පුවත්
සයිනොපෙක් ලංකාවේ වැඩ අරඹයි
චීනයේ සයිනොපෙක් ඉන්ධන සමාගම ශ්‍රී ලංකාව තුල සිය පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කර තිබෙන අතර ඒ අනුව සයිනොපෙක් වෙළෙඳනාමය යටතේ වූ මුල්ම ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.
ඔවුන් පෙට්‍රල් සහ ඩීසල් සඳහා රුපියල් 3.00ක වට්ටමක් සහිතව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇත.
ඉදිරියේ දී සයිනොපෙක් ආයතනයට පවරාදෙනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් පමණ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා විවෘත කෙරේ.
ඊට අදාලව දැනට ක්‍රියාත්මක අදාළ ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් සයිනොපෙක් කළමනාකාරිත්වය සඳහා ඔක්තෝම්බර් මාසය නිමවීමට පෙර පවරා දීමට නියමිතය.
ඊට අමතරව සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව සදහන් කෙරේ.
පසුගිය ජුලි මාසයේ ශ්‍රී ලංකා රජය සමඟ එළඹුණ ගිවිසුම යටතේ සයිනොපෙක් සමාගමට මෙරට ඉන්ධන විකිණීම, බෙදාහැරීම, ගබඩාකිරීම හා ආනයනය සඳහා වසර 20ක කාලයකට බලය පවරා දෙනු ලැබීය.
ඉන්ධන අලෙවියේ දී තරගකාරී බවක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාව බව රජය පෙන්වා දෙයි.
පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ’ පිහිටුවීමේ වැඩසටහනක්
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් තෝරා ගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ’ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (අගෝ. 31) ආරම්භ වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ය.
ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ද පූර්ණ සහය ඇතිව වාර්ෂික මහ බැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ත්, ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබා දෙන බව ත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
රට පුරා ස්ථාපනය කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළ ම දක්ෂතා දක්වන සමාජය අයත් පාසලට ත්‍යාග පිරිනමන බව ත්, එම සමාජයේ සිසුන් දස දෙනෙකුට සහ ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බව ත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරා ගත් පාසල්වලට අමතරව මෙම වසර තුළදී ම දිවයින පුරා තව ත් පාසල් 200-300ක් අතර ගණනක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ශාන් වීරසේකර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද, විදුහල්පත්වරුන්, ගුරුභවතුන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනයට තාක්ෂණික ආයතනයක්
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයට (USAID) ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීමේ දී අවදානය යොමු කළ යුතු අංශ සම්බන්ධව පෙරේදා (29) අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Charlie Bell මහතා සහ ඉන්දු – පැසිපික් ව්‍යාපෘතියේ නියෝජිත Dion M. Schoorman යන මහත්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
කෘෂිකර්ම ක්ෂේත්රයේ නව තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ගොවි ජනතාව ඊට හුරු කිරීමේ වැඩ සටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, උසස් බීජ විශේෂ දේශීය වශයෙන් පුළුල් කිරීම, දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි කාලානුරූපව වගා කටයුතු සඳහා ගොවීන් උනන්දු කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම අපේ රටේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික ආයතනයක් Dairy Technology Institute පිහිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය ආධාර ලබා ගැනීම සදහා අමාත්‍යවරයා ව්‍යාපෘති වාර්තාවක් USAID නියෝජිතයින්ට බාර දුන්නේය.
එමෙන්ම රට ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට ලක් වු අවස්ථාවේ දී USAID ආයතනය විසින් ගොවින් සඳහා අවශ්‍ය රසායනික පොහොර මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දීමට ගත් පියවර අමාත්‍ය මහින්ද අමරවීර ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාව පැවැති දුශ්කර ආර්ථික වාතාවරණයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටින බවත්, ඒ සඳහා රජයේ කැපකිරීම අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා USAID මගින් ලබා දෙන සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවත් ජ්‍යෙෂ්ඨ උපදේශක චාර්ලි බෙල් පැවසීය.
ජනපති සහ එජාප හිටපු සභාපති මහා නා හිමිවරුන් බැහැදකී
ජනාධිපති වික්‍රමසිංහ, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති, මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.
අනතුරුව ජනාධිපතිවරයා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති වික්‍රමසිංහ, වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.
ආණමඩුවේ ධම්මදස්සී සහ වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමිවරුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටි පිළිසඳරක නිරත විය.
''ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට කැපවෙනවා '' - ජනාධිපති
රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (29) මහනුවරදී අවධාරණය කළේය.
එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට
ඊයේ (අගෝ. 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (අගෝ. 30) රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකදී ය.
තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු. 16 සිට රු. 27 දක්වා ත්, තිරිඟු ඇට සඳහා රු. 6ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව ඔහු පැවසීය.
මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදු නොවන බව ත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේදී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාවයි - ජනපති
ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරගකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි. තිරසර සංවර්ධන සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස අප තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය,
තිරසර සංවර්ධනය පිළිබඳ ඉලක්ක ජය ගැනීමේ දී අප මෙතෙක් අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සඳහන් කෙරුණා. තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමට අදාළව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති සාකච්ජාවට සහභාගීවන පිරිස අතර මමත් සිටිනවා. අප සියලුදෙනා පිළිගන්නා තිරසාර සංවර්ධන ඉලක්ක අප දැන් ළගා කර ගනිමින් සිටින අතර එහි ප්‍රතිඵල ද ඇගයිමට ලක් කෙරෙනවා.
නමුත් අද ලෝකය බෙහෝ ලෙස වෙනස්කම්වලට ලක්ව තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කවලට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ පොදු ගැටලු සාකච්ඡා කිරීමට පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගෝ සමුළුව පැවැත්වෙනවා.
ඊට අමතරව, ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතයේ බලපෑමට ද අපට මුහුණ දීමට සිදු වුණා. ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් බව කිවයුතුයි. එමඟින් අපේ රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වුණා. එසේම සෑම රටක්ම මෙහි බලපෑමට ලක්වු අතර ඒ නිසා ගෝලීය ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වු බව අප දන්නවා.
යුරෝපය දෙස අවධානය යොමු කරන විට තවමත් ඔවුන්ගේ ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබෙනවා. ආර්ථික කාර්ය සාධනයේ පහත වැටීමක් පැවතියත්, වාසනාවකට මෙන් ඇමරිකා එක්සත් ජනපදය අද ඔවුන් සිටි ස්ථානයේ සිට යම් වර්ධනයක් ලබමින් සිටිනවා. ඒ වගේම චීනය තවමත් යථා තත්ත්වයට පත්වීමට අසමත්ව තිබෙනවා.
ඒ අනුව බැලීමේදී ලෝක ආර්ථික වර්ධනය අඩාල වී තිබෙන අතර එමගින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා.එසේ නම් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අප මුදල් සොයා ගන්නේ කෙසේද? සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා සහ ගෝලීය මූල්‍ය ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය සම්පත් සොයා ගන්නේ කෙසේද? යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේවා අප සාධනය කර ගත යුතු ඉලක්ක වන අතර ඒ සඳහා අප කැපවීමෙන් කටයුතු කළයුතු වෙනවා.
2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සහ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෑතකදී, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලුම රටවල සහාය ඉල්ලා සිටියා.
මේ සියල්ල සඳහා සම්පත් සොයා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි. ඇතැමුන් සිතුවේ මේ සඳහා සංවර්ධිත රටවල් සතුව පවතින අරමුදල් ප්‍රමාණවත් වනු ඇති බවයි. නමුත් එම රටවල් ඒ සඳහා ඉදිරියට පැමිණියේ නැහැ. එසේම මේ වන විට ඔවුන් සතුව ඒ සඳහා සම්පත් ප්‍රමාණවත් පරිදි පවතිනු ඇතැයි මම සිතන්නේ නැහැ. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙම මුල්‍ය සම්පත් සොයා ගැනීම පිළිබඳ සිතිය යුතුයි.
එසේම මේ සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද මූල්‍ය සම්පත් සපයාගැනීම පිළිබඳව අප විශ්වාසය තබා තිබෙනවා. පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා මෙන්ම බැඳුම්කර නිකුත් කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දීම වැදගත් වෙනවා. නමුත් දැනට පවතින තත්ත්වය අනුව බොහෝ රටවල් සම්බන්ධයෙන් එය සාර්ථක වේවිද යන ප්රශ්නය මතු වෙනවා.
2019 දී තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට අවශ්‍ය වුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9%ක් පමණ රඳවා ගැනීම පමණයි. නමුත් දැන් මේ පසුබිම යටතේම අපට දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක වෙනුවෙනුත් මුදල් වෙන් කිරිමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ණය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටිනවා. එහිදී තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල් ගමන් කළ මාර්ගය අනුගමනය කිරීමට අප අපධානය යොමු කර තිබෙන අතර එහිදී අපට ඉහළ තරඟකාරී ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
අපට තවදුරටත් පෙර සිටී අන්දමින් කුඩා ආර්ථිකයක් ලෙස කටයුතු කළ නොහැකි අතර අප අපේ ආර්ථිකය පුළුල් කරගත යුතුයි. එහිදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළයුතු වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය විදේශ ආයෝජන සහ ප්රාග්ධනය සපයා ගත යුතුව තිබෙනවා.
එසේම අප අනෙකුත් රටවලට බරක් නොවිය යුතුයි. අප රටක් ලෙස තවදුරටත් අන් රටවල් මතම රැදී නොසිටිය යුතුයි. අපේ රටේ දියුණුව අපම උදාකරගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය සිදු කර තිබෙන අතර යුද්ධයකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ වියට්නාමය ඒ සඳහා උදාහරණයට ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.
අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර ප්‍රදේශයකයි. එබැවින් අපට ආර්ථික වර්ධනය උදාකර ගැනිමේ බොහෝ අවස්ථා පවතිනවා. අප සිටින නැඟෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අද පුළුල් වර්ධනයක් සිදුවන බව ඔබ දකිනවා. ඉන්දියාව අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටින අතර ඉන්දියන් සාගර කලාපය, ඉදිරියේ දී ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කලාපය බවට පත් වෙනවා.
දැන් අප සියලුදෙනාටම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම ගෝලීය ණය අර්බුදය පිළිබඳ සමාලෝචනය කිරීමට කාලය උදා වී තිබෙන බව කිවයුතුයි. අප එයින් බැහැර නොවිය යුතු අතර එහිදී සාමුහිකව සහ කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතුව තිබෙනවා. ඒ සඳහා අප කණ්ඩායමක් ලෙස නව උපාය මාර්ග ඔස්සේ ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආසියා හා පැසිෆික් කලාප සදහා ආර්ථික හා සමාජ කොමසමේ දත්ත ප්‍රධානී ආර්මන් බිඩක්බර්ක් නියා (Arman Bidarbakht Nia), එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අෂුසා කුබෝටා (Azusa kuboa), එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆැන්චෙ (Marc-André Franche) යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.
වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට ඇමති ටිරාන්ගෙන් යෝජනාවක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට හා වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් වඩා ත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇත.
පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.
වර්තමානයේ පවතින වීසා ක්‍රමවේදය පිළිබඳව අවධානය ලබා දෙමින් හා පවතින ක්‍රමය වඩා ත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිවලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබ යි.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින (30) දහවල් 12:11ට තලෙයිමන්නාරම (මන්නාරම) සහ ඉරමියන්කුලම්(වවුනියා දිස්ත්‍රික්කය), කරප්පුකුට්ටි(ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය), පලම්පාසි (මුලතිවු දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
තවත් බිත්තර මිලියන 92 ක් ආනයනයට අනුමැතිය
ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ විවිධ නීතිගත සංස්ථාව මගින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.
අස්වැසුම ප්රතිලාභ ගෙවන්න රාජ්‍ය බැංකු හෙටත් විවෘතයි
අස්වැසුම ප්රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුවඋදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.
පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දින බැංකු වෙත නිකුත් කෙරිණ.
උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පතක්.......
උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්‍රිකාවක් යවා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති සඳහන් කළේය.
ඒ අනුව යම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයක ස්ථිර පදිංචි සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයැදුම් කළ හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසිය.
ගෑස් සම්බන්ධයෙන් ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය
ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙයි.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතයි .
ඒ අනුව 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා ඇත.
මාර්ගගතව සිදුවන වංචා ගැන මහබැංකුවෙන් දැනුම්දීමක්
මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබෙයි.
තමන් වෙහෙස වී උපයා ගත් ධනය මෙම වංචනික ක්‍රියා නිසා අහිමි වී යා හැකි බැවින් විමසිලිමත්ව ක්‍රියා කරන ලෙස මහබැංකුව ජනතාවගෙන් ඉල්ලයි.
යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.
දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ බැඳුම්කර යළි නිකුත් කිරීම කල් යයි - මුදල් රාජ්‍ය අමාත්‍ය
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ, දේශීය ආදායම් පණත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එලෙස එය කල් දැමූ බවයි.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීමට යෝජනා වී තිබුණි.
එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ, අද (28) දිනයේයි.
කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල් මේ තුළින් දැඩි අර්බුදයකට ලක්වන බවට පාර්ශව ගණනාවක් ඊට විරෝධය පළ කරමින් ද සිටි.
විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කෙරේ
විරෝධතාකරුවන් පිරිසකට අද (28) කොළඹ ප්‍රදේශ කිහිපයක් තහනම් කර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙයි.
දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමඟ විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9 සිට සවස 6 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර ඇත.
ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වෙයි.
ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි - සෞඛ්‍ය ඇමති
කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින් ය.
කැපුම් තුවාලකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඖෂධ කාණ්ඩයේ එන්නත් 21,000 ක් පැවති බවයි.
ඉන් 18000 ක් මේ වන විට භාවිතයට ගෙන තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් මෙම තත්ත්වය වාර්තා වන බවයි.
ඒ සම්බන්ධයෙන් ඖෂධ ගැටලු සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව හරහා ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට සිට ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය.
මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය.
කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම ගැටලු නිරාකරණය කර තිබේ.
මහගෙදර දොර ඇරලා!- රවී ගෙන් සජබ සගයින්ට ඇරැයුමක් !
රට ගොඩනැගීම සඳහා යළිත් එක්සත් ජාතික පක්ෂ මහ ගෙදරට එන්නැයි එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක සමගි ජන බලවේගයේ සියලු දෙනාගෙන් විවෘත ආයාචනයක් කර සිටියි.
පරණ කෝන්තර අමතක කර අපේ මහ ගෙදරට ඇවිත් අලුත් රටක් හදන අපේ අලුත් ගමනට සහයෝගය ලබා දෙන්නැයි ඔහු සජබ නායකයින්ගෙන් හා පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටියේ, 'සිරස' නාලිකාවේ විකාශනය වූ "ඉලක්කය" වැඩසටහනට සහභාගී වෙමිනි.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම පසුපස බරපතල කුමන්ත්‍රණයක් තිබු බවත්, හිටපු ජනපතිවරයෙක් ඒ කුමන්ත්‍රණය පිටුපස සිටි බවත් ඔහු එහිදී සඳහන් කළේය.
රනිල්ට උදව් කළ යුතුයි!
ජනපති වික්‍රමසිංහ විසින් රට ගොඩනැගීමට දරන උත්සාහයට සියලු පක්ෂ එක්විය යුතු කාලය එළඹ ඇතැයි ද එජාප කොළඹ දිස්ත්‍රීක් නායකයා එහිදී කියා සිටියේය.
අපේ රට ඉතා දරුණු ජාතික මට්ටමේ අර්බුදයකට මුහුණ දෙන බවත්, එය ආර්ථික දේශපාලන හා සමාජ ගැටලු වලින් යුක්ත බවත් මෙම ජාතික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එකට එකතු වී පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත අලුත් වැඩපිළිවෙළට යා යුතු බව ද හිටපු මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
රට මුහුණ දී සිටින ගැටළු කිහිපයක් සහ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව මෙම වැඩ සටහනේ දී ඔහු මෙලෙස අදහස් පළ කර සිටියේය.
'' ඉතා දරුණු ලෙස පරිහානියට පත්ව තිබූ ආර්ථිකය සහ දේශපාලන පරිසරය වෙනස් කොට මිනිස්සුන්ට හුස්මගෙන සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ජනාධිපති වික්‍රමසිංහ බලවත් උත්සහයක් දරමින් සිටිනවා. රට පත්ව තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමක තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ ජනතාවට සියලු දේවල් වලින් පරිපූර්ණ වෙලා තියෙනවා කියලා ... ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. 2048 වර්ෂය දක්වා අලුත් දියුණු රටක් හදන්න යන වැඩපිළිවෙලේ දී ඉදිරි වර්ෂ කිහිපය තුල ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගන්නා වූ අලුත් ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුව තිබෙනවා.
දේශපාලනික වශයෙන් භේදභින්න කම් අතහැර අලුත් රටක් දියුණු රටක් ගොඩනගන්න පක්ෂ පාට භේදයකින් තොරව එකමුතු විය යුතුව තිබෙනවා. ඒ නිසයි මම මුලින් කිව්ව වගේ සජබයටත් ආයෙ මහ ගෙදරට එන්න කියල ආරාධනා කළේ. හරීන්, මනුෂ,වගේම හැරිසන් ගත්ත මග ගන්න කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා එනිසා මහ ගෙදරට නැවත එන්න කියලා.
එජාපය දෙකඩ කිරීම පිටුපස කුමන්ත්‍රණයක්! පරණ කෝන්තර අමතක කරමු!
බොහෝ දෙනාට ගැටලුව තිබ්බේ රනිල්ට ජනපති වෙන්න බෑ කියල කියලා එහෙම බොරු මතයක් හදලා කුමන්ත්‍රණය කරලා තිබ්බා ඒත් අද එතුමා ජනාධිපති වෙලා.. ඒ හින්දා අපි ඔක්කොටම අපිට 2020 ඡන්දය නොදුන් විසිනම ලක්ෂයක් වූ පාක්ෂිකයන්ටත් නැවත එකතු වෙන්න අවස්ථාව ඇවිල්ල තියෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් මගින්. ඒකට හිටපු ජනපතිවරයෙකු වගකිව යුතුයි. නමුත් අද ඔක්කොටම තේරිලා තියනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. එනිසා අපි පරණ කෝන්තර අමතක කරලා රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම වෙලේම රටේ ආර්ථිකය සහ අර්බුදවලින් බේරාගත් රට ගොඩ දාපු පක්ෂයක්. ඒ වගේම හැම ආගමකටම, සෑම ජන වර්ගයකටම, එකවගේ සලකපු පක්ෂයක්. නාගරික වගේම, ග්‍රාමීය ප්‍රජාවටත්, ජාති, ආගම්, කුල භේදයකින් තොරව මෙරට එක්සත් කළේත් එක්සත් කරන්නත් පුළුවන් යූඑන්පී එකට විතරයි.
මොකද මම එහෙම කියන්නේ අද මේ රට දියුණු කරන්න අත්‍යවශ්‍ය සාධකයක් තමයි සංහිඳියාව සහ සාමය. මේ රට ගොඩනගන්න හැමෝම එකතු කරන්න අලුත් බලවේගයක් අද ගොඩනගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අලුත් බලවේගය හදන්න අලුතින් හිතලා අලුත් විදිහට වැඩ කරන්න ඕනේ ඒකට නායකත්වය දෙන්න සුදුසුම නායකයා තමයි වර්තමාන ජනාධිපති වරයා. විනාශකාරී,ජාතිවාදී දේශපාලනය වගේම අන්තවාදී වාමාංශික ව්‍යාපාරයත් මේ රට බිඳ වට්ටපු හැම මොහොතකම රට බේරා ගෙන ගොඩ ගත්තේ යූඑන්පී එක.
රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යයි
අද දාහත් ලක්ෂයක් ව සිටින රාජ්‍ය සේවය ගත්තහම මහජනතාවට ලොකු බරක් වෙලා තිබෙනවා. මොකද මහජන බදු මුදලින් තමයි ඔවුන්ට වැටුප් ගෙවන්න වෙලා තිබෙන්නේ. සමස්තයක් විදියට ගත්තම හොඳ රාජ්‍ය සේවකයින් සිටිනවා. නමුත් සියයට දෙකක් පමණ වූ දූෂිත නිලධාරීන් නිසා සමස්ත රාජ්‍ය සේවයම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මම එහෙම කියන්නේ මහජනතාවට සේවය ලබාදීම ඉලක්ක කරගත් දියුණු රාජ්‍ය සේවයක් හදන්න එක තුලින් මහජනතාවට මිත්‍රශීලී වඩා හොඳ රාජ්‍ය සේවාවක් ලබා දෙන්න මේ තුළින් හැකි වෙනවා.
ලෝකයට ගැළපෙන ලෙස ලංකාව ගොඩ නැඟුවේ සහ වෙනස් කළේ හැම මොහොතකම එක්සත් ජාතික පක්ෂය. ඉන් ප්‍රධාන වෙන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීම. ඒකෙ අඩුපාඩු ඇති හැබැයි ඒක තමයි විසඳුම සිංගප්පූරුව මැලේසියාව විතරක් නෙමෙයි චීනය පවා අද එකට ගිහිල්ලා.
රටක් දියුණුවීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මහජනතාවට බරක් ඇති වෙලා තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ලබා දිය යුතු හොඳම විසඳුම ඒකයි. එහෙම නොවුණොත් වෙන්නේ අහිංසක ජනතාව හැමදාම මේවා නඩත්තු කරන්න බදු මුදල් ගෙවන්න සිද්ධ වෙන එකයි.
IMF එක කියන විදිහට අපි ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය නැහැ. සුද්දට ඕනි විදිහට නෙමේ අපේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ ලංකාවට ඔබින ආකාරයටයි. එනිසා මම හිතන විදිහට මීට වඩා අපි විධිමත් සැලසුම් වලට යා යුතුයි.
මොකද මම 2016 මුදල් අමාත්‍යවරයා විදිහට දින සියයේ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ එනිසා ප්‍රායෝගිකව මම දන්නවා කරන්න ඔනි විදිහ. අපි රාජ්‍ය සේවකයින්ට රුපියල් දහදාහක වැටුප් වැඩි කළේ ආදායම උපයාගෙනයි. අනෙකුත් සහන ලබා දුන්නෙත් අන්න ඒ විදියටයි. ඒ නිසා ඉදිරි වර්ෂය තුළ අපි එවැනි වැඩපිලිවෙලකට යා යුතුයි.
වර්තමාන ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන් ශක්තිය කියනවා එනිසා අපි සියලු දෙනා ඒකට සහයෝගය ලබා දීමයි කළ යුත්තේ.
theleader.lk
Page 137 of 440