පුවත්
ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි
ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ශේන් වෝන් 52වැනි වියේ පසුවිය.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.
පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොවම මවිත කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශේන් වෝන් හැඳින්විය හැකිය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145ක් ක්‍රීඩා කර ඇති ශේන් වෝන් කඩුලු 708ක් ලබාගෙන තිබේ.
එක්දින තරග 194කදී ඔහු ලබා ඇති කඩුලු ගණන 293කි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු වෝන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළේය.
බැඳුම්කර ගනුදෙනුව : පොදු දේපළ චෝදනාවලින් රවී නිදහස් !
2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනාවලින් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
එම චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇති බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ,
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කර ඇත.
ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාල විත්තිකරුවන් නිදහස් කරන බවත් විනිසුරුවරුන් නියෝග කර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය අද (04) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.
එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබා දුන්නා.
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කළ බවත් වාර්තා වෙයි .
එසේම මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බව ද විනිසුරුවරයා පවසා ඇත.
ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනා වලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමාගමේ අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කර ඇත.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගන යා හැකි බවයි.
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමඟම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කර ඇත.
මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බවයි සඳහන් කළ බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනා වලට අදාල විභාගය පැවැත්වීම සඳහා "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළ බවත් වාර්තා වෙයි.
2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අණ පනත් කීපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබිණ.
රුසියා - යුක්රේන අර්බුදය ගැන රනිල්ගෙන් අනාවැකියක් !
රුසියාව සහ යුක්රේනය අතර ගැටුම නිසා ඉදිරි වසර දහය ඇතුලත ආසියාව ලොව බලවතා බවට පත් වන ලකුණු ඇතැයි එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි ද ඔහු එහිදී පවසා ඇත.
එසේම ඇමරිකාව හෝ එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවද ලංකාව රුසියාව හෝ වෙනත් රටවල් සමඟ වෙළෙඳාම නතර නොකළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එජාප නියෝජ්‍ය නායකයාගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් !
රජය තම අසාර්ථකත්වය, මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට රජය දරන උත්සාහය ගැනත් එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට යොමුව තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන චෝදනා කළේ මහජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූ රැස්වීමකදී විජේවර්ධන පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
“ආණ්ඩුව මහජනතාවට සලකන්නේ මෝඩයන් ලෙසයි, ඔවුන් සිතන්නේ, ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැරීමෙන් රටේ ප්‍රශ්න විසඳන්නේ ඔවුන් යැයි අපට සිතෙන බවයි. මේක අපේ අවධානය වෙනතකට යොමු කරන්න කරන උත්සාහයක් පමණයි. ඩොලර් රටට ඇතුළු වීම වළක්වන ප්‍රතිපත්ති දිගින් දිගටම අනුගමනය කරන මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුතු නම්, ඩොලර් අර්බුදයට කැබිනට් සංශෝධනය පිළිතුරක් නොවෙයි"
මහජනතාව මුහුණ දෙන ගැටලු දිනෙන් දින ඉහළ යන නමුත් ඒවා විසඳීමට රජය කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“මුලින්ම කිරිපිටි හිඟයක්, ඊට පස්සේ සිමෙන්ති හිඟයක්, ඊට පස්සේ ගෑස් හිඟයක් ආවා, දැන් ඉන්ධන හිඟයක්, පැය 7ක විදුලිය කප්පාදුවක්. ගෑස් හිඟයේ තවත් වටයක් ද අපිට ඉදිරියේදී දකින්න පුලුවන් වෙයි. මේ ප්‍රශ්න විසඳන්න මේ රජය මොනවද කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය මාස 18ක් තිස්සේ මේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අර්බුදයට ඔවුන්ගේ විසඳුම කුමක්ද?”
රටේ අර්බුදය විසඳීමට ගන්නා ඕනෑම අර්ථවත් ප්රයත්නයකට එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව පැවසූ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , “අපි නැගී සිට මෙම ගැටලු විසඳීමට රජයට සහය දීමට ඉදිරිපත් වූ නමුත් ඔවුන් අපව නොසලකා හැර තිබෙනවා. ඔවුන් දැන් මහජනතාව නොසලකා හරිනවා. මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ජනතාව පාරට බහින්න වැඩි කාලයක් ගත වන්නේ නැහැ." යනුවෙන් ද පැවසීය.
එජාප මාධ්‍ය ඒකකය විසින් මේ සම්බන්ධ නිවේදනය නිකුත්කර ඇත.
ගෝඨාභය ජනාධිපති යටතේ නැවත අමාත්‍ය ධූර ගන්නේ නෑ : විමල්ගෙන් සහතිකයක් !
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමන් යළි කිසිදු දිනෙක අමාත්‍ය ධූර බාර නොගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.
අද (04) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බවත් ඔහු එහිදී පැවසීය.
දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ ගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.
අරුන්දික ගොඩ : සීබීගේ හිතේ අමාරුවට බෙහෙත් විමලවීරටත් අලුත් අමාත්‍ය ධූරයක් !
රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිද්ධියට ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු යළි එම අමාත්‍ය ධුරය සඳහා පත්කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පත්කල කමිටුව ජනාධිපතිවරයා වෙත ඊයේ (03) අරුන්දික ප්‍රනාන්දු අදාල සිද්ධියට සම්බන්ධ නොමැති බව දැනුම්දීම නිසා බවත් වාර්තා වෙයි.
මේ අතර ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස විමලවීර දිසානායක දිවුරුම් දී ඇති අතර කර්මාන්ත අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක පත්කිරීම හේතුවෙන් කළකිරී සිටි බවට මාධ්‍ය වාර්තා කළ සී.බී. රත්නායක අමාත්‍යවරයා වෙත රාජ්‍ය අමාත්‍ය විමලවීරට තිබූ විෂය පැවරීමටත් ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.
යවන්න කළින් : වාසුත් තීන්දුව අරගෙන !
අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ට සාධාරණයක් ඉටු කරන තුරු තමන් අමාත්‍යධූරයේ කටයුතු කිරීමෙන් ඉවත් වී සිටින බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර සඳහන් කරයි.
ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 අද (04) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.
තමන් තව දුරටත් පක්ෂ 11කින් යුත් සන්ධානය සමග කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී තව දුරටත් පැවසීය.
කෙසේ වුවත් එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමන් යළි කිසිදු දිනෙක අමාත්‍ය ධූර බාර නොගන්නා බවය.
ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුව
ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ.
මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය මාසික මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තවදුරටත් සීමා කළයුතු බවයි.
විදේශ ප්‍රේෂණ හා ආයෝජනය ඉහළ දැමිය යුතු බවත් මේ හරහා විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම හා වර්ධනය කර ගැනීම සිදු කළයුතු බවත් වැඩිදුරටත් පවසයි.
මීට අමතරව බදු ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස මහ බැංකුව සිය නිර්දේශ මගින් සඳහන් කරයි.
යුගදනවි විකිණීමට එරෙහි පෙත්සම් නිෂ්ප්රභා කරයි
කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු 40%ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම් සලකා බැලීම සිදු කෙරිණි.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් 05 ඉදිරිපත් කර තිබිණි.
ඒවායේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබිණි.
ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට
පොලි අනුපාතිකය කෙරෙහි බලපෑම් කරන ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉහළ දමා ඇත්තේ සියයට 6.5 ක් ලෙසය.
ණය පහසුකම් අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ දමා තිබේ.
ඒ සමගම බැංකු අනුපාතය ස්වංක්‍රියවම සියයට 10.5 දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4 කි.
මීට අමතරව නියාමනය කරන ලද පොලී අනුපාත ඉහළ දැමීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ක්‍රෙඩ්ට් කාඩ් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 20කි.
බැංකු අයිරා සඳහා උපරිම පොලී අනුපාතය සියයට 18 ක් වනු ඇත.
උකස් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය සියයට 12ක් වනු ඇති බව මහබැංකුව නිවේදනය කළේ ය.
මහ බැංකුව පවසන්නේ එමගින් ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කෙරෙනු ඇති බව ය.
ආණ්ඩුවේ කෙළෙහි ගුණ වැගිරේ : බැසිල්ගේ ඉල්ලීම වැඩ කරයි : විමල් උදය දොට්ට !
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වහාම අමාත්‍ය ධුරවලින් නෙරපා හැර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ඔවුන් අමාත්‍ය ධූර වලින් නෙරපා හරින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකල බලපෑම් හමුවේ හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපති කටයුතු කර ඇත.
එහිදී විමල් විරවංශ හා උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වන්නේ නම් කැබිනට් රැස්වීම්වලට සහභාගී නොවන බව මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත අද පෙරවරුවේ අවධාරණය කර තිබු බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව මේ අමාත්‍ය ධූර සංශෝධනය සිදුකර ඇත.
ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත්කර පුරප්පාඩු වූ තනතුර සඳහා නව බලශක්ති අමාත්‍ය ලෙස ගාමිණී ලොකුගේ පත්කර ඇත.
විමල් වීරවංශ අමාත්‍යවරයා ඉවත් කර පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා පත්කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ (02) පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්රකාශනය” එළිදැක්වීමේ උත්සවයෙදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මුදල් අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කල අතර , කාලයක් තිස්සේ ආණ්ඩුව අභ්‍යන්තරයේ මෝරා ගිය අර්බුදයක් හැරවුම් ලක්ෂයක් බවට පත්වීමක් මෙ හරහා සිදුවූ බව ඇතැම් දේශපාලන විචාරකයන් පවසයි.
රනිල් යළිත් ආණ්ඩුව අමාරුවේ දායි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාවෙි සඳහන් කර ඇති ආකාරයට සැලසුමක් ඇතිව මූල්‍ය අරමුදල වෙත යනවාද?නොයනවාද? යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ඔහු පවසයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂ නායක, මේ බව පැවසූයේ එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවකදී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අදාළව ඊයේ (2) අලුයම නිකුත් කළ වාර්තාව පිළිබඳවත් එහිදී අදහස් දක්වා ඇති හිටපු අග්‍රාමාත්‍යවරයා රජය සතු විදේශ සංචිත අඩු වීම,බඩුමිල වැඩිවීම මෙන්ම මහ බැංකුවට මුදල් අච්චු නොගසන ලෙස දැනුම් දීම ඇතුළු කරුණු රාශියක් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇතැයිද පවසා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 ට අදාලව නිකුත් කළ වාර්තාවේ ලංකාව සිම්බාබ්වේ රාජ්‍යය සමඟ සම තත්ත්වයක තැබීම ද විශේෂත්වයක් බව මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරුවූ බව දැනගන්නට ඇත.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ වාර්තාව සැකසන අවස්ථාවේදී පැවැති තත්ත්වය අනුව ලංකාවේ සංචාරක පැමිණීම වැඩිවිය හැකි බව සඳහන් කෙරුණත් රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඒ තත්ත්වය වෙනස්වී ඇතැයි ද මේ සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.
රනිල් ස්ටයිල් !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය දැනුම සහ දේශපාලන පරිචය හරහා ආණ්ඩුව වෙත බරපතළ හානි සිදුකරමින් සිටින බවයි.
මේ වන විට සිදුකරන ප්‍රකාශ හරහා ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයකු ලෙස නොව 2010දී එදා යුද ජය සමරමින් සිටි මහින්ද පාලනය තිගැස්සවූ සහ 2015 දී රාජපක්ෂ පාලනය පෙරළීමට පසුබිම සකස් කළ විපක්ෂ නායක භූමිකාව සිහිපත් කරවන බවත් දේශපාලන විචාරකයන් පවසයි.
රටම හරි මගට වැඩේ : ආණ්ඩුව ගිනි තියයි : රාජපක්ෂ පවුලේ නීතිඥයත් ගිහින් !
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක් විසින් ඊයේ (02) සංවිධානය කළ රටම හරි මගට වැඩපිළිවෙළ එළිදැක්වීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගතයුතු බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර ඇත.
ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට කෙතරම් කටුක සහ අසීරු වුවත් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
බැසිල්ගේ ගෝලයන් ගේම ඉල්ලයි !
ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ ප්‍රබලයකු මෙන්ම උග්‍ර බැසිල් වාදියෙක් ලෙස සැලකෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රට ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් මතුව පැවතියදී මෙම පිරිස එම අර්බූද උග්‍ර කරමින් සිදු කරන මෙම ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.
මේ නිසා ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මෙම කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතු බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා පවසන බවය.
එම නිසා ඉදිරියේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.
රාජපක්ෂ පවුලේ නීතිඥයත් ගිහින් !
මේ අතර ආණ්ඩුව පාර්ශ්වය තවත් දුෂ්කරතාවකට පත්ව ඇත්තේ මෙම ආණ්ඩුවේ සෙසු පක්ෂ සංවිධානය කළ අවස්ථාව සඳහා රාජපක්ෂ පවුලේ නීතිඥවරයා ලෙස ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලේවත්ත ද සහභාගි ව ඇති බව හෙළිදරව් වීම නිසයි.
(මේ බව මව්රට පුවත්පත ද වාර්තා කොට ඇත.)
විශේෂයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වත්මන් අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුතුන් සම්බන්ධයෙන් පැවති නඩු වලදී මේ නීතිඥ ප්‍රේම්නාත් සී දොලේවත්ත ඒවාට මැදිහත් වූ බව රහසක් නොවේ.
ඒ සමයේ අදාළ නඩු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ ද ඔහු වූ අතර ඒ නිසාම රාජපක්ෂ පුතුන් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ ඔහුගේ වේදිකාවේ සිට ප්‍රේම්නාත් සී දොලේවත්ත වෙනුවෙන් මනාපයක් ඉල්ලා ජනතාව වෙත ගිය බවත් රහසක් නොවේ.
මේ වන විට සමාජ මාධ්‍ය තුළත් ඇතැම් වාර්තා පළවෙමින් ඇත්තේ රටම හරි මගට වැඩපිළිවෙළ පිටුපස රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු සිටින බවය.
එසේම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ද මේ අවස්ථාව සඳහා එක්ව ඇති බවත් වාර්තා වෙයි.
පොදුජන පෙරමුණට ආරාධනා නෑ !
එමෙන්ම අදාළ වැඩසටහන වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙත නිල ආරාධනයක් සිදුව නොමැති බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය වෙත තහවුරු කර ඇති බවත් වාර්තා වෙයි.
හරීන් සහ මනූෂ රන්ජන් වෙනුවෙන් : ජිනීවා වෙත ඉදිරිපත් කළ ලිපිය මෙන්න !
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර විසින් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහාකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ හට ලිපියක් බාර දීමට පියවර ගෙන තිබිණ.
එම ලිපිය මෙසේය.
2022 මාර්තු 01 වැනි දින
මිෂෙල් බැචලට් ජෙරියා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය
Palais Wilson
52 rue des paquis
CH-1201 ජිනීවා ස්විට්සර්ලන්තය
ගරු මහකොමසාරිස්තුමියනි,
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීම සහ ශ්‍රී ලංකාව තුළ සිවිල් අයිතිවාසිකම් වසර 7ක් සඳහා අත්හිටුවීම සම්බන්ධයෙන්
පහතින් අත්සන් යොදා ඇති අප, ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් බරපතල වශයෙන් උල්ලංඝනය කිරීමට ලක්වීම පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.
අපි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධානතම නියෝජිත පක්ෂය සහ රටේ ක්‍රියාත්මක වන ප්‍රධානතම විපක්ෂ දේශපාලන පක්ෂය නියෝජනය කරන්නෙමු. තමන් හට සිරදඬුවම නියම කෙරෙන විට, රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව තුළ අප පක්ෂය නියෝජනය කළ බව ද ඔබේ අවධානයට යොමු කරන්නෙමු.
මෙකී වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් පැනවීම සහ සිවිල් අයිතිවාසිකම් වසර 7කට අත්හිටුවීම පිළිබඳ තීන්දු ලබාදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ 2021 ජනවාරි 21 වැනි දින, එනම් වර්තමාන ආණ්ඩුවට අතිශය බහුතර බලයක් ලබා දුන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා මාස 4ක කාලයක් ද, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිෂ්ඨ සොහොයුරු ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වී වසරකුත් මාස දෙකක කාලයක් ගත වූ තැන දී ය.
පසුබිම
රන්ජන් රාමනායක මහතා ප්‍රවීණ නළුවෙකු ලෙස දශක කිහිපයක් කටයුතු කොට ඇති අතර, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද විය. වසර ගණනාවක් එකපිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා සම්මානය ට ද ඔහු හිමිකම් කීවේය. ඔහුගේ චිත්‍රපට බොහොමයක් පාදක වූයේ පීඩිත ජනතාවට යුක්තිය ඉෂ්ඨ කිරීමත්, වංචාව හා දූෂණයට එරෙහිව සටන් වැදීමත් ය. මුල්වරට එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කළ ඔහු, වැඩි ඡන්ද සංඛ්‍යාවක් සමග විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනිමින්, රාජපක්ෂ රෙජීමය එකල නායකත්වය දුන් පක්ෂයට දැඩි අභියෝගයක් බවට පත්විය. ඉන්පසු, අපි ද සාමාජිකයන්ව සිටින සමගි ජන බලවේගය පක්ෂයට එක්ව ඔහුගේ දේශපාලන ගමනේ අඛණ්ඩව නියුතු විය. ඔහු මැතිවරණයට තරග කළ සෑමවිටම විශාල ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින්, අතිශය ජනප්‍රිය සහ අපරාජිත දේශපාලකයෙකු බවට පත්වූයේ මෙරට පොදු මහජනතාවගේ ආදරය සහ විශ්වාසය දිනාගනිමිනි.
ඔහු, දේශපාලන නායකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දූෂිත බව ගැන සෑමවිටම විවෘතව විවේචන එල්ලකරමින්, සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකිරීම සඳහා කැප විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහුට එරෙහි දූෂිත දේශපාලන සතුරු බලවේග ඔහුගේ දේශපාලන ගමන අවහිර කිරීමට සාර්ථකව පිඹුරුපත් සකස් කිරීමයි.
අවධානය යොමු විය යුතු කරුණු
රන්ජන් රාමනායක හට දඬුවම් නියම විය. කෙසේ නමුත්, මෙය සිරදඬුවමකටත් වඩා, රටේ දේශපාලනය නිසා අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් නැගුණු හඬක් නිහඬ කිරීමක් බව බහුතර ජනතාවගේ හැඟීමයි. දැන් රටේ ජනතාව සිතන්නේ වැරැද්දට හෝ වංචාවට, දූෂණයට එරෙහිව හඬ නැගීම හෝ සටන් කිරීම යනු ජීවිතයට නොයෙකුත් අසීරුතා ගෙනදෙනු ඇති බවයි. මේ නිසා රටේ මිනිසුන් කිසිවකට එරෙහි නොවී, නිහඬව සිටින ජනතාවක් බවට පත්ව, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද ඔවුන්ගෙන් ක්‍රමයෙන් උදුරාගනු ඇත.
රන්ජන් රාමනායක මහතා හට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට සහ ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මැදිහත් විය යුතු යැයි අපි අවධාරණය කරන්නේ ඇයි?
රන්ජන් රාමනායක මහතා හට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් පැනවීම සහ ඔහුගේ සිවිල් අයිතිවාසිකම් වසර 7කට අත්හිටුවීම උගත් පුද්ගලයන් අතර ආන්දෝලනාත්මක ගැටලුවලට තුඩු දී ඇති කරුණකි. එවන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීමෙන් පෙනීයන්නේ රන්ජන් රාමනායක මහතා හට පැනවූ දඬුවම සාධාරණ හෝ ඉවසිය හැකි නොවන බවයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පොදු නීතියේ මූලික සංකල්පයන් උල්ලංඝනය කරන්නා වූ ද, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම හානිකර වන්නා වූ ද, සමහර ආන්දෝලනාත්මක ගැටලු මෙමගින් ඔබේ අවධානය පිණිස යොමුකරමු.
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ සිට බලපැවැත්වුණු සාපරාධී අපහාස නීතිය 2002 වසරේ දී පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අවලංගු කරන ලදී. මින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලනය විසින් සැලකියයුතු පරිදි සහ ප්රකාශිතවම මූලික අයිතිවාසිකම් සඳහා වටිනාකමක් ලැබෙන බව තහවුරු කිරීමයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය අනුව, අධිකරණයට අපහාස කිරීමක් සඳහා දඬුවම් පැනවීමේ බලය ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ. නමුත් මෙකී වගන්තියෙන්, එසේ දඬුවම් පැනවීම සඳහා වූ අධිකාරිය සහ අධිකරණයේ අභිමතය පිළිබඳව පමණක් හැඳින්වීමක් ලබාදෙයි.
ය අභිමතය අනුව ලබා දිය යුතු දඬුවම සහ අදාළ දඬුවම් කාලසීමාව තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලතල තිබේ. එය ඒකාන්තයෙන් සීමාන්විත හෝ නියත නොවන අතර, එහෙයින් එය නෛතික වශයෙන් ගුණාත්මක නොවන නීතියකි.
රන්ජන් රාමනායක මහතා හට වසර 4ක් සඳහා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම විය.
බරපතල වැඩ සහිත සිර දඬුවම යනු කුමක්ද?
සිර දඬුවම යන්න විශේෂයෙන් ම හඳුන්වා දී ඇත්තේ අපරාධ වැරදි සඳහා බව ලොව පුරා මනාව ස්ථාපිත වී ඇති නීතිය යි. අපරාධ වරද මූලික නීතිමය අංග දෙකකින් සමන්විත වේ. ඒවා නම්, මානසික අංගය “mens rea” (සාපරාධී චේතනාව) සහ කායික අංගය “actus reus” (පනත් මගින් අවශ්‍ය කෙරෙන පරිදි කායික අංගය සපුරාලන ක්‍රියාව හෝ පැහැර හැරීම) වේ. නමුත්, රන්ජන් රාමනායකගේ නඩුවේ දී (ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 1/2018) මානසික අංගය ප්‍රශ්න සහගත ය. “…ජනතාවගේ අධිකරණ බලය අධිකරණ මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය…” වශයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියේ දැක්වීම එයට හේතුව යි. රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ව සිටිය දී ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යුක්තිය උදෙසා ජනතාව වෙත අපක්ෂපාතී සේවයක් ලබා දීම සඳහා අධිකරණයේ අවධානය යොමු කරලීම සඳහා ඔහුට වගකීමක් තිබිණ.
අධිකරණයක් යනු පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ක්‍රියාවට නංවන යාන්ත්රණයකි. රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සාමාජිකයෙකුගේ කාර්ය දැක්වෙන අතර 14(1) වගන්තියේ,
“සෑම පුරවැසියෙකුට ම,
(අ) භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේ ය;” ලෙසින් දැක්වේ.
දඬුවම බරපතල වැඩ සහිත සිර දඬුවමක් වන්නේ නම්, එයින් අදහස් කෙරෙන්නේ සැකකරු අපරාධකරුවෙකු බවට අධිකරණය පූර්වානුමාන කරන බව යි. ඒ සඳහා, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීති මගින් වරද කරන්නා ව සියයට සියයක විනිවිදභාවයකින් යුතු ව හඳුනා ගත යුතු ය. එනම්, මානසික අංගය පමණක් නොව කායික අංගය ද නීතිය පැහැදිලි ව දක්වන පරිදි සාපරාධී ක්‍රියාව සංස්ථාපනය කළ යුතු ය. නමුත් මෙහි දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ක්‍රියාවක් අර්ථ දක්වා නැත. එනම්, කලින් කලට, විනිසුරුවරුන්ගෙන් විනිසුරුවරුන්ට, අධිකරණයට අපහාස කිරීමේ වරද වෙනස් වන අතර දඬුවම්වල රටාව ද නීතිමය සීමාවකින් හෝ රාමුවකින් තොර ව විනිසුරුවරුන්ගේ හෘදසාක්ෂියට අනුව වෙනස් වේ. එම නිසා, රන්ජන් රාමනායක මහතා හට ක්‍රියාවක් මත නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ජනප්‍රිය දේශපාලනඥයෙකු වශයෙන් ඔහු සතු දේශපාලනික ජනප්‍රියතාව සහ වෘත්තිය ගමන් මග මත පදනම් ව (බරපතල වැඩ සහිත ව වසර 4ක සිර දඬුවම් + ඔහුගේ දේශපාලනික ව්‍යාපාරවලට එරෙහි ව සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීම) දඬුවමක් ලබා දී ඇති බව ඉතා පැහැදිලි ය. එම නිසා, මෙම දඬුවම අන්තර්ජාතික නීතිය කඩ කිරීමක් සහ අනීතික සිරගත කිරීමක් ලෙස සැලකෙන විසමානුපාතික දඬුවමක් වන බවට මනාව පැහැදිලි වේ.
අධිකරණයට අපහාස කිරීමේ වරද සඳහා දඬුවම තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හට අභිමතානුසාරී බලයක් පැවරී තිබුණ ද, ඔවුන් බැඳී සිටින ස්වභාවික යුක්ති මූලධර්මවල මූලිකාංග විනිසුරුවරුන් සලකා බලා නොමැත. ප්‍රධානතම මූලික මූලධර්මය වන්නේ,
තමාගේ ම නඩුවක විනිසුරු තමා ම නොවිය යුතු ය යන අදහස ඇති (ලතින් භාෂාවෙන්) නීමෝ ජුඩෙක්ස් ඉන් කෞසා සුආ (“Nemo Judex In Causa Sua”) යන මූලධර්මය යි.
අධිකරණය රන්ජන් රාමනායක මහතාට එරෙහි ව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් පිළිබඳ ව නඩුවක් විභාග කළ අතර අධිකරණය වෙනුවෙන් අධිකරණය විසින් ම දඬුවමක් ලබා දෙන ලදි.
අධිකරණයට අපහාස කිරීමේ නඩු සලකා බැලීමේ දී බොහෝ රටවල මෙම මූලධර්මය අනුගමනය කෙරේ. විශේෂයෙන් ම මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය හා එංගලන්තය හා තවත් බොහෝ රටවල, “one cent fine”, අධිකරණ පරිශ්‍රය තුළ පැය අටක් රැඳී සිටීමට සැලැස්වීම ආදී නාමික දඬුවම් ප්‍රකාශයට පත් කෙරේ. එයට හේතුව වන්නේ, ඉහතින් සඳහන් කරන ලද අධිකරණ සහ අධිකරණ පද්ධති සෑම විට ම දඬුවම් ලබා දීමට වඩා මූලික නීතිමය අංග ආරක්ෂා කිරීම සඳහා අවධානය යොමු කිරීම යි. එම නිසා, රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලබා දීමේ සිද්ධිය පුරාවට නීතිමය මූලිකාංග යොදාගැනීමේ වරද පවතින අතර රන්ජන් රාමනායක මහතා අනීතික සිරභාරයේ සිටින තාක් මේ වරද අඛණ්ඩ ව ඉදිරියට පැවැතේ. මේ හේතුවෙන්, UNHRC විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට මැදිහත් වීම් සිදු කිරීම ඉතා සාධාරණ වේ.
ශ්‍රී ලංකා ජනරජය ඇතුළත කවර හෝ අධිකරණයකින් කවර හෝ වරදකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකු හට සමාව ප්රදානය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන් හට බලතල පැවරී ඇත්තේ ය.
මෙම ජනාධිපති බලතල අධිකරණ පවත්වා ගෙන යාමට අමතර ව යහපත පිණිස යුක්තිය පිහිටුවීමට හා ක්‍රියාත්මක කිරීමට සහ යුක්තිය උදෙසා නීතිමය තීරණ නිවැරදි කිරීමට එක්සත් රාජධානියේ චාන්සරි අධිකරණයක් හරහා 1873 දී පසුව හඳුන්වා දෙනු ලැබුණ, 1681 චාන්සරි අංශ මූලධර්මයෙන් සමන්විත වේ. නමුත් ශ්‍රී ලංකාව තුළ, ජනාධිපති සමාව යොදාගැනෙමින් ඇත්තේ බලයේ සිටින පක්ෂයේ දේශපාලනික සහයකයින් ව ආරක්ෂා කිරීමට ය. එනම්, ජනාධිපති සමාව ලබා දීමේ බලය වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති අතර එය අයුතු ලෙස පරිපාලනය කෙරේ. උදාහරණ වශයෙන්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මිනීමැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන ලද දීර්ඝ නඩු විභාගයකින් පසුව දඬුවම් නියම කෙරෙන ලද හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුතු විනිසුරු මඬුල්ලකින් එකී දඬුවම ස්ථිර කෙරෙන ලද, බලයේ සිටින පක්ෂයේ සහයකයෙකු වන දුමින්ද සිල්වා මහතා හට ජනාධිපති සමාව ලබා දීම සහ තවත් එවන් පාලන පක්ෂයේ සහයකයෙකු වන ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අභියාචනාධිකරණය මගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී තිබිය දී ජනාධිපති සමාව මත නිදහස් කිරීම සහ එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කොමිසමේ සභාපති ලෙස උන්වහන්සේ ව පත් කරනු ලැබීම දැක්විය හැකි ය. එනමුදු, බොහෝ සමාජ ක්‍රියාකාරීන් සහ ගරු විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රන්ජන් රාමනායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කරන ලෙසට ඉල්ලීම් ගණනාවක් කළ ද එකී ඉල්ලීම්වලට සවන් දීමක් සිදු නොවිණි.
මෙම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, බලයේ සිටින ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ එක් ව රන්ජන් රාමනායක මහතා ව අනීතික සිරභාරයට ගැනීමෙන් වළක්වාලීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ව ඇති අයිතිවාසිකම් හා අනීතික සිරභාරයට එරෙහි නිදහස උල්ලංඝණය කරන විසමානුපාතික දඬුවමක් ලබා දීම දක්වා ව්‍යාප්ත වුණ අධිකරණයේ අභිමතය පිහිටුවීම ඉවත් කිරීමට අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් රජය රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය සහ ඔහුගේ මූලික අයිතිවාසිකම් අගෞරවයට පාත්‍ර කර ඇත.
එහෙයින්
රන්ජන් රාමනායක මහතා නීතිවිරෝධී ලෙස රඳවාතබාගෙන ඇති අතර, ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ.
රන්ජන් රාමනායක මහතා හට දඬුවම් නියම වූයේ අවිනිශ්චිත වරදක් සඳහා ය.
රන්ජන් රාමනායක මහතා හට නියම වූයේ අපරාධකරුවෙකුට පැනවෙන ආකාරයේ අවිනිශ්චිත දඬුවමකි.
මෙම සිරදඬුවම නිසා රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන ජීවිතය විනාශයට පත්විය.
රන්ජන් රාමනායක මහතා අපරාධකරුවෙකු ලෙස සිරභාරයේ රඳවාගෙන ඇත්තේ නිසියාකාර කරුණුවලින් තොරව ය.
මෙම තීන්දුවේ, එවැනි තීන්දුවකට එළඹීම සඳහා වූ හේතු දක්වා නොමැත.
රන්ජන් රාමනායක මහතා හට මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීම සඳහා අවස්ථාවක් නොලැබේ. එකී තීන්දුව සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් යටතේ නැවත විභාග කිරීමට හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය සතු ප්රතිශෝධන බලතල යටතේ නැවත විමසීමට තීරණය කර නොමැත.
අධිකරණය විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රකාරව රන්ජන් රාමනායක මහතා හට තවදුරටත් අභියාචනා කිරීම සඳහා අවහිරයක් පවතින බැවින්, ඔහුගේ වෘත්තියට පිළිසකර කළ නොහැකි තරම් හානියක් සිදුව ඇති අතර, එමගින් සාධාරණත්වයේ නීතියට අනුව දැඩි හානියක් සිදුව තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් යුක්තිය පැතිය හැක්කේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සහ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ මැදිහත්වීම හරහා පමණි.
එහෙයින්, අපි ඔබතුමියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටින්නේ,
a) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ එහි පාලක පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කරන ලෙසත්;
b) රන්ජන් රාමනායක මහතාගේ ජීවත් වීමේ අයිතිය ඇතුළු අනෙකුත් සියලුම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලෙසත්;
c) රන්ජන් රාමනායක මහතාගේ නීතිවිරෝධී රඳවාගැනීම බලරහිත කිරීම සඳහා මැදිහත් වී කටයුතු කරන ලෙසත්;
d) රජයේ නීති අංශය විසින් දඬුවම් පනවන ලද හේතුව නිසා, මේ සඳහා රජයේ පාර්ශ්වය දැරිය යුතු වගකීම සම්පූර්ණයෙන්ම ඉවත්නොවන බවට ප්‍රකාශ කරන ලෙසත්;
e) රන්ජන් රාමනායක මහතාව අප්‍රමාදව නිදහස් කර, ඔහුගේ සියලු සිවිල් අයිතිවාසිකම් යළි ලබා දෙන මෙන් ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපති සහ ආණ්ඩුවට නිර්දේශ කරන ලෙසත්, ය.
ස්තුතියි!
1 (අත්සන)
2 (අත්සන)
පිටපත්
ලේකම් / රෙජිස්ට්‍රාර් (ඇමුණුමක් ලෙස)
ජාත්‍යන්තර යුක්ති අධිකරණය
- මව්රට
ලංකාව ණය අඩුකරන පිළිගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න : IMF නිවේදනයක් !
ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ණය අඩු කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඔවුන් මේ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති අදහස් හුවමාරුවකින් පසුවය.
ඒ බව සඳහන් නිවේදනයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇත.
ඊට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ අදහස් හුවමාරු කර ගැනීම අවසන් කළ බවත් සඳහන් වෙයි.
මුළු රටම හරි මඟට : වැඩපිළිවෙළ මෙන්න !
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් සකසන ලද, “මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්රකාශනය' අද (2) දින ජනගත කෙරිණ.
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, මොනාක් ශාලාවේ දී ආරම්භ කෙරුණු උත්සවයට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂවල නායකත්වය ඇතුළු තවත් ක්ශේත්‍ර කිහිපයකම නියෝජනය කරන පිරිස පැමිණ සිටියහ.
“මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්රකාශනය' එහිදී ජනගත කෙරුණු අතර එය පහත දැක්වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ මුල් පුටුවට : රජිත් කීර්ති පත්වෙයි !
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්යක්ෂවරයා ලෙස හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පත්ව ඇති බව එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .
ඊට අනුව 2022 මාර්තු 1 දින සිට ඔහු එම තනතුරට පත්ව ඇත.
අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
මැතිවරණ, මානව හිමිකම් හා දුෂණ විරෝධි ව්‍යාපාරයන් හි වසර 15 ක අත්දැකීම් සහිතව රජිත් කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස ද, දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක ඇතුළු තනතුරු ගණනාවක් දරා ඇත.
ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යා, ජනසන්නිවේදනය පිළිබඳ උපාධි/පශ්චාත් උපාධි ලබා ඇති ඔහු, එම විෂයන් සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ග්රන්ථ ගණනාවක් ද පළ කර ඇත. මානව හිමිකම් කේෂ්ත්‍රයේ දෙස් විදෙස් තනතුරු රැසක් ද ඔහු විසින් දරා ඇත. දකුණ හා මධ්‍ය පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉදිරියේ දී පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කර, වත්මන් අභියෝග සඳහා මුහුණදිය හැකි පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
මාධ්‍ය ඒකකය
විදුලි කප්පාදුව ගැන : ජනාධිපති ගෝඨාභයගෙන් සහතිකයක් !
මාර්තු 05 සිට විදුලි කප්පාදුව නවත්වා ගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන විටරට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව වාර්තා වෙයි.
මහජන උපයෝගිතා කොමිසමට සහ සාමාන්‍ය ජනතාවට සහතික වෙමින් ඔහු මේ බව කියා සිටි බව දැනගන්නට ඇත.
මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
එසේම විදුලිි අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව ජනපතිවරයා දැනුම් දුන් බවද සභාපතිවරයා පැවැසීය.
Page 338 of 440