Ad

Ad 01

V2025

පුවත්

චෝදනා ප්‍රතිකේෂ්ප කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිට සැර ලිපියක් !

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් චෝදනා නගමින් පසුගිය 03 වනදා නිකුත්කළ මාධ්‍ය නිවේදනය ක්‍රිකට් තේරීම් කමිටුව තරයේ ප්‍රතිකේෂ්ප කර සිටියි.

ඊට අදාළව ලිපියක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇති ක්‍රිකට් තේරීම් කමිටුව එහිදී තම නිර්දෝෂීභාවය වෙනුවෙන් එකිනෙක කරුණු දැක්වීමක් ද සිදුකර ඇත.

ඉන්දියාව හමුවේ අවස්ථා දෙකකදී ක්‍රිකට් කණ්ඩායම ලැබූ අවසනාවන්ත පරාජය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවද කම්පනයට හා කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් කරන එම ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පසුබෑම් හමුවේ දේශපාලනික හෝ පෞද්ගලික වාසි සඳහා එම පසුබෑම් දඩමීමා කර ගැනීමට තැත් කිරීම නොව, පසුබෑමට හේතු විද්‍යාත්මකව සොයා විකල්ප හඳුනාගැනීම බවයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් එහි සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ සහ සෙසු සාමාජිකයන් වූ
රොමේෂ් කළුවිතාරණ හා
හේමන්ත වික්‍රමරත්න ගේ නමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපිය පහත දැක්වෙයි .

 රොෂාන් රණසිංහ මැතිතුමා,
ගරු අමාත්‍ය
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය,
කොළඹ-07

වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව නඟන ලද චෝදනා ප්‍රතික්ෂේප කිරීම

ගරු ඇමතිතුමනි,

ඔබ තුමන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් වර්ෂ 2023.11.03 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතුයි යන මැයෙන් මාධ්‍යයට නිකුත් කරන ලද ඒකපාර්ශ්වික චෝදනාවට අදාළව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වශයෙන් අපගේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා පිළිතුරු සැපයීම අපගේ වගකීමක් යැයි සිතමු.

මෙහිලා අප කරුණු දක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්දයෙන් පමනක් බව අවධාරණය කළ යුතුය.
ශ්‍රී ලංකා තේරීම් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වන අප ගරු අමාත්‍යවරයාට, වර්ෂ 1974 සැප්තැම්බර් මස 20 වැනි දින, අංක 130 දරන ගැසට් නිවේදනය මගින් හා 1986 ජනවාරි මස 20 වැනි දින නිකුත් කරන ලද අංක 385/7A ගැසට් නිවේදනය මත පැවරී ඇති බලතල මත පත්කොට ඇති නිල සාමාජිකත්වයක් දරන කමිටුවකි.

එවන් සාමාජිකත්වයක නිල ක්‍රියා පිළිවෙත පිලිබඳව අප්‍රසාදයක් හෝ විවේචනයක් වේ නම් එය යොමුකළ යුතු නෛතික හා වෘත්තීයමය ක්‍රමවේදයන් පවතින බව ගරු අමාත්‍යවරයා නොදැන සිටීම අප පුදුමයට පත් කරවන්නකි. එකී සියළු ශීලාචාර ක්‍රමවේදයන් පවතිද්දී මාධ්‍ය හමුවේ අපට එරෙහිව ඒකපාර්ශ්වික චෝදනාවක් එල්ල කොට ඒ මත අපට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට කටයුතු කිරීම අප තුළ ඉමහත් කනස්සල්ක් ඇති කොට තිබේ.

අප විශ්වාස කරන්නේ මෙම චෝදනාවන් හුදු තවත් ජනප්‍රිය දේශපාලනික හැසිරීමක් මිස කිසිසේත්ම වෘත්තීය භාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව අපවෙත යොමු කරන ලද චෝදනාවක් නොවන බවයි.

පළමුව කිව යුත්තේ ඔබගේ අණින් නිකුත්වු මාධ්‍ය නිවේදනය තුල ක්‍රිකට් තේරීම් කමිටුවට අදාළව සඳහන් කොට ඇති කරුණු අසත්‍ය හා අර්ධ සත්‍යයන් මත ගොඩනැගු අවිද්‍යාත්මක තර්කනයන් සහිත අභූත චෝදනාවන්ගෙන් සමන්විත වන බවයි.

අදාළ නිවේදන‍යෙන් පැවසන්නේ ක්‍රිකට් පරාජයන්හි වගකීම වසර 4 පුරා තේරිම් කටයුතු සිදුකළ තේරීම් කමිටුව භාරගත යුතු බවයි. නමුත් ඔබතුමන්ගේ අමාත්‍යංශය සතු නිල වාර්තා නිසි ලෙස පරිශීලනය කළහොත් වැටහෙනු ඇත්තේ වර්තමාන කමිටුව පත් කොට ගතවී ඇත්තේ වසර දෙකහමාරක් පමණක් බවය.
එසේම එම මාධ්‍ය නිවේදනයේ අවධාරණය නොවන අතිශය වැදගත් කරුණ වන්නේ වර්තමාන තේරීම් කමිටුව පත් කිරීමට පෙරාතුව අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙමින් සිටි ඛේදනීය තත්වය පිලිබඳව ක්‍රීඩා ඇමති වරයාට ඇති නොවැටහීමයි.

ඒ අතීතය ඔබට සිහිපත්කරදීම මේ මොහොතේ අපගේ යුතුකමක් ලෙස සිතමු. ඒ අනුව 2017 අගෝස්තු මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජය වූ විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටතට යෑමටද නොදී හූ කිව්වා ඔබට මතකද? එය එක් පරාජයක් නිසා සිදුවූවක් නොව පරාජයන් රැල්ලක ජනතා වේදනාව පුපුරායැමක් විය. ඉන්දියාව සමග පැවැති එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අප රටේදීම අප සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය පැරදුණා ඔබට මතකද? තරග අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩාය‍ම් දිගින් දිගටම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ මීළඟ පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජු සුදුසුකම් අහිමිවූ බව ඔබට මතකද? තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් දෙවැනි පෙළක් නිර්මානය කර නොතිබූ යුගය ඔබට අමතකද? ක්‍රීඩකයන් පමණක් නොව තේරීම් කමිටුවටද තරග පාවාදීමේ චෝදනා එල්ලවෙමින් ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රාජ්‍යය ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී විමර්ශන කමිටුව විසින් ප්‍රකාශ කරනු ලැබූ බව ඔබට අමතකද? එදා ඒ චෝදනා එල්ලවූ සමහරෙක් මේ අවස්ථාවේදී ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ අනුශාසකයන් ලෙසින් කටයුතු කරන බව ඔබ පිළිගන්නවාද?

 ඔබතුමන් විසින් අමතක කොට ඇති යථාර්ථය වන්නේ එවැනි ව්‍යාකූල තැනකට වැටී තිබූ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව, පසුගිය වසර දෙක හමාරක කාල වකවානුව තුළ වර්ථමාන තේරීම් කමිටුවද මැදිහත්වනු ලැබු සාමුහික ක්‍රියාත්මකවීමක් මගින්, එකී කණගාටුදායක තත්වය පරාජය කරමින් අත්කර දුන් ප්‍රගතිය කෙසේ වීද යන්නයි.

ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹා වියෝවන යුගයක සිට අප නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව බලාපොරොත්තුවක් ඇති කරවන තැනට කටයුතු කළේය.

අපගේ මැදිහත්වීම සිදුවන්නේ නිසි කුසලතාවයක් සහිත ක්‍රීඩකයන් තෝරා ගැනීම තුල පමණක් බව මෙහිලා සඳහන් කල යුතුව තිබේ. අප විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා දෙනු ලැබු ක්‍රීඩකයන් පහත දැක්වෙන ජයග්‍රහණ පසුගිය වසර දෙකහමාරක කාලය අතරතුර රටට අත්කොට දී තිබේ. එම ජයග්‍රහණ පිලිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. එකී ජයග්‍රහණ වන්නේ:
ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර ක්‍රීඩාවලිය 3-2 ලෙස ලැබු ථෛතිහාසික ජයග්‍රහණය (මෙය දෙරට අතර මෙරට පැවැති එක්දින තරගාවලියකදී වසර 30කට පසුව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණ විය)
වසර 08 කට පසුව, ආසියානු කුසලාන ජයග්‍රහණයක් අප රටට හිමිකර දීම,
වසර 09 කට පසුව ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ අනුශූරතාවය අප රටට හිමිකර දීම,
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පස්වන තැනට ශ්‍රීලංකාව පත්වීම,
ඉන්දියාව සමග T-20 තරගාවලියක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම,
නවසීලන්තය සමග T-20 තරගයක් වසර 7 කට පසුව ජයග්‍රහණය කිරීම
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීම.
2016න් පසු පළමු වරට T-20 ලෝක කුසලානක් සඳහා සෘජු සුදුසකම් සනාථ කිරීම
තවත් වසර ‍දහයක් ක්‍රීඩා කිරීමට හැකියාව සහිත අනාගතයේදී ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගත හැකි කණ්ඩායමක් ගොඩනැගීම

මේ අනුව පෙනී යායුත්තේ ගරු ඇමතිවරයාගේ අනින් නිකුත්වු මාධ්‍ය නිවේදනය මඟින් දක්වා ඇති අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා දෙනු ලැබූ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ගෙන එනු ලැබු කණ්ඩායමක් නොවු බවය. මෑත යුගයේ ඉහළම ප්‍රතිඵල පෙන්වා ඇති කණ්ඩායම බවය.

ඉතා අසීරු අවධියක සිට ක්‍රමිකව තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවකට යොමුවෙමින් සිටින තරුන ජවයකින් හෙබි කණ්ඩායමක් දැන් බිහිවී ඇති බව මෙහිලා අවධාරණය කළ යුත්තේය.

ගරු ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් තේරීම් කමිටුවක කාර්යභාරය හා එහි වපසරිය පිළිබඳව නිසි අවබෝදයක් නොමැතිවීම පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි. ආර්ථිකයක් බංකොලොත්කල රටක ක්‍රීඩාව පිලිබඳව ගැඹුරක් නොදැකීම පුදුමයක් නොවේ.

වරෙක තේරීම් කමිටුවක කාර්යභාරය පිළිබඳව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා වර්තමාන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් මෙසේ පවසා තිබේ; “
“You don’t win or loose the games because 11 you select. You win or loose with what those 11 do on the field”.

ශ්‍රී ලාංකික සමාජය හොඳින් දන්නා පරිදි ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස පසුගිය වසර දෙකහමාරක කාලයේදී පිටිය තුළ දස්කම් පෑහැකි හොඳම ක්‍රීඩකයන්, පවතින තත්වයන් යටතේ තෝරා දී තිබේ. ඒ සඳහා අපගේ පලමු නිර්නායකය වුයේ යෞවන ක්‍රීඩකයන් පෙරට ගැනීමයි. අනාගතයට ආයෝජනයක් විය හැකි තරුණ විශිෂ්ඨයන් විශාල පිරිසක් අප විසින් මේවන විටත් රටට හඳුන්වාදී තිබේ. එම තරුණ ක්‍රීඩකයන් පෙරට ගන්නා අතරතුරෙහිදීම ඔවුන් හා ජ්‍යේෂ්ඨයන් අතර සමබරතාවය රැක ගැනීමටද අප කටයුතු කොට තිබේ.

එසේම අප හඳුන්වාදුන් දෙවන නිර්නායකය වුයේ ක්‍රීඩකයන් අවශ්‍යයෙන්ම පවත්වාගෙන යායුතුව තිබෙන ශාරිරික යෝග්‍යතාවයයි. නමුත් විවිධ අංශයන්ගෙන් ගොඩනැගුනු විවිධාකාර පීඩන හමුවේ එකී නිර්නායකය අවධාරනය කිරීමේ හැකියාව අවම මට්ටමක පවත්වා ගෙන යන්නට අපට සිදුවු බව නොරහසකි. අද එය ක්‍රීඩකයන්ගේ ගිවිසුමේ කොටසකට පමනක් සීමාවී තිබේ.

ඒ කෙසේ වෙතත් ක්‍රීඩකයන් ශාරිරික ආභාදයන්ට ලක්වීමෙන් මුදා ගැනීම අපවෙත පැවරෙන වගකීමක් නොවේ. එවැනි අවස්තාවක අපගේ වගකීම වන්නේ ආබභාදයට ලක්වු ක්‍රීඩකයාට පවතින විකල්පය කන්ඩායමට හඳුන්වාදීම බව කිව යුතුව තිබේ.

තේරීම් කමිටුව සතු කාර්යභාරයක් නොවුනද ක්‍රීඩකයන්ගේ නිසි මානසික යහපැවත්ම පිලිබඳව අවධානය යොමු කිරීමටද අප කටයුතු කොට තිබේ.

අවසාන වශයෙන් ගත් කල පිටියට එලඹෙන ක්‍රීඩකයන් 11 දෙනා පිලිබඳ තේරීම ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයාගේ තීරණයන්ට යටත්ව ගනු ලබන සාමුහික තීරණයක් වන්නේය. එහිදී සමබර කණ්ඩායමක් නිර්නය කිරීම එකී සාමුහික තීරණයේ ප්‍රථිභලයක් වන්නේය.

ඒ අනුව බලන කල ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුන තත්වයන් යටතේ තෝරාගත හැකිව තිබු හොඳම සමබර කණ්ඩායම වන බවද මෙහි ලා සිහිපත් කරනු වටී.

පරාජය පිලිබඳව විවේචනයක් එල්ල කරනු විනා එදිනට ක්‍රීඩා කළ යුතුව තිබුණු, නමුත් අප විසින් තෝරා ගැනීම මඟ හරිනු ලැබු විකල්ප ක්‍රීඩකයන් වුයේ කව්ද ඒ කුමන හේතුවෙන්ද යන්න පිලිබඳව සඳහනක් හෝ ඔබ නිවේදනයේ දක්නට නොලැබීම එම නිවේදනය තුල පවතින හිස් බව තහවුරු කරයි.

ඔබගේ නිවේදනයේ සදහන් කර ඇති දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන් දෙදෙනා අපගේ තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨත්වයේ අවශ්‍යතාව සලකා යොදාගත් අවස්ථා මෙන්ම එම ලබාදුන් අවස්ථාවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට එම ක්‍රීඩකයන්ට හැකිවූයේද යන්න ඔබ විසින් විමසා බැලුවේ නම් මැනවි. නමුත් ඔබ විසින් මෙලෙස ක්‍රීඩකයන්ව නම් වශයෙන් දක්වා සිටීම තේරීම් කමිටුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් සිදුකළ සෘජු බලපෑමක් ලෙසින් අපි දකිමු.

තේරීම් කමිටුවේ කාර්යභාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ දක්වා ගොඩනඟා ඇති විශිෂ්ඨයන් අතරින් අති විශිෂ්ඨයන් කණ්ඩායමක් පිටියට හඳුන්වාදීම පමණක් බව මෙහිලා සඳහන් කළයුතුව තිබේ.

එම ක්‍රීඩකයන්ටද පිටියට ගොස් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙනුයේ ක්‍රීඩා පනතට අනුව ඇමතිවරයා සතු බලතල අනුව එම ක්‍රීඩක ලැයිස්තුව අනුමත කරන්නේ නම් පමනකි. නමුත් පසු ගිය වසර දෙකහමාරක කාලයක් තුළ අමාත්‍යවරයකු එවැනි අප තෝරාදුන් එවැනි ක්‍රීඩක ලැයිස්තුවක් ප්‍රතික්ශේප කරනු ලැබුයේ නැත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් සඳහා තේරීම් කමිටුව වගකිව යුතු යයි පැවසීම හාස්‍යයක් වනවා සේම එම තේරීම වැරදි නම් එවැනි ‍වැරදී තේරීමක් අනුමත කළ ක්‍රීඩා අමාත්‍යවරයාද එහි වගකිවයුත්තෙක් වන්නේය.

අප වගකීමෙන් ප්‍රකාශ කරනුයේ ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස අපගේ වගකීම නිසි අවධානයෙන් යුතුවද නිසි වෘත්තික භාවයෙන් යුතුවද රට කෙරෙහි වූ උපරිම භක්තියෙන් යුතුවද මෙතෙක් ඉටු කර ඇති බවයි.

නමුත් අමාත්‍යවරයාගේ අවසාන අනුමැතියට යටත්ව පත් කරනු ලබන ක්‍රිකට් තේරීම් කමිටුවට මේතාක් සිය කාර්යභාරය මෙන්ම සිය වගකීම් හා යුතුකම් පිලිබඳව නිල ලියවිල්ලක් හෝ ලබා දීමට අමාත්‍යංශ්‍ය හෝ ජාතික ක්‍රීඩා උපදේශක සභාව ක්‍රියාකර නොමැති බව මෙහිලා සඳහන් කරනු වටී.

එවන් පසුබිමක සිට අමාත්‍යවරයාගේ අනින් සිය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ හුදු නිවේදනයක් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාර්යයන් කිසිදු පදනමකින් තොරව විවේචනය කිරීම හුදු වචී මාත්‍රික දේශපාලනික ප්‍රකාශයක් පමණක් බව කිව යුතුව තිබේ.

ඉන්දියාව හමුවේ අවස්ථා දෙකකදී අපගේ ක්‍රිකට් කණ්ඩායම ලැබූ අවසනාවන්ත පරාජය හමුවේ ක්‍රිකට් තේරීම් කමිටුවද කම්පනයට හා කනස්සල්ලට පත්ව ඇති බව මෙහිලා කිව යුතුව තිබේ.

නමුත් එයට පිලියම වනුයේ එම පසුබෑම් හමුවේ දේශපාලනික හෝ පෞද්ගලික වාසි සඳහා එම පසුබෑම් දඩමීමා කර ගැනීමට තැත් කිරීම නොව, පසුබෑමට හේතු විද්‍යාත්මකව සොයා විකල්ප හඳුනාගැනීම බව අප ගෞරවයෙන් යුතුව සඳහන් කර සිටිමු.

උක්ත කරුණු ඔස්සේ ඔබතුමන්ගේ මාධ්‍ය නිවේදනය මගින් අපවෙත එල්ල කරන ලද චෝදනා හමුවේ අප සතු නිර්දෝශිබව මෙහිලා අවධාරණය කරන්නෙමු.

මෙයට විශ්වාසී,

ක්‍රිකට් තේරීම කමිටුව

ප්‍රමෝදය වික්‍රමසිංහ - සභාපති
රොමේෂ් කළුවිතාරණ - සාමාජික
හේමන්ත වික්‍රමරත්න - සාමාජික

 පිටපත් - අතිගරු ජනාධිපතිතුමා
මුද්‍රිත මාධ්‍ය

කාලගුණයෙන් ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනපතිගෙන් ව්‍යවස්ථා සභාවට නීති පාඩමක් !

පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට සී.ඩී. වික්‍රමරත්නගේ නම හැර වෙනත් නමක් තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කතානායක මහින්ද යාපා අබේවර්ධනට මේ සතියේ ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් පොලිස්පති ධූරයට පත්කිරීම සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉල්ලා සිටීමෙන් පසුවය.

ජනාධිපතිවරයා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපිය මගින් ව්‍යවස්ථා සභාව විසින් කළ යුතු පත්කිරීම්වලට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි වගන්තිය හා ඊට අදාළ උප වගන්තිද උපුටා දක්වා ඇත. එම ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් නමක් නිර්දේශ කර නොතිබූ අවස්ථාවක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවක් ව්‍යවස්ථා සභාව විසින් ඉල්ලා සිටින්නේ කවර නීතිමය පදනමක් යටතේදැයි ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ප්‍රශ්න කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව නඩු තීන්දු ගණනාවක් මගින්ද තහවුරු කර ඇතැයි ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වෙයි. අනතුරුව මේ ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර තිබේ. ඒ සමඟ කතානායකවරයා ජනාධිපති කාර්යාලයට දන්වා ඇත්තේ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් දෙවරක්ම පොලිස්පති ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බැවින් ඊට අදාළව ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ නම් ඊට බාධාවක් නොමැති බවය.

  • deshaya

ආයතන 5ක ලොක්කන් කෝප් සහ කෝපා කමිටු හමුවට කැඳවලා !

දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට හෙටින් (06) ඇරඹෙන සතියේ කැඳවීමට නියමිත බව වාර්තා වෙයි .

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවෙන ආයතනයන් වෙයි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට හෙට (06) කැඳවා ඇත.

ශ්‍රී ලංකා පමිති ආයතනය කෝප් කමිටුව හමුවට අනිද්දා (7) කැඳවා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන( 8) වනදාය .

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා ) අනිද්දා (8) කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තුව හෙට (6) සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

නව තානාපතිවරු 10ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ලැට්වියා රජරජය, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලා ජනරජය, පින්ලන්තය, බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය සහ නෝර්වේ ජනරජය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

1- ජූරිස් බොන් මහතා  - තානාපති - ලැට්වියා ජනරජය
    H.E. Mr. Juris Bone  - Ambassador of the Republic Latvia
2- ලියෝ ටිටෝ අවුසන් මහතා - තානාපති - පිලිපීනය
   H.E. Mr. Leo Tito Ausan. JR - Ambassador of the Republic of Philippines
3. කේ ක්වාංග් මහතා  -  තානාපති - කාම්බෝජියා රාජධානිය 
   H.E. Mr. Kay Kuang - Ambassador of the Kingdom of Cambodia
4. ජොවා මැනුවෙල් මෙන්දෙස් දි අල්මේදා  -  තානාපති - පෘතුගාල ජනරජය 
   H.E. Mr. Joao Manuel Mendes de Almeida  -  Ambassador of the Portuguese 
5. අරුන්කොමාර් හාඩියන් මහතා  -  තානාපති - සුරිනාම් ජනරජය
   H.E. Mr. Arunkoemar Hardien  -   Ambassador of the Republic of Suriname 
6. ඉස්සේ අබ්දිල්ලාහි අස්සෝවිහ් මහතා - තානාපති - ජිබුටි ජනරජය
   H.E. Mr. Isse Abdillahi Assoweh            - Ambassador of the Republic of Djibouti
7. ක්ලෙමෙන්ටේ පේඩ්‍රෝ කමෙන්හා මහතා - තානාපති - ඇංගෝලා ජනරජය  
    H.E. Mr. Clemente Pedro Camenha  -  Ambassador of the Republic of Angola
8. කිම්මෝ ලහ්ඩෙවිර්ටා මහතා     -  තානාපති - පින්ලන්ත ජනරජය 
    H.E. Mr. Kimmo Lahdevirta   -  Ambassador of the Republic of Finland
9. කපායා රොද්‍රිගුවෙස් ගොන්සාලෙස් මහත්මිය  - තානාපති - බොලිවාරියානු වෙනිසුවේලා ජනරජය
   H.E. Ms.  Capaya Rodriguez Gonzalez         -  Ambassador of the Bolivarian Republic of Venezuela 
10. මේ-එලින් ස්ටෙනර් මහත්මිය - තානාපති - නෝර්වේ රාජධානිය 
   H.E. Ms. May-Elin Stener - Ambassador of the Kingdom of Norway
 
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-05

විහාරමහාදේවියේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය හිමිවී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.පී.කේ රණවීර සඳහන් කලේ සිය අධිකාරිය සතුව පැවති භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය ලැබුණු බවයි.

කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගනු ලැබීය.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේ දී විවෘත කර තිබුණි.

අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක් හිමි විහාරමහාදේවී උද්‍යානය කොළඹ ධර්මපාල මාවත, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් චන්ද්‍රවංකය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මාවත යන මාර්ගවලට මායිම්ව පිහිටා තිබේ.

විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර මේ වනවිට වසර 10කට අධික කාලයක් ගත වන බැවින් පවතින සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර එම උද්‍යානය කොළඹ නගර සභාවට පැවරීමට කටයුතු කරන ලෙස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.

රජයේ සේවක වැටුප රු.10,000කින් වැඩිවන ලකුණු !

2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 30 දා අමාත්‍ය මණ්ඩලය අමතා ප්‍රකාශ කර තිබේ.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාසාහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 11ක් දිවයිනට

ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ.

කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන් අද (05) අලුයම දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු පසුගිය 03 වැනිදා ඊජිප්තුවට පැමිණි බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය.

රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් ඊජිප්තුවට හෝටලයක රැඳී සිටි බව එහි ප්‍රධානී බෙනට් කුරේ  සඳහන් කළේය.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන් ගෙන් සිව් දෙනෙකුට රැඳී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබිණි.

වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්

වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය.

මේ අතර, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275 කි.

පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රැමයක් රුපියල් 330 කට අළෙවි කළ යුතුයි.

පැකට් කල සුදු සිනි කිලෝග්‍රැමයක් උපරිම සිල්ලර මිල රුපියල් 295 කි.

පැකට් කල දුඹුරු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 350 ක් බව වෙයි.

මේ අතර ,ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පැවති සත 25 ක බද්ද මේ මස පළමුවැනිදා සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ලැබුවේ ය.

රට සංවර්ධනය කිරීමට ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට රතු එළියක් !

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාළව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමද සිදු විය.

දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීම, පාසල් ගුරු හිඟය පියවීම, මාර්ග පිළිසකර කිරීම පානීය ජල ගැටළුව විසඳීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගනු ලැබූ කඩිනම් පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ නිලධාරීහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

එමෙන්ම එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කර නිරාකරණය කර ගැනීම ද සිදු කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණීය මෙන්ම සුව පහසු සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සංචාරක ක්ෂේත්‍රය සඳහා ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් ලබාදී ඇති උපදෙස් අනුව කඩිනමින් තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තම ආයතන විෂය පථය පිළිබඳ මනා දැනුමක් පවත්වාගත යුතු බවත් එසේ නොමැති රාජ්‍ය ආයතනවලින් ජනතාවට සේවාවක් නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට ද එක් විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී දිසානායක, වී. එස්. රාධක්‍රිෂ්නන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන  ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

ඩෙංගු අධි අවදානම් කලාප 36 ක්...

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න  පැවසුවේ, මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇතැයි ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69,008 ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ පසුගිය මාසයේ රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවයි.

මේ මාසයේ ගතවූ දින 3 ඇතුළත රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

newsfirst

පොලිස්පතිට තවත් සේවා දිගුවක් !

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.

පොලිස්පති සඳහා මීට පෙර ලබාදී තිබු සේවා දිගුව පසුගිය (02) වනදා අවසන් වූ අතර ඊයේ (03) සිට ලබාදී ඇති මෙම නව සේවා දිගුව සමග පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න ලබන සිව්වන සේවා දිගුව මෙය වෙයි.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබුණි.

නාම් 200 සැමරුම් උත්සවයේ දී ජනපතිගෙන් කඳුකරයට පොරොන්දුවක් !

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන්  (02) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහභාගී වුවාය.

කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.

කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.

හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංකේතවත්ව සිදු විය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය.

මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදිමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි.

ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත්ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ‍

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇඟයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය රජය කටයුතු කරන බවද පැවසුවාය.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද මෙහිදී අදහස් දැක්වීය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කදුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.

මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්‍රි, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තුමේන්තුවරුන් වන වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, එම්. ඒ. සුමන්තිරන්, ශානක්කියම් රාසමාණික්කම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231103 WA0004

IMG 20231103 WA0005

විදුලි හොරුන් නිසා මාස අටකට කෝටි අටක පාඩුවක් !

විවිධ අයථා ක්‍රම ඔස්සේ විදුලිය ලබාගැනීම හේතුවෙන් පසුගිය මාස අටක කාලය තුළ රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඇතැම් පුද්ගලයන් විදුලි මීටර් වෙනස් කිරීම සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මෙම පාඩුව සිදු ව ඇති බවද මණ්ඩලය සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක අලාභයක් ගණනය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත අද (4) පෙරවරුවේ යොමු කර ඇති බව වාර්තා වෙයි .

මේ වන විට ඉන්දියාවේ පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙන චෝදනා පිළිබඳ අවධානය යොමුකර මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් වාර්තා වෙයි .

මොහාන් ද සිල්වා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් දැනගන්නට ඇත.

ලංකාව ගැන කොරියානු ජනපතිගෙන් ප්‍රතිඥාවක් !

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා ප්‍රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව පෙන්වා දී ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බවද දැනුම් දී ඇත.

සමුළුව නිමවා සිය රටට පැමණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

තවද, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී ඇත.

පුළුල් ක්ෂේත්‍රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේ දීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොරියානු ජනරජය ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය මැදිහත්වීම පුළුල් කරමින් සිටින අවස්ථාවක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඇති දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටියි.

දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයට අක්කර 600ක් !

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. මෙම සමුළුව අද (03) අවසන් විය.

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් , අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරඟකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇතියි. අයවැයෙන් පසු මම මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩ නැගෙනවා. මෙහිදී අප අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි. සියළු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා.

අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි. ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා. අප

දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය, හයිඩ්‍රජන් බලය ආදිය පිළිබඳව ද අවධානය යොමු කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා.
අප දැන් හරිත ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටිනවා. මම පසුගිය වසරේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළා. මේ වසරේ COP 28 හිදී, අප ශුද්ධ

ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අප උත්සාහ කරන්නේ වසර 2040 වන විට ශුද්ධ විමෝචනයට ළඟා වීමටයි. එය අපහසු කාර්යයක් නොවෙයි. නමුත් මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා. ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා අවශ්‍ය වෙනවා. වාසනාවකට ඒ එක් අවුරුද්දක් සඳහා නොවෙයි. එය අවුරුදු විස්සක් පුරා පවතින ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය( ICCU) ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.

තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා. අප සියළු දෙනාටම එම හැකියාව නැහැ. හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා.

ඒ නිසා මම ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා. ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. ගෝලීය වශයෙන් සිදුවන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම කණ්ඩායමයි.

මන්ද යත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි. අපට ඒ විශේෂඥ දැනුම නැහැ. දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ. මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28 යනු ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි. අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා. ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේ ය. එසේම මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරනු ලබන බව ද සඳහන් කළේය.

ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) ද මෙම සමාරම්භක අවස්ථාව ඇමතුවාය.

කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ කෘෂිකර්මය පිළිබඳ ආසියානු කලාපයේ ප්‍රධානී ආචාර්ය පූර්වි මෙහෙතා, පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

IMG 20231103 WA0007

ජනපති - ඉන්දීය මුදල් ඇමතිනී අතර හමුවක් : ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‌ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15 මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ද එහිදී සිදුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදු කළ මෙම මූල්‍ය ප්‍රදානය දෙරට අතර පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්‍රදානය යොදා ගැනීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වය හමුවේ මෙම ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ඉන්දියානු රුපියල දක්වා විනිමය හුවමාරුවක් සිදු කිරීමට දෙරටම එකඟ වී ඇති අතර එය පවතින වෙළෙඳ පොළ තත්ත්වයට අනුකූලව සකස් කිරීමට ද එකඟතාව පළවී තිබේ.

මෙම එකඟතාව හුවමාරු කරගත් රාජ්‍ය තාන්ත්‍රික ලේඛන මගින් විධිමත් කරනු ලබන අතර, එය

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.

දෙරට අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්වීපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඉදිරියේ සිදු කරන ලදී.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

මෙහිදී දෙරටේ නියෝජිතයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු විදේශ අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231103 WA0009

IMG 20231103 WA0011

Page 115 of 440