Ad

Ad 01

V2025

පුවත්

සංහිඳියා වැඩපිළිවෙල ගැන කියන්න සර්ව පාක්ෂික සමුළුවක් !

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධව කෙටි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එළඹෙන 26 වනදා එය පැවැත්වෙන බවය.

එසේම මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මේ වන විටත් ඒ සඳහා ආරාධනා කිරීමට ජනාධිපති කාර්යාලය කටයුතු කර ඇති බවත් එහි සඳහන් කර ඇත.

ජයන්ත කැටගොඩගේ කෙටුම්පත සම්මත කිරීම පහසු නොවේ !

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදුකර සිටියේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදීය.

නව සංචාරක උපාය මාර්ගය Visit Sri Lanka ළඟදීම !

රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන 'Visit Sri Lanka' ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති Bocuse d'Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d'Or 2023 තරගය මගින් සිදු වේ.

Bocuse d'Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු විය.

ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මෙම සභාවේ හිස් තැනක් තිබෙනවා. එය අප සියලුදෙනාටම දැනෙනවා. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මෙරිල් ප්‍රනාන්දු  නොමැතිව අද අප මෙහි හමු වන්නේ පළමු වරටයි.

ඔහු මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අපට අමතක කළ නොහැකියි. මම 2002 වසරේ අගමැතිවරයා ලෙස සිටින සමයේ ඒඩ්‍රියන් සේගා මෙරටට පැමිණි අවස්ථාව මට මතකයි. අපේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්නේ කෙසේද කියා ඔහු කතා කළා.

ඒ වගේම මෙරටට පැමිණි ජෙෆ්රි ඩොබ්ස්, බුටික් හෝටල් සංකල්පය පිළිබඳ කතා කළා. මෙම බුටික් හෝටල් සංකල්පය හරහා මෙරට වැවිලිකරුවන්ගේ “බංගලා”, බුටික් හෝටල් බවට පත් කරන්නේ කෙසේද යන්න කතා කිරීමට පටන් ගත්තා. මෙරිල් ක්‍ෂේත්‍රයේ නොසිටියත් එය අනුගමනය කළා.

ඉන්පසුව මම මැතිවරණයෙන් පරාජය වුණා. නැවත බුටික් හෝටල් බලන්න හැකිවෙයි කියා මම හිතුවේ නැහැ. දවසක් මෙරිල් ඇවිත් මට කිව්වා “මම ‘Tea Trails’ පටන් ගන්නවා” කියලා. ඔහු මට මුලින්ම බුටික් හෝටලයකට ආරාධනා කළා. අප සියලුදෙනාට ආඩම්බර වියහැකි ප්‍රමිතියකින් ඔහු එය ස්ථාපිත කර තිබුණා. එබැවින් ඔහු මෙරට තේ කර්මාන්තයට පමණක් නොවෙයි, සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ද ලබාදුන් දායකත්වය අපට අමතක කළ නොහැකියි. ඔහු කල්කුඩාවේ සූපශාස්ත්‍ර පාසලක් ද ආරම්භ කළා.

මම හිතන්නේ දේශපාලනඥයෙක් ලෙස මම වාසනාවන්තයි. අවුරුදු 40ක් තිස්සේ මම රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා . ඊයේ මම අනුරාධපුරයට ගියා. අපට ඉතා රසවත් වැව් මාළු ව්‍යංජනයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා. කාලයකට පෙර මට ත්‍රිකුණාමලයේ රසවත් බුරියානියක රස බලන්න ද ලැබුණා.

හෝටල්වලින් පිට සනීපාරක්ෂක පහසුකම් එතරම් හොඳ මට්ටමක නොතිබූ මීට වසර 40කට පමණ පෙර සිදුවීමක් මට සිහිපත් වෙනවා. අප දවසක් බටහිර වෙරළ තීරයේ හොඳම කකුළුවන් ව්‍යාංජනය තිබූ කල්පිටිය අවන්හලක් වෙත ගියා. මමත් සමඟ තවත් කිහිප දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. ඇත්තමට ඒ කකුළුවන් ව්‍යාංජනය ඉතා රසවත්. අනතුරුව අප මුහුදු පැලෑටි ජෙලි එකක් කෑමට ගත්තා. මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්.

මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි. අප බංකොලොත් භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේ දී කොන්දේසි තිබෙනවා. මෙම මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා. ඉන් මිලියන 2.5ක් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්. එබැවින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද මෙම තරගයට සහභාගී වූ මෙහි සිටින තරුණ තරුණියන් අතරින් බොහෝ පිරිසක් තවත් වසර තුනකින් පමණ ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ තිබෙනවා. ඔවුන් මෙරට රඳවා ගැනීමට නම් මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුපවත් ඔවුන්ට ගෙවිය යුතුයි. ඔවුන්ට මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුප ලබාදීමට නම්, ඔබ මාලදිවයිනේ හෝටල්වලට සමාන මුදලක් අය කළ යුතුයි. එසේ අය කිරීම සඳහා, ඔබ එම හෝටල්වල ලබාදෙන සේවාව ලබාදිය යුතුයි.

අප ඉලක්ක කරන මිලියන 05ක හා මිලියන 10ක සංචාරකයන් දෙස බැලීමේ දී, ඒ අතර විවිධ වර්ගයේ සංචාරකයින් සිටිය හැකියි. සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයක් සඳහා අපේ රටට හොද පසුබිමක් තිබෙනවා. අපේ සංචාරක ක්ෂේත්‍රය තුළ සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරන්නේ නම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආසියාවෙන් අපේ රටට පැමිණෙනවා. අප ඒ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.
ඒ සඳහා අප වැඩි වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුයි. ඒ සඳහා අප සූදානම් විය යුතු අතර හෝටල් පාසල් වැඩිදියුණු කිරීම සඳහා ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සූපශාස්ත්‍ර පාසලක් ආරම්භ කිරීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව තනිව මේ සියලු දේ කරන තුරු බලා නොසිටිය යුතුයි. මේ සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ වගේම දැනට විවිධ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික සුපශාස්ත්‍ර පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ අයටත් සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව අප සොයා බලනවා.

අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මෙම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලුදෙනාට මම ස්තූති කරනවා. ඒ වගේම මෙම තරගය සංවිධානය කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබපතනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d'Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230724 WA0013

කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ සූදානමක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසීය.

ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම මෙන්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි මූලික කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බවත්, එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මීට වසරකට පෙර පැවති පොහොර හිඟය නිසා වැවිලි හා කෘෂිකාර්මික කේෂ්ත්‍ර දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. මේ හේතුවෙන් තේ කර්මාන්තය ඇතුළු අනිකුත් වගාවන් ද යම් කඩාවැටීමකට ලක් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව ගොවීන්ට නිසි පරිදි පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එම නිසා මේ වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර ක්‍රමානුකූලව ලැබෙමින් පවතිනවා.

තේ, පොල්, රබර් ඇතුළු අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළේ තිබෙනවා. ඒ වගේම රටවල් කිහිපයක පසුගිය කාලය තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය පොහොර මිල ගණන් මේ වන විට අඩු වෙමින් තිබෙනවා. කෙසේ වුවත් ගොවි ජනතාවට පොහොර නිසි වේලාවට ලැබීම හේතුවෙන් රටක් විදිහට දැන් කෘෂිකාර්මික හා වැවිලි කේෂ්ත්‍රයේ යම් ඵලදායීතාවක් පෙන්නුම් කරන බව පැවසිය යුතුයි.

2022 වසරේදී නිමි තේ නිෂ්පාදනය පැවතුණේ කිලෝ මිලියන 251ක් ලෙසයි. නමුත් මේ වසර අවසන් වන විට නිමි තේ කිලෝ මිලියන 280ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ නිෂ්පාදනය අඩු වීමත් සමඟ තේ මිල විශාල ලෙස ඉහළ ගියා. වර්තමානය වන විට රුපියල ශක්තිමත් වීම නිසා තේ මිල ඊට සාපේක්ෂව අඩු වී තිබෙනවා. ලෝක තත්ත්වයන් මත, රුසියානු - යුක්‍රේන යුදමය වාතාවරණය නිසාත්, අපේ ප්‍රධාන ගැනුම්කරුවන් වන ඉරානය, ලිබියාව, සිරියාව වැනි රටවල පවතින සිවිල් ගැටුම් නිසාත් තේ අපනයනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒ වගේම ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500කට ආසන්න මුදල වෙනුවට, තේ සැපයීම සඳහා පසුගියදා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මේ අනුව අදාළ මුදලේ වටිනාකමට සරිලන ලෙස තේ ලබාදීමට කටයුතු කරනවා. 'තෙල් වෙනුවට තේ' යන සංකල්පය යටතේ ඉරාන වෙළෙඳපොළට ශ්‍රී ලංකා තේ නැවත අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ නිසා පසුගිය කාලයේ යම් ප්‍රමාණයකට අපෙන් ගිලිහුණු ඉරාන වෙළෙද පොළට නිමි තේ අපනයනය යළි වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම රබර් අපනයනයෙන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඊට වැඩි ආදායමක් 2021 වසරේදී ඩොලර් බිලියන 1.1ක් ලෙස ලැබුණා. ඒ කොවිඩ් සමය තුළ ලෝක වෙළෙදපොළේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබුණු නිසයි. රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මේ වසරේදීත් ඩොලර් මිලියන 900ත් ඩොලර් බිලියන 1ත් අතර ආදායමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝක ආර්ථික අපගමනයත් සමඟ සියලු අපනයන භාණ්ඩවල යම් අඩු වීමක් තිබෙනවා. ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කරන ආකාරයට තෙවැනි කාර්තුවෙන් පසුව එය නැවත සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. මේ නිසා ඉදිරි කාලයේදි නැවත වැවිලි බෝගයන්හි අපනයන ඉලක්ක සඳහා පිවිසීමට හැකියාව ලැබෙනවා.

මෑත කාලයේදී තේ සහ රබර්වලට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ද වැඩි වර්ධනයක් දක්නට ලැබෙනවා. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදීත්, ඊට සාපේක්ෂව 2022 වසරේදීත් ආසන්න වශයෙන් වෙළෙදපොළ 15% - 20%ත් අතර ප්‍රමාණයකින් ප්‍රසාරණය වී තිබෙනවා. විශේෂයෙන්ම සක්‍රීය කාබන් නිෂ්පාදනය කරන පොල් කටුවලට, වගාවන් සඳහා යොදන කොහුබත්වලට, පොල්තෙල්, පොල් කිරි හා පිටි කළ පොල් සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබුණා.

ඒ අනුව 2022 වසරේදී පොල් ආශ්‍රිත නිශ්පාදන මගින් ඩොලර් මිලියන 836ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ වසරේදීත් ඊට ආසන්න අගයකට ළඟා විය හැකියි. ඉදිරි වසර පහ ඇතුළත පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 – 2.00ක් දක්වා වැඩි කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

මීට අමතරව දැනට පවතින නීතිය අනුව කැබලි කිරීමට හැකි වන්නේ අක්කර 10කට වැඩි පොල් ඉඩම් පමණයි. රටේ පොල් කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව අක්කරයකට වඩා වැඩි පොල් ඉඩම් ද කැබලි කිරීමට විශේෂ අවසරයක් ලබාගත යුතු බවට නීතියක් ඉදිරියේදී ගෙන එනවා. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත යළි පසුවිපරමක් සිදු කිරීමටද බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පොල් ගස ද “ගස් හෙළීමේ පනතට” දැනටමත් ඇතුළත් කර තිබෙනවා. මීට පෙර එම පනතට ඇතුළත් කර තිබුණේ කොස්, දෙල් සහ ගැහැණු තල්ගස පමණයි. ඉදිරියේදී පොල් ගස් දෙකකට වඩා කපා ඉවත් කරනවා නම් ග්‍රාම නිලධාරි මහතාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත යුතුයි කියන නීතියත් ක්‍රියාත්මක කරනවා. මීට අමතරව මේ වසරේ ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු ඇතුළු අනිකුත් කුළු බඩු අපනයනය කිරීමෙන් උපයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයටත්, කෘෂිකර්මාන්තයටත් අදාළ සියලුම පර්යේෂණ ආයතන ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට නව යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙයට අදාළ මූලික කෙටුම්පත මේ වන විට සකස් කර තිබෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්. දැනට කෘෂිකර්මාන්ත සහ වැවිලි අංශවලින් ශක්‍යතා අධ්‍යනයක් ද සිදුකර තිබෙනවා. මෙහි මූලික කටයුතු මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයට බලපෑ පසුගාමී තත්ත්වයන් අවම කරගෙන ඉදිරි කාලයේදී වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්න රජයක් විදිහට සූදානම්. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙක් කාරණා වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස මැදිහත්ව කටයුතු කරනවා.

ආනයනික බිත්තර රුපියල් 35කට සතොසෙන්

රුපියල් 35.00ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

 ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.

දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

'මූල්‍ය විනයක් සඳහා ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍යයි'- ඉරාන්

මූල්‍ය විනයක් තිබෙන්නට නම් ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කර

සිටියි.

බැංකු මෙන් මූල්‍ය ආයතන ද මහ බැංකුවට නියාමණය කළ නොහැකි නම් ඒ සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන්නැයි ඔහු ආණ්ඩුවට යෝජනා කර සිටියි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ග්‍රහණයෙන් දුප්පත් ජනතාව මුදා ගැනීමට වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මෙම කාරනා සඳහන් කර සිටියේ, බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව සිකුරාදා පැවති පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගී වෙමිනි.

'' ජනතා මිත්‍රශීලී පනත්වලට විපක්ෂයේ සිටම සහාය දෙනවා''

'' ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවතියේ රජය ගෙන එන අණ පනත්වලට විරුද්ධවන විපක්ෂයක්.. එහෙත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය රජය ගෙන එන හොඳ හා ජනතා මිත්‍රශීලී පනත්වලට විපක්ෂයේ සිටම සහාය දෙනවා. රජයට විපක්ෂය සහාය දෙනවා කියන්නේ එයයි. ඒ සඳහා පදවි තානාන්තර අවශ්‍ය නැහැ. දූෂණ විරෝධී පනත හා බහ බැංකුව ස්වාධීන කරන පනතටත් විපක්ෂය සහාය දුන්නා පමණක් නොව අවශ්‍ය සංශෝධන ද ඉදිරිපත් කළා'' යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

බැංකු ශක්තිමත් කිරීමට මහ බැංකුවට බලය දීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. බැංකු අධීක්ක්ෂණයේ දී බැංකුවක් පාඩු ලබන තත්ත්වයක් උදා වන විට එම බැංකුව පවරා ගැනීමට හෝ වෙනත් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට මෙම පනත මගින් මහ බැංකුවට බලය පැවරීම අපි පිළිගන්නවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු නොවන මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අළලා ගැටලු රාශියක් පසු ගිය කාලය පටන් උදා වුනා. මහ බැංකුව මූල්‍ය ආයතන පාලනය කිරීමට තිබෙන බලතල නිසියාකාරව භාවිත නොකරන්නේ නම්, රජය ඒ සඳහා වෙනම අධිකාරියක් පත් කළ යුතු යැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

1988 වසර සිට 1992 දක්වා මූල්‍ය ආයතන 18 ක් යට ගියා, 2008, 2010 සහ 2018 වසර වලදීද පෞද්ගලික මූල්‍ය ආයතන කිහිපයක් වසා දමන්නට සිදු වුණා. 2019 වසරේ දී ඇතැම් මූල්‍ය ආයතන තැන්පතු භාරගැනීම අත්හිටවන තහනම් නියෝග නිකුත් කළා. බැංකු නොවන මූල්‍ය සමාගම් පාලනය කිරීමේ අවශ්‍යතාවය මෙමගින් ඔප්පු වෙනවා.

බැංකු මෙන් මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසියාකාරව නියාමනය කිරීම මහ බැංකුව විසින් නිසි ලෙස සිදු කළ යුතුයි. එසේ නැතිනම් ඒ සඳහා වෙනත් ආයතනයක් පිහිටුවන ලෙස මන්ත්‍රීවරයා රජයට යෝජනා කළේය.

ෆිට්ච් ශ්‍රේණිගතකිරීම මගින් ලංකාවේ මූල්‍ය ආයතන ගණනාවක්ම 2022 වසරේ දී ශ්‍රේණි පහළට දැමුවේ ද මෙම පසුබිම හේතු කරගෙන බව වටහා ගත යුතුයි. මූල්‍ය විනයක් තිබෙන්නට නම් ශක්තිමත් නියාමන් අධිකාරියක් අවශ්‍යයි.

සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 507 ක් පමණ තිබෙන බව වාර්තා වී ඇති අතර ඔවුන් 225 % ක අධික පොළි අය කළා, පසුව එදා රජය පොළිය 30 % ක් විය යුතු යැයි සීමාවක් පැනැව්වා.

ලිංගික හිංසනවලට මුහුණ දිය නොහැකිව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබූ කාන්තාවන් 200 ක් පමණ දිවි නසා ගෙන තිබුණා. මෙම ආයතන දුප්පත් කාන්තාවන්ගේ මර උගුලක් වූ බව පසු ගිය කාලයේ ඔප්පු වුණා. නියාමන ක්‍රියාමාර්ගවල රාජ්‍ය අංශයේ උදාසීනත්වය සහ අසාර්ථකත්වය හේතුවෙන් 2018 වසරේදී පමණක් රුපියල් මිලියන 500ක් වැය කර රජයට මැදිහත් වීමට සිදු විය. එවැනි විනාශයකට වගකිව යුත්තේ කවුද?

මංගල එදා කියපු කතාව

එවැනි පළමු සහනය ප්‍රකාශයට පත් කරමින් 2018 දී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙසේ පැවසීය.

'' මූල්‍ය සමාගම්වලින් සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන 2018 ජූනි 30 වැනි දිනට මාස 3ක හිඟ මුදල් ඇති කාන්තාවන් 75,000 කට රුපියල් 100,000ක සීමාවක් දක්වා ණය සහන හිමිවේ. මෙම ණය සහන උතුරු නැගෙන හිර ඇතුළු දිස්ත්‍රික්ක 12 ක ජනතාවට හිමි විය. අපේ රාජ්‍ය බැංකු දෙකෙන් විශාල පරිමාණයෙන් ණය ලබා ගෙන ගෙවල නැතිව බොල් ණය ලෙස කපා හරින ලද මුළු මුදල මෙම දුප්පත් ජනතාව වෙනුවෙන් කපා හරින ලද ණය වලට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි ය. වර්තමානය වන විට ණය ප්‍රශ්න ඉතා උග්‍ර වී ඇති බැවින් රජය මේ දුප්පත් ජනතාව මූල්‍ය ආයතනවල ග්‍රහණයෙන් මුදා ගැනීමට වහා යම් පියවරක් ගත යුතුයි'' යැයි හෙතම අවධාරණය කළේය.

එහෙත්, මේ රජය සුරක්ෂිත රටක් හදන්න යැයි බලය අරගෙන පසුව අප්පච්චිලා, බාප්පලා පුතාලා සියල්ල රට බංකොලොත් කරන්න අත ඉස්සුවා. රාජපක්ෂ උපකාරක පන්තියෙන් භාගෙට දේශපාලනය ඉගෙන ගෙන, කබ්රාල්ගෙ ටියුෂන් එකෙන් භාගෙට ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන දැන් වික්‍රමරත්න ටියුෂන් පන්තියෙන් උපාධි ගන්න යනවා රට බංකොලොත් කරපු කට්ටිය. මෙහි අවසන් විපාකය සියල්ල අහිමිවූ ජනතාවට රජයේ රෝහල්වලින් දෙන බෙහෙත් පෙත්ත නිසා මර බිය හට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කථානායක අසුනට වතුර විසිකරලා සෙංකෝලය උස්සලා මිරිස් කුඩු ගහපු ඉතිහාසයයි එදා විපක්ෂයට තිබුනේ. එහෙත් ස.ජ.බ ය වරදට වැරදියි කියනවා, නිවැරදී දෙයක් නම් එය නිවැරදි යැයි නිර්භීතව එයට සහාය දෙනවා.

මහ බැංකු පනත පරිදි අට දෙනෙකුගේ ගණපූරණය සහිතව මුදල් මණ්ඩලයට 11 දෙනෙක් සිටිය යුතුයි රජය යෝජනා කර තිබුණා. එය සංවේදී තොරතුරු කාන්දු කිරීම හරහා දූෂණයට මග පාදන්නට ඉඩ තිබෙන බැවින් සාමාජික සංඛ්‍යාව අටට අඩු කරන ලෙස යෝජනා කළ විට ගනපූරණය තව දුරටත් අටක්ව තිබිය යුතු යැයි නීතිපති උපදෙස් දුන්නා යැයි රජයේ පාර්ශ්වයෙන් පැවසුවා. මුළු සංඛ්‍යාව අටට අඩු කරන කොට ගනපූරණය අටට වඩා අඩු කළ නොහැකි යයි කීම උම්මත්තක ක්‍රියාවක් නොවේ ද යැයි ඉරාන් වික්‍රමරත්න විමසිය. රටට හොඳම නීති ගෙන එන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන විපක්ෂය ස්වාධීන මහ බැංකුවක් වෙනුවෙන් පෙනීසිටින විට හත් දෙනෙකුගේ කමිටුවක අට දෙනෙකුගේ ගනපූරණය තිබිය යුතුයි යන බොළඳ කතා කීයමින් රජය විපක්ෂයේ සහාය ඉල්ලන්නේ කෙසේ ද යැයි ඉරාන් වික්‍රමරත්න ප්‍රශ්න කළේය..

පූජාභූමි සංවර්ධනය සඳහා නව සැලසුමක්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මහා විහාර සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම මෙන්ම මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කැපවූ කමිටුවක් ස්ථාපිත කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

එළවළු බීජ ආනයනය ගැන දැඩි තීරණයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින් නතර කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් අරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින්ම නැවැත්වීම ඉලක්ක කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  දැනට එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිල සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීය.

මෙරට එළවළු බීජ අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 800,000 ක් පමණ වන අතර ඉන් උඩරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 100,000ක් ද පහතරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 700,000 ක්ද ලෙස බීජ අවශ්‍යතාවය පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම බීජ අවශ්‍යතාවය දේශීය බීජ නිෂ්පාදනයෙන් හා අනායනික බීජ මඟින් සපයා ගනු ලැබේ.

රාජ්‍ය ව්‍යාපාර සඳහා තවදුරටත් මුදල් දෙන්න බෑ : ශෙහාන්ගෙන් කෙළින් කතාවක් !

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයට තවදුරටත් මුදල් ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල් අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් ඊට අදාළ කරුණු සොයා බලමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද පැවසීය .

"රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය එම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබාදීම සිදුකරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවලා ඒ ඒකකයේ නිලධාරීන් මේ වෙනකොට ප්‍රතිව්‍යුහගතකරණයේ සුදුසුම ක්‍රමවේදය පිළිබඳ අධ්‍යනය කරනවා සහ සාකච්ඡා කරනවා අනෙකුත් රාජ්‍ය ආයතන සමග."

"ඉතින් අපි රටක් හැටියට ඉදිරියට යනවානම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නට මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමක් සිදුකරන්න බැහැ. දෙවන කාරණය තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ හැම ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳවම පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.

මහ බැංකුවෙන් සියලු බැංකු වෙත විශේෂ දැනුම්දීමක් !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස දන්වමිනි.

එහිදී මහ බැංකුව පෙන්වාදී ඇත්තේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව අවධාරණය කරන බවය.

2024 නිවාඩු ගැසට් කරයි !

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර ඇත .

මෙම අති විශේෂ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 කි.

මෙම නිල නිවාඩු ගණන මත ලෝකයේ 190 කට වැඩි රටවල් අතරින් සෑම වසරකම හතරවෙනි ස්ථානයට පත්වීම

ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් සහිත රටවල් අතර ප්‍රථම ස්ථානය සෑම වසරකම හිමි කරගන්නේ මියන්මාරය වන අතර එහි නිවාඩු 32කි.

2024 holiday

ආනයන පොල්තෙල් සඳහා බද්දක් !

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ අතර දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙම බද්ද පැණවීමේ අරමුණ බවද පැවසීය .

ඒ අනුව පැණවීමට නියමිත බද්ද මේ වන විට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේ අරමුණ : අලිසබ්‍රි හෙළිකරයි !

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  පැවසීය.

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මේ බව සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට අද (22) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

කිසිසේත් රටට තර්ජනයක් වන දේ කිරීමට ජනාධිපතිවරයා හෝ රජය කටයුතු නොකරන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මනා අවබෝධයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  මෙසේද පැවසීය .

ශ්‍රී ලංකාවේ සමීප සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාව සමඟ අවබෝධාත්මක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම රටවල් දෙකට මෙන්ම කලාපයටම ඉතා යහපත් තත්ත්වයක් වන බව අප විශ්වාස කරනවා. ඉදිරි දශක දෙක, තුනේදී ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3ක් පමණ සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ බව අද සියලුදෙනා පිළිගන්නා කරුණක්. ඒ වගේම එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා.

ඒ නිසා ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මයි. යුරෝපා හවුල දෙස බැලූ විට එමගින් සම්පුර්ණ යුරෝපා කලාපයම දියුණු වුණා. මැදපෙරදිග රටවල් ගත්විටත් තත්ත්වය එසේමයි. චීනය වගේම ඇමරිකානු කලාපයත් සංවර්ධනය අත්පත් කරගනු ලැබුවේ ඒ අයුරින්. අපත් බලාපොරොත්තු වන්නේ මෙම සංවර්ධන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පසුගියදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වුණා. එම කාලය තුළ එතුමා වැදගත් සාකච්ඡා කිහිපයකට එක් වුණා. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සමඟද සාකච්ඡා පැවැත්වුවා. ඉන් පසුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.

පසුගිය කාලය තුළ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව අපට විශාල වශයෙන් සහාය වුණා. මුල්‍ය සහන ලබාදීම තුළින් මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදි ඉන්දියාව නායකත්වය ගෙන ක්‍රියා කළා. අප මෙම ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කරගතයුතුව තිබෙනවා. ඒ සඳහා ද ඉන්දියාවේ සහය අපට අඛණ්ඩව හිමිවන අතර මෙම සියලු කටයුතු වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ස්තූති කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා.

එසේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මෙම අවස්ථාවේ දී තවදුරටත් අපගේ ආර්ථික, සාමාජයීය හා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම එම ආයෝජන තුළින් වෙළෙඳපොළ සොයාගත යුතුව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළහොත් විශාල වාසියක් රටවල් දෙකටම ලබාගත හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. එහිදී රජයන් අතර පමණක් නොව පෞද්ගලික අංශ අතරත් එකඟතා අති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම විමසා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ලෙස ඉන්දියන් රුපියල භාවිතා කිරීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලුණු අතර ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණයි. සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබද අප පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ වන විටත් ඉන්දියාව සහ පලාලි ගුවන් තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දී මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කටයුතු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අභ්‍යන්තර ගුවන් සේවා සබඳතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප විමසා බැලුවා.

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව හා එහිදි සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනිමේදී සංචාරක යාත්‍රා (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. එය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රබෝධයක් ඇති වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

අද දකුණු ඉන්දියානු කලාපය සීග්‍ර සංවර්ධනයකට ලක්ව තිබෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, තෙලගනා යන මෙම ප්‍රදේශවල සිදුව ඇති ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකයන් හඳුනාගෙන තිබෙනවා. වරායන් අතර මෙම සබඳතා ඇති කරගන්නේ කෙසේද පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළයුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කරමින් තීරණයකට පැමිණීම පිළිබඳ මෙහිදි නායකයන් අතර එකගතාවක් ඇති කරගත්තා. එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්ව සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයම සාකච්ඡා කළා.

ඒ වගේම 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව එම ක්ෂේත්‍රයේ අපනයන සඳහා අපට වෙළෙඳපොළක් තිබිය යුතුයි. ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ සුර්ය බලය, සුළං බලය අපනයනය සදහා අවශ්‍ය පරිසරය සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපට විශාල අවශ්‍යතාවක් තිබෙන අතර අප ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම එහිදි සාමුහිකව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමකට ද එළැඹුණා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා යන අංශයන්හි සහයෝගීතාවට තිබෙන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සත්ව පාලනය, කිරි නිෂ්පාදනය ඇතුළු මෙම ක්ෂේත්‍ර සදහා තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අප මෙහිදී අත්සන් තැබුවා.

ඩිජිටල්කරණයේ දී ඉන්දියාව මේ වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද අප සොයා බැලුවා.

එමෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීමට ද කටයුතු කළා.

ඉන්දීය සම්භවයක් ඇති උඩරට ජීවත්වන වතුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ දන් වසර 200ක් පමණ ගතව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර ඒ සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ආයෝජනය කිරීමට ඉන්දිය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව සහ ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළා.

එසේම ධීවර ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. උතුරේ බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් ඇල්ලීම නැවැත්වීමේ හැකියාව පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා. ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියානු සීමාව පසුකරගෙන ඉන් ඔබ්බට යාමට අවස්ථා ලබාදෙන ලෙස ද අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය එකතු වී දිගින් දිගටම සාකච්ඡා කිරීම මඟින් මෙම ගැටලු විසදා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

සම්පුර්ණ ඉන්දියානු සාගර කලාපය ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද සහ එහිදී සාමුහිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව, අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ කිරීමට ඇති කැපවීම සමඟ දෙපාර්ශ්වයම මෙහිදී එකඟත්වයෙන් යුතුව සාකච්ඡා කළා.

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් !

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද.

ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ ඉන්දියන් සංචාරය සඳහා රනිල් රටින් පිටවෙන්නේ ගැටළු ගණනාවක බර කරට ගනිමින්.

එක පැත්තකින් අපි මේ බංකොලොත් බවෙන් ගොඩඑන්න යම් උපකාර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ ලෝකයෙන් ඉල්ලන්න ඕනි. ඒ සඳහා කේවල් කරන්න කිසිදෙයක් දැන් අපේ අතේ නැහැ. අනික් අතට සුළු ජාතීන් සම්බන්දයෙන් ධනාත්මක පිළිතුරක් ඉන්දියාව අපෙන් බලාපොරොත්තු වෙනවා. කේවල් කරන්න කිසිදෙයක් අතේ නැතුව සුළු ජාතීන් සම්බන්ද ප්‍රශ්නෙත් අරන් එහෙ යනවා කියන්නේ ඒක අන්තිම අමාරු ගණුදෙනුවක් වෙන්න නියමිතයි.

මම කියන්නේ මේ ප්‍රශ්න දෙක, ඒ කියන්නේ බංකොලොත් බවෙන් ගොඩ එන ගැටළුව වගේම සුළු ජාතීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගැන වූ පරක්කු ප්‍රශ්නය කවුරු ආවත් අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටළු දෙකක්.

අවම වශයෙන් පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුලේ කවුරු හරි මේකට බෙල්ල දිය යුතුව තිබුණ. දැන් රනිල් මේකට බෙල්ල දෙමින් තිබෙනවා.

ඉන්දියාවේ යන්න කලින් රනිල් සුළු ජාතික පක්ෂ එක්ක තිබ්බ රැස්වීමේදී සුමන්දිරන්ගේ මූණටම කියනවා මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල ( I am determined to go all the way - මම ඒක හිතුවක්කාර විදියට පරිවර්තනය කරන්නේ මම මේ ගැටළුවේ අවසානය දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල).

එහෙම කෙළින් විවෘතව මේ දේ කියන්න නිදහසක් ලංකාවේ නිදහසින් පස්සේ බලයට පත්වෙච්ච කිසිම නායකයෙක්ට තිබ්බේ නැහැ කියල මට හිතෙනවා (ඩී. බී. විජේතුංග මහත්තයාට හැර). මේ තමයි ''ජනතාවගෙන් බරෙන්'' නිදහස් වීමේ සැහැල්ලුවේ තියන දේශපාලනික බව. කුන්දේරාගේ භාෂාවෙන් කියනවා නම් පියාපතක සැහැල්ලුව.

මීට කලින් ආපු හැම නායක නායිකාවක්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරු මතවාදී කියවීමක් නැති ලාංකික ජනතාවගේ බර නිසා දුක්වින්ද. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ ගෝඨා යන හැම කෙනෙක්ම (නිර්මාණය) තමන් මෙතෙන්ට ගෙනාපු ජනතාවගේ (නිර්මාණකරු) ගේ බර දරාගෙන හිටිය. හැත්තෑ වසරකටත් වඩා පරණ මේ සුළුජාතික ජන කොටස්වල බල අනන්‍යතා ගැටළුව පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැත්තේ මේ ජනතා කැමැත්ත නම් පිස්සුව නිසා. රනිල් පවා එහි ගොදුරක් (ලංකාවේ හැම නායකයෙක්ම ලාංකික ජනතාවගේ ගොදුරු).

ජනවාර්ගික ගැටළුව ගැන යම් හෝ සාධනීය තැනක හිටපු රනිල් කියන මනුස්සයාගේ දේශපාලනය ලංකාවේ නැත්තට නැති කළේ මේ උඩක් පල්ලක් නැති ලාංකික ජනතාව. හැබැයි මම මීට කළිනුත් කිව්වා වගේ රනිල් දැන් ඇවිල්ල ඉන්නේ අර ජනතාව නැතුව. ගුරුත්ව කේන්ද්‍රයෙන් නිදහස් ව.

දැන් ''ජනතා නෛතික බව'' (people's mandate) නැහැ කියන ආණ්ඩුවක නායකයා හැටියට රනිල් කියනවා මේ බලය විකේන්ද්‍රනය කරන ගැටළුවේ (13 බලාත්මක කිරීමේ) අවසානය දක්වා යන්න හිත හදාගෙන තියනවා කියල. ජනතා නෛතිකබව නැහැ කියන ආණ්ඩුවක් ඇතුලේ පඬු කරඳ ගහ නැතිවුණා වගේම දශක ගණනක් දිග්ගැස්සුන මේ ප්‍රශ්නෙත් හිතුවක්කාර විදියට විසඳූනොත් ඒක කොහොමද?

ජනතා නෛතික බවෙන් නිදහස් මේ ආණ්ඩුවට එයාල නිර්මාණය කරපු අතීත ජනතාවක් නැහැ. ඉන්නවානම් ඉන්නේ අනාගතයේ බිහිකර යුතු ජනතාවක් විතරයි.

මේ සියල්ල ගැන සර්ව අශුභවාදීව බලාන ඉන්න හැමෝටම මම කියන්නේ මේ වැඩේට උදව් කරමු කියල. නිදහසෙන් පස්සේ ආපු මේ ''ආණ්ඩුවක් නොවන ආණ්ඩුවෙන්'' ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේද? ඒක අනාගතයේ ''ජනතා කැමැත්තෙන්'' බලයට එන්න ඉන්න අයටත් හොඳයි නේද?

හැමෝම මේ වෙලාවේ වැඩේට උදව් කරන්න. මේ කාල කොරිඩෝව ඇතුලේ පුළුවන් හැම දෙයක්ම දිනාගන්න බලමු. මොකද ඉතිහාසය ඇතුලේ නාට්‍ය ඇත්ත වෙන්නත් පුළුවන්.

මේ සටහන නිසා කොනිත්තන් බට්ටෙක් වෙන කෙනෙක් ඉන්නවානම් එයා අර ජනතාවගෙන් කෙනෙක්.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

හිටපු ජනපති මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්‍ෂණයට

කාම්බෝජයේ හෙට (ජූලි 23) පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයෙකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  එක්වීමට නියමිත ය.

ලෝක සාම සමුළුවේ ආරාධනයකට අනුව පසුගිය ඊයේ (21) කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂකයෙකු ලෙස ද ඊට එක්වේ.

තෙදිනක් පුරා කාම්බෝජයේ නොම්පෙන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ සමාරම්භක උළෙලට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

අච්චු කර සිටි දෙදෙනෙකුට ජනාධිපති සමාව !

පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.

එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාවී හිමිව ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති සමාව ලද ඔවුන් දෙදෙනා පසුගිය 18 වනදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

උසස් අධ්‍යාපනය සංවර්ධන කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ තේරීම් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කර ඒ වෙනුවට "ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව'' නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර තිබේ.

එම කොමිෂන් සභාව ජනධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයින් 11 දෙනෙක්ගෙන් යුක්ත වනු ඇත.

දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් ආවරණය කරන විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මින් පසු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational) සහ තත්ත්ව සහතික (Accreditation) යන අංශ සියල්ලම ආවරණය කිරීමට නියමිතය.

කෙසේ වුවද විශ්වවිද්‍යාලවල ස්වාධීන බවට මින් කිසිදු හානියක් නොවෙනු ඇති බව තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් එහි දී තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇත.

ක්ෂේත්‍රයේ සිටින ඇතැම් විද්වතුන් පවසන්නේ දැනට ඉන්දියාව විසින් කලාපීය විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයක් (Regional Higher Education Hub) ලෙස ඉන්දියාව ප්‍රවර්ධනය කරන තත්වයක් තුල ලංකාවේ මීට වඩා ප්‍රතිසංස්කරණමය මට්ටමෙන් ඉදිරියට ආයුතු බවයි. විශේෂයෙන් සෑහෙන පමණ තරගකාරී මට්ටමක ලාංකික උසස් අධ්‍යාපනය පවතින බැවින් අවශ්‍ය ප්‍රවර්ධනය කෙරේනම් අපටද ඉන්දියාව සමඟ යම් තරගයක් දීමට හැකි වනු ඇති බව එම විද්වතුන්ගේ මතයයි.

ආර්ථික වශයෙන් අසීරු අඩියක සිටින මේ අවස්ථාවේ ලාංකික උසස් අධ්‍යාපනය කලාපීයකරණය සහ අන්තර්ජාතිකකරණය වීම ආර්ථිකයේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නව නිම්වළලු පුළුල් කරනු ඇත.

ජනපති, ජනාධිපතිවරණයට යන වියදම විමසයි !

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් අදාල ඇස්තමේන්තු සකස් කොට ඉක්මනින්ම මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව එහිදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

Lankadeepa

Page 146 of 440