පුවත්
මාර්ග අනතුරු වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් !
මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
සාගල රත්නායක මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමිනි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව විසින් මෙය සංවිධානය කර තිබිණි. මාර්ග අනතුරුවලට ලක් වීමෙන් ළමුන්ට මුහුණ දීමට සිදුවන වැළැක්විය හැකි මරණ සහ ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට පත් වීම අවම කිරීම මෙවර සමුළුවේ දී මූලික අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය හා සාමය ආදි ක්ෂේත්‍රයන්හි කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මෙසේද පැවසීය.
මේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනාව ලැබෙන විට මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටියා. නමුත් මේ සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් හෝ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් පිළිබඳව ඔබ අපගේ අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී ගැටලු රැසක් දක්නට ලැබෙනවා. පළමුවැන්න වන්නේ නොසැලකිළිමත්ව රිය පැදවීමයි. අනිත් කරුණ වන්නේ අප භාවිතා කරන ත්‍රීරෝද රථ වැනි ඇතැම් වාහන නිසි ආරක්ෂිත ප්‍රමිතීන්ට නොගැළපීම. නමුත් අප මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපට එක රැයකින් ත්‍රීරෝද රථ තහනම් කරන්න බැහැ. බොහෝ ජනතාවගේ ජීවනෝපාය වි ඇත්තේ ත්‍රිරෝද රැකියාවයි. එසේම බොහෝ පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතාව ඒ මත රඳා පවතිනවා. එම නිසා රටේ ආර්ථිකය දියුණු මට්ටමට පැමිණෙන තුරු ත්‍රීරෝද රථ වඩාත් ආරක්ෂිත වාහනයක් බවට පත් කිරීමට සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.
එසේම මාර්ගවල තත්ත්වය පිළිබඳව ද අප අවධානය යොමු කළයුතුයි. අපේ රටේ මාර්ග පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නැහැ. දකුණු අධිවේගී මාර්ගය ගත්තොත් අධික වර්ෂාව සමඟ එය ජලයෙන් පිරී යනවා.
ඔබේ වාහනයේ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් හෝ ඔබට වාහනය ධාවනය කරන විට නිදිමතක් දැනෙනවා නම්, ඒ සඳහා විශේෂ වු වාහන නැවැත්වීමේ මංතීරු තිබෙනවා නම් ඔබට ටික වෙලාවක් නැවතී සිට ඔබේ ගැටළුව විසඳාගැනීමට හැකියාවක් තිබෙනවා. එවිට අවධානමක් ඇතිවෙන්නේ නැහැ.
ඒ වගේම අනතුරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් ප්‍රශ්න මතු වෙනවා. ඔවුන්ට සිටින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම සහ උපකරණ හා තාක්‍ෂණය නොමැතිකම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ සියල්ල නිවැරදි වන තුරු අප බලා සිටියහොත් තවදුරටත් මෙම ප්‍රශ්න සංකීර්ණ වෙනවා.
එසේ නම් අපට මේ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් තිබිය යුතුයි. මෙම කාර්යය භාර ගනු ලබන කමිටුව විසින් සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා.
වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින් සොයා බැලෙනවා.
ඒ වගේම මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය තිරසරව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක් වාහන රටින් පිට කිරීමද සිදු කළ යුතුයි. එවිට සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන භාවිතා කිරීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. මෙහිදී ඉදිරි ආර්ථික තත්ත්වය සහ මාර්ගවල තත්ත්වය වැනි විවිධ කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මාර්ග අනතුරු යන කාරණය ද මෙහිදී වැදගත් වෙනවා. මේ අනුව අදාළ සැලසුම් සකස් කිරිමේ දී මෙම කමිටුවට මේ සියලුදෙනා සමග සාකච්ඡා කිරීමට සිදු වේවි.
මෙහිදී සියලුදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරෙන අතර ඒ සඳහා සුදුසුම කාලය මෙය බව ද මම විශ්වාස කරනවා.
මේ අනුව මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතියි.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අප දැනමටත් සූදානම් කර තිබෙන බවද කිවයුතුයි.
ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් වෙහෙසුණු ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න
මාර්ග අනතුරු හේතුවෙන් සෑම තත්පර 42කටම වරක් ලෝකයේ කුමන හෝ ස්ථානයක එක් මරණයක් සිදු වනවා. නමුත් ඉහළ ආදායම්ලාභී රටවල මාර්ග අනතුරු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන හෝ මරණයට පත් වන සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව අඩු බව කිව යුතුයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා මිය ගිය ළමුන් සංඛ්‍යාව 115ක් වෙනවා. බොහෝ විට මෙසේ මරණයට පත් වන්නේ හෝ ආබාධිත තත්ත්වයට පත් වන්නේ වයස අවුරුදු 15-44ත් අතර රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ සාමාජිකයන් වන තරුණ පිරිසයි.
සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයන් 3000ක් පමණ මාර්ග අනතුරුවලට ලක්ව මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය වසරක් පාසා ඉහළ යන බව පෙනෙන්න තිබෙනවා.
මෙසේ සිදුවන අනතුරු හා සැසඳීමේදී අනාගතයේදී මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම අබාධිත තත්ත්වයට පත්වන සංඛ්‍යාව දහස් ගණනකින් ඉහළ යනු ඇතියි. එමඟින් රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව අප විශ්වාස කරනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ද, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ්, රතු කුරුස ඇතුළු ජාත්‍යන්තර සංවිධානයන්හි මෙන්ම විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි !
ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිවල ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇති බවයි.
මෙම ටෙන්ඩර් කටයුතුවලට මැදිහත්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශය වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120 කි.
ශාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දුවක් !
මෙරට ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය අද (01) තීන්දු කළාය.
ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ජන හා නිවාස සංගණනය 2024 ජනාධිපති කාර්යාලයෙන් ඇරඹේ !
වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ විය.
ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු අතර මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ්ලට් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කිරීම මෙන්ම භූ-අවකාශීය තාක්ෂණයන් සමඟ පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) පැවැත්වීමයි.
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අවසන් වරට මෙම සංගනනය පවත්වනු ලැබූයේ 2012 වසරේදීය.
ශ්‍රී ලංකාවේ නීතිමය පදනමක් මත පැවැත් වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය විය.
ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව එහි භූගෝලීය ව්‍යාප්තිය, ජනවාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක සමාජීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ප්‍රධාන දත්ත මූලාශ්‍රයන් ලෙස ලබා ගැනීම මෙම ජන සංගණනයේ දී සිදු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබා දීම, සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගොලීය ස්ථාන නිර්නායක (GPS පාඨාංක) ලබා ගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඩිජිටල් කරණය කරන ලද (Digitized) සිතියමක් ලබා දීම මෙම ජන සංගණනයේදී සිදුවේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්ධන මිලේ වෙනසක් !
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.00 කින් පහත දමා ඇති අතර සෙසු ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත .
අදාළ මිල සංශෝධනය පහත දැක්වෙයි .
ශ්‍රීලනිප 4% ට වැටිලා : දයාසිරි ප්‍රසිද්ධියේ කියයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ ජනමතය 50% සිට මේ වනවිට 4% දක්වා පහත වැටී ඇතැයි එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර තමා ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ඉන් තමාට යුක්තිය ඉටු වේ යැයි අපේක්ෂා කරන බවද පැවසීය .
එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය කුමක් වුවත්, තමා කිසි විටෙක පක්ෂ නායකයා විවේචනය නොකරන බවය.
එසේම තමා කිසි ලෙසකින්වත් පක්ෂ නායකයාගේ පසුපසින් සිට පිහියෙන් අනින ජාතියේ අයෙකු නොවන බවත් , එවැනි පිරිස් මේ වනවිට පක්ෂ නායකයා අසලින්ම සිටීම නිසා ඉදිරියේදී ඔවුන්ගේ සැබෑ තතු දැනගත හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.
විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට !
යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .
සිය twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරේ.
මෙම කෙටුම්පත පසුගිය මාස 10 පුරා සකස් කරන ලද්දක් බව අමාත්‍යවරයා සඳහ් කරයි. ඒ සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව ය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන, නීති කෙටුම්පත් සම්පාදක විසින් සළකා බැලීමෙන් පසු මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය පසුගිය සතියේ ලැබී තිබුණි.
අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි .
ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ !
ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.
දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත් එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ විට ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මෙසේද පැවසීය.
ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී තිබෙනවා. එහි දී වැඩිම අවධානයක් යොමුකර සිටියේ ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහායි. එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා හා ගොවි ජනතාවගේ සහයෝගයෙන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට අප සමත්ව තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ.
ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබා දීමට සමත් වැඩපිළිවෙළක්ද පශු සම්පත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණයි. මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අප කටයුතු කර තිබෙනවා.
ඒ වගේම තෘණ වගාව වර්ධනය කිරීමට මෙන්ම ගවයන්ගේ ගුණාත්මකභාවය සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සතුන්ට අවශ්‍ය ආහාර අඩුවක් නැතිව සැපයීම මඟින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පවතිනවා.
ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා අනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතුයි. ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍යයි. එහිදී දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙනවා. දියර කිරි පැකට් කර අලෙවි කිරීමටත් පියවර ගන්නවා.
වර්තමානය වන විට සත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා.
ඒ වගේම කුකුළු කර්මාන්තය ප්‍රවර්ධන සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ අනුව වැසුණු කුකුළු ගොවිපලවල් නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා.
සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය !
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි විසින් ඉදිරිපත් කළ රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇතිවන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන රජය අදාල ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව චීන රජය විසින් උනන්දුවක් දක්වන රටවල් සමග සාකච්ඡා කර ඇති අතර එකී මූලික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව ද සහභාගී කරගෙන ඇත.
ඒකාබද්ධ ප්‍රකාශය චීනය ඇතුළු රටවල් දහයක් විසින් අනුමත කර ඇතැයි රජය පවසයි.මෙම ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම මගින් දැනට ශ්‍රී ලංකාව එළැඹ ඇති ජාත්‍යන්තර වගකීමද කිසිදු බලපෑමක් සිදු නොවන බවට නිරීක්ෂණය වී ඇතැයි ද රජය පවසයි .
අර්බුදයේ සිට ප්‍රකෘතිය දක්වා : දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී !
ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JIСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් මේ සඳහා එක්ව සිටියහ.
මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව 2022 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදු වූ අතර ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබිණි.
අර්බුදයේ සිට තිරසාර වර්ධන මාවතකට ප්‍රවිශ්ට වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීම, රැකියා උත්පාදනය කිරීම සහ රජය හා මීට සහභාගී වන හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දිය හැකි මෙන්ම සියල්ල අන්තර්ගත වූ හරිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය කැපවීම පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
2022 දෙසැම්බරයේ පැවති පෙර සැසිවාරයේදී ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතනවල නියෝජිතයින් තීරණය කළේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇතිව සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ මූලික සලකුණු පෙන්නුම් කර ඇති අතර, උද්ධමනය අවම කිරීම, විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය ලිහිල් කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගික සැලැස්ම අනුමත කිරීම ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ලබා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) මඟින් සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ, මූලික නීති සම්පාදනය කෙරෙමින් පවතින අතර ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට නැවත ප්‍රවේශය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙසේ වෙතත්, සීමිත මූල්‍ය සම්පත් හා බාහිර බාධකයන් හමුවේ මෙම ප්‍රතිසාධනය කරා යන මාර්ගය තවමත් පුළුල් වී නොමැත.ඉදිරියට යාමේදී, තිරසාර වර්ධන මාවතක් නැවත ලබා ගැනීම සඳහා වේගවත් හා ප්‍රමාණවත් තරම් ගැඹුරු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මෙන්ම ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා සාර්ව මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළුව මීට අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පැහැදිලි හා සංක්ෂිප්ත ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම, රජය විසින් සිදු කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු ලෙස දායක වේ.
රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සහ ප්‍රධාන යාවත්කාලීන සහ නිර්දේශ බෙදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය අතර විවෘත අවකාශයක් සැලසීම මෙම වටමේස සාකච්ඡාව මඟින් සිදු වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී නැවත යථා තත්ත්වයට පත්වීමේ සිට තිරසාර වර්ධන මාවතක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව සඳහා පවතින වර්ධනයේ උපායමාර්ගික දිශාවන් පිළිබඳව සිය අදහස ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ සඳහා සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය යන දෙඅංශයේම කැපවීම සහ විශ්වාසය පළවීම ද මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රතිඵලයකි. මීට අදාළව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර මහජනතාවට අදාළ කාර්යයන් ඉටුවී ඇත්ද, නැද්ද යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් තීරණය කෙරිණි.
ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, ප්‍රගතිය, අභියෝග සහ අවස්ථාවන් සලකුණු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා "2022 දෙසැම්බර් මාසයේ පැවති අවසන් වටමේස සාකච්ඡාවේ සිට ක්‍රියාත්මක කර ඇති සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම, වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් නැවත ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය කාලීන වශයෙන් සැලසුම් කර ඇති ප්‍රධාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය" යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සමඟ කටයුතු කළ හැකි රජයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණ වේදිකාව පිළිබඳව ද කරුණු දැක්වීය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් මෙතෙක් සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.
මෙම ඉදිරිපත් කිරීම් හා අදහස් දැක්වීම්වලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ЛСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් විසින් මෙහිදී මතුවූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.
මෙම සැසිවාරයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය එක්ව සිටියහ.
එමෙන්ම මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ලෙස ලෝක බැංකුවේ (WB) මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Ms. Anna Bjerde, Managing Director of Operation), ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser, World Bank Vice President for South Asia Region), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනයෙහි (MIGA) මෙහෙයුම් පිළිබඳ උප සභාපති ජුනයිඩ් කමල් අහ්මෙද් (Mr. Junaid Kamal Ahmed, Vice President for Operations), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නේවාසික නියෝජිත සර්වත් ජහන් (Ms. Sarwat Jahan, Resident Representative), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දකුණු, මධ්‍යම හා බටහිර කලාපීය උප සභාපති ෂික්සින් චෙන් (Mr. Shixin Chen, Vice President (South, Central, and West Asia), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ආයෝජන මෙහෙයුම්-කළාප අංක 01හි උප සභාපති ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel, Vice President, Investment Operations-Region 01), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka) ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් (Mr. Lars Bredal, Deputy Head of Delegation), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති සචිරෝ ඉමෝටෝ (Ms. Sachiko Imoto, Senior Vice President), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Ms. Anjali Kaur, Deputy Assistant Administrator) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්චි (Mr. Marc-André Franche, Resident Coordinator, UN) යන මහත්ම මහත්මීහු එක් වූහ.
මීට අමතරව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, මාස් හෝල්ඩිංග්ස් හි සභාපති මහේෂ් අමලීන්, වෙළෙඳ හා ආයෝජන අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර් යන අය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස මෙම අවස්ථාවට එක්විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (31) පියවර ගනු ලැබුවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වු විශේෂ සාච්ඡාවකදී මෙම පත්වීම ප්‍රදානය සිදුකරනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වු අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වු එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
ඩයනාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණ ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ.
ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසීය.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
විසිදාහ ඉල්ලන අයත් කියන්නේ ජනාධිපති නිවැරදි බවය !
"මම මේ රට භාරගත්තේ රට ඉදිරියට ගෙනියන්නයි. හුගක් අය කිව්වා, මම මේක භාරගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා. හැබැයි මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හමුවෙලා අගමැතිකම ඉල්ලුවේ නැහැ. මට කිව්ව නිසයි මම භාරගත්තේ. ජනාධිපතිවරයා ඇවිල්ලා ආණ්ඩුවක් හදන්න කියලා කිව්වම මට ඒකට බැහැ කියන්න බැහැ. ඉතින් එහෙම කරපු මම රාජපක්ෂ ආරක්ෂා කරනවා නම්, රාජපක්ෂට ලියුම් ලියලා අගමැතිකම ඉල්ලපු අයට මොකද කියන්න ඕන? මම ආවේ එක වැඩකටයි. මම ආවේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම කෙනාම ආරක්ෂා කරන්නයි."
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කතාව කිව්වේ පසුගියදා පැවති, එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදීය.
දැන් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝම ආරක්ෂා කරන්න කියා බලය ගැනීමට එකඟවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ බාරගත් වැඩේ හරියට කළාද යන්නය.
සංඛ්‍යා දත්ත සහ හාත්පස විමසීමේදී නම් , දැන් පෝලිම් යුගයක් නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ නැත. විදුලි කප්පාදුවක් ද නැත. කර්මාන්ත ශාලා වැසීයන තත්ත්වයක් නැත. වැඩිම උද්ධමනය ඇති ලෝකයේ රටවල් ලැයිස්තුවේ ඉහළින් සිටි මේ රට දැන් ඒ අහලකවත් නැත. එනිසා හෙට දවස කන්න ලැබෙයිද ? රැකියාව අහිමි වෙයිද ? විදුලි කප්පාදුව නිසා කර්මාන්තය වහන්න වෙයිද ? තෙල් නැතුව හයර් එකක්වත් දුවන්න බැරුව වාහනය සීස් වෙයිද ? වගේ ප්‍රශ්න නැත.
ඒ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ මේ රට මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගත්තා කියාද ? දැන් සේරම ප්‍රශ්න අවසන් කියාද ?
ඒ ගැන කවුරු මොනවා කිව්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් මොකුත්ම කියන්නේ නැත. ඒ වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙන කතාවක් ය. පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති, " රීඩ් මාවතේ සියවස් සමරුව " උත්සවයට එක්වෙමින් ද කිව්වේ , " දේශපාලන වෙනස්කම් තියාගමු , නමුත් රට ගොඩදාන වැඩේට එක්වෙමු " කියාය.
ඒ කියන්නේ රට ගොඩදාන වැඩේ තවමත් අවසන් නොමැති බවය. සරලව නම් මේ කියන්නේ , ඉතිහාසයේ ප්‍රථම වතාවට නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කර , ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ලක්ව, තිබූ රට යන්තම් සාමාන්‍ය තත්ත්වයට ගැනීමට හැකිව තිබෙන බවය. තවත් සරලව කිව්වොත් , එදා වේල කන්නත් නැතිව හිටපු රට , වේල යන්තමින් පිරිමහන්න පුළුවන් වන තැනට ගෙනවිත් දී ඇති බවය. ඊට සාහිත්‍යයත් එක්කලොත්, දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගියා , සාමාන්‍ය වාට්ටුට යැවීමට හැකියාව ඇති බවට නිරීක්ෂණය වෙන්නට ගෙන ඇති බවය. ඒ හැර රෝගියා ටිකට් කපා ගෙදර යවන්න පුළුවන් බවක් ජනාධිපති කියන්නේ නැත.
ඒ වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කියන්නේ 2022 තිබූ අභාවාචී තත්ත්වයෙන් තත්වයෙන් මිදී ඇති නමුත් , යළිත් එම අභාවාචී අත්දැකීම නොලබන්න නම් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් ඇති බවය. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙරට ප්‍රමුඛතම ජාතික අභිලාෂය බැවින් ඒ සඳහා සියලු දෙනා එක්විය යුතු බවය. එසේ නොවුනොත් 2022 ලැබූ අභාවාචී අත්දැකීමට වඩා අතිශය දරුණු තැනකට රට පත්වීමේ අවධානම ප්‍රතික්ෂේප කළ නොහැකි බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ අවධාරණය කරන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ගෝලීය මූල්‍ය ආයතන, සංවිධාන , චීනය , ඉන්දියාව , පැරිස් සමාජය ඇතුළු බටහිර රටවල් කියන්නේ මොකක්ද ? ඔවුන් සියලු දෙනා ගේ ද පොදු අදහස වී තිබෙන්නේ , ලංකාව පසුගිය සමයේ හිටපු තත්ත්වය සමඟ සැසඳීමේදී විශාල ප්‍රගතියක් මේ වන විට ලබා ඇති බවය. නමුත් අර්බුදයෙන් මුළුමනින්ම ගැලවී, ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට නම් යෝජිත ප්‍රතිසංස්කරණ නියමිත ආකාරයට සිදුකළ යුතු බවය. එසේම ඒ වෙනුවෙන් වන සාර්ථක පදනමක් ඇතිකර ගෙන තිබෙන බවය.
සැබවින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන විස්තීරණ ණය මුදල ගැනීමට අදාළ පළමු සමාලෝචනය තුළ පරිසාධනය නොවූ කාරණා තිබියදී පවා, දෙවැනි වාරිකය නිදහස් කිරීමට අදාළ කර්‍ය මණ්ඩල මට්ටමේ එකඟතාව පවා හිමිවූයේ එකී විශ්වාසය නිසාය.
එසේ නම් මේ සියල්ල විසින් තහවුරු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවැරදි දිශානතිය වෙත රටේ ආර්ථිකය ගෙන යමින් තිබෙන බවය.
ඒ බව තවත් තහවුරු වන්නේ , 2024 අයවැය අභිමුව වෘත්තීය සමිති මාෆියාව , සිය සම්ප්‍රදායික සටන් පාඨ දක්වා පසුබැස තිබීම හමුවේය.
එළැඹෙන වසර සඳහා වන අයවැය වාර්තාව සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ ඊට පෙර වසරේ නොවැම්බර් මාසයේ දී ය. ඊට අදාළව , වැටුප් වැඩිවීමක් ඇතුළු විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔක්තෝබර් මාසයේ අවසානය සහ නොවැම්බර් මාසය හැඩි කිරීම වෘත්තීය සමිති මාෆියාවේ සම්ප්‍රදායික අංගයක් ය. ඒ අනුව යමින් මෙවර අයවැය අවස්ථාවේ ද වෘත්තීය සමිති මාෆියාව සම්ප්‍රදායික සටන් පාඨ කරට ගෙන පාරට බැස ඇත.
මෙවර එහි ප්‍රධාන සටන් පාඨය කරගෙන ඇත්තේ , රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ය. එය අයවැය හරහා ලබා නොදුන්නොත් , රාජ්‍ය සේවය අනර්මණ්‍ය කරන , දීප ව්‍යාප්ත වර්ජනයක් සමග රට අරාජික කිරීමේ තර්ජන රැසක් රජය වෙත එල්ල කරමින් ඇත.
මෙරට පසුගිය සමයේ අහන්න දකින්න ලැබුණේ #go home දේශපාලන සටන් පාඨය. ගෝඨා ගෝ හෝම් , මහින්ද ගෝ හෝම් , 225 ම ගෝ හෝම් ඒ අතර විය. රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටි ඒ සමයේ පවා "ගෝ හෝම්" සටන් පාඨ මිසක් , දරුණු අඝාධයකට වැටී තිබූ ආර්ථිකයක්, දිනෙන් දින දරුණු වූ අරගලයක් සහිත ප්‍රචණ්ඩත්වයක් , දිග්ගැස්සෙන අරාජිකත්වයක් නිර්මාණය වෙමින් සෑම ක්ශේත්‍රයකම " සොහොන් ලකුණු " පමණක් පෙන්නුම් කළ රට එයින් මුදාගන්නා සැලැස්මක් කවුරුත් ඉදිරිපත් කරේ නැත. එදා ඒ රට ගොඩදාන වැඩපිළිවෙළ තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පමණය.
කොවිඩ් වසංගතය අවස්ථාවේ ද , ආර්ථික දුෂ්කරතා නිසා එදාත් වැටුප් වැඩිවීමක් ඉල්ලා වෘත්තීය සමිති මාෆියාව කෙඳිරි ගෑවා අපිට මතකය. එදා මුදල් ඇමති වූ බැසිල් ඒ ඉල්ලීම පිළිගත්තේ, ඔවුන්ගේ ක්‍රමය වූ අලුතෙන් මුදල් මුද්‍රණය කර වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බව සඳහන් කරමින්ය . නමුත් මෙරට ආර්ථික විශේෂඥයන් මෙන්ම විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් රැසක් එහිදී ඊට විරෝධය පලකර සිටියේ , අලුතෙන් මුදල් මුද්‍රණය කිරීම ඒ වන විටත් සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් එය කොහෙත්ම අනුමත කළ නොහැකි බව පෙන්වා දෙමින් ය.
එදා වෘත්තීය සමිති මාෆියාවේ කෙඳිරිල්ලට දේශපාලනය බේරගන්න ගියා නම් උද්ධමනය ඉහළ යන්නේ 64% - 70% ක් ලෙස නොව , 90% ටය. එසේ වූවා නම් සොච්චමක් ලෙස වුවත් , වැටුප් වැඩිවීමක් ගත්තා කියා වෘත්තීය සමිති මාෆියාව ආඩම්බර ය. අර්බුදය හමුවේ පවා වැටුප් වැඩිවීමක් දුන්නා කියා ආණ්ඩුව ද පාරම් බාන්න තිබිණ. නමුත් අධි උද්ධමනයක් ඇතිව , විල්බැරෝවක් පිරින්න මුදල් ගෙනිහින් පාන් බාගයක් හෝ හාල් ග්‍රෑම් 500ක් ගේන්න වෙන පුඩිය කන්න වෙන්නේ මිලියන 22 ක සමස්ථ ජනතාවටමය.
ඒ කතා මොනවා වුණත් , එදා ගෝඨාභය පාලන සමයේ වැටුප් වැඩිවීම ඉල්ලූ ආකාරය සහ වෘත්තීය සමිති මාෆියාව අද එය ඉල්ලන ආකාරය අතර ඇති ලස්සනම කාරණයක් ඇත. එනම් වෘත්තීය සමිති මාෆියාව එදා වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ කෙඳිරිල්ල අද තර්ජනයක් ව තිබීමය. මෙහි ලස්සන පෙනෙන්නේ, අදාළ ඉල්ලීම සිදුකිරීම සඳහා වෘත්තීය සමිති මාෆියාව පවතින වාස්ථවික තත්ත්වය සම්බන්ධයෙන් කරන තක්සේරුව තේරුම් අරගත් විටය. ඒ අනුව එදා වැටුප් වැඩිවීමක් වෙනුවෙන් කෙඳිරීමක් පමණක් වන තක්සේරුව සිදුවන්නේ , සැබවින්ම වැටුප් වැඩිවීමක් කිරීමට නොහැකි තත්ත්වයක් පැවති නිසාය. එදා පැවති සැබෑ තත්ත්වය වූයේ වැටුප් වැඩිවීමක් නොව , තිබෙන වැටුපත් ගෙවා ගන්නට නොහැකි තැනකට ආර්ථිකය ඇදගෙන වැටී තිබීමය.
නමුත් අද සද්ද දමා වැටුප් වැඩිවීමක් ඉල්ලන තැනට වෘත්තීය සමිති මාෆියාව තක්සේරුව සිදුකරන්නේ , ඒ වැටුප් ගෙවීමටත් නොහැකි , අවධානමේ පැවති තත්ත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගලවා ගෙන ඇති බවය. ඒ ගලවා ගැනීම ගැන කොතරම් ඉහළ තක්සේරුවක් වෘත්තීය සමිති මාෆියාව සතුද කියනවා නම් , රුපියල් 20000ක වත් වැටුප් වැඩිවීමක් ඉල්ලා මිස, නැත්නම් සේරම ලකුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට බව සහතික නිසාය.
කොහොමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ද පසුගිය අවස්ථා කිහිපයකදීම පවසා සිටියේ, 2024 අයවැය හරහා සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබාදීමට හැකිවනු ඇති බවය. ඒ කතා අස්සේ වැටුප් වැඩිවීමක් ගැනත් අහන්න ලැබිණ. සැබවින්ම ඒ සමයේ අද රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ඉල්ලන වෘත්තීය සමිති මාෆියාව සිටියේ තම වෙන්ඩ ජනාධිපති නායකයා ගේ ජනහමු වලට බස් වලින් සෙනග අදිමින් ය.
මෙරට වෘත්තීය සමිති මාෆියාව කොතරම් දෙබිඩිද යන්නත් කොතරම් නරුමද යන්නත් තේරුම් ගන්න නම් මේ පැහැදිලි සත්‍ය හොඳටම ප්‍රමාණවත් ය. සැබවින්ම මේ 20000ක වැටුප් වැඩිවීමක් ඉල්ලීම පිටුපස තිබෙන එකම දුෂ්ඨ චේතනාව 2024 අයවැය හරහා ජනතාව වෙත සහන ප්‍රමාණයක් ලබාදුන්නොත්, මේ වන විටත් ජනාධිපති සිහිනෙක ගිලී වම දකුණ පටලවාගෙන සිටින නායකයාගේ ලකුණු කැපෙයි කියන භීතිකාව ය. ඔවුන්ගේ තක්කඩි නරුම අපේක්ෂාව , රට ගොඩනැගීම කෙසේ වෙතත් පොඩියට හෝ වැටුප් වැඩිවීමක් සිදුවුවහොත් ඒ ලකුණු තමන්ගේ වෙන්ඩ ජනාධිපති නායකයා ගේ ගිනුමට එක්කර ගන්නය.
කොහොමටත් අද ජනප්‍රිය දේශපාලනයේ කරවටක් ගිලීගොස් සිටින ඊනියා වම්මුන්ගේ වෘත්තීය සමිති මාෆියාව ඉතිහාසය පුරාම කළේ, අනුන්ගේ දේ පැහැර ගැනීම මිස තමන් දෙයක් ගොඩනැගීම නොවේය. ඔවුන් විප්ලවය කියන අකුරු පහත් ඉතිහාසය තුළ කැත විදිහට දූෂණය කළේ, තියෙන එකාගේ දේ පැහැරගෙන නැති එකාට දීම ලෙස එය අරුත් ගන්වමින් ය.
දැන් ප්‍රශ්නය වන්නේ , ලකුණු පාට පක්ෂයේ නම වෙනස් කළ පමණින් ඔවුන් වෙනස් වෙලාද යන්නය. නැත. මේ සූදානමත් ඒ බව පෙන්වන සැත්කමත් " 20000" සටන් පාඨය මතම තබා සිදුකරන්නය.
වෘත්තීය සමිති මාෆියාව 20000 ක වැටුප් වැඩිවීම ඉල්ලන සටන් පාඨය සාධාරණීකරණය කරන්නේ වසර 7කින් වැටුප් වැඩිවීමක් නොවූ බව කියමින් ය. ඒ කතාව ඇත්තය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍ය ලෙස සිටියදී රාජ්‍ය අංශය වැටුප් අවම රුපියල් 10000 ක් වන ලෙස , එතැන් සිට ඉහළට වැටුප් වැඩිවීමක් කළේය. එදා ඔහු ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ව මෙහෙයවූයේ, ඊට පෙර සිටි මුදල් ඇමති වූ මහින්ද රාජපක්ෂ රුපියල් 2000කට වඩා වැටුප් වැඩිවීමක් කිරීමට නොහැකි බව සඵත කර තිබියදී ය.
එදා රාජ්‍ය සේවයට ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම සිදුකිරීමට තම අමාත්‍යවරයා ව මෙහෙයවූ නායකයා ඒ කළේ රාජ්‍ය ආදායම් ඉහළ දැමීම ඇතුළු නිවැරදි උපායමාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ ය.
නමුත් මේ මොහොතේ වාස්ථවික තත්ත්වය වෙනස් ය. මේ වන විට රාජ්‍ය අංශය ලක්ෂ 15ක් පමණ සේවය කරන අතර මාසිකව වැටුප් ගෙවීමට පමණක් රුපියල් බිලියන 80කට අධික මුදලක් ඊට වැයවන්නේ ය.
එවන් පසුබිමක රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් කියන්නේ , ලක්ෂ 15 × රුපියල් 20000ලෙස ගතහොත් තවත් මාසිකව රුපියල් බිලියන 30ක් ඒ සඳහා යෙදවීමට සිදුවෙයි.
පසුගිය සමයේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතා වලට මුහුණ දුන්නේ රාජ්‍ය අංශය පමණක් නොවේය. මෙරට සිටින මිලියන 22 ක ජනතාවම එහි සමාන ඉරණම්කරුවන් විය. ඒ අනුව මේ මොහොත කියන්නේ ද, සියලු දෙනාම අමාරුවෙන් සිටින මොහොතක් ය. රජයට කෙතරම් මුදල් නැතත් අවශ්‍ය නම් මුදල් මුද්‍රණය කර හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවිය හැකි බව ඇත්ත ය.එවිට ලක්ෂ 65ක් සේවය කරන පෞද්ගලික අංශය කරන්නේ මොකක්ද ? පෞද්ගලික අංශයට පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාඩු සිදු වෙනවා නම්, එම කාර්‍ය මණ්ඩල සඳහා ගෙවීමට මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් නැත. රජයට මුදල් මුද්‍රණය කිරීමට හැකි නිසා පමණක් මේ ඉල්ලීම සිදුකර ඇත්නම් ඒ නිසා ඇතිවෙන උද්ධමනයට සහ බඩු මිල ඉහළ යාමට මුහුණ දෙන්නේ රාජ්‍ය සේවකයන් පමණක් ද ? අනෙක් අතට රාජ්‍ය සේවකයන්ට වැටුප්ගෙ වන්නේ ද බදු ගෙවන ජනතාවගේ මුදලෙන් ය. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර මහ බැංකුව රජයට අරමුදල් දෙන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් වන නිසා ඒවා ද පසුව පොලියත් සමග පියවිය යුතුය . ඒ බර දරන්නේ ද රාජ්‍ය අංශය නොව පොදු ජනයාය. ආර්ථික අර්බුදය කෙතරම් දරණු වුවත් රාජ්‍ය සේවකයන්ගේ රැකියා අහිමි වූයේ නැත. වැටුප් කප්පාදුවක් සිදුවූයේ ද නැත. එහෙත් පසුගිය සමයේ පෞද්ගලික අංශය ඔය අන්තරා දෙකටම සෘජුව ලක්විය. එසේම ආයතන වසා දැමිණ . සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන කියන්නත් දෙයක් නැත. තවත් තමන්ගේම ව්‍යාපාර කරන අයට නිෂ්පාදන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තම ව්‍යාපාර කටයුතු කිරීමට අපහසු තත්ත්වයන්ට මුහුණ දී ඇත. එනම් ඔවුන්ට දැන් කලින් ලැබුණු ආදායමවත් නොලැබෙන අතර පාඩු විඳීමට ද සිදුව ඇත. මේ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය මේ සියලු දෙනාම තවත් අමාරුවට සහ පීඩාවට පත් කිරීමක් ය. මේ කියන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළ යුතු බවක් නොවේය. නමුත් මේ මිලියන 22 කම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගත්තා පමණය. ඒ නිසා කළ යුතු වන්නේ රාජ්‍ය සේකයන් ද ඇතුළුව සියලු ජනතාවට පොදුවේ සහනයක් ලබාදෙන වැඩපිළිවෙළක් ය. අවශ්‍ය කරන්නේ ආර්ථිකය ගොඩ ගැනීමේ සාමූහික මෙහෙයුමක් ය.
ඒ පසුබිමේ ලක්ෂ 15 ක් වෙනුවෙන් ලක්ෂ 65ක් නොතකන මේ සටන් පාඨ වල අවිඥානය නම් පෞද්ගලික අංශයේ සේවකයන් ධනපතියන් ලෙස සිතීමය. ඒ ගැන ඇති ඊර්ෂ්‍යාව ය. ඔවුන් ඉතිහාසයේ පටන්ම පන්ති වෛරය පිරුමැහුවේම පීඩිතයන් ගෙන් ය.
එස්. එම්. ලියනගේ
ආසයි බයයි තියරිය ආයෙත් : සජබ ෆොනීට එරෙහි විනය ක්‍රියාමාර්ග හකුළාගනියි !
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන්ටද අදහසක් ඇති බවට සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගෙන තිබූ තීරණය සංශෝධනය වී තිබේ.
ඒ බව සඳහන් කරමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ .
එහිදී ඔහු පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බවය.
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පිළිබඳ පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් ප්‍රතාචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත .
සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්ථා පිලිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහු මුන ගැසී සාකච්ඡා කළ බවත් යම් යම් සීමා ඔස්සේ කටයුතු කිරිමේ එකඟතාවයකට එහිදී පැමිණි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පක්ෂයේ ස්ථාවරයට පටහැනි ලෙස ක්‍රියාකිරීම හේතුවෙන් විනය පියවර ගැනීමට නියමිත බව ප්‍රචාරය වූයේ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා බවයි.
ඕනම පක්ෂයක් විසින් ඒ ආකාරයට නිල නොවන ලෙස මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේ උපක්‍රමයක් අනුගමනය කරන බවත් , එම පුවත් දේශපාලන ආරංචි මාර්ග ලෙස හෝ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළ බවක් දක්වමින් මාධ්‍යවල දේශපාලන පුවත් ප්‍රචාරය වන බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ ආකාරයට අදාළ පුවත බොහෝ දේශපාලන ගොසිප් පළකරන මාධ්‍ය තුළ පළවූ බවක් නිරීක්ෂණය කරන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සජබ විසින් ගැනීමට ගිය තීන්දුවක් ආපසු හැරවූ බවක් මේ හරහා හැඟීයන බවයි.
අයවැයෙන් වැටුප් වැඩිවීමක් : ජනපති කැබිනට්ටුව දැනුවත් කරයි !
නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) අමාත්‍ය මණ්ඩලය අමතා පැවසූ බව වාර්තා වෙයි .
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .
ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් බව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
එසේම දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .
වී තොග අතුරුදහන්වීම : නිලධාරීන් 2කගේ වැඩ තහනම් !
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
මේ සම්බන්ධව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා දැනුම්දී සිටියි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 - 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවය.
අස්වැසුම ගැටළු විසඳන්න විශේෂ සතියක් නම් කරයි !
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටළු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාදවී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළේ, "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .
ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙම සතිය තුළදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර ජූලි මාසය සඳහා සියලුම ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති අතර අගෝස්තු මාසය සඳහා ගෙවීම් කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේ ද පැවසීය.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මේ වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. නමුත් තවදුරටත් අස්වැසුම ප්‍රතිලාභීන්ට තිබෙන ගැටළු විසඳා ගැනීමට ‘අස්වැසුම’ විශේෂ සතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වසර සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත් සම්බන්ධයෙන් විසඳී නොමැති ගැටළු මෙහිදී නිරාකරණය කරන්න බලාපොරොත්තු වනවා.
මෙය කිසිසේත්ම ලබන වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තොරාගනු ලබන අයදුම්පත් කැඳවීමක් නොවෙයි. මේ පිළිබඳව සුබසාධක මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශය ලේකම් කාර්යාල දැනුවත් කිරිමට කටයුතු කරමින් සිටිනවා. මෙම වසරේ තෝරාගෙන ඇති ප්‍රතිලාභීන්ට තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසු ලබන වසර සඳහා අයදුම්පත් කැඳවීමට සුබසාධක මණ්ඩලයට හැකියාව ලැබෙනවා.
අද සහ හෙට දිනය වන විට ප්‍රතිලාභීන් දහතුන් ලක්ෂ හැටපන් දහසක් සඳහා (1365,000) රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව ලබන බදාදා දිනයේ සිට ප්‍රතිලාභීන්ට නියමිත මුදල් ලබා ගත හැකියි. ඉන් පසුව සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් ලබන මාසය අවසන් වීමට පෙර ගෙවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයට අදාළ ගෙවීම සිදු කළේ අදියර 07ක් යටතේයි. සැප්තැම්බර් මාසය වන විට මුදල් ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකියි. අස්වැසුම ගෙවීම් කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
අස්වැසුමට අදාළ ගෙවීම්වලදි මුදල් සම්බන්ධයෙන් ගැටළු මතු වී නැහැ. නමුත් මුදල් ලබාදීමේදී තාක්ෂණික ගැටළු මතුවී තිබෙනවා. එනිසා එම ගැටලු විසඳා ගෙවීම් කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිලාභීන් බැංකු ගිණුම් නිසිලෙස විවෘත නොකිරීම සම්බන්ධව ගැටළු තිබුණා. එම ගැටලුද විසඳීමට අප මේ සතිය තුළ කටයුතු කරනවා.
රටේ සිදුවූ ආර්ථික අවපාතයේදී දිළිදු කණ්ඩායම්වලට සිදුවූ බලපෑම අතිමහත් බව කිව යුතුයි. ඒ පිළිබඳ රජයට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මුදල් ලබාදීම කඩිනම් කිරීමට අප කටයුතු කරනවා. ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ අස්වැසුම සුබසාධක වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේදී මෙම කටයුතු තවත් විධිමත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
ජනාධිපතිතුමා හා රජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ ජනප්‍රිය නොවුණට එය මේ වන විට ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට මෙන්ම අනෙකුත් ජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙනවා. ශක්තිමත් ආර්ථිකයකට රට ගෙනයාමට හැකි පරිසරය රජයක් ලෙස අප ගොඩනගමින් සිටිනවා.
දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය බලන්න WB නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවක !
ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.
දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් ජනපද නිල සංචාරය අතරතුරදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) සමඟ පැවැත්වු විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලිම සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ "දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල" නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබේ. දේශගුණික සුහුරු කෘෂිකර්මය භාවිතයන් සහ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගොවීන් වෙත ලබාදීම මෙම ගොවි පුහුණු පාසල මඟින් සිදු කරනු ලැබේ.
ඒ අනුව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්මය පිළිබඳ පුහුණුව ලැබූ ගොවීන්ට සහතික පත් පිළිගැන්වීම ද මෙහිදී ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) ගේ සහභාගිත්වයෙන් සිදු විය.
ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව නියෝජිත පිරිස එක් වුහ.
අදාළ ප්‍රදේශවල කුඩා වතු හිමියන්ගේ සහ ගොවි පවුලවල ආදායම සැලකිය යුතු මට්ටමින් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වී තිබෙන අතර රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.
මෙහිදී අදහස් දැක්වු ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ කලාපයේ ගොවීන් සඳහා දේශගුණික විපර්යාස හා නවීන කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කෙරෙන පුහුණු පාසලක වැදගත්කම පෙන්වා දුන් අතර එම දැනුමෙන් ගොවීන් සන්නද්ධ කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද පෙන්වා දුන්නාය.
සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය වෙත ප්‍රවේශ වීම, අධික ලෙස ඩීසල් මත යැපීම අවම වීම සහ ස්ථාවර ජීවනෝපාය මාර්ග ඇති කිරීම මෙන්ම උසස් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට දරුවන්ට අවස්ථාව ලැබීම, විවිධාංගීකරණය වූ තිරසාර බෝග අස්වැන්න, වඩා හොඳ පෝෂණයක් සහතික කිරීම මෙහි ප්‍රධාන ප්‍රතිලාභ ලෙස ඇය පෙන්වා දුන්නාය.
මෙම ව්‍යාපෘතියට සහාය දැක්වීමට ලෝක බැංකුවට හැකිවීම පිළිබඳ සතුට පළ කළ ඇනා බ්යාර්ඩේ දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝග අවම කර ගැනීමට මෙවැනි ව්‍යාපෘතිවල ඇති වැදගත්කම ද පෙන්වා දුන්නාය.
ගොවි ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් යහපත් කිරීම සඳහා ධනාත්මක බලපෑම් එල්ල කළ හැකි අන්දම පිළිබඳ ලබා ගන්නා ආදර්ශයන් සහ අත්දැකීම් මත මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බවද ඇය සඳහන් කළාය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono), ලෝක බැංකුවෙ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයෙහි (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Anjali Kaur), ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වොස් ((Faris Hadad-Zervos) ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙහි (JICA) දකුණු ආසියා ජ්‍යේෂ්ඨ උප සභාපති සචිකෝ ඉමෝටෝ (Sachiko Imoto) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යන ආයතනවල නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
Page 117 of 440