකට යලිත් වරක් ජාතිවාදය ඇවිස්සීමට උවමනාවක් ඇත්දැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුවට වගකීමක් ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරික ප්‍රසංග ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර ඇති ලිඛිත පැමිණිල්ල මගින් අවධාරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාධ්‍ය ඇමතු ප්‍රසංග ප්‍රනාන්දු, රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බව සඳහන් කළේය.

ජාතිවාදය මතින් කෙසේ හෝ බලයට පැමිණීමට උත්සාහ දරණ ඇතැමුන්, විටින් විට ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියාකරන බවටද ඔහු මෙහිදී චෝදනා කළේය.

සැප්තැම්බරයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා !

මෙම වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

කොළඹ පැවති උත්සවයක් අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ජාත්‍යන්තරය ගැන අවධානය යොමුකරන, තිරසාර, පෞද්ගලික අංශයට ප්‍රමුඛත්වය හිමිවන දීප්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස, ශ්‍රී ලංකාවේ හැකියාවන් විදහාපෑම සඳහා දොරටු විවෘත කිරීම රජයේ දැක්මයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන ආකාරය ද එහිදී දැකිය හැකියි. ආයෝජන ආකර්ෂණය කරගනිමින්, සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් ඇතිකරමින්, කුසලතා යළි රටට ගෙන ඒමට එමගින් හැකි වනු ඇතියි.

"අපේ කුසලතා පූර්ණ පිරිස් නැවත රටට කැඳවන ව්‍යාපෘතිවලට සහායවීමට රජය ඉතා කැමැත්තෙන් සිටින අතර මේ වසරේ සැප්තැම්බරයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. එහි සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ සිට වර්ධන මාවතකට යොමුකිරීමට පදනම සකස් කරනු ඇතියි.

"වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගැනෙනවා. එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වේවි.

රාජකාරිය පැහැර හැරලා - පූජිත්ට චෝදනා !

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇති බවට නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මෙම කරුණු ඉදිරිපත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ,කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන විභාගය පැවැත්වී තිබේ.

හරීන් සහ මනුෂට එජාපයේ දොර ඇරේ......

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරුන්ට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඒ අනුව ඔවුන් යළි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

මේ අතර එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

එජාපයේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීම සැප්තැම්බර් මස 10 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ පැවැත්වෙන එජාප මහ සමුළුවේදී සිදුකිරීමට නියමිතය. එම සමුළුවේ සියලු සංවිධාන කටයුතු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

වැඩි වන ජල ගාස්තුව ඉහළ යන්නේ මෙහෙමයි

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, අගෝස්තු මස පළමු දින සිට ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම එහි සඳහන් ය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි.

කෙසේ වෙතත්, සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේදී සිදුකර නොමැත.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහා ම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 5 සඳහා රුපියල් 20ක් වූ ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේදී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේදී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද ඉහළ දමා තිබේ.

ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තු පහතින් දැක්වේ.

0 – 5 ඒකකයක් රු. 60 – මාසික ගාස්තුව රු. 300
6 -10 ඒකකයක් රු. 80 – මාසික ගාස්තුව රු. 300
11 -15 ඒකකයක් රු. 100 – මාසික ගාස්තුව රු.300
16 – 20 ඒකකයක් රු. 110 – මාසික ගාස්තුව රු. 400
21 – 25 ඒකකයක් රු. 130 – මාසික ගාස්තුව රු. 500

සංශෝධිත ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත දිගුව ඔස්සේ බලන්න…

2343 28 S 1 page 001

Page 143 of 440