පුවත්
මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි
මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
කෘතිය ජනගත කෙරෙන්නේ එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ය.
ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.
ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.
‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.
ලොකු ළූණු සදහා 40% ක අපනයන බද්දක්
වහාම ක්‍රියාත්මක වන පරිදි ළූණු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, එරට වෙළෙඳපොළ තුළ එළවළු හිඟතාවක් තොරව පත්වා ගෙන යාමේ ප්‍රයත්නයක් ලෙස මෙම පියවර ගෙන ඇති බව ය.
ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින් (අගෝ. 20) මේ බව නිවේදනය කරනු ලැබ ඇති අතර, දෙසැම්බර් 31 දක්වා මෙම අපනයනය බද්ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් ය.
රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ, ලොව විශාලතම ළූණු අපනයනකරු විසින් පනවන ලද මෙම බද්ද හේතුවෙන් එරට වෙළෙඳපොළ තුළ ළූණු මිල ගණන් පහළ යනු ඇති නමුත් කලාපයේ අනෙකුත් අපනයනකරුවන්ට සීමිත සැපයුම් ඇති බැවින්, ආසියාතික ගැනුම්කරුවන්ට ළූණු ආනයනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බව ය.
ඒ අනුව, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම අපනයන බද්ද බලපානු ඇත.
මේ අතර, මෙරට ලොකු ළූණු වගාව සම්බන්ධයෙන් වහා ම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබේ.
සාර්ථකව සිදු කෙරුණු ලොකු ළූණු වගාව දැනට වසර හත අටක සිට අසාර්ථක වී ඇති අතර, මේ වන විට ගොවීන් ලොකු ළූණු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වන අතර, මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් වීම හේතුවෙන් ගත වූ කාලය තුළ ආනයනය කර ඇති ලොකු ළූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
ජනපති යාල සංචාරයක.....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.
ඊයේ (19) මෙම සංචාරයේ නිතර වූ අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් මෙම සංචාරය සදහා සහභාගී වී ඇත.
සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.
වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිතිවලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.
ජනපතිගේ මෙම සංචාරය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සහභාගී වූහ.
(ජයාරූප - lankadeepa.lk)
ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක්
ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බවය.
බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බළකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබේ.
බලය බෙදීම පිළිබදව පොහොට්ටුව දෙබිඩි පිළිවෙතක ! - නිමල් ලන්සා
බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සඳහන් කරයි.
නිමල් ලන්සා මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත. 13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියළු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ "දෙබිඩි පිළිවෙත" රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.
ස්ථාවර ආර්ථිකයක් හා ඒකීය භාවය ගොඩනැගීමට රටේ සියලු ජන කොටස් අතර සාමය හා සංහිදියාව ගොඩනැගිය යුතුයි. රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සදහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතුයි. එමගින් සියලු ජනකොටස් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට සියලු ජනකොටස් අතර ශ්‍රී ලාංකික හැගීම ගොඩ නැංවෙනු ඇත. සියලු ජන කොටස් වලට පිළිගත හැකි බලය බෙදීමකින් ජාත්‍යන්තර විශ්වාසය ද ගොඩනැංවිය හැකියි.
ඒ පිළිබඳව අවම අවබෝධයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහසට බැහැර මතයක් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනුයේ කුමන පදනමක සිටදැයි පැහැදිලි කළ යුතුයි.
''ජනාධිපති අපේක්ෂකයා කව්ද රටට කියන්න ''
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවට එම පක්ෂයේ සුළු පිරිසක් විවිධ අදහස් පළකර තිබෙන අතර හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි සෘජුව ඔවුන් විසින් රටට හෙළි කළ යුතුයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්, ඒ සදහා අකුරු තුනක නමක් සහිත නායකයකු ඉදිරිපත් කරන බවට විවිධ ඉඟි පළ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින්නේ පක්ෂය තුළ පොදු එකඟතාවයක් නොමැතිවීම හේතුවෙනි. හැකිනම් සියලු පාර්ශවයන්ගේ එකඟතාවය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතුයි.
රටේ ඇතිවූ අස්ථාවරත්වය මත ගොඩනැගුනු අර්බුදයන් හා රට යළි ගොඩනගමින් ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වයක් උදා කරදුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනමතයක් නොමැති සුළු පිරිසකට අදවනවිට අමතක වී තිබේ. යළි දේශපාලන කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නිර්මාණය කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අමතක කර දැමීමට එම පක්ෂයේ සුළු පිරිසක් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.
රට තුළ ඇතිවූ අස්ථාවරත්වය හා ඒ මත ගොඩනැගුනු අර්බුදයන් විසදමින් රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි එකම නායකත්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෝරා ගැනීම වූයේ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එවැනි තත්ත්වයක් තුළ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයන් විසදමින් ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව රට යළි ගොඩනංවමින් ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාවරත්වයක් ස්ථාපිත කරනු ලැබූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබදව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.
ඉදිරි දැක්මක් මෙන්ම ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැකි එකම හා පරිනත නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් ජනමතයක් නොමැති, ජනතා අභිමථාර්ථ හදුනා ගත නොහැකි සුළු පිරිසගේ මතය රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව" නිමල් ලන්සා මන්ත්‍රීවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
බඩඉරිඟු බදු පහළට
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ.
බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණය.
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ජනපති හමු වෙයි
ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම සේවා සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග ඊයේ (අගෝ. 17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.
පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ඔහු ප්‍රකාශ එහිදී කළේ ය.
“මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතු යි. ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම එකම ආකාරයේ සේවාවන් ලබා දීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කාණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකි යි. එලෙස කටයුතු කිරීමේදී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම්, මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතු යි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා. පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසාත්, පළාත් සභාවල ඇමතිවරු නොමැති නිසාත් පළාත් සභා ක්‍රමය යටතේ අද සම්පූර්ණ පාලන බලය තිබෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරුන් වන ඔබට යි. පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතර ම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතු යි. විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මගිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබා දීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබා දීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතු යි.”
ජනාධිපතිවරයා තවදුරට ත් සඳහන් කළේ, මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුවත් එමගින් සෑහීමකට පත් වීමට නොහැකි බව ත්
රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව ත් අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි බව ත් ය.
“ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරා ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි මහ කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිව යුතු යි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා. විශේෂයෙන් ම ලබන වසර අවසාන වන තුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබා දිය යුතු යි. එහිදී ආණ්ඩුකාරවරයා සමග එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන් ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේ ම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිව යුතු යි.”
ළමා රෝහලේ පහසුකම් පුළුල් කිරීමට නාවික හමුදා සහය
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම ඊයේ (17) නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නැව්බඳ ඉංජිනේරු කපිතාන් කපිල ද සිල්වාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නාවික හමුදා සමාජ සත්කාරයක් ලෙස සිදුකල රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ඇඳන් ඇතුළු අනෙකුත් පහසුකම් අළුත්වැඩියාව නාවික හමුදා ඉංජිනේරු ශිල්පීන්ගේ දායකත්වයෙන් හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ මූල්‍ය දායකත්වයෙන් 2023 ජුලි මස 31 වන දින ආරම්භ කෙරිණි.
ඒ අනුව, සමාජ සත්කාරයක් ලෙස සිදුකල මෙම අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ අබලන් තත්වයේ තිබූ රෝගී ඇඳන් පනස් හතරක් (54), Laundry Rack පහක් (05) සහ ඔක්සිජන් රඳවන එකක් (01) කඩිනමින් අළුත්වැඩියා කර රෝගී දරුවන්ගේ භාවිතය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත භාරදීම මෙලෙස සිදුවිය.
තවද, නාවික හමුදාව විසින් සිදුකල මෙම සමාජ සත්කාරය හේතුවෙන් නේවාසික රෝගී දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති පහසුකම් කඩිනමින් පුළුල් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය විසින් නාවික හමුදාව වෙත ඔවුන්ගේ ප්‍රශංසාව පල කිරීමද එහිදී සිදුකෙරිණි.
පළාත් සභා නැතත් වැඩිපුර කෝටි 14136ක් ගිලලා !
පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136 ක මුදලක් වැඩිපුර වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි.
පළාත් සභා නියෝජිතයන් සිටි 2019 වසරේදී පළාත් සභාවල වියදම් සඳහා රුපියල් කෝටි 30,129ක මුදලක් වැය කර ඇති අතර, පළාත් සභා නියෝජිතයන් නොමැති 2022 වසරේදී රුපියල් කෝටි 44,265ක මුදලක් නඩත්තු කිරීම සඳහා වැයකර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.
මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් පවසන්නේ මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම් ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003 ක පමණ මුදලක් බවය.
එය ඉතාමත් සුළු වියදමක් බව ද ඔහු පැවසීය.
පළාත් සභා සඳහා වෙන් කරන මුදල්වලින් වැඩිපුර මුදලක් වැය වන්නේ සේවක පඩිනඩි හා වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහා බවද, එය සාමාන්‍යයෙන් සෑම වසරකම කෝටි 35,000ත් 40,000ත් අතර වන බවද ඔහු පැවසීය.
එයින්ද වැඩිම මුදලක් වැය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා සඳහා බවද ඔහු කීය.
මුදල් කොමිෂන් සභා වාර්තාවලට අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු එක් එක් ක්ෂේත්‍රවල ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වන ප්‍රාග්ධන වියදම් සාමාන්‍යයෙන් කෝටි 3,000ත් 4,000 ත් අතර පවතී.
එය 2019 වසරේදී රුපියල් කෝටි 3,001 ක් වන විට 2022 වසරේදී රුපියල් කෝටි 3,934 කි.
පළාත් සභාවේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව වෙන් කිරීම සඳහා නිර්දේශ කර ඇති මුදල 2022දී රුපියල් කෝටි 22,000 ක් වුවද, අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1,144 ක් පමණක් බවද එයින් ලැබී තිබෙන්නේ රුපියල් කෝටි 580 ක් පමණක් බවද කොමිෂන් සභා වාර්තාවලින් අනාවරණය වේ.
- Lankadeepa
සංචාරක ආකර්ශනය වැඩිකර ගන්න ඉලක්කගත වැඩපිළිවෙළක් !
ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අදාළව දැනට සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති පියවර සහ නව ප්‍රවණතා පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි.
ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අනුමැතිය ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව සංචාරක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන විසින් 2025 වසර දක්වා වූ උපාය මාර්ග සැලැස්මක් සකස් කරමින් සිටින බවත්, මේ වන විට එහි කටයුතු 95%ක් පමණ අවසන් කර ඇති බවත්මෙහිදී සඳහන් කෙරිණ.
පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් ඉහළ පෙළේ හෝටල් පාසලක් මෙරට ඉදිකිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙරටට පැමිණෙන සංචාරයකන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැඟිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසත් මෙතෙක් සංචාරක අවධානයට ලක් නොවූ ස්ථාන හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මෙන්ම සංචාරක කලාපවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් (Investment Infrastructure corporation) ස්ථාපිත කිරීමටත්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට කවුන්සිලයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආයෝජන කලාප මෙන්ම සංචාරක කලාප සහ තාක්ෂණ කලාප ද ඒ යටතට පත්කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය. ඒ අනුව පළාත් 09 ආවරණය වන ආකාරයට පළාත් සංචාරක මණ්ඩල ස්ථාපිත කිරීමටත් එම එක් එක් මණ්ඩල යටතේ ප්‍රාදේශීය කමිටු ස්ථාපිත කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවය.
තවද මධ්‍යම හා ඌව පළාත්වල සංචාරක අවධානය යොමු නොවූ ස්ථාන රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන් මධ්‍යම පළාත තුළ වායු දූෂණය අවම බැවින් තිරසර සංචාරක කලාපයක් ලෙස එම පළාත සංවර්ධනය කිරීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.
මෙරට ගුවන් තොටුපොළ සහ උද්‍යානවල තදබදය අවම කරමින් සංචාරකයන්ට පහසුකම් සැලසීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු ද, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සභාපති කාවන් රත්නායක ඇතුළු එහි සෙසු සාමාජිකයන් මෙන්ම නිලධාරීහු පිරිසක් මෙමඅවස්ථාවට එක්ව සිටියහ.
සුනිල් හඳුන්නෙත්තිගෙන් දූපතක් ගැන කතාවක් !
මෙතරම් ජනතාවට සත්‍ය කියා දී තිබියදී ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ආසන බලමණ්ඩල ජනහමුවක් අමතමින් වන අතර පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවද පැවසීය .
තම පක්ෂයට ගසන මඩ ආශිර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බවද එහිදී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය.
ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක අලෙවිකර වැඩ වරද්දාගෙන !
ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන ආකාරයට ඊයේ (16) දහවල් වත්තල පොලිස් වසමේ දී ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 29ක් වූ ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය.
එහිදී අවේක්ෂණ රාජකාරියකින් පසුව උපාය දූතයෙක් හට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38,000ක මුදලකට විකිණීමට යෑමේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී එම තහනම් උත්තේජක නීතිවිරෝධී ලෙසට මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳව අනාවරණය වී ඇති අතර එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරයේ භාරයට පත්කර තිබේ.
අධ්‍යාපනයට කරන්න යන දේ ගැන ජනාධිපති කියයි !
ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.
අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිනි වයෝනි විශාඛා රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
නුගේගොඩ අනුලා විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන් සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේදී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා.
පාසලක් යනු , අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයයි. එමගින් රටට සේවය කිරීමට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මීට දශක පහකට පෙර පැවති අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධයාපන ක්‍රමය අතර විශාල වෙනසක් පවතිනවා.
එදා තිබුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන් පෙළපොත් පමණයි. නමුත් අද අධ්‍යාපනයට ඡංගම දුරකථන සහ පරිගණක භාවිතය එක්ව තිබෙනවා. එදා විදුලි වාහන පිළිබඳ සිතා තිබුණෙ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අද අවශ්‍යව තිබෙනවා.
සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි.
අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි.
අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාස හොඳින් අධ්‍යයනය කළයුතුයි. යුරෝපය අද ගිනිගන්න තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කාළගුණ විපර්යාස පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාලය වසර 10 කින් ආපස්සට ගෙන එය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව 2050 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබූ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ න්‍යාය පත්‍රය 2040 වන විට අවසන් කිරීමට සියලු රටවල් සූදානම් වෙමින් සිටිනවා.
අනෙක් කරුණ වන්නේ, ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වීමයි. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක් චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ කිහිපයක් පමණක් අද ලෝක ආර්ථිකයට බලපෑම් කරනවා. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.
මෙම තාක්ෂණයන් සමඟ අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 300ක් 700ක් අතර විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සමග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.
අපි 1970 සහ 80 දශකයේ ඇඟළුම් කර්මාන්තයට සූදානම් වු අන්දමින් අප දැන් එම තාක්ෂණයන් වැළඳ ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සූදානම් වීමට නම් අප පළමුව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක්‍රමයකට ණය ලබාදිමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.
අද ඔබ Gen Z පරපුරේ දරුවන්. ඊළගට Gen Alpha කණ්ඩායමට සූදානම් විය යුතුයි. එහිදී ජංගම දුරකථනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි. මෙලෙස අධ්‍යාපන රටාව සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතුයි.
දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.
මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසුවියන් ආදි සිසුවියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැඩි තීරණයක !
පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී යම් නිලධාරියකු හෝ පිරිසක් එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පවසයි .
මේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව විමර්ශන කටයුතු අපක්ෂපාතීව කරගෙන යන බවද ඇය සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද ඇය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව පවතින බව මහලේකම්වරිය සඳහන් කළාය.
එකී කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරයාටද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයකින් දන්වා ඇතැයි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
බලය බෙදීමට සජිත් එකඟයි !
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට තම පක්ෂය එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .
බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදා අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත්, ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඔහු සඳහන් කරයි .
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ ඊයේ (15) පැවති භික්ෂු උපදේශක සභාව අමතමිනි.
රටක ඒකීය භාවය ස්වෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත්, සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් ඔහු එහිදී පැවසීය.
සජිත් එකමුතුව ප්‍රතිකේෂ්ප කරයි !
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ය.
රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කර ඇත .
එසේම තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂ නායක පවසා ඇත .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ අදහස් දක්වමින් සිටින්නේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පැරණි අඩුපාඩු සකසා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ තම පක්ෂය එක්විය යුතු බවට මතයක් ප්‍රසිද්ධියේ සමාජ ගත කරමින් සිටින පසුබිමකය.
කෙසේ වුවත් බෙදී වෙන්ව සිටින එජාප සජබ බලවේගය එක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සජබ අභ්‍යන්තරයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇරඹි ඇති බව දේශපාලන ආරංචි මාර්ග ද සඳහන් කරයි.
තේ කර්මාන්තය නංවන ආකාරය ජනපති පහදයි !
තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129 වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බන්කොලොත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළ අද අප ක්‍රියාත්මක කර තිබෙනවා.
නමුත් තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි.
අප නැවතත් මෙම පරණ ක්‍රමයටම යනවාද නැති නම් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් තුළින් නැගී සිටිනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි.
යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.
තේ කර්මාන්තය රාජ්‍ය සහාය ඇතිව ගොඩනැඟුණු කර්මාන්තයක් නොවෙයි. මෙය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ඉන් අනතුරුව සාර්ථක වූවන්ගේ ව්‍යාපාරයක්. එහිදී ඇතැමුන් අසාර්ථක වුණා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වුණා. ඇතැමුන් වගාකරමින් සිටි ඉඩම් පවා මතභේදාත්මක ලෙස නැවත පවරාගැනීම් සිදුකර තිබුණා.
අප දැන් අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තවමත් මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තේ කර්මාන්තයට ශක්තිය තිබෙනවා. ඉදිරි වසර 20- 30 පිළිබඳ අවධානය යොමු කරමින් ක්ෂේත්‍රය තුළ මතුව තිබෙන ගැටලු හඳුනාගත යුතුයි.
ගෝලීය දේශගුණික විපර්යාස සමග අපට ඉදිරියේ දී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වෙනවා. තේ කර්මාන්තය රැකගැනීමට නම් මෙම නිවර්තන දේශගුණික කලාපය දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ පිළිබඳව යෝජනා අප ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කර තිබෙනවා.
මෙම තත්ත්වය ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිදු වූ දැවැන්ත කාර්මීකරණයේ අහිතකර පළවිපාකයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. අප මේ පිළිබඳව කතා කළ යුතුයි. අපට දේශගුණික විපර්යාසවලට අනුගත වීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි.
පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජලමූලාශ්‍ර වලට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳුකරයේ පවතින නිසා එය තේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොල පවතින්නේ කොතැනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.
2050දී ලෝක ජනගහන වර්ධනය පිළිබඳව පුරෝකතන දෙස අවධානය යොමු කිරීමේ දී ඉන්දියාවේ ජනගහණය තවත් මිලියන 400කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. කෙන්යාව, මලාවි සහ මැදපෙරදිග යන රටවල ජනගහනයත් ඉහළ යමින් තිබෙනවා. ඒ හා සමගාමීව එම රටවල ඒකපුද්ගල ආදායම ද ඉහළ යනවා.
නමුත් ශ්‍රී ලංකාවේ ජනගහනය ඉහළ යන්නේ නෑ. ඒනිසා අපේ නිෂ්පාදනය වර්ධනය කරගන්නෙ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. චීනය ජනගහනය ක්‍රමිකව පාලනය කර ගනිමින් පවතිනවා. එනිසා අප චීනය සමඟ කටයුතු කළ යුතුයි.
ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන නිසා එයින් ඔබට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇතියි. ඒ වගේම ඉන්දියාවද තේ වෙළෙඳපොළට පැමිණෙනවා. එනිසා අප ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිව ගමනක් නැහැ. ඔවුන්ගේ වෙළඳපොල රටාවන් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ලෝකයේ නැගෙනහිර හා බටහිර රටවල් තේ මිලදීගෙන කිරි හෝ බිස්කට් සමඟ සකස් කරගෙන පානය කරනවා. ඒ සඳහා පමණක් තේ නිෂ්පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අද Green tea ලෝකය තුළ ප්‍රචලිත පානයක් බවට පත්ව තිබෙනවා. අප තේ ආශ්‍රිත නව සොයාගැනීම් හා නිෂ්පාදන පිළිබඳ සිතා බැලිය යුතුයි.
මම කුඩා කාලයේ අපේ නිවසේ ඉතා විශාල මුළුතැන්ගෙයක් තිබුණා. නමුත් දැන් නිවාසවල දකින්න තිබෙන්නේ ඉතා කුඩා මුළුතැන්ගෙයක්. තවත් වසර 20කින් 30කින් පමණ ඉදිවන නිවාස වල මුළුතැන්ගෙයක් නැතිව ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍ර එකක් හෝ දෙකක් දක්නට ලැබේවි. මේවා අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝග බව සිහියේ තබා ගත යුතුයි.
අප එම අභියෝග හඳුනාගෙන ඊට ගැළපෙන විකල්ප සමඟ ඉදිරියට යා යුතුයි. ස්වීඩ්න් ජාතික ආර්ථික විශේෂඥයෙකු වූ Gunnar Myrdal විසින් 1960 දශකයේ ලියන ලද Asian Drama කෘතියෙහි ශ්‍රී ලංකාවද විශ්ලේෂණයට ලක් කරමින් ඔහු සඳහන් කර තිබුණේ “බ්‍රිතාන්‍යයන් සිය කළමනාකරණය සහ මූල්‍ය අත්දැකීම් කාර්මික විප්ලවය මගින් ලබාගෙන ඒවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඉන්පසු එය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දුන් බවය. ඒ නිසා අපට නූතන වැවිලි කළමනාකරණ පද්ධතියක් ලැබී තිබෙන බව එහි සඳහන් වෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් සමඟ සන්සන්දනය කිරීමේදී නව කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සිතීමට දැන් කාලය එළැඹ තිබෙනවා. එය සියලුම නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි.
එහිදී කෘත්‍රිම බුද්ධිය, ජෛවතාක්ෂණවේදය වැනි විෂයන්ද උපයෝගී කර ගත හැකි දැයි විමසා බැලිය යතුයි. එය පෞද්ගලික අංශය වන ඔබගෙන් නිර්මාණය විය යුතුයි. මොකද අවසන් අධිකාරිය පවතින්නේ ඔබගේ වෙළෙඳපොළ තුළයි.
ලිප්ටන් මහතා ලංකාවට පැමිණියේ නැත්නම් අද මේ මුකුත් නැහැ. ඒ නිසා එම ක්‍රමවේදය වැඩිදියුණු කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන එන මංපෙත් කඩිනමින් සොයා බැලිය යුතුයි. අප ඔබට එහිදී පූර්ණ සහාය ලබා දෙනවා. තේ කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපට කළ හැක්කේ එයයි. ඒ සමඟ මතුවන ගැටලු විසඳීමට ද අප කටයුතු කරනවා.
ශ්‍රී ලංකා තේ නොකිලිටි (pure) තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා අප හොඳම විසඳුම් සමඟ ඉදිරියට යමු කියා මම ඔබට ආරාධනා කරනවා.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ වරාය නගර සභාපති ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති සංජය හේරත්, උප සභාපති ලුෂන්ත ද සිල්වා හිටපු සභාපතිවරුන් වන ජනක කරුණාරත්න සහ ඇන්ස්ලම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නියඟය වගාවන් වැනසුවේ මෙහෙමයි !
මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.
එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.
දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.
වැඩිම වගා හානියක් සිදුව ඇති දෙවන කලාපය බවට උඩවලව පත්ව ඇති අතර එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.
මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.
මෙහි අවසන් වාර්තාව සකස් කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Page 139 of 440